Tuesday, October 26, 2021

මේ ප්‍රථම වසන්තයයි!

කාර්‍යබහුල - කම්පනකාරී ජීවිතෙන් මොහොතකට මිදිලා කලකට පස්සෙ නිවී හැනහිල්ලෙ සින්දුවක් අහන මොහොතක අහම්බෙන් 'මේ ප්‍රථම වසන්තයයි' ගීතය ස්ත්‍රී හඩකින් ඇහෙනවා. ඉතා මියුරු ස්ත්‍රී කටහඩකින්!  


රියැලිටි කලාව ගැන ඒ හැටි මනාපයක් නැතත්, එහි එකග වෙන්න බැරි තැන් කප්පරක් තිබුණත් අංජලී මෙත්සරා නම් දැරිය රියැලිටි වැඩසටහනක ගැයූ ඒ ගීය මොහොතකට මාව මත් කර තබනවා. හෝ ගානා පොකුණේ අන්ධ දැරිය ලෙස විශිෂ්ට රංගනයක් කළ ඒ යුවතිය නිසා බබලන්නේ ඈ සම්බන්ධ වන වැඩසටහන මිස ඈ වැඩසටහන නිසා බබලනවා නොවන හෙයින් එක් අතකට ඈ  රියැලිටි තරුවක් කියා ලඝු කිරීම වැරදියි. 


කොහොම වෙතත් ඇගේ හඩ මේ ප්‍රථම වසන්තයයි ගීය සම්බන්ධ මතක රාශියක් වෙත මා ගෙන යනවා. කුඩා දැරියක කාලයේ ඒ ගීය මගේ ප්‍රියතම ලැයිස්තුවේ තිබුණේ නෑ. ඒත් එක් දවසක ඊශා අක්කාත් මාත් ඔවුන්ගේ ගෙදර බිම වාඩි වී කතා කරමින් උන් දවසක මේ ගීය ගැන ඉතා තදබල කැමැත්තකින් ඇය මා සමග කතා කළා මතකයි. එතකොට ඈ සාමන්‍ය පෙළ පන්තියේ වාගෙයි. මා ඈට වඩා දෙවසරක් ලාබාලයි. මේ ගීය ගැන මා තුළ අලුත් කැමැත්තක් හටගත්තේ එදායි.


ඉන් පසු අලුතින් මේ ගීය හොයාගෙන අසද්දී ඒ ගීය පාදක කරගෙන නිර්මාණය කර තිබූ රූප රචනාවක් අහම්බෙන් මා ඇස ගැටුණේ ඒ කාලයෙදිමයි. එය සකස් වී තිබුණේ පේරාදෙණිය සරසවිය ඇසුරෙන්. අද ආපසු හැරී බලද්දී එය එපමණ විදග්ධ ගණයේ රූපරචනාවක් නූනත්, ගීත අරබයා රූපරචනා සිදු කිරීම මෙකල තරම් අවර ගණයට ලක් වී නොතිබුණු එදවස ඒ ගීය මනරම් මිහිරකින් මා පුරවන්නට සමත් වුණා. ඇතැම් විට එකල මා තුළ දලුලමින් තිබූ - පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් හෝ සාක්ෂාත් කරගන්නට නොහැකි වූ පේරාදෙණි ස්වප්නයත් ඒ මිහිර තියුණු කරවන්නට හේතු වන්නට ඇති.


ඒ කොහොම වෙතත් වසර ගණනක් ගෙවී ගොස් ප්‍රථම වසන්තය ආයේ අලුතින් විදින මොහොතක මිහිරක් සමග දැනෙන්නේ නොස්ටැල්ජීය හැගුමක්. එහැගුමෙන් නොමිදීමයි මා ඒ ගීයේ මනරම් වචන පෙළක් කෙටි පණිවිඩයක් ලෙස දුරබණු මුහුණ මත සටහන් කරන්නේ...


සිත පවස දරා මිරිගුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොළක් සේ පාවී

වසන්තයක් වී ආවේ..!

8 comments:

  1. ලස්සනයි වැසි දැරිය සින්දුවත් අහගෙන කියෙව්වා

    ReplyDelete
  2. ඒ සිංදුව කියන්නෙ සිරාවටම ඒ සුට්ටික්කං කෙලිත්තිද. 😃😃😃 කවුද දන්නෙ මරුවට කියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් හෝ ගානා පොකුණෙ දැරිවි තමා!

      Delete
  3. දාන කමෙන්ට් ගිලින්නෙ කවුද අප්පා. එපා වෙනව

    ReplyDelete
    Replies
    1. මොඩරේෂන් දාලා නොවැ තියෙන්නෙ...

      Delete