ගුරු දියවර 61
විදුලි දුම්රියේ චංචල නාදය සවනත වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු වෙයි සැලෙන හදේ
“අප්පච්චියෙ ගරු විදුහල්පතිතුමිය දැන් මහ ගායිකාවක් වෙලානෙ. හැබැයි කමක් නෑ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මත වෙනව කියලනෙ මේ කියන්නෙ.”
මිහිදිනී මෙවදන් පැවසුවේ සිය දෙටු සුහදිනිය රේණුට යි. මේ ඔවුන් නාගොල්ලාගම සිට කොළඹ බලා යන දුම්රිය ගමනේ දී සිය කතාබහ ආරම්භ කළ ආකාරය යි.
“නංගි උඹ දැන් ටිකක් ගාණට වැඩියි හොඳේ, ඒ වගෙම ඇයි මට සින්දු කියන්න තහනම් ද”
“අපෝ නෑ ඒත් මට මේ සින්දුව ඇහෙද්දි ලොකු දුකක් දැනෙනවා.”
“ඒ මොකෝ මෙතන යුග ගී කියන්න ගඟුල් නැති නිසා ද?”
“නෑ නෑ එයා නෙමෙයි අර අර අය්යා නැති නිසා.”
“මොන අය්ය ද බන් තේරෙන සිංහලෙන් කියපන්කො.”
“මම ඒක කියන්නම් කාටත් තේරෙන සිංහල කවියකින්.”
නිමල හදවතකි අත පින්සල රැඳුණ
අසල නැති එකයි දුක ඒ සකිසඳින
සසල නොකර මේ හදබිම වෙත පැමිණ
විපුල මැතිඳ එනු මැන ගීයක් ලෙසින
“නංගී, උඹ දැන් ටිකක් නෙමෙයි ගොඩක් ගාණට වැඩියි. කොහොම උනත් උඹේ හිටිවන කවිය නං අපූරුයි.”
“විදුහල්පතිතුමිය, කවිය විතර ද හොඳ ඒ කවියෙ අරුත පපුව කාගෙන යනවා වගෙ දැනෙන් නැද්ද?”
“දැනෙවා දැනෙනවා නංගියෙ, අපි සර් හම්බ වෙලා යන ගමන් අපේ ගඟුල්ලගෙ ගෙදරටත් ගොඩ වෙලා යමු නේද?”
“ඔන්න ඔන්න අක්කෙ, ඔයාගෙ ඔය හංගලා ගහන එක තමයි මට අල්ලන්නැත්තෙ. කෙළින්ම කියන්ඩකො අනේ අපේ විපුල් අය්යලගෙ ගෙදරටත් ගොඩ වෙලා යමු කියලා. ඔයා හොඳටම දන්නවනෙ ගඟුල් මේ වැඩේට සහන් සර්ලගෙ ගෙදරට එනවා කියන එක.”
“ඕනෙ නෑ. සහන් සර්ලගෙ ගෙදරට ගියා. අද දවසෙ ඒ වැඩේ කළා. ඊට පස්සෙ කෙළින්ම අපේ ගෙදරට. පහුවදා ආයෙ නාගොල්ලාගමට.”
“අනේ වස්තුවෙ, ඔයාට කේන්ති ගියාද මගෙ චූටි විදුහල්පති පැටික්කිට. බය වෙන්න එපා සර්ලගෙ ගෙදෙට්ට අර අය්ය මල්ලි දෙන්නම එනවා. සහන් සර් කියන්නෙ ගඟුල්ගෙ සර් වගෙම අපෙ විපුල් අය්යගෙ ආදරණීය වැඩිහිටි මිත්‍රයෙක්.”
රේණු නිහඬ ව දුම්රිය කවුළුවෙන් ඉවත බලා සිටියා මිස මිහිදිනියට පිළිතුරු දීමට ගියේ නැත.
“ආදරණීය රසික රසිකාවියනි, ප්‍රේමණීය හදක් එබඳුම ප්‍රේමණීය හදකට කියන මේ ඉසොඳුරු ගීතය. යෞවනයා මේ මොහොතේ නැති බැවින් යෞවනියකගේ හඬින් ගැයෙන ඒ ප්‍රේමවන්තයාගේ ගීතය යළිත් ඔබේ සවන් දෝතට”.
“මේ නංග,ි මේ ගෙදරත් නෙමෙයි ක්වාටර්ස් එකත් නෙමෙයි. දැන් හිටපු සෙනඟ බැහැලා ගියාට තව අය නගිනවා කෝච්චියට. මිනිස්සු හිතයි අපට පිස්සු කියලා.”
“ඉතින් අක්කෙ, ඒක ඇත්තනෙ. ඔයයි මමයි දෙන්න කියන්නෙ මේ කෝච්චිය කොහොම වෙතත් පිස්සු කෝච්චි දෙකක්කෙ. ඕන එකක් මම පටන් ගන්නවා ප්‍රේම ගීතයක්.”
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ
දකින හැම රූපයෙම ඔබේ රුව සේ පෙනේ
අසන හැම කටහඬම
ඔබේ කටහඬ සේ ඇසේ
මිහිදිනියට ගීතය නතර කරන්නට සිදු වූයේ තරුණ යුවළක් දුම්රියේ ඒ කුටියට පැමිණ සමීප අසුනක වාඩිගත් බැවිනි. ප්‍රසන්න සිනහවකින් මේ ගුරු යුවතීන් දෙදෙනාට සංග්‍රහ කළ තරුණයා, සිය මිතුරිය සමග හිඳගත්තේ මිහිදිනිය දෙස බලා මෙසේ කියමිනි.
“අක්කෙ ඔයාගෙ සින්දුව නම් සුපිරි. අබේවර්ධන බාලසූරිය මහත්තය හිටියනං ඔයාට ප්‍රශංසා කරනවා.”
“හරි නේද වැඩේ. හරි නේද දැන් කියපන් ඕකෙ ඉතිරි ටිකත්.”
“අක්කෙ, ඉතිරි ටික විතරක් නෙමෙයි, අපිත් බහින්නෙ කොළඹින්. ඒ වෙනකන්ම අපිටත් ඇහෙන්න සින්දු කියන්න වෙයි. නැත්තං අපි උපවාස කරනවා මෙතන. ඒක නවත්තන්නෙ මේ සින්දුවට උල්පත වෙච්ච නිරංජලා සරෝජිනී නෝනයි. සින්දුව ලියපු සුනිල් ආරියරත්න සර්රුයි, මියුසික් දීපු වික්ටර් රත්නායක මහත්තයි ඇවිල්ල උපවාසෙ නතර කරන්න කියලා කිව්වොත් විතරයි.”
එසේ පැවසුවේ තරුණයා සමග සිටි යුවතිය යි.
“හරි හරි මේ එහෙනං විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්න තරුණ යුග්මයක්. උපවාස කරන්න දෙයක් නැහැ. කවුළුවෙන් වටපිට ලස්සන විඳින ගමන් අපි ඔක්කොම කියමු සින්දු.”
“නෑ රේණු අක්කෙ. අපි දැන් මේ තරුණ ජෝඩුව එක්ක පොඩ්ඩක් කතා කරලා ඒ දෙන්නට දෙමු සින්දුවක් කියන්න අවස්ථාව. කැමතියි නේද ඔය දෙන්නා.”
“කැමතියි අක්කෙ, අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නෙ. මෙයා නර්තනය විශේෂ උපාධිය කරන්නෙ මම සංගීතය.”
“හා එහෙනම් වැඩේ හරි, කොල්ලා සින්දු කියනවා කෙල්ල නටනවා. මායි මේ අක්කයි තෝරලා දෙන්නම් සින්දු.”
“අනේ අක්කෙ, මට මෙතන නටන්න නං බැහැ. මන් මෙයාගෙ සින්දුවට හවුල් වෙන්නම්. ඊට ඉස්සෙල්ලා අපට කියන්ඩකො අක්කලා දෙන්න කවුද මොනවද කරන්නෙ කොහෙද මේ යන්නෙ කියලා.”
“නංගි, මම නාගොල්ලාගම ඉස්කෝලෙ ගුරුවරියක්. මේ තමයි මගෙ විදුහල්පතිතුමිය. අපි මේ යන්නෙ ජපුරෙ සහන් සර් හම්බ වෙන්ඩ, සර්ගෙ වැඩකට උදව් වෙන්න.”
“අනේ මැඩම් අනේ මිස්, අපට සමා වෙන්න.”
“මේ මොකට ද අනේ ඔයගොල්ලො අපෙන් සමාව ඉල්ලන්නෙ. ඔයගොල්ලො අපට වරදක් කළේ නැහැනෙ.”
“ඇයි මිස් ඇයි මැඩම් අපි ඔය දෙන්නට කතා කළේ අක්කෙ කියලනෙ.”
“ඉතින් ළමයො, ඒක වරදක් ද මම විදුහල්පතිනිය වෙන්නෙත් මේ අක්කා ගුරුවරිය වෙන්නෙත් නාගොල්ලාගම ඉස්කෝලෙට මිසක් මේ කෝච්චියට නං නෙමෙයි. හැබැයි ඔය ගොල්ලො හිතනවනං අපිට හිතෙනවා ඒකට දඬ`ුවමක් දෙන්න.”
“මොකක් ද මැඩම් ඒ දඬුවම.”
“ඔන්න ආයෙත් පටන් ගත්තා මැඩම් ගාන්න. අපිටත් තිබුණා සරසවි ජීවිතයක්. ඔයගොල්ලන් දකින කොට අපට මතක් වෙන්නෙ අපේ ඒ අතීතය. ඒක නෙමෙයි ඔය දෙන්නම සෞන්දර්ය ශිෂ්‍යයොනෙ. ඔය දෙන්නගෙ මොකක් ද හැඟීම හැත්තෑවෙ දසකෙ ගීත ගැන.”
“අනේ අක්කෙ, ඒ යුගයෙ ගීතවලට මේ යුගයට අයිති කරලා තියෙන අපිත් කැමතිනෙ. මෙයා තමයි අක්කෙ සෞන්දර්යෙ ශිෂ්‍ය කණ්ඩායම අතර ඉන්න ගුරුප්රිය ශිෂ්යප්රිය ගායකයා.”
“තිදසි, ඔයා ඔහොම මාව වර්ණනා කරනවනං මම කියනවා ඔයා ගැනත්.”
“අන්න හරි ඒක හොඳයි. හොඳයි කියමු බලන්න අපේ මේ පුංචි සහෝදරී ගැනත් යමක්.”
“අක්කෙ, මෙයා දක්ෂ නළඟනක්. මට වැඩේ වැරදුනෙත් මෙයාගෙ නැටුමක් බලලනෙ.”
“එහෙනං මම කියනවා අපි හම්බ වෙච්ච හැටිත්.”
“ඒ මොකක් ද ඒ මොකක් ද?”
“අක්කෙ, ඒ අපේ දෙවෙනි අවුරුද්ද. එදා මෙයා අපේ අවුරුද්දෙම මියුසික් කරන මිතුරියක් එක්ක සින්දුවක් කිව්වා.”
“ඒ සින්දුවට ඔයා නැටුවා එහෙම ද?”
“අක්කා කොහොම ද දන්නෙ ඒක. හරියට ඒ වෙලේ එතන හිටිය වගේනෙ කිව්වෙ.”
“නංගි දැනුම ලබාගන්න ක්‍රම තුනක් ගැන කියනවනෙ තර්කශාස්ත්රෙ ප්රත්යක්ෂ, අනුමාන සහ ප්‍රහාණ කියලා. මෙතෙන්දි මම අනුමාන මෙතඩ් එක පාවිච්චි කළා.”
“ඔව් අක්කෙ, ඔයාගෙ අනුමානෙ හරි. මම අපේ අවුරුද්දෙ මයුරිත් එක්කයි ඒ සින්දුව කිව්වෙ. ඒක එම්. එස්. ප්රනාන්දුයි රන්ජනී පෙරේරයි කියන ලස්සන ගීතයක්. අපි ඒ සින්දුව කියන කොට උන්මාදනීය රංගනය කළේ මෙයයි, අපේ අවුරුද්දෙ මියුරංගයි.”
“ඒ කියන්නෙ සුනිල් විමලවීර මහත්තය ලියලා රොක්සාමි මාස්ටර් සංගීතවත් කරපු ඔබගෙ රුව මාගෙමයි ගීතය.”
“ඔව් අක්කෙ, අවසාන ප්‍රතිඵලය උනේ මම මෙයා එක්කත් මාත් එක්ක සින්දු කියපු සයුරි මියුරංග එක්කත් යාළු වෙන එක.”
“හරි දැන් අපි කියමු ද ඒ ගීතය.”
“අනේ අක්කෙ, දැන් තවත් කට්ටිය ඉන්නවනෙ මේ කෝච්චි පේට්ටියෙ.”
“නෑ අපිත් හොඳ ගීත ශ්‍රාවකයො, මොකද වෙන්නෙ අපිත් එහෙම ඇහැව්වට.”
ඒ වනවිට දුම්රිය මැදිරියේ සිටි මගී පර්ෂදයෙන් නැගුණු ශ්‍රාවක පර්ෂද ප්‍රතිචාරය යි, ඒ.
“හරි දැන් ඔක්කොම හරි. අර ගීතයම වෙන්න ඕනෙ නැහැ. ඔයගොල්ල කැමති ගීතයක් කියන්න, ඒ ගීතය ගැන හැඳින්වීමකුත් කරලා. හැබැයි දෙන්න එක්ක කියන්න ඕනෙ අර වගෙ යුග ගී’යක්ම තමයි.”
“අක්කෙ, මේ ගීතය මුලින්ම කියලා තියෙන්නෙ ධර්මදාස ලතා වල්පොල දෙන්නා. ඔය ගීතය ලිව්වෙ කරුණාරත්න අබේසේකරයි. සංගීතවත් කළේ පැට්රික් දෙනිපිටිය කියන සංගීතඥයයි කියන වචන ටික කියලා, ඒ වගෙම ඕක 1967 තිරගත වෙච්ච සැඟවුණු මැණික කියන චිත්රපටියෙයි එන්නෙ කියන චවන ටිකත් කියලා අපට ගීතය ගායනා කරලා පෙන්නුවෙ පනාපිටිය සර්.”
දුම්රිය මැදිරිගත ශ්‍රාවක පර්ෂදය සාවධානව සිටියදී සරසවි මාණවක යුග්මයේ ලයාන්විත දෙහඬ ය, මෙසේ සවන් පත් වෙත ගලා ආවේ.
පිපිලා හද විලේ සුදු සුමුදු සුදු ලෙළේ
සෝබන අඹර තලේ පායන තරිඳු දිලේ
නලවැල් සොරුන්නෙ කොඳුරා කියන්නේ සංසාරෙ මා දන්න ගී තාලයයි
ඇළ දොළ සිඹලා විහිදී ගලන්නේ ඈත පටන් ආ සුවඳයි
දෑසේ උදාවී තෙරපී නටන්නේ සිහිනෙන් ද මා සෙව්ව ආලෝකයයි
සිසිලස සෙවණේ අද මා විඳින්නේ කාලෙක සිට හුරු සුවයයි.
“මල්ලියි නංගියි දෙන්න දන්නවනෙ, ඔය ගීතයෙ පසුබිම ගැනත්. ඔයගොල්ලන් විශ්වවිද්‍යාලෙදි හැත්තෑවෙ දසකෙ ගීත ගැනත් අධ්‍යයනය කරනව ද?”
“අපේ පාඨමාලාවල නැති උනාට අපේ පනාපිටිය සර්, කෝලිත සර්, රන්ජන් සර් ඉඩ ලැබෙන වෙලාවට අපිත් එක්ක ඔය ගීත ගැන කියලා අපට ගායනා කරලත් පෙන්නනවා. අපිටත් මේවා ගැන කැමැත්තක් ආවෙ ඒ නිසයි.”
“ඩාන්සින් කරන මටත් හම්බ උනා එහෙම ගුරුවරු. අපේ නර්තන පීඨාධිපති වෙලා හිටපු සමන් කුමාරතුංග සර් ගැන මට කියන්න තියෙන්නෙත් මෙයා එයාගෙ සර්ලා ගැන කිව්ව දේට සමාන දෙයක්. සර් තමයි ගීතයයි නර්තනයයි අතර තියෙන වෙන් කරන්න බැරි සම්බන්ධෙ අපට උදාහරණත් එක්කම කියල දුන්නෙ.”
“මන් අහල තියෙනව නංගි ඒ සර් ගැන. එතුමා මහාචාර්යවරයෙක් නේද?”
“ඔව් අක්කෙ, ශිෂ්‍යයන්ගෙ හද රිද්මය හරි හැටි අඳුනගත්ත සර් කෙනෙකුට තමයි මහාචාර්ය සමන් කුමාරතුංග කියල කියන්නෙ.”
“මේ අපි කතා කරන ගීත කියන්නෙ, ඔයගොල්ලන්ගෙ අපේ කාගෙත් අම්මල තාත්තලගෙ තරුණ කාලෙ රසවත් කරපු අර්ථවත් කරපු ගීත නේද?”
“අක්කෙ, මේ වගෙ ගීතවලට අපේ අම්මල තාත්තලා විතරක් නෙමෙයි ඒ ගොල්ලන්ගෙ අම්ම තාත්තලත් කැමතියි.”
“ඒක නිසා තමයි නංගි, මේවා අකාලික ගීත වෙන්නෙ. බලන්න දැන් ඔයාගෙන්ම කියැවෙච්ච දේට අනුව මේ ගීත පරම්පරා තුනක් ස්පර්ශ කරනවා.”
දුම්රියේ සිටි මගී ශ්‍රාවක පර්ෂදය කෙළේ රේණුගේ එවදන් හිස සලා අනුමත කිරීම ය.
“අක්කලා දෙන්න යනවා කිව්වෙ සර් කෙනෙක්ගෙ වැඩකට කිව්ව නේද, මොකක් හරි සාහිත්‍ය වැඩක් ද අක්කෙ ඒ?”
“ඔව් සාහිත්‍ය වැඩක් කිව්වට වැරදි නැහැ නේද මිහිදිනී. අපි සර්ගෙන් අදහස් අරන් පොතක් ලියනවා.”
“එතකොට අක්කල දෙන්නගෙ විෂය.”
“අපි දෙන්නම උපාධියට කළේ ඉංග්‍රීසි සාහිත්‍යය. ඒ උනාට අපි දෙන්නගෙ ඇඟේ වගෙම හිතේ වැඩිපුර තියෙන්නෙ සිංහල සාහිත්‍යය.”
“ඔන්න අපිට වෙන් වෙන්න වෙලාව ඇවිත්. ඊළඟ ඉස්ටේසම කොටුව. අක්කෙ අපි දෙන්නම කුරුණෑගල ගම් දෙකක අය. මෙයා ගණේවත්තෙ මන් හිරිපිටියෙ. අපි කොයි වෙලාවක හරි එනවා අක්කල දෙන්න බලලා යන්න නාගොල්ලාගම සෙන්ට්‍රල් එකට. හැබැයි එදාට නං කියන්නෙ අක්කෙ කියල නෙමෙයි මැඩම් - මිස් කියලා.”
“කතා කරන විදිහ අපි එදාට බලාගම්මුකො. ඔන්න එන්න එන්න, අපි ඔය දෙන්නම බොහොම ආදරයෙන් පිළිගන්නව එදාට. දෙන්නගෙම අධ්‍යාපන අරමුණු වගෙම ජීවන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලත් අපි දෙන්න වෙනුවෙන් ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ආයෙ හමුවෙමු නංගියෙ, මල්ලියෙ.”
රේණු එසේ පවසා සූදානම් කොට ගත්තේ සිය සැහැල්ලු ගමන් බෑගය යි. මිහිදිනී ද සිය මිතුරිය අනුගමනය කළා ය.
දුම්රියෙන් බට දෙමිතුරියෝ අනතුරුව මහරගම බලා දිවෙන 138 බස්රියකට ගොඩ වූහ.
“අපි නංගි මහරගමින් තේ ටිකක් බීලා ත්‍රීවීලර් එකක යමු සර්ලගෙ ගෙදර.”
“හැබැයි අපිට ගිය ගමන් මැඩම්ගෙනුත් තේකක් හම්බ වෙනවනෙ.”
“ඒක මම දන්නව බන්. තේ විතරක් නෙමෙයි දවල් කෑමත් හම්බ වෙන බව මන් දන්නවා. ඒ උනාට කඩේකින් තේකක් බොන එකේ තියෙන්නෙ වෙනම ගතියක්.”
“අක්කෙ, ඔයා විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙදිත් මෙහෙම කඩවලට ගිහින් තේ බොනව ද?”
“තේ බොනව ද කියලා විතරක් කිව්වොත් වැරදියි. ඔය වඩේ හරි ලැවරිය හරි මොනවා හරි කාලම තමයි තේ බොන්නෙ. ඔයා දන්නව ද වැඩක්. දවසක් මම අපේ ඉයර්රෙකේ කොල්ලෙකුයි කෙල්ලො දෙන්නකුයි එක්ක තේ බොනවා කැලණිය කැම්පස් එකෙන් එළියෙ තියෙන තැනකට ගිහිල්ල. එහෙම ඉන්දැද්දි ආවෙ නැද්ද ඒ හෝටලේට අපේ මැණික් මැඩම්. ඒ තේ නං නෙමෙයි. ඒ හෝටලේ ග්‍රොසරි බඩුත් තියෙන තැනක්. මැඩම් බිස්කටුයි තව මොනව හරි ගත්තා. ඊට පස්සෙ දැක්ක නේද අපිව. යන ගමන් අපි ළඟට ආවා. අපි කට්ටියම නැගිට්ටා. අපි කොහොමත් මැඩම්ට ආදරෙයි. කිසිම අහංකාරකමක් නැති කෙනෙක්. මැඩම් හිනාවෙලා කියනවා ඔහොම කඩේකට ඇවිල්ල තේ බොන එකෙත් අමුතුම ගතියක් තියෙනවා නේද කියලා.”
“මම මැණික් මැඩම්ව එකම එක දවසක් දැකලා තියෙනවා. මහපොළොවෙ පය ගහගෙන ඉන්න ගැණු මිනිස්සු බොහොම සරලව වගෙම සුන්දරව ජීවිතය විඳිනව අක්කෙ.”
“ඔයා දන්නව ද සංස්කෘත අධ්‍යයනාංශෙ උගන්නන ධම්මරතන ලොකු හාමුදුරුවො මැඩම්ගෙ අවසාන කටයුතු කරන දවස කියපු වචන ටික.”
“නැහැ අක්කෙ හාමුදුරුවො මොකක් ද කිව්වෙ?”
“උන් වහන්සෙ කිව්වෙ අපට මැණික් වෙන්නෙ රත්නපුරේ තියෙන මැණික් මැඩම් කියන කැලණිය සරසවියට අයිති මැණික කියලයි.”
“හොඳ ගෑනු මිනිස්සු හරි ඉක්මනට අපට ලෝකෙට අහිමි වෙනව නේද අක්කෙ.”
යටකී තේ පානයෙන් පසු ත්‍රිරෝද රථයකට ගොඩ වූ දෙමිතුරියෝ කෙටි කාලයක් ඇතුළත සහන් ආචාර්යවරයාගේ නිවහනට ළඟාවූහ. මහදාදරයෙන් ඒ දෙදෙනා පිළිගන්නා ලද්දේ ආචාර්ය පතිනිය විසිනි.
“එන්න එන්න දෙන්නම. ඔය සෙරෙප්පපු ගලවන්න ඕනෙ නෑ ළමයිනෙ. මේක පන්සලක් නෙමෙයි. අන්න සර්රුත් ඔයගොල්ල එනකන් බලන් ඉන්නවා. ඉන්න මම ඔයගොල්ලන්ට තේ බොන්න මොනවත් ලැස්ති කරන්නං.”
“තේනං නැතුවත් කමක් නෑ මැඩම් අපට දවල්ට මොනවා හරි....”
රේණුට සිය වාක්‍යය සම්පූර්ණ කිරීමට නොලැබුණේ ආචාර්ය පතිනිය එහි පූරණය මෙසේ සිදු කළ බැවිනි.
“හරි හරි මොනවා හරි නෙමෙයි දෙන්නටම දවල්ට කෑම දෙනවා. හැබැයි ජාති තුනක් එක්ක කහබතක්. ඒ කියන්නෙ සීනිසම්බලයක් පරිප්පු මාළුවක් අල බැඳුමක් එක්ක කහබත්.”
“මරු මැඩම් මරු.”
“මිහිදිනී දුවගෙ මේ අක්ක හරි ෂෝක්නෙ. මම අහල තිබ්බට අදනෙ දැක්කෙ රේණුව. මම හරිම කැමතියි මෙහෙම අව්‍යාජ විදිහට කතා කරන එකට. බැලූ බැල්මට නම් විදුහල්පතිනියක් කියලා කියන්නත් බැහැ. මට පේන්නෙ මහ දඟ යුනිවසිටි කෙල්ලක් විදිහට.”
“අනේ මැඩම්, දැන් මෙතන මෙහෙම හිටියට ඉස්කෝලෙදි හරිම සීරියස්. ඒ සීරියස් බැල්ම ළමයින්ට විතරක් නෙමෙයි වෙලාවකට අපිටත් දානවා. ඒ වගෙම ඉස්කෝලෙ වැඩ හරියට කෙරෙනව ද බලන්න දවසකට සැරයක් දෙකක් ඉස්කෝලෙ වටේ පන්තියක් ගානෙ වටයක් යනවා. ඒකනං මේ රේණු අක්කා ඉගෙන ගත්තෙ අපේ හිටපු විදුහල්පතිතුමාගෙන්.”
“ඒ කියන්නෙ මේ හොඳ විදුහල්පතිනියක්. අපිට පොඩි කෙල්ලෙක් වගේ පෙනුණට.”
“අපේ මේ රේණු අක්කව පොඩි කෙල්ලක් වගේ පේන තවත් අය ඉන්නව මැඩම්.”
“ඒ කවුද අප්පච්චියෙ.
“ඇයි මැඩම් අර අපේ ගඟුල්ගෙ අ...””
මිහිදිනියට එය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුණේ රේණු වහා විත් මිහිදිනියගේ කට මිරිකාගත් බැවිනි.
මේ මොහොතේ සිනාසෙමින් ආචාර්ය පතිනිය පැවසුවේ පහත සඳහන් වචන කිහිපය යි.
“අපරාදෙ කියන්න බැහැ විපුල් කියන්නෙත් හරිම හොඳ කොල්ලෙක්.”
“ඒක ඇත්ත විපුල් අය්ය නං හරිම හොඳ කෙනෙක් තමයි. ඒ උනාට මේ...”
මිහිදිනී ඉතිරි කොටස සම්පූර්ණ නොකෙළේ ඒ වන විට රේණු, ගුරුපතිනියට නොපෙනෙන සේ ඒ මොහොතේ ඇයට තර්ජනාංගුලිය පෙන්වා සිටි බැවිනි.
“අන්න එනවා ඔයගොල්ලන්ගෙ සර්, දැන් පටන් ගන්න පුළුවන් සාහිත්‍ය සාකච්ඡාව. දැන් මම ඔය දෙන්නට තේ ගේනවා. එතන ඉඳලා පැයක් යනකොට ඔයගොල්ලන්ට පුළුවන් දවල් කෑම කන්න.”
“මැඩම් ඒකට අපෙන් උදව්වක් එපා ද?”
“නෑ නෑ ඔය වැඩෙයි මේ මොහොතෙ වැදගත්. රාණිටයි නංගිටයි මටයි පුළුවන් ඒ පැත්ත බලා ගන්න.”
තේ පානයෙන් පසු සංකථනය ඇරඹිණ. ප්‍රවේශය ගත්තේ සහන් ය.
“ඔය දෙන්න 87 දිනපොත් අධ්‍යයනය කරන්න ගත්ත කියන එකත් මගෙ හතරවෙනි අත් පිටපත අධ්‍යයනය කරන්න ගන්නවා කියන එකත් මට ගඟුල් කිව්වා. දැන් ඔයගොල්ලොම මට කියන්න, අද පටන් ගන්න තැන.”
“සර්, අපි 87 භාෂා තුනට අයිති දිනපොත් තුනේ ම මුල් මාස දෙකට අයිති කොටස් අධ්‍යයනය කළා. දැන් අපි සිංහල දිනපොතේ මාර්තු අප්‍රේල් දින සටහන්වලට යමු ද?”
“සර්, මාර්තු මුල තියෙන්නෙ තාගෝර්තුමාගෙ කාලිදාස කවියගෙ ඇන්ටන් චෙකෝෆ්ගෙ ප්‍රකාශ. ඊට පස්සෙ මාර්තු හතර දින සටහනේ විද්‍යාරත්නෙ උගන්නපු ලත්පඳුරෙ රාහුල හාමුදුරුවො අදිකාරම්තුමා ගැන කරපු ලස්සන ප්‍රකාශයක් තියෙනවා. සර් මම කියවන්නං ඒක.”
අදිකාරම්තුමාගෙ හිනාවේත් වෙනත් බොහෝ දෙනාගේ සිනාවලත් ලොකු වෙනසක් තියෙනවා. බොහෝ දෙනා හිනා වෙන්නෙ සිනා නොවිය යුතු දෙයටයි. ඒත් අදිකාරම්තුමා හිනා උනේ හිනා වෙන්න ඕනෙ තැනදීයි.
“සර්, මාර්තු 22 දින සටහනේ තියෙනවා තෝමස් හාඩිගෙ වදරින් හයිට්ස් පොතට රු. පෙ. විජේසිංහ කළ සිංහල පරිවර්තනයෙන් ගත් උද්ධෘතයක්. ඒක වර්තමාන යුගයෙ අප අද්දකින තත්ත්වවලටත් සම්බන්ධයි.”
“ඒ මොකක් ද රේණු, කියවන්න බලන්න අපටත් ඇහෙන්න.”
මිනිසාට නොගැළපෙන ගැහැනියත් ගැහැනියට නොගැළපෙන මිනිසාත් එකට එක් කිරීමේ ඇති සාධාරණත්වය කුමක් ද? අවුරුදු දහස් ගණනක් තිස්සෙ දියුණු වෙමින් ආ දර්ශනවාදය පවා මීට පිළිතුරු දීමෙහි ලා අසමත් ව ඇත.
“මේක බොහෝ දෙනා සම්බන්ධයෙන් ඇත්තක් උනත් ඔය දෙන්නා සම්බන්ධයෙන් නම් ඇත්තක් වෙන්නෙ නැහැ. මොකද මම දන්න තරමින් ඔය දෙන්නට නම් ලැබිල තියෙන්නෙ හැම අතින්ම ගැළපෙන ඒ වගෙම සාධාරණ දෙන්නෙක් නිසා.”
සහන් එවදන් පැවසුවේ රේණු සහ මිහිදිනී දෙස බලා සිනා වෙමිනි.
යුවතියන් දෙදෙනා ම නිහඬ ව සිටින විට යළිත් කතා කෙළේ සහන් ය.
“රේණු - මිහිදිනී, මම කතා කළේ ඇත්ත. ඔය දෙන්නගෙ හිත්වල ඉන්න දෙන්න කියන්නෙ සැබෑ ආදරය අඳුනන දෙන්නෙක්. ක්‍රිෂ්ණජී කියන හැටියට ඇත්ත ආදරය හැම දෙනා වෙතම විහිද යන රෝසමල් සුවඳක් වගෙයි. හරියටම ඉර තමන්ගෙ කිරණ විහිද යන්නෙ කොතැනට ද කියන එක ගැන සැලකිලිමත් වෙන්නෙ නැහැ. ඒ වගෙම සැබෑ ආදරය, බිරිඳ ස්වාමියා පුතා දුව අම්මා තාත්තා කියන සීමා අඳුනන්නෙත් නැහැ කියලයි ක්‍රිෂ්ණජී කියන්නෙ. ඔය දෙන්නා දිනාගෙන තියෙන්නෙ එහෙම විසල් හිත් දෙකක්. ඒ අය්යා මල්ලි දෙන්න කියන්නෙ මගෙ ජීවිත කාලෙදි මට හමු වෙච්ච හැබෑ ආදරවන්තයො දෙන්නෙක්.”
“සර්, ඒක නෙමෙයි අපි මේ පොතට දාන නම මොකක් ද?”
“මිහිදිනී හෙමින්ම කතාව වෙනින් පැත්තකට හැරෙව්ව නේද? ඒ උනාට දුවේ අපිට ඔය මාතෘකාව කතා කරන්නම සිද්ද වෙන දවසක් එනවා. කමක් නෑ අපේ මේ මිහිදිනී මතු කරපු කාරණේ ගැන මොකද රේණු කියන්නෙ.”
“සර්, මට නං දැනටමත් නමක් හිතට ඇවිල්ලයි තියෙන්නෙ. අපි සර් මේ කරන්නෙ සර්ගේ ලේඛන පිටපත් වගෙම දින සටහන් අතර සැරි සරමින් වැඩියෙන්ම හිතට දැනෙන දේවල් මතු කිරීමනෙ. අපේ සර්ම කියනවනෙ තමන් ලියපු හැම දින සටහනක්ම හැම ලිපියක්ම එක විදිහට දැනෙන්නෙ නැහැ කියලා. ඒක නිසා මට හිතුණෙ දින සටහන් සහ ලිපි වියමන් අතර දුටු හද සටහන් ගැන කතා කරන්න.”
“අක්කෙ, ඔයාගෙ ඒ නමින් අපි කරන්න යන වැඩේ හොඳටම පැහැදිලි වෙනවා. ඒත් අපේ මාරසිංහ සර් කියන හැටියටත් පොතක නම කෙටි වෙන්නත් ඕනෙ, නම දැක්ක ගමන්ම පාඨකයන්ට අන්තර්ගතය ගැන හැඟීමක් ඇති වෙන්නත් ඕනෙ. මේ නමින් ඒකෙ අන්තර්ගතය ගැන ඉතාම පැහැදිලි හැඟීමක් එනවා කියන එක ඇත්ත. ඒත් මේ නම ටිකක් දිග වැඩි නැද්ද?”
“එහෙනං ඔය පොතට ගැළපෙන්නෙ හද සටහන් කියන නම. ඒ ගැන ටිකක් හිතල බලන්න, හැබැයි ඒ නම හැදීමේ සම්පූර්ණ ගෞරවය අයිති මේ රේණු දුවට.”
“සර්, මට හිතෙන්නෙත් මැඩම් කියන නම හොඳයි. අපේ රේණු අක්ක වෙන විශේෂණ වචන මුලට අගට දැම්මට අක්කගෙ හිතේ හැදිච්ච නම හද සටහන් කියලයි මටත් හිතෙන්නෙ.”
“මටත් හිතෙනව ඒක හොඳයි කියලා හැබැයි අවසාන තීරණේ ගන්න ඕන මේ කතුවරියො දෙන්නම තමයි. හොඳයි දැන් අපි යමු ද ඔය සිංහල දිනපොතේ අප්‍රේල් මාසෙට.”
“එහෙනං මම කැමතියි, සර්ගෙ අප්‍රේල් 03 දින සටහන ළඟ නතර වෙන්න. මගෙ කියවීමට අනුව ඒක මට හද සටහනක්. මම මතු කරලා ගන්න ද ඒ සටහන.”
එයට අනුමැතිය ලද පසු රේණු කෙළේ යටකී සටහන කියැවීම ය.
හුදෙකලාව සිටින විට ජීවිතය ගැන සිතන්නට අපි යොමු වෙමු. මරණය ගැන සිතන්නට අප යොමු වන්නේ අප හිතවත් කෙනෙකු මියගිය බව දැනගත් විටයි. ඊයේ රැයේ මම හදිසියේ නින්දෙන් අවදි වුණා. අප හා එකට සිට අපෙන් ද ජීවිතයෙන් ද සමුගත් හිතවතුන් සිහි වන්නට ගත්තා. ඇත්තෙන්ම අපට ජීවත් වීමට ඇත්තේ කෙතරම් කෙටි කාලයක් ද, මනුෂ්‍යයා මෙය තේරුම් ගැනීමත් සමග ඔහු ලෝකය සමග පවත්වන සම්බන්ධතාවල ස්වරුපයේ විසල් වෙනසක් සිදු වනු ඇත. තදවබෝධය මනුෂ්‍යයා වෙන් කරන්නට නොව එකතු කරන්නට හේතු වෙයි. කිසිම කෙනෙකුට මරණය ජයගත නොහැකියි. අප එකිනෙකා අබිබවා යන්නට වෑයම් කරන්නේත් සමාජ තත්ත්ව ලබා ගැන්මට වෑයම් කරන්නේත් එකිනෙකා සමග කලහ කරන්නේත් ජීවත් වන මේ කෙටි කාලයට ද? අප තුළ තරගකාරී බව ඇති තාක් අපට ලෝකයේ සුන්දරත්වය දැකිය හැකි නොවේ; විඳිය හැකි ද නොවේ. මෙය අමුතු දාර්ශනික චින්තාවක් නොව සිතන කාට වුව පැහැදිලි ව වැටහෙන සත්‍යයකි.
“සර්, මේ වගෙ සටහන් දිගින් දිගටම තියෙනවනෙ මේකෙ.”
“ඉතින් රේණු දුවම නේද කිව්වෙ හැම සටහනක්ම එක විදිහට දැනෙන්නෙ නැහැ කියලා.”
“ඒ උනාට මට හිතෙනව මෙහෙම. දැන් සර් අරන් තියෙනවා ආචාර්ය සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන්ගෙ පොතේ තියෙන ප්‍රකාශ. මම ඒ පොතින් උද්ධෘත නොගත්තත් ඒ පොතේ නම සඳහන් කළේ කැමති කෙනෙකුට ඒකට යොමු වෙන්න.”
“ආ අන්න ඒක හොඳ අදහසක්. ඒත් පුතේ දැන් ඔතනින් පොඩ්ඩක් නවත්තලා අපි යමු ද ඉංග්‍රීසි දිනපොතේ මාර්තු අප්‍රේල් මාස දෙකට. ගන්න මිහිදිනී දුව, ඒ දිනපොත අතට. දැන් ඉක්මන් කියවීමකට යන ගමන් දුව කියන්න අපි දෙන්න කරන්න ඕන දේ.”
“සර්, මේකෙ ක්‍රිෂ්ණජී ගැන වගෙම එතුමගෙ ප්‍රකාශත් තියෙනවා. අපි ඒ ප්‍රකාශ ගන්නෙ නැතුව අපේ පාඨක සහෘදයන්ට ආරාධනා කරමු, ඒවා තියෙන පොත් කියවන්න කියලා. ඛසෙැ සබ ත්රුැාදපල ඵැාසඒඑසදබිල ණරසියබ්පමරඑසි න්දමරබ්කල ඔයැ ත්කසටයඑ දෙ එයැ ෑ්ටකැල මේ ඒ පොත්වලින් කීපයක්.“
”සර්, සාමාන්‍යයෙන් අපි මෙඩිටේෂන් කියනව මිස මෙඩිටේෂන්ස් කියන්නැහැනෙ.“
”ඒ උනාට අක්කෙ, ෂේක්ස්පියර් වෝටර් කියන් නැතුව වෝටර්ස් කියපු තැන් තියෙනවා නේද?”
“රේණුගෙ ප්‍රශ්නෙට මිහිදිනී දුන්න උත්තරෙන් අපට ගන්න දෙයක් තියෙනවා. මොකද ක්‍රිෂ්ණජී මෙඩිටේෂන්ස් කියන වචනෙ පාවිචිචි කළේ භාවනා කියන වචනෙටත් ටිකක් එහාට ගිහින් භාවනාත්මක මනසක් තුළ හිඳිමින් කරන ආවර්ජනා මතු කරන්නයි. මෙහෙම කියල තියෙන්නෙ ක්‍රිෂ්ණජීගෙ පොත් කිහිපයක්ම සිංහලයට පරිවර්තනය කරපු අපේ ෆොන්සේකා සර්. එතුමා පාලි, සිංහල විතරක් නෙමෙයි සංස්කෘත, ඉංග්‍රීසි, ලතින් භාෂා ගැනත් දැනුමක් තිබිච්ච, අදිකාරම්තුමාගෙනුත් ඒ භාෂාවන් ඉගෙන ගන්න වාසනාවක් තිබිච්ච කෝට්ටෙ ආනන්ද ශාස්ත්‍රාලෙ ආදි ශිෂ්‍යයෙක්. විශ්‍රාම යන කාලෙ කොළඹ රෝයල් එකේ දරුවන්ට ඉංග්‍රීසි උගන්නපු ගුරුවරයා. හැබැයි එතුමා උගන්නපු ඉංග්රීසිවල ඒ භාෂා සාහිත්‍යයට එහා ගිය දර්ශනයක් තිබුණා. අපි දරුවනේ වෙන දවසක ඔය ගැන වෙනම සාකච්ඡාවකට යමු.”
“දැන් එහෙනං අපි සංස්කෘත දිනපොතට යමු. කෝකටත් සර්ම ගන්නකො මේ පොත අතට.”
මිහිදිනී දෝතින්ම ඒ පොත පිරි නැමුවේ සහන්ගේ දෝතටයි. ඒ සිනාසෙමින් මෙසේ ද පවසමිනි.
“හැබැයි සර් වැරදි අදහසක්නං ඇති කරගන්න එපා අපට සංස්කෘත තේරෙන්නෙ නැහැ කියලා. අපි මේ සර්ගෙ අත් අකුරු අපට කියව ගන්න බැරි නිසයි මේක සර්ටම දෙන්නෙ කියවන්න.”
සහන් සිනාසෙමින් සංස්කෘත දෛනික පුස්තකය අතට ගත් මොහොතේ ඉදිරිපස දොරටුව අසල ඇති විදුලි සීනුව නාද වනු ඇසිණ.
“දුව මිහිදිනී, ඔයා ගිහින් දොර අරින්න. ඔය ගඟුල්ලා වෙන්න ඕන. අපේ නෝනා කිව්වනෙ ඒ දෙන්නටම දවල් කෑමටත් එක්ක මෙහෙට එන්න කියලා.
සහන්ගේ නිගමනය නිවැරදි විය. පැමිණ සිටියේ ඒ සොහොයුරන් දෙදෙනා ය. මිහිදිනී ඒ දෙදෙනා පිළිගත්තේ මෙසේ පවසමිනි.
”අපේ මේ නිවහනට මේ තරුණ සහෝදරයන් දෙදෙනා මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් මම විපුල් අය්යට ඉතාම කණගාටුවෙන් දැනුම් දෙන්නේ පාසලේ රාජකාරි කටයුතු නිසා අපේ ගරු විදුහල්පතිතුමියට අද මෙහි ඒමට ඉඩ නොලැබුණු බව යි.”
විපුල්ගේ සුපසන් මුහුණ මත ශෝකී රේඛාවක් ඇදෙන ආකාරය නිරීක්ෂණය වූයේ ද මිහිදිනියටයි.
අනතුරුව ටික වෙලාවක් ඔවුනට සාලයේ පුටු මත හිඳ ගන්නැයි දැන්වූ මිහිදිනී, ඔවුන් වැඩ කළ සාකච්ඡා කුටියට පැමිණ පැවසුවේ විශේෂ කටයුත්තක් සඳහා විපුල්ට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යාමට සිදු ව ඇති නිසා ගඟුල් පමණක් පැමිණ සිටින බව යි. එසේ ම ඒ මොහොතේ රේණුගේ සුපසන් මුහුණේ ද යටකී ශෝකී රේඛාව ඇදෙන ආකාරය නිරීක්ෂණය වූයේ ද මිහිදිනියට යි.
“සර්, එකම කාලයක් තුළ දෙන්නෙක්ගෙ මුහුණුවල එකම හැඟීමක් සටහන් වෙන්න පුළුවන් ද?”
“ඔව්, ඔවුනොවුන් ගැන අන්‍යොන්‍ය ආදරයක් ,තියෙන දෙන්නෙක් අතර ඒක වෙන්න තියෙන ඉඩ වැඩියි.”
“එහෙනං වැඩේ හරියටම හරි.”
“මොකක් ද මිහිදිනී හරියටම හරි.”
“නෑ සර් මන් හිතපු දේ හරියටම හරි. කාරණේ හරියටම පැහැදිලි උනේ මට අද තමයි.”
මේ මොහොතේ මිහිදිනියගේ බාධාව නොතකා දෙසොයුරෝ සංකථන කුටියට අවතීර්ණ වූහ. එකම මොහොතක දෙවතක් ආලෝකවත් වනු පෙනිණ.
සෙමින් සෙමින් රේණු වෙතට සමීප වූ මිහිදිනී, ඇයට පමණක් ඇසෙන සේ මාණවිකාවිය, ඔබගේ හෘදය පුෂ්පය විකසිත වීද දැන් කියා ඇසුවේ රේණු මඳක් කුපිත කරවන අටියෙනි.
”හොඳයි නංගි, මටත් එයිනෙ වාරයක්. උඹට දෙන්නංකො එතකොට මම වැඩේ.“
මඳ සුහද සංකථනයකින් පසු පිරිස යළි ප්රස්තුත කාර්යයෙහි ලා ව්‍යාපෘත වූහ.
”අපේ රේණු කිව්ව හරි. මගෙ මේ 87 නං වැඩිපුර තියෙන්නෙ හද සටහන් නෙමෙයි විෂය සටහන්. මාර්තු 1 වෙනිදා තාගෝර්තුමාගෙ ප්‍රකාශයක් සංස්කෘතයට පරිවර්තනය කළාට පස්සෙ දිගටම තියෙන්නෙ ව්‍යාකරණ සටහන්. ඔන්න මාර්තු 31 නම් සමහර විට අපේ මේ රේණු හද සටහන් අතරට දාන්න පුළුවන් එක ප්‍රකාශයක් තියෙනවා. ඒක අපේ සිරිමතී රසාදරී සන්නිවේදිකාව ඒ කාලෙ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙචච් එයාගෙ සංගීතාඤ්ජලී වැඩ සටහනේදි කරපු ප්‍රකාශයකට මම කරපු සංස්කෘත පරිවර්තනයක්.“
”අනේ සර් ඒ දෙකම කියන්ඩකො අපටත් දැන ගන්න.“
සන්නරස්ය හෘදයං දේවානාං වාසස්ථානම්.
හොඳ මිනිසකුගේ හදවත දෙවියන්ගේ වාසස්ථානය යි.
”ඉතින් සර්, ඒ මාසෙටම මදෑ ඔය කියමන. කොහොම ද සර්, අප්‍රේල් මාසෙ සංස්කෘත දින සටහන්වල තත්ත්වෙ.“
”මිහිදිනී, මම අප්‍රේල් මැයි ජූනි කියන මාස තුනම එකට අරන් කතා කරන්නං. ඒවයෙ තියෙනව සාරස්වත ව්‍යාකරණය අධ්‍යයනය කරල ගත්ත සටහන්. ඊට පස්සෙ වේදාන්තසාර, භගවද්ගීතාව වගෙ පොත් කියවල ඒවයෙන් මතු කර ගත්ත අදහස්. ඒ වගෙම මම විද්‍යාරත්නෙ උගන්නන කාලෙ සංස්කෘතෙන් ලියපු පාඩම් සටහන් ගොඩකුත් තියෙනව ඒ අතර.“
”ඉතින් සර්, අපේ රේණු අක්කට ඕනෙ හද සටහන් ඇත්තෙම නැද්ද ඔය අතරෙ.”
“මගෙ පාඩම් සටහන් හරි, ව්‍යාකරණ සටහන් හරි හද සටහන් නොවුණට දුවේ වේදාන්තසාර - භගවද්ගීතා කියන්නෙම විශිෂ්ට හදවත් ලෝකයට දුන්න හද සටහන් තමයි. දැන් අපේ ගඟුල්ට ඒව ගැන කතා කරන්න තරම් ප්‍රමාණවත් සංස්කෘත දැනුමක් තියෙනවා. එයත් එක්ක එකතු වෙලා අනාගතේ දවසක ඒ ගැන සාකච්ඡාවකට යමු. දැන් අපි ඊළඟට මොකද කරන්නෙ.”
“සර්, අපි 87 සංස්කෘත දිනපොතේ වැඩ ඉවර කරල ඉමු. මොකද සිංහල - ඉංග්‍රිසි දිනපොත් දෙක රේණු අක්කටයි මටයි පුළුවන්නෙ අධ්‍යයනය කරන්න. දැන් සර් ඉන්න වෙලාවෙ අපි ඔය පොතේ ඉස්සරහට යමු.”
“මම ජූලි මාස 1 වෙනිදා දින සටහන පටන් ගන්නෙ ආත්මා වීතරාගීස්වරේණ ගීතානි ගායතේ කියන වාක්‍යයෙන්. සාමාන්‍යයෙන් ටිකක් සිංහල දන්න කාට උනත් තේරෙනවනෙ. මේ කියන්නේ සී. එච්. ආත්මා කියන භාරතීය විශිෂ්ට ගායකයා වීතරාගී ස්වරයකින් ගීත ගායනා කරනව කියන එකයි. ඔයගොල්ල තවදුරටත් ආත්මගෙ ගීත අහලම මගෙ ප්‍රකාශෙ හරිද වැරදිද කියන නිගමනේට එන්න. මේ මාසෙ පුරාත් වැඩිපුර තියෙන්නෙ ව්‍යාකරණ සටහන්. ඔන්න ලස්සන අර්ථයක් තියෙන හද සටහනක් හම්බ වෙනවා ජූලි 24 වෙනිදා. හැබැයි ඒක මම ලියපු එකක් නෙමෙයි ප්‍රචලිත සංස්කෘත පද්‍යයක්.”
“කියන්ඩ සර්, ඒක අපේ මේ පොතට අපට පුළුවන් ඒක ඇතුල් කරන්න.”
“මේකෙන් කියන්නෙ මහාත්ම ගුණ තියෙන අයගෙ හිතේ, වචනෙ වගෙම ක්‍රියාවෙ තියෙන්නෙ එකම විදිහක් කියන එක. අදාළ පද්‍යයත් ඕනෙ ද ඔය ගොල්ලන්ට.”
“ආයෙ නැතුව. අපි මේ සර් ඒක කියනකන් ඉන්නෙ ලියා ගන්න.”
“එහෙනං ඉතින් ලියා ගන්ඩකො.
යථා චිත්තං තථා වාචෝ - යථා වාචස්තථා ක්‍රියාඃ
චිත්තේ වාචි ක්රියායාඤ්ච - මහතාමේකරුපතා
ඊට පස්සෙ අගෝස්තු අග වෙනකන් ව්‍යාකරණ සටහන්. අතරින් පතර සංස්කෘත පද්‍යයක් දෙකක් හින්දී ගීතයක් දෙකක් නාගරී අකුරින් ලියල තියෙනවා. පස්සෙ දවසක ඒව මතු කිරීමත් ගඟුල්ට බාරයි.”
“සර්, ඊළඟ මාස ගැන කොහොම ද?”
“ඒ ගැන කියන්න තියෙන්නෙත් එම කියල තමයි. මොකද ඒකෙත් ව්‍යාකරණ සටහන් වැඩි වශයෙන් ද සංස්කෘත පද්‍ය උපුටන අඩු වශයෙන් ද තියෙන නිසයි මම එහෙම කියන්නෙ.”
“මොකක් ද සර් නොවැම්බර් මාසෙ ගැන කියන්න තියෙන්නෙ.”
“ඒකෙනං ශංකරාචාර්යතුමන්ගෙ දර්ශනය අධ්‍යයනය කරල ගත්ත යම් යම් සටහන්. ඒකත් ඉතින් මේ....”
එසේ කියා සහන් බැලුවේ ගඟුල් දෙස ය.
“ඒ වගෙම අශ්වඝෝෂ හාමුදුරුවන්ගෙ මහාකාව්‍ය, භර්තෘහරිගෙ ශතක තුන හදාරල ගත්ත සටහන් තියෙනවා නොවැම්බර් - දෙසැම්බර් මාස දෙකේ. ඔය පොත්වල ඉංග්‍රීසි පරිවර්තන විතරක් නෙමෙයි සිංහල පරිවර්තනත් තියෙනව මේ වෙන කොට. ඒක නිසා අපි ඒවා ගැන සාකච්ඡාවකට යන්න අවශ්‍ය නැහැ. මම දෙසැම්බර් මාසෙ සටහන් ලියලා තියෙන්නෙ ලාපාට තීන්ත තියෙන පෑනකින්. ලියපු මටවත් ඒවා කියව ගන්න බැහැ. ඒක නිසා අපි 87 සංස්කෘත දිනපොතට විරාමයක් දීලා ඒ අවුරුද්දෙම සිංහල - ඉංග්‍රීසි දිනපොත් දෙකේ කතා කරපු නැති තැන්වලට යමු.”
“එහෙනං මිහිදිනී දුව ගන්න ඉංග්‍රීසි දිනපොත අතට. දුව, ඔයා කිව්ව නේද මේ රේණු දුවත් එක්ක ඔය පොතෙන් කොටසක් ගැන සාකච්ඡා කළා කියලා.”
“ඔව් සර්, අපි දෙන්න ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වා තියෙන ඉංග්‍රීසි දිනසටහන් අධ්‍යයනය කළා. දැන් අපි එතන ඉඳල ඉස්සරහට යමු.”
සහන්ගේ ප්‍රශ්නයට එසේ පිළිතුරු දුන්නේ රේණු ය.
“සර්, මැයි ජූනි මාස දෙකේ සර් වැඩියෙන්ම කෝට් කරල තියෙන්නෙ ක්රිෂ්ණජීව. මේකෙ ජූනි 07 තියෙන එතුමාගෙ එක සටහනක් ළඟ මගෙ ඇහැයි හිතයි නතර උනා. සර්, ක්‍රිෂ්ණජී කියනවනෙ බලය කියන දේ හැම තිස්සෙම නරකයි කියල. ඒ නරක - ඒ අයහපත සමාජය දූෂණය කරනව කියලා.”
“ඒ ප්‍රකාශෙ කියවන්න මිහිදිනී.”
ඡදඇර සි ්කඅ්හි ැඩසක ්බා සඑ සි එයසි ැඩසක එය්එ ජදමරරචඑි ිදජසැඑහග
“ඒක ඇත්ත සර්, අපි හොඳයිම කියල හිතාගෙන හිටපු අයත් බලය ලැබුවට පස්සෙ වෙනස් වෙන හැටි අපි අපේ ජීවිතයෙන් අත්වින්ද දෙයක්.”
“ඒක නිසා නේද රේණු, බුදුන් වහන්සේ බලය අතහැරියෙ. රේණුටත් විදුහල්පතිනියක් හැටියට තමා ඉදිරියෙ යම් බලයක් තියෙනවා. මම ඔයාට කියන්නෙ ඒ බලය අතහරින්න නෙමෙයි. ඒක දිගින් දිගටම නිවැරදි තැන පිහිටුවන එක තමයි ඔයා කරන්න ඕනෙ. මේක බුද්ධ චරිතයට නෙමෙයි, අපට අදාළ කරගෙන කතා කළොත් මට හිතෙන හැටියට හොඳ මනුස්සයෙක් හරි, ගැහැනියක් බලය අතහරින එක එක අතකට ගත්තහම සමාජ අපරාධයක් වෙන්නත් පුළුවන්. මොකද හොඳ කෙනා බලය අත හැරියට පස්සෙ ඒක යන්නෙ නරක අතකට නං ඒක අපරාධයක්.”
“සර් කියන දේ මට හොඳටම තේරෙනවා. සර් ජූනි මාසෙ 16 ඉඳලා 21 දක්වා අරන් තියෙන ක්‍රිෂ්ණජීගෙ සටහන් රතුපාටින් සලකුණු කරල ාතියෙනවා. නංගි, අපි දෙන්න ඒ තැන්වලට පස්සෙ අපේ විශේෂ අවධානය යොමු කරල ඒවයෙන් අවශ්‍ය උපුටා ගැනීම් කරමු.”
“සර්, රිල්වාන් කියන්නෙ කාටද?”
“ඇයි මිහිදිනී, ඔයාට එකපාරට රිල්වාන් කෙනෙක් මතක් උනේ.”
“සර්, ජූලි 04 ලියලා තියෙනවා මේ කියන රිල්වාන් තියපු සටහනක් ගැන. මේ දවසෙ ඔහු කියල තිබෙනව මම ඔබේ ගෙදරට ආවය, ඔබ අද ගෙදර නොසිටියත් ඔබේ දෙමව්පියන් මට උණුසුම් පිළිගැනීමක් දුන්න කියන එකත්.”
“හරි හරි මේ මගෙ මාල දිවයින් යාළුවා. අපි දෙන්න බ්‍රිටිස් කවුන්සිල්ලෙකේ එකට ඉගෙන ගත්ත. ඒ කාලෙ ඒ රටේ අධ්‍යාපන ඇමති එයාගෙ මාමා. රිල්වාන් හරි කැමතියි සංස්කෘතවලට. මට කතා කළා එහෙ යන්න. මට රස්සාවකුත් දෙන්නං කිව්ව සැලකිය යුතු පඩියක් එක්ක.”
“ඇයි සර් ගියෙ නැත්තෙ.”
“මම ඕන රටක ඇවිදල එන්න කැමතියි දුව. ඒත් මට ජීවත් වෙන්න ඕනෙ මගෙ මවු රටේ.”
“ඔය වචන ටිකම තමයි සර්,අපේ රේණු අක්ක කියන්නෙත්. මමත් සියයට සීයක්ම ඒ කතාවට එකඟයි.”
“ඒකනෙ ළමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නෙ. හරි දැන් තව ටිකක් ඉස්සරහට යමු ද?”
“ඔව් ඊට පස්සෙ තාගෝර්, ආයෙ ක්‍රිෂ්ණජී. ඊළඟට උපනිෂද් චින්තකයො අන්තිමට බුදු හාමුදුරුවො. සර් මේ කරල තියෙන්නෙ විවිධ යුගවල හිටපු විශිෂ්ටයන් නෙමෙයි සුවිශිෂ්ටයන් අපට මුණ ගස්සන එකනෙ.”
“සර් අවධාරණය කරනව බම්බලපිටියෙ වජිරාරාමෙ නාරද හාමුදුරුවො ලියපු ඊමාාය් ්බා ්යසි ඔැ්ජයසබටි කියන පොත නිතර නිතර කියවන්න කියලා. සර්ලට දෙවෙනි අවුරුද්දෙ ඉංග්‍රීසි උගන්නල තියෙනවා, බන්ධුල ශ්‍රී ගුණවර්ධන කියලා වෙනස් ගුරුවරයෙක්. සර් ළමයින්ට කිව්වලු දවස ගාණෙ මේ පොතින් සැලකිය යුතු ඡේදයක් දෙකක් පනස් සැරේ ගාණෙ කියවන්න.”
“හැබැයි ඒක හොඳ උපදේශයක්. ළමයි එතකොට ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි විතරක් නෙමෙයි බුද්ධ චරිතයත් ඉගෙන ගන්නවා.”
“සැප්තැම්බර් මාසෙ පුරාවට තියෙන්නෙත් ක්‍රිෂ්ණජීගෙ කෝටේෂන්ස් වගෙම ඒව ගැන සර්ගෙ සටහන්. සර් වැඩියෙන්ම කෝට් කරල තියෙන්නෙ ක්දපපැබඒරසැි දබ ඛසඩසබට කියන පොතේ තුන්වෙනි කාණ්ඩෙ. ඒ ඇයි සර්?”
“ඔය මම මගෙ පශ්චාද් උපාධිය කරන්න පටන් ගත්ත කාලෙ. මම ක්රිෂ්ණමූර්තිතුමයි භාරතීය දර්ශනයි සම්බන්ධ කරලනෙ ඒක කළේ. පලිහවඩන සර් අවධාරණය කළා ක්‍රිෂ්ණමූර්ති දර්ශනය ගැන අධ්‍යයනය කරන කෙනෙක් අනිවාරෙන්ම ඒ කාණ්ඩ තුන කියවන්න ඕනෙයි කියන එක. මම ඒක දිගින් දිගටම කළා. සර් කියපු එක ඇත්ත. පරිසරය, ජීවිතය සහ සත්‍යය එකට එකතු කරල ලියපු වියමන් ගොඩකට තමයි ක්දපපැබඒරසැි දබ ඛසඩසබට කියල කියන්නෙ. මේ මෑතදි අපි, සර්ගෙ පුතා රවීගෙන් ඉල්ලීමක් කළා ඒ පොත් තුනම සිංහලට දාන්න කියලා. මොකද රවී කියන්නෙ අපිට ඉන්න විශිෂ්ට පරිවර්තකයෙක් නිසා.”
“සර් මේ නොකියා කියන්නෙ ක්දපපැබඒරසැි දබ ඛසඩසබට කියන්නෙ අපිත් කියවන්නම ඕන පොතක් කියන එක නේද?”
“නොකියා නෙමෙයි දරුවනේ, මට කෙළින්ම කියන්න තියෙන්නෙත් ඒක තමයි. මොකද අපේ මේ මිහිදිනී දුව එක පිටුවක ඇහැ තියාගෙන බොහොම බැරෑරුම් මූණකින් ඉන්නෙ.”
“සර්, මේ ඔක්තෝබර් 02 වැනිදා දින සටහනේ තියෙනවා සර්, මර්ලින් පීරිස් මහාචාර්යතුමා සම්පාදනය කරපු ත්මරඑයැර ත්්ඉකැි ත්‍රදප ්ැිදච කියන පොත කියවන්න ගත්ත කියලා. එහෙම කියලා එතනින් නතර වෙලා නැහැ ඒකෙ ලස්සන කතාවක් උපුටල දක්වල තියෙනවා.”
“ඉතින් නගෝ ඊෂොප්ගෙ උපමා කතාව තනියම රස විඳින්නැතුව මටත් කියනවකො ඔය කතාව.”
“අක්කෙ, දවසක් මිනිස්සු දෙන්නෙක් මහ ග්‍රීෂ්ම දවසක පයින් ගමනක් යනවා. හොඳටම මහන්සි දැනිච්ච ඒ දෙන්න දකිනව මග තියෙන ගහක්. මේ දෙන්න යනවා ඒ ගහේ හෙවණට. ඒ ගහේ හෙවණ යට ඉඳගෙන මේ දෙන්න කතා කරන්නෙ මේ ගහේ තියෙන නිෂ්ප්‍රයෝජනකම. මේ කතාව අහගෙන ඉන්න ගහ කතා කරනවා. ගහ කියන්නෙ ඔය දෙන්න කොයි තරන් අකෘතඥ දෙන්නෙක් ද මගෙ හෙවණ විඳිමින්නෙ ඔය දෙන්න මගෙන් පලයක් නෑ කියල කියන්නෙ කියලා.”
“සර්, ඒ වගෙ මිනිස්සු අද සමාජෙත් ඉන්නවනෙ. නංග,ි දැන් ඔයා තව ඉස්සරහට යන්නකො ඔය පොතේ. බලන්න ඊළඟට මොනවද තියෙන්නෙ කියලා.”
“ඊළඟට අපට හම්බ වෙන්නෙ රබීන්ද්‍රනාත් තාගෝර්. ඊටත් පස්සෙ තියෙනවා සර් පොල්වත්තෙ බුද්ධදත්ත හාමුදුරුවන්ගෙ පාලි භාෂාවතරණය අධ්‍යයනය කරනව කියන කාරණේ. ආයෙත් ක්‍රිෂ්ණජී. ඊළඟට තාගෝර්තුමා බාවුල් සංගීතඥයන් සම්බන්ධයෙන් කරපු ලේධන ගැන සටහනකුයි ඒකෙන් ගත්ත උපුටනයි. ඒ වගෙම අපි කලින් අවස්ථා කීපයකදිත් සාකච්ඡා කරලා තියෙන තාගෝර් - අයින්ස්ටයින් දෙන්න ජීවිතය සහ සුන්දරත්වය ගැන කරපු සංකථනය ගැන සර්ගෙ කියවීම. දෙසැම්බර් සටහන් නං ලියලා තියෙන්නෙ ලාපාට තීන්තෙකින්. ඇයි සර් එදා මෙහෙම ලියන කොට හිතුවෙ නැත්තෙ පස්සෙ කාලෙක ලෝකෙට එන අපි කොහොම ද මේවා කියවන්නෙ කියන එක.”
“බලන්ඩකො සර්, මෙයා දැන් සර්ට චෝදනා කරන තරමට දියුණු වෙලානෙ.”
“කෙල්ල කියන්නෙ ඇත්තනෙ රේණු. ඒක මම බාරගන්නෙ අනාදරණීය චෝදනාවක් විදිහට නෙමෙයි ආදරණීය චෝදනාවක් විදිහට. ඒකට රේණුටත් නිදහස තියෙනවා. මේ වෙලාවෙ අපේ නිහඬ නිරීක්ෂකයන් විදිහට ඉන්න මේ අය්ය මල්ලි දෙන්නටත් තියෙනවා.”
“සර්, මේ සටහන් දෙසැම්බර් 31 වෙනිදයින් ඉවර වෙන්නෙ නැහැ. ඒකෙන් පස්සෙ තියෙන පිටු හතකත් නොයෙක් සටහන් ලියලා තියෙනවා. ඒවා සර් අපි විවේකීව කියවල අපට දැනෙන දේ මතු කරන්නං. දැන් අපි ඉස්සරහ තියෙන්නෙ සිංහල දිනපොත. ඒකෙ මැයි මාසෙ ඉඳල තමයි කතා කරන්න තියෙන්නෙ. අප්පේ ඒකෙ ජීවන සටහන් වගෙම තව නොයෙක් තැන්වලින් ගත්ත උද්ධෘත තියෙනවා. ඔන්න දැන් මට හම්බ උනා කුඩලිගම කවියා කියපු දෙයක්. මම ඒක ඒ කවියගෙ වචනවලින්ම කියන්නංකො.”
කොතෙක් ගුණ දොස් දැකීමට හෝ යමක් කෙලෙසා දැමුම සදොසියි
මලක් පියකරු දැයි බලන්නට පියලි ගලවා ගැනුම නොනිසියි
“සර්, ඕක හොඳයි රාජ්‍ය ආයතනවල වගෙම අධ්‍යාපන ආයතනවලත් ලොකු අකුරින් ගහලා තියන්න.”
“මන්නං කියන්නෙ, රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගෙන වැඩ කරන අය ඉන්න තැන්වලටත් ඔය ප්‍රකාශෙ අදාළයි කියලයි. ජී. බී. සේනානායක ඇස් නොපෙනී ගියාට පස්සෙ තමන්ගෙ හිතවතුන්ගෙ උපකාරයෙන් ලියපු විනිවිඳිමි අඳුර ගැනත් සර් සටහන් ලියලා තියෙනවා.”
“ඔව් ඒක චරිතාපදානයක් විදිහටත් ගන්න පුළුවන්.”
“සර්, මට හිතෙන හැටියට සේනානායක මහත්තයා ඇස් පේන කාලයටත් වඩා දැක්මක් ඇතුව දේවල් දැක්කෙ නොපෙන්ී ගියාට පස්සෙ කියලයි. සර් සමහර විට කෙනෙක්ගෙ භෞතික ඇස් නොපෙනී යන කොට වඩාත් ප්රබලව වෙන ආධ්‍යාත්මික ඇහක් අවදි වෙන්න බැරිද?”
“මෙච්චර වෙලා නිහඬව හිටපු ගඟුල් අපේ හිත් වෙනම මානයකට ගෙනිච්චයි කියලයි මට හිතෙන්නෙ. මට මතක හැටියට මම ඊළඟට සමාන මානයකින් ඇන්ටන් චෙකොෆ් ගැනත් මැක්සිම් ගෝර්කි ගැනත් කරුණු දක්වල ඇති. ඒ වගෙම ඔය කාලෙ කියන්නෙ මම ඇල්බෑ කැමූ ගැන ආතර් සී. ක්ලාක්ගෙ ලේඛන එහෙමත් වැඩියෙන් අධ්‍යයනය කරපු කාලයක්. මන් ඔයගොල්ලන්ට කියන්නෙ කැමූගෙ මහාමාරිය වගෙම ක්ලාක්ගෙ ත්සකැි දෙ එයැ ත්‍මඑමරු කියන පොතත් කියවන්න කියලයි. මට දුක හිතෙන්නෙ අපි වගෙ නෙමෙයි, හොඳට ඉංගීසි ඉගෙන ගත්ත බොහෝ දෙනා මේ පොත් කියවන්නෙ නැති එක ගැනයි. අනේ දුවේ, ඔය දෙන්නම ඉංගීසි සාහිත්‍යය හදාරපු අය. මේවා කියවන පරම්පරාවක් හදන්න දරුවනේ.”
“සර්, ඔහොම කතා කරන කොට මට හිතෙන්නෙ සර් මැයි 26 දින සටහනට එකතු කරගෙන තියෙන ක්ලාක් සර්ගෙ ප්‍රකාශයක සිංහල පරිවර්තනයක්. පරිවර්තකයා එස්. එම්. බන්දුසීල. මම කියවන්නං සර් ඒක.”
විශාල කර්මාන්තශාලා සහ අතිවිශාල ගබඩා මිහිපිටින් තුරන් වන දවසක් එතැයි අපට බලාපොරොත්තු විය හැකි ය. ඒ යුගයේ ජීවත් වන අනාගත පරම්පරාවන් අප බොහෝ දෙනාට අමතක වී ඇති දෙයක් නොඅනුමානව මතක තබා ගන්නවා ඇත. එනම් ජීවිතයේ ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ සෞන්දර්යය, බුද්ධිය, සිනහව හා ආදරය වැනි වටිනාකම් තේරුම් ගත නොහැකි දේ බවයි.
“සර්, දැන් අපිට කතා කරන්න තියෙන්නෙ සිංහල දිනපොතේ ජූලි 01 වෙනිදා ඉඳල ඉස්සරහට යන්න. මේ පටන් ගන්න තැනම සර් ලියලා තියෙනව ජීවිතය පිළිබඳව ගැඹුරට හිතීමෙදි කෙනෙකුට දැනුම උදව්වක් නෙමෙයි බාදාවක් වෙනව කියලා.”
“මට මතකයි ඒක. හැබැයි ඒක ලියන්න මට පාදක උනේ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ ප්‍රකාශයක්. මම ඔතනම ඒකත් ලියල නැද්ද?”
“තියෙනව තියෙනව සර්. ඉන්න මම ඒක කියවන්න.”
යම්කිසි ක්ෂේත්රයක අතිවිශාල දැනුමෙන් හිස පිරුණු කෙනෙකුට නිදහසේ කල්පනා කිරීමට තම කල්පනා ශක්තිය වෙහෙසවීම අපහසු ය.
“හැබැයි සර් ඔය කාරණේ වෙනස් කරපු චරිතත් අපට හම්බ වෙනවා නේද?”
“ඔව් රේණු ඔයා හරි. ඔයාගෙ ඔය වචන ටිකත් එක්ක මට මතක් වෙන්නෙ අපේ අදිකාරම්තුමා. එතුමා එක ක්ෂේත්රයක නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවකට විහිදිලා ගිය දැනුමක් තිබිච්ච කෙනෙක්. ඒත් අපේ රටෙන් විශිෂ්ට නිදහස් චින්තකයකුට දෙන්න තියෙන හොඳම උදාහරණයත් එතුමාම තමයි. නිදහස් චින්තනය පිළිබඳ බ්‍රෑන්ඩ් එක තමයි ඒ.”
“සර් ඇයි මෙතෙන්දි බ්‍රෑන්ඩ් කියන වචනෙ පාවිච්චි කළේ.”
“මෙහෙමනෙ මිහිදිනී, අපට විශිෂ්ටයන් ගොඩක් ඉන්නව තමයි. ගත්කරුවන් ගැන කියද්දි අපි සිංහලේ මහ ගත්කරු කියන විශේෂණය දෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට. දේශයෙ මහා ගාන්ධර්වයා කියන විශේෂණය දෙනවා පණ්ඩිත් අමරදේවයන්ට. පණීභාරත, චිත්‍රසේන, වජිරා, මිරැන්ඩා හේමලතා තියන්නෙ අපේ නර්තන සලකුණු. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවට. සිංහල නාට්‍ය කලාවත් එක්ක මහාචාර්ය ශරච්චන්ද්‍ර. ඔන්න ඔය වගෙ චරිත තමයි බ්‍රෑන්ඩ් කියන වර්ගීකරණය යටතෙ කතා කරන්න තියෙන්නෙ. හැබැයි මේ කුලකයට අයත් කරන්න පුළුවන් තවත් චරිතත් තියෙනව කියන එකත් අපි අමතක කරන්න නරකයි.”
“ආචාර්ය අදිකාරම්තුමා කියන බ්‍රෑන්ඩ් එක ගැන සර් ලිපියක් ලියන්න පටන් අරගෙන තියෙනවා විවිධ චින්තා සිතිවිලි ග්‍රන්ථයෙන් ප්‍රකට වන ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් චරිතයේ විශේෂතා කියන මාතෘකාව යටතෙ. ඒක අගෝස්තු 07 වෙනිදා වෙනකන් විහිදෙනවා. ඒ වගෙම සර්, මේ අතරෙම සර් ශ්‍රී නේරු චරිතය කියවල ගත්ත සටහන් තියෙනවා. ඒ ගැන තියෙන දේවල් අතරින් මගෙ හිත ගියේ එතුමගෙ පංචශීල ප්‍රතිපත්තියට.”
“නේරුගෙ පංචශීල ප්‍රතිපත්තිය? අක්කෙ ඒක ගැන ඔය දින සටහන් බලලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො.”
“මෙහෙමයි නංගි, ඒක වර්තමාන ඉන්දියාව ඇතුළුව බොහෝ රටවල් ආදර්ශයට ගන්න ඕන දෙයක්. නේරු කතාකරන පළවෙනි ශීලය තමයි අනෙකුත් රටවල් ආක්‍රමණය නොකිරීම. ඒ වගෙම ඒ රටවල පරිපාලනයට ඇඟිලි නොගහ ඉන්න එක දෙවෙනි ශිලෙ. තුන තමයි සහෝදර රාජ්‍ය එක්ක තියෙන ප්රසාදත්වය පිළිගන්න එක. හතර අනෙකුත් රාජ්‍යයන් සමග අන්‍යොන්‍ය සහයෝගය. පස්වෙනි ශීලය තමයි සාමකාමී සහජීවනයෙන් සරලව කියනව නං හොඳ හිතින් කාත් එක්කත් ජීවත් වීම.”
“ඉතින් සර්, වර්තමාන ඉන්දියාවවත් මේ වෙන කොට තමන්ගෙ මේ හිටපු විශිෂ්ට රාජ්‍ය නායකයා කියන ප්රතිපත්තිවල ඉන්න බවක් අපට පේන්නෙ නැහැනෙ.”
“ඒක තමයි මිහිදිනී කණගාටුවට කරුණ. ඔයගොල්ලන්ට හම්බ වෙන ඉන්දියානු යාළුවන්ට ඔයගොල්ලවත් මතක් කරලා දෙන්න මේ ගැන.”
“ඊළඟට සර්, ලියෝ ටොල්ස්ටෝයිගෙ උය්එ සි ්රඑ කියන පොතට ඒ.වී. සුරවීර මහාචාර්යතුමා කලාව යනු කුමක් ද? කියල ලියපු පොතට අවධානය යොමු කරල තියෙනවා. අගෝස්තු අග වෙනකන් ලියල තියෙන්නෙ ඒ පොතේ අන්තර්ගතය ගැන. ආ ඒ විතරක් නෙමෙයි ඒවා සැප්තැම්බර් මාසෙටත් විහිදෙනවා. ඊට පස්සෙ ඔක්තෝබර් මාසෙදි සර් අවධානය යොමු කරන්නෙ විනෝබා භාවේතුමාගෙ අධ්‍යාපන දර්ශනයට. ඒ කොටස ගුරුවරුන් වන අපටත් ගොඩක් වැදගත් ගඟුල් සර්.”
“මිහිදිනී, අපි වඩාත් දැනෙන තැනක් අරගෙන විනෝබා අධ්‍යාපන දර්ශනය ගැන කියපු දේවල් ගැන ගැඹුරු අධ්‍යයනයකට යමු පස්සෙ. අපේ රේණු අක්කටත් පුළුවන් තමන්ගෙ ආචාර්ය මණ්ඩලයත් එක්ක මේ ගැන සාකච්ඡාවකට යන්න.”
“එහෙමනං මම ඔක්තෝබර් 09 දින සටහනට යන්නං. හැබැයි සර් නේරු පොතේ මූලාශ්‍රය ලියල නැහැ වගේ මේකෙත් මූලාශ්‍රය නැහැ.”
“ඒ කාලෙ මගෙන් වෙච්ච අඩුවක් තමයි ඒ. සමහර පොත්වල ලියල ඇති. සමහර ඒවයෙ නැහැ. පස්සෙ මන් ඒ වරද හරිගස්සල ඇති. දැන් රේණු හරි, මිහිදිනී හරි කියවන්ඩකො අපටත් තවදුරටත් හිතන්න යොමු කරන ඒ ප්‍රකාශයක්. එහෙම නැත්තං ඒ වගෙ ප්‍රකාශයක හරය කිව්වත් ඇති කියලයි මට හිතෙන්නෙ.”
“එහෙනං ඒක මට වඩා හොඳට කරන්න පුළුවන් අපේ රේණු අක්කට තමයි. අක්කෙ මෙන්න දිනපොත.”
මේ අනුව ඔක්තෝබර් 09 සහ 10 දින සටහන් දෙස බලමින් ඒ ගැන මෙසේ කතා කෙළේ රේණු විදුහල්පතිනිය යි.
මුළු ලෝකෙම අධ්‍යාපනය පාලනය කරන්නෙ ඒ ඒ රටවල ආණ්ඩු. මේක බොහොම භයානක තත්ත්වයක්. රජයක් අධ්‍යාපනයට බලය යෙදිය යුතු නැහැ. අධ්‍යාපනය තියෙන්න ඕන රටක ඉන්න ප්‍රඥාවන්ත මිනිස්සු අතේ. ඒ ඒ රටවල තියෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන මොන පොතක් හරි රටේ ශිෂ්‍යයන් හදාරන්න ඕනෙ. රජය ඒකාධිපති නම් ශිෂ්‍යයන්ට උගන්නන්නෙ ඒකාධිපතිවාදය. රජය කොමියුනිස්ට් නම් කොමියුනිස්ට්වාදය. රජය ධනවාදි නං ධනවාදය. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. රජය රට පාලනය කරන එක විතරක් කරලා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම තමන්ගෙ පාලනයෙන් නිදහස් කරන්න ඕනෙ.
අපේ අතීත ඉන්දියාවෙ තත්ත්වය මීට වඩා වෙනස්. අධ්‍යාපනය පාලනය කිරීමට රජවරුන්ට බලයක් තිබුණෙ නැහැ. සංස්කෘත සාහිත්යෙ කොතනකවත් දකින්න නැති තරමට සිතීමේ නිදහසට ඉඩ දීල තියෙනවා. ඉන්දියා භූමියෙ විවිධ දර්ශනවාද පහළ වෙන්නෙ ඒ නිසයි. ඒවා අතර සමානකම් වගෙම වෙනස්කමුත් තියෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති උනේ ඒ කාලෙ අධ්‍යාපනය රජයේ පාලනයෙන් නිදහස් වෙලා තිබිච්ච නිසයි.
“ෂා අක්ක ඒක තමන්ගෙ වචනවලින් කිව්වනෙ අපට හොඳටම දැනෙන විදිහට. ඊළඟට මොනවද අක්කෙ තියෙන්නෙ මෙම්දින සටහන් අතර.
”ඔන්න මම හොයා ගත්ත තවත් සාහිත්යෝක්තියක්.“
”කාගෙද තාගෝර්ගෙද ටොල්ස්ටෝයිගෙ ද?“
”ඇයි අපේ අයට බැරිද සාහිත්‍ය ප්‍රකාශ ලියන්න.“
”ඉතින් කියනවකො අක්කෙ අගේ නොකර.“
”ඒක අපේ සර්ගෙ. සර්ගෙ ඔක්තෝබර් 19 දින සටහන පටන් ගන්නෙ මෙහෙමයි.“
සුදු වලාකුළුවලට මම ඉතා ප්‍රිය කරමි. සුදු වලාකුළු, සුදු හිමකැට පිවිතුරු බවේ සංකේත යයි මට සිතේ. දියගම දී පැහැදිලි ව නිල් අහස දැකිය හැකි ය. නිල්වන් අහස පුරා පැතිරී ගිය ඒ සුදු වලාකුළු කෙනෙකු තුළ මහත් චමත්කාරයක් දනවයි.
”මේ සර් හොරණ විද්‍යාරත්නෙට යන අතරමගදි ලබපු අද්දැකීම් නේද?“
”ඔව් ඒ වගෙ සටහන් තව ගොඩක් ඇති. මගෙ ගුරු ජීවිතය පටන් ගන්නෙ විද්‍යාරත්නයෙන්. ඔය 87 අවුරුද්දෙ තමයි මම බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට ජපුරට එන්නෙ.“
”හරිනෙ මේ තියෙන්නෙ සර්ට සුබ පතලා රෝලන්ඩ් සර්රුයි අනුලා මිසුයි දීපු පොතක දාපු සටහනකුත්. එදා ඒ දෙන්නා සර්ට කලන්සූරිය මහාචාර්යතුමා ලියපු බර්ට්‍රන්ඩ් රසල් සහ සමකාලීන දර්ශන කියන පොත දීලා තියෙන්නෙ මෙන්න මේ සටහනත් එක්ක.
අපේ ආදරණීය ශිෂ්‍ය සහන්ට විදුදය සරසවියේ බාහිර කථිකාචාර්ය ධුරය ලැබීම නිමිත්තෙනි.
සර්ගෙ මේ 87 දිනපොතේ තමයි සර් ක්‍රිෂ්ණමූර්ති චින්තනය භාරතීය දර්ශනය සමග සම්බන්ධ කරලා ලියපු පර්යේෂණ සැලැස්ම තියෙන්නෙත්. මේ දිනපොත අග තියෙන හිස් පිටුවල තියෙන්නෙ ඒක. නෙවෙැම්බර් 30 දවසෙ සර් ලියලා තියෙනවා සමන් සිත්තරා එවපු සටහනක්. ඒක සමිප වැඩිහිටි ඥාතියකුගෙ මරණය සම්බන්ධ කරල ලියල තියෙන එකක්.”
“මොකක් ද ඒකෙ තියෙන්නෙ.”
“ඒකෙ තියෙනව ජීවත්වීම කියන්නෙ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු සහගත වීම කියලා. සමන් අය්යා ප්‍රාණය නිරුද්ධ වීම ශාරීරික ක්‍රියාවක් පමණයි කියලයි කියන්නෙ. ඊට පස්සෙ දෙසැම්බර් 17 දින සටහනේදි හම්බ වෙනවා සමන් අය්යා ඇල්බට් අයින්ස්ටයින්ගෙ ප්‍රකාශයක් සිංහලයට පරිවර්තනය කරල එවපු එකක්.”
“මට මතකයි ළමයිනේ ඒක. ඔය සටහන විතරක් නෙමෙයි, අය්යා අයින්ස්ටයින්ගෙ ප්‍රකාශ කීපයක්ම සිංහලට දැම්මා. මමයි විශ්වවිද්‍යාලෙ පුස්තකාලෙන් ඒ පොත අය්යට ගිහින් දුන්නෙ. ඒ කාලෙ මෙඩිකල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත අපේ යාළුවෙකුට ඕන වෙලා තිබුණා අය්යා ලව්වා අයින්ස්ටයින්ගෙ උඩුකය චිත්‍රයක් අන්දව ගන්න. අය්ය ඒක ඇඳල යැව්වෙ එතුමාගෙ ප්‍රකාශයකුත් සටහන් කරල. මම හිතන්නෙ විද්‍යාවයි කලාවයි ගැන තියෙන ප්‍රකාශයක් තමයි අය්යා යටින් සඳහන් කළේ.”
“එහෙනං මේ ඒක තමයි. මම කියවන්න ද ඒක.”
එදිනෙදා ජීවිතයේ ජීවිතයේ වේදනාකාරී බවින් හිස් බවින් සහ එකකින් තවත් එකකට නිරන්තරයෙන් වෙනස් වනආශාවන් නමැති විලංගුවෙන් මිදී පලා යන්නට ඇති දැඩි වුවමනාව වූකලී මිනිසා විද්‍යාව සහ කලාව වෙත යොමු කරවන ප්‍රබල බලවේගය යි.
“ඔන්න සර් මේ දිනපොත අන්තිම හරියෙත් සර් පරණ වරදම කරලා තියෙනවා.”
“ඒ මොකක් ද මිහිදිනී?”
“ඇයි සර් ආයෙත් ලාපාට පෑනකින් ලියලනෙ.”
“හරි චෝදිකාවගෙ ඒ චෝදනාව මේ චුදිතයා පිළිගන්නවා. මන් හිතන්නෙ ඉදිරි දිනපොත්වල නං ඔය වරද නැතුව ඇති.”
“එහෙනං රේණු අක්කෙ, අපට සිද්ද වෙනවා අපේ සර්ට සමාව දෙන්න.”
“බලන්ඩකො සර් මෙයා කියන එක. සර්ට දැන් සමාව දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නෙත් මෙයා.”
“එහෙම තමයි රේණු හිත් අවබෝධ කරගත් අයට කතා කරන්න බැරි දෙයක් නැහැනෙ. මම මේ කෙල්ලට කැමතිත් මේ විවෘතකම නිසා. කොහොම හරි ඉතින් මගෙ හොඳම ශිෂ්‍යයෙකුත් මෙයා අයිති කරගත්තා.”
“සර්, හරි ලස්සන සටහනක් තියෙනවා නොවැම්බර් 21 දින සටහන මුල. ඒක බර්නාඩ් ෂෝගෙ ප්‍රකාශයක්. සර්ලට ඒක එවලා තියෙන්නෙ මේ සටහනේ තියෙන විදිහට පීරිස් කියලා මහත්තයෙක්.”
“ඒ ගහකොළට ඇළ දොළට සතා සිපාවන්ට වගෙම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ආදරය කරපු ආදරණීය මනුෂ්‍යයෙක්. ඩී. සී. පීරිස්. ශ්‍රී ලංකා නිරිමාංසාහාර සමිතියෙ මාතර ශාඛාවෙ ලේකම්තුමා. අපේ අදිකාරම්තුමාට බොහොම ගෞරව කරපු, ආදරය කරපු චරිතයක්. එතුමා අපට අකාලෙ අහිමි උනා. එතුමා තෝර තෝර අපට එවපු කොයි ප්‍රකාශෙ උනත් තිබුණෙ එතුමගෙ ජීවිතය. මම කැමතියි ඔය ප්‍රකාශෙ අපේ රේණුට මේ අපේ තරුණ මිත්‍රයන් දෙන්නට වගෙම මටත් ඇහෙන්න මිහිදිනී දුව කියවනව නං.”
මා මළ විට ගවයන්, බැටළුවන්, ඌරන් සහ කුකුළන් රංචු පිටින් ද පණපිටින් මාළුවන් ද සුදු සළු ඇඳගෙන තමන්ගේ මස් නොකෑ මනුෂ්‍යයාගේ මළකඳට ගෞරව කරනු පිණිස මගේ මළසිරුර පසුපස ගමන් කරනවා ඇත.
”දැන් මේ විදිවත් සාකච්ඡාව නවත්තල බත් කාලා හිටියොත් නේද හොඳ. මම මේ බලාගෙන හිටියෙ සන්ධිස්ථානයකට දැන් එයි දැන් එයි කියල. දැන් දෙකට දහයයි, බැරි තැන තමයි මේ කතා කළේ.”
“මේ එනවා මැඩම්, අද සාකච්ඡාවෙ සමාප්ති සටහන තියලා මේ එනවා. ඔන්න මම තෝරගත්ත අශ්වඝෝෂ හාමුදුරුවන්ගෙ සෞන්දරනන්ද මහා කාව්යෙ එන පද්යයකුයි ඒකට අපේ සර් කරපු සිංහල පරිවර්තනයයි.”
“එහෙනම් මිහිදිනී, ඔයාම ඒ අවසානෙ ගන්නකො.”
ඍතුර්ව්යතීතඃ පරිවර්තතේ පුනඃ
ක්ෂයං ප්රයාතඃ පුනරේති චන්ද්‍රමාඃ
ගතං ගතං නෛව තු සන්නිවර්තතේ
ජලං නදීනාඤ්ච නෘණාං ච යොෟවනම්
ඍතු ගෙවී යයි. ඒහෙත් ඒවා පෙරළා පැමිණෙයි. සඳ බැස යයි, නමුදු යළි ඒ උදාවෙයි. එහෙත් නදී ජලයත් මිනිසාගේ යොවුන් බවත් ගියොත් ගියා ම ය. ඒවා පෙරළා නොපැමිණෙයි.
