Sunday, April 17, 2022

ගුරු දියවර නවකතාව - දොළොස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                            

                                                 ගුරු දියවර 12

                                                 


නාගොල්ලාගම මහා විද්‍යාලයේ ක්‍රීඩා සංගමයේ අනුශාසිකා සුමනා නන්දනී ජ්‍යෙෂ්ඨ ගුරු මහාත්මිය විසින් කැඳවා තිබූ රැස්වීමට ගඟුල් සහභාගි වූයේ ක්‍රීඩා අංශය භාර ආචාර්ය අතුල පෙරේරා මහතාගේ ඉල්ලීම පරිදි ය. ඔහු යනවිට රැස්වීමේ කටයුතු ආරම්භ වී තිබූ අතර තෙන්නකෝන්, රත්නායක, සමරසිරි, නදී, රේණු, මිහිදිනී, ගයා යන ගුරු භවත්හු ඊට සහභාගි වී සිටියහ. ගඟුල් යනවිට තව දෙමසකින් පැවැත්වීමට අපේක්ෂිත ක්‍රීඩා උත්සවය පිළිබඳ ව අදහස් දක්වමින් සිටියේ අතුල යි.

 

 ''සුමනා මැඩම්, මම ඔබතුමියගෙත් අවසරය ඇතිව ලොකු සර්ටත් දන්නලා මේ වැඩේට මේ පිරිස කැඳවා ගත්තේ මෙහෙම වැඩකදි බැහැලා අවංකවම වැඩ කරන පුංචි කණ්ඩායමක් සාමාන්‍ය විදියට වැඩ කරන හෝ නොකරන සීයක දෙසීයක කණ්ඩායමට වඩා බලවත් නිස යි. එහෙම නැතිව අනෙක් ගුරුවරුන් නොතකා ඇරලා නෙමෙයි. මන් දන්නවා පොදුවේ ගත්තහම අපේ ගුරුවරු විවිධ දේට දක්ෂ බව. ඒත් මේ වැඩේ දි මට මේ කණ්ඩායම විශේෂ යි. මට තනියම කරන්න බැහැ මේක. ඕගොල්ලො මට උදව් කරන්න. මන් මේ ඉස්කෝලෙට ඇවිල්ල අවුරුදු තුනක් වෙනවා. ඒ අවුරුදු තුනට මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ ඉස්කෝලෙ ගැන ළමයි ගැන ගුරුවරු ගැන ගම ගැන ගමේ මිනිස්සු ගැන හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තට ම තෙන්නකෝන් සර් මන් මේ ළමයින්ට උගන්නනවට වැඩියෙන් මේ ළමයින්ගෙන් දේවල් ඉගෙන ගත්තා. සුමනා මැඩම්ට නිල වශයෙන් ම අපේ ක්‍රීඩා සංගමයෙ අනුශාසකකම බාර ගන්න කිව්වෙත් නොනිල අනුශාසක කෙනෙක් හැටියට තෙන්නකෝන් සර්ට මේ වැඩ දිහා බලාගෙන ඉන්න කිව්වෙත් මේ වැඩිහිටි චරිත දෙකෙන් පිරෙන හිස්තැන වෙන කාටවත් පුරවන්න බැරි නිස යි. වැඩක් ගෙනියන්න ඕන දිසාව වෙනුවට වෙන පැත්තකට වැඩේ යනවනං මගෙ කණින් ඇදල හරි ඕක ඔහොම නෙමෙයි අතුල කරන්න ඕනෙ කියලා කියන්න මට සුමනා මැඩමුත් ඕනෙ තෙන්නකෝන් සර්රුත් ඕනෙ. ඒ වගෙම දුවන්න පනින්න පුළුවන් මේ තරුණ කණ්ඩායමත් ඕනෙ. මෙයින් හයදෙනෙක් එක්කම වැඩ කරල මට අද්දැකීම් තියෙනවා. අලුතින් ආපු ගඟුල් මල්ලිත් ආපු දවසට දෙකට මගෙ හිතේ ලොකු ඉඩක් අයිති කරගෙන තියෙනව.”

 

 ''මේ අතුල සර්. මාව බැරි ද අර තරුණ කණ්ඩායමෙන් ගලවල තෙන්නකෝන් සර්ගෙ සුමනා මැඩම්ගෙ ගොඩට දාන්න.”

 

 ''ඒ මොකෝ රේණු අක්කෙ එහෙම හිතුවෙ.”

 

එසේ ඇසුවේ මිහිදිනී ය.

 

 ''එහෙම හිතුවෙ ද එතකොට මට අතුල කියන මනුස්සයගෙ කණින් අදින්න පුළුවන් නිසා. අපේ මැඩම්ටයි සර්ටයි ඔය අවසරේ දීලා තිබ්බත් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මෙයාගෙ කණින් අදින්නෙ නැති නිසා. ඒ වැඩේ අඩුවක් නැතුව ඉටු කරන්න මම ගොඩක් ම කැමති නිසා.”

 

රේණුගේ මේ වචනවල දැවටුණු ලෙන්ගතුභාවය ගැන දන්නා වැඩිහිටි ගුරු යුග්මය ඔවුන් දෙස බලා සිටියේ සිනාසෙමිනි. අනතුරුව කතා කෙළේ සුමනා ගුරු මහත්මිය යි.

 

 ''මේ වගෙ අලුත් පරම්පරාවක් එක්ක වැඩ කරන්න අපිත් කැමතියි. ඒත් මන් කිව්ව තෙන්නකෝන් සර්, මේ ගොල්ලන්ට අපි වගෙ වයසක උදවිය නෙමේ හොඳ ජවයක් තියෙන අය මේකට සම්බන්ධ කරගන්න කියලා. කෝ කිව්වට ඇහැව්වයැ.”

 

 ''මමත් ඕකම කිව්වා සුමනා. ඒ උනාට වැඩක් උනේ නැහැ. හැබැයි කොහොම උනත් මම මේ කොල්ලො කෙල්ලොත් එක්ක වැඩ කරන්න කැමතියි. එකක් මේ ළමයි අවංක යි,  ඒ වගෙම දක්ෂ යි.  ඒ විතරක් නෙමෙයි මන් දැක්ක අනික් විශේෂත්වය තමයි මේ අයගෙ තියෙන කැපවීම.”

 

 ''මගෙ ජීවිත කාලෙදි සුමනා මම ගොඩක් දක්ෂයො දැකලා තියෙනවා. එයින් ගොඩක් දෙනා හරි ආත්මාර්ථකාමියි. ඒ අය තමන්ගෙ දක්ෂකම් පාවිච්චි කරන්නෙ ලෝකයට යහපත කරන්න නෙමෙයි, තමන්ගෙ බැබලීමට. එයින් ඇතැම් දෙනෙක්ගෙ කැපවීම තියෙනවා, හැබැයි තමන්ගෙ පවුලත් එක්ක බැඳිච්ච කීප දෙනාට විතරයි. මොකට ම සුමනා ඒ විදියෙ දක්ෂකම්, ඒ ජාතියෙ කැපවීම්. මන් මේ ළමයින්ට කැමති අර මන් කලින් කිව්ව අවංකකම - දක්ෂකම - කැපවීම කියන කාරණා තුනම මේ ළමයින්ගෙ ජීවිතයෙන් මම දැක්ක නිසා.”

 

 ''තෙන්නකෝන් සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ මාග්රට් මීඩ් කියන ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥවරියගෙ ප්‍රකාශයක්.”

 

 ''හදවතින් කැපවී වැඩ කරන කුඩා කණ්ඩායමකට ලෝකය වෙනස් කළ හැකි ය. සැමදාම ලෝකය වෙනස් වූයේ එබඳු අය නිසා ය.”

 

 ''ඒක නං හරිම ඇත්තක් සුමනා. බලන්න බුදුහාමුදුරුවො ලෝකයට වැඩ කරන්න පටන් ගත්තෙ පස් දෙනෙක්ගෙන්. ඒ කියන්නෙ පස්වග මහණුන් කියල ප්‍රසිද්ධ පංචවර්ගීය භික්ෂූන් වහන්සේලාත් එක්ක. ඒ වගෙම යේසුස් වහන්සේ වැඩ පටන් ගත්තෙ ටුවෙල් ඩිසයිපල්ස් කියල ප්‍රසිද්ධ ශ්‍රාවකයන් දොළොස් දෙනත් එක්ක.”

 

 ''බලන්න සර්රුයි මැඩමුයි දෙන්නම මුලින් කිව්වෙ මේ වැඩවලට අපි මොකට ද කියල යි. ඒ උනාට බලන්නකො සර්රුයි මැඩමුයි කතා කරන දේවල්වලින් අපි කොච්චරක් නං දේවල් ඉගෙන ගන්නව ද කියලා.”

 

එසේ පැවසුවේ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරන නදී ජයමාන්න ය. පොළොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි නදී  ප්‍රකට ව ඇත්තේ නිහඬ චරිතයක් වශයෙනි. එහෙත් පැමිණි දිනයක දෙකක අද්දැකීම්වලින් ගඟුල් ඇය හඳුනාගෙන සිටින්නේ අවශ්‍ය ම අවස්ථාවල දී කතා කරන ගුරුවරියක වශයෙනි.

 

 ''ඒකනෙ මම කියන්නෙත්. සර්ටයි මැඩම්ටයි දෙන්නටම පිට්ටනියට බැහැලා ළමයිත් එක්ක හරි හරියට දුවන්න බැහැ තමයි. ඒ උනාට සර්ලගෙ මැඩම්ලගෙ වචනවලින් මට ගැම්මක් එනවා දුවන ළමයින්ටත් ගැම්මක් දීලා ඒ ගොල්ලොත් එක්ක පිට්ටනිය වටේ රවුං පහ හයක් දුවන්න.”

 

 ''හොඳයි ඒ දුවන්න කලින් දැන් අපි බලමු ද අතුල සර් මේ ක්‍රීඩා උත්සවේ වැඩ කෙරෙන්නෙ කොහොම ද කියලා. ඔයාගෙ තියෙනව ද අතුල මොකක් හරි සැලැස්මක්.”

 

 ''ඔව් මැඩම් තියෙනවා. ඒ උනාට මම කැමතියි තෙන්නකෝන් සර්ගෙ මැඩම්ගෙ මේ කට්ටියගෙ යෝජනා ඉස්සෙල්ල දැන ගන්න. ඒ එන දේවල් අනුව ගැළපෙන විදිහට මන් හදපු සැලැස්ම වෙනස් කරන්නත් මම කැමතියි.”

 

 ''එහෙනං අපි එහෙම කරමු ද සර්. සර්ගෙ අදහස් කියලා හිටියනං ඒකත් අපිට ගොඩක් වැදගත් වේවි.”

 

 ''නෑ සුමනා අපි මේ තරුණ කණ්ඩායමට ම කියමු මුලින් ඒ ගොල්ලන්ගෙ යෝජනා අදහස් දක්වන්න කියලා. එහෙම හොඳයි නේ ද ?”

 

 ''හොඳයි සර් අපි එහෙම කරමු. මොකද අපේ රේණු මිස් කියන්නෙ.”

 

 ''මෙහෙමයි මැඩම් සාමාන්‍යයෙන් ඕනෙ ඉස්කෝලෙක කරන විදිහක් තියෙනවනෙ. අපි ඒ විදිහටත් අනුගත වෙන ගමන් අපේ අලුත් දේවල් එකතු කරමු. ඒ කියන්නෙ ඉස්කෝලෙ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව නිවාස තුනකට හරි හතරකට හරි බෙදලා ඒ හැම නිවාසෙකටම ගුරුවරුත් සමාන විදිහකට බෙදල කිසිම නිවාසෙකට අයිති නොවන ස්වාධීන ගුරුවරුන් කිහිප දෙනෙකුත් ඉතිරි කරමු. අර සමහර අවුරුදු උත්සවවලදි කරනව වගේ ගැළපෙන නොගැළපෙන ඔක්කොම පටල ගන්නෙ නැතුව ඉස්කෝලෙකට ගැළපෙන ක්‍රීඩා තරග විතරක් පවත්වමු.”

 

 ''හොඳයි සමරසිරි සර් මොකද කියන්නෙ.”

 

 ''මට හිතෙන්නෙ මැඩම් අපේ රේණු මිස් කියපු විදිහ හොඳයි කියලයි. මේ කට්ටිය ගන්න ඕනෙ තීරණයකට මමත් එකගයි.”

 

 ''එතකොට රත්නායක සර්ගෙ අදහස මොකක් ද මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්, ඒ වගේම මේ ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක් හැටියට ඒ විතරක් නෙමෙයි මේ ගමේ ම ඉපදිලා ගමේ ගහකොළත් මිනිස්සුත් එක්ක එකට ම හැදිච්ච කෙනෙක් හැටියට.”

 

 ''අප්පච්චියේ අපේ සුමනා මැඩම් රත්නායක සර්ට ලොකු සහතිකයක් දුන්න වගේ හැඳින්වීමක්නෙ කළේ.”

 

සිනාසෙමින් එසේ කීවේ රේණු යි.

 

 ''ඔව් රේණු මේ ඒ සහතිකය ලබන්න සුදුසු ගුරුවරයෙක්. මේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත හැම කෙනෙක් ම ඒ සුදුසුකම ලබල නැහැ. ඒ වගෙම මේ ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලෙට ගියා කියන එක විතරක් වැදගත් සාධකයක් වෙන්නෙත් නැහැ. ඒ වගෙම ගමේ ඉපදුණා කියන එක නිසා නෙමෙයි කෙනෙක් වැදගත් වෙන්නෙ. ගමේ ඉපදිච්ච කෙනෙක් උනත් ගමේ ඇළට දොළට වැවට ගහකොළට සතා සිපාවාට මනුස්සයන්ට ආදරේ කරන්නෙ නැත්තං වැඩක් නැහැ. අපිට වටින්නෙ පිට ගමකින් නෙමෙයි ඒරොප්පෙන් ඇවිදිල්ල හරි මේ ගමේ ඇළට දොළට වැවට ගහකොළට සතා සිපාවාට මනුස්සයන්ට ආදරේ කරනවනං අන්න එයාව යි. ඉතිං රත්නායක සර් කියන්න බලන්න අපේ ක්‍රීඩා උත්සවය පවත්තන්න ඕන විදිහ ගැන ඔයාට හිතෙන දේ.”

 

 ''මෙහෙම යි මැඩම්, මන් මේ ගැන අතුල එක්කත් කීපසැරයක් ම කතා කළා. මට අතුල ඊයෙ හවස හම්බවෙච්ච වෙලාවෙ කිව්වෙත් රත්නෙ අය්යට දැනෙන හොඳම දේවල් හෙට රැස්වීමෙදි කතා කරන්න, ඒකට එයා කතා කරපු කිසිම දෙයක් බාධාවක් කරගන්න එපා කියලා. සර් මම මේ ඉස්කෝලෙන් තමයි මගෙ පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ. මැඩම් කිව්ව වගේ විශ්වවිද්‍යාලෙට ගියෙත් මේ ඉස්කෝලෙන් ම තමයි. හැබැයි අපේ මැඩම් නොකියපු කොටසකුත් තියෙනවා. මගෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිටවෙලා ටික දවසකින් තාත්තා නැතිවෙනවා. මන් පවුලෙ වැඩිමලා. නංගිලා දෙන්නයි මල්ලිල තුන්දෙනයි. මම කළේ තාත්තා අඳේට කරපු කුඹුර දිගටම කරන්නං කියලා ඒක අයිති රිචඩ් රාළහාමිගෙන් කැමැත්ත ගත්ත එක. තාත්තත් එක්ක වැඩකරලා ගත්ත පළපුරුද්ද මෙතෙන්දි ගොඩක් උදව් උනා.

 

මට අද වගේ මතක යි තාත්ත නැතුව කුඹුරට බැහැපු පළවෙනි දවස. එදා මගෙ පස්සෙන්ම වැටිලා අපේ ලොකු මල්ලිත් ආවා. එයා එතකොට අටේ පන්තියෙ. මන් එදා විතරක් එයාට ඉඩ දුන්නා. උදේ එකොළහට විතර අම්ම ආවා තේ හදාගෙන. ඊට පස්සෙ සෑහෙන වෙලාවක් අම්මත් අපිත් එක්ක වැඩ කළා. අම්මට එපා කිව්වට එයා ඒක ඇහැව්වෙ නැහැ. එයා කිව්වෙ මුලින් ම කුඹුරකට බැහැලා වැඩ කළේ තාත්තත් එක්කය අද ඒ තාත්තගෙ පුතා එක්කත් මන් වැඩ කරනව ය කියලා. ඒ එක දවසට මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත තෙන්නකෝන් සර්, තාත්ත ඉන්න කාලෙදි ඉගෙන ගන්න බැරි වෙච්ච. තාත්තා ඉන්න කොට නිතර ගෙදර ආගිය මාමා කෙනෙක් එතනින් යන්න ගිහිල්ල අපිව දැකලා එතෙන්ට ඇවිල්ල, මේ මාලා නංගි. උඹලා ඔය කරන්නෙ උඹලට පුළුවන් වැඩක් ද බන්. ඕක කාට හරි කරන්න දීපල්ල. උඹලට දැන් අමාරු වෙලාව නිසා ඔය කොළුවව එවපන් අපේ කඩේ වැඩේට. මට බැරියැ ඔය කීයක් හරි වියදමට දෙන්න කියල කිව්වා. අම්ම හරි අසරණ විදියට එදා මගෙ දිහා බලපු බැල්ම මට අද වගේ මතකයි මැඩම්. ඊට පස්සෙ අම්ම කිව්වෙ පුතේ ඔය තාත්ත ඒ කඩේ දාගන්නත් ගොඩක් උදව් කළා. උඹ මොන අමාරුකං ආවත් ඔය කඩවල වැඩ කරන්න යන්න හිතන්න එපා. උඹගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරගන්නත් එපා කියලා.”

 

 ''හැබැයි හෙට ඉඳලා මේ කුඹුරු වැඩේට බහින්නෙ මම. ඒ හය්ය අද මට දුන්නෙ පුතා. ඒ වගෙම අර මාමා ගැනත් අපි අහිතක් හිතන්න හොඳ නෑ. ඒ කියපු කතාවෙනුත් මම හිත හයි කරගත්ත කියලා කිව්වා. ඒ වෙලාවෙ මන් කිව්වා අම්මෙ මට තේරෙනවා මේ වැඩ. අම්ම මට උදව් වෙන්න. මන් මේවා බලාගන්නං. අපි නංගිල දෙන්නටයි මල්ලිල දෙන්නටයි උගන්නමු කියලා. ඒ වෙලේ අම්ම උදැල්ල පැත්තකින් තියල මගෙ අත් දෙකින් අල්ල ගත්තෙ අනේ මගේ පුතේ කියල යි. ඒ වචනවල මහා ලොකු කතාවක් තිබුණා. අම්මගෙ ඇස්වල මන් දැක්කෙ අධිෂ්ඨානය, ඒ වගේම බලාපොරොත්තුව. අම්ම එදා එන ගමන් මට මෙහෙම කිව්ව.

 

පුතා මට කිව්ව නේද අම්ම මට උදව් වෙන්න. මන් මේවා බලාගන්නං කියලා. අපි පුතේ ඒක මෙහෙම වෙනස් කරමු, පුතා මට උදව් වෙන්න මන් මේවා බලාගන්නං කියලා කිව්වා. මන් ඒ උනාට කියල කිව්වට අම්ම කිව්වෙ පුතා ඉස්කෝලෙ යන්න ඕනෙ හෙට ඉඳල එච්චරයි. අම්ම එච්චරයි කියල කිව්වොත් ඒක එහෙමම තමයි, ඒක වෙනස් කරන්න කාටවත් බැහැ. තාත්ත ඉස්සර අපිට කියනව අම්ම එච්චරයි කියලා කිව්වොත් ආයෙ කතා කරන්න යන්න එපා. එයා හරිම කලාතුරකින් ඕනෙම වෙලාවකදි තමයි ඒක එච්චරයි කියලා කියන්නෙ. එයා එහෙම කිව්වොත් ඒක එච්චරම තමයි. කියලා.”

 

 ''එදා තව ලස්සන දෙයක් උනා මට කියන්න අමතක වෙච්ච. අනේ මට සමාවෙන්න ඕනෙ ඔයගොල්ලො ක්‍රීඩා උත්සවේ ගැන කියන්න කියලා කිව්වහම මන් මගෙ ජීවිත කතාව කියන්නනෙ පටන් ගත්තෙ. ඒක නිසා අපි දැන්.....”

 

රත්නායක ගුරුවරයා සැරසුණේ සිය කතාව නතර කිරීමට ය. එවිට කතා කෙළේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ පාසලේ සේවය සඳහා පැමිණ සිටි ගයා තේනබදු තරුණ ගුරුවරිය යි.

 

 ''නෑ නෑ රත්නායක සර් කරගෙන ආපු කතාව දිගටම කරගෙන යන්න. අපි සර්ගෙ කතාවෙන් අපේ ජීවිතවලට ඕන කරන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගෙම ඔය කතාව අන්තිමට මේ ක්‍රීඩා උත්සවේ කරන්න ඕන හොඳම විදිහක් ගැන අදහසකුත් සර්ගෙන් ඉදිරිපත් වෙයි කියන විශ්වාසෙත් අපිට තියෙනවා. සර්ගෙ කතා හරියට පුංචි පැලයක් හිටවල ඒකට දිගින් දිගටම සාත්තු කරගෙන ගිහිල්ල අන්තිමට අපිට පල සම්පත දෙනව වගෙයි.”

 

ගයා එසේ පවසද්දී අන්‍යයන් කෙළේ හිස් සලා ඒ අනුමත කිරීම ය.

 

 ''රත්නායක සර් දැන් කියන්නකො එදා තව ලස්සන දෙයක් උනා මට කියන්න අමතක වෙච්ච කියල කියපු.”

 

එසේ කතාවට මැදිහත් වූයේ මිහිදිනී ය.

 

 ''අර මාමා ගියාට පස්සෙ එතෙන්ට ආවා ගමේ පරණ ගොවියෙක්. එයා සාමාන්‍යයෙන් වැඩි කතාබහක් නැති චරිතයක්.”

 

 ''මන් මේ අම්මයි පුතයි වැඩ කරනව දැකලයි ආවෙ. බොහොම හොඳයි දුව, අපේ සිරිපාල නවත්තපු තැනින් වැඩ පටන් ගත්තු එක. අම්මට උදව් වෙන්න පුතා. පුංචි පුංචි වැඩවලට නංගිලා මල්ලිලත් උදව් කරගන්න. හැබැයි මේ වෙලේ අතපසු නොකර කෙරෙන්න ඕන ප්‍රධානම දේ තමයි මේ ළමයින්ගෙ අද්‍යාපනේ.”

 

 ''අනේ ඔව් මාමෙ. මට ඕනෙත් මේ ළමයින්ට කොහොම හරි උගන්න ගන්න. ඉතින් ජීවත් වෙන්නත් එපැයි. අපේ මේ පුතා තමයි තාත්තා කරපු කුඹුර මට කරන්න පුළුවන් කියල එයාගෙ ලොකු මල්ලිත් එක්ක උදෙන්ම කූඹුරට ආවෙ. මට වාවන්නැතිව ගියා මාමෙ ඒ කතාවට. ඒකයි මමත් ආවෙ මෙතෙන්ට.”

 

 ''බොහොම හොඳයි පුතා, ඔයා අම්මටයි ඔය පවුලටම ලොකු සක්තියක් වෙන වැඩකට තමයි අත ගහල තියෙන්නෙ. එහෙම කියල ඒ සීයා මගෙ ඔළුවත් අත ගාලා අපේ අම්මට මෙහෙම කිව්ව.”

 

 ''දුවේ මාලා, මම අද එනව එහෙ. අපි මේ ළමයින්ගෙ ඉගෙනීමත් කඩා ගන්නැතුව මේ වැඩ කර ගන්න විදිහක් ගැන කතා කරමු. මට හොඳට මතකයි අපේ සිරිපාල අපිට හොඳටම අමාරුකම් තියෙන දවස්වල උදව් කරපු හැටි. සිරිපාල කියන්නෙ තමන්ගෙ ඕනෑ එපාකං හිටන් පැත්තකින් තියල අනුන්ට උදව් කරපු මිනිහෙක්. මට වඩා උඹ දන්නවනෙ දුවේ ඒ ගැන. හොඳයි දැන් ඔය ළමයි යන්න. අද මම ඉන්තේරුවෙන්ම එනව එහෙ ටිකක් කතා කරන්න.”

 

 ''හොඳයි මාමේ මාමා හවසට එහෙ එන්න. අපි එහෙනං ගිහින් එන්නං.”

 

 ''එදා කිව්ව වගේම හවස සියාතු සීයා ආවේ එයාගෙ ලොකු පුතා එක්ක. අපි එයාට කිව්වෙ අනුර මාමා කියලා. අනුර මාමා කියන්නෙ කෘෂිකර්ම වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙන තරුණ ගොවියෙක්. එදා සියාතු සීයා අපේ තාත්තා ගැන කතා කළේ හරිම ආදරයකින්, හරිම ගෞරවයකින්.”

 

 ''මාලා, අපේ මේ ලොකු පුතා ඇච් ඇස් සී පන්තියෙ ඉගෙන ගන්න කාලෙ කියන්නෙ අපිට හරිම අමාරු කාලයක්. ඒ දුවේ උඹ සිරිපාල කසාද බැඳල මෙහෙට ආපු අලුත. මෙයාට ඕන කරන පොතපත අරන් දෙන්නවත් විදිහක් නැතුව ඉන්න වෙලාවෙ පුතේ උඹලෑ තාත්ත අපේ දිහා ආවා. ඒ ඊට දවස් දෙකකට පස්සෙ කුඹුරු වැඩවල උදව්වට එන්න මට පුළුවන් ද බලන්න. හොඳයි සිරිපාල මන් අපේ ලොකු ළමයත් එක්ක ම උදව්වට එන්නං කියලා කිව්ව. යන්න ගිය සිරිපාල ආපහු හැරිල මාමෙ, පොඩ්ඩක් යමු ද අපි ඉස්සරහට කියලා අපේ වත්තට ඇතුල් වෙන පැත්තට අත දික්කළා. ඒ පාර මම සිරිපාල එක්කම එළියට ආවා. සිරිපාල මට කිව්ව මෙහෙම - මං එනකොටත් දැක්ක මාමා ලොකු කල්පනාවක ඉන්නව. මාත් එක්ක කතා කරද්දිත් මන් අහපුවට උත්තර දුන්නෙත් ඒ කල්පනාවෙන් මිදිල නෙමෙයි. ඇයි මාමෙ මොකක්වත් ප්‍රශ්නයක්වත් ද කියලත් ඇහැව්ව. ඒ වෙලාවෙ මම කිව්වෙ පුතේ, උඹ උඹේ ප්‍රශ්නෙකට උත්තර හොයාගෙන ආවහම මම මගෙ ප්‍රශ්න කියල හරි යන්නෙ නැහැනෙ බන් කියලා. එහෙම කිව්වහම මේ පුතාලගෙ තාත්තා මට කිව්වෙ මාමා මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නනෙ, දැන් ලොකු පුතත් එක්කම බදදාදා වැඩට එනව කියලා. දැන් මාමෙ අපි මාමගෙ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයමු කියල කිව්ව. මෙහෙම කීප සැරයක් ම අහපු හින්ද ම මන් සිරිපාලට කිව්ව එයාගෙ පන්ති පොත් ගන්න විදිහක් නැති නිසා ඉස්කෝලෙ ගමන ඇණහිටල තියෙනව කියල. ඒ වෙලාවෙ සිරිපාල කිව්වෙ හොඳයි අපිටත් පුළුවන් දෙයක් නැතෑ කරන්න. කොහොමටත් මොන හේතුවක් හින්දවත් මේ කොල්ලගෙ ඉස්කෝලෙ ගමන නතර කරන්න එපා කියල ගියා. පහුවදා හවස සිරිපාල  අපේ ගෙදර ආවා. මට පැත්තකට කතා කරල කිව්ව මාමෙ මෙතන රුපියල් තුන්දහක් තියෙනව මේකෙන් අනුර මල්ලිගෙ පොත් ටිකයි කොල්ලට ඇඳුමකුයි හදා ගන්න කියල. ඒ දවස්වල මේ මුදල ඒ වැඩ ටිකට ඉහටත් උඩින් ඇති. ඒ මුදල හොයා ගත්ත විදිහ මන් පස්සෙ දවසක සිරිපාලගෙන් දැන ගත්තෙ බොහොම පෙරැත්ත කරලයි. එදයි දුවේ මන් හරියටම දැනගත්තෙ උඹනං අපේ සිරිපාලටම හරියන ගෑනි වග.”

 

 ''මේ වෙලාවෙ කිසිම දෙයක් කතා නොකර අපේ අම්මා සියාතු සීයා දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ සියාතු සීයා ආයෙත් කතා කරන්න ගත්තා. මන් දන්නව දුවේ එදා උඹලා දෙන්නම මේ කොල්ලගෙ වැඩේට කොහොම ද උදව් වෙන්නෙ කියල කතා කරපු වග. ඒ වගෙම උඹලගෙ අතෙත් සල්ලි නැතිම වෙලාවෙ උඹ කණේ තිබිච්ච කරාබු දෙක ගලවල උගස් කරල සල්ලි අරන් සිරිපාල අතේ අපිට එවපු වග. එහෙම උදව් කරපු සිරිපාල ළමයා දැන් අපිට නැහැ. එහෙම කියල සියාතු සීයා කරේ දාගෙන හිටපු තුවාය අතට ගත්තෙ තෙත් වෙච්ච ඇස් දෙක පිහිද ගන්න. අම්ම අඬාගෙන ගෙට යන්න හදන කොට සියාතු සීයා අම්මව නවත්තල මෙහෙම කිව්ව.”

 

 ''දුවේ උඹ අඬන්න නෙමෙයි අඬන මිනිස්සුන්ගෙ කඳුළු පිහදාන්න ඉපදිච්ච ගෑනියක්. අපේ කඳුළු පිහදාපු උඹ මේ දරුසප්පය එක්ක අර කට්ට අවුවෙ වැඩ කරද්දි මට වාවන් නැතුව ගියා දුවේ. හෙට ඉඳන් මේ කුඹුරෙ වැඩ කරාවි අනුර. එයාට සෙනග ඉන්නව. එයා කිව්වෙ ඉඳල හිටල මාලක්කා කුඹුරට ඇවිත් බලල ගියහම ඇති කියලයි. හැබැයි මාලො අපේ කොල්ලගෙ කොන්දේසි තුනක් තියෙනව. එකක් තමයි අවශ්‍ය වියදම් කරල කුඹුර කරල දෙන්නෙ එයා කියන එක. අනික ලබන අස්වැන්නෙන් කිසිම කොටහක් එයා ගන්නෙ නැහැ කියන එක. තුන උඹ කුඹුර ගැන නෙමෙයි දරුවන්ගෙ අද්‍යාපනේ ගැන හිත යොදවන්න ඕනෙ කියන එක.”

 

 ''අනේ මල්ලියෙ එහෙම හොඳ නෑනෙ කියල අපේ අම්ම කිව්වහම කිව්වහම අනුර මාමා කිව්වෙ, නැහැ මාලක්කෙ එහෙම තමයි හොඳ කියලයි.”

 

 ''අනේ සියාතු මාමේ අනේ මල්ලියෙ මෙහෙම උදව් කරන කොට රටේ ලෝකෙ මිනිස්සු මේවා වැරදියට දකින්න පුළුවන්නෙ.”

 

 ''ඒක මාලො ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් මිස උඹලගෙවත් අපෙවත් ප්‍රශ්නයක් නෙමෙයි. කොළුවගෙ අප්ප මන් වෙච්ච කොට අනික් එවුන්ට තියෙන ප්‍රශ්නෙ මොකක් ද මෙතන.”

 

 ''අනික් එක මාලක්කෙ සිරිපාල අය්යා අපිට සහෝදරයෙක් වත් නොකරන විදිහෙ උදව් කරපු කෙනෙක්නෙ. ඔයත් එහෙමනෙ මාලක්කෙ. මට ඉගෙන ගන්න ඕන කරන පොතපත ගන්න සල්ලි ටික හොයාගන්න ඔය අතින්නෙ ඔය කරාබු දෙක ගලවල උගස් තිබ්බෙ. ඉතින් එහෙව් සහෝදරීට ඕනෙම කරන වෙලාවෙ මට උදව් කරන්න බැරිනං මන් මොකෙක් ද අක්කෙ. එහෙම කියල අනුර මාමා අම්මගෙ අත් දෙක හරි ගෞරවයකින් අල්ලල මෙහෙම කිව්ව.”

 

 ''අක්කෙ මන් මේ වගෙම ලොකු ගෞරවයකින් ආදරයකින් අල්ලපු තවත් අත් දෙකක් තිබුණා. එහෙම කියල මගෙ පැත්තට හැරිල කිව්වෙ. මල්ලියෙ ඉගෙන ගනින් උඹගෙ තාත්තගෙ හිත ළඟින් ම තියාගෙන. ඉගෙන ගෙන පුළුවන්නං ඊ්ළඟ පරම්පරාවෙ ඇස් පාදන මිනිහෙක් වෙයන් මල්ලි. උඹලගෙ තාත්ත අම්ම අපිට උදව් උනා වගෙ අපිට ඉඩක් දියන් මල්ලි අපිට පුළුවන් විදිහට උඹලට උදව් වෙන්න. ඒ කිව්ව විදිහටම අනුර මාමා එයාගෙ යාළුවොත් එක්ක ඇවිත් අපට උදව් කළා. අස්වැන්නෙන් පොඩි කොටසක් හරි ගන්න කියල අම්ම කොච්චර බල කළත් අනුර මාමා නෙමෙයි  එක වී ඇටයක් ගෙනිච්චෙ. ඒ අනුර මාමා තමයි දැන් කුරුණෑගල දිස්ත්‍රික්කෙ ගොවි සංවිධානෙ සභාපති.”


  '' රත්නායක සර් දැන් මේ කියපු කතාව හින්ද සර් දැන් අපේ හිත්වලට වෙනදටත් වඩා කිට්ටු උනා. ''


මේ මොහොතේ එතැන රැස් ව සිටි සියලු දෙනාගේ හදවත්වල පිළිසිඳි හැඟුම ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කෙළේ මිහිදිනිය යි.


'' ඉතින් රත්නායක මහත්තයා ඔය වගෙ පසුබිමක් ඇතුව ගොවි ගෙදරකින් ඇවිල්ලා මේ ඉස්කෝලෙ ඉගෙන ගෙන ඒකෙන් ම විශ්වවිද්‍යාලයටත් ගිය කෙනෙක් හැටියට මේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවය පවත්තන්න ඕනෙ විදිහ ගැන ඔයාට ඇතිනෙ පැහැදිලි අදහසක්. අපි දැන් කැමතියි ඒ ගැනත් දැනගන්න.”


 එසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය.

 

 ''සර් කලින් අපේ අතුල සර් කිව්ව හරි. මේ ක්‍රීඩා උත්සවේ පවත්තන්නෙ අවුරුදු දහයකට පස්සෙ තමයි. මන් දන්න ඉතිහාසෙට මෙහෙ තියල තියෙනව ක්‍රීඩා උත්සව තුනක්. මගෙ පළවෙනි මතකය යන්නෙ දෙකේ පන්තියට. නිවාස තුනක් තමයි එදා තිබුණෙ කියන එක ගැන අදහසක් අද ඇති කරගන්න පුළුවන් වෙන්නෙ එදා පන්තියෙ ළමයි තුනකට බෙදිල ඒ ඒ පාටින් තමන්ට අයිති පාට තියෙන කොඩියක් අරගෙන අය්යලගෙ අක්කලගෙ පස්සෙ ඉස්කෝලෙ පිට්ටනිය පුරා දිව්ව නිසයි. ඊට පස්සෙ අපි හයේ හතේ  තරමෙ ඉන්න කොටත් ක්‍රීඩා උත්සවයක් තිබුණා. අන්තිම මතකෙ දහයෙ පන්තියටයි එන්නෙ. එදා ක්‍රීඩා උත්සවේ අවසාන උනේ ලොකු රණ්ඩුවකින්. තෙන්නකෝන් සර්ට සුමනා මැඩම්ට මතක ඇති ඒ රණ්ඩුව. එතකොට මැඩම් මේ ඉස්කෝලෙට ඇවිල්ල අවුරුද්දක් විතර ඇති. ඔය සිද්ධිය වෙන කොට සුමනා මැඩම් තමයි අපේ පන්ති බාර ටීචර් වෙලා හිටියෙ. ළමයි විතරක් නෙමෙයි ගුරුවරුයි දෙමව්පියොයි පවා දෙකට නෙමෙයි තුනට බෙදිච්ච වෙලාවක් ඒක. ඒ ඉතිහාසය ගැන දැන ගත්ත ගමන් පස්සෙ ආපු කිසිම විදුහල්පතිවරයෙක් ඉදිරිපත් උනේ නැහැ ක්‍රීඩා උත්සව තියන්න. මන් දැන් මේ ඉස්කෝලෙ ගුරුවරයෙක් වෙලා අවුරුදු පහක් වෙනවා. මන් ඉල්ල හිටින්නෙ මිනිස්සු වෙන් කරන නෙමෙයි එකතු කරන ක්‍රීඩා උත්සවයක් පවත්තන්නෙ කොහොම ද කියන විදිහක් ගැන අපි කල්පනා කරමු කියල යි.”

 

 ''සුමනා අපේ රත්නායක ඉදිරිපත් කළේ අපි කවුරුත් ගැඹුරින්ම කල්පනා කරන්න ඕනෙ කාරණයක්. දැන් අනිත් අයත් තමන්ගෙ අදහස් දැක්කුවොත් නේද හොඳ? ”

 

 ''සර් මට හිතෙනවා රත්නායක සර් කියපු කාරණා අපේ පදනම හැටියට අරගෙන අපි සැලැස්ම හැදුවොත් හොඳයි කියලා.”

 

මෙසේ කතාවට එක් වූයේ නදී ය.

 

 ''මොකෝ මේ ගඟුල් සර් නිහඬ ව. මෙතුමාටත් ඇතිනෙ අලුත් අදහස්.”

 

සමරසිරි මහතා පවසද්දී තෙන්නකෝන් මහතා ද සංඥා කෙළේ ගඟුල්ට දැන් කතා කරන්නැයි කියා ය.

 

 ''අලුත්ම අදහසක් නෙවෙයි, මේ රටේ ඈත ඉස්කෝලෙක ඇත්තට ම ක්‍රියාවක් බවට පත්වෙච්ච දෙයක් ගැනයි මන් කතා කරන්න හිතුවෙ. රත්නායක සර් මෙච්චර වෙලා බොහොම ලස්සනට කියපු දේවල් එක්කත් ඒක ගළපන්න පුළුවන්. මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු ගාණකට ඉස්සරින් පොළොන්නරුවෙ පළුගස්දමන ඉස්කෝලෙදි. ඒ ඉස්කෝලෙත් ක්‍රීඩා උත්සවයක් පැවැත්තුණා ටිකක් වෙනස් විදිහකට. නිවාස තුනක් නැත්තං හතරක් තිබුණට ඒවා ක්‍රියාත්මක කරල තියෙන්නෙ තරගකාරි හැඟීම ඇතිවෙන විදිහට නෙමෙයි. නිවාස ඔක්කගෙම අයට සංග්‍රහ ලෑස්ති කරලා තිබුණෙ එක නිවාසෙක. සෞඛ්‍ය කටයුතුවල වගකීම තිබුණෙ තවත් නිවාසෙකට. කොයි නිවාසෙක ළමයෙක් ලෙඩ උනත් තුවාල කරන් ආවත් ඒ ඔක්කටම ප්‍රතිකාර කරන්න ඉදිරිපත් උනේ ඒ නිවාසෙ ළමයි. තවත් සාමාන්‍යයෙන් නොවෙන දෙයක් මේ ඉස්කෝලෙ සිද්ධ උනා. ඒ තමයි හැම නිවාසෙකම සැරසිලි කටයුතු පැවරිල තිබුණෙ එක නිවාසෙක අයට. ඒ නිවාසෙ ළමයි ඒ වගෙම ඒ නිවාසෙට අයිති ගුරුවරු වැඩ කළේ හැම නිවාසයක් ම ගැළපෙන විදිහකට සරසන්න මිසක් අපේ එක තමයි හොඳම නිවාසෙ කියන ආකල්පෙ එන විදිහට නෙමෙයි.”

 

 ''මන් පොඩ්ඩක් බාධා කළාට කමක් නැද්ද ගඟුල්.”

 

 ''අපෝ නෑ කියන්න සමරසිරි සර්.”

 

 ''නෑ මන් මේ කල්පනා කළේ ඔය වැඩ පිළිවෙළ නිසා බොහොම සාමකාමි වටපිටාවක් නිර්මාණය වෙනව කියන එක පැහැදිලියි. ඒ උනාට ක්‍රීඩා උත්සවයකට ඕන කරන ජවය එන්නෙ නැහැ නේද ඔය විදිහට වැඩ කළොත්.”

 

 ''මුලින් සර් ඔය කතා කරන ප්‍රශ්නෙ මටත් ආවා. මම ඕක ඇහැව්ව අපේ අය්යගෙන්. මොකද ඔය වැඩ පිළිවෙළේ බොහොම ලොකු කොටසක් වෙච්ච පළුගස්දමන ඉස්කෝලෙ චිත්‍ර ගුරුවරයා විදිහට වැඩ කරපු සමන් අය්යයි අපේ අය්යයි සෞන්දර්යෙදි ඉගෙන ගත්තෙ එකට. මට ආපු ගැටළුවම අපේ අය්යගෙ හිතටත් මුලින් ඇවිත් තිබුණ. හැබැයි එයාගෙ ඒ හැඟීම සම්පූර්ණයෙන් ම නැති උනා කිව්ව සමන් අය්ය කියපු කතාවක් ඇහුවටයි, ඒ ක්‍රීඩා උත්සවේ බලන්න ලැබුණටයි පස්සෙ. ඒ වගෙම අපිට මේ වැඩේදිත් යම්යම් අදහස් ලබාගන්න හොඳ කෙනෙක් ඉන්නව මේ ගමේ ම.”

 

 ''ඒ කවුද ගඟුල් සර්. එහෙනං අපිට පුළුවන්නෙ එයාගෙනුත් හොඳ හොඳ අදහස් ලබා ගන්න.”

 

 ''ලේසියෙන්ම පුළුවන්. මොකද ඒ කෙනා ඉන්නෙ මම නැවතිලා ඉන්න ගෙදරම නිසා.”

 

 ''කවුද අප්පච්චියෙ ඒ.”

 

මෙසේ ප්‍රශ්න කෙළේ රේණු ය.

 

 ''ඒ වෙනින් කවුරුවත් නෙමෙයි රේණු අක්කෙ. අපේ වසන්ත අය්යා. මහව විජයබාවෙ උගන්නන වසන්තය්යා. ඒ අය්යා ඉගෙන ගත්තෙත් සමන් අය්යලත් එක්ක එකම කාලෙකදි සෞන්දර්යෙ. දෙන්නටම අර ක්‍රීඩා උත්සවේ බලන්න විතරක් නෙමෙයි ඒ ළමයින්ට උදව් කරන්නත් එක්ක සමන් අය්ය වසන්ත අය්යවයි අපේ අය්යවයි ක්‍රීඩා උත්සවේට දවස් තුනකට කලින් පොළොන්නරුවට ගෙන්නගෙන තිබුණා.”

 

 ''ගඟුල් සර් කිව්වෙ නැහැනෙ අර තරගයෙන් තොර වටපිටාවක් නිර්මාණය කළාම ක්‍රීඩා උත්සවයකට ඕන කරන ජවය එන්නෙ නැහැ කිව්වහම සමන් සර් දුන්න උත්තරය.”

 

 ''මිහිදිනී මිස් එදා සමන් අය්ය කියල තිබුණෙ මෙතෙන්දි අවශ්‍ය කරන්නෙ ආදරණීය ජවයක් මිස අනාදරණිය ජවයක් නෙමෙයි කියලයි.”

 

 ''ඒකනං හරි ඇත්තක්. දැන් ටිකකට ඉස්සෙල්ල අපේ රත්නායක සර් කිව්ව නේද මේ ඉස්කෝලෙම ක්‍රීඩා උත්සවයකදි එකිනෙකා ගැටුම් ඇති කර ගත්ත මහ කණගාටුදායක වාතාවරණයක් ඇති උනා කියල. ඒ ගැටුම දැකපු කෙනෙක් තමයි මම. ඒ වගෙම ඔයගොල්ලන්ගෙ සුමනා මැඩමුත් ඔය ගැටුම දැකපු වගේම ඒක සමනය කරන්න ලොකු උත්සහයක් දරපු කෙනෙක්. අපේ ගඟුල්, අර සමන් මහත්තය කියපු අපිට අවශ්‍ය ආදරණීය ජවයක් මිස අනාදරණිය ජවයක් නෙමෙයි කියන එක හරිම ඇත්තක්. එදා මේ ඉස්කෝලෙම ඇතිවෙච්ච ඒ අවාසනාවන්ත තත්වෙට මුල් උනෙත් ඒ කියපු අනාදරණීය ජවයම තමයි. ඒ දවස්වල අපේ නොදැනුවත්කම නිසා අපෙන් පවා වෙලා තිබුණෙ අර අනාදරණීය ජවය පෝෂණය කරන එක. මන් කාලයක් හිතාගෙන හිටියෙත් ශිෂ්‍යයන්ගෙ හිත්වල තරගකාරි හැඟීම පෝෂණය කරන අවශ්‍යම දෙයක් කියලයි. මගෙ ඒ ආකල්පෙ වෙනස් වෙන්න මන් උගන්නන ඉස්කෝලෙම සිද්ධ වෙච්ච අර අවාසනාවන්ත සිදුවීමත් ආචාර්ය අදිකාරම්තුමා තරගය ගැන කරල තියෙන ලස්සන ප්‍රකාශයකුත් හේතු උනා. එතුමා කියනව තරගය ඇති වෙන්නෙ ආදරය නැති තැනදියි කියල. එතුමා අපෙන් ප්‍රශ්න කරනව තමන් ගොඩක් ආදරය කරන කෙනෙක් එක්ක තරග කරල එයාව පරද්දන්න අපට පුළුවන් ද කියලා. මේ ප්‍රශ්නෙ වෙන කාගෙන්වත් නෙමෙයි ඔයගොල්ල තම තමන්ගෙන්ම අහල බලන්න කියලා.”

 

මොහොතක් නිහඬව සිටි තෙන්නකෝන් මහතා බලා සිටියේ තමා වටා හිඳගෙන සිටින පිරිස දෙස ය.

 

 ''හොඳයි දැන් මම අපි අතර මේ මොහොතෙ මෙතනම ඉන්න මේ පොඩිම කෙල්ල ඒ කියන්නෙ අපේ මිහිදිනීගෙන් ප්‍රශ්නයක් අහනවා. මන් අමුතුවෙන් කියන්න යන්නෙ නැහැ අනේ දුවේ මට ඔයා හිතට එකගව අවංක උත්තරයක් දෙන්න කියලා. මොකද එහෙම අහන එකම වෙන කිසි දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතෙන් ම අවංක බව පෙන්නල තියෙන මේ දරුවට කරන අපහාසයක් නිසා. ඔන්න මන් දැන් ප්‍රශ්නෙ අහනවා.”

 

 ''දුවේ ඔයයි රේණු දුවයි උගන්නන්නෙ ඉංග්‍රීසි. ඔයාට දැනගන්න ලැබෙනව මේ විෂය උගන්නන කෙනෙකුට ලැබෙන මොකක් හරි ලොකු වරප්‍රසාදයක් ගැන. ඒක එක ඉස්කෝලෙකින් එක ගුරුවරයටයි ලැබෙන්නෙ. අනික් අයට නොකිය මේක ඔයාට ලබාගන්න ලේසියෙන්ම ඉඩක් පෑදිල තියෙනවා. එහෙම වෙලාවක ඔයා මොකද කරන්නෙ.”

 

 ''අනේ සර් මන් මේක මුලින්ම කියන්නෙ රේණු අක්කට. ඊට පස්සෙ අපි දෙන්නම ගිහිල්ල අපි වගෙම මේ ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නන අපිට වඩා ජ්‍යෙෂ්ඨ සර්ටයි මැඩම්ටයි කියනව ඒකට ඇප්ලයි කරන්න කියලා.”

 

 ''ඒ කියන්නෙ ඔයා ඒ ගොල්ලොත් එක්කම ඒකට ඇප්ලිකේෂන් එකක් දාන එක ද එහෙම නැත්නං අනික් තුන් දෙනාට දාන්න කියල ඔයා විතරක් නොදා ඉන්න එක ද?”

 

 ''නෑ සර් මන් විතරක් නෙමෙයි රේණු අක්කත් ඒකට දාන්නැති බව මන් දන්නවා. අර දෙන්නම අපිට වඩා ජ්‍යෙෂ්ඨ අය. ඒ වගේම රේණු අක්කා මට වඩා ජ්‍යෙෂ්ඨ යි.”

 

 ''ඔය ප්‍රශ්නෙම මම රේණුගෙන් ඇහැව්වොත් රේණු මොකද කියන්නෙ.”

 

 ''මට දෙන්න තියෙන්නෙත් මිහිදිනී දුන්න උත්තරේම තමයි. ඒ කියන්නෙ මන් දාන්නෙත් නෑ මිහිදිනී දාන්නෙත් නෑ කියන එක. ඒත් අපි දෙන්නම තව එක  වැඩක් කරාවි. ඒ අපේ ඉංග්‍රීසි සර්වයි මැඩම්වයි ඒකට උනන්දු කරන එක. ඒ විතරක් නෙමෙයි ඒකට අවශ්‍ය කරන වෙන උදව්වක් කරන්න  තිබුණොත් ඒකත් කරල දෙන එක.”

 

 ''මන් දන්නව කෙල්ලනේ උඹලා දෙන්න ගැනම, තරගයක් නැතුව ඕකට යන්න පුළුවන්කම තිබුණත් මේ දෙන්නම ඕවට ඉල්ලන්නෙ නැති බවත් මම දන්නවා. කොළඹ ජනප්‍රිය ඉස්කෝලෙකට බොහොම ලේසියෙන් පත්වීමක් ගන්න පුළුවන්කම තියෙද්දයි මේ රේණු මිස් මේ ඉස්කෝලෙට ආවෙ. එයා වැඩ බාර ගන්න ආපු පළවෙනි දවසෙම තමයි මම තේරුම් ගත්තෙ මේ ළමයනං ගුරු උරුමය ඇතිව උපන් ගුරු ධර්ම දන්න දැරිවියක් කියන එක. ඒ වගෙම මිහිදිනී කියන්නෙත් වයසින් පුංචි උනත් ලොකු ගැඹුරක් තියෙන කෙල්ලක්. ඒ ගොල්ලන්ව සීනි බෝල දීල එක එක තැනට අද්දගන්න පුළුවන් අය නෙමෙයි.”

 

 ''සර් ඔහොම කියන කොට මටත් පොඩි කතාවක් මතක් උනා. මන් ඒ කතාවත් කියන්නම්. මේ මිහිදිනී නංගි ගැන නං සර් කියපු දේවල් හරි. ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ රේණු අක්කා නං ඔය කියන ගුරු ධර්ම ගූණ ධර්ම දන්න කෙනෙක් ද කියන එක. හැබැයි කොහොම උනත් මෙයා හරි දක්ෂ කෙනෙක්. මොකද තෙන්නකෝන් සර් වගෙ දැනුම් තේරුන් තියෙන අයත් මෙයා හොඳයි කියල හිතවන තරමට දක්ෂ වෙලා තියෙන නිසා. නැද්ද සුමනා මැඩම්?”

 

 ''මේ මේ අතුල මාව ගාගන්න එපා ඕවට.”

 

 ''වෙන මොකක් ද තියෙන ඉරිසියාව. තෙන්නකෝන් සර් මගෙ හොඳ කියන කොට උහුල ගන්න බැරිව ගියා මෙයාට. ඒකෙන් කමක් නැහැ කියනවකො බලන්න ක්‍රීඩා මහත්තය තමුන්නාන්සෙගෙ මහ ලොකු කතාව.”

 

 ''මොනව උනත් මේ වැදගත් අයට නම්බු දීල කතා කරන්න දන්නවා. අපේ රේණු නෝනා. තමුන්නාන්සෙ කියල එතුමිය ගරු සරු ඇතිව ආමන්ත්‍රණය කරපු මේ ක්‍රීඩා මහත්තය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ කීර්තිමත් ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්න කාලෙ විශේෂ දේශනයකට වෙන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් ආවා. ඒ මහාචාර්යතුමාගෙන් මේ රටේ ගුරු භූමිකාව තියෙන්න ඕන තැන මොකක් ද කියලා ප්‍රශ්න කළා ඉතාම බුද්ධිමත් ශිෂ්‍යයෙක්ඒ ඉතාම බුද්ධිමත් ශිෂ්‍යයා පසුකාලෙක නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයෙ ගුරුවරයෙක් විදිහට වැඩ බාර ගත්තා.”

 

 ''ඒ ඉතාම බුද්ධිමත් ශිෂ්‍යයා ගොන්ම ගොන් ප්‍රශ්නයක් අහන්න ඇති. ඒ වගෙම අපිට හිතාගන්න පුළුවන් ඒ මහා බුද්ධිමතා කවුද කියලා. දැන්වත් බුද්ධිමතා අර මහාචාර්යතුමා අපේ බුද්ධිමතාගෙ ප්‍රශ්නෙට දුන්න උත්තරේ කියනවකො.”

 

 ''අර මහාචාර්යතුමා කිව්වා මේ රටේ ඉන්න ගුරුවරු ඒ අය වැඩ කරන විදිහ අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. ඒ සර් කියපු විදිහට එක කොටසක් ගුරු උරුමයො. දෙවෙනි කණ්ඩායම ගුරු කරුමයො. තුන්වෙනි කොටස ගුරු නරුමයො.”

 

 ''ඒක මාර බෙදිල්ලක්නෙ. හැබැයි මොකක්දෝ ඇත්තක් ඒකෙ තියෙන බවත් දැනෙනවා.”

 

සමරසිරි මහතා එසේ පවසද්දී අතුල තවදුරටත් කරුණු පැහැදිලි කිරීමෙහි ලා නිරත විය.

 

 ''ඔව් මේක කිසිම අධ්‍යාපන විද්‍යාව පොතක නං දකින්න ලැබෙන එකක් නෙමෙයි. මට හිතෙන හැටියට ඒ සර් ම හදපු කතාවක්. හදපු කතාවක් උනත් වැඩේ ඇත්ත. එතුමා කියන විදිහට ගුරු උරුමයන් කියලා කියන්න පුළුවන් වෙන්නෙ හොඳ දැනුමක් ඇතුව ළමයින් තේරුම් අරගෙන ගුරු ජීවිතය, ජන්ම වාසනා ගුණය නිසා උරුමයක් විදිහට ලබාගෙන මේ ලෝකයට ඇවිත් ඉන්න උදවිය. මේ තෙන්නකෝන් සර් සුමනා මැඩම් මම වගේ චරිත අයිති ඒකට.”

 

 ''ඇත්ත ද අර මුල් නම් දෙකනං හරි. අන්තිම නම තමයි එතෙන්ට ගැළපෙන් නැත්තෙ.”

 

රේණු එසේ පවසද්දී අතුල තවදුරටත් තම කතාව කරගෙන ගියේ ය.

 

 ''ඉතින් අර දෙවෙනි කට්ටියට  ගුරු කරුමයො කියන්නෙ ඒ ගොල්ලො ගුරුවරු වීමම මුළු සමාජෙටම මහ කරුමයක් වෙන නිසාලු. දැනුමෙත් අඩුවක් තියෙන ඒ අඩුව ශිෂ්‍යයන්ගෙන් පිරිමහගන්න හදන ආදර කරුණාවක් නැති අය තමයි එදා එතුමා ගුරු කරුමයො විදිහට අඳුන්නල දුන්නෙ.”

 

 ''අපොයි අපේ ඉස්කෝලෙත් ඉන්නෙ ඒ ජාතියෙ දෙතුන් දෙනෙක්. එහෙම අයත් එක්ක එකම තැන වැඩ කරන්න උනාම ඒක ඉතින් අපෙත් කරුමයක් ම තමයි.”

 

රේණු එසේ පවසද්දී තෙන්නකෝන් මහතා ද කතාවට මෙසේ මැදිහත් විය.

 

 ''ඒ විදිහට හිතන්න එපා දුවේ. අපි වැඩ කරන්න ඕනෙ අන්තිම නරකයි කියල අපි හිතන් ඉන්න කෙනත් යහපත් පැත්තට වෙනස් වේවා කියන හැඟීම ඇතුව. එහෙම අයත් එක්ක වැඩ කරන එක අමාරු තමයි. ඒ උනාට අපිට ඒ අය එක්කත් වැඩ කරන්න වෙනවනෙ. මෙතන ඉන්නෙ අතුල හොඳයි කියල හිතපු ඇත්තටම එකට වැඩ කරන්නත් පුළුවන් සාමූහික හැඟීම තියෙන තමන් ඉස්මතු වෙන්න දඟලන්නෙ නැති පිරිසක්. ඔව් ඕනෙම වැඩක් සාර්ථක ව කරන්න නං එහෙම පිරිසක් ඕනෙමයි. ඒ වගෙම අපි හැම එක්කෙනාට ම වෙන වෙන ම පුළුවන් වෙන්න ඕනෙ තව එක එක්කෙනා හරි මේ වැඩේ කොතනකට හරි සම්බන්ධ කරගන්න. හරි දැන් අතුල ගුරු උරුමයො ගැන කිව්වා. ගුරු කරුමයො ගැනත් කිව්වා. දැන් ඉතිරි කට්ටිය ගැන මහාචාර්යතුමා මොකක් ද කිව්වෙ.”

 

 ''ඉතිරි කට්ටිය තමයි ගුරු නරුමයො. මන් ඉස්සෙල්ල උගන්නපු ඉස්කෝලෙ එහෙම ගුරු නරුමයෙක් ව දැක්කා. අපරාදෙ කියන්න බැහැ සර් තවම මම මේ ඉස්කෝලෙ නං ඒ ජාතියෙ ගුරු නරුමයෙක් ව නං දැක්කෙ නැහැ.”

 

 ''එතකොට මොනාද අතුල සර් ගුරු නරුම ලක්ෂණ.”

 

ගයා එසේ විමසූ පසු අතුල තවදුරටත් කතා කෙළේ ය.

 

 ''ගුරු කරුමයන්ට අදාළ ඔක්කොම ලක්ෂණ ගුරු නරුමයන්ටත් තියෙනවා. ඊට අමතරව සමාජ ද්‍රෝහි ක්‍රියාකරන එක වීරකමක් කියල හිතන එක. වැරැද්දක් ඇතිව හෝ නැතිව ශිෂ්‍යයන්ට පහර දීම, කේලම් කියල හරි වෙන ක්‍රමේකින් හරි තමන් එක්ක එකට සේවය කරන අය භේද කරල සතුටු වෙන එක මේ ගොල්ලන්ගෙ ආත්මගත ලක්ෂණයක්. මන් පළවෙනි පත්වීමට ගිය ඉස්කෝලෙ දි එහෙම නරුමයෙක් ව දැක්කා. ඒකගෙ නරුම වැඩ කීපයකුත් මන් දැක්කා. එක දවසක් එක ශිෂ්‍යයෙක් කලින් දවසක කරපු වැරැද්දක් මතක තියාගෙන ඉඳල පහුවදා ඒ ළමයා පන්තියක ඉගෙන ගනිමින් ඉඳිද්දි උගන්නන ගුරුවරයත් බලන් ඉන්න කොටම ළමයව එළියට ඇදල අරගෙන ගහගෙන ගහගෙන ගිහින් තිබුණා. ඒ මම ඒ ඉස්කෝලෙට ආපු දාට පහුවදා. මට කණගාටු ඒ පන්තියෙ උගන්නපු ගුරුවරයත් මෙයාට ඉඩදීල ඔහෙ බලාගෙන හිටපු එක.”

 

 ''හරි අතුල සර් ඒ වැඩේ කරන්න ආවේ ඔයා උගන්න උගන්න ඉන්න වෙලාවක ඔයාගෙ පන්තියෙ ළමයෙක්ට නං ඔයා මොකද කරන්නෙ.”

 

මෙසේ විමසුවේ රේණු ය.

 

 ''මන් කරන්නෙද, කරන්නෙ උගෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරින එක.”

 

 ''ඔය කිව්වෙ ඔය කිව්වෙ, කොච්චර කිව්වත් වැඩක් නෑනෙ මෙයාට.”

 

 ''එහෙනං නදී කියන්නෙ ඌව මට තොටිල්ලක දාලා නලවන්න කියල ද ?” 

 

 ''බලන්නකො නදී අක්කෙ, ඒක මතක් වෙලා ද කොහෙද අතුල සර් දැනුත් වෙවුලන හැටි.”

 

ඒ කතා කෙළේ මිහිදිනී ය.

 

 ''මම අතුලගෙ අයුක්තිය - අසාධාරණය අනුමත නොකරන ගුණය ගොඩක් අගය කරනවා. මට එකග වෙන්න බැරි අතුල ගොඩක් වෙලාවට ඒවට ප්‍රතිචාර දක්වන විදිහ එක්කයි.”

 

 ''හරියටම හරි තෙන්නකෝන් සර්. ඔය ගැන මමත් මෙයාට කොච්චරක් නං කියනවද. කොච්චර කිව්වත් වැඩක් නැහැ. බලන්නකො අර සිල්වා මැඩම් එක්කත් එල්ලි එල්ලි යන හැටි.”

 

 ''ඒ උනාට සිල්වා මැඩම්ලා වගේ අය ආණ්ඩු මට්ටු කරන්නත් අතුල සර්ලා වගේ අය ඉන්න ඕන කියලයි මන් නං කියන්නෙ.”

 

 ''අන්න දැක්කද ගයා ඒක තේරුම් ගත්ත ලස්සන.”

 

 ''අපෝ ගයා මෙයාට ඇහෙන්න ඔය වගේ කතා කියන්න එපා. එතකොට මෙයා තවත් උඩ යනවා. අර අපේ රේණු කියනව වගේ වෙලාවකට මටත් හිතෙන්නෙ දෙකක් දෙන්න.”

 

 ''කාටද නදී, සිල්වා මැඩම්ට ද? ”

 

 ''සිල්වා මැඩම්ට නෙමෙයි අතුල ඔයාට. ”

 

 ''අපිට ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න හිතෙන්නෙ ඕකනෙ, නැද්ද සුමනා. මේ ගොල්ලන්ගෙ රණ්ඩුවක් උනත් අර සමන් මහත්තය කිව්ව වචනත් එක්ක සම්බන්ධ කරල ගත්තොත් ආදරණීය රණ්ඩුවක් මිස අනාදරණීය එකක් නෙමෙයි.”

 

 ''සර් මට බැරිද අපේ අතුලට හොඳට රිදෙන්න ආදරණීය පහරදීමක් කරන්න.”

 

 ''ඔව් රේණු, ඔයා මේ විහිලුවට කියන කතාවෙත් ගැඹුරට ගිහින් බැලුවොත් ආදරණිය පහරදීමක් තියෙනවා. සෙන් බුඩිසම්වල උගන්නනවා මේ ආදරණීය පහරදීම ගැන.”

 

 ''ඒ කියන්නෙ අපිට ඕන්නං ආදරයෙන් පහර දෙන්න පුළුවන් ද?”

 

 ''ඔව් දරුවො ඇත්තටම ආදරයෙන් පහර දෙන්න පුළුවන්.”

 

 ''අනේ සර් අපිටත් කියන්නකො ඒ සෙන් කතාව.”

 

 ''හොඳයි ගයා, සෙන් දහම ගැන ලියැවෙච්ච ගොඩක් පොතපත තියෙනවා. ඒ අතරින් මට ගොඩක් දැනිච්ච පොත තමයි Zen Flesh and Zen Bones කියලා කියන්නෙ. මේ පොතේ තිබිච්ච කතාවලින් 125 ක් තෝරගෙන සිංහලට පරිවර්තනය කරල තියෙනවා චන්දිම විජේබණ්ඩාර මහාචාර්යතුමයි එච්. එම්. මොරටුවගම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමයි. මීට අමතරව සෙන් දහම පදනම් කරගෙන බිහිකරපු චිත්‍රපටිත් තියෙනවා, ටෙලි නිර්මාණත් තියෙනව. ඒ අතරින්  තමන්ට වඩාත් දැනිච්ච හොඳම සෙන් ටෙලි නිර්මාණයක් අපේ ටයිටස් තොටවත්ත මහත්තය නිවැරදි සිංහල උපශීර්ෂ යොදලා අපිට බලා ගන්න සැලැස්සුවා. මමත් ඒ දවස්වල බොහොම කැමැත්තෙන් බැලුව ඒක. ඒකෙ ප්‍රධාන චරිතය කේන්. කේන් කියන්නෙ සෙන්  ඉගෙන ගන්න ආපු අනාථ දරුවෙක්. ඒ කේන්ගෙ චරිතය හරහා ඒ අධ්‍යක්ෂවරයා අපේම ජීවිත ගැන ලොකු කියවීමක් කරනවා.”

 

 ''අපිට දැන් ඒක බලන්න විදිිහක් නැද්ද සර්.”

 

ඒ විමසීම රේණුගෙනි.

 

 ''මන් හිතන්නෙ පුළුවන්. සමහර විට අපේ අතුලලට ගඟුල්ලට ඔය ගැන අදහසක් ඇති කියලයි මට හිතෙන්නෙ.”

 

 ''ඔව් සර් අපිට ඉන්ටනෙට් එකෙන් සම්පූර්ණ කතා මාලාවම බලන්න පුළුවන්. මම ළඟදිත් ඒවා බැලුවා. Caine Kung Fu with English Subtitles කියල ගැහැව්වහම වෙබ් අඩවි කීපෙකින්ම මුළු කතා මාලාවම බලන්න පුළුවන්.”

 

තෙන්නකෝන් මහතා ඇසූ පැනයට එසේ පිළිතුරු දුන්නේ ගඟුල් ය.

 

 ''අනේ සර් අර ආදරයෙන් පහර දීම ගැන කියන්නකො දැන්.”

 

ඒ ඉල්ලීම මිහිදිනීගෙනි.

 

 ''සෙන් ආරාමවල ඉන්නෙ භික්ෂූන් වහන්සේලා. එක එක වයස් මට්ටම්වල හාමුදුරුවරු ඒවයේ ඉන්නවා. ඒ අය පුංචි කාලෙ ඉඳලම සටන් ක්‍රම ඉගෙන ගන්නවා තමන්ගෙ ගුරු හාමුදුරුවරුන්ගෙන්. සොබාදහමෙ තිබෙන විවිධ ශබ්ද වගේම සත්ත්ව චර්යා පිළිබඳ දැනුමත් මත පදනම් වෙලා කරන මේ සටන් ක්‍රම එක්තරා විදිහක භාවනාවක් කියලත් සලකන්න පුළුවන්.”

 

 ''එහෙමනං සර් ඒක අපේ දරුවන්ටත්  උගන්නන්න ඕන කලාවක්නෙ.”

 

මෙසේ කතාවට එක්වූයේ නදී ය.

 

 ''ඔව් නදී, ඒක එහෙම වෙන්නෙ හරි ගුරුවරයෙක් උගන්නනවා නං විතරයි. අද කුන්ග්ෆූ කියලා ඒ සටන් කලාව ධනෝපායන මාර්ගයක් කරගෙන ඉන්න ගොඩක් දෙනා මේකත් එක්ක බැඳිච්ච දහම ගැන අවබෝධයක් ඇති අය නෙමෙයි. ඇත්ත කුන්ග්ෆූ ගුරුවරු නැහැ කියල මන් කියන්නෙ නැහැ. ඒ උනාට ඒ ජාතියෙ ගුරුවරු අතිදුර්ලභයි කියලයි මට නං හිතෙන්නෙ. අන්න ඒ විදිහට කුන්ග්ෆූ කියන්නෙ සටන් ක්‍රමයක් විතරක් ය කියලා වැරදි කියවීමක් තියෙන සමාජය සෑහෙන තරං දුරකට දැනුවත් කිරීමේ කටයුත්තත් මේ කතා මාලාවෙන් වෙනවා කියන එකයි මගෙ හැඟීම. ඊළඟට අපේ මිහිදිනී කිව්වනෙ ආදරයෙන් පහරදීම ගැන කියන්න කියලා. දැන් ඒ කතාව කියන්නං.”

 

 ''දවසක උදේ සෙන් සටන් ක්‍රම උගන්වන යතිවරයෙක් තමන්ගෙ ශිෂ්‍යයන්ට උගන්නනවා ඔබේ දෑත ඇත්තේ ආදරය කිරීමට යි කියලා. එදාම හවස ඒ ගුරුවරයා ඒ ශිෂ්‍යයන්ටම උගන්නනවා පහර දෙන්න, පහරවල් වළක්වන්න. මේක කේන්ට ගැටලුවක්. මේ වෙලාවෙ පුංචි කේන් ගුරුහිමියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා අහන්නෙ ආදරය කිරීමට ඇති දෑත් පහරදීමට යොදවන්නේ ඇයි කියලයි.”

 

 ''ඉතිං ඇත්තනෙ සර් ඔය ප්‍රශ්නෙම තමයි දැන් මගෙ හිතට ආවෙත්.”

 

ගයා එසේ පවසද්දී නදී කීවේ ද ඒ ගැටලුව ම තමා තුළ ද ඇති වූ බව යි.

 

 ''එකපාරටම එහෙම හිතෙනව තමයි දරුවො. එහෙත් සෙන් දහම අධ්‍යයනය කරද්දි අපට පේනවා, මතුපිට පහරදීම ළඟ විතරක් නවතින් නැතුව ඊට වඩා ගැඹුරු කියවීමකට යන්න පුළුවන් බව. අපි මෙහෙම හිතමු. කෙනෙක් ආයුධයක් අරගෙන තව කෙනෙක් ව ඝාතනය කරන්න එනවා. ඒක නවත්තන්න තියෙන එකම විකල්පය ආයුධේ තියෙන කෙනාට පහරදීලා එයා නිරායුධ කිරීම නං සෙන් දහම එක්ක ඒ සටන් කලාව ඉගෙන ගත්ත කෙනා ආයුධේ අතේ තියෙන කෙනාට අනිවාර්යයෙන් ම පහර දෙනවා. හැබැයි අපි ඔය සාමාන්‍යයෙන් චිත්‍රපටියක දකින පහර දීමට වඩා ඒ පහර දීම වෙනස්. එහෙම වෙලාවක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ ලොකු කේන්තියකින් ආවේගයකින් අරයට පහර දීලා මෙල්ල කරන එක. මෙතන වෙන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. ආයුධේ අතේ තියෙන කෙනාට ගහල හරි එයාව නිරායුධ කරන්නෙ එයාගෙන් මැරුම් කන්න ඉඩ තියෙන කෙනාට ආදරේ නිසා. ආයුධේ තියෙන කෙනාට පහර දීලා එයාව මෙල්ල කරන්නෙ එයාටත් ආදරේ නිසා. ඒ නිසා එයා අපරාධකාරයෙක් බවට පත්වීම වැළැක්කෙන නිසා.”

 

 ''ඒ කියන්නෙ ඇත්ත සටන්කරුවෙක් නං එයා අවශ්‍යම අවස්ථාවෙදි මේ ආදරයෙන් පහරදීම සිද්ධ කරලා සිදු නොවියයුතු දේ වළක්වන එක නේද කරන්නෙ.”

 

 ''හරියටම හරි රේණු ඔයා තේරුම් ගත්ත විදිහ. දැන් අපි මේ කතා කරපු කුන්ග්ෆූ කතාමාලාවේ එන කේන් ක්‍රියාත්මක වෙන්නෙ ඒ විදිහටම තමයි.”

 

 ''එහෙමනං සර් මම දවසක් ගුරු නරුමයෙකුට ගහන්න ගිය එකනං මේ කේන්ගෙ හැසිරීමට සමාන කරන්න බැහැ.”

 

 ''මොකක් ද මොකක් ද අතුල ඒ කතාව.”

 

 ''ඇයි රේණු, මන් ගුරු නරුමයො ගැනනෙ කිය කිය හිටියෙ. ඒකත් එක්කනෙ අපේ තෙන්නකෝන් සර් හරිම ලස්සන තැනකට අපිව අරගෙන ආවේ. දවසක් අර මම කලින් කිව්ව ගුරු නරුමයා ළමයෙක් කකා ඉන්න වෙලාවෙ ගහපු පාරට කකා හිටපු කෑම පංගුවත් විසිවෙලා තිබුණා. සාමාන්‍යයෙන් අපි පුංවි කාලෙදි වැඩිහිටියො අපිට කියල දීල තිබුණෙ සතෙකුට උනත් කකා ඉන්න වෙලාවක ගහන්න එපා කියලා. මේ සිද්ධිය එදා මන් දැන ගත්තෙ ටිකක් පහුවෙලා. ඒක දැනගත්ත ගමන් මගෙ ඔළුවට ආරූඪ උනේ යක්ෂයා නෙමෙයි යක්ෂ සේනාධිපතියා. මම ඌව හොයාගෙන ගියා. හැබැයි සර් ආදරයෙන් පහර දෙන්න නං නෙමෙයි, ඌට කේන්තියෙන් පහර දෙන්න. උගෙ හරි මගෙ හරි වෙලාවට වෙන් නැති ඌ ඒ වෙලාවෙ ඉස්කෝලෙ හිටියෙ නැහැ, කල් ඇතුව ගිහින් තිබුණා. මම ඒ ගමන් ම ස්ටාෆ් රූම් එකට ගිහිල්ල කිව්ව ආයෙ කිසිම දවසක මේකා ළමයෙකුට ගහල තිබුණොත් මට ඉස්සරහට මොකක් උනත් මන් ගුරුවරුයි ශිෂ්‍යයොයි ඔක්කොම ඉස්සරහ පිට ඌව උස්සල පොළොවෙ ගහනව කියලා. අම්මප මන් ඒ වචන ටික කිව්වෙ ඇත්තටම කරන්නම තමයි. ”

 

 ''ඉතින් අතුල ඊ්ට පස්සෙ මොකද උනේ.”

 

 ''ඊට පස්සෙ ඉතින් මට මොකුත් කරන්න උනේ නැහැ සමරෙ අය්යෙ.”

 

 ''මොකෝ ඊට පස්සෙ අර ගුරුවරයා ළමයින්ට ගහන කොට අපේ වීරයා නොදැක්කා වගේ අහක බලාගෙන යන්න ඇති. ”

 

 ''නෑ රේණු අක්කෙ මම දන්නෙ නැහැ මොකක් ද හේතුව කියලා. කොහොම උනත් මිනිහා ළමයින්ට ගහන එක නං නවත්තලා තිබුණා.”

 

 ''ඔව් ඉතින් එහෙම ම වෙන්න එපායැ. ඒකා නරුමයෙක් උනත් මනුස්සයෙක්නෙ. මිනිහට ආරංචි වෙන්න ඇති වසවර්ති මාරපුත්‍රයා ගුරුවරයෙක්ගෙ වේශයෙන් මනුස්ස ලෝකෙට ඇවිල්ල කියලා.”

 

 ''උඹට ඕන එකක් හිතාගනින් රේණු අක්කෙ. මන් කිව්වෙ ඇත්තටම වෙච්ච දේ.”

 

 ''දැන් අපි ආයෙත් අපේ මූලික සාකච්ඡාවට යමු ද සුමනා. අපි රත්නායක සර්ගෙන් ම අහමු ද එතුමාට මේ ක්‍රීඩා උත්සවය පවත්තන්න ඕනෙ විදිහ ගැන තියෙන සැලැස්ම ගැන.”

 

 ''එහෙම හොඳයි සර්. එහෙමනං රත්නායක කියන්නකො දැන් ඔයාගෙ සැලැස්ම.”

 

 ''අමුතු සැලැස්මක් මට නැහැ මැඩම්. දැන් මෙතෙක් අපි ඔක්කොම දෙනා මෙච්චර වෙලා කතා කරපු දේවල්වල හරය නැති වෙන්නැති විදිහෙ යෝජනාවක් අපේ ගඟුල්ගෙන් ඉදිරිපත් උනානෙ. ඒ කියන්නෙ අපි පොළොන්නරුවෙ පළුගස්දමන ඉස්කෝලෙන් දීපු ආදර්ශය මේ ඉස්කෝලෙනුත් දෙමු. ඒ කිව්වෙ නිවාස වශයෙන් තුනකට හතරකට හරි බෙදුණට, බෙදීම නැති වෙන විදිහට වැඩ කරමු. ඔක්කොට ම සංග්‍රහ කටයුතු කරන්නෙ එක නිවාසයක්. ඔක්කොම නිවාසවල අයට සෞඛ්‍ය පහසුකම් දෙන්නෙ එක නිවාසයක්. සේරම නිවාසවල සැරසිලි කටයුතු බාරව ඉන්නෙ එක නිවාසයක්. ඒ නිවාසවලට හොඳයි කියල මට හිතිච්ච නම් ටිකත් මන් කියන්නං. ගැළපෙනව නං විතරක් ඒව ගමු. නැත්තං අපි වෙන නම් ගැන හිතමු.”

 

 ''ඔයගොල්ලො මොකද හිතන්නෙ රත්නායක සර්ගෙ යෝජනාව ගැන. මට නං ඒකෙ හොඳක් මිස වරදක් පේන්නෙ නැහැ. අපේ සුමනා මැඩම්, අපේ සමරසිරි මහත්තය, රේණු, නදී, ගයා, මිහිදිනී මිස්ල, අතුල සර්, ගඟුල් සර් මොකද මේ ගැන කියන්නෙ.”

 

 ''මම නං ගොඩක්ම කැමතියි තෙන්නකෝන් සර් ඒ යෝජනාවට. අපිට ඒ කාලෙ නොහිතිච්ච හොඳ යෝජනා අපේ අලුත් පරම්පරාව අරන් එනකොට අපි සතුටු වෙන්න ඕනෙ. ඒ වගෙම ඒවට ආශිර්වාද කරල විතරක් මදි උදව් කරන්නත් ඕනෙ.”

 

 ''ඇත්ත සුමනා ඇත්ත, මටත් කියාගන්න ඕන වෙලා තිබිච්ච දේ තමයි දැන් ඔයාගෙන් කියවුණේ.”

 

 ''සර් ඒක යෝජනාවක් හැටියට මම ගෙනාවට අපේ ගඟුල් සර් පළුගස්දමන ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ ගැන කියපු කතාව තමයි ඒකට මුල් උනේ.”

 

 ''ඔන්න ඕකනෙ සුමනා මන් මේ ළමයිත් එක්ක වැඩ කරන්න කැමතියි කියල කලිනුත් කිව්වෙ. තමන්ට තනියෙන් කීර්තිය ගන්නෙ නැතුව ඒකත් බෙදිල යනවට යි මේ අය කැමති.”

 

 ''සර් අපි හතරදෙනා, ඒ කිව්වෙ රේණුයි මිහිදිනියි ගයයි මමයි දැන් කතා උනෙත් මේක කොව්වර හොඳ යෝජනාවක් ද කියන එක. අපි කැමතියි සර් මේකට.”

 

මෙසේ තරුණ ගුරුවරියන් තිදෙනාගේ ඒකමතික කැමැත්ත ප්‍රකාශයට පත් කෙළේ නදී ය.

 

 ''මමත් කැමතියි.”

 

ඒ සමරසිරි මහතා ය.

 

 ''අපි කට්ටිය ම පුළුවන් උපරිමෙන් වැඩ කරමු. මමත් ඉන්නව ඔයගොල්ලො එක්ක.”

 

ගඟුල් එසේ කියද්දී සුමනා ගුරු මහත්මිය යළි කතාවට මැදිහත් වූවා ය.

 

 ''කෝ අපේ කතානායකයා - ක්‍රීඩා උපදේශකතුමා අතුල මේ ගැන කිසිම අදහසක් තවම කිව්වෙ නැහැනෙ.”

 

 ''අනේ මැඩම් මන් මේ ඉන්නෙ සතුට උහුල ගන්න බැරුව. මගෙ සන්තෝසෙ කොව්වරක් ද කියනව නං දැන් මට හිතිල තියෙන්නෙ ඉස්කෝලෙ පිට්ටනිය වටේ රවුං දහයක් එක දිගට දුවන්න. මේ පළවෙනි දවසෙම මේ තරං පිරිව්ව අදහස් ගොඩක් එයි කියල මන් හිතුවෙ නැහැ.”

 

 ''රත්නායක සර් අපේ නිවාසවලට යෝජනා කරන්න හිතපු නම් ටිකත් කියන්නකො දැන්.”

 

මිහිදිනී එසේ පැවසූ පසු රත්නායක මහතා තමාට සුදුසු යැයි දැනුණු නම් කීමට ඉදිරිපත් විය.

 

 ''මන් ඉස්සෙල්ල කිව්ව වගේ මම දන්නෙ නැහැ මේවා මේ වැඩේට කොව්වර ගැළපෙයි ද කියන එක. අපි හදාගන්නෙ නිවාස තුනක් නං මන් යෝජනා කරන්නෙ කුඹුර, හේන ඒ වගෙම කමත. නිවාස ගාණ හතරක් වෙනවා නං ඒ හතරවෙනි නිවාසෙට වැව කියන නම යොදන්න පුළුවන්.”

 

 ''ෂා නියමනෙ රත්නෙ. මම නං හරිම කැමතියි ඒ නම් ටිකට.”

 

අදාළ නම් සම්බන්ධයෙන් මෙසේ සිය ප්‍රසාදය පළ කෙළේ එකම දවසක දී රත්නායක මහතා සමග ගුරු සේවයට එක් වූ සමරසිරි මහතා ය.

 

 ''අපේ චතුරංගනී සේනාව මොකද කියන්නෙ.”

 

තෙන්නකෝන් මහතා චතුරංගනී සේනාව ලෙස හැඳින්වූයේ තරුණ ගුරු මෙණෙවියන් සිව්දෙනා ය.

 

පසන් වතින් ඔවුන්ගේ ඊට ඇති කැමැත්ත ප්‍රකාශ වද්දී තෙන්නකෝන් මහතා හැරුණේ සුමනා ගුරු මහත්මිය දෙසට යි.

 

 ''මන් මොකට විරුද්ධ වෙන්න ද උඩින් ම කැමති වෙනවා මිසක්. මම සර් ඉතින් මේ ගමේම හිටපු මහ ගොවියෙක්ගෙ ලොකු දුවනෙ. අපි කරන්න ඕනෙ යෝජනානෙ මේ ළමයි කරන්නෙ. මම ගොඩක් ම කැමතියි මේ නම්වලටත්. ”

 

 ''හැබැයි සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේම ගුරු මණ්ඩලේ සමහර කෙනෙක් මේ නම් දිහා හරි උපහාසෙකින් බලන්න ඉඩ තියෙනවා. මම කියන්නෙ සර් අපි මොන විදිහටවත් ඒක හේතුවක් කරගෙන මේ නම් දාන්න එපා කියන එක නං නෙමෙයි. මේ නම් තමයි දාන්නම ඕනෙ. මන් අර කාරණේ කිව්ව එහෙම දේකුත් සිද්ධ වෙන්න පුළුවන් නිසා.”

 

 ''ඔව් රේණු කියපු දේ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එක දෙයක් මම දන්නවා. අපේ විදුහල්පතිතුමාගෙ කැමැත්ත නං මේ නම්වලට විතරක් නෙමෙයි මුළු වැඩ පිළිවෙළට ම ලැබෙනව කියන එක නං මන් සහසුද්දෙන් ම දන්නවා. ඒ වගෙම රේණු, අර ඔයා කියපු පිරිස විරුද්ධ වෙනවනං විරුද්ධ වෙන්නෙ මේ නම්වලට  විතරක් නෙමෙයි මුළු වැඩ පිළිවෙළටම. ඒත් අපි ඒවට කලබල වෙන්න නරකයි. අපි කරන වැඩේ හොඳින් කරගෙන යනව මිසක්.”

 

 ''තෙන්නකෝන් සර් කියන එක හරි. විරුද්ධ වෙනව නං විරුද්ධ වෙන්නෙ ඔය සිල්වා මැඩම්, වැලිකල මැඩම් වගේ කීප දෙනෙක් විතරයි. අපි සර් කිව්ව වගෙ කලබල නොවී අපේ වැඩේ හරියට කරමුකො. අතුල සර් තමයි ඒ ගැන විශේෂයෙන් ම හිතන්න ඕනෙ.”

 

 ''ඇත්ත ද නදී ඒ මැඩම්ලා විරුද්ධ වෙනව නං මන් ක්‍රියාත්මක කරන්නෙ මේ වැඩ පිළිවෙළම තමයි. ඒ ගොල්ලො අපේ රත්නායක සර් යෝජනා කරන නම්වලට විරුද්ධ නං දාන්නෙ ඒ නම්ම තමයි. මොකද මම හරි ආසයි ඒ ගොල්ල විරුද්ධ වෙන වැඩම කරන්න.”

 

 ''බලන්න සර්, බලන්න මැඩම් මෙයාට කට කැඩෙනකං කිව්වත් හදන්නෙම ගැටෙන්නනෙ. අපි වැඩක් කරනවනං ඒක කරන්න ඕනෙ ඒක කළයුතු නිසා මිස අනික් අයගෙ විරුද්දෙට හරි අවිරුද්දෙට හරි උත්තර දෙන්න නෙමෙයිනෙ.”

 

 ''හරියටම හරි නදීගෙ කතාව. ඕකනෙ මන් මුලදිම කිව්වෙ මෙයාගෙ කණින් අදින්න පුළුවන් කණ්ඩායමට මාවත් දාන්න කියලා. සර්රුයි මැඩනුයි අවසර දෙනවනං මට මේ දැන්ම පුළුවන් ඒ රාජකාරියට බහින්න. හැබැයි ඉතින් මට ඒකට අපේ නදීගෙ කැමැත්තත් අවශ්‍ය යි.”

 

 ''ආ ඉඳා ඒකට මොකද මගෙ කැමැත්ත අකැමැත්ත.”

 

 ''ඒක අවශ්‍ය නිසානෙ වස්තුවෙ. නැද්ද මිහිදිනී.”

 

 ''අද දවසෙ අපි කාගෙත් ලේත් පිරිසිදු කර ගන්න ගමන් ම ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කරන්න අපිට පුළුවන් උනා. අතුල සර් එහෙමනං මේ වැඩ පිළිවෙළ සකස් කරලා අපේ විදුහල්පතිතුමාගෙ අනුමැතිය ලබාගෙන වැඩේට බහිමු.”

 

 ''නදීට පුළුවන් නේද අද කතා කරපුවා පදනම් කරගෙන මට මේ සැලැස්ම හදලා දෙන්න. ගඟුල් උඹත් උදව් කරපන් මල්ලි ඒකට.”

 

 ''නැතුව නැතුව අතුල සර්ට අනිවාර්යයෙන් ම අපේ නදී උදව් කරනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා මේ කවුරුවත්.  ඒ වගෙම අපේ ගඟුල්ගෙ සහායත් හොඳින් ම ලැබේවි අතුලට. ඒ වගේම ගඟුල්ගෙ සහායට ඉදිරියේ දි දෙන්න ඕන කෙනෙක් ගැන මේ දවස්වල මම ගැඹුරින් ම කල්පනා කරනවා.”

 

රේණු මේ ප්‍රකාශය කෙළේ ගැඹුරු මුහුණක් මවා ගනිමිනි.

 

 ''එහෙනං සුමනා මේ වැඩේ නියමුවා අතුලට ම කියමු නේද අද අපේ සාකච්ඡාව අවසාන කරන්න.”

 

 ''ඇත්තටම බොහොම කෙටි දැනුම් දීමකින් තමයි මේ සියලුම දෙනා මෙතෙන්ට ඇවිල්ල ක්‍රීඩා උත්සවේ වඩාත් පලදායක විදිහට කරන්න ඕනෙ කොහොම ද කියන එක ගැන මේ වටින කියන අදහස් ලබා දුන්නෙ. ඇත්තටම මට ස්තුති කරන්න වචන නැහැ ඔයගොල්ල ඔක්කොටම. මන් ගැන ලොකු විශ්වාසයක් තියල මට මේ වගකීම පවරපු ගරු විදුහල්පතිතුමාට මම ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා, එතුමා මේ මොහොතේ මෙතන නැති උනත්. ඒ වගේම මේ වැඩේට අවශ්‍යම කරන උපදේශකත්වය දෙන්න ඉදිරිපත් වෙච්ච මේ පාසලේ ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරුන් වන අපේ තෙන්නකෝන් සර්ටත් අපේ  සුමනා මැඩම්ටත් ගෞරවනීය ස්තුතියක් පුද කරන්න මම කැමතියි. ඒ වගෙම අඳුන ගත්ත පළවෙනි දවසෙ ඉඳලම තමන්ගෙම මල්ලි කෙනෙක් විදිහට මා දිහා බලන මට උදව් කරන මගේ ජ්‍යෙෂ්ඨයන් වන රත්නෙ අය්යටත් සමරෙ අය්යටත් මගේ ආදර ගෞරවය පිරිනමන්නෙ හදවතේ ගැඹුරුම තැනින්.

 

ඊළඟට සහෝදරියක් නැති මට මගේ වැඩිමහල් සහෝදරිය වෙච්ච රේණු අක්කා, ඇත්තටම මගෙ කණින් ඇදල හරි වරදක් පෙන්නල දෙනවා කියන අක්කා, මගෙ කණින් ඇදීම කොහොම උනත් කවුරු හරි මගෙ කණින් අදින්න ආවොත් ප්‍රසිද්ධියෙම එයාගෙ කණ අදින්න ලෑස්ති මගෙම අක්කා, ඊළඟ ජන්මයකදි හරි ඔයා මගෙම අක්ක වෙලා උපදින්න ඕන.”

 

පාසලේ දඩබ්බරම ගුරුවරයා ලෙස ප්‍රචලිත අතුලගේ මේ කතාවට දෑස් තෙත් වී ගියේ රේණුගේ පමණක් නොවේ. සියලු දෙනා නිහඬ ව සිටියදී අතුල යළිත් කතා කෙළේ ය.

 

 ''ඒ වගෙම මගෙ අනික් සහෝදරියො දෙන්න - ලොකු නංගි ගයා, චූටි නංගි මිහිදිනී ඔය දෙන්නත් හැමදාම  මට සහෝදරියො උනා. ඒ දෙන සහෝදරකමට උඹල දෙන්නටත් ගොඩක් පින් නංගියේ.”

 

 ''ඊළඟ ස්තුතිය නදී ඔයාට. පොළොන්නරුවෙ ඈත ගමකින් ආපු ඔයා අපේම ගමේ ගෙදරක ඉපදිච්ච කෙනෙක් විදිහටයි අපට දැනෙන්නෙ. වෙලාවකට මගෙ ජීවිතේ ආදරණිය ම උපදේශිකාව උනේ ඔයා. නදී ඒ උපදේශ මේ අතුලට හෙට දවසෙදිත් අවශ්‍ය යි.

 

අන්තිමට ස්තුති කරන්නෙ මන් ගඟුල් මල්ලි උඹට. මෙහෙට ඇවිත් දවසින් දෙකෙන් උඹ කවුද කියන එක ඔප්පු කළා මල්ලි අපිට, ඒ සහතිකවලින් නෙමෙයි මල්ලි උඹේ වැඩවලින්. මේ වෙන කොට මගෙ විතරක් නෙමෙයි මේ ඔක්කොගෙම හිත්වල ලොකු ඉඩක් අයිති කරගන්න මේ පොඩි කොල්ලට පුළුවන් උනා.

 

තව මම මොනව කියල කියන්න ද ස්තුතියි ස්තුතියි ස්තුතියි, ඊටත් වඩා ඔය ඔක්කොටම ගොඩාක් පින්.”

 

අතුලගේ කතාවේ අවසානයත් සමග පිරිස විසිර ගියේ තරඟ තිබුණ ද  ''තරඟයෙන් තොර  ආදරණීය ක්‍රීඩා උළෙලක්'' පිළිබඳ වන පසන් හැඟුමින් සිත් පුරවා ගනිමිනි.