Friday, April 12, 2024

ගුරු දියවර නවකතාව - විසි නවවන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                              ගුරු දියවර 29




උදාසන මිහිබිම් කඩට මුදු මුදු ව ගලා ආ හිරු කිරණ කෙමෙන් සැඬ වෙමින් මධ්‍යාහ්නය වන විට සිය ප්‍රචණ්ඩ භාවයේ උත්කර්ෂය ප්‍රකාශයට පත් කරමින් තිබිණ. මධ්‍යාහ්නයේ ස්වරූපය තවත් හෝරා කිහිපයක් ඒ තත්ත්වය පවත්වා ගෙන ආ හිරු, අනතුරුව කෙමෙන් කෙමෙන් සිය සැඬ බව අත්හරින්නට පටන් ගෙන තිබිණ. ගඟුල්ට හිරු දැනුණේ අවශ්‍යම මොහොතේ සැඬ බව පවත්වා ගෙන ගියත් සිය මුදු බව අත් නොහරින ආදරණීය පියකු ලෙස යි. හිරු, සුළඟක දැවටී ඒ සුවදායක මුදු කිරණ මිහිමවට ප්‍රදානය කරන සමාරම්භක මොහොතේ ය, මහතුන් සිය ත්‍රිරෝද රථයෙන් ගඟුල්ගේ නවාතැනට පැමිණියේ.

“ඔහ් මහතුන් අය්යනෙ, අද මොකද මේ හවස මේ පැත්තේ. අම්මා හරි නංගිලා හරි නාගොල්ලගං හරි මහව හරි යන්න එන්න කිව්වවද්ද?”

“අනේ අනේ ගඟුල් සර් තවම ලෑස්ති වෙලාවත් නෑ. මට එන්න කිව්වෙ සර්නෙ මෙහෙ අම්මාවත් නංගිලාවත් නෙමෙයි. ඇයි මතක නැද්ද මට එන්න කිව්වා හවස හතර වෙන කොට නාගොල්ලගම ඉස්පිරිතාලෙ දිහා යන්න ඕනෙයි කියලා.”

“හුටා ඇත්ත නේන්නං මට හාංකවිසියක්වත් ඒක මතක නැති උනානෙ. ඔහොම ඉන්න මහතුන් අය්යෙ මන් ටක්ගාලා ලෑස්ති වෙලා එන්නං. ඔන්න මේ පැත්තට අපේ ගුවන් හමුදාපතිතුමිය එනවා. දැන් අම්මට කෙසේ වෙතත් එතුමියට යන්නෙ කොහෙද, එන්නෙ කීයට ද, කවුද හම්බ වෙන්න යන්නෙ, මොකක් ද උවමනාව ඔය විස්තර ඔක්කොම කියන්න වෙනවා. මහතුන් අය්යා අපේ නඟාව කතාවට අල්ල ගන්ඩකො, මන් ඉක්මනට එන්නං.”

“ආ මහතුන් අය්යෙ කොහොම ද, මට පේන්නෙ අපේ ගඟුල් ඉස්කෝලෙ මහත්තයා එක්ක කොහෙ හරි යන්න වෙන්ඩැති. කොහෙද දෙන්න එක්ක යන්න කතා කර ගත්තෙ.”

“මන් කොහොම ද මැඩම් ඒක දන්නෙ ඒක ඉතින් අහගන්න ඕනෙ ඒ සර්ගෙන් ම තමයි.”

“ඔයා කොහොම ද නොදන්නෙ ඔයානෙ මහතුන් අය්යේ මේ ගමේ අපේ ගඟුල් අය්යට ඉන්න අග්‍ර පුරෝහිතතුමා.”

“අන්න ගෙට ගිය ඩිංගට පටස් ගාලා ලෑස්ති වෙලා රජතුමා එනවා. නංගියෙ ඔයාට උත්තර දෙන්න වෙලාවක් නෑ. එහෙනං ඕන් අපි ගියා.”

මහතුන් එසේ පැවසුවේ ගමනට සූදානම් වී ඔවුන් දෙසට එන ගඟුල් පෙන්වමිනි.

“හෝව් හෝව් ඔහොම නවතිමු පොඩ්ඩකට. හා දැන් කියමු බලන්න මේ හැන්දෑකරේ දෙන්න එක්ක කොහෙද යන්නෙ කියලා.”

“බලන්ඩකො මහතුන් අය්යේ අපේ අම්මවත් අහන්නැති ප්‍රශ්නනෙ මේ වසුන්දරා නංගි අහන්නෙ.”

“මේ ගඟුල් අය්යෙ ඒ අම්මා ඇහැව්වෙ නැතුවට මේ නංගි අහනවා. මන් කෙසේ වෙතත් මේ නංගිගෙ අම්මා අනිවාරෙන්ම අහනවා. දැන් කියමු බලන්ඩ කොහෙද යන්නෙ කියලා.”

“අය්යෝ නංගි මේ ළඟට.. ළමයො මේ ළඟට.”

“අම්මේ මෙන්න මේ ගඟුල් අය්යා යන දිහා නොකියා මහතුන් උත්තමයත් එක්ක කොහෙද යනෝ. ඉක්මණට එන්ඩෝ.”

“මොකද ළමයො මේ බෙරිහන් දෙන්නෙ. මන් මේ ළඟ ඉන්නෙ. ඇයි මේ ගඟුල් පුතා ඇඳගෙන. කොහෙද යන්න හදන්නෙ.”

“අන්න මහත්තයා මට දෙන්න බැරි උත්තරේ දැන් අම්මට දෙන්න ම වෙනවා. දැන් කියන්ඩ කොහෙද කියලා. ඒක කිව්වට පස්සෙ හමුදාවෙ උසස්ම නිලය දරන කෙනා හැටියට මට තීරණය කරන්න පුළුවන් ඔය ගමනට අවසර දෙනව ද නැද්ද කියලා.”

“ඇත්තට පුතේ මේ මහතුන් පුතත් එක්ක කොහෙද මේ යන්නෙ. දුරකට එහෙම නෙමෙයි නේද?”

“නෑ අම්මෙ මේ ළඟට, මේ නාගොල්ලගම ඉස්පිරිතාලෙට.”

“අනේ ඇයි පුතේ ඉස්පිරිතාලෙට, ඇයි අසනීපයක්වද්ද? එහෙනං ඉතින් අපි කවුරු හරිත් එන්ඩ එපෑයැ මේ දරුවත් එක්ක.”

“අනේ නෑ අම්මෙ අසනීපයකට නෙමෙයි ඒ ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඉන්න අලුත් දොස්තර මහත්තය මගෙ යාළුවෙක්. එයා දන්නෙ නැහැ මමත් මේ ගමේ ඉස්කෝලෙක උගන්නනවා කියලා. අපි මේ යන්නෙ එයාට ගම තවම අලුත්නෙ. මොනව හරි උදව්වක් ඕන්නං කරන්න බලාගෙන.”

“හැබැයි ගඟුල් සර් අපි චූටි නංගිත් එක්කං ගියානං නේද හොඳ?”

“ඇයි අපේ නංගිටත් ඕනෙයි කිව්ව ද අපිත් එක්ක යන්න.”

“නෑ නංගිනං එහෙම කිව්වෙ නැහැ. ඒ උනාට මේ ඉතින් මාත් පුංචි කාලෙ ඉඳලා දන්න කෙල්ලනෙ. මෙහෙම වෙලාවට සර් අපිට අහක බලන්ඩ බැහැනෙ.”

“ඇයි මහතුන් අය්යෙ මෙහෙම වෙලාවට කිව්වෙ.”

“ඇයි ගඟුල් සර් තවම දන්නෙ නැද්ද? දැන් මෙහෙට ඇවිල්ලා මාස හයකටත් වැඩියි නේද? ඇයි මේ නංගිට පොඩි මඤ්ඤං ගතියක් තියෙනවනෙ. අපි සර්ගෙ යාළුවා ඒ කිව්වෙ අලුත් දොස්තර මහත්තයගෙන් ඒකට අපේ මේ නංගිට බෙහෙත් ටිකක් අරන් දෙමු.”

අම්මා මව්කුස තුනක හිඳ මෙලොව දැක සොයුරු පෙම් දමින් බැඳි මේ සහෘදය ත්‍රිත්වය දෙස බලා සිටියේ දයාබර දෑසිනි. අනතුරුව ඇය සිය හඬ අවදි කළා ය.

“අනේ පුතේ මේ අය්යලට තේ ටිකක් වත් දුන්නෙ නැද්ද?”  

“මොන නැන්දෙ ආපු වෙලාවෙ ඉඳලා බැණ බැණ ඉන්න එක තමයි කළේ. මන් කටින් ම ඉල්ලලත් නෝ තේ.”

“අම්මෝ මේ මහතුන් අය්යා ගහන පච.”

“එහෙනං අම්මේ අපි ගිහිල්ල එන්නං.”

ගඟුල් මෙවදන් පැවසුවේ ගෙදර අම්මාට වැඳ ආචාර කරමිනි. ඒ අනුව මහතුන් ද ඇයට වැඳ ත්‍රීරෝද රථයට නැඟී එය පණ ගැන්වූයේ වසුන්දරා දෙසට හැරී මෙසේ පවසමිනි.

“එහෙනං මැඩම් අපිට යන්න අවසරයි, ඔය එක එක්කෙනා යන ගමන් ගැන හොයන් නැතුව පොතක් පතක් බලා ගත්තොත් නේද හොඳ?”

“හොඳයි පුරෝහිතතුමා, මන් ඔබතුමාගෙ අණ පරිදි පොතපත බලා ගන්නං, හැබැයි එකම එක ස්පෙෂල් කෝල් එකක් අරගත්තට පස්සෙ හොඳේ.”

“කාටද අප්පච්චියේ ඔය තරන් ඉස්පැසල් කෝල් එක.”

“වෙන කාටත් නෙමෙයි අපේ මිහිදිනී අක්කට. මට එතුමියට අනිවාරෙන් ම දන්නන්ඩ සිද්ධ වෙනවා එක්කෙනෙක් යන ගමන් බිමන් ගැන මීට වඩා හොයලා බලන්ඩ කියලා.”

“ගඟුල් සර් අපේ වසුන්දරා නංගිත් දන්නව ද ඒ සීන් කෝන්නෙක.”

“මොන සීන් කෝන්නෙක ද මහතුන් අය්යෙ.”

“ඔන්න ඉතින් අපේ ගඟුල් සර්රුත් බබා වෙන්ඩ යනවා. අපේ මිහිදිනී මිසුත් ළඟින් ම ඈදිලා තියෙන සීන්කෝන්නෙක සර් දන්නෙම නෑ.”

මෙය මහතුන් පැවසුවේ සෙමින් වුව ද එය නිබඳ විමසිලිමත් තවත් සවනකට ඇසුණ බව ඔහු දැන සිටියේ නැත.

”අන්න මහතුන් අය්යෙ කතාව. “

වසුන්දරා පැවසුවේ සිනාසෙමිනි.

“මෙන්න සර් මන් හෙමින් අහපු දේ මේකිට ඇහිලනෙ.  මේකි තමයි මේකි.”

“මේකි තමයි මේකි.”

වසුන්දරා මහතුන් කී වචන පුනරුච්චාරණය කොට ඊට මේ වාක්‍යය ද එකතු කළා ය.

“ඇයි තමුන්ලට අමතක උනා ද මන් දරන තනතුර. ලංකාවෙ හමුදාවකට අණ දෙන මට හොරෙන් කොයි දෙයක් වත් කරන්න බෑ. ඒවා සුම්මා. ඔය මහත්තුරු දෙන්නම ඒ ටික හොඳින් ම මතක තියා ගත්තොත් තමයි හොඳ.”   

“හොඳයි හොඳයි එයා වයිස් මාෂල් මැඩම්. ඒක අපි හොඳට නෙමෙයි හොඳටම මතක තියාගන්නංකො. ඒක නෙමෙයි අපි ආයි එනකොට මොනව ද අපි මැඩම්ට අරන් එන්න ඕන.”

“අන්න බොහොම හොඳයි, එහෙනං තව පොඩ්ඩක් වෙලාවක් ඉන්න වෙනවා මන් ලැයිස්තුව ලියනකං.”

“ඒ මොකක් ද ගඟුල් සර් මේ වෙන්ඩ යන්නෙ. සර් මොකක් හරි එක ජාතියක් ගේන්න හිතලා නේද කිව්වෙ. මෙයා දැන් ලැයිස්තුවක් ලියන්නනෙ යන්නෙ.”

“අන්න අන්න මහතුන් අය්යට වැරදිච්ච තැන. අපේ ගඟුල් අය්යා කිව්වෙ මොනව ද අපි මැඩම්ට අරන් එන්න ඕන කියලා. භාෂාත්මක දෘෂ්ටි කෝණයෙන් ඒක විග්‍රහ කළහම අපිට පැහැදිලිවම පෙනී යනවා යථෝක්ත ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නෙ බහුවචනාර්ථයක් මිස ඒකවචනාර්ථයක් නොවන බව. සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙක් වන ගඟුල් මහත්මයා වචනවල අර්ථ නොදැන භාවිතයට ගත්ත කියලා හිතන්න බැහැ.”

“අනේ යන් ගඟුල් සර් යන්ඩ. මේ කෙල්ල එක්ක කතාවට ගියොත් මගෙත් පිස්සු ඩබල් වෙනවා.”

“ටිකක් පිස්සු උනත් ඉතින් අපි ගැන නිතර හොයල බලන අපේම නංගි කෙනෙක්නෙ. ඒක නිසා අපිට ඉන්නම වෙනවා.”

“මොකක් ද ළමයො මේ පිස්සු වැඩ කරන්නෙ, මේ අය්යලා දෙන්නට යන්න දෙන්නැතිව.”

“මෑණියනි, කෝප නොගන්න. මේ උමතු ක්‍රියාවක් නොවේ. ඔබතුමිය ඉතාම ඉහළින් සිය දරු තනතුරට පත් කරගෙන සිටින මේ තරුණ ගුරු භවතාගේ කාරුණික ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් පමණි.”

“ඒ පාර මෙයා මාවත් කෝලමකට  ගත්ත ද, ඔන්න ඔහෙ ඔය ළමයි යන්න. මෙයාගෙ ලැයිස්තු.”

“හෝව් හෝව් පොඩ්ඩක්. මෙන්න අය්යෙ මගෙ ලිස්ට් එක. ඔය ජාති තුන හතරක් විතරයි අය්යෙ ගේන්න තියෙන්නෙ. ඉතිරි ටික ඉතින් මට පුළුවන්නෙ ඊළඟ දවසකට කන්ටිනුයි කරන්න.”

“දැක්ක ද ගඟුල් සර් මෙයාගෙ කපටිකම. අදින් වැඩේ ඉවර නෑ. තවත් දවසකටත් ගේන්න ජාති තියෙනවා.”

“ගඟුල් අය්යෙ, අපේ මේ මහතුන් අය්යා ඉන්නව නේද හරිම හිත හොඳ මනුස්සයා.”

“ආ ඒ පාර මොකෝ මටත් දඩයක් දාන්න වගේ ලොකු නෝනගෙ කල්පනාව.”

“අනේ නෑ මහතුන් අය්යෙ දඩයක් නෙමෙයි මේක ගමනක්.”

“ ගමනක්!”

“ඔව් අය්යෙ මටයි යාළුවො දෙන්නෙකුටයි තියෙනවා පින්කං ගෙදරක යන්න. ඉතින් මන් හිතුවෙ මහතුන් අය්යව කතා කරගන්න. අපි ඉතින් සාධාරණ ගෙවීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.”

“අනේ තියා ගනින් උඹේ සාධාරණ ගෙවීම. මේ ගමන ගිහින් ආවට පස්සෙ කියපන් නංගි යන්න ඕනෙ දිහාවයි දවසයි. මන් එක්ක යන්නං. අපි දැන් යමු ද ගඟුල් සර්.”  

වේලාව සවස පහට ආසන්න ව තිබිණ. මහතුන් නාගොල්ලාගම ආරෝග්‍යශාලා භූමියට ත්‍රිරෝද රථය ඇතුළු කොට එහි ගසක් යට එය නතර කෙළේ ය. ගඟුල් රියෙන් බැස මොහොතක් අවට පරිසරය දෙස බලා සිටියේ ය. අනතුරුව කතා කෙළේ ය.

“මහතුන් අය්යා මෙතනත් මහ අමුතු ලස්සනක්නෙ තියෙන්නෙ. මන් අද තමයි මෙතෙන්ට ආවෙ. අපේ වසන්තත් කැමති ඇති තැනට. යන් අපි ඇතුළට.”

“සර් විතරක් ගියානං නේද හොඳ මොකද කාලෙකට පස්සෙ හම්බ වෙන යාළුවන්ට කොච්චර දේවල් ඇද්ද කතා කරන්න.”

“නෑ නෑ අපි දෙන්නම යන්. එක දවසක් උනත් හම්බ උනේ බලන්න මන් කියන්නෙ බොරු ද කියලා ඔය දොස්තර මහත්තයා ඔයාට නම කියල ම කතා කරාවි. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා මහතුන් අය්යා ගිහින් කතා කරන්න. ඊට පස්සෙ කියන්න මන් මගෙ යාළුවෙක් එක්ක ආවෙ. එයා මේ ගමේ ම ඉස්කෝලෙ ගුරුවරයෙක්. යමු ද දොස්තර මහත්තයා එයාවත් අඳුන ගන්න කියලා එළියට එක්ක එන්න.”

මේ වන විට එළැඹ තිබුණේ රෝගීන් බලන වෙලාව වුව ද එතැන ගැවසෙමින් තිබුණේ අඩු පිරිසකි. ප්‍රධාන වෛද්‍ය නිලධාරියකු පැමිණෙන තෙක් එහි වැඩ බලමින් සිටියේ සරසවියකින් නොබෝදා පිට ව සීමාවාසික සේවා කාලය සපුරාලීමට පැමිණ සිටි තරුණ වෛද්‍යවරියකි. මහතුන් ඇය වෙත ගොස් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා හමුවීමට පැමිණි බව කීවේ ය. මොහොතක් හිඳ සිටින්නැයි කියා කාර්යාලයීය කාමරයට ගිය ඇය ඉක්මණින් ම පෙරළා පැමිණියේ ඇතුළට යන්නැයි මහතුන්ට අතින් සංඥා කරමිනි.

මහතුන් කාමරයට ඇතුළු විය. කියවමින් සිටි පුවත්පත පසෙක තබා වෛද්‍යවරයා පැමිණ සිටි අමුත්තා දෙස බැලීය. අනතුරුව පසන් සිනහවකින් ඔහුට සංග්‍රහ කෙළේ ය.

“ඉඳ ගන්න ඉඳ ගන්න මේ අපේ මහතුන් අය්යනෙ. අමුත්තෙක් ඇවිත් කිව්වහම ඒත් මන් බැලුව කවුද කියලා. යාළුවෙක්නෙ බැලින්නං ඇවිත් තියෙන්නෙ. ඉඳගන්න මහතුන් අය්යෙ ඉඳගන්න.”

“අපේ සර්ව හම්බ උනේ එක දවසයි, ඒ උනාට සර්ට අපේ නම් ගම් එහෙමත් මතකයිනෙ.”

“එහෙමත් අමතක වෙනව ද වරුවක් ම මාව මේ ගමේ එහාට මෙහාට එක්ක ගිය මනුස්සයව. මොකක් ද මහතුන් අය්යෙ මගෙන් වෙන්න ඕනෙ.”

“මන් අද විශේෂයෙන් ම ආවෙ අපේ ගමේ ඉස්කෝලෙ මහත්තයෙකුට සර්ව බලන්න ඕනෙයි කියපු නිසා. සර් මන් ඒ සර්ට එන්න කියන්න ද?”

“යන් යන් මාත් එන්නං එළියට. ගුරුවරයෙක් කිව්වනෙ ඇවිත් ඉන්නෙ.”

වෛද්‍යවරයා ද මහතුන් සමග ම එළියට ආවේ ය. පණවා තිබූ ආසන පන්තියේ කෙළවර ම අසුනක හිඳ හුන් ගඟුල් වෙත ගමන් කෙළේ ය.

“යන් සර් අපි ඇතුළට.”  

“කමක් නැද්ද ඩොක්ටර් අපි ඇතුළට ආවට?”

ගඟුල් පැවසුවේ සිනාසෙමිනි. වෛද්‍යවරයා ආගන්තුකයාගේ මුහුණ පැහැදිලි ව දුටුවේ එවිට ය. ඔහුගේ මුහුණෙහි ඇඳී ගියේ සන්තුෂ්ටිදායක විස්මයාර්ථය යි.

“යකෝ මේ අපේ ගඟුලයනෙ. එතකොට උඹ ද මේ මහතුන් අය්යා කියපු ඉස්කෝලෙ මහත්තයා. වරෙන් වරෙන් ජපුරට ගියා වගෙයි මට දැනෙන්නෙ. යන් යන් අපි ඇතුළට ගිහිල්ල ම කතා කරමු. උඹ කොහොම බන් දන්නෙ මන් ඇවිත් කියලා. මන් දැනන් හිටියා උඹ ඈත ඉස්කෝලෙකට පත්වීමක් ලැබිලා ගියයි කියලා. ඒත් මන් පත්වීමට එන පැත්තෙම ඉස්කෝලෙක උඹ ඇතියි කියලනං කොහොමටවත් හිතුවෙ නැහැ.”

“මහතුන් අය්යා තමයි කිව්වෙ අලුතින් ඇවිල්ලා ඉන්න දොස්තර මහත්තයගෙ විස්තර. ඒ කියපු දේවල් එක්ක මන් හිතුවා උඹ ම තමයි ඇවිල්ලා ඉන්නෙ කියලා.”

“දැන් ඇවිල්ලා දවස් තුනයි. ආපු දවසෙ ඉඳල ම මාව පුදුම කරන දේවල් තමයි වෙන්නෙ. මුලින් ප්‍රසාදයා. දැන් උඹ.”

“ඇයි ප්‍රසාදුත් මෙහෙද?”

ගඟුල් ඇසුවේ ඒ පිළිබඳ කිසිවක් නොදන්නා ගාණට ය.

“ඇයි උඹ දන්නෙම නැද්ද ඌනෙ දැන් මහව පොලිසියෙ ඕඅයිසී. තව පොඩ්ඩකින් මෙහෙට ඒවි මාව බලන්න ඩොක්ටර් තිලිණිත් එක්ක. උඹට මතකනෙ අපේ දොස්තර සිත්තරී කලා පර්ෂදෙයි ශිෂ්‍ය සංගමෙයි පෝස්ටර් ඇඳපු.“

”එයා මහව හොස්පිටල් එකේ වැඩ කරන බවනං මන් දන්නවා. ඒත් තවම හම්බ වෙන්න ලැබුණෙ නැහැ. මන් එයා මේ පැත්තෙ වැඩ කරන බව දැනන් හිටියට එයා දන්නෙ නැහැ මන් මෙහෙ ඉස්කෝලෙක උගන්නන වගක්.”

“මන් හිතන්නෙ ප්‍රසාද් එයාට අමතරව අපිව පුදුම කරවන්න අපි දන්න තව කවුරු හරිත් එක්ක ඒවි කියල යි. මේ දැන් උඹ මාව පුදුම කළා වගේ.”

“ඒ උනාට වසන්ත ඒ සීඅයිඩීකාර ප්‍රසාදයට බැරි උනා මන් මෙහෙ ඉන්න බව හොයා ගන්න. දැන් අපි එකතු වෙලා මිනිහව පුදුම කරමු.”

අනතුරුව වෛද්‍ය වසන්ත හැරුණේ මහතුන් දෙසට ය.

“මහතුන් අය්යෙ ඔයා අදම ඔයාලගෙ මේ සර්ව එක්ක ආපු එක හරිම වටිනවා. අපි ඒ ගොල්ලොත් ආවහම තේ ටිකක් එහෙම බොමු. පොඩි පොඩි කෑම ජාති ටිකක් නං තියෙනවා. කෙසෙල් ටිකක් තිබ්බනං තමයි හොඳ. මහතුන් අය්යට පුළුවන් ද මේ ළඟ කඩේකින් කෙසෙල් ටිකක් අරන් එන්න. කෝ පොඩ්ඩක් ඉන්න මන් සල්ලි ගෙනත් දෙන්න.”  

එයට සිනහවකින් පමණක් ප්‍රතිචාර දැක්වූ මහතුන් ගියේ සිය ත්‍රීරෝද රථය වෙත ය. වෛද්‍යවරයා වෙනුවෙන් ම ගෙනා කෙසෙල් මල්ල ඔහු දෝතින් ම පිළිගැන්වීය.

“ඔය සර් අපේ වත්තෙ කෙසෙල්. මන් සර්ටම තමයි ඕවා ගෙනාවෙ. ආයි කඩවලින් ගේන්න ඕන නැහැ. අපි සර්ගෙ යාළුවන්ට කරන සංග්‍රහයට ඕවම ගනිමු.”

“ෂා මහතුන් අය්යෙ නියමනෙ අපි කැමතිම කෙසෙල් ජාතියනෙ මේ ගෙනත් තියෙන්නෙ. යන් යන් ඇතුළට යන්. අපිට කට්ටිය ආවහම කතා කරන්න හොඳ තැනක් තියෙනවා. මන් අපේ හේරත්ට කියන්නං කො තවත් පුටුවක් දෙකක් එතෙන්ට දාන්න කියලා. හේරත්...” 

මඳ වේලාවකින් එතැනට පැමිණියේ මැදිවියේ සේවක මහතෙකි.

“සර් මාව හොයනවා කියලා අපේ ඩොක්ටර් මිස් කිව්වා.”

“හේරත්, මට තව ටික වෙලාවකින් මගෙ යාළුවො කට්ටියක් එක්ක සාකච්ඡාවක් තියෙනවා. අර අපේ ලොකු ජනෙල් තියෙන නිදහස් කාමරේ ලෑස්ති කරමු ද එතෙන්ට තව පුටුවක් දෙකක් දාලා. ඔයාගෙ ඩොක්ටර් මිසීටත් කියන්ඩකො පොඩ්ඩක් ඇවිල්ල යන්න කියලා. හේරත්ටත් පුළුවන් නේද ටිකක් රෑ වෙනකන් ඉන්න.”

“අය්යෝ මන් ඉන්නං සර්. මන් ඉතින් කොහොමත් යන්නෙ ක්වාටස් කාමරේට ගියාට පස්සෙනෙ. සර් මට ඕන්නං එළවළුවක් දෙකක් එක්ක බතක් හදන්නත් පුළුවන්. තව හොඳ රස පොල් සම්බෝලෙකුත් හදන්නං. මේ මහතුන් මල්ලිගෙනුත් පොඩි සප් එකක් ගන්න පුළුවන්නෙ.”

“හේරත් හොඳට අඳුරනව වගේ මහතුන් අය්යව.”

“මේ මොනවා කියනව ද සර් අපි එක ගමේ මිනිස්සු. ඒ විතරක් නෙමෙයි අපි නෑයොත් වෙනවා. ඇයි අපේ නෑ කෙල්ලෙක්වනෙ මෙයා බැඳල ඉන්නෙ.”

“මොකද කියන්නෙ අපේ හේරත්ගෙ යෝජනාවට. අපේ ප්‍රසාදයානං උඩින් ම කැමති වෙයි.”

“මගෙත් අකැමැත්තක් නෑ ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අම්මා මන් එනකන් බලන් ඉන්නවා බත් නොකා.”

“ඇයි මචන් අම්මත් මෙහෙ එක්ක ඇවිත් ද ඉන්නෙ.”

“නෑ බන් මන් නැවතිලා ගෙදර ඉන්න අම්මා. අපේ අය්යගෙ යාළුවෙක්ගෙ ගෙදර මන් නැවතිලා ඉන්නෙ. මන් කිව්වෙ ඒ අම්මා.”

“උඹ ඉතින් ගිය ගිය ගෙදර ඉස්සෙල්ල ම යාළු කරගන්නෙ ඒ ගෙවල්වල ඉන්න අම්ම තාත්තලනෙ. ඊට පස්සෙ ගෙදර දුවලා පුතාලට හුප්පෙ. උඹ දන්නව ද මන් මෙහෙ එන්න කලින් දවසෙත් අපේ අම්මා උඹව මතක් කළානෙ අර හිනා වෙච්ච ගමන් ඉන්න පුතාගෙ සීදේවි යාළුවා දැන් කොහෙද කියලා.”

“මන් දැන ගත්තා මේ උඹ ගැන තමයි කියලා. මන් අම්මව කේන්ති ගස්සන්නත් එක්ක කිව්වා ඔය අම්මා කියනවා ඇත්තෙ නං ගඟුලය ගැන තමයි. හැබැයි උගෙ මොන සීදේවිකමක් ද ඌ මොන අපතයෙක් ද අම්මෙ කියලා. කියන්නෙ බන් අපේ අම්මට කේන්ති ගියානෙ.”

වෛද්‍ය වසන්ත පැවසුවේ සිනාසෙමිනි. මේ අතර ආරෝග්‍යශාලා  භූමියේ ඉදිරිපස රියක් නතර කරන හඬ ඇසිණ. 

“ඒයි ගඟුල් උඹ හැංගිලා හිටපන්. අනිවාරෙන්ම ඔය එන්නෙ ප්‍රසාදයා. ඔන්න මන් තමයි උඹව හොයාගත්ත මෙහෙයුමේ නියමුවා වෙන්නෙ.”

ඒ වන විට හේරත් විසින් පිළියෙළ කරන ලද සාකච්ඡා කාමරයට ගඟුල් යැවූ වසන්ත, සිය මිතුරා පිළිගැන්ම සඳහා ඉදිරියට ගියේ ය. පැමිණ සිටියේ ප්‍රසාද් පමණක් නොවේ. ඹහු පැමිණ සිටියේ ඔහුගේ ම වයසේ තරුණයන් දෙදෙනකු හා තරුණියක සමගිනි.

“ස්වාගතම් මිත්‍ර, ස්වාගතම් සඛී.”

වෛද්‍ය වසන්ත පැමිණ සිටි පිරිස පිළිගත්තේ එසේ ය.

“අඩේ අපේ ගඟුලයගෙන් ඒ දවස්වල කොපි කරගත්ත කෑලිවලින්නෙ දැන් උඹ අපිට දමලා ගහන්නෙ. ඇත්තට මචන් you are welcome කියනවට වඩා මටනං බොක්කටම දැනෙන්නෙ ඔය කෑල්ල තමයි මචන්. ඇත්තටම බන් අපේ ගඟුලයා කොහෙ ඇද්ද?”

“ඇයි උඹට මතක නැද්ද ඉස්සර ඉඳල ම ඌ කිය කිය හිටියෙ ඈත පළාතක ඉස්කෝලෙක වැඩ කරන්න ඕන කියලනෙ. අපි මේ ඈතට ආවා වගේ ඌත් ඔය කොහෙ හරි ඈත පළාතක ඉස්කෝලෙක ළමයින්ට උගන්න උගන්න ඇති. ඉස්සෙල්ල ම මට කියපන් මේ ක්‍රිෂාන්තයවයි සිත්තර දොස්තරියි අල්ලගත්තෙ කොහෙන් ද කියලා. ඒ වගෙම මට අඳුන්නලා දීපන් මේ අනිත් යාළුවවත්.”

“උඹ දන්නව ද මේ ක්‍රිෂාන්තයා තමයි මහව කෘෂිව්‍යාප්ත නිලධාරි. බලපන් කෘෂි ක්‍රිෂා. තනතුරයි නමයි එකට ගැළපිලා යන හැටි. අනිත් කාරණේ අපිට මීට කලින් එන්න තිබුණා මහව හොස්පිටල් එකේ චිත්‍ර ප්‍රදර්ශනේ බලන්න හිටියෙ නැත්තං.”

“මොකක් ද අද එහෙ චිත්‍ර ප්‍රදර්ශනයක් ද?”

“මේ අපේ ප්‍රසාද්ට පිස්සු අනේ. අර අපේ චිත්‍ර දෙක තුනක් හොස්පිටල් එකේ ගහලා තිබුණා. ඒකයි ඔය කියන්නෙ.”

“හොඳ දෙක තුන. මට ඉස්සෙල්ල ම කියපන් වසන්ත, උඹ දැකලා තියෙනව ද කියලා වාට්ටුවෙන් වාට්ටුවට චිත්‍ර ගහපු ලොකු දොස්තර නෝනා විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලේ අයයි නැවතිලා ඉන්න ලෙඩ්ඩු යි චිත්‍ර අඳින ඉස්පිරිතාලයක් දැකලා තියෙනව ද කියලා.”

“ඉතින් එදා ඉඳල ම ප්‍රසාද් අපේ මේ කෙල්ල අමුතු අමුතු වැඩනෙ කළේ. ඇයි මතක ද ඉස්සර අපේ කලා පර්ෂදේ සර්ලා අහනවා මෙයාගෙන් නැද්ද මේ දවස්වල අමුතු විශේෂ වැඩක් කළේ කියලා.”

“අනිවාරෙන් ම මාත් දවසක එනවා තිලිණි ඔයගොල්ලන්ගෙ චිත්‍ර ප්‍රදර්ශනේ බලන්න. මන් මුලින් ම දැන ගත්තා  මහව ඉස්පිරිතාලෙ ලොකු නෝනා විදිහට ඇවිත් ඉන්නෙ අඩු වයසින් විභාග පාස් කරලා ආපු කලාවට ලොකු ලැදිකමක් දක්වන කෙනෙක් කිව්වහම ඒ ඔයාම බව. ඒක තහවුරු උනා පහුගිය දවසක ඉරිදා පත්තරේ පිටුවක් පුරා ඔයා ගැන තිබිච්ච ලිපිය දැක්කම.”

“මොකක් ලිපියක් මෙයා ගැන. එහෙනං මන් කියන්නං ඒක නොබල ම ඒකෙ තිබිච්ච සිරස්තලෙයි විස්තරෙයි. ඔන්න අහගනින්. අමුතු වැඩ කරන උමතු දොස්තර රෝහලේ මුල් පුටුවට. ඒ තමයි සිරස්තලේ. දැන් ඔන්න විස්තරේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට උන්මත්තක කාන්තාවක් රෝහලක මුල් පුටුවට පත් කරනු ලැබ ඇත. මේ ඓතිහාසික සිදුවීම වන්නේ මහව රෝහලට යි. මේ වනවිට මෙම උමතු කත යථෝක්ත තනතුරට පත් කළ අයගේ මොළ ගැන පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මහව රෝහලට පැමිණිමට නියමිත අතර ඒ සම්බන්ධ පරීක්ෂණවල සම්බන්ධීකාරක වශයෙන්  කටයුතු කරන්නේ මහව පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් උත්පලවර්ණ රණවීර විසිනි.”

“යන් වසන්ත කොහෙට්ට හරි ටිකක් ඉඳගන්න. මෙයා කියන ඒවා අහන්න ගියොත් මට ඇත්තටම පිස්සු හැදෙයි තමයි.”

“හරි හරි යන් අපි අපේ සාකච්ඡා කාමරේට. කාලේන ධම්ම සාකච්ඡා කියාගෙන ම. අද ඔන්න කට්ටියට ම කෑම මගෙන්. මගෙන් කිව්වට අපේ හේරත්ගෙන්. ලොකු ජාති නෑ. එළවළු දෙකයි පොල් සම්බෝලෙයි.”

“නියමනෙ මචං මන් මේ කට්ටිය ම එක්ක යන්න හිටියෙ නාගොල්ලාගම අලුතින් ම දාලා තියෙන හෝටලේට. දැන් මොන හෝටල් ද උඹ අපිට කන්න දෙනවනං.”

“අනේ වසන්ත මමත් කැමතියි ඔයා දැන් කියපු මෙනු එකට. වෙලාව ප්‍රශ්නෙ නිසා මාත් ගොඩක් වෙලාවට ඔය මහව හෝටලේකින් කෑම එකක් ගෙන්න ගෙන තමයි කන්නෙ. අද මට ගෙදර ගියා වගේ තියෙයි.”

වෛද්‍යවරිය එසේ පවසද්දී වසන්ත ද කතාවට මැදිහත් විය.

“කෝ බන් මේ උඹත් එක්ක ආපු යාළුවව තවම අපිට අඳුන්නලා දුන්නෙ නැහැනෙ.”

“චා චා ලොකු වැරැද්දක්නෙ ඒක. මචන් මේ එස්. අයි. සඳුන්. ඒ කාලෙ මට උඹලා වගෙ දැන් මට ඉන්න සමානසුඛදුක්ඛසංවිභාගී මිත්‍රයා. මට ඩියුටි වැටිලා තියෙන්නෙ දිව්‍යලෝකෙ ද මනුස්ස ලෝකෙ ද අපායෙ ද ඒ කොතැන උනත් සඳුන් මාත් එක්ක.”

“හැබැයි සඳුන් කිව්වම මතක් වෙන්නෙ පොලිස්කාරයෙක් ව නෙමෙයි. මේ නම ඔය රස්සාවට මුදු වැඩියි.”

“අප්‍රසාද මිනිසුන්ට ප්‍රසාද් කියලා කියනවනං අපුල මිනිස්සුන්ට උපුල් හරි උත්පල කියන්න පුළුවන්නං කිසිම වීරකමක් නැති අය රණවීර නමින් පෙනී හිටිනවනං මේ මල්ලිට සඳුන් කියලා කිව්වට කමක් නැහැ කියල යි මට නං හිතෙන්නෙ.”  

“ඉඳලා ඉඳලා මේ පිස්සු දොස්තර නෝනා මගෙ ඔළුවට ම දුන්නා නේ ද පත ඩෑෂ් පාරක්.”

“වරෙන් වරෙන් මටත් දෙන්න තියෙනවා මහ ලොකු සීඅයිඩී කාරයට තව ඩෑෂ් පාරක්.”

මෙසේ පැවසූ වෛද්‍ය වසන්ත ඒ සියලු දෙනා සාකච්ඡා කාමරය වෙත කැඳවාගෙන ගියේ ය.

“කවුද බන් අර අපි ඔක්කෝටම කලින් අර කොණේ ඉඳන් ඉන්න භූතයා. උඹ ආපු දවසට දෙකට මේ ගමෙන් අඳුන ගත්ත ලොකු පොරක් ද?”

ප්‍රසාද් ඇසුවේ සෙමිනි.

“වරෙන්කො ඒ තමයි මන් සීඅයිඩීකාරයට ගහන්න ගෙනාව පත ඩෑෂ්ෂෙක. යමන්කො උඹට අඳුන්නලා දෙන්න. දැන් මන් මැජික් එකක් කරන්නයි යන්නෙ. වහගනින් උඹලගෙ ඇස්. සිත්තරී මන් මේ උඹටත් එක්ක යි කියන්නෙ. සඳුන් මල්ලි ඕනෙ නැහැ. ඔයා සද්ද නැතුව එන්න.”

අනතුරුව වසන්ත ගඟුල්ට සමීපයට එන මෙන් අතින් සංඥා කෙළේ ය. ගඟුල් පැමිණ ප්‍රසාද් සහ වෛද්‍යවරියට ඉදිරියෙන් සිට ගත් පසු ඒ දෙදෙනාට දැන් දෑස් අරින්නැයි වසන්ත කීවේ ය. දෙදෙනා ම සිය දෙනෙත් විවර කළහ. දෑස් විවර කළ ප්‍රසාද් යළි දෑස් පිසදා බැලී ය. වෛද්‍යවරියගේ මුව පළමු ව විස්මය ද දෙවනු ව කවදත් ඒ මුවට නැගෙන පසන් රේඛා ද ඇදී ගියේ ය. අනතුරුව ඔවුනට ඇසුණේ සරසවි බිම්කඩ දී හුරුපුරුදු ප්‍රසාද්ගේ හඬ යි, චරණය යි.

“අඩෝ ගඟුලයා, යකෝ වසන්ත මේක නං පත ඩෑස් එකක් ම තමයි. උඹ කොහෙන් ද බන් මෙහෙට පාත් උනේ. වසන්තයා ආවා කියලා අද ඌට සුබ පතන්න පාත් උනා ද, කියලා වැඩක් නෑ මචන් මට මාර සන්තෝසයි. නෑ නෑ උඹෙයි උඹේ සර්ගෙයි වචනවලින් කියනවනං මාර නෙමෙයි ප්‍රබුද්ධ විදිහට සන්තෝසයි.”

අනතුරුව ප්‍රසාද් කෙළේ සිය සහෘදයා වැළඳ ගැනීම ය. ඉනික්බිති කතා කෙළේ වෛද්‍යවරිය යි.

“අනේ වසන්ත ඔයා හරිම නරකයි. නිකන්වත් මටවත් කිව්වෙ නැහැනෙ අද ගඟුල් එනඑක, මට කෝල්ලෙකක් දීලවත්. හැබැයි ප්‍රසාද්ට නම් නියම වැඩේ. සීඅයිඩී කාරයන්ට කරන්න බැරි වැඩේ දොස්තරෙක් කළාට.”

“හරි හරි උඹත් ඇදපන් දොස්තරලටම. ඇයි උඹත් ඇවිල්ලා දොස්තරනෙ. ඒක නෙමෙයි මචන් ඇත්තටම උඹ කොහෙන් ද මෙහෙ.”

“වසන්ත මොකක් ද මචන් දැන් ප්‍රසාද්ට කියන්නෙ.”

“ඇයි බන් උඹට දැන් කතා කරන්නත් මුගෙ අවසරේ ඕනෙ ද?”  

“නෑ මචන් ඇත්තම කියන්න මන් ගඟුලයව හොයා ගත්ත එකක් නැහැ. ගඟුලයම මාව හොයාගෙන ආවා මිසක්. ඌ මෙහෙට ඇවිත් තියෙන්නෙ අපි ඔක්කෝට ම කලින්.මෙහෙ නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ තමයි දැන් අපේ මිත්‍රයා උගන්නන්නෙ. අද දවස මටත් බොහොම සතුටු දවසක්. ඇයි බන් කලා පර්ෂදේදි ශිෂ්‍ය ව්‍යාපාරවලදි ඉස්සර එකට මුණ ගැහිච්ච අපි දැන් මේ කොච්චර කාලෙකට පස්සෙ ද ආයි හම්බ වෙන්නෙ.”

“ඒ වගෙම මට කවදක්කවත් අමතක වෙන්නෙ නැහැ මචන් මන් පීනුම් තරගවලින් ධාවන තරගවලින් කල්පෙක ගහන කොට ක්‍රීඩාවලට එච්චර උනන්දුවක් තිබිච්ච නැති  උඹ, ගඟුල් මේ ක්‍රිෂා ඒ වගෙම මේ සිත්තරී ඒ දවස්වල ඒ තැනවලට ඇවිත් ධෛර්යමත් කරපු එක.”

“හැබැයි දැන්නං ගඟුල් අපිට වෙන්නෙ ධාවන තරගවලදි නෙමෙයි මංකොල්ලකාරයෙක් පස්සෙ ප්‍රසාද් එලවන් යනකොට අප්පුඩි ගහන්න. ඇයි ඒ දවස්වල මෙයාට අප්පුඩි ගහපු හතර දෙනෙක් ම දැන් මෙහෙටත් ඇවිල්ලනෙ ඉන්නෙ.”

වෛද්‍යවරිය එවදන් පැවසුවේ සිනාසෙමිනි.

“යමල්ලා යමල්ලා අපේ ඩිස්කෂන් රූම්මෙකට, අපිට කොච්චරක් නං දේවල් තියෙනව ද කතා කරන්න.”

“ගඟුල් සර්, සර්ලා ගොඩක් කාලෙකින්නෙ මේ හමු වෙන්නෙ. කොච්චර දේවල් ඇද්ද කට්ටියට කතා කරන්න. මන් අපේ යාළුවට උයන්න පොඩි සපෝට්ටෙකක් දීලා මේ ළඟට ගිහිල්ලා එන්නං, මට තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. සර්ට කලින් ගෙදර යන්න ඕන උනොත් මට රින් කට්ටෙකක් දෙන්න. එතකොට මන් ටාර් ගාලා මෙතන. නැත්තං මහ රෑ වෙනකන් හරි සර්ලා කතා කර කර ඉන්නවනං කීය උනත් මට ප්‍රශ්නයක් නෑ මන් එන්නං.”

“මොකෝ මහතුන් අය්යෙ ඔයා යන්න ද, හැබැයි කොහෙ ගියත් කමක් නෑ රෑ කෑමට මෙහෙට එන්න ඕන.”

ඒ වෛද්‍ය වසන්ත ය. 

“සර් මන් තව ටිකකින් තමයි යන්නෙ. මටනං කෑම තියන්න එපා. අපේ නෝනා බලන් ඉන්නවනෙ මන් එනකන්. කොච්චර කිව්වත් අහන්නෙ නෑ එනකන් ම බලන් ඉන්නවනෙ.”

“එහෙනං මහතුන් අය්යෙ එයාට දැන්ම කෝල් එකක් දීලා කියන්න උයන්න එපා එයාටත් බත් එකක් ගේනවා කියලා. බැලුවහම මහතුන් අය්යා බොහොම ආදරණීය ස්වාමි පුරුෂයෙක්නෙ.”

“හැබැයි සර් ඕක වැඩියෙන් ම ගැළපෙන්නෙ මට නෙමෙයි අපේ ගෙදර එක්කෙනාට. එයාට නං කිසිම සැකයක් නැතුව ආදරණීය භාර්යාවක් කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන්.”

මේ කතාබහට උනන්දුවෙන් සවන් දී සිටි තවත් චරිතයක් එතැන විය. ඒ අන් කිසිවකු නොව පොලිස් පරීක්ෂකවරයා ය.

“මහතුන් මට අද ඔයාව මෙහෙදි හම්බ වෙච්ච එක හොඳයි. මට මතකයි එදත් දොස්තර මහත්තයත් එක්ක මට හම්බ උනේ ඔයානෙ. මට බොහොම වැදගත් වැඩකට ඉස්සරහට ඔයගොල්ලන්ගෙ සහය ඕන වේවි.”

“මොකක් ද සර්, සර්ලට අපෙන් ඕන කරන සහය. අපේ මට්ටමින් කරන්න පුළුවන් දෙයක් නං උදව් කරන්නං.”

“මහතුන්ලගෙ මට්ටමෙන් මහතුන්ලටම තමයි අපට මේකට වැඩියෙන් ම උදව් කරන්න පූළුවන්. මොකද මහතුන් අපි අපේ පොලිස් ඩිවිෂන් එකේ ඒ කිව්වෙ මහව පොලිස් වසමට අයිති ඔක්කොම ත්‍රීවීල් එළවන අයට වැඩසටහනක් සංවිධානය කරගෙන යනවා. ගමේ රටේ යහපතට වගෙම ඒ අයගෙ දරුපවුල්වල යහපතට හේතු වෙන වැඩ කීපයක් ම කරන්නත් අදහස තියෙනවා. අන්න ඒකෙ සංවිධාන කටයුතුවලදි ඔයාගෙ සහය ඕනෙ.”

“ඉතින් සර් එහෙම වැඩකට අපි අපිට කරන්න පුළුවන් හැම දෙයක් ම කරන්න ඕනෙනෙ.”

“එහෙනං අර මේ පැත්තට එන අර සර්ට ඔයාගෙ ටෙලිපෝන් අංකෙ දෙන්නකො.”

පොලිස් පරීක්ෂකවරයා පෙන්වූයේ එදෙසට එමින් සිටි සහකාර පොලිස් පරීක්ෂකවරයා ය.

“ඒ පාර මොකක් ද මහත්තය මේ ත්‍රීවීලර් එලවන අහිංසකයො ටික අල්ලගෙන කරන්න හදන්නෙ.”

ප්‍රසාද්ට පමණක් ඇසෙන සේ විමසුවේ වෛද්‍යවරිය යි.

“යමන්කො යමන්කො ඒ වැඩේට දොස්තර නෝනා මට උඹෙයි වසන්තයගෙයි විද්‍යාවත් ඕන. ක්‍රිෂාන්තයගෙ කෘෂිවිද්‍යාවත් ඕන. ගඟුලයගෙ සාහිත්‍යයත් ඕන. අපි මේකගෙ සාකච්ඡා කාමරේට ම ගිහිල්ලා ඒ ගැනත් කතා කරමුකො.”

සියලු දෙනා නාගොල්ලාගම රෝහලේ සංකථන කුටියට පැමිණියහ. පිරිස හය දෙනෙකුගෙන් සමන්විත විය. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා, වෛද්‍ය දෙපළ, ගඟුල් සහ කෘෂිව්‍යාප්ති නිලධාරි වශයෙනි. පළමු ව කතා කෙළේ වෛද්‍ය වසන්ත ය.

“පොලිස් මහත්තයට හිතෙන් නැද්ද තමුන්ට ලොකු යුතුකමක් අමතක උනා කියලා.”

“මොකක් ද බන් මට අමතක වෙච්ච යුතුකම. ඇයි බන් මෙතන ඉන්නවා අපි එකම කාලෙක විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත පස් දෙනෙක්. ඒ අයට අමුතු හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ තමයි. හැබැයි අපිට එක්කෙනෙක් අලුත්නෙ. එක වාහනේ ආපු අය එයා තරමක් අඳුන ගන්න ඇති. මටත් උඹ එයාව අඳුන්නල දුන්න තමයි. ඒ උනාට බන් ගඟුලය එයා ගැන දන්නෙ නැහැනෙ.”  

“එයා මෙයා ගාන්න දෙයක් නෑනෙ. උඹ ඔය සඳුන් ගැනනෙ කියන්නෙ. ඇත්තට ම ගඟුල් මේ සඳුන්ට අද අඳුන ගන්න තියෙන්නෙ උඹයි වසන්තයි විතරයි. අනික් ඔක්කෝම කට්ටිය එයා දන්නවා. ඇත්තම තියනවනං මචන් මන් උගෙ බොස් උනාට මට තද වෙච්ච වෙලාවට මගෙ බොස් වෙලා මට උපදෙස් දෙන්නෙ සඳුන්. වෙලාවකට මගෙ මිත්‍රයා. වෙලාවකට මගෙ සහෝදරයා. ඉදිරි වැඩවලදිත් අපි ළඟම ඉන්න ඕන කෙනෙක් තමයි ස`ඳුන්. ඒකමයි මන් අද එයාව උඹලා දෙන්නටත් අඳුන්නලා දෙන්න එක්ක ආවෙ.”

ඔවුන් හිඳගෙන ගත වූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි. හේරත් පැමිණයේ දුම් දමන කෝපි කෝප්ප සයක් රැගෙන ය.

“ඔන්න සර් සර්ලගෙ කතා පටන් ගන්න ඉස්සෙල්ලා කිරිකෝපි ටිකක් බීලා ඉමු. හැබැයි හැදුවෙ මන් නෙමෙයි මගෙ යාළුවෙක් වගෙම නෑයෙකුත් වෙන අපේ මහතුන් තමයි.” 

“ආ ඒක බොහොම හොඳයි අපි මේක බීලම කතාව පටන් ගනිමුකො.”

එසේ පවසා පළමු කෝප්පය ගෙන වෛද්‍යවරියට පිරිනමා අන් අයට ද කිරිකෝපි පානය කිරීමට සැලැස්වීමෙන් පසු කතාවට අවතීර්ණ වූයේ ප්‍රසාද් ය.

“මට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ උඹලා අපිට විශ්වවිද්‍යාලෙදි දාලා තිබිච්ච නම්. ඊට පස්සෙ අපි යාළුවන්ගෙ ගෙවල්වල ගිහිල්ලා ඒවයෙ සති අන්ත ගත කරපු හැටි. ඊටත් පස්සෙ අපි එක එක්කෙනා අපේ ජීවිත ගොඩනඟා ගත්ත හැටි. ඔන්න ඒ අයගෙන් අපි කීපදෙනෙක් අවුරුදු ගාණකට පස්සෙ එක තැනකට එකතු වෙලා තියෙනවා. අපේ ආගිය තොරතුරු වගෙම අලුතු ම විස්තරත් කතා කරලා අපි වෙන වෙනම මේ තමන්ගෙ රස්සාවට අදාළ ව වැඩ කරනවා වගේ අපිට එකතු වෙලා මේ පළාතට රටට ලෝකෙට මොනව ද කරන්න පුළුවන් කියන කාරණේ ගැනත් කතා කරමු. ඔන්න මුලින් ම මන් මගෙ ස්වයං ආත්ම ප්‍රකාශනය එහෙම නැත්තං කාටත් තේරෙන සිංහලෙන් කිව්වොත් සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් කරලා ඉන්නංකො.”

“මේ මේ පොඩ්ඩක් හිටපන් ඊට ඉස්සෙල්ලා මන් ඒකට පූර්විකාවක් දීලා ඉන්නං.”

ඒ වෛද්‍ය වසන්ත ය.

“මේ අවස්ථාවේ පළමුවෙන් ඔබ අමතා කතා කරන්නේ කදිරා යන නාමයෙන් සරසවි සගයන් හැඳින්වූ තමන්ගේ ක්‍රියාකාරකම් කරණ කොටගෙන ජ්‍යෙෂ්ඨ උත්තමයන් වෙතින් සිය ප්‍රථම වර්ෂයේ මුල් කාර්තුවේ දී ම උණ ප්‍රෙසා නොහොත් උණ ප්‍රසා යන අභිධානය ලැබීමට භාග්‍යවන්ත වූ මහව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ප්‍රසාද් රණවීර මහතා යි. කමක් නැද්ද මචන් මන් මේ සඳුනුත් ඉන්න තැන මේවා කිව්වට.”

“අපෝ කමක් නෑ බන්. මන් කිව්වනෙ ඌ මට සහෝදරයෙක් වගේ කෙනෙක් කියලා. අනිත් එක ඌත් දන්නවා පොලිසියෙ මාත් එක්ක වැඩ කරන අනිත් උනුත් දන්නවා මට පොඩි උණක් තියෙනවා කියලා. ඒක නෙමෙයි උඹලට මතක ද අපේ ෆස්ට් ඉයර්රෙකේදි මට ඔය නම දාන්න මුල් වෙච්ච සරත් අය්යා.”

“මොකෝ බන් අමතක සරත් අය්යව අපිට අඳුන්නලා දුන්නෙත් උඹමනෙ.”

“මටත් මතකයි ඒ කාලෙ ක්‍රීඩා සංගමේ සභාපති වෙලා හිටපු අර අඩි හයකටත් වැඩිය උස අය්යනෙ. ඇයි එයගෙ යාළුකම නිසානෙ අපේ සිත්තරීටත් ක්‍රීඩා සංගමෙත් නොනිල පෝස්ටර් අඳින්නියක් වෙන්නත් උනේ.” 

වසන්ත මුලින් කී කතාවට එසේ ගඟුල් කළ ප්‍රකාශයෙන් පසු වෛද්‍යවරිය ද කතාවට මැදිහත් වූවා ය.  

“සරත් අය්යව මටත් කවදාකවත් අමතක නොවෙන්නෙ එයාව මට හමු වෙච්ච පළවෙනි දවසෙ උන සිදුවීම් එක්ක යි. අපි ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් එකට ගිහිල්ලා ඉන්නකොට අපේ කෙල්ලො කීප දෙනෙක් අපි ඉන්න කාමරේට ඇවිත් කියාපි අන්න පොල් ගහක් විතර උස අය්යා කෙනෙක් ඇවිත් උඹව අහනවා පල්ලෙහාට ඇවිත්. පලයන් පලයන් ගිහින් කතා කරපන් උඹ ඒ වගෙ කෙනෙක් එක්ක යාළු වෙන එක අපේ මේ නිශාටත් හොඳයි. මොක ද මේ වතුකාරිගෙ කුරුණෑගල ඉඩන්වල පොල් කඩන්නෙ කෙකිවලින්ලුනෙ. අපරාදෙ කියන්න බැහැ ඒ අය්යට නං පුළුවන් කෙක්කක් නැතුව අතින් පොල් කඩන්න. කඩාගෙන බිඳගෙන ඇවිත් පුටු පෙරළගෙන ඇවිත් තමයි මලිති මට ඔය පණිවිඩේ කිව්වෙ.”

“ඉතින් ඒකට උඹ මොනව ද නංගි කිව්වෙ.”

එසේ කතාවට මැදිහත් වූයේ මෙතෙක් නිහඬ ව සිටි කෘෂිව්‍යාප්ති නිලධාරි ය.

“අය්යෙ මන් කිව්වෙ අනේ මලිති මටනං ඔය පොල් ගස් උස අය්යලා නැහැ. දැන් උඹ කිව්වනෙ අපේ නිශාලගෙ වතුවල අතින් පොල් කඩන්න ඒ අය්යා හොඳයි කියලා. අන්න නිශා ඉන්නවා උන්ගෙ කාමරේ. ගිහින් එයාට කියපන් පොල් කඩන අය්යා කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා එයාව හම්බ වෙන්න. මෙහෙම කියපු ගමන් මලිතියා පැනපු ගමන් මාව බදාගෙන මාව ඉඹලා අනේ වස්තුවෙ උඹ මගෙ ඔළුවට නියම අයිඩියා එකක්නෙ දැම්මෙ මේ දවස්වල මටත් කිසිම අලුත් වැඩක් කරන්න බැරි උනානෙ කියලා දුවගෙන ගියානෙ නිශාලගෙ කාමරේ පැත්තට.”

“ඔයා ඔය මලිති කිව්වෙ ඔයා අපේ කලා පර්ෂදෙ චිත්‍ර අඳින සමහර දවසක එතෙන්ට ඇවිල්ලා තොරතෝංචියක් නැතුව කියවපු කෙල්ල නේද? හරි ආදරේ හිතෙන කෙල්ල. දැන් කොහෙද නංගි ඒ ළමයා.”

“දැන් සිත්තරී උඹ ඔක්කොටම ඉස්සෙල්ලා කියලා හිටපන් අපේ මේ ගඟුලට හරි ආදරේ හිතෙන කෙල්ල කොහෙද කියලා.”

“මන් මේ සහෝදරකමට කතා කළහම මේ ප්‍රසාදයා මඟුලක් කියෝනවා. ඇත්තටම සිත්තරී කොහෙද දැන් මලිති ඉන්නෙ. මන් එයත් එක්ක කතා කරලා තියෙන්නෙ දවසයි දෙකයි තමයි. ඒ උනාට සිත්තරී මට තේරුන් ගිය දේ තමයි එයා හරි ගැඹුරක් තියෙන ගෑනියක් කියන එක.”  

“මලිති ද එයා දැන් වවුනියා හොස්පිටල්ලෙකේ වැඩ කරන්නෙ. සීමාවාසික සේවා කාලෙ ඉවර උනාම එයාගෙ ගම් පැත්තෙ ඉස්පිරිතාලෙකට යන්න පුළුවන් උනත් එයා එහෙම කළේ නැහැ. එයා සිය කැමැත්තෙන් ඒ ඉස්පිරිතාලෙම ඉන්න කැමති උනා. ගොඩක් දෙනා කොළඹට හරි වෙනත් නගරෙකට හරි එන්න දඟලන කාලෙක සිය කැමැත්තෙන් එහෙ ඉන්න කැමතියි කිව්ව මලිතිට බොහොම ඉහළින් ම ඒකට අනුමැතිය ලැබුණා. දැන් ඒකිට වතුර වගේ දෙමළ කතා කරන්නත් පුළුවන්. මන් මේ මෑත දවසක ඒ පැත්තට ගිය වෙලාවක කෙල්ලව බලන්නම හිතලා වවුනියාව හොස්පිටල්ලෙකට ගියා. අම්මේ මාව දැක්කහම ඒකිට ආපු සතුට. අර මහ සෙනග මැද්දෙ මාව බදාගෙන අනේ උඹ මෙහෙටත් ආවද මාව බලන්න කිය කිය ඉඹිනවා, අඬනව එක වැඩයි. හොස්පිටල්ලෙකේ කට්ටියත් බලන් ඉන්නවා අපේ දොස්තර නෝනට මෙච්චර සතුටක් දැනෙන්න තරන් කවුද අප්පේ මේ ආපු අම්මණ්ඩි කියලා. අපරාදෙ කියන්න බැහැ ඒ මිනිස්සු මෙයාගෙ යාළුවෙක් වෙච්ච නිසා ද මන්ද මටත් හරියට සැලකුවා. ඔයා හරි ගඟුල්, මලිති හරි ගැඹුරක් තියෙන ගැහැනියක් තමයි. එයා තමන් වැඩ කරන හොස්පිටල්ලෙකෙ කාගෙත් හිත් දිනාගෙන කාගෙත් හිත් දිනාගෙන එතැන ලොකු වෙනසක් කරලා තිබුණා. ඔයගොල්ලො දන්නව ද එහෙ මිනිස්සු එයාට කියන්නෙ Beauty Deity කියලයි.” 

“සොඳුරු දෙවඟන  ගැන අපි කතා කළා. දැන් අපිට කියපන් උඹට සරත් අය්යා එහෙම හම්බ උනේ නැද්ද? මට නම් මචන් අපි අවුට් වෙලත් දැන් අවුරුදු තුනක් වෙනවනෙ. මටනං සරත් අය්යා ගැන කිසිම විස්තරයක් දැන ගන්ඩ ලැබුණෙ නැහැ.”

“මට නං මචන් සරත් අය්යව මේ ළඟදිත් හම්බ උනා කොළඹ දි. උඹලා දන්නව ද සරත් අය්යා දැන් කවුද කියලා.”

“අපි දන්නෙ කොහොම ද බන් කියපන් කියපන්.”

“මචන් එයා දැන් නියෝජ්‍ය පොලිස්පති. ඒ වගෙම අනුරාධපුරෙයි පොළොන්නරුවයි දෙකම සම්බන්ධ කරන උතුරු මැද පළාත බාර ව ඉන්න ප්‍රධාන නිලධාරියත් ඉතින් සරත් අය්යම තමයි. ඒ විතරක් නෙමෙයි උඹලා දන්නව ද එයා බැන්දෙ කවුද කියලා.“

”නැහැනෙ බන් කියපන්කො ඒ විස්තරත්.”

“ඒ විස්තරේනං මටත් වඩා හොඳට කියන්න දන්නෙ අපේ සිත්තරී තමයි. මොකද ඒ මඟුල ගැන කතා කරන කොට සිත්තරී කියන ප්‍රධාන සාධකය අපිට අමතක කරන්න බැහැ. සිත්තරී කියපන් දැන් එ විස්තරේ.”

“ඒක හරි ලස්සන කතාවක් ක්‍රිෂාන්ත අය්යේ. මෙතෙන් දි මන් ඉස්සෙල්ලා කරගෙන ආපු කතාවට ආයෙත් යන්න වෙනවා. මතක ද මන් කිව්වා මලිති ඇවිල්ලා පොල්ගහක් විතර උස අය්යෙක් මාව හම්බ වෙන්න ආව කියලා.”

“මතකයි මතකයි නංගි කන්ටිනුය් යුවර් ස්ටෝරි.”

“ඉතින් මලිති කළේ මන් වෙනුවට නිශා යවන එක. මේකි නිශාට ගිහින් කියලා තියෙනවා අන්න උඹ හම්බ වෙන්න දිගංචියෙක් – පලංචියෙක් ඇවිල්ල ඉන්නවා. මගෙ දිහා ඔහොම උලමි වගේ බලන් ඉන්නැතුව පලයන් ගිහින් බලපන් මොකට ද එයා ඇවිත් ඉන්නෙ කියලා. උඹට එයා චොකලට් වගෙ මොනවා හරි ගෙනත් තිබ්බොත් ඒවා ගෙනත් දීපන් මගෙ අතට කියලා බලෙන් ම වගේ නිශාව එතෙන්ට යවලා තිබුණා. ඔයගොල්ලො දන්නව ද ඒ ඇවිත් තිබුණෙ කවුද කියලා ඒ සරත් අය්යා.”

“එහෙනං එයා අනිවාරෙන් ම සිත්තරී හොයාගෙන ඇවිත් තිබුණෙ ක්‍රීඩා සංගමේ මොනවා හරි අන්දගන්න.”  

“ඔයා හරි අය්යෙ එයා ඇවිත් තිබුණෙ ඒකට තමයි. එයා නිශාට කියලා තිබුණා ලබන මාසෙ අපේ ක්‍රීඩා වර්ණ ප්‍රදානෙ. නංගිලට ගොඩක් වැඩ තියෙන බව දන්නව උනත් මන් ආවෙ නංගිට කියලා අපිට අවශ්‍යම කරන පෝස්ටරයක් දෙකක් බොහොම නිර්මාණශීලී විදිහට ඇදගන්න කියලා. ඒ වෙලාවෙ අපේ නිශා කියලා තිබුණා අනේ අය්යෙ නිර්මාණශීලී විදිහට හරි නිර්මාණශීලී නැති විදිහට හරි අඳින්න මට බැහැනෙ කියලා.”

“ඉතින් ඊට පස්සෙ මොකක් ද උනේ.”

“ඊට පස්සෙ ද සරත් අය්යා අහලා තිබුණා නිශාගෙන්. එතකොට නංගි ඔයා මෙඩිකල් ෆැකල්ටි එකේ සිත්තරී නෙමෙයි ද කියලා. ඒකට නිශා කියලා අය්යෙ මගෙත් ෆැකල්ටි එක නං ඒක තමයි ඒ උනාට මන් සිත්තරී නං නෙමෙයි කියලා. ඔයාට ඕන්නං අය්යෙ ක්‍රීඩකයෙක්ගෙ ඇඳපු රූප සටහනක් බලාගෙන මට දේහ ව්‍යවච්ඡේදනය ගැන නං කියලා දෙන්න පුළුවන්. ඒත් චිත්‍ර පෝස්ටර් ඇඳිලි නං බැහැ.”

“නිශාත් හෙමිජ්ජා වගේ හිටියට හොඳ කතානෙ කරලා තියෙන්නෙ.”

“ක්‍රිෂාන්ත අය්යෙ ඒ හොඳ කතාවෙ අවසානය තමයි හරිම ලස්සන. මොකද අපිත් ඒකට සාක්කිකාරයො උනානෙ. ඉන්නකො ඉතිරි ටිකත් කියලා ඉවර වෙනකන්. ඔන්න ඉතින් ඊට පස්සෙ නිශත් මලිති ආවා වගෙම කඩාගෙන බිඳගෙන ආවා මගෙ කාමරේට. ඒ වෙලාවෙ මලිති හිටියෙ මාත් එක්ක කතා තරගෙන. නිශා ඈත එනවා දැක්ක විතරයි අන්න අරකි තදවෙලා මේ පැත්තට එනවා. මන් මාරු වෙනවා අනේ සුදෝ මාව ඇහැව්වොත් අද දවසෙම ඇහැටවත් දැක්කෙ නැහැ කියපන්. සමහර විට මොකක් හරි ඕනකමකට ඒකි ගමේ ගියා වෙන්නත් බැරි නෑ කියපන් කියලා මලිතියා මාරු උනා නේද? වේගෙන් ආපු නිශා අහපු ගමන් ඇහැව්වෙ කෝ අරකි කියලා. මන් කට හදාගෙන නොදන්න විදිහට කවුද නිශා කියලා ඇහැව්වහම ඈ උඹ දන්නෙම නෑ. මන් එනවා දැකලා මෙතන ඉඳලා මාරුවෙලා ගිය මලිතිව උඹ දන්නෙම නැහැ. උඹත් ආව ද මට සුදුළුෑණු පොඩි කරන්න. අන්න පලයන් මාව නෙමෙයි උඹව හොයන්නෙ. මේ විශ්වවිද්‍යාලෙ ළමයි විතරක් නෙමෙයි ස්පෝර්ට්ස් ගැන උනන්දු සර්ලා මිස්ලා හිටන් කතා කරන සීනියර් අය්යා කෙනෙක් ඇවිත් ඉන්නෙ. වෙන කවුරුවත් නෙමෙයි බන් සරත් අය්යා. මන් එයා ගැන මොකුත් නොදන්න කෙනෙක් විදිහට ඇට් කළා. පලයන් පලයන් සිත්තරී ව හොයන්නෙ. වරෙන් වරෙන් මන් කළා වගෙ අදිමදි කරන්නැතුව. පෙන්නපන් ඒ මහ ලොකු ක්‍රීඩකයට අපේ කලර්ස්. මෙහෙම කියලා මේකි මාව ඇඳගෙන ගියේ නැතෑ සරත් අය්යා ළඟට.”

“ඉතින් මොකෝ බන් ඊළඟට උනේ.”

“ඊළඟට ද, අනේ අපි යනකොට සරත් අය්යා අපේ හොස්ටල් එක ඉස්සරහ බන්කුවක ඉඳගෙන ඉන්නවා. අපි එතෙන්ට යනකොට අපේ හොස්ටල් එකේම කෙල්ලො කණ්ඩායමක් එතැනට කඩාගෙන පැනපි අනේ සරත් අය්යා මොකෝ මෙහෙ කියලා. ඒ කෙල්ලො ටික එහා මෙහා වෙනකං ඉඳලා අපි එතෙන්ට ගියා. එයා මුලින් ම කළේ මාව එක්ක ගෙනම ආවට නිශාට ස්තුති කරන එක. ඊට පස්සෙ ඔන්න මහ වයසක ගෑනියෙක් විදිහට ඔන්න මන් එහෙනං මන් මගෙ යුතුකම ඉෂ්ට කොළා. ඔය ළමයි ඉතින් කැමති දෙයක් කතා කරගන්න කියලා ගියා. හැබැයි මන් දැක්කා සරත් අය්යගෙ ඇස් දෙක තිබුණෙ ළඟ ඉන්න මන් ගාව නෙමෙයි එතැනිනි ටිකෙන් ටික ඈතට යන නිශා ගාව කියන එක.”

“ඉතින් ඊට පස්සෙ මොකද උනේ.”  

“ඉතින් ඊට පස්සෙ උනේ අපේ සරත්මධු මහත්තයගෙ චිත්‍රකතාවක තිබුණ වගේ කාලයක් ප්‍රාර්ථනා වැස්සට තෙමි තෙමි ඉඳලා සරත් නිශාව කසාද බැඳපු එක.”

“සීරියස්ලි.”

“සීරියස්ලි තමයි. ඔන්න දැන් සීරියස්ලි දුවලම දෙන්නෙක් ඉන්නවා.”

“එතකොට උඹද මඟුල් කපුකම කළේ.”

“නෑ නෑ ප්‍රධාන මඟුල්කපු හාමිනේ ඒවට අපේ ෆැකල්ටියෙ බොහොම ප්‍රසිද්ධ මලිති. හැබැයි ඉතින් මාත් මේ වැඩේ දි මඟුල් කපු සහායක කියලා කිව්වට වරදක් නැහැ. තව දෙයක් තියෙනවා ඩොක්ටර් සිරිසේන ඔය කෙල්ලො දෙන්න ගන්න කොට සහකාර වෛද්‍යවරිය හැටියට ළඟ හිටියෙත් මම. අනේ අපේ ගඟුල් නං බොහොම නිහඬව අපේ කතා බතා අහන් ඉන්නවා. ගඟුල්ට හිතෙනව ද දන්නෙ නැහැ මෙච්චර කාලෙකට පස්සෙ හම්බ වෙලත් මුන්ට කතා කරන්න තියෙන්නෙ ඕපදූප ද කියලා.”

“මන් එහෙම හිතන්නෑ සිත්තරී, ඔයගොල්ල මේ කතා කරපු කිසිම දෙයක් ඕපදූප ගණයට දාලා කතා කරන්න බැහැ. මොක ද මේ හැම දෙයකින් ම පසුබිම හැදෙන්නෙ අපි දැන් කරන වගේ ම අනාගතේදි කරන වැඩවලට. මට අනිවාරෙන් ම අපේ ඉස්කෝලෙ දරුවන්ගෙ වැඩවලදි මෙතන ඉන්න අයගෙ වගෙම දැන් නම් කියැවෙච්ච අයගෙත් සහාය අවශයයි. අර ඉස්සෙල්ලා ප්‍රසාද් කරන්න හිතන් ඉන්නවා කියපු වැඩවලටත් මේ කතාව වැදගත්.”

“උඹ හරියටම හරි. දැන් ක්‍රිෂා ප්‍රශ්න අහන අහන සැරේට අපේ සිත්තරී චිත්‍ර අඳිනවා වගෙ උත්තර දෙනවා. ඒ වගෙම ඒ වෙලාවෙම පාට කරනවා. ඇත්තටම පොලිස් නිලධාරියෙක් විදිහට මට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙ අඳුරු චිත්‍ර. ඒවා සොඳුරු චිත්‍ර කරන්න මට උඹලා ඔක්කගෙම සහා ඕනෙ. ඒ කියන්නෙ මේ කදිරට කරන්න පුළුවන් අඳුරු චිත්‍ර අඳුරගෙන ඒව උඹලට පෙන්නන එක විතරයි. මට ඒවා සොඳුරු චිත්‍ර කරන්න නං අපි ඒ සාහිත්‍යා කියල නම දාපු ගඟුලුත් ඕනෙ. දොස්තර සිත්තරීත් ඕනෙ. වසන්තයත් ඕනෙ. කැම්පස් එකේදි පැලෑටියා කියන කාඩ් එක වැදිච්ච ක්‍රිෂාන්තයත්  ඕනෙ. සරත් අය්යලත් ඕනෙ. දැන් මාත් එක්ක ඉන්න මේ සඳුන්ලත් ඕනෙ.”

“හරි මචන් උඹ කරන්න යන වැඩ ගැන කියපන්. අපේ තැන ඉඳගෙන ඒ කිව්වෙ අපේ වෘත්තියෙ ඉඳගෙන අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගෙ දෙන්නං.”

“ඒක හරි මට කියන්න තියෙන්නෙත් අපේ පැලෑටියා කිව්ව එක අනුමත කරන එක.”

“ප්‍රසාද් උඹ කිව්වා නේද සරත් අය්යා ළඟ දි හම්බ වෙච්ච කතාවක් කලුතර දි.”  17

“ඔව් මචන් මේ ළඟදි වයඹ පළාතෙ සියලු ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලෙදි විශේෂ වැඩ මුළුවක් තිබුණා. ඒකෙ එක දේශනයක් කළේ සරත් අය්යා. වැඩ මුළුව ඉවර උනාට පස්සෙ මන් සරත් අය්යව හෙව්වා වචනයක් කතා කරලා යන්න. ඒ වෙලාවෙ මන් දැක්කා පොලිස්පතිතුමයි තව ඩීඅයිජී සර්ලා තුන් දෙනෙකුයි එක්ක කතා කර කර සරත් අය්යා අපේ පැත්තට එනවා. ඒ වෙලාවෙ කතා කරන හරි නැහැ කියලා මන් පැත්තකට වෙන්න හැදුවට සරත් අය්යා ඈතදිම මාව දැක්කා. පොලිස්පතිතුමාටයි අර සර්ලටයි මාව අඳුන්නලා දුන්නෙ මේ මහව අලුත් ඕඅයිසී ප්‍රසාද්. මගෙ විශ්වවිද්‍යාල සගයෙක්. එතකොට නං කදිරා කියලයි. ඒ වෙලාවෙ පොලිස්පතිතුමා හිනාවෙලා කිව්වෙ ඔව් සරත් දැන් අපිට වෙනදටත් වඩා පොලිසියට කදිරලා ඕනෙ කරන යුගයක් කියල යි.” 

“ඒක නෙමෙයි මචන් උඹ කිව්ව නේ ද මෙහෙ උඹට ක්‍රියාත්මක කරන්න ඕන වැඩ පිළිවෙළක් ගැන. අපි කතා කරමු ද ඒ ගැන.”

ඒ ප්‍රශ්නය මතු කෙළේ විදුදය සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වනසංරක්ෂණ අධ්‍යයනාංශයේ විශේෂ උපාධියක් හදාරා ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ද ඉන් සමත් ව සිය සරසවි ජීවන සමයේ දී සහෘදය මිතුරු කැළ වෙතින් පැළෑටියා යන අභිධානය ලද පරිසරවේදී ක්‍රිෂාන්ත ය.

“මචන් මන් පොලිස් දෙපාර්මේන්තුවට ආවට පස්සෙ මන් වෙනදටත් වැඩිය තේරුන් ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි වැරදි කරනවා කියලා හංවඩු ගැහිච්ච මිනිස්සු තුළත් දෙවියෙක් ඉන්නවා කියලා. අපරාධකාරයො චණ්ඩි කියලා සමාජය අඳුන්නපු මිනිස්සු මන් තනියම අරන් කතා කරන කොට උන් වෙලාවකට අඬනවා මචන් පුංචි ළමයි වගේ. තමන් කරපු වැරැද්ද ගැන උන් ඇත්තට ම තැවෙනවා. යැබැයි මචන් උගත් මිනිහෙක් අපරාධකාරයෙක් හරි වංචාකාරයෙක් හරි උනොත් තත්වෙ මීට වෙනස්. උන් තමන්ගෙ දැනුම බුද්ධිය මේ ඔක්කොම පාවිච්චි කරන්නෙ කළ වැරැද්ද වැරැද්දක් නෙමෙයි කියන කාරණේ සාධාරණීකරණය කරන්න. ඒක නිසා මන් දැන් වැඩියෙන් වෑයම් කරන්නෙ නොදන්නකම නිසා, නූගත්කම නිසා වැරදි කරන අය දැනුවත් කරන්න. ඒකට මට උඹලා ඔක්කගෙම සහයෝගෙ ඕනෙ.”

“මට ප්‍රසාද් ඔහොම කියනකොට මතක් වෙන්නෙ අපේ සමන් අය්යගෙ ප්‍රකාශයක්. එයා කියන්නෙ වැරදීම් සිදු වෙන්නෙ මිනිසාගේ නොදැනුවත්කම නිසයි, පිළියම දැනුවත් මිනිස් සමාජයක් නිර්මාණය කිරීමයි  කියලයි.”

“ඒකනං මචන් හරියටම හරි. මන් මචන් විශේෂයෙන් කියලා වැඩ පිළිවෙළක් ගැන හිතලා නැහැ. දුටුගැමුණු රජ්ජුරුවො අර මුලින් යුද්ධ කළා වගේ එහෙන් මෙහෙන් කරන වැඩ තමයි මගෙ තියෙන්නෙ. උඹට බැරි ද ගඟුල් අර ඒ අපේ අතීත මිත්තණියක් රජ්ජුරුවන්ට වැඩ කරන්න ඕන නියම ක්‍රමවේදෙ කියලා දුන්නා වගේ මේකට ගැළපෙන වැඩ පිළිවෙළක් යෝජනා කරන්න. මගෙ මේ අනික් යාළුවො හරි කමක් නෑ හොඳ යෝජනා ඉදිරිපත් කරනවනං.”

“මන් හිතන්නෙ ප්‍රසාද් ඔයා සුදුසු ම කෙනාට තමයි කරන්න ඕන දේ කියන්න කියලා ඉල්ලීම කළේ. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු මේ ගැන අපේ ගඟුල් මොනව ද කියන්නෙ කියලා.”

“අපේ සිත්තරී කියන එක හරි. සාහිත්‍යා උඹ යෝජනා කරපන්, කරන්න ඕන දේවල් මෙතන ඉන්න හරි නැති හරි අපට උදව් ගන්න පුළුවන් අපේ යාළුවන්ගෙයි අපේම ගුරුවරුන්ගෙයි දැනුම් පද්ධති ගැන හිතලා.”  

“අපේ ක්‍රිෂාන්ත කිව්ව දේත් එක්ක අපෙත් උදව් ඉල්ලලා කුසුම් මිස්ගෙයි අදිකාරම් පදනමේ ලේකම්තුමාගෙයි අත්සනින් අපට එවලා තිබුණ වැඩ පිළිවෙළ ම මේකටත් ගළපගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ. මට මතක තියෙන හැටියට මන් ඒකෙ අන්තර්ගතේ කෙටියෙන් පැහැදිලි කරන්න ද?”

“ඔව් ඔව් ඒක හොඳයි කෙටියෙන් නෙමෙයි උඹේ සාහිත්‍යාත්මක භාෂාව පාවිච්චි කරලා දිගුවෙන් හරි කියපන් හැබැයි අපිට තේරෙන විදිහට.”

“මේකයි ප්‍රසාද්, මේක අදිකාරම්තුමාගෙ වැඩ පිළිවෙළවල් එක්ක සම්බන්ධ කරලා අදිකාරම් පදනමයි අනුලා නීතිගත පාලක මණ්ඩලයයි ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක්. ඒකට ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානෙයි නිර්මාංසාහාර සමිතියෙයි සහයෝගයත් ලැබෙනවා.”

“ගඟුල් ඔයා කියලම අදිකාරම් පදනමෙන් මොනව ද කරන්නෙ කියලා අපි දන්නවා. ඒත් මේ අනුලා නීතිගත පාලක මණ්ඩලේ කියන්න මොකක් ද ඒකෙන් කරන්නෙ මොනව ද කියන එක ගැන මට නං දැනුමක් නැහැ.”

“සිත්තරී මතු කළ ප්‍රශ්නෙ කියන්නෙ මන් මේ කතා කරන්න යන දේට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් තැනක්. අදිකාරම්තුමා 1944 අවුරුද්දෙදි තමයි අනුලා නීතිගත පාලක මණ්ඩලය ආරම්භ කරන්නෙ. නුගේගොඩ අනුලා ඉස්කෝලෙ පටන් ගන්න මුල් වෙන්නෙත් ඒක තමයි. හැබැයි අනුලා එකට විතරක් සීමා නොවී මේ රටේ අද බොහොම කීර්තිමත් පාසල් බවට පත් වෙලා තියෙන ඉස්කෝල ගණනාවක් ආරම්භ කරන්න අදිකාරම්තුමා මුල් වෙනවා තමන්ගෙ මිත්‍ර පිරිසෙත් සහාය ඇතුව.”

“ගඟුල් මන් අනුලා ඉස්කෝලෙ නිර්මාතෘ අදිකාරම්තුමා කියන එකනං අහලා තියෙනවා. එතකොට වෙන මොන ඉස්කෝල පටන් ගන්න ද අදිකාරම්තුමා මුල් උනේ.”

“ඇයි සිත්තරී මහරගම විද්‍යාකරේ, මතුගම ආනන්ද ශාස්ත්‍රාලෙ, කෝට්ටෙ ආනන්ද බාලිකාව, නුගේගොඩ මහමායා, බත්තරමුල්ල මහවිද්‍යාලෙ වගේ වගේ පාසල් ගණනාවක් ආරම්භ කරන්න මේ අය මුල් උනා.”

“මේ අය කිව්වෙ තවත් ලොකු පිරිසක් හිටිය ද මේ වැඩවලට සම්බන්ධ වෙච්ච.”

“ලොකු පිරිසක් නං හිටියෙ නැහැ. දහ දෙනෙක් තමයි මේකෙ සාමාජිකයො උනේ. ඒ දහදෙනා අතර ගුණපාල මලලසේකර මහාචාර්යතුමත් හිටියා, කොළඹ ආනන්ද විද්‍යාලෙ බොහොම කීර්තිමත් විදුහල්පතිවරයෙක් වෙච්ච පී. ද. එස්. කුලරත්න මහත්තයත් හිටියා. ඒ විතරක් නෙමෙයි අපි මේ කතා කරන අදිකාරම්තුමා තමයි  අද නිදහස් අධ්‍යාපනේ පියා හැටියට කතා කරන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයගෙ ඒ වටිනා මෙහෙවරේ අප්‍රකට ශක්තිය උනේ.”

“ඒක අපිටත් ලොකු ආදර්ශයක්. අදිකාරම්තුමාලා අපිට හොඳ ආදර්ශයක් දීලා තියෙනවා ඕනෑකමක් තියෙන පුංචි කණ්ඩායමකට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන එක. ඇත්තම කිව්වොත් දැන් අපිට වැඩ කරන්න ඉන්නෙත් දහයක විතර කණ්ඩායමක්නෙ. අද මෙතෙන්ට මන් එක්කරගෙනම එන්න හිටපු එක්කෙනෙක් අඩුයි. ඒ තමයි ඒ කාලෙ මැනේජ්මන්ට්මන්ට් එකේ මානව සම්පත් එකේ ඉගෙන ගත්ත වාසනා.”   

“අඩේ වාසනාත් මෙහෙ ද, සිත්තරී ඒ උඹේ යාළුවනේ. උඹ පෝස්ටර් අදින කොට තීන්ත බාල්දි උස්සගෙන උඹේ සපෝට්ටෙකට හිටපු ඉබ්බාගමුවෙ සෙන්ට්‍රල් එකෙන් කැම්පස් ආපු අපේ ඉබ්බි ද, දැන් ඒ අම්මණ්ඩිත් මෙහෙ ද?”

“ඔව් ක්‍රිෂාන්ත අය්යෙ ඔයා කියන ඒ ඉබ්බිව මට ඊයෙත් හම්බ උනා. ප්‍රසාදුයි මායි කතා කරගෙන හිටියෙ එයත් අද මෙහෙ එක්ක එන්න. ඒත් වාසනාට රාජකාරි වැඩකට ඊයෙ කොළඹ යන්න උනා. අද හවසයි ආපහු එන්නෙ.”

“මොකක් ද බන් එයාට තියෙන ඒ තරම් රාජකාරි. මොකෝ එයා දැන් මහව මහමුලෑදෑනිය ද?”

“අන්න හරි ඒ කාලෙ පාවිච්චි කරපු ඒ වචනෙ තමයි අද කාලෙ එයාගෙ තනතුරට ගැළපෙන්නෙ. දැන් එයා ප්‍රාදේශීය ලේකම්වරියක්, තවත් විදිහකට කිව්වොත් උපදිසාපතිතුමියක්. හැබැයි මහව නෙමෙයි. අපේ වාසනා තමයි දැන් දළදාගම උපදිසාපතිතුමිය.”

“නියමනෙ බන් නියමනෙ.”

“ඇත්තටම වාසනා ඒ වැඩේට ගැළපෙනවා. හොස්ටල් එකේදි උනත් තමන්ගෙ වැඩත් කළමනාකරණය කරගෙන අපේ වැඩත් කළමනාකරණය කරගන්න හැටි ගැන ආදර්ශයක් උනේ ඔය කෙල්ල තමා. එයාට ගැළපෙනම රස්සාව තමා හම්බ වෙලා තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.”

“හරි ඒ කතා ඔක්කොම හරි, දැන් ආයෙත් අපේ මාතෘකාවට බහිමු ද?”

ඒ යෝජනාව කෙළේ වෛද්‍ය වසන්ත යි.

“ඔව් ගඟුල්, අපේ කතාවල ඉවරයක් කරලා ඉමු. දැන් අපේ වසන්තයගෙ රාත්‍රී භෝජන සංග්‍රහයටත් වෙලාව තියා ගන්න එපායැ.”

“දැන් අදිකාරම්තුමා නැති වෙලත් සෑහෙන කාලයක් වෙන්න ආවා. වර්තමානයෙ අපි ඉස්සෙල්ල කතා කරපු සංවිධානවල් වගකීම් දරන අය කරන්න හදන්නෙ ජන්ම දින සැමරීම් වත් එතුමා නැති දිනේ සිහිකිරීම වත් නෙමෙයි. තමන්ට පුළු පුළුවන් විදිහට එතුමා කරගෙන ගිය කටයුතු කරන්න වැඩ කරන එක.”

“ගඟුල් එතුමා කරපු වැඩ කියලා අදහස් කරපු දේ අපිට තව ටිකක් පැහැදිලි කරනව ද?”

“ඒ මෙහෙමයි සිත්තරී, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අදිකාරම්තුමා තමන්ගෙ ජීවිත කාලය පුරා දීපව්‍යාප්ත ව මත්ද්‍රව්‍ය විරෝධි වැඩ සටහන් කරගෙන ගියා. ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ඉස්කෝලවලට යමින් එතුමා කළේ ඒක. නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා, කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා, දියනාත් සමරසිංහ මහාචාර්යතුමා වගේ අයත් ඒ වැඩවලදි සහාය උනා. අදිකාරම්තුමාගෙ අවමංගල කටයුතු කරපු වෙලාවෙ විශේෂ අනුශාසනාවක් කරපු මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවො වැඩියෙන් කතා කළේ එතුමාගෙ මත්ද්‍රව්‍ය විරෝධි ක්‍රියාකාරකම් ගැන.”

“අපි අහලා තියෙන හැටියට මත්ද්‍රව්‍ය විරෝධි වැඩ සටහන් කියන්නෙ අදිකාරම්තුමාගෙ වැඩවල එක වැඩක් විතරයි. එතකොට සෝභිත නායක හාමුදුරුවො ඒක විශේෂ කරලා කතා කරන්න බලපාපු හේතුවක් තිබුණ ද?”

“ඔව් ක්‍රිෂා මන් හිතන විදිහට ඒ චරිතයෙන් සෝභිත නායක හාමුදුරුවන්ට ඒ ක්‍රියාකාරකම වැඩියෙන් දැනෙන්න ඇත්තෙ උන්වහන්සේත් ඔය කියන කාලෙ ඒකට සමාන වැඩ පිළිවෙළක් කරගෙන ගිය නිසා වෙන්න ඕන. මොකද නාග විහාරය මධ්‍යස්ථානය කරගෙන ක්‍රියාත්මක කරපු අමද්‍යප සංවිධානෙ අනුශාසක ස්වාමින් වහන්සෙ විදිහට කටයුතු කළෙත් සෝභිත හාමුදුරුවොම තමයි.” 

“මන් කොහොමටත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් මාලාවක් මූලික වශයෙන් අපේ පොලිස් බල ප්‍රදේශයෙ තියෙන පාසල්වල කරන්න හිතාගෙන ඉන්නෙ ඒ දරුවන්ගෙ දෙමවුපියොත් සම්බන්ධ කරගෙන. මේ වැඩේ දි අපිට ඉතාම වැදගත් සම්පත් දායකයො වෙන්නෙ මත්ද්‍රව්‍ය භාවිතේ තියෙන භයානකකම විද්‍යාත්මක ව පැහැදිලි කරලා දෙන්න පුළුවන් අය. අපේ වසන්තට අපේ සිත්තරීට මේ කාරණේ දී මුල් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගෙම මහාචාර්ය සමාධි රාජපක්ෂ වගේ මේ ගැන කාලයක් තිස්සෙ වැඩ කරන අයත් කැමැත්තෙන් ම අපිට සහාය දේවි.”

“මහාචාර්ය සමාධි කියන්නෙ පහුගිය කාලෙ අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයෙ සභාපති හැටියට වැඩ කරපු සර් නේද?”

“අන්න හරි එයා තමයි. මන් හිතන්නෙ අපි වෛද්‍ය ක්ෂේත්‍රෙ අය උනාට අපිට වඩා එයත් එක්ක සම්බන්ධකම් තියෙන්නෙ අපේ ගඟුල්ට කියලයි. මට මතකයි අපේ විශ්වවිද්‍යාලෙ තිබිච්ච ඔහොම වැඩසටහනකට ගඟුල්ලා සමාධි මහත්තයා ගෙන්නුවා කියලා.”

“ඒකනං ඉතින් මගෙ හපන්කමක් නෙමෙයි. අපේ සර් තමයි සමාධි සර්ව අපට සම්බන්ධ කරලා දුන්නෙ. මොකද ඩොක්ටර් සමාධි කියන්නෙ සර්ගෙ සිංහල සර්ගෙ ලොකු පුතා. ඒ විතරක් නෙමෙයි එදා එතුමව ඕඩියන්ස් එකට අඳුන්නලා දුන්නෙත් සර්ම තමයි, මේ මගේ ජීවිත කාලෙදි හමු වෙච්ච අමුතු චරිතයක් කියලා.”

“අමුතු චරිතයක් කියලා කිව්වෙ සාමාන්‍යයෙන් බටහිර වෛද්‍යවරයෙක් ළඟ නැති අමුතු වැඩ එතුමා ළඟ තිබිච්ච නිස යි.”

“ඒ මොනව ද බන් ඒ මහාචාර්යතුමා ගාව තියෙන අමුතු වැඩ.”

“මට වඩා එතුමා ගැන කියන්න දන්නෙ නං අපේ සර් තමයි. මන් ඉතින් දන්න ටික කියන්නංකො. ඔන්න සමාධි මහත්තයා මුලින් ම රුසියාවට යනවා වෛද්‍ය උපාධිය කරන්න. එහෙදි ලංකාවෙ දි ඉගෙන ගත්ත නැටුම් රුසියන් ජාතිකයන්ට පෙන්නන්න පටන් ගන්නවා. කවි පොත් ලියනවා. දේශන කරනවා. ගොවිපළක් දෙකක් කරනවා. වෛද්‍ය උපාධිය කරලා ඉවර වෙලා ඉන්දියාවෙ මගධ යුනිවර්සිටියට ගිහින් බෞද්ධ දර්ශනය විෂය යටතෙ ආචාර්ය උපාධිය කරනවා මාර සංකල්පය ගැන.”  

“මාර චරිතයක්නෙ මචන් ඒ.”

“නෑ නෑ මාර සංකල්පෙ ගැන පීඑච්ඩී එක කළාට ප්‍රොෆෙසර් සමාධි කියන්නෙ මාර චරිතයක් නෙමෙයි ක්‍රිෂා ප්‍රබුද්ධ චරිතයක් කියන එකයි හරි. තවම මගෙ කතාව ඉවර නැහැ. ලංකාවට ඇවිල්ලා ටික කලෙකින් එයා පෙරදිග වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා. මනෝ චිකිත්සකයෙක් විදිහට ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට උදව් කරනවා සල්ලි ගන්නෙ නැතුව. ඒ වගෙම තාත්තා ජීවතුන් අතර ඉන්දැද්දි කරපු ඉල්ලීමකට අනුව අනුරාධපුරේ ඉස්පිරිතාලයක් හදලා මිනිස්සුන්ට නොමිලේ ප්‍රතිකාර කරනවා. පස්සෙ කාලෙක මාතරත් ඒ ජාතියෙම එකක් හදනවා. ඊළඟට බටහිර වෛද්‍යවිද්‍යාවෙ තියෙන හොඳ තැන් අගය කරනවා වගෙම තමන්ට එකග වෙන්න බැරි තැන් තදින් ම විවේචනය කරනවා. මේක නිසා සමහර ඩොක්ටර්ස්ලගෙන් බැනුම් අහනවා. ඒ ගොල්ලන්ගෙ කැපිලිවලටත් ලක් වෙනවා. එහෙම කරපු අයට කරදරයක් උනාම ඒ ගොල්ලන්ට උදව් කරන්නත් යනවා. අපරාදෙ කියන්න බැහැ මචන් මේ හැම වැඩකදිම හෙවනැල්ල වගේ ඉන්න නෝනා කෙනෙකුත් ලැබිලා තියෙනවා ඩොක්ටර් සමාධිට. නිසංසලා නෝනා. එයා සෞන්දර්යවේදිනියක්. ඒත් වෙනම කතා කරන්න පුළුවන් චරිතයක්. අපි කරන මේ වැඩවලදි අපිට පුළුවන් මේ දෙන්නම සහභාගි කරව ගන්න.”

“දැන් ගඟුල් අපිට කරන්න යෝජනා කරපු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩේ කියන්නෙ වෛද්‍යවරු හැටියට සිත්තරීලට අපිට කොහොමත් කරන්න පුළුවන් වැඩක්. පොලිසියත් අපේ නම් ප්‍රාදේශීය ලේකම්ලත් අපට ඉන්නවනං. ඒ විතරක් ද මේ පළාතෙ ගුරුවරුන් වගෙම කෘෂි නිලධාරිලත් අපේ ම යාළුවො නම් අපට මොනව ද කරන්න බැරි. දැන් ඒ වැඩේ පැහැදිලි යි. තව මොනව ද ගඟුල් ඒ අය හිතාගෙන ඉන්නෙ.”

“ඇයි වසන්ත පරිසර සංරක්ෂණේ. ඒකත් එක්කම සම්බන්ධ කරලා වස විස නැති ගොවිතැන්. අපට සම්පත් පුද්ගලයො හැටියට මේකට ගෙන්න පුළුවන් පරිසරවේදී තිලක් කන්දේගම, පරිසරවේදී අජන්ත පලිහවඩන, ජපුරෙ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ මහාචාර්ය හිරාන් අමරසේකර, මහාචාර්ය උපුල් සුබසිංහ වගේ චරිත. මොකද මේ අය අපේ සර්ලගෙත් යාළුවො. එහෙම නොවුණත් ඒ අය මෙහෙම වැඩක දි කොහොමටත් උදව් කරන අය.”

“හරි එහෙනං ඒ වැඩෙත් හරි. තව මොනව ද යෝජනා තියෙන්නෙ.”

“තව තියෙනවා ප්‍රසාද් තව තියෙනවා. උඹට වැඩ කරන්නනෙ ඕනෙ. දෙන්නං තව යෝජනා. ඇයි හිංසකත්වයෙන් තොර ජීවන ප්‍රතිපදාව ගැන කරුණු පැහැදිලි කිරීම. අපි අද දවසෙ ආහාර කියලා ගන්න දේවලට ආහාර කියන්න බැහැ. ඒවට ඕන්නං ආහාර නොවන කියන අර්ථෙන් අනාහාර කියලා කියන්න පුළුවන්. මේකෙදි අපිට නිර්මාංසාහාර සමිතියෙ අනිල් අබේගුණවර්ධන සර්ලගෙ වගෙම ළමාරෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහත්තය වගේ අයගෙත් සහාය ගන්න පුළුවන්.”

“මචන් ඔය වැඩ ඔක්කොම හොඳයි. ඔය යෝජනා ඔක්කොම මේ වෙලාවෙදිම අපේ සඳුන් නෝට් ඩවුන් කරගෙනයි යන්නෙ. ඔය වැඩ කරන අතරෙම අපේ මිනිස්සුන්ගෙ ඇඟට වගේම මොළේට දැනෙන වෙනස් වැඩකුත් කරන්න අපිට බැරි වෙයි ද?”

“උඹ මොකක් ද ප්‍රසාද් ඇඟට මොළේට දැනෙන වෙනස් වැඩක් කියන එකෙන් අදහස් කළේ.”

“මේ රස වින්දන වැඩ සටහන් වගේ දේවල්. උදාහරණයක් විදිහට ත්‍රීවීල් ඩ්‍රයිවර්ස්ලට කරන වැඩසටහන් අතර මත්ද්‍රව්‍ය නිවාරණ පරිසර සංරක්ෂණ වගෙම රසවින්දන වැඩසටහනුත් තියෙන්න ඕනෙයි කියලයි මට හිතෙන්නෙ.”

“උඹ හිතුවා හරි ප්‍රසාද්. ඉතින් කරමුකො. ඕක බාරදීපන් අපේ මේ සාහිත්‍යට. ඌට පුළුවන්නෙ උගෙ යාළුවොයි සර්ලයි ඔක්කොම ඒකට සම්බන්ධ කරන්න. ගඟුල් උඹ පටන් ගනින් උඹේ ඉස්කෝලෙන් ම. උඹ කිව්වා නේ ද ඩොක්ටර් අසේල ඒ ඉස්කෝලෙත් ඉගෙන ගත්ත ආදි ශිෂ්‍යයෙක් කියලා. එයා හොඳ රස වින්දන දේශකයෙක්. ඒ වගෙම එයාටත් තියෙනවා කලාකාරයොත් එක්ක සමබන්ධකම්.”  

“එහෙනං අපි ගඟුල්ටම බාර දෙමු සමස්ත වැඩ සටහන හදන එක. සඳුන් ඔයා වෙලාවක එයාගෙ ඉස්කෝලෙට හරි නවාතැනට හරි ගිහිල්ලා ඒ වැඩේට එයාට උදව් වෙන්න. මේ සිත්තරීට නං බඩතිනි පාටයි දැන්. ඒක නිසා දැන් තියෙන්නෙ ඒ කාරණේට ඒ කියන්නෙ රාත්‍රී කෑමට අවධානෙ දෙන එක.”

“මේ මේ ප්‍රසාද් මාව අල්ලන්න එපා. ඔයාට බඩගිනිනං ඒක කියන්න. මේ අහක ඉන්න මාව අල්ලන්නෙ නැතුව. මුළු විශ්වවිද්‍යාලෙම දන්නවනෙ කදිරට තියෙන්නෙ එසේ මෙසේ බඩගින්නක් නෙමෙයි කියලා.”

වෛද්‍යවරිය එවදන් පැවසුවේ සිනාසෙමිනි.

“හරි හරි ඔහොම හිටහල්ලකො මන් හේරත්ගෙන් බලලා එන්නංකො තත්වෙ.”

එසේ පැවසුවේ වෛද්‍ය වසන්ත ය.

“ඔයගොල්ල තව ටිකක් කතා කර ඉන්නකො. එන්ඩ සඳුන් අපි දෙන්නා යමු හේරත්ට පොඩි සපෝට් ටෙකක් දෙන්න.”

ඒ අනුව වසන්ත, වෛද්‍යවරිය සහ සඳුන් යන තිදෙනාම ගියේ මුළුතැන් ගෙය දෙසට යි. ඒ මොහොතේ සහකාර වෛද්‍යවරිය ද එහි කටයුතුවලට සහාය වෙමින් සිටියා ය.”

“අපේ මෙතන දොස්තර නෝනයි මහතුන් අය්යයි දෙන්න ම ඇවිත් අපේ හේරත් එක්ක එකතු වෙලා හෝසෙට වැඩනෙ. අපිටත් දෙන්නකො හේරත් කරන්න දෙයක්. අඩුම තරමෙ පිඟන් හෝදන වැඩක්වත්. මට අඳුන්නලා දෙන්න බැරි වෙච්ච ඩොක්ටර් චමරි තමයි මේ. අපි කතා කරන මුළු කාලෙ පුරා හොස්පිටල්ලෙකේ වැඩ හැඩල් කළෛ් මේ චමරි තමයි. චමරි මේ තමයි මහව හොස්පිටල්ලෙකේ ඩොක්ටර් තිලිණි. අපි එකට ඉගෙන ගත්තෙ. මේ එස්. අයි සඳුන්.“

“මන් මැඩම් ගැන අහලා තියෙනවා මැඩම්. එස්. අයි මහත්තයවනං අඳුන ගන්නෙ පළවෙනි සැරේට තමයි.”

“මට අක්ක කියන්න ළමායො.”

වෛද්‍ය තිලිණි වෛද්‍ය චමරිගේ අතින් අල්ලා ගනිමින් එසේ පැවසුවේ ඉතා ආදරයෙනි.

“බොලේ අපේ සර් එක්ක අපේ දොස්තර නෝනයි පොලිසියෙ මහත්තයයි දෙන්නම මෙතෙන්ට ඇවිල්ලනෙ. දැන් මේසෙට කෑම ටික යවන්න තමයි තියෙන්නෙ. මැඩම්ලා අපේ සර්ලා දෙන්න එක්ක යන්ඩකො අපි තව පොඩ්ඩෙන් අපි කතා කරන්නං.”

“නෑ නෑ හේරත් මේ අයගෙන් හොඳට වැඩ ගන්න ඕනෙ. හේරත් නැති වෙලාවක ආවත් අපිට උදව්වක් ගන්න මේ ගොල්ලන්ට මෙතන පුරුදු කරලා තියන්න ඕන. මට ප්‍රසාද් කිව්වෙ සඳුන් කියන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවෙ ඉන්න හොඳ සූපවේදියෙක් කියලා. ඒක ඇත්ත ද සඳුන්.”

“හොඳ සූපවේදියෙක් ද නැද්ද කියන්න නං මන් දන්නෙ නැහැ. ඒත් මට ටිකක් උයන්න නං පුළුවන්.”

“හැබැයි මට ප්‍රසාද් කිව්වෙනං මුළු පොලිස් දෙපාර්තමේන්තුවෙම හොඳම සූපවේදියා හැටියට ප්‍රසිද්ධ සඳුන් කියල යි.”

“එහෙම ගෞරවයක් මට දෙනවා නං කවුරු හරි ඒකෙ අයිතිකාරයො වෙන්නෙ මන්නං නෙමෙයි වසන්ත අය්යා.”

“අපි කැමතියි සඳුන් ඒ අයිතිකාරයො කවුද කියලා දැන ගන්න. නැද්ද සිත්තරී.”

වෛද්‍යවරිය ද හිස සලා එය අනුමත කළා ය.  

“මේ සම්බන්ධ ව මගෙ මුල් ම ගුරුවරී තමයි අපේ ආච්චි. ඒ කියන්නෙ මගෙ අම්මගෙ අම්මා. ආච්චි හිටියෙ පුංචි අම්මලගෙ ගෙදර. ඒ උනාට ඉඩ ලැබිච්ච හැම වෙලාවක ම අපේ ගෙදර එනවා. ඒ ආපු දාට ආච්චි තමයි උයන්නෙ. කුස්සිය සුවඳම සුවඳයි. අය්යා, නංගි, මම කුස්සියට ගිහින් බංකුවල ඉඳගෙන ආච්චි උයන දිහා බලාගෙන ඉන්නවා. මන් දවසක් ආච්චිගෙන් ඇහැව්වා කොහොම ද ආච්චි මේ තරන් සුවඳට උයන්නෙ කියලා. තමන් උයන කෑම කන්න බලාගෙන ඉන්න අයට තියෙන ආදරේ හිතේ තියාගෙන උයපන් පුතේ එතකොට ඒ කෑම සුවඳ වෙනවා කියලා ආච්චි කිව්වා. ඒ වගෙම තමන් කරන ඕන වැඩක් ඒ වැඩේට හරිම ආදරයක් ඇතුව කරපන් කියන පාඩම කියලා දුන්නෙත් ආච්චි. ඒ විතරක් නෙමෙයි ඇත්තට ම හොද්දක් බතක් හදා ගන්න මට විතරක් නෙමෙයි අපි තුන් දෙනාටම කියලා දුන්නෙ ආච්චි තමයි. ඒ වගෙම ආච්චි මේ ලෝකෙන් ගියේ අපේ මුළු ගෙදරට ම ඒ සුවඳ පාඩම කියලා දීලා.”

“ඔයාටත් මල්ලි මහ පුදුම අද්දැකීම්නෙ තියෙන්නෙ. ඔයා දැන් අපිට කිව්වෙ කෑම සුවඳට හදන එකේ ගෞරවය යන්න ඕන අනික් චරිත කවුද?”

“තව දෙගොල්ලක් ඉන්නවා ඩොක්ටර් ඒ තමයි...”

“ඩොක්ටර් වසන්තට අය්යා කියනවා වගේ මට අක්කා කියන්න මල්ලි. දැන් අපි යාළුවොනෙ.”

එසේ පැවසුවේ වෛද්‍යවරිය යි.

“හොඳයි අක්කෙ එහෙනං මන් දැන් ඉඳලා එහෙම කියන්නන්කො. අක්කෙ මගෙ සූපකලාවෙ දෙවෙනි ගුරුවරු උනේ අම්ම යි තාත්ත යි. අපි පොඩි කාලෙ ඒ දෙන්න එක්ක එකතු වෙලා තමයි උයන්නෙ. ඊට පස්සෙ ඒ දෙන්නා පස්දෙනෙක් උනා මොකද මල්ලියි නංගියි මායිත් ඒ ගොඩට එකතු උනාට පස්සෙ.”

“මල්ලිගෙ අම්මටයි තාත්තටයිත් පුළුවන් ද රහට උයන්න.”

“දෙන්නට ම පුළුවන්. මට ඒ අත්ගුණෙත් එන්න ඇති. ඒ උනාට ඉස්සර අම්මට හරියකට උයන්න බැහැලු. තාත්තා තමයි අම්මටත් ඒක කියලා දීලා තියෙන්නෙ. ඒකත් මහ අපූරු කතාවක් අක්කා. දවසක් අම්මව ළඟ තියාගෙන කුස්සියෙ උය උය ඉන්න කොට අපේ තාත්තගෙ පැත්තෙන් නෑ වෙන නැන්දා කෙනෙක් ආවලු. එයා ඇහැව්වලු ගෑනි නෙමෙයි උඹ ද මේ ගෙදර උයන්නෙ කියලා. අපේ තාත්තත් මහ අමුතු කතා කියන මනුස්සයා. තාත්තා එතකොට නැන්දට කිව්වලු අනේ නැන්දා මාමා උයන්නෙ අල්ලපු ගෙදර ද කියලා.”

“හැබැයි සඳුන් ඒකනං නියම ප්‍රශ්නෙ. ඉතින් අර නැන්දා මොකක් ද කියලා තියෙන්නෙ.”

“එයා කිව්වලු එයා ඔය කොහෙවත් උයන කෙනෙක් නෙමෙයි ලොකු තානාන්තරයක්  දරන කෙනෙක් කිව්වලු. එතකොට අපේ තාත්තා කිව්වලු ඉතින් එච්චර ලොකු නොවුණත් මමත් ඉතින් තානාන්තරයක් දරන කෙනෙක්නෙ කියලා. එතකොට නැන්දා කියනවලු ඒක තමයි මනුස්සයො කියන්නෙ තමන්ට නොගැළපෙන වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා අපේ පවුල්වල කිසිකෙනෙක් ගෑනු උඩ තියාගෙන තමන්ගෙ තත්වෙ පහළට වැටෙන වැඩ කරන්නැහැ කිව්වලු ටිකක් සද්දෙත් දාලා. තාත්තා තේරුමක් නැති නිසා ඒවට උත්තර දෙන්න ගිහින් නැහැ. ඒ උනාට පහුවදා ඉඳලම අම්මත් උයන්න ඉගෙන ගන්නවා. ගුරුවරයා උනේ අපේ තාත්තා. කාලයක් යනකොට ඉවීමේ කලාවෙන් තාත්තා කැලේ. ඒ විතරක් නෙමෙයි පස්සෙ කාලෙක ගෑනු උඩ දාන්න එපා කියපු ඒ නැන්දම තමයි අපේ අම්මව උඩින් ම තියාගෙන හිටියෙ. එයා අසනීප වෙච්ච වෙලාවෙ එයාගෙ දරුවො එයා ගැන සැලකිල්ලෙන් බැලුවෙ නැහැ. අපේ අම්මා තමයි ගෙදර ගෙනත් තියාගෙන ඒ නැන්දගෙ අවසානෙ සිද්ධ වෙනකන් බොහොම ආදරෙන් බලා ගත්තෙ. ඒ නැන්දගෙ පණ ගියෙත් අම්මගෙ උකුළෙ. මට හොඳට මතකයි ඒ දවස. ඒ අපිට ආච්චි වෙන තාත්තගෙ නැන්දා අම්මගෙ අත තදින් ම අල්ලගෙනයි හිටියෙ. ඒ ඇ්සවල කෘතඥතාව වගෙම පශ්චාත්තාපය සටහන් වෙලා තිබුණා.”  

“සඳුන්ට ලස්සණ කතාවක් ලියන්න පුළුවන් සිද්ධිනෙ තියෙන්නෙ. හරි ඔයාගෙ ඊළඟ ගුරුවරයා කවුද?”

“ඒ ගුරුවරයා ගැනනං මේ රට විතරක් නෙමෙයි ලෝකෙම දන්නවා.”

“අක්කෙ ඊයෙ පවුලෙ කට්ටියත් එක්ක අනුරාධපුරේ යන ගමන් මහවට ඇවිත් ඒ සර් මාවත් බලලයි ගියේ. ඒ තමයි අක්කෙ ඩොක්ටර් පබ්ලිස් සිල්වා.”

“ඒ කියන්නෙ අපේ රටේ ඉන්න ලොකුම සූපවේදියනෙ. සංගීතය කියනකොට අමරදේව සර් නැටුම්   කියන කොට පණිභාරත සර් නිදහස් චින්තනය කියන කොට අදිකාරම් සර් වගේ සූපවේදය කියන කොට එකපාරට ම අපිට මතක් වෙන නමනෙ. ඔයාට කොහොම ද සඳුන් අපේ පබ්ලිස් සිල්වා මහත්තයගෙන් ඉගෙන ගන්න ලැබුණෙ.”

දැන් සංකථනය සිදු වන්නේ වෛද්‍යවරිය සහ සඳුන් අතර ය. ඒ වන විට ප්‍රසාද්, ක්‍රිෂාන්ත සහ ගඟුල් ද මුළුතැන් ගෙයට පැමිණියේ කෑම මේසය සූදානම් කිරීමට තවත් දෙදෙනෙක් පැමිණත් එයට ප්‍රමාදය කුමක් දැයි සෙවීමට ය. පසුව පැමිණි තිදෙනාට දැක ගැන්මට ලැබුණේ සිය මිතුරිය සහ සඳුන් සූපවේදය පිළිබඳ දීර්ඝ සංකථනයක යෙදී සිටින ආකාරය සහ වසන්ත, සහකාර වෛද්‍යවරිය, හේරත් සහ මහතුන් යන තිදෙනා ඊට සාවධාන ව සවන් දී සිටින ආකාරයත් ය. මුළුතැන්ගෙයට අභිනවයෙන් පැමිණි තිදෙනා නිසා සිදු වූයේ ද කාර්යය ඉක්මන් වීම නොව ශ්‍රාවක සංඛ්‍යාව සත දක්වා ඉහළ යාම ය. යළිත් සඳුන් සිය හඬ අවදි කෙළේ ය.

“අක්කෙ මන් පොලිසියට එන්න ඉස්සෙල්ලා අවුරුදු එකහමාරක් වැඩ කළේ ගල්කිස්ස හෝටලේ. මගෙ සර් උනේ පබ්ලිස් සර්. පොලිස් සේවයට මාව තෝර ගත්ත වෙලෙ මන් ඒ සර්ට වැඳලා කතා කරන්න ගියා. ඒ වෙලාවෙ පබ්ලිස් සර් මට කිව්වෙ පුතා පොලිසිය ගැන කිව්වහම මිනිස්සුන්ට මතක් වෙන්නෙ පොලිසිවල ඉන්නෙ අතින් පයින් සංග්‍රහ කරන කට්ටිය කියලා. උඹ පුතා ඉගෙන ගත්තෙ මිනිස්සුන්ට කෑමෙන් බීමෙන් මිසක් අතින් පයින් සංග්‍රහ කරන්න නෙමෙයි. ඒක කවදාවත් අමතක කරන්න එපා කියලා සර් මට සමු ගන්න වෙලාවෙ කිව්වා.”

“ඔන්න සිත්තරී මටත් මේ කතාවට මැදිහත් වෙන්න එක. ආයෙ කියලා වැඩක් නෑ. සඳුන් පබ්ලිස් මහත්තයගෙ උපදේසෙ අකුරට ම රකිනවා. ඒ විතරක් නෙමෙයි මේකා මා ලව්වත් රක්කවනවනෙ. ඇයි බන් සමහර එවුන් කරන අසමජ්ජාති වැඩවලට මට උන්ගෙ හොම්බ කට සමතලා වෙන්න ගහන්න හිතෙන්නෙ. කොහෙද මගෙ අත එහෙම ඉස්සෙන්න යන වෙලාවටත් තව අතක් ඇවිල්ලා මගෙ අතින් අල්ලලා යන් සර් පොඩ්ඩක් අපි එළියට කියලා මාව එක්ක යනවා. ඒ විතරක් නෙමෙයි මේ සඳුනා ගැන අපේ පොලිසියෙ කොස්තාපල් මහත්තුරු හදපු කතාවක් තියෙනවා. ඒ වගෙම මගෙ පොලිස් ඒරියා එකේ මිනිස්සු හදා ගත්ත කතාවකුත් තියෙනවා.”

“කියපන්කො බන් ඒ කතා දෙකත් කෑමට ඉස්සෙල්ලා කරන සංග්‍රහයක් විදිහට.”  

“ඇතුළෙ කතාව මුන් හදලා තියෙන්නෙ මට. ඒ තමයි අපේ ලොකු සර් කවුරු හරි අසමජ්ජාතිකයෙකුට ගහන්න හිතුණොත් ඉස්සෙල්ලම සඳුන් සර් අහලක පහලක ඉන්නව ද කියලා සෝදිසි කරනව යි කියන එක. අනිත් එක මන් හිතන්නෙ අපේ ත්‍රීවීලර් කොල්ලො හදපු එකක් කියලයි මන් හිතන්නෙ. හැබැයි ඒ කතාව නං දැන් වයිරල් ගිහිල්ලයි තියෙන්නෙ. මන් හිතන්නෙ ඒකෙ ඇත්ත බලන්නත් එක්ක මහතුන් කිව්වොත් තමයි හොඳ.”

මහතුන්ට පළමු ව සිනා ගියේ ය. අනතුරු ව ප්‍රසාද් දෙස බැලුවේ ය. දෙවනු ව සඳුන් දෙස ද බැලුවේ ය. ඒ දෙදෙනා වෙතින් ම පළ වූයේ මහතුන්ගේ කතාවට අනුමැතිය පළ කරන අන්දමේ සිනාවකි.

“සර් අපේ කොල්ලො කියන්නෙ උඹලට හොඳ රහට තේකක් බොන්න ඕනෙනං දවල් දහයට දහයමාරට විතර පාරෙ ඉරි කපලා හරි රෝන් සයිඩ් එකෙන් හරි වාහනයක් ඕවර් ටේක් කරපල්ලා. උඹලට දවල් හරි රෑ කෑම හර ඕනෙ නං ඒ වෙලාවල් අල්ලලා ඒ වැරදි ම කරපල්ලා කියලා. හැබැයි උඹලා ඔය වැරදි එක්කොම කරන්න ඕනෙ ඉස්සෙල්ලම සඳුන් සර් ඒ වෙලාවට පොලිසියෙ ඇතුළෙ ඉන්නව ද නැද්ද කියන එකත් සෝදිසි කරලා කියලයි කොල්ලො කියන්නෙ.” 

“බලපන්කො වසන්ත මට නෑනෙ මේ මහතුන්ලා ඔය ජාතියෙ කතාවක් හදලා.”

“නෑ නෑ සර්ටත් තියෙනවා කතාවක්.”

“ඈ මහතුන් මේ කට්ටිය ඉස්සරහ කියන්න පුළුවන් ජාතියෙ කතාවක් ද”

“අපොයි පුළුවන් සර්. සර්ට කියන්නෙ අපේ කොල්ලො හදපු නිකන් කවියක් වගේ එකක්.“

“කියපන් බලන්න ඔය මට හදලා තියෙනවා කියන කවියක් වගේ එක.”

“ඔව් සර් කියනවනං මන් ඒක කියන්නං. ඔන්න සර් ඒ උනාට ඒක මන් හදපු එකක් නං නෙමෙයි. ඒක අපේ කොල්ලො සර්ව දැක්කහම උන් උන් කියා ගන්න එකක්.”

“උඹ හදපු හරි නැති හරි උන් කියා ගන්න හරි කියපන්කො බලන්න ඒ කවිය.”

“සැරයි මචං 

හොඳයි මචං

මුදුයි මචං

තදයි මචං”

“ඔන්න සර් ඕක මන් හදපු එකක් එහෙම නං නෙමෙයි.”

මහතුන් නැවතත් එසේ කීවේ ය.

“ඒක මචන් උඹට ලැබෙන සැටිපිකෙට්ටෙකක්නෙ. ඈ සාහිත්‍යා උඹට මතක් වෙන්නැද්ද මේකත් එක්ක ගළපන්න පුළුවන් සාහිත්‍ය කෑල්ලක්.”

“මොකෝ ක්‍රිෂා මතක් නොවෙන්නෙ මතක් වෙනවා මතක් වෙනවා එකක් නෙමෙයි දෙකක් ම.”

“එහෙනං ඉතින් කියපන්කො ඔහොම උලමා වගේ බලන් ඉන්නැතුව.”

“මහතුන්ලගෙ කතාවත් එක්ක මට මුලින් ම මතක් වෙන්නෙ අපේ අල්විස් පෙරේරා දොස්තර රෝසා කියන මාතෘකාව යටතෙ ලියපු කවි පන්තියෙ එන කවියක්.

ඔසුපෙති වගේමය දෙනෙතෙහි ඇති බලය

මලකට සුවඳ මෙන් ඔබ හොබවයි   නිලය”

“මූ ළඟ කොහෙද බන් ඔසුපෙති මුන් ළඟ තියෙන්නෙ බැටන් පොලු, රයිපල්, පොලිස් නලා වගෙ දේවල් මිස. අනිත්තෙක හිතනව ද උඹලා මෙයා මලකට සුවඳ මෙන් නිලය හොබවනවා කියලා. මන් ගඟුල් කවියෙක් නොවුණත් මටත් මේක වෙනස් කරලා කියන්න ඕන විදිහ ගැන කවි සිතිවිල්ලක් එනවා.”

“ඉරිසියාව බන් පැහැදිලි ඉරිසියාව. සාහිත්‍යා මේ උඹේ කතාව නවත්තලා දීපන් ඔය අසාහිත්‍යගෙ කවියටත් ඉඩක්.”

“හරි එහෙනං අහගල්ල හරි ද මහාකවි ක්‍රිෂාන්තගේ කවිය.  

රයිපල් වගේමය දෙනෙතෙහි ඇති බලය

ගලකට ඩයිනමයිටෙකි මේකගෙ   නිලය”

“හැබැයි ප්‍රසාද්, ක්‍රිෂාගෙ මේ කවිය විරිත රැකලා හදපු හොඳ කවියක්. දැන් මන් කියන්නන්කො අනිත් කවියත් අපේ ප්‍රසාද් එක්ක ගළපන්න පුළුවන් කියලා හිතෙන. මේක ලියලා තියෙන්නෙත් අල්විස් පෙරේරා  විමලරත්න කුමාරගම කවියා ගැන.”

“අන්න එහෙම වරෙන් ගඟුල්. ප්‍රසාද් උඹට ඇහුණ නේද ඒ කියන කවිය ලියලා තියෙන්නෙ විමලරත්න කුමාරගම. මන් ක්‍රිෂාන්ත දමුණුගම. ඕන්නං උඹලා හිතාගනිල්ලා මන් ක්‍රිෂාන්තරත්න දමුණුගම කියලා. ඒ කියන්නෙ එදා කුමාරගම වගේ වර්තමානෙ ඒ වගෙ කතා කරන්න පුළුවන් කවියා කියලා.ගැන. හරි ගඟුල් දැන් කියපන් ඒ කවිය වෙන වෙන අයට ගළපන්න යන්නෙ නැතුව මට සම්බන්ධ කරලා.”

“බලන්න සිත්තරී, මන් කිව්වෙ මූට ඉරිසියයි කියලා. උඹ වැඩිය කතා කළොත් දැන ගන් උඹව අරන් ගිහින් ලකප් කරනවා. එතකොට උඹටත් පුළුවන් මේ මහතුන්ලා කියනවා වගේ සඳුන්ගෙන් තේ බිබී බත් කකා ලකප් එකට වෙලා ඉන්න.”

“හරි හරි දැන් ඔය පොලිස් මහත්තයි කෘෂි මහත්තයයි දෙන්නම ඔය කතා නවත්තලා ගඟුල්ට අර කවිය කියන්න දෙන්න. දැන්නං මට හරි බඩගිනියි අනේ.”

ඒ වෛද්‍යවරිය යි.

ඒ මොහොතේ ගඟුල් යථෝක්ත කවියේ වචන ප්‍රකාශයට පත් කෙළේ ය.

“කවක අදහස් ගැඹුරු වූවත් එකතු කළ හැක දැලක්    වාගේ

ඉතා පිරිසිදු බැවින් හදවත පිරුණි පැහැදිලි   විලක්    වාගේ

බොළඳ දරුවකු වගෙයි සිතිවිලි දැනෙයි සුවඳැති මලක් වාගේ

එහෙත්, දළදඬුකමට දළදඬු වුණා නොසෙැලෙන ගලක් වාගේ”

“හරි මචන් මන් ඉස්සෙල්ලා කිව්ව මට ඔය කවිය සම්බන්ධ කරන්න ය කියන කාරණේ ඉල්ලා අස්කර ගන්නවා. අල්විස් පෙරේරට දැනිලා තියෙනවා ඔය කවියෙ තියෙන යම් යම් චරිත ලක්ෂණ තියෙන මිනිහෙක් පස්සෙ කාලෙක වයඹ පළාතෙම සේවයට ඒවි කියලා.”

“මොනව ද ක්‍රිෂා යම් යම් චරිත ලක්ෂණ කිව්වෙ.”

“ඇයි වසන්ත ඔය කවියෙ කියලා තියෙන්නෙ හරි බොළඳ ය දරදඬු ය ගලක් වගේ ය කියලා. අන්න ඒවා කිසි කතාවක් නැතුව අපේ මේ ප්‍රසාදයට ගළපන්න පුළුවන්නෙ.”

“දැන් ඇති අනේ ඔය කතා. මේ හේරත්ලට මහන්සිත් ඇති. මේ ගොල්ලන්ව තවත් මහන්සි නොකර අපි ලෑස්ති කරමු ද ගඟුල් කෑම මේසෙ.”

“මොන මහන්සියක් ද මිස්, සර්ලගෙ මිස්ලගෙ මේ කතා හරිම රහයිනෙ. අපිට විනාඩි පහක් දෙන්න අපි ලෑස්ති කරන්නන්කො කෑම මේසෙ.”  

“හරි එහෙනං බලමුකො කතා රසයත් ඉක්ම යන විදිහට හේරත්ලා අපිට කෑම රසය දෙයි ද කියලා.”

“අනිවාරෙන් ම මේ සුවඳින් ම කියන්න පුළුවන් කෑම රසයි කියලා.” 

“එහෙනං ගඟුල් ඒකටත් තියෙන කවියක් හරි, කවියක් හදලා හරි කියලා අපි කෑමට ඉඳගම්මු.”

“මන් හදපු කවියක් නෙමෙයි,  මන් අපේ සර්ගෙ මෙතෙන්ට ගැළපෙන කවියක් සම්බන්ධ කරන්නන්කො.”

පහත සඳහන් කව ශ්‍රවණය කිරීමෙන් පසු සියලු දෙනා ගියේ ඒ සුව නිකේතන පරිශ්‍රයේ පිහිටි වෛද්‍ය වසන්තගේ නවාතැනේ ඇති කෑම කාමරය දෙසට යි.


“මුනිජන වෙතින් විහිදෙන විට       සිල් සුවඳ

 තුරුලිය ගෙනෙයි ලොවට ම ඇගෙ මල් සුවඳ

 ආදරයෙන් හදන කෑමක           ඇති සුවඳ

 මෙසුවඳ සමග මුසු වෙයි ඔබ        හද සුවඳ”



 




 










 















Thursday, April 11, 2024

වැහි සීතල, උදා සක්මන් සහ කුඩා කුරුලු පැටව්!

වැහි සීතලේ තෙමිලා ලෝකෙ තෙතබරියන් වෙච්ච මේ වගේ උදා වරුවලට විතරක් නොවෙයි හැම උදාවකම දුරකථනයෙත් - පරිගණකයෙත් මුහුණ ඔබාගන්න කලින් ගෙමිදුලට බැහැලා, වැහි දරුවා අලුතින් හිටවාපු තණකොළ පාග පාගා ඇවිදින්න ඕන කියලා හැමදාම හිතනවා. ඒත් උදේ පාන්දර අටේ කණිසමට වැහි දැරිය එනතුරු සරසවියේ බලා ඉන්න හාදයෝත් හාදියෝත් බලන්න දුවන්න තියෙන හන්දා කළාතුරකින් දවසක තමා එහෙම සක්මනක් කරන්න වෙන්නෙ. පාඩම් සැලසුම් හදලා, ප්‍රශ්නපත්තර බලලා, පර්යේෂණ පත්‍රිකා ලියලා, පොතක් නොකියවා මිස නින්ද නොයන හන්දා කතා පොතකිනුත් පිටුවක් දෙකක් කියවලා නින්දට ගියාට පස්සෙ ඊළඟ දවසේ හතෙන් මෙහා වැහි දැරිය ඇහැරෙනවා බොරු. අතට අහුවෙන ෂර්ට් එකක් - කුර්තාවක් මදින්නැතුවම ඇඳගෙන, සුදු අම්මාත් - උදව්වට ඉන්න රාණි නැන්දාත් උයන රසමසවුළු කටට දෙකට ගිලලා, වාහනේ තෙල් තියෙනවාදවත් නොබලා දුවන වැහිදරුවාටත් වැහි දැරියටත් මොන පාන්දර සක්මන් ද.! 

ඒත් දේශන තියෙන්නෙ මාස තුනයි.. සෙමෙස්තරේ මුල කොටහ. ඉතුරු ටිකේ ස්ටඩි ලීව්. විභාග.. ඒ දවස්වලට පාන්දර දුවන්න ඕන නෑ. ඉතින් එහෙම දවසට උදා වෙනවා උදා වරු සක්මන්. තණකොළ ගොල්ල උඩට පිනි වැටිලා තියෙද්දි තවත් සනීපයි. වටේ පිපිලා තියෙන මල් ඉලන්දාරි - තුරු අතු අස්සෙන් ගලා හැලෙන වැල් ලමිස්සියෝ දිහා බල බල වැහි දැරිය ඔහේ ඇවිදිනවා. සමහර දාක කුඩා කුරුලු පැටවු - විසේසයෙන් මල් චූටිලා (මල් චූටික්කන්ට වැහි දරුවායි වැහි දැරියයි එහෙමයි කතා කරන්නෙ) අඹ ගහේ අතු අස්සෙන් එබිකම් පානවාත් පේනවා.

ඒ කුරුලු පැටවු දැක්කාම ඔන්න වැහි දැරිවිට තමන්ගෙ කුරුලු පැටවුන්ව මතක් වෙනව! 


කඩුව මුවහත් කරන දැඟලිල්ල - අතරෙදිත් මුණුමුණුවෙ කියවිල්ල

විප්ලවේ වගේම ඉගෙනත්ගනිල්ලා කියා පාරෙදිත් නවත්තන් බැන්නට

දන්නවද පාට අඩු‍වෙන් ඉර පෑයූවේ - නුඹලාට නිවාඩු මාස තුන...


බශාව පාලුයි - වේදිකාවේ කව්නලු නෘත්‍ය ගී නෑ

එළිමහන් ගිම්හාන කුටිවල වසන්තය එන වගක් නෑ

අරගල අඩුයි - සාහිත්‍ය සංවාද වෙනදා වගේ නිතර නෑ

රතු අකුරු - ඒත් විහඟුනි නුඹලා අතින් මැකෙන්නෑ..


තුන්මාසයක් උගන්වමි - තුන්මාසයක් නිවාඩුව

අවුරුද්දෙ සයමසක්ම නුඹලා නැති නිවාඩුපාඩුව

ඇවිදිමින් - සිනමා ගී ඉසිඹු අතරේ ගත්තට නිදහසේ වාඩුව

කුරුලු පැටවුනි, නුඹලා නැතුව කොච්චරක් පාලුයිද කූඩුව!