Friday, June 22, 2018

සිහින මන්දිරය- ඈන් සහ වැසි දැරිය!

මට මතක හැටියට 'ඈන්' කතා මාලාවේ පළමුවැනි පොත මුණ ගැහෙද්දී වැහි දැරිය හය වසරේ ය. 'ඈන්' පොත් පෙළ මනරම් සිංහලයට පෙරළා තිබුණේ ප්‍රේමසිරි මාහිංගොඩ විසිනි. ජපුර සරසවියේ කථිකාචාර්යවරියක ව සිට දැන් මරේ ඩාලිං නදිය අසබඩ පදිංචියට ගොස් සිටින සාරංගි නැන්දා එහි සිංහල පරිවර්තන කියවා මුල් පොතෙහි මතකය නසා ගන්නට අකැමැති වූයේ කොතෙක් ද - එපමණට ම මම ඉංග්‍රීසි පොත කියවා සිංහල පරිවර්තනයෙන් ලද ආනන්දය නසා ගන්නට අකැමැති වීමි. එහෙයින් පළමු ව ම ඒ මධුර පරිවර්තනය වෙතින් ලද ආස්වාදය සිහිපත් කළ යුතු යැයි සිතමි. හත වසරට සමත් වීමත් සමඟම ලද Anne of Green Gables ඉංග්‍රීසි කතා මාලාව හත වසර ඉක්මී වසර දහයකට වඩා ගත වී ඇතත් තවමත් නොකියවී - දූවිලි වැදි වැදී තිබෙන්නේ ඒ අපූරු සිංහල වචනවල බල පරාක්‍රමය හේතුවෙනි.



කතා මාලාවේ පස් වෙනි පොත නොහොත් සිහින මන්දිරය අතට ලැබෙද්දී මතකය නිවැරදි නම් මා අට වසරේ ය. ඒ යෞවනය 'මෙහෙ වරෙන්' යැයි කියා ළමාවියේ එළිපත්ත මත සිටින කෙල්ලන්ට - කොල්ලන්ට අත වනා කතා කරන කාලයයි. ගිල්බර්ට් වසර ගණනාවක් පුරා ඈන්ට ආදරය කළ අන්දමත්, උසස් පාසලේදී සහ රිච්මන්ඩ් සරසවියේදී ඒ ආදරය ඈන්ගේ නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක් ව අන්තිමේදී මල්ඵල දැරෑ අන්දමත් සිය වරක් කියව කියවා රස විඳ තිබුණා වූ වැසි දැරිය සහ වැසි දැරියගේ යාලු මිත්‍රාදී පිරිස සිහින මන්දිරය එන තුරු බලා උන්නේ අසීමිත නොඉවැසුමකිනි. 

සිහින මන්දිරය හිතුවාටත් වඩා රස පිරි පොතක් විය. ගිල්බර්ට්ට ඈත දුර පළාතක වෛද්‍ය සේවයට පිවිසෙන්නට සිදු වූ හෙයින් ඈන් සහ ගිල්බර්ට් ඔවුන් උපන් දා පටන් එක් ව හැදී වැඩුණු සුන්දර ගම්පියස අතැර දමා ඈත දුරක සිහින මන්දිරයක් තනා ගන්නා අන්දම ඒ කතා පොතේ ඉතා සුන්දර අන්දමකට සටහන් වී තිබිණ. 

ගිල්බර්ට් ඔවුන්ට කදිම නිවසකුත් - ඊට සරිලන ලී බඩුත් මිළට ගත් බව කී පසු ඈන් ඔහුගෙන් අසන වචන මට අද වාගේ මතක ය. 

'ඒ වුණාට ගිල්බර්ට් අපට ලී බඩු එක්ක විතරක් ජීවත් වෙන්න බෑනේ. බොහොම වැදගත් දෙයක් ගැන ඔයා තවම කතා කළේ නෑ. ගේ වටේ ගස් තියෙනව ද?'

ඈන්ගේම ජාතියේ අපූරු පෙම්වතා ඈට මෙසේ පිළිතුරු දෙයි.

'ගස් වකාරෙ. රුක් දේවතාවොත් එක්කම.. ගේ පිටිපස්සෙ දේවදාර අරඹක්. ගෙදරට යන පාර දෙපැත්තෙ පේළි දෙකට පොප්ලර් ගස්. ගෙවත්ත වටේටම බර්ච් ගස් වළල්ලක්. ලස්සන ගෙවත්ත. අපේ ඉස්සරහ දොර ඇරපු ගමං ගෙවත්ත. තවත් පැත්තකිං ඇතුල් වෙන්න පුළුවං දේවදාර ගස් දෙකක් අතරිං දාපු පුංචි ගේට්ටුවකිං. එක ගහක කඳට තමයි ගේට්ටුවේ සරනේරු අල්ලලා තියෙන්නෙ. අගුල වැටෙන්නෙ අනික් ගහේ කඳට. ඊට ඉහළිං ගස් දෙකේ අතු විහිදිලා තියෙන්නෙ ආරුක්කුවක හැඩේට..'

ඉන් පසුත් ඈන්ට අසන්නට එක ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ.

'මට හොඳටම සෑහෙනව. හරිම සතුටුයි. ගහ කොළ නැති තැනක මට ජීවත් වෙන්න බෑ. කන්න බොන්න නැති වුණත් ගහ කොළ තියෙන්නම ඕනි. ඊට පස්සෙ මම ඔයාගෙං දොළ පාරකුත් තියෙනවද කියල අැහැව්වොත් ඒක පමණ ඉක්මවා යාමක්..'

ඒත් ඔවුන් තනා ගත් සිහින මන්දිරයේ කෙළවර දොළ පාරකුත් තිබිණ. 

ඉතින් ඈන් සහ ගිල්බර්ට් අත් අල්ලා ඇවිද ගිය හැම තැනකම මායාවක් ව ඔවුන් අතරේ ඇවිද ගිය වැසි දැරියට ඈන්ටත් වඩා ඒ හැම තැනක්මත් - ඔවුනතර වූ හැම දෙබසක්මත් ඉතාමත් හොඳින් මතක ය. 

පෙම්වතියක තුළ පවතින ආදරය වඩාත් ශක්තිමත් වූත් - බරපතළ වූත් ආදරයකට පෙරළන්නේ සිහින තනන දෑතක් හිමි කොල්ලෙකුගේ ගිල්බට්මය අධ්‍යාත්මය බව වැහි දැරිය තේරුම් ගත්තේ සිහින මන්දිරය කියවා වසර ගණනක් ඉක්ම ගියායින් පසුය.

Monday, March 12, 2018

සුන්දර කළු කෙල්ල - රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

සමහර ගැහැණු - පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස සරීරය තැනී ඇති ලෙය මසට එහා ගිය යමක් ඔවුන්ගේ ජීවිතාභ්‍යන්තරයේ තිබේ. රූපී කෞවුර් නම් සුන්දර කළු කෙල්ල එබඳු පොතක් වැනි - කවියක් වැනි යෞවනියකි. 

ඈ මට මුණ ගැසුණේ අහම්බෙන් ය. ඈ අන්තර්ජාල ලියන්නියකි. ඉන්දියානු - කැනේඩියානු සම්භවයක් සහිත තරුණ චිත්‍ර ශිල්පිනියකි. මිලියන 2.5ක අළෙවි වාර්තාවක් තබමින් අතිශය ජනප්‍රිය වූ ඇගේ පළමු කෘතිය වූ Milk and Honey වැහි වැටෙන තැන කියවන ඇත්තන්ට නුපුරුදු නමක් විය නොහැකි ය. පසුගිය වසරේ එළිදැක්වූ ඇගේ දෙවැනි කෘතිය තවමත් කියවාගන්නට බැරි වූ බැවින් මෙහි සටහන් වන්නේ Milk and Honey නම් සුන්දර අක්ෂර බන්ධනයෙහි එන වඩාත්ම දැණුනු වචන පිළිබඳව ය. 

එහෙත් යමක් කිව යුතුම ය. රූපීගේ කවි යුනික් ය. ඒවායෙහි ඇති සජීවි බවත් - ලෝකයේ වෙන කිසිවෙකුගෙන් මා මෙතෙක් අත් විඳ නැති නිර්මාණශීලිත්වයත් පහසුවෙන් වෙන බසකට පෙරළන්නට නොහැකි ය. එහෙයින් මා අතින් වන සිංහල පෙරැලුම්වලින් ඇගේ අපූර්ව කාව්‍යාත්මයට හානි වනු ඇතැයි යන සාධාරණ සැකය මා තුළ තිබේ. එහෙයින් ඒ වචන පරිවර්තනය කරන්නට උත්සාහ නොකරමි. 

බොහෝ දෙනෙකුට රූපී පෙනෙන්නේ ස්ත්‍රීවාදිනියක ලෙස විය හැකි ය. විවාදයක් නැත. ඈ ඉතා ගැඹුරින් ස්ත්‍රීත්වය වචනයට පෙරළන්නීය. එහෙත් ඈ පිරිමින් හෙළා දකිමින් ගැහැණුන් පමණක් වැජඹිය යුතු යැයි සිතන අන්දමේ ඇතැම් අන්තවාදී ස්ත්‍රීවාදි කුලකයටද - ගැහැණුන් පහත් කොට සලකමින් පිරිමින් ගරු සැලකිලි ලැබිය යුතු යැයි සිතන අන්දමේ අන්තවාදී පුරුෂෝත්තමාවදී කුලකයටද අයත් නොවේ. මා විශ්වාස කරන අන්දමට ඈ මනුෂ්‍යත්වය උදෙසා ලියන්නියකි; ගැහැණුන්ටත් - පිරිමින්ටත් සියලු කාරණා පිළිබඳව සමාන අයිතියක් ඇති වග විශ්වාස කරමින් එබඳු සමානාත්මතාවෙන් පිරුණු ලෝකයක් උදෙසා ලියන්නියකි. රූපීගේ කවි ස්ත්‍රීවාදිනියකගේ සිතුවිලි ලෙස නොව මනුස්ස දුවකගේ සිතුවිලි ලෙස මට දැනෙන්නේ මාද පුරුෂෝත්තමවාදය හෝ ස්ත්‍රීඋත්තමවාදය වෙනුවට ගැහැණුන්ට - පිරිමින්ට සමානව ජීවත් විය හැකි ලෝකයක් බිහි විය යුතු යැයි විශ්වාස කරන නිසා විය හැකිය.

ඒ මනුෂ්‍යවාදී හස්තයෙන් රූපී වරෙක මෙසේ ලියයි:
අප පිළිගන්නට අකැමැති වන සත්‍යය මෙය නොවේද? රූපී මෙහි කියා ඇති පරිදිම මේ ලෝකයේ උපදින ඕනෑම ගැහැණු දැරිවියකට ඕනෑම ඉහළකට නැගීමේ සවිය තිබේ. එහෙත් උපන් දා පටන් කී වරක් කෙල්ලන් ගස් නැගිය යුතු නොවන බව, කොල්ලන් නිකං ඉද්දී කෙල්ලන් පමණක් මුළුතැන්ගෙයි වැඩට උදව් විය යුතු බව කොතෙක් නම් ඔවුන්ගේ කන වැකී ඇත්ද? 

ඈ පවසන්නේ ඒ ස්ත්‍රී පුරුෂ බෙදීම (Gender Stereo-typing) වෙනස් විය යුතු වග ය. ඉතා සරලව කියන්නේ නම් ගැහැණුන්ද පිරිමින් මෙන් ම මනුස්ස ප්‍රාණීන් බව ය. ස්ත්‍රී ශරීරයෙහි ජීව විද්‍යාත්මක කාරණාවන් රූපීගේ අතින් සාමාන්‍යකරණය වන අන්දම ඒ සඳහා වන අපූර්වතම නිදර්ශනයයි.


මේ විසි එක්වැනි සියවසේදීත් ඇතැම් ලාංකික නිවෙස්වල ඔසප් වීම යනු තාත්තා හෝ සහෝදරයා ඉදිරිපිට කතා නොකෙරෙන යමකි. තමන්ගේ මව හෝ සහෝදරිය ඔසප් දිනයක විඳින වේදනාව පිළිබඳව අවබෝධයක් නැතිව ඇති දැඩි වුණු තරුණයෙකු ඔසප් දිනයක තමන්ගේ බිරිඳගේ පිට කොන්ද තවන්නට හෝ එදිනට පමණක් හෝ ඈට යමක් උයා දෙන්නට පෙළඹෙනු ඇත්ද යන්න මම ඇතැම් විට කල්පනා කරමි. රූපීගේ කවි තුළින් පරාවර්තනය වන්නේ අපටත් පොදු එබඳු සංස්කෘතික කාරණාය. ගැහැණියකගේ දෙකලවා අතර ඇති දෙය විකුණන්ටද, අැගේ ප්‍රජනන හැකියාව වර්ණනා කරන්නටද ඉදිරිපත් වන ලෝකය එහිදීම සිදු වන ඔසප් වීම නම් අතිශය සාමාන්‍ය කාරණාව අපිරිසිදු යමක් ලෙස දැකීමේ සත්තාව ඈ අතිශය ප්‍රබල ලෙස සමාජගත කරයි.

අවුරුදු විසි පහක තරුණියක ලෙස රූපී ආදරය විවරණය කරන අන්දමට මම වඩාත් ආදරය කරමි. ඈ යොවුන් ආදරය ගැන ලියන්නීය. එහෙත් එතැනින් නොනවතින්නීය. ඇගේ කවිවල බොහෝ විට ඇත්තේ අතිශය පවිත්‍ර වූ සමාජ ආදරයකි. 



මේ වචන කියන්නේ ඉතා සුන්දර කරුණකි. ලෝකය කෙරෙහි පෙරළා කරුණාවන්ත වන්නට අපටද ලෝකයෙහි කරුණාව පමණක් ලැබී තිබිය යුතු නැත. ඇතැමුන්ගේ අකරුණාවත් බස්වලට රිදවාගෙන බුම්මාගෙන උන් ඇතැම් දවසක මගේ අභ්‍යන්තරය සුවපත් කළේ රූපීගේ මේ කවියයි. අපට ලෝකයෙන් කරුණාව නොලැබුණද ලෝකයට ආදරය කිරීමේ සුවිසාල වගකීමක් අප සතුව පවතියි. ලෝකය අපට නපුරු වන තරමට අපි ඒ නපුරුකම සෝදා හළ යුතුය. මනුෂ්‍යත්වය ද - සුන්දරත්වය ද ඒ වෙනුවට ආදේශ කළ යුතුය. මා වැඩියත්ම ආශා කරන්නේ රූපී ඒ බව ප්‍රකාශ කරන මඳ - මුදු - සියුමැලි රටාවටය.

රූපී කෞවුර් නමැති සුන්දර හදවතක් ඇති යෞවනිය ගැන කියනවා නම් කියන්නට හුඟක් දේවල් තිබේ. එහෙත් ඇගේ කවි ගැන ලියනවාට වඩා කියවන ඔබටත් ඈව සොයා ගොස් ඒ මධුර වචන විඳින්නට ඉඩක් තැබිය යුතු යැයි හඟිමි. අවුරුදු විසි පහක තරුණියකට ලෝකය වෙනස් කළ හැකි වග - තාරුණ්‍යයට ආදර්ශයක් සැපයිය හැකි වග ඈ මහපොළොවේ ඔප්පු කර පෙන්වන සුන්දර වූත් - ශක්තිමත් වූත් විලාසයට ඔබත් නොවැළැක්විය හැකි ආකාරයකට බැඳී යනු ඇති වග වැසි දැරිය දැඩිව විශ්වාස කරන බැවිනි.

Image result for Rupi Kaur