ඔස්කාර් සම්මාන දහහතක් ලෝඩ් ඔෆ් ද රිංග්ස් සඳහා නොවටනා බවට ආ ප්‍රතිචාරයක් නිසාම එය බලන්නට ගෙන, දැන් හරිත පැහැ හොබිට් දේශයේ නතර වී සිටින වැසි දැරියට මේ ඉතා දිගු සිනමා සිත්තම් පෙළ නරඹන අතර ඉසිඹුවක දී සමාජ මාධ්‍යවල ඉන්ෆ්ලුවන්සාවන් ගැන කතිකාවක් දකින්න ලැබුණා.
එලෙසම ඒ සංවාදය විවිධ ස්වරූපවලින් විවිධ කණ්ඩායම් අතින් හයිජැක් වෙමින් පවතිනු ද දකින්නට පුලුවන්. නමුත් ඒ කතාව මේ විවේචනය වන පැරඩි වීඩියෝවෙහි හිමිකාරිණියට පමණක් අදාළ කරුණක් නොවෙයි. එසේම ඒ කතිකාව ජාතික කොඩිය ඔසවා සිටි යුවතියට අපහාස කිරීම නිසා පමණක් මතුව යට යන්නේ නම් සහ ඇගේ වීඩියෝවල ඇති ගෘහස්ථ හිංසනය සාමාන්‍යකරණය කිරීම, සිය පිරිසිදු කිරීමේ රැකියාවට අනුන් උපහාස කිරීම වරදක් වන මුත් තමා අනෙකුත් භූමිකාවන්ට අපහාස කිරීම ගැටලුවක් ලෙස නොදැකීම ආදී අවුල් නොපෙනී යන්නේ නම් ඒ සංවාදයේත් අවුලක් තියෙනවා.
ඊටත් එහා ගැටලුව නම් යම් ශක්තියක් සහිත ස්ත්‍රීන්ට පණ්ඩිත, අහංකාර, කටවාචාල ආදී විශේෂණවලින් පහර දෙමින් සමාජ මාධ්‍ය භාවිත කරන ගැහැණු පිරිමි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ විවේචනයට ලක් වන තැනැත්තිය සිය පැරඩි වීඩියෝස් සඳහා ඉල්ලුමට සපයන එක් තැනැත්තියක් පමණයි. එය පමණක් විවේචනය කරන්නන් අතරින් බොහොමයක් ඇගේ අනික් වීඩියෝ අගය කරන සහ නලුනිලියන් ගායක ගායිකාවන්ගේ එදිනෙදා ජීවන රටාව සම්බන්ධ යූටියුබ් නාලිකා පරමාදර්ශ ලෙස වන්දනාමානයෙන් අදහමින් සිය ජීවිතය ඔවුන්ගේ ඡායාපිටපත් බවට පත් කරගත් අයවලුන් පමණයි.
මේ සංවාදය දකින විට වසර කිහිපයකට කලින් එක්තරා රූපවාහිනී වැඩසටහනකට අවුදින් සිංහයාගේ දියණිය කවිය උපුටමින් පරිණත ගැඹුරු බවකින් කතා කළ පාසල් සිසුවියක් සිහි වුණා. ඊට ඉතාම නුදුරක වන සංහාරයට එරෙහිව හඬ නැගූ යුවතියක් ද ඔබට මතක ඇති. ඒ දෙදෙනා මතක නම් ඒ යුවතියන් දෙදෙනා වයිරල් වූ කාලයේ ම එවක ටික්ටොක් යූටියුබ් ආදි සමාජ ජාලවල නියුතු ඉන්ෆ්ලුවන්සාවක එවන් බුද්ධියෙන් සහ අභ්‍යන්තර ගැඹුරකින් යුත් ගැහැණුන් අපහාසයට පත් කරමින් කළ වීඩියෝවත් මතක ඇති.
සරලවම කියනවා නම් ඉන්ෆ්ලුවන්සාවන්ට සමාජ ක්‍රියාකාරිනියන් හෝ තරු ලෙස පවතින්නට පුළුවන් එබඳු ගැහැණුන් තරු නොවන තාක් පමණයි. ගැහැණුන්ට ඇඳුම් විලාසිතා සහ ගෘහ උපකරණවලට එහා ගිය ගැඹුරක් සහ සුන්දරත්වයක් ඇති ලෝකයක් සොයාගත හැකි බව පෙහෙළි නොවන තාක් පමණයි.
සිංහයාගේ දියණිය කවිය ගැන කතා කරද්දි ඒ කවියෙ එක් තැනක ඉසුරි උදානී කරුණාතිලක කිවිඳිය මෙහෙම කියනවා ඔබට මතක ඇති..
අය්ය දුනු දිය අරන් ඊතලේ ගන්න කොට
පලිහක්ව මැදින් හිටගන්නවා..
තාත්තට මැරෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා..
ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි එයොවෙන් එලෙසම ආලෝකයත් අඳුරත් - මනුෂ්‍යත්වයත් අමනුෂ්‍යත්වයත් අතර සටනෙදි, සිය පිය තනතුරෙහි ලා සලකන තියොඩන් රජු මරන්නට පැමිණෙන නස්ගුල් සෙබළා ඉදිරියට විත් ඔහුට අත නොතබන්නැයි කියමින් සටන් කරනවා.
නස්ගුල් ලොව කිසිදු පිරිමියකුට තමා ඝාතනය කළ නොහැකි බව කියද්දී තමා පිරිමියකු නොවන බව කියමින් ඇය අවසන් අසිපත් පහර එල්ල කරනවා.
එයොවෙන් යුද්ධයට යන්නේ පිරිමියකු නිසා. උදාර පිරිමියකු වන ඇරගොන් අසළ සටන් බිමක හෝ සද්ධිවිහාරිකව වෙසෙන්නට ඇති ආශය නිසා. ඉන්පසු ඇරගොන් අයත් එකම එක් දිව්‍යමය ගැහැණියකට පමණක් හෙයින් ඔහු එයොවෙන්ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කොට ඇයට සහෝදරත්වය පිරිනමා ගෞරවණීයව නික්ම ගිය පසු එහි වේදනාව නිසා.
ඒත් ඉන්පසු ඇය සටන් පෙරමුණ තෝරාගන්නේ ඒ නිසා නොවෙයි. සිය ස්ත්‍රී ශක්තිය ගෙදරකට මැදුරකට සිරව තිබීමට ඇය තුළ ම නැගෙන විරෝධතාව නිසා. යහපත උදෙසා කෙරෙන සටන පිරිමින් අතින් පමණක් නොව තමන් අතින් ද සිදු විය යුතු නිසා.
ලෝකයේ ප්‍රගමනය උදෙසා විවිධ වෘත්තීන්වල නියැලෙන - සිය ශක්ති ප්‍රමාණයෙන් ලෝකය වඩා උස් තැනක් කිරීම සඳහා සටන් කරන ගැහැණුන් අන්න ඒ සටන් පෙරමුණුවල සිටින එයොවෙන්ලා වගෙයි.
එහෙත් කණගාටුවට කාරණය නම් අපේ ඇල්ගොරිදමයන්ට - ඩිජිටල් සංග්‍රහකවලට එවන් ඇත්ත තාරුකාවල දිස්නය අල්ලාගන්නට බැහැ.
ඒත් අප විසින් කළ යුතු වන්නේ ද, සෙලෝලයිඩ් තරුවල නියොන් එළිවලට අසු නොවී අසීරුවෙන් මුත් සැබෑ තාරකාවල දිස්නය සොයා යාම ම යි.
