ගුරු දියවර 9
“යහළුකම ඉතා උතුම් දෙයකි. එය ආත්මාර්ථයෙන් කිලිටි කළ යුතු නොවේ.”
“ගඟුල් ඔයා ගෙනාපු ප්‍රකාශ අතරෙ තියෙන ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයගේ මේ කියමන හරිම වටින එකක්. අපි අනිවාර්යෙන් ම ඒක ගම්මු.”
මෙසේ පැවසුවේ මුළුතැන්ගෙයට යාබද කෑම කාමරයේ විසල් මේසය මත අතුරා ඇති ප්‍රකාශ කියවමින් සිටි තෙන්නකෝන් මහතා ය.
තේ පානයෙන් පසු පාසලේ තැනින් තැන ගැසීමට සුදුසු ප්‍රකාශ තේරීමේ සාකච්ඡා වටය පැවැත්වීම සඳහා එතැන සුදුසු ය යන යෝජනාව ගෙන ආවේ ගඟුල් ය. තේ බීමෙන් පසු සාකච්ඡා මේසය සූදානම් කළේ ද ගඟුල් ය. ඒ මේසය වටා හිඳගනු පිණිස පුටු පහක් තැබුවේ ද ගඟුල් ය.
“මේ ගඟුල් මහත්තය කියමු බලන්න මෙතන මොකක් ද මේ වෙන්න යන්නෙ කියලා.”
එසේ ඇසුවේ ඒ සියල්ල දෙස විමසිලිමත් දෑසින් බලා සිටි රේණු ය.
“මේක යි රේණු මිස් මෙතන වෙන්න යන්නෙ. හරි ම වැදගත් සාකච්ඡාවක් තමයි තව පොඩ්ඩකින් මෙතන පවත්වන්න යන්නෙ.”
“ඇත්ත ද හුඟක් වැදගත් සාකච්ඡාවක් නං හුඟක් ම වැදගත් අය වෙන්ඩ ඇති මේකට සහභාගි වෙන්නෙ.”
“නැතුව නැතුව රේණු මිස්. ඒ උනාට මෙතන පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා.”
“ඒ කිව්වෙ.”
රේණු ප්‍රශ්න කළා ය.
“ඒ කියන්නෙ රේණු මිස් මේ අතිශයින් වැදගත් සාකච්ඡාවට අතිශයින් ම නොවැදගත් එක්කෙනෙකුත් සහභාගි කර ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා.”
ඒ වන විට තෙන්නකෝන් යුවළ ද මිහිදිනී ද එතැනට පැමිණ සිටියහ.
“මේ තෙන්නකෝන් සර්රුයි මැඩනුයි මිහිදිනී මිසු යි මම යි තම යි වැදගත් පාර්ශවය නියෝජනය කරන්නෙ. ඉතින් අර කියපු නොවැදගත් පාර්ශවයට තම යි මේ......”
ගඟුල් එසේ පැවසුවේ රේණු දෙස බලා මඳක් ඈතට යමිනි.
“ඈ....හිටපන් මන් උඹට ....”
එසේ කියමින් රේණු ගඟුල් වෙත සමීප වත් ම ඔහු කෙළේ වහ වහා ගොස් තෙන්නකෝන් මහත්මියට මුවහ වී මෙසේ පැවසීම ය.
“මේ බලන්න මැඩම්, අර මැඩම්ලා කියපු හොඳ දුවලා දෙන්නගෙන් ලොකු දුව මට ගහන්න එනවා.”
“ආ ගඟුල් මල්ලි මෙහෙ ආපු පළවෙනි දවසෙ ම උඹ එහෙනං අපේ මිහිදිනීගෙ තියරියත් ඉගෙන ගත්ත ද? හා කමක් කමක් නෑ හිටපන්කො මන් උඹ ව අල්ල ගන්නංකො කොයි වෙලාවෙ හරි. උඹේ වැරදි දෙකකට ම දඬුවම් දෙන්නත් තියෙනව මට එතකොට.”
පවුලක කුඩා දරු දැරියන්ගේ බොරු රණ්ඩු දෙස බලා දයාබර දෙමාපියන් විසින් විඳිනු ලබන සතුට යි, මේ මොහොතේ තෙන්නකෝන් යුවළ විසින් විඳගනු ලැබුවේ.
“ඇයි පුතා මේ පුටුපහක් තිබ්බෙ. ඔය ගොල්ලො හතර දෙනානෙ ඉන්නෙ මේ වැඩේට. හොඳට ඉඩකඩ ඇති විදිහට පුටු තියා ගත්ත නංනෙ හොඳ. අපේ මහත්තයා ඔයා තව කාට හරිත් එන්න කිව්ව ද මේ වැඩේට.”
“නෑ නීලා මන්නං අමුතුවෙන් කාටවත් කිව්වෙ නැහැ. අපේ ගඟුල්ලා කිව්ව ද දන්නෙ නැහැ.”
“නෑ දැන් තමයි සර් ඒ ආරාධනාව කරන්න යන්න ඕනෙ.”
ගඟුල් පැවසීය.
“කරන ආරාධනාවක් ඉක්මණට කරලා එයාව මෙතෙන්ට පුළුවන් ඉක්මණින් අරන් එනවා. ඔය කොළඹින් ආපු අලුත් අය වගේ නෙමෙයි අපි ගොඩාක් වැඩ තියෙන හුඟක් වැදගත් අය. නැද්ද තෙන්නකෝන් සර්.”
“ඔව් ඔව් රේණු මිස් නං හුඟාක් වැදගත් බව දැක්ක ගමන් පේනවා. වෙන වැදගත් අය ලෝකෙ නැත්තං.”
ගඟුල් මෙහි අවසන් කොටස පැවසුවේ ඒ වන විට තමාට සමීප දුරක සිටි තෙන්නකෝන් මහත්මියට සහ මිහිදිනීට පමණක් ඇසෙන සේ ය.
ඒ ඇසූ තෙන්නකෝන් මහත්මියගේ සිනහව ප්‍රකාශිත වූ අතර මිහිදිනීට සිදුවූයේ සඟවා ගන්නට ගත් උත්සාහය නිසා ම සිය සිනහව පුපුරා යෑම ය.
“ආ මෙයාට සපෝට් එකටත් දැන් තවත් එක්කෙනෙක් ලෑස්ති වෙලා. හොඳයි හොඳයි නංගි මං අල්ල ගන්නංකො උඹවත්.”
“එහෙනං ගඟුල් කියල තියෙන කෙනා එනකං අපි වැඩේ පටන් ගම්මු.”
“මන් දැන් ම එක්කං එන්නංකො සර්.”
මෙසේ පැවසූ ගඟුල් කෙළේ මහත් ගෞරවයකින් එම සාකච්ඡාවට තෙන්නකෝන් මහත්මියට ආරාධනා කොට ළඟම තිබූ අසුනෙහි ඇයට හිඳගැන්මට සැලැස්වීම ය.
“ඈ බොලේ බැලුවහම ඇත්තට ම මේ කොල්ලට වැදගත් අය අඳුර ගන්න පුළුවන්නෙ.”
රේණු පැවසුවේ ඉණට අත්දෙක තබාගෙන ය.
“අන්න දැක්ක ද රේණු මිස් ම දැන් පිළිගත්තනෙ මට වැදගත් චරිත අඳුන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට ම තම යි මන් ඉස්සෙල්ලත් වැදගත් කවුද නොවැදගත් කවුද කියලා කිව්වෙ.”
“ආ එහෙමද ආ ඒකට නං මන් උඹට දෙන්නං පස්සෙ සබ්බුව.”
“මේ ළමයිනෙ අපි දැන් ඔය නඩු තීන්දු, දඬුවම් දීම් ටිකකට පැත්තකින් තියල මේ වැඩේට බහිමු ද? ගොඩක් හොඳයි ඕගොල්ලොම අපේ නීලාවත් මේ වැඩේට සම්බන්ධ කර ගත්ත එක. එයාගෙ ඉස්කෝලෙ වැඩත් ගොඩක් තියෙන බව දන්න නිස යි මං එයාට කතා කරන්න ගියෙ නැත්තෙ.”
තෙන්නකෝන් මහතා එසේ පවසා කටයුත්ත ආරම්භ කිරීමෙහි ලා මුල් විය.
“අනේ මන්දා මන් ඕකට එන්නං. ඒත් මට හිතාගන්න බැරි මේ සංගීතෙ කරපු ගෑනිගෙන් ඔය වැඩේට වැඩක් වෙයි ද කියලා.”
“නෑ නෑ නැන්දා ඉන්න ම ඕනෙ මේකට.”
රේණුත් මිහිදිනීත් මෙසේ එකම වචන ප්‍රකාශ කෙළේ කලින් කතා කොට ගත්තාක් මෙනි.
“අනිත් එක්ක නීලා මැඩම්ගෙන් පිරෙන හිස්තැන අපි කාටත් පුරවන්න බැහැ කියල යි මට හිතෙන්නෙ.”
එසේ කීවේ ගඟුල් ය.
“දැන් අපි ආයි අදිකාරම්තුමාගෙ ප්‍රකාශෙට යමු ද? මිත්‍රත්වය උතුම් දෙයක් ඒක ආත්මාර්ථයෙන් කිලිටි කරන්න එපා. මේක ඉස්කෝල දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අපටත් වැදගත්.”
එසේ කියා යළිත් යථෝක්ත ප්‍රකාශය දෙස තවත් මොහොතක් බලා සිටි තෙන්නකෝන් මහතා ගඟුල්ගෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය.
“ගඟුල් මමත් අදිකාරම් මහත්තයගෙ සිතිවිලි පොත් ඔක්කොම වගේ කියවලා තියෙනවා. ඒ උනාට මන් මේක කලින් දැකලා තිබුණෙ නැහැනෙ.”
“සර් මන් ඕක උපුට ගත්තෙ අදිකාරම්තුමාගෙ ‘පළමු පියවර’ කියන පොතෙන්. ඉස්සර එතුමා ළමා සිතිවිලි සමාජෙ ළමයින්ට කරපු දේශන එකතු කරල පස්සෙ කාලෙක පොතක් ගහලා තිබුණා. ඒකෙ පිටපතක් තිබුණ සහන් සර් ගාව. ඒකෙ තියෙන්නෙ පුංචි පුංචි ලිපි. ඒ හැම ලිපියක ම සැලකිල්ලෙන් බලන ඕනෙම කෙනෙකුට පේන විශේෂ දෙයක් තියෙනවා.”
“මොකක් ද ගඟුල් සර් ඒ පේන විශේෂ දේ.”
එසේ විමසුවේ මිහිදිනී ය. අනෙක් තිදෙනා ද උනන්දුවෙන් සවන් දෙන ආකාරය පෙනිණ.
“ටිකක් වෙලා ගියත් ඒ ලිපිවල මට දැනිච්ච ඒ දේ ගැන මන් කියන්න ද සර්.”
“කියන්න කියන්න. යහපත් දේවල් ගැන කතා කරන එක උනත් යහපතක්.”
“සර් ඔය කියපු දේට තරමක් සමාන දෙයක් අපේ කුලතුංග නෝනා කිව්වා. එතුමිය විශ්‍රාම ගිය විදුහල්පතිතුමියක්. මහ වෙනස් කතා කියන්නෙ. කුලතුංග නෝනගෙ දුවත් ගුරුවරියක්. එයා එයාගෙ වයසෙ තරමට වඩා සමාජෙට වැඩ කරලා තිබුණා. ඒ තරුණ ටීචර් අකාලෙ නැති උනා පිළිකාවකින්. අපි මළගෙදර ගියා. කුලතුංග නෝන නෙමෙයි අඬා වැලපුණේ.”
“ඔයා හිතින් දුක දරාගෙන අඬන් නැතුව ඉන්නව නේද කියලා අහපු කෙනෙකුට ඒ නෝනා දුන්නෙ අපූරු උත්තරයක්.”
“මන් අඬන්න ඕනෙ මගෙ දුව සමාජෙට හිරිහැරයක් කරදරයක් වෙන විදිහෙ නරක ජීවිතයක් ගත කළා නං. මේ කෙල්ල පුංචි කාලෙත් ඇඳුමක් අරන් දෙන්න හදන කොට අනේ අම්මෙ මට නැති උනත් කමක් නෑ, අපි රුවිනිට ගවුමක් ගම්මු ද කියනවා. ඒ තාත්තත් නැතුව ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරපු දුවක්. ඉතින් මන් කරන්නෙ මොන අමාරුකං තිබුණත් මේ කෙල්ලො දෙන්නට ම ගවුං දෙකක් ගන්න එක. ඒ දවසට මෙයා යාළුවගෙ ගවුම රෑ පාර්සල් කරන්නෙත් සින්දු කිය කිය හරි සතුටකින්. ගුරුවරියක් උනාට පස්සෙත් ළමයින්ට හරියට උදව් කළා. ඉස්කෝලෙ ළමයි එයාගෙ දේහය ළඟ වැටිල ඇඬුවෙ ‘අනේ අපේ අම්මා කිය කියා.’ ඉතින් මෙච්චර හොඳ දුවක් හිටපු අම්ම කෙනෙක් අඬන්න ඕනෙ ද? කියල යි කුලතුංග නෝනා කිව්වෙ.”
ගඟුල්ගේ මේ කතාවට සවන් දී සිටි රේණුගේත් මිහිදිනීගේත් දෑස් එක්වන් ව තෙමී ගියේ අකාලයේ සමාජයට අහිමි ව ගිය කිසිදා නුදුටු ඒ තුරුණු ගුරු සුහදිනිය සහ ඒ තෙදවත් මෙන් ම වියපත් ගුරු මාතාව පිළිබඳ ව සිය හදවත්වල පිළිසිඳි සුපහන් සංවේගය නිසා ය.
වැඩිහිටි ගුරු යුවළ ද හෘදය සංවේදී දෙය කතාකරන තරුණ ගුරුවරයා සහ ඒවාට ආත්මීය ප්‍රතිචාර දක්වන තරුණ ගුරුවරියන් දෙදෙනා දෙස බලා සිටියේ ඉමහත් ආදරයකිනි. අනතුරුව කටහඬ අවදි කෙළේ තෙන්නකෝන් මහතා ය.
“දැන් මට හිතා ගන්න පුළුවන් රේණු, අපේ ලොකු සර් ගඟුල්ට ම මේ වැඩේ බාර දීලා අපි කීප දෙනාට එයාට උදව් කරන්න කියලා කිව්වෙ ඇයි කියලා.”
“ගඟුල් සර් කිව්වෙ නැහැනෙ කුලතුංග නෝනා කියපු අපේ සර් අර කියපු යහපත් දේ ගැන කතා කරන එකත් යහපත් ය කියන කතාවට සමාන කතාව.”
ඒ මිහිදිනී ය.
“අනේ මට අමතක උනානෙ ඒක. කුලතුංග නෝනා ඒ කතාව කිව්වෙත් මළ ගෙදර දවසෙදි ම තම යි. ඒක හරි ලස්සන වගේ ම අර්ථවත් ප්‍රකාශයක්. ඒක එතුමියගෙ වචනවලින් කිව්වොත් මෙහෙම යි.”
“යහපත් පිරිමියෙක් හරි යහපත් ගැහැනියක් හරි ගැන කතා කරන එකත් පිනක්. අයහපත් පිරිමියෙක් හරි අයහපත් ගැහැනියක් හරි ගැන කතා කරන එකත් පවක්.”
“ඒක ගඟුල් අර ප්‍රකාශ අතරට අනිවාර්යයෙන් ම ගන්න ඕන එකක්නෙ.”
මෙසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය. අනතුරුව ඔහු තවදුරටත් කතා කෙළේ ය.
“ගඟුල් කිව්ව නේද අදිකාරම් මහත්තයගෙ ‘පළමු පියවර’ පොතේ ඔයාට දැනිච්ච විශේෂයක් තිබුණ කියලා.”
“ඔව් සර් මට මතක හැටියට ඒ මුළු පොතේ ම තිබුණෙ ලිපි විසි දෙක යි. ඒ ලිපි අතර සතුන් ජීවත් වන සැටි, තාරකා, ග්‍රහලෝක, සමතුලිත නිර්මාංස ආහාරය, ඉර එළිය, යහළුවෝ වගේ මාතෘකා යටතේ ලියපු ලිපි තිබුණා. මේ ලිපිවල කලාවත් තිබුණා. විද්‍යාවත් තිබුණා, ජීවිතයත් තිබුණා.”
“ඒක පුතා හොඳ නිරීක්ෂණයක්. ඔයාට පුළුවන් ද ඒ කාරණේ අපට පැහැදිලි කරලා දෙන්න.”
එසේ කතාවට එක් වූයේ මෙතෙක් ඉතා උනන්දුවෙන් ගඟුල්ට සවන් දෙමින් සිටි තෙන්නකෝන් මහත්මිය යි.
“උදාහරණයක් හැටියට මැඩම් ඒ පොතේ තියෙන තාරකා ලිපිය ගන්න පුළුවන්. ඒ ලිපිය මුලදි අදිකාරම්තුමා කරලා තිබුණෙ තාරකා ගැන විද්‍යාත්මක කරුණු දැක්වීමක්. මේ තාරකාවල තිබෙන විසල් ගුණය ගැන කියන එතුමා අපට පෙන්නලා දෙනවා තාරකාවක් එක්ක සංසන්දනය කරන කොට අපි ජීවත් වෙන මේ මහ පොළොව කොච්චර පුංචි ද කියන කාරණේ. ඊට පස්සෙ එතුමා කියනවා මේ පොළොවේ තමාට අයිති යි කියල හිතාගෙන ඉන්න සුළු වස්තුවක් ගැන අපි අහංකාර උනාට තාරකා ගැන දැනුමක් ඇති කර ගත්ත කෙනාට තමන්ගෙ තරම මොකක් ද කියන එක අවබෝධ වෙනවා කියලා.”
“ඒක හරි ලස්සන අදහසක් ගඟුල්. මට ඉතිහාසෙ පේන්නෙත් ඔයිට සමාන විදිහකට. ඉතිහාසය පුරා සිද්ධ වෙලා තියෙන අප්‍රමාණ සිද්ධි අධ්‍යයනය කරන කොට අපේ ජීවිතය හා බැඳිච්ච සිද්ධි කියන්නෙ ඒකෙන් අංශුමාත්‍රයෙනුත් අංශුමාත්‍රයක් කියල යි හිතෙන්නෙ.”
“සර් ඉතිහාසය විෂය ගෙනල්ල රඳවන්නෙත් මහ වෙනස් ම තැනකනෙ.”
“ඕනෙ ම විෂයක් දිහා වෙනස් ඇහැකින් බලන්න පුරුදු උනොත් මං හිතන්නෙ තමන් උගන්නන විෂය මොකක් උනත් මේ ගැඹුර මතුකර ගන්න පුළුවන්. ඒක අපේ මේ කෙල්ලො දෙන්න උගන්නන ඉංග්‍රීසිවලටත් අපේ නීලගෙ සංගීතෙටත් ගඟුල්ගෙ සිංහලවලටත් අදාළ යි.”
“තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ආව එක මට දැනෙන්නෙ අලුතින් ආයෙ විශ්වවිද්‍යාලෙට ආවා වගේ.”
ගඟුල් පැවසීය.
රේණු ද මිහිදිනී ද එක්වන් ව හිස සලා එකරුණ අනුමත කළහ. අනතුරුව කටහඬ අවදි කෙළේ රේණු ය.
“ඒ වගෙම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා මෙතෙන් දි.”
“ඒ මොකක් ද රේණු මිස්.”
එසේ ප්‍රශ්න කෙළේ ගඟුල් ය.
“මෙහෙමයි.”
රේණු ගැඹුරු මුහුණක් මවා ගනිමින් කතාවට ප්‍රවිෂ්ට වූවා ය.
“දැන් ඔබතුමා කිව්වනෙ අපේ මේ තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ආවහම දැනෙන්නෙ විශ්වවිද්‍යාලෙකට ආවා වගේ කියලා. අන්න ඒක නිවැරදි වෙන්න ඕනෙ, මේක විශ්වවිද්‍යාලෙකට ආවා වගේ නෙමේ, මේක විශ්වවිද්‍යාලයක්. ඊළඟ කාරණේ තමයි, අලුත් අය කියන්න ඉස්සෙල්ල ඕක තේරුම් ගත්ත ශ්‍රේෂ්ඨ බුද්ධිමත් කාන්තාවො දෙන්නෙකුට තම යි රේණු සහ මිහිදිනී කියල කියන්නෙ කියන එක. ඒක නිසා ඔය අලුතො දැනගන්න ඕන ඒ ජ්‍යෙෂ්ඨ උත්තමාවන්ට ගරු නම්බු දීලා කතා කරන්න. තේරුණා ද?”
“එහෙම යි ජ්‍යෙෂ්ඨ උත්තමාවිය, එහෙම යි. තේරුණා. හොඳට ම තේරුණා..”
ගඟුල් එසේ පැවසුවේ මහත් යටහත් පහත් බවක් ආරූඪ කොට ගනිමිනි.
“හා බොහොම හොඳයි. එහෙමනං දැන් කියමු බලන්න අදිකාරම්තුමාගෙ ලිපිවල දැනිච්ච විශේෂතා ගැන තවත් තොරතුරු.”
නැවතත් කතාවට අවතීර්ණ වූයේ රේණු ය.
“රේණු මිස්, අදිකාරම්තුමාගෙ තවත් ලිපියක් තිබුණා මේ පොතේ මට වැඩියෙන් දැනිච්ච. ඒකෙ නම ‘ඉර එළිය.’ පුංචි ළමයින්ට විතරක් නෙමෙයි අපි කාට උනත් වැදගත් විද්‍යාත්මක කරුණු තමයි ලිපියෙ මුලදි ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒකෙ ඉර එළියෙ වර්ණ ගැන කරන විග්‍රහය සෞන්දර්යාත්මක යි. අන්තිමට අදිකාරම්තුමා අපිව ගේන්නෙ හරිම ලස්සණ තැනකට. ඒක සම්බන්ධ වෙන්නෙ අපේ ම ජීවිතයට.”
“මට දැන් හිතෙන්නෙ ඒ පොත හොයාගෙන ගිහිල්ල කියවන්න.”
එසේ පැවසුවේ මිහිදිනී ය.
“ ඔව් මිස් සමහර දුර්ලභ මිනිස්සු ඉන්නෙ කොච්චර දුරක හිටියත් හොයාගෙන ගිහිල්ල හම්බ වෙන්න හිතෙන. ඒ වගෙ සමහර පොත් තියෙනවා කොහොම හරි හොයාගෙන කියවන්න හිතෙන. එහෙම පොතක් තමයි මේ ‘පළමු පියවර.’
“කොහේ හිටියත් ගිහිල්ල හම්බ වෙන්න ම ඕන චරිත ගැන කියද්දි එකපාරට ම මගෙ ඔලුවට ආපු චරිත දෙකක් තමයි අපේ මේ තෙන්නකෝන් සර්රුයි අපේ ලොකු සර්රුයි.”
“ඒකනං හරියට ම හරි.”
රේණු කළ ප්‍රකාශයට එසේ ප්‍රතිචාර දැක්වූයේ මිහිදිනී ය.
“ගඟුල් සර්, අදිකාරම්තුමා ජීවිතයට ඉර එළිය සම්බන්ධ කරලා තිබිච්ච විදිහ ගැන තාම කිව්වෙ නැහැනෙ.”
එසේ සාකච්ඡාවට මැදිහත් වූයේ තෙන්නකෝන් මහතා ය.
“සර් අදිකාරම්තුමා ඒ ලිපිය අන්තිමට කියනවා, මනුෂ්‍යයන්ට තියෙන්න ඕනෙ ඉර එළියත් ඒ එළියෙන් බලා ගන්න ඕන භෞතික ඇස් දෙකත් විතරක් නෙමෙයි කියලා. එතුමා කියන්නෙ මනුෂ්‍ය ධර්මය නිසා අප තුළ ඇති වෙන්න ඕන තවත් එළියක් සහ තවත් ඇස් දෙකක් තියෙනවා කියල යි. ඒ තමයි ආධ්‍යාත්මික ඇහැ. ඒ ඇහැ නැහැ කියන්නෙ මනුෂ්‍යයා අන්ධ යි කියන එකට. මනුෂ්‍යයා තුළ ආලෝකය ඇති කරවන ධර්මතාව විදිහට අදිකාරම්තුමා හඳුන්නල දෙන්නෙ ආදරය, දයාව, කරුණාව. එතුමා කියනවා මනුෂ්‍යයන්ට ගැටුම් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ ඒ එළියත් ඒ එළිය ඇති කරවන ඇසත් අපට තිබුණොත් විතර යි කියලා. ඒ නිසා ඉර එළිය ගැන ඉගෙන ගන්න කොට අමතක කරන්න එපා කියනවා ආදර කරුණාවේ එළිය - ආලෝකය ගැන.”
“හරිම ලස්සන අර්ථවත් අදහසක්නෙ මේ. මට හිතෙන්නෙ මේ වගෙ අදහස් අපේ දරුවන්ට දෙන්න ඇයි අපි මෙච්චර පරක්කු උනේ කියලා.”
තෙන්නකෝන් මහතා පැවසීය.
“විද්‍යාව යි කලාව යි දෙක ඇත්තට ම ජීවිතයට සම්බන්ධ කර ගත්තු මිනිස්සුන්ගෙ ජීවිත හරි ලස්සණ යි. ඒ මිනිස්සු තමන්ගෙ ජීවිත ලස්සන කර ගැනීමෙන් විතරක් සෑහීමට පත්වෙන්නෙ නෑ. තමන්ගෙ කායික අභාවය සිද්ධ වෙනකං ඒ අය කටයුතු කරන්නෙ ලෝකය තියෙනවාට වඩා ලස්සන කරන්න, අර්ථවත් කරන්න.”
“රේණු මිස් මෙතෙන්දි පාවිච්චි කළා හරි ලස්සන වචනයක්. ඒ තම යි කායික අභාවය. ඇත්ත, සමහර මිනිස්සු ඉන්නවා ඒ අය මැරෙන්නෙ කායික ව විතර යි. ඒ ගොල්ලො නැතිවෙලත් අපේ හදවත්වල ජීවත් වෙනවා. හැබැයි එහෙම චරිත හරි දුර්ලභ යි. ඒක නිසා අපි වෑයම් කරන්න ඕන අපේ ශිෂ්‍යයන් අතරින් ඒ වගේ චරිත බිහි වෙන්න අවශ්‍ය කරන පසුබිමක් හදන්න.”
රේණු කළ ප්‍රකාශයට මෙසේ අදහස් දැක්වූයේ ගඟුල් ය. මේ දෙදෙනාට ම සාවධාන ව සවන් දී සිටි තෙන්නකෝන් මහතා අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.
“ඔය දෙන්න කතා කළේ අපිවත් තව ගොඩක් දුරට හිතන්න යොමු කරන ගොඩක් වැදගත් දේවල්. ඒ වගේ ම අදිකාරම් මහත්තයා කියන්නෙ මට දැනෙන විදිහට මේ රටේ බිහිවෙච්ච සුවිශිෂ්ට ම අධ්‍යාපනඥයා. මට හිතෙන්නෙ ගුරුවරු හැටියට අපිත් අදිකාරම් සාහිත්‍යය ගැන, අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන අවධානය යොමු කළා හොඳට ම මදි කියල යි.”
“එතුමා ගැන මෙතෙක් කතා කරපු දේවල් අහගෙන හිටපු මට මතක් උනේ ඉන්දියාවෙ බිහි වෙච්ච විශිෂ්ට අධ්‍යාපනඥයෙක් වගේ ම හොඳ චින්තකයෙක් විදිහටත් සලකන්න පුළුවන් ආචාර්ය විනෝබා භාවේතුමා කරපු ප්‍රකාශයක්.”
මෙසේ කතාවට එක්වූයේ මිහිදිනී ය.
“කියපන් නංගි කියපන් ඒ ප්‍රකාශෙ මූලාශ්‍රයත් එක්ක ම. ගඟුල් සර්, මේ අපේ මිහිදිනී ඉන්නව නේද? හොඳ මීටරේ. කතාසරිත් සාගරයක්. ඒ වගේ ම ලස්සන ලස්සන ප්‍රකාශ තැන්පත් කරගෙන ඉන්න මහා භාණ්ඩාගාරයක්. අපේ ලොකු සර් ආවට ගියාට මිනිස්සුන්ට වැඩ බාර දෙන්නෙ නැහැ. මේ වැඩේට අපේ මිහිදිනීව තෝර ගත්ත එකම මදි ද? ඒ උනාට.....”
මෙසේ කී රේණු සිය මුහුණට ගැඹුරු බවක් ආරූඪ කොට ගෙන මඳ වෙලාවක් ගඟුල් දෙස බලා මෙසේ කීවා ය.
“එක තෝරා ගැනීමක් නං වැරදීමකින් උනා කියල යි මට හිතෙන්නෙ.”
“හොඳයි රේණු මිස් අපි ඒ වැරැද්ද පස්සෙ හදාගම්මු. මිහිදිනී මිස් කියනව ද අර ප්‍රකාශෙ.”
ඒ ගඟුල් ය.
“මේක තියෙන්නෙ විනෝභා ආචාර්යතුමාගෙ The Talks on the Gita කියන පොතේ. භගවද්ගීතාව ගැන එතුමා හිරගෙදර දි කරපු දේශන 18ක් තම යි ඒ පොතේ තියෙන්නෙ.”
“එතුමා හිරගෙදරදි කරපු දේශන කිව්වෙ හිරකාරයන්ට කරපු දේශන ද?”
එසේ ප්‍රශ්න කෙළේ තෙන්නකෝන් මහත්මිය යි.
“එතන ඇත්තට ම වැඩිපුර හිටියෙ දේශපාලන හිරකාරයෝ. ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් වැඩ කරපු අය. ගාන්ධිතුමාගෙ ප්‍රධාන ශිෂ්‍යයෙක් වෙච්ච විනෝභා ආචාර්යතුමත් ගුරුවරයගෙ නිදහස් සටනට එකතු වෙලා වැඩ කරපු නිසා ඉංග්‍රීසි නීතිය යටතෙ හිරබාරෙට ගත්තා. එතුමා මේ දේශන ඉංග්‍රීසි භාෂාවෙන් කළේ එතන හිටපු ඉංග්‍රීසි ජාතික නිලධාරීන් ගැනත් හිතලා. ඒ පොතේ එක තැනක තියෙනවා ශරීරය ගැන තියෙන ඇල්මට නෙමෙයි ආදරය කියන්නෙ කියලා. තව තැනකදි කියවෙනවා විද්‍යාව හා කලාව යම් තැනකදි එකතු වෙනව ද එතනදි ජීවිතය සුන්දරත්වයට පිපෙනවා කියලා.”
මිහිදිනීගේ මේ වචන අසා සිටි රේණු මෙසේ කීවා ය.
“උඹේ කටහඬින් ම මේකෙ මුල් ප්‍රකාශත් කරපන් නංගි. එතකොටයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ. උඹට කටපාඩංනෙ මේවා.”
''Attachment to the body is not love.''
''When Science and Art meet, life blossoms into beauty.''
මිහිදිනී ආචාර්ය විනෝභාගේ මුලින් කී අදහස් ඇති එහි ඉංග්‍රීසි පාඨ දෙක මතකයෙන් කීවා ය.
“මේ දෙකත් හොඳයිනෙ තෙන්නකෝන් සර් අපේ ප්‍රකාශ අතරට ගන්න.”
එසේ පැවසුවේ ගඟුල් ය.
“බලන්ඩකො නීලා මේ කොල්ලො කෙල්ලන්ගෙ සාකච්ඡාවෙන් ම ලස්සන ලස්සන දේවල් මතු වෙනවනෙ. ආයි අලුතින් ලියලා ගේන්න දෙයක් නෑ. මට හිතෙන්නෙ තව පැයක් දෙකක් මේ සාකච්ඡාව ගෙනිච්චොත් මුළු ඉස්කෝලෙ පුරා ගහන්න අවශ්‍ය කරන ප්‍රකාශ ටික මේ මේසෙ උඩ තියේවි.”
“ඒක නං ඇත්ත අපේ මහත්තය, මේ වැඩේ දැන් ඉවරයක් ම කරමු. මේ ළමයින්ට ඉන්න ගැටලුවක් නැත්තං. අපි කට්ටියටම රෑ කෑමටත් මොනවා හරි හදාගම්මු.”
“අන්න ඒකනං හරිම වැදගත් අදහසක්. මම නැන්දෙ, නැන්දගෙ යෝජනාව එක පයින් නෙමෙයි දෙපයින් ම අනුමත කරනවා.”
රේණු එසේ කියද්දී ගඟුල් ද මිහිදිනී ද අත් ඔසොවා එය අනුමත කළහ.
“ඊට ඉස්සෙල්ලා තවත් තේ වටයක්.”
සිනාසෙමින් එසේ කීවේ තෙන්නකෝන් මහතා ය.
සාකච්ඡාව මොහොතක විරාමයකට නවතිද්දී සෙමෙන් සෙමෙන් ගඟුල් ළඟට ආ රේණු, සිය දකුණතින් නොරිදෙන සේ ඔහුගේ පිට මැදට පහරක් එල්ල කළා ය. අනපේක්ෂිත පහරින් වික්ෂිප්ත වූ ගඟුල්ට රේණුගේ එබඳු ම දෙවන ප්‍රහාරයකට ද ලක්වීමට සිදුවිය. ඔහු අනතුරුව තෙන්නකෝන් මැතිනිය ළඟක ඇද්දැ යි බැලුවේ එල්ල වන තෙවන පහරකින් ගැලවීමේ අරමුණිනි.
“මිස්ට ගඟුල් බය වෙන්න එපා. වැරදි දෙක යි දඬුවම් දෙක යි. අපි මේ අසාධාරණ විදිහට දඬුවම් දෙන මිනිස්සු නෙමෙයිනෙ.”
“මැඩම් මෙන්න මැඩම්ගෙ හොඳ ලොකු දුව මට ගැහැව්වා.”
ගඟුල් එසේ කියද්දී තෙන්නකෝන් මහත්මිය එදෙසට පැමිණියා ය.
“මට ඇහුණා මට ඇහුණා. මොකක් ද අප්පේ ආපු පළවෙනි දවසෙම මේ දරුවා කරපු වැරදි දෙක.”
තෙන්නකෝන් මහත්මිය සිනාසෙමින් එසේ ප්‍රශ්න කෙළේ මේ ආදරණීය කලහයට බලපෑ හේතූන් දැනගනු රිසියෙනි.
“මේක යි නැන්දෙ. අපේ සර්රුත් අහගෙනයි ඉන්නෙ. මිහිදිනීත් අහගන්න. නැන්දෙ මෙයා ආපු මේ පළවෙනි දවසෙම රටේ ලෝකෙ ලොකු පිළිගැනීමක් තියෙන ශ්‍රේෂ්ඨ කුල කාන්තාවකට අපහාස කළා. ඒක තමයි පිට මැද්දට ඩෝන් එකට හේතුව. ඊළඟට පිට මැද්දට ඩෝන් දෙකට හේතුව. මට රේණු අක්කා හරි රේණු හරි කියන්නැතුව ආපු වෙලාවෙ ඉඳලා හරියට මාව ඩිස්මිස් කරන්න වගේ මිස් මිස් ගෑම. මන් හිතුව දැන් හදා ගනියි දැන් හදා ගනියි කියලා මෙයාගෙ මිස්සෙක. ම්හ් කොහෙද ඒ වැරැද්ද දිගට ම කළා.”
“හරි හරි මන් දෙවෙනි වැරැද්ද පිළිගන්නවා. ඒක පිළි අරගෙන දැන් ඉඳලම රේණු අක්කා හරි රේණු නංගි හරි කියන්නංකො.”
“මේ මේ මට රේණු නංගි කියන්න ඕනෙ නැහැ. මන් උඹට වඩා අවුරුදු තුනක් වැඩිමල් හොඳේ. ඒ වගේ ම ඔය සමහර ගෑනුන්ට පිරිමින්ට වගේ මට මගේ ඇත්ත වයස හංගන්න ඕනෙත් නෑ.”
“ආ මන් කිව්වනෙ අද ඉඳලා ඔයා මගෙ රේණු අක්කා. ඒ උනාට මගෙ අක්කේ. අර වැදගත් ගොඩට නං ඔයාව දාන එක නං.....”
“ඔව් මොකක් ද උඹට තියෙන ප්‍රශ්නෙ.”
“මට නං ප්‍රශ්නයක් නෑ. ඒ උනාට නොවැදගත් කෙනෙක් වැදගත් කියලා කියන එකම ලොකු සමාජ ප්‍රශ්නයක්. ඒක නිසා රේණු අක්කා මේ ඇත්ත තේරුං අරන් පැත්තකට උනානං නේද හොඳ.”
“ගඟුල් මල්ලී මට පේන්නෙ උඹට පිට මැද්දට ඩෝන් තුනත් ඕනෑ වෙලා වගේ.”
“බලන්ඩකො මැඩම් අපේ රේණු අක්කගෙ අසාධාරණ වැඩ.”
“හැබැයි පුතා, රේණු දුවගෙ එක චෝදනාවක් එක්ක මාත් එකග යි.”
“ඒ මොකක් ද මැඩම්.”
“ඔය දැනුත් පුතා කරන්නෙ ඒ වැරැද්ද ම තම යි.”
“ඒ කිව්වෙ මැඩම්.”
“ඒ කිව්වෙ ඔයා මට අම්මා හරි නැන්දා හරි නොකියා මැඩම් කියන එක.”
“හරි හරි මන් දැන් ඉඳල ම රේණු අක්කලා වගේ මැඩම්ට නැන්දා කියල යි කතා කරන්නෙ. හැබැයි සර් නං සර් ම තම යි.”
“ඒක හරි සර් අපි කාටත් ගුරුවරයෙක්නෙ. ඒක නිසා සර් සර් ම තමා. නැන්දා නැන්දා ම යි.”
ඒ ප්‍රකාශය මිහිදිනීගෙනි.
“ගඟුල් සර් ඔයා ගෙනාපු ප්‍රකාශ අතර සමන් සිත්තරාගෙ හරි දැනෙන ප්‍රකාශ කීපයක් ම තියෙනවා. බලන්ඩකො සර් මේ ප්‍රකාශ දෙක.”
මිහිදිනී තවදුරටත් කතාවට මැදිහත් වෙමින් ඒ ප්‍රකාශ දෙක ශබ්ද නඟා කියැවූවා ය.
“ගුරු ජීවිතය උත්තරීතර ය. එය ශිෂ්ටාචාරයක ආලෝකය යි.”
“නිවැරදි අධ්‍යාපනය යනු තරගකාරී විභාගවලින් සමත් වීම පමණක් ම නොවේ. පිවිතුරු අධ්‍යාපනය යනු ජීවිතය නිවැරදි ව හඳුනා ගැනීම යි.”
“මිහිදිනී මිස්.. නෑ මිහිදිනී ඔය ප්‍රකාශවලටත් වඩා අපට දැනුණෙ ඔය ප්‍රකාශ කරපු චරිතෙ. එයා ජීවතුන් අතර ඉන්න කොටත් අපි එයාගෙ චිත්‍ර මූර්ති බලන්ඩ ගිහින් තියෙනවා. ඒවා හරිම අපූරු හරිම සුන්දර චිත්‍ර මූර්ති. හැබැයි අපිට ඒ හැම චිත්‍රයකටත් වඩා හැම මූර්තියකටත් වඩා සුන්දර මූර්තිය, සුන්දර චිත්‍රය උනේ ඒ අය්ය තම යි.”
“පුතා ඔයා ඔච්චර උනන්දුවකින් චිත්‍ර මූර්ති ගැන, ඒවා කරපු චරිතයක් ගැන කතා කරන්නෙ ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?”
“ඔව් මැඩම් මගේ විතරක් නෙවෙයි අපි ගොඩක් දෙනෙක්ගෙ ජීවිතවලට අතිප්‍රබල විදියට බලපාපු චරිතයක් තම යි මේ චිත්‍ර මූර්ති ශිල්පියා.”
“හිටියා කියන්නෙ එයා දැන් නෑ කියන එක ද පුතා.”
“ඔව් මැඩම් අපි පාවිච්චි කරන සාමාන්‍ය අර්ථයෙ හැටියට නං එයා නැහැ තම යි. ඒත් අද අපි අතින් කෙරෙන හොඳ වැඩක් තියෙනව නං ඒ හැම දේක ම ඉන්නෙ එයා.”
“ඒ අද්දැකීම මටත් තියෙනවා. එකට ඉගෙන ගත්ත කාටත් එයා ගැන තියෙන්නෙ මහ ආදරණීය මතකයක්. එයා අපි ඔක්කොට ම හරි හෘදයංගම යාලුවෙක් උනා. වෙලාවකට අපිට අපේ ම සහෝදරයෙක්. තවත් වෙලාවකට අපට හොඳ ගුරුවරයෙක්. තවත් වෙලාවකට තාත්තා කෙනෙක්. අපිට හිතා ගන්නවත් බෑ එක චරිතයක් තුළ මේ ඔක්කොම දෙනා කොහොම ජීවත් උනා ද කියලා. අපේ මහත්තයටත් එයා දවස් දෙකක් හමුවෙලා තියෙනවා. එක දවසක් මාව බලන්න සෞන්දර්යෙට ආපු දවසෙ. අනික ලොකු පුතා හම්බ වෙලා ඉන්න කොට අපේ ගෙදෙට්ට ආපු ගමන. එතකොට අපි හිටියෙ මෙහෙ නෙමෙයි දඹුල්ලෙ.”
“දවස් දෙකක් හම්බ උනාට මුළු ජීවිත කාලෙ ම මතක හිටින මනුස්සයෙක්නෙ නීලා එයා.”
එසේ පැවසුවේ නිහඬ ව මේ දෙබසට සවන් දී සිටි තෙන්නකෝන් මහතා ය.
“මෙච්චර මහ සෙනඟක් ආශ්‍රය කරපු - කරන අපේ මහත්තය අදටත් කියන්නෙ තමන්ගෙ ජීවිතේ දි හමු වෙච්ච සුවිශේෂ ම චරිතය එයා කියල යි.”
“මැඩම් මන් මේ කල්පනා කළේ අපි මේ කතා කරන්නෙ එක ම චරිතයක් ගැන වත් ද කියලා.”
“ඔයාට ඔය තරමට බලපෑව කියන ඒ සර්ගෙ නම මොකක් ද පුතා.”
“එයා සමන්. අපි කිව්වෙ සමන් අය්ය කියලා.”
“සමන් සෞන්දර්යෙ සමන්. අපිට කෑම නැති දවසක් නං ගෙනාපු බත් එක අපට දීලා බඩගින්නෙ හිටපු සමන්. පාර පැන ගන්න බැරුව ඉන්න වයසක කෙනෙක් දැක්කම එයා හිඟන්නෙක් හිඟන්නියක් උනත් අතින් අල්ලගෙන පාරෙන් අනිත් පැත්තට ඇරලවපු සමන්. නැති බැරි කෙනෙකුට බස් එකේ යන්න තියෙන සල්ලි ටික දීලා හිනා වෙවී පයින් ගෙදර ගිය සමන්. එහෙනං මේ එයා ම තම යි.”
“එහෙනං මැඩම් අපිට වඩා වාසනාවන්ත යි. සමන් අය්යත් එක්ක එක ම කාලෙක එකට ඉගෙන ගන්න ලැබිච්ච එකත්.”
“එකට ඉගෙන ගත්ත කියන එක ම නෙමෙ යි මොක ද අපි දෙන්න කළේ විෂය දෙකක්. මම සංගීතේ. එයා චිත්‍ර. මේ අංශ දෙක තිබුණෙ තැන් දෙකක. ඒ උනාට ඇත්ත සහෝදරකංවලට ඒවා අදාළ නැහැ පුතා. එයා මට තදින් ම දැනිච්ච දවස තමයි අපේ දුව උපන් දවස. එතකොට සමන් ජීවතුන් අතර නැහැ. හැබැයි මහ පුදුම විදිහට සමන්ගෙ ලියවිල්ලක් මගෙ අතට ආවා. මට අද වගේ මතක යි ඒ දවස. දුව හම්බ උනේ කාසල් එකේ තුනේ වාට්ටුවෙ දි. මේ තුන හතර වාට්ටු භාර ව හිටියෙ එල්. ඒ. ඩබ්ලිව්. සිරිසේන දොස්තර මහත්තයා. එතුමා සංගීත විශාරද උපාධියත් කරපු කෙනෙක්. එතන මව්පිය මෙහෙවර කියලා වැඩ සටහනක් ක්‍රියාත්මක උනා දෙමාපියන් දැනුවත් කරන. ඒ වැඩ සටහනේ ම කොටසක් හැටියට ඒ නමින් සඟරාවක් නිකුත් කරලා තිබුණා. ඒ සඟරාවෙ තිබුණා අපේ සමන්ගෙ ප්‍රකාශයක්. අලුත උපන්න දුවගෙ මූණ දිහා බල බල අඬ අඬ තම යි මන් ඒක කියෙව්වෙ.”
“ඒ සඟරාව තියෙනව ද මැඩම්.”
“ඔව් දොස්තර මහත්තය ම අපි ඔක්කොට ම ඒකෙන් පිටපත ගානෙ දුන්නා. මට පාඩම් සමන්ගෙ ප්‍රකාශෙ. ඒ උනාට ඉන්නකො ඔයාලට ම කියව ගන්න මන් ඒක ගෙනත් දෙන්නං.”
මෙසේ පවසා නිවෙස ඇතුළට ගිය තෙන්නකෝන් මහත්මිය පෙරළා පැමිණියේ ඒ 4 ප්‍රමාණයට මුද්‍රණය කරන ලද සඟරා පිටපතක් ද රැගෙන ය.
ගඟුල් එය සිය දෝතට ගත්තේ මහත් ගෞරවයකිනි.
එහි මුලින් ම තිබුණේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහතාගේ ප්‍රකාශයකි.
“මේ දේශයට දරුවන් බිහි කරන පුණ්‍ය භූමිය යි.”
පිටුවෙන් පිටුව පෙරළාගෙන ගිය සඟරාවේ තවදුරටත් පිටු පෙරළිම නතර වූයේ සමන්ගේ ප්‍රකාශය හමු වීමත් සමග ය.
“අනේ මැඩම් මේක නේද ඒ ප්‍රකාශය.”
“ඔව් ඕක කියවන්න පුතා, මේ අපේ රේණු මිහිදිනී දුවලට ඇහෙන්නත් එක්ක.”
ගඟුල් පළමු ව කෙළේ ධ්‍යානයකට සම වැදුණාක් මෙන් ඒ ප්‍රකාශය දෙස බලා හිඳීම ය. අනතුරුව මානව වර්ගයා ඇතුළු මුළු මහත් සත්ත්ව සංහතියට - අපරිමිත සොබාදහමට කොන්දේසි විරහිත ව ආදරය කළ, ඒ සත්‍ය ආදරවන්තයාගේ හෘදයවිිහාරී ප්‍රකාශය කියැවීමට පටන් ගත්තේ ය.
“ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව කියතත් ඒ බව පිළිගන්නේ කෙසේ ද?
උගත් නූගත් භේදයකින් තොර ව බොහෝ දෙනෙක් තවමත් කතා කිරීමට රුචි කරන්නේ ස්ත්‍රීන්ගේ දෙතන හා දෙකලවා ගැන ය ; කතා කරමින් සිනහ වෙන්නට ය. නිරුවත් වුණු ස්ත්‍රියක විසින් අපමණ වේදනා විඳ තමන් බිහි කළ බව ඔවුන්ට අමතක ය.
තමන් බිහි කිරීම පිණිස ස්ත්‍රියකගේ දෙකලවා රුධිරයෙන් තෙමුණු බව ද තමන් ජීවත් කරවීම සඳහා ඇගේ දෙතනට කිරි එරුණු බව ද සිහිපත් කරන දිනයක පමණක් ලෝකය දියුණු යයි පවසන්න.”
පරිසරය පුරා පැතිර තිබුණේ සුගැඹුරු නිහඬතාවකි. ඒ නිහඬතාව අතරින් එචරිතය දිවමන් ව නුදුටු දෙහදක හැඟුම එක මුවකින් ප්‍රකාශයට පත් කිරීමෙහි ලා ඉදිරිපත් වූයේ රේණු ය.
“අනේ අපිට අපේ ඇස්වලින් එයා දැක ගන්ඩ ලැබුණෙ නැහැනෙ.”
“නැහැ රේණු අක්කෙ, අපේ භෞතික ඇස් ම ඕනෙ නෑ කෙනෙක් ව දකින්න. ඔයයි මිහිදිනි යි ගැන මේ දවසට දෙකට අහපු දේවල් එක්ක, ඒ වගේ ම අද දවසෙ ඔය දෙන්න මගේ හිතේ ඇති කරපු හැඟීමත් එක්ක, මන් ඔය දෙන්නව ම තියන්නෙ සමන් අය්ය ව දැකපු ගොඩට. ඒ වගේ ම තවත් කෙනෙක් ඉන්න පුළුවන් දැකලා නොදැකපු. අපේ සර්රුයි නැන්ද යි මම දකින්නෙ සමන් අය්ය ව භෞතික වත් ආධ්‍යාත්මික වත් කියන ක්‍රම දෙකෙන් ම දැක ගත්ත චරිත විදිහට.”
මෙතැන් සිට මේ සහෘදය සංසදයේ අවධානය යොමු වූයේ ඒ ආදරණීය සිත්තරා ගැන කතා කිරීමට ය; ඔහුගේ නිර්මාණ ගැන, ප්‍රකාශ ගැන කතා කිරීමට ය. රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැයට ද සමීප වන තෙක් ඇදී ගිය ඒ සාකච්ඡාව නතර කරන ලද්දේ, ගඟුල් තමා එන තෙක් බලා සිටින සුහද සුහදිනියන් සිටින සොඳුරු නිවහනට යා යුතු බැවිනි. ඒ වන විට වසන්ත, ගඟුල් රැගෙන යාම සඳහා නිවහනින් පිටත් ව තිබූ අතර රේණු සහ මිහිදිනී එදින තෙන්නකෝන් නිවහනෙහි රැඳීමට තීරණය කොට තිබිණි.
සංකථන සමාප්තිය සලකුණු කරමින් ගඟුල් කියැවූයේ සමන් සිත්තරා පිළිබඳ ව ඔහුගේ සොහොයුරා විසින් ලියන ලද පහත සඳහන් කවිය යි.
“දියදම් දිනිතියගෙ සුන්දරතා සෙව්වේ
සිතුවම ගීය උපදින තැන් ගැන කිව්වේ
හද තෙළිතුඩිනි ලෝකය අප ළඟ මැව්වේ
ඇයි මේ තරම් සුන්දර දෑසක් නිව්වේ”
✍👍❤️❤....
ReplyDeleteමම එච්චර කාලෙකිං මෙහෙ ඇවිත් නැද්ද :O
ReplyDelete