Wednesday, March 16, 2022

ගුරු දියවර නවකතාව - දසවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                             ගුරු දියවර 10

                                


                         ‘‘ඔබගේ හදවතෙහි මල් පිපුණු විට එහි සුවඳින් මුළු ලොව ම පිරෙන්නේ ය.”

උදෑසන පාසල් බිමට ඇතුළු වන ගඟුල්ගේ දෑසට පළමුවෙන් ලක් වූයේ මේ ප්‍රකාශය යි. මේ ‘හිරෝෂිමාවේ මල්’ නම් ජපන් නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක ඇතුළත් වූ සුන්දර ප්‍රකාශයක සිංහල අනුවාදයකි. මිහිදිනී එවන් ප්‍රකාශ රැසක් සිංහලයට නඟා තිබිණි. තෙන්නකෝන් නිවහනෙහි පසුගිය ඉරිදාවක මැදියම වන තෙක් වූ සහෘදය ප්‍රයත්නයෙහි මල් පිපී තිබේ. හදවත් පහක් සතියක් පුරා ගත් වෙහෙස ය, මේ පාසල් බිමේ සුන්දර ප්‍රකාශ බවට පත් ව තැනින් තැන දිස් වන්නේ. එසිත් අවබෝධ කොට ගත හැකි තවත් සිත් මෙපින් බිම - මෙගම්දොර සිටින බව ගඟුල් මැනවින් තේරුම් ගත්තේ ද මේ කටයුත්තේ දී ය. සති අන්තයක සිය නිවහනට ආ තෙන්නකෝන් පුත් සදුල්, සිය දෙමව්පියන් ඉමහත් උනන්දුවකින් නිරත වන සත් ක්‍රියාව දැක - හඳුනා, තමාට හුරු පුරුදු සෞන්දර්යාත්මක අක්ෂරවලින් ඒ ප්‍රකාශ සකසා දීමෙහි ලා ඉදිරිපත් වූයේ ස්වච්ඡන්දයෙනි. පාසලේ සිටින එක ම චිත්‍ර ගුරුවරයා සිය ශිෂ්‍යයන් ද සමග ඊට සහාය වී අවසන පැවසුවේ වටිනා කාර්යයකට තමාගේත් තම සිසු දරු දැරියන්ගේත් ශිල්ප ඥානය මුසු කරන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව යි. එසේ ම තමා රැඳී සිටින සොඳුරු නිවහනෙහි ද පුංචි සිත්තරියක සිටින බව ගඟුල් දැන ගත්තේ මෙකටයුත්ත නිසා ය. ඒ වසුන්දරා නැඟණිය තුළ සැඟ ව සිටි විශිෂ්ට කලාකාරියගේ දොරට වැඩීම යි.

එපමණක් නොව මෙම කටයුත්ත තවත් සුන්දර සංසිද්ධි කිහිපයකට ද උල්පත විය. වෙසෙස් හදවත්වල පිළිසිඳි උසස් අදහස් මිරිහන්පිටිගම වසන්ත නිවහනෙහිදී හෙළ අකුරු බවට පත් ව පුවරු මත ඇඳෙද්දී පාසලේ ක්‍රීඩා උත්සවයේ කටයුත්තකට ගඟුල්ගේ සහාය ලබා ගැනීම සඳහා පැමිණි ක්‍රීඩා භාර ගුරු අතුල කෙළේ, ඒ කාර්යය මඳකට අමතක කොට මෙම කාර්යයෙහි කොටසක් බවට පත් වීම ය. පළමු ව පසෙකට වී පුවරුගත කිරීමට නියමිත ප්‍රකාශ කියැවීමට පටන් ගත් අතුල එක් ප්‍රකාශයක් ළඟ නතර වූයේ ය. ඒ විදුදය සරසවියේ සම්මානිත මහාචාර්ය මහින්ද පලිහවඩන මහතා, සරසවි දිවිය නිමාකොට විසිර යන සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව අමතා කළ ප්‍රකාශයකි.

‘‘ගුරුවරයාත් ශිෂ්‍යයාත් අතර වෙනසක් තිබිය යුතු නැහැ. මේ දෙදෙනා හදවතින් ම දෙදෙනකු නොව එක් අයෙක් ම විය යුතු යි. ඔබ හා අප අතර ඇති සම්බන්ධය ද එබන්දක් ම වේවා ! ”

මේ ප්‍රකාශය දෙස දෑස් නොපියා බලා සිටි අතුල සිය නිහඬ නිමේශය නිමා කරමින් ගඟුල්ට කතා කෙළේ ය. 

 ‘‘මචං ගඟුල් උඹලා කරන්නෙ නං අදහන්න වටින වැඩක් බං. මේ සමහර ප්‍රකාශ කියවන කොට මට මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. මෙන්න මේ ප්‍රකාශෙ දැක්කම මට මතක් උනේ අපිට පී. ටී. උගන්නපු සර්. අදත් මට මේ ස්පෝට්ස් ඇම්ම ඇති වෙන්නත් ලොකුම හේතුව ඒ සර්. අපි කම්මැලි වෙන කොට අපිට බැන බැන තමයි ක්‍රීඩාවලට යොමු කළේ. හවස් වරුවෙත් ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ක්‍රීඩා පුහුණු කළා. දවසක් අපේ ඉංග්‍රීසි සර් ග්‍රවුන්ඩ් එකට ම ඇවිල්ල සර්ට දොස් කිව්වෙ අපිටත් වදින්න එක්ක. ”

‘‘මිස්ට දිවාකර මුන්ට ක්‍රීඩා විතරක් කරලා හරි යන්නෙ  නැහැ. පුළුවන්නං තමුන්නැහේ උගන්නනවා මුන්ට ඉංග්‍රීසිත්. අපේ සර්, ඒ සර් එක්ක තරහින් එක වචනයක් කිව්වෙ නැහැ. අදටත් මට මොකක් හරි කාරණේකට තද වෙලා මගෙ සීමාව පනින්න එන කොට දිවාකර සර්ව මතක් වෙනවා. එතකොට ඉබේට ම වගේ මාව කූල් ඩවුන් වෙනවා. ඒ ඇත්ත ගුරුවරු මචං. ඉංග්‍රීසි සර් ගියාට පස්සෙ දිවාකර සර් අපෙන් ඇහැව්වෙ තමුසෙලට ඉංග්‍රීසි අමාරු ද ඕයි කියලා. එදත් හවස් වෙනකම්ම ක්‍රීඩා පුහුණු කරපු සර්, අපි ගෙදර යන්න හදන වෙලාවෙ මෙහෙම කිව්වා. තමුසෙලට පුළුවන් ද හෙට උදේ හයහමාර වෙන කොට ඉස්කෝලෙට එන්න. අපි කිව්වා එන්නං සර් කියලා. කොල්ලො කෙල්ලො සර්ට පුදුම විදිහට ආදරේ කළා. ඒක නිසා සර් මොකක් කිව්වත් ඉෂ්ට කරන්න ඕනෙ කියන තැන යි ළමයි හිටියෙ. ”

 ‘‘මටත් හිතෙනව අතුල සර්, ඒ සර්ව දකින්න ඇත්තං කියලා. ”

දැන් ගඟුල් මනසින් ක්‍රීඩාශීලී ප්‍රියජනක ගුරුවරයකුගේ රුව මවාගෙන ය.

 ‘‘කියන්න අතුල සර් ඔය කතාව. මන් බොහොම කැමැත්තෙන් අහගෙන ඉන්නෙ. ”

‘‘මචං ගඟුල්, අපි ඉතින් පහුවෙනිදා උදෙන් ම ගියේ ක්‍රීඩා පුහුණු වෙන්න බලාගෙන. අපේ සමහර යාළුවෙක් කිව්ව සර්ට පිස්සු ද මචං මේ මහ පාන්දර ක්‍රීඩා පුහුණු කරන්න කියලා. අපි යන කොටත් සර් ඇවිල්ල හිටියා. හැබැ්යි හවසට අඳින ක්‍රීඩා ඇඳුමෙන්නං නෙවෙයි. අපිව එදා එක්ක ගියේ ග්‍රවුන්ඩ් එකටත් නෙමෙයි. ග්‍රවුන්ඩ් එකට කිට්ටුව තියෙන ශාලාවේ කෙළවරේ තමයි සර්ගෙ කාමරේ තිබුණේ. ක්‍රීඩා පිළිබඳ යම් යම් කාරණා ළමයින්ට කියලා දෙන්න උනාම සර් පන්ති කාමරේ කර ගත්තෙත් ඒ කාමරේ ම තමයි. ක්‍රීඩා සම්බන්ධ විශේෂ කාරණා අද උගන්නාවි කියන හැඟීමෙන් තමයි අපි එතෙන්ට ගියේ. හැබැයි එදා කළේ ක්‍රීඩා පාඩමක් නං නෙමෙයි. ”

 ‘‘එහෙනං ”

ගඟුල් ප්‍රශ්න කෙළේ ය.

 ‘‘ඉංග්‍රීසි මචං ඉංග්‍රීසි. අපේ ඉංග්‍රීසි සර් කරපු අභියෝගෙට දිවාකර සර් උත්තර දුන්නෙ එහෙම යි. ඉංග්‍රීසි සර්ට මේ වැඩේට කේන්ති ගිහින් තැනින් තැන බැණලා තිබුණත් දිවාකර සර් ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. සර් කළේ සර්ට මාරුවක් ඇවිත් වෙන ඉස්කෝලෙකට යන්න වෙනකම් ම උදේ හයහමාරට ඇවිත් හතහමාරට ඉස්කෝලෙ පටන් ගන්න විනාඩි දහයක් විතර වෙනකං අපට ඉංග්‍රීසි උගන්නපු එක. සර්ට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබිච්ච බව අපි දැන ගත්තෙත් ඒකෙන්. ඉංග්‍රීසි කියන්නෙත් ලස්සන සාහිත්‍යයක් තියෙන භාෂාවක්  කියන එක අපි ඉගෙන ගත්තෙ ඒ සර්ගෙන්. ක්‍රීඩකයෙක් කොච්චර දක්ෂ උනත් විනයක් නැත්තං වැඩක් නැහැ කියන පාඩම අපි ඉගෙන ගත්තෙත් දිවාකර සර්ගෙන්. අයුක්තියක් දැක දැක නිහඬ ව ඉන්න කෙනා කරන්නෙත් අයුක්තියට උදව් කිරීමක්  කියන එක අපි ඉගෙන ගත්තෙත් සර්ගෙන්. සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත මගෙ පන්තියෙ එක යාළුවෙක් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ උගන්නනවා. අපිත් එක්කම ඒ පන්තියෙ හිටපු සහෝදරියක් තමයි අද තණමල්විල අධ්‍යාපන අධ්‍යක්ෂ හැටියට කටයුතු කරන්නෙ. තව යාළුවෙක් මොනරාගල දිස්ත්‍රික්කෙ ක්‍රීඩා අධ්‍යක්ෂ කෙනෙක් හැටියට වැඩ කරනවා.”

  ‘‘අතුල සර් ඒ සර් දැන් කොහෙද ඉන්නෙ. දැන් මට ඔයත් එක්ක ඒ සර්ව බලන්න යන්න හිතිලයි ඉන්නෙ.”

 ‘‘කොහේ හරි ඉන්නව නං එක සැරයක් නෙමෙයි මචං. දසදහස් සැරයක් හොයාගෙන යන්න වටින මනුස්සයෙක් දිවාකර සර් කියන්නෙ. සර් අපේ ඉස්කෝලෙන් මාරු කරලා තිබුණෙ අම්පාර දිස්ත්‍රික්කෙ කෙළවරක තිබිච්ච ඉස්කෝලෙකට. දේශපාලන සම්බන්ධකං තිබිච්ච සර්ගෙ යාළුවො ඒ මාරුව කැන්සල් කර ගන්න කතා කළහම සර් කිව්වෙ ඒවයේ ඉන්නෙත් ළමයිනෙ. මම යන්නෙ සතුටින් ඒක නිසා කවුරුත් කලබල වෙන්න එපා කියලා. සර් යන දවසෙ හරියට ඉස්කෝලෙ මළගෙයක් වගේ උනා. උසස් පෙළ පන්තිවල දඬු කොල්ලො ලොකු කෙල්ලො එදා ඇඬුවෙ පොඩි ළමයි වගේ. සර්ට අපි කොච්චර ආදරේ කළා ද කියන එක දැනුණෙ එදා මචං.”    

 ‘‘අතුල සර් ඔහොම කතා කරන කොට මට මතක් වෙන්නෙ අපේ ගෝමස් සර්ව. චන්ද්‍රසේන ගෝමස්. සර් අපිව සාහිත්‍යයෙන් අපූරු ලෝකෙකට අරගෙන ගියා. ඒ නවයෙ පන්තියෙදි. සර් විද්‍යාරාජෙට ආවෙත් අපි නවයෙ ඉන්න කොට. අපේ පන්ති බාර ගුරුවරයා විදියට සර්ව පත් කරලා තිබුණා අපේ විදුහල්පතිතුමා - මුතුකුඩ සර්. සර්ලා දෙන්න එකම කාලෙක විද්‍යෝදය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත යාළුවො. අපේ අවුරුද්දෙ උසස්පෙළ පන්තියක් පටන් ගන්න මුතුකුඩ සර් කොච්චර දත කෑවත් ඒ අවුරුද්දෙ ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. උසස් පෙළ සමත් වෙච්ච අපි ඉස්කෝල තුනකට බෙදිල ගියා. කොට්ටාවෙ ආනන්දෙටයි පන්නිපිටියෙ ධර්මපාලෙටයි මහරගම විද්‍යාකරේටයි. ඔය අතරෙ රටේ ලොකු දේශපාලන වෙනසක් උනා. ඒක හොඳට වඩා නරක පැත්තට වෙච්ච වෙනසක් බව ශිෂ්‍යයන් වෙච්ච අපටත් දැනුණා. වමට බර ගුරුවරු හිටු කියල මාරු කරන්න ගත්තා. ඉස්කෝලෙ පුනර්ජීවනයක් ඇති කරපු මුතුකුඩ සර්ව උප විදුහල්පති කෙනෙක් කරලා අවිස්සාවේල්ලෙ ඉස්කෝලෙකට මාරු කරල තිබුණා. අපේ ගෝමස් සර්රුත් තමන්ට මාරුවක් අද එයි හෙට එයි කියල යි බලන් හිටියෙ. මේ අතර අපි සර් එක්ක කවියෙන් ලිපි හුවමාරු කරගත්තා. කාට ලියුමක් ලැබුණත් අපි එකිනෙකා ඒ අදහස් බෙදා ගන්න පුරුදු වෙලා හිටියා. අපිට එවන ලියුං සර් අවසන් කළේ මේ  ‘‘සදා නොවෙනස් - ඇදුරිදු මම ය ගෝමස්”කියලා. ඒක අදටත් එහෙමයි. මට කියන්න ඕන උනේ අතුල සර් මාත් එක්ක ම මේ ආනන්දෙට ආපු අපේ පන්තියෙ හිටපු ඉන්දුට එවපු ලියමනක තිබුණ ප්‍රකාශයක්. ඒක අහන කොට ඔයාට දිවාකර සර් මතක් වේවි.”

         ‘‘ඉත්තන් වගේ ඇද්දත් අප සැරින් සැරේ - මහජන සේවයට කැපවෙමි නිරන්තරේ” 

මෙසේ ඒ ආදරණීය ගුරුවරුන් ගැන කතා කරන තරුණ ගුරු සහෘදයන් දෙදෙනාගේ ම දෑස් තෙත් ව තිබිණ. 

දැඩි මතධාරි සැරපරුෂ ගුරුවරයෙකැයි ඇතැම් ගුරුවරුන් විසින් පවසනු ලබන මේ මිනිසාට ඇත්තේ කොයි තරම් නම් සංවේදී මෘදු අධ්‍යාත්මයක් ද? ගඟුල් එතැන් සිට තමාට වඩා වසර දෙක තුනකට පමණක් වැඩිමහල් බව පෙනෙන ක්‍රීඩා ගුරුවරයාට තවදුරටත් සවන් දුන්නේ ය.

‘‘ලස්සන වැඩේ ඒක නෙමෙයි, අර තරං විරෝධෙකින් හිටපු ඉංග්‍රීසි සර්රුත් එදා කම්පනයෙන් හිටියෙ. ඒ සර් අපේ සර් ළඟට ම ගිහිල්ල කතා කරනවත් අපේ සර් කිසිම අහිතෙකින් තොර ව ඒ සර් එක්ක හිනාවෙවී කතා කරන හැටිත් අපි දැක්කා. කලාව ම විෂය හැටියට කරපු අපේ ම ඇතැම් ගුරුවරු ජීවත් වෙන කලාව දැනන් හිටියෙ නැහැ. ඒ වගේ ම භාෂාවන් ම විෂය හැටියට කරපු සමහර උගත්තු මිනිස්සුත් එක්ක ජීවත් වෙන කොට භාෂාව පාවිච්චි කරන්න ඕන විදිහ දැනන් හිටියෙ නැහැ. හැබැයි ඒ එකක්වත් තමන්ගෙ ප්‍රධාන විෂය නොවිච්ච දිවාකර සර් අර කාරණා දෙක ම හොඳට දැනන් හිටියා. ඒ විතරක් නෙමෙයි මචං ගුරුවරයෙක් උනාම පන්ති කාමරේට වෙලා ළමයින්ට විෂය කරුණු කියල දෙන එක විතරක් නෙමෙයි ඒ ළමයි ජීවත් වෙන්නෙ කොහොම ද ඒ ළමයින්ගෙ අම්මල තාත්තල ජීවත් වෙන්නෙ කොහොම ද කියන එකත් ගැන ගැන ගුරුවරයෙක්ට අවබෝධයක් තියෙන්න ඕනෙ කියන එකත් මං ඉගෙන ගත්තෙ දිවාකර සර්ගෙන්.”

‘‘අතුල සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ ධර්මදාස ටීචර්ව. අපිට ටීචර් හෝකන්දර විද්‍යාරාජෙදිත් ඉගැන්නුවා, කොට්ටාව ආනන්දෙදිත් ඉගැන්නුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් ආර්ථිකවිද්‍යාව ගෞරව උපාධියක් ලබලා හිටපු ධර්මදාස ටීචර්ගෙන් තමයි අපි ඉගෙන ගත්තෙ ගැහැනියක් සරල වෙන කොට කොයි තරම් සුන්දර ද කියන කාරණේ. විද්‍යාරාජෙට එනකොට ටීචර්ට අවුරුදු තිහක්වත් නෑ. අටේ පන්තියෙ දි අපේ පන්ති භාර ටීචර් උනෙත් ධර්මදාස ටීචර්. මං කොට්ටාවෙ ආනන්දෙට ගියා ම උසස් පෙළ කරන්න අපිට ආපහු එහෙදිත් අපේ ටීචර්ව හම්බ උනා. ආර්ථික විද්‍යාවෙ තියෙන ගැඹුරු කාරණා පැහැදිලි ව අපිට කියලා දුන්නෙ සූරියආරච්චි ටීචර්. ආර්ථිකවිද්‍යාව සිංහල සාහිත්‍ය පාඩමක් වගේ රසවත් පාඩමක් කළේ ධර්මදාස ටීචර්. විලාසිතා කියන වචනෙ තේරුමවත් ටීචර් දැනගෙන හිටියෙ නැහැ. ඇඳුම් ගොඩ ගහගෙන හිටියෙ නැහැ. තියෙන ඇඳුම දෙක හරි පිරිසුදුවට ඇන්දා. ඒක තමයි ටීචර්ගෙ විලාසිතාව උනේ. අපිත් එක්ක අපේ සහෝදර සහෝදරියන්ගෙ ගෙදරක මරණයක් උනොත් ඉස්සෙල්ල ම යන්න ඉදිරිපත් උනෙත් ධර්මදාස ටීචර්. ඔයාට අතුල සර්, දිවාකර සර් වගේ මටත් අදටත් දැනෙන චරිතයක් තමයි මේ ටීචර්. අදටත් අපිට ටීචර්ව බලන්න යන්න බැරි උනොත් ටීචර් එනවා මොනවා හරි හදාගෙන අපි ව බලන්න. අපි සර් මේ චරිත ගැන මීට වඩා කතා කරන්න ඕනෙ. අපේ දරුවන්ට කියලා දෙන්න ඕනෙ.”

 ‘‘ඇත්ත මචං බැලුවහම අපි කාගෙත් පිටිපස්සෙ මහ පහන් කණු විදිහට අපේ ජීවිත එළිකරපු චරිත තියෙනවා. උඹලා අපි පුරවන්න ඕනෙ ඒ හිස්තැන්. දිවාකර සර් නැතිවෙන්න ඉස්සෙල්ලා මට කියපු ලස්සන කතාවක් තියෙනවා.”

‘‘අනේ ඒ කියන්නෙ දැන් දිවාකර සර් නැද්ද?”

‘‘ඔව් ගඟුල් මොන කරුමයක් ද මන්දා සමහර හොඳ මිනිස්සු හරි ඉක්මණට අපිට අහිමි වෙනවා. සර් ගිහිල්ල කාලයක් යනකම්ම සර් ගැන ආරංචියක් තිබ්බෙ නැහැ. පස්සෙ අපිට ආරංචි උනා සර්ට පිළිකාවක් කියලා. එතකොට මම  විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම කැම්පස් එකේ යාළුවෙකුත් එක්ක සර්ව හොයාගෙන ගියා. සර්ලා හිටපු ගෙදර කවුරුවත් හිටියෙ නැහැ. අපිට ආරංචි උනේ සර්ව මහරගම පිළිකා රෝහලට ගෙනල්ලා කියලා. අපි පහුවෙනිදා දවල් සර්ව බලන්න ගියා. අපිට මුලින්ම හමු උනේ ඒ වාට්ටුව ඉස්සරහ බංකුවක වාඩිවෙලා හිටපු සර්ගෙ නෝනව. අපි ඒ කාලෙ දැකපු ඒ තරුණ මැඩම් වයසටත් වඩා වැහැරිලා තිබුණා. ඒ ගඟුල් අර බාහිරවත් ලස්සන අභ්‍යන්තරයත් ලස්සන ගැහැනියක්. තමන්ගෙ මහත්තයගෙ ශිෂ්‍යයන්ට තමන්ගෙම දරුවන්ට වගේ සලකපු උතුම් ගැහැණියක්.  මිනිස්සු කියන අර්ථෙන් නං ඒ ගොල්ලන්ට ළමයි නැහැ. හැබැයි අපි ඔක්කොට ම තමන්ගෙම දරුවන් විදිහටයි ඒ දෙන්නම සැලකුවෙ. දරුවෙක් නැති ගෑනුන්ට දරුදුක තේරෙන්නෙ නැහැ කියන එක ගොන්ම ගොන් කතාවක් කියන එක ජීවිතෙන් ම ඔප්පු කරපු කෙනෙක් තමයි දිවාකර මැඩම් කියන්නෙ.”

‘‘මාව එකපාරට ම අඳුන ගන්න පුළුවන් උනේ නැහැ මැඩම්ට. මන් ගිහිල්ල වැන්දහම මැඩම් ටික වෙලාවක් මගෙ මූණ දිහා බලන් ඉඳලා අනේ මේ අපේ අතුල නේද, උඹ ආවද කොල්ලො උඹලගෙ සර්ව බලන්න. එහෙම කියලා අපිව සර් ළඟට එක්කරගෙන ගියා. අපිත් එක්ක හරි හරියට සෙල්ලං කරපු ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ දුවද්දි අපිව පරාද කරපු, එහෙම ගැම්ම අරන් දීලා අපේ කොල්ලො කෙල්ලො සමස්ත ලංකා ජයග්‍රහණවලට ගෙනාපු ඒ හතරරියන් පුරුෂය හිටියැයින් බාගයයි. මන් සර් කියලා කතා කළහම කටහඬින් ම අඳුන ගත්තා.”

‘‘මට ඕනෙම වෙලාවකනෙ අතුල උඹ ආවෙ. උඹ දැන් ලොකු මිනිහෙක්නෙ. කවුද මේ විශ්වවිද්‍යාලෙ යාළුවෙක් ද?” 

‘‘සර් මෙහෙම කිව්වෙ මගෙ අතින් අල්ලගෙන අපේ මිත්‍රයට අත දික්කරන ගමන්. ඊට පස්සෙ සර් උඹලා අන්තර් සරසවි වොලිබෝල් තරගෙ ජයග්‍රහණෙ උඹලගෙ විශ්වවිද්‍යාලෙට ගෙනාවා නේද ? කණ්ඩායමේ නායකයා උඹ බව දැනගත්ත ගමන් මන් දැනගත්තා බඩු හරි බව.”

‘‘එහෙම කියලා හරි හය්යෙන් හිනා උනා. ඒක රෝගියෙක්ගෙ හිනාවක් නං නෙමෙයි.” 

‘‘අනේ මහත්තය, ඔයාට හය්යෙන් කතා කරන්න හිනා වෙන්න හොඳ නෑ නේද කියලා මැඩම් කියද්දි, සර් මේ අතුලල එක්ක හිනාවෙන් නැතුව කතා කරන්නැතුව පුළුවන් ද? කෝ වෙනදට ඔයානෙ වීණා අපි කතා කර කර ඉන්න තැනට ඇවිත් අනේ මේ ළමයින්ට දැන් කන්න දෙන්නැද්ද අහන්නෙ. කෝ වීණා අද මේ ළමයින්ට කන්න දෙන්නැද්ද කියලා අහද්දි මැඩම්ගෙ ඇස්වල කඳුළු පිරුණා.”

‘‘අනේ සර් අපේ මැඩම් කොච්චර නං අපේ බඩගින්න බලල තියෙනව ද කියල මන් කියද්දි සර් කිව්වෙ, ඒ තමයි බන් වීණා, මේ මනුස්සයා නැත්තං මං මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.”

‘‘කොල්ලො ඒක නෙමෙයි උඹට පුළුවන් වෙයි ද? මට එක උදව්වක් කරන්න. සර් එහෙම කියද්දි මන් කිව්වෙ අනේ සර් කියන්න මොකක් ද මගෙන් වෙන්න ඕනෙ කියල යි.”

 ‘‘ඒ වෙන කොට අතුල සර්, දිවාකර සර්ලට ගොඩක් අමාරුකං තියෙන්ඩත් ඇති නේද?”

ගඟුල් ඇසී ය. 

 ‘‘ඔව් මචං ඒත් සර් නෙමෙයි ඒ ගැන වචනයක් වත් කතා කළේ. මැඩම් උනත් ආර්ථික අමාරුකම් ගැන කියන්න කැමති උනේ නැහැ. ඒක ඒ දෙන්නගෙම හැටි. හොඳ මිනිස්සු තමන්ට පුළුවන් හැම වෙලාවෙම අනුන්ට උදව් කරනව මිස තමන්ට දේවල් ඉල්ලන්නෙ නැහැ. ඒක නිසාම එහෙම මිනිස්සුන්ට බලෙන් හරි උදව් කරන්න ඕන. මට මචං ඒ අවුරුද්දෙ මහපොල හම්බ උනේ ටිකක් පරක්කු වෙලා. මොකක් ද ඩොකියුමන්ට් ප්‍රශ්නයක් වෙලා. ඒක එහෙම වෙච්ච එක හොඳයි. එදා මන් ඇරියස් එකත් එක්ක ඒක අතට ගත්ත දවස. මැඩම්ට මුදලක් දෙන්න හැදුවට කැමති උනේ ම නැහැ ඒක ගන්න. මන් මොකක් ද දන්නව ද කළේ. කෝ බලන්න මැඩම් අපිට කන්න උයලා දීපු අත් දෙක බලන්න කියලා මැඩම්ගෙ අත් දෙකින් අල්ල ගෙන වියදමට විතරක් පොඩි ගාණක් තියාගෙන අර සල්ලි ටික මැඩම්ගෙ අතේ තියලා ටක් ගාලා එතනින් පැන්නා. මැඩම් ඒක ආපහු දෙන්න මගෙ පස්සෙන් පන්නන කොට මන් කළේ දුවන්න තියා ගත්ත එක. ඊට පස්සෙ මගෙ යාළුවට තේරිලා එයාට දෙන්නයි හදන්නෙ කියලා මිනිහත් එතනින් පැනගෙන. එයාට ඇහුණලු මාව පෙන්නලා අපේ මැඩම් කියනවා අපේ මහත්තයගෙ ගෝලයොත් එක්ක මන් කොහොම දුවන්න ද කියලා.”

‘‘අතුල සර් ඔයා නං අදහන්න වටින මනුස්සයෙක්.”

 ‘‘ඔය වචන ටික ම එදා මගෙ යාළුවත් කිව්වා. ඒ විතරක් නෙමෙයි එයා මට පස්සෙ කාලෙකදි කිව්වා උඹ දන්නව ද මචං එදා පිළිකා රෝහලේ වෙච්ච සිදුවීම එයාගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් උනා කියලා. ඒ වගේ ම එයා එදා කිව්වා උඹේ ඒ හැසිරීම මගේ හෘදය සාක්කිය අවදි කළා කියලා. එයත් ඊට පස්සෙ ඒ වගෙ වැඩ කීපයක් කරලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි මන් කිව්වෙ එදා මගෙන් සර් ඉල්ලීමක් කළා කියලා. ඒ ඉල්ලීම තමයි සර් උගන්නපු අම්පාරෙ ඉස්කෝලෙ ළමයි සමස්ත ලංකා ක්‍රීඩා උත්සවේට යවන්න කරන පුහුණුවීම්වලට උදව් වෙන්න පුළුවන් ද කියන එක. සර් ඒ කටයුතුවල බැහලම ඉන්න කාලෙ තමයි ලෙඩවෙලා තියෙන්නෙ. වැඩිය ඕන්නෑ අතුල දවස් දෙකකට පලයන්. උන්ට වැටෙන්න දෙන්න එපා. උඹට පුළුවන් ඒක කරන්න. මට වෙන මොකුත් උදව් එපා මේක කරලා දීපන් කියලා කිව්වා. මන් ඒ වෙලේ කිව්වා සර් දවස් දෙකක් නෙමෙයි සතියක් දෙකක් හරි ඒ වැඩේට ගත කරන්නං. මේ යාළුවත් හොඳ ක්‍රීඩකයෙක්. තවත් එහෙම යාළුවො ඉන්නව සර්, මට ඒ අයගෙ උදව් ගන්නත් පුළුවන් කියල කිව්ව. මචං කියන්න, ඒක ඇහැව්වහම සර්ගෙ අර මලානික ඇස් දෙක දිලිසෙන්න ගත්ත. ඒ වෙලේ තව ලස්සන වැඩක් උනා. මගෙ යාළුව ගිහිල්ල සර්ගෙ අතින් අල්ලගෙන මෙහෙම කිව්වා.”

‘‘සර් මට සර් ගැන ගොඩක් දේවල් අපේ අතුල කියලා තියෙනවා. සර්ගෙ භෞතික රූපෙ විතරයි අපි දැකල තිබ්බෙ නැත්තෙ. සර් හිතාගන්න සර්ගෙ මේ ගෝලයත් එක්ක තවත් ගෝලයෙක් අම්පාරෙ යනවා කියලා. ඒ කියන්නෙ සර් අතුලත් එක්ක සතියක් දෙකක් නෙමෙයි මාසයක් හරි ඉන්න මාත් යනව කියන එක. ඒ විතරක් නෙමෙයි සර් ක්‍රීඩාවල දි පීඨ භේදයකින් තොරව අපිත් එක්ක එකට වැඩ කරපු  කොල්ලො කෙල්ලො ඉන්නව. ඒ අය අතර අම්පාරෙ දිස්ත්‍රික්කෙ දෙතුන් දෙනෙකුත් ඉන්නවා. කතා කළොත් ඒ අයත් බෑ කියන් නෑ සර්.”

‘‘මගෙ යාළුවා ඔහොම කියද්දි මචං සර්ගෙ ඇස්වලට කඳුළු ආවා. එක අතකින් මගෙ යාළුවගෙ අත අල්ල ගෙන අනික් අතින් මගෙ අත අල්ල ගත්තා. ඊට පස්සෙ මෙහෙම කිව්වා.” 

‘‘මට හරි සතුටුයි අතුල උඹ ඉස්කෝලෙ කාලෙදි වගේ ම මිනිස්සු හම්බ කරගෙන තියෙනවා. උඹලට වරදින් නෑ පුතා. උඹලා කවදා කොයි තනතුරකට ගියත් මේ යාළුකං නැතිකර ගන්න එපා. ඊට පස්සෙ ටිකක් වෙලා අපි දෙන්න දිහාම බලාගෙන ඉඳලා මෙහෙම කිව්වා.”

‘‘පුතා මිනිහෙකුට වෙන්න තියෙන ලොකුම ඛේදවාචකය ධනය බලය තනතුරු නැති වෙන එක නෙමේ තමන්ට තමන් නැති වෙන එක. උඹලා තමන්ට තමන් නැති කර ගන්නැතිව වැඩ කරපල්ලා.”

‘‘දැන් මට දිවාකර සර්ව පේනවා අතුල සර්. ආයි වෙන ම දකින්න ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ.”

‘‘ඒ කියන්නෙ මචං?”

‘‘ඒ කියන්නෙ මට අමුතුවෙන් දිවාකර සර් දකින්න අවශ්‍ය නැහැ කියන එක. මම අතුල සර්ගෙන් දකින්නෙ දිවාකර සර් කියන එක.”

‘‘උඹේ ඔය කතාවම මට ලොකු ගෞරවයක් මචං. ඒත් ඇත්ත දිවාකර සර් කියන්නෙ සමනල කන්ද නං අපි ඇවිල්ල සර් ළඟදි පුංචි ගල් කැටයක් විතරයි. අපි සර් බලලා ඇවිත් වැඩ සැලසුම් කරගත්ත අම්පාරෙ යන්න. අපේ තවත් යාළුවෙක් කැමති උනා අපිත් එක්ක යන්න. අර ගඟුල් මන් උඹට කිව්වෙ දිවාකර සර්ගෙ එක ගෝලයෙක් දැන් මොනරාගල දිස්ත්‍රික්කෙ ක්‍රීඩා අධ්‍යක්ෂ කෙනෙක් විදිහට වැඩ කරනව කියලා. අන්න එයා. ඒ විතරක් නෙමෙයි අම්පාරෙ යාළුවො කීප දෙනෙක් ම අපිට උදව් කරන්න ලෑස්ති වෙලත් හිටියා. හරියට බෝවෙන ලෙඩක් .... නෑ එහෙම කියන එක වැරදියි,  පැතිරෙන හොඳ දෙයක් වගේ අම්පාරෙ යන්න ඕනෙ කියන එක අපේ කොල්ලො කෙල්ලන්ට බෝවෙලා තිබුණා. එයින් සමහර දෙනෙක් අම්පාරෙත් නෙමෙයි.”

‘‘අතුල සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ ගුරුගීතය ලියපු චින්ගීස් අයිත්මාතව්ගෙ අම්මා සහ මිහිකත පොතේ එන ප්‍රකාශයක්. ඒකෙ තියෙනවා සර් මෙහෙම.”

‘‘යහගුණය මහපාරේ තියෙන දෙයක් නෙමෙයි, එය එක මිනිහෙක් තව මිනිහෙක්ගෙන් ඉගෙන ගන්නව කියලා.”

‘‘දැන් මචං ඒක මගෙ යාළුවගෙ ජීවිතේ ආදර්ශ පාඨෙ වෙලා. එයා දැන් ගොඩක් දෙනෙක් වෙනුවෙන් වැඩ කරන මිනිහෙක්. මං අපේ ක්‍රීඩා උත්සවේටත් විශේෂ ආරාධිත අමුත්තෙක් විදිහට එයාව ගෙන්නනවා. ඒ ආරාධනාව කරන්න යන දවසට ගඟුලුත් යමු මාත් එක්ක.”

‘‘අනිවාර්යයෙන් ම මන් එනවා. මාත් කැමතියි එහෙම මිනිස්සුන්ව අඳුනගන්න. එතකොට දැන් එයා මොකක් ද කරන්නෙ අතුල සර්.”

 ‘‘මචං මිනිහා තමයි දැන් මහව උපදිසාපති. බොහොම සිම්පල් මිනිහා. හොඳ ක්‍රීඩකයා. මිනිහා තමයි ඒ දවස්වල මට ඩෑෂ් ගහන්න බෝලෙ උස්සලා දෙන්නෙ. එයා නැති දවසට මමත් අවුට් යනවා. මගෙ ජීවිත කාලෙ මට හම්බ වෙච්ච කල්‍යාණ මිත්‍රයො අතළොස්සෙන් එක්කෙනෙක් තමයි මචං ඒ. උඹව දැක්ක පළවෙනි දවසෙත් මට හිතුණෙ මේ මගෙ ජීවිතේට හම්බ වෙන තවත් කල්‍යාණ මිත්‍රයෙක් කියල යි. ඇවිල්ල දවසයි දෙකයි ගියේ උඹ ඔප්පු කරලා තියෙනවා ගඟුල් වචනවලින් නෙමෙයි ක්‍රියාවෙන් උඹේ කල්‍යාණ මිත්‍රකම. ඒ වගෙම මන් තේරුං ගත්ත තවත් දෙයක් තමයි උඹේ කල්‍යාණ මිත්‍රකම විහිදෙන්නෙ තෝරගත්ත දෙන්නෙක් තුන්දෙනෙක්ට නෙමෙයි මුළු සමාජෙටම කියන එක. දැන් බලපන් මේ වැඩේ. අපරාදෙ කියන්න බෑ මල්ලි අපේ ලොකු සර්ගෙ තේරීම. වැඩේ කරයි ම කියලා හිතෙන දෙන්න බලල ඒ කියන්නෙ උඹට යි මිහිදිනීට යි ඒක බාර දුන්නා. ඒ වගෙම ඒක අධීක්ෂණය කරන්න සුදුසු ම කෙනාට ඒ කියන්නෙ අපේ තෙන්නකෝන් සර්ට ඒ වැඩේ බාර දුන්නා.” 

 ‘‘අතුල සර් තවම කිව්වෙ නැහැනෙ අද විශේෂයෙන් මාව හොයාගෙන ආපු හේතුව.”

‘‘මේකයි මචං, මට අවංක ව ම කට්ට කාගෙන වැඩ කරන්න පුළුවන් කීප දෙනෙක් ඕනෙ. දැනට නදී, සිසිර, රේණු, මිහිදිනී වගේ කට්ටිය ඉන්නවා. අපේ ලොකු සර්රුයි තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමුයි ඉන්නවා මන් ගම කාගන්න නං යන්නෙ බොහොම ආදරණීය මැදිහත්වීමක් කරලා ඒක නිවැරදි කරන්න.”

‘‘මට තවම හරියකට සුමනා මැඩම් ව අඳුන ගන්න ලැබුන්නැහැ. ඒත් අහපු දේවල් අනුව නං බොහොම කරුණාවන්ත කෙනෙක් වෙන්න ඕනෙ.”

‘‘අම්මා මචං අම්මා. තනිකරම අම්මා. මට නාගොල්ලගම දි හමුවෙච්ච දෙවෙනි අම්මා. මන් ආපු දවස්වල මීටත් වඩා තරුණ මදේ මගෙ ඉහට ගහලා තිබුණා. අධ්‍යාපන අධ්‍යක්ෂ හරි කමක් නෑ වැරදි වැඩක් නං කරන්නෙ මට මල පනිනවා. දවසක් එහෙව් අධ්‍යක්ෂ කෙනෙක් ප්‍රසිද්ධියෙ ළමයි ඉස්සරහ පිට මොකක් ද කාරණේකට අපේ තරුණ ගුරුවරියකට බැන්නා. ඒ ටීචර් ඒ වෙන කොට දරුවෙක් ලැබෙන්න යි හිටියෙ. මට යකා වැහුණා. මන් ගිහිල්ල ඒ අධ්‍යක්ෂගෙන් ඇහැව්වා මහත්තයා අම්මා කෙනෙක්ගෙ බඩේ හිටිය ද එහෙම නැත්තං මේ ලෝකෙට ඕපපාතික ව පහළ උනා ද කියලා. මේකට මේ යකාට මාරෙට තද උනා. මිනිහා කියාපි තමන්ගෙ උසස් නිලධාරියකුට කතා කරන්න දන්නෙ නැති තමා සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පිරිවර ගන්නවා කියලා. තමුන්ගෙ ඇඳුම් ලෑස්ති කරගන්නවා තූත්තුකුඩියට යන්න. එහෙම කියලා එතනින් යන්න හදන කොට මන් මිනිහ ළඟට ගිහිල්ලා බොහොම අහිංසක විදියට කිව්වා සර් මාව මාරු කරන්න නේද හදන්නෙ කියලා.”  

 ‘‘දැන් තමන්ට තේරිල වගෙයි තමන්ගෙ මට්ටම. කතා කරන්න එපා තමුසෙල වගේ මිනිස්සුන්ට කරන්න ඕනෙ මොකක් ද කියලා මම දන්නවා කියලා කාටත් ඇහෙන්න බොහොම ලොකු සද්දයක් දාලා කිව්වා.”

‘‘ඒ පාර මන් මෙහෙම කිව්වා. සර් මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද කියලා.”

‘‘ලැජ්ජා නැතුව දැන් එනවා මගෙන් උදව් ඉල්ලන්න. කියනවා බලන්න තමුසෙට ඕනෙ කරන උදව්ව මොකක් ද කියලා.”

‘‘මන් ඒ පාර මුළු ඉස්කෝලෙට ම ඇහෙන්න කෑගහලා කිව්වා. උඹට පුළුවන්නං මාව තූත්තුකුඩියට බැරි නං ඕන බඩකඩුත්තුකුඩියකට දාපන්. හැබැයි උඹ වගෙ අශීලාචාර මහන්තත්ත ගොන් බූරුවෙක් අධ්‍යක්ෂ තනතුරේ ඉන්නෙ නැති තැනක කියලා.”

‘‘ඔයත් මරු වැඩනෙ අතුල සර් කරන්නෙ ඉතින් ඊට පස්සෙ මොකක් ද උනේ.”

‘‘පොරට තද වෙච්ච පාර නැවතුණේ වාහනේට ම ගිහිල්ලා. ඒකෙ ප්‍රතිඵල බොහොම ඉක්මනට ආවා. මට විරුද්ධ ව විනය පරීක්ෂණයක් කැඳෙව්වා. මන් ගියා. යන්න ඉස්සෙල්ල ලොකු සර් මට අවවාද කළා පරිස්සමින් වැඩ කරපන් කියලා.”

‘‘දිස්ත්‍රික්කය භාර අධ්‍යක්ෂතුමා ටිකක් වෙනස් මනුෂ්‍යයෙක්. එයාට ඕනෙ උනේ අර කොට්ඨාශ අධ්‍යක්ෂගෙන් මට සමාව ගන්න සලස්සලා මාව  මාරු කරන එක නොකර ඉන්න.”  

‘‘ඔව් සර් මට ලොකු වැරදීමක් වෙලා තියෙනවා. ඒ නිසා මන් කැමතියි සර්ගෙ ඉස්සරහ දිම ඒ සමාව ගැනීම කරන්න කියලා. ඒ වෙලාවෙදිම අධ්‍යක්ෂතුමා අර කොට්ඨාශ අධ්‍යක්ෂ ව ගෙන්නුවා. එයා ඉඳගත්තට පස්සෙ කිව්වා, මේ ගුරුවරයා එදා වෙච්ච සිදුවීම ගැන දැන් සමාව ගන්න ලෑස්ති යි. මේ තවම තරුණ ගුරුවරයෙක්නෙ. අපි ඒක පිළිඅරන්  ඔන්න ඕක අමතක කරලා දාමු කියලා.” 

‘‘මට මෙයා ගැන කිසිම පැහැදීමක් නැති උනත් සර් ගන්න ඕන තීරණේකට මන් එකග යි කියලා ඒ මිනිහ කිව්වා.”

‘‘එහෙනං මිස්ට අතුල කියලා අධ්‍යක්ෂතුමා මගෙ පැත්තට හැරුණා. අපරාදෙ කියන්න බැහැ මචං ඒ අධ්‍යක්ෂතුමා හැම තිස්සෙ ම ගුරුවරු කියන ජාතියටත් ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා කියලා හිතලා තමයි හැම තිස්සෙම කතා කළේ.”

‘‘මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා. එහෙම නැගිටලා ගිහිල්ලා දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමාට සර් කියලා කතා කළා. සර්, මේ බඩදරු අම්ම කෙනෙකුටවත් කතා කරන්න දන්නැති මේ මහන්තත්ත අශීලාචාර මිනිහට ගොන් බූරුවෙක් කියලා මං කිව්වා. ඒකෙන් සර් ඒ අහිංසක ගොන්නුන්ට යි බූරුවන්ටයි යම් අපහාසයක් සිත් රිදීමක් උනා නං ඒ අසරණ සත්තුන්ගෙන් මං දසදහස් වාරයක් සමාව ඉල්ලනවා කියලා කිව්වා.”

‘‘දැක්ක ද සර් මේ ජඩයා සර්ගෙ ඉස්සරහදිම මට කතා කරන හැටි කියලා අධ්‍යක්ෂතුමාගෙ ඉස්සරහදිම අර මනුස්සය මට ගහන්න පැන්නා. දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමා මැදිහත් වෙලා ඒක නැවත්තුවා. අර මනුස්සයට එළියට යන්න කියල මට නවතින්න කිව්වා ටිකක් සැරෙන්. ඔන්න ඔය වෙලාවෙ මහ අමුතු වැඩක් උනා. පියන් කෙනෙක් ලියුමක් ගෙනල්ලා මේක මේ දැන් ම සර්ගෙ අතට පත් කරන්න කිව්වා කියලා කිව්වා. ඒක බල බල හිටපු ඒ සර්ගෙ ඉරියව් බලන් ඉන්දැද්දි වෙනස් උනා. ටිකක් වෙලා ඉඳලා මට කිව්වා මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න එතුමට මූඩ් එකක් නැහැ කියලා පහුවදා දවල් දෙකට ඇවිල්ල එතුම ව හම්බ වෙන්න කියලා. මන් ඉතින් එතනින් නැගිටලා මගෙ නවාතැනට ආවා.”  

 ‘‘මොකක් ද දන්නෙ නැහැ අර ලියුම.”

‘‘ඒකත් හරි ලස්සණ වැඩක් බන්. ඒක එවලා තිබුණෙ අපේ ලොකු සර් දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමාට. මගෙ සිද්දිය ගැන වචනයක්වත් ලියන් නැතුව, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මගෙ පාසලේ ගැබිණි ගුරුවරියකට ප්‍රසිද්ධියේ අපහාස කළා ය කියන කාරණයත් ඒ සම්බන්ධයෙන් විනයානුකූල පරීක්ෂණයක් කරන්න කියලත් සිද්ධිය දැකපු ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙක් ම ඇසින් දුටු සාක්කි ඉදිරිපත් කරන්න ලෑස්ති වෙලා තියෙනවා කියලත් ඔබතුමා මේ පිළිබඳ ව වහාම ක්‍රියාත්මක වේවි ය කියන එක බලාපොරොත්තු වෙනවය කියන එකත් අර ලියවිල්ලෙ තිබිල තියෙනවා. මන් ඔය ඔක්කොම දැන ගත්තෙ පස්සෙ දවසක ගුණවර්ධන සර්ගෙන්. මන් බලාපොරොත්තු උනෙත් නැහැ ඔහොම දෙයක්. කවුද බන් අවදානම තමන්ගෙ අතට අරන් අධ්‍යාපන අධ්‍යක්ෂලත් එක්ක හැප්පෙන්න යන්නෙ. කොහෙ ද බන් තනි ගුරුවරයෙක් වෙනුවෙන් තමන්ගෙ රස්සාව අවදානමට ලක් කර ගන්න කැමති විදුහල්පතිලා ඉන්නෙ. අනිත්තෙක ලොකු සර් මුලින් ම කළේ මාව ගෙනල්ලා කවුරුවත් නැති තැනක දි මට බැණපු එක. මට කිව්වෙ බලපන් අතුල උඹ දාගන්න ලෙඩ කියලා. හැබැයි ගූණවර්ධන සර් එක්ක කියලා තිබ්බා අතුලගෙ සිද්දියට මුහුණ දුන්නෙ මන් නං මන් කරන්නෙත් ඕක තමයි කියලා. එදා ගොඩක් වෙලා කල්පනා කර කර හිටපු ලොකු සර් නපුරු හීනයක් දැකලා අවදි වෙච්ච කෙනෙක් වගෙ ලියමනක් ලියාගෙන ලියාගෙන ගියාලු. ඊට පස්සෙ මිස්ට ගුණවර්ධන, අද නේද අර කොලුවගෙ විනය පරීක්ෂණේ පුළුවන් තරං ඉක්මනට ඔයාම මේ ලිපිය ගහලා මගෙ අතට දෙන්න කිව්වලු. මේ ලියමන අරගෙන දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාලෙට ගිහින් තියෙන්නෙත් ලොකු සර් ම යි.” 

‘‘සාමාන්‍යයෙන් වෙන්නෙ නැති වැඩක්නෙ අතුල සර්, තමන්ගෙ ගුරුවරයෙක්ගෙ ගැලවීම වෙනුවෙන් ලොකු සර් කරලා තියෙන්නෙ.”

‘‘සාමාන්‍යයෙන් නෙමෙයි බන් අසාමාන්‍යයෙන්වත් නොකෙරෙන දේවල් තමයි බන් අපේ ලොකු සර් කරන්නෙ. එහෙම කොන්දක්. කොඳු කැඩිච්ච කොඳු කඩපු සමාජෙක ඉන්න අපිට අපේ අපේ ලොකු සර් කියන්නෙ කන්දක් වගේ කොන්දක් තියෙන මිනිහෙක්.”

‘‘ඉතිං ඊට පස්සෙ මොකක් ද උනේ අතුල සර්.” 

‘‘දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමා ලොකු සර්ට එන්න කියලා තිබුණා ඒ සර්ගෙ කාර්යාලයට. කොට්ඨාශ අධ්‍යක්ෂවරයත් ගෙන්නලා තිබුණා එහෙට.”

‘‘දැන් මම, ඔබතුමාලා දෙන්න ම එක තැන තියලා කතා කරන්නෙ ඔය දෙන්නම මගෙන් ඉල්ලීම් කරලා තියෙනවනෙ විනයානුකූල පරීක්ෂණ කරන්න කියලා. එතකොට එක ඉල්ලීමක් කරන්නෙ මහව කොට්ඨාශ අධ්‍යක්ෂවරයා. අනික ඒ කොට්ඨාසෙම පාසලක විදුහල්පතිවරයා. එතකොට මට බැහැ එකක් යට ගහලා එකකට විතරක් පරීක්ෂණ තියන්න. දැන් ඔය දෙන්නට මේ ගැන මොකක් ද කියන්න තියෙන්නෙ කියලා අහලා තියෙනවා. දෙන්නම ටිකක් නිහඬ ව කල්පනා කරන කොට දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමා කිව්වලු මන් කැමති යි ඉස්සෙල්ල ම විදුහල්පතිතුමාගෙ අදහස දැනගන්න කියලා. උඹ දන්නව ද ගඟුල් ලොකු සර් ඒකට දීලා තියෙන උත්තරේ.”

‘‘මට හිතාගන්න බැහැ. ඒත් අර කොට්ඨාශ අධ්‍යක්ෂට ම තීරණයක් ගන්න හිතෙන විදියෙ උත්තරයක් නං දෙන්න ඇති.” 

‘‘උඹ හරියට ම හරි ගඟුල් ඒක ම තමයි වෙලා තියෙන්නෙ.”

‘‘ලොකු සර් කිව්වලු ඒ ගුරුවරයා කැමති යි ඔබතුමා කරන සාධාරණ විනය පරීක්ෂණයකට ඕනෙ ම මොහොතක මුහුණ දෙන්න. ඒ දෙන තීරණය මොකක් උනත් ඒක පිළිඅරන් වැඩ කරන්න. මට පේන හැටියට මිනිහ හිතාගෙන ඉන්නෙ ඈත දුර පළාතකට එයාව මාරු කරයි කියලා. අන්න දැන් ම ඉඳලා මිනිහ සූදානං වෙනව ඒකට. මේ අධ්‍යක්ෂතුමාල අපි වගේ නෙමෙයිනෙ සර් තවම කොල්ලොනෙ. මන් කිව්වහම දැන් අතුල විනය පරීක්ෂණෙන් වැරදිකාරයා කරලා දුරපළාතකට මාරු කළොත් මොක ද කරන්නෙ කියලා මිනිහ කියනවනෙ, ඉතිං මරුනෙ සර්. වෙනසකට මාත් හරි කැමැත්තෙන් ඉන්නෙ කියලා. ලොකු සර් මෙහෙම කියනකොට අර අධ්‍යක්ෂතුමාගෙ මූණෙ තැනින් තැන හීනියට දාඩිය බින්දු මතු වෙනවා දැක්කලු. ඊට පස්සෙ මිනිහ කිව්වලු. පොඩි එකෙක්ගෙ නෝබිනා වැඩක් කියලා හිතලා මන් මගෙ ඉල්ලීම ඉල්ලා අස්කරගන්නං විදුහල්පතිතුමත් ඕක අහක් කර ගන්න කියලා.”

 ‘‘එතකොට ලොකු සර් මොක ද කියලා තියෙන්නෙ.”

ගඟුල් විමසීය. 

 ‘‘සර්රුත් මාර බඩුවක් මචං. ලොකු සර් කිව්වලු මට එහෙම තීරණේකට එන්න බැහැ. ඇරත් ඉතින් ඒ ගුරුවරයත් ඕනෙම තත්ත්වයකට මුහුණ දෙන්න බලන් ඉන්න එකේ අපි සර් මේ විනය පරීක්ෂණ දෙක ම කරලා දාමු කිව්වලු දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමාට. ඊට පස්සෙ ලොකු සර් එතනින් නැගිටලා කාර්යාලෙ යාළුවෙක් දෙන්නෙක් එක්ක කතා කරලා එළියට එනකොට මග රැකගෙන හිටපු කොට්ඨාශ අධ්‍යක්ෂතුමා අනේ මිස්ට අපි එළියට ගිහින් පොඩ්ඩක් කතා කරමු ද කිව්වලු. එතකොට අපේ සර් කිව්වලු එළියට ගිහින් කතා කරන්න දෙයක් නැහැනෙ ඇතුළෙ දි අපි කතා කරන්න ඕන දේවල් කතා කළානෙ දැන් අපි විනය පරීක්ෂණ දෙකට මුහුණ දෙමු. එහෙම කියලා එනකොටත් මෙයා පස්සෙන් ඇවිත් බැගෑපත් වෙනවලු, අනේ විදුහල්පතිතුමා මේක කොයි පැත්තට කැරකෙයි ද කියලා කියන්න බැහැනෙ. මමත් දරුවො තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්නෙ ඒක ගැනත් හිතලා ඔය ඉල්ලීම ඉල්ලීම ඉල්ලා අස්කරගන්න. මමත් මගෙ චෝදනාව අහක් කරගන්නං කියලා.” 

‘‘එතකොට අපේ විදුහල්පතිතුමා මොකක් ද කියල තියෙන්නෙ.”

‘‘අපේ ලොකු සර් තමයි දවසකටවත් මිනිහ. එතකොට සර් කිව්වලු, මට මේකට එක පාරට ම උත්තරයක් දෙන්න බැහැ, මොකද අපේ ගුරුවරුන්ගෙන් ලොකු පිරිසකුත් ඔබතුමා එදා කතා කරපු විදිහ විතරක් නෙමෙයි ඒ ගොල්ලන්ට සමහර අවස්ථාවල දි ඔබතුමා කතා කරපු විදි ගැනත් සාක්කි දෙන්න බලාගෙනයි ඉන්නෙ. එහෙම ඉන්න වෙලාවක මන් ඔය චෝදනාව අහක් කර ගත්තොත් ඔය මිනිස්සු ටික මගෙ ඔලුව යි කන්නෙ කියලා. ඒ වගෙම ඔබතුමාගෙ වැඩ ගැන අපැහැදීමෙන් ඉන්න මේ අධ්‍යාපන කාර්යාලෙ කීපදෙනෙකුත් මේ කාරණේ දි ඔබතුමාට විරුද්ධ ව සාක්කි දෙන්න ලෑස්තියි. කොහොමත් මට තේරෙන විදිහට හැම පැත්තෙන් ම වැඩ සිද්ද වෙන්නෙ ඔබතුමාට අවාසි විදිහට යි කියන එක නං මට පැහැදිලි යි කියලත් කිව්වලු. එතකොට අර මනුස්සය මහ අසරණ විදිහට කිව්වලු අනේ විදුහල්පතිතුමා ඔබතුමාට පුළුවන් මේක විසඳලා දෙන්න, ඒක නිසා මේකට මැදිහත් වෙලා මොකක් ම හරි කරන්න කියලා. අපේ සර්ට ඒ වෙලේ ටිකක් දුකත් හිතුණලු. ඊට පස්සෙ සර් කිව්වලු, හොඳයි අධ්‍යක්ෂතුමා මන් උත්සාහ කරලා බලන්නං ඒත් ඒ අයගෙ තීරණේ මොකක් වෙයි ද කියලා මට කියන්න බැහැ, මොකක් උනත් ඒ ලැබෙන උත්තරේ පුළුවන් තරං ඉක්මනට අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමාට දන්නන්නං කියලා සර් එතනින් පිටවෙලා ආවලු.”

‘‘ලොකු සර්රුත් මාරම වැඩ තමයි කරන්නෙ. ඉතිං සර් ඊටත් පස්සෙ මොක ද උනේ.”

‘‘ඇත්තට ම ගඟුල් හැම දේම හොඳ විදිහට සිද්ද උනා. චෝදනා දෙක ම දෙපැත්තෙන් ඉල්ලා අස්කර ගත්තා. වෙච්ච හොඳම වැඩේ අර අධ්‍යක්ෂවරයාගෙ වෙච්ච වෙනස. අපි කාටත් ඊට පස්සෙ දකින්න ලැබුණෙ අර මහන්තත්ත අධ්‍යක්ෂ නෙමෙයි. ඊට වඩා සපුරා වෙනස් චරිතයක්. හැබැයි ලොකු සර්ගෙන් මටනං අමුතු ම දඬුවමක් ලැබුණා.”

‘‘ඒ මොකක් ද අතුල සර්.”

‘‘සර් මට දවසක් ඔෆිස්සෙකට එන්න කියලා මෙහෙම කිව්වා. ඔයාට අතුල කොට්ඨාශ කාර්යාලෙන් හරි කලාප කාර්යාලෙන් හරි දිස්ත්‍රික් කාර්යාලෙන් හරි දඬුවමක් නොලැබිච්ච එකේ මන් තීරණය කළා මේකෙ විදුහල්පති හැටියට ඔයාට දඬුවමක් දෙන්න. මන් දන්නවා ඔයා ඉස්කෝලෙ කාලෙදිත් විශ්වවිද්‍යාල කාලෙදිත් බොහොම දස්සකම් පෙන්නපු ක්‍රීඩකයෙක් බව. මම තීරණය කළා මේ ඉස්කෝලෙ ක්‍රීඩා කටයුතු බාර ගුරුවරයා විදිහට ඔයාව පත් කරන්න කියලා. හැබැයි ඔයාගෙ ප්‍රධාන විෂය කෘෂිකර්මෙට අමතර ව යි කියලත් කිව්වා. මොක ද ඔයා මේකට කියන්නෙ කියලත් ඇහැව්වා. වතුරට දාන්න ද කියලා ඇහැව්වහම ඉබ්බ ඇන්නෑවයි කිව්වලු. මචං මන් පැනලා කිව්වා මන් කැමතියි සර් කියලා. ඒ පාර ලොකු සර් කියනවා එහෙනං අතුල අවුරුදු දහයකින් වත් මේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවයක් තියලා නැහැ. ළමයින් ව පුහුණු කරලා ඒකට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඔහොමයි මචං මම ක්‍රීඩා බාර ගුරුවරයා උනේ. බාර ගත්ත වගේ නෙමෙයි ගොඩක් වැඩ තියෙනව කරන්න. මට උඹලගෙ සපෝට්ටෙකත් ඕනෙ. ඒකට තමයි මන් මේ තකහනියෙ උඹ ව හොයාගෙන ආවෙත්. ඒත් උඹලා එකතු කරලා තියෙන ලස්සන ලස්සන ප්‍රකාශ දැක්කහම මට හිතුණෙ ඔක්කොට ම ඉස්සෙල්ල ඒකට උදව් කරල ඉන්න.”

‘‘නෑ නෑ අතුල සර් කියන්න අපිට මොකක් ද වෙන්න ඕනෙ කියලා. අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි උදව් කරන්නං. මේ වැඩේ ගැන සර්ලා බරක් ගන්න එපා.”

‘‘කතා කරන්න එපා අපි ඔය වැඩේ කරන්න ම ඕනෙ. අපේ චිත්‍ර සර්රුයි චිත්‍ර කරන කොල්ලො කෙල්ලොයි අල්ල ගෙන මන් නදිත් එක්ක ඔය වැඩේ කරන්නං. දීපං ඔය ප්‍රකාශ ටික මගෙ අතට. වරෙන් ලබන සඳුදා උදෙන් ම ඉස්කෝලෙට. උඹලා මහන්සි වෙලා හොයාගත්ත දේවල් ඒවට ගැළපෙන ගැළපෙන තැන්වල තියේවි. උඹට තියෙන්නෙ ඒවා කියව කියව ඉස්කෝලෙ වටේ යන එක.”

‘‘අතුල සර් අපි කොහොම ද දන්නෙ චිත්‍ර සර් කැමති වෙයි ද, සර්ට වෙලාවක් තියෙයි ද, සර් තමන්ගෙ ශිෂ්‍යයන් ව ඔය වැඩේට යොදවන්න කැමති වෙනව ද කියලා.”

‘‘අනිවාර්යයෙන් ම කැමති වෙනව  මචං අනිවාර්යෙන් ම. මන් පුද්ගලයා ගැන දන්න හින්ද යි කියන්නෙ. අපි සර්ට කියන්නෙ නිහඬ උදව්කරු කියලා. සර්ට දැනුණොත් මේක උදව් කරන්න ඕනෙ වැඩක් කියලා සර් මොන වැඩ තිබුණත් ඉදිරිපත් වෙනවා. ඒක එහෙම කළයුතු දෙයක් නෙමෙයි කියලා හිතුණොත් ශක්‍ර දේවේන්ද්‍රයො පාණ්ඩුකම්බල ශෛලාසනෙන් බැහැලා ඇවිත් අනේ චිත්‍ර සර් මේක කරන්න කියලා සර් නෙමෙයි ඒක කරන්නෙ.”

‘‘හරි කලාකරුවෙක් ගාව තියෙන්න ඕන කශේරුකාව තියෙන කෙනෙක්නෙ එහෙනං මේ චිත්‍ර සර්.”

 ‘‘කියලා වැඩක් නෑ මචං ඒ ගැන. මේ සර් කලින් උගන්නපු ඉස්කෝලෙ වෙච්ච සිද්ධියක් මට කිව්වා මේ චිත්‍ර සර්ගෙම යාළුවෙක්. එයා සෞන්දර්යෙ චිත්‍ර සර්ලත් එක්ක ම ඉගෙන ගත්ත කෙනෙක්. දැන් මිනුවන්ගැටේ මහ විද්‍යාලෙ චිත්‍ර ගුරුවරයා විදිහට වැඩ කරනවා. අපේ මේ චිත්‍ර සර්ගෙ පළවෙනි පත්වීම ලැබිල තියෙන්නෙ පොළොන්නරුවෙ ඉස්කෝලෙකට. දවසක් විදුහල්පතිතුමා මේ සර්ට එන්න කියලා කිව්වලු. අපේ මහ ඇමතිතුමා තව දවස් අටකින් නිරීක්ෂණ චාරිකාවක් යන ගමන් මේ ඉස්කෝලෙටත් එනවා. ඒක අපිටත් ගෞරවයක්. ඔයා චිත්‍ර කරන ළමයි ටිකත් අරගෙන එතුමගෙ හිත ඇදිලා යන විදිහට එතුමව පිළිගන්න තොරණක් ගහන්න කියලා.”

‘‘උඹට හිතාගන්න පුළුවන් ද චිත්‍ර සර් දුන්නු උත්තරේ. චිත්‍ර සර් කෙළින් ම කියලා, මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ අවුරුදු හතරක් ඉගෙන ගෙන චිත්‍රවලට උපාධියකුත් අරගෙන ආවේ මේ අහිංසක ළමයින්ට උගන්නන්න මිසක් ඒ ළමයිනුත් එක්ක එක එක දේශපාලකයන්ට තොරන් ගහන්න නෙමෙයි කියලා.”  

 ‘‘ඉතිං සර් ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ.”

‘‘ඊට පස්සෙ ද ඊට පස්සෙ වෙලා තියෙන්නෙ අර දේශපාලකයන්ට ගැතිකං කරලා මුල්පුටුවලට ආපු අයට සාමාන්‍යයෙන් වෙන දේ තමයි ඒ විදුහල්පතිතුමාට වෙලා තියෙන්නෙත්. විදුහල්පතිට හොඳට ම කේන්ති ගිහිල්ල කිව්වලු. ඔය තමන් ප්‍රතික්ෂේප කරන්නෙ තමන්ගෙ විදුහල්පතිවරයා තමන්ට පවරපු රාජකාරියක් නේද කියලා. එතකොට චිත්‍ර සර් කියලා තිබුණා. ඔබතුමා මම මේ ඉස්කෝලෙ වැඩ බාර ගත්ත දවසෙම  මේකෙ විදුහල්පතිවරයා විදිහට මට කාල සටහනක් දුන්නා. මන් ඒ කාල සටහනට අනුව ඉගැන්නුවා. දැනුත් උගන්නනවා. ඊට අමතර ව මට ඉඩකඩ ලැබෙන විදිහට අමතර වෙලාවල්වලත් ඉගැන්නුවා. අන්න මට දුන්න කාල සටහනේ වැඩ මන් පැහැර ඇරියනං ඔබතුමාට පුළුවන් රාජකාරිය පැහැර හැරීම යටතේ මට චෝදනා කරන්න. මේ කොහෙවත් යන දේශපාලකයන්ට තොරන් ගහන එක කොහොම ද මගෙ රාජකාරියෙ කොටසක් වෙන්නෙ.”

‘‘මේ සරත් මහත්තයා, අපේ මහ ඇමතිතුමා කොහොමද කොහෙවත් යන දේශපාලකයෙක් වෙන්නෙ. නිකන් මෝඩ වැඩ කරන්නෙ නැතිව වැඩේට ලෑස්ති වෙන්න. චිත්‍ර ළමයින්වත් යොදවන්න මේකට. මට යන වියදම දළ විදිහට කිව්වහ ම හරි. මට පුළුවන් ඉස්කෝලෙ සල්ලිවලින් ඒකට ප්‍රතිපාදන වෙන් කරන්න.”

‘‘සර් ඉස්කෝලෙ සල්ලි තියෙනවනං අන්න අර ක්‍රීඩා සර් ඒ ළමයින්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ වගයක් ගන්න බැරිව ඉන්නවා. ඔය ප්‍රතිපාදන යොදවන්න අන්න ඒ වැඩේට.” 

‘‘සරත් ඉස්සෙල්ල කියනව මට, මේ ඉස්කෝලෙ විදුහල්පති තමුසෙ ද මම ද ?”

‘‘සර්නෙ විදුහල්පති මම චිත්‍ර සර්නෙ. ඇයි සර්ට අමතක උනා ද ඒක.”

‘‘ඒක මට අමතක නෑ. තමුසෙයි ඒක අමතක කරලා තියෙන්නෙ. ඒක නිසා මාව නරක මිනිහ නොකර ළමයිත් එක්ක ලෑස්ති වෙනවා තොරණ ගහන්න. ඒක කරන්නැත්තං නිදහසට කරුණු කියලා හෙට ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ල මට ලියුමක් දෙනවා.” 

‘‘විදුහල්පතිතුමා, මන් තොරණ ගහන්නෙත් නෑ. මගෙ ශිෂ්‍යයන් ව ඒකට යොදවන්නෙත් නෑ. යොදවන්න දෙන්නෙත් නෑ. ඒ වගේම අර ඔබතුමා කියපු නිදහසට කරුණු ලිපියක් දෙන්නෙත් නෑ.”

 ‘‘තමුසෙ වහ කෑවා කියල හිතා ගන්නව කියලා හරිම කේන්තියකින් තමයි ඒ විදුහල්පති එතනින් ගිහින් තියෙන්නෙ. ඉතිං මට විශ්වාස යි ගඟුල්, චිත්‍ර සර් ඕ ගොල්ලන්ගෙ මේ වැඩේ දකින්නෙ නං ඊට වෙනස් විදිහට. මට සීයට සීයක් ම විශ්වාස යි ඒ සර් මේ වැඩේට නං අනිවාර්යයෙන් ම උදව් කරනවා.”

ගඟුල් මේ මොහොතෙහි දකිමින් සිටින්නේ චිත්‍ර ගුරුවරයා ඇතුළු ඔහුගේ ශිෂ්‍ය ප්‍රජාව අතින් ද සදුල් තෙන්නකෝන් තරුණ කථිකාචාර්යවරයා අතින් ද වසුන්දරා නැගණිය අතින් ද ඇඳී, අතුල සහ නදී යන ගුරු සහෘදයන් ඇතුළු ඔවුන්ගේ ශිෂ්‍ය ප්‍රජාව විසින් පාසල් බිම තැනින් තැන පිහිටුවනු ලැබ ඇති ප්‍රකාශ යි.

‘‘ගඟුල් සර් භාවනා කරනව ද ප්‍රකාශ කියවනව ද?”

ගඟුල් කල්පනා ලොවින් මෑත් වූයේ සිය සමීපයෙන් ඇසුණු මිහිදිනීගේ කටහඬිනි. 

‘‘ආ මිහිදිනී ඔයත් අද මෙච්චර උදෙන්. අද මොකක් හරි විශේෂ වැඩක් තියෙනව ද ඔයාට.”

‘‘නෑ ගඟුල් සර් මන් මේ උදෙන් ම ඇවිල්ල කරන්නෙ ඔයා කරන දේ ම තම යි.” 

‘‘ඒ කිව්වෙ මට තේරුණේ නැහැ.”

‘‘නෑ මන් කරන්නෙත් මේ වෙලාවෙ මේව බල බල නිරාමිස සතුටක් විඳින එක. ඒක නෙමෙයි ද ගඟුල් සර් ඔයා මේ කරන්නෙත්.”

‘‘ඔයා කියපු එක ඇත්ත මිහිදිනී, හොඳ වැඩක් කරලා ඒකෙ ප්‍රතිඵල පේන කොට හරි සතුටක් දැනෙනවා. බලන්න අතුලල නදීලා අපේ චිත්‍ර සර් අපේ ළමයි පෙරලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නැතුව ලස්සනට වැඩ කරලා තියෙනවා. මිහිදිනී, අපි ඉස්කෝලෙකින් දෙන්න ඕන ඔන්න ඔහොම හිතන්න පුළුවන් අය. ඒ ගොල්ලො අපි එකතු කරපු ප්‍රකාශ දිවා රෑ දෙකේ දවස් කීපයක් ම වැඩ කරලා ලස්සන සිත්තම් පුවරු බවට පත් කරලා. අපිට ඕනෙ එච්චරනෙ මිහිදිනී. මේවා බලන කියන අය ඒවා ඒ ගොල්ලන්ගෙ ජීවිතේට මොන මට්ටමින් හරි ගළපා ගත්තොත් ඒකම ඇතිනෙ. බලන්න මිහිදිනී, අච්චර ලොකු වැඩක් ඒ කියන්නෙ ක්‍රීඩා උත්සවේ වැඩ කට ළඟම තියෙද්දිනෙ අතුල සර්ලා නදී මිස්ලා මේ ක්‍රීඩා ළමයි ටිකත් එක්ක ම ඊයෙ රෑ තිස්සෙ මේ වැඩේ කරලා තියෙන්නෙ.”

‘‘ගඟුල් සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ තාගෝර්තුමාගෙ ලස්සන ප්‍රකාශයක්.”

‘‘ඒ මොකක් ද මිහිදිනී.”

‘‘ගඟුල් සර්රුත් කැමති පොතක තමයි ඒක තියෙන්නෙ. ඒ කියන්නෙ  Stray Birds කියන පොතේ. මන් කියන කොට ඔයාටත් ඒක මතක් වේවි.”

‘‘රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර ගැනීමට ඉඩ හරියි.”

‘‘ඒක හරි ලොකු අර්ථයක් තියෙන ප්‍රකාශයක්නෙ මිහිදිනී. ඔයාටත් ඒවා කටපාඩංනෙ. කොච්චර හොඳ ද ඒ වගෙ හොඳ දේවල් මතක තියා ගන්න එක.”

‘‘ආ මිහිදිනී මිස් ආ ගඟුල් සර්. සර්ට යි මිස්ට යි දෙන්නට ම සුබ ම සුබ උදෑසනක්.”

‘‘ආ ! මේ අපේ කටකාර හැඩකාර සකුණි කෙල්ලනෙ. මොකද අද උදෙන් ම. ඔයාටත් සුබ උදෑසනක්. කෝ ඔයත් එක්ක ම ඉන්න අනිත් කිරිල්ලියො දෙන්නා.”

‘‘ඒ ගොල්ලොත් මග එනවා මිස්. අපිට අද උදෙන් ම තියෙන්නෙ පද්‍ය රස වින්දනය පාඩමක්. අපේ  සර් අද තමයි නිල වශයෙන් අපේ පන්තියෙ වැඩ පටන් ගන්නෙ.”

‘‘මොකක් සකුණි ඔයා කියන එක මට තේරෙන්නැහැනෙ. කවුද සර් ? මොකක් ද නිල වශයෙන් වැඩ පටන් ගන්නවා කියන්නෙ. මේ කෙල්ල කියන මෙලෝ සංසාරයක් මටනං තේරුං ගන්න බැහැ ගඟුල් සර්.”

‘‘ඉන්නකො මිස් මන් කියන්න. අපේ සර් කිව්වෙ මේ වෙලාවෙ මිස් ළඟින් ම ඉන්න අපේ අලුත් ම අලුත් සර්ට. දැන් නිල වශයෙන් කිව්වෙ කලින් ඒ කියන්නෙ සර් ආපු දවසට පහුවදා ම අපේ පන්තියට නොනිල වශයෙන් උගන්නන්න ආපු නිසා. ඒක අපිට කවදාවත් ම අමතක නොවෙන්නෙ සර් ව පල් කරන්න ගිය අපි ඔක්කොම එදා පල්ම පල් වෙලා ගිය හින්දා. නිල වශයෙන් කිව්වෙ මේ සර් ව ස්ථිර වශයෙන් ම ඔය ළමයින්ටත් දෙනවා කියලා ලොකු සර් කිව්ව නිසා. අද සර් නිල වශයෙන් උදෙන් ම අපේ පන්තියෙ වැඩ බාර ගන්නවා කියලා ලොකු ම ලොකු විශ්වාසෙකින් කිව්වෙ අපිට උදෙන්ම තියෙන්නෙ සිංහල නිසා; ලොකු සර් වචනයක් කිව්වොත් අපිට ඒක ඉර හඳ වගේ විශ්වාස නිසා.”

‘‘මේ කෙල්ලගෙ කට තමයි කට. පලයන් කවදා හරි පාර්ලිමේන්තුවට. ගිහිල්ලා කෙල්ලෙ උඹලවත් ඇත්ත නියෝජනය කරපන්. හැබැයි ගඟුල් සර් මන් ඔයාටත් එකක් කියන්නං. මේ ගොල්ලොත් එක්ක ටිකක් නෙමෙයි ගොඩක් පරිස්සමෙන් සර්ට වැඩ කරන්න වෙයි. අර සිංහලේට ප්‍රසිද්ධ කියමනක් එකතු වෙලා තියෙන්නෙ ළඟින් ගියොත් ඇහැක් නෑ කියලා. මන් හිතන්නෙ මේ ගොල්ලන්ගෙ පන්තියට උගන්නන්න ආපු කවුරු හරි කෙනෙක් වෙන්න ඕනෙ ඕක හදන්න ඇත්තෙ.”

‘‘ගඟුල් සර් ඔහොම කිව්වට මේ මිහිදිනී මිස් ඉන්නව නේද මිස් අපිට හරි ආදරෙයි. අපි ඔක්කොමත් මේ මිස්ට ෆුල්......”

මෙසේ කියා මිහිදිනීගේ සමීපයට ම පැමිණි සිසුවිය ඉමහත් ආදරයකින් ඇගේ අත සිප ගත්තේ සිය වාක්‍යයේ අවසානයට ‘ආදරෙයි’ යන වචනය යොදා සම්පූර්ණ කරමිනි.

‘‘පලයන් යන්න තක්කඩි කෙල්ල” යැයි මිහිදිනී පැවසූ විට සිසුවිය මේ තරුණ ගුරුවරයාටත් තරුණ ගුරුවරියටත් වැඳ එතැනින් නික්ම ගියේ පහත සඳහන්  වචන කිහිපය ද ඊට එකතු කරමිනි.

‘‘මිස් පලයන් යන්න කිව්වට මේකෙ සමහර ගුරුවරු සමහර ගුරුවරියො ඇත්තට ම අපිව පලයන් යන්න කියලා එලවන කොට අපිව මිස් ළඟට ගන්න බව අපි දන්නවෝ.”

තමන් වෙතින් ඉවත් ව සිය පන්ති කාමරය වෙත දිව යන දඟකාර සිසු දියණිය දෙස මේ සහෘදය ගුරු යුග්මය බලා සිටියේ ස්නේහපූර්වක දෑසිනි.

ඒ නිමේශයේ දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ සදාදරණීය සහෘදයා තම ඉල්ලා අස්වීම අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත භාර දෙමින් කළ, පසුකාලීන වත් ඔහු නුදුටු බොහෝ අය පවා අතිමහත් කම්පනයකට ලක් කළ හෘදයහාරී ප්‍රකාශය යි. ඒ ගුරු සහෘදයාගේ ඉසොඳුරු අත් අකුරින් ලියැවි ලේඛනයේ ඡායා ස්ථිති පිටපතක් ඒ මොහොතේ ගඟුල් සිය සහෘදය ගුරු මෙණෙවිය අතට පත්කොට සුනිසල ව බලා සිටියේ ඇය ඉමහත් සැලකිල්ලකින් එය කියවන ආකාරය දෙස ය. ඒ ගුරු සුහදිනියගේ කෙමෙන් තෙත්වන නෙත් යුවල දෙස මොහොතක් බලා සිටි ගඟුල්, එකී ලේඛනයේ තමා නිරන්තර භාවිතයට ගන්නා පිටපත යලිදු ගෙන කියැවීය. ඒ තමාට නිල වශයෙන් ම පැවරුණු කාල සටහනට අනුව උසස් පෙළ පන්තියේ ශිෂ්‍ය ප්‍රජාවට සිංහල පාඩම උදෙසා යාමට පෙර ඒ උසස් මිනිසාගේ උසස් සිතිවිලිවලින් තවදුරටත් සිය හද පුරවා ගනු පිණිස ය.

‘‘දුෂ්කර යැයි සැලකෙන ප්‍රදේශයක දූ දරුවන්ට චිත්‍ර කලාව ඉගැන්වීම සඳහා මම ඉතා කැමැත්තෙන් දිගු කලක් සේවය කළෙමි. ඔවුන් හාත්පස ම ඇති ඓතිහාසික ශ්‍රී විභූතිය හා සොබාදහමේ අසිරිය හඳුන්වා දෙන්නට ද මම මට හැකි පමණ වෑයම් කළෙමි. අවසානයේ දී වෘත්තිය සතු අභිමානයට ගරු කරමින් ඉන් ඉවත් වන්නට තීරණය කළෙමි. 

එම තීරණය පිළිගනු ලැබුවහොත් මගේ විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් රැකියාවට අදාළ අයිතිවාසිකම් සියල්ල අහෝසි වන බව ඔබතුමන් විසින් දන්වා එවා තිබේ. මගේ සේවය වෙනුවෙන් පෙරලා උපකාරයක් මා නොපතන බව කාරුණික ව සැලකුව මැනවි.

ගුරු වෘත්තිය අත හැරීමෙන් පසු ඒ හා බැඳුණු හිමිකම් මට අහිමි වන බවට කරන ලද නිවේදනය පිළිගනිමි.

ගුරු ජීවිතය මුළුමනින් ම සිසුන්ගේ යහපත සඳහා ය යන්න තරයේ විශ්වාස කරන ගුරුවරයකු තම ආදරණීය සිසුන්ගෙන් ඈත් ව යන මොහොතේ දී දේශයේ අධ්‍යාපනය බාර ව කටයුතු කරන සියලු ම අධ්‍යාපනවේදීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මිනිස් ජීවිතයේ විකසිත වීම වෙත අධ්‍යාපනය යොමු කරන ලෙස ය; ඒ සඳහා දරනු ලබන ප්‍රයත්නයක දී ඊට ආශිර්වාද කරන ලෙස ය; තම ඉරණම කුමක් වේ දැයි කිසිසේත් ම නොදන්නා වූ ද තමන්ගේ ඉරණම තීරණය කිරීම තම ගුරුවරුන් වෙත පවරන්නා වූ ද මුළු මහත් ශිෂ්‍ය සංහතිය වෙත අප්‍රමාණික ව දයාබරිත වන ලෙස ය. ”


2 comments:

  1. අපේ සර්ගේ හදවතේ පිපුණු මල්වල සුවඳින් මුළු ලොව ම පිරෙනවා වගේ

    ReplyDelete