ගමට ඉර පායන්නෙ කොළඹට ඉර පායනවට වඩා බොහෝම වෙනස් අන්දමකටයි. ගොඩනැගිලි උඩින් අවලස්සනට කොළඹට පායන ඉරු දෙය්යො මෙහෙට උදා වෙන්නෙ වෙලට උඩින්.. ලා ඉර එළිය රත්තරන් පාටත්, රන් පාටත් අතරමැද වර්ණෙකින් අහස උඩ ඉහිරෙද්දි ගස් මුදුන්වල කොළ පාට බොඳ වී ගෙන යන්නෙ තමන්ගෙ හිස්මුදුන් මතින් වැතිරෙන රත් පැහැයට ඉඩකඩ දෙමින්. ඉරට මඳ දුරක් තියාගෙන කොක්කු පියාඹන අතරෙ මං තනියම වෙල දිහාවට ඇවිදගෙන ගියා..
පෙම්වත් ඇමතුමකට කියාපු වෙලාව...
"මං වෙල අයිනට ආව.."
"තනියම?" ඒ පැත්තෙන් ඇහෙන්නෙ මවිතය මුසු වුණ කටහඬක්..
"ඔව්.. ගෙදරින් තරහ වෙලා තනියම ආවෙ."
මං කිව්වෙ මුසාවාදයක් බව ඒ කටහඬේ අයිතිකාරයා දන්නව..
"අම්ම අද බබාට සත පනහක් දුන්නෙ නැද්ද..?"
මගේ අතීත කතන්දරවලින් විනෝදයට පත් වෙන ඒ කටහඬ මතක් කර දෙන්නෙ අතීත සිද්ධියක්. අවුරුදු දෙකහමාරක් තුනක් විතර කාලෙ මං ගෙදරින් තරහ වෙලා ඉස්සරහ දොර ඇරගෙන මිදුලට දුවනවලු. අම්මා මාව වඩාගන්න පිටිපස්සෙන් දුවගෙන එන අතරෙ මග වියදමට සත පනහක් දෙන්නද කියාත් අහනවලු. ඔය සිදුවීම අම්මා හිනා වෙවී මතක් කරන මතකයක්..මාත් කොයි මොහොතක හරි ඒ අතීත මතකය මගෙ වර්තමානයට මතක් කර දීලා තියෙනවා. ඒක නෙව මේ සමච්චල් කරන්නෙ..
"සත පනහක් දුන්නෙ නෑ අනේ.."
"ඔහොම්මම මෙහෙ එන්නකො.. ඔයා සත පනහක් නෙමේ සත පහක්වත් නැතුවයි මං ගාවට එන්න ඕන.."
මං හිනාවෙන්නෙ වෙලට උඩින් ඉරු නැගගෙන එන දිහා බලාගෙන. කොක්කු අහසේ ඉගිල්ලෙනව පේනව. මගෙ හිතත් ඒ එක්ක අහස පුරා ඉගිල්ලීගෙන යනව. පෙම්වත් උදාසන වෙල්යාය උඩින් - පැහෙන ගොයමට ඉහළින් - මගේ හදවත ඉස්මත්තෙන් මනරම් ව පායාගෙන එනව..
ආයේ දින කිහිපයකින් කොළොම්පුරවරේ නපුරු දූවිල්ලත් - වාහන තදබදයත් මැදයි මගෙ ජීවිතේට ඉරු උදා වෙන්නෙ. ඒ අරුණෝදය මෙපමණ මිහිරි බවකින් යුතු නැහැ. පෙම්වත් ව විඳින්නටත් අපහසුයි..
මෙහේ අන්තර්ජාල පහසුකම් නැති නිසා කලින් ම නින්දට යන්න පුළුවන්. කොළඹදි වගේ රෑට රෑ වෙන තුරු සින්දු අහන්න, ඊ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න ආදී මෙකී නොකී කාරණාවලට මෙහෙ ඉඩක් නැහැ. කලින් නින්දට යන නිසා ඉරු උදාවත් එක්ක ම ඇහැත් ඇරෙනව..
කොළඹත් මේ වගේ එක යායට විහිදුණු කෙත් යායවල් තියෙනවා නම්.. ඇඟේ ගෑවි ගෑවී දුවගෙන යන පුංචි වහු පැටව් ඉන්නවා නම්.. පාටපෙට්ටියෙවත් නැති අපූරු පාට එක්කහු වෙලා වර්ණ ගැන්විච්ච සමනළ යාළුවෝ ඉන්නව නම්.. මං කල්පනා කළේ අරමුණක් නැතිව ඔහේ ඇවිදගෙන යන ගමන්..
කොළඹදි හරි කළාතුරකිනුයි පාවහන් නැතිව ගමනක් බිමනක් යන්න ඉඩක් ලැබෙන්නෙ. පුංචි කාලෙදි සපත්තු ගළවලා ජනේලෙන් විසි කරපු වැසි දැරියට පාවහන් පැළඳීම කොයි තරම් එපා කරපු අත්දැකීමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා වැරදිලාවත් මං නෙමේ මේ උදා සංචාරවලදි සෙරෙප්පුවක් කකුල අහලකට ගන්නෙ.. නිරුවත් දෙපාවලට මඩ වතුරත් - තණ පතුත් පෑගෙද්දි දැනෙන සනීපය වචනවලට නගන්න ඇත්තටම අපහසුයි..
"ගහකොළවල, වැව් පතුළෙ, ඇළදොළවල හැම තැනම කවි තියනව. පරිස්සමින් ඇවිදලා කවි හොයාගන්න.."
කනටත් උරහිසටත් හිර වෙලා තිබුණ දුරකථනයෙන් ගලාගෙන එන කටහඬ ඇහෙන්නෙ වෙන කවරදාටත් වඩා සුන්දර ව..
පෙම්බර ඇමතුම් වුණත් වඩාත් මනරම් වටපිටාවක වඩා සුන්දර ව දැනෙන්න පටන් ගන්නව. බොහෝ වේදයිතයන් නගරයෙදි ඇති සැටියෙන් විඳින්න අපහසුයි.. හෝ ගාන පොකුණෙ ගුරුතුමිය තමන්ගෙ පෙම්වතාට අමතන්නෙ ගහක් උඩ ඉඳන්.. ඒත් සිග්නල් ඇඟෙත් හැපෙන කොළඹදි පිපෙන පෙම් මලකට වඩා ඒ මල් කැඩිල්ල හරි අපූරුයි...
හෙට ඉඳලා ආයෙමත් අර කාස්ටක පොළොවටයි ඉර ඇහැරෙන්නෙ. ඒ බව දැනෙද්දි හිත පිරෙන්නෙ වේදනාවකින්. ඇත්ත.. කොළඹ බොහොම පහසුකම් තියෙනවා. ඒත් මේ මිහිරෙන් අංශුමාත්‍රයක් කොළොම් පුරවරේ ඉරු උදාවක නැහැ..
ඒ දුකත් දරාගෙන ම මං වෙළ අද්දර හිටගත්තා. අපි කැමති වුණත් - අකැමැති වුණත් ජීවිතේට හැම වර්ගෙකම අරුණෝද උදා වෙනව. මනරම් උදා අරුණෝද වගේ ම - නොපහන් අරුණෝදත් අපි එක සේ ජීවිතේට පිළිගත යුතුයි. හෙට උදා වන කොළඹ අරුණ ගැන නොහිතා මං අද මේ පෙම්වත් උදාසන විඳගන්නා අරමුණින් පින්නෙන් නෑවිලා තිබුණ තණපත් යායක් මැද්දෑවෙ ඉඳගත්තා..
"ගමේදි තමා ඔයා ඇතුළෙ ඉන්න කවිකාරි කොටහළු වුණේ.."
දුරකථන රැහැන් අතරින් ඒ මොහොතෙ එහෙම කියැවෙනව ඇහුණ...
මේක කියවලා මම මුලින්ම කළේ ෆෝන් එක වහලා පැත්තකින් තියපු එක. ඒ තරමට ගොඩාක් දේ හිතට ආවා. ජීවිතේ මගෙ තිබුණ හීනයක් , මගෙ හිත, මම හිතන විදියට 100%ක් ගැලපෙන මේ විදියටම සොබාදර්මයෙ රිද්මයත් එක්ක ගලපාගන්න පුලුවන් ආදරයක්..... ඒ හැමදේම මතක් වුණා.
ReplyDeleteමම හිතන්නෙ මම හරි නම්, නංගිට ගැලපෙන කෙනා ලැබිලා වගේ. ඒ වචන හරි ලස්සනයි. ඔප මට්ටම් කළ ,නොකළ වචන....
මම හිතන දේ හරි නම්, ඒ ආදරය රැක ගන්න හැමදාම....
හැම අරුණෝදයක්ම ලස්සන වෙයි එතකොට.
හරි සතුටක් ආවා මේක කියෙව්වට පස්සෙ
මටත් ජීවත් වෙනව කියල දැනෙන්න ගත්තෙ ගමේ දවස් දෙක තුනක් ඉන්න කොටයි.. තාක්ෂණයත් එක්ක හිර වෙලා අපි ගෙවන්නෙ මොන තරම් රාමුගත ජීවිතයක්ද කියල හිතුණා..
Deleteසොබාදහම විඳින තරමට ආදරෙත්, ජීවිතෙත් සුන්දර වෙනවා.. ඒක මං විශ්වාස කරන කාරණයක්..
ගොඩක් ස්තූතියි සිඳූ අක්කේ.. ගොඩක් ස්තූතියි..
ඒ වගෙම මේක කියවලා සතුටක් ලැබුව නම් ඒකත් සතුටක්...
වැහි දැරිය සතුටින් වගේ !
ReplyDeleteආයේ කාලෙකට වහින එකක් නෑ .
( කවුදෝ එහෙම කියනවා වගේ මට ඇහුන )
සඳ පහන~සයිබර් පොතේ කවි පිටුව
ඒ පැත්තට වහින්නෙ වැසි දැරිය දුකින් ඉන්න කොටලුනෙ..))
Deleteඒකෙත් හැටි තමා ඉතින්...!!
එකක් කැතයි අනික ලස්සනයි කියා කියන්න අපොහොසත් වෙමි.
ReplyDeleteගම නගරය දෙකේම එයටම අාවේනික ලස්සනවල් තිබේ (මම දකින විදියට :) ) හැබැයි බ්ලූමැන්ඩල් වල නෙවෙයි ඉතිං!
හ්ම්.. නගරයේ පහසුකම් නම් වැඩියි තමා.. ඒත් ඉතින් උපන්දා ඉඳලා නාගරික ව ජීවත් වුණ වැසි දැරියට ගම කියන්නෙ හීනයක් අලියො..))
Deleteපහසුකං ගැන නෙවෙයි ළමය මම කතා කරන්නෙ, feeling එක ගැන :)
Deleteහ්ම්... නගරෙත් අමුතු ලස්සනක් තියෙනව වෙන්න පුළුවන්.. ඒත් මට ගමේදි දැනෙන ෆීලින් එක තරම් ඒක ප්‍රබල නෑ..
Deleteගමට නගරය මුසුවීම...කවිකාරි කොටහලු වීම අපූරුයි..
ReplyDeleteබොහොම ස්තූතියි අය්යෙ..
Deleteඅලුත් වචනයක් ඉගෙන ගත්තා.." වේදයිතයන් " ..ඒ කියන්නෙ හැඟීම් නේද?
ReplyDeleteබොහොම අපූරු හැඟීම් සමුදායක්..ඒ වගේම චමත්කාරජනක ලෙස වදනට පරිවර්තනය කරලා ඔබ....බොහොම සතුටුයි..වර්ෂා....බොහොම සතුටුයි...
විඳීම්.. හැඟීම් වගේ දෙයක් තමා ඒකෙන් අදහස් වෙන්නෙ..
Deleteබොහොම ස්තූතියි රවී මාමෙ සුන්දර ඇගයුමට...)))
වේදයිතය
Deleteවිඳින ලද වින්ද දෙය
එහෙම තමයි මහා සිංහල ශබ්ද කෝශය කියන්නෙ
ශබ්දකෝෂය බලලා නෙමේ කිව්වෙ.. කම්මැලි හිතුණ..
Deleteස්තූතියි මහේෂ් අය්යේ...
වැඩ අධික උන නිසා මේ පැත්තට එන්නම බැරි වුනා වැසි.
ReplyDeleteමමත් දැන් අවුරුදු ගනනාවක්ම ජීවත් වෙන්නේ කොළඹ නගරාසන්නයේ. ගමේදි පරිසරය විදිමින් ගෙවපු සරල ජීවිතයේ දැනෙන ආධ්‍යාත්මීය මිහිරයාව නම් මේ පරිසරයේදි අහිමි වෙලා තියෙන්නේ.
පහු වෙලා හරි ආවනෙ ඉතින්..
Deleteඋපතේ පටන් කොළඹ ජීවත් වෙන එක කොයි තරම් අවුල්ද කියලා හිතාගන්න පුළුවන්නෙ..??
ගම නගරය කියල සාපේක්ෂ වශයෙන් අපි බලන්න පුරුදු වෙලා තියෙන්නෙ සමාජය අපිව එතෙන්ට දක්කන හිංද කියල යි මට හිතෙන්නෙ. අර අතීත කාමය කියන දේ මත පදනම් වුණ ප්‍රචාරණ කලාවන් එක්ක මිනිස්සු එතෙන්ට ඉබේම තල්ලු වෙනව..
ReplyDelete(මගෙ අදහසක් පමණයි)
අපූරු සටහනක් වැසි . කවියක් වගේ..
අතීතකාමයක්මත් නෙමේ මං හිතන්නෙ ඒක.. කොහොම වෙතත් අද කාලෙ ගමත් සෑහෙන්න නාගරික වෙලයි තියෙන්නෙ.. මං මේ කියා තියෙන ගම තවම එහෙම විනාස නොවුණු ගමක්.. උපතේ පටන් කොළඹ උන්නු මට හීනයක් වගේ ඒ නාඳුනන ගමේ ගෙවුණු දවස් කිහිපය..!!
Deleteගම කියන්නෙ හරි අපූරුවට ජීවිතේ විඳින්න පුළුවන් තැනක්. ග්ගම තරම් කවාදාවත් මේ නගරෙ ලස්සන නැහැ
ReplyDeleteඇත්ත අනූ... කෝ අර ලිය ලියා උන්නු කතාව...??
Deleteමේ කොළඹදි ලියන්න හැඟීමක් එන්නේ නැහැ නංගි. ඒත් බලමු....
Deleteආං දැක්කද ඒක පෝස්ට් එක පැත්තට ගලපලා ගැලවිච්ච හැටි..
Deleteඑව්වා හඳේ අක්කණ්ඩි..))
සහතික ඇත්ත. මොන පහසුකම තිබ්බත් ජීවත් වෙන්න පහසුව නැත්තම් වැඩක් නෑ. මට නම් කොළඹ විතරක් නෙවේ නාගරික පරිසරය කොහොමත් අල්ලන්නේ නෑ. මොන වාසනාවකට හරි මම ජීවත් වෙන පැත්ත තවම සම්පූර්ණයෙන්ම නාගරීකරණය වෙලා නෑ. ඒ නිසා ඔය කියල තියන ඒවායින් ටිකක් හරි මට අදටත් විඳින්න පුළුවන්. ළිඳකින් ගිහිං නාලා එන එක, ගස් කොළ සහිත පරිසරය එහෙම.
ReplyDeleteමම හිතන්නේ නෑ මම කවදාවත් නගරයට ආස වෙයි කියලා.
ගමක ජීවත් වෙන්න ලැබෙන එක තරම් වාසනාවක් තවත් නෑ තමා.. මට නං හතර වටේ ගෙවල්,ගොඩනැගිලි පේන කොට හරි අපහසුයි.අඩුම තරමෙ ගමකදි දූෂණය නොවුණු පිරිසිදු හුළඟවත් ආඝ්‍රාණය කරන්න පුළුවන්..
Deleteවැසි හරි ලස්සනට ලියල තියනව.පුංචිකාලේ අපේ ගමයි.සීයලගෙ ගමයි මේ ඔක්කොම මතක් උනා.ඉස්සර වගේ වෙලේ නියරෙ දුවන්න වෙලාවක් නැහැනෙ දැන් . ඒ උනාට ,හැමදාම උදේට තාත්ත මාව බයිසිකලෙන් පාරට දාන්න යන පාර වෙල මැදින් වැටිලා තියන නිසා උදේ පාන්දරම ගමේ ලස්ස්සන විඳගෙනම තමා කැම්පස් යන්නෙ.පාන්දර 6 ට පොඩ්ඩක් පහුවෙලා යනකොට තමා නියම ලස්සන අර රන්පාට ගිනිබෝලෙ වලාකුළුත් සායම් කරගෙන හොරෙන් එබෙන්නෙ ඒ වෙලවටනේ.මේවා දැක්කම කවි කතා ලියවෙන එක අහන්නත් දෙයක්ද නේ .. මමත් කාලෙකට කලින් 'හිමිදිරිය' කියල කවි පන්තියක් ලීවෙ මේව දිහාම බලාගෙන :) නංගා ප්‍රශ්නයක් ...'උදාසන' 'උදෑසන' ලෙස නිවැරදි විය යුතුයි නේද ?
ReplyDeleteස්තූතියි අක්කෙ... ඉර පායන වෙලාව නම් මරු නේද..
Deleteඋදාසන කියන වචනේ තමා වඩාත් ම නිවැරදි මයෙ හිතේ.. උදාව කියන වචනෙත් එක්ක එන කොට.නමුත් අපිට කටට හුරු වෙලා තියෙන්නෙ උදෑසන කියන එකනෙ.. ගුණසේන ශබ්දකෝෂයෙ ඔය වචන දෙකම නිවැරදියි කියලා දක්වලා තියෙනවා..