Wednesday, May 1, 2024

ගුරු දියවර නවකතාව - තිස්වන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                                    ගුරු දියවර 30



“බක්මහ සුවඳ බිහි වෙයි වෙල් කුඹුරු උඩින්

දිව එයි නැවුම් රසයක පණිවුඩය ගොඩින්

රන්වන් හිරු නැගෙයි සමනළ ගලට උඩින්

පිබිදෙමු කොහා ආසිරි ගී ගයන හඬින්”

ගඟුල්, එච්. ඇම්. කුඩලිගම කවියාගේ මෙසොඳුරු මෙකව පැවසුවේ සිය නවාතැනට විත් තමා ඉදිරියේ හිඳ සිටින අතුල සහෘදයාට ය.

“හරි මල්ලි, දැන් උඹ මට කියන්න හදන්නෙ අවුරුද්දට හිරු උදාවෙන කොට, බක්මහ සුවඳ මැදින් කොහා ආසිරි ගී ගයන කොට, නැවුම් පණිවිඩයක් මිනිස්සුන්ට ලැබෙන විදිහට මේ අවුරුදු උත්සවේ සංවිධානය කරන්න ඕනෙ කියන කාරණේ නේද?”

“හරියට ම හරි ඒකම තමයි වෙන්න ඕනෙ.”

“උඹ නං මල්ලි කියයි. බලහන්කො මල්ලි දැන් ටික කාලෙක ඉඳලා මාවත් අන්දුන් වෙන වගකීම්නෙ බන් මට පැවරෙන්නෙ.”

“ඒවට තමයි අතුල අය්යෙ, ජීවන අභියෝග කියලා කියන්නෙ. දැන් බලන්න ඔයා කෘෂිවිද්‍යා උපාධිධරයෙක්. ඔයා අදටත් ඒ විෂය ඉගෙන ගත්ත ගුරුවරයා හැටියට තමන්ගෙ වගකීම ඉටු කරන අතරෙම ක්‍රීඩා බාර ගුරුවරයා විදිහටත් අපේ ඉස්කෝලෙට ලොකු සේවයක් ඉෂ්ට කරනවා. අය්යා හිතලා බලන්න ඔයාගෙ කෘෂිවිද්‍යාවට හරි ක්‍රීඩාවට හරි මාව දැම්මනං මොකද වෙන්නෙ කියලා.”

“උඹව දැම්මනං මල්ලි උඹ ඔය දෙකම මට වඩා හොඳට ගොඩ දානවා. උඹ ඉතින් අමුතු ම ජාතියෙ මීටරයක්නෙ.”

“නෑ අය්යෙ, ඒක එහෙම වෙන්නෙ නැහැ. ඔය විෂයන් දෙකට මේ ඉස්කෝලෙ කිසිම කෙනෙක් නැති වෙලාවක මට බාර දුන්නනං මන් වගකීම බාරගෙන පාඩම්වලට අමුතුවෙන් ලෑස්ති වෙලා හරි පුළුවන් විදිහට වැඩ කරාවි තමා. ඒ උනාට අය්යෙ කෘෂිවිද්‍යාවට පේරාදෙණියෙන් ගෞරව උපාධියක් තියෙන ඔයා ඉන්දැද්දි මන් ඒකට ඉදිරිපත් වෙන එක ඒවා ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට කරන ලොකුම අසාධාරණයක්. ඒ ටිකම තමයි මට ක්‍රීඩාව ගැනත් කියන්න තියෙන්නෙ. මට කරන්න පුළුවන් දේ තමයි මට පුළුවන් විෂය උගන්නන අතරෙ අනික් විෂයන් උගන්නන ගුරුවරුන්ට මොකක් හරි බාහිර උදව්වක් ඕනෙනං ඒවා කරලා දෙන එක.”

“හරි මල්ලි මේ දැන් ඉදිරිපත් වෙලා තියෙන අභියෝගෙට මන් මොකක් ද කරන්න ඕනෙ කියලා කියපන්.”

“මෙහෙමයි මෙතෙන්දි අපේ සැලකිල්ල යොමු වෙන්ඩ ඕන කරන වැදගත් කාරණා කීපයක් ම තියෙනවා කියලයි මට හිතෙන්නෙ. වැදගත් ම දේ තමයි ඉස්කෝලෙ ක්‍රීඩා විෂයෙ වගෙම ගමේ යෞවන ක්‍රීඩා සංගමෙත් ඔයා අනුශාසක කියන කාරණේ.”

“මේ මල්ලි මන් ඒකෙ අනුශාසකලා දෙන්නගෙන් එක් කෙනෙක් විතරයි. මුල ඉඳන් ම හිටපු අනුශාසක තමයි අපේ සමරෙ අය්යා. එයානෙ මාවත් මේකට ඇදලා දාගත්තෙ.”

“සමරෙ අය්යා කරලා තියෙන්නෙ කරන්න ම ඕන දෙයක්. ඒ ඒ දේට සුදුසු මිනිස්සුන්ව බලෙන් හරි ඒවට දාන එක වගෙම නුසුදුසු අය ඒවට සම්බන්ධ නොකිරීමත් තමයි කරන්න ඕනෙ. ඔන්න ඔයා වෙනුවට මාව තරුණ සමාජෙ අනුශාසක කළානං වැරදියි.”

“හරි මල්ලි, මට දැන් කියපන් මෙතෙන් දි මන් මොකක් ද කරන්න ඕනෙ, නොකරන්න ඕනෙ මොකක් ද කියන එක උඹ හිතන විදිහට.”

“හැබැයි අතුල අය්යෙ, සමරෙ අය්යත් මෙතන හිටියනං තමයිනෙ හොඳ මේ ගැන මේ සාකච්ඡාවට.”

“අද උදෙන්ම සමරෙ අය්යා අනුරාධපුරේ ගියානෙ ගෙදර කට්ටියත් එක්ක. ඒ ගොල්ලන්ගෙ අම්මා කියලා තියෙනවා මේ ළඟදි දවසක පුතේ මට අටමස්ථානෙ වැඳ ගන්න තිබුණොත් හොඳයි කියලා. එයා වාහනේකුත් හයර් කරගෙන අම්මා නංගිලා මල්ලිලා වගෙම ඒ පවුලට සම්බන්ධ වෙච්ච කීප දෙනෙකුත් ලෑස්ති කරගෙන අද පිටත් උනා ඒ වන්දනා ගමනට. හැබැයි සමරෙ අය්යම තමයි කිව්වෙ අපේ ගඟුලයා මෙතෙන් දි කරන්න ඕනෙ දේවල් ගැන හොඳ යෝජනා කරාවි. ඌ කියන්නෙ මොනව ද ඒවා කරන්න ලෑස්ති වෙයන් කියලා. ඔන්න ඔය ටික තමයි ඊයෙ හවස හම්බ උනාම මගෙ පිටටත් එකක් ගහලා කිව්වෙ. බලහන්කො සමරෙ අය්යත් උඹව තියලා තියන තැන.”

“සමරෙ අය්යා වෙන මොනවත් ම කිව්වෙ නැද්ද අතුල අය්යෙ.”

“කිව්වා කිව්වා ගඟුලයා වගෙම අපේ කෙල්ලො තුන් දෙනත් පසුබිමේ තියාගෙන වැඩ කරන්න කියලත් කිව්වා.”

“අපේ කෙල්ලො තුන් දෙනා කිව්වෙ රේණු අක්කයි නදී අක්කයි මිහිදිනියි නේද?”

“ඔව් බන් ඒ තුන්දෙනා තමයි. දැන්වත් කියහන්කො මොකක් ද මන් කරන්න ඕනෙ කියලා. උඹ කිව්වා නේ ද මෙතෙන්දි මට විශේෂ කාරණා ටිකක් තියෙනවා කියන්න කියලා.”

“ඔව් අතුල අය්යෙ, පළවෙනි කාරණාව තමයි මේ වැඩේ ඔයාට ඉස්සරහට කරන්න තියෙන ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේට පෙරහුරුවක් වෙනවා කියන එක. එතකොට ඒක කරන පිළිවෙළ ගැන තියෙන දැක්ම ම මේකෙත් දැක්ම කරගන්න පුළුවන්නං හොඳයි කියන එක.”

“ඒ කිව්වෙ මල්ලි, අවුරුදු උත්සවෙත් තරගකාරිකම්වලින් මුදවලා කරමු කියන එක ද උඹ අදහස් කළේ, ඒකනං ගොය්යො, ඉස්කෝලෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් උනාට ගමේ කරන මේ වැඩේ දි ඒ විදිහටම කරන්න පුළුවන් ද කියන එකයි ප්‍රශ්නෙ.”

“ඔව් අතුල අය්යෙ, මන් හිතුවෙත් තරගෙන් තොර අවුරුදු උත්සවයක් තමයි. හැබැයි ඒක ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ කරන විදිහෙ ආකෘතියක්ම වෙන්න ඕනෙ නැහැ. අපි පැරණි ගත යුත්ත ගන්නවා. අතහරින්න ඕන දේවල් අතහරිනවා.”

“මල්ලි මට උඹ කියන දේ පැහැදිලි මදි. ටිකක් විස්තර කරලා කියපන්කො.”

“අතුල අය්යෙ අපි මෙහෙම හිතමු. දැන් කාලයක් තිස්සෙ අවුරුදු උත්සවවල කරගෙන එන වැඩ ටිකක් තියෙනවා. අවුරුදු කුමාරි තේරීම, කඹ ඇඳීම, විකට ඇඳුම් තරගය, කොට්ට පොර. ඔය මන් කිව්වෙ තරග හැටියට කරගෙන යන දේවල් හතරක් විතරයි. ඒවා දැන් ඔයත් කරන්න යන්න ද ඉන්නෙ.”

“නෑ මල්ලි, මන් කරන්නෙ මොනව ද කරන්න ඕනෙ නැත්තෙ මොනව ද කියලා තවම හිතලා නෑ. ඒත් මට හිතෙනවා කාලයක් තිස්සෙ කරගෙන ආපු දේවල් එකපාරට වෙනස් කරන එකනං ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වෙයි කියලා.”

“හරි අතුල අය්යෙ, ඔයා මට මේකට උත්තරයක් දෙන්න. දැන් ඉස්කෝලෙ කරන්න යන ක්‍රීඩා උත්සවේ මෙහෙයුම් නිලධාරියා නැත්තං නියමුවා විදිහට වැඩ කරන්නෙ කවුද?”

“ඉතින් මල්ලි, ඒ මන්නෙ. ඉතින් බන් මොකක් ද ඒකෙයි මේකෙයි තියෙන සම්බන්ධෙ.”

“සම්බන්ධයක් තියෙනවා අය්යෙ, ඒකෙ නියමුවා ඔයා. මේකෙත් අනුශාසක කෙනෙක් ඔයා. නියමුවා කියලා අපි කියන්නෙ කිසියම් අරමුණක් කරා තමන්ගෙ කණ්ඩායම නිවැරදි ව මෙහෙයවන කෙනාට. අතුල අය්යෙ, අමතක කරන්න එපා ඔයා ඉස්කෝලෙ වැඩේට ඒ නිවැරදි නායකත්වය දීලා තියෙනවා කියන කාරණේ.”

“ඉතින් බන් ලොකු සර්, උඹ, අපේ කෙල්ලො සෙට්ටෙක වගෙම වැඩිහිටි ගුරු කණ්ඩායමත් මාත් එක්ක එතෙන්දි එකට හිටගන්නවනෙ. මේක එහෙම ද බන්.”

“අතුල අය්යෙ, මේකත් එහෙම ම තමයි. ඇයි ඔය කියන කණ්ඩායම ඔයත් එක්ක එකට හිටගන්නෙ කියන කාරණේ ගැන ඔයාට කොයියම්ම මොහොතක හරි හිතුණෙ නැද්ද ඇයි එහෙම වෙන්නෙ කියලා.”

“ඇත්තටම මන් කවදක්කවත් ඒ ගැන හිතුවෙ නැහැනෙ.”

“අන්න ඒක තමයි අය්යෙ වැරැද්ද. අපි ඔක්කොම ඔයත් එකක් හිට ගන්නෙ ඔයා කොන්ද පණ තියෙන ආයි දෙය්යන්නාන්සෙ එපා කිව්වත් තමන්ට හරියි කියලා දැනිච්ච දේ ක්‍රියාත්මක කරන කෙනෙක් නිසා. ඔයාට අය්යෙ මෙතෙන්දි කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ ක්‍රීඩා අනුශාසක ම මෙතෙන්ට ආදේශ කරන එක. ඉස්කෝලෙ වැඩේදි වගෙම ගමේ මේ වැඩේදිත් අපි ඔයත් එක්ක ඉන්නවා. ඒ විතරක් ද අපේ ලොකු සර් වගෙම තෙන්නකෝන් සර්, සුමනා මැඩම් වගෙ වැඩිහිටි ගුරුවරුත් ඔයත් එක්ක ඉන්න එක මට ඉර හඳ වගෙ විශ්වාශයි. ඒ වගෙම සමරෙ අය්යා ඔයා කරන්න යන්නෙ මොකක් ද ඒකට දැවැන්ත ශක්තියක් වෙන බව ඔයත් දන්නවා අපිත් දන්නවා.”

“හරි මල්ලි, මාත් ඒක හොඳාකාරව දන්නවා. ඉස්සෙල්ල උඹ කිව්වා නේද තරග හතරක් ගැන. එතෙන් දි උඹ අවුරුදු කුමාරි තරගෙත් මතක් කළා. අවුරුදු කුමාරි කියන්නෙ මල්ලි, අත්ත මුත්තලගෙ කාලවලටත් ඉස්සෙල්ලා කාලවලත් තිබිච්ච එකක්නෙ. මට පේන්නෙ උඹ හිතන හැටියටනං ඒක ඕන නෑ වගේ.”

“ඔව් ඕනෙ නැති දේ ඕනෙ නෑ තමයි. අත්ත මුත්තා නෙමෙයි නත්තා, පනත්තා, කිරිකිත්තා, කිරිකෑ මුත්තගෙ කාලෙ ඉඳන් තියෙන දෙයක් උනත් නොකළ යුතු දෙයක් නං ඒවා නවත්තන්න ඕනෙ. මට මතකයි අපි ඉගෙන ගත්ත එක ශ්ලෝකයක් තිබුණා ‘පුරාණමිත්‍යෙව න සාධු සර්වං’ කියලා. ඒකෙ තේරුම පරණ වෙච්ච පළියට ම හැම දෙයක් ම යහපත් වෙන්නෙ නෑ කියන එක.”

“මල්ල,ි උඹ කියන්නෙ අවුරුදු කුමාරි තරගෙ කියන්නෙ අවුරුදු උත්සවේක තියෙන්න ඕන නැති අංගයක් කියල ද?”

“හරි මන් මෙතෙන්දි අතුල අය්යෙ, ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයා හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න.”

“හරි අහපන්කො බලන්න උඹේ ඔය මහලොකු ප්‍රශ්නෙ.”

“හරි ඔය කියන අවුරුදු උත්සවේ අවුරුදු කුමාරි තරගෙට ගමේ කෙල්ලො වගෙම අපේ නදී අක්කයි රේණු අක්කයි මිහිදිනියි ඉදිරිපත් උනා කියලා හිතමු. ඊළඟට අවසාන වටේටත් ඒ තුන් දෙනා තේරෙනවා. දැන් ඔයාට තමයි අවුරුදු කුමාරි තේරීමේ අවසන් තීන්දුව ගන්න තියෙන්නෙ. මොකක් ද ඔයා කරන්නෙ.”

“උඹ මල්ලි, මාව මාර අමාරුවකනෙ දැම්මෙ. දැන් දීපන්කො උත්තර.”

අතුල ටික වෙලාවක් නිහඬ ව සිටියේ ය. අනතුරුව ජයග්‍රාහී ස්වරයෙන් කතා කෙළේ ය.

“මේ මල්ලි, ඕක ප්‍රශ්නයක් වෙන්නැහැනෙ බන්. මොකද මේ සම්ම ජාතියකට උඹයි මායි දන්න නදීවත් රේණු අක්කවත් මිහිදිනී නංගිවත් ඔය කියන තරගෙ තියා මොනයම්ම තරගෙකටවත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ නිසා ඕක කවදාවත් උද්ගත නොවෙන ප්‍රශ්නයක්.”

“නෑ නෑ එහෙම කියලා ප්‍රශ්නෙ මග හරින්න බැහැ. මේක උපකල්පනයක් විතරයි. අපි හිතමුකො ඉදිරිපත් උනා කියලා. එතකොට ඔයා මොකද කරන්නෙ.”

අතුල මඳක් කල්පනා කෙළේ ය; හිස කැසුවේ ය; අනතුරුව කතා කෙළේ ය.

“මල්ලි, අපි අතරෙ තියෙන කල්‍යාණ මිත්‍රත්වෙ සලකලවත් බැරි ද ඔය ප්‍රශ්නෙ වෙනුවට වෙන ප්‍රශ්නයක් අහන්න.”

“දැන් ඔයාම කියනවනෙ අපි අතරෙ තියෙන්නෙ කල්‍යාණ මිත්‍රත්වයක් කියලා. සාමාන්‍යයෙන් කල්‍යාණ මිත්‍රයො කියන්නෙ අර්බුදවලින් පැනලා යන්න නෙමෙයි අර්බුදවලට මුහුණ දෙන්න උදව් කරන අයට. ඒක නිසා ම මට මේ ප්‍රශ්නෙ වෙනුවට කොහෙත්ම වෙන ප්‍රශ්නයක් දාන්න පුළුවන්කමක් නැහැ. හරි ඔයාට උත්තරයක් දෙන්න විනාඩි තුනක කාලයක් ලැබෙනවා.”

ගඟුල් කී විනාඩි තුන ගත වීමට තත්පර කිහිපයක් තිබියදී අතුල කතා කෙළේ ය. ගඟුල් සිය කලණ මිතුරාගේ වත කමලෙහි දුටුවේ අන් කිසිදාකත් නොදුටු අන්දමේ පසන් බවකි.

“මල්ලි, මන් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් අවුරුදු කුමාරි හැටියට තෝරන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙයා තමයි ලස්සන ම අවුරුදු කුමාරි කියලා වෙන කෙනෙක් තෝරලා සමස්ත ස්ත්‍රී සංහතියට නින්දා කරන්නෙත් නැහැ. උඹේ ප්‍රශ්නෙ මට ඇහැක් දුන්නා මල්ලි.”

ගඟුල් ඉදිරියට පැමිණ සිය කලණ මිතුරා වැළඳ ගත්තේ ය. අනතුරුව කතා කෙළේ ය.

“නදී අක්කා කියපු එක ඇත්තම ඇත්ත. මේ තමයි ඇත්ත අතුල.”

“මොකක් ද බන් අපේ නදී මන් ගැන කිව්වෙ.”

“අතුල කියන්නෙ ඔය බාහිරෙන් පේන්න දඩබ්බරයට වඩා මෘදු අධ්‍යාත්මයක් තියෙන හරිම සුන්දර මනුස්සයෙක් කියන එක. ඒක නෙමෙයි මන් කැමතියි අතුලය්යෙ, ඔයා ලබපු ඇහැ දෙනවනං අපිටත් දකින්න.”

“මල්ලි, උඹලා දන්නවා නදී කියන්නෙ මන් ගැඹුරින් ම ආදරේ කරන ඒ වගෙම කවදා හරි විවාහ වෙනවා නං මගෙ බිරිඳ හැටියට ප්‍රාර්ථනා කරන කෙනා බව. ඉතින් එයා තමයි ඒ පැත්තෙන් ගත්තහම මේ ලෝකෙ මට ඉන්න ලස්සනම කෙනා. ඊළඟට රේණු අක්කා කියන්නෙ සහෝදරියක් නැති මට ආදරණීය සහෝදරියක් වෙච්ච කෙනා. මගේ ජීවිතයට සම්බන්ධ සහෝදර ප්‍රේමේ ලස්සන ම සංකේතෙ තමා එයා. ඊට පස්සෙ මිහිදිනී කියන්නෙ අපි ඔක්කොටම වඩා වයසින් බාල උනාට අවශ්‍යම මොහොතෙ කල්‍යාණ මිතුරියකගෙ හිස්තැන පුරවන කෙනා. මන් සම්බන්ධයෙන් කලණ මිතුරියක් විදිහට මට ලස්සනම කෙනා තමයි මිහිදිනී. ඉතින් කොහොම ද බන් මන් එයාට වඩා මෙයා ලස්සනයි මෙයාට වඩා එයා ලස්සනයි කියලා මේ තුන් දෙනාගෙන් එක් කෙනෙක් තෝරන්නෙ.”

“මට හරිම සතුටුයි අතුල අය්යෙ, ඔයා ළඟ හැංගිලා තියෙන ඔය ගැඹුරු මනුස්සයව මන් අඳුන ගත්තෙ මෙහෙට ආපු පළවෙනි දවසෙම. මේ ලෝකෙ හැම ගැහැනියකගෙ වගෙම හැම පිරිමියෙකුගෙම ඒ ඒ අයට ආවේණික ලස්සනක් තියෙනවා. විවිධ හේතු නිසා ඒ සමහර දෙනාගේ ඒ ලස්සන හැංගිලයි තියෙන්නෙ. ඒත් කෙනෙක්ගෙ වචනයක් නිසා, ජීවිතේ වෙන පුංචි සිදුවීමක් නිසා ඒ ලස්සන ආයි නැති නොවෙන විදිහට මතු වෙන්න පුළුවන්. සමහර විට ඒ වචන ඒ සිදුවීම කෙනෙක්ගෙ මුළු සංසාර ගමනම නිමා කරන්නත් හේතු වෙන්න පුළුවන්.”

“මල්ලි, උඹ ඕක තව ටිකක් පැහැදිලි කරනවනං තමයි හොඳ.”

“අතුලය්යෙ, අපිට ඕක පැහැදිලි කරගන්න බෞද්ධ සාහිත්‍යෙන් අප්‍රමාණ උදාහරණ ගන්න පුළුවන්. මට වැඩියෙන්ම දැනිච්ච ඒ යුගේ ජීවමාන නිදර්ශනේ තමයි අහිංසක. අහිංසක කියන්නෙ බොහොම ආදරණීය හදවතක් තිබිච්ච ගුරු භක්තිය උපරිමෙන් ම තිබිච්ච කෙනෙක්. ඒත් අවබෝධයෙන් තොර ආදරය, ගුරු භක්තිය වහාම ඒකෙ විරුද්ධ පැත්තට පෙරළෙන්න පුළුවන් කියන එකත් තහවුරු කරන පැහැදිලි ම නිදර්ශනේ තමයි අහිංසක. වැරදි දෙයක් කිව්වත් අර ගුරුවරයා කියන දේම හරියි කියන වැරදි මතේ හිටපු

නිසා තමයි ආදරණීය අහිංසක අනාදරණීය අංගුලිමාල වෙලා මිනිසුන්ගෙ ඇඟිලි කපලා ගුරුපූජා තියන බිහිසුණු හිංසකයෙක් උනේ. හැබැයි බුදුහාමුදුරුවන්ගෙ හමුවීම, උන්වහන්සේගෙ වචන තමයි හිංසක අංගුලිමාල අහිංසාවෙ ප්‍රතිමූර්තියක් දයා කරුණාවේ උල්පතක් වෙච්ච අංගුලිමාල මහ රහතන් වහන්සේ බවට පත් කරලා උන්වහන්සේගෙ සංසාර ගමන නිමා කරන්නෙ. බලන්න අය්යෙ, ගැහැනියක් ගැබිනියක් බවට පත් වෙන්නෙ කවුරු හරි පිරිමියෙක් හින්දා. ඒත් දරු ප්‍රසූතියක දි ගැහැනියකට දරන්න වෙන අප්‍රමාණ වේදනාවෙන් ඇය නිදහස් කරන්න සෙත් පිරිත දේශනා කරන්නෙ ඒකට කිසිම සම්බන්ධයක් නැති පිරිමියෙක්.”

“මල්ලි, උඹ ඔය අංගුලිමාල පිරිත ගැන නේද කියන්නෙ.”

“ඔව් අතුලය්යෙ, අද උන්වහන්සේ සංසාර ගමන නිමා කරලත් සංසාර ගමනෙ යෙදිලා ඉන්න අයගෙ ජීවිත සුවපත් කරනවා. අපි අපේ සමාජෙ ජීවත් වන ස්ත්‍රී සංහතියෙන් එක්කෙනෙක් තෝරලා ලස්සනම කාන්තාව කියලා වර්ග කරන්න හදන කොට උන් වහන්සේ ලෝකෙ ජීවත් වෙච්චි, දැන් ජීවත් වෙන, අනාගතේදි ලෝකෙට එකතු වෙන ඔක්කොම ගැහැණුන්ට නැගණිය, සහෝදරිය කියන අර්ථ දෙන භගිනී කියන වචනෙන් ආමන්ත්‍රණය කරනවා.”

“මල්ලි, සැරින් සැරේ අංගුලිමාල සූත්‍රෙ අහලා තිබුණට උඹ ඔය අර්ථ මතු කරනකන් මට ඒක මෙච්චර ගැඹුරට දැනිල තිබුණෙ නැහැ.”

“අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ අපේ සර් තමන්ගෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගෙන් කරපු ඉල්ලීමක් තිබුණා. ඒ තමයි ගැබිණි අම්මා කෙනෙකුට අංගුලිමාල පිරිත කියන්න ඉස්සෙල්ල ඒ පිරිත දේශනා කරන්න හේතු වෙච්ච පසුබිම කියලා දීලා සිංහලෙන් අර්ථත් කියලා දීල ඉන්න කියන එක.”

“ඇත්තටම මචෝ මන් දන්නෙත් නැහැනෙ හරියටම ඒ අර්ථෙ. ඒ වගෙම පසුබිම. ඒක නිසා මන් කැමතියි ඒවා දැන ගන්න.”

“සාමාන්‍යයෙන් පිරුවානා පොත් වහන්සේ පොතකින් ඕනෑම කෙනෙකුට පුළුවන් මේ අර්ථ දැනගන්න. ඒත් අතුලය්යා මේ ගැන ලොකු උනන්දුවක් දක්වන නිසා මන් කියන්නංකො ඒ ගැන ටිකක්. මේක වචන සංඛ්‍යාවෙන් ගත්තොත් බොහොම පුංචි පිරිතක්. ඒත් ගුණය අතින් තියෙන අගේ මෙච්චරයි කියලා අපට ප්‍රමාණ කරන්න බැහැ.

“පරිත්තං යං භණන්තස්ස - නිසින්නට්ඨානධෝවනං

උදකම්පි විනාසේති - සබ්බේමේව පරිස්සයං,

සොත්ථිනා ගබ්භවුට්ඨානං - යං ච සාධේති තං ඛණේ,

ථේරස්සංගුලිමාලස්ස - ලෝකනාථේන භාසිතං,

කප්පට්ඨායි මහාතේජං - පරිත්තං තං භණාමහේ

බලන්ඩකො අතුලය්යෙ, මේකෙ තියෙන නාද මාධුර්යය, ඒ වගෙම අර්ථ මාධුර්යය.”

“අනේ බන්, මන් ඉතින් ක්‍රීඩා මාධුර්යයි කෘෂි මාධුර්යයි මිස උඹ ඔය කියන සාහිත්‍යෙ නාද අර්ථ මාධුර්ය දන්න එකක්යැ. හැබැයි අර්ථ තේරුන් නැති උනාට ඔය වචන ඇහෙන කොටම මොකක්දෝ ඇඟට හිතට දැනෙන ගතියක් තියෙනවා.”

“අන්න ඒකට තමයි අතුලය්යෙ නාද මාධුර්යය කියන්නෙ. නිර්මාණයක තියෙන නාද මාධුර්යය තමයි ගොඩක් වෙලාවට ඒකෙ අර්ථ මාධුර්ය හොයාගෙන යන්න අපට බල කරන්නෙ. දැන් අය්යෙ, ඔයාම කිව්වනෙ මේ වචන ඇහෙන කොටම මොකක්දෝ ඇඟට හිතට දැනෙන ගතියක් තියෙනවා කියලා. ඒ කියන්නෙ මේ වෙන කොට ඔයාට මේ පිරිතේ නාද මාධුර්යය දැනිලා ඉවරයි. දැන් අපි කරන්න ඕන අර්ථ මාධුර්යය මතු කර ගන්න එක.”

“ඉතින් මල්ලි, ඒකනං කරලා දෙන්න ඕන උඹ ම තමයි.”

“ඒක ඉතින් මට කරන්න වෙන්නෙත් මන් අහලා කියලා තියන විදිහට තමයි. මන් මුලින් ම අපේ ධම්මිස්සර හාමුදුරුවෝ අපේ ඥාති සහෝදරියකට ඔය සූත්‍රය කියලා අර්ථ දක්වන හැටි අහලා තියෙනවා. ඊට පස්සෙ දවසක ආනන්ද හාමුදුරුවො ඒ පාලි පාඨ නිවැරදිව උච්චාරණය කරන හැටි දක්වලා වොයිස් මේල්ලෙකක් එවලා තිබුණා. අන්තිමට මේ මෑත දවසක අපේ ශාන්තසිරි හාමුදුරුවන්ට මන් කෝල් කරලා මේ ගැන කතා කරපු වෙලාවක උන්වහන්සෙ වචනෙන් වචනෙට මට මේ පිරිතෙ අර්ථ පැහැදිලි කරලා දුන්නා. ඒක නිසා ඒ අර්ථ දැක්වීමෙ ගෞරවය අයිති වෙන්ඩ ඕනෙ උන්වහන්සේලා තුන් දෙනාට මිසක් මට නෙමෙයි.”

“ඉතින් මලයා දැන් කරමු ද ඒ අර්ථ දැක්වීම.”

“යම් පිරිතක් වේ ද එය කියනු ලබන තැනැත්තා හිඳ සිටි තැන ධෝවනය කළ ජලය පවා සියලු වෙහෙස දුරු කරන්නේ ය. ඒ ඇසිල්ලෙහි ගැබෙහි සිටින දරුවාට ද යහපත ම වන්නේ ය. ලෝකනාථයන් වහන්සේ විසින් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේට දේශනා කරන ලද කල්පයක් පුරා පවත්නා ඒ මහා තෙදවත් පිරිත අපිදු දේශනා කරන්නෙමු.”

“ඒක හරි ලස්සන කතාවක්නෙ මල්ලි.”

“ලස්සනම තැන එන්නෙ ඊළඟටයි අතුලය්යෙ. ඒ තමයි, ‘නැගණිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම් ද එතැන් සිට දැන දැන ප්‍රාණියකුගේ ජීවිතය තොර කළ බවක් නොදනිමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට සෙත් වේවා, ඔබේ දරු ගැබටත් සෙත් වේවා!’ කියන ප්‍රාර්ථනේ.”

“මල්ලි, මීට පස්සෙ කොහේ හරි තැනකදි අංගුලිමාල සූත්‍රය අහන කොට හරි, ඇහෙන කොට හරි මට වෙනදාට වඩා දැනේවි.”

“ඒ හැඟීම තවත් වැඩි වෙන්න මන් අපේ ශාන්ත හාමුදුරුවන්ගෙන් දැනගත්ත තවත් කතාවක් කියන්නං. පස්සෙ කාලෙක යහනක් හදලා තියෙනවා ගැබිණි මාතාවන්ට සැතපෙන්ඩ පුළුවන් විදිහෙ. ස්වාමින් වහන්සේලා එතෙන්ට ඇවිල්ලලු මේ සූත්‍ර දේශනාව කරන්නෙ. අනිත් විශේෂ කාරණාව තමයි මේ යහන

මිනිස් අම්මල විතරක් නෙමෙයි සත්ත්ව අම්මලටත් අයිතියි. ප්‍රසුත වේදනාවෙන් පෙළෙන මේ කොයියම් ම අම්මා කෙනෙක් හරි එතෙන්ට ඇවිත් ඒ යහනෙ සැතපුණොත් හරියට පෙරහන්කඩයකින් පෙරන ජලය පෙරී ගියා වගේ බොහොම පහසුවෙන් දරු උපත සිද්ධ වෙනවා කියලයි කියන්නෙ. ඒ වගෙම එතෙන්ට එන්න බැරි තරමේ වේදනාවකින්නං ඒ අම්මා ඉන්නෙ ඒ පිරිත් දේශනාව කරන භික්ෂූන් වහන්සේලා වැඩ හිටපු තැන ධෝවනය කරලා ගෙනිච්ච පැන් ගෙනිහින් ඒ පැනින් ගැබිනියගෙ හිස ධෝවනය කළත් සුවපත් වෙනවයි කියලයි කියන්නෙ. ඒ වගෙම කලිනුත් කිව්වා වගේ මේ මහ පොළොව පවතින තුරු මේ පිරිතේ ආනුභාවය තියෙනවා කියලත් කියනවා. ඒ විතරක් නෙමෙයි මේ මහ පිරිත මවුවරුන් සුවපත් කිරීමට විතරක් නෙමෙයි කොයි කාටත් ශාන්තිය සලසන පිරිතක් විදිහටයි සලකන්නෙ.”

“මල්ලි උඹත් එක්ක කතා කරාට පස්සෙ ආපු මම නෙමෙයි බන් යන්නෙ. දැන් මට වැඩේ පැහැදිලියි. ඒ කියන්නෙ අපේ අනුශාසකත්වෙන් තියෙන මේ සැරේ අවුරුදු උත්සවේ කෙරෙන්නෙ වෙනදා කෙරිච්ච විදිහට නෙමෙයි. අවුරුදු කුමාරි තරග නැහැ, කඹ ඇදිලි නැහැ, විකට ඇඳුම් තරග නැහැ, කොට්ට පොර නැහැ.”

“ඒ කියන්නෙ දැන් ඒ සම්බන්ධයෙන් අතුලය්යා තීරණත් අරගෙන ඉවරයි.”

“ඔව් උඹ ඇහැක් දුන්නා. මන් දැන් ඒ ඇහෙන් දකින්න පටන් ගත්තා. මොකට ද බන් කඹ ඇදිලි. පරණ පරම්පරාවෙ කඹ ඇදිලි අපි අලුත් පරම්පරාවට දෙන්න නරකයි. මොන පොර ගැන හරි මට කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි. ඒ වගෙම විකට ඇඳුම් තරග ගැනත් මට දැන් වෙනස් විදිහකට හිතෙනවා. ඇයි අපේ පොඩි කාලෙදි අපිත් විකට ඇඳුම් තරගවලට ඉඳලා තියෙනවා. එක සැරයක් මන් හිටියෙ පොල් කඩන්නට. එදා මන් ගෙදර ගිහින් අපේ සමහර වැඩිහිටි නෑයන්ගෙන් බැනුම් අහපු තරමක්. අපේ එක පුංචි කෙනෙක් කිව්වෙ ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනේරුවෙක් විදිහට හරි අඳින්නැතුව පොල් කඩන්නෙක් විදිහට ඇඳලා ඒ ගොල්ලන්ගෙ පවුල්වලට ලැජ්ජා කරනවා කියලා. පොල් කඩන එකාගෙ පුතා ඩොක්ටර්ට අඳින කොට බස් ඩ්‍රයිවර්ගෙ පුතා ඉංජිනේරුවට අඳින කොට විදුහල්පති කෙනෙක්ගෙ පුතා වෙච්ච අපේ බූරු වහන්සෙ පොල් කඩන්න යනවා කියලා.”

“ඇත්තට අතුලය්යෙ අපි දැකපු මොනම විකට ඇඳුම් තරගෙකදිවත් මන් දැකලා නැහැනෙ පොල් කඩන්නෙක්ගෙ චරිතයක්. කවුද එහෙම චරිතයක් ගැන අදහස ඔයාගෙ ඒ පුංචි ඔලුවට.”

“කවුරුවත් දැම්මෙ නැහැ මල්ලි මන් විසින් මගෙ ඔලුවට දාගත්තා මිසක. පුංචි කාලෙ දි විතරක් නෙමෙයි අදත් මගෙ වීරයො පොල් කඩන්නෝ. දවසක් කැමති මාතෘකාවක් යටතේ රචනාවක් ලියන්න කියලා අපේ පන්ති බාර මල්ලිකා ටීචර් කිව්වහම මන් ලිව්වෙ ‘පොල් කඩන්නෝ වීරයෝ ය’ කියලා. ඕක දැකලා අපේ පුංචි කිව්වෙ දැන් උඹ තවත් රචනාවක් ලියපන් මේ රචනාව ලියපු ‘මන් බූරුවෙක් ය’ කියලා මට ටොක්කකුත් ඇනලා තමයි ගියේ. ඉතින් මචෝ මාත් බයෙන් තමයි පහුවදා රචනාව ටීච ගාවට ගෙනිච්චෙ. උඹ දන්නව ද ටීචර් මට මොකක් ද කිව්වෙ කියලා.”

“ඇයි ටීචරුත් දෝස්මුරයක් දැම්ම ද විකාරයක් කරලා කියලා.”

“නෑ බන් එදා තමයි මට ඉස්කෝලෙන් ලැබිච්ච හොඳම සම්මානෙ ලැබුණෙ. එදා මල්ලිකා ටීචර් කිව්වා මේ තමයි පුතේ මගෙ ජීවිත කාලෙ දැකපු නිර්මාණශීලිම රචනෙ කියලා අනික් ළමයින්ටත් කිව්වා ඒක මෙයාගෙන් ඉල්ලගෙන ඔයගොල්ලොත් කියවන්න කියලා. එදා මගෙ රචනෙට ලොකු හරියක් දාලා පොත අතට දෙන ගමන් මෙහෙමත් කිව්වා. පුතේ තවත් රචනයක් තියෙනවා පුතේ ඔයාට ලියන්න කියලා ආයෙත් මගෙ අතින් පොතක් අරගෙන අලුත් මාතෘකාවක් ලියලා පොත අතට දුන්නා. උඹට කියන්න මල්ලි ටීචර් ලියලා තිබුණා ‘පොල් වවන්නෝ ද වීරයෝ ය’ කියලා.”

“දැන් මටත් ආසාවක් ආවා ඒ ටීචර්ව දකින්න. ඒ ටීචර් ඉන්නව ද?”

“ඉන්නවා ඉන්නවා. ඒත් දැන් ඉන්නෙ අනුරාධපුරේ පොඩි දුව ගාව. දැන් අවුරුදු අසූ එකක්. මන් අපේ ක්‍රීඩා උත්සවේ විශේෂ අමුත්තියක් විදිහට මල්ලිකා ටීචර්ව ගෙන්නනවා. දිවාකර සර් ඇතුළු මට මේ තාක් උගන්නපු ඔක්කොම ගුරුවරුන් වෙනුවෙන් පොල් තෙල් පහනක් දල්වන්න කියලා ආරාධනා කරන්නෙත් ටීචර්ට.”

“හරි එදා පොල් කඩන්නෙකුට ඇඳලා විකට ඇඳුම් තරගෙට ගිය ඔයාට ඇයි දැන් ඒ තරගෙ එපා කියලා හිතෙන්නෙ.”

“ඒකට ඉතින් ප්‍රධානම හේතුව තමයි උඹ සැරින් සැරේ මගෙ ඔලුවට දාන ෆිලොසොපි කෑලි. අනික මටම හිතෙනවා බන් පන්සලේ හාමුදුරුවන්ට දොස්තරට ගුරුවරයට තැපැල් පියුන්ට හරි වෙන ඕනෙම චරිතයකට හරි ඇඳලා විකට ඇඳුම් චරිතවලට ඉදිරිපත් වෙන එකම ඒ චරිතවලට කරන අපහාසයක් කියලා. මොකද මේ හැම චරිතයක් ම සමාජයකට අත්‍යවශ්‍ය චරිත මිස විකටයො නෙමෙයිනෙ.”

“ඔය එන්නෙ මතු වෙලා අපේ නදී අක්කා කියන ඇත්ත අතුල අය්යා. ෂා මෙතන නදී අක්කත් හිටියනං තමයි හොඳ.”

“හැබැයි මන් එකක් දන්නව බන් එයා නෙමෙයි මේකට එක වචනයකින්වත් ප්‍රතිචාර දක්වන්නෙ.”

“ඔයා කියන්නෙ නදී අක්කා කරන්නෙ ඔයාගෙ මේ අදහසට කතා නොකර නිහඬ විරෝධය පළ කරනව කියල ද එයා කැමති තරග තියෙන එකට කියල ද? මටනං හිතෙන්නැහැ එහෙම.”

“නෑ බන් ඒක නෙමෙයි මන් හිතුවෙ. එයා එයාගෙ හිතට ගැඹුරින් ම දැනෙන දේවල්වලට ප්‍රතිචාර දක්වන්නෙ වචනවලින් නෙමෙයි.”

“ඒ කියන්නෙ?”

“ඔන්න මල්ලි, අපේ තරුණ දාර්ශනිකයා කියල හිතන් ඉන්න උඹත් බබෙක් වෙන්න යනවනෙ. යකෝ උඹේ නදී අක්කා ඔය වගෙ වෙලාවල්වලට එයාගෙ හැඟීම පළ කරන්නෙ වචනවලින් නෙමෙයි මූණෙන්. උඹටයි මටයි තේරෙන සිංහලෙන් කිව්වොත් ෆේෂල් ඉම්ප්‍රෙෂන්ස්වලින්.”

“හරි හරි දැන් තමයි මට හරියටම තේරුණේ. මේකට අපේ අනිත් කාන්තා රත්න දෙක කොහොම ප්‍රතිචාර දක්වයි ද?”

“අපේ රේණු අක්කනං කියාවි ඇති යන්තං දැන්වත් උඹ මොළේ පාව්ච්චි කරලා වැඩක් කරන්න හිතුවා. මිහිදිනී නංගි කියාවි අතුල අය්යෙ ඔයා අද මේ ගත්ත තීරණය අනාගතේදි මුළු සමාජයක් ක්‍රියාත්මක කරන අඛණ්ඩ ක්‍රියාවලියක් වේවා කියලා.”

ගඟුල් මොහොතක් විස්මයෙන් මෙන් අතුල දෙස බලා සිටියේ ය. යළි කතාවට අවතීර්ණ වූයේ අතුල ය.

“මොකෝ බන් උඹ මේ පුදුම වෙලා වගේ.”

“ පුදුම වෙලා වගේ නෙමේ මන් පුදුම තරමට පුදුම වෙලා තමයි ඉන්නෙ. ඇයි අතුලය්යෙ ඒ දෙන්න හිතයි කියලා මට හිතිච්ච දේමනෙ ඔයා දැන් මේ කිව්වෙ.”

“ඒක තමයි බන් නිවුන්නු කියන්නෙ.”

“මොකක් අය්යෙ ඒකෙ තේරුම. අපි දෙන්න නිවුන්නු නෙමෙයිනෙ.”

“නිවුන් සහෝදරයන්ට හරි නිවුන් සහෝදරියන්ට හරි එකම දේ එකම වෙලාවට ගිතෙනව කියල කතාවක් තියෙනවනෙ. මන් ඉගෙන ගත්ත ඉස්කොලෙ මාත් එක්ක එක පන්තියෙ ඉගෙන ගත්ත නිවුන් සහෝදරයො දෙන්නෙක් හිටියා ඔය කියමන ඇත්තක් කරපු.”

“ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද අතුලය්යෙ.”

“ඇත්තටම එහෙම වෙච්ච නිසානෙ බන් මන් මේ කියන්නෙ. එක්කෙනෙකුට හිතුණොත් අද උදෙන්ම ඉස්කෝලෙ යන්න ඕන කියලා අනිත් එක්කෙනාටත් ඒකම හිතෙනවා. වැඩේ කියන්නෙ දෙන්නම එකිනෙකාට කියන්නෙත් නැතුව වෙනදට වඩා උදෙන් නැගිටලත් ඉවරයි. ඒ වගෙම තමයි එක්කෙනෙකුට හිතුණොත් අද ඉස්කෝලෙ යන්න ඕනෙ නැහැ කියලා අනිත් එක්කෙනාටත් ඒකම හිතෙනවා. ඊළඟ වැඩේ කියන්නෙ ඉස්කෝලෙ නොයන්න දෙන්නම හදා ගන්නෙ එකම උප්පරවිට්ටියක්. හැබැයි ඒ දෙන්නට දෙන්න කතා කරගෙනත් නෙමෙයි. දෙන්න ම අම්මා උදේ තේ හදන තැනට එකම වෙලාවට වගෙන යන්නෙ අම්මෙ අද නං හැදුණෙ ඉවසන්න බැරි බඩේ අමාරුවක්නෙ කියාගෙන. හැබැයි අම්මා දන්නවා වැඩේ. අනේ ඇත්ත ද පුතේ අද එහෙනං ඉස්කෝලෙ යන්නත් බැහැ නේද කියනවා. කෝ මන් දෙන්නට ම දෙන්නංකො අසමෝදගම් කියලා.”

“ඒ කියන්නෙ අම්මා දන්නවා දෙන්නම මේ කරන්නෙ බොරුවක් කියලා.”

“ඔව් බන් ඒ අම්මනෙ. අම්මලා නොදන්න විදිහට හිටියට අම්මලට ඒවා හොඳටම තේරෙනවා. ඒක දරුවන්ගෙ පුංචි කාලෙට විතරක් නෙමෙයි ඒ ඕගොල්ලන්ගෙ තරුණ වැඩිහිටි කාලෙටත් අදාළයි. මන් දන්නවනෙ බන් අපේ අම්මා ඔහොම වෙලාවට වැඩ කරන හැටි. මගෙ ජීවිතෙ මන් කරන්නම ඕනෙයි කියලා කරන්න යන ඒත් අම්මගෙ පැත්තෙන් මන් කරන්නම ඕනෙ නැති දෙයක් කියලා කරන්න යන දෙයක් මුලින් වළක්වන්න හදල හදලා බැරි වෙච්ච තැන අම්ම කළේ නිහඬ වෙන එක. හැබැයි ඒ නිහඬතාවෙ කොයි තරන් කම්පනයක් තිබුණ ද කියන එක අපිට තේරෙන්නෙ අපිට වැඩ වැරදුණාට පස්සෙ. අපිව ඉහළින්ම පිළිගනියි කියලා හිතපු සමාජය අපිව ප්‍රතික්ෂේප කළාට පස්සෙත් අපිට අපිව පිළිගනියි කියන මහ විශ්වාසෙ ඇති වෙන්නෙත් ගෙදර ගැන. ඒ වගෙම කවුරු ප්‍රතික්ෂේප කළත් අම්මනං අපිව පිළිගන්නවා කියන හැඟීම මහ බලවත් විදිහට හිතට එන්නෙත් ඒ වෙලාවට.”

“මට අතුලය්යෙ, ඔයා ඔහොම කියන කොට මතක් වෙන්නෙ අපේ ස්වර්ණ ගුණවර්ධන ලියපු ඉන්ද්‍රාණි බෝගොඩ අක්කා කියන සින්දුවක එන ‘ඇස් රතු කළ කෙළොප්පමකට සිනා වුණි - මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුණි’ කියන වචන ටික.”

“ඇත්ත මචං ඇත්ත. ඔය අර්ථෙ ඇත්ත වෙච්ච දවසක් මගෙ ජීවිතෙත් තිබුණා. මට ඒ අතීතෙ අද උනා වගේ මතක් වෙනවා මල්ලි.”

“අතුලය්යෙ, දැන් ඔයා මොකක් ද මේ අවුරුදු උත්සවේ දි කරන්න ඕනෑ දේවල් හැටියට කරන්න හිතාගෙන ඉන්නෙ.”

ගඟුල් මේ ප්‍රශ්නය නැගුවේ අතුලගේ දුක්මුසු මුහුණ දැක මාතෘකාව වෙනත් පැත්තකට යොමු කිරීමේ අරමුණිනි.

“ඇයි බන් ඒකට නේන්නං මන් උඹව හම්බ වෙන්න ආවේ. උඹ කළේ කරන්න හිතන් හිටපු වැඩ ටිකත් නොකෙරෙන තැනට මුළු වැඩේ ම උඩු යටිකුරු කරන එකනෙ.”

“නෑ නෑ මන් මගෙ අදහස් කිව්වා විතරයි. ඔයා කැමතිනං ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්තං ඔයා නිවැරදියි හිතන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

“නෑ නෑ මන් කැමති උඹ කියපු දේවල් ක්‍රියාත්මක කරන්න. දැන් උඹම තමයි කියන්න ඕනෙ මේ අතහැරෙන දේවල් වෙනුවට මොනවද අපි ආදේශ කරන්නෙ කියන එක. අන්තිමට අපිට කොහොමත් සිද්ධ වෙනවනෙ අපේ කාන්තා ත්‍රිමූර්තියේ අදහස් වගෙම ඒ ගොල්ලන්ගෙ යෝජනා ගැනත් දැන ගන්න ඒ තුන්දෙනාට ඒවා ඉදිරිපත් කරන්න.”

“එහෙනං මන් මට දැනෙන දේවල් කියන්නං. හැබැයි ඔයා කියපු සමහර දේවල් ඇහුවට පස්සෙ මන් අත හරින්න ඕනෙමයි කියලා හිතන් හිටපු සමහර දේවල් වෙනස් උනා. ඒ නිසා මන් දැන් මේ කරන්න යන අලුත් යෝජනාවල ඔයත් ඉන්නවා.”

“මොකක් ද බන් ඒ කතාවෙ තේරුම.”

“ඒ කියන්නෙ මෙහෙමයි අතුලය්යෙ. ඔයා කිව්ව නේද ඔයා පුංචි කාලෙ විකට ඇඳුම් තරගෙක පොල් කඩන්නෙකුට හිටිය කියලා. ඒ වගෙම පොල් කඩන්නෝ වීරයෝ ය යන මාතෘකාව යටතෙ රචනයක් ලියලා ඒක ඔයාගෙ ටීචර් ගොඩක් අගය කළාත් කියලා. ඒවා ඇහුවට පස්සෙ මට හිතුණෙ විකට ඇඳුම් තරගය කියන නම යටතෙ නෙමෙයි වෙනස් මුහුණවරකින් අපේ සමාජෙ ජීවත් වන විවිධ චරිත අපේ දරුවො නිරූපණය කළාට කමක් නැහැ කියලයි. හැබැයි මෙතෙන්දි අපි එක දෙයක් කරන්නම ඕනෙ. ඒ තමයි දරුවන්ට නිදහසේ තමන්ට දැනෙන චරිතය ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න ය කියන ඉල්ලීම බොහොම ආදරණීය විදිහට ඒ දරුවන්ගෙ අම්මල තාත්තලගෙන් ඉල්ලා හිටින එක. විශේෂයෙන් අනුශාසකලා විදිහට කටයුතු කරන ඔයාටත් සමරෙ අය්යටත් ගමේ මිනිස්සුන්ගෙ තියෙන ආදරේ ගෞරවේ නිසා ඒ මිනිස්සු ඔයගොල්ලන්ගෙ වචනෙට දක්වන සැලකිල්ලක් හැටියටවත් එහෙම කරාවි. දරුවන්ට දරුවො හැටියට වැඩ කරන්න ඉඩදේවි. එවිට ඒ දරුවො තමන් හදවතින් ම කරන්න කැමති දේ තමන්ගෙ උපරිමෙන් කරාවි. සමහර විට මේ සමාජෙට අනාගතෙ බිහිවන ගුරුවර ගුරුවරියන්, වෛද්‍යවරු වෛද්‍යවරියො, මහපොළොවට ඇත්තටම ආදරය කරන ගොවියො- ගෙවිලියො, හොඳ නළුනිළියන් කිහිප දෙනෙක්ගෙ ආරම්භය වගෙම මෙතන මන් කියපු නොකියපු හොඳ වෘත්තිකයො කිහිප දෙනෙක්ගෙ ආරම්භයත් ඔතන තියෙන්න පුළුවන්.”

“හරි අපි ඒ වැඩේ ඒ විදිහට සංවිධානය කරමු. අපි වෙන මොනව ද කරන්නෙ.”

“අපිට පුළුවන් අවුරුදු උත්සවේ ම අංගයක් හැටියට ගමේ තැනින් තැන පුංචි පුංචි ශ්‍රමදාන සංවිධානය කරලා ඒවට කණ්ඩායම් කිහිපයක් යවන්න.”

“ඉතින් බන් කොහොම ද ඒක මේ අවුරුදු උත්සවේ අංගයක් වෙන්නෙ.”

“අතුලය්යෙ, අවුරුදු උත්සවේ කියන්නෙ මුළු ගමේම නියෝජනයක්. මේ කියන අවුරුදු උත්සවේට අපි සහභාගි කරවන්නෙ කණා මුට්ටිය බිඳීම, බනිස්කෑම, කොට්ට පොර වගෙ දැන් හැම තැනම වගෙ කරන තරග කීපයක් දාලා ඒවට තෝර ගත්ත කණ්ඩායම් කීපයක් නෙමෙයි. අපි ඒ ඒ වැඩවලට කණ්ඩායම් හදනව තමයි. ඒ වගෙම ඉදිරිපත් වෙන්න කැමති ඕනෙම කෙනෙකුට තමන්ට වැඩියෙන් දැනෙන දේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ අවුරුදු උත්සවේ තියෙන්නෙ තරග නෙමෙයි ඇගයීම්. උදාහරණයක් හැටියට අපි මේ සමාජෙ ජීවත් වෙන අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට විවිධ වෘත්තිකයො ඉදිරිපත් කරනවා කියලා හිතමු. ඒ හැම කෙනෙක් ම අපිට වැදගත්. අපි ඒ හැම කෙනාටම දෙන්නෙ සමාන බරක්, සමාන තෑග්ගක්.”

“එතකොට සමහර දෙනා ප්‍රශ්න කරන්න පුළුවන්නෙ සමාජයක දක්ෂතමයා බිහි කරන්න අවශ්‍ය කරන උත්තේජනය මේ වගෙ වැඩවලින් එන්නෙ නැහැ කියලා.”

“ඔන්න ඔය චින්තනෙ නිසා තමයි එකිනෙකාට ආදරය කරන සමාජයක් වෙනුවට එකෙක් පරද්දලා තව එකෙක් ඉස්සරහට යන්න හදන සමාජයක් බිහිවෙලා තියෙන්නෙ. ඒක තමයි අපිට මේ තරමට කෙළවිලා ගිහින් තියෙන්නෙත්. අපි ගුරුවරු හැටියට කරන්න ඕනෙ ඒ සමාජෙ පවත්තගෙන යන එක නෙමෙයි ඒක වෙනස් කරන්න පුළුවන් දේ කරන එක. අතුලය්යට කරන්න තියෙන්නෙ මන් ඉස්සෙල්ලත් කියපු දේම තමයි. ඔයා ඉස්කෝලෙදි ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙනස් තීරණ ගන්න අතුල කියන ගුරුවරයා මෙතෙන්ටත් ආදේශ කරන්න.”

“මල්ලි, උඹ සාමාන්‍යෙන් පාවිච්චි කරන්නෙ නැති වචනත් දාලා ඔහොම කතා කරන කොට මටත් හරිම ගැම්මක් තමයි එන්නෙ. ඔන්න ඔය ගැම්ම ගන්නත් එක්ක තමයි මන් උඹවම හොයාගෙන ආවෙත්. ඒ වගෙම මල්ලි උඹ කිව්වා නේද කණ්ඩායම් හදන කතාවක්. මට කියපන් උඹ ඒකෙන් අදහස් කළේ මොකක් ද කියලා.”

“මෙහෙමයි අය්යෙ, ඒකත් අපි අවුරුදු උත්සවේ අංගයක් හැටියට කලින් සැලසුම් කරලා කරන්න ඕනෙ වැඩක්. අවුරුදු උත්සවේට මාසෙකටවත් කලින් අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙ. අපි හිතමු අපි කණ්ඩායම් දහයක් හැදුවා කියලා. අපි ඒ ඒ කණ්ඩායම්වලට ම කියනවා ගමේ ඇවිදලා ගම වෙනුවෙන් ගමේ මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන වැඩ මොනව ද කියලා හොයන්න කියලා. අපි මෙහෙම හිතමු. එක තැනක ගමේ පාරක් කැඩිලා තියෙනවා. තව තැනක අතුරු පාරක් අබලන් වෙලා තියෙනවා. තව තැනක ආර්ථික දුෂ්කරතා නිසා වැඩකට කුලී ගෙවන්න බැරිව බාගෙට ඉවර කරපු ගෙයක් තියෙන්න පුළුවන්. දැන් අපි මොකක් ද කරන්න ඕනෙ අතුලය්යෙ.”

මෙතැනදී ගඟුල්ගේ ප්‍රකාශය සම්පූර්ණ කෙළේ අතුල ය.

“මල්ල,ි උඹ ඔය කියපු දේවල් එක්ක කණ්ඩායම් තුනක් යවලා කරන්න ඕන වැඩ තුනක් මට ම මතක් උනානෙ. බලහන් සිරිල් අය්යගෙ ගෙවල්වලට යන පාර. ඒ පාරෙ දෙපැත්තෙ ගෙවල් විස්සක් විතර තියෙනවා. අපි එක කණ්ඩායමක් දානවා ඒ පාර හදන්න. ඕක කියපු ගමන් අපේ සිරිල් අය්යත් ඒ පාරෙ ඉන්න කට්ටියත් ඕකට එකතුකරගෙන ලොකු ගැම්මකින් වැඩේට බහිනවා. ඒ වගෙම මල්ලි, මට මතක් උනා නන්දක්කලගෙ ගෙදර. ධර්මෙ අය්යා රට. ළමයි ඔක්කොම ඉගෙන ගන්න වයසෙ. ඉන්න ගේ තියෙන්නෙ බොහොම අබලන් තත්වෙක. ඒ ගොල්ලො ඒ වත්තෙම හදන අලුත් ගෙයි වැඩ බාගෙට කරලා නවත්තලා. උඹ ඔය කණ්ඩායම් කතාව මතු කළාම තමයි මට හිතුණෙ මේ වෙනකන් මන්වත් අහලා නෑ නේද ඇයි නන්දක්කෙ ගෙයි වැඩ නවත්තලා තියෙන්නෙ කියන ප්‍රශ්නෙ, එයාලගෙ ළමයි තුන් දෙනෙක් අපේ ඉස්කෝලෙ ඉගෙන ගනිද්දිත්. එතන මොන දුෂ්කරතාවක් නිසා හරි වැඩ නැවතිල නං අපිට පුළුවන් අර හදන කණ්ඩායමෙන් එකක් ඒ වැඩේට දාන්න. ඒ වගෙම මට හිතෙනවා එහෙම කණ්ඩායමකට අපේ ළමයින්ගෙම තාත්තලා ඉන්නවනෙ මේසන් වැඩ කරන. අපිට එයින් දෙන්නෙක් වගේ මේ කණ්ඩායමට එකතු කරන්න පුළුවන්.”

“ඒකත් හොඳ අදහසක් තමයි. ඒ උනාට අතුලය්යෙ, අපි මෙහෙම තැන්වලදි ටිකක් ප්‍රායෝගික වෙන්නත් ඕනෙ. මොකද මේසන්ලා කියන්නෙ ඒ ඒ දවසෙ ලැබෙන මුදලින් තමන්ගෙ පවුල් නඩත්තු කරන අයට. ඒක නිසා ඒ ගොල්ලන්ගෙන් යම් සාධාරණ මුදලකට සේවය ලබා ගන්න එක තමයි හොඳ. ඒ වගෙම ඔයාටත් ඉන්නවා මටත් ඉන්නවා තව අපේ යාළුවන්ටත් ඉන්නවා මෙහෙම වැඩකදි යම් මුදල් ආධාරයක් කරන්න පුළුවන් යාළුවො. ඒ වගෙම ඒ අතර ඉන්න සමහර දෙනා දෙයක් දීලා ඒ දුන්නෙ මමයි කියලා කියන්නවත් කැමති නැති අය. අපි මේ වැඩේ දි ඒ අයගෙ සහය අරගෙන මේසන් බාසුන්නැහේලට පොඩි ගෙවීමකුත් කරමු. ඒ වැඩේට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයගේ උදව්වුත් ගනිමු. මේකෙ ප්‍රතිඵල ලබන පවුල්වල ගෞරවයත් රකිමු.”

“හරි මල්ලි, මට කාරණේ පැහැදිලියි. අපි ඒ විදිහට වැඩ කරමු. මට බැරි උනානෙ මතක් වෙච්ච තුන්වෙනි වැඩේ කියන්න. ඒ තමයි පොල් කඩන පාල අය්යා ගහකින් වැටිලා දැන් ඔත්පල වෙලයි ඉන්නෙ. එයා යාළුවො දම්මලා පුළු පුළුවන් විදිහට තමයි කුඹුරු වැඩ කරන්නෙ. අපේ අර හදන කණ්ඩායෙමෙන් එකක් යවන්න පුළුවන් ඒ වැඩවලට උදව් වෙන්න. මොකද මේ කන්නෙ වපුරන වැඩේ කියන්නෙ අවුරුද්දට ඉස්සෙල්ලා වෙන්ඩ ඕනෙ දෙයක්. අපිට ඒක කල්දාන්න බැහැ. ඒක නිසා පුළුවන් තරන් ඉක්මනට කණ්ඩායමක් හදලා ඒකට යවන්න ඕනෙ.”

“ඔය එන්නෙ අතුල අය්යටම හෝ ගාලා අයිඩියාස්. මට මතක් වෙන්නෙ අපේ රේණු අක්කව. එයා මෙතන හිටියනං මොකක් කියයි ද?”

“ඉස්සෙල්ලම කියයි අපේ අතුලයගෙ ගොන් මොලේට එන රන් අයිඩියාස් කියාවි. ඊ ළඟට එහෙම කොලොප්පන් කරන එයාම එක්කො අර පාර හදන වැඩේ එහෙම නැත්තං ගේ හදන වැඩේ එහෙමත් නැත්තං කුඹුරු වැඩේ කරන කොය්යම්ම කණ්ඩායමකට හරි එකතු වෙලා ඒ අයත් එක්ක හරි හරියට වැඩ කරාවි.”

“ඔයා හිතපු එකම තමයි මටත් හිතුණෙ රේණු අක්ක ගැන තව සංසෝදනේකුත් එක්ක.”

“මන් සම්පූර්ණ කරන්න ද උඹේ සංසෝදනේ.”

“හරි අතුලය්යම කරන්න බලන්න ඒක.”

“ඒක තමයි රේණු අක්කත් එක්ක තවත් දෙන්නෙක් ෆුල් ෆිට්ටෙකෙන් ඔය වැඩවලට බහිනවා ඒ තමයි අපේ නදියි මිහිදිනී නංගියි.”

“ඒකට තවත් එක්කෙනෙක් එකතු වෙනවා.”

“හරි නේන්නං, ඇයි උඹ.”

අතුල පැවසුවේ සිනාසෙමිනි.

“ඒත් මල්ලි, මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේ විදිහට කණ්ඩායම් දහයක් හැදුවයි කියමු. ඒ වගෙම මාසයක් තිස්සෙ ගමේ අවශ්‍යම කරන වැඩ කරන වැඩ දහයකුත් කළැයි කියමු. ඒවා බොහොම හොඳ ශ්‍රමදාන වැඩ, ප්‍රජාසත්කාරක වැඩ කියන එක ගැනත් කිසිම විවාදයක් නැහැ. ඒත් කොහොම ද බන් මේවා එක දවසක් පුරා පැවැත්තෙන අවුරුදු උත්සවේ කොටසක් කරන්නෙ.”

“ඇයි, අපි ඒ වැඩවල ඇගයීම කරන දිනේ බවට පත් කරගන්නෙ අවුරුදු උත්සවේ පවත්තන දවසනෙ. එදාට අපි අපේ අවුරුදු උත්සවේට අලුත්ම හැඩයක් එකතු කරපු අංගයක් කියලා ඒ කණ්ඩායම් දහය ගැනම හොඳ ඇගයීමක් කරලා ඒ හැම කෙනාටම ලැබෙන විදිහට ඇගයීම් සහතිකයක් දෙනවා.”

“එතකොට බන් ලොකු වෙලාවක් යනවනෙ. දැන් ඔය එක කණ්ඩායමක ඉන්න පුළුවන්නෙ දහයක් දොළහක්. එහෙම නැත්තං ඊටත් වැඩි පිරිසක්. ඉතින් බන් සහතික දෙන්නම යයිනෙ ලොකු වෙලාවක්.”

“අතුලය්යා කියපු ඔය කාරණේ ගැනත් මන් කල්පනා කළා. අය්යෙ අපි ඒ කණ්ඩායමෙන් එක්කෙනයි වේදිකාවට කැඳවන්නෙ. ඒ කණ්ඩායමේ ම නම් ටික කියලා ඒ එන කෙනා අතට තමයි සහතික මිටිය දෙන්නෙ.”

“ඉතින් මල්ලි, අපි කොහොමද මේ කණ්ඩායමෙන් කවුද වේදිකාවට එන්නෙ කියලා තීරණය කරන්නෙ.”

“නෑ අය්යෙ ඔයගොල්ලො ඒ ඒ කණ්ඩායමෙන් එන්න ඕනෙ කෙනා තීරණය කිරීමේ නිදහස ඒ කණ්ඩායම්වලටම දෙන්න. මොකද ඒක ඔයගොල්ල අපි නෙමෙයි තීරණය කරන්න ඕන ඒ ගොල්ලම තමයි. එතකොට ඒ ගොල්ලො ම තමන් ඔක්කොම වෙනුවෙන් වේදිකාවට එවන්නෙ කවුද කියන එක තීරණය කරාවි.”

“හරි එතකොට දැන් කවුද ඒ අයට සහතික දෙන්නෙ.”

“අය්යට මේ ගැන අදහසක් නැත්තං විතරක් මන් මගෙ අදහස කියන්නං.”

“ඔව් උඹම තමයි ඒක කියන්නත් ඕනෙ. ඇයි බන් අම්මා මුත්තා කාලෙවත් අවුරුදු උත්සවවල තිබිච්ච නැති අංග ඒකට එකතු කරන්න යෝජනා කරපු බ්‍රහ්මයා උඹනෙ. දැන් මේකටත් බ්‍රහ්ම උත්තරයක් දීපන්.”

“මට අය්යෙ, බ්‍රහ්ම උත්තරනං දෙන්න පුළුවන්කමක් නෑ. මොකද මන් මනුස්සයෙක් නිසා. ඒක නිසා මන් මනුස්ස උත්තරයක්ම දෙන්නං. දැන් අතුලය්යෙ, උදාහරණෙකට අපි පාර හදන එක ගනිමු. අපි ඒ ප්‍රතිලාභෙ ලබන අයගෙන් කෙනෙක්ම සහතික ප්‍රදානය කරන්න තෝරගන්නවා. එතකොට එයා ඒ වැඩේ කරන්නෙ හරිම හැඟීමකින්. හරි දැන් අය්යම කියන්න ඒ වැඩේට හොඳයි කියලා මේ මොහොතෙ ඔයාට හිතිච්ච කෙනා.”

“මගෙනං මල්ලි ඔළුවට ආවෙ සිරිල් අය්යා.”

“ඉතින් හරිනෙ මගෙ ඔළුවට ආවෙත් සිරිල් අය්යම තමයි. එයාට ඒ පාරෙ අය විතරක් නෙමෙයි මුළු ගමම කැමතියි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අනිත් කණ්ඩායම්වලටත් තෑගි දෙන කෙනා කවුද කියලා තීරණේකට එන්න.”

“හරි දැන් ඊළඟ ප්‍රශ්නෙ තමයි මේවට අමතරව මේ අවුරුදු උත්සවේට එකතු කරන අනික් අංග මොනවද කියන එක. දැන් අතුලය්යෙ මොනවද එකතු කරන අංග කියලා මට ප්‍රශ්නයක් දාන්නැතුව උඹම දීපන් ඒකටත් උත්තර. ඇයි උඹ කියන හැටියට අඩුම තරමෙ අපිට අවුරුදු කුමාරි තෝරන එක කරන්නත් බැහැනෙ.”

“අතුලය්යෙ, අපිට සමහර දේවල් එකපාරට ගෙඩි පිටින් වෙනස් කරන්න බැරිවේවි. ඒත් අපිට පුළුවන් සමහර දේවල මුහුණුවර වෙනස් කරන්න. දැන් උදාහරණයක් හැටියට ඔයා දැන් කියපු අවුරුදු කුමාරි ගන්න. අපිට ඒක මෙහෙම කරන්න පුළුවන්. අපි අවුරුදු කුමාරි වෙනුවට සැඟවුණු අවුරුදු කුමාරි තෝරනවා. ඒ වගෙම සැඟවුණු අවුරුදු කුමාරයත් තෝරනවා. හැබැයි ඒ සොයා ගැනීම කරන්නෙ ගමේම අය තමයි.”

“ඒ උනාට මෙතෙන්දි අපි ඉදිරිපත් වෙලා රහසිගතව කතා කරලා කොල්ලෙකුයි කෙල්ලකුයි අවුරුදු උත්සව දවසෙ එතන ගැවසෙන්න කැමති කරවගන්න වෙනවනෙ.”

“අතුලය්යෙ, මටනං හිතෙන්නෙ අවුරුදු කුමාරයා, අවුරුදු කුමාරි හැටියට තරුණ අයම තෝර ගන්න අවශ්‍ය නැහැ කියන එකයි. අපි එතනත් වෙනසක් කරමු. අපිට බැරි ද මුළු ගමේම ආදරයට ගෞරවයට ලක්වෙච්ච වැඩිහිටි දෙන්නෙක් මේ වැඩේට කැමති කරවගන්න.”

“ඒකනං නරක නෑ. දැන් ඉස්සෙල්ලම කියපන් කවුද උඹේ හිතට ආපු අවුරුදු කුමාරි කියලා.”

“මගෙ හිතට නං ආවෙ සුමනා ටීචර්ව. හැබැයි ටීච කැමති වෙයි ද නැද්ද කියන්නනං මන් දන්නෙ නැහැ.”

“නියමනෙ බන්. ටීචර් තරන් අවුරුදු කුමාරියෙක් ඉන්නවයැ අපිට මේ ගමේ. ටීචර්ව කැමති කරගන්න එක මන් කරන්නංකො. ඔන්න මචන් මටත් ආවා අවුරුදු කුමාරයා ගැන අදහසක්.”

“කවුද අය්යට හිතෙන අවුරුදු කුමාරයා.”

“වෙන කවුරුවත් නෙමෙයි බන් අපේ තෙන්නකෝන් සර්.”

“සර්රුත් හොඳයි තමයි අය්යෙ. ඒ උනාට දෙන්නම අපේ ඉස්කෝලෙ ගුරුවරුනෙ. එතකොට මේක ඉස්කෝලෙ වැඩක් වෙනවා. ඔය දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් අරගෙන අනිත් කෙනාට ගමේ කවුරුත් වගේ ආදරේ කරන කෙනෙක් තෝරගම්මු.”

“මල්ලි, ඒ අස්සෙ අවුරුදු උත්සවේට ගන්න පුළුවන් කියලා හිතෙන තවත් අයිටම් එකක් ආවනෙ ඔළුවට.”

“ඒ මොකක් ද අතුලය්යෙ.”

“ඇයි බන් අපිට බැරි ද මේ වෙනුවෙන් පැල හිටුවීමක් වගේ දෙයක් කරන්න.”

“අතුලය්යා නිතර පාවිච්චි කරන වචනෙන් කියනවනං මට කියන්න තියෙන්නෙ නියමයි කියන එක තමයි. අපි ඒක මේකට සම්බන්ධ කරගන්න විදිහ ගැන ටිකක් කල්පනා කරමු. ඒ අවුරුදු උත්සවේ දවසෙ හිටවන පැල කියන්නෙ එක දවසකට සීමා කරන්න බැරි අනාගත හෙවණක්. බලන්න ඔයාගෙ ඔය අදහස කොච්චර නැවුම් ද කියලා.”

“කොහොම ද බන් පැල හිටවන එක නැවුම් අදහසක් වෙන්නෙ. ඒක සාමාන්‍යෙන් කොතනත් කෙරෙන දෙයක්නෙ.”

“පැල හිටවන එක නැවුම් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒක අලුත් අවුරුදු උත්සවේට සම්බන්ධ කරන එකනං අය්යෙ අලුත් දෙයක්. අපි ඉස්සරහ තියෙන දේ දිහා, තියෙන හැටියට බලන්නැති මිනිස්සු තමයි ලෝකෙට ලස්සන නිර්මාණ බිහි කළේ. සමහර විට ඒක කවියක් වෙන්න පුළුවන්. ගීතයක් කවියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං නැටුමක් වෙන්නත් පුළුවන්. බලන්න අපි දකින වක්කඩ ළඟ තිත්ත පැටව් අපේ සේකර කවියා දැක්කෙ කොහොම ද?”

“වක්කඩ ළඟ දිය වැටෙන තාලයට - තිත්ත පැටව් උඩ පැන නැටුවා’”

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගයනු ලබන ආචාර්ය මහගමසේකරයන්ගේ ඒ ගීතෝක්තිය එසේ ප්‍රකාශයට පත් කෙළේ අතුල ය.

“මේ ගීතෝක්ති, කාව්‍යෝක්ති ගැන මතක් කරපු වෙලාවෙ අතුලය්යෙ මට මතක් වෙන්නෙ අලුත් විදිහට දෙයක් දිහා බලන්න පුළුවන්කම තියෙන ඒ වගෙම ඒවා තමන්ගෙ නිර්මාණවලින් ඉදිරිපත් කරපු ඒ උනාට මේ වෙනකන් ගැඹුරු කතිකාවකට ලක් නොවෙච්ච අපේ කවියෙක්. අපි මේ අවුරුදු උත්සවේ කරන්න යන විදිහ ගැන එයාට කිව්වොත් එයත් අපි මෙතෙක් නොහිතපු විදිහෙ වෙනස්ම යෝජනා ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා.”

“කවුද මල්ලි, උඹ මේ කියන්න යන කවියා.”

“නම සුමින්ද කිත්සිරි ගුණරත්න. අපිට ගොඩක් සීනියර් අය්යා කෙනෙක්.”

“එයා ගොඩක් කවි පොත් ලියලා තියෙනව ද?”

“මට මතක හැටියට කවි පොත්ම හයක් ලියලා තියෙනවා. චක්කරං කොටුව කියන කවි පොත ලියන්නෙ ඒ අය්යා විශ්වවිද්‍යාලෙ ෆස්ට් ඉයර්රෙකේ ඉන්න කාලෙ. ඊට පස්සෙ ඇහැළි, ඊටත් පස්සෙ නා රජ සහ වේ රජ, තව ලිව්වා ලංකා පොකුණ, ලුම්බිනී කියන පොත් කවි පොත් දෙක. අන්තිමට මේ මෑතක දිම ලිව්ව කවි පොත තමයි ප්‍රිස්ම.”

“ඒ නම් හිටන් ටිකක් අමුතුයි වගේ මට දැනෙන්නෙ. උඹ මල්ල,ි කවි පොත් ම හයක් ලියලා තියෙනවා කියන එකෙන් මට දැනුණෙ එයා කවි නොවන වෙනත් පොතුත් ලියලා තියෙනවා කියන එක.”

“ඔව් අය්යට එහෙම හිතිච්ච එක හරි. ජී. බී. සේනානායක කාව්‍ය විමර්ශන වගෙම ආරියවංශ පතිරාජ ප්‍රතිරාව පොත ලිව්වෙත් සුමින්ද අය්යා. ඒ විතරක් නෙමෙයි යම් ගැඹුරක් තිබිච්ච විද්වතුන් කිහිප දෙනෙක්ගෙ සාකච්ඡාවට ලක් වෙච්ච දෘශ්‍යාත්මක මානව විද්‍යාව හා මානවවංශලේඛ චිත්‍රපටය කියන පොත ලිව්වෙත් එයා. ඔය පොත බලපු ප්‍රණීත් සර් කිව්වෙ ඒක විශ්වවිද්‍යාලෙක ආචාර්ය උපාධියට උනත් ඉදිරිපත් කරන්න සුදුසු පොතක් කියලයි. ඒ විතරක් නෙමෙයි එයා ලියපු කැමරාවෙන් ලියැවෙන මානව කතන්දර පොත ගැනත් ප්‍රණීත් සර් තමන්ගෙ ප්‍රසිද්ධ දේශන කිහිපයකදි මතු කරලා තිබුණා.”

“ඉතින් බන් ඔය මනුස්සය ගැන එයාගෙ නිර්මාණ ගැන අධ්‍යයනයක් කරන්න හරි, කරවන්න හරි පුළුවන්නෙ ඒ සර්ලටම.”

“ඔයා කියපු වැඩේ දැනටමත් වෙනවා. ප්‍රණීත් සර්ගෙයි සුමින්ද අය්යලට වගෙම අපිටත් විශ්වවිද්‍යාලෙදි සිංහල උගන්නපු මිස් කෙනෙක්ගෙයි උපදේශකත්වෙන් එම්ෆිල්ලෙකකට එහෙම අධ්‍යයනයක් කරනවා මගෙම මිතුරියක් ශශිකලා කියලා. ඒත් සාහිත්‍ය උණ මුළු ඇඟේම තියෙන කෙල්ලක් තමයි.”

“උඹට ඔය තරමට ඔය සුමින්ද අය්යා ගැන විස්තර මතක තියෙන්න එයා විශේෂ කෙනෙක් වෙන්නම ඕනෙ.”

“හැබැයි අවිශේෂ මිනිස්සු වැඩි වශයෙන් විශේෂ වෙලා තියෙන ලෝකෙට නං සුමින්ද අය්යා විශේෂ කෙනෙක් නෙමෙයි. එයා දැන් ටිකක් අසනීප ගතියෙන් ඉන්නෙ. මේ ළඟදි අපේ සර් තමන්ගෙ පවුලෙ කට්ටියත් එක්ක ඒ කිව්වෙ අපේ මිස්, මිස්ගෙ නංගි අපේ සුදු අම්මා, දුව, පුතා මේ ඔක්කොම සුමින්ද අය්යව බලන්න ගිහින් තියෙනවා. ඒ ගොල්ලො එහෙ ගත කරපු ඒ මුළු කාලෙම එයා කතා කරලා තිබුණෙ එයාගෙ ලෙඩ ගැන නෙමෙයි අතීත - වර්තමාන කවියො ගැන, ඒ ගොල්ලන්ගෙ නිර්මාණ ගැන. එදා ඒ ගෙදර සාහිත්‍ය මණ්ඩපයක් වෙලා තිබුණා. සුමින්ද අය්යට අවශ්‍ය කරන බෙහෙත් හේත් කරන ගමන් එයාගෙ බිරිඳ අපේ දර්ශි අක්කත් එතන නිහඬ ශ්‍රාවිකාවක් වෙලා තිබුණා. ඒ වගෙම අක්කගෙ තාත්තා, අම්මා, දර්ශි අක්කගෙ නංගි, සුමින්ද අය්යගෙ දුව, පුතා මේ ඔක්කොමත් එදා ගෙදර ඉඳලා තිබුණා. මන් එදා සාකච්ඡාවෙදි අපේ සර්ගෙ විශේෂ අවධානය යොමු වෙච්ච සුමින්ද අය්යගෙ එක නිර්මාණයක් ගැන කියන්නං. ඒක අපේ අලුත් අවුරුද්ද කියන අද අපි සාකච්ඡා කරපු මාතෘකාවටත් අදාළයි. ඔය කවිය සර් අරන් තිබුණෙ සුමින්ද අය්යගෙ සුදු මල් කියන කවි පොතෙන්.”

“හැබැයි මට මතක හැටියට උඹ සුමින්දගෙ පොත් කියලා කියපු පොත් අතර නං එහෙම නමක් තිබුණෙ නැහැ.”

“බැලුවහම අතුලය්යා කියන්නෙත් හොඳ සවන් දෙන්නෙකුටනෙ. ඇත්ත තමයි මන් ඉස්සෙල්ලා කියපු පොත් අතරෙ ඔය පොත නෑ තමයි. ඒකට හේතුවක් තියෙනවා. සුදුමල් කියන්නෙ සුමින්ද අය්යා ඉස්කෝලෙ යන කාලෙ අත් අකුරුවලින් පිටපත් තුනක් හදලා දන්න අඳුනන අයට බලන්න දුන්න පොතක්. ඒ පොතේ තිබිච්ච මීනෙන් මේෂෙට කියන කවි පන්තිය තමයි සර් සාකච්ඡාවට අරන් තිබ්බෙ. ඒක අපි අද කතා කරන අවුරුදු සංක්‍රාන්තිය ගැන ඒ ඉස්කෝලෙ යන කාලෙ හිටපු සුමින්ද වෙනස් ඇහකින් දකින්න උත්සාහයක් දරලා තිබුණා.”

“ඒ කවි පන්තිය උඹ ළඟ තියෙනව ද මල්ලි.”

“මන් ඔයාට පෙන්නන්නං ඒක මගෙ මේ ෆෝන්නෙකේ තියෙනවා. ඉස්සෙල්ලා කිව්ව වගේ මේ කවි පන්තිය අපි දෙන්න මෙච්චර වෙලා කතා කරපු මාතෘකාවටත් අදාළයි. අද අතුලය්යා මෙහෙ ආවෙත් මොකක් හරි අවුරුදු උත්සවයක් නෙමෙයි අර්ථයක් තියෙන වෙනස් අවුරුදු උත්සවයක් කරන්නෙ කොහොම ද කියන කාරණේ සාකච්ඡා කරන්නනෙ. අපි කවි ටික කියවලම ඉඳිමු.”

අනතුරුව ගඟුල් කෙළේ සිය ජංගම දූරකථනයේ මුහුණත දෙස බලාගෙන සුමින්ද කිත්සිරිගේ සුදුමල් නම් අප්‍රකාශිත කාව්‍ය සංග්‍රහයේ එන මීනෙන් මේෂයට නම් කවි පන්තිය කියැවීම ය. ඒ මොහොතේ අතුල විසින් සිදු කරන ලද්දේ නිහඬ ශ්‍රාවකයා බවට පත් වීම යි.

“රතිඤ්ඤා ගිගුම් - පුපුරමින් හඬ නගා

දෝංකාරය නැගේ - ඈත කඳු මත රැඳී

කොහා කැත කෙට්ටු තුඩ - අගින් දිව වෙණ වයා

හිරු දුවනවා - මීනෙන් මේෂයට

ලෝකය කැරකී - හෙට එළි වෙනවා

කාලයේ මකරකට - යළිත් දිනයක් වමාරයි

හිරු දෙවිඳු හතිදදා - දාහයෙන් දැවි දැවී දුවනවා යළිත් - මේෂයෙන් දුරකට

මීනයේ කෙළවරට

ලෝකයේ පැරණිතම දුර ධාවකයා

ලෝකයේ පැරණිම මැරතන්කරුවා

දුවන මේ හිරු තමයි

බක්මහේ සැණකෙළියෙ - ගම හරහා දිව යද්දි

සැණකෙළිය මැදින් ගම - තව විඩාපත් වෙද්දි

සිතුයෙමි මම”

“මාර චරිතයක්නෙ බන් උඹේ සුමින්ද අය්යා. බලහන්කො සූර්යා මීන රාශයෙන් මීන රාශියට එනවා කියන අපි කවුරුත් දන්න කාරණෙන් පටන් අරගෙන එයා මේක ගේන තැන. එතකොට හිරුගෙ සමස්ත ක්‍රියාවලිය මෙයා සමාන කරන්නෙ හතිදාන ක්‍රීඩකයෙකුට. ඒ විතරක් ද ඉර ලෝකෙ ඉන්න පැරණිතම දුර ධාවකයට සමාන කිරීම ලෝකයේ පැරණිම මැරතන්කරුවා විදිහට දැකීම. මට මේක පට්ටෙටම දැනෙනවා මල්ලි. මොකද මමත් ඉස්කෝලෙ ඉඳලා ළඟ දුර දුවපු ක්‍රීඩකයෙක්නෙ. බලපන් මල්ලි, මේ එයා ඉස්කෝලෙ යන කාලෙ ලියපු එකක්නෙ නේද?”

“මන් හිතන්නෙ අය්යට මේක දැනෙන්නෙ ක්‍රීඩකයෙක් වීම නිසා විතරක් නෙමෙයි. ඔයාටත් අලුත් විදිහට කෙනෙක් දැකපු දෙයක් අලුත් විදිහට ග්‍රහණය කරගන්න පුළුවන් හිතකුත් තියෙන නිසයි. ඔයා මේ තියෙන අවුරුදු උත්සව නං හරි නෑ ඊට වෙනස් එකක් කරන්න ඕනෙයි කියලා හිතපු නිසා තමයි අද මෙහෙ ආවෙත්. තව දෙයක් තියෙනවා අතුලය්යෙ කියන්න. මට හිතෙන හැටියට සුමින්ද අය්යා ගැන කියන්න තියෙන විශේෂණ පදේ මාර නෙමෙයි අය්යෙ ප්‍රබුද්ධ කියන එකයි. සුමින්ද අය්යා කියන්නෙ මගෙ ජීවිතේ මට කිට්ටුවෙන් ඇසුරු කරන්න ලැබිච්ච ප්‍රබුද්ධ මිනිස්සු අතළොස්සෙන් කෙනෙක්.”

“මට හිතෙනවා මල්ල,ි අපේ මේ අවුරුදු සාකච්ඡාව අන්තිමට උඹ ඔය කියන විදිහෙ යහපත් මිනිහෙක් ගාවට ගෙනාපු එක ගොඩක් හොඳයි කියලා. උඹ එයාව බලන්න යන දවසක මටත් කියපන් මාත් එනවා යන්න.”

“ඔයා දැන් ඔය කියපු වචන ටික ඔය විදිහටම කිව්ව තවත් යාළුවෙක් ඉන්නවා මට එහෙ එක්ක යන්න.”

“කවුද මල්ලි, ඒ මාත් දන්න පොරක් ද?”

“ඔයා පෞද්ගලික ව දන්නෙ නැති උනාට එයත් ක්‍රීඩකයෙක්. ක්‍රීඩා ගුරුවරයෙක් වෙච්ච ඔයාට ඒ චරිතෙ ආගන්තුක චරිතයක් වෙන්ඩ විදිහක් නෑ.”

“කවුද මල්ලි ඒ.”

“හේමන්ත බොතේජු.”

“ඒ බන් හොඳ ක්‍රිකටර් කෙනෙක්නෙ. ලංකා කණ්ඩායම බොහොම අසීරුවට පත් වෙච්ච වෙලාවක ශතකයක් ගහලා රටේ නම, ලෝකෙ රන්දපු ක්‍රිකටර් කෙනෙක්නෙ එයා. මොකක් ද උඹගෙයි එයාගෙයි තියෙන කනෙක්ෂන් එක.”

“ඒකනං ඉතින් ක්‍රිකට් සම්බන්ධයක් නෙමෙයි. ඒක සාහිත්‍ය සම්බන්ධයක්. මට එයාව මුණ ගැහෙන්නෙ අපේ සර්ලගෙ ගෙදරදි. එදා අපි මහ රෑ වෙනකන් කතා කළේ ක්‍රිකට් නෙමෙයි කවි ගැන, කෙටිකතා ගැන කොටින්ම අපේ සාහිත්‍යෙ විවිධ පැතිකඩ ගැන. මොකද හේමන්ත කියන්නෙත් කවි පොතක් වගෙම තමන්ගෙ ජීවිත කතාව පාඨකයන්ට දැනෙන බාසාවකින් ලියලා සමාජගත කරපු මනුස්සයෙක්. ඒ වගෙම මේ දවස්වලත් එයා අලුත් කවි පොත් දෙකක වැඩ කරගෙන යනවා. එදා එයා තමන්ගෙ පුතත් එක්ක සර්ලගෙ ගෙදර ඇවිල්ලා හිටියෙත් ඒ ලියපු අලුත් කවි ගැන සර් එක්ක, මිස් එක්ක ඒ වගෙම එහෙ ඉන්න පුතයි දුවයි එක්ක කතා කරන්න.”

“මට හිතෙනවා මල්ලි උඹේ මේ සුමින්ද අය්යා ඒ වගෙම මේ ක්‍රීඩකයා හේමන්තත් එක්ක කරන සාකච්ඡාවකිනුත් අපි මේ කරන්න යන වෙනස් අවුරුදු උත්සවේ ගැන අලුත් අදහස් ගන්න පුළුවන් වේවි කියලා.”

මේ අනුව අතුල ගඟුල්ගෙන් සමුගෙන, එනිවස ආදරණීය අම්මාගෙන් ලද සංග්‍රහයත් භුක්ති විඳ එතැනින් නික්ම ගියේ අවකාශ ලැබෙන පළමු අවස්ථාවේ දී ම සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාගේ නිවහනට යාමේ අදිටන ද හද ගැබ දරාගෙන ය. ගඟුල් විසින් ඒ මොහොතේ සිදු කරන ලද්දේ තමා සිය මිතුරන් දෙදෙනකු සමග සුමින්ද බැලීමට එන බව දන්වා සෙත් පැතුමක් වශයෙන් අල්විස් පෙරේරා කවියා විමලරත්න කිවිඳුනට ලියූ පහත සඳහන් කව ද එහි සටහන් කොට පණිවිඩයක් යැවීම ය.

“මෙතෙක් කළ රස මෙහෙය පිබිදී ඔබට රස නිවනක් ගෙනේවා

රටට ඔබ අද වුවමනා බව මට වගේ ඔබටත් දැනේවා

තොටිල්ලය පෙර වගේ අද-හෙට කවක මහිමය දැන වැනේවා

ලෙඩින් පසුවන ඔබට වනයේ හැම මලින් සුවඳක් ගෙනේවා”

1 comment: