දෙවන දියවර
“පුතා, ලොකු සර් දැන් ඔෆිස්සෙකේ ඉන්නව ද?” ගඟුල් තමා ඉදිරියට එමින් සිටි ශිෂ්‍යයකුගෙන් විමසුවේ ය. ඒ හයවන හෝ හත්වන වසරේ පමණ විය හැකි දරුවෙකි.
“මහත්තයා ඔතනින් හැරිලා අර දෙපැත්තෙ සල් ගස් තියෙන පාරෙන් ඉස්සරහට යන්නකො. හැබැයි දැන්නං ලොකු සර් ඔපිස්සෙකේ නෑ. මන් දැක්ක සර් ග්‍රවුන්ඩ්ඩෙක පැත්තට යනව.”
‘කෝකටත් ඔෆිස්සෙකට ගිහිල්ල ඉන්නවා.’ මෙසේ තමාට ම කියාගත් ගඟුල් කාර්යාලය දෙසට පිය මැන්නේ ය. ඒ යන අතර ඔහු සල් රුකක් යට නැවතී සල් මල් සුවඳ විඳ ගත්තේ ය. එතැන රැඳි මොහොතේ තමා දෙස බලමින් කතාබහක යෙදෙන උසස් පෙළ සිසුවියන් යැයි සිතිය හැකි තුරුණු දැරියන් තිදෙනකු ඔහුට දක්නට ලැබිණ. ඒ අතර සිටි තරමක් කටකාර දැරියක මෙසේ කියනු ගඟුල්ට ඇසිණ.
“ඒනං ෂුවර්රෙකටම අපේ ඉස්කෝලෙට අර අලුතින් එනව කියල තියෙන සර් තමා.”
“ඔයා කොහොමද එහෙම ඉස්තීරෙටම කියන්නෙ. වෙන වැඩකට ලොකු සර් හම්බ වෙන්න ආපු මහත්තයෙක් වෙන්ඩත් පුළුවන්. වෙන අපේ සර් කෙනෙක්ව මිස් කෙනෙක්ව හම්බ වෙන්ඩ ආ කෙනෙක් වෙන්ඩත් පුළුවන්. එහෙමත් නැත්නං මේ අපේ ඉස්කෝලෙ ගැන පැතිරිලා තියෙන කීර්ති රාවෙ නිසා තමන්ගෙ දරුව දාගන්ඩ ආපු තාත්තෙක් වෙන්ඩත් පුළුවන්. ඒත්...... එහෙම හිතන්ඩත් අමාරුයි. මොකද මේ මහත්තය ගොඩක් තරුණ කෙනෙක්. හ්ම්... එයාට ඉන්නවනං ඉන්න පුළුවන් එක වසරෙ විතර ළමයෙක් තමයි. එහෙනං එයා මෙහෙ එන්නැතිව යන්න ඕන අපේ ප්‍රාථමිකේට. කවුද මේ ඇත්තටම මෙයා.”
සල් ගසට වැසී ඇති බැවින් ගඟුල් මෙතැන සිටින බවක් එම දැරියනට පෙනෙන්නේ නැත. ඒ නිසා ම ඔවුහු නිදහසේ කතා කරති.
“අනේ සකුනි, ඔයාගෙ කට රිදෙන්නැද්ද කියවලා. හැබැයි කවුරු උනත් ඔයාට දාල තියෙන නම නං හරියටම හරි. ඇයි කිරිල්ලියෙක් වගේ හැම තිස්සෙම කියවනවනෙ.”
“ඕ ගොල්ල ඉතින් මගෙ දොස්මනෙ දකින්නෙ. තේරෙයි මන් නැති දවසක මගෙ අගේ.”
ඇය ඒ වචන ටික කීවේ ද අමුතු ම ආකාරයකට කට හදමිනි.
“අනේ වස්තුවෙ, විහිලුවක්වත් තේරෙන්නැද්ද? කෙනෙක් නැති වෙන්නම ඕන නැහැ එයාගෙ අගේ දැනෙන්න. ඔයා ඉස්කෝලෙ ආපු නැති දවසට උනත් අපිට කොච්චරක් නං පාළුයි ද?”
“ඒ කොහොම උනත් මයූ, ඒ සර් කෙනෙක් නං ඒ සරුත් අපේ පන්තියට නං දාන එකක් නෑ. මොකද අපි ඉතින් ඉස්කෝලෙ ඉන්න සුප්‍රසිද්ධ මැටි සහ වලි පන්තියනෙ.”
“ඔව් ඔව් ඒක ඇත්ත. මිහිදිනි මිස්, සංගීත මිස්, අතුල සර් වගේ කීප දෙනෙකුට ඇරුණම අනික් ගොඩක් සර්ලා මිස්ලට අපි තමයි එපා කරපු පන්තියෙ එවුන්. ඒත් සිංහලවලට නේද අලුත් උපාධි ගුරුවරයෙක් එනව කියල තිබුණෙ. එහෙම උනොත් ලොකු සර් නං අනිවාර්යෙන්ම ඒ සර්ව අපට දේවි.”
මෙසේ කීවේ ද සකුනි ය.
“ඉතින් සකුනි, ඇත්තත් ඒකනෙ. අපේ පන්තියෙ කෙල්ලන්ට එහා කොල්ලො, කොල්ලන්ට එහා කෙල්ලො. වැලිකල මිස්, සිල්ව මැඩම් එහෙම ඒ සර්ට කියාවි කොයි පන්තිය ගත්තත් කමක් නෑ එකොළහ බී එකට නං යන්න එපා කියලා.”
ඒ මයූ ය.
“මිහිරි, මන් ඇට් කරල පෙන්නන්ඩ ද ඒ සර්ට වැලිකල මිස් කතා කරන හැටි.”
එසේ පැවසුවේ සකුනි ය.
“මේ පුතා ඉගෙන ගත්ත හොඳ හැදිච්ච ළමයෙක් බව පේනවා. කොයි පන්තියට ගියත් යන්න නං එපා එකොළහ බී එකට. නැහැදිච්ච උන්ගෙනුත් නැහැදිච්ච උන් තමා ඔය පන්තියෙ ඉන්නෙ. නැද්ද මං කියන්නෙ.”
ඔන්න ඉතින් සිල්වා මැඩම් ඒකට උත්තර දෙන හැටි.”
“අනේ මේ මොනව කියනව ද මිසිස් සිල්වා. ඕකෙ කොල්ලො ටික නං ටිකක් හරි හොඳයි. එපාම එපාම කරපු කෙල්ලො තමයි ඔය පන්තියෙ ඉන්නෙ.”
සකුනි එපාම එපාම යනුවෙන් වචන උච්චාරණය කළ ආකාරය නිසා මතු වන්නට ගිය සිනහව ගඟුල් නතර කොට ගත්තේ අසීරුවෙනි.
“ඔයගොල්ල ඔය අපේම ගුරුවරුන්ට නේද හිනා වෙන්නෙ. ඉගැන්නුව නැතා මං නං ආස නෑ ඒවට.”
මිහිරි පැවසුවා ය.
“ඔයා ආස නැද්ද මිහිරි. ඒ උනාට ඒ අපේම අපේම මැඩම්ලා අපිට වගේම ඔයාටත් ආස නෑ හොඳේ.”
සකුනි ඇදපැද කීවා ය.
“ඔය ගොල්ල මොනව කරනව ද මෙතෙන්ට වෙලා. ඉස්කෝලෙ ඇරෙන්ඩත් ළඟයි. ගුරුවරයෙක් නැත්තං පන්තියට වෙලා නිස්සද්දව ඉන්න දැනගන්න ඕන. මොකෝ මේ ඔය ළමයි අමුතු විදියට බලන්නෙ. සකූ.. මයූ.. මිහිරී.... මන් මේ ඔය ළමයි තුන්දෙනාටමයි කියන්නෙ. ඉස්කෝලෙ අනික් ළමයින්ට ආදර්සයක් වෙන්න ඕන ළමයි මෙහෙම ද හැසිරෙන්නෙ.”
මෙසේ පැවසුවේ එතැනට පැමිණි මැදිවියේ ගුරුවරියකි.
“ඉතින් මැඩම්, අපි දැන් වැරදි දෙයක් කළේ නැහැනෙ. කතා කර හිටිය විතරනෙ.”
“සකුනි, මාත් එක්ක කට ගහගෙන විතරක් එන්ඩ එපා.කතා කර කර හිටිය විතරයි...හොඳ දේවල්ම කතා කරන්න ඇති මාර දූවරු තුන්දෙනා. දුවනව තුන්දෙනා ම පන්තියට.”
“මොකෝ වැලිකල ටීචර් මේ කේන්තියෙන් වගෙ.”
දැරියන් තිදෙනා පන්තිය කරා දිවයද්දී එසේ ඇසුවේ එතැනට පැමිණි තරුණ ගුරුවරියකි.
“නැහැදිච්ච කෙල්ලො. අර තේරිච්ච එවුන් ඉන්න බී පන්තියෙ. මහ ලොකු උසස් පෙළ. මන් දන්නව ඔවුන් කවදා හරි යන්නෙ විශ්වවිද්‍යාලෙට නෙමෙයි මැගසින් බන්ධනාගාරෙට.”
“අනේ මැඩම්, ඒ නැහැදිච්ච ළමයි නං අපි වැඩියෙන් මහන්සි වෙන්න ඕනෙ ඒ ළමයින්ව හදා ගන්නනෙ.”
‘නියම උත්තරේ.’ මුළු සිදුවීම ම පසෙකට වී නිරීක්ෂණය කළ ගඟුල් තමාට ම කියා ගත්තේ ය.
“මේ නදී මන් එකක් කියන්නං, ඕගොල්ලන්ගෙ සමාජවාදෙ මෙහෙට හරි යන්නෙ නැහැ. ඕගොල්ලො හිතන් ඉන්නව නං මුන්ට උගන්නල මුන්ව විස්වවිද්‍යාලෙට යවන්න. ඒක ඕගොල්ලන්ගෙ හීන ලැයිස්තුවෙ තියා ගන්න. ඕනම නං අර උසස් පෙළ ඒ පන්තියෙ වැඩ ඉල්ලගන්න. අඩු ගානෙ ඒ පන්තියෙ ගමේ වැදගත් මිනිස්සුන්ගෙ ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්නව. මන් මේ ගමේ ඉපදිලා ගමේ ම ජීවත් වෙන ගෑනි. ඕගොල්ලො එනව යනව හරියට මෙරු වගේ. මන් දන්නව ඔය කෙල්ලන්ගෙ අලගිය මුලගිය තැන් ඉඳලම.”
තරුණ ගුරුවරිය ඊට කිසි පිළිතුරක් නොදී එතැනින් නික්ම යනු ගඟුල් දුටුවේ ය. එහෙත් ඒ නිහඬ වතින් ඔහු බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය.
ගඟුල්ට සිහිපත් වූයේ සිය පාසල් ජීවිතය යි. තමා තුනේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වා උගත් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය හා බැඳුණු සුන්දර අතීතයයි. විශේෂයෙන් තමා තුනේ පන්තියේදීත් සිය සොහොයුරා හයේ පන්තියේත් සිටියදී විදුහල්පති ලෙස පත් ව ආ රන්ජිත් මුතුකුඩ මහතා විද්‍යාරාජයේ ඇති කළ පුනර්ජීවනය ඔහුට සිහිවිය. පසුකලෙක තමා ද ඉගෙන ගන්නට භාග්‍යවත් වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධරයකු වූ එතුමා සිය වැටුපින් කොටසක් පවා වෙන් කෙළේ දුෂ්කරතා තිබූ සිසු දරුදැරියනට පොතපත අරන් දීමට ය. ගුරුමණ්ඩලයේ අතළොස්සක් හැරෙන්නට අනෙකුත් සියලු ම දෙනා එතුමාට මහත් ශක්තියක් ද ශිෂ්‍ය ප්‍රජාවට ආශිර්වාදයක් ද වෙමින් ද කටයුතු කළ ආකාරය ගඟුල් සිහිපත් කෙළේ මහත් ගෞරවයෙනි.
ගඟුල් කාර්යාලය ඇතුළට ගියේ ය. එහි තරමක ලොකු මේසයක් ද අනික් පස හිස් පුටුවක් ද විය. අනිවාර්යයෙන් ම මේ විදුහල්පතිතුමාගේ අසුන සහ පුටුව විය යුතු යැයි ගඟුල් සිතුවේ ය. ඊට තරමක් ඈතට වන්නට තිබූ මේසයේ යමක් ලියමින් හුන්නේ මැදිවියේ මහතෙකි. ඔහුට වම්පසින් තිබූ මේසය ළඟ තිබූ පුටුවේ හිඳ සිටි තරුණිය දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියා ය. ඇයගේ එම කටයුත්ත අවසන් වන තෙක් බලා සිටි ගඟුල් ඇය වෙත ගොස් කතා කෙළේ ය.
“මිස්, මන් මේ විදුහල්පතිතුමා හම්බ වෙන්න. සර් දැන් එයි නේද?”
“ඔව් ඉක්මණට එයි. සර් ග්‍රවුන්ඩ් එකට ගියේ. සර් එනකං මේ සර්, මෙහෙන් වාඩිවෙලා ඉන්න.”
ඇය විදුහල්පතිතුමාගේ මේසය අනික් පස පනවා තිබූ අසුන් පෙළ දක්වා කීවා ය. අමුත්තකු පැමිණ ඇති බව දුටු මැදිවියේ මහතා හිස ඔසවා බැලී ය. අනතුරුව ගඟුල් දෙස බලා මඳ සිනහවක් පෑ ඔහු මෙසේ පැවසීය.
“මන් හිතන්නෙ මේ අද අලුතින් ඉස්කෝලෙට එනවා කියලා තියෙන සර් වෙන්න ඕන. එන්න ඉඳගන්න.”
“ඔව් සර් මට අද ඉඳලයි වැඩ බාර ගන්න තියෙන්නෙ.”
“විදුහල්පතිතුමා ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා. දැන් ක්‍රීඩා උත්සවේ ළඟයිනෙ. හැබැයි තව පොඩ්ඩකින් සර් ඒවි. එතකන් ඔබතුමා ටිකක් ඉඳගෙන ඉන්නකො. නිම්මි මේ සර්ට අද පත්තරේ දෙන්නකො එතකන් බල බල ඉන්න.”
ගඟුල් පුවත්පත පිටුවෙන් පිටුව පෙරළාගෙන ගිය මුත් එය කියැවීමට ගියේ නැත. ඔහුට මොහොතින් මොහොත කල්පනා වන්නේ හෙට සිට ගුරුවරයකු ලෙස කටයුතු කළ යුතු ආකාරය ගැන ය. ගුරුකම වූ කලී පොතපතින් නොව ජීවිතයෙන් උගත යුතු කලාවකි. සිය දෙමව්පියනට අවශ්‍ය ව තිබුණේ වැඩිහිටි මාමා කෙනෙකු සමග මේ ගමන එවීමට ය. එහෙත් ගඟුල් එකහෙළා කියා සිටියේ ආරම්භක දවසේ සිට ම තමා එයට තනිව ම මුහුණ දිය යුතු බව ය. ඊට සම්පූර්ණ එකඟතාව පළ කෙළේ අය්යා ය.
“තාත්තෙ අපි මල්ලිට තනියම යන්න දෙමු. අපි ටික දවසක් ගිහිල්ලා ඕන නං ගිහිල්ලා බලලා එමු.”
අය්යා තමාගේ අදහස තහවුරු කෙළේ එසේ ය. අම්මා එතැනින් පිට ව ගියේ ‘අනේ මන්දා තාත්තලා පුතාලට ඕන එකක්’ යයි කියමිනි.
“පොඩි පුතේ අම්මට තාම ඔයා පොඩි පුතා. එහෙම තමයි අම්මල කියන අය.”
තාත්තා මෙම ගමනට සිය අනුමැතිය ලබා දුන්නේ එම වචන කිහිපය ද පවසමිනි.
අය්යා තමාගේ හැම අදහසක් ම එක්වන් ව අනුමත නොකරයි. ඇතැම් කරුණක් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාව පළ කරන ඔහු තවත් කරුණක් පිළිබඳ ව සපුරා විරුද්ධ වෙයි. තවත් විටෙක කිසිවක් නොකියා නිහඬ ව සිටියි. මේ අවස්ථා තුනේ ම ඇති ගැඹුරු අරුත ගඟුල්ට වඩාත් හොඳින් අවබෝධ වූයේ පසු කලෙක ය. අය්යා එරෙහි වන්නේ මල්ලීට නොපෙනෙන පැති ඔහුට පෙනෙන විට ය. ඔහු එකඟ වන්නේ මල්ලී මේ යන පාර නිවැරදි ය යන හැඟුම ඔහුට ඇති වූ විට ය. නිහඬ වන්නේ එකරුණ සිය සොහොයුරා විසින් තම අද්දැකීමෙන් ම අවබෝධ කොට ගත යුතු ය යන හැඟීම ඇති වූ විට ය. තමාගේ ජීවිතයට ද මහත් ආලෝකයක් වූ ඒ ආදරණීය ගුරු සහෘදයාගේ - සමන් සිත්තරාගේ ජීවිතය වඩාත් හොඳින් කියැවීමට සමත් වූ මිනිසෙකි, සිය සොහොයුරා. එචරිතයෙන් ලද ආලෝකය ද වරින්වර සිය සොහොයුරාගේ ජීවිතයෙන් නොමඳ ව ප්‍රකාශයට පත්වනු ගඟුල් දැක තිබේ. විදුහල්පතිතුමා එන තෙක් කාර්යාලයේ හිඳ සිටින ඔහුට මේ බොහෝ දේ සිහි වෙයි.
වරෙක “නූතන ගීතයේ මහගමසේකර ලකුණ”යන මාතෘකාව යටතේ තමා විසින් ලියන ලද ලිපියේ උපරිම සහෘදයා වූයේ ද අය්යා ය. එසේ ම එම ලිපිය අවසන් කොට තිබූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රබල විරෝධකයා වූයේ ද අය්යා ය. මහගමසේකරගේ නිර්මාණ කෞශල්‍යය සනිදර්ශන ව පැහැදිලි කෙරෙන එම ලිපියේ අවසානය සලකුණු කිරීම සඳහා ගඟුල් තෝරාගෙන තිබුණේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ පහත සඳහන් ප්‍රකාශය යි.
“අවට බලන මට දක්නට ලැබෙන්නේ ප්‍රොඪ වූ ශිෂ්ටාචාරයක සිඳීබිඳී ගිය නටබුන් ය. එහෙත් මිනිසා කෙරෙහි විශ්වාසය නොතැබීම නැමති භයානක පාපය මම නොකරමි.”
“මේ තාගෝර්තුමාගෙ ප්‍රකාශෙ මේ ලිපියෙන් වහාම ඉවත් කරන්න.”
එදා අය්යා අවධාරණයෙන් කියා සිටියේ ය. ගඟුල් පැවසුවේ සිය ලිපියේ හරය කුළුගැන්වෙන ප්‍රධාන ප්‍රකාශය එය බව යි. එහෙයින් එය ඉවත් කළ නොහැකි බව යි. සොහොයුරන් දෙදෙනාගේ මේ කෙළවරක් නොවන විවාදය දෙස බලා සිටි අම්මා, අන්තිමේ දී මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.
“ලොකු පුතේ ඔයා මල්ලිට ඕන විදිහට එයාගෙ ලිපිය ඉවර කරන්න අරින්න. ඒක එයාගෙ ලිපියනෙ. ඔයා ලියන ඒව ඔයාට ඕන විදිහට ඉවර කරන්න. මල්ලි එයාගෙ ඒව එයාට ඕන විදිහට ඉවර කරපුවාවෙ.”
“ඒවා කොහෙද මාත් එක්ක. මන් ජීවත් ව ඉන්නකල් ඒ සෙල්ලම් කරන්න බෑ.”
අය්යා කිව්වේ සිනාසෙමිනි. අනතුරුව ඔහු තමා ඊට විරුද්ධ වන හේතුව සිය සොහොයුරාට ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන්නේ ය.
’මල්ලි, ඔයා මහගමසේකරගෙ කවිතාවෙ විශේෂතා ලස්සනට පැහැදිලි කරගෙන ගිහිල්ල ඒක අවසාන කරන්නෙ තාගෝර්තුමාගෙ ප්‍රබල ප්‍රකාශයකින්. එතකොට වෙන්නෙ ලිපිය බලන අයට සේකර අමතක වෙලා තාගෝර් ඉස්මතු වෙන එක. ඒක සේකරට කරන අසාධාරණයක්. මෙහෙමත් හිතන්න. ඔයා තාගෝර් ගැන ලිපියක් ලියනවා. ඒක ඉවර කරන්න තෝර ගන්නවා සේකරගෙ ලස්සන කවියක්, එහෙම නැත්තං එයාගෙ වඩාත් දැනෙන ගීතයක කොටසක්. ඔයාම හිතන්නකො එතකොට තාගෝර්ට මොකද වෙන්නෙ කියලා.”
නිදහස් නිර්මාණකරුවකු වශයෙන් කටයුතු කරන අය්යා වෘත්තීය වශයෙන් නම් ගුරුවරයෙක් නොවේ. එහෙත් ඔහු තමාට බොහෝ අවස්ථාවල දී ගුරුවරයකු වන බව ගඟුල් දනියි. සිය සොහොයුරාගේත් සමන් අය්යාගේත් ආකල්ප අතර ඇති සමතාව ඒ දෙදෙනාගේ කල්‍යාණ මිත්‍රත්වයේ පදනම විය. යටකී සිදුවීම වූ කාලයේ සමන් ජීවත් ව සිටියේ ය. මේ ගැන කියූ විට ඔහු ප්‍රකාශ කෙළේ මෙවන් අදහසකි.
“ගඟුල් මල්ලි, ඔයාගෙ අය්යා කියන එක හරි. අපට ඕන කරන්නෙ සේකරගේ නිර්මාණ කුශලතාව ගැන කියන්න නම් ඒකට යි ප්‍රමුඛතාව දෙන්න ඕන. හැබැයි තමන්ට විශේෂම හේතුවක් තියෙනවනං අපි අර මතේම ඉන්න ඕනත් නෑ.”
ගඟුල් අනතුරුව තම අත රැඳි පුවත්පතට අවධානය යොමු කෙළේ ය. එහි මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට යටින් තරමක ලොකු අකුරින් මෙවන් සිරස් තලයක් විය.
“ගුරුවරයාට අතවර චෝදනා”
තවදුරටත් පුවත්පතේ පිටු පෙරළමින් යද්දී ඇතුළු පිටුවක කුඩා තීරුවක සඳහන් කොට තිබූ තවත් ප්‍රවෘත්තියකට ඔහුගේ ඇස යොමු විය.
“ගුරුවරයා සිය ලේ පුදා සිසුවියගේ දිවි ගලවයි.”
පුවත්පතට ප්‍රධාන වී තිබුණේ අසත් ක්‍රියාව කළ ගුරුවරයා සම්බන්ධ සිදුවීම යි. සිය සිරුරින් ලේ දී අහිංසක සිසුවියකගේ ජීවිතය ගලවා ගත් ගුරුවරයා සම්බන්ධ ප්‍රවෘත්තිය ඔවුනට අප්‍රධාන එකකි. සන්නිවේදකයාගේ මෙහෙවර මෙය ද? ගඟුල් ඒ ගැන සිතුවේ සංවේගයෙනි. මේ මොහොතේ ඔහුගේ මතකයට ආවේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ගුවන්විදුලි සාකච්ජාවක දී පළ කළ අදහසකි.
“සන්නිවේදන කියන වචනයේ හොඳ ගැඹුරු ලස්සන අර්ථයක් තියෙනවා. ඔය වචනෙ හැදෙන්නෙ ‘සැමතින් ම, යහපත් ව, එකට’ යනාදි අර්ථ දෙන ‘සම්’ කියන උපසර්ගය මුලින් යෙදිලා ‘දැනීම’ සහ ‘දැකීම’ යන අර්ථ දෙන ‘විද්’ ධාතුවෙන්. ඔය අතර මැද තියෙන ‘නි’ උපසර්ගය නිෂේධාර්ථයෙ, ඒ කියන්නෙ නැත යන අර්ථයෙ වගේම යමක් විශේෂ කිරීමේ අර්ථයෙනුත් යෙදෙනවා. එහෙම බැලුවහම හැම පැත්තෙන්ම යහපත් විදියට එකට එකතු වෙලා විශේෂයෙන් දැනගෙන, දැකීමකින් යුතුව සමාජයට කරන ඉදිරිපත් කිරීමකටයි සන්නිවේදනය කියල කියන්න පුළුවන්. සන්නිවේදකයා කියන්නෙ හැමතින්ම යහපත්ව, යමක් නිකන් නෙමෙයි විශේෂයෙන් දැනගෙන, දැකීමක් ඇතුව ලෝකය පවතිනවාට වඩා ඒ ඉන්න තැනින් අඟලක් හරි උඩට ගේන්න වෑයම් කරන කෙනාට යි.”
තමා ඇතුළු එම දේශනවලට සවන් දුන් කිහිපදෙනෙකු තුළ ම වචනවල අර්ථ දැනගැනීමේ උනන්දුව ඇති වූයේ අදිකාරම්තුමා නිසා ය. වචනවල නිවැරදි අර්ථ දැනගැනීම යනු තමා කරන ක්‍රියාවේ අරුත දැන කටයුතු කරන සමාජයක් බිහිවීම ය යන ආකල්පය තමා තුළ ඇතිවීමෙහි ලා උල්පත වූයේ ද එතුමා ය.
ගඟුල් කල්පනා ලෝකයෙන් මිදුණේ කාර්යාලයට ඇතුළුවන කෙනෙකුගේ පියවර හඬ ඇසීමත් සමග ය. ඒ පැමිණියේ සුදෝසුදු ජාතික ඇඳුමකින් සැරසුණු ප්‍රසන්න පුද්ගලයෙකි. ඔහු දුටු මතින් ම මේ නම් විදුහල්පතිවරයා ය යන හැඟීම ගඟුල් තුළ ඇති විය. හිඳසිටි අසුනින් නැඟීසිටි ගඟුල් ඔහු එන පෙරමගට ගියේ ය.
“ආයුබෝවන් සර් මන් හිතන්නෙ මේ ලොකු සර් වෙන්න ඕන.”
“ඔව්, මන් හිතන්නෙ මේ අපේ ඉස්කෝලෙට ආපු අලුත් මහත්තය නේද? යන් අපි ඉඳගෙනම කතා කරමුකො.”
විදුහල්පතිතුමා සිය අසුනේ හිඳගත්තේ ගඟුල්ට ද හිඳගන්නා මෙන් අතින් සන් කරමිනි.
“මොකක් ද මේ සර්ගෙ නම.” විදුහල්පතිතුමා ඇසී ය.
“මම සර් ගඟුල්. ගඟුල් සමරනායක.”
“ජාති. මේ පළාතටත් ඕන ගඟුලක් ම තමයි. මොකද මේ පැත්තෙ කොච්චර වැව් තිබ්බත් නියඟ නිසා ඒව හරි ඉක්මණට හිඳෙනවනෙ.“
විදුහල්පතිවරයා සිනාසෙමින් කීවේ ය.
“ලොකු සර් මේ පැත්තෙම කෙනෙක් ද?”
ගඟුල් විමසීය.
“නෑ ගඟුල්, කුරුණෑගල ආපු මට උනෙත් වන්නියට ආපු කුමාරගමට වෙච්ච එක. මම ගම්පහ. මෙහෙ තරමක් දුෂ්කරයි තමයි. මෙහෙට ආවෙත් කෙටි කාලයක් වැඩ කරලා ගමට යන්න බලා ගෙන. ඒත් මේ අහිංසක ළමයි, ඒ ගොල්ලන්ගෙ අප්‍රමාණ බලාපොරොත්තු දැක්කට පස්සෙ මට යන්න හිතුණෙ නෑ.”
විදුහල්පතිවරයා ඒ වදන් පැවසුවේ කාර්යාලයේ කවුළුවෙන් බැලූවිට එක එල්ලේ ම පෙනෙන පන්තියේ සිටින සිසු දරුදැරියන් දෙස බලමිනි.
“අපි ගඟුල් ඔක්කොටම ඉස්සෙල්ල තේකක් බීලා හිටිමු.”
“පියසේන, අපිට ගේන්නකො තේ.ඔය තල රුලං මොනව හරි එක්ක.”
ඔහු එසේ පැවසුවේ කාර්යාලකාර්ය සහායකවරයාට ය.
“සර් මන් නං නාගොල්ලගමින් තේ බීලයි ආවෙ.”
“මොන... මේ තරුණ කොල්ලන්ට මොකෝ තව තේකක් බොන්න බැරි. පියසේන ගේන්ඩ අපට තේ. අර සර්ටයි මිස්ටයිත් එක්ක.”
විදුහල්පතිවරයා එසේ පැවසුවේ කාර්යාලයේ ලේඛන කටයුතු කරමින් සිටි මැදිවියේ මහතා සහ තරුණිය පෙන්වමිනි.
මේ ගත ව ගිය කෙටි නිමේශය පමණක් වුව විදුහල්පතිවරයා පිළිබඳ යම් අදහසක් ඇති කොට ගැනීමට ප්‍රමාණවත් නොවේ දැයි ගඟුල් කල්පනා කෙළේ ය. ඒ අතර ම ඔහුට සිහිවූයේ සමන් අයියා සිය සොහොයුරා සමග කළ කතාබහකදී කී දෙයකි.
“ විපුල් ඔයාගෙ අවංකකමයි මනුස්සකමයි ගැන අපි දන්නව. ඒත් වංක මිනිස්සු ඒ දෙකෙන් ම තමයි වැරදි ප්‍රයෝජන ගන්නෙ. මන් ඔයාගෙ දකින අඩුව ඔයා මනුස්සයෙක් ඇසුරට ඇවිල්ල දවසයි දෙකයි එක්කො එයා ගැන වහා පැහැදෙනව. එහෙම නැත්තං කළකිරෙනව.”
“ඉතින් සමන් මට කියන්නෙ එයත් එක්ක මේ වැඩේ පටන් ගන්න එපා කියල ද?”
අය්යා එදා එසේ ඇසූ බව ගඟුල්ට මතක ය.
“නෑ විපුල් අපි ටිකක් කාලයට ඉඩ දෙමු.”
තමා විසින් කළයුතු ව ඇත්තේ ද එය යි. මේ අතර පළමු දසුනින් ම තමා තුළ පහන් හැඟුමක් ඇති කිරීමට සමත් වූ විදුහල්පතිවරයා, තමාගේ පත්වීමේ ලිපිය ද සහිත ලිපි ගොනුව පෙරළා බලනු ගඟුල් දුටුවේ ය.
“ඔයා ජයවර්ධනපුරේ නේද? සිංහල ෆස්ට් එකක්. හොඳයි හොඳයි. උසස් පෙළ පන්ති දෙකක් තියෙනව අපට. එක පන්තියකට ගුරුවරයෙක් අඩු යි. දැන් අපට අඩුවෙලා තිබිච්ච භයානක ගුරුවරයත් ලැබුණ කියලයි මට හිතෙන්නෙ.”
විදුහල්පතිවරයා සිනාසී කීවේ ය.
“ඒ කිව්වෙ සර්.”
විදුහල්පතිතුමාගේ මේ භයානක කතාව ඇසීමෙන් අන්දමන්ද වූ ගඟුල් ඇසී ය.
“ඒක හරි ලස්සන කතාවක්. දැන් ඉස්කෝලෙ අරින්ඩ ළඟයි. අපි කොහොමත් මේ තියෙන වැඩ ඉවර කරලා තමයි යන්නෙ. ගඟුල්ටත් පුළුවන් වෙයි නේද ටිකක් ඉන්න.
“මට පුළුවන් සර්. කොහොමටත් අර සර් කිව්ව භයානක ගුරුවරයා ගැන නං සර්ගෙන් දැනගන්ඩම ඕනෙ.”
මේ අතර පාසල ඇරෙන සීනුව නාද විය. සිසු දරුදැරියන්ගේ මුවින් “යෝ වද තං පවරෝ මනුජේසු” යන ගාථා පාඨ ලයාන්විත ව ගැයෙද්දී විදුහල්පතිතුමා ඇතුළු පිරිස එක්වන් ව අසුන්වලින් නැඟී සිටියහ. ඉනික්බිති දක්නට ලැබුණේ සුදු හංස රෑන් සෙයින් සිසුකැළ පාසල් බිමින් නික්ම යන ආකාරය යි.
කියවමි...විඳිමි...නිරතුරු
ReplyDelete//අඩු ගානෙ ඒ පන්තියෙ ගමේ වැදගත් මිනිස්සුන්ගෙ ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්නව. මන් මේ ගමේ ඉපදිලා ගමේ ම ජීවත් වෙන ගෑනි. ඕගොල්ලො එනව යනව හරියට මෙරු වගේ. මන් දන්නව ඔය කෙල්ලන්ගෙ අලගිය මුලගිය තැන් ඉඳලම.” // මේ වගේ සිදුවීම් ඇත්තටම සිදු වෙන්ව කියල වගේම තව කතාවලත් දැකල තියනවා. කතාව ලස්සනයි
ReplyDeleteඅපූරයි.. ඉස්සරහට තවත් රසවත් වෙයි කියල හිතනව. ජය
ReplyDeleteකියවන්න ආස හිතෙන පොතක් වගේ.කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteසුභ පැතුම් මල්ලි .මතක් උනාට පින්.