ග්‍රීසියෙන් පෙරදිගට පාත් වුණ දැරිවියක්ය කියලා කේන්දරේ තිබ්බට වැහිදැරියට හිතෙන්නෙම පූර්වාත්මභව හුඟක ඉන්න ඇත්තෙ අනුරාධපුරේ කියලයි. ඒ තරම් තද ආදරයක් වැහිදැරියට අනුරාධපුරේ එක්ක තියෙනවා.
මාසෙකට දෙතුන් පාරක් යන්න සැලසෙන දිගු තීර්ථ චාරිකා එකතුව පිරික්සලා බැලුවම, කොවිඩ් කාලෙ ඇරුණම ජීවිතේ අනිත් හැම අවුරුද්දෙම වැසි දැරිවිට වසරකට කීප වතාවක් අනුරාධපුර යන්න වැඩ සැලැස්වෙනව. හරියට තද ආත්මීය බන්ධනයකින් වැහිදැරිවිව රජරටට බැඳලා තියෙනවා වගෙයි.
ඉස්සර හැම අවුරුද්දෙම අනුරාධපුරේ යන්න වැහිදැරිවිට වැදෙන චාන්ස් එක තමා තාත්තා යන බිහිවැඩ චාරිකාව.
ඒ හැම අනුරාධපුර චාරිකාවකදිම වැහිදැරිය ගියත් නැතත් තාත්තා කුට්ටම්පොකුණ අද්දර සුට්ටං කඩේක රෙදි බෝනික්කො විකුණපු යුවතියකගෙන් බෝනික්කො අරන් ආවා. අදටත් වැහිදැරිවි ගාව මේ රෙදි බෝනික්කො රංචුවක් ඉන්නවා. එයාලාට එක එක කාලෙට නම් වැටුණේ එක එක විදියට. ලෝරා පොත් පෙළ කියවන කාලෙ ලෝරා,මේරි,කේරි. ඉන්දියානු පොත් කියවන කාලෙට රත්නා, ක්රිෂ්ණි.. ඔය විදියට නානාප්‍රකාර නම්වලින් හැඳින්වුණ බෝනික්කො එකතුව ටික ටික වැඩි වෙද්දි බෝනික්කො විකුණූ යුවතිය පුංචි යතුරුපැදියෙන් කාර් පොඩ්ඩෙක් දක්වා විතැන් වෙලා ව්‍යවසායිකාවක් වෙලා උන්නා.
වැහිදරුවා වැහිදැරිවිගෙ ජීවිතේට ආවට පස්සෙ අනුරාධපුරට ගිය හැම වතාවෙම ඔහු මේ බෝනික්කො වෙළඳසැලෙන් වැහිදැරිවිට බෝනික්කෙක් අරන් දෙන්න බලන් උන්නත් ඒ එක වතාවකවත් ඒ වෙළඳසැල තිබුණෙ නෑ. බාගෙදා වෙනත් තැනක - වෙනත් පෙදෙසක - වෙනත් දේසෙක ඒ හුරුබුහුටි රෙදි බෝනික්කියො ඈ අතින් අළෙවි වෙනවා ඇති!
කුට්ටම්පොකුණු මතකෙත් එක්ක වැහිදැරිවිට මතක් වෙන්නෙ අනුරාධපුරේ අස්සක් මුල්ලක් නෑර සරසවි අය්යලා අක්කලා එක්ක ඇවිදපු හැටි. එදා වැහිදැරිවිගෙ අතින් අල්ලන් නැත්නම් වඩාගෙන ගල්පඩිපේළි නැගපු ඇතැමෙක් අදටත් මුණගැහෙන සහෝදරාත්ම. තවත් සහෝදර සහෝදරියන් බොහොමයක් ඔවුන්ගෙ සරසවි සමයෙන් පස්සෙ වැහිදැරිවිට හමුවෙලාම නැති තරම්. වැහිදැරිවිගෙ අම්මායි වැහිදැරිවියි එක්ක නටබුන් අතරෙ ඇවිද යන අතරෙ මනරම් සාහිත සංවාද කරපු අරුණ අය්යා ඇතුළු සමහර සහෝදරවරු ආයෙ නොඑන්නම ජීවිතෙන් සමුගෙන ගිහින්. ඒත් බටු ඇටේක සිට නවයොවුන් දැරියක් වන තෙක් කුඩා වැහිදැරිවිව පරිස්සමින් ගල්පඩි නග්ගවාපු ඔවුන්ගෙ අත්වල සහෝදර උණුහුම, තනියම ගල්පඩිවල පැන පැන යන්න ගත්ත වයසට ආව නමුත් වැහිදැරියට කිසිදාක අමතක වන්නෙ නෑ.
මතක ඇති කාලෙ ඉඳන් ඒ සරසවි සංචාරවලත්, නිවාඩු සමයන්හි නිවැසියන් එක්ක යෙදුණු ඉසිඹු ගමන්වලත් බොහෝ විට මාර්ගෝපදේශක භූමිකාව දැරුවෙ ශාන්ත හාමුදුරුවෝ. සරසවි ශිෂ්‍ය භික්ෂුවක්ව හාමුදුරුවෝ වැඩවිසූ ආරණ්‍ය සේනාසනය තිබුණේ අනුරාධපුර නිසා නිතැතින්ම හාමුදුරුවෝ මග පෙන්වීමේ කාර්යය භාරගත්තා. ඉන්පස්සෙ හාමුදුරුවෝ සරසවියෙ කථිකාචාර්යවරයකු වීමත් එක්ක නිරන්තරයෙ අපේ අනුරාධපුර චාරිකාවන්වලට ආරණ්‍යමය සැහැල්ලුවක් සහ සන්තුෂ්ටියක් එක් කළේ හාමුදුරුවෝ. වැහිදැරිවිගෙ ආච්චිව රෝදපුටුවෙ තියාගෙන රුවන්වැලිසෑ මලුවෙ පැදකුණු කරවලා ආශිර්වාද කිරීමේ ඉඳලා ප්‍රත්‍යසම්පාදනය දක්වා හාමුදුරුවෝ අපේ අනුරාධපුර චාරිකා සුවිසාල කරුණාවකින් පුරවලා තියෙනවා.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති සාටෝපී විවාහ උත්සවයක් ගන්නවා වෙනුවට සරලව විවාහය ලියාපදිංචි කරලා උත්සවයකට වෙන් කරන මුදලින් පාසලකට උපකාර කරන්න තීරණය කරපු වැසි දැරියටයි වැසි දරුවාටයි ජීවිතේ මනරම්ම දවසෙ ස්වේච්ඡාවෙන්ම පිරිත් දේශනා කරන්න භාරගත්තෙත් ශාන්ත හාමුදුරුවෝ. ඉතින් අනුරාධපුර විතරක් නොවෙයි ජීවිතයේ ගොඩක් තැන් ඒ කල්‍යාණ මිත්‍ර ආශිර්වාදයෙන් වියුක්ත කරලා සිහි නංවන්න බෑ.
කෝම හරි ඔය අනුරාධපුර ගමන්වලදි වැහිදැරිවි ආසාම රියේ පිටිපස්සෙ වීදුරුව පැත්තට මූණ යොමාගෙන පහුවෙලා යන ගස් වකාරෙන් පිරුණු ලස්සන පාරවල් දිහා බලාගෙන යන්නයි. ඉන්පස්සෙ පූජා නගරයෙ ප්‍රදක්ෂිණා පථවල, ගල් අල්ලපු පාරවල සහ තණපිඩැලි මත්තෙ, දියබෙරලියා මලක් වගේ සරල වනපස මල් අතින් අරගෙන නිස්කාංසුවෙ ඇවිදගෙන යන්නයි. ඊටත්පස්සෙ නටබුන් - ගල්කණු - ආරාම සංකීර්ණ - පොකුණු - ගරාවැටුණු පුරාතන විශ්වවිද්‍යාල අතරෙ සරමින් - මුරගල්වල හුරුබුහුටි සංඛ-පද්ම රූප අතගාමින් - සමන් සිත්තරා කියපු අනුරාධපුර යුගයෙ සරල සම්භාව්‍ය බව සඳකඩපහණක ලියපෙත්තකින් විඳිමින් - දැක්මෙන් පවා තපස්වරියන්ගෙ සිල් බිඳුණාය කියන නාග මානවකයන්ගෙ සුනම්‍ය තුරුණු කොපුල් මඟඅරිමින් - ඔරලෝසු කටු ගැන වගේ වගක් නැතුව අමා රස්තියාදුවෙ යන්නයි.
දෑවුරුද්දකට විතර ඉහතදි වැහිදැරිවිත්, වැහිදරුවාත්, සරසවි මිතුරු ගයන්තත් අනුරාධපුර දක්වා යන්න සැලසුම් කරපු ගමනත් කදිම අනුරාධපුර මතකයක්.
ඒ ගමනෙදි තමා වැහිදැරිවි වැඩිපුරම වෙලාවක් නටබුන් අතර රැඳී උන්නෙ. එක කොරවක්ගලක් ගාව සෑහෙන වෙලා අපි රැඳීගෙන කැටයම් අත ගගා ඉන්න ඇති. රාත්‍රියෙ රුවන්වැලි සෑ මලුවෙ කාලය ගැන හැඟුමක් නැතුව රැඳී ඉඳලා, මහබෝධියට යන මග පහන් පූජා නරඹමින්, ගත කළ වෙලාව හෝරා ගණනක් වෙන්න ඇති.
වෙස්සගිරියෙ ඇතුළු ගල්ගුහා වෙතටම ගිහින් මිහිඳු මහරහතන් වහන්සේ භාරත රාජ්‍යයම අත්හැරලා සැතපෙන්න තෝරාගත්ත ශිලා යහන වෙතත්, ඉන්පස්සෙ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න තෝරාගත්ත විශ්ව ශක්ති කේන්ද්‍ර වෙතත් නැගගෙන ගිය ගමන කිසිදා අමතක කරන්න බෑ. වෙස්සගිරියෙ එකිනෙක මත සමබර කරපු සුවිශිෂ්ට තාක්ෂණයකින් යුතු ශිලා කේන්ද්‍රවල විස්මයාවහ බවත් විඳගනිමින් භාවනා කළ මතකය අටවිසිවසක ජීවිතයේ සන්සුන්ම මතකයක්.
'ඒ අමා රස්තියාදුව' නමින් ගයන්ත, ඒ ගමන ගැන කවි හත අටකුත් ලියා තිබුණා මතකයි.
'ලියවැල් මත වෙලී පැටලී වෙමිනි පමා...
ඇත් අස් සිහ රඳුනි මේ ලෙස දුවනු කිමා...
සඳකඩපහණ මත ඇවිදින හිස ද නමා...
හස රද පැවසුවේ නවතින අයුරු තමා...'
කියා තමයි ඒ කවි ටිකෙහි පළමු කොටස අවසන් කරලා තිබුණෙ. ඒකෙ දෙවෙනි කොටස බාගෙදා මනුස්සයා දෑවුරුද්දක් තිස්සෙ තාම ලියනවා ඇති. ඕං මේ බ්ලොග් පෝස්ටුව කියෙව්වොත් හෙම මේ තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්න සිහි කැඳවීමක්!
මෑතක පටන් නිසැකවම අනුරාධපුරේ වාර්ෂිකව යන්න හේතුවක් සපයන්නෙ අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්‍යේෂණ සම්මන්ත්‍රණය.
ගිය වසරෙ සම්මන්ත්‍රණයට ගිය වතාවෙ තදින් අසනීප වී රෝහල්ගතව උන් සුමින්ද අය්යාට අපි දෙන්නා රුවන්වැලි සෑ මලුවෙදි වීඩියෝ ඇමතුමක් ගත් හැටිත් වැහි දරුවාටයි වැහි දැරිවිටයි සිහිපත් වුණා. කොහොමටත් අනුරාධපුරය හැම විටම සුමින්ද අය්යා ලියූ ලුම්බිණි ආඛ්‍යානය සමඟ ඔහුව සිහිපත් කරනවා. ඔහු ඒ ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය නම් කරන්නෙ අනුරාධ නමින් නිසා. ඒ රජරට ශිෂ්ටාචාරයෙහි පැවති සුවිශිෂ්ටත්වය පිළිබඳ සංකේතීය නිරූපණයක් විලසිනුයි.
'මං උඹලා දෙන්නගෙ ආදර කතාවට හෙන ආදරෙයි' කියා අප දෙන්නාට යළි කියන්නට අනුරාධ මැවූ හෘදයවාසී වැඩිමහල් සහෝදරයාගේ හඬ නැවත කිසිදාක නෑසෙන බවට දැනෙද්දි ඔහුගෙ අකල් වියෝවෙ රිදුම් අලුත් වුණා. ඒ හිස්තැන කිසිදා නොපිරවෙනු ඇති මුත්, මේ ලෝකයෙ ජීවත් වුණ සුන්දරම ආත්මයක් වුණ ඔහු මේ භවයෙ වේදනාවෙන් මිදී යාම ගැන සැහැල්ලු සැනසුමකුත් මෙවර අනුරාධපුර ගමනෙදි දැනුණා.
වෙනදා මෙන් දින ගණන් නවාතැන්ගත නූන මේ වතාවෙ අනුරාධපුර ගමන අවසන් වුණේ ඇතුගල්පුර මල්ගොමුවෙන්. ජීවිතයෙ මුණගැහුණ සුන්දරම පවුල් අතරින් එකක් වන ඔවුන් සමඟ ගෙවුණු සංවාද රාත්‍රියත් අනුරාධපුර උදා-දිවා-හවස්වරු තරම්ම මිහිරියි. නරක දේකට කියලා තිවුණෙ, මල්රේණු සහෝදරයා පළ කරපු අලුත් පොතේ පිටපතක් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා, වැහිදැරිවිට අපහාස කරලා වැහිදරුවාට හොඳ මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා අත්සන් කරලා දුන්න එක.
හැබැයි මල්රේණු සහෝදරයා එක්ක මතක ඇති කාලෙ ඉඳලා නයි මුගටි ගැටුම වාගෙ කොයි තරම් රණ්ඩු සරුවල් වුණත්, ඔහුගෙ අලුත් පොත - 'රතු කොණ්ඩකාරියගෙ කතාව' ගාව පූර්ව භවයක තරම් ඉඳලා එන රණ්ඩුව තාවකාලිකව අමතක කරලා දාන්න වැහිදැරිවි තීරණේ කළා.
ළදරු නාමකරණයේ පටන් ස්ත්‍රියගේ ස්වාධීන බව අහිමි වීමේ හා ස්ත්‍රිය වාස්තවීකරණය වීමේ අවුල, පුරුෂෝත්තමවාදයෙහි අඳුර සහ ඊට එදිරිව ස්ත්‍රී විභවතාව, ස්ත්‍රීත්වයෙහි/මනුෂ්‍යත්වයෙහි වටිනාකම් බාහිර රූපයට පමණක් සීමා කිරීමේ ඛේදය, Bullying හෙවත් අනවරත හිරිහැරකිරීම් ළමා මනසක් කෙරේ ඇති කරන බලපෑම, සමාජදේහය පුරා දිවෙන පන්ති විෂමතාව සහ නවයොවුන් ආලයේ මිහිරි සිහිලැල්ල ආදී සොඳුරු - සුගැඹුරු සංලක්ෂයන් රැසක් රතු කොණ්ඩකාරි විසින් ස්පර්ශ කරලා තියෙනවා.
අලුත් සෙමෙස්තරය පටන් ගන්න ළඟ නිසා ඒ පොත ගැන දිගට ලියන්න වෙලාවක් තියේද සැකයි. ඒත් එය එහෙම මඟ හැරී යා යුතු නොවන මනරම් පොතක් වන නිසායි, ඒ ගැනත් මේ සටහනටම ඇතුළු කළ යුතුම යැයි හිතුණේ.
කෝම හරි අනුරාධපුර සිට ඇතුගල්පුර දක්වාත්, ඉන්පස්සෙ ඇතුගල්පුර සිට කොළොම්පුර දක්වාත් රියේ කවුළු ඇරන් එද්දි වැව් තල සිපගෙන එන සුළං පහස තමන්ව සිපගන්න කොට වැහිදැරිවිට දැනුණේ වෙනදා වගේ දින ගණන් ගත නොකළත් අනුරාධපුරේ ගත කරන මොහොතක් පවා කොතරම් නම් මිහිරිද.. සිහිලැතිද කියායි..
ඉන්දීය හයි කොමිසමේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූරන් දත්තා නම් තරුණ විද්වතා තමාට අනුරාධපුරයේ පෞරාණික නටබුන් අතර ඇවිද යද්දී ඇඬෙන බව කී අයුරුත්, ඊනියා සාහිත්‍ය සම්මානවලට හැමදාම මඟඇරෙන ඉසුරු චාමර සෝමවීර සහෝදරයාගේ කවි අතරෙ වූ මහබෝධියට යන මග කවියත්, මහබෝධියට යන මග වෙසෙන කුමාර සේනානායක වැඩිහිටි විද්වතා තුළ වන තමාට මියෙන්නට ඕනෑ බෝ සෙවණ දැනෙන මානයක බවට වන ප්‍රාර්ථනයත්, ලබ්ධියෙන් බොදුනුවකු නොවන මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ලෝකයේ සුවැතිම සුළඟ හමන්නේ අනුරාධපුර රාජධානියෙන් බවට කළ ප්‍රකාශයත් ඒ එක්ක සිහිපත් වුණා..
ඉතින්.. ජීවිතේ මාස ගණනාවකට නිවෙන්න අනුරාධපුර ගෙවෙන එක දවසකුත් ඇති කියා වැහි දැරිවිටත් හිතෙන එක අරුමයක් නෑ නේද..)
වැහිදැරිවි ❤️
ReplyDelete✨
Deleteවචනවලින් හැදුන පේලි දිගේ දිග ගමනක් ගිහින් නැවත කොම්පියුටරය ලඟටම ආවා.
ReplyDeleteසතුටුයි ගමනක් එක්ක යා හැකි වීම ගැන..)
Deleteවෘත්තාන්ත ඉතින් හැමදාම අපිව දිගු ගමන් එක්ක යනවානේ අලුත් වෘත්තාන්තවලින්!
අනුරාධපුරය හා පොලොන්නරුව මම ඉතා කැමති තැන් දෙකක් දරුවන් පොඩි කාලේ එක්කන් ගිය නිශ ආගිය අවුරුද්දේ ලංකාවට ආවහම දෙන්නවම එක්කන් ගියා . මම බ්ලොග් ලිපියක් දෙකක් ලිව්වා ඒ ගැන . අර කුට්ටම් පොකුණ ගාව ඒ වගේ කඩයක් තිබ්බනේ . දුවලත් මොනවහරි කැටයමක් ගත්තා වගේ මතකයි .
ReplyDeleteඔව් ඒ මේ කියන බෝනිකි සාප්පුව වෙන්න ඕන! දැන් ඒක එතන නෑ.
Deleteපොළොන්නරුව ගැනත් වෙනම ලියන්න ඕන...)
Delete