Sunday, December 29, 2024

122. ඉමි පාද සළඹ ගීයට ප‍ෙම් බැඳ!

ශිහාන් සහ මලිත් පස්සෙ උන්මාදයකින් දුවපු සමවයස් යෙහෙළියො මැද ඒ දෙන්නා කලුද-සුදුද කියා හොයන්න තරම්වත් වුවමනාවක් නොතිබුණ ටීනේජ් වැහිදැරිය ගුරුවරුන්ට අනුව අදහන්න වටින ළමයෙක් ලෙස සැලකුණා වුණත්, මා හිතන්නෙ එතන වැහිදැරිය සම්බන්ධයෙන් අගය කරන්න තරම් දෙයක් තිබ්බෙ නෑ. එතන තිවුණෙ අනිච්ඡානුගව වැහිදැරියට මනරම් ගී අහන්න සැලැස්වුණ වටපිටාවක් සලසපු ගෙදරක්. ඒ අතර වැසිදැරියට අඩු තරමෙ රියැලිටි තරු කරපු කෑකොස්සන්ගැහිලි ගීත විදියට දැනුණෙවත් නැති ‍  ව‍ෙන්න බලපාපු විසාලම ‍සාධකයක් තමයි කපුගේ.

කොහොම හරි ඔය කතාව මතක් වුණේ ඊයෙ පෙරේදා ඒ කාලෙ රිපීට් එකේ අහපු නොස්ටැල්ජිමය මතක අවුස්සන ගී කිහිපයක් ඇහුණ නිසයි. ඒ ගී කීපයම කපුගේගෙ. මට හිතෙන්නෙ කපුගේ මිය යද්දි වැහිදැරිය එක වසරෙ විතර වෙන්න ඕන. මරණය ගැන විසාල අවබෝධයක් තිබුණ වයසක් නොවුණ නිසා ඒ මරණය එදා ඒ තරම් නොදැනුණාට, ඒ වෙද්දිත් වැහිදැරිය කපුගේගෙ ගීත එක්ක බිඳින්න බැරි අන්දමේ සම්බන්ධයක් හදාගෙන තිබුණා. වසර ගණනක් ගිහින් කපුගේගෙ දුව සජනි අක්කා වැහිදැරියගෙ තාත්තගෙ ශිෂ්‍යාවක් බවට පත් වෙලා මිසිස් කපුගේ එක්ක ගෙදර යන්න එන්න ගන්න කාලෙ වෙද්දි, වැහිදැරියට කපුගේගෙ ගීත ගැන තිබුණෙ උන්මාදයක්.

අර තරම් ලස්සන ගීත ‍‍යකඩ අතුල්ලන සංගීතෙට ගැයුවා කියලා කපුගේ එක්ක තිබුණ තරහ නැති වෙලා ගියේ ඔහු ඒ තීරණය අරන් තිබුණෙ ඒ සංගීත කණ්ඩායම වැටී හිටි ආර්ථික අර්බුදයකින් ගලවන්නයි කියා දැනගත්තාට පස්සෙ. 'හඬක් නැති උන්ට දන් දුන් ස්වර තන්ත්‍ර - නුඹයි සොදුරු කොවුලා ආදරවන්ත' යන සුප්‍රකට කවි පද ටික ඊට පස්සෙ හැම වතාවකම කියෙව්වෙ සිහින් රිදුමක් එක්කයි.

වෙල්ලස්සෙ ගොවි අර්බුදය වෙලාවෙ, ගොවි ජනතාව එක්ක තාරපාරෙ බිම වාඩි වෙලා බිම්බරක් සෙනඟ ගයපු විප්ලවවාදියාව, පුද්ගලික වාසි වෙනුවෙන් පක්ෂ වේදිකාවලට ගොඩ වෙන ඊනියා සංගීතකාරයො දැක්කම මතක් වීම වළකන්න බෑ. සංගීත සංදර්ශනවලින් තමන්ට අය වෙන්න තිබුණ මුදල ආර්ථික ප්‍රශ්න තිබුණ සංවිධායකලාට දීලා හිස් අතින් ආපු සහෝදරයාව, එක ගීතයකට ලක්ෂ ගණනක් අය කරන ඊයෙ පෙරේදා එළියට බැහැපු තරු ගාවදි අමතක කරන්න බෑ. එක අතකට එහෙම සංසන්දනය කරන්න යාම පවා කපුගේ වගේ මිනිහෙකුට කරන අපහාසයක්. කපුගේ‍ග‍ෙ වටිනාකම නොදැන හිටි එකම මිනිහා කපුගේය කියා ඇතැම්හු කියන විදියට ඔහු මද්‍යසාරවලින් තමන්ට කරගත්ත හානිය අහක තිබ්බාම ඔහුගෙ හඬේ තිබ්බ සංවේදනා රාශිය එක් තැනක එක්තැන් කරන්න පුළුවන් වෙනත් ගායකයෙක් ආයෙ ලංකාවෙ බිහි වෙයි කියා හිතන්නත් අසීරුයි.

මේ ගීය ලියන්න ළගටම හේතු වුණේ සදකිඳුරා මිය ගියා ගීතය. හුදු ස්නේහ ඛේදයක් විතරක් නොවෙයි සමස්ත නූර්ති කලාවේ අවමංගල්‍යය ගැන තද වේදනාවක් ඒ ගීය අහන හැම මොහොතකම වැසිදැරියව රිදවනවා. කවදාවත් නරඹලාත් නැති - නරඹන්න වෙන එකකුත් නැති නූර්ති - නාඩගම් කලාව ගැන නොස්ටැල්ජිකවවත් ලියන්න තමන්ට කිසිවක් නැති හිස්කම ඒ වචන අස්සෙ වැහිදැරියට දැනෙනවා. ලිය ගී විකුණන්න කිඳුරිය කොලොම්තොටට ඉගිලීමේ ඛේදය එක්ක තනිව ගී කිය කියා සිට ළය පැළී මිය ගියපු කිඳුරා අස්සෙන් දැනෙන - සිය ඥාන රසාලිප්තය පවරා දෙන්න කිසිවෙක් නැතුව අතුරුදන් වෙලා ගිය පරම්පරාවක වේදනාව කපුගේගෙ හඩින් දෝංකාර දෙනවා.

සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්
මේ උයන් බිමේ කිසිදාක ඉතින්
ඔබ යනවා නම් යළි නොඑන ලෙසින්
මල් නගන වසන්තේ යතුර අරන්

කියා කපුගේ ගයද්දි - විප්‍රලම්භ ශෘංගාරය ගැන මෙලෝ මගුලක් නොදන්න දහ අවුරුදු වැහිදැරිය හූල්ලනවාත් මතකයි. පබළු නගේ - පියසටහන් - නිර්මලා - සොඳුර නුඹ ලිහිණියක ඉස්සර අහන්න ආසා නැති තරම් දුකකින් වැසිදැරියව හිරිවට්ටවාපු - ඒත් වයසින් වැඩෙද්දි රිපීට් එකේ අහන්න ආසා කරන්න ගත්ත ගීත.

රාත්‍රිය මම වෙමිය
සුදු සුමුදු මල් කැකුල
පිනිබරව හෙට උදෑසන පිපෙන මල් කැකුල
ගණඳුරේ සැඟව ඇති ශාන්තිය හා නින්ද
නුඹට පුද දී දෙනෙත පියා හිඳිනෙමි සොඳුර

වේදනාවට හුරු කපුගේගෙ කටහඬ කොතෙක් සෞම්‍ය නිවුමකට ගෙන යන්න පුළුවන්ද කියා විඳින්න හි‍‍ත‍ෙන මොහොතකට වැහිදැරිය ඒ ගීතය අහනව.

දැන් වැහිදරුවා එක්ක හරි තනියම ක‍න් ඇබ ගහ‍ගන හරි ඔය ගීත අහද්දි වැහිදැරියට මතක් ව‍ෙන්න‍ෙ අම්මා පරිගණකයෙ වැඩ කරන අතරෙ, තමන් ගාව බිම වාඩි වෙලා සෙල්ලම් කරන පුංචි වැහිදැරියට ඇහෙන්න වාදනය කරපු ගීතත් - ජපුර සරසවියෙ මධුරංග මාමා තෑගි දීපු ගී තැටිවල තිබී නිරන්තරේ අහපු ගීතත් ගැන නොස්ටැල්ජික මතකයක්.

‍සොයා නොගොසින දමා නගරය - අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ - නින්ද නැති රැයේ -දෑස නිලුපුල් තෙමා වගේ ගීත ගණනාවක් ඒ අතර තියෙනවා.

නාද නගන සඳ සඳළුව මත
ඉමි පාද සළඹ ගීයට පෙම් බැඳ! 

...කියා මේ සටහන නිම කරන්න යද්දි වැහිදැරියට පොඩි මතක කතාවක් සිහිපත් වුණා.

දවසක් මිතුරියක් වැහිදැරියග‍ෙන් ඇහුවා වැහිදැරිය බලන්න ආසම සජීවි සංගීත ප්‍රසංගය ගැන. දේශීය- විදේශීය ජනප්‍රිය ගොඩක් සංගීතවේදීන්ට- ගායක ගායිකාවන්ට වැහිදැරිය කැමතියි කියා ඈ දන්නවා. යානි - ටේලර් - ෂෝන්‍ග‍ෙ සිට රහ්මාන් දක්වා එහෙම දිග ලිස්ට් එකකුත් වැහිදැරියට තියෙනවා. ඒත් ඒ ලිස්ට් එකේ උඩම තියෙන්නේ කවදාවත් නැරඹිය- ඇසිය නොහැකි ප්‍රසංගයක්.

මං ආස කපුගේගෙ කම්පන බලන්න - ඒ තමයි මං එදා මිතුරියට දුන්න උත්තරේ.

මං හිතනවා කවදාවත් ඒ උත්තරය වෙනස් වෙන එකක් නෑ! 

9 comments:

  1. වේදනාව සන්නිවේදනය කරන්න සුදුසු කටහඬක් තමා තිබුනේ. අපගේ වයසේ අයට නං වාසනාව තිබුනා ‘කම්පන‘ බලන්න.

    ReplyDelete
  2. හ්ම්ම්... කියවලා අවසානයේ දිග හුස්මක් හෙළුනා...

    කපුගේ කියන්නෙ ම අපෙත් ගැටවර කාලෙ හැඩ ගස්වන්න දායක වුණු අපේ සංගීත ක්ෂේත්‍රයේ හිටපු පපුවට කිඳා බසින පිහිපාර.

    එහෙමත් වෙලා ඔයා සඳහන් කරල තියෙන සුදු සිනා කුසුම් මම අහල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මං හිතන්නෙ ඒ තරම්ම ප්‍රසිද්ධ වුණ සින්දුවක් නොවෙයි. කපුගේගෙ ඒ වගෙ වැඩිය නෑහෙන ගීත හුඟක් තියෙනවා.

      Delete
  3. දවසක් අර මං උඩ කියල තියෙන ගැටවර කාලෙ, මහ රෑක අපි ගම්පහ ඉඳං ගනේමුල්ලට පයිං එන්ඩ පටං ගත්තා. එද්දි කපුගේ ගෙ සිංදු කිය කියා ආවෙ. නාඹර ගොයමට සිංදුවෙ බාගයක් විතර යද්දි, බස් එකක් හම්බුණා. සිංදුව කියාගෙන ම බැස් එකට නැග්ගා අපි සෙට් එක. ගනේමුල්ලෙන් බහිද්දිත් සිංදු නතර වුණේ නෑ. බිම්බරක් සෙනඟ කියාගෙන බැස්සා. ගම්පහ හෝල්ට් එකේ ඉඳල කිලෝමීටර් බාගයක් විතර තියෙනව කඩවත පැත්තට බස් හෝල්ට් එක ට. ඒ දුරත් කපුගේ ගෙ සිංදුවලින් ම ගෙවාගෙන ඇවිත්, ආපහු කඩවත බස් එකකට නැග්ගෙ විදුලි මිණි පහන්වලින්. එහෙම ඇවිත් කොස්සින්න හන්දියෙන් බහිද්දි, සිටු කුමාරියේ සිංදුවෙ මැද...

    එහෙම කාලයක් ඉතිං... (ඒ ඒ වෙලාවල කියපු සිංදුත් මතකයි, කියපු යාලුවොත් මතකයි තාම. 1998 විතර)

    ReplyDelete
    Replies
    1. සුන්දර නොස්ටැල්ජික මතක නේද..!

      අපි ඉස්සර එකම තීම් එකක සින්දු කියනවා.. හඳ ගැන, මල් ගැන.. එහෙම නැත්නම් ඔය වගේ එකම ගායකයාගෙ සින්දු. මේ සටහන දැක්කම ඒක මතක් වුණා!

      Delete
    2. අපේ ඔය රස්තියාදු සමයේ අවසාන කාලේ, රෑ 12 ට විතර පාර දිගේ එද්දි, ඔය සිංදු ම පිරිත් තාලයට ගායනා කරමිනුත් ආව හැටි මතකයි. එහෙම ඇවිත් තමංගෙ ගේ ගාව දි "මං යන්නං" කියල අනික් අයට කියන්නෙත් පිරිත් තාලෙට. "උඹ හෙටත් එනව නේද මචං? පරිස්සමිං ගිහිං වරෙං" කියල කියන්නෙත් ඒ තාලෙට ම යි.

      Delete
    3. ඩ්‍රැකී ලස්සන පෝස්ට් එකක් ලියන්න.. මේ මතක ගැන!

      Delete
    4. ඇත්තට... ඒකත් හොඳ අදහසක් තමයි. බලමු ලියන්න. ස්තූතියි දිරිගැන්වීමට

      Delete