Thursday, October 31, 2024

114. අඳ වාදකයා, මනරම් ගැඹුරු සර සහ අඳුර විනිවිදින හී!

ගිය අවුරුද්දෙ මුල දවසක වැහිදැරිවිට තමුන් කුඩා දැරියකව ඉන්දැද්දි කියවපු වී.කරලෙන්කො ලියපු - දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කරපු, අඳ වාදකයා කියන රුසියානු කතන්දර පොත මතක් කරමින්, උස හීන්දෑරි තරුණයෙක් දේශන ශාලාවෙ දොරකඩ පෙනී හිටියා.


'මැඩම්, මට පේනවා අඩුයි. ඒ නිසා පාඩම්වලදි අඩුපාඩුකම් වුණොත් සමාවෙන්න.'


යාලුවෙක්ගෙන් උදව්වෙන්, ස්ථිර පදපාතයෙන් මා වෙත ඇවිදගෙන ආපු ඒ තරුණයා පළමු හමුවීමෙදි මට කිව්ව පළමු වචන ටික ඒ. මාව පළමුව විස්මපත් කළේ ඒ ඍජු බව. දෙවනුව, අඳ වාදකයා සිහිපත් කරමින් බොහෝ දේශනවල අවසන් විනාඩි කිහිපයෙ සහෝදර සිසු සිසුවියන්ගෙ අසන්නන්ගෙ ඉල්ලීම් ඉටු කරමින් ඔහු ගී ගායනා කරපු මාධූර්යය. තෙවනුව, අධ්‍යාපන කටයුතු කෙරෙහි ඒ තරුණයා දක්වපු විශිෂ්ටත්වය. මේ ඒ වසරෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ හොඳම ප්‍රතිඵල ලබා සරසවි ආව ශිෂ්‍යයා බව මං කලින් දැන හිටියෙ නෑ. ඇස් පේන - සටහන් තබාගන්න - නැවත ඒ සටහන් කියවා පාඩම් කරන්න හැකියාව සහිත සිසුන් පනහක් මැද්දෙ, එක් වරක් අසා සිට ග්‍රහණය කරගැනීමෙන් ඒ බොහෝ දෙනාට වඩා විශිෂ්ටත්වයක් පෙන්නූ ඔහු මාව දිගින් දිගටම ආහ්ලාදයට පත් කළ සිසුවෙක් වුණා. 


ඔහු එක්තරා මධ්‍යවාර පරීක්ෂණයකට 20/20 උපයාගෙන වැඩිම ලකුණු ගත්ත සහ සම්පූර්ණ ලකුණ ගත්ත එකම ශිෂ්‍යයා බවට පත් වුණා. උපදෙස් අහගෙන ඉඳලා - අඩවන් ඇස්වලින් පේන ප්‍රමාණයත් එක්ක විසල් අකුරින් පිළිතුරු ලියන්න කල් ගත වෙන නිසා, අනිත් සිසුන් පරීක්ෂණය නිමා කරලා පැය එකහමාරක් විතර යන තුරු මං ඔහුගෙ පරීක්ෂණයට අවශ්‍ය ප්‍රශ්න ටික කි‍යෙව්වා. පරීක්ෂණය නිම වෙලා යද්දි, ඔහු, 'මං වෙනුවෙන් මෙච්චර කැපවෙනවට ස්තූතියි' කියලා වැහිදැරිවිගෙ පාවහන් දෙක මත අත තියලා වැඳලා වැසිදැරියගෙ හදවතේ ඊයම්බරුවක් වගේ බරට සමස්ත දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ප්‍රජාවේ අධ්‍යාපනය ගැන විසල් බරක් ඉතිරි කරලා පන්තියෙන් එළියට ගියා.


ඒ බර, ජපුරෙන් ඇවිත් දැන් මාස ගණනක් ගත වුණත් - දැන් උගන්වන සරසවියෙ එකදු දෘශ්‍යාබාධිත සිසුවෙක්වත් නැති වුණත්, වැසිදැරියට දැනෙනවා. ඉතින්, ඒ නිසා කොහේ කොතැනක ගියත්, කොතෙක් සිසු විහඟ පැටවුන් මුණ ගැහුණත්, වැසිදැරියට තමන්ගෙ අඩවන් සහ පියැවුණු ඇස් ඇති විහඟ පැටවුන්ව අමතක කරන්න බැහැ.


ඒ විහඟ පැටවුන්, කිචිබිචි සද්දවලින් අමතලා, වොයිස්නෝට්ස් එවලා, සෙමෙස්තරයෙ අවසාන සතියෙ පවත්වන්න නියමිත තමන්ගෙ සංගීත සන්ධ්‍යාව නරඹන්න එන්න කීවාම, දැන් වැහිදැරිවි ජපුරෙ නොහිටියා වුණත්, දෙපාරක් නොහිතා යන්න හිතුවේ ඒ නිසයි. 


සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි වැහිදැරියට බ්ලොග් ඉතිහාසෙත් මතක් වුණා. මොකද මීට වසර දහයකට කලින් දෘශ්‍යාබාධිත ගීත සැන්දෑවක නිවේදනය කළ සත්‍යා අක්කා මුණ ගැහුණෙ බ්ලොග් ලෝකෙන් නිසා. සත්‍යා අක්කාව නිර්මාණි විදියට දැනගෙන ඉඳලා කාලෙකට පස්සෙ වැහිදැරිවි ජපුරෙ සිසුවියක් වුණාම බ්ලොග් යාලුකම, හෘදය බන්ධනයකට කිට්ටු මිත්‍රත්වයකට හැරුණා. දෘශ්‍යාබාධිත සිසුන් සම්බන්ධ උපදේශකවරු/සම්බන්ධීකාරකවරු විදියට දැන් කටයුතු කරන සත්‍යා අක්කාගෙත් කසුන් අය්යගෙත් දියණි, සවර්ෂා, මේ ලෝකෙට එන්න කලින්, එයාට ඇහෙන්න මාත් සත්‍යා අක්කාත් ඉස්සර දෘශ්‍යාබාධිත ශිෂ්‍ය සුබසාධක සංගම් කුටියෙ කතාපොත් ගැන කියවන හැටිත් සංගීත සන්ධ්‍යාව ඇරඹෙන මොහොතෙ මතක් වුණා. 


'ප්‍රවේශපත්‍රයත් එක්ක ඔබේ අතට දුන්න කඩදාසිය දැන් කියවන්න.'


සුවිශිෂ්ට හඬින් නිවේදන කළ දෘශ්‍යාබාධිත නිවේදක තරුණයා සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි කිව්වා. රැඟුම්හලට පිවිසෙද්දි දැන්ම බලන්න එපා කියා අතට දුන්න කඩදාසිය අපි ඔක්කොම අතට ගත්තා. මොහොතකින් සියල්ල අන්ධකාර වුණා. 


ආසන්න පුටුවෙ වාඩි වී උන්නු වැහිදරුවාගෙ උරතලයට බර වෙලා, කියවගන්න බැරි කඩදාසිය දිහා බලා උන්නු වැහිදැරිවිගෙ ඇස් අගිස්සෙන් තෙතක් ඉනුවා.


ඉන්පස්සෙ ආයෙ ගණ අඳුර මැකිලා ගිහින්, ශාලාව ඒකාලෝක වුණා. 


කඩදාසියෙ ඉතා ලස්සන වචනවලින්, සහකම්පනය ගැන, අනුවේදනය ගැන, නොදැක දැකීම ගැන ලියැවිලා තිබුණා.  මේ සුවිශිෂ්ට විහඟ පැටවු ගැන අනුවේදනයක් මිස අනුකම්පාවක් කඳුළකින්වත් පෙන්වන්න අකැමැති නිසා වැහිදරුවාට විතරක් පෙනුණ කඳුළක් වැහිදැරිවි ඉක්මණට ඇහැ කොණින් පිහදාලා දැම්මා.


සංගීත සන්ධ්‍යාවන් සිය ගණනකට ‍මේ ‍විසිවයස් ඉක්මවු කෙටි ජීවිත කාලෙ සම්බන්ධ වෙලා තිබුණත් ඒ තරම් තදින් දැනුණ මොහොතක් තිබුණ සංගීත සන්ධ්‍යාවක් වැසිදැරියට මතක නැහැ. (හර්ෂණ දිසානායකගෙ සජීවි සන්ධ්‍යාවක - ඔහු චතුමධුරි ගීතය ගායනා කරද්දි - ඒක තමන් වෙනුවෙන් ගායනා කරනවා කියා හිතාගෙන වැසිදැරිවිගෙ අත අල්ලාගෙන ආයු සංස්කාරය අතඅරින්න ගියපු චතුමධුරිට නම් ඒක එහෙම නොවෙයි වෙන්න පුළුවන්..!) 


සංගීත සන්ධ්‍යාව ඉතා සන්සුන්ව - මනරම්ව හෝරා දෙක තුනක් ගලා ගියා. අඳ වාදකයා මතක් කර දෙන තරුණයා ඉමන්ත, ගැඹුරු, සන්සුන් තානයකින් ඉතා මනරම්ව ගායනා කළා. 'සාස්තර, පිරිත් සහ තරුඑළිය' බ්ලොග් පෝස්ටුවෙ හිටපු ඩිල්ෂාන් අඳුර විනිවිදන හීයක් බඳු හඬකින් ගී කියලා - කවි කියලා - නිවේදන කරලා සන්ධ්‍යාව තාරකා එළියෙන් පිරෙව්වා. තව දන්නා - නොදන්නා තරුණ තරුණියන් කීප දෙනෙක්ම - සිය අඩවන් සහ පියැවුණු ඇස්වලින් යුතුව වේදිකාවට ගොඩ වෙලා ප්‍රේක්ෂකාගාරයෙ උන්නු අපිව මනරම් තාරකා එළි අතර චාරිකාවක එක්කගෙන ගියා.


සංගීත සන්ධ්‍යාව නිම වුණ හැටියෙ මුලින්ම වැහිදැරිවිත් වැහිදරුවාත් ගියේ ඩිල්ෂාන් හොයාගෙන. ඩිල්ෂාන්, මම වර්ෂා කියන්න සූදානම් වුණාට, ඩිල්ෂාන් කියන්න විතරයි ඕන වුණේ, මගේ මැඩම් කියලා ඔහු නුහුරට අත දික් කරලා මගේ අතින් අල්ලාගත්තා. ඒ අත තදින් අල්ලාගෙන ඉන්පස්සෙ ඔහුගෙ කම්මුලට තද කරගෙන හිටියා. ඉරිසියාවක් කෝපයක් වෙනුවට මෛත්‍රියෙන් පිරුණු වැහි දරුවාගෙ ඇස් උතුරන කරුණාවකින් ඩිල්ෂාන් දිහා බලන් උන්නා.


'ඩිල්ෂාන්, මේ මගේ හස්බන්ඩ්.'


මං වැහිදරුවව අඳුන්නල දුන්නා.


'ඩිල්ෂාන්ගේ කටහඬ හරිම ලස්සනයිනේ.. විශේෂ අවශ්‍යතා නෙමෙයි විශේෂ දක්ෂතා තියෙන දරුවෙක් ඔයා..'


වැහිදරුවා ඩිල්ෂාන්ගෙ නිදහස් අතින් අල්ලගෙන කිව්වා.


ඩිල්ෂාන් වැහිදරුවාට 'තෑන්ක් යූ, අංකල්' කිව්වාම තමයි වැහිදැරිවිට පළමු වතාවට තේරුණේ ඩිල්ෂාන්ට වැහිදැරිවිගේ වයස ගැන කිසිදු අවබෝධයක් නැති වග. වැහිදැරිවි ඩිල්ෂාන්ට වඩා වැඩිම වුණොත් අවුරුදු පහක් වැඩිමල් ඇති. ඒත් එයා දැනගන්නෙ කොහොමද.. කටහඬින් වයස අඳුනන්න බැහැනේ. ඩිල්ෂාන් වැහිදැරිවිව මවාගෙන ඇත්තෙ හුඟක් වැඩිමහලු කෙනෙක් විදියට වෙන්නැති.


'අංකල් නෙමේ ඩිල්ෂාන්, අය්යා.. දැන් ඔයාගෙ මැඩම් සනීප නැති වුණාම පිරිත් කියලා සනීප කරන්න කෙනෙක් නෑනේ'


විනාඩි පහට කොල්ලා එක්ක යාලු වෙච්ච වැහිදරුවා කිව්වේ වැහිදැරිවි අසනීප වුණාම ඩිල්ෂාන් වැහිදැරිවි සනීප වෙන්න කියලා පිරිත් කියන බව දැන‍ගෙන උන්න නිසයි.


අපි සභාසදයෙන් පිට වෙලා එන්න පෙර, අඳ නොවන වාදකයා ඉමන්තත්, ඉතා මනරම් හඬකින් ගී ගයපු සෙව්මිණීත් හම්බවුණා. ඔවුන්ටත් සුබ පතලා, සුවිශිෂ්ට නිවේදක තරුණයාටත් සුබ පතලා යන්න යද්දී, ජීවිතය පිළිබඳ වෙනදා දැනුණාට වඩා ආලෝකී හැඟුමකින් හෘදයාභ්‍යන්තරය පිරිලා තිබුණා.


ඒ ආලෝකී හැඟුම ඇතුළෙ, මේ විහඟ පැටවුන්ගෙ විශිෂ්ටතාවන් ගැන දැල්වුණ අලුත් පහන් එළියක් එක්ක - ඊයම් බරුවක් වගේ දැනුණ බර වඩා සැහැල්ලුවක් අත්පත් කරගෙන තිබුණා!

11 comments:

  1. කදුලු එන ලිවිල්ලක්ු

    ReplyDelete
  2. ගුරු වෘත්තියේ චමත්කාරය! මගේ සිතත් ගුරු වෘත්තියේ යෙදුන කාලය දක්වා ගමන් කළා.

    ReplyDelete
    Replies
    1. කොතැන හරි දවසක් ලිපියක් කියැවුවා මතකයි, ලෝකයේ මනරම්ම වෘත්තිය ගුරු වෘත්තිය බව. එය සාපේක්ෂ කාරණාවක් බවට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒත් මිනිස් ජීවිතවලට ප්‍රදායනයක් කරමින් ගෙවන ඒ වෘත්තියේ චමත්කාරයට ළං විය හැකි වෘත්තීන් ඉතා අඩුයි!

      Delete
  3. සත්‍යා නිර්මානි වයි කසුන් වයි දැනගත්තේ බ්ලොග් සම්මාන කාලේදී. ඒ ගොල්ලෝ හොඳින් ඉන්නව කියා දැන ගත්ත එකට සතුටුයි .

    ReplyDelete
    Replies
    1. ඔව්, එයාලා හොඳින් ඉන්නව. බාගෙදා මේක බලාවි. කොහොමත් හමුවුණ විටක මං කියන්නම්කො!

      Delete
  4. දවසට දෙකට ඒකත් ලියලා නේහ්? මං මේක ලමයිටත් යවන්නම්කො.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් දිනපොත වෙනුවට මේකනේ ලියන්නේ..!

      Delete
  5. එක හුස්මට කියෙව්වා...තවත් ලස්සනම ලස්සන සටහනක් ❤

    ReplyDelete