ගුරු දියවර 36
අද අහසේ ද ඔබ දුටු හිරු සඳු ම නැඟේ
වෙනදාටත් වඩා ඔබ, අද සිටිනු හැඟේ
මිය ගිය ලකුණු නැහැ සොහොයුර පැමිණි මගේ
මැරුණා නොවෙයි නිවුණා ඔබ පහන වගේ
ගඟුල් ගත ව ගිය රාත්‍රියේ මිරිහන්පිටිගම නිවහනෙහි ආලින්දයට පැමිණ සඳ දිදුලන නිශ්චල ආකාශය දෙස බොහෝ වෙලාවක් බලා සිටියේ ය. උදෑසන අවදි වූ පසු ලොව ආලෝකවත් කරමින් නැඟෙන, හිරු දෙස බලා සිටියේ ය. වරෙක ඒ සිත්තර සහෘදයා පැවසුවේ ගුරු මෙහෙවර ද ඉරේ සඳේ මෙහෙවර මෙන් ම අගනා බව ය. තවත් වරෙක ඔහු පැවසුවේ මේ ලෝකයට ආ සෑම කෙනෙකු විසින් ම සිය ජීවිත කාලය තුළ පහනක් මෙන් තමා ජීවත් වන සමාජයට කවර හෝ මට්ටමක ආලෝකයක් ලබා දී නික්ම යායුතු බව ය.
අද දවස ඉරිදා ය. ගඟුල් මේ සැරසෙන්නේ උදේ වරුවේ උසස්පෙළ ශිෂ්‍ය මාණවක මාණවිකාවනට රස වින්දන පාඩමක් කොට ඒ අවසන කොළඹ බලා යාමට ය. ඔහු විදුහල්පතිනියට විස්තර පවසා සඳුදා නිවාඩු ලබා ගත්තේ එදිනට තමාට නියමිත සියලු පාඩම් ආවරණය කිරීමේ වගකීම සුදර්ශී හේවාසම් ගුරු මිතුරිය බාර ගැනීමෙන් පසුව ය. රස වින්දන පාඩම සිදු කෙරෙන අද දවසේ ඇයත් මිහිදිනියත් පැමිණ ශිෂ්‍යයන් ඉදිරියේ දී ම සති අන්ත පාඩම් පැවැත්වීම පිළිබඳ වගකීම බාර ගන්නා බව දන්වා තිබිණ. ගඟුල්ගේ හිතට සැහැල්ලුවක් ගෙනාවේ ඔවුන්ගේ ඒ වචනවලට පමණක් සීමා නොවන ඒ ප්‍රතිඥාව යි.
වසන්ත සහෘදයා ය, මෙදින ඔහු පාසලට ඇරලුවේ. ඔහු එහි යනවිට සුදර්ශී ද මිහිදිනිය ද විසල් තුරු සෙවණක් යටට වී සිටියේ සිය ඡාත්‍ර සමූහයා ද සමග ය. මෙසේ ළබැඳි වදනින් ඔහු පළමු කොට පිළිගන්නා සුදර්ශී ගුරු සුහදිනිය විසිනි.
“අපේ ආරාධිත කථිකාචාර්ය ගඟුල් සර්ව මේ සියලු දෙනාම වෙනුවෙන් අපි ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා.”
ගඟුල් එයට ප්‍රත්‍යාචාර දැක්වූයේ සුපසන් සිනහවකිනි. අනතුරුව හිරු කිරණ සිය සිරස මතට ගෙන තුරු සුවිසල් සෙවණ සදන මොහොතේ සියලු දෙනා ගියේ ඒ තුරු සෙවණ යට පන්තියක් පැවැත්විය හැකි සේ නිමවා ඇති අසුන් වෙත ය. ඒ වූකලී ගඟුල් මේ පාසලට ආ පළමු දිනයේ ඔහු හද පැහැර ගත් බිම්කඩ යි.
ගඟුල් පළමු ව කෙළේ සිය සිසු දූ පුතුනට ඉදිරි ඉරිදා දිනවල දී තමාට මේ පන්තිය පැවැත්වීමට නොලැබෙන බව කීම ය. සිසු දෙනෙත් කඳුළින් තෙත් ව ගිය ඒ නිමේශයේ දී ඔහු පැවසුවේ තමා යන්නේ සරසවි දූ පුතුන් පිරිසකට ඉගැන්වීමට බව ය. සිය ගුරුවරයා ලද පිළිගැන්ම ගැන කඳුළු අතරින් සිනා නඟන ශිෂ්‍ය ප්‍රජාව අමතමින් ඔහු යළි කතා කෙළේ ය.
“දරුවනේ මන් යන්නෙ සති අන්තවල විතරයි. ඒ වගෙම මන් ගියා කියලා ඔයගොල්ලන්ගෙ ඉරිදා පන්තිය නවතින්නෙ නැහැ. ඒකෙ වගකීම බාරගත්තා ඔයගොල්ල ගොඩක් ආදරේ කරන මේ සුදර්ශි ටීචර්. එයාට උදව් වෙනවා ඔයගොල්ල ඉංග්‍රීසි ටීචර් විදිහට අඳුනගෙන ඉන්න ඒත් සිංහල සාහිත්‍යයටත් ගොඩක් ආදරය කරන මේ මිහිදිනී මිස්. සුදර්ශි මිස්ගෙ තාත්තා ගොඩක් අසනීපෙන් ඉන්න නිසා සිකුරාදා ඉස්කෝලෙ ඇරුණම ගමට යන ඔයගොල්ලන්ගෙ මේ මිස් සඳුදා උදෙන් ම ඉස්කෝලෙට එනවා කියන එකත් මේ දුවලා පුතාලා දන්නවා. දැන් ඔයගොල්ලො වෙනුවෙන් මන් වෙනුවෙන් එතුමිය ගෙදර කටයුතු පිළිවෙළක් කරලා ඉරිදා උදෙන් ගමෙන් පිටත් වෙනවා. මීට පස්සෙ අපි උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් යොදා ගත්ත පන්තිය මිස් දවල් එකේ ඉඳලා හවස පහ වෙනකන් කරාවි. ඉරිදා හවස් වරුවෙ ඔයගොල්ලො වෙනුවෙන් දේශපාලන විද්‍යාව උගන්නන මිසුයි ආර්ථික විද්‍යාව උගන්නන මිසු යි කැමති උනා උදේ වරුවෙ ඒ ගොල්ලන්ගෙ පන්තිවල වැඩ කරන්න. මිස් විස්තර කියාවි මේ පන්තිය ඉවර උනාට පස්සෙ.”
අනතුරුව ගඟුල් හැරුණේ සිය ගුරු සුහදිනියන් දෙදෙනා දෙසට ය.
“සුදර්ශි ඔයා ලොකුම දෙයක් මේ කරන්නෙ. ඔයා මෙහෙම මැදිහත් නොවුණනං මන් අර වගකීම බාර ගන්නෙ නැහැ. ඒ වගෙම මිහිදිනී ඔයත් කැමති උනා ඔයාට පුළුවන් උපරිමෙන් අපේ සුදර්ශිට උදව් වෙන්න. අනික් විශේෂ කාරණේ තමයි අද මේ මිස්ලා දෙන්නම රස වින්දන පාඩම ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්නවා කියන එක. ඒක නිසා මට වෙනදට වඩා අභියෝගයක් වගෙම පොඩි බයකුත් තියෙනවා. මොකද සුදර්ශි මිස් කියන්නෙ සිංහල විෂයට පශ්චාත් උපාධියකුත් තියෙන කෙනෙක් හින්දා. මමත් නොදන්න දේවල් අහගන්න මට මගෙ ගුරුවරියක් වගේ දැනෙන කෙනෙක් හින්දා. ඒ වගෙම අද ඉංග්‍රීසි සාහිත්‍යය දන්න මිසුත් බලාගෙනයි ඉන්නෙ. ඒක නිසා අද මට බොහොම පරිස්සමින් තමයි වැඩ කරන්න වෙන්නෙ. එහෙනං දැන් අපි පටන් ගම්මු.”
“මොකක් සර් අද තෝර ගත්ත නිර්මාණෙ මාතෘකාව.”
ඒ ප්‍රශ්නය නඟන ලද්දේ මයුරි නම් සිසු දියණිය විසිනි.
“අද මාතෘකාව ‘පිහි.’
“අපොයි දෙය්යනේ එහෙනං අපි විනාශයි විනාශෙටම විනාශයි.”
“ඒ මොකෝ සකුණි ඔයා විනාශෙටම විනාශයි කිව්වෙ.”
“ඇයි සර් කිව්වා සර් යනවා කියලා. ඒකයි විනාශයි කිව්වෙ. ඊට පස්සෙ කිව්වා අද කරන පාඩම ‘පිහි’ කියලා. ඒකයි මන් විනාසෙටම විනාසයි කිව්වෙ.”
“නෑ දරුවනේ, අපේ සකුණි කියන විදිහට අපි විනාශ වෙන්නෙත් නැහැ. විනාසෙටම විනාස වෙන්නෙත් නැහැ. මොකද මේ පන්තිය බාර ගන්නෙ ඔයගොල්ලො ගොඩක් ආදරේ කරන ගුරුතුමියක්. එතුමියට උදව් වෙන්නෙ ඔයගොල්ලො ඒ වගෙම ආදරේ කරන තවත් ගුරුවරියක්. විනාසෙටම විනාස නොවෙන්නෙ මන් අද පන්තියට ගේන්නෙ ජීවිත විනාශ කරන පිහි නෙමෙයි ආදරේ පිහි නිසා.”
“එහෙනම් සර් ඒ නම් පුදුම විදිහෙ පිහි ජාතියක් වෙන්න ඕනෙ. අපි අහලා නැහැනෙ සර් ආදරේ පිහි ගැන. අපේ සීයට කිව්වොත් එයා කියාවි මගෙ අම්මා මුත්තා කාලෙවත් එහෙම පිහි ගැන නං මමත් අහලා නැහැ කියලා.”
“එහෙනං දිමුතු අද අහමුකො අපි ආදරේ පිහි ගැන.”
දැන් ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව සුදර්ශී මිහිදිනී ගුරු සුහදිනියන් දෙදෙනාට ඇත්තේ ද ආදරයේ පිහි ගැන දැන ගැන්මේ වුවමනාව යි. මන්ද ගඟුල් පවසන ඒ නිර්මාණය මේ වන තෙක් ඒ දෙදෙනාගේ ද ඇස නොගැසී ඇති එකක් බැවිනි.
“දරුවනේ කෞශල්‍යා ජයලත් කියන අලුත් පරපුරට අයිති කරන්න පුළුවන් හොඳ කවි ලියන කිවිඳියක් ලියනවා කවි පොතක් ‘සහස් කළ තරණ මංපෙත්’ කියලා. ඒකෙ එන එක නිර්මාණයක් තමයි පිහි.”
“ඒකනෙ සර් මන් කිව්වෙ. එහෙනං සකුණිලා අපි හරි. දැන් සර් කියන්න යන්නෙත් පිහි ගැන මිසක් ආදරේ පිහි ගැන නෙමෙයිනෙ.”
“දිමුතු සර්ට කියන්න දෙනවකො හලෝ මැද්දට පනින්නැතුව.”
“නෑ සදුල්, දිමුතු එහෙම කියන එක පුදුමයක් නෙමෙයි. එයාට විතරක් නෙමෙයි මටත් මුලින් ම මේ මාතෘකාව දකිද්දි මොකක් ද මේ කියන හැඟීම ආවා. අපි දැන් බලමුකො ඉස්සෙල්ලා මේ නිර්මාණය දිහා.”
“එතැන සිටි ශ්‍රාවක පර්ෂදය සාවධාන වූ නිමේශයේ ගඟුල් එම නිර්මාණයේ සමාරම්භක කාව්‍යෝක්තිය ඉදිරිපත් කෙළේ ය.
“රුහිරු ඉහිරුම පමණ ද
පිහියකට උරුම මිතුරේ
ආදරේ තැවරී නැතිව ද
පිහි දාර අතර පතරේ”
දරුවනේ, අපි ඉස්සෙල්ලම මේ කොටස ගැන කතා කරමු ද? මන් කැමතියි මුලින් ම මේ ගැන ඔයගොල්ල අවංක ව හිතන දේ දැනගන්න.
“සර්, මටනං පිහි කියන්නෙ ආදරේ තැවරිලා තියෙන දෙයක් නෙමෙයි පිහි කියන්නෙම වෛරය තැවරිලා දෙයක් කියලයි. මොකද ආදරය අහිමි වෙච්ච පෙම්වතා තමන්ගෙ පෙම්වතියට පිහියෙන් ඇනපු සිද්ධි අපි අහලා තියෙන්නෙ එකක් දෙකක් නෙමෙයිනෙ.”
“ඉතින් මියුරි ඒක පිහියෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. ඒ පිහිය පාවිච්චි කරපු කෙනාගෙ මානසික තත්වය ගැන ප්‍රශ්නයක්නෙ. සර් මන් අපේ මියුරිට ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මට තියෙනව ද ඒකට ඉඩක්.”
“මොකෝ නැත්තෙ කුමුදක, අහන්න අහන්න එහෙම තමයි අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න ඕනෙ.”
“එහෙනං මියුරි මට කියන්න ඔයගොල්ලන්ගෙ ගෙදර පාන් කපන්නෙ පිහියකින් නේද?”
මේ මොහොතේ පරාජිත ස්වරූපයකින් බලා සිටි මියුරි දෙසට හැරුණු ගඟුල් මෙසේ පැවසීය.
“දුව කතා කළේ මේ සමාජෙ සිද්ද වෙච්ච දෙයක් ගැනනෙ. ඔයා ඒ ප්‍රශ්නය අහපු නිසානෙ කුමුදක ඒකෙ තවත් පැත්තක් පෙන්නලා දුන්නෙ. මට හිතෙන්නෙ පිහි කියන්නෙ හොඳ හෝ නරක කියන විශේෂණ දෙක දාලා කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක හොඳ හෝ නරක වෙන්නෙ පිහිය පාවිච්චි කරන විදිහ අනුවයි, පිහිය පාවිච්චි කරන කෙනා අනුවයි. අපි ම තමයි තීරණය කරන්න ඕන අතට ගන්න පිහියෙ විස තවරලා මේ ලෝකය තව තවත් විස කරනව ද එහෙම නැත්තං ඒ පිහියෙ රස තවරලා අපේ ලෝකය ලස්සන කරනව ද කියලා.”
“ගඟුල් සර්, අපිටත් අවසර තියෙනව ද මේ සාකච්ඡා මණ්ඩපේ කොටසක් වෙන්න.”
“අපොයි පුළුවන් සුදර්ශි අක්කෙ. ඔයා ඒ කියන දේවල් මේ සාකච්ඡාවට තවත් එළියක් එකතු කරාවි කියලයි මට හිතෙන්නෙ.”
“දරුවනේ, මට ඔයලොල්ලන්ගෙ ගඟුල් සර්රුයි අපේ මියුරි දුවයි කුමුදක පුතයි කතා කරපු දේවල් අහගෙන ඉන්න වෙලාවෙ මතක් උනේ මන් ඔයගොල්ලන්ගෙ වසසෙදි කියවපු කෙටිකතාවක්. මන් ඒක කියෙව්වෙ සඟරාවක තිබිලා. අවාසනාවකට මට කෙටිකතාවෙ නමවත් ලේඛකයගෙ නමවත් මතක නැහැ. ඒක මගෙ වරදක්. ඒකට ඒ ලේඛකයා මට සමා වෙන්න ඕනෙ.”
“අනේ මිස් කියන්ඩකො ඒ කතාව.”
පන්තියේ තැනින් තැනින් ඒ ඉල්ලීම ඉදිරිපත් වද්දී සුදර්ශි කතා කළා ය.
“ඒ කෙටිකතාවෙදි අපට මුලින් ම හම්බ වෙන්නෙ පාන් බයිසිකලයක් තල්ලු කරගෙන යන මනුස්සයෙක්. එයා පල්ලමකදි බයිසිකලේට නැගලා යන්න හදන වෙලාවෙ පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් පාන් පෙට්ටියට අත දාලා පාන් දෙකක් අරගෙන විරුද්ධ පැත්තට දුවනවා. පාන් විකුණන මනුස්සයා කරන්නෙ බයිසිකලේ හරෝගෙන අර මනුස්සයා ලුහුබඳින එක. මෙහෙම යද්දි මෙයා දකිනවා ළඟින් ළඟින් තියෙන පැල්පත් ගොඩක්. මෙයා අර පාන් අරන් දිව්ව මනුස්සයා ඉන් එක ගේකට ඇතුල් වෙනවත් දකිනවා. මෙයා හොඳට මතක තියා ගන්නවා ඒ ගේ.”
“ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ මිස්. පාන් මෑන් යනවද අර ගෙට.”
“අපි පුතා පාන් මෑන් - පාන්කාරයා වගේ නම් ඒ අයට පාවිච්චි කරන එක නවත්තමු. ඔයගොල්ලන්ට වඩා වැඩිමල් කෙනෙක් නිසා අපි පාන් මාමා වගේ නමක් පාවිච්චි කරමු.”
“ඉතින් මිස් ඊට පස්සෙ මොකද උනේ කියලා ඉක්මනට කියන්නකො.”
“මොකෝ සකුණි ඉක්මනට කිව්වෙ. මේ පන්තිය ඉවර වෙච්ච ගමන් ගමනක් තියෙනව ද යන්න. හොඳයි හොඳයි මන් ඉක්මනට කතාව කියන්නංකො. නැත්තං ගඟුල් සර්ට අද රසවින්දන පාඩම කරන්න වෙන්නෙ නැහැනෙ.”
“නෑ සුදර්ශි අක්කෙ මට දැනෙන්නෙ ඔයාගෙ මේ කතා කරන දේවලුත් අපේ රසවින්දන පාඩමේ කොටසක් හැටියටම තමයි.”
“ඉතින් ඔයගොල්ලන්ගෙ සර්ගෙ අදහසත් ඒකනං මන් කතාව කියන්නංකො. ඒ මනුස්සයා ඉක්මණින්ම යන්නෙ තමන්ට කිට්ටුම පොලිසියට. ඒ වෙලාවෙ පොලිසියෙ ඕඅයිසී මහත්තයා තව නිලධාරීන් කීපදෙනෙකුත් එක්ක හදිසි වැඩකට යන්න ජීප් එකට නගින්නයි යන්නෙ. අර පාන් විකුණන මනුස්සයා තමන්ගෙ බයිසිකලේ ජීප්පෙක ඉස්සරහ නවත්තනවා. ඒ වෙලාවෙ එක නිලධාරියෙක් බනිනවා, ගන්නවා අයිසෙ තමුසෙගෙ හුචක්කුව අපේ සර්ට දැනටත් පරක්කු වෙලයි තියෙන්නෙ කියලා. ඒ වෙලාවෙ හරි ලස්සන වැඩක් තමයි වෙන්නෙ.”
“හරි ලස්සන වැඩක් උනා කිව්වෙ කේන්ති ගිය මිස් ඕඅයිසී මහත්තයා බැහැලා දුන්නද අර මනුස්සයගෙ කණට එකක් දුම් විසි වෙන්න.”
“එහෙම උනානං මන් ඒකට ලස්සන වැඩක් කියලා කියන්නෙ නැහැ සවිත්. වැඩේ වගෙම ඒ වෙලාවෙ ඒ පොලිසියෙ ලොකු මහත්තයා කියපු වචන ටිකත් ලස්සනයි. ඒ අවස්ථාව හරිම ලස්සනට කෙටිකතාකරුවා නිර්මාණය කරනවා. මන් මට මතක තියෙන විදිහට ඒ ටික කියන්නං. එයා මුලින් ම කතා කරන්නෙ අර සැරින් කතා කරපු තමන්ගෙ නිලධාරියට. ඊට පස්සෙ අර පාන් මාමට.
“සංජීව මතක තියා ගන්න එයාගෙ බයිසිකලේ එයාට හුචක්කුවක් නෙමෙයි, අපිට අපේ මේ ජීප්පෙක වගේ එයාට එයාගෙ බයිසිකලේ වැදගත්.”
“අනේ සර් මන් ඒක එච්චර හිතලා නෙමෙයි කිව්වෙ. දැන් සර් ඒ මනුස්සයගෙ ප්‍රශ්නෙ අහන්න ද යන්නෙ. සර් අර උත්සවේට යන්න දැනටමත් පරක්කු වෙලයි තියෙන්නෙ. මහ ඇමතිතුමා ඇවිල්ලත් ඇති දැනටමත්. එතුමට කේන්ති යන්නත් බැරි නෑ සර් පරක්කු උනොත්.”
“සංජීව, අපි පොලිස් නිලධාරීන් මිසක් ඇමතිලගෙ සේවකයො නෙමෙයි. අපි බැඳිලා ඉන්නෙ රටේ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයො කියන විදිහට වැඩ කරන්න නෙමෙයි. අපි ඉස්සෙල්ලම බලමු මේ මනුස්සගෙ ප්‍රශ්නෙ මොකක් ද කියලා. මෙහෙම කියලා අර මනුස්සයා ඉස්සරහට යනවා. එහෙම ගිහින් මෙහෙම කියනවා.
“අර අනේ සර් මන් පාන් විකුණලා ජීවත් වෙන දුප්පතෙක්. මට පාන් ගෙඩි දෙකක සල්ලි නැති වෙනවා කියන්නෙ ලොකු පාඩුවක් සර්. බේකරිය අයිති මුදලාලිට පාන් නැති උනේ කොහොමද කියන එක වැදගත් නෑ සර්. ඒවා උණු උණු පාන් සර්. ගත්ත එකාගෙ හොම්බට දෙකක් ඇනලා මට පාන් දෙක හරි ඒකෙ සල්ලි හරි අරන් දෙන්න සර්. මන් උගෙ ගේ තියෙන තැනත් බලා ගත්තා සර්.”
“මේ මනුස්සයා කතා කරපු විදිහට එතන හිටපු ගොඩක් නිලධාරීන්ට හිනා ගියත් ඕඅයිසී මහත්තයා හිනා උනේ නැහැ. පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමම තමයි කියලා පාන් විකුණන මනුස්සයත් දාගෙන අර ගෙදරට ගියා.”
“ආයි නෑ පොලිස් ඕඅයිසී දෙන්න ඇති අර පාන් හොරාට නහයෙන් කටෙන් ලේ දාන්න.”
“නෑ ප්‍රමෝද් එහෙම උනේ නැහැ. කතාව ඉවර උනේ එහෙම නං මන් ඒ කතාව ඔයාලට මෙහෙම කියන කතාවක් වෙන්නෙ නැහැ.”
“එහෙනං කොහොම ද මිස් ඒ කතාව ඉවර වෙන්නෙ.”
“මේ ගොල්ලො ගේ ඇතුළට යනවා. ගේ කිව්වට ඔක්කොටම තියෙන්නෙ පොඩි සාලයක් කියලා කියන්න පුළුවන් පුංචි ඉඩක්. ඔයගොල්ල මවා ගන්න හිතින් මන් දැන් මේ කියන දර්ශනය. එක එක වයස් මට්ටම්වල ගෑනු පිරිමි ළමයි හය හත් දෙනෙක් වටේට බිම වාඩි වෙලා ඉන්නවා. එක් පාන් ගෙඩියක් පුංචි පුංචි පෙතිවලට කපලා. අනික් පාන් ගෙඩිය ඒ දරුවන්ගෙ මැදට වෙන්න පත්තර කෑල්ලක් උඩ තියලා. පොඩි පොඩි කෑලිවලට කපපු බීළුෑණු පෙති අර ළමයින්ගෙ අත්වල. ඒවත් එක්කයි මේ පාන් කන්නෙ.”
“අනේ මිස්....”
ඒ පොලිස් ඕඅයිසී දෙන්න ඇති පාන් හොරාට නහයෙන් කටෙන් ලේ දාන්න යැයි කී ශිෂ්‍යයා ය. ශිෂ්‍ය ප්‍රජාව මතු නොව ගඟුල් සහ මිහිදිනී ද හැඟුම්බර ව අසා සිටින ඒ මොහොතේ සුදර්ශි යළිත් කතා කළා ය.
“පොලිසියෙ ඕඅයිසී මහත්තයයි පාන් විකුණන මනුස්සයයි දැකපු ගමන් අනිත් පාන් ගෙඩියයි ඒක කපන්න ගත්ත පිහියයි අර මනුස්සයගෙ අතින් ගිලිහුණා. මනුස්සයා තමන්ගෙ දරුවන් ඉස්සරහදිම කෑගහලා කිව්වෙ අනේ සර් මන් හොරෙක් නෙමෙයි මේ දරුවො බඩගිනියි කියලා අඬන කොට මට බලන් ඉන්න බැරුව ගියා සර්. මට ඕනෙ දඬුවමක් දෙන්න මන් එන්නන් පොලිසියට කියලයි. ඔයගොල්ල දන්නව ද මේ වෙලාවෙ පාන් විකුණන මනුස්සයා මොකක් ද කිව්වෙ කියලා වචන තුනයි.“
“අපි යන් සර්.”
“ඕඅයිසී මහත්තයත් වචනයක්වත් කතා කරන්නැතුව එළියට ආවා. ආයි ජීප්පෙකට නගින ගමන් පාන් විකුණන මනුස්සයගෙන් ඇහැව්වෙ නැති වෙච්ච පාන් ගෙඩි දෙකට ගිය වියදම කීයද කියලයි. එහෙම කියලා ඒ මුදල අර පාන් විකුණලා ජීවත් වෙන මනුස්සයගෙ අතේ තියන්න හදන කොට එයා ආයෙත් කිව්වෙ වචන තුනක් විතරයි.”
“මට එපා සර්.”
“ඉතින් ඊට පස්සෙ මොකද උනේ මිස්.”
“ඒ කතාව නං එතනින් ඉවරයි පුතා. කතාව සම්පූර්ණ කරන්න ඕනෙ වෙන කවුරුවත් නෙමෙයි ඔයගොල්ලම තමයි. ඔයගොල්ල වැඩ කරන්න ඕනෙ කාටවත් බඩගින්නෙ ඉන්න නැති වෙන සමාජයක් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන්න. අනේ මන්දා මන් මේ කතන්දර කියලා ඔයගොල්ලන්ගෙ රසවින්දන පාඩමට බාදා කළා ද කියලා.”
එහෙත් එයට පිළිතුරු දුන්නේ ශිෂ්‍යයන් නොව ඔවුන්ගේ ගුරුවරයා ය.
“නෑ සුදර්ශි අක්කෙ, ඔයා කළේ මේ පාඩම තවත් රසවත් කරන අතරෙම ඒකට මනුස්සකමේ පාඩමත් එකතු කරන එක. බලන්න මේ මොහොතෙ මේ දරුවන්ගෙ මුහුණු. අපේ මිහිදිනී මිස් ඉන්න හැටිය. ඔයාට බොහොම පින් අක්කෙ, අපි කාටත් හිතන්න දෙයක් කිව්ව වගේම අපේ මේ පාඩමට හොඳ ප්‍රවේශයක් අරන් දීම ගැන. බලන්න අක්කා කතා කළේ ලේ තැවරුණු පිහියක් ගැන නෙමෙයි ආදරයේ පිහියක් ගැන. දැන් අපි කෞශල්‍යා කිවිඳියගෙ කවි පන්තියෙ දෙවන කොටසට ගියොත් අපිට ඒ ආදරේ පිහිය දැක ගන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නෙ පාන් තිබුණ තැනට අඹ ආදේශ වෙන එකයි. ඒ උනාට දරුවනේ සුදර්ශි මිස් කියපු කතාවෙ එන තාත්තගෙත් මේ නිර්මාණෙ එන තාත්තගෙත් ආදරේ එකයි.”
එසේ පවසා ගඟුල් යථෝක්ත කාව්‍යයේ දෙවැනි කොටස කියැවීය.
“දෝණියන්දෑ ආස හින්දම
පියඹා අඹ තුරේ
අඹ නෙළා අච්චාරු සෑදූ
අප්පච්චිගේ අත් අතරේ
ආදරේ තැවරුණු පිහියකි
අද ද නෙත තුටු කඳුළු පැතිරේ”
නදිතිගේ දෑස් කඳුළින් පිරී ගියේ තුටු කඳුළින් නොව දුක් කඳුළිනි. ඒ ආදරේ තැවරුණු පිහියෙන් අඹ, පේර කපා දුන් ඇයගේ දයාබර පියා දැන් ජීවතුන් අතර නැති බැවිනි. පන්තියේ සියලු දෙනා ඒ බව දැන සිටියහ. සංවේදනීය නිහඬතාව බිඳිමින් කතා කෙළේ ඔවුන්ගේ ආදරණීය ගුරුවරයා ය.
“ජීවිතයේ දුක්මුසු අද්දැකීම් අපි කාටත් තියෙනවා දරුවනේ. දුක හිතෙන එක කඳුළු එන එක ස්වභාවයක්. ඒ වෙලාවට අපි ඒක බලහත්කාරයෙන් නවත්තන්න යන්න අවශ්‍ය නැහැ. ඒත් අපේ වේදනාවන්ට අපිව දුර්වල කරන්න ඉඩ දෙන්න එපා. ඒක ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි මේ කතා කරන මටත් අදාළයි. අපි කවියෙ ඊළඟ කොටසට යමු. ඒක කියවන කොට මට මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉස්සරහ වෙළදන් කරපු වෙරළු ආච්චිව, ඒ වගෙම අපේ ආච්චිව, ඈත ගමන් බිමන් යද්දි අතරමගදි අපිට අඹ පේර අන්නාසි කපලා දුන්න නන්නාඳුනන අම්මලාව ආච්චිලාව. අද වෙන කොට ඒ ගොඩක් අම්මලත් ආච්චිලත් ජීවතුන් අතර නැතුව ඇති. මන් දැක්කා නදිති දුවගෙ ඇස්වලට කඳුළු එනකොට පන්තියෙ අනෙක් දරුවන්ගෙ ඇස්වලටත් කඳුළු උනනවා.”
මොහොතක් නිහඬ ව සිටි ගඟුල් අනතුරුව මෙවදන් පැවසීය.
“මේ ඔක්කොම කඳුළු නදිති දුවගෙ තාත්තට ඒ වගෙම අර කියපු අම්මලට වගෙම අපෙන් වෙන් වෙලා ගිය ඔක්කොම ආදරණීයයන්ට උපහාරයක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉස්සෙල්ලා කිව්වා වගේ කවියෙ ඊළඟ කොටසට යමු. මන් කැමතියි අපේ නදිති දුව ඒ කොටස අපි කාටත් ඇහෙන්න කියවනවනං.”
අනතුරුව කාටත් අසන්නට ලැබුණේ සිය හෘදයරිද්මයට අනුගත ව වචන මත රිද්මය තවරන නදිති සිසුවියගේ සුපහන් හඬ යි.
“වන්දනාවේ යනතර
අතරමග නැවතෛන අතරේ
ගමේයම්මාගේ මල්ලෙන්
පිහි මිටක කැටයම් විසිරේ
කොමඩු අඹ පේර අන්නසි
කැබලිවල රස අතරේ
අද ද දිවගෙහි ඒ රස වැතිරේ”
“සර් මේ කිවිඳිය, කියපු ගමන් කපන කොටන දෙයක් විදිහට දැනෙන පිහිය ගේන්නෙ වෙනස් ම තැනකටනෙ.”
“ඒක තමයි දරුවනේ නිර්මාණයක ආශ්චර්යය කියන්නෙ. අපි සාමාන්‍යයෙන් දකින දේවල් ම වෙනස් විදිහට කියන තැනයි නිර්මාණය තියෙන්නෙ. සාහිත්‍යය හදාරන දරුවන් හැටියට මන් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නිර්මාණ මිසක් නිෂ්පාදන නෙමෙයි. බලන්න දරුවනේ මේ නිර්මාණකාරිය තමන්ගෙ නිර්මාණය ඇතුළට මුදිතාව ගේන හැටි. අර කියපු පිහිය මත සෙනෙහස තවරන හැටි.”
“දහදිය සරම් ඉණතුර
පිහියකින් මුදිතාව වැගිරේ
බුලත්විට පෑ දෙතොලක
ස්නේහ හස සුතුර මැතිරේ
“සුදු මැණිකෙටයි මේ කුරුම්බා”
ගුණේ මාමගෙ පඬුරේ
නැළැවී මියුරු ම පොල්මුර
සිපගමි මතක මැදුරේ”
මේ මොහොතේ මිහිදිනීට මතක් වූයේ කුරුණෑගල වත්තේ පොල් කඩන දවසට “සුදු මැණිකෙටයි මේ කුරුම්බා” යන වදන් පවසමින් ඇයට කුරුම්බා කපා දෙන පුංචිබණ්ඩා සීයා ය. සිතින් කුරුණෑගල සිටි ඇය යළි රසවින්දන පන්තියට ආවේ සකුණි විසින් අසන ලද ප්‍රශ්නයත් සමග ය.
“සර් ස්නේහ හස සුතුර කියන්නෙ මොකක් ද? මට ස්නේහ නං තෙරෙනවා. මේ හස සුතුර තමයි තේරෙන් නැත්තෙ.”
“දුව, සංස්කෘත භාෂාවට අයිති වචනයක් තියෙනවා හාස කියලා. ඒ සිනාවට කියන වචනයක්. ඒ හාස කියන වචනෙ සිංහලට බිඳිලා එන්නෙ හස කියලයි. සුතුර කියන වචනය බිඳිලා එන්නෙ සංස්කෘත සූත්‍ර කියන වචනයෙන්. ඒ කියන්නෙ මේ වචන දෙක සිංහලේ පාවිච්චි වෙන තද්භව වචන දෙකක්.”
“සර් ඔහොම කියන කොට මට මතක් උනේ පහුගිය දවසක කියවපු නවකතාවක්. ඒකෙ නම ප්‍රේමසූත්‍ර. ඒක ලියලා තියෙන්නෙ චූලාභය ශාන්තකුමාර හේරත්.”
“බලන්නකො සර් අපේ කුමුදකට මතක් වෙන්නෙ ප්‍රේමසූත්‍රනෙ. නරක නැහැ. මට නං මතක් වෙන්නෙ සර් කරණීයමෙත්ත සූත්‍රය.”
“ඉතින් මියුරි ප්‍රේමය නරක දෙයක් නෙමෙයිනෙ. ප්‍රේමය කියන්නෙ පෙරළා කිසිම දෙයක් අපේක්ෂා නොකර දෙන දෙයකට. ඒකත් සංස්කෘත වචනයක්. ඒකෙ නිරුක්ති අර්ථයත් ඒක තමයි. චූලාභයගෙ ප්‍රේමසූත්‍ර මමත් කියවලා තියෙනවා. ඒක මෑතකදි ලියවෙච්ච හොඳ නවකතාවක්. ඔය පොත බලලා ඒ ලේඛකයට මන් කතා කරලා සුබ පැතුවත් එක්ක. ඒ වගෙම කරණීයමෙත්ත සූත්‍රය අපි මේ ප්‍රේමය කියලා කියන දේ හැඟීම වඩාත් පෘථුල තැනක ර`ඳවනවා.”
“මොකක් ද සර් ඒ ප්‍රේමෙයි මේ ප්‍රේමෙයි වෙනස. ඒ කිව්වෙ ප්‍රේමසූත්‍රයෙයි කරණීයමෙත්ත සූත්‍රයෙයි වෙනස.”
“බැලුවහම අපේ කුමුදකට හොඳ ප්‍රශ්නනෙ එන්නෙ.”
“අනේ සර් මන් ඇහැව්වෙ මෝඩ ප්‍රශ්නයක් ද?”
“අපොයි නෑ කුමුදක ඔයා ඇහැව්වෙ තවත් දවසක දීර්ඝ සාකච්ඡාවක් කරන්න තරන් හොඳ ප්‍රශ්නයක්. අපි සරල ව කිව්වොත් චූලාභය, ප්‍රේමසූත්‍ර ඔස්සෙ ලෞකික ප්‍රේමයේ සුන්දරත්වය ගැන කතා කරද්දි කරණීයමෙත්ත සූත්‍රය අපව රඳවන්නෙ අපි කවුරුත් කවදා හරි දවසක ගැඹුරින් ම අවබෝධ කරගන්න ඕන අලෞකික ප්‍රේමය ළඟ. ලෞකික ප්‍රේමයෙ කවර මට්ටමක හරි අයිති කර ගැනීමක් තියෙනවා. අලෞකික ප්‍රේමය කියන්නෙ අයිති කර ගැනීමේ හැඟීමෙන් වියුක්ත වෙච්ච දෙයක්.”
“සර් ලෞකික යුග ජීවිතයක් ගත කරන දෙන්නෙක් අතරෙ ඒ තත්වය ඒ කියන්නෙ අයිති කර ගැනීමේ හැඟීමෙන් තොර සම්බන්ධයක් ඇති වෙන්න බැරි ද?”
“මොකෝ බැරි කුමුදක. ඇයි සිද්ධාර්ථ යසෝදරා, වෙස්සන්තර මද්දී. ඒ වගෙම ශ්‍රී හර්ෂ ලියපු නාගානන්ද සංස්කෘත නාට‌්‍්‍යෙමූතවාහන - මලයවතී කියලා අපට හම්බ වෙන්නෙත් තමන්ගෙ ජීවිත ලෞකික ප්‍රේමයට වඩා අලෞකික ප්‍රේමය ළඟ රඳවපු චරිත දෙකක්. ඒ වගෙම ඉන්දියාවෙ ජීවත් වෙච්ච ශ්‍රී රාමක්‍රිෂ්ණ පරමහංස සර්ධා දේවි යුවළ.”
“සර් බෞද්ධ සාහිත්‍යය අපට බොහොම කිට්ටු නිසා අර මුලින් කියපු චරිත හතරම අපට ආගන්තුක නැහැ. ඒ උනාට නාගානන්ද නාට්‍යෙ දි හම්බ වෙනවා කියපු යුවළ අපට ආගන්තුකයි. ඇයි සර් ඒ දෙන්නව සර් අලෞකික ප්‍රේමවන්තයන් කියලා හඳුන්වන්නෙ.”
“ඒක මම කරන දෙයක් නෙමෙයි සදුල්. ඒ නාට්‍යය ලියපු ශ්‍රී හර්ෂ කරපු දේ. අපට සංස්කෘත සාහිත්‍යෙට අයිති නාට්‍ය අතර නාගානන්දය විශේෂයි. අතීත භාරතීය සමාජෙ ලියැවෙච්ච නාට්‍ය අතර බුදුන් වහන්සේට කරන ප්‍රණාම පූජාවකින් ආරම්භ වෙන එකම නාට්‍යය තමයි ඒක. ඒකෙ එන ජිමූතවාහන බෝධිසත්ත චරිතයක්. ඒ චරිතෙට සමීප වෙන මලයවතී බෝසත් බිරිඳක්. ඒ දෙන්නා අපට මතක් කරලා දෙන්නෙ වෙස්සන්තර - මද්දී ප්‍රේම පුරාණය ම තමයි. දරුවනේ මන් ඉදිරි දවසක ඒ චරිත ගැන විස්තර ඇතුව කතා කරන්නංකො.”
“සර් මටත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද දැන්.”
“සචින්තනා අහන්න දුවේ ඔයාගෙ ප්‍රශ්නෙත්.”
“සර් මට මතකයි දවසක් පරමහංස ආදරය කියන මාතෘකාව යටතෙ ලියපු ලිපියක ෆොටෝ කොපි කරපු පිටපත් අපට බෙදලා දීලා ඒ ආදරය ගැන අපට දැනෙන දේ ලියන්න කිව්වා.”
“ඔව් මට මතකයි දුව. ඒක අපි විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයන්ව හිටපු කාලෙ අපේ සර් දුන්න ලිපියක්. ඇයි දුව ඔයාට මේ වෙලාවෙ ඒ ලිපිය ම මතක් උනේ.”
“සර් මට ඒක මතක් උනේ නන්දා මාලිනී නෝනා කියන අපට ඉතාම කලාතුරකින් ඇහෙන දැන් අපි මේ කතා කරන මාතෘකාවට සම්බන්ධ කරන්න පුළුවන් ලස්සන ගීතයක් ඒකෙ තිබිච්ච නිසා. ඒක ලියලා තිබ්බෙ සුනිල් ආරියරත්න සර්. මන් හිතනවා සර් මේ සාකච්ඡාවට ඒකත් සම්බන්ධ කරන්න පුළුවන් කියලා.”
“ඔයා දුව මට මතක් කරලා දුන්නෙ මෙතෙන්ට ලස්සනට ගළපන්න පුළුවන් ගීතයක්. ඒක සුනිල් සර් ලියපු සංගීතඥ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු ඔයා මතක් කරපු විදිහටම ආචාර්ය නන්දා මාලනී කියන ගීතයක්. ඔයා මතක් කරපු අපේ සර්ගෙ පරමහංස ආදරය ලිපිය පටන් අරන් තිබුණේ ඒ ගීයෙන්. දුවට මතක නං මන් කැමතියි ඒක ඔයා හරි මේ පන්තියෙ වෙන දුවෙක් හරි කියනවනං.”
“එහෙනං සර් අපි පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න අපේ චන්දූපමාට කියමු ඒක කියන්න කියලා. මන් වෙලාවකට චන්දුට කියලා ඒක කියවා ගන්නවා සර්. අපේ රස වින්දන පාඩම තව තවත් රසවත් කරන්න කියලා අපි එයාට කියමු සර් ඒක කියන්න කියලා.”
පන්තියේ මිතුරු මිතුරියන්ගෙන් මතු නොව ඒ ආදරණීය ගුරු ත්‍රිත්වයේ නුවන් මත ලියැවී තිබූ නිහඬ ඉල්ලීම වූයේ ද චන්දූපමා විසින් එය ගායනා කළ යුතු බව යි. තදනන්තර ව අසන්නට ලැබුණේ නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ ගීත කෝකිලාවිය ලෙස සම්මානිත ඒ ශිෂ්‍ය මාණවිකාවගේ රිද්මිත ළබැඳි ස්වරය යි.
“ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි
මලින් ගඳින් පුදනා
මුනි කන්‍යාවයි මා
යහනත එක අරණේ
සුසුම් අතර ඔබගේ
කරුණා සීතල සුවඳ ගලා
මහද නිවී සැනසේ
ගිතෙල් පහන් එළියේ
නිවුණු නුවන් ඔබගේ
ලොවුතුරු ලොවකට මා කැඳවා
සිත සුවපත් කරවයි”
ඒ ගීතය සවන් පත් වැටෙද්දී මිහිදිනියට සිහිපත් වූයේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ඇරයුම්පත් දීම සඳහා බදුලු බලා ගිය ගමන යි. නාය යාම නිසා අතරමග නිවාඩු නිකේතනයේ රැඳි ගත කළ නික්ලේශී රාත්‍රිය යි. ඈ ඒ ස්මරණයෙන් මිදුණේ පන්තියේ ශිෂ්‍යයකු විසින් යොමු කරන ලද ප්‍රශ්නයක් ඇසීමත් සමග ය.
“සර් අපේ චන්දු ඒක කියන කොට මට මතක් වෙන්නෙ සරත්චන්ද්‍ර සර්ගෙ ‘විලාසිනියකගෙ ප්‍රේමය’ නවකතාවෙ එන කෑල්ලක් තමයි. මන් කියන්න ද සර් ඒක.”
“කියන්න කියන්න එක දේකින් තව තව දේවල්වලට යන එකත් රසවින්දන පාඩමේ ම කොටසක්නෙ. ඒක නිසා මේ කවුරුත් කැමති වේවි රංගන ඒක කියනවනං.”
“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කෙරුමට
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්”
“සර් ඒක ඇහැව්වහම මට තවත් ප්‍රශ්නයක් ආවනෙ. අනේ මොකක් ද මන්දා සර් මට වෙලා තියෙන්නෙ.”
සකුණි එය ඇසූ ආකාරයට පන්තියේ උතුරා ගියේ සිනහවයි.
“දැන් බලන්න අපේ සකුණි හස සුතුරෙන් - හාස සූත්‍රයෙන් පන්තිය පුරවන හැටි. හරි අහන්න බලන්න ඔයාට මොකක් ද වෙන තරමට ආපු ප්‍රශ්නෙ.”
“මොකක් ද සර් අසෙනිය කුසුම කියන්නෙ.”
“කාටද කියන්න පුළුවන් අසෙනිය කුසුම් කියන්නෙ මොකට ද කියලා.”
පන්තිය පුරා පැතිර ගියේ පූර්ණ නිහඬතාවකි.
“ඒ කියන්නෙ සකුණි අහලා තියෙන්නෙ වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නෙ මේ කවුරුත් නොදන්න දෙයක් ගැන. ඒ ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙන්නෙ කිවිපති විමල් අභයසුන්දර කවියා වෙනුවෙන් කරලා තියෙන අසෙනිය කුසුම් කියන උපහාර ග්‍රන්ථය. සංස්කෘත භාෂාවෙ වචනයක් තියෙනවා අර්චන කියලා. ඒකෙ ගරු කටයුතු, පුද ලද යුතු, උපහාර ලද යුතු කියන අර්ථ තියෙනවා. ඒ වගෙම සුමංගල ශබ්දකෝශෙ විළඳ - පොරි කියන අර්ථෙ දීලා තියෙනවා අසෙනිය කියන වචනෙට. කොහොම උනත් අපට මෙතෙන්දි ගන්න වෙන්නෙ උපහාර මල් කියන අර්ථෙයි. අර කියපු පොතේ හැඳින්වීමෙ සඳහන් කරලා තියෙන්නෙත් විමල් අභයසුන්දර කවියා වෙනුවෙන් අභිනන්දන අසෙනිය කුසුම් පොකුරක් පිරිනැමීම ය මේ කරන්නෙ කියලයි. මේ මල් ගැන අභයසුන්දර කවියා ලියපු ලස්සන කවියකුත් තියෙනවා මෙහෙම.
“පංකජ පංකයෙහි දිය උඩින් සිට
අසෙනිය කුසුම් වන මෙන් පිපි විටින් විට
ලොව සැරි සරන මුත් ලොව්තුරු දසුන් පිට
කවියා පූජනීය ම වෙයි රටින් රට”
“සර් දැන්නං මට අසෙනිය කුසුම් කියන්නෙ මොකක් ද කියන එක හොඳටම පැහැදිලියි. සර් කවදා හරි දවසක මාත් අසෙනිය කුසුම් අභිනන්දන ග්‍රන්ථයකින් පූජා ලබාවි නේද?”
පන්තිය පුරා යළිත් පිපිරී ගියේ මහා සිනා සමුදායකි.
“ඇයි ඔයගොල්ලො හිනාවෙන්නෙ කවදා හරි එහෙම වෙන්න බැරිකමක් නැහැනෙ.”
“සර් එහෙමනං ඒ දවසට මන් තමයි සකුණි මහා උපහාර ග්‍රන්ථයේ සංස්කාරක වෙන්නෙ.”
“සර් මන් තමයි ඒකට නම දාන්නෙ. මමත් කැමතියි සම සංස්කාරක වෙන්න. ඒ වගෙම දැනටමත් මගෙ හිතට නම් දෙකක් ම ඇවිත් තියෙන්නෙ. මන් කියන්න ද?”
“අපි ඉඩ දෙමු නේද ඒකට.”
“ඔන්න එහෙනං සර් මන් කියනවා. පළවෙනි නම නාගොල්ලාගම කුරුළු ගීතය සකුණි කටකාර උපහාර ග්‍රන්ථය. දෙක විකට ධාරිණී සකලභාෂිණි සකුණි අමන්දා රත්නායක අසෙනිය කුසුමපූජා. සම සංස්කාරකවරු ගරු කුමුදක හංස රත්නායක සමග ගරු විදුල අමයුරු අබේසිංහ.”
“බලන්ඩකො සර් උපහාර ලබන්නෙ අපේ සකුණි. ගරු විශේෂණය දාගන්නෙ සංස්කාරකලා. ඒක හරි විහිලුවක්නෙ.
“විහිලුකාරියකට ගරු නම්බු දෙන කොට එහෙම තමයි වැඩ කරන්න ඕනෙ.”
“අනේ සර් අපි දැන් අපේ රස වින්දන පාඩමෙන් ගොඩක් ඈතට ගියානෙ. අපි ආයෙත් පාඩමට යමු ද?”
“නෑ සිතුලි, අපි රසවින්දනයෙන් ඈතට ගියා කියලා මට හිතෙන්නෙ නැහැ. අපිට වෙලාවක දුක හිතුණා. ඒ අපේ භාරතීය සෞන්දර්යවේදීන්ට අනුව ගත්තොත් ශෝක කියන ස්ථායි භාවය නිසා ඇතිවන කරුණ රසයනෙ. ඒ වගෙම තවත් වෙලාවකදි මුළු පන්තියට ම හිනා ගියා. ඒ කියන්නෙ අපි හාස කියන ස්ථායි භාවය නිසා ඇතිවන කරුණ රසය වින්දා කියන එකනෙ. හොඳයි අපි මෙතෙක් නිහඬ ව හිටපු අපේ මිහිදිනී මිස්ගෙන් රසවාදය ගැන අදහසක් ගනිමු ද?
“දැන් මට කතා කරන්න වෙන්නෙ මේ විෂය ගැන හොඳ දැනුමක් තියෙන ගඟුල් සර්රුයි සුදර්ශි අක්කයි ඉන්න තැන. මන් මෙතෙන්දි නිර්මාණ රස විඳින කෙනෙක් විදිහට මට දැනෙන දේ කියන්නං. සමහර නිර්මාණයක දැවටිලා තියෙන්නෙ දුක. අපි ඒවට කියනවා ශෝකය ආත්ම කොට ගත් කරුණ රසය උපදවන නිර්මාණ කියලා. තවත් නිර්මාණයක් රතිය නිසා ඇතිවන ශාංගාර රසය උපද්දනවා. තවත් නිර්මාණයක් වීර රසය මතු කරන කොට තව නිර්මාණයක් අපේ හිත්වල ඇති කරන්නෙ රුදුරු බව වෙන්න පුළුවන්. ඒත් මේ එකම රසයකටවත් අයිති කරන්න බැරි නිර්මාණ තියෙන්න බැරි ද?””
“සුදර්ශි අක්කා මොකක් ද මිහිදිනී කියන අදහස ගැන කියන්නෙ.”
“මිහිදිනී කියන කාරණේ ගැන මට වඩා හොඳට කරුණු කියන්න පුළුවන් ඔයගොල්ලන්ගෙ ඔයාලගෙ මේ ගඟුල් සර්ටම තමයි. මතක ද දවසක් භරතමුනි කතා කරපු නවනළු රස ගැන නතර කරන්න බැරි නිර්මාණ තියෙනවා කියලා විශ්වනාථ කියපු අදහසක් මතු කරන පද්‍යයක් මට දුන්නා. මන් හිතන්නෙ ඒකෙ තමයි මිහිදිනී නංගි මතු කරපු කාරණේට උත්තර තියෙන්නෙ.”
“අක්කා කියන්නෙ විශ්වවනාථගෙ සාහිත්‍යදර්පණේ එන පද්‍යයක් ගැන. ඒකෙ කියැවෙන හැටියට සමහර නිර්මාණයක් කියවන කොට අපට ඇතිවෙන්නෙ කරුණ - ශාංගාර - රෞද්‍ර - භයානක ආදි වශයෙන් තියෙන කිසිම රසයකින් විස්තර කරන්න බැරි වෙනස් ම හැඟීමක්. හැබැයි කිසියම් නිර්මාණයක් අර කියපු රස මතු කරන විදිහට ගලාගෙන ගිහිල්ලා අන්තිමට අර කියපු හැඟීම ළඟ නතර වෙන්නත් පුළුවන්.”
“මොකක් ද සර් ඔය විශ්වනාථ කියන කෙනා මතු කරන අමුතු අදහස.”
“විශ්වනාථ කියන කෙනා කියන එක වෙනුවට අපි විශ්වනාථ පඬිවරයා කියන නම පාවිච්චි කරමු. ඇත්තටම භාරතීය සමාජය එතුමා හඳුන්වන්නෙ මුනිවරයෙක් විදිහට.”
“ඇයි සර් මුනිවරයෙක් නොවිච්ච එතුමාට මුනි කියන විශේෂණය දාලා තියෙන්නෙ.”
“ඒකට මියුරි හේතුවක් තියෙනවා. කවර හෝ විෂයක ගැඹුරට ම ගිහිල්ලා තමන් නිවිලා තමන්ගෙ හදවතේ ඝෝෂාව නතර කරලා ජීවන නිහැඬියාව විඳලා ඒ අවබෝධය ඇතුව ලෝකයට අර්ථවත් දෙයක් දෙන අය ඒ අතීත භාරතීය සමාජය හැඳින්නුවේ මුනිවරු කියලා. බලන්න නාට්‍යශාස්ත්‍රය ගැන කතා කරපු භරත කොහොමත් ඍෂිවරයෙක්. එතුමාට කිව්වෙ භරතමුනි. ව්‍යාකරණ ශාස්ත්‍රය ගැන ගැඹුරින් කතා කරපු පාණිනී හැඳින්නුවෙත් පාණිනි ඍසි එහෙම නැත්තං පාණිනි මුනි කියන නමින්. ඒ වගෙම නිවැරදි ව ගත කරන ලෞකික ජීවිතය ගැන කතා කරපු වාත්ස්‍යායනත් මුනිවරයෙක්. ඒ වගෙම කලාව ගැන කියලා තියෙන දේවල් බැලුවහම අපට විශ්වනාථතුමා දාන්න වෙන්නෙත් මුනි කුලකයට ම තමයි.”
“සර් අර සුදර්ශි මිස්ට දුන්න පද්‍යයයි ඒකෙ අර්ථයයි අපටත් කියන්ඩකො ලියා ගන්න.”
“මට පේනවා මයුරි වගේම අනික් දරුවොත් ඒ ගැන උනන්දුයි කියලා. හොඳයි එහෙනං දැන් ලියා ගන්න.”
“න යත්‍ර දුඃඛං සුඛං න චින්තා න ද්වේෂරාගෞ න ච කාචි චින්තා
රසඃ ස ශාන්තඃ කථිතෝ මුනීන්ද්‍රයෛඃ සර්වේෂු භාවේෂු ශමඃ ප්‍රධානඃ”
යම් තැනක දුකක් නැද්ද සැපයත් නැද්ද ද්වේෂය හෝ ඇලීමත් නැද්ද අන්න එය මුනීන්ද්‍රයන් වහන්සේලා විසින් ශාන්ත රසය යයි හඳුන්වති. සියලු භාවයන් කෙරෙහි ශම හෙවත් සන්සිඳීම ම ප්‍රධාන වෙයි.
“සර් සන්සිඳෙන තැන තියෙන්නෙ විඳීමක් නෙමෙයි නිවීමක්නෙ. ඒ කියන්නෙ සර් කියන මේ අතීත සෞන්දර්යවේදීන්ට නිවන ගැනත් යම් අදහසක් තිබුණ කියන එක ද?”
“ඒක නං මන් හරියට කියන්න දන්නෙ නැහැ සදුල්. ඒ උනාට ඒ ගොල්ලන්ට ඒ ගැන මොකක්දෝ අවබෝධයක් තිබුණා කියලානං හිතෙනවා සාහිත්‍යදර්පණය වගේ පොත් අධ්‍යයනය කරන කොට.”
“සර් සමහර නිර්මාණයක් කියන කොට අපිට අපිව නැති වෙලා යනවා වගේ දැනෙන වෙලාවල් එනවා නේද?”
“මයුරි කිව්වෙ මට කියා ගන්න ඕන වෙලා තිබිච්ච දේනෙ. ඔව් දුව ඔය ගැනත් හරිම ලස්සනට කියනවා විශ්වනාථ මුනිවරයා. එයා එක තැනකදි කියනවා කිසියම් නිර්මාණයක් රස විඳින කොට මගේ ය අනුන්ගේ ය කියන සීමා කැඩිලා යනවා කියලා. එතෙන්දි සියලු අන්තර නැති වෙලා ගිහිල්ලා ඉතිරි වෙන්නෙ වින්දන මාත්‍රයක් විතරයි කියලා.”
“ගඟුල් සර්ට මතක නං කියන්නකො ඒකෙ සංස්කෘත පාඨයත්. මටත් ලියා ගන්න.”
“මයුරි මට නෙමෙයි අපිට ලියා ගන්න කියලා කියන්න. එහෙම නේද සර් හරි.”
“හරි හරි මයුරි ඒක එච්චර හිතලා කියපු දෙයක් නෙමෙයිනෙ. අර ඉස්සෙල්ලා නිර්මාණ ගැන දක්වපු අදහස බැලුවහම අද දවසෙ හොඳම ශිෂ්‍යාව වෙලා තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ මේ මිහිදීනී මිස්නෙ. හොඳයි හොඳයි මන් කියන්නං. මේ දුවලා පුතාලත් ඒක ලියා ගන්න. ඒක ඔයගොල්ලන්ටත් වැදගත් වේවි.”
“පරස්‍ය න පරස්‍යෙති මමේති ච මමේති ච
තදාස්වාදේ විභාවාදේඃ පරිච්ඡේදෝ න විද්‍යතේ”
මේ මොහොතේ දක්නට ලැබුණේ මිහිදිනී සිසු කැළ මතු නොව සිංහල විෂය පිළිබඳ පාසලේ ප්‍රාමාණික ආචාර්යවරිය වූ සුදර්ශී ද එය ලියා ගන්නා ආකාරය යි.
“දරුවනේ ඔය පොත්වල ලියා ගන්න වචන වගේම සුදර්ශි මිස්ගෙ මිහිදිනී, මිස්ගෙ නිහතමානිකමත් ඔයගොල්ලන්ගෙ හදවත්වල ලියා ගන්න. ඒ දෙන්න මගෙ හොඳ මිතුරියන් වගෙම වෙලාවකට මට ගුරුවරියො වෙනවා. සිංහල සාහිත්‍යෙ මට අහු නොවෙච්ච ගොඩක් තැන් කියලා දුන්නෙ සුදර්ශි මිස්. ඒ වගෙම ඉංග්‍රීසි සාහිත්‍යෙ විතරක් නෙමෙයි සිංහල සාහිත්‍යෙත් ලස්සන ලස්සන තැන් මට ගෙනත් දෙන කෙනෙක් තමයි මේ මිහිදිනී මිස්. මට ඉස්සරහට මග හැරෙන මේ ඉරිදා පන්තිය දැන් යන්නෙ ඒ මිස්ලා දෙන්නගෙ අත්වලට. ඒක නිසා මට සැහැල්ලුවෙන් යන්න පුළුවන්.”
“සර්, අර පිහි කවි නිර්මාණයෙ තව කොටස් තියෙනව ද?”
“ඔන්න සකුණි, දැන් අපිව ආයෙත් අර පද්‍ය පන්තිය ළඟට ගෙනිච්චා. ඔව් දුව තව එකම එක කොටසක් විතරයි තියෙන්නෙ. හොඳයි අපි ඒකත් කියවලා ඉඳිමු.”
“පිරිමැද කතන්දර
ආදරේ පිරි පිහි අතරේ
හද සිදුරු කළ පිහි ගැන
අමතක කරමි නිතරේ”
“අනේ සර් ඒ නිර්මාණය අපිව ගෙන යන්නෙ වෙනම තැනකටනෙ. මුලින් අපිට අපි ආදරේ කරපු අයත් මතක් වෙලා අපට දුක හිතෙන විදිහට නිර්මාණය ඉස්සරහට අරගෙන ගියා. හැබැයි කිවිඳිය ඒක කළේ අපේ හිත්වලටත් ආදරය ඇතුල් කරන ගමන්. බලන්ඩකො අන්තිමට අපිට කියන්නෙ ආදරේ පිහි මතක තියාගෙන වෛරයේ පිහි අමතක කරන්න කියලයි. මේ සර්, සර් අර ඉස්සෙල්ලා කියපු විදිහට නවනළු රසයෙන් එකක් ළඟ නතර කරන් නැතුව එතනින් ඔබ්බට ගෙන යන තැනක් නේද?”
“දුව මයුරි, මට කියා ගන්න ඕනෙ වෙලා තිබිච්ච දේ තමයි ඔයා දැන් මේ වචනවලට පෙරළුවෙ. ඔයාගෙ ප්‍රකාශෙ මට එකම තැනක් විතරයි සංශෝධනය කරන්න තියෙන්නෙ. ඒ සර් අර ඉස්සෙල්ලා කියපු විදිහට කියපු තැනට විශ්වනාථ මුනිවරයා කියපු විදිහට කියන වචන ටික දාන එකයි.”
“ගඟුල් මටත් ඒකට වචන දෙක තුනක් එකතු කරන්න ඉඩ දෙන්න. අපි හිතනවටත් වඩා දුරකට යන්න පුළුවන් වාසනා ගුණය මේ දරුවන්ට තියෙනවා. ඔයා ඇවිල්ලා අපේ දරුවන්ගෙ තියෙන හැකියා මතු කරන්න පුළුවන් අලුත් උල්පත් මතු කරලා නිර්මාණ ගංගා නිර්මාණය කරන්න පුළුවන් හොඳම ගුරුවරයෙක්. ඉස්සරහට ඔයාගෙන් ඉගෙන ගන්න ඉඩ ලබන විශ්වවිද්‍යාලෙ දරුවොත් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. ඔයා සැහැල්ලුවෙන් යන්න. මන් මිහිදිනිත් එක්ක මේ දරුවන්ගෙ රසවින්දනය තවත් තවත් තහවුරු කරන්න අපට පුළුවන් උපරිම දේ කරන්නං. අපි ඔයාට ආශිර්වාද කරනවා.”
සුදර්ශීගේ මේ ආදරණීය වචන ඇසීමත් සමග හිඳ හුන් අසුනින් නැඟී සිටි ගඟුල් සිය දෙටු ගුරු සුහදිනිය හුන් තැනට ගොස් ඇයට වැඳ ආචාර කෙළේ ය. ඒ මොහොතේ කඳුළින් තෙත් ව ගියේ සුදර්ශිගේ දෙනෙත් පමණක් නොවේ. එදසුන දුටු මිහිදිනී මෙන් ම ඔවුන්ට ආදරය කළ ඒ ශිෂ්‍ය ප්‍රජාවේ දෑස් ද සංවේදනීය කඳුළින් පිරී තිබිණ.
“දැන් දරුවනේ මට යන්න වෙලාව හරි. මන් හිතුවෙ වැඩිපුර වෙලාවක් ගියත් දවල් දෙකට නාගොල්ලාගමින් කුරුණෑගලට ගිහිල්ලා එතනින් කොළඹ බස්සෙකක් ගන්න. මන් ඒ පාරටයි වැඩිය කැමති. මන් ගියාට සැරින් සැරේ ආපහු එනවනෙ. ඔයගොල්ල මේ මිස්ලා දෙන්නත් එක්ක මේ ඉරිදා පන්තිය මිස් කර ගන් නැතුව වැඩ කරන්න. මන් ගිහින් එන්නං සුදර්ශි අක්කේ, මන් ගිහින් එන්නම් මිහිදිනී, දරුවනේ ආයෙත් හම්බ වෙනකන් ඔයගොල්ලන්ටත් ආයුබෝවන්.”
“සුදර්ශී දෙටු ගුරු සුහදිනිය සිය සහෘදයාගේ හිස පිරිමැද සමු ගනිද්දී මිහිදිනී කෙළේ නිහඬ වතින් බලා හිඳීම ය. ඇයගේ අප්‍රකාශනය යනු හෘදය සංවේදීත්වයේ උපරි ප්‍රකාශනය විය. මේ මොහොතේ ඇයට සිහිපත් වූයේ නොබෝදා ගඟුල් තිලිණ කළ මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතයේ අභිනව සිංහල පරිවර්තනය යි. එය පරිවර්තනය කොට තිබුණේ මෙරට කීර්තිමත් යති පඬිරුවනක් වූ පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. එහි අවසන ආදරවන්තයා වැහි වලාකුළ අමතා කරන ප්‍රාර්ථනය මිහිදිනී සිය අප්‍රකාශිත හෘදය ප්‍රකාශනය බවට පත් කොට ගත්තා ය.
“මාභූදේවං ක්ෂණමපි ච තේ විද්‍යුතා විප්‍රයෝගඃ
එක් ක්ෂණයකටවත් ඔබට විදුලි පතිනියගෙන් වෙන් වීමට සිදු නොවේවා!”
මේ පණිවිඩය මිහිදිනීගේ නොකියූ රහස වද්දී ගඟුල්ගේ අප්‍රකාශිත ප්‍රකාශනය වූයේ කුමක් ද? ඒ වූකලී ගඟුල් පමණක් නොව එදා සිටි අද සිටින හෙට දවසේ ද සිටින්නා වූ සත්‍ය වූ ආදරය හඳුනන සමස්ත ආදරණීයයන් උදෙසා රත්න ශ්‍රී කවි හද පිපුණු ස්නේහයේ කුසුම විය.
“රතු තිලක තියා නිල් අහසට ඉර බටු තරුව පිපේවි
හෙට උදේම හමු වෙමු යි කියා හිරු ඔබ කැඳවා යාවි
මට අඬන්නට නොදී නිල් තරු එක දෙක පිනිබින්දු සලාවි
ඔබ නිදන තැනට ඉහළ අහස මගේ මිහිරි සිහින අඳීවි
කවි ලියන කෙනෙක් කවදා හරි මගේ හිතේ තරම ලියාවි”
🌹💕🌹💕🌹💕
ReplyDelete