ජපුරෙ හිටපු උපකුලපතිවරයෙක් වුණ චන්දිම සර් ආයු සංස්කාරය අත්හැරියාය කියා අද උදේ පණිවිඩයක් ආවා.
වැසිදැරිවිට ඒක අහපු ගමන් පිං කුසුමී මතක් වුණා. වැසිදැරිවි මුණගැහුණ හැම දවසකම චන්දිම සර් වැසිදැරිවිට කතා කළේ පිං කුසුමී කියලයි.
පිං කුසුමී කියන්නෙ චන්දිම සර් ලියාපු පොතක්. ළමා කතා පොතක්. ඒ පොත ලියපු දවස්වල, අවුරුදු පහක් විතර බබෙක් වුණ කුඩා වැහිදැරිවිට, චන්දිම සර් ඒකෙ පිටපතක් අත්සන් කරලා දුන්නෙ, පිං කුසුමීට කියලයි.
කොතෙක් තෑගි ලෙස පොත් ලැබිලා තිබුණත් පිං කුසුමී වෙසෙස්ව දැනෙන්න එක හේතුවක් අම්මා තාත්තාගෙන් ලැබුණ තෑගි ලෙස එතෙක් ලැබිලා තිබුණ පොත්වලට අමතරව, වෙනත් කෙනෙකුගෙන් තෑගි ලැබුණ මුල්ම පොතක් විදියට වැහිදැරියට මතක තියෙන්නෙ පිං කුසුමී වීම!
ඒ වගෙම වැහිදැරිවිගෙ නම, කුසුම්වර්ෂා නිසා සර් වැහිදැරිවි මුණගැහෙන හැම වෙලාවකම, 'ඔයාට තමා ඒ පොතේ වැඩිම අයිතිය තියෙන්නෙ' කියා මතක් කිරීමත් ඒකට හේතුවක්.
ඒක අවිහිංසාවාදය සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුංචි දැරියකගෙ කතාවක් වීම නිසා, පූසෙකුගෙ කෑම පිඟානක මාලු කටුවක් අඳින්න බෑ කියලා චිත්‍ර පන්තියෙදි කෑ ගහලා මීන අයිතිවාසිකම් වෙනුවෙන් විප්ලව කරපු කුඩා වැහිදැරියට ඒ ප්ලොට් එක තදින් දැනීම තවත් හේතුවක් වෙන්න පුළුවන්.
කොහොම හරි ඔය පිං කුසුමී කතාවට අමතරව චන්දිම සර්යි වැහි දැරිවිගෙ අම්මයි මුණගැහුණම හිනා වෙවී මතක් කරන තව කතාවක් තියෙනව.
වැහිදැරිවි ඉතා කුඩා බබෙක් කාලෙ, සුමංගල මන්දිරය ඉදිරිපිට සුදු වලාකුළු පිරිච්ච ආකාසෙට අත දික් කරලා, චන්දිම සර්ට කිව්වලු, තමුන් මේ ලෝකෙට එන්න කලින් උන්නෙ ඒ වලාකුළු අස්සෙ වග.
ඉතින් ඒ වලාකුළු අස්සෙ ඉඳලා ආවාය කියලා කටකමසිරියාවක් නැතුව කියවපු අතිපණ්ඩිත පොඩි එකී, ඒ සුමංගල මන්දිරයෙදිම කථිකාචාර්යවරියකව මුණගැහුණ දවසෙ චන්දිම සර් සුබ පැතුවෙ හුඟක් සන්තෝසෙන්.
ඉන් කලකට පස්සෙ වැහිදැරිවි බෞද්ධ අධ්‍යයන කටයුතු සිදු වෙන සරසවියක, උගන්වන්න ගිය වග බෞද්ධ දර්ශනය උගන්වපු සර් දැනගෙන උන්නෙ නෑ. දැනගත්තා නම් ඊටත් වඩා සතුටු වේවි කියා වැහිදැරියට, නෑ, පිං කුසුමීට හිතෙනවා.
කුඩා බබෙක්ට තෑග්ගක් තෝරන වෙලාවක, බෝනික්කෙක්-තුවක්කුවක්-ආදී ලිංගභේදය අනුව වර්ග කරපු භයානක තෑගි මග ඇරගෙන ගිහින් පොතක් තෝරද්දි වැහිදැරිවිට තමන් බබෙකු කාලෙ තෑගි ලැබුණ පිං කුසුමීගෙ සතුටු මතකය මතක් වෙනවා.
තමන් මාර ආදරේ හරිනි සහෝදරීගෙ සාරි ජැකට්ස් ස්වේච්ඡාවෙන් මහලා දෙන්න කැමතියි කියලා සද්භාවයෙන් යුතු සහෝදරත්වෙකින් කියමින්, වැහිදැරියට සාරි ජැකට්ස් මහන අක්කාගෙ බබාට පොතක් ගෙනියන වෙලාවක, වඩා ලාභ ලැබිය හැකි සිරුර විකිණීමේ රැකියාව තෝරාගන්න හැකියාව තියෙද්දි ඒ වෙනුවට ඉතා ගෞරවණීය ලෙස පලා හෝ හඳුන්කූරු විකුණන ළඳකගෙ බබෙකුට පොතක් දෙන වෙලාවක, ඒ බබ්බුන්ගෙ මූණු සන්තෝසෙන් පිරෙනවා දකින කොටත් පිං කුසුමී වැහිදැරිවිගෙ මතක අස්සෙන් එබිකම් කරනව.
ඉතින් ඉස්සරහටත්, චන්දිම සර් දැන් නොහිටියා වුණාට, එහෙම කුඩා බබෙක් අතින් පොතක් තියන හැම දවසකම වැහි දැරිවිට පිං කුසුමී මතක් වේවි!
ඉස්සර තාත්තා ටවුමට යනකොට එල්ලීගෙන යන්න අපි හරි කැමතියි. ඒ ඉස්සෝ වඩේ එකක් කාලා සරුවත් එකක් බොන්න. ඒත් අතේ සල්ලි තියන දවසට ගුණසේන එකටත් එක්ක ගිහින් පොතක් තෝරගන්න කියලා අරන්දෙනවා. දිනමිණේ ඉඳන් බුදුසරණ සරසවිය දක්වා සියළුම ලේක්හවුස් ප්‍රකාශන ගෙදරට එනවා. මම පොත්ගුල්ලෙක් උනේ එහෙමයි.
ReplyDeleteමගේ පොත්ගුල්ලා වීමේ පිස්සුව කොතෙක් දුරදිග ගියාද කියනවා නම්, අදටත් හැම උපන්දිනේකටම වයසෙ ගාණට පොත් අරන් දෙන්න ඕන තෑගි විදියට! වෙන තෑග්ගක් අරන් දුන්නොත් තරහ යන ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නෙ.
Delete