Tuesday, November 12, 2024

118. සිහිල් දිය උල්පත්, උත්තර තාරකා එළි සහ සුමින්ද කිත්සිරි ගුණරත්න!

'ලෝකය අද තව හොඳ මිනිසකුගෙන් හිස් වුණා..'

සුමින්ද කිත්සිරි ගුණරත්න, සුවිශිෂ්ට මනුෂ්‍යයාගේ නික්ම යාම ගැන, වැහිදැරිවිගේ තාත්තා, අද දින පොතේ එහෙම ලියා තිවුණා. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම ඇසූ මොහොතේ පටන් හිරකරගෙන සිටි ඇස අස වැසි, ගලන්නට ඉඩ දෙමින්, වැසි දැරිය, ඒ දින සටහනින් පටන්ගෙන තාත්තා ඔහු ගැන තැබූ හෘදය සටහන කියවූවා.  

ලුම්බිණි ආඛ්‍යාන කාව්‍යයයේ සිට ප්‍රිස්මහි සංකිත කවි දක්වා ඕනෑම කාව්‍ය ආකෘතියක විස්කම් පෑ අතිදක්ෂ නිර්මාණකරුවා, වැසිදැරියගෙ ජීවිතයෙ පළමු ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවූ සුවිශිෂ්ට සන්නිවේදකයා, මානවවංශවේදී සිනමා ක්ෂේත්‍රයෙහි දුර්ලභ පර්යේෂකයා ආදී විවිධ ස්වරූපවලින් සුමින්ද අය්යාව මතක් විය යුතු වූවාට, වැසිදැරියට ඔහුව මුලින්ම මතක ඒ කිසි විදියකට නොවෙයි. 'චක්කරං' විදියටයි. ඒ ඔහුගෙ සරසවියෙ අන්වර්ථ නාමය. 'චක්කරං කොටුව' ඔහුගෙ පළවෙනි කවි පොත. සුමින්ද අය්යා අලුත් පොතක් ලියලා කියලා, පස් හැවිරිදි වැසි දැරියට අම්මා කිව්වම, 'එයා ආයෙත් චක්කරං කොටුවක් ලියලද?' කියලා අහපු අතිපණ්ඩිත ළමයාට සුමින්ද අය්යා දුන්න පළවෙනි තෑග්ග තමයි 'ඇහැළි' - ඔහුගෙ දෙවැනි කවි පොත.

ඒ පොතේ පළමු පිටුවෙ, 

'අප හද හර්ෂා-තෙමනා වර්ෂා

සිඟිත්තියට මේ ආදර වර්ෂා'

කියා විසල් අකුරින් ඇබින්දන් වැහිදැරියට අත්සන් කරලා දීලා, තමන්ගෙ ගුරුවරු වූ වැහිදැරිවිගෙ අම්මාවත් තාත්තාවත්, සුමින්ද අය්යා, වරහන් ඇතුළෙ කුඩා අකුරින් සිහිපත් කරලා තිබුණා. 

ඊට අවුරුදු දහයකට විත⁣ර පස්සෙ, ඔහුගෙ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කෘතියෙ පිදු⁣ම, වරහන් නැතුව, වැහිදැරිවිගෙ අම්මාටත් තාත්තාටත් පිළිගන්වමින් ඔහු ලියා තිබුණෙ මෙහෙම සටහනක්.

'ගිනිගහනා අගනගරේ කූටමහල් තෙමා

සමන් කුසුම් වර්ෂාවකි හදවත් දිය දමා

සංසාරේ විෂ රුක මත පල දුටුවෙමි අමා

ඔබ දැකුමෙන් යුගනෙතු පින සපුරාගති සැමා'

ගිනිගහනා අගනගරයෙ වැහිදැරිවිලාගෙ ගෙදර, මනරම් සංවාද විසල් ප්‍රමාණයක්, සුමින්ද අය්යා එක්ක සිද්ධ වෙලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙ වැඩ  අවසන් කරලා හැන්දෑවරුවෙ, හිටපු ගමන් නොකියාම ඇවිත් අපි එක්ක හෝරා ගණන් ගෙවමින් සුමින්ද අය්යා කළ සංවාද, වැහිදැරිවිගෙ හදවත් පොතේ තද මතක තීන්තෙන් සටහන් වෙලා තියෙනවා.

පස්සෙ කාලෙක ඒ සංවාදවල නිත්‍ය සාමාජිකයකු වූ වැහිදරුවා, වැහිදැරිවිගෙ ජීවිතය බෙදාගන්නා ගමන් සගයා බවට පත් වෙන්න පෙරයි, වැහිදරුවාත් සුමින්ද අය්යාත් කළණ මිතුරන්-සහෝදරයන් වී තිබුණේ.

අප විවාහ වූ දවසෙ වැහිදරුවා වෙනුවෙන් අත්සන් කරන්න ඔහුව තෝරාගත්තෙත් අපි දෙන්නාගෙම ජීවිතයෙ ඔහු සුවිසල් තැනක විසූ හින්දයි. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම, ⁣හද රිදවන කාරණාවක් වන්නෙ, ඔහු එපමණ කිට්ටුවන්ත සහෝදරයකු-මිතුරකු-සංවාද සගයකු වූ නිසා පමණක් නොවෙයි. ඔහු සිය ජීවිත කාලය පුරා යහපත් සාහිත්‍යයක් සමාජගත කරන්න⁣ටත් - දැන් ⁣බොහෝ විට සිදු වන්නාක් මෙන්, කවිය ලිංගිකත්වය හා ඕපාදූප පළ කරන්නට යොදාගන්නා හුදු ප්‍රකාශන මාධ්‍යයක් නොකොට, උත්තර තලයක රඳවන්නටත් අත්‍යන්තයෙන්ම කටයුතු කළ සාහිත්‍යධරයකු නිසයි. 

ජපුර සුමංගල කියැවීම් ශාලාවෙ, ⁣ශේන්‍යා ප්‍රනාන්දු සහෝදරියගෙ පළමු පොත එළිදකින දවසෙ, සුමින්ද අය්යා, පාලුව-හුදෙකලාව-පරම හුදෙකලාව සංකල්ප මතු කරලා, නිර්වාණය එක්ක ඒ සංවාදය ගලපලා කළ කතාව ඔහුගෙ උත්තර සාහිත භාවිතාවට එක් නිදර්ශනයක් පමණයි.

සුමින්ද අය්යාට, ඡායාව අනපායිනී වෙමින්, නිරෝගී සමයේත් ගිලන් සමයේත් එක ලෙස - අනලස්ව ආදරය දුන් දර්ශි අක්කා, ඉතා වාසනාවන්ත බිරිඳක් වන්නේත්, සරිත් සහ සාධ්‍යා ඉතා වාසනාවන්ත දරුවන් වන්නේ එවන් මනුෂ්‍යයෙක් සමඟ ජීවිතය බෙදාගැනීමට ලැබීම, කලාතුරකින් ජීවිතයක⁣ට හිමි වන හිමිවීමක් නිසයි.

සුමින්ද අය්යා, වෘත්තියෙන් ඊනියා ඇකඩමික් කෙනෙක් නොවුණාට, ඇකඩමික්ස්ලා දාස් ගණනකගෙ ඇකඩමික් වැඩ කරපු ශාස්ත්‍රවන්තයෙක්. 

දේශන විසල් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් - සතයක් නොගෙන - පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට සිදු කළ සුවිශිෂ්ට දේශකයෙක්. 

සිය සාහිත්‍ය භාවිතාවෙ ස්වාධීන සුගැඹුරකින් නියැලුණ පරිණත සාහිත්‍යවේදියෙක්.

අවුරුදු අසූ - අනූ ගණනක් ජීවත් වෙන ඇතැමකුට කරන්න බැරි වන තරමෙ වැඩ ප්‍රමාණයක් සිය කෙටි ජීවිතකාලය ඇතුළෙ කරපු සදාකාලික තරුණයෙක්.

ලෞකිකත්වයේ සිට ආධ්‍යාත්මිකත්වය වෙත, ව්‍යාජයකින් හෝ මුලාවකින් නොව, ගැඹුරු අවබෝධයකින් විතැන් වුණ ගවේශකයෙක්.

බුදුදහමේ සුවිශිෂ්ටත්වය, අතිනව්‍යත්වය හා පරම විප්ලවීය බව ගැඹුරින්ම වටහාගන්න සමත් වුණ දාර්ශනිකයෙක්.

ඔහු තදින් ගිලන්ව සිටි අවසන් වකවානුවෙ කෙරුණු සංවාදවල තිබුණ - කවියට එහා ගිය ආධ්‍යාත්මිකත්වයකුත් කැටි වුණ ගැඹුර - සුගැඹුර - සුමිහිර ඒ සඳහා නොබිඳෙන සාක්ෂ්‍යයි.

ඒ ගැඹුර, ගැඹුරු නින්දකට හරවාගෙන, ඔහු යන්නම ගිහින් ඇති වග ආරංචි වුණ මොහොතෙ, වැහිදැරිය, රිය පදවමින් උන් වැහිදරුවාට ඒ බව කිව්වෙ නෑ. සුමින්ද අය්යා කෙරෙහි වැහිදරුවා තුළ තිබුණ ආදරයෙහි, සහෝදරත්⁣වයෙහි දිගපළල කොතෙක්ද කියා දන්නා නිසා, සන්සුන් මොහොතක් එනතුරු පොරොත්තුව ඒ බව නොකියා සිට, ඒ ගැන කියූ ඉක්බිති, වැහි දරුවා කියපු යමක්, මේ සටහන නිමවන්න සුදුසුම පසු සටහන කියා හිතෙනවා.

'සුමින්ද අය්යා නැතුව පාලුයි. ඉස්සරහට ඒ පාලුව තවත් දැනෙයි. ඒත් එයා නතර කරලා ගියපු තැනින් අපි ඉදිරියට වැඩ කරන්න ඕන..'

සුමින්ද අය්යා ජීවිත කාලය පුරා වඩා යහපත් ලෝකයක් - වඩා යහපත් කලාවක් වෙනුවෙන් කළ වැඩ, විවිධ ස්වරූපයෙන් අපේ ජීවිත කාලය පු⁣රා කෙරේවි.. ඔහුගේ කවි - සටහන් - අපි අතරේ ජීවත් වේවි.. 

ඉතින්, සුමින්ද අය්යා වගේ මිනිසුන් නික්ම යන්නේ නෑ. පරම හුදෙකලාවෙන් හෝ ඊට මෙපිටින් නිවී ගියත්, සුපැහැදිලි උල්පත් වතුර ප්‍රදායනය කරමින්, උස් කඳු මුදුනකින් ගලා එන සිහිල් දිය උල්පත් වගේ ලෝකය සුවපත් කරමින් - උත්තර තාරකා එළි වගේ ජීවිත ආලෝකවත් කරමින් ජීවත් වෙනවා..!

3 comments:

  1. සුමින්ද අය්යාට නිවන් සුව පතමි.

    ReplyDelete
  2. අප දැනගත යුතුව තිබෙන ඒත දැන නොගන්නා හොඳ මිනිසුන් ලොව කොපමණ වෙත්ද?

    ReplyDelete
  3. සුමින්ද ගුණරත්න කවුද කියා දන්නේ නැහැ . ඔබේ ලිපියෙන් ඔහු ගැන ඉතා සාධනීය චිත්‍රයක් සිතේ මැවුනා . මම ත් එසේ හුදෙකලාවේ සොබා දහමේ සුන්දර තැන් වල නිහඬව විඳීමට කැමැත්ත දක්වන්නෙක් . මටත් එය විටෙක නිවනට ලං වීමක් වවාගෙ . ඔහුගේ ලියමන් ලංකාවට පැමිණි විට සොයා බලන්නට සිතමි . ඔහුට පතු නිවනක් සාක්ෂාත් වේවා .

    ReplyDelete