Monday, November 11, 2024

117. ගුරු දියවර නවකතාව - තිස්හත්වනකොටස - සමන් චන්ද්‍ර රණසිංහ


                            


“නිල්වන් ඈත  අනන්තේ 

 දෝතට අරන්  වසන්තේ

 සඳහම් සුවඳ   දිසන්තේ

 අතරින් දිනිදු   සිනාසේ ”

වසන්තයත් නීල වර්ණයත් අතර ඇති සුසංයෝගය ගැන කීමට තමා සමත් නොවන බව ගඟුල් දැන සිටියේ ය. වසන්තය ඇතුළු සියලු ඍතූන්ගේ මෙන් ම නීල වර්ණය ද ඇතුළු සියලු වර්ණයන්ගේ සැබෑ උරුමක්කාරයා වන්නේ සොබාදහම යන කරුණ ද ඔහු අවබෝධ කොට ගෙන සිටියේ ය. ඔහු මේ උදෑසන සරසවි බිම වෙත පැමිණියේ වසත් නිල හදට දනවන ඉහත කී ගීතය සෙමෙන් මුමුණමිනි. මල්කාන්ති නන්දසිරි ප්‍රවීණ ගායනවේදිනියගේ ලයාන්විත හඬින් ගැයෙන මේ ගීතය රචනා කොට සංගීතවත් කරන ලද්දේ මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයාණන් විසිනි. මේ ගීතය පිළිබඳ අනුස්මරණීය මතකයක් ගඟුල්ට තිබේ. පළමු වසර ශිෂ්‍ය මාණවකයකු වශයෙන් ශිල්ප හදාරන සමයේ ඔවුන්ගේ එක් දේශන ශාලාවක් තිබුණේ ඥානේශ්වර මන්දිරයේ තෙවැනි මහළේ ය. මේ වන විට භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය එහි ස්ථාපිත කොට තිබේ.

ඒ සුවිසල් මන්දිරයේ තෙවැනි මහළේ සිට පහත බලන විට දක්නට ලැබුණු මලින් පිරී ගිය මැයි මල් තුරු පිළිබඳ මතක සුවඳින් ගඟුල්ගේ හද ගැබ පිරිණ. රතු කහ මැයි මලින් පිරී ගිය මාර මල් යාය ඔහුට දැනුණේ වසන්ත නමැති මනාලිය හැඳි සුන්දර වස්ත්‍රය  ලෙසිනි. වසර ගණනාවට පසු ඒ වසත් සොඳුරිය ම යළිදු නෙත‘බිමුවට පැමිණ තිබේ. අන්තර්භාෂා ඥාන පන්තියේ දී උගත් මහාකවි කාලිදාසයන්ගේ ඉසොඳුරු පැදියකි. මේ මොහොතේ ඔහුගේ හද ගැබට පිවිසියේ.

“ද්‍රැමාඃ සපුෂ්පාඃ සලිලං   සපද්මං

ස්ත්‍රියඃ සකාමාඃ පවනඃ  සුගන්ධිඃ

සුඛාඃ ප්‍රදෝෂා දිවසාශ්ච   රම්‍යාඃ

සර්වං ප්‍රියේ චාරුතරං  වසන්තේ”

මින් කියැවෙන්නේ තුරු මලින් පිරී ඇති බව ය; ජලාශයන් පියුමින් වැසී ඇති බව ය; සකාමී කාන්තාවන් ඇති බව ය; සුළඟ සුවඳවත් බව ය; සැඳෑ සමයන් සුව දනවන බව ය; දවස් රමණීය බව ය. මේ සුන්දරත්වයේ විවිධ පැතිකඩ පෙන්වන කවියා අවසන පවසන්නේ වසන්තයේ සෑම දෙයක් ම මනහර බව ය.  

ඒ සොඳුරු වසන්තය පිළිබඳ වන වින්දනය ගඟුල් විසින් සිය දින සටහන් අතරට ද එක් කොට තිබේ. එදින සටහන අදට ද වලංගු ය. ගඟුල්ගේ ඒ සටහන මෙතනට අදාළ කොට ගනු ලබන්නේ එහෙයිනි.

“කල් වේලා ඇති ව දේශනශාලාවට යන මම ඒ උඩුමහලේ සිට සිට සරසවි බිමේ ඇති සුන්දරත්වය විඳිමි. මැයි මාසයේ දී රතු-කහ මැයි මල්වලින් විදුදය බිම වැසී යයි. ඒ අතිශයින් සොඳුරු දර්ශනයකි. තරුණ ශිෂ්‍ය මාණවක මාණවිකාවෝ ඔබමොබ යති. මම ඔවුන් දෙස බලා හිඳිමි. ඉමහත් ආදරයකින් ද සුන්දරත්වයකින් ද මහද පිරී යයි. එමිහිර වචනවලින් ප්‍රකාශ කළ නොහේ. එසේ බලා හිඳින ඇතැම් දිනයක මම සොඳුරු ගීතයක පදවැල් තනි ව මුමුණමි. දේශනය හා මිතුරු මිතුරියන් පැමිණෙන විට මගේ ගීතය නවතියි; දැහැන බිඳෙයි. මමත් දේශන ශාලාවට යමි.”

අද ගඟුල් යන්නේ ඒ දේශන ශාලාවට නොවේ. අද යන දේශන ශාලාවේ සිටින්නේ සිය සමකාලීන මිතුරු මිතුරියන් ද නොවේ. සිය භූමිකාව ද ශිෂ්‍ය භූමිකාවෙන් ගුරු භූමිකාවට මාරු වී තිබේ. 

මිහිර මෙන් ම අමිහිර ද සොඳුරුතා මෙන් ම නොසොඳුරුතා ද එකට විඳගත්, එදා එකට ඉගෙන ගත් මිතුරු මිතුරියන් මේ වන විට දිවයිනේ නන් දෙසට ද ඉන් ඇතැම් චරිතයක් ලොව විවිධ රටවල් වෙත ද විහිද ගොස් තිබේ. එකම බිම් කඩකදී එකට හමුව එක්ව ජීවත් වූ චරිත අතුරින් වැඩි ප්‍රමාණයක් අද එබිම නැත. ඇතැම් චරිතයක් සදාතනික ව ම සමු ගෙන තිබේ. මේ වන විට ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූ කිහිප දෙනා පමණක් දැක එපින්බිමෙහි දී දැක ගැන්මට ලැබේ. ඔහුට සිහිපත් වූයේ සිය අසල්වැසි මිතුරකු වන සනත්ගේ ත්‍රීරෝද රථයේ පිටුපස ගසා ඇති පාඨය යි.

“වෙන් වන බව දැන හමු වෙමු මිතුරේ”

මේ වන විට ඇතැම් සහෘදයෙක් යළි හමු නොවන්නට ම වෙන් ව ගොස් තිබේ. එසේ සමුගත් චරිත සිහිවීමෙනි, ගඟුල්ගේ නෙත මෙන් ම සිත ද තෙත් ව ගියේ. මේ වූ කලී ජීවිතය යි; එහි ස්වභාවය යි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ එවන් වියෝගාවස්ථාවක දී සිය සංස්කෘත ගුරුවරයා මතක් කොට දුන් පද්‍යයකි. 

“සා රම්‍යා නගරී මහාන් ස නෘපතිඃ සාමන්තචක්‍රං ච තත්

පාර්ශ්වේ තස්‍ය ච සා විදග්ධපරිෂත් තාශ්චන්ද්‍රබිම්බානනාඃ

උද්වෘත්තඃ ස ච රාජපුත්‍රනිවහස්තේ බන්ධිනස්තාඃ කථාඃ

සර්වං තස්‍ය වශාදගාත් ස්මෘතිපථං කාලාය තස්මෛ නමඃ

ඒ සිත්කලු නගරය, ඒ බලවත් රජතුමා, ඔහු සමීපයේ සිටි සාමන්ත කුමාරවරු, ඒ උගත් මිනිසුන් සමූහය, සඳවන් මුහුණු ඇති ඒ තරුණ ස්ත්‍රීහු, ඒ ප්‍රෞඪ රාජ සමූහය, ඒ නෑ ජනයා හා ඔවුන්ගේ කතා - මේ සියල්ලම කාලයේ වසඟයට ගියහ. මේ සියලු දේ කළ ඒ කාලයට නමස්කාර වේවා!”  

ගඟුල් සරසවියේ ආරාධිත ආචාර්යවරයකු වශයෙන් සිය මංගල දේශනය පැවැත්වීම සඳහා දේශනශාලාවට ඇතුළු වන මොහොතේ තවත් ආචාර්යවරයෙක් ඔහුට පෙර එහි පැමිණ සිටියේ ය. ඒ සහන් සමරසිංහ ආචාර්යවරයා ය.

“ස්වාගතං ගඟුල් ස්වාගතම්” අපේ මේ දේශන ශාලාවේ ඉන්න සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මන් ඔයාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගෙම මන් අපේ අලුත් කථිකාචාර්යතුමාගෙන් අවසර ඉල්ලනවා මේ පැය දෙක මෙතන රැඳිලා මටත් ඔයාගෙ දේශනය අහන්න අවසර දෙන්න කියලා.”

මෙසේ කියා සහන් ගියේ දේශනශාලාවේ පසුපස අසුනකට යි. ගඟුල්ට සිහිපත් වූයේ සිය ආචාර්යවරයා සමග තුරු සෙවණක හිඳ පෙරදින සන්ධ්‍යාවේ කළ සංකථනය යි.

“ගඟුල්, අපේ අංශප්‍රධානතුමිය සම්භාව්‍ය සාහිත්‍යය පාඨමාලා ඒකකයේ බාගයක් ම ඔයාට බාර දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගෙම මන් ඔයාව කලින් දැනුවත් කරපු විදිහට එතුමියට දැන්නුවා ඒකට අමතර ව දැනට මන් උගන්නන විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය පාඨමාලා ඒකකයටත් ඔයාව සම්බන්ධ කරගන්නවා කියලා. ඔය ගොල්ලන්ගෙ කාලෙ සිංහල- සංස්කෘත- පාළි අංශ තුනේ ශිෂ්‍යයන්ට විතරක් සීමා වෙලා තිබිච්ච ඒ පාඨමාලා ඒකකය දැන් පොදු පාඨමාලාවක් වෙලා. මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ඕනම උපාධි අපේක්ෂකයකුට මේ දේශනවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට දවසෙ ඔයාට හම්බ වෙන්නෙ ඒ ශිෂ්‍ය කණ්ඩායම. මන් දන්නවා නව දැනුමත් එකතු කරලා ඔයා මේ කටයුත්ත මට වඩා හොඳින් කරන බව.”

මේ එළඹ ඇත්තේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය විද්‍යෝදයේ තරුණ ශිෂ්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ සුයාමය යි. පළමු ව සිය හෘදයංගම ආචාර්යතුමන් වෙත එළඹ ඔහුට ප්‍රණිපතනය කොට ඔහුගේ ආශිර්වාදය ලබාගත් මේ ආචාර්ය යෞවනයා දෙවනු ව ශිෂ්‍ය වෘන්දයට ආචාර කොට මෙසේ සිය දේශනය පටන් ගත්තේ ය.

“මගේ සරසවි ගුරු ජීවිතයේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම වෙච්ච ඔය ගොල්ලන්ගේ ජීවිතවලට මම ඉතාම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. අද මට මේ දේශනය කරන්න වෙන්නෙ අපේ ශිෂ්‍ය කාලෙදි අපට මේ අධ්‍යාපන සම්ප්‍රදාය උගන්නපු ආචාර්යතුමත් ඉන්න තැනයි. මන් සර් මන් ගැන විශ්වාසය තියලා මට මේ වගකීම පැවරීම ගැන ඔබතුමාටත් ඒ වගෙම මේ මොහොතෙ මෙතන නැති උණත් ඒක සතුටින් අනුමත කරපු මගේ ආචාර්යතුමියක් වන වර්තමාන අංශප්‍රධානතුමියටත් මගේ ස්තුතියත් ගෞරවයත් පළ කරලා මේ දේශනය පටන් ගන්නවා.

“සඳ සිසිල සමග හිරු කිරණ ලොවට ගේනා 

ඔබ කවුද සිතා ගත නොහැක ස්වාමීනි තවම එළිය ගේනා” 

අද මේ දේශනශාලාවේ ඈතම තැනකට වෙලා අහන් ඉන්න අපේ සර් අපිට මේ දේශනය එදා පටන් ගත්තෙ එහෙමයි. කවුද මේ සඳේ සිසිලත් ඉරේ තේජසත් ගේන චරිතය. ඒ තමයි විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ නිර්මාතෘවරයා විදිහට සලකන්න පුළුවන් හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවො. අපි පොඩ්ඩත් ඒ ඉතිහාසෙට යමු.

1844 අවුරුද්දෙ රත්මලානෙ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ වෙනවා. මේ පිරිවෙණත් එක්කම අපට කවදාවත් අමතක කරන්න බැරි මහා යති පඬිරුවන තමයි වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක හාමුදුරුවො. උන්වහන්සේගේ කීර්තිමත් ශිෂ්‍යයන් අතරින් පසුකාලීන ව වඩාත් ප්‍රබල ව සමාජගත වන චරිත දෙකක් බිහි වෙනවා. ඒ හික්කඩුවෙ සුමංගල හාමුදුරුවොයි රත්මලානෙ ධම්මාලෝක නායක හාමුදුරුවොයි. එකම ආචාර්යපාදයන් වහන්සේ නමකගෙ ශිෂ්‍යයන් වෙච්ච මේ මහා භික්ෂූන් වහන්සේලා දෙනම වෙන වෙන ම මෙරට කීර්තිමත් අධ්‍යාපන නිකේතන දෙකක් හදන්න මුල් වෙනවා. එකක් 1873 බිහි කරපු මරදාන මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණ. අනික 1875 දි බිහි කරපු කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ. පසුකාලීන ව ඔබ අපි ඉන්න මේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලෙට උල්පත වෙන්නෙ විද්‍යෝදය පිරිවෙන. වර්තමානෙ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙට උල්පත වෙන්නෙ විද්‍යාලංකාර පිරිවෙන. එහෙම බැලුවහම අද වෙන කොට අපේ විද්‍යෝදය විශ්වවිද්‍යාලෙ වයස අවුරුදු 151 ක්. අපේ සහෝදර විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙ වයස අවුරුදු 149 යි.

මේ පාඨමාලාව හදපු අපේ මේ සහන් සර් විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් අපි ඉදිරියෙ තබනවා. ඉන් දෙකක් යති ලකුණු. අනෙක ගිහි ලකුණක්. මේ සම්ප්‍රදායෙ සමාරම්භකයා වෙන්නෙ හික්කඩුවෙ නායක හාමුදුරුවො. අපේ අධ්‍යයන පහසුව සඳහා වෙන් කරගත්ත දෙවැනි සලකුණ වෙන්නෙ හික්කඩුවෙ හාමුදුරුවන්ගෙ ගෝලයන්ගෙ ගෝලයෙක් වෙච්ච වැලිවිටියෙ සෝරත නායක හාමුදුරුවො. 1959 අවුරුද්දෙ මේ විශ්වවිද්‍යාලෙ ආරම්භ කරපු වෙලාවෙ අපේ පළවෙනි විශ්වවිද්‍යාලයාධිපති වෙන්නෙ උන්වහන්සෙ. ඒ අද දවසෙ උපකුලපති නමින් හැඳින්වෙන තනතුර. මේ අධ්‍යාපන සම්ප්‍රදායෙ තෙවැනි සලකුණ වෙන්නෙ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා. එතුමා තමයි එතෙක් මණ්ඩපයක් වෙලා තිබිච්ච විද්‍යෝදය මණ්ඩපය විදිහට ප්‍රසිද්ද වෙලා තිබිච්ච අපේ අධ්‍යාපන ආයතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වෙන කොට ඒකෙ පළවෙනි සම්මානිත කුලපති තනතුරට පත් වෙන්නෙ. මේ චරිත තුන මෙතෙන්දි අපට වඩාත් වැදගත් වෙන්නෙ අර කලින් කියපු සන්ධිස්ථාන තුන නියෝජනය කිරීම නිසා විතරක් නෙමෙයි. මේ චරිත තුනම මේ රටේ අධ්‍යාපනය සකස් වෙන්න ඕන කරන විදිහ ගැන බොහොම ගැඹුරින් කල්පනා කරලා ඊට අදාළ වටිනා කියන අධ්‍යාපන සංකල්ප ඉදිරිපත් කරපු චරිත තුනක් නිසයි. දැන් අපි ඉස්සෙල්ලම මේ අධ්‍යාපන සම්ප්‍රදායෙ මුලට යමු.” 

ගඟුල්ගේ ආචාර්යවරයා සිය හෘදයංගමභාවය නිසා ම තමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සමකාලීන ශිෂ්‍ය ප්‍රජාවේත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් හද සටහනක් බවට පත් වූ තම ශිෂ්‍යයා උගන්වන ආකාරය දෙස ස්නේහපූර්වක දෑසින් බලා සිටියේ ය. ඔහුට දැනුණේ තමා අපේක්ෂා කළ අන්දමටත් වඩා ප්‍රශස්ත මට්ටමින් සිය මෙහෙවර සිදු කරන අතීතයේ එක් වකවානුවක මේ අද්‍යතන ශිෂ්‍යයන් පරිද්දෙන් මේ දේශනශාලාවේ එක් අසුනක හිඳ මේ දේශනයට සාවධාන ව සවන් දුන් ගඟුල් ශිෂ්‍යයා ය. ඔහු දැන් ආචාර්යවරයා ලෙස තමා ඔවුනට දුන් දෙය නව පරපුරට පවරා දෙයි. දැන් තමාට මහත් සතුටකින් සිය මෙහෙවර නිමා කොට සරසවි බිමෙන් නික්ම යා හැකි ය. සහන් සිය කල්පනා නිමේශයෙන් මිදුණේ ගඟුල්, ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන දර්ශනය ගැන කතා කිරීමට ප්‍රවේශය ගන්නා මොහොතේ ය.

“විද්‍යෝදය පිරිවෙන - විද්‍යෝදය විශ්වවිද්‍යාලය පවත්නා තෙක් දැන් මෙතන ඉන්න ඔබ අපි පිරිස විතරක් නෙමෙයි මතු පරපුර විසිනුත් කිසිසේත් ම අමතක නොකළ යුතු ම අතිවිශිෂ්ට චරිතයකටයි සුමංගල හාමුදුරුවො කියලා කියන්නෙ. අර අතන ඉඳගෙන ඉන්න අපේ සර් මේ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේ අනුස්මරණය කරමින් ලියපු සමරු ගීතයෙදි උන්වහන්සේ හැඳින්වීම සඳහා ඥානප්‍රදායක- ආලෝක ප්‍රකාශක- ධර්ම සුදේශක කියන නම් පාවිච්චි කරනවා. උන් වහන්සේ වැඩ කරන්නෙ විදේශික බලවේග හමුවෙ අපේ ශිෂ්ටාචාරය අද ඉන්න අපිට හිතාගන්නත් බැරි තරමෙ අභියෝගවලට ලක්වෙලා තිබිච්ච අන්ධකාර යුගයක. ඒ අභියෝගවලට උත්තර දෙන්න උන් වහන්සෙ ළඟ අද දවසෙ ඔයගොල්ලන්ගෙ වචනවලින් කියනවනං බර අවි තිබුණා. හැබැයි ඒවා හිංසාවේ ආයුධ නෙමෙයි. අයුක්තිය තහවුරු කරන්න වැඩ කරපු බටහිර ජාතීන්ට උන්වහන්සේ උත්තර දුන්නෙ ඒ අයගෙන් ම ලබා ගත්ත ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වචනවල තිබුණෙ සත්‍යය, යුක්තිය සහ ධර්මය යි. සත්‍යගරුක, යුක්තිගරුක ඒ වගෙම අධර්මය නෙමෙයි ධර්මයට ප්‍රිය කළ පෙර අපර දෙදිග ම සාධාරණ මිනිස්සු උන්වහන්සේට සවන් දුන්නෙ, උන් වහන්සේට අවනත උනේ ඒ නිස යි. උන් වහන්සේගේ අධ්‍යාපන දර්ශනය අපේ මේ ආදරණීය දේශයට ගෙනත් දුන්නෙ අලුත් ම ඇහැක්. අපේ සර්ට මතකයි නේද සර්ගෙ ඒ ශ්‍රී සුමංගල ගීයේ එක තැනක මෙහෙම තියෙනවා. මන් කැමතියි අපේ මේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඒකත් කියල ම උන් වහන්සේගෙ අධ්‍යාපන දර්ශනය පැහැදිලි කරන්න.

”යතීන්ද්‍ර උදාර ශශීන්ද්‍ර විලාසෙව් ගගනතලේ බැබළී

ගිම්හාන සමේ වර්ෂාව වුණා දේශයට නුවන් ගෙන දී

ප්‍රණාම කරන් අත් මුදුන තබා දුර ඈත ඉඳන් පේවී

ප්‍රණේතෘ ලෙසින් මවුබිමට වඩිනු මැන අපට ඇසක් වේවි“

“ඒක ලස්සනයි වගෙම හරි අර්ථවත්. ඒත් මට සර් ඒකෙ ප්‍රණේතෘ කියන වචනයේ මොකක්දො වචනවලින් මට කියා ගන්න බැරි ගාම්භීර බවක් දැනුණට ඒකෙ අර්ථෙ දන්නෙ නැහැ. සර් කරුණාකරලා පැහැදිලි කරලා දෙනව ද ඒක.”

ඒ ප්‍රශ්නය නගන ලද්දේ දේශනශාලාවෙ ඉදිරි අසුනක හිඳ සිටි යුවතියකි. 

“නොදන්න දේවල් පැහැදිලි කරගෙන ම ඉස්සරහට යන එක හරි වැදගත්. ඒක සුමංගල අධ්‍යාපන දර්ශනයටත් අනුගතයි. ඉස්සෙල්ලම මට කියනව ද මේ දුවගෙ නම.?” 

“සර් මන් සයුරි”  

“සර් ඔය නිකන් ම සයුරි නෙමෙයි නැණ සයුරි, අපේ බැච් එකේ ඥාන සාගරේ තමයි ඔය. අපි වගෙ නොදන්න දෙයක් ආවහම ඔහේ යන්න අරින්නෙ නැහැ. ඒක විසඳගෙන ම තමයි ඉස්සරහට යන්නෙ.”

පන්තිය සිනහ ගස්සමින් කතා කළ ඒ කටකාර ශිෂ්‍යයා ගඟුල්ට සිහිපත් කොට දුන්නේ නාගොල්ලාගම උසස් පෙළ පන්ති දෙකේ යොවුන් ශිෂ්‍ය ප්‍රජාව යි. කොහෙත් දරුවෝ දරුවෝ ම ය. උසස් පෙළ යනු 12 සහ 13 යන පන්ති දෙකයි. ඒ අනුව කල්පනා කළහොත් සරසවියේ සිටින ශිෂ්‍ය ප්‍රජාව අයත් කළ හැක්කේ 14, 15, 16 සහ 17 යන පන්ති තුනට යි. මෙහැඟුම් සිත පිළිසිඳෙද්දී ගඟුල් කතා කෙළේ ය.

”සයුරි දුවගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මන් කැමතියි සයුරි ගැන අර්ථ ව්‍යාඛ්‍යාවක් ඉදිරිපත් කරපු මේ පුතාගෙ නමත් දැනගන්න.“

එම ශිෂ්‍යයා කතා කිරීමට පෙර පන්තියේ තැනින් තැන අනෙකුත් ශිෂ්‍යයන් කිහිප දෙනෙකුන් වෙතින් නැඟුණු පිළිතුර මෙසේ කැටි කොට දැක්විය හැකි වෙයි. 

“සර් ඒ තමයි ගගන. කාඩ් එක අජටාකාශ. ඒ උනාට මිනිහ මහපොළොවෙ ඇවිදින්න දන්න මිනිහෙක්. තව පැත්තකින් අපේ කණ්ඩායමේ විදූෂක, අන්දරේ කියන නම්වලින් විතරක් නෙමෙයි චාලි චැප්ලින් කියලා ප්‍රසිද්ද වෙලා ඉන්නෙත් මෙයාම තමයි. සර්ට මොකක් හරි වැඩකට මෙයාව ඕන වෙලා හොස්ටල් එකට ගිහින් ගගන කෝ කියලා අහලා වැඩක් නෑ. සර් අහන්න චැප්ලින් හරි අජටාකාශ හරි කෝ කියලා. ෆස්ටියර්රෙකේ මල්ලි කෙනෙක් උනත් කියාවි ඉන්න සර් අපි අජටා අය්යට එහෙම නැත්නං චැප්ලින් අය්යට පණිවිඩේ දෙන්නම් කියලා.”  

“හැබැයි සර් අපේ ගගන ගැන කියන කොට තව දෙයක් එකතු කරන්න ඕනෙ. ඒ තමයි ගගන කියන්නෙ තමන්ගෙ බත් එක අනුන්ට දීලා තමන් බඩගින්නෙ උනත් ඉන්න කැමති කෙනෙක් කියන එක.”

ගගන චරිතයට ඒ වාක්‍යය එක් කෙළේ ප්‍රණේතෘ යන වචනයේ තේරුම ඇසූ සයුරී ශිෂ්‍යාව යි. ඇගේ මේ ප්‍රශ්නයත් සමග ගඟුල්ට සිහිපත් වූයේ ඇය කලින් ඇසූ ප්‍රශ්නය යි. ඒ අනුව ඔහු එයට පිළිතුරු දීමට ඉදිරිපත් විය.

“දුව ප්‍රණේතෘ කියන්නෙ සංස්කෘත වචනයක්. ඒක ඉදිරියෙන්, විශේෂයෙන් කියන අර්ථ දෙන ප්‍ර කියන උපසර්ගය පූර්වයෙන් යෙදිලා ‘පැමිණවීම, ගෙනයාම’ කියන අර්ථ දෙන නී ධාතුවෙන් හැදෙන වචනයක්. සංස්කෘතෙන් පමුණුවන්නා, ගෙන යන්නා විතරක් නෙමෙයි යමකට මුල් වෙලා කණ්ඩායමක් ඉස්සරහට අරගෙන යන කෙනාට අපි කියනවා නේතෘ කියලා. විශේෂයෙන් පිරිසක් ඉස්සරහට අරගෙන යන කෙනෙක් අපට ප්‍රණේතෘ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගෙම මේකට බොහෝ දුරට සමාන තවත් වචනයක් තමයි විනේතෘ කියන්නෙ. ඒකෙන් කියන්නෙත් විශේෂයෙන් පමුණුවන්නා ඉදිරියට ගෙන යන්නා කියන අර්ථය යි.”  

“දැන්නෙ සර් විශ්වවිද්‍යාලවල ගොඩක් සීනියර් සර්ලට විනේතෘ මහාචාර්ය කියලා කියන එකේ තේරුම පැහැදිලි උනේ.”

“සර් මට මේ වෙලාවෙ විෂයබද්ධ නොවන වෙන ජාතියක ප්‍රශ්නයක් තියෙනවා සර්ගෙන් අහන්න.”

“අහන්න අහන්න මොකක් ද අප්පේ දැන් ඔයාට ආපු වෙන ජාතියක ප්‍රශ්නෙ.”

ගඟුල් එසේ පැවසුවේ යථෝක්ත ප්‍රශ්නය නැඟූ ගගන ශිෂ්‍යයාට යි.

“මේකයි සර් ප්‍රශ්නෙ. සර් ඇත්තටම ගත්තොත් සර් අපිට වඩා වැඩිමල් වෙනවා ඇත්තෙ අවුරුදු දෙක තුනකට විතරයිනෙ. එතකොට සර් අපිට දුව පුතා කියන කොට ටිකක් අමුතුයි වගේ. ඒ උනාට ඒකට අපෙත් මොකක්දෝ කැමැත්තක් තියෙනවා කියලත් කියන්න ඕනෙ.”

“වයස් පරතරය මොකක් උනත් ගුරුවරුන්ට තමන්ගෙ ශිෂ්‍යයො කියන්නෙ දරුවො තමයි. අපිට අපේ සර්ලා මැඩම්ලගෙන් ගොඩක් දෙනෙක් කතා කළෙත් එහෙමයි. ඇත්තටම ඒක අපේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායටත් අයිති දෙයක්.”

මේ ප්‍රතිරාව දෙන්නේ තමා නියෝජනය කළ අතීතය යි. තමා තරුණ කටහඬින් කී දෙය වර්තමානයේ වෙනත් තරුණ හඬකින් සමාජගත වෙයි. සිදුවිය යුත්තේ ද එය යි. මෙහැඟුම් ද සිත දරාගෙන සහන් ආචාර්යවරයා සිය කීර්තිමත් ආදි ශිෂ්‍යයාට තවදුරටත් සවන් දුන්නේ ය.

“හික්කඩුවෙ නායක හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය කියන්නෙ ධර්මයේ ප්‍රකාශනයක් ම මිස වෙනත් දෙයක් නෙමෙයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ භගවද්ගීතාවේ එන ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියො අර්ජුනට කියන දෙයක්. ඒ කියන හැටියට කවර කාලෙක හරි ධර්මය ගිලන් වෙනව ද එතකොට ඒ ගිලන් දහම උත්ථාපනය කරන්න තමන් පහළ වෙනවා කියන එක යි; තමන්ගෙ ස්වරූපය ප්‍රකට කරනවා කියන එකයි. මන් හිතන්නෙ හින්දු සම්ප්‍රදාය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් සුමංගල නායක හාමුදුරුවො ඒ අන්ධකාර යුගයෙදි කළේ තමන් ආලෝක දූතයෙක් වෙන එක.”

“ආලෝක දූත. හරි ලස්සන තේරුමක් තියෙන ලස්සන වචනයක්නෙ සර් ඒක. අපිට බැරි ද සර් ආලෝක දූතයො වෙන්න.”

“මොකෝ බැරි පුළුවන්. ගුරුවරුන් හැටියට අපේ ප්‍රාර්ථනයත් ඒකම තමයි. විශ්වවිද්‍යාලයෙන් ලෝකයට දෙන්න ඕනෙ මේ ආලෝක දූතයන් දූතිකාවන් ම තමයි. ඔයගොල්ලන්ට අවුරුදු ගාණකට කලින් මෙහෙ ඉගෙන ගත්ත අද කවියෙක් - ගීත රචකයෙක් වගේම සන්නිවේදකයෙක් හැටියට සමාජගත වෙලා ඉන්න ජගත් ගාමිණි මාවතගම වෙනස් වචනකලින් කිව්වෙ ඔය කාරණේ ම තමයි. එයා එක වෙලාවක මෙහෙම කවියක් ලියනවා.

ගැටුමින් පිරි ලොවට නොගැටුම ගැන කියන

අවුලින් පිරුණු ලෝකය        නිරවුල් කරන  

දෙවියන් සේ පෙනෙන මිනිසුන් වැඩ වෙසෙන  

සෙනසුන් සදිසි විය යුතු         සරසවි අරණ

අපි විශ්වවිද්‍යාලයෙන් සමාජයට යවන්න ඕන කරන්නෙ දෙවිවරු වගේ මිනිස්සු - ගැහැණු. ඒ කියන්නෙ කලින් කියපු විදිහට අන්ධකාරයේ නෙමෙයි ආලෝකයේ පණිවිඩය අරගෙන යන දූතයො දූතිකාවො.

සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියලා තියෙන රාජ රාජ ගීතයෙ කොටසක් උපුටා දක්වලම මන් අර අධ්‍යාපන දර්ශනේ අන්තර්ගත කරුණු කතා කරන්නං. ඔයගොල්ලො මුලින් කොළවල නෙමෙයි ඒවා තමන්ගෙ හදවත්වල ලියා ගන්න.

ඉන්ද්‍ර දිගින් ගනඳුර බිඳ පායා එන සූර්යරාජ

වලා පලා නැඟී දිලෙනකලා සපිරි චන්ද්‍රරාජ

අපා දෙපා සිවුපා සත මුළු ගන්වන   සිංහරාජ 

ගුණෙන් නැණෙන් වැඩුණොත් පුතු මිනිසුන් මැද දිව්‍යරාජ

හික්කඩුවෙ හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ප්‍රධාන කොටස් නවයකට බෙදලා අපට කතා කරන්න පුළුවන්. උන්වහන්සෙ මුලින් ම කියනවා චිරාගත අධ්‍යාපන සම්ප්‍රදාය රකින්න කියලා. එය රැක ගනිමින් පවත්වා ගෙන යන්න කියලා. ඒ උගත්කමයි ගුණවත්කමයි එකට එකතු වෙච්ච විද්වත් ප්‍රඥාවන්තයන් අඛණ්ඩ ව බිහි කරන්න ඒක හේතු වෙන නිස යි. ඊට පස්සෙ උන් වහන්සෙ දෙවෙනි කාරණේ හැටියට මතු කරන්නෙ එම සම්ප්‍රදායට හානි නොවෙන විදිහට නව ප්‍රවේශ ගන්න කියලා. ඒක තමයි යුගයෙන් යුගයට මේ ගලා ගෙන යන්නෙ. උදාහරණයක් හැටියට සන්ථාගාරය කියන වචනෙ ගන්න. අපේ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලේ කැන්ටිමට දාලා තියෙන නම. ඒක බෞද්ධ සම්ප්‍රදායට අයිති වචනයක්. ඒ ලිච්ඡවී රජ දරුවො තමන්ගෙ හදවත් උසස් කරගෙන තමන් ජීවත් වෙන සමාජෙ අනික් අයගෙ ජීවිත උසස් කිරීම සඳහා සාකච්ඡා පවත්තපු තැන. ඇයි සෝරත නායක හාමුදුරුවො මේ කැන්ටිමට ආපන ශාලාව, අවන් හල වගේ වචනයක් යොදන්නෙ නැතුව සන්ථාගාරය කියන නම යෙදුවොත්. ඒවා අලුත් වචන උනත් අලුත් නැති නිසයි. දාපු වචනෙ පැරණි උනත් ඒකෙන් දෙන හැඟීම අලුත් නිසයි. සම්ප්‍රදාය රකින ගමන් නව ප්‍රවේශ ගන්නවා කියන එක මන් තේරුම් අරන් ඉන්නෙ එහෙමයි.”

සහන් සාවධාන ව නවක ආචාර්යවරයාට සවන් දුන්නේ ය. මේ මොහොතේ ඔහු විසින් කරනු ලබන්නේ කලකට පෙර තමන් ඔවුනට කළ දේශනය පුනරුච්චාරණය කිරීමක් නොවේ. විෂය කරුණු එක ය. එහෙත් ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ නැවුම් මෙන් ම යෝග්‍ය වෙනත් නිදසුන් දක්වමිනි. සරසවියේ පවත්වන සිය ප්‍රථම දේශනයේ දී ම සම්ප්‍රදාය රකිමින් ගඟුල් නව ප්‍රවේශ ගන්නා ආකාරය දෙස ඔහු බලා සිටියේ සුපහන් හදවතිනි.  

“මොන විෂය ඉගැන්නුවත් ඒක හරි ආදරයකින් කරන්න කියලයි සුමංගල හාමුදුරුවො අපිට කිව්වෙ. ඇත්තට ම සහන් සර්ලා මේ පාඨමාලාව හැදුවෙ එක අධ්‍යයනාංශෙකට, එක පීඨයකට සිමා කරන අදහසින් නෙමෙයි. මන් හිතන්නෙ මේ පාඨමාලාව හැම අධ්‍යයනාංශයක ම තියෙන්න ඕන කරන එකක්. මේකට සමාන  වැඩක් අදත් කෙරෙනවා ඉන්දියාවෙ ශාන්තිනිකේතන විශ්වවිද්‍යාලෙ. ඒකෙ නිර්මාතෘවරයා වගේම පළවෙනි කුලපති වෙච්ච රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ අධ්‍යාපන දර්ශනය විතරක් නෙමෙයි සාහිත්‍ය ජීවිතයත් ගැන එහෙ ඉගෙන ගන්න දේශීය විදේශීය ඔක්කොම ශිෂ්‍යයන්ට ලබා දෙන වැඩ පිළිවෙළක් එතන තියෙනවා. මට ඔය විස්තර කිව්වෙ අපේ විශ්වවිද්‍යාලෙ ආදි ශිෂ්‍යයෙක් වගෙම ශාන්ති නිකේතනෙන් තමන්ගෙ ආචාර්ය උපාධිය දිනා ගත්ත අපේ ධම්මිස්සර හාමුදුරුවො. උන්වහන්සෙ කිව්වෙ තමන් ඉගෙන ගන්න කාලෙ ඒ පාඨමාලාව උගන්නලා තියෙන්නෙ උන්වහන්සේගේ ආචාර්ය උපාධියෙ උපදේශක විදිහට වැඩ කරපු සංස්කෘත මහාචාර්ය කල්පිකා මුඛර්ජි මැතිනිය යි. කියලා. ඒකට පීඨ විෂය භේදයකින් තොර ව ශිෂ්‍යයො සහභාගි වෙලා තියෙනවා.”

“ඉතින් සර් ශාන්ති නිකේතනයට තාගෝර් අධ්‍යාපන දර්ශනය වගෙම අපිට වැදගත්නෙ විද්‍යෝදය අධ්‍යාපන දර්ශනය.”

“ඔව් සන්දීප් ඔයා හරි. මේ පාඨමාලාව හරහාත් මොන මට්ටමකට හරි සිද්ද වෙන්නෙ ඒක තමයි. දැන් අපි අපේ අවධානය යොමු කරමු මේ අධ්‍යාපන දර්ශනේ තුන්වෙනි කාරණාවට. හික්කඩුවෙ හාමුදුරුවො ගුරුවරුන්ට අවධාරණය කරලා කියනවා උගන්නන කොට තමන්ට පැහැදිලි නැති හරි දුෂ්කර තැනක් හරි ආවොත් තමන්ට උගන්නපු ගුරුවරු ඉන්න තැනකට ගිහිල්ලා හරි ඒක හරියට පැහැදිලි කරගෙන ඇවිල්ල තමන්ගෙ ශිෂ්‍යයන්ට උගන්නන්න කියලා. මන් ඉස්කෝලෙ උගන්නන්න ඕනෙ කරන පාඩමකට ලෑස්ති වෙන කොට දුෂ්කර තැනක් ආවොත් කරන්නෙ කොළඹ ආපු ගමන් සහන් සර් හම්බ වෙන එක. ඒක මන් ඉගෙන ගත්තෙ ඔයගොල්ලන්ගෙ - අපේ මේ සර්ගෙන් ම තමයි. මොකද අදටත් සර් තමන්ට අපැහැදිලි තැනක් ආවොත් කරන්නෙ පලිහවවඩන සර් හරි වෝල්ටර් සර් හරි හම්බ වෙන්ඩ යන එක. ඔයගොල්ල දන්නව ද පුතා පලිහවඩන සර්ට වයස කීයක් ද කියලා.”

“අවුරුදු අසූවක් විතර ඇති නේද සර් සහන් සර්ලගෙ ඒ සර්ට.”

“නෑ මියුරි එතුමටාට දැන් අවුරුදු අනූනවයක් වෙනවා. වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමාට අනූ එකයි.”

“සර් කිව්ව දේ කවද හරි දවසක අපටත් පාඩමක්. දැන් සර් අපිට සුමංගල අධ්‍යාපන දර්ශනේ ගැන කරුණු හතරක් කිව්වා. මොකක් ද සර් පස්වෙනි කාරණේ හැටියට සඳහන් කරලා තියෙන්නෙ.”

“පස්වෙනි කාරණේ අධ්‍යාපනේට විතරක් නෙමෙයි ජීවිතේ කොයි තැනටත් අදාළ කාරණයක්. සුමංගල හාමුදුරුවො කියනවා කොයිම වෙලාවකවත් දැනුම වශයෙන් ශිෂ්‍යයන්ට අසත්‍ය කාරණා උගන්නන්න එපා කියලා. මේක දරුවනේ ඉතාම වැදගත් කාරණාවක්. අසත්‍යය කියන්නෙ තැනක් දෙකක් නෙමෙයි මුළු සමාජයක් විනාශ කරන දෙයක්. බොරු කියන කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ. මේ කාරණේ ඔස්සේ උන් වහන්සේ අපට බොරුවෙන් ජීවත් වෙන්න එපා කියන පණිවිඩෙත් ගේනවා.” 

“ඒත් සර් මේ රටේ උත්තරීතර ආයතනය කියන තැන ඉන්න අයගෙන් අතිබහුතරයක් කළේ ම ඒකනෙ.”

“තත්වය ඒකනන් මොකක් ද දරුවනේ අපි කරන්න ඕනෙ.”

“සර් මන් ඒකට උත්තර දෙන්න ද අන්තර්භාෂා පාඨමාලාවෙදි අපේ සහන් සර් අපට කියපු දෙයකින් ම.”

“හරිම හොඳයි සර්රුත් ඉන්න තැනම  ඔයගොල්ල මෙහෙම කතා කරන එක. ඔව් සන්දීප් කියන්න බලන්න.”

“දවසක් සර් උපනිෂද් පාඨයක් එහෙම උපුටලා දක්වලා කිව්වා, අසත්‍යය තියෙන තැනට සත්‍යයත් අඳුර තියෙන තැනට ආලෝකයත් මරණය තියෙන තැනට ජීවිතයත් ආදේශ කරන්න කියලා. ඉතින් සර් අපිටත් පුළුවන්නෙ බොරුකාරයො වෙනුවට හරිකාරයො යවන්න.”

“හරි සන්දීප් ඔයා හරි. දැනට භාෂාවෙ භාවිත වෙන්නෙ නැති අලුත් වචනයක් නිර්මාණය කරලා ඒ කියන්නෙ බොරුකාරයො කියන වචනෙ විරුද්ධ පදේ විදිහට හරිකාරයො කියලා වචනෙකුත් හදලා ඔයා කියපු දේ තමයි මේකට උත්තරේ. හැබැයි මේකට උත්තර දෙන්න ඕනෙ ඔයගොල්ල - අපි ඒ කිව්වෙ ගුරු - ශිෂ්‍ය දෙපිරිස වන අපි දෙගොල්ල විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ගෙ අම්මා තාත්තා දෙන්න, සහෝදර සහෝදරියො, නැන්ද මාමලා, මේ භූමියෙන් පිට ඉන්න යහලු යෙහෙළියො ඔය ඔක්කොමත් එක්ක තමයි ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ.”

“සර් ඒ ඉන්න අය කොහොම ද මේකට සම්බන්ධ කරගන්නෙ.”

එක් ශිෂ්‍යයකු විසින් නගන ලද ඒ ප්‍රශ්නයට ගඟුල්ටත් පෙර උත්තර දුන්නෙ තවත් ශිෂ්‍යයෙකි.

“ඇයි මනුස්සයො ඒ අයටත් ඡන්දයක් කියලා එකක් තියෙනවනෙ. මෙතන ඉන්න අපි විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා අපි හරි මිනිස්සුන්ට ඡන්දෙ දුන්නොත් තමයි බොරුකාරයන් පරාජය කරන්න පුළුවන් වෙන්නෙ.”

“ඉතින් සර් මේ රසිත් කියන වැඩේ හරිම දුෂ්කර එකක්නෙ. මොකද සමාජෙ ඉන්නෙ විවිධ අදහස් දරන අයනෙ. ඉතින් අපේ ම නෑදෑයො යාළුවො අතරත් එහෙම අය ඉන්නවනෙ සර්.”

“මන් මයුරිගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නං අපේ සුමංගල හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනේ එන හය වෙනි කාරණෙන්. උන් වහන්සේ අපිට කියනවා කවර තරන් දුෂ්කර තත්ව යටතෙ උනත් උත්සාහය - වීර්යය අත හරින්න එපා කියලා. එහෙම උත්සාහය අත ඇරපු නැති මිනිස්සු තමයි දරුවනේ හැමදාම ජයග්‍රහණ හිමි කරගෙන තියෙන්නෙ.”

“සර් මේ පාඩම හරහා නියම ගැම්මක්නෙ අපිට දෙන්නෙ.”  

“ඒ ගැම්මෙන් ම පුතා නිවැරදි දේ සමාජගත කරන්න. හික්කඩුවෙ හාමුදුරුවො කිව්වා වගේ තරහෙන් නෙමෙයි බොහොම ආදරේකින් ඒක කරන්න. විරුද්ධ අදහස් දරන අයටත් තමන්ට පැහැදිලි ව දැනෙන දේ ආදරෙන් කියලා දෙන්න. ආදරේට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් පුතා. හැමදාම ලෝකෙ වෙනස් උනේ එහෙමයි පුතා.”

“සර් ඔය අන්තිමට කියපු කාරණේ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? ඒ කිව්වෙ ආදරේ තමයි ලෝකෙ වෙනස් කරන්නෙ කියන කාරණේ.”

“බොහොම හොඳ ප්‍රශ්නයක් මේ දුව ඇහැව්වෙ. ඉස්සෙල්ලම කියන්න දුවේ මට ඔයාගෙ නම.”

“සර් මම උත්තරා.”

“සර්, එයා එයාගෙ නමින් කෑල්ලයි කිව්වෙ. එයාගෙ සම්පූර්ණ නම උත්තරා දිව්‍යාංජලී වික්‍රමසූරිය. අපේ බැච් එකේ කවිකාරි. එයාගේ කාඩ්ඩෙකත් ඒකයි සර්. එයාට අපි කියන්නෙ කිවිඳි කියලා.”

“බැලුවහම මේ සන්දීප්නෙ උත්තරා ගැන එයාටත් වඩා විස්තර දන්නෙ.”

“ඔව් සර් මෙයා තමයි එයාගෙ ප්‍රයිවෙට් සෙකටි්‍ර. මෙයා උත්තරා ගැන උනන්දු උනාට තවම උත්තරාගෙ ප්‍රතිචාරනං මදි සර්. ඒ උනාට මේ දෙන්න නං නියමෙට...”

සසිත්ට එය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුණේ උත්තරාගේ රැවුම් සහගත දැඩි බැල්ම ඔහු දෙසට යොමු වූ බැවිනි. අනතුරුව කතා කෙළේ ගඟුල් ය.

“දුවේ, සති අන්ත පත්තරවලින් මන් ඔයාගෙ කවි කියවලා තියෙනවනෙ. එහෙනං ඔයයි ඒ උත්තරා දිව්‍යාංජලී. ඔයාගෙ කවි හොඳයි දුව. ඒ වගෙ නිර්මාණ කරන අය අනිවාරෙන් ම තවත් මෙතන ඇති. අපි ඒව ගැනත් වෙලාවක කතා කරමු. දැන් මන් උත්තර දෙන්නං මට තේරෙන විදිහට උත්තරා දුවට. ඔයා ඇහැව්වනෙ ආදරේ කොහොම ද ලෝකෙ වෙනස් කරන්නෙ කියලා. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඒකට උත්තර දුන්න අපේ ශාස්තෘාන් වහන්සේලා. බුදු හාමුදුරුවො ලෝකෙ වෙනස් කළේ ආදරයෙන්. මෛත්‍රී කරුණාවෙන්. යේසුස් වහන්සේගෙ ඒ හැඟීමට භක්තිවන්තයො පාවිච්චි කරන්නෙ ප්‍රේමය කියන වචනෙ. නබිනායකතුමන්ගෙ තමන්ට විතරක් දේවල් තියා ගන්නෙ නැතුව නැති අයටත් දෙන්න කියන පරිත්‍යාගය ගැන තියෙන ඉගැන්වීමට උල්පත වෙන්නෙ ආදරය. හින්දු ආගමික සම්ප්‍රදායට අයිති භගවද්ගීතාව අපට උගන්නන්නෙ හැම දෙයක් දිහාම සමාන ඇහැකින් බලන්න කියලයි. එතන තියෙන්නෙත් ආදරය මිස වෙන දෙයක් නෙමෙයි.”

“සර් ගත්ත උදාහරණවල ඉන්න ඔක්කොම ශාස්තෘාන් වහන්සේලා. සර් මන් අහන්නෙ දේශපාලනඥයකුට බැරි ද අර ශාස්තෲන් වහන්සේලා වගේ ඇත්ත ආදරවන්තයෙක් වෙන්න.” 

“මොකෝ බැරි සන්දීප්, ඒ මට්ටමට ම නොවුණත් හොඳ දේශපාලනඥයා කියන්නෙත් ආදරවන්තයෙකුටම තමයි. ලෙනින්, චේ ගුවේරා, මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා මේ ඔක්කොම දේශපාලනඥයො ආදරයේ නියෝජිතයො මිසක් වෛරයේ නියෝජිතයො නෙමෙයි. ඒ වගෙම අපිට සාහිත්‍ය ලෝකෙනුත් හම්බ වෙනවා ආදරවන්තයො. රබීන්ද්‍රනාත් තාගෝර්, ලියෝ ටොල්ස්ටෝයි, සරෝජිනී නායිදු. මේ උදාහරණ කීපයක් විතරයි. මන් මෙතෙන්දි එක කාන්තා චරිතයක් විතරක් උදාහරණෙට ගත්තට අපි අමතක කරන්න නරකයි මේ හැම පැත්තක් ම නියෝජනය කරපු ආදරවන්තියන්ගෙනුත් හැම යුගයකම ලෝකය හිස් නොවිච්ච බව.”

“පැහැදිලි යි සර්, අන්තිමටම පැහැදිලි යි. මමත් සර් වර්තමාන සමාජය පුරවන ආදරවන්තයෙක් වෙනවා.”

“ඒකට උත්තරාගෙනුත් මුලින් ම උඹට අවසර අරන් ඉන්න වේවි.

සන්දීප්ගේ කතාවටත් ඊට මිතුරකු විසින් කරන ලද ප්‍රකාශයත් නිසා දේශනශාලාව සිනා සාගරයක් වද්දී සන්දීප් පැවසුවේ තමා ඒ කතාව කිව්වේ විහිලුවට නොව ඇත්තට ම බව යි. අනතුරුව ඇසුණේ  ගඟුල් ආචාර්යවරයාගේ කටහඬ යි.

“මට දැනෙන්නෙත් සන්දීප් ඒ කතාව කිව්වෙ විහිලුවට නෙමෙයි කියලයි. මන් ප්‍රාර්ථනා කරනවා වගෙම මට දැනෙන දේ වෙන්නෙ අපේ අනික් දරුවොත් ඒ ආදරවන්තයන්ගෙ ආදරවන්තියන්ගෙ හිස්තැන පුරවනවා කියන එකයි. ඒ ප්‍රාර්ථනාව කරලම මන් අර අධ්‍යාපන දර්ශනේ හත් වෙනි කාරණේට යන්නං. එතැන කියැවෙන හත්වෙනි කාරණේ තමයි ශිෂ්‍යයා තුළ දැනුම තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හැටියට කටපාඩම් කිරීම, ආචාර්යවරයා ගාවදි ඒවා පාඩම් දීම වගෙම පදගත අර්ථ විග්‍රහ කිරීම අවශ්‍යයි කියන එක.”

“ඒ උනාට සර් අද අලුත් අධ්‍යාපන මූලධර්ම ගැන කතා කරන ගොඩක් උගත්තු කියන්නෙ කටපාඩම් කරන එක, පාඩම් දෙන එක, ගුරුවරයා ඉස්සරහට ගිහින් අර්ථ විග්‍රහ කරන එක යල් පැන ගිය දෙයක් කියලනෙ.”

“අන්න අපිට වැරදුණ තැනක් තමයි මේ පුතා මතක් කළේ. මේ අධ්‍යාපන මූලධර්මෙ ඒ පැරණි තාලෙන්ම මේ විශ්වවිද්‍යාලෙදි ක්‍රියාත්මක කරපු ගුරුවරයෙක් අපිට හිටියා. ඒ සර් අපිත් එක්ක එකතු වෙලා කලා පර්ෂදය මුල් කරගෙන හැදුවා සංකථන මණ්ඩපයක්. එතකොට කලා පර්ෂදේ සභාපති වෙලා හිටියෙ ප්‍රණීත් සර්. ඒ සර්රුත් අපේ පසුබිමේ ඉඳගෙන අපිට උපරිම සහය දුන්නා. අර කියපු සංකථන මණ්ඩපේට ඕනම ශිෂ්‍යයකුට එන්න පුළුවන්. අපි එක දවසක කවි පන්තියක් ගැන ගීතයක් ගැන කතා කරනවා. ඒ ගීත කවි අපේ ශිෂ්‍යයන්ට කොච්චර හිතට දැනුණ ද කිව්වොත් ඊළඟ සංකථන මණ්ඩපේ දි ඒ ශිෂ්‍යයො ඒ ගීත කවි ගැන කතා කළේ තමන්ගෙ මතකයෙන්. ඊට පස්සෙ අපි අර්ථ විග්‍රහවලටත් ගියා.”

“ඉතින් සර් අපිත් පටන් ගමුකො ඒ සංකථන මණ්ඩපේ ආයෙමත්. සර්ලගෙ ඒ සර් දැන් විශ්වවිද්‍යාලෙ නැද්ද සර්.”  

“මොකෝ නැත්තෙ, ඒ සර් තාම අපිත් එක්ක ඉන්නවා. දැනුත් අපිත් එක්ක ඉන්නවා. මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි මේ දේශනය කරන්න මට බාර දීලා මාව ඔයගොල්ලන්ට අඳුන්නලත් දීලා මේ මේ වෙලාවෙ මේ දේශනශාලාවෙම කෙළවරකට වෙලා අපේ මේ කතා අහගෙන ඉන්නෙ. ඒ තමයි ඔයගොල්ලන්ගෙ අපේ සහන් සර්. ඒ සර් ම තමයි මගේ ජීවිතේ දුෂ්කරම වෙලාවක විෂය කාරණා විතරක් නෙමෙයි ජීවිතේ ඇති වන ගැටලුවලදිත් ගුරුවරයා කියන කෙනා ශිෂ්‍යයා ළඟ ඉන්න ඕනෙ කියන පාඩම තමන්ගෙ ජීවිතයෙන් ඔප්පු කරල ම පෙන්නුවෙ. එහෙම ගුරුවරු හැම පිඨෙකම වගේ ඉන්නවා. අපිත් දැනගන්න ඕනෙ ඒ අයගෙන් ප්‍රයෝජන ගන්න.”

“සර් දැන් කතා කරපු කාරණේ ගැන කිව්වෙත් සුමංගල අධ්‍යාපන දර්ශනේට සම්බන්ධ කරලයි. මොකක් ද සර් ඒක.”

“ඔව් දරුවනේ, සුමංගල අධ්‍යාපන දර්ශනේ අටවෙනි කාරණේ තමයි ඒ. එතෙන් දි කියනවා යම්කිසි ගැටලුවක් මතු උනාම ඒක විසඳගෙන මිස ඉස්සරහට යන්න එපා කියලා. මේක අධ්‍යාපනේටත් අදාළයි. අපේ ජීවිතේටත් අදාළයි. මේ කාරණේ ශිෂ්‍යයන්ටත් අදාළයි ගුරුවරුන්ටත් අදාළයි. ගුරුවරයෙක් වේවා, අපේ ශිෂ්‍යයෙක් වේවා, අපේ සේවක මහත්තයෙක් වේවා ලොකු ප්‍රශ්නෙකට මැදිහත් වෙලා ඉන්න වෙලාවක අපිට බැහැ ඒක නොතකා හැරලා වැඩ කරන්න. එහෙම කරනවනං මොන මිනිස්සු ද අපි.”

සහන් දුටුවේ සාවධාන ව සිය ආදිශිෂ්‍ය ගඟුල්ට සවන් දෙන ශිෂ්‍ය ප්‍රජාවකි. ඔහු මහදවධානයෙන් සිටින ඒ මොහොතේ යළි ඇසුණේ ගඟුල්ගේ හඬ යි.

“දැන් අපි යන්නෙ සුමංගල අධ්‍යාපන දර්ශනේ නවවෙනි එහෙම නැත්තං අන්තිම කාරණේට. එතෙන්දි උන්වහන්සේ ගුරුවරුන්ට කියනවා තමන්ගෙ ශිෂ්‍යයන්ට සටහන් දෙන්න එපා කියලා. උන්වහන්සෙ කියන්නෙ පාඩම කළාට පස්සෙ අදාළ සටහන තමන් ම සකස් කරගන්න තැනට තමන්ගෙ ශිෂ්‍යයන්ව යොමු කරන්න කියලයි.

ඔන්න මේ වෙන කොට ඒ අධ්‍යාපන දර්ශනේට අදාළ කරුණු නවයම අපි කතා කරලා ඉවරයි. දැන් ඔයගොල්ල තමයි සටහන හදන්න ඕනෙ. සති දෙකක් තියෙනවා ඒකට කාලය.”

“ඉතින් සර් මුලින් ම කිව්වනෙ දේශනෙන් පස්සෙ අපිට සටහනක් දෙනවය, ඒ නිසා අපි මොකුත් ලියා ගන්න අවශ්‍ය නැහැ කියලා.”

“ඔව් මන් එහෙම කිව්වා තමයි. හැබැයි දේශනෙන් පස්සෙ දෙනවා කිව්වට ඒ කොයි වෙලාවෙ ද කොයි දවසෙද කියන එක මන් කිව්වෙ නැහැනෙ. ඒ වගෙම මන් කොයි වෙලාවකවත් කිව්වෙ නැහැනෙ ඔයගොල්ලන්ට හද සටහන් ගන්න එපා කියලා. මේ තමයි ඔයගොල්ලන්ට දෙන පැවරුම. ඒ පැවරුම සති දෙකකින් මට දුන්නට පස්සෙ මන් දෙනවා ඔයගොල්ලන්ට සටහනක්.”

“ඉතින් සර්, සර්ම කලින් කියපු හැටියට විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය සම්පූර්ණ වෙන්නනං සර් කියපු අනිත් සන්ධිස්ථාන දෙක ගැනත් කතා කරලා ඉන්ඩ ඕනෙනෙ. අපි සෝරත නායක හාමුදුරුවොයි අදිකාරම් මහත්තයයි දෙන්න අධ්‍යාපනය ගැන කියලා තියෙන කරුණු ගැන කතා කළේම නැහැනෙ.”  

“මයුරි දුව ඒ ගැන අවදියෙන්හිටපු එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා. අපිට දුව එක දවසකින් මේ ඔක්කොම කතා කරන්න බැහැනෙ. මන් මගෙ ඊළඟ දේශනය කරන්නෙ ශ්‍රී සෝරත හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ගැන. තුන්වෙනි දේශනේදි කරන්නෙ අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන කතා කරන එක. දැන් මම වෑයම් කරනවා අද අපි ඉගෙන ගත්ත සුමංගල හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය මට පුළුවන් විදිහට එක නිර්මාණයක් අරගෙන පැහැදිලි කරන්න.

මේ නිර්මාණය ලිව්වෙ අපේ සම්මානනීය තරුණ කවියෙක්. ඒ ලක්ශාන්ත අතුකෝරළ. නිර්මාණෙ මාතෘකාව ග්‍රීෂ්මේ පිපෙන මහනෙල් අමුතුයි ලස්සනයි. මහනෙල් මල අපේ සාම්ප්‍රදායික කවියොත් ගොඩක් භාවිතයට ගත්ත එකක්. ඒ වගෙම නිල් මානෙල් මල කියන්නෙ අපේ ජාතික පුෂ්පය. එතන අපේ සම්ප්‍රදාය තියෙනවා. ඒ වගෙම මාතෘකාව ගත්තහම එතන තියෙන්නෙ අපේ සාම්ප්‍රදායික නෙළුම් මලම නෙමෙයි. අපේ සමාජෙ අපිට හමුවෙන ජීවිත සංකේතවත් කරන දෙයක්. ඒ කියන්නෙ සංකේතාර්ථයක්. ඒක නව ප්‍රවේශ ගැනීමක්. ඊට පස්සෙ අපි බලමු අපට ආදරය මුණගස්වන කාව්‍යෝක්තිය තව විදිහකට කිව්වොත් සුමංගල හාමුදුරුවො මතු කරන ආදරය නිර්මාණයෙන් මතු කරන තැන.

“පුලින මලු ගෙන දෙගොඩ පිහිනන ,

කැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක්

නුහුරු පිරිසුදු නිල් තටකෙක - ලබයි ජය පළඟක්

මුදා අබිමන ඔහුගෙ අත

දවටන්න සුබ පැතුමක්”

එතකොට ඔබ, දැන් තමන්ගෙ සෙනෙහස දක්වන්න යන්නෙ නාගරික තටාකෙක පිහිනලා දක්ෂයන් අතර සුදක්ෂයෙක් වෙච්ච ගමෙන් ආව කොල්ලට. දැන් නගරෙ  ඉන්න ඔබ, නාගරිකයන් අතරින් ඉදිරිපත් වෙච්ච තමන් දන්න කියන දරුවන්ට නෙමෙයි කලින් කවදාකවත් දැකලා තිබ්බෙ නැති ගමෙන් ආපු දරුවෙකුට සුබ පතන්න ඉදිරිපත් වෙනවා. මේක කරන්න නං ඔබේ හදවත තමන්ගේ ය අනුන්ගේ ය කියන සීමා කඩපු ආදරයට විවෘත වෙලා තියෙන්න ඕනෙ.”

“සර් අපට සුමංගල හාමුදුරුවො අධ්‍යාපනය ගැන කියපු මුල් කාරණා තුනට සම්බන්ධ කරපු එකනං පැහැදිලියි. ඒත් සර් නොදන්නා දේ ගැන ගුරුවරුන්ගෙන් විමසන්න කියන එක කොහොම ද මෙතෙන්ට සම්බන්ධ කරන්නෙ.” 

“හොඳ ප්‍රශ්නයක්. මෙතෙන්දි නොදන්නා දේ කියලා දෙන ගුරුභූමිකාව දෙන්නෙ මන් ඔයගොල්ලන්ට. හිතන්න මේ කවි ටික කියලා දෙන ගුරුවරයා හෝ ගුරුවරිය ඔබයි කියලා. එතකොට දරුවෙක් අහන්න පුළුවන් පුලින මළු කියන්නෙ මොනවට ද කියලා. එතකොට ඔබ තමයි අපේ සුමංගල හාමුදුරුවො කියන ගුරුවරයා බවට පත්වෙලා පුලින මළු කියන්නෙ වැලි මළුවලටයි කියන කාරණේ පැහැදිලි කරන්න ඕනෙ. එතෙන්දි ඔබත් ඒ වචනෙ තේරුම මෙතෙක් දැනගෙන හිටියෙ නැත්තං තමන්ගෙ ගුරුවරයෙක් හම්බ වෙලා ඒක පැහැදිලි කරගෙන අනික් අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්.”  

“ලෝකයට අසත්‍ය කරුණු දෙන එක වරදක්. අපි දන්නවා වෙනත් කෙනෙකුට අයිති සම්මානයක්, එහෙම නැත්තං තනතුරක් වංචාවෙන් ලබාගෙන තියෙනවනං එතනදි තාවකාලිකව හරි දිනලා තියෙන්නෙ අසත්‍යය. කවියා මෙතෙන්දි ජයග්‍රහණය කරවන්නෙ ඇත්තටම දිනපු අය. ඒ ගොල්ලො ආවෙ කොතනින් ද ඒ ගොල්ලන්ගෙ වත් පොහොසත්කම් මොනව ද කියන එක අදාළ ම නෑ. කවියා සත්‍යය ජයග්‍රහණය කරවන අතර ම වීරියවන්තකම තියෙනවනං ඕනෙම සමාජ තරාතරමක ඉන්න කෙනෙකුට ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් කියන පණිවිඩයත් අපිට ගේනවා. ඉතාම දුප්පත් දැරියක් විවාද තරඟෙන් ජය ගන්න එක, හරියකට පාට - කඩදාසි නැති දරුවෙක් චිත්‍ර තරගෙන් පළමු වැනියා වෙන එක, ගී තරගයෙන් මුලට එන දුගී කලාපේ යුවතියගේ ජයග්‍රහණය, මෙන්න මේවා හරහා කවියා සමාජගත කරන්නෙ ඒ පණිවිඩය. අපි යමු ද කවියේ දෙවෙනි කොටසට.

නිහඬ සෝබර ගැහැණියක කුස

නැගී මෙලොවට පැමිණි දැරියක්

පරදවන්නී වාද කතිකා-නැණ සභා වදනින්

එයින් පැහැදී මොහොතකට 

නැගිටින්න ඔබ අසුනින්

මන් දන්නවා ඊළඟට ඔයගොල්ලන්ට එන ප්‍රශ්නෙ. ඒ තමයි කොතන ද සර් කටපාඩම් කිරීම, පාඩම් දීම, අර්ථ විග්‍රහ කිරීම කියන හත්වෙනි අධ්‍යාපන සංකල්පෙ මෙතෙන්ට සම්බන්ධ කරන්නෙ කියන එක. ඇත්තට ම හොඳ නිර්මාණයක් නම් ඒක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. පාඩම් හිටිනවා. දැන් මේ අපි කරන්නෙත් කවියා අපට දෙන සමාජ පණිවිඩය පාඩම් කරන එක වගෙම ඒක ජීවිතයට දාලා විග්‍රහ කරගන්න එකනෙ.”

“සර් ජීවිතේ ගැටලුවක් ආවොත් ඒක විසඳලා මිස ඉස්සරහට යන්න එපා කියන අධ්‍යාපන සංකල්පෙ අපට තහවුරු කරගන්න පුළුවන් තැනකුත් අපට ඔය කවි පන්තියෙ තියෙනව ද?””

“ඔව් පුතා ඊළඟට එන කාව්‍යෝක්තිය අපට කියන්නෙ සමාජ ගැටලු විසඳන්න ඕනෙ කරන අපේ මැදිහත් වීම ගැන යි. කවියා කියන්නෙ ගැටලුව තියෙන කෙනාට උදව් කරන්න, හැබැයි කුණු තැවරිචච් හිතකින් නෙමෙයි, කුණු නොතැවරිච්ච පිරිසුදු හිතකින් කියලයි. බලන්න කවියේ ඊළඟ කොටස දිහා.


පාට කූරක් කුණු වලෙන් ලද

චෙහොරු පැල්පත් පෙළේ පැටියෙක්

අඳින්නේ කඳු කෙළවරේ ඉර-මුදුන් වන දසුනක්  

දෙන්න හිතවත කුණු නොගෑවුණු

අලුත් සුදු කොළයක්


කවි පෙළ අවසාන කරන්නෙ මෙන්න මේ විදිහටයි.


නිතර චර චර සුරුස් නද දෙන 

වැල් කැසට් කබලකට කන් ඇන

කලාපේ යුවතියක් ශ්‍රැතියට - ගයන්නී ගීයක්

හොඳට අත් දෙක උස්සලා 

ඔබ දෙන්න අත්පුඩියක්!


“දැන් සර්, සුමංගල අධ්‍යාපන දර්ශනේ කාරණා අටකට මේ නිර්මාණෙ සම්බන්ධ කළානෙ. ඒත් මට හිතා ගන්න බැරි අටවෙනි කාරණේ කොහොම ද නිර්මාණයක් එක්ක ගළපන්නෙ කොහොම ද කියලා.”

ඒ ප්‍රශ්නය ඇසුවේ මෙතෙක් නිහඬ ව සවන් දීම පමණක් සිදු කළ සචිත්‍රා නම් උපාධි අපේක්ෂිකා ව යි. 

“මන් කැමතියි ඒ ප්‍රශ්නෙ අහපු දුව මුලින් ම අපි කතා කරපු සුමංගල අධ්‍යාපන දර්ශනේ අන්තිම කාරණය මොකක් ද කියන එක දුවගෙ වචනවලින් පැහැදිලි කරනවනං.”

“ගුරුවරයා සටහන් දෙන්නෙ නැහැ. ශිෂ්‍යයා අන්තිමට තමන් ඉගෙන ගත්ත දේවල් මතක තියාගෙන තමන් ම සටහනක් හදනවා. මන් තේරුම් ගත්ත විදිහට ඒක තමයි සර් කිව්ව අන්තිම කාරණේ.”

“දුව ඔයා බොහොම සරල ව ඒ කාරණේ අපට කිව්වා. දැන් ඔයාට පුළුවන් ද අප කතා කරපු නිර්මාණෙ හරය ඔයාගෙ වචනවලින් අපට කියන්න.”

“සර් මේ පළවෙනි කාව්‍යෝක්තියෙ තිබුණෙ ගඟේ පීනලා පුරුදු, තටාකෙ පීනලා දිනපු ගමෙන් ආපු කොල්ලට සුබ පතන්න කියලා.”

“කොහෙන් ද දුවේ ඔයා ගඟේ පීනලා දිනපු කියන කෑල්ල ගත්තෙ. මේ නිර්මාණෙ කොතනකවත් එහෙම ප්‍රකාශයක් නැහැනෙ.”

“ඇයි සර්, සර් කිව්ව කවියෙ මුල් කොටසෙ තිබුණනෙ යෙදුමක් ‘කැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක්’ කියලා. ඉතින් අපට උපකල්පනය කරන්න පුළුවන්නෙ මේ දරුවා ගඟේ පීනලා පුරුදු දරුවෙක් ය කියන එක.”

“ඔයාගෙ කියවීම හරි දුව. දැන් අපිට කියන්න ඒ නිර්මාණෙ දෙවෙනි කොටසින් උකහා ගත්ත දේ.”  15

“දෙවෙනි කාව්‍යෝක්තියෙන් කියවුණේ දුප්පත් අම්මා කෙනෙක්ගෙ කුසින් උපන් දුවක් විවාද තරගෙන් දින්නය, එක නිසා කවුරුත් නැගිටලා එයාට ගෞරව කරන්න කියන එකනෙ.”

“හරි, මේ දුව ඒකත් හරියට ග්‍රහණය කරගෙන තියෙනවා. දැන් තුන්වෙනියට තියෙන කොටසෙ අදහසත් කියලා මතක නං විතරක් ඔයාට වැඩියෙන් ඒකෙ දැනුණු තැනකුත් අපට කියනවනං මන් කැමතියි.”  

“ඒකෙදි කියවුණේ පාට වගෙම හරි හැටි කඩදාසිත් නැති පුතෙක්, පැල්පතක ජීවත් වෙන පුතෙක් චිත්‍ර තරගෙකින් එකට ආවා කියන එකනෙ. මට සර් කවදාවත් අමතක නොවෙන විදිහට ඒකෙ එක තැනක් මතක හිටියා. ඒ තමයි සර් ‘දෙන්න හිතවත කුණු නොගෑවුණු අලුත් සුදු කොළයක්’ කියන කොටස.”

“ඔයා දුවේ සුමංගල හාමුදුරුවො කියන කට පාඩම් කිරීම කියන කාරණෙත් කරලනෙ බැලුවහම. දැන් අන්තිම කොටසත් අපි කාටත් මතක් කරලා දෙන්න බලන්න.”

“සර් ඒ කවියෙ අන්තිමට තියෙන්නෙ දුප්පත්කමේ පතුළෙම ඉන්න නිදහස් වෙළඳ කලාපෙ වැඩ කරලා ජීවත් වෙන යුවතියක් ඉතාම සුන්දර විදිහට රිද්මයානුකූල ව ගීතයක් ගයනවා කියන එක. ඒ වගෙම එබඳාු වෙලාවක ඒක බලන අපි කරන්න ඕනෙ මොකක් ද කියන එක කවියා අපට යෝජනා කරන්නෙ ‘හොඳට අත් දෙක උස්සලා ඔබ දෙන්න අත්පුඩියක්’ කියන කාව්‍යෝක්තිය හරහා යි.”

“අනේ දුවේ, ඔයා මේ පාඩම හොඳින් ම ග්‍රහණය කරගෙන තියෙනවනෙ. ආයෙ අමුතුවෙන් නොකිව්වත් ඔයා සුමංගල හාමුදුරුවො කියපු විදිහට අපි සටහනක් නුදුන්නට හද සටහන බොහොම අපූරුවට ලියාගෙනත් තියෙනවනෙ, කොළවල නෙමෙයි තමන්ගෙ හදවතේ.”

“එහෙමනං අදට මන් පාඩම අවසාන කරනවා. අපි ඊළඟ සතියෙ මේ වෙලාවට ම හමු වෙලා අපේ සෝරත හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ගැන කතා කරමු.”

ශිෂ්‍ය ප්‍රජාවට ආචාර කොට දේශනශාලාවෙන් නික්ම යාමට සැරසෙන මොහොතේ ගඟුල් දුටුවේ මොහොතක් රැඳෙන්නයි සංඥා කරමින් තමන් වෙතට එන සහන් ආචාර්යවරයා යි. එතැනට ආ ඔහු පළමු ව ගඟුල්ගේ දෑතින් ම අල්ලාගෙන සිය හෘදයංගම ආචාරය පළ කෙළේ ය. අනතුරුව එයට සිය නොවක් හැඟුම් හා මුසු වූ සුබ පැතුම ද එක් කෙළේ ය.

“ගඟුල් ඔයා හරිම ලස්සනට ඔයාගෙ දේශනය කළා. අතීතයේ දවසක මන් ඔයගොල්ලන්ට කළාට වඩා හොඳට අලුත් උදාහරණ දිදී ඔයා මේ දරුවන්ගෙ අවධානයත් වෙන තැනකට යන්න නොදී හරිම අපූරුවට මේ දේශනේ කළා. ගුරුවරයෙක් හැටියට අද දවස කියන්නෙ මටත් ගොඩක් නෙමෙයි ගොඩක් ම සතුටු දවසක්. තව අවුරුදු දෙකකින් මන් මෙතනින් යන්නෙ මට වඩා හොඳට මම කරපු දේශන කරන්න පුළුවන් ආචාර්යවරයෙක් මෙතන ඉන්නවා කියන විශ්වාසෙන්. ඒ විශ්වාසය ම මට සැනසිල්ලෙන් ඉන්න පුළුවන් විශ්‍රාම ජීවිතයකට මග සලසාවි.”   

සහන් එසේ කියද්දී ගඟුල් සිය ආදරණීය ආචාර්යවරයාට පහත් වී අභිවන්දනය කෙළේ ය. ඒ මොහොතේ සහන් මුවින් ප්‍රකාශයට පත් වූයේ පහත සඳහන් කරනු ලබන කණ්ව ඍෂි භාෂිතය යි.

    “සුශිෂ්‍යෙ පරිදත්ත විදෛ්‍යව අශෝචනීයා සංවෘත්තා.

හොඳ සිසුවකුට සැමතින් ම ඥානය ප්‍රදානය කළ පරිද්දෙන් මම ශෝක නොකොට යුතු බවට පැමිණියේ වෙමි.”  






1 comment:

  1. 🪷🪷🪷බොහොම සුන්දරයි 🪷🪷🪷

    ReplyDelete