විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.
හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.
ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.
අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වලට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.
ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..
ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!
අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?