ලංකා - භාරතී කවි ගඟ ගලන සඳ
මතු වෙයි මාලනී, ඉතිහාස නුබ මැද
නොබෝදා දේශයට අහිමි වී ගිය කීර්තිශේෂ භාවෝපගත, සාහිත්‍යසූරී කලාභූෂණ සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම ඉසොඳුරු ගුරු තාරකාව වෙත මෙවර ගුරුදියවර කුසුමාඤ්ජලියක් කොට පුද දෙමි.
ඍතුර්ව්‍යතීතඃ පරිවර්තතේ පුනඃ - ක්ෂයං ප්‍රයාතඃ පුනරේති චන්ද්‍රමාඃ
ගතං ගතං නෛව තු සංනිවර්තතේ - ජලං නදීනාඤ්ච නෘණාං ච යෞවනම්
ඍතු නික්ම යයි; පෙරළා පැමිණෙයි. සඳ ක්ෂය ව යයි; නමුදු යළිත් එයි. එහෙත් නදී ජලයත් මානව යෞවන භාවයත් ගියොත් ගියා ම ය. පෙරළා නොපැමිණෙයි.
මිහිදිනී මග එයි. ඇය ගනු පිණිස මහරගමට යාම සඳහා ය, ගඟුල් පිටත් වූයේ. කාලය ගෙවී ඇත්තේ කොතරම් ඉක්මණින් ද? බාහිර උපාධියේ ප්‍රථම වර්ෂය සාර්ථක ව නිමා කළ පාසල් පද්ධතියේ ආචාර්යවරුනට ලැබෙන විශේෂ වරප්‍රසාදය අනුව මිහිදිනී දෙවැනි වසරේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යාවක බවට පත්වීමේ භාග්‍යය ලැබුවා ය. ඇය සමග එවන් සාමර්ථ්‍යයන් ලද පාසල් පද්ධතියේ විසි දෙදෙනකුට එම අවස්ථා හිමි විය. ඒ අනුව ඒ අයට වසර දෙකක වැටුප් සහිත නිවාඩු හිමි විය. එසේ නිවාඩු ලද ගුරු පර්ෂදයෙන් වැඩි දෙනෙක් තෙවැනි වසර දක්වා සාර්ථක ව සිය සාමාන්‍ය උපාධි පාඨමාලා හදාරා තම තමන්ගේ පාසල්වලට පෙරළා පිටත් ව ගියහ. සාමාන්‍ය උපාධියෙන් උපරිම ලකුණු ලබා ගත් පස් දෙනෙකුට සිවුවැනි වසරේ ශිෂ්‍යයන් වශයෙන් ලියාපදිංචි වී විශේෂ උපාධිය හැදෑරීමට ඉඩ ලැබිණ. එයින් දෙදෙනෙක් ද තමන්ගේ පවත්නා තත්ත්ව යටතේ සාමාන්‍ය උපාධියෙන් සෑහීමට පත් ව නික් ම ගියහ. වැටුප් රහිත ව තවත් වසරක් අදාළ නිවාඩුව ලබා ඉගෙන ගැනීමට නතර වූ එක් ගුරු ශිෂ්‍යයෙක් ද ගුරු ශිෂ්‍යාවෝ දෙදෙනෙක් ද වූහ. මිහිදිනී නියෝජනය කෙළේ එම කණ්ඩායම යි.
අද මිහිදිනීගේ කතාව යි. එහෙත් ඒ කතාව ඉදිරියට ගලා යන්නේ ගඟුල් ද සමග ය. එසේ ම විදුදය සරසවියත් සමග ය.
ඉංග්‍රීසි විෂය යටතේ ගෞරව උපාධිය ලැබීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද නැතිනම් සාමාන්‍ය උපාධියෙන් සෑහීමට පත් ව පෙරළා පාසලට සේවය කිරීම සඳහා යනවා ද වශයෙන් තමා තුළ වූ අවිනිශ්චිතය නිශ්චිතයක් කිරීම උදෙසා මැදිහත් වූයේ තමාට ගැඹුරින් ම ආදරය කරන තමා ද පෙරළා හදවතින් ම ආදරය කරන ගෞරව කරන සහෘදය චරිත දෙකකි. මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයෙන් විශිෂිටාකාරයෙන් සමත් ව, සුමනා හේරත් මැතිනිය විශ්‍රාම යාමෙන් පසු නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් පත් වූ රේණු අක්කා ඉන් එක් අයෙකි. අනික් චරිතය තමා තවදුරටත් උගත යුත්තේ තමා සඳහා නොව ලෝකය උදෙසා ය යන කරුණ නිබඳ අවධාරණය කරන හෘදයසන්නිවාසී ගඟුල් ය. මිහිදිනී අද මේ යන්නේ ඔහු සමග සිය උපාධි නිබන්ධ මාතෘකාව පිළිබඳ ව ඔහුගේ ආචාර්යවරයා සමග කරුණු සාකච්ඡා කිරීම සඳහා ය. යන අතරමගදී ඇයට සිහිපත් වූයේ තමා විශේෂ උපාධිය කිරීමට තේරී පත් වූ මොහොතේ රේණු අක්කා පැවසූ වචන යි.
“නංගි, උඹ ඉංග්‍රීසි ගෞරව උපාධිය කරන්නම ඕනෙ. වැටුප නැති එක ප්‍රශ්නයක් කරගන්නම එපා. මේ උඹේ අක්කා ඉන්නවා උඹට උදව් කරන්න බලාගෙන. මන් දන්නවා මම ඔය විෂයෙන් ගත්ත විශේෂ උපාධියට මම බරක් දුන්නෙ නැතිවට මේ සමාජෙ ගොඩක් දෙනා ඒකට බරක් දෙන හැටි. මගෙ කණට ම ඇහිලා තියෙනවා මම විදුහල්පති රැස්වීම්වලට ගියාම අර නාගොල්ලාගම ප්‍රින්සිපල් මැඩම් ඉංග්‍රීසි ගෞරව උපාධියක් කරපු කෙනෙක් කියන එක මතු කරනවා. ඇයි බන් අනික් විෂයන් විෂයන් නෙමෙයි ද? මු් අමතකයි සුද්දො මේ රටට ඇවිල්ලා අපිව යටත් කරලා අපේ සම්පත් උන්ගෙ රටට හූරගෙන ගියා ය කියන කාරණේ. මේක මහ පුදුම ලෝකයක් බන්. මන් උඹට සහෝදරියක් හැටියට කියන්නෙ උඹ ඕකට යන්න ඕනෙ කියන එක. ඒක අහන්නෙ නැත්නං නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ වර්තමාන ගරු විදුහල්පතිනිය හැටියට මන් උඹට තර්ජනය කරනවා උඹ ඕකට යන්න ම ඕනෙ කියලා. ඒ වගෙම දැනගනින් මන් ගඟුල් ලව්වත් උඹට තර්ජනය කරවන බව.”
ඒ මොහොතේ තමා පැවසුවේ ගඟුල් පවසන්නේ ද රේණු අක්කා කී වචන ම බව ය. ඒ මොහොතේ තමාගේ පිටට තදින් නමුත් ආදරයෙන් පහරක් ගසමින් රේණු අක්කා පැවසුවේ පහත සඳහන් වචන යි.
“ඉතින් මෝඩියෙ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින්. ඔය කියන විදිහට උඹට එක පඩියක් නොලැබුණාට දැන් දෙන්නෙක් ම උඹට පඩි ගෙවන්න බලාගෙන ඉන්නවනෙ. පිස්සු නැතුව ඕක කරපන් නංගි. දැන් කොහොමටත් උඹලා දෙන්නා එක කිට්ටුවක ඉන්න එක උඹලා දෙන්නට ම හොඳයි. මන් මෙහෙ වැඩ බලා ගන්නම්. උඹ පලයන් නංගි මම උඹට ආශිර්වාද කරනවා.”
එවේලෙහි තමා කෙළේ වරෙක තමාට මිතුරියක සේ ද තව වරෙක දෙටු සොයුරියක සේ ද සිය ජීවිතයේ තීරණාත්මක අවස්ථාවල දී ආදරණීය අම්මා සේ ද දැනෙන මේ උතුම් ගැහැනිය පාමුල වැඳ වැටීම ය. එවේලෙහි ඇය ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය ද මිහිදිනීගේ දෑසට මේ මොහොතේ පවා කඳුළු නංවයි. තමාට වඳින මිහිදිනිය එසවූ රේණු ඇය තදින් වැළඳ ගත්තේ කල්‍යාණමිත්‍ර ප්‍රේමයෙනි, සහෝදර ප්‍රේමයෙනි, මාතෘ ප්‍රේමයෙනි. අනතුරුව මිහිදනීගේ දෑසටත් වඩා තෙත් ව තිබුණේ රේණුගේ දෑස යි.
රියපොළක රිය නවත්වා ගඟුල් සිටියේ මහරගම බෝ සෙවණේ ය. ඈත සිට ම සිය සුප්‍රිය සහෘදයා දුටු මිහිදිනීට සිතුණේ ගඟුල් යනු ද බෝ සෙවණක් නොවන්නේ ද කියා ය. ඇය ඔහුට සමීප වූයේ මෙසේ අසමිනි.
“ඔයා ගොඩක් වෙලා බලන් හිටිය ද? මන් ඊයෙ ඉස්කෝලෙටත් ගිහිල්ලයි ආවෙ. කට්ටිය මට විහිලු කරනවා මිහිකත යළි යළිත් ගඟුල සොයා යන්නට හේතු හදා ගන්නව ද කියලා.”
“ඉතින් මිහිදිනී මෙහෙ තත්වෙත් වැඩි වෙනසක් නැහැ. ඔයා දන්නව ද මන් අපේ මිහිදිනී මිසුත් එක්ක එයාගෙ උපාධි මාතෘකාව සාකච්ඡා කරන්න අද සර්ලගෙ ගෙදර එන්න ද කියලා ඇහැව්වහම සර් මොකක් ද කිව්වෙ කියලා.”
“ඇයි අපේ සර් මොකද කිව්වෙ.
ආ මිහිදිනී මිස් එක්ක ද ගඟුල් එන්නෙ. හා හා හොඳයි ඔයා එහෙනම් මිහිදිනී මිසුත් එක්ක එන්නකො.”
“ඒ ඉතින් සර් ශිෂ්‍යයන්ට උනත් ගරු නම්බු දීලා කතා කරන්න පුරුදු වෙලා තියෙන නිසානෙ.”
“ඔව් සර් එහෙම කෙනෙකුත් තමයි. ඒ උනාට මිහිදිනී දැක්ක නං ඒ වෙලාවෙ සර්ගෙ කට කොණකට නැගිච්ච හිනාව. ඒ හිනාව ම තමයි මන් ඊයෙ හවසත් දැක්කෙ. මන් විශ්වවිද්‍යාලෙන් එන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා සර් හම්බ වෙන්න ගියහමත් අර හිනාවම මූණෙ තියාගෙන සර් මට කිව්වෙ එහෙනං ගඟුල් හෙට ඔයා අපේ ගෙදර එනවා නේද අර කියපු මිහිදිනී මිසුත් එක්ක. ඒ හිනාවෙ අර ඔයා කියන ගෞරවාර්ථෙ නං තිබ්බෙ නැහැ. ඒ වගෙම උපහාස අර්ථෙකුත් තිබ්බෙ නැහැ. ඒකට මට කියන්න පුළුවන් ආදරයත් එක්ක මුසු වෙච්ච පවිත්‍ර හාසයයක් කියලා.”
“එහෙනං මන් හරියට ම කියන්න ද ඒ හිනාවෙ මොකක් ද තිබුණෙ කියලා.”
මිහිදිනී එසේ පැවසුවේ ද ආදරණීය සිනාවක් සෙමිනි.
“හරි කියන්න බලන්න.”
“ඒ පාර ඔයත් පටන් ගත්තා හිනාවෙන්න. ඔව් අපේ සර්ගෙ ඒ හිනාවෙ තිබුණෙ අපි දෙන්නට ම තියෙන ආදරය තමයි.”
“හරි හරි ඔහොම අමුතු විදිහට මා දිහා බලන්න එපා. අපි සර්ලගෙ ගෙදරට මොනවා හරි අරගෙන දැන් යමු.”
“මොනවා අරන් ගියත් සර්ගෙන් බැනුම් අහන්න වෙනවා සල්ලි අරගෙන එක එක ජාති අරන් එනවා කියලා. ඒක නිසා මන් සල්ලි දීලා මුකුත් ගත්තෙ නැහැ. ඔයා මොකුත් ගන්න ඕන කරන්නෙත් නැහැ.”
“එතකොට අනේ අපි හිස් අතින් ද සර්ලගෙ ගෙදර යන්නෙ.”
“නෑ නෑ හිස් අතින් නෙමෙයි. ඔයාගෙ අතේ ඔය සටහන් පොත් එහෙම තියෙනවානෙ. මන් ගෙදර වත්තෙ අඹ කෙසෙල් එහෙම ගත්තා සර්ට ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි අපේ අම්මා අළුවා පාර්සලයක් හදලා දුන්නා සර්ලට ගෙනියන්න.”
“ඇයි මට එක අළුවා කෑල්ලක් වත් ගෙනාවෙ නැද්ද ඔයා.”
“ඇත්තම කියන්න මිහිදිනී මට ඔයාට එක අළුවා කෑල්ලක් ගේන්න මතක් උනේ නැහැනෙ. ඒත් අපේ අම්මා මෙන්න මේ පාර්සලේ දුන්නා අර ළමයට දෙන්න කියලා.”
“අන්න දැක්ක ද ඔයාට අමතක උනාට අම්මට මාව අමතක වෙන් නෑ හරි ද?”
“හැබැයි මිහිදිනී අම්ම අර ළමයට දෙන්න කිව්වට අම්මා නමක් ගමක් නම් කිව්වෙ නැහැ. මාත් මේ තාම කල්පනා කරන්නෙ අර ළමයා කියන්නෙ කාටද කියලා. මොකද අර ළමයා හොයා ගෙන එපායැ මේ අළුවා පාර්සලේ එයාට දෙන්න.”
“කෝ දෙන්න ඕක මෙහාට. නමක් ගමක් කියන්න ඕනෙ නැහැ. අම්මා අර ළමයා කියන්නෙ මට තමයි. මේ ළමයා අන්න ඒක හොඳට මතක තියා ගන්න හොඳ ද? ”
“හරි හරි මතක තියා ගන්නංකො. දැන් අපි යමුකො වාහනේට.”
විනාඩි පහළොවක රිය ගමනින් පසු මේ දෙදෙනා සිටියේ සිය ආචාර්යවරයාගේ නිවහන දොරකඩ ය. රිය හඬ අසා එළිමහනට පැමිණි ඔහු සිනාසෙමින් මෙසේ පැවසීය.
“එන්න ගඟුල්. ඔයා කිව්ව අපේ මිහිදිනී මිස්වත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.”
ඒ මොහොතේ එළිමහනට ආ ආචාර්ය පතිනිය මිහිදිනීගේ අතින් අල්ලාගෙන නිවහන ඇතුළට කැඳවාගෙන යන ආකාරය දෙස ගඟුල් බලා සිටියේ ආදරයෙනි.
“අපි මේ කෙල්ල ගැන අහලා තිබුණට අදනෙ දැක්කෙ. උදේට කාලා නැත්තං කාලම වැඩ පටන් ගන්න පුළුවන්. කොහොමටත් කෙල්ලෙ ඔයාගෙ වැඩේට සෑහෙන වෙලාවක් ගනීවි සර්. ඔන්න අපි දවල් කෑම ලෑස්ති කරනවා ඔය දෙන්නටත්.”
“අනේ මැඩම් කරදර වෙන්න එපා. අපිට කෑම හදන්න මහන්සි වෙන්නත් එපා.”
මිහිදිනී එසේ පවසද්දී ගඟුල් පැවසුවේ ඊට වෙනස් කතාවකි.
“මැඩම් මෙයා දැන් ඔහොම කිව්වට එන ගමන් කිව්වෙ නං වැඩ පටන් ගන්න කොට මොනවා හරි කන්න දීලා තේත් දීලා දවල්ට කන්නත් දේවි නේ ද කියලා. අපි දවල් වෙනකන් බොරුවට පරක්කු වෙවි වැඩේ ඇදගෙන යමු කියලයි මෙයා කිව්වෙ.”
“අම්මෝ මෙයා ගහන පච. අනේ මැඩම් මන්නං එහෙම කිව්වෙ නැහැ.”
“ඒ උනාට මැඩම් ඇත්තම කියනවනං මන් නං එහෙම කිව්වා. මෙයා උසස් කෙනෙක් නිසා මෙහෙන් කෑම ගන්න එකක් නැහැ. එ උනාට මන්නං වෙනදා වගේ මෙහෙන් කාලම තමයි යන්නෙ.”
“හරි හරි ගඟුල්ට ඕන එකක් කියන්න ඇරලා අපි යන් දුවේ ඇතුළට.”
බලන්ඩකො සර් මෙච්චර දවසක් මෙහෙ ආව ගිය මම නිකන්ම නිකන් ගඟුල්. ආපු පළවෙනි දවසෙම එයා දුව. ”
එහෙත් ගඟුල් මේ වචන පැවසුවේ අනාදරයෙන් නම් නොවේ.
කෙටි විරාමයකින් පසු ආචාර්යවරයා, ගඟුල් සහ මිහිදිනී යන තිදෙනා අතර උපාධි නිබන්ධයට අදාළ විෂය සංකථනය ඇරඹිණ. ආචාර්ය පතිනිය එතැනින් නික්ම ගියේ අවශ්‍ය ඕනෑම මොහොතක තමාට කතා කරන මෙන් දන්වා හෙට දවසේ ලකුණු බාරදිය යුතු පිළිතුරුපත්වල ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා ය.
”හරි දැන් මිහිදිනී ඔයා දුවේ මේ වෙන කොට මාතෘකාවක් තෝර ගෙනනෙ තියෙන්නෙ. මම ඒ ගැන අපේ ගඟුල්ට යම් කාරණා ටිකක් කියලා තියෙන්නෙ. ඒත් මන් කැමතියි මේ වැඩේ කරන කෙනාම ඒ ගැන යම් අදහසක් කියනවනං.”
”සර් මන් හිතුවෙ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ නිර්මාණ කීපයක් අරගෙන අපේ සිංහල කවියෙක්ගෙ නිර්මාණත් සම්බන්ධ කරගෙන සන්සන්දනාත්මක අධ්‍යයනයක් කරන්න.”
“හරි ඔයාගෙ ප්‍රවේශය හොඳයි. තාගෝර්තුමා ඔයාගෙ විෂයට ඍජු ව ම අදාළයි. ඒක හරි. දැන් ඔයා මට ඔයා කියන්න ඔයා මේ වැඩේට සම්බන්ධ කරගන්න හිතපු සිංහල කවියා කවුද කියලා.”
“සර් මේ සම්බන්ධයෙන් මගෙ හිතේ කවීන් හතර දෙනෙක් ඉන්නවා. ඒ විමලරත්න කුමාරගම, එච්. ඇම්. කුඩලිගම, පී. බී. අල්විස් පෙරේරා එහෙම නැත්තං කපිල සෙනෙවිරත්න. ඔය කියන කවීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගෙ නිර්මාණ අරගෙන තමයි මන් මේ නිබන්ධනේ කරන්න හිතුවෙ.”
“හොඳයි දරුවො ඔයා හිතලා තියෙන මේ සිංහල කවීන් හතර දෙනාගෙන් කවුරු ගත්තත් වරදක් නැහැ. මොකද මේ තුන්දෙනාගෙන් කාගෙ උනත් නිර්මාණ සම්බන්ධ කරගෙන තාගෝර් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ උනාට මිහිදිනී, අපි අපේ පළවෙනි උපාධිය පටන් ගන්න කොට හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මන් ඒවා ඉගෙන ගත්තෙ අපේ ගතාරේ ධම්මපාල හාමුදුරුවන්ගෙන් අදිකාරම්තුමාගෙන් ඒ වගෙම පලිහවඩන සර්ගෙන්. ඒ කාරණා ගැන මන් ගඟුල් එක්ක නං කතා කරලා තියෙනවා. ගඟුල්ට පුළුවන් ද දැන් ඒ ගැන යමක් මේ මිහිදිනිත් ඉන්න තැන කියන්න.”
“සර් මන් හිතන්නෙ මන් මෙතෙන්දි නිහඬ ශ්‍රාවකයෙක්. මොකද මම පශ්චාද් උපාධි ශිෂ්‍යයෙක් උනාට මට තව සර්ලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. අනික සර්ට මතක ද සර් ම දවසක් කිව්වා පුළුවන් තරම් ප්‍රාථමික මූලාශ්‍රය පාවිච්චි කරන්න. අවශ්‍ය තැනක් එළඹුනාම ද්විතීයික මූලාශ්‍රය පාවිච්චි කරන්න කියලා.”
“හරි ගඟුල් ඒක කොහොම ද මන් ඉස්සෙල්ලා කතා කරපු කාරණයත් එක්ක ගළපන්නෙ.”
“ඇයි සර් සර්ටනෙ අදිකාරම්තුමා ඇසුරු කරන්න ලැබුණෙ. සර්ටනෙ පලිහවඩන සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණෙ. ඒක නිසා මන් කල්පනා කරන්නෙ ප්‍රාථමික මූලාශ්‍රය තියෙද්දි ද්විතීයික මූලාශ්‍රය ඉදිරිපත් වෙන එක අවශ්‍ය නැහැ කියලයි.”
”ගඟුල්, මේ ශාස්ත්‍රීය ලෝකෙදි විතරක් නෙමෙයි අපේ ජීවිතයේ දීත් එක තැනක දි ප්‍රාථමික මූලාශ්‍රය වෙන කෙනාට ද්විතීයික මූලාශ්‍රය වෙන්නත් සිද්ද වෙනවා. ඒ වගෙම ඒකෙ අනිත් පැත්තත් සිද්ද වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ද්විතීයික මූලාශ්‍රය ප්‍රාථමික මූලාශ්‍රය බවට පත් වෙන්නත් පුළුවන්. කොහොම උනත් අලුතින් වැඩේට බැස්ස අපේ කෙල්ලට උදව් කරන්නත් එපායැ. හරි මිහිදිනීට මේ ගැන අහන්න තියෙන දෙයක් තියෙනව නං අපි ඒ ගැනත් කතා කරලා ඉම්මු.”
”සර් ඉස්සෙල්ලා කිව්වා නේද පළවෙන වතාවට උපාධි නිබන්ධයක් කරන්න යන කෙනෙක් හිතන්න ඕනෙ කාරණා කීපයක් තියෙනවා කියලා. මන් කැමතියි සර් ඒ ගැන මුලින් ම දැන ගන්න. ”
”එකක් තමයි තමන් තෝර ගත්ත මාතෘකාව කවුරුවත් දුන්න එකක් නොවී තමන්ගෙම හිතට ආපු තමන්ට ආශාවෙන් කරන්න පුළුවන් එකක් වීම. මන් හිතන්නෙ ඒක හරි. දැන් මිහිදිනී තෝරගෙන තියෙන්නෙ තමන් ආස කරන මාතෘකාවක්නෙ. ඒක නිසා ඒ කාරණේ හරි. ඊට පස්සෙ අපි බලන්න ඕනෙ තමන් තෝරගත්ත මාතෘකාවට සමාන මාතෘකා යටතේ කලින් උපාධි නිබන්ධ ලියවිලා තියෙනව ද කියලා. ”
”සර් එහෙම තිබුණොත් අපි තෝර ගත්ත මාතෘකාව අත හරින්න වෙනව ද? ”
”නෑ දුව, එතකොට අපි පෙන්නන්න ඕනෙ බැලූ බැල්මට මාතෘකාවෙ සමාන බවක් පෙනුණට තමන් ඒ සඳහා ගන්න දෘෂ්ටි කෝණය වෙනස් බව. මොක ද එකම මාතෘකාව ගැන උනත් දෙන්නෙකුට දෘෂ්ටි කෝණය වෙනස් කරමින් අලුත් නිදර්ශන වගෙම මුල් එකට වඩා වෙනස් කාරණා අරගෙන කතා කරන්න පුළුවන් නිසා. ”
”සර්ට පුළුවන් ද මට ඒක උදාහරණෙකින් පැහැදිලි කරලා දෙන්න. ”
”මේකට අපි ගොඩක් ඈතට යන්න ඕනෙ නැහැ දුව, අපිට බෞද්ධ සාහිත්‍යයෙන් ම පුළුවන් උදාහරණ ගන්න. මේ වෙලාවෙ මට එක පාරටම මතක් වෙන්නෙ අංගුත්තරනිකායෙ තියෙන පඨම මහාපඤ්හ සූත්‍රයයි දුතිය මහාපඤ්හ සූත්‍රයයි. මේ සූත්‍ර දෙකේ එකට ගැළපිලා යන ගතියක් තියෙනවා. පළවෙනි සූත්‍රෙ වෙනත් ආගමික අදහස් දරන පරිව්‍රාජකයන් කණ්ඩායමක් ඇවිල්ලා බුදුහාමුදුරුවන් සමග සුහද පිළිසඳරක යෙදුන බව සඳහන් වෙනවා. මේ සංකථනය සිද්ධ වෙන්නෙ දහම පිළිබඳ ප්‍රශ්න දහයක් අහන අතරෙ ඒවාට පිළිතුරු දෙන ආකාරයකට. මෙතෙන්දි ඒවාට පිළිතුරු දෙන ධර්ම සන්නිවේදකයා වෙන්නෙ බුදු හාමුදුරුවො. දෙවෙනියට කියන සූත්‍රයෙදි වෙන උපාසක කණ්ඩායමක් අහන්නෙත් ඒ ප්‍රශ්න ම තමයි. හැබැයි එතෙන්දි අපට ඒවාට උත්තර දෙන චරිතය විදිහට හමු වෙන්නෙ ධර්ම සන්නිවේදිකාවක්. ඒ තමයි කජංගලා රහත් භික්ෂුණීන් වහන්සෙ. වෙලාවකදි උත්තර සමානයි වෙලාවක දි ගන්න නිදර්ශන වෙනස්. උදාහරණයක් විදිහට අටවෙනි ප්‍රශ්නෙ ගත්තොත් බුදුහාමුදුරුවො ඒක පැහැදිලි කරන්න ගන්නේ අටලෝ දහම. බුදුන් වහන්සෙගෙ ශ්‍රාවිකාවක් වෙච්ච කජංගලා භික්ෂුණීන් වහන්සෙ අටවෙනි ප්‍රශ්නෙට උත්තර පැහැදිලි කරන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආශ්‍රයෙන්. මෙතන අපට තව ලස්සන දෙයක් හෙළි කරනවා ගඟුල්. ඒ තමයි ගුරුවරයා කියපු දේ පුනරුච්චාරණය කරන්නෙ නැතුව ඒ ගුරුවරයගෙන් ම ඉගෙන ගත්ත වෙනත් දේකින් හරි වෙන තැනකින් ජීවිතයට උකහා ගත්ත දෙයකින් හරි ශිෂ්‍යයා තමන්ගෙ විවරණ ඉදිරිපත් කිරීම. අපේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ එන නව ප්‍රවේශ ගැනීම කියන කාරණේ මම තේරුම් අරන් තියෙන්නෙ එහෙමයි.”
“සර්, මේ සාකච්ඡාව අපිට හරිම වැදගත්. උපාධි නිබන්ධෙ ලිව්වත් නැතත් මේවගෙ සාකච්ඡා නිසා අපි වෙනස් වෙනස් අමුතු අමුතු තැන්වලටනෙ අපේ හිත් යන්නෙ.”
“ඔව් දුව, ඔයා ඔය යන වෙනස් වෙනස් අමුතු අමුතු දේවල්වලට පුළුවන් වෙන්න ඕනෙ ලෝකය යහපත් විදිහට වෙනස් කරන්න. ඒ වගෙම මෙතෙන්දි මම කැමතියි තවත් වැදගත් කාරණාවක් මතු කරන්න. ඒක මම ඉගෙන ගත්තෙ අපේ පලිහවඩන සර්ගෙන්. සර් කිව්වෙ කෙනෙකුට පුළුවන්නං හොඳයි පළවෙනි උපාධියට ගන්න ප්‍රවේශය තමන්ගෙ පශ්චාද් උපාධි ඔස්සෙත් ඉස්සරහට අරගෙන යන එක කියලා. ඇත්තට ම මගෙ උපාධි මාර්ගය හැදුණෙ ඒ දර්ශනය මත.”
“අනේ සර් ඒ ගැනත් කියන්නකො අපට.”
“වෙනදට ගඟුල් ඔයා අහන ප්‍රශ්න ටිකනෙ අද මේ කෙල්ල අහන්නෙ. කොහෙන් ද ගඟුල් අපේ කෙල්ල හොයා ගත්තෙ.”
“මෙහෙමනෙ සර්, අපි බෞද්ධයන් හැටියට කර්ම, කර්ම පල විශ්වාස කරන අයනෙ. මන් හිතන්නෙ මගෙ කර්ම පලේ නියම වෙලා තිබුණෙ නාගොල්ලාගම දි ලැබෙන විදිහට. මොනවා කරන්නද සර් ඕවට ලබා උපන් හැටි කියලා හිත සනසා ගන්නවා හැරෙන්න වෙන මොකක් කියන්න ද වෙන මොකක් කරන්න ද?
”නරක් වෙලා තියෙයි මෙයාට කර්ම පලේ. මේ කොච්චර හොඳ කෙල්ලෙක් ද මේ?”
ඒ වචන පැවසුවේ ඒ මොහොතේ එතැනට පැමිණි ආචාර්ය පතිනිය විසිනි. ආචාර්යවරයා කෙළේ ද ඒ වචන සනාථ කිරීම ය.
“ඒක නේන්නම් මේ කෙල්ල හොඳ කෙල්ලෙක් කියලා මටත් දැනෙනවා.
මදැයි කොළා සර්ටයි මැඩම්ටයි දෙන්නටම ලොකු උනේ මෙච්චර කාලයක් තිස්සෙ මෙහෙ ආව ගිය මාව නෙමේ මේ කොහෙන් වත් ආපු....”
ගඟුල්ට එවදන් සම්පූර්ණ කිරීමට නොලැබුණේ මිහිදිනී විසින් එය මෙසේ සම්පූර්ණ කරන ලද බැවිනි.
මේ කොහෙන් වත් ආපු....සක්කරවට්ටම කියලා නේද කියන්න හැදුවෙ. අහන්න මැඩම් මෙයාගෙන් කවුද සක්කරවට්ටම උගන්නන ඉස්කෝලෙටම පත්වීමක් අරන් ආවෙ කියලා.”
”අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ”
ඒ ආචාර්ය පතිනිය යි.
”පිළිතුරු දීම දුෂ්කර නමුත් ගඟුල් උත්තර දෙන්න ම ඕන ප්‍රශ්නයක් කියලත් ඒක හඳුන්වන්න පුළුවන්.”
ඒ ගඟුල්ගේ ආචාර්යවරයා ය.
“අය්යෝ මම මේ එක් කෙනෙක් ව මෙහෙට අරගෙන ඇවිත් කරගත්ත මෝඩකමක්.”
ගඟුල් එසේ පවසද්දී ඔහුගේ සමීපයට ආ මිහිදීනී වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් විසින් ලියන ලද ජිනපාලගේ කතන්දරයේ එන බබා බාරලිස් සිහි කොට ඔහුට පමණක් ඇසෙන සේ ඇසුවේ ‘ඇද්ද උඹට’ යනුවෙනි.
අනතුරුව ගඟුල් ඒ කතාවේ එන බබා බාරලිස්ගේ කතා සිහි ව සිනාමුසු ව බලා සිටිය දී මිහිදිනී කෙළේ ඔහුට කිසිවක් නොකී තැනැත්තියක මෙන් සන්සුන් ව තමා හිඳ උන් අසුනට ගොස් ආචාර්යවරයා සමග යළි සාකච්ඡාවට එළඹීම ය.
“සර්ට කියන්න හම්බ උනේ නැහැනෙ සර්ගෙ උපාධිවල දර්ශනය හැදුණෙ කොහොම ද කියන එක. කොහෙද මේ මහත්තයා මැද්දට පැන්නනෙ.”
ඇය එසේ පැවසුවේ ගඟුල් පෙන්වමිනි.
“කවුද මම ද මැද්දට පැන්නෙ ඔයා ද මන් කොයි කාලයක ඉඳල ද සර් ව යි මැඩම් ව යි දන්නෙ. ඔයානෙ අද ඇවිත් අදම මැද්දට පැන්නෙ. නැද්ද මැඩම්?”
මන් හිතන්නෙ ගඟුල් මන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න යන එක හොඳ නෑ කියලයි.”
සිනාසෙමින් මෙසේ පවසා ආචාර්ය පතිනිය සිය ඇගයීම් කටයුතුවල යළි නිරත වනු පිණිස එතැනින් නික්ම ගියා ය.
“දැක්ක ද මැඩනුත් මෙයාගෙ හිත රිදෙයි කියලා හිතලා ඒකට හරි උත්තරයක් නොදී හෙමින් ම ලිස්සලා යන හැටි.”
එසේ කවටකම් වශයෙන් පැවසූ මුත් ගඟුල් සිටියේ මහදානන්දයෙනි. මන්ද සිය හද දිනූ යුවතිය පැමිණි සුළු මොහොතට සිය ගුරු යුග්මයේ සිත් දිනා ගත් බව දැකීම පිළිබඳ වන ප්‍රසන්න අත්දැකීමෙන් ඔහුගේ හද සන්තානය පිරී ගොස් තිබූ බැවිනි. අනතුරුව ඔහුට ඇසුණේ සිය ආචාර්යවරයාගේ හඬ යි.
“දැන් දුව ඔයා තාගෝර්තුමා තමන්ගේ අධ්‍යයනයට ගන්නවා කියන එක හරිනෙ. ඔයාගෙ විශේෂ උපාධිය ඉංග්‍රීසි නිසා තාගෝර් අධ්‍යයනය කරන්න ගන්න එක පැහැදිලි ව ම විෂයබද්ධ යි. ඔයා ඊළඟට හිතන්න ඕන දේ තමයි තමන්ගෙ මේ සන්සන්දනේට ගන්න සිංහල කවියා කවුද කියන එක. ඒක පැහැදිලි කරගත්තට පස්සෙ අපිට පුළුවන් ඊළඟ කළයුත්ත මොකක් ද කියන එක කතා කරන්න.”
“සර් මන් කුඩලිගම කවියගෙ නිර්මාණ සම්බන්ධ කරගන්න ද මේකට.”
“ඒක දරුවො තීරණය කරන්න ඕනෙ ඔයා. මොකද මේ අධ්‍යයනය කරන්නෙ ඔයානෙ. ඔයාගෙ තේරීම ඒක නම් අපිට පුළුවන් ඉස්සරහට යන්න. දැන් ඔයා හදාගන්න ඕනෙ විෂය සීමාවක්. මොකද තාගෝර් වගෙම කුඩලිගම කියන්නෙ එක නිර්මාණයක් දෙකක් කරපු අය නෙමෙයි. ඔයා කුඩලිගම ගත්තට පස්සෙ අපිට පැහැදිලි ව ම කවිය කියන ශානෙරේ ඉඳගෙන අදාළ අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද කුඩලිගම ප්‍රසිද්ධත් කවියට. වැඩි වශයෙන් ලියලා තියෙන්නෙත් කවි. එහෙම නම් අපි තාගෝර්ගෙත් කවි පැත්තට යන එකයි හොඳ. මොකද එතුමා කවි, ගීත, නාට්‍ය, කෙටිකතා, නවකතා කියන ගොඩක් පැති ස්පර්ශ කරලා තියෙන නිසා.”
“සර්, මම තාගෝර් කාව්‍ය නිර්මාණ පදනම් කරගෙනනෙ කොහොමටත් මගෙ නිබන්ධය කරන්නෙ. මන් හිතුවෙ සර් තාගෝර්ගෙ ගීතාඤ්ජලියයි ස්ට්රේ බර්ඩ්ස් කියන පොතයි අරගෙන මේක කරන්න.”
“මට හිතෙන්නෙ මිහිදිනී දුව ඒකෙනුත් එකකට ආවොත් තමයි හොඳ. මොකද අපිට ඔක්කොටම තියෙන්නෙ අවුරුද්දක කාලයක්. කාලය ගැන හිතලත් පර්යේෂණය සීමා කර ගන්න වෙනවා. අපි මේ මේ දෙකෙන් එකක් ගනිමු. මන් හිතන හැටියට නං හොඳ ස්ටේ්‍ර බර්ඩ්ස් ගන්න එක. ගඟුල්, ඔයා පුතා අපේ පුස්තකාල කාමරේට ගිහිල්ලා The English Writings of Rabindranath Tagore කියන පොතයි මන් බැඳි පන්හිඳ එච්. ඇම්. කුඩලිගම කවි කියන පොතයි අරගෙන එනව ද?”
ඉතා කෙටි කාලයක් තුළ ගඟුල් පැමිණියේ ඒ දෙපොත් රැගෙන ය.
“ෂා බලන්නකො සර්, සර්ගෙ ගෝලයා ටක් ගාලා ඒව අරන් එන හැටි.”
“ඔව් මිහිදිනී, ගඟුල්ට හුරුයි අපේ ඔය පොඩි පුස්තකාලෙ. එයා දන්නවා ඒ ඒ පොත් තියෙන තැන්. දැන් අපි මේ පොතේ අපි පෙරළ ගමු ස්ට්රේ බර්ඩ්ස් තියෙන තැනට. හරි මේ තියෙන්නෙ. ඒ කියන්නෙ මේ පොතේ 397 ඉඳලා 435 පිටුව දක්වා තියෙන්නෙ ඒ පොත. කවි නැත්තං කාව්‍යෝක්ති විදිහට ගත්තොත් ඒකෙ තියෙනවා නිර්මාණ 326 ක්.”
“සර් ගීතාඤ්ජලිය වෙනුවට මේක ගන්න කියන්නෙ විශේෂ හේතුවක් ඇතුව ද?”
“ඔව් මිහිදිනී, තාගෝර්ගෙ ගිතාඤ්ජලිය ගොඩක් දෙනා තමන්ගෙ අධ්‍යයනවලට අහු කරගෙන තියෙනවා. ඒත් ඒ තරම් ප්‍රබල අවධානයක් යොමු වෙලා නැහැ ස්ට්රේ බර්ඩ්ස්වලට. ඒත් මේ ගැන ඔයා අවසාන තීරණේ ගන්න ඕනෙ ඔයාගෙ විෂය උපදේශකතුමා හරි උපදේශකතුමිය හරි එක්ක කතා කරගෙන. හරි දැන් මට කියන්න කවුද ඔයාගෙ විෂය උපදේශක හැටියට කටයුතු කරන්නෙ කියලා.”
“සර්, අපි විශේෂ උපාධියට තේරිච්ච දොළොස් දෙනෙක් ඉන්නවා. අංශප්‍රධාන මැඩම් තමයි ආචාර්ය මණ්ඩලෙන් අපේ උපදේශක හැටියට දෙන්නෙ කවුද කියලා තීරණය කරලා ඒ අනුව අපට වැඩ කරන්න කිව්වෙ. ඒ වගෙම තමන්ගෙ අධ්‍යයනය වෙනත් සාහිත්‍යයක් එක්ක සම්බන්ධ කරගෙන කරන සන්සන්දනාත්මක අධ්‍යයනයක් නං ඒ අදාළ අංශෙ ආචාර්යවරයෙක් හරි ආචාර්යවරියක් හරි එක්ක කතා කරගෙන මැඩම්ට කියන්න කිව්වා.”
“ඔයගොල්ලන්ගෙ අංශප්‍රධාන වෙන්නෙ වර්ණපාල මැඩම් නේද?”
“ඔව් සර් මැඩම් කිව්වෙ මට ඉන්දිරා මාවැල්ල මැඩම් එක්ක වැඩ කරන්න කියලා මන් ගිහින් මැඩම්ව හම්බ උනා සර්. මැඩම් කැමතියි මගෙ උපදේශක වෙන්න. සර්ට පුළුවන් ද සිංහල කවිය පැත්තෙන් මගෙ උපදේශක වෙන්න.”
“ඉංග්‍රීසි කවි වගෙම සිංහල කවිය ගැනත් හැඟීමක් වගෙම දැනීමක් තියෙන කෙනෙක් තමයි ඔයාට අංශප්‍රධාන මිස් නම් කරලා තියෙන්නෙ. හැබැයි අංශප්‍රධානතුමිය දුන්න උපදෙස්වලට අනුව සිංහල කවිය පැත්තෙන් ඔයාගෙ උපදේශක වෙන්න ඕනෙ ඒ අංශෙ කෙනෙක්. අපි මෙහෙම කරපු මිහිදිනී, මම ඔයාගෙ නොනිල උපදේශක වෙන්නම්. ඔයා සිංහල අංශෙ ආචාර්ය මණ්ඩලේ ස්වාමීන් වහන්සෙ නමක් හරි සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් ව හරි කැමති කරවා ගන්න ඔය වැඩේට.”
“සර් මට බැරි වෙයි ද අපේ මෙහෙ මැඩම්ව උපදේශක විදිහට ගන්න.”
“බැරි වෙන එකක් නෑ මන් මැදිහත් උනොත් මැඩම් බෑ කියන එකක් නෑ.”
ඒ සංකථනයට සම්බන්ධ එසේ පැවසුවේ ගඟුල් ය.
“ඉඳා බලන්ඩකො සර්, මේ මහත්තය කියන එක. එයා මැදිහත් උනොත් නං මැඩම් බෑ කියන එකක් නෑලු.”
“ඔව් අපි එයාටත් කියලා මැඩම්ට කියවමු. ඒත් දුව ආපු වෙලාවෙ ඉඳලා මැඩම් ගත්තෙ ඔයාගෙ පැත්ත වගෙ මට දැනිච්ච නිසා මන් හිතන්නෙ ඉස්සෙල්ලා ඔයා අහන එකයි හොඳ?”
සහන් එසේ පැවසුවේ සිනාසෙමිනි. පැමිණි පළමු දවසේ ම ගෙදර සාමාජිකාවක බවට පත් වූ මේ යුවතිය පිළිබඳ වන දාරක ප්‍රේමයෙනි.
“අපි කෑම කන වෙලාවට මැඩම් එක්ක ඒ ගැන කතා කරමු නේද සර්?
ඒ ගඟුල් ය.
“බලන්ඩකො සර් මෙයාගෙ කල්පනාව මෙහෙන් දවල්ට කාලත් යන්නනෙ.”
”ඔව් ඔව් මන්නං මෙහෙන් දවල්ට කාලා තමයි එන්නෙ. ඔයා මුලින් ම කිව්වනෙ මැඩම්ට කෑම හදන්න කරදර වෙන්න එපා කියලා. ඒක නිසා මිහිදිනී ඒ කියපු විදිහට ම කරන්න. මිහිදිනී මෙතන ඉඳන් කිලෝමීටර් එකක් විතර දුරින් තියෙනවා බත් කඩ දෙකක්. ඔයා අපි කන වෙලාවට ම ඒ කඩේකට ගිහිල්ලා කාලා එන්නකො. ඕනෙ නං මන් ඔයාව එතනට ඇරලවලා එන්නං.”
”නෑ අපි මෙහෙම කරමු නේද දුව. අපි ගඟුල්ට කියමු වෙනසකටත් එක්ක ඒ කඩේකින් කාලා එන්න කියලා. අපි ගෙදරින් දවල්ට කාලා ඔයාගෙ උපදේශකමට මැඩනුත් කැමති කරගෙන ටිකක් මැඩම් එක්කත් මාතෘකාව ගැන කතා කරලා මෙයාට කියමු ඔයා ඇරලන වෙලාවට මෙහෙට එන්න කියලා. ”
”සර් මෙන්න මේවට තමයි සමාජය බලවත් අසාධාරණ කියලා කියන්නෙ. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ සිංහල ප්‍රස්තාව පිරුළකුයි සර් ම කියලා දුන්න හින්දු දේව කතාවක එන සිද්ධියකුයි. ”
ගඟුල් එසේ පැවසුවේ බැරෑරුම් මුහුණක් මවාගෙන ය.
”අපි ඒ දෙකත් අහලම ඉම්මු ද මිහිදිනී.”
”ඔව් ඔව් අහන්නම වටින කාරණා දෙකක් වෙන්ඩැතිනෙ මෙතුමා කියන්නෙ. අපි අවසර දෙමු දැන් ඒවා කියන්න. ”
”හොඳයි නගෝ මන් අල්ල ගන්නංකො පස්සෙ උඹව. මේ ගෙදරදී අදහස් ප්‍රකාශ කිරීමට අපට ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මම දැන් කතා කරනවා. ප්‍රස්තාව පිරුළ තමයි ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වීම. අනික තමයි විෂ්ණු බලි අසුරයගෙන් තමන්ගෙ පය තියා ගන්න විතරක් තැනක් ඉල්ල ගෙන අන්තිමට ඒ පය ඒ මුළු ප්‍රදේශය පුරා පැතිරෙන තරන් විශාල කරලා බලි ව එළවල දැමීම. ”
ඒ කතා අසා සහන් කෙළේ මහ හඬින් සිනාසීම ය.
”ඇයි සර් හිනාවෙන්නෙ මන් කිව්වෙ බොරු ද? ”
”නෑ නෑ මන් හිනා උනේ උපහාසෙට නෙමෙයි බන් සතුටට. ඒ කියන්නෙ අපේ ශිෂ්‍යයො ඒ අවස්ථාවට ගැළපෙන විදිහට තමන් ඉගෙන ගත්ත කාරණා ගළපන එකේ සතුටට. ඒ වගෙම දැක්ක පළවෙනි දවස උනාට මේ ටික වෙලාවට දැනිච්ච දේවලුයි මේ කෙල්ල ගැන උඹ කියන දේවලුයි අනුව මට පැහැදිලිව එක දෙයක් කියන්න පුළුවන්. ”
”ඒ මොකක් ද සර්?“
ගඟුල් ඇසුවේ උනන්දුවෙනි.
”මන් හිතන හැටියට මට දැනෙන විදිහට උඹ පය තියාගෙන ඉන්න තැනින් උඹව උස්සලා වෙන තැනකට විසි කරන්න කවුරු හරි ආවොත් මේ කෙල්ල තමයි ඉදිරිපත් වෙන්නෙ ඒ ආපු කෙනා මොන තරංනං බලවතෙක් උනත් එයාව උස්සලා පරසක්වල ගහන්න. ”
”මන් ඒක දන්නවා සර්.“
ගඟුල් එසේ පැවසුවේ මිහිදිනී දෙස ආදරයෙන් බලමිනි.
”මේ ඔය ශාස්ත්‍රීය සංකථනෙ ඉවරනං කෑම ලෑස්ති කරන්න පුළුවන් කියලා අපේ නංගියි අපේ රාණියි කියනවා. මොකද කියන්නෙ. ”
එසේ පැවසුවේ එතැනට පැමිණි ආචාර්ය පතිනිය යි.
”අපේ ශාස්ත්‍රීය සාකච්ඡාව දැන් ටිකක් වෙන පැත්තකට ගිහින් තියෙන්නෙ. දැන් ආයෙත් ඒක ශාස්ත්‍රීය සංකථනයක් කරගන්න ඔයාගෙ සහයත් අපට අවශ්‍ය යි. ”
”මොකක් ද අප්පේ මගෙන් ඕන කරන සහය. ”
ඇය පැවසුවේ එතැන වූ අසුනක හිඳගනිමිනි.
”මෙහෙමයි මේ කෙල්ල උපාධි නිබන්ධෙ කරන්නෙ තාගෝර් නිර්මාණ ගැන, කුඩලිගමත් සම්බන්ධ කරගෙන. එයාගෙ විෂය පැත්තෙන් ඉන්න උපදේශිකාව තමයි මහාචාර්ය ඉන්දිරා මාවැල්ල. සිංහල පැත්තෙන් ඔයාව සම්බන්ධ කරන්නයි ඕනෙ. මොකද ඔයාටත් තියෙනවනෙ කොළඹ කවිය වගෙම කුඩලිගම ගැන වෙනම කියවීමක්. කොහොමත් දැන් ටිකකට ඉස්සෙල්ලා අපේ ගඟුල් කිව්වෙ මන් මැදිහත් උනොත් නං මැඩම් බෑ කියන එකක් නෑ කියලයි. ”
”නැතුව නැතුව ගඟුල් නෑ මට වැරදුනා ගඟුල් පුතා මැදිහත් උනොත් අපිට බෑ කියන්න බෑනෙ. ඔය ගොල්ලන්ට තවම බඩගිනි නැත්තං තව ටිකක් සාකච්ඡාව ගෙනි යන්න. මන් තේ ටිකක් හදලා දෙන්නම්. ”
”අන්න ඒක හොඳයි මැඩම්. අපේ මේ මිහිදිනී කිව්වෙත් කෑමට ඉස්සෙල්ලා තව තේකක් තිබ්බොත් හොඳයි කියලා. ”
”අනේ මැඩම් මම නං එහෙම කිව්වෙ නැහැ. මේ එයාගෙ හිතේ තියෙන ඒවනෙ මගෙ පිට දාලා කියන්නෙ. ”
”මට දුව, ඔයා ඔහොම කියන කොට මතක් වෙන්නෙ කාලිදාසගෙ ශාකුන්තලේ ශකුන්තලා. ”
”සර් කියන්ඩකො ඒ මතක් වෙච්ච එක. ඒකත් අපට ඉගෙනීමක්. ”
”ඔව් ඒ ඒ අවස්ථාවලට ගැළපෙන දේවල් ශිෂ්‍යයන්ට මතක් වෙනවා වගේ ගුරුවරුන්ටත් මතක් වෙන්න පුළුවන්නෙ. ”
”මේක එන්නෙ එන්නෙ අභිඥානශාකුන්තලේ පළවෙනි අංකෙ. ප්‍රියංවදා, අනසූයාට කියනවා ඔයා දන්නව ද මේ ශකුන්තලා ඇයි මේ මී අඹ ගසයි ඒකෙ එතිච්ච දෑසමන් වැලයි දිහා බලාගෙන ඉන්නෙ කියලා. එතකොට අනසූයා කියනවා මන් දන්නෑ ඔයා කියන්න ප්‍රියංවදා කියලා. ඒකට උත්තරේ හැටියට ප්‍රියංවදා කියන්නෙ මේ දෑසමන් වැලට තමන්ට සුදුසු ගහක් හම්බ උනා වගෙ මටත් මට ගැළපෙන ස්වාමියෙක් ලැබෙන්න කියලා තමයි දැන් මේ ශකුන්තලා කල්පනා කරන්නෙ කියලයි. ”
”එතකොට සර් ඒක කොහොම ද මෙතෙන්ට ගළපන්නෙ. ”
”මෙතෙන්ට ගළපන්නෙ දුව, ඔයා ඉස්සෙල්ල ගඟුල් ගැන කියපු දෙයත් එක්ක යි. ඇයි ගඟුල් කිව්වනෙ ඔයා කිව්වා කියලා බත් කන්න ඉස්සෙල්ලා තව තේකක් තිබ්බොත් හොඳයි කිව්වා කියලා. එතකොට ඔයා කිව්වනෙ අනේ මැඩම් මේ මෙයාගෙ හිතේ දේවල් තමා මගෙ පිට දාලා කියන්නෙ කියලා. අන්න එතෙන්ට තමයි ශකුන්තලාගෙ කියමන ගළපන්න පුළුවන් වෙන්නෙ. මම ඒ කාලිදසගෙ ප්‍රකාශෙ ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්ක මෙහෙම කියන්නම්කො. ”
”ඒෂ නූනං තවාත්මගතෝ මනෝරථඃ - මේ ඒකාන්තයෙන් ම ඔබේ හිතේ උපන් මනදොළ යි.”
”අපි මේ වගෙ සාකච්ඡාවකදි හරි හරි ලස්සන තැන්වලටනෙ එන්නෙ. මන් ශාකුන්තලේ සිංහල පරිවර්තනයකුයි ඉංග්‍රීසි පරිවර්තනයකුයි කියවලා තියෙනවා. මට ආසයි සංස්කෘත භාෂාවත් ටිකක් හරි ඉගෙන ගන්න.”
“ඉස්සරහට මිහිදිනී ඒකත් පටන් ගන්න. මන් මටත් පුළුවන් උදව්වක් කරන්නම්කො. දැන් අපි ආයෙත් අපේ විෂය සාකච්ඡාව නතර කරපු තැනට යමු ද?”
“හැබැයි සර්, අපේ විෂය සාකච්ඡාව නං නැවතුණේ නැහැ. ඒක නිසා අපිට කියන්න වෙන්නෙ නිබන්ධ මාතෘකාව ගැන කතා කරලා නවත්තපු තැනට යමු කියලයි.”
“ඔයා හරි ගඟුල්. මොක ද අපි සාහිත්‍ය විෂය කියන කාරණෙන් බැහැර උනේ නැහැනෙ. කොතන ද මිහිදිනී අපි නතර කළේ.”
“දැන් සර් අපිට තියෙන්නෙ කුඩලිගමගෙ තෝර ගන්න පොත් මොනව ද කියන එක ගැන කතා කරන්න. මන් එකක් විදිහට හිතුවෙ ඈ කියන කවි පොත ගන්න.”
“ඔව් කුඩලිගමගෙ ඈ අනිවාරෙන් ම ගන්න එක හොඳයි. ඒ වගෙම මට හිතෙනවා මෙතෙන් දි කුණාටුව කවිපොතත් සම්බන්ධ කරගන්න එන හොඳයි කියලා. මොක ද ඔය පොත් දෙකේ තමයි තාගෝර් ආභාසය තියෙන තැන් අපිට වැඩිපුර දක්නට ලැබෙන්නෙ. එතකොට මූලාශ්‍රය දෙකම ඒ කියන්නෙ තාගෝර් - කුඩලිගම නිර්මාණ තෝරා ගැනීම අපි සමාන බරක් තියෙන විදිහට ගත්තා වෙනවා. එතකොට ඒක ප්‍රමාණාත්මක ව වගෙම ගුණාත්මක ව යි සමාන ය කියන අදහස හිතේ තියාගෙන අපට වැඩ කරන්න පුළුවන්.”
“සර්, එතකොට අපිට පුළුවන් නේද ඒකට අනුගත ව මාතෘකාවක් හදා ගන්න.”
”ඔව් මිහිදිනී, දැන් මේ වෙන කොට ඔයාගෙ හිතට මාතෘකාවක් ඇවිත් තියෙන්න ඕනෙ. අන්න ඒ ආපු එක දැන කියන්න බලන්න. ”
”සර්, මම රබීන්ද්‍රනාත් තාගෝර් සහ එච්. ඇම්. කුඩලිගම නිර්මාණවලින් විශද වන මානව ප්‍රේමය, පරිසර ප්‍රේමය සහ සෞන්දර්යය කියලා මාතෘකාව හදා ගත්තොත් හොඳයි ද?”
“ඔව් ඒක හොඳයි ඒ වගෙම අපි ඒක යටින් සඳහන් කරන්න ඕනෙ තාගෝර්ගේ ස්ට්රේ බර්ඩ්ස් සහ කුඩලිගමගේ ඈ - කුණාටුව කාව්‍ය ග්‍රන්ථ ආශ්‍රයෙනි කියලා.
“සර් මෙයාට ස්ට්රේ බර්ඩ්ස්වල ගොඩක් තැන් කටපාඩමින් උනත් කියන්න පුළුවන්.”
ගඟුල් එසේ පැවසුවේ මිහිදිනී දෙස බලමිනි.
“එහෙනං වැඩේ අපට ලේසි වෙනවා. මේ වැඩේ තවත් ලේසි වෙනවා අපේ ගඟුල්ට කුඩලිගමගෙ ගොඩක් කවි කටපාඩම් නිසා. දැන් මිහිදිනී කරන්න ඕනෙ පරිච්ඡේද සැලැස්ම හදන එක. දවල් කෑමෙන් පස්සේ මැඩම් එක්කත් කතා කරගෙන ඒක හදන්න.”
“සර් ඒක හදනකොට මගෙ විශේෂ අවධානය යොමු කරන්න ඕනෙ කියලා සර් හිතන තැන් මොනව ද?”
“මෙහෙමයි දුව අපිට අදහස් කියන්න පුළුවන්. ඒත් අපි කියන හැම දෙයක් ම ඔයා ඒ ආකාරයෙන් ම බාර ගන්න ඕනෙ නැහැ. උදාහරණ හැටියට මේ දෙන්නගෙ නිර්මාණ ගැන උනන්දුවක් දක්වපු කෙනෙක් හැටියට මම දැකපු දේවල් කීපයක් මතු කරන්න පුළුවන්. මේ දෙන්නම අඩු වචන සංඛ්‍යාවකින් වැඩි දෙයක් කියන අය. ඒ කියන්නෙ වචන නාස්ති නොකරන අය. ඒ වගෙම සොබාදහම තුළ තියෙන ජීවගුණය දැකලා සොබාදහමට ආමන්ත්‍රණය කරපු අය. තව විදිහකට කිව්වොත් සොබාදහම තුළ මිනිස් ස්වභාවත් මිනිස් ස්වභාව තුළ සොබාදහමත් දකින නිර්මාණකරුවන් දෙන්නෙක් කියලත් කියන්න පුළුවන්. ඒ වගෙම දෙන්නම තමන් භාවිතයට ගන්න භාෂාව සරලවත් අව්‍යාජවත් යොදනවා. මේ නිසාම දෙන්නම අපට දැනෙනවා. ඒ වගෙම දෙන්නගෙම නිර්මාණවල පැහැදිලි ජීවන දර්ශනයක් තියෙනවා. ඊළඟට මේ දෙන්නම තමන්ගෙ කවිය ඉස්සරහට අරගෙන යන්නෙ රසික පාඨකයන් ව ඒවයෙ කොටසක් කරගෙන. මේ අධ්‍යයනේ දි ඔයාගෙ විශේෂ අවධානය යොමු වෙන්න ඕනෙ තැනක් තමයි තාගෝර්ගෙ ආභාසය කුඩලිගමගෙ ඇතැම් නිර්මාණවල විද්‍යමාන වීම.”
“හරි සර්, මට මගෙ සැලැස්ම හදද්දි ඔය කාරණා ගොඩක් වැදගත්. සර්ට පුළුවන් ද සර්, අර අන්තිමට පේන කාරණේ පැහැදිලි වන එක තැනක් දෙන්නගෙ නිර්මාණ ආශ්‍රයෙන් මට පෙන්නලා දෙන්න.”
“ස්ට්රේ බර්ඩ්ස්වල මේ 153 කවිය දිහා බලන්න දුව. ඔයා කියවන්න ඒක. ඒක ඔයා කියන කොට මම දන්නවා ගඟුල්ට මතක් වෙනවා ඒකෙ ආභාසය ලබලා කුඩලිගම ලියපු කවිය. දැන් ඉංග්‍රිසි කවිය කියවන්න මිහිදිනීටත් ඊට පස්සෙ ඒකට අදාළ සිංහල කවිය කියන්න මම ගඟුල්ටත් ආරාධනා කරනවා.”
ඒ අනුව මිහිදිනී යටකී තාගෝර් පාඨය මෙසේ කියන්නට ඉදිරිපත් වූවා ය.
How may I sing to thee and worship
O Sun, asked the little flower.
By the simple silence of thy
purity. Answered the sun.
අනතුරුව ඇසුණේ ගඟුල්ගේ හඬ යි. කුඩලිගමගේ ඈ කාව්‍ය සංග්‍රහයේ එන ඊට අදාළ කවිය ඔහු පැවසුවේ සිය මතකයෙනි.
දෙවියනි ඔබට මම බැති ගී ගයමි කෙසේ
හිරුගෙන් අසයි වනමල ගිරි දුදුළු හිසේ
ඔබගේ හේළි බව පිළිබඳ නිසල වෙසේ
ඇති රසයෙනැයි හිරු පිළිතුරු කියනු ඇසේ
“ඒ වගෙම මට මතක් වෙනවා සර්ගෙ උල්පතේ තියෙන තාගෝර් චින්තාවකට කරපු පද්‍යමය අනුවර්තනයක්.”
“අනේ ඒකත් මට කියන්නකො මට මේ ඔක්කොම වැදගත්නෙ.”
මිහිදිනීගේ ඉල්ලීමට අනුව ගඟුල් එය ද සිය මතකයෙන් පැවසුවේ ඊට පූර්විකාවක් ද සපයමිනි.
“මේක මිහිදිනී ඔයා උපදින්නත් අවුරුදු කීපයකට කලින් සර් ලියපු පොතක්. ඒකෙ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස සිතිවිලි සයුර, දෙවෙනියට තියෙන්නෙ අනුරපුර චාරිකා, අන්තිම කොටස නම් කරලා තියෙන්නෙ උල්පතින් උල්පතට කියලා. කිසියම් නිර්මාණයක කොටසක් මුලින් දක්වලා ඒක පාදක කරගෙන ලියපු කවි තමයි ඒකෙ තියෙන්නෙ. ඒ අනුව සර්, තාගෝර්ගෙ, චාල්ස් ඩිකන්ස්ගෙ, පංචතන්ත්‍රෙ වගෙම සමන් සිත්තරාගෙ කාව්‍යෝක්ති හරි ප්‍රකාශ හරි උල්පත කරගෙන කවි ලියලා තියෙනවා. මට මතක හැටියට තාගෝර් චින්තා පහක් ආශ්‍රයෙන් ලියපු කවි උල්පතේ තියෙනවා. මිහිදිනී ඔයාට ඒවා වැදගත් වෙන්නෙ ඒ තාගෝර් කාව්‍යෝක්ති පහම සර් අරගෙන තියෙන්නෙ ඔයාගෙ අධ්‍යයනේ ප්‍රධාන මූලාශ්‍රය වෙන ස්ටේ්‍ර බර්ඩ්ස්වලින් නිසා. දැන් මම කියන්නෙ ඒකෙන් මට වැඩියෙන් ම දැනිච්ච තාගෝර් කවියයි ඒකෙ පද්‍යමය පරිවර්තනයයි.”
The Moon has her light all over the
sky, her dark spots to heself.
සිය කිරණ පතුරුවන මුළු මහත් කුසෙහි නුබ
දයාබර සඳ දනිමි අඳුරු තැන හිඳියි ඔබ
ලොවක් එළි වන අතර ඔබගේ ම එළිය ලැබ
අපරිමිත සෙනෙහසින් පිරී යයි මහද ගැබ
දයාබර සඳ දනිමි අඳුරු තැන හිඳියි ඔබ
ලොවක් එළි වන අතර ඔබගේ ම එළිය ලැබ
අපරිමිත සෙනෙහසින් පිරී යයි මහද ගැබ
“සර් මට ගෙනිහින් බලලා ගෙනත් දෙන්න උල්පත කවි පොතකුත් ඕනෙ. මට ඒ නිර්මාණත් වැදගත් වේවි.
“හරි මම ඔයාට උල්පතක් දෙන්නම්කො තියා ගන්නම. හැබැයි දුවේ ඔයා මෙතෙන්දි අමතක කරන්න එපා ඔයාට තාගෝර් කාව්‍යෝක්ති සන්සන්දනය කරන්න තියෙන්නෙ කුඩලිගම කවියගෙ කවිත් එක්ක මිස මන් ලියපු කවිත් එක්ක නොවන බව.”
“සර්, ස්ට්රේ බර්ඩ්ස් සිංහලට පරිවර්තනය වෙලා නැද්ද? මම ගීතාංජලිය, ගෝරා, කුණාටුව, බිලිපූජා වගේ පොත්වල තාගෝර් පරිවර්තන කියවලා තියෙනවා. ඒවයෙ මුල් පොතත් කියවලා තියෙන නිසා මට හිතුණෙ මේ හැම පරිවර්තකයෙක් ම වගේ ඒවට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියලයි.”
“මොකද නැත්තෙ ස්ට්රේ බර්ඩ්ස් විතරක් නෙමෙයි තවත් පොත් දෙකකුත් ඒකට සම්බන්ධ කරළා හොඳ පරිවර්තනයක් කළා සුගුණදාස සමරසේකර මහත්තයා. ඒ Chitra, Stray Birds, Fruit Gathering කියන පොත් තුන. එතුමා ඒවා නම් කරලා තිබුණෙ චිත්‍රා , අහඹු කුරුල්ලෝ සහ පල නෙලීම කියලයි.”
“අනේ සර් ගාව නැද්ද ඒ පොත.”
“අපොයි තියෙනවා. එකක් නෙමෙයි පිටපත් තුනක් ම තියෙනවා. දෙකක් මේ වෙලාවෙ පිට. එකක් අද උදේ ප්‍රණීත් සර් අරගෙන ගියා සර්ගෙ වැඩකට. තව පොතක් අපේ ආදි ශිෂ්‍යයෙක් ළඟ. එකක් තියෙනවා ගෙදර.“
“ඇයි සර් එකම පොතෙන් පොත් තුනක් ම ගත්තෙ.”
“දැන් සර් උපාධි නිබන්ධ මාතෘකාව ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙයාගෙ මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්න වෙයි සර්ට.”
“ඉතින් අනේ මන් ඒක නිකන් දැනගන්නනෙ ඇහැව්වෙ අපේ සර්ගෙන්.”
”ගඟුල්, ඒක ඉතින් අපේ මේ කෙල්ලගෙ කැමැත්තනෙ. ඔය පොත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වෙන්නෙ 1988 දි. ඒ කාලෙදිම එක පොතක් මම පොත් සාප්පුවකින් ගත්තා. අනිත් පොත් දෙක ලැබිච්ච විදිහත් එක්ක ටිකක් දුක හිතෙන කතාවක් තියෙනවා. මට දෙවෙනි පොත හම්බ වෙන්නෙ මුද්‍රණාලයක වැඩ කරපු අය්යා කෙනෙක්ගෙන්. එයා පොතපත කියවන්න පුරුදු වෙච්ච කෙනෙක් නෙමෙයි. වැඩ කළේ අච්චු කන්තෝරුවක. එහෙම තැනක වැඩ කළාට ඒ අච්චු කන්තෝරුවෙන් ගහන පොතක්වත් කියවන පුරුද්දක් මට නැහැ කියලයි ඒ අය්යා කිව්වෙ. ඒ උනාට ඒ අය්යගෙ පුරුද්දක් තිබුණා මේ පොත වැදගත් වේවි කියලා හිතන අයට ඒකෙන් පිටපතක් තෑගි කරන එක. ඒකෙන් එයා ලොකු සතුටක් ලැබුවා.”
“සර් එතකොට දුක හිතෙන කතාවකුත් මේකෙ තියෙනවා කිව්වෙ.”
“අපිට එහෙම පොත් ගෙනත් දුන්න ඒ නන්දසේන අය්යා දැන් ජීවතුන් අතර නෑ දුව. ඒ වගෙම දරුවො තුන්වෙනි වතාවටත් මට තෑග්ගක් විදිහට දුන්න මිත්‍රයත් දැන් ජීවතුන් අතර නැහැ. ඒ තමයි සුගුණපාල සමරසේකර මහත්තයගෙ පුතා ප්‍රසාද් සමරසේකර. මන් ප්‍රසාද්ව අඳුන ගත්තෙ අපේ මිත්‍රයන් දෙන්නෙක් පරිවර්තනය කරපු ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ පොත් දෙකක වැඩවලට ගිහිල්ලයි. මොකද ඒ වෙන කොට ප්‍රසාද් ප්‍රකාශන ආයතනයක් හදාගෙන තමන්ට ම හොඳයි කියලා දැනෙන පොත් ප්‍රකාශයට පත් කිරීමේ මෙහෙවරේ නිරත වෙලයි හිටියෙ. ප්‍රසාද්ගෙ ජීවිතේ අන්තිම කාලෙදියි මට ප්‍රසාද්ව හම්බ වෙන්නෙ. ඒ වෙන කොට එයා පිළිකා රෝගියෙක්. හැබැයි ප්‍රසාද් කියන්නෙ මැරෙන බව දැනගෙන ජීවත් වෙච්ච ප්‍රඥාවන්තයෙක් ය කියන කාරණේ ඒ ටික කාලෙට මම තේරුම් ගත්තා.”
“සර්, සමන් සිත්තරාත් තාගෝර් සාහිත්‍යය ගැන විශේෂ උනන්දුවක් දක්වපු කෙනෙක් නේද?”
“ඔව් මිහිදිනී, ඒ සාහිත්‍යය ගැන මට හැඟීමක් උනන්දුවක් ඇති උනේ අය්යා නිසා. ඒ ගොල්ලන්ගෙ විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි දෙවෙනි අවුරුදු දෙක ගත වෙන්නෙ හොරණ ශ්‍රීපාලියෙ. ඔය කාලෙ දි අය්යා හරියට තාගෝර්තුමා ගැන වගෙම ශ්‍රීපාලියෙ නිර්මාතෘ වෙච්ච විල්මට් පෙරේරා මහත්තයා ගැනත් ගොඩක් විස්තර එකතු කළා. මන් ඔයාට පෙන්නන්නං දුව අය්යා ඇඳලා තියෙන ඒ දෙන්නගෙම උඩු කය චිත්‍ර දෙකත්. තාගෝර්තුමාගෙ ශාන්ති නිකේතතනයට භෞතික ව කවදාවත් ගිහින් නැති අය්යා ඒක ගැන කියපු දේවල් තමයි අපේ හිත්වල ලොකු චිත්‍රයක් ඇන්දෙ ඒ අධ්‍යාපන නිකේතනය ගැනත් තාගෝර් සාහිත්‍යය ගැනත්.”
“සර්, අපේ හිත්වල කියලා කිව්වෙ සමන් සිත්තරා නිසා තවත් හිත්වල තාගෝර් චිත්‍ර ඇඳුණා කියන එක ද?”
“ඔව් දුව, මගේ හිතේ තාගෝර් සාහිත්‍යය ගැන උනන්දුවක් ඇති වෙලා මන් ඒ ගැන හොයන්න කියවන්න ගත්තා වගේ චිත්‍ර වේවා, සංගීතය වේවා, නැටුම් වේවා කරපු අය්යලෙ සමකාලීන මිතුරු මිතුරියන් තුළත් ඒ උනන්දුව ඇති උනා. ඒ විතරක් නෙමෙයි ඒක පස්සෙ පරම්පරාවටත් බෝ උනා. අය්යගෙ ඇසුර ලැබීම තමන්ගෙ ජීවිතේ ලබපු ලොකුම භාග්‍යයක් විදිහට සලකපු අපේ ශිෂ්‍ය ප්‍රජාවෙ මුල් ම චරිත නියෝජනය කරන ධම්මිස්සර හාමුදුරුවො නැවතුණේ ඉන්දියාවෙ ශාන්ති නිකේතනයට ගිහින් එහෙ දි තමන්ගෙ ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරලයි.”
“එහෙනං එනව ද කට්ටිය ම කෑමට. දැන් දෙකටත් කිට්ටු යි.”
ඒ ඇරයුම ලැබුණේ එතැනට ආ ආචාර්ය පතිනියගෙනි.
“මැඩම්, අපේ මේ මිහිදිනී අහනවා කෑමට එන්න කියලා වතුර අල්ලන සිරිතක් මෙහෙ නැද්ද කියලා.”
“අනේ මෙයාගෙ බොරු මැඩම් මන්නං එහෙම ඇහැව්වෙ නැහැ.”
“යන් යන් ඔක්කොම යන්. අද ඔයගොල්ල ආපු අද දවස කියන්නෙ අපිට විශේෂ දවසක්. අපි කොහොමටත් කැමතියි මෙහෙට එන කාට උනත් අපට තියෙන විදිහට සංග්‍රහ කරන්න. ඒත් අපට අද විශේෂ වෙන්නෙ සමන් අය්ය වගේ උත්තම මනුෂ්‍යයෙක්ගෙ උපන් දිනය අද වෙච්ච නිසා. අද මම ඔය දෙන්නට කවි තෑග්ගක් දෙනවා. ඒ අපේ දුව එයා භෞතික ව විතරක් නොදැකපු එයාගේ ආදරණීය මහප්පා ගැන අද උදේ ලියපු කවියක්.”
“අනේ මැඩම්, ඒ කවි තෑග්ග මට දැන් දෙන්න බැරි ද?”
“මොකෝ බැරි ඉන්න මන් ඒකෙ ප්‍රින්ට් අවුට් දෙකක් අරගෙන එන්නම්.”
එසේ පවසා එතැනින් නික්ම ගිය ආචාර්ය පතිනිය ටික වෙලාවකින් පසු පැමිණියේ එකව මුද්‍රිත ඒ ෆෝ කොළ දෙකක් අතැති ව ය. ඉන් එකක් ඇය ගඟුල්ටත් අනෙක මිහිදිනීටත් පිරිනැමුවා ය. දෙදෙනා ම ඒ පිළිගත්තේ දෝතිනි; ගෞරවපූර්වක හදවතිනි. අනතුරුව දෙදෙනා ම පළමු ව කෙළේ එය කියැවීම ය.
“හරිම ලස්සනයි මැඩම්, මේකෙ අපි දැක්කෙ නැති ඒ සර් ඉන්නවා.”
“මට කියන්න තියෙන්නෙ මම දැක්ක සමන් අය්යා නොදැක්ක අයට දකින්නත්, දැක්ක අයට පහන් සංවේගය ඇති කරගන්නත් හේතු වෙන නිර්මාණයක් මේ. මැඩම්, මට මේක කාටත් ඇහෙන්න සැරයක් කියවන්න හිතෙනවා.
“හිතිච්ච දේ ක්‍රියාවක් කරන්න මිහිදිනී, ඒ අය්යා ගැන කතා කරන එකත් පිනක්.”
ගඟුල් වදනට අනුගත ව මිහිදිනියගේ මිහිරි කටහඬින් ගැයෙන සමරු කවිය ය ඔවුනට අනතුරුව අසන්නට ලැබුණේ.
ඔබ නුදුටු ඇස්වලට දැන් ඔබව දකින්නට ඔබේ සිත්තම් ගෙදර තියෙනවා
නතර වී බලන හැම වාරයක එසිත්තම් පෙර නොදුටු අමුත්තක් මවනවා
අහිමි වූ සංවාද දහස් ගණනක් සිහි ව රිදෙන හද ඉන් සුඟක් නිවෙනවා
ගෙදර විතරක් නෙමෙයි විශ්වයේ හැම තැනම සිත්තමක් සේ ම ඔබ ඉන්නවා
ගණ අඳුරු තක්සලා දසදහස් දල්වන්න ඔබේ වදනක එළිය තියෙනවා
කුඩා ඉටිපන්දම්වැ මඳක් හෝ ඒ එළිය ගෙන යන්න ළයට බර දැනෙනවා
හරිතවත් තුරු වගේ දැනෙන සුපහන් පහන් සිසු රුවින් අප අවට නැගෙනවා
ඔබෙන් නොනිවී ගලන තාරකාලෝකයෙන් ඒ පහන් අදත් එළි ලබනවා
“ආයෙ කියන්න දෙයක් නෑ සර් - මැඩම්, නංගි සර්ලගෙ අය්යා ගැන කියන්න ම ඕන දේ, සමාජෙට යන්න ම ඕනෙ දේ, සමන් අය්යගෙ චිත්‍ර ගැන කියන්න ම ඕන දේ මේ කවියට අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපට අපේ ගුරු මෙහෙවර මතක් කරලා දෙන ගමන්ම තමන් ඒ මෙහෙවරේ තමන්ගෙ උපරිමෙන් නිරත වෙනවා කියන පණිවිඩයත් මේකෙ තියෙනවා. මන් අහන්නත් හිටියෙ අදත් නංගි වැඩට ගිහින් ද? මන් දන්න තරමින් නං දැන් බෞද්ධ පාළියෙ විභාගත් ඉවරයි.”
“ඒ උනාට දෙන්න ම අදත් එහෙ ගියා.”
“මිහිදිනී, මේ කවිය ගායනා කළෙත් බොහොම හැඟීමෙන්. අදත් දුවයි පුතයි දෙන්නම ගියා බෞද්ධ පාළියට. මේ කවියෙ ඒක ලියපු දුව විතරක් නෙමෙයි ඒ පුතත් ඉන්නවා. එයා නිතර කියන දෙයක් තමයි එයාටත් දකින්න ඉඩ නොලැබිච්ච මහප්පගෙ චිත්‍රවල හැමදාම අලුත් දෙයක් දකිනවා කියන එක.”
“මැඩම්, මම දවසක එන්න ද අය්යයි අක්කයි දෙන්නම ගෙදර ඉන්න දවසක මේ චිත්‍ර බලන්නම විතරක්.”
“ඇයි ඔයා විතරක් මමත් එනවා.”
“ඔව් ඉතින් මන් එන්නෙ ඔයත් එක්ක තමයි. ඒ උනාට ඔයා මීට කලින් මේ චිත්‍ර දැකලා තියෙවනෙ.”
“ඒ දැක්කට මට කියන්න තියෙන්නෙ ඒ චිත්‍ර ගැන නංගිගෙ මහත්තයා - අපේ හෂාන් කියපු දේම තමයි. අර සර් අපට කියලා දුන්න මාඝ කවියගෙ මොහොතක් මොහොතක් පාසා යම් අලුත් බවක් ඇති වෙනව ද ඒක තමයි රමණීයත්වයේ ස්වරූපය කියන එක සමන් අය්යගෙ චිත්‍ර සම්බන්ධයෙනුත් හරියට ම හරි.”
“ඉතින් අනේ ඔයා විතරක් දැනගෙන ඉඳලා හරියනව ද මටත් දැන ගන්න කියන්ඩකො ඒ සංස්කෘත පාඨයත්.”
“මන් ගොඩක් තැන්වල දි මතක් කරන එකක් ඒ. සමහර විට මට ඔයාට කියන්න අමතක වෙන්න ඇති.”
“ක්ෂණේ ක්ෂණේ යන්නවතාමුපෛති තදේව රූපං රමණීයතායාඃ මට මිහිදිනී ඔයා සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙත් ...”
ගඟුල් කියන්නට ගිය දෙය නොකියා නතර වූයේ තමා දැන් සිටින්නේ ගුරු ගෙදර බව සිහිපත් වූ බැවිනි. එහෙත් තමා ප්‍රමාද වැඩි බව ඔහුට වැටහුණේ සිය ආචාර්යවරයා සිනාසෙමින් කියූ දෙයත් ආචාර්ය පත්නියගේ සිනාමුසු බැල්මත් තමා වෙත එල්ල ව තිබූ නිසා ය.
“ගඟුල්ට මතක ද ශාකුන්තලේ දුෂ්‍යන්ත රජතුමා ඇගේ යෙහෙළියන් දෙන්නගෙන් අහනවනෙ ඔබේ මේ යෙහෙළිය ගැන තොරතුරු දැනගන්න කැමතියි කියලා. එතකොට ඒ ගොල්ලො කියනවනෙ මෙයා මේනකා කියන අප්සරාවගෙ දුව ය, විශ්වාමිත්‍ර ඍෂිවරයා ඇය දැකලා ආදරයෙන් උමතු උනා කියලා. ඊට පස්සෙ මොකක් ද ගඟුල් ශාකුන්තලේ තියෙන්නෙ.”
“ඊට පස්සෙ මොකද උනේ කියන එක කියාගන්න බැරුව අනසූයයි ප්‍රියංවදයි ඇඹරෙන කොට රජතුමා කියනවනේ කියන්න උවමනා නෑ පස්සෙ මොකක් ද උනේ කියලා මට පැහැදිලි යි කියලා.”
“අන්න හරි මටත් ඔයා කියන්න ගිහින් නතර කරපු දේ ගැන කියන්න තියෙන්නෙ, කියන්න අවශ්‍ය නැහැ නැහැ කියන අර්ථෙ දෙන පරස්තාදවගම්‍යත ඒව කියන දුෂ්‍යන්තගෙ වචන ටික තමයි.”
“ඒ සිද්ධියට සමාන නැති උනාට ඔයා කියන්න ගිහිල්ලා නතර කරපු දේත් එක්ක සර්ගෙ වචන හරියට ම ගැළපෙනවා කියලා තමයි මටත් හිතෙන්නෙ.”
ආචාර්ය පතිනිය එසේ කියා විලිබර ව සිටි මිහිදිනියගේ අතින් අල්ලා ගෙන ගියේ ආහාර සූදානම් කොට තිබූ තැනට ය. කෑම මේසය දුටු මිහිදිනී මුවින් පිටවූයේ පහත සඳහන් වචන යි.
“අනේ මැඩම්ලා ගොඩක් මහන්සි වෙලානෙ.”
“දුව, ඒ සම්මානෙ අයිති මට නෙමෙයි ඔයගොල්ලන්ගෙ මේ සුදු නැන්දටයි රාණි නැන්දටයි. ඒ දෙන්න තමයි කවුරු ආවත් මේ සංග්‍රහ කටයුතු කරන්න මුල් වෙන්නෙ, මහන්සි වෙන්නෙ.”
දිවාහාරයෙන් පසු මිහිදිනීට ආචාර්ය පත්නිය සමග තවදුරටත් සිය පර්යේෂණ නිබන්ධ මාතෘකාව ගැන සාකච්ඡා කිරීමටත් අවසානයේ දී පරිච්ඡේද සැලැස්ම සකස් කොට ගැනීමටත් අවස්ථාව ලැබිණ. ඒ අනුව මාතෘකානුගත ව සැකසුණේ පහත සඳහන් සැලැස්ම යි.
රබීන්ද්‍රනාත් තාගෝර් සහ එච්. ඇම්. කුඩලිගම නිර්මාණවලින් විශද වන මානව ප්‍රේමය, පරිසර ප්‍රේමය සහ සෞන්දර්යය
ප්‍රථම පරිච්ඡේදය හැඳින්වීම
1.1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතය සහ ඔහුගේ නිර්මාණ
1.2 එච්. ඇම්. කුඩලිගමගේ ජීවිතය සහ ඔහුගේ නිර්මාණ
ද්විතීය පරිච්ඡේදය
2. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ස්ටේ්‍ර බර්ඩ්ස් කෘතියෙන් විශද වන මානව ප්‍රේමයේ සෞන්දර්යය
2. 2 එච්. ඇම්. කුඩලිගමගේ ඈ සහ කුණාටුවෙන් විශද වන මානව ප්‍රේමයේ සෞන්දර්යය
තෘතීය පරිච්ඡේදය
3. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ස්ටේ්‍ර බර්ඩ්ස් කෘතියෙන් විශද වන පරිසර ප්‍රේමයේ සෞන්දර්යය
3. 2 එච්. ඇම්. කුඩලිගමගේ ඈ සහ කුණාටුවෙන් විශද වන පරිසර ප්‍රේමයේ සෞන්දර්යය
චතුර්ථ පරිච්ඡේදය
4. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ රචනා ශෛලියේ විශේෂතා
4. 2 එච්. ඇම්. කුඩලිගමගේ රචනා ශෛලියේ විශේෂතා
5 පඤ්චම පරිච්ඡේදය
සමාලෝචනය
“දැන් ඉතින් ඔයා දුව ඔයාලගෙ සර් එක්ක කතා කරලා අවශ්‍ය වෙනස්කම් කරගෙන වැඩේට බහින්න.”
“අනේ බොහොම ස්තුතියි, බොහොම පින් මැඩම් මට උදව් කළාට.”
“නෑ ඒක අපේ වගකීමක්නෙ ළමයො. එහෙනං ඉතිරි වැඩවල යෙදෙන්නකො.”
සහන් පරිච්ඡේද සැලැස්ම කීප වරක් කියවා පැවසුවේ පහත සඳහන් වචන යි.
“මිහිදිනී, මේ සැලැස්ම ඔස්සේ ඔයාගෙන් අන්තිමට බිහි වෙන්න ඕනෙ කරන්නෙ පාඨකයන්ගෙ පැත්තෙන් බැලුවහම හොඳ කියවීමක්. මුලින් ම මේකෙ තියෙන හරය නොමැරෙන විදිහට මේක ඉංග්‍රීසියට දාන්න. මොකද ඔයාගෙ විෂය වෙන්නෙ ඉංග්‍රීසිනෙ. ඒ වගෙම මේ වෙලාවෙ මන් ඔයාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා උපාධි ප්‍රතිඵල ආවට පස්සෙ ඔයා දුව මේක සිංහලයට පරිවර්තනය කරලා පොතක් හැටියට සමාජගත කරන්නත් ඕනෙ. ඒ වගෙම අපි බලමු මේ ඔරිජිනල් එකත් සමාජගත කරන ක්‍රමයක්. මොකද මේ ආදරණීය නිර්මාණකරුවන් ගැන, ඔවුන්ගෙ නිර්මාණ ගැන දැන ගන්න පාඨකයන්ට තියෙන අයිතියට භාෂාවක් බාධා වෙන්න බැහැ. ඒ බාධකෙ ජයගෙන ඉන්න දුවගෙ වගකීමක් නෙමෙයි වගවීමක් මේවා ලෝකයට ගෙනියන එක.”
“සර්, මම බොහොම ගෞරවයෙන්, හිස් මුදුනින් ම සර්ගෙ ඉල්ලීම බාරගන්නවා. මන් හිතනවා මේකෙ සිංහල පරිවර්තනය කරන්න තව කෙනෙක් මට උදව් කරයි කියලා.”
මෙසේ කියා මිහිදිනී ආදරයෙන් බැලුවේ ගඟුල් දෙස ය. අනතුරුව ඇය යළිත් කතා කළා ය.
“සර්, දැන් මේකෙ වෙන්න තියෙන පොඩි හරි සංශෝධනයක් තියෙනවා නං මට කියනව ද? එතකොට මට හෙට අපේ ඉන්දිරා මැඩම් හම්බ වෙලා මැඩම්ගෙන් ලැබෙන වචනෙත් එක්ක වැඩේට බහින්න පුළුවන්.”
“මේ සැලැස්ම හොඳයි දුව. දැන් ඔයා මේකෙ පළවෙනි පරිච්ඡේදෙ මුල් කොටසෙදි තාගෝර්ගෙ ජීවන තොරතුරු ගැන, බලන අයට චිත්‍රයක් මැවෙන විදිහෙ සටහනක් ලියන්න. ඊට පස්සෙ තාගෝර් නිර්මාණ ගැන ලියන්න. ඒ මුල් කොටසෙ අවසානෙට ස්ට්රේ බර්ඩ්ස් ගැන ප්‍රමාණවත් සඳහනක් කරන්න. ඒ ආකෘතිය ම පාවිච්චි කරමින් කුඩලිගම ගැනත් ලියන්න.”
“සර් ඔහොම කියන කොට මට තව උපශීර්ෂත් එනවා හිතට. ඒ කියන්නෙ සර් 1.1, 1.2, 1.3 විදිහට තව උපශීර්ෂත් දාලා හයක් විතර ආවට කමක් නැද්ද?”
“ඉතින් ඒක හොඳයිනෙ. දැන් මට කියන්න ඔයාගෙ හිතට ආපු උපශීර්ෂ හය.”
“සර්, මම හිතුවෙ 1.1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතය 1.2 ඔහුගේ නිර්මාණ 1.3 ස්ට්රේ බර්ඩ්ස් අන්තර්ගතය කියලා අරගෙන 1.4 එච්. ඇම් කුඩලිගමගේ ජීවිතය 1.5 ඔහුගේ නිර්මාණ 1.6 ඈ සහ කුණාටුවේ අන්තර්ගතය කියලා ගන්න.”
“කොච්චර හොඳ ද ඔයා හිතලා තියෙන විදිහ.”
“දැක්ක ද සර් මට දෙන ක්‍රෙඩිට් එක. සර්, මෙයාට කියන්න මට හොඳට සලකන්න කියලා.”
“මන් ඒක අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැ දරුවො. ඔයාට ලැබිලා තියෙන්නෙ මරණය තෙක් ගත වෙන අපේ මේ කෙටිකාලීන ජීවිතේ ලැබෙන්න ම ඕන කෙනා. ඔයාට සලකන ම කෙනා. ඒ වගෙම ගඟුල්, පුතා උඹේ මේ තේරීම හරියට ම හරි. මට දැන් තමයි තේරෙන්නෙ ශිෂ්‍ය ජීවිතේ දි මේ හාදයා තමන්ට එන ප්‍රේමාරාධනා බාරගන්නැතුව හිටියෙ එකේ තේරුම.”
සහන් මෙවදන් ප්‍රකාශ කෙළේ ගඟුල් දෙස බලා දෙදෙනා වෙත ම ස්නේහපූර්වක බැල්මක් හෙළමිනි.
“මම සර්, මෙහෙ මැඩම්ගෙනුත් අහලා දෙවෙනි පරිච්ඡේදෙත් උපශීර්ෂත් වැඩි කර ගන්න පුළුවන් ද කියලා බලන්නම්. ඒ වගෙම අපිට බැරි ද සර් මානව ප්‍රේමයේ සෞන්දර්යය ගැන කතා කරද්දි කාන්තා භූමිකා ගැනත් කතා කරන්න.”
“අනිවාරෙන් ම දුව, ඔයා ඒක කරන්න ම ඕන දෙයක්. මේ දෙන්නගෙම නිර්මාණ හුයක් වගෙ සම්බන්ධ කරන විශේෂ තැන තමයි ගැහැණිය. ඔයා අධ්‍යයනය කරන පොත්වලදි ඔයාට වරින් වර මුණ ගැසේවි ඇය. මේ පොත්වලට අමතර ව සුදුසු ම අයත් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් දෙකක් තියෙන එකත් හොඳයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නිර්මාණකරුවන් දිහා, ඔවුන්ගෙ නිර්මාණ වගෙම ඔවුන් කතා කරපු ගැහැනිය දිහා නිවැරදි දෘෂ්ටි කෝණයකින් කතා කරන්න පුළුවන් අපේ යුගයෙ අපට ඉස්සරහින් හිටිය වැඩිහිටි ස්ත්‍රී රත්නයක්.”
“අනේ සර් කවුද ඒ. මමත් කැමතියි එහෙම චරිතයක් මගෙ උපාධි පොතේ කොටසක් වෙනවට. මට ඉන්න තැන කියන්න සර්. සර්රුයි මාව එව්වෙ කියන එක කියලා මම ඒ මැඩම්ව හමු වෙන්නම්.”
“ඒ මැඩම් ව හමු වෙන්න මන් කිව්වා කියන එක නං අවශ්‍ය වෙන්නෙ නැහැ එතුමිය හිටියනං. ඒ ඉන්නවනං මේකට කැමති වෙලා ඔයාට වෙලාව දෙන නිසා. ඒ කියන්නෙ එතුමිය ඒ තරම් ම ආදරණීය ගුරු මවක් නිසා.”
“ඒ කිව්වෙ සර්, ඒ මැඩම් මේ දවස්වල ලංකාවෙ නැද්ද?”
“ලංකාවෙ නෙමෙයි දුව, ලෝකයෙ කොයි තැනකවත් නැහැ එක තැනක ඇර.”
“සර් මේ කියන්නෙ අමුතු කතාවක්. ලංකාවෙත් නැත්තං ලෝකෙ කොතැනවත් නැත්තං ඒ මැඩම් ඉන්නෙ කොහෙද සර් දැන්.”
“අපේ හදවත්වල දුව, අපේ හදවත්වල.”
“මන් දන්නවා සර් කියන්නෙ කා ගැන ද කියලා. අපේ මිහිදිනීට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ මැඩම්ව දකින්න. ඒත් එයා මැඩම් ගැන අහලා තියෙනවා. මැඩම් ලියපු දේවල් කියවලා තියෙනවා. අපේ සර් මේ කියන්නෙ මිහිදිනී වෙන කාගෙවත් ගැන නෙමෙයි. මේ ළඟදි අපට විතරක් නෙමෙයි රටට ලෝකෙට අහිමි වෙච්ච ඇඳගම මැඩම් ගැන. සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම කියන අපිට උගන්නපු අපේ ගුරුවරුන්ටත් ගුරු වෙච්ච උත්තම ස්ත්‍රී රත්නය ගැන.”
“මන් මේ ආවෙ ඔයගොල්ල අපේ ඇඳගම මැඩම්ගෙ නම කියනවා ඇහිලයි. දුවේ ඇඳගම මැඩම් කියන්නෙ ඉතිහාස පොතකට. ඉතිහාස භාෂවෙන් කියනවනං මැඩම් අපට මහවංසයක්.”
“අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට එනකොටත් ඇඳගම මැඩම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. හැබැයි ශිෂ්‍යයන් දැකලා නතර වෙලා වචනයක් දෙකක් කතා කරලා යන්න එතුමිය අමතක කළේ නැහැ. කෙනෙකුට පුළුවන් දරුවනේ අවුරුදු ගත වෙන කොට වෘත්තීය වශයෙන් ජ්‍යෙෂ්ඨ වෙන්න. ඒත් ශ්‍රේෂ්ඨ නාමය දිනා ගන්න අමාරුනෙ. ඇඳගම මැඩම් කියන්නෙ ජ්‍යෙෂ්ඨ වගේ ම ශ්‍රේෂ්ඨ කථිකාචාර්යවරියක්.”
ඒ එකතු කිරිම කළේ සහන් ආචාර්යවරයා ය.
“අපි දැන් කෑම ගනිමු, මැඩම් ගැන කතා කරමු. අර විදුහල්පතිනියක් විදිහට ලොකු සේවයක් කරපු කුලතුංග නෝනා කිව්වා වගෙ ලැබෙන හැම මොහොතක ම යහපත් කෙනෙක් ගැන කතා කරන එකත් පිනක් කියනවනෙ.”
ඒ ප්‍රකාශය කෙළේ ද සහන් ආචාර්යවරයා ය.
“සර් කියන එක ඇත්තම ඇත්ත දරුවනේ. මමත් එතුමිය දකින්නෙ, අඳුනාගන්නෙ සරසවි ශිෂ්‍යාවක් විදිහට. සෑහෙන කාලයක් ප්‍රධාන නේවාසිකාගාර පාලිකාව වෙලා හිටියා ඇඳගම මැඩම්. ඒ තමන්ගෙ දරුවන්ගෙ බඩගින්න වගේ සිසු දරුවන්ගෙ බඩගින්න දැනිච්ච ගුරු අම්මා කෙනෙක්. ඒ වගෙම මම ආචාර්ය මණ්ඩල සාමාජිකාවක් වෙලා නේවාසිකාගාර උපපාලිකාවක් විදිහට වැඩ කරන කොට තවත් හොඳට අඳුනගත්තා එතුමියගෙ මවුහත් ගුණය.”
“මැඩම්, ඇඳගම මැඩම් මොනව ද දරපු තනතුරු.”
“එතුමිය අවශ්‍යම කාලෙ දි ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශෙ අංශප්‍රධානවරිය විදිහට වැඩ කළා. ඒ අතරෙ උගන්නන එක අතපසු කළෙත් නැහැ. අද වෙන කොට ඒ අධ්‍යයනාංශෙ ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු කථිකාචාර්යවරු වැඩිම පිරිසක් එතුමියගෙන් ඉගෙන ගත්ත අය.”
“ඔයගොල්ලන්ගෙ මේ මැඩම් එතුමිය දරපු තනතුරු ගැන එහෙම කියන කොට එතුමිය නොදරපු තනතුරකට සම්බන්ධ කතාවක් මට මතක් වෙනවා. එතකොට මම අපේ අධ්‍යයනාංශෙ බාහිර කථිකාචාර්යවරයෙක්. ඒ කාලෙ අංශ ප්‍රධාන විදිහට වැඩ කළේ මේ ළඟදි අපට අහිමි වෙච්ච පලිහවඩන සර්. සර් මට අලුතින් බාර දුන්න විෂයකට අදාළ කාරණා ගැන උපදෙස් දිදී ඉන්න වෙලාවක ඇඳගම මැඩ ම්ආවා අපේ සර්ව හම්බ වෙන්න. මන් එතනින් නැගිටලා යන්න හදන කොට මැඩම් කිව්වෙ මන් ආවෙ සර්ට සුබ පතලා යන්නයි ඔය වැඩවලට බාධා නොකර මන් ඉක්මනට යන නිසා ඔයා ඔහොම ඉන්න කියලා කිව්වා.”
“අපි ඉඳගෙන ම කතා කරමු ප්‍රොපෙසර් ඇඳගම කියලා සර් කිව්වහම මැඩම් මන් ළඟ තිබිච්ච අනික් පුටුවෙ ඉඳගෙන ඒ වෙලාවෙ එතුමිය ආපු නිසා එතන හිටගෙන හිටපු මාව අනික් පුටුවෙ වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ සර්ට කිව්වා. සර් මම දැනගත්තා සර් මේ සැරේ පීඨාධිපතිකමට ඉල්ලනවා කියලා මන් ඒක දැන ගත්තෙ පස්සෙ. මම ඒක නොදැනයි මමත් පීඨාධිපති ධුරයට ඉල්ලන්න හිතුවෙ. සර් දැන් මම කොහොමටවත් ඉල්ලන්නෙ නැහැ කියලා ඉඳගෙන ආපු පුටුවෙන් නැගිටලා සර්ට ආචාර කරලා සර්ට සුබ පතලා ගියා. මට මතකයි සර් ඒක පිළිගත්තෙ සර්ලගෙන් මැඩම්ලගෙන්මයි ඉගෙන ගත්තෙ විශ්වවිද්‍යාලෙක ජ්‍යෙෂ්ඨයන් හැසිරෙන්න ඕනෙ කොහොම ද කියන එක. අන්‍යොන්‍ය ගෞරවය දක්වන්නෙ කොහොම ද කියන එක.”
“ඒ විතරක් නෙමෙයි දරුවනේ මැඩම් ආචාර්ය මණ්ඩලේ සභාපති හරි ලේකම් හරි විදිහට කලක් වැඩ කළා. ඒ කාලෙ තමයි අපේ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලේ ගොඩක් දෙනාට එතුමියගෙ ප්‍රඥාවන්තකම නිර්භීතකම වගෙම කරුණාවන්තකම දැක ගන්න විඳගන්න ලැබුණේ. අපි සමහර විට ඇතැම් වැඩකට යන්නෙ ඒකෙ කෙයෙන වැදගත්කම නිස විතරක් නෙමෙයි ඒ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න අයගෙ තියෙන කැඳවන ගුණයත් නිසා. මහවංස කර්තෘ මණ්ඩලේ කාලයක් වැඩ කරපු ඔයගොල්ලන්ගෙ මේ සර් වෙනත් වැඩ යොදාගෙන තිබුණ දවසක උනත් අද නං යන්නම වෙනවා. මොකද ඊයෙ රෑ අපේ ඇඳගම මැඩම් ටෙලිෆෝන් කරලත් ඇහැව්වනෙ ඔයා හෙට එනවා නේද කියලා? පහුවදා මෙයා ඒ රැස්වීමට ගියේ අපිට ආයතනික වශයෙන් කරන නියෝගයක් නොතකා හරින්න පුළුවන් ඒත් අපි ආදරය කරන ගෞරව කරන කෙනෙක්ගෙ ඉල්ලීමක් නොතකා හරින්න බැහැ කියලා.”
“ඒ වගෙම දුවේ මම මට විභාග දෙපාර්තමේන්තුවෙ වැඩවලට සම්බන්ධ වෙලා ඉඳිද්දිත් අපේ ඇඳගම මැඩම් වැඩ කරපු විදිහ දැක්කා. මට මතකයි ඉතිහාසය විෂයට ජාතිත මට්ටමෙන් වෙන නොතකා හැරීම්වලට විරුද්ධ ව කතා කරපු ප්‍රබල කාන්තා හඩවල් දෙකක් තිබුණා. එක්කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ ඉතිහාසෙ උගන්නපු ඉන්ද්‍රාණි මුණසිංහ මහාචාර්යතුමිය. අනික් කෙනා අපේ මේ ඇඳගම මැඩම්.”
“ඒ වගෙම අපේ ඇඳගම මැඩම් කියන්නෙ ආදරණීය බිරිඳක්. ඒ සහතිකය ප්‍රසිද්ධියේ ම දුන්නෙ අද අපි අතර නැති එතුමියගෙ ආදරණීය ස්වාමිපුරුෂයා වෙච්ච මානවවිද්‍යාඥ පණ්ඩුල ඇඳගම. ඒ වගෙම දුවලම හතර දෙනෙකුට ඒ බෑණාවරුන්ට වෙනසක් නැතුව ආදරණීය අම්මා කෙනෙක් වෙන්න මැඩම්ට පුළුවන්කම තිබුණා. ඒ මුනුපුරන්ට මිනිපිරියන්ට අඩුවක් නැතුව සෙනෙහස දෙන මිත්තනියගෙ භූමිකාවෙ ඉන්නත් ඇයට පුළුවන්කම තිබුණා අප්‍රමාණ වැඩ තියෙන අතරෙම.”
“සර් මැඩම් විෂයබද්ධ පොත් එහෙමත් සමාජගත කරලා තියෙනවා නේද?”
“ඔව් ගඟුල්, පොත් වගෙම ලිපි ලේඛන රාශියක් එතුමිය සම්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලෙ දර්වන්ට ඉගැන්වීම ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඉස්කෝලවලටත් ගිහින් පාසල් ගුරුවරුන්ට පාසල් දරුවන්ට අපේ ඇත්ත ඉතිහාසය කියලා දෙන්නත් එතුමියට පුළුවන්කම තිබුණා. අපේ ඉතිහාසය සංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව අපි කවුරුත් දැන ගන්න ඕනෙ කියන හැඟීම අපේ මැඩම්ට තිබුණා. අන්න ඒ ආදරණීය හැඟීම තමයි මුලින් සිහලෙන් ලියපු නූතන මහවංසය ඉංග්‍රීසියට පාළියට විතරක් නෙමෙයි දෙමළටත් දාන්න ඕනෙයි කියන කාරණය වෙනුවෙන් එතුමිය අඛණ්ඩ ව පෙනී හිටියෙ.”
“එතුමියගෙ ජීවිතය කියව ගන්න බැරි වෙච්ච අයත් හිටියා නේද සර්?”
“සමාජෙට වැඩක් ඇති වැඩක් කරන ඕනෙම කෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්නෙ ගඟුල් ඒ. ඒක අපේ මැඩම්ටත් සාධාරණයි. හැබැයි මැඩම් නොකියවපු අයට වඩා කියවපු අය වැඩියි. තේරු ම්නොගත්ත අයට වඩා තේරුම් ගත්ත අය වැඩියි. ඒක නිසානෙ ජයවර්ධනපුරේ සේවය කරපු අපේ මැඩම්ට කොළඹ පේරාදෙණිය රජරට රුහුණ ඌව වෙල්ලස්ස වගේ ගොඩක් විශ්වවිද්‍යාලවලින් ආරාධනා එන්නෙ ඒවයෙ වැඩවලට උදව් වෙන්න කියලා.”
“ඒ විතරක් නෙමෙයි කෙනෙක්ගෙ ජීවිතෙ සංවේගජනක සිද්ධි වෙන කොට මහා ශක්තියක් වෙමින් වචනයෙන් ක්‍රියාවෙන් උදව් කරන කෙනෙකුට තමයි ඇඳගම මැඩම් කියන්නෙ. ඒ අද්දැකීම තියෙන්නෙ අපි එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි.”
“ගඟුල් - මිහිදිනී, අතීතයේ එක දවසක රුවන්වැල්ල ඉස්කෝලෙන් පේරාදෙණිය විහ්වවිද්‍යාලෙට ගිය තරුණියකට පුළුවන් වෙනවා පස්සෙ කාලෙක රට ලෝකය පිළිගත්ත මහාචාර්යවරියක් වෙන්න. මනුස්සකම් දන්න, ඊළඟ පරම්පරාවක් හදන්න හිතන ආදරණීය මහාචාර්යවරියක් වෙන්න. මැඩම් ඒ දේ කළා. එතුමිය අපිට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගෙ පරම්පරාවටත් ආදර්ශ රූපයක්. දැන් ගන්න මිහිදිනී මේ ස්ට්රේ බර්ඩ්ස් පොත අතට. ඔයා ගන්න ගඟුල් ඈ පොත. දෙන්න වෙන වෙන ම තෝරන්න අපේ ඇඳගම මැඩම්ගෙ ආදරණීය ජීවිතයත් එක්ක ගළපන්න පුළුවන් නිර්මාණ දෙකක්. අපි එතනින් අදට මේ සාකච්ඡාව අවසාන කරමු.”
නිහඬතාව හා බැඳුණු විනාඩි කීපයක් ගෙවී ගියේ ය. පළමු ව ඇසුණේ මිහිදිනියගේ හඬ යි. ඇය පළමු ව තත් කවියේ තාගෝර් ප්‍රකාශනය දක්වා දෙවනු ව ඒ මොහොතේ හදට ආ පරිවර්තනය ද ඉදිරිපත් කළා ය.
Let my thoughts come to you, when I
am gone, like the afterglow of sunset at the margin of starry silence.
හිරු බැස ගිය පසු තාරකා පිරිවැරූ නිහඬතාව මැදින් විහිදෙන සන්ධ්‍යා ආලෝකය සේ මා පිළිබඳ සිතිවිලි ඔබ හදට ඒවා, මා වෙන් ව ගිය කල.
අවසන සංකථන සමාප්තිය සලකුණු කරමින් ගඟුල් විසින් පවසන ලද්දේ කුඩලිගමයන්ගේ ඈ කව් පොතෙහි එන ඉසොඳුරු කවකි.
ඈතින් ඇසට හමු වන ඉර බහින අත
පඬු පැහැ වැටී බැබළෙන කඳු වළලු මත
නුපුරුදු රැස් වැදැල්ලක් දැක රහසිගත
විමසිලිමත් වුණෙමි ඇය ඒ අසල ඇත