තෙවන දියවර
සිසු දරු
දැරියන් නික්ම ගිය පසු පාසල් භූමිය පුරා පැතිර පැවතියේ සුනිහඬතාවකි. ඒ දරු
දැරියන්ගේ සජීවි කටහඬවල් සමග මුසු වූ සක්‍රිය සුන්දරත්වය මෙන් ම සර්වශබ්දවිහීන
නිහඬ සුන්දරත්වය ද ජීවිතයට අවශ්‍ය බව ගඟුල් දැන සිටියේ ය. ඔහු මහත් අවධානයකින්
යුතු ව සිය කටයුතුවල නිරත ව සිටින විදුහල්පතිවරයා දෙසත් ලේඛන සැකසීමේ වගකීම ඉතා
ඕනෑකමින් ඉටු කරන ගුණවර්ධන මහතා දෙසත් ඒවාට පසන් වතින් සහාය වන තරුණ ලිපිකාරිණිය
දෙසත් බලා සිටියේ පහන් හදවතිනි.
නිහඬතාව නිමා
කරමින් ඇසුණේ විදුහල්පතිවරයාගේ කරුණාන්විත කටහඬ යි.
“නිම්මි මට
දෙන්න ළමයො ඔය හයේ පන්ති දෙකේ ප්‍රගති සමාලෝචන ෆයිල් දෙක.”
මෙසේ පවසා
විදුහල්පතිවරයා හැරුණේ ගුණවර්ධන මහතා දෙසට ය.
“කොහොමද ගුණේ
හතේ පන්ති දෙකේ වැඩ.”
“තව පොඩි
වෙලාවකින් ඉවර කරන්න පුළුවන් වෙයි සර්.”
“මේ දෙන්නත්
නොකා නොබී වැඩ කරන්න පුරුදු දෙන්නෙක් වගේ” ගඟුල් කියා ගත්තේ තමාට ම ය.
“ දැන්නං අපේ
ගඟුල් සර්ටත් බඩගිනි වෙලා වගේ. මන් අර දෙන්නට ග්‍රවුන්ඩ් එකට යන්න ඉස්සෙල්ලත්
කියලයි ගියේ දවල්ට කාලා ඉන්ඩ කියලා. කොහෙද ඒ දෙන්නටත් ඒ වැඩේ ඉවර කරන එක තමා ප්‍රධාන.”
ගඟුල්ගේ
සිතිවිලි කියැවූවාක් මෙන් කීවේ විදුහල්පතිවරයා ය.
“තමන්ගෙ ප්‍රධානියා
වගේ නැතෑ වැඩ කරන අයත්.”
විදුහල්පතිගේ
වචන ඇසුණු ගුණවර්ධන මහතා සිනා සී කීවේ ඒ
වචන යි.
“සර් මේ ප්‍රගති
සමාලෝචන වාර්තා කිව්වෙ....” විදුහල්පතිවරයාගෙන් එසේ විමසුවේ ගඟුල් ය.
“ගඟුල්,
අපි මේ ඉස්කෝලෙ හැම ළමයෙක් ගැනම වාර්තාවක්
තියා ගන්නවා. ඒ, මේ පන්තියෙ අර
ළමයට වඩා මේ ළමය හොඳයි කියන මානසිකත්වය ගොඩනගා ගන්නනං නෙමෙයි, ඒ වගේ ම මේ වාර්තා ප්‍රගති වාර්තා වගේ
ළමයින්ට දීල ළමයි අතර බෙදීමක් ඇති කරන්නත් නෙමෙයි. කොටින්ම ගඟුල් මන් ඉන්නෙ මේ
තරඟකාරි අධ්‍යාපන ක්‍රමයම වෙනස් වෙන්න ඕන කියන මතේ. පවතින තත්ත්ව යටතෙ මේක
සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් එහෙම හිතල අධෛර්යවත් වෙන එක
නෙමෙයි අපි කරන්න ඕන, පුළුවන්
තැනකින් වෙනස පටන් ගන්න එක.”
විදුහල්පතිතුමාගේ මේ වචනත් සමඟ ගඟුල්ගේ සිහියට නැඟුණේ ඒ ආදරණීය සහෘදයාගේ වචන යි. සෞන්දර්යයේ මෙහෙවර
පිළිබඳ ව එදා ඔහු අධ්‍යාපනවේදීන් වෙත යොමුකළ ලිපියේ වචනයක් පාසා ගඟුල්ට මතක ය. එය
සෞන්දර්යය සම්බන්ධයෙන් පමණක් නොව මුළු මහත් අධ්‍යාපන ක්‍රමය සමග ම ගළපාලිය යුතු
ආකාරයේ එකකි.
“අනාගත පරපුර
වෙත ආලෝකය ලබා දීමේ සත් කාර්යයේදී නිර්මාණශීලී නව මං සොයා ගත යුතු ව තිබේ. එවැනි
ගමනක යෙදෙන ගුරුවරුනට හා සිසුනට උපකාර කරන ලෙසටත් ඔවුන් ආරක්ෂා කරන ලෙසටත් සියලු ම
අධ්‍යාපනවේදීන්ගෙන් ඉතා ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.”
එහෙත් බොහෝ
අධ්‍යාපන බලධාරීන් කෙළේ ඒ නිර්මාණශීලී මිනිසාට උදව් කිරීම නොව ඔහුට බාධා කිරීම ය.
අදටත් ඒ අතීතය සිහිපත් කරන විට සිය සොහොයුරා පළමු ව කෝපයට පත් වෙයි. දෙවනු ව
සංවේගයට පත් වෙයි. තෙවනු ව කිසිවක් කතා නොකර එතැනින් නික්ම යයි. කෝපය සිය කලණ
මිතුරාගේ අගය වටහා නොගත් ඒ අධ්‍යාපන නිලධාරීන් කෙරෙහි ය. සංවේගයට හේතුව මනුෂ්‍ය
සමාජයට නොකල්හි අහිමි ව ගියේ කවර නම් විශිෂ්ට මිනිසෙක් ද යන්න අන් බොහෝ දෙනාට වඩා
හොඳින් ඔහු දැන සිටීම ය. නික්ම යාමට හේතුව උත්තම මිනිසකු නිසා ඇස උපදින කඳුළ
කිසිවකුට ප්‍රදර්ශනය වනු දැකීමට ඔහු තුළ ඇති අකැමැත්ත ය.
ගඟුල් බලා
සිටියේ හඳුනාගත් කෙටි කාලසීමාව තුළ නිර්මාණශීලී මිනිසකු ලෙස දැනෙන මේ
විදුහල්පතිවරයා දෙස ය.
“සර්ගෙ විෂය
මොකක් ද සර්” ගඟුල් විමසීය.
“මම ගඟුල්
උපාධියට කළේ භූගෝලවිද්‍යාව. ඔයා හිතුවෙ අධ්‍යාපන විද්‍යාව කියල ද?”
“නෑ සර් මේ අධ්‍යාපන
විද්‍යාව උපාධියට පශ්චාත් උපාධියට කරපු අයවත් නොකරන වැඩනෙ සර් මේ කරන්නෙ.”
“ඒ ගොල්ලො කරන්
නැත්තං අපිවත් කරන්න එපායැ ගඟුල්”
එම කතාවේ අරුත
අධ්‍යාපන විද්‍යාව උපාධි පාඨමාලාවක් ලෙස හදාරා පැමිණි අයවත් සිය මෙහෙවර ඉටු නොකරන
බව ද? තමා එම පාඨමාලාව හදාරන
අවදියේ එහි සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ චින්තක රණවීර නමැති තරුණ
කථිකාචාර්යවරයා ප්‍රථම දිනයේදී ම පැවසුවේ වැටුප් වැඩිකොට ගැනීමේ අරමුණින් නොව
යහපත් දැක්මක් ඇති ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නව දැනුම උකහා ගනු
පිණිස එය හදාරන ලෙස යි. ඇතැම් ගුරුවරයකුට
එම කථිකාචාර්යවරයාගේ වචන ‘බයිලා’ විය.
තවත් කෙනෙකුට ඔහු
‘පිස්සු පොරක් ’ විය. තවත් ගුරු මුවකින් පිටවුණේ මිනිහ වයසට වඩා පැහිලා”යන වචන
කිහිපය යි. එහෙත් මුල පටන් ම ඔහුගේ අදහස් අගය කළ ශිෂ්‍ය පිරිසක් ද වූහ. ගඟුල් ද
අයත් වූයේ එම පිරිසට යි. පාඨමාලාව පටන් ගෙන කෙටි කලක් ගත වන විට ඔහු මුල දී හෙළා
දුටු බොහෝ දෙනා අගය කරන්නන් බවට පත්වූහ. එයට හේතු වූයේ අන් කිසිවක් නොව එම
ආචාර්යවරයාගේ ම පැවැත්ම යි. කිසි විටෙකත් ආත්ම වර්ණනයෙහි නොයෙදුණු ඔහු සැමවිට ම
වෑයම් කෙළේ පාඨමාලාවට අදාළ ඒ ඒ දේශන පැවැත්වීම සඳහා සුදුසු ආචාර්යවරයා හෝ
ආචාර්යවරිය කවර හෝ විශ්වවිද්‍යාලයක සිටියත් ආරාධිත ආචාර්යවරුන් ලෙස ඔවුන් ගෙන්වා
ගැනීමට කටයුතු කිරීම ය. කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ කාට හෝ පැමිණීමට
නොහැකි වුවහොත් පමණක් ශිෂ්‍ය ප්‍රජාව හරවා නොයවා හදවතට ම දැනෙන සේ සුදුසු දේශනයක්
කිරීමේ හැකියාව ද චින්තක රණවීර කථිකාචාර්යවරයාට
තිබිණි.
“සර් අපේ අධ්‍යාපන
විද්‍යා පාඨමාලාවෙ සම්බන්ධීකාරක විදිහට වැඩ කළේ තරුණ සර් කෙනෙක්. කලාතුරකින් තමයි
ඒ සර් දේශනයක් කළේ. හැබැයි එහෙම ආපු හැම දවසකම අපට අරන් යන්න දෙයක් දුන්න අපේ
ඔලුවලට. මට දැන් චින්තක සර්ව මතක් උනේ සර් මේ
කරන ප්‍රගති සමාලෝචන වැඩේ නිසයි. දවසක් ඒ සර්, ක්‍රිෂ්ණමූර්ති කියන චින්තකයා ඉස්කෝලවල කරන ප්‍රගති වාර්තා ගැන කියල තියෙන,
එතෙක් අපි අහල තිබ්බෙ නැති වෙනස් කතාවක්
කිව්වා.”
“මන් කැමතියි
ගඟුල් ඒක අහන්න. මම ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ පොතක් දෙකක් නං කියවල තියෙනව. ඔයා කියන
කතාව නං අනිවාරෙන්ම මං අහපු නැති එකක් වෙන්න ඕනෙ.”
“සර් ක්‍රිෂ්ණමූර්තිතුමා
කියනව ශිෂ්‍යයන්ට ලකුණු දෙන එක ශිෂ්‍ය බුද්ධිය මනින හොඳ මිනුම් දණ්ඩක් නෙමෙයි
කියලා. ඒ වගේම එතුමා කියනව මේක නිසා වෙන්නෙ ශිෂ්‍යයන්ගෙ අභිමානය පිරිහෙන එක කියලා.
ඒත් ගුරුවරයා ශිෂ්‍ය ප්‍රගතිය ගැන වාර්තාවක් තියා ගන්න එකට එතුමා විරුද්ධ නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා
කියන්නෙ සර් මේ ප්‍රගති වාර්තාව තියා ගන්න කියල ශිෂ්‍යයන්ව හඳුනගන්න. ඒ වගේම එතුමා
කියනව ශිෂ්‍යයන්ව සන්සන්දනය කිරීමේ අපේක්ෂාවක් නැතිව තියා ගන්න ප්‍රගති
වාර්තාවකින් පුළුවන් කියලා ශිෂ්‍යයන්ට උදව් වෙන්න ඕන තැන හඳුනගන්න කියලා.”
“ඒක හරි වටින
කතාවක්නෙ ගඟුල්. මට ඕනෙත් මේ දරුවන්ට උදව් කරන්න ඕන තැන් අඳුන ගන්න. ඒකටයි මේ
ඉස්කෝලෙ හැම ළමයෙක් ගැනම මෙහෙම වාර්තාවක් තියා ගන්න හිතුවෙ. හැබැයි ඔයා කියනකං ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ
මේ තරං වටින කියමනක් නං මන් දැනං හිටියෙ නැහැ.”
“මේ කතා ගැන
දන්න ගොඩක් දෙනා තමන්ට අවස්ථාව ලැබිලත් ඒව ක්‍රියාත්මක කරන්නෙ නැහැ සර්. සර් කතාව
නොදැන ක්‍රියාව කරනව. මට හරි සතුටුයි සර් වගේ කෙනෙක් යටතෙ වැඩ කරන්න ලැබුණට.”
ගඟුල් ඒ වචන
කිහිපය කීවේ ඉමහත් හැඟීමකිනි.
“මගෙ යටතෙ
නෙමෙයි ගඟුල් අපි එකට වැඩ කරමු කියලා කියමු.”
“සර් අටේ
පන්තිවල ප්‍රගති වාර්තා දෙක හැදුවා. මන් සර් නවයෙ ෆයිල් ටික හදන්න ගන්න ද ?”
එසේ ඇසුවේ
එතැනට පැමිණි නිම්මී ය.
“අදට ඇති ළමයො.
තේ ගෙනාවට පස්සෙ තේ බීල ඔය දරුව ගෙදර යන්න. තවම දවල්ට කාලත් නැහැනෙ.”
“ඇයි සර් අර
සර් කියපු කතාව අහන්ඩ එපායැ භයානක ගුරුවරයා ගැන.”
“තුන් දෙනාම
හරිද එහෙනං, තේ එනකං මන් කියන්නං ඒක.”
විදුහල්පතිවරයා
කතාව ඇරඹියේ ය.
“ගඟුල් මගෙ
යාලුවෙක් ඉන්නව දිනිල් කියල, ගුරුජීවිතය
ගැනත් පොත් කීපයක් ම ලියපු. එයත් උපාධියට සිංහල කරපු කෙනෙක්, කොළඹ විශ්වවිද්‍යාලෙ. එයා ලංකාවෙ ඉස්කෝල
ගණනාවක උගන්නල පස්සෙ ගුරු උපදේශක කෙනෙක් උනා. සමහර විට ගඟුල්ට කියවන්න ලැබිලත් ඇති
එයාගෙ පොතක් දෙකක් වත්.”
“මන් හිතන්නෙ
සර් මේ කියන්නෙ දිනිල් ලියනගේ මහත්තය ගැන වෙන්න ඕන. එයා ගුරුජීවිතය ගැන ලියපු
‘වනමල් සුවඳ’, ‘සපත්තු පාලම’,
‘තුරුසෙවණ’ කියන පොත් මන් හරි ආසාවෙන්
කියෙව්ව. ඒව කියෙව්වම ගුරුවරයෙක් වෙලා ඈත ඉස්කෝලෙක උගන්නන්න යන්න හිතෙනවා.”
“හරි සන්තෝසයි
ඒක ඇහැව්වම. මම ගඟුල් ඔය තුරුසෙවණ එළි දකින උත්සවේටත් ගියා. ඒක තිබුණෙ තංගල්ලෙ
කොටවාය ඉස්කෝලෙ. හරි මිස්ට ගුණවර්ධන, මට හිතෙන්නෙම මන් හොය හොය හිටිය භයානක ගුරුවරයා ලැබුණ කියලම තමයි.”
විදුහල්පතිතුමා
එසේ කීවේ ගඟුල් දෙස බලා යළිත් සිනාසෙමිනි.
ගඟුල්ට තවමත්
මේ විදුහල්පතිතුමාගේ භයානක ගුරු කතාව අපභ්‍රංසයකි.
“ඉතින් සර්
කියන්ඩකො මමත් කැමතියි කවුද මේ භයානක ගුරුවරය කියල දැනගන්න.”
“දිනිල් ලංකාවෙ
ඉස්කෝල ගණනාවක උගන්නපු ගුරුවරයෙක්. එයා
ගුරු ජීවිතයෙ මිහිරි අමිහිරි අද්දැකීම් දෙක ම එක විදිහට ලබපු කෙනෙක්.
දිනිල්ට ලොකු උණක් තිබුණ ළමයින් වෙනුවෙන් වැඩ කරන්න. එයා ඒවා කළේ අනික්
ගුරුවරුන්ගෙන් කැපිල පේන්නවත් වෙනත් ප්‍රතිලාභ බලාගෙනත් නෙමෙයි. මේක තේරුම් ගත්ත
විදුහල්පතිවරු, ගුරුවරු
දිනිල්ට උදව් කළා. තේරුම් නොගත්ත ඒ වගේම තේරුම් ගන්න කිසිම ඕනකමක් නොතිබිච්ච අය
එයාට බාධා කළා. එක ඉස්කෝලෙකදි දිනිල් මූණ දීපු අද්දැකීමක් ගැන යි මන් මේ කියන්නෙ.”
විදුහල්පතිතුමා
මඳ වේලාවක් නිහඬ ව හිඳ යළි කතා කිරීමට පටන් ගත්තේ ය.
“දිනිල් එයා
හිටපු එක ඉස්කෝලෙක සාහිත්‍ය සංගමයක් පටන් ගත්තා. ඊට පස්සෙ ළමයි එක්ක බිත්ති
සඟරාවකුත් පටන් ගත්තා. සාමාන්‍යයෙන් නොලියන ළමයිනුත් මේකට ලියන්න ගත්තා. ඒ විතරක්
නෙමේ මේ වැඩේ එක හිතින් ම අනුමත කරපු ගුරුවරු ගුරුවරියො කීපදෙනෙකුත් මේ බිත්ති
සඟරාවට ලියන්න ගත්ත. වැඩේ පත්තු වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔතනින්. විශ්වවිද්‍යාලෙදි
හරි ගුරුවිද්‍යාලෙදි හරි විභාගෙ පාස් වෙන්න විතරක් ලියල පුරුදු ගුරු කණ්ඩායමට මේ වැඩේ විතරක් නෙමෙයි මේකට ලියන
ළමයිනුත් ලියන ගුරුවරුනුත් පේන්න බැරිව ගියා. ඒ ගොල්ල මොකද කළේ විදුහල්පතිතුමා ළඟට
ගිහිල්ල කිව්වා දිනිල් සර් දැන් ළමයිනුයි ගුරු කණ්ඩායමකුයි අරගෙන අමුතු නැටුමක්
නටන්නෙ, කලාපෙ කට්ටියත් අන්දල
අන්තිමේදි මිනිහ මෙතන විදුහල්පති වෙලා තමයි නවතින්නෙ කියලා.”
“ඉතින් සර් ඊට
පස්සෙ මොකද උනේ.”
දැන් කතාව අසා ගැනීමට ගඟුල්ටත් වඩා හදිසි
නිම්මිට ය.
“ඒ විදුහල්පතිතුමා
මෙතෙන්දි හරියට කලබල උනා. බයත් උනා. එදා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් ගුරු මණ්ඩලේ විශේෂ
රැස්වීමකුත් කැඳෙව්වා. අර ගුරු කල්ලිය ඇරුණම බහුතරයක් ගුරුවරුන්ට හිතා ගන්නවත්
බැරි වෙලා තියෙනවා මොකක් ද මේ එක පාරටම
කැඳවපු රැස්වීමෙ අරමුණ කියලා.”
“ඉතින් ඉතින්”
දැන් කුතුහලය
ගුණවර්ධන මහතාට ය.
“විදුහල්පතිතුමා
මුලින්ම මුළු ගුරු මණ්ඩලේම දිහාට ගැඹුරු බැල්මක් දාලා කිව්වලු මේ ඉස්කෝලෙට එක
විදුහල්පති කෙනෙක් හිටියහම ඇති කියලා. ඊට පස්සෙ කිව්වලු ගුරුවරුන් හැටියට අපේ ප්‍රධාන
අරමුණ වෙන්න ඕන දරුවන්ගෙ අධ්‍යාපනය දියුණු කිරීම මිසක් වෙන අනං මනං නෙමේ කියලා. ඒක
නිසා මේ ඉස්කෝලෙට මීට පස්සෙ සාහිත්‍ය සංගං අර සංගං මේ සංගං අවශ්‍ය නැහැ කියලත්
කිව්වලු. ඒ වගේම වර්තමානෙ පාසලේ උද්ගත වෙලා තියෙන තත්වෙ සැලකිල්ලට අරගෙන මේ වෙලාවෙ
තමන්ට ක්‍රීඩා උත්සවය පවත්තන්නත් ඉඩ දෙන්න බෑ කිව්වලු. ඒත් තමන් ප්‍රජාතන්ත්‍රවාදි
මිනිහෙක් හින්දා කැමතියි කිව්වලු ගුරු මණ්ඩලේ අදහසත් දැනගන්න. ඒත් අමතක කරන්න එපා
කිව්වලු පාසලක විනය පවත්වා ගෙන යාමේ වගකීම තියෙන්නෙත් විදුහල්පතිගෙ හිස මත බව.”
“ඉතින් සර් ඊට
පස්සෙ මොකද උනේ.”
“ඊට පස්සෙද?
ඒක තමයි ලස්සන වැඩේ. පටස් ගාලා නැගිට්ටලු
සහකාර විදුහල්පතිතුමා. කිව්වලු මෙහෙම.”
“කවදත් අපට
නිවැරදි නායකත්වය දෙන මේ පාසලේ දරුවන්ගෙ කටයුතු දිහා ආදරබර පියෙකු මෙන් බලා සිටින
අපගේ ගෞරවණීය විදුහල්පතිතුමනි, අපි කාටවත්
බැහැ මෙහෙම කරන්න, එහෙම කරන්න
කරන්න කියලා ඔබතුමාට උපදෙස් දෙන්න. ඒත් ඔබතුමාට පුළුවන් මේ ආචාර්ය මණ්ඩලය කටයුතු
කළ යුත්තෙ මෙහෙමයි කියලා කියන්න. ඒත් අරෙහෙමත් කරන්න පුළුවන් කියල හිතන කීප දෙනෙක්
අපි අතරම ඉන්න බව අපි දන්නවා. එහෙම අයට අනුකම්පා කරනව මිසක් වෙන කරන්න දෙයක්
නැහැ.අපි වැදගත් කොට සලකන්නෙ චක්‍රලේඛ මිසක් මේ එක එක්කෙනා කියන දේවල් නෙමෙයි.
ඔබතුමා යම් තීරණයක් ගත්ත ද අපි කවුරුත් ඒකට එකගයි කියන එක තමයි අපට දැන් කියන්න
තියෙන්නෙ. මෙහෙම කියල සහකාර විදුහල්පති ඉඳගත්තලු.”
එතකොටම
විදුහල්පතිතුමා නැගිටල මෙහෙම කිව්වලු.
“කවදත් තමන්ගේ
වගකීම සහ සේවා වපසරිය හොඳින් තේරුම් ගෙන කටයුතු කරන සහකාර විදුහල්පතිතුමාට ස්තුති
කරන අතරම මං කැමතියි මේ ගැන කාන්තා ආචාර්ය මණ්ඩලයේ අදහසත් දැන ගන්න.”
“ඉතින් සර් ඊට
පස්සෙ.”
“විදුහල්පතිතුමා
කරන ඕන වැඩක් අනුමත කරන කවුරු හරි මිස් කෙනෙක් කතා කරන්න ඇති.”
ගුණවර්ධන මහතා
කීය.
“නිම්මිට
හිතෙන්නෙ මොකක් ද?”
“ලොකු සර් මට
නං හිතෙන්නෙ අපේ රේණු මිස් වගේ තරුණ මිස් කෙනෙක් ඒකට විරුද්ධව කරුණු කියාගෙන
කියාගෙන යන්න ඇති මැෂිම වගේ.”
“රේණු හිටියනං
ආයි කතාවක් නෑ ඒක තමයි වෙන්නෙ. ගඟුල් මොකද කියන්නෙ.”
විදුහල්පතිතුමා
ඇසුවේ නිහඬ ව මේ කතාවට සවන් දී සිටින ගඟුල්ගෙනි.
“මට නං
හිතෙන්නෙ සර් ඊළඟට වයසක මැඩම් කෙනෙක් කතා කරන්න ඇති කියලයි.”
“හරියටම හරි
ගඟුල් හරියටම හරි. ඊළඟට කතා කරලා තියෙන්නෙ එහෙම මැඩම් කෙනෙක් තමයි.”
“ඒ කියන්නෙ සර්
අපේ සිල්වා මැඩම් වගේ කෙනෙක් ද?” ඒ නිම්මි ය.
“අපි එහෙම
හිතමුකො.”
“ඒ මැඩම් කියලා
තියෙන්නෙ මෙහෙමයි.”
“අපේ
ගුරුමණ්ඩලේම සමහරක් ප්‍රශ්න ඇති කරද්දිත් ඒ ඔක්කොමත් දරාගෙන මේ ගරු විදුහල්පතිතුමා
කටයුතු කරන ආකාරය ඇත්තටම ප්‍රශංසනීයයි. එතුමා වෙනත් ප්‍රදේශයකින් ඇවිල්ලා මේ ගමේ
වැදගත්ම පවුලකින් විවාහ වෙලා අපේම කෙනෙක් වෙලයි වැඩ කරන්නෙ. වෙන ඉස්කෝලෙකට ගිහිල්ල
කිසිම කරදරයකින් තොරව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දිත් මෙහෙ ඉඳගෙන මේ කරන කැපවීම
අගය කරන්න මට නං වචන නෑ. ඒ නිසා අපේ විදුහල්පතිතුමාගෙ - අපේ නායකයගෙ වචනය අවසන් වචනය හැටියට අරගෙන
කටයුතු කරන එක තමයි සුදුසුම දේ මගෙ හිතේ.”
මෙහෙම කියලා
අර ටීචර් ඉඳගත්ත විතරයි ආයෙ විදුහල්පතිතුමා කතා කරන්න ගත්තලු.
“මන් හිතන්නෙ
කතා කරන්න ඕන හැම පැත්තකින්ම අපි කතාකළා. පිරිමි ගුරුවරුන් වෙනුවෙන් අපේ සහකාර
විදුහල්පතිතුමා වටිනා අදහස් දැක්වීමක් කළා. ඒ වගේම කාන්තා පක්ෂය නියෝජනය කරමින්
කතා කරපු මේ පාසලේ පැරණිම ඒ වගේම වැඩිහිටි ගුරුවරියක් මෙහෙම වෙලාවට පරිණත කෙනෙක් වැඩ කරන්නෙ සහ වැඩ
කළ යුත්තෙ කොහොමද කියන එක ආදර්ශයෙන් පෙන්නලා
දුන්නා. ඒක නිසා මම ඔබ තමුන්නාන්සේලාගේ වටිනා කාලෙ තවත් ගන්නෙ නැතිව අද අපි
ගත්ත තීරණ හෙට ඉඳලම ක්‍රියාත්මක කරනවා. එහෙම නම් මේ රැස්වීමෙ කටයුතු මෙතෙකින්
අව.... ”
“ඒ කියන්නෙ සර්
එයා එතනින්ම වැඩේ ක්ලෝස් කළා ද?”
මෙසේ ඇසුවේ
ගුණවර්ධන මහතා ය.
“ඒකට තමයි හදලා
තියෙන්නෙ. කොහෙද කතා කරන්න හිතල නැගිටින්න හදපු තමන්ගෙ දෙපැත්තෙ හිටපු දිනිල්වයි
ක්‍රීඩා සර්වයි අත් දෙක දෙපැත්තට කරල නවත්තල සංගීත සර් පටන් අරන් කතා කරන්න.”
“නියමයි
නියමයි”
එක්වරම එසේ කියැවුණේ නිම්මිට ය. අනතුරුව ඈ
තමාගෙන් මහත් වරදක් වූ නියායෙන් මුවට අත තබා ගත්තා ය.
විදුහල්පතිතුමාට
සිනහ ගියේ ය.
“ඈ නිම්මි,
මටත් ඔහොම වැඩක් උනොත් උඹ නියමයි නියමයි
කියයි නේද?”
“අනේ නෑ ලොකු
සර්. සර්ට කවුද එහෙම කියන්නෙ. සර් ඒ ලොකු සර් නෙමෙයිනෙ. අනික අපේ ලොකු සර් ඒ
ජාතියෙ වැඩ කරන කෙනෙකුත් නෙමෙයිනෙ.”
ගඟුල් බලා
සිටියේ මේ විදුහල්පතිවරයා ළඟ සේවය කරන අය මහත් සතුටකින් වැඩ කරන ආකාරය දෙස යි. මේ ප්‍රධානියා නම් තමා ළඟ
සේවය කරන්නන් සතුටින් තැබීමට දන්නා අපූරු මිනිසෙකි. මේ මොහොතේත් ඔහුට සිහිපත් වූයේ
මුතුකුඩ විදුහල්පතිතුමා ය.
“ලොකු සර්
කොහොම ද ඒ දිනිල් සර් කියපු හැම දෙයක්ම මතක තියාගෙන ඉන්නෙ.”
තරුණිය
විමසුවා ය.
“මතක තියන්
ඉන්නව නෙමෙයි බන්. මතක හිටිනවා. හොඳ මිනිහෙක් කරන කතාවක විතරක් නෙමෙයි එහෙම
මිනිස්සුන්ගෙ කඳුලෙ හිනාවෙ පවා ලොකු අර්ථයක් තියෙනවා.”
ගඟුල් ඉතා
සාවධාන ව මේ කෙරෙන කතාබහට සවන් දුන්නේ ය.
මේ අතර
ආපනශාලාවට ගිය පියසේන පෙරළා පැමිණියේ කෙසෙල්, කැවිලි සහිත තේ බන්දේසියක් රැගෙන ය. මේ විදුහල්පතිවරයාට
ඇත්තේ අමුතු වැඩ ය. ඔහු පළමු ව කෙළේ පියසේනගේ පංගුව වෙන් කිරීම ය. දෙවනු ව නිම්මිට
ය. අනතුරුව සිය අතින් ම ගඟුල්ටත් ගුණවර්ධන මහතාටත් සංග්‍රහ කොට අවසන සිය තේ කෝප්පය අතට ගත්තේ ය.
“මන් කොතන ද
බන් කතාව නතර කළේ?”
ඔහු ඇසුවේ
නිම්මිගෙනි.
“අර සර් හොඳ
මිනිස්සුන්ගෙ හිනාවෙයි කඳුලෙයි දෙකේ ම ලොකු අර්ථයක් තියෙනව කියපු තැනින්නෙ.”
“ඒක නෙමෙයි බන්
අර කතාවෙ.”
“සර් කතාව නතර
කළේ සංගීත සර් කතා කරන්න නැගිට්ටා කියන තැනින්.”
ඒ ගඟුල් ය.
“ඒ කතාව පටන්
අරන් තිබුණෙ මෙහෙමයි...අපේ ගරු විදුහල්පතිතුමා කිව්වා එතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී
කෙනෙක් කියලා. ඒක නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදිකම තවදුරටත් තහවුරු කිරීම අපෙත්
වගකීමක්. ඔබතුමා කිව්ව එක විදුහල්පති කෙනෙක් හිටියම ඇති කියලා. ඔය කියනකං අපි දැනං
හිටියෙ නෑ තව විදුහල්පති කෙනෙක් ඇවිල්ල ඉන්නව කියලා. ගුරුවරුන් හැටියට අපටත් ඕන
දරුවන්ගෙ අධ්‍යාපනේ දියුණු කරන්න තමයි. ඒ වගේම මෙතන පිරිසක් අනං මනං කරනව කිව්ව.
මොනවද ඒ අනං මනං. කවුද ඒවා කරන්නෙ. ඒ වගේම ඔබතුමා කිව්ව සාහිත්‍ය සංගමයක් අවශ්‍ය
නැහැ කියලා. ඒ වගේම අපි දැනගන්ඩ කැමතියි අර සංගං මේ සංගං කියන්නෙ මොනවද කියලා.
ඔබතුමා වහෙන් ඔරෝ ක්‍රමයට නෙමෙයි ඔහෙන් වරෝ ක්‍රමයට කියන්න තියෙන දේ පැහැදිලිව
කියන්න.
මොකක්ද මේ
පාසලේ අලුතින් උද්ගත වෙලා තියෙන තත්වෙ. ඒ ගැනත් අපි කැමතියි දැනගන්ඩ.
ක්‍රීඩා
උත්සවය පවත්තන්න අනුමැතිය දුන්නෙ ඔබතුමා. දැන් ඒවයෙ සංවිධාන වැඩ කරල කලාප අධ්‍යක්ෂතුමාට
හිටන් දැනුං දීල ඉවරයි. පහුගිය සති අන්තවල තමන්ගෙ දරුවන් බලන්න ගමටවත් යන්නෙ නැතිව
මේ දරුවන්ව සංවිධානය කරගෙන මේ වැඩවලට ක්‍රීඩා සර්
මහන්සි වෙච්ච හැටි අපි දැක්ක. ක්‍රීඩා සර් නොගියත්, මේක නැවත්තුවොත් මම යනව අධ්‍යක්ෂතුමා හම්බ
වෙලා මේ අවනඩුව කියන්න.
ඉස්කෝලෙක විනය පවත්තන් යන එක විදුහල්පතිතුමාගෙ
විතරක් නෙමෙයි, අපි කාගෙත්
සාමූහික වගකීමක්. ඒ වගෙම විනය තියෙන්න ඕනෙ මේ දරුවන්ට විතරක් නෙමෙයි. ඒක අපටත්
අදාළයි. පහුගිය මාසෙ ගුරුවරයෙක් සම්බන්ධයෙන් ලොකු විනය ප්‍රශ්නයක් මතු උනා. ඒකට මේ
වෙනකං ඔබතුමා ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. ඒ අර ඉස්සෙල්ල කතාකරපු මැඩම් කියපු මේ
ගමේ වැදගත්ම පවුලට ඒ සර්ගෙ ඥාති සම්බන්ධයක් තියෙන නිසාද? ඒ වගෙම මම කියන්න ඕන මේ හැම දරුවෙක්ගෙම පවුල අපිට වැදගත්
කියලා.
සහකාර
විදුහල්පතිතුමා කිව්ව ඔබතුමා යම් තීරණයක් ගත්තද අපි කවුරුත් ඒකට එකඟයි කියලා.
එතුමා කොහොමද එහෙම කියන්නෙ. කවුරු මොන තීරණ ගත්තත් අපි එකඟ වෙන්න ඕන ඒක නිවැරදි
තීරණයක් නං විතරයි. මොකක්ද ඔබතුමා ගත්ත තීරණ. සාහිත්‍ය සංගමය විසුරුවා හැරීමයි ක්‍රීඩා
උත්සවය නතර කිරීමයි. ඒකට කවුරු කැමති උනත් මන් විරුද්ධයි. ඔය තීරණ ක්‍රියාත්මක
කළොත් ඒකට එරෙහිව කටයුතු කරන බවත් පැහැදිලිවම කියා හිටින්න මන් කැමතියි. මට සවන්
දුන් නුදුන් ඔබතුමන්ලා ඔබතුමියන් සියලු දෙනාටත් ඉතාමත්ම ස්තුතියි.”
“නියම කතාව
සර්.” ඒ නිම්මි ය.
“ඇත්ත නියම
කතාව. එතනින් වැඩේ ඉවර නැහැ. ඊට පස්සෙ නැගිටලා තියෙන්නෙ තරුණ ගුරුවරියක්. දිනිල්
කියපු හැටියට ඩාන්සින් මිස්. එයා කිව්වලු මම නැගිට්ටෙ දිගකතාවක් කරන්න නං නෙමේ. මට
කියාගන්න ඕන වෙලා තිබිච්ච, ඒත් කියාගන්න
ඕන දේවල් ටික නුවන් සර් පැහැදිලිව කිව්වා. ඒ කරුණු සේරම කාන්තා පරපුර නියෝජනය කරන
ගුරුවරියක් හැටියට අනුමත කරනවා. මන් ඒක නොකළොත් මගෙම හෘදය සාක්ෂිය මට කවදාවත් සමාව
දෙන එකක් නැහැ. නැත්තං අද රැස්වීමෙ ගුරුවරියන්ගෙ අදහස හැටියට යන්නෙ අපේ වැලිකල
මැඩම් කියපු දේවල් විතරයි. අපේ පාසලේ වැඩිහිටි ගුරුවරියකට දක්වන ගෞරවය පළ කරමින්
එතුමිය පළකළ අදහස්වලට අප එකඟ නොවන බව කරුණාවෙන් දන්වනවා. ඒ වගේම අපේ ගරු
විදුහල්පතිතුමාට නොව එතුමා අද දවසේ ගත් තීරණ දෙකට කිසිසේත් එකඟ නොවන බව ද ගෞරවයෙන්
දන්වනවා, ඒ එතුමා එම තීරණ වෙනස්
කරනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් යුතුවයි. ඔබ සියලුම දෙනාට ස්තුතියි.”
“අපේ රේණු
මිස්ගෙ ජාතියෙ මිස් කෙනෙක් නේද ලොකු සර්.”
මේ කතාවට මහත්
ඕනෑකමකින් සවන් දී සිටි නිම්මි ඇසුවා ය.
“ඊළඟට තමයි
ගඟුල් මේ කතාවෙ කූඨ ප්‍රාප්තිය එන්නෙ. දිනිල් කිව්ව විදුහල්පතිතුමා ටිකක් වෙලා
වික්ෂිප්තව උන්නලු. ඊට පස්සෙ කිව්වලු අද ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියලා.
ඒත් ඒ කාටවත් බයකට නොවන බවත් මේ ගුරු මණ්ඩලය හොඳින් දැනගන්න කිව්වලු. ඊළඟට තමයි
මෙයා ලස්සනම කතාව කියල තියෙන්නෙ. ඒක මට ඇට් කරලම පෙන්නුව දිනිල්ගෙ තුරුසෙවණ දොරට
වඩින දවසෙ ඇවිල්ල හිටපු අර සංගීත සර්.”
ගඟුල් දෙස මඳ
වේලාවක් බලා සිටි විදුහල්පතිවරයා සිනාසී කතාව අවසන් කෙළේ මෙම සිදුවීමට සම්බන්ධ
විදුහල්පතිවරයා එදා පැවසූ බව කියන වචන පුනරුච්චාරණය කරමිනි.
“ඕනෑම ඉස්කෝලෙක
ගුරුමණ්ඩලේක භයානක මිනිස්සු කීපදෙනෙක් ඉන්නව. ඒ අතර අතිභයානක මිනිස්සු තුන් දෙනෙක්
ඉන්නව. ඒ තමයි සිංහල ගුරුවරයා, ක්‍රීඩා
ගුරුවරයා ඒ වගේම සෞන්දර්ය ගුරුවරයා. මන් මගෙ ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා
හිටින්නෙ ඒ අයගෙන් පරිස්සං වෙලා වැඩ කරන හැටියටයි.”
“ඒක මහ පුදුම
ප්‍රකාශයක්නෙ සර්.”
එසේ පැවසුවේ
ගුණවර්ධන මහතා ය.
“පුදුම විතරක්
නෙමෙයි ඓතිහාසික ප්‍රකාශයක්. මේ ලෝක ඉතිහාසේ ඔහොම කතාවක් කියපු කිසිම
විදුහල්පතිවරයෙක් නැතුව ඇති.”
“ඔය තරං භයානකද
සර් ඔය විෂය තුන උගන්වන ගුරුවරු.”
ගඟුල් ඇසුවේ
සිනාසෙමිනි.
“මහ මෝඩ
මනුස්සයෙක් ඒ විදුහල්පති. ආශිර්වාද කරල තියා ගන්න ඕන මිනිස්සුත් එක්ක ගැටුණා.
ඇත්තටම පරිස්සං වෙන්න ඕන අයව ළඟට ගත්ත. පස්සෙ ළඟම හිටපු අයම මේ විදුහල්පතිතුමාව
අමාරුවෙ දැම්මා. ඒ වෙලාවෙ එයාව තනි කරන්නෙ නැතුව උදව් කරලා තියෙන්නෙ අර භයානක ගුරු
කණ්ඩායමම තමයි. ඒ විතරක් නෙමෙයි ගඟුල්, මට එදා කොටවායෙදි ඒ සංගීත සර්, ක්‍රීඩා සර්, නැටුම් මිස්
ඔය කට්ටියම හම්බ උනා. දිනිල් වගේම හරි සුන්දර මිනිස්සු. දිනිල් විශ්‍රාම ගියත් අර
තුන් දෙනාට තව කාලයක් සේවය කරන්න තියෙනවා. දැන් ඒ ගොල්ලො තම තමන්ගෙ ගම්පළාත්වලට
කිට්ටු ඉස්කෝලවල උගන්නනව. මන් ඒ තුන්දෙනාටම කිව්ව කවදා හරි ආයෙත් ඈත ඉස්කෝලෙකට
යන්න ආසාවක් ආවොත් වෙන කොහෙවත් යන්නැතිව මේ නාගොල්ලගමට එන්න කියලා.”
“මටත් ආසයි සර්
ඒ වගෙ මිනිස්සු දැකලා කතා කරන්න. මොකද ඒ අත්දැකීම් අපේ ගුරු ජීවිතයටත්
එළියක්.”
එසේ කීවේ
ගඟුල් ය.
“ඒක ගඟුල්
ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. අපට
තියෙන්නෙ ඉස්කෝලෙ විශේෂ වැඩක් තියෙන වෙලාවක ඒ අය ගෙන්නන එකනෙ.”
“එහෙනං ලොකු
සර් මන් දැන් ගිහිල්ල හෙට උදේ එන්නං”
“කොහොමද ගඟුල්
දැන් නවාතැන් එහෙම”
“සර් අපේ
අය්යත් එක්ක සෞන්දර්යෙ එකට ඉගෙන ගත්ත යාලුවෙක් ඉන්නව මිරිහන්පිටිගම. මට මෙහෙ මූලික
වැඩ ඉවර වෙලා කෝල් එකක් දෙන්න කිව්වා. එතකොට ඒ අය්ය එන්නං කිව්ව ඉස්කෝලෙ ළඟට මාව
ගන්න.”
“එහෙනං සර් මං
ගිහිල්ල එන්නම්.”
ගඟුල්
විදුහල්පතිතුමාට වැඳ ආචාර කොට සමුගත්තේ
ගුණවර්ධන මහතා සහ නිම්මි දෙසට හැරී මෙසේ පවසමිනි.
“අපි හෙට හම්බ
වෙමු ගුණවර්ධන සර්. මන් ගිහිල්ල එන්නං නිම්මි.”
කාර්යාලයෙන්
පිට ව එද්දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ ආදරණීය සහෘදයා යි. ඔහු නම් සුවඳ මලකි; පබසර සඳකි; සෙවණ දුන් රුකකි. ඔහු කෙසේ නම් අමතක කළ හැකි ද?
“මලක් සේ ඔබ පියකරුයි - පර වුව ද සුවඳේ මතකය යි
සඳක් සේ ලොව එළි කරයි - බැස ගිය ද
ආලෝකය රැඳෙයි
ගසක් සේ දුන් සෙවණ සිහි වී - ගසක්
වන්නට මට සිතෙයි
අනේ සොහොයුර ඉන්නවාටත් - වඩා වැඩියෙන් ඔබ
දැනෙයි”