ගුරු දියවර 34
“පියකරු මල්, ගලා හැලෙන දිය ඇලි, හදවතේ සතුට ඇති කරන්නේ යම් සේ ද එපරිද්දෙන් කලාතුරෙකින් හෝ අපට හමු වන ඇතැම් දෙනා අප සිත්වල මහත් සතුටක් ජනිත කරති.”
ජෝර්ජ් එලියට්ගේ මේ ප්‍රකාශය ගඟුල්ට සිහිපත්
වූයේ හෘදය සන්තුෂ්ටිය ප්‍රදානය කරන මනුරුවන් සොයා යන මෙගමන ආරම්භයේ දී ය. මේ තරුණ
ශිෂ්‍ය මාණවකයන් තිදෙනකු සමග ඔහු තමාට නාගොල්ලාගම දී හමු වූ මනුරුවනක නිවහන වෙත යන
ගමන යි. සහෘදයනි, ඔබට මෙගුරු දියවරෙහි දහතුන් වැනි
පරිච්ඡේදයෙහි දී මුණ ගැසුණු සිරිල් මතක ද? ගඟුල් වෙත සහෘදය සටහනක් එවා තිබූ සිරිල් මතක ද? උසස් පෙළ පන්තියක දී ඔහුගේ නිවහනට යම් දිනයක යායුතු ම යැයි කී බව මතක ද?
එගමනට තමනුත් එක්වනු රිසි බව කියමින් දැක්වූ ශිෂ්‍ය ප්‍රතිචාර
මතක ද? ඔව් මේ එළැඹ ඇත්තේ ඒ දිනය යි. පා ගමනිනි,
ඔවුන් මේ ග්‍රාම සංචරණයෙහි යෙදෙන්නේ. හිරු කිරණ මඳ මඳ ව
මිහිකතට වැටෙන මේ හිමිදිරි උදෑසන තරම් මෙවන් ගමනකට සුදුසු වෙනත් වෙලාවක් නැතැයි
මෙගමන යන අතරමග දී ගඟුල්ට සිතිණ. තුරු ලිය කෙත් වතු මැදින් යන මෙසොඳුරු චාරිකාවේ
දී පළමු පැනය නැඟුණේ ශිෂ්‍ය සවිත් වෙතිනි.
“සර් අපිට දවසක් කිව්වා නේද ගුරුවරයෙක්ගෙන්
ශිෂ්‍යයන්ට තමන්ගෙ හිතට නැගෙන ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා.”
“ඔව් මන් එහෙම කිව්වා. ඇයි සවිත් දැනුත්
ඔයාගෙ හිතට ලොකු ප්‍රශ්නයක් ආව ද?”
“ඒක සර් කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් නොවෙන්න
පුළුවන්. ඒ උනාට සර් මට ඒක ලොකු ප්‍රශ්නයක්නෙ.”
“හරි ඉතින් කියන්න බලන්න. සමහර විට මට ඒකට
උත්තරයක් නැති උනොත් මෙතන ඉන්න ඔයාගෙ යාළුවන් දෙන්නගෙන් කෙනෙකුට උත්තරයක් තියෙන්න
පුළුවන්.”
“සර්, අපි දැන් මේ ලොකු හෙවනක් තියෙන ගස් යටින් යනවා. කෙත්වතු මැදින් යනවා. ඒ
වගෙම වැව් කණ්ඩි උඩින් යනවා. අපි තුන් දෙනාම මේ පරිසරයේ ම උපන්න අය. අපි වෙනදත්
ගියා. දැන් සර්, ඇයි වෙනදට වඩා ලස්සනක් මේවයේ අපට පේන්නෙ?”
“ඇත්තට ම මේ මට වෙලා තියෙන්නෙත් අපේ සවිත්ට
වෙච්ච දේමනෙ. මමත් කොච්චරක්නං මේවයෙ ඇවිද්ද ද? ඒත් ඉතින් ඔහෙ ඇවිද්ද මිසක් සවිත් කියනව වගේ මේවයෙ අමුතු ලස්සනක් නං දැක්කෙ
නෑ තමයි. අපිටත් වැඩිය මේ පරිසරය එක්ක වැඩියෙන් ම ජීවත් කෙනානෙ අපේ නඳුන්. මන්
හිතන්නෙ නඳුන්ට දෙන්න තියෙන්නෙත් අපිට වඩා වෙනස් උත්තරයක් නෙමෙයි කියන එක යි.”
අමල් කී ඒ කතාවට නඳුන් ප්‍රතිචාර දැක්වූයේ
හිස සැලීමෙනි.
“සවිත් ඔයා වැඩියෙන් ප්‍රිය කරන විෂය සාහිත්‍යය
නිසා ඒ විෂය දිගෙන් දිගට ම දැන් ඉගෙන ගන්න නිසා ඔයාට වෙනදට වඩා මේ පරිසරය දැනෙනව
තමයි. ඒ වගෙම අමල් ඔයා කළමනාකරණ විෂය හදාරන කෙනෙක්. වැව, කෙත, ගහකොළ කියන්නෙ කළමනාකරණයට දෙන්න තියෙන
ජීවමාන සාධක. අපේ නඳුන් ගත්තොත් එයාගෙ ප්‍රියතම විෂය ඉතිහාසයනෙ. මේකත් එක්තරා
විදිහක ඉතිහාසය හරහා ගමන් කිරීමක් ම තමයි. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි නඳුන්
කියන්නෙ තෙන්නකෝන් සර්ගෙ ශිෂ්‍යයෙක් බව. ඒ සර් ඉතිහාසය ඔස්සෙ වර්තමානය දකින්න
සලස්වන කෙනෙක්. ඉතින් වයසින් වැඩෙන කොට දැනුමෙන් සරු වෙන කොට මේවා ඔයගොල්ලන්ට
වෙනදට වඩා දැනෙන එක මට නං පුදුමයක් නෙමෙයි.”
“සර් කියන එකෙත් තරමක ඇත්තක් තියෙනවා වෙන්ඩ
පුළුවන්. ඒ උනාට සර් මේකෙ සමහර දෙනෙක් ඉන්නවා පුංචි කාලෙ ඉඳලා වයසට යනකන්ම මේ
පාරවල අතුපාරවල, නියරවල, වැව් කණ්ඩිවල කොච්චර එහාට මෙහාට ගියත් මේවා දැනෙන්නෙ නැති.”
“නඳුන් කියන එක ඇත්ත සර්. මටත් තේරිලා තියෙන
එක දෙයක් තමයි මේ ගමේ සමහර වැඩිහිටියෙක් ඉන්නවා වයසින් වැඩුණට සංවේදිකම නැති. එහෙම
අයට මුවෙක්, හාවෙක් කියන්නෙ ලෝකය පරිසරය සුන්දර කරන
වස්තුවක් නෙමෙයි, මරන් කන්ඩ හිතෙන දෙයක්.”
“ඒක ඉතින් අමල් සමහර වැඩිහිටියන්ට විතරක්
නෙමෙයි සමහර තරුණ අය සම්බන්ධයෙනුත් ඇත්තක්නෙ. ඒත් අමතක කරන්න එපා දාවිත් සීයා,
පුංචිබණ්ඩා සීයා වගේ චරිත නේද ගහකොළ සතාසීපාවන්ගෙ අගය
අපට හම්බ වෙන කොයි වෙලාවෙදිත් කියලා දෙන්නෙ.”
“අන්න එතෙන්දි නං සවිත් ඔයා හරි. හැබැයි
මෙතෙන්දි අපිට අමතක වෙච්ච, ඒත් අපි අමතක
නොකළ යුතු තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා.”
“නඳුන් ඔයා අමතක නොකළ යුතු ඒ වගෙම වැදගත්ම
වගේ වචන දාලා කතා කරන කොට මටත් ඒක දැනගන්න ම තමයි කුතුහලයක් තියෙන්නෙ.”
“මටනං හිතෙන්නෙ වෙනදට වඩා මේ හුරුපුරුදු
පරිසරේ ලස්සන දකින්න අපි යොමු උනේ එක චරිතයක් මේ ගමට ආවට පස්සෙ කියලයි. හැබැයි මට
හිතෙන හැටියට අපි කවුරු ඒක පිළිගත්තත් ඒ අදාළ චරිතෙ නං ඒක පිළිගන්න ලෑස්ති නැති වේවි. ”
“මන් දන්නවා ඒ චරිතෙ අමල්. ඒත් මන් කැමතියි
අපේ මේ ගඟුල් සර් ඉන්න තැනම ඒ නම ඔයාගෙන් කියවෙනවනං.”
“අපි තුන්දෙනා කියනවනං අකුරු පහයි. පෙර පද
පසු පද නැතුව නම විතරක් කියනවනං අකුරු තුනයි.”
“හරි හරි මන් කරන්නංකො සමස්‍යාපූරණේ.”
“සවිත් මේ ඉස්සෙල්ලම කියපන් මොකක් ද ඔය සමස්‍යා
පූරණේ කියන්නෙ කියලා.”
ඒ ප්‍රශ්නය නඟන ලද්දේ කළමනාකරණ ශිෂ්‍ය නඳුන්
විසිනි.
“අපේ ගඟුල් සර් අර දවසක් අපිට සමස්‍යා පූරණය
කියන්නෙ මෙන්න මෙහෙම දේකටයි කියලා අපිට කියලා දුන්න වගේ අපේ මේ මැනේජ්මන්ට්කාරයට
සර් ඒක පැහැදිලි කරලා දෙන්නකො.”
“මෙහෙම හිතන්න නඳුන්. දැන් මේ අපි හතර දෙනෙක්
එකට ගමනක් යනවනෙ. දැන් අපි හතර දෙනා මේ පොඩ්ඩක් නතර වෙලා කතා කරන්නෙ වැවක් ළඟනෙ.
අපි හිතමුකො අපි හතර දෙනාටම එතෙන්දි කවි සිතිවිලි එනවා. ඔන්න මන් ඒ වැව ගැන මෙහෙම
කියනවා.
මානෙල් ඕළු මල් වැව් දිය මත පිපුණා”
මෙසේ කියා ගඟුල් නිහඬ වූයේ ය.
“ඉතින් සර්, සර් කවියෙ මුල් පදේ විතරයිනෙ කිව්වෙ.”
“ඔව් මන් එක පදයයි තමයි නඳුන් කිව්වෙ. ඉතිරි
පේළි තුන සම්පූර්ණ කරන්න ඕනෙ ඔය තුන්දෙනා. හරි අපි දෙවෙනි පේළිය සම්පූර්ණ කරන්න
කියමු අපේ කවියා සවිත්ට.”
මොහොතක් කල්පනා කළ සවිත් මෙසේ කීවේ ය.
“මුදු හිරු කිරණ ඒ වැව් දිය මත වැටුණා”
“දැන් තුන්වෙනි පේළිය සම්පූර්ණ කරන්න ඕනෙ අපේ
ඉතිහාසඥයා අමල්.”
අමල් තෙවැනි පේළිය සම්පූර්ණ කෙළේ මෙසේ ය.
“ඉතිහාසයේ සුවඳින් හදවත පිරුණා”
“කවිකම නැති නිසා මට මෙතනදි ඇඬුණා”
මෙසේ අනිත් තිදෙනා නොසිතූ ඉක්මණකින් අවසන්
පේළිය පූරණය කරන ලද්දේ කළමනාකාර ශිෂ්‍ය නඳුන් විසිනි.
“බලන්ඩ මෙතෙන්දි කොච්චර ලස්සන දෙයක් ද උනේ
කියලා. මන් වැව දැකලා වැව ගැන එක කවිපදයක් කිව්වා. අපේ සවිත් හරි ලස්සනට ඒකට
දෙවෙනි කවි පදය දුන්නා. ඊළඟට අපේ ඉතිහාසකාරයා තමන් හදාරන විෂයෙ සුවඳින් තුන්වැනි
පේළිය පිරෙව්වා. අන්තිමට කවි හදන්න මන්නං දන්නෙ නැහැ කියන අපේ කළමනාකරණ ශිෂ්‍යයා
අමුතුම ලස්සන කාව්‍යෝක්තියක් ඒකට එකතු කරලා කවිය සම්පූර්ණ කළා. සමස්‍යා පූරණය
කියන්නෙ ඔන්න ඔහොම දේකටයි නඳුන්.”
“ඒක හරි අපූරු දෙයක්නෙ සර්.”
“නෑ නඳුන් ඒක අපූරු දෙයක් නෙමෙයි, පූර්වයෙ ඉඳල ම තියෙන දෙයක්. අපූර්ව කියන්නෙ පෙර තිබිච්ච
නැති අලුත් ම දේකට. මේ සමස්‍යා පූරණය ඉස්සරත් තිබිච්ච දෙයක් නිසා ඒ කියන්නෙ පෙර
නොවූ විරූ දෙයක් නොවන නිසා අපට ඒකට අපූර්ව දෙයක් කියලා කියන්න බැහැ.”
“සර් සිංහල ගැන උනන්දුවක් තියෙන ඒ විෂය හදාරන
මමත් හරියට ම අපූර්ව කියන වචනෙ නිවැරදි ව තේරුන් ගත්තෙ නං අද තමයි. බැලුවහම සර්
අපි සමහර වචන පාවිච්චි කරන්නෙ තේරුම ගැන හිතන් නැතුවනෙ.”
“ඔව් සවිත්, ඒ වගෙ තැන්වල දි වෙන විෂයන් කරන නඳුන්ලට සමාවක් තිබ්බට භාෂා සාහිත්‍ය හදාරන
අපට නං සමාවක් නෑ.”
“අපේ නඳුන් ඉස්සෙල්ලා කිව්වා නේද අපි මේ
දැකපු දේවල් ම දැන් දකින කොට ඒවයෙ වෙනදා දැකපු නැති ලස්සනක් දැන් පේනවා කියලා.
ඉතින් සර් එතකොට ඒක අපි සම්බන්ධයෙන් අපූර්ව අද්දැකීමක්නෙ.”
“ඔව් අමල්, ජීවිතෙ දැකපු දේ උනත් කිසියම් දවසක කෙනෙකුට පෙර නොවූ විරූ විදිහට පේනවනං ඒක
අපූර්ව අද්දැකීමක් තමයි. ඇත්තට ම නිර්මාණයකදි සිද්ධ වෙන්නෙ ඒ දේනෙ.”
“සර්ට පුළුවන් ද අපිට ඒක මොකක් හරි
නිර්මාණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරලා දෙන්න.”
“අඩේ බලහන්කො අමල් බැලුවහම දැන් සාහිත්‍යකාරයන්ගෙ
ප්‍රශ්න ගෙනත් අත අරින්නෙ අපේ මැනේජ්මන්ට්කාරයනෙ.”
“සවිත් ඒකත් වෙන්න ඕනෙ දෙයක් තමයි. සාහිත්‍යය
කියන්නෙ අපේ ජීවිතේ ම කොටසක් මිසක් ඒකෙන් වියුක්ත වෙච්ච දෙයක් නෙමෙයිනෙ.”
“සර් අපේ නඳුන්ගෙ ප්‍රශ්නෙට උත්තරේ?”
“හරි මන් ඒ කාරණේ මෙහෙම පැහැදිලි කරන්නංකො.
දැන් අපි කවුරුත් දන්නවා පිරිත ගැන. ඒ වගෙම ඔයගොල්ල සමහර විට දැකලා නැති උනත් අහලා
හරි ඇතිනෙ බදුලු ඔය. පිරිත ගත්තහම එක පැත්තකින් අපූර්ව යි ඒ විශේෂ ආගමික
අර්ථෙකින්. ඒත් අපි සාමානf්‍යන් කතා කරන
අර්ථෙන් ගත්තොත් ඒක අපූර්ව නැහැ. මොකද අපි පිරිත කියන්නෙ මොකක් ද කියලා දන්නවා.
පිරිත් අහලා තියෙනවා. ඒත් රත්න ශ්‍රී කවියා මේ දෙක ම එකතු කරලා මෙතෙක් තිබිච්ච
නැති නිර්මාණයක් අපට දෙනවා. ඒක අපිට අලුත්. ඔහු ලියනවා වෙලාවක මෙහෙම.
“බදුලු ඔය ම දෝතට ගෙන පිරිත් පැනක් සේ
ඉසින්න.”
“ඒක නං හරිම අපූර්ව නිර්මාණයක් තමයි. දැන්
හෙට දවසෙදි පිරිත් අහන කොටත් කවදා හරි දවසක බදුලු ඔය දකින කොටත් අපිට අපූර්ව
විදිහට ඒක දකින්න පුළුවන්.”
“නඳුන් එහෙම කියන කොට අමල් ඉස්සෙල්ලා ආපු ප්‍රශ්නෙටත්
නිකන් ම උත්තර ලැබෙනවා.”
“මොකක් ද අමල් ප්‍රශ්නෙ මොකක් ද උත්තරේ.”
“මොකෝ සවිත් ඔයාට මෙච්චර ඉක්මනට අමතක උනා ද ඒ
ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ තමයි ඇයි අපිට වෙනදා දකින දේවල් ම වෙනදට වඩා ලස්සනට පේන්නෙ
කියන එක. හැබැයි අපේ අමල් ම ඒකට ඕන කරන උත්තරේට ඉඟියක් දුන්නා. අකුරු පහෙන් හරි
තුනෙන් හරි උත්තරේ දෙන්න පුළුවන් කියලා.”
“හරි අකුරු පහෙන් නං උත්තරේ ඒ ගඟුල් සර්.
අකුරු තුනෙන් නං ඒ ගඟුල් කියන නම ම තමයි. මන් වගෙ මැනේජ්මන්ට් කරන අයත් වැව ගැන,
කුඹුර ගැන, පන්සල ගැන වෙනස්
විදිහට දකින්න ගත්තෙ සර් නිස යි. සර්ට බැහැ ඒක නැහැ කියන්න.”
“නෑ දරුවනේ, ඔයගොල්ල තමයි ඒ කියපු වැවේ, කෙතේ, දාගැබේ උරුමක්කාරයො. මන් සාහිත්‍ය ශිෂ්‍යයන් සාහිත්‍ය
නොකරන ශිෂ්‍යයන් කියලා ඔයගොල්ලො කාත් එක්කත් කතා කරපු දේවල් ඔය අය තුළ පොඩි
උත්තේජනයක් ඇති කරන්න හේතු වෙන්න ඇති. ඒ වගෙම මන් මෙහෙට එන්න ඉස්සර වෙලා ඉඳලත්
තෙන්නකෝන් සර්, හිටපු ලොකු සර් වගෙ මේවා ගැන මට වඩා දැනීමක්
හැඟීමක් තිබිච්ච චරිත ඔයගොල්ලන් එක්ක මේ උරුමය ගැන ගොඩක් ගැඹුරින් කතා කරලා
තියෙනවා කියන කාරණෙත් කවදාවත් අමතක කරන්න එපා.”
“නෑ සර් අපිට ඒවත් අමතක නෑ. ඒත් ලොකු සර්,
තෙන්නකෝන් සර් අපට වඩා ගොඩක් වැඩිමල් නිසා ඒ සර්ලත් එක්ක
තියෙන්නෙ ගෞරවනීය සම්බන්ධයක්. ඒත් අපිත් එක්ක ම අපේ ගමේ ඇවිද ඇවිද යන සර්ව අපිට
දැනෙන්නෙ අපේ ම අය්යා කෙනෙක් විදිහට.”
එකරුණ අනිත් දෙදෙනා අතින් ද වදනින් නොව
බැල්මෙන් සනාථ වද්දී සවිත් තවත් කරුණක් මතු කෙළේ ය.
“සර් ඉස්සෙල්ලා කිව්වා නේද සමස්‍යා පූරණ ක්‍රියාවලිය
ඉස්සරත් සිද්ද උනා කියලා. සර් අපිට කියන්නකො සංස්කෘත සාහිත්‍යෙ තියෙන එහෙම තැනක්.”
“පුතා ඒ සාහිත්‍යෙ එහෙම තැන් තියෙන්නෙ එකක්
දෙකක් නෙමෙයි. මන් ඔයගොල්ලන්ට කියලා තියෙනව නේද භෝජප්‍රබන්ධෙ ගැන.”
“අනේ සර් මටනං කියලා නෑ.”
“ඉතින් පුතා මන් ඒවා මේ ගොල්ලන්ගෙ සාහිත්‍ය
පාඩම්වලදි කියපුවනෙ.”
“අනේ සර් මටත් බැරි ද ඒ පන්තිවලට එන්න.”
“එන්න බැරිකමක්නං නෑ. ඒ උනාට දරුවො, ඒ වෙලාවල්වලට ඔයාටත් ඔයාගෙ විෂයන්ට අදාළ පන්ති තියෙනවනෙ.
හැබැයි ඔයා කැමතිනං අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මන් හැම සිකුරාදම ඉස්කෝලෙ
ඇරුණට පස්සෙ සිංහල භාෂාවට සාහිත්‍යෙට අදාළ ව දවල් දෙකේ ඉඳලා හතර වෙනකන් උගන්නනවා.
ඔයාට ඒ වෙලාවට වෙන වැඩක් නැත්තං ඔයාටත් පුළුවන් ඒ පන්තියට එන්න.”
“අනේ සර් ඒක කොච්චර දෙයක් ද, මන් මේ සිකුරාදා ඉඳල ම ඒ පන්තියට එනවා.”
“ඒ පන්තිය ගැන ඒකෙ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්
විදිහට කියන්න කාරණා දෙකක් තියෙනවා. එක තමයි සර් දෙකේ සිට හතර කිව්වට ඒ පන්තිය
සමහර දවසකට හවස පහත් පහුවෙනකන් තියෙනවා කියන එක. දෙක කිසිදු අය කිරීමක් නැත කියන
එක.”
“කොහෙන් ද සර් ඔය විදිහට වැඩ කරන්න ඉගෙන ගත්තෙ.”
“මගෙ ගුරුවරුන්ගෙන්. ඒ වගෙම මන් මගෙ ජීවිතය
පිළිබඳ ගුරුවරයෙක් විදිහටත් සලකන සමන් සිත්තරාගෙන්.”
“සර් කොයි දේ ගැන කතා කළත් අන්තිමට නතර
වෙන්නෙ සමන් සිත්තරා හරි අදිකාරම්තුමා හරි ළඟ තමයි.”
“ඒ මන් නතර වෙන තැන් නෙමෙයි සවිත් මාව නතර
නොකරන උල්පත් දෙක.”
“සර්, ඒ සමන් සර්රුත් දැන් සර් අපිට උගන්නනවා වගේ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙත්
ළමයින්ට ඉගැන්නුව ද?”
“එයාගෙ ඉගැන්වීම් ක්‍රියාවලියත් එක්ක අපි ව
සන්සන්දනය කරන්න බෑ අමල්. එයාගෙ මුළු ජීවිතය ම ඉගැන්වීමක්නෙ. එයා ඉන්න තැනක,
කතා කරන දේක, අඳින චිත්‍රයක,
හදන මූර්තියක හිටන් රැඳිලා තිබුණෙ පාඩමක් ම තමයි.”
“එතකොට සර් දැන් අපේ මේ මැනේජ්මන්ට්කාරයා අපේ
සාහිත්‍ය පන්තිවලට එන්න අහනව වගේ සමන් සර්ගෙ චිත්‍ර පන්තිවලට වෙන ශිෂ්‍යයො ආවද?”
“ආවදත් අහනවා. මන් ඒකට දැනට එක උදාහරණයක්
විතරක් කියන්නං. සමන් අය්යා පළුගස්දමනෙ උගන්නන කාලෙ එක ශිෂ්‍යයෙක් පන්තියෙන් එළියට
වෙලා අහගෙන ඉන්නවා. සර් දැක්කා මේක. ඔයත් කැමතිනං එන්න පන්තියට කියලා කිව්වා.
හැබැයි මේ ශිෂ්‍යයගෙ ප්‍රධාන විෂය උනේ සංගීතය. ඔය කාලෙ ඒ ඉස්කෝලෙ සංගීතය ඉගැන්නුවෙ
ජේ. එන්. දයාපාල සර්. මේ ශිෂ්‍යයා ඒ සර්ගෙන් සංගීතය ඉගෙන ගන්න අතරෙම සමන් අය්යගෙන්
කලාවේ, කලා ශිල්පවල ඉතිහාසය ගැනත් ඉගෙන ගත්තා. දැන්
එයා ප්‍රසිද්ධ සංගීතඥයෙක්. කලාව ජීවිතයක් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න දන්න අද
අපිට ඉන්න විශිෂ්ට තනු නිර්මාපකයෙක්.”
“එහෙනං සර් අපිත් නමින් දන්න කෙනෙක් වෙන්න
ඕනනෙ.”
“ඔව් දර්ශන රුවන් දිසානායක නමින් ප්‍රසිද්ධ
වෙලා ඉන්න සංගීතඥයා තමයි ඒ. මන් එයාගෙ දකින විශේෂත්වය තමයි, තමන්ට සංගීතය උගන්නපු ගුරුවරුන් වගේ ම සමන් අය්යා වගේ
ජීවන සංගීතය උගන්වපු ගුරුවරුන් අමතක නොකිරීම. ලැබෙන අවස්ථාවලදි ඒ කාරණේ ප්‍රකාශ
කිරිම. දර්ශන සමන් අය්යා ගැන කියලා තියෙන්නෙ සැරයක් දෙකක් විතරක් නෙමෙයි.”
“ඉතින් සර්, අපි අපේ ඉස්කෝලෙ වැඩකටත් එතුමා ගෙන්නමුකො. සර් අපිට නිතර කියන සමන්
සිත්තරාගෙ ඇසුරත් ලබපු කෙනෙක්නං සංගීතය කරන ළමයින්ට විතරක් නෙමෙයි අනිත් ළමයින්ටත්
දැනෙන දෙයක් කියාවිනෙ.”
“ඒක හොඳ අදහසක්. මන් දර්ශනට කතා කරලා වෙලාවක්
දාගන්න බලන්නම්කො.”
“සර්, අර සමස්‍යාපූරණේ ගැන සංස්කෘත සාහිත්‍යෙ තියෙන තැන තවම කිව්වෙ නැහැනෙ.
හැබැයි සර් සිංහල තේරුමත් එක්ක ම කියන්න.”
“බැලුවහම දැන් නඳුන්නෙ සාහිත්‍ය ශිෂ්‍යයා
වෙලා තියෙන්නෙ. හරි මන් විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගත්ත එකක් ම කියන්නන්කො. ඔන්න දවසක්
භෝජ රජතුමා තමන්ගෙ කවි යාළුවො තුන් දෙනෙක් එක්ක පරිසරේ ලස්සන බල බලා වනන්තරයක්
මැදින් යනවා. රජ්ජුරුවොත් කවියනෙ. ඔන්න දැන් හතර දෙනාටම මහන්සියි. ඒක නිසා විලක්
ළඟ නතර වෙනවා.”
“ඒ කියන්නෙ සර් අපි කියන කවියො හතර දෙනා දැන්
මේ වැව ළඟ නතර වෙලා කතා කරනව වගේ ද?”
“ඔව් සවිත් අපි දැනට එහෙම හිතමුකො.”
“ඇයි සර් අපි එහෙම හිතුවා කියලා කියන්නෙ. අපි
හතර දෙනාම කවියොනෙ. අපිත් දැන් පේළියෙන් පේළිය කියලා සම්පූර්ණ කරපු කවියොනෙ.”
“ඒයි සවිත් සම්පූර්ණ කවියා, සර්ට කතාව කියන්න දෙනවකො.”
“ඔන්න මේ හතර දෙනා විල ළඟ ඉඳගන්නවා. මේ ඉර
බැහැගෙන යන ලස්සන හැන්දෑවක්. භවභූති කියන කවියා කියනවා මෙහෙම කවියක මුල් පේළිය.
අරුණකිරණජාලෛරන්තරීක්ෂේ ගතර්ක්ෂේ. ඒකෙ තේරුම
අවර ගිරට හිරු කිරණ ගිය කල්හි කියන එකයි. ඔන්න ඊළඟ දෙවන පේළිය පුරවන්න ඉදිරිපත්
වෙන්නෙ දණ්ඩි කවියා. එයා මෙහෙම කියනවා.
චලති ශිශිරවාතේ මන්ද මන්දං ප්‍රභාතේ.
“අර්ථෙ තේරුන් නැති උනාට වචනවල ලස්සන දැනෙනවා
සර්. මොකක් ද සර් ඒකෙ තේරුම.”
“අමල් ඒකෙ තේරුම උදෑසන ශීතල මඳ සුළඟ හමා
එද්දි කියන එකයි. තුන්වෙනි පේළිය පුරවන්න ඉදිරිපත් වෙන්නෙ කාලිදාස කවියා. එයා
මෙහෙම කියනවා.
යුවතිජනකදම්බේ නාථමුක්තෞෂ්ටබිම්බේ.
ඒකේ තේරුම වෙන්නෙ ළඳුන් සිය දෙතොල් පත්
පෙම්වතුන්ගෙන් මුදද්දී කියන එකයි. හරි දැන් කවුද ඉතිරි වෙලා ඉන්නෙ.”
“දැන් ඉතිරි වෙලා ඉන්නෙ සර් රජතුමානෙ.”
“ඔව් රජතුමා තමයි ඉතිරි. රජ්ජුරුවො තමයි කවිය
සම්පූර්ණ කරන්නෙ මෙන්න මෙහෙම.
වරමගිරිනිතම්බේ චන්ද්‍රබිම්බං ලලම්බේ.
ඒකෙන් කියැවෙන්නෙ අවරගිර කියන උකුළෙහි සඳ
බිඹුව එල්ඹුණා කියන එකයි. මට ඉස්සෙල්ලා කියන්න බැරි උනා. ඇත්තටම සමස්‍යාපූරණ ක්‍රියාවෙදි
සිද්ද වෙන්නෙ එක් කෙනෙක් කවියක අන්තිම පේළිය මුලින් කියලා අනිත් තුන්දෙනාට ඉතිරි
පේළි තුන පුරවන්න කියන එකයි. ඉතින් ඒ අනුව රජතුමා තමන් මුලින් කියපු අන්තිම පේළිය
ආයෙත් කියලා කවිය සම්පූර්ණ කරනවා වරමගිරි කියන කාව්‍යෝක්තිය දාලා.”
“අනේ සර් දැන් ඔය මුළු පද්‍යය ම එක සැරයක්
කියනව ද මන් වොයිස් රෙකෝඩ් එකක් දාගන්න.”
අමල්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ගඟුල්
සමස්ත පද්‍යය මෙසේ ප්‍රකාශයට පත් කෙළේ ය.
“අරුණකිරණජාලෛරන්තරීක්ෂේ ගතර්ක්ෂේ
චලති ශිශිරවාතේ මන්ද මන්දං ප්‍රභාතේ
යුවතිජනකදම්බේ නාථමුක්තෞෂ්ටබිම්බේ
වරමගිරිනිතම්බේ චන්ද්‍රබිම්බං ලලම්බේ”
“සර් අපි සිරිල් මාමලගෙ ගෙදරට නං යන්නෙ අපිට
මෙතනින් යන එක ලේසියි. ඊට පස්සෙ කුඹුරු යාය මැද්දෙන් ගියාම අපට පොඩි වැවක් හම්බ
වෙනවා. ඒ වැවට මායින් වෙන කැලෑරොද ඉවර වෙච්ච තැන තියෙන්නෙ සිරිල් මාමලගෙ ගෙදර.”
“නඳුන් ගමන් විස්තරයක් නෙමෙයි චිත්‍රයක්නෙ
ඇන්දෙ අපේ හිත්වල. අර 11 බී පන්තියෙ
ඉන්න කවිකාරි චතුරිගෙ ගෙවලුත් මේ ළඟම නේද?”
“ඔව් සර් චතුරි කියන්නෙ සිරිල් මාමගෙත්
ඥාති දුවක්නෙ.”
“ඔව් මන් දන්නව නඳුන් ඒක. ඒ දරුවා නිසා තමයි
මන් සිරිල් ගැන දැනගත්තෙත්. මට ඒ දුව කියලා තිබුණා එයාගෙ මාමා කෙනෙක් ගැන
මිනුවන්ගැටේ ඉස්කෝලෙ උගන්නන. සොබාදහමට බොහොම ආදරය කරන කෙනෙක්. මට ඒ සර්ව හම්බ වෙලා
තියෙනවා.”
“සර් මේ කියන්නෙ විමල් සර් ගැන. සිරිල් මාමත්
බොහොම ගරු කරන කෙනෙක්නෙ ඒ. ඇත්තට ම ඇයි සර්, සර්ට මේ සිරිල් මාමව හම්බ වෙලා කතා කරන්න හිතුණෙ.”
“සවිත් අපේ චතුරිගෙ කතාවලින් මගෙ හිතේ
මැවිච්ච සිරිල් කියන්නෙ ජීවිතේ වෙනසක් ඇති කරගත්ත කෙනෙක්. අපේ කෙල්ල කියපු විදිහට
අර ඔයගොල්ල කියපු විමල් සර් - චතුරිගෙ මාමා දවසක් කුමාරගම කවියගෙ නිර්මාණයක් ගැන
එයාට කියලා දෙනවා. ඒක සොබාදහමට සත්ත්ව ජීවිතවලට ආදරය කරන්න පොළඹවන නිර්මාණයක්. මන්
මේ ඉස්කෝලෙට ආපු මුල් දවස්වල ඔය චතුරිලගෙ පන්තියටත් දවසක ගියා. එදා මන් ගත්තෙ
මානෙල් ඕලු රසවත් නින්දට පමුණා කියලා පටන් ගන්න කුමාරගමගෙ කවි පන්තිය. ඒක කලින්
අහලා තිබිච්ච දුවක් ඒ පන්තියෙ හිටියා. ඒ චතුරි. චතුරි තමයි මට සිරිල් ගැන කිව්වෙ.”
“අන්න සර් අරක තමයි සිරිල් මාමලගෙ ගෙදර.”
“ෂා හරිම ලස්සන තැනකනෙ සිරිල්ලා ඉන්නෙ.”
“සර් සිරිල් මාමලගෙ තැන තමයි ඒ. හැබැයි සර්
ඊට ගෙවල් දෙකතුනකට එහා ඉන්න චතුරි නංගිට අපි එන එක කියලා නැත්තං සර්ට කෙසේ වෙතත්
අපිට තමයි එයාගෙන් බේරිල්ලක් නැති වෙන්නෙ.”
“අපි නඳුන්, සිරිල්ලගෙ ගෙදරට ගිහිල්ල ම චතුරිටත් පණිවිඩයක් යවමු. නැත්තන් කෙල්ලට දුක
හිතේවි.”
ඔවුන්ගේ ඉදිරියෙහි දැන් දෘශ්‍යමාන වන්නේ
අලංකාර ගෙවත්තකි. අක්කර දෙකක් පමණ වන ගෙවත්ත පලවැලින් පිරි සොඳුරු ගොවිපළක් විය.
අක්කරයක් පුරා පොල් වවා තිබූ අතර අතුරු භෝග වශයෙන් කුරුඳු සහ ගම්මිරිස් වවා තිබිණ.
ගෙවත්තේ තවත් කොටසක තිබුණේ සරුසාර පලදාවකට හිමිකම් කියන අඹ තුරු ය. ගණ අතුපතර ඇති
කොහොඹ තුරු ගෙන දුන්නේ සෙවණ පමණක් නොවේ. එ සෙවණ සමග සිසිලස ද විය. ගෙවත්ත මායිමේ ද
තිබුණේ සෙවණ සමග සිසිල දෙන කුඹුක් තුරු ය. කුඩා වැවක් වන් පතහක් ද එහි සුන්දරත්වය
වැඩි කෙළේ ය. වත්තේ කෙළවර සරුවට වැඩුණු කන්කුන් පාත්ති කිහිපයක් වූ අතර ගෙවත්ත කෙළවර
දැකිය හැක් වූයේ සරුසාර කොහිල යායකි. මේ හැරුණු විට දෙහි, නාරං, සේර, පේර ශාඛා ද එහි අසිරිය වැඩි කරනු පෙනිණ. කුඩා ගව රංචුවක්
මෙන් ම එළු රංචුවක් ද ඔවුනට දැක ගත හැකි විය. ඔවුන්ගේ නිවහන තිබුණේ ගෙවත්තේ මැදට
වන්නට ය. ගඟුල් ඒ නිවහනට නොයා තුරු සෙවණ තුරු සිසිල විඳිමින් බියකින් තොරව එබිම තණ
කමින් හැසිරෙන සතුන් දෙස බලා සිටින මොහොතේ ය, සිරිල් ඔවුන් වෙත පැමිණියේ.
“අනේ ඇයි සර්, මේ එළියට වෙලා. මට මේ නඳුන් පුතා කිව්වා සර්ලා අද මෙහෙ එනවා කියලා. මේ
කොල්ලො තුන් දෙනානං මෙහෙ ඇවිල්ල තියෙනවා. ගඟුල් සර් ගැන අහලා තිබුණට මන් කලින්
දැකලා තිබුණෙ නැහැනෙ. යමු සර් ගෙට. අපේ හාමිනෙයි දරුවො තුන් දෙනයි ඉන්නෙත් සර්ව
දකින්න ආසාවෙන්.”
ගඟුල් ප්‍රසන්න සිනහවක් පා තමා ඉදිරියේ
සිටින මිනිසා දෙස බලා සිටියේ ය. මුලින් සතුන් දඩයම් කළ මුත් පසුව ඉන් වැලකුණු
සත්ත්ව ආදරවන්තයා ය, මේ. සැබෑ ගුරුවරයකුගේ වචනයක්, කවියකුගේ දයාබර කවි චින්තාවක් නිසා සිය ජීවිතය වෙනස් කොට
ගත් මිනිසා ය, මේ. තමා දඩයම් කිරීම නවත්වා දැමූ බැවින්
දැන් වනාන්තරය ලස්සන කරන ආදරවන්තයන්ගේ කුලකයට තමා ද ඇතුළත් කරගන්නා මෙන්
මිනුවන්ගැටේ පාසලේ විමල් නම් ආචාර්යවරයාට දන්වා යැවූ මිනිසා ය, මේ.
”සිරිල් අය්යෙ, ඔයගොල්ලන්ව බලන්න එන්න හිතාගෙන හිටියෙ නම් මීට ගොඩක් දවසකට කලින්. ඒත් අපේ
ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවෙයි තවත් වැඩ කටයුතුයි සැරින් සැරේ යෙදිච්ච නිසා මට එන්න
බැරි උනා. ඒ උනාට මන් අපේ චතුරි දුවගෙන් විමල් සර්ගෙන් මගෙ මේ ඉස්කෝලෙ දරුවන්ගෙන්
ඔයා ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. පහුවෙලා හරි මෙහෙම හම්බ වෙච්ච එක කොච්චර දෙයක්
ද?”
“සර් විමල් මහත්තයා කියන්නෙ ගුරු වෙසින් ඉන්න
දෙවියෙක්. ඒ සර් අපේ දරුවො තුන්දෙනාගෙම ගුරුවරයෙක්.”
“ඒ කියන්නෙ සිරිල් අය්යගෙ දරුවො තුන්දෙනාම
යන්නෙ මිනුවන්ගැටේ ඉස්කෝලෙට ද?”
“එහෙමයි සර්. ඒකනෙ අපිට ළඟින් ම තියෙන
ඉස්කෝලෙ. දරුවන්ගෙ අම්මත් ඒ ඉස්කෝලෙ තමා ඉගෙන ගත්තෙ.”
“එතකොට සිරිල් අය්යා ඉගෙන ගත්තෙ.”
“ඉගෙන ගත්ත එක කෙසේ වෙතත් මමත් ආවෙ සර්ලගෙ
ඉස්කෝලෙට තමයි. හැබැයි සර්, මට ඉස්කෝලෙ යන්න
පුළුවන් උනේනං අටට විතරයි. මන් අටේ ඉන්න කොට තාත්තා නැති උනා. පවුලෙ වැඩිමලා
හැටියට අම්මයි නංගිල මල්ලිලයි බලා ගන්න වගකීම ඒ අඩු වයසෙදිම මන් සිය කැමැත්තෙන් මට
පවරා ගත්තා. තාත්තගෙ අතෙන් ගිලිහිච්ච උදැල්ල මගෙ අතට ගත්තා. ඒ කියන්නෙ පුංචි
කාලෙදිම මන් කුඹුරු වැඩ පටන් ගත්තා. හැබැයි සර් මන් ඉගෙන ගත්තෙ නැති උනාට මට සතුටු
වෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මන් නංගිලා මල්ලිලගෙ අධ්‍යාපනේ කඩාකප්පල් වෙන්න
ඉඩ තිබ්බෙ නැහැ.”
“සිරිල් අය්යා කොහොම ද ඉගෙන ගත්තෙ නැති
කෙනෙක් වෙන්නෙ. ඔයා දන්න ගොඩක් දේවල් මට බැහැනෙ. සිරිල් අය්යා දන්නවා හරියට උදැල්ල
අල්ලන්නෙ කොහොම ද කියන එක. මන් පෑන අල්ලන්න ඉගෙන ගත්තට ඒක ඉගෙන ගෙන නැහැ. සිරිල්
අය්යට ගස් නගින්න පුළුවන්, මට බැහැ. පරිසරය
දිහා බලලා අද දවසෙ මොන විදිහෙ කාල ගුණයක් තියෙයි ද කියන්න සිරිල් අය්යා දන්නවා.
ඒත් ඒ දැනුම මට නැහැ.“
”සර්, සර්ගෙ නිහතමානිකමට එහෙම කිව්වට මන් මගෙ තරම දන්නව සර්. ඒත් මන් අද දවසෙදිත්
ඉගෙන ගන්න තියෙන ආසාව නිසා දරුවන්ගෙ සිංහල පොත, බුද්ධාගම පොත බලලා ඒවයෙන් ජීවිතයට ගන්න ඕනෙ දේවල් ඉගෙන ගන්නවා. ඒ වගෙම
ජීවිතෙන් අත ඇරෙන්න ඕන දේවල් අත ඇරෙන්න අරිනවා.”
“සිරිල් අය්යගෙ අන්තිමට කියපු අන්න ඒ අතහරින
ගුණය තමයි ඔයානං හම්බ වෙන්න ම ඕන කරන කෙනෙක් කියන හැඟීම මගෙ හිතේ ඇති කළේ.”
“ඒකෙ ගෞරවේනං යන්න ඕන අපේ විමල් මහත්තයට තමයි
සර්. මන් මිට ටික කාලයකට ඉස්සර කරපු වැඩ මතක් වෙන කොට මට දුකයි ලැජ්ජාවයි කියන
දෙකම ඇති වෙනවා. සර්ට කියන්න, අපේ තාත්තා
උදැල්ල මිසක් කවදාවත් තමන්ගෙ අතට තුවක්කුව ගත්ත කෙනෙක් නෙමෙයි. ඒත් ඒ තාත්තගෙ මේ
පුතා ඒක අතට ගත්තා. ඒ විතරක් නෙමෙයි අපි වගෙම ජීවත් වෙන්න කැමති සතුන්ට උන්ගෙ ඒ
අයිතිය අහිමි කළා. කවුරු මට සමාව දුන්නත් ඒකට සර් මන් මට සමාව දෙන්නෙ නැහැ
කවදාවත්.”
“සිරිල් අය්යෙ, කවදාවත් වර්තමානය වෙන කොට තමන් ඒ අතීතෙ කරපු වැරදි නොකරන්න හිත හදාගෙන නං
ඉන්නෙ ඒ ගත වෙච්ච අතීතය ගැන තැවෙන්න එපා. මේ මොහොතෙ තමන්ට දැනෙන නිවැරදි දේ කරනවා
මිස.”
“අපේ මේ සර් කතා කරන්නෙත් විමල් මහත්තයා කතා
කරන විදිහටමනෙ. අනේ සර්, තවම අපි කතා කර
කර එළියෙනෙ ඉන්නෙ. යන් යන් ගෙට යන්. අන්න අපිට අඩු එක්කෙනත් ඈත එනවා.”
හැරී බැලූ ඔවුනට දැක ගැන්මට ලැබුණේ වත්තට
ඇතුළු වන කඩුල්ලෙන් පනින චතුරි සිසුවිය යි.
“ඔන්න සර් මගේ හෙවණ මගේ පැල්පත. මේ මගෙ දුකේ
සැපේ දෙකේ ම පංගුකාරි සුනීතා. එයා උසස් පෙළ වෙන කන් ඉගෙන ගත්ත කෙනෙක්. කෝ මගෙ
බැටෑලියන් එක.”
ඒ මොහොතේ සිරිල්ගේ ලොකු දුව, පොඩි දුව සහ පවුලේ දෙවැන්නා වන පුතා ඉදිරියට පැමිණියහ.
“සර් මේ ලොකු දුව මනසි, පුතා සදම්, පොඩි දුව සදසි.”
“හොඳ තේරුම් තියෙන ලස්සන නම්නෙ. කවුද මේ නම්
දැම්මෙ.”
“වෙන කවුද සර් මගෙ අතේ තියන් හිටපු තුවක්කුව
විසි කරන්න හිතෙන විදිහෙ කතා කියපු කවි එවපු කෙනා ම තමයි.”
“ඒ කියන්නෙ අපේ විමල් සර් ද නම් දැම්මෙ.”
“ඔව් සර් විමල් සර් තමයි. ඒ සර් අපේ මේ
සුනීතට දුරින් නෑ වෙනවා. අපේ ලොකු දුව උපදින කොට විමල් සර් විශ්වවිද්‍යාලෙ ඉගෙන
ගන්නවා. පුතා උපදිනකොට සර් උපාධිය අරගෙන හිටියෙ. මේ පොඩ්ඩිට නම දැම්මෙ ගුරුවරයෙක්
හැටියට වැඩ කරන කාලෙ.”
“ඒ කියන්නෙ විමල් සර් මේ පවුලට ගොඩක් කිට්ටු
කෙනෙක්.”
“ගොඩක් නෙමෙයි ගොඩක් ම කිට්ටු කෙනෙක්. අපේ
දරුවන්ට විතරක් නෙමෙයි තමන්ගෙන් ඉගෙන ගන්න, ඉගෙන ගන්නෙ නැති කොයි දරුවටත් උදව් කරන්න කැමති, කොයි දරුවටත් ගොඩක් කිට්ටු කෙනෙක්.”
“ඒ කියන්නෙ විමල් සර් අපේ ගඟුල් සර් වගෙම
කෙනෙක් කියන එකනෙ.”
ඒ ප්‍රකාශය කෙළේ ගඟුල්ගේ ශිෂ්‍යයකු නොවී
ශිෂ්‍ය භාවයට පත් ව සිටි නඳුන් ය.
“කොටින් ම කියන්න සර්, මට මේ ගෙදර විමල් මහත්තයට විරුද්ධ ව විහිළුවකටවත් වචනයක්
කියන්න බැහැ. හතර දෙනෙක් ම එනවනෙ මට විරුද්ධ ව යුද්ද ප්‍රකාශ කරගෙන.”
“ඇයි තාත්තෙ, සර්ට කියන්නකො කිසි දේකට කේන්ති ගන්නෙ නැති තාත්තගෙ පොඩි දුව කේන්ති ගන්න
එකම කාරණේ ගැනත්.”
“කමක් නැද්ද පොඩි දුව ඒක කිව්වට. සර්ට කියන්න
අපේ ගෙදර ඉන්න සාමදූතිකාව තමයි මේ පොඩි දුව සදසි. එයා ලේසියෙන් කේන්ති ගස්සන්න බෑ
අපිට. හැබැයි අක්කයි අය්යයි දෙන්නා එයාව කේන්ති ගස්සන්න හිතලා, හැබැයි ඒ විහිලුවට කියනවා විමල් සර් තමයි අපේ ඉස්කෝලෙ
වැඩක් ම නැති සර් කියලා. එතකොට මේ පොඩි බට්ටිච්චිට එන කේන්තිය නවත්තන්න සුනීතටයි
මටයි මැදිහත් වෙන්නම වෙනවා. මොකක් ද පුතේ ඒ වෙලාවට නංගිට වෙනවා කියලා ඔයගොල්ල කියන
වචනෙ.”
“නංගි දැන් ෆයර් වෙලා කියලනෙ කියන්නෙ
තාත්තෙ.”
“අන්න හරි ඒක තමයි වචනෙ. හැබැයි මන් හිතන්නෙ
මේ කලාතුරකින් කේන්ති යන එක එයාට උරුම උනේ එයාගෙ අම්මගෙන් කියලයි.”
සිරිල් සිනාසෙමින් එසේ පැවසුවේ සිය බිරිඳ
දෙසට අත දිගු කරමිනි.
“හැබැයි සිරිල් අය්යෙ, මටනං මේ සුනීතා අක්කා කේන්ති ගන්න කෙනෙක් කියලා නං
හිතෙන්නෙම නෑ. හැබැයි ඉඳලා හිටලා හරි කේන්ති ගත්තනං ඒකටත් මොකක් ම හරි සාධාරණ
හේතුවක් තියෙන්න ඇති.”
“අන්න දැක්ක ද, එක දවසක් දැක්ක උනත් අපේ මේ සර්ට ඒක තේරුණා. සර් අපේ එක්කෙනාගෙන් අහන්නකො ඒ
ඉඳලා හිටලා හරි මන් කේන්ති ගත්තනං ඒ මොකක් නිසා ද දැනුත් ඒ කේන්තිය තියෙනව ද
කියලා.”
සුනීතා එසේ පැවසුවේ දුටු පළමු දිනයේ දී ම
තමාට සිය ඥාති සොයුරු විමල්ගේ ගුණරුව සිහිපත් කරවන සුළු මේ ගුරු තරුණයා පිළිබඳ ව
හද පිළිසිඳි සොයුරු ප්‍රේමයෙනි.
“ඒක නං ඇත්ත සර්. මගෙ දඩයම් කිරීමට විරුද්දව
මුල්ම වෙඩිල්ල පත්තු කළේ මේ සුනීතා තමයි. එහෙම දඩයමක් කරපු දවසට මාත් එක්ක ඒ වැඩේට
ගිය යාළුවෙක්ගෙ ගෙදර ඉන්නවා මිසක් මන් මේ ගෙදර පළාතෙ එන්නෙ නැහැ. ඊට පහුවදා ආවහමත්
සුනීතා කෑම ටික තේ ටික හදලා දුන්නට මාත් එක්ක කතා කරන්නෙ නැහැ. දරුවන්ගෙ හැසිරීමත්
වෙනස්. ඒ තියා එහෙම දවසට මේ ගෙදරට ඇවිල්ල ඉන්න මෙන්න මේ බඩ්ඩ ඉන්නෙත් මාත් එක්ක
කේන්තියෙන්.”
සිරිල් අවසන් වැකිය පැවසුවේ ඒ වනවිට ඒ
නිවහනට පැමිණ සිටි චතුරි පෙන්වමිනි.
“හැබැයි සිරිල් අය්යෙ, ඔය කාරණේදී මන් ගන්නෙත් සුනීතක්කලගෙ පැත්ත.”
“ඉතින් මහත්තයො, මාත් ඉතින් අන්තිමට ගත්තෙ ඒ පැත්ත තමයි. ඒකනෙ ඉතින් මන් ඒ වැඩේ නතර කළේ.
දැන් මට මේ ගොල්ලො නමකුත් දාලනෙ සර් තියෙන්නෙ.”
“කියන්ඩකො බලන්න සිරිල් අය්යෙ, අපිටත් දැනගන්න එක්ක ඒ නම.”
“පරිසර ආදරවන්තයා. මන් සර් දැන් එසේ මෙසේ
පරිසර ආදරවන්තයෙක් නෙමේ. මේ වෙන කොට ඉස්සර මාත් එක්ක දඩයමේ ගිය යාළුවො දෙන්නෙක් ම
ඒකෙන් මුදවා ගත්ත පරිසර ආදරවන්තයෙක්.”
සිරිල් එම වචන ටික පැවසුවේ තරමක ආඩම්බරයෙනි.
“බලන්ඩකො සර්, අපේ මහත්තයගෙ ආඩම්බරේ.”
“ඒකනං සුනීතක්කෙ කෙනෙකුට ඇත්තටම ආඩම්බර වෙන්න
තරන් කාරණයක් තමයි. මොකද ගොඩක් දෙනා ආඩම්බර වෙන්නෙ, ආඩම්බර වෙන්න ඕන කාරණාවලට නෙමෙයි, මහ පුහු දේවල්වලට. එහෙම බැලුවහම සිරිල් අය්යා කරලා තියෙන්නෙ හරිම ශ්‍රේෂ්ඨ
වැඩක්. එහෙනං ඉතින් ඔයා පරිසර ආදරවන්තයෙක් විතරක් නෙමෙයි හැබෑම කල්‍යාණ මිත්‍රයෙක්
කියලත් කියන්න පුළුවන්. අපේ පෙරදිග සාහිත්‍යෙ තියෙන හැටියටත් ඔයා සිරිල් අය්යෙ,
ඒ පෙන්නුම් කරලා තියෙන්නෙ කල්‍යාණ මිත්‍ර ලක්ෂණ තමයි.”
“අනේ සර්, එහෙම එක තැනක් ගැන හරි අපිට කියන්ඩකො අපිටත් දැනගන්න එක්ක. අපේ සිරිල්
මාමත් හරිම කැමතියි අලුතින් දේවල් ඉගෙන ගන්න. මන් කෝකටත් කියලා අපේ අය්යගෙන් ෆෝන්
එකත් ඉල්ලගෙන ආවෙ සර් තැනකට ආවොත් මොනවා හරි ලස්සන දේවල් කියන බව දන්න නිසා ඒවා
රෙකෝඩ් කරගන්න.”
“මේ මේ චතුරි නංගි, ඒකට නං ඔයා අපෙන් අවසර ගන්න වෙනවා. මොකද අපිනෙ සර්ව මෙහෙට එක්ක ආවෙ.”
“ආ හරි කතාවක්නෙ සවිත් අය්යෙ කියන්නෙ. මන්නෙ
අපේ සර්ට ඉස්සෙල්ලම සිරිල් මාමා ගැන කිව්වෙ. ඒක නිසා මටත් අයිතියක් තියෙනවා සර්
කියන ඒවා රෙකෝඩ් කරගන්න.”
“අනේ ඔය කෙල්ලව අවුස්සන්නෙ නැතුව ඉඳහන්
සවිත්. සර් කියන්න, සර් ඒ කියමන. ඔන්න දැන් මේ වෙලාවෙ අපි
එක්කොටම වඩා උනන්දු ශිෂ්‍යයා වෙලා ඉන්නෙ අපි කවුරුවත් නෙමෙයි මේ සිරිල් අය්යා.”
ඒ කතාකෙළේ අමල් ය.
“ඇත්තටම මහත්තයො මන් හැමදාම අලුතින් දෙයක්
ඉගෙන ගන්න කැමතියි. අන්තිමට බැලුවහම මගෙ ළමයි තුන්දෙනාට ඉගෙන ගන්න ලැබෙන්නෙ
මිනුවන්ගැටේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගුරුවරියන්ගෙන්. අපේ මේ පුතාලා තුන්දෙනා ඒ වගෙම
චතුරි දුව ඉගෙන ගන්නෙ නාගොල්ලාගම ගුරුවර ගුරුවරියන්ගෙන්. මට වාසනාව ලැබිලා තියෙනවා
ඒ ඉස්කෝල දෙකේ ම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයදෙගොල්ලම තමන්ගෙ
ඉස්කෝලවලට යන්න ඕනෙ පාඩම් ඉගෙන ගන්න. ඒත් මන් ගෙදර ඉඳගෙන ඒ පාඩම් ඉගෙන ගන්නවා.
හිටපු ගමන් විමල් මහත්තයා ඇවිල්ලා හොඳම හොඳ පාඩමක් කියලා දෙනවා. අද මේ ගඟුල්
මහත්තයා ගෙදරට ම ඇවිල්ලා පාඩම් කියා දෙනවා.”
“ඒ උනාට සිරිල් අය්යෙ, අපි ආවෙ ඔයාට පාඩම් උගන්නන්න නෙමෙයි, ඔයාලගෙන් පාඩම් ඉගෙන ගෙන යන්න. බලන්න ඔයාගෙ මේ ගෙවත්ත ම
අපිට පාඩමක්. ඊළඟට මේ ගෙදර තියාගෙන ඉන්න හැටි. ඒ විතරක් ද ඔයගොල්ල ජීවත් වෙන හැටි.
ඒ පාඩම් ක්‍රියාත්මක වෙන තැනක් නිසාම තමයි මට මේ වෙලාවෙ ඒවට ගැළපෙන යම්යම් දේවල්
මතක් වෙන්නෙ. ඈ චතුරියෙ, දැන් මේ කියන
ඒවත් ඔයා ඔය රෙකෝඩ් කරනව ද?”
“ඔව් සර්, ඒවත් වැදගත්. දැන් අපි බලන් ඉන්නෙ සර් කියනවා කිව්ව සාහිත්‍ය ප්‍රකාශෙ
කියනකන්.”
ඒ මොහොතේ එතැන සිටි සියලු ම දෙනාගෙන් ඊට ප්‍රසාදපූර්වක
අනුමැතිය පළවද්දී ගඟුල් සිය හඬ අවදි කෙළේ ය. ඒ මොහොතේ චතුරිගේ පමණක් නොව තවත්
දූරකථන සතරක් එය පටිගත කොට ගැන්මෙහි ලා සූදානම් ව තිබිණ. ඒ මෙහෙයුමට සම්බන්ධ ව
සිටියේ නඳුන්, අමල්, සවිත් සහ සිරිල්ගේ වැඩිමහල් දියණි මනසි ය.
“පාපාන් නිවාරයති යෝජයතේ හිතාය
ගුහ්‍යං නිගූහති ගුණාන් ප්‍රකටී කරෝති
ආපද්ගතං ච න ජහාති දදාති කාලේ
සන්මිත්‍ර කුලක්ෂණමිදං ප්‍රවදන්ති සන්තඃ”
පද්‍යය පැවසීමෙන් පසු ගඟුල් බැලුවේ සිංහල
උසස්පෙළ විෂයයක් වශයෙන් හදාරන සිය ශිෂ්‍යයන් දෙදෙනා දෙස ය.
“මට මතකයි මන් දවසක් ඔය පද්‍යය ඔයගොල්ලන්ගෙ
පන්තියෙ දි කියලා ඒකෙ තේරුමත් කිව්වා. ඒක නිසා මන් කැමතියි, අපේ සවිත් හරි, අමල් හරි ඒකෙ අර්ථෙත් එක්ක ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරනවනං.”
අමල් බැලුවේ සවිත් දෙස ය. ඒ අනුව සවිත් ගුරු
වචනයට මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“දැන් අපේ සර් කියපු පද්‍යයට මෙහෙම අර්ථ
දෙන්න පුළුවන්. මේකෙ මුලින් ම කියවෙන්නෙ හොඳ යාළුවා තමන්ගෙ මිත්‍රයන් ව පාපයෙන්
වැරදි දෙයින් මුදවා ගන්නවා කියන එකයි.”
“ඒ කියන්නෙ මේ මට උනා වගේ. අපේ විමල්
මහත්තයයි මේ පොඩි කෙල්ල චතුරි දුවයි මාව දඩයමෙන් වළක්ක ගත්තා වගේ. එහෙම නේද දුවේ.”
එසේ කියා චතුරි දෙස බැලූ සිරිල් යලිත්
සවිත්ට කතා කිරීමට ඉඩ දී නිහඬ විය.
“ඔව් සිරිල් මාමා කිව්ව හරි. මන් හිතන්නෙ කල්‍යාණ
මිත්‍රකමට වයස් භේදයකුත් නෑ. දැන් විමල් සර්රුත් සිරිල් මාමට වඩා වයසින් බාලයි.
චතුරි නංගි සිරිල් මාමගෙ පුතාගෙ වයසෙ. හැබැයි ඒ දෙන්න සිරිල් මාමා සම්බන්ධයෙන් වැඩ
කරලා තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් විදිහට. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි සිරිල්
මාමටත් පුළුවන්කම තිබුණා තමන්ට ඒ අය කියපු යහපත් දේවල් හිතට අරන් ඒ අනුව වැඩ
කරන්න. ඒක නිසා තමයි මාමට පුළුවන් උනේ මේ කවියෙ තියෙන ඊළඟ කෑල්ල ඇත්තක් කරන්න. ඇයි
කල්‍යාණ මිත්‍රයා තමන්ගෙ යාළුවන් ව යහපතෙහි යොදනවා කියලනෙ ඊළඟට කියන්නෙ. සිරිල් මාමා
දඩයම් කරන එක නැවත්තුවා කියන එකෙන් කියවෙන්නෙ ඒකනෙ.”
“සර්, ඒ විතරක් නෙමෙයි ඒකත් එක්ක තාත්තා තවත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඒ වෙනකන්
උදේට කුරුල්ලන්ට, ලේනුන්ට කෑම දාන වැඩේ කර කර හිටපු අම්මගෙ
අතින් ඒ වැඩේ සිය කැමැත්තෙන් තමන්ට බාර ගත්ත එක. දැන් එක ලේනෙක් ඉන්නවා තාත්තා කෑම
දාපු ගමන් ළඟට ම එන.”
“මේ ලොකු දුව කියපු කාරණේ හරි. අපි සත්තුන්ට
ආදරේ කරන කොට උනුත් අපිට ආදරේ කරන්න පටන් ගන්නවා. අද නිර්මාංසික ජීවිතයක් ගත කරන
ආදිවාසි නායක වන්නිලැ ඇත්තො මුලින් දඩයම් කරපු කෙනෙක්. දවසක් ගැබ්බර මුව දෙනෙකුට
ගිනි බිඳලා ඇති වෙච්ච කම්පනය තමන්ව වෙනස් කළා කියලයි එතුමා අපිට කිව්වෙ. එතුමාගෙ ඒ
වෙනස අපි අද්දැක්කා. අපේ විශ්වවිද්‍යාලෙ අධ්‍යයන චාරිකාවකට සැරයක් අපි යොදා ගත්තෙ
දඹාන වැදි ගම්මානෙ. අපි දවස් කීපයක් එහෙ නතර වෙලා හිටියා. අපි වන්නිලැ ඇත්තන්ගෙන්
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතුමත් එක්ක වන සංචාරෙ යෙදුණා. එක ගෝනෙක් හිටියා, එතුමා යන යන තැන පස්සෙන් එන. එදා අපේ වන සංචාරෙදි
වන්නිලැ ඇත්තන්ගෙ හෙවනැල්ල වගේ හිටියෙ ඒ සතා.”
“සර් මන් මේ කතා කෙළේ එක හොඳ දෙයක් කතා කරන
කොට තව කීයක් නං හොඳ දේවල් මතු වෙනව ද කියන එක. දැන් පුතේ, අපේ මේ සර් කියපු කවියෙ තේරුමෙ ඉතිරි ටිකත් කියන්ඩකො.”
“ඊළඟට කියවෙන්නෙ හොඳ මිත්‍රයා යාළුවෙක්ගෙ
වැරැද්දක් අඩුපාඩුවක් දැක්කහම ඒක ප්‍රසිද්ධ කරන්න යන්නෙ නැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ
තමන් ආශ්‍රය කරන යාළුවගෙ දකින හොඳ ගුණාංග ගැන ප්‍රසිද්ධියේ කතා කරන එක. ඊළඟට
යාළුවෙක් කරදරේ වැටුණහම එයාව අත හරින්නෙ නැහැ තමන්ට පුළුවන් විදිහට හැම උදව්වක් ම
කරනවා මිසක්. මෙහෙම කියලා නාරායණශර්මන් අන්තිමට කියන්නේ සත්පුරුෂයො කල්‍යාණමිත්‍ර
ලක්ෂණ කියන්නෙ ඔන්න ඕවට තමයි කියලා.”
“ෂා සවිත් මන් හිතුවටත් වඩා හොඳට අපි කාටත්
තේරෙන විදිහට ඒක පැහැදිලි කළානෙ.”
එසේ පැවසුවේ සිය ශිෂ්‍යයාගේ පැහැදිලි කිරීම
ගැන ප්‍රසාදයට පත් ගඟුල් ය.
“ගඟුල් මහත්තයා, ඔය ගුණාංග තමන් ජීවත් වෙන ගමටත් තමන්ට හම්බ වෙන කාටත් බෝ කරන හොඳ ගොවියො
දෙන්නෙක් ඉන්නවා තඹගල්ල ගමේ. ඒ දෙන්නා මාමයි බෑණයි. තඹගල්ලෙ අක්කර විස්ස කිව්වහම
කවුරුත් දන්නවා. යන් සර් දවසක මාත් එක්කම එහෙ. අන්න ආදර්ශ ගොවිපළක් කියලා කියන්න
පුළුවන් එහෙම තැනකට තමයි.”
“සර් එක්ක අපිත් එනවා, අපිත් එනවා.”
නඳුන්, අමල් සහ සරිත් විසින් එසේ කියන ලද්දේ එකම වෙලාවකදී ය.
“හරි හරි මන් තනියම යන්නෙ නැහැ. මේ ආවා වගේ
ඔයගොල්ලොත් එක්ක තමයි යන්නෙ. මට බය දැන් සිරිල් අය්යලගෙ ගෙදරට මේ ආපු ගමන ආරංචි
උනාට පස්සෙ අපේ ඉස්කෝලෙ අනික් හාදයන්ගෙනු යි හාදියන්ගෙනු යි, ඊළඟ ගමන එක්ක යන්න කියලා මට බේරුමක් නැති වෙයි ද කියලා.”
“ඉතින් හොඳයිනෙ සර්, කොච්චරක් ආවත් ඒ අය කැමති වේවි. ඕන තරමකට කන්නත් දේවි. ඒ
විතරක් නෙමෙයි, එහෙ ගත කරන වෙලාව අනුව අල, බතල එහෙමත් තම්බලා දේවි.”
‘සිරිල් මාමෙ මාත් එනවා’ යනුවෙන් චතුරි පැවසූ
විට ඒ දවසට ‘රන් බණ්ඩා මාමලාගේ ගෙදර යාමට තමනුත් යා යුතු බව’ අවධාරණයෙන් කියා
සිටියේ සිරිල්ගේ දරු තිදෙනා ය.
මේ රන්බණ්ඩා යනු කවු ද? ඔහු ගොවිබිමට දියවරකි. බිරිඳ ජයවතී ජයවන්තියකි. දරු
සදෙනෙකි. වැඩිමහල් පුතු ඇතුළු පුතුන් තිදෙනෙක් ද දෙවැනි දියණිය ද සරසවි අධ්‍යාපනය
ලබා රැකියා සඳහා ගම හැර ගොසිනි. එහි වරද හෝ නිවැරැද්ද දැකීමට නොයමි. දැකුමට ඇති
දෙය කියමි. සිරිල් පවසන පරිදි ඔබ අප කාටත් දැක ගැන්මට ලැබෙන්නේ මහා ගොවි කුලකය
නියෝජනය කරන රන් බණ්ඩාගේ ගොවි දෑතේ ආශිර්වාදය ඔහුගේ වැඩිමහල් දියණි රන්සිරිනි හා
යුගදිවි පත් සපුමල්ට හිමි වූ බව ය. සපුමල් යනු කෘෂිවිද්‍යා උපාධිධරයෙකි. සිය සරසවි
ජීවන සමයේ දී දෙමව්පියන් අහිමි වූ පවුලේ එකම දරුවා වූ සපුමල් සිය ප්‍රථම ගුරු
පත්වීම ලබා පැමිණියේ තඹගල්ල පාසලට ය. එහි විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත සපුමල්ට
නවාතැන් සැලසුණේ රන්බණ්ඩාගේ නිවහනෙහි ය. මේ කෘෂිවිද්‍යා උපාධිධරයා කෘෂිකර්මය
පිළිබඳ පශ්චාද් උපාධිය ලබන්නේ මහාචාර්යවරයකු නොවී මහාචාර්යවරයකු වූ රන්බණ්ඩා
වෙතිනි. සිය සරසවි ඇදුරන් වෙතින් ලත් දැනුමත් තඹගල්ලේ දී රන්බණ්ඩා වෙතින් ලත්
සාම්ප්‍රදායික ඥානයත් එකතු වීමෙන් බිහිවූ සපුමල් යනු සාම්ප්‍රදායික ගොවි ඥානයේත්
නවීන කෘෂිවිද්‍යා ඥානයේත් මනා සංකලනයක් විය. විවාහයන් ඇතුළු වෙනත් හේතූන් නිසා හෝ
පවුලේ වැඩිමහල් පුතු ඇතුළු පුතුන් තිදෙනාත් වැඩිමහල් දියණියත් දුරස් වූ මේ ගෙදරට
කල් ගත වනවිට නිරායාසයෙන් ම වැඩිමහල් පුතු බවට පත් වූයේ සපුමල් ය. ඔහු හදවතින් ම
රන්බණ්ඩා සිය පිය තනතුරෙහි මෙන් ම ගුරු තනතුරෙහි ලා සැලකීය. ජයවතී නම් දිරිය
ගැහැණිය අම්මා අහිමි ඔහුට අම්මා ම වූ අතර ඔවුන්ගේ දියණිය සහපතිනිය වූවා ය. දැනට උසස්පෙළ
පන්තියේ ඉගෙන ගන්නා බාල දියණිය දැන් සපුමල්ගේ ම කනිටු සොයුරිය වී හිඳියි. පාසලේ
මෙන් ම සිය පිය තනතුරට පත් රන්බණ්ඩාගේ මහ ගොවිපළෙහි ද සපුමල් ගොවිතැන් පිළිබඳ නව
අත්හදාබැලීම් කරයි. දැන් අපි රන්බණ්ඩා සහ සපුමල් පිළිබඳ සිරිල්ගේ කියවීමට සවන්
දෙමු.
“ගඟුල් මහත්තයො, ඔය සපුමල් මහත්තයා දැන් අපේ පවුලේ හිතවතෙක්. ඒ වගෙම රන් බණ්ඩා මාමා වගෙම,
සර් දැන් මේ අගය කරන මගෙ මේ ගොවිතැන් වැඩ තියෙන්නෙ. අන්න
ඒ වැඩවලට උපදෙස් දෙන හොඳ ගුරුවරයෙක් තමයි මට ඒ මහත්තයා.”
“සිරිල් අය්යා කොහොමත් හොඳ ගොවියෙක්නෙ. එතකොට
මොනාද ඔයා ඒ සපුමල් මහත්තයගෙන් ලබන විශේෂ උපදෙස්.”
“ඇත්ත
කියන්න සර්, ඒ සර් හම්බ වෙනකන් මමත් පාවිච්චියට ගත්තෙ
රසායනික පෝර. එයා තමයි මාව කාබනික පෝර පාවිච්චියට යොමු කළේ. ඒ සර් කොහොමත් අපේ
විමල් මහත්තයගෙ යාළුවෙක්. විමල් සර් අපි ගැන ඒ සර්ට විස්තර කියලත් තිබුණා. ඒ වගෙම
කලින් දඩයම් කරපු දැන් තුවක්කුව අත ඇරලා උදැල්ල අතට ගත් ගොවියෙක් කියලත් මන් ගැන
කියලා තිබුණා. සපුමල් සර් ආවයි කියන්ඩකො දවසක් අපේ ගෙදර, අපේ ගොවිතැන් කටයුතු කෙරෙන විදිහ ගැන බලන්න. ඉතින් අපේ වගා වැඩ බලලා අගය
කළත් කියමුකො. ඔන්න එකපාරට ම ඇහැව්වා මෙහෙම ප්‍රශ්නයක්. මොනාද සිරිල් අය්යෙ ඔයා
පෝර හැටියට ගන්නෙ කියලා. මන් කිව්වා ඉතින් රසායනික පෝර මිසක් වෙන මොනව ද කියලා. ඊට
පස්සෙ මන් එතෙක් පාවිච්චියට ගත්ත පෝර වර්ග බලලා, යොදන කෘමිනාශක දිහා බලලා දුන්නෙ නැද්ද මට දේශනයක්. මාව උඩුකුරුඤ්ඤං වෙලා
ගියේ ඒ මහත්තය ඊළඟට අහපු ප්‍රශ්නෙන්.”
“මොකක් ද සිරිල් මාමේ, සපුමල් සර් මාමා උඩුකුරුඤ්ඤං යන තරමට අහපු ප්‍රශ්නෙ.”
“මේ විමල් කිව්වෙ නං සිරිල් අය්යා දඩයම්
කිරිල්ල නැවැත්තුවා කියලා. බැලින්නනං ඒක එහෙම වෙලා නැහැනෙ.”
“ඇත්තමයි මහත්තයො බොරුනං අපේ එක්කෙනාගෙනුත්
අහලා බලන්න. ඒ වගෙම මගෙ දරුවන් තුන්දෙනා පල්ලා මන් දැන් දඩයමේ යන්නෙ නැහැ.”
“සිරිල් අය්යෙ, ඒක බොහොම හොඳ දෙයක්. අපි ඒක අගයත් කරනවා. අද මේ ඔයාව බලන්ඩ එන්න තරමට මට
හිතුණෙත් ඒකම තමයි. හැබැයි සිරිල් අය්යෙ, ඔයාට මන් දඩයම් කරනවා කියන එක නැවැත්තුවා කියන්න පුළුවන් වෙන්නෙ සියලු ම
ආකාරෙ දඩයම් නැවත්තුවොත් විතරයි කියලා සපුමල් මහත්තයා කිව්වා.
“සිරිල් අය්ය ඒ වෙන කොට ඒ කෘමි නාශක වගෙම
රසායනික පෝර යොදන එක කළා ද?”
“කළා නේන්නං ඒකනෙ සපුමල් මහත්තයා මට ඒවයෙ
ආදීනව කියලා දෙන්න පටන් ගත්තෙ.”
“ඔය සපුමල් සර් මෙහෙ ආවා කිව්ව දවස කියන්නෙ
අපේ තාත්තා ගොඩක් කල්පනා කරපු දවස. ඉදිරි ගොවිතැන්වල රටාව වෙනස් කරපු දවස.”
එම ප්‍රකාශය කෙළේ සිරිල්ගේ වැඩිමහල් දියණිය
යි.
“ඒ කියන්නෙ දුව, එහෙනං වස විස භාවිතෙන් තාත්තව අහක් කරගෙන තියෙන්නෙ එහෙනං ඒ සපුමල්
මහත්තයා.”
“අම්මප ඔව් මහත්තයො, මට තේරෙන සිංහලෙන් මහපොළොවට ඒවා එකතු කිරීම නිසා වෙන මහ
විනාසෙ ඒ මහත්තයා මට පෙන්නලා දුන්නා. ඒ වගෙම අපේ පස සරු කරලා ගොවිතැනට උදව් කරන
සතුන් මැරෙනවා කියන එක පෙන්නලා දුන්නා. කල් ගත වෙන කොට පස නිසරු වෙනවා කියන
කාරණෙත් පැහැදිලි කළා. ඒ වගෙම තමන් ආහාරෙට ගන්නෙත් අනුන්ට කන්න දෙන්නෙත් වස කියන
එක බොහොම අපූරුවට පෙන්නලා දුන්නා. මට සමහර කාරණා පැහැදිලි කරලා දුන්නෙ අපේ
ළමයින්ගෙන් කොළ ඉල්ලගෙන රූප සටහන් හිටන් ඇදලා පෙන්න පෙන්න.”
“ඉතින් සිරිල් අය්යා ඔහොම පැත්තක් ගැන අහලා
තිබුණෙ ම නැද්ද?”
“අහලා තිබුණා සර් ඕකෙ විරුද්ධ පැත්ත. අපේ
කෘෂිකර්ම වැඩවලට අපට උපදෙස් දෙන්න ආපු සර් අපිට කිව්වෙ රසායනික පෝර පාවිච්චි කරලා
වැඩි අස්වැන්නක් ගන්න එක ගැන. ඒ වගෙම කෘමිනාශක දාන්නැතුව ගොවිතැන් කරන්නෙ වර්තමාන
කෘෂි ප්‍රවණතා ද මොකක් ද නොදන්න තාමත් සම්ප්‍රදාය කරේ තියාගෙන ඉන්න අය කියලත් ඒ
මහත්තයා කිව්වා. මට මුලින් මේක හරි ප්‍රශ්නයක් උනා සර්.”
“මොකක් ද සිරිල් අය්යෙ ප්‍රශ්නයක් උනා
කියන්නෙ.”
“ඇයි මහත්තයො එකම විශ්වවිද්‍යාලෙකින්
කෘෂිකර්මාන්තෙ ගැන ඉහළට ඉගෙන ගත්ත එක මහත්තයෙක් අර ජාති නැතුව මොන ගොවිතැන් කෙරිලි
ද කියන කොට ඒකෙම ඉගෙන ගත්ත වෙන මහත්තයෙක් ඇවිල්ලා ඒවා ගොවිතැන්වලට උදව්වකි නෙමෙයි
හානියක් කියලා කියන කොට ගොවියො වෙච්ච අපි අතරමන් වෙනවනෙ සර්.”
“මට නං සිරිල් අය්යා අතරමන් වෙච්ච පාටක්
පේන්න නෑ. ඔයා අවශ්‍ය ම වෙලාවෙ අවශ්‍යම තීරණේ අරන් තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ එක
විදිහෙ උගත්කම් තියෙන දෙන්නෙක් ගොවිතැන් කරන විදි දෙකක් ගැන කියන කොට සිරිල් අය්යා
කොහොම ද එකක් අත ඇරලා එකක් අල්ල ගත්තෙ කොහොම ද කියන එක.”
“ඒකටනං සර් මහ ලොකු උගත්කන් ඕන කරන්නෙ නැහැ
කියලයි මට හිතෙන්නෙ. මේ පසේ උපන්න, මේ පසේ විතරක්
නෙමෙයි මේ ගහකොළ, වැව, සතා සීපාවා අඳුනන අපි කාට උනත් මොකක්දෝ ඉවක් තියෙනවා, හොඳ නරක අඳුනගන්න පුළුවන් තරමට.”
“සර්ලා දෙන්නම උගත් අය බව ඇත්ත. මුලින් ආපු
කෘෂිකර්ම සර් කතා කළේම ගොඩ වැඩි කරගෙන ලාභ ලබන එක ගැන. ඒ සර් කතා කළේ ගැඩවිල්ලො,
කුරුල්ලො, ඌරෝ, දඬුලේන්නු මේ පරිසරේට කිසිම වැඩක් නැති සත්තු විදිහට. ඒ
විතරක් නෙමෙයි ඌරො, දඬු`ලේනන් දඩයම් කරන එක ගොවියෙක්ගෙ අනිවාර්ය යුතුකමක් කියන තැන ඉඳගෙනයි,
ඒ සර් කතා කළේ. කොටින් ම කියනවානං මට තුවක්කුවක් නැත්තන්
ඒකක් ගන්න සහනාධාර මුදලක් අරන් දෙන්නත් ඒක පාවිච්චියට අවශ්‍ය කරන අවසරේ අරන්
දෙන්නත් කතා කළා.”
“ඉතින් සිරිල් අය්යා මොකද කිව්වෙ?”
“මෙහෙමනෙ ඒ සර් ඒ මහත්තුරු අපිට වඩා බොහොම
උගත් උදවියනෙ. ඒක නිසා මන් මට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එක ගැන ඒ සර්ට බොහොම
ස්තුති කරලා අන්තිමට කිව්වා සර් දඩයම් කර කර හිටපු මම තුවක්කුව අත ඇරලා මගෙ අගට
උදැල්ල ගත්තෙ ආයි කවදාවත් ජීවිත හානියක් සිද්ද කරන්න පුළුවන් ආයුධයක් මගෙ අතට
ගන්නෙ නැහැ කියලා හිතාගෙන. අපේ සර් මන් ඒක වෙනස් කරන්නෙ නෑ කියලත් කිව්වා.”
“සිරිල් අය්යෙ ඔයා අරන් තියෙන්නෙ නිවැරදිම
තීරණේ තමයි. දැන් මගෙ ඊළඟ ප්‍රශ්නෙ. ඇයි ඔයාට අර සර් කියපු දේට වඩා සපුමල් සර්
කියපු දේවල් දැනුණෙ.”
“අනේ සර්, ඒ සර් තනිකරම
සපුමලක්. ඉන්න තැන විතරක් නෙමෙයි මුළු පළාතක් සුවඳ කරන සපුමලක්. අර සර් කතා කළේ ම
ගොවිතැනින් ගොවියට ලබා ගන්න පුළුවන් පුද්ගලික වාසි ගැන. මේ සර් කතා කළේ අපිත් ප්‍රයෝජන
ලබන ගමන් ලෝකයට කරුණාවෙන්, පරිසරයට ආදරෙන්
කරන ගොවිතැනක් ගැන. ඒවා වචන විතරක් නෙමෙයි සර්, මට ඒ ලස්සන හිතත් පෙනුණා.”
“දැන් සිරිල් අය්යා ඔහොම කියන කොට අපිට
හිතෙන්නෙ දැන් ම එහෙ ගිහින් සපුමල් සර් හම්බ වෙන්න.”
“නෑ සර් අද මෙහෙ ආවා වගේ මුළු දවසක් ම එහෙ
ඉන්න බලාගෙන යන්න. සපුමල් සර් විතරක් නෙමෙයි රන් බණ්ඩා මාමා එක්ක කතා කරන කොටත්
සර්ට දැනේවි අමුතු ම ලෝකෙකට ඇතුළු උනා කියලා. හරියට පොතපත කියවන කෙනෙක්. රසවාහිනී
ද ශ්‍රී සඟරා ද අට්ටි පිටින් එහෙ තියෙන්නෙ. අදටත් හොඳ නවකතාවක් අතට ගත්තොත් ඒක
කියවලා ඉවර කරලා තමයි මාමා පස්ස බලන්නෙ. ඒ නැන්දත් හරි හොඳයි. සිරිමල් සර්ගෙ නෝනා
ඒ නෝනගෙ නංගි ගැන දෙන්න තියෙන්නෙත් ඒ සහතිකේ ම තමයි.”
“එතකොට සිරිල් අය්යෙ, අර පුතාලා තුන්දෙනයි ලොකු දුවයි ගැන සිරිල් අය්යට කියන්න
තියෙන්නෙ මොකක් ද?“
“ඒගොල්ලොත් එහෙම නරකයි කියලා පැත්තකට දාන්න
ඕනෙ අය නෙමෙයි කියලයි මන් හිතන්නෙ. එක එක්කෙනා ජීවත් වෙන රටා තියෙනවනෙ. ඒ ගොල්ලන්ට
මේ ගමේ රටාව ගැළපෙන්නැතුව ඇති. ඒ උනාට ඒ රටාව හොඳයි කියලා මෙහෙ ගමේ ජීවත් වෙන අයගෙ
රටාවට බාදා කරන්නත් එ ගොල්ලො ලෑස්ති නෑ. ඔය අක්කර විස්සෙ ඉඩම රන්බණ්ඩා මාමා දරුවො
හය දෙනාට සම සම ව බෙදන්න කතා කළාම ඒ හතර දෙනාම කිව්වෙ අපි පොඩි කාලෙ ඉඳලා හැදිච්ච
වැඩිච්ච ගේ විකුණන්න එපාය, අම්මත් තාත්තත්
බලාගෙන මේ කුඹුරු වැඩත් තරගෙන ඉන්න අපේ සපුමල්ටයි ලොකු නංගිටයි දෙන්නය, යම් දවසක චූටි නංගිට දෙන්න ඕන දේ ගැන ඒ දෙන්න බලා ගනීවි
කියන කාරණේ. ඒ ගොල්ලන්ට අවශ්‍ය කරලා තිබුණෙ අම්මා
තාත්තා වගෙම, ගෙදර ඉන්න කට්ටිය බලන්න ආවම දවසක් දෙකක්
ඉන්න තිබුණම ඇතිය කියන හැඟීම.”
“එහෙනං ඉතින් ඒ ගොල්ලොත් අපිට දාන්න වෙන්නෙ
මනුස්ස කුලකෙට තමයි.”
“මෙතෙන්දි සපුමල් සර් වැඩ කළෙත් වෙනස්
විදිහකට. එයා රන් බණ්ඩා මාමට යෝජනා කළා, ඒ අක්කර විස්ස ඇරුණහම මාමලට වෙනත් තැන්වල ඉඩම් ඔක්කොම නෝනගෙ සහෝදර
සහෝදරියන්ට ලියන්න කියලා ඒ අයට කැමති
දෙයක් කරගන්න. ඒ යෝජනාව කරලා විතරක් නිකන් හිටියෙ නැහැ ඒක ක්‍රියාවක් වෙන තැනට ම
වැඩත් කළා. ඒ වගෙම ඒ මහත්තයා තමන් උපය ගත්ත ධනයකුත් කොටස් හතරකට බෙදලා අර පවුල්වල
දරුවන්ට යම් දවසක ගන්න පුළුවන් වෙන විදිහට ගිනුම් හතරක් හදලා සල්ලි දැම්මා.”
“අපට ලෝකෙ රටේ සාමාන්‍යයෙන් සිද්ද වෙනවා
පේන්නෙ නං ඔහොම සමගියෙන් ගන්න තීරණ නෙමෙයි, ඉඩම් අඟලට දෙකට
කරන මිනීමරා ගැනිලි.”
“සිරිල් මාමා කිව්වා නේද ඉස්සෙල්ලා රන්බණ්ඩා
මාමගෙ ගෙදරට ගියාම අලුත් ලෝකෙකට ඇතුළු උනා වගේ දැනෙනවා කියලා. අපි එකට ආපු හතර
දෙනාගෙන් එහෙ ගිහින් නැත්තෙ ගඟුල් සර්රුයි මමයි විතරයි. නඳුන් කොහොමත් ඒ පවුලෙ
නෑයෙක්. අමල් නෑයෙක් නොඋනට මන් දන්න විදිහට අඩුම තරමින් දෙපාරක්වත් එහෙ ගිය
කෙනෙක්. අපිත් කැමතියි ඔයගොල්ලො දැක්ක, අපි නොදැක්ක
අලුත් ලෝකෙට ඇතුල් වෙන්න. නැද්ද සර්?”
“ඔව් සවිත්, දැන් ඔයාට ආපු කුතුහලේ ම තමයි මටත් තියෙන්නෙ. දැන් ඉක්මනින් දවසක එහෙ යන්න
මට හිතිච්ච එක හේතුවක් තමයි සිරිල් අය්යා කියන විදිහෙ රසවාහිනී, ශ්‍රී සඟරා අට්ටි ගණන් තිබීම. දැන් මන් කැමතියි නඳුන්
තමන්ගෙ මේ ඥාතීන්ගෙ තැන දකින විශේෂයක් දෙකක් කියනවනං.“
“සර්, ඒ වත්තෙ එක කොටසක පලතුරු. තව කොටසක පලා. අක්කර දහයක් දොළහක තියෙන්නෙ පොල්.
ඒ පොල් අතර අතුරු භෝග හැටියට ගම්මිරිස් කුරුඳු වවලා. අපේ සිරිල් මාමට පතහක්
තියෙනවා වගෙ ඒ වත්තෙ තියෙනවා වැවක්. මන් හිතන්නෙ අපේ සිරිල් මාමට මේ විදිහට ඉඩම
හදාගන්න ආදර්ශයක් උනේ රන්බණ්ඩා මාමා කියලයි.”
“ඔව් මහත්තයො, මේ නඳුන් පුතා කියන දේට මන් සම්පූර්ණයෙන් ම එකගයි. දවසක් මට රන් බණ්ඩා මාමා
කියපු දෙයක් ගලේ කොටපු අකුරු වගේ මගෙ හිතේ ඇඳිලා තියෙනවා.”
“ඉතින් මාමෙ ඒක අපිටත් කියන්ඩකො අපේ හිත්වලත්
ඇඳගන්න.”
“ඒක හිතේ ඇඳගෙන විතරක් මදි පුතේ, ගතේ විරියෙන් ලෝකෙට දෙන්න ඕන දෙයක්. එයා මට කිව්වෙ පුතා
සිරිල් තමන්ගෙ හිතටත් අනුන්ගෙ හිතටත් සතුට ඇති කරන, ලෝකෙටත් වැඩක් වෙන දෙයක් කරපන් කියලයි. ඒ වගෙම විමල් සර් වගෙම සපුමල්
සර්රුත් කියන කරන දේවල්වලින් මටත් නොදැනිම මට ලොකු බලපෑමක් උනා කියලයි මන්
හිතන්නෙ.“
“ගඟුල් සර්, ඒ වත්තෙ මට දැනෙන ම තැන තමයි වැව. මට ඒක කොච්චර දැනුණ ද කියනවනං මන් ඒක අපේ
ඉස්කෝලෙ චිත්‍ර සර්ටත් කියලා සර්වත් එහෙ එක්කන් ගියා. සර්රුත් දැන් ඒ පවුලෙ
හිතවතෙක්. ඒ වැවේ චිත්‍ර කීපයකුත් සර් ඇඳලා තියෙනවා.”
“සර් මන් දැකපු විශේෂෙ තමයි ඒ වත්තෙ මාර්ග
නිර්මාණය කරලා තියෙන විදිහ. රන් බණ්ඩා සීයගෙ අනුමැතිය ඇතුව ඒවා නිර්මාණය කරලා
තියෙන්නෙ සපුමල් සර් කියලයි මන් හිතන්නෙ.”
“ඔයා අමල් ඉතිහාසෙට අමතර ව භූගෝල විද්‍යාවත්
කරන කෙනෙක්නෙ. මන් කැමතියි ඔයා අපි කාටත් දැන ගන්න එක්ක ඒ විශේෂත්ව ගැන වචනයක්
දෙකක් කියනවනං.”
“එක විශේෂයක් තමයි මේ අක්කර විස්ස වටේ ම යන්න
පුළුවන් විදිහෙ අඩි තුනේ පාරක් තියෙන එක. ඒ පාරෙ යනකොට අපිට දකින්න ලැබෙන එක දෙයක්
තමයි පොදු කුඹුරුයාය. මන් එහෙම කිව්වෙ ඒ කුඹුරු අතර රන්බණ්ඩා සීයලගෙ කුඹුරු වගෙම
ගමේ තවත් කීප දෙනෙක්ගෙ කුඹුරු තියෙන හින්දා. ඊට පස්සෙ අක්කර ගාණක් පුරා විහිදෙන
ආණ්ඩුවෙ කැලේ පේනවා. ඊට පස්සෙ පේන්නෙ ගමේ පන්සලේ දාගැබ, ඒ වගෙම බෝධීන් වහන්සෙ. මේ මාර්ග පද්ධතියෙ මන් දකින අනිත් විශේෂෙ තමයි වත්තෙ
ඇතුළෙ හදලා තියෙන අතුරු පාරවල්. පලතුරු වගා කොටසට විහිදෙනවා එක පාරක්. පොල් යාය
මැදින් අඩි දහයක විතර පාරක් දාලා තියෙනවා පොල් එකතු කරන වාහනේකට යන්න පුළුවන්
විදිහට. ඊළඟට සපුමල් සර්ගෙයි අක්කලා දෙන්නගෙයි මල් වගා කරලා තියෙන කොටසට යන පාර.
ඊළඟට අල, බතල, එළවළු වගා කරල තියෙන පැත්තට විහිදෙන පාර.”
“සර්, අපේ අමල් මේ අල, එළවළු ගැන කියන
කොට මට තව දෙයක් මතක් උනා. සර් ඒ වත්තෙ මය්යොක්කා වවලා තිබුණෙ අපි සාමාන්‍යයෙන්
හදන විදිහට නෙමෙයි. අපි අපේ වතුවල මය්යොක්කා හිටවන්නෙ දඬු කෑලි දෙක දෙක පොඩි
කොටසක් උඩට හිටින විදිහටනෙ. ඒ උනාට සපුමල් සර් කරන්නෙ පොඩි නැම්මක් තියෙන විදිහට
බිම හදලා පස බුරුල් කරලා පොඩි පොඩි වලවල් හදලා මය්යොක්කා දඬු දෙක ගානේ ළඟින් ළඟින්
තියලා සම්පූර්ණයෙන් ම පස් දාලා වහන එක.”
“ඉතින් එතකොට කොහොම ද නඳුන් ඒවා පැළවෙන්නෙ. ඒ
කියන්නෙ පස් දාලා තද කළාට පස්සෙ කොහොම ද ඒවා උඩට හැදෙන්නෙ.”
“නෑ සවිත්, අමල් කිව්වෙ වෙන්න පුළුවන් දෙයක්. මම දැකලා නැති උනාට අහලා තියෙනවා
රත්නපුරේ පැත්තෙත් ගොඩක් දෙනා මය්යොක්කා හිටවන්නෙ ඔය ක්‍රමේට කියන එක. මොකද
මෙතෙන්දි ඔයා කියන විදිහට පස් තද කිරීමක් කරන්නෙ නැහැ. පස බුරුලටයි තියන්නෙ. එතකොට
ඒ මය්යොක්කා දණ්ඩෙ හැම ගැටිත්තක් ම අල බහින තැනක් වෙනවා.”
“බැලුවහම අපේ ගඟුල් සර්රුත් ගොවිතැන් ගැන යමක් කමක් දන්නවනෙ.”
“ඒ කාරණෙ නං මන් මේ ගමෙන් ගොඩෙන් උපයගත්ත
දැනීමෙන් කිව්වෙ. ඒ උනාට ඔයගොල්ල අමතක කරන්න එපා නාගොල්ලාගමේ ක්‍රීඩා සර් වගෙම
කෘෂිකර්ම සර්රුත් වෙන අතුල සර් කියන්නෙ මගෙ හොඳම යාළුවෙක් කියන එක.”
ගඟුල් සිය ශිෂ්‍යයන් දෙස බලා සිනහසෙමින් ය,
ඉහත දෙවන වැකියට වැඩි බරක් දෙමින් පැවසුවේ.
“අනේ සර්, රන්බණ්ඩා මාමලගේ ගෙදර යන්න අපි ඉක්මණින් ම දවසක් දාගනිමු දැන් ම.”
“මෙන්න බොලේ ඒ පාර අපේ චතුරියටනේ ඒ ගමන
හදිස්සි වෙලා තියෙන්නෙ.”
“හරි හරි මන් ඔය ඔක්කොට ම යන්න ගමන ලෑස්ති
කරන්නං. මන් දන්නවා මට මේ ගෙදර තුන්දෙනත් නවත්තන්න හම්බ වෙන්නෙ නැහැ. රන්බණ්ඩා
මාමටයි සපුමල් සර්ටයි කලින් ම කියලා දිනයකුත් යොදා ගන්නං. කට්ටිය කැමතිනං ඔක්කොටම
එහෙ යන්න ප්‍රවාහන පහසුකමුත් සලස්සන්නං හැබැයි ඉතින් ඒකනං මගෙ මේ අත්ට්‍රැක්ටරෙන්
තමා.”
“නියමනෙ මාමෙ, අපේ ගඟුල් සර්රුත් කැමතියි ඔය විදිහෙ ගමන්වලට.”
එතැන් සිට ද ගම ගැන මෙන් ම ගොවිතැන හා
බැඳුණු බොහෝ දේ ගැන කතා කළහ. එසංකථනයට විරාමය තැබුණේ සිරිල්ගේ බිරිඳ ඔවුනට දිවා
ආහාරය සූදානම් බව දැන්වූ බැවිනි.
“කට්ටිය එක්ක ඔය ඇලෙන් ම අත කට හෝදගෙන එන්නකො
එහෙනං කෑමට. මන් සර්ට බේසමකට උණුවතුර ටිකක් ලෑස්ති කරන්න ද?”
“අනේ එපා අක්කෙ, මාත් ආසයි මේ කට්ටිය එක්ක ඇළට ගිහින් එන්න.”
“එහෙනං දරුවනේ, සර්රුත් එක්ක ඇළට ගොහින් එන්න සුනංගු නොවී. මයෙ හිතේ දැන් දෙකත් පහුවෙලා.
මන් මීට කලින් කතා නොකළෙ ජයටම කට්ටියගෙ සාකච්ඡාව ගිය හින්දයි.”
ඇළ ළඟ දර්ශනය ද විසිතුරු විය. ඒ විසිතුර
වැඩි වේලාවක් විඳ ගන්නට නොදී බාධා කෙළේ අමල් ශිෂ්‍යයා ය.
“සර් ඔයිටත් වැඩිය විසිතුරු දෙයක් තියෙනවා.
මන්නං මේ නොඉවසිල්ලෙන් ඉන්නෙ ඒ විසිතුර බලන්න.”
“මොකක් ද අප්පේ ඒ විසිතුර, අමල් අය්ය බලන්න ඔය තරන් හදිස්සි කරන.”
“චතුරි නගෝ ඒ තමයි අපේ සුනීතා නැන්දගෙ කෑම
මේසෙ.”
ඒ වූකලී සැබැවින් ම විසිතුරු දිවාහාරයක් විය,
සමගියෙන් බැඳී ජීවත් වන පවුලක් විසින් තවත් පවුල්
කිහිපයක සාමාජිකයන් විෂයයෙහි අත්‍යාදරයෙන් කරනු ලබන සුසංග්‍රහයක් විය.
“අනේ සිරිල් අය්යලා සුනීතක්කලා අපි වෙනුවෙන්
හරිම කරදර වෙලානෙ.”
“කිසිම කරදරයක් නෑ. අපිට හරිම සතුටක්නෙ සර්,
සර්ගෙ ගෝලයොත් එක්ක අපේ ගෙදෙට්ට ආපු එකත්. අනිත් එක සර්,
අපි සර්ලට මේ දරුවන්ට සංග්‍රහ කරන්නෙ අපේ වත්තෙ පිටියෙ
හදපු දේවලින්. ඔය හිඟුරල හිටවිල්ල අපේ පුතාගෙ වැඩක්. අළුකෙසෙල් හැදුවෙ මන්.
වට්ටක්කා පාත්තිය සුනීතගෙ වැඩක්. දුවල දෙන්නගෙ මල් පාත්තිවලට වැඩියෙන් තියෙන්නෙ
එළවළු පාත්ති. අපි ඉතින් පැහැදිලි ව ම ගොවි පවුලක් ම තමා.”
ආහාරයෙන් පසු අතුරුපස වශයෙන් දෙන ලද්දේ ඒ
ගෙවත්තෙන් ම ලද කෙසෙල් ය.
“හැබැයි සර්, දැන් රේණු මිස්ලට ආරංචි උනාම අපි මෙහෙම ගමනක් ආවා කියලා සර්ට තමයි බේරුමක්
නැති වෙන්නෙ.”
“අනේ ඉතින් ඒ නෝනලත් එක්ක එන්ඩ එපෑ.”
“හරි හරි සුනීතා නැන්දෙ, මන් බාරගන්නංකො ඒ වගකීම. මන් ඉක්මණින් ම දවසක එන්නංකො
අපේ මිස්ලත් එක්ක.”
“කොහොම ද සර්, අපේ අමල්ගෙ කතාව. මිනිහගෙ කල්පනාව අපිව හළලා මිස්ලත් එක්ක එන්න. අපිව හළන්න
හැදුවොත් අමලො උඹට අපෙන් හළාගන්න වෙන්නෙ ඉතින් උඹේ දත්...”
නඳුන්ට ඒ ප්‍රකාශය සම්පූර්ණ කළ නොහැකි වූයේ
සිනහ වතින් යුතු ව සුනීතා ඊට බාධා කළ බැවිනි.
“මේ පුතේ, ඔය කවුරුවත් කාගෙවත් දත් හළන්න දෙයක් නැහැ ඔක්කොම එක්ක ආවහම ඉවරනෙ.”
ඒ වූකලී ගඟුල්ගේ ජීවිතයේ ද ඉමහත්
සන්තුෂ්ටියකින් හද පිරුණු දිනයක් විය. ගමින් ගමට යමින් මේ විඳින සතුට කිසිදු
තැනකින් මිලයට ගත නොහේ. ඔහුට දැනුණේ සිය ආචාර්යවරයාගේ තුරඟ සන්දේශයේ හෝකන්දර ගම
ගැන ලියැවුණු කවි මෙගමට ද සම්බන්ධ කළ හැකි බව ය. ගඟුල් එකව් මිහිරෙන් හද පුරවා
ගත්තේ හඬ නඟා නොව නිහඬ ව ම ය.
“රන්වන් ගොයම් සැලෙනා සුළඟින් නිතර
නිල්වන් දියෙන් පිරි වෙල් යායකි මිතුර
පෙන්වන්නදෝ හෝකන්දර යස
ඉසුර
දල්වන් තගෙ දෙඇස් මෙගමන යන අතර
තැන තැන පෙනෙන වෙල්යායන් පියකරු ය
හඬ දෙන කුරුල්ලන්හට දෙසවන හුරු ය
නැලැවෙන පුර ලියන් රුසිරෙන් විසිතුරු ය
නිතියෙන මෙපුර වැසියන් ගුණයෙන් සරු ය
ඇස යොමු කරන් බැලු විට මේ ගම පැත්තේ
රස ගී ගයන සියොතුන් තුරු මත ඇත්තේ
දෙසවන පිරෙයි දෙනුවන සැනහෙයි සත්තේ
කුසලට යොමු ව ඇත ගම්වැසි දන චිත්තේ
හැම වර සුවඳ විහිදෙන පුර සියල දෙසේ
පියකර පියන් ගයනා ගී කණට ඇසේ
පලබර අඹ ගසේ ගෙඩියක තියෙන රසේ
දන හැර මෙපුර කිසිවෙක් පවසත් ද කෙසේ?”
No comments:
Post a Comment