Friday, October 25, 2024

113. ගුරු දියවර නවකතාව - තිස්හහයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                          ගුරු දියවර 36

     


            අද අහසේ ද ඔබ දුටු හිරු සඳු ම                       නැඟේ

            වෙනදාටත් වඩා ඔබ, අද සිටිනු                       හැඟේ

            මිය ගිය ලකුණු නැහැ සොහොයුර පැමිණි         මගේ 

            මැරුණා නොවෙයි නිවුණා ඔබ පහන                 වගේ

ගඟුල් ගත ව ගිය රාත්‍රියේ මිරිහන්පිටිගම නිවහනෙහි ආලින්දයට පැමිණ සඳ දිදුලන නිශ්චල ආකාශය දෙස බොහෝ වෙලාවක් බලා සිටියේ ය. උදෑසන අවදි වූ පසු ලොව ආලෝකවත් කරමින් නැඟෙන, හිරු දෙස බලා සිටියේ ය. වරෙක ඒ සිත්තර සහෘදයා පැවසුවේ ගුරු මෙහෙවර ද ඉරේ සඳේ මෙහෙවර මෙන් ම අගනා බව ය. තවත් වරෙක ඔහු පැවසුවේ මේ ලෝකයට ආ සෑම කෙනෙකු විසින් ම සිය ජීවිත කාලය තුළ පහනක් මෙන් තමා ජීවත් වන සමාජයට කවර හෝ මට්ටමක ආලෝකයක් ලබා දී නික්ම යායුතු බව ය.

අද දවස ඉරිදා ය. ගඟුල් මේ සැරසෙන්නේ උදේ වරුවේ උසස්පෙළ ශිෂ්‍ය මාණවක මාණවිකාවනට රස වින්දන පාඩමක් කොට ඒ අවසන කොළඹ බලා යාමට ය. ඔහු විදුහල්පතිනියට විස්තර පවසා සඳුදා නිවාඩු ලබා ගත්තේ එදිනට තමාට නියමිත සියලු පාඩම් ආවරණය කිරීමේ වගකීම සුදර්ශී හේවාසම් ගුරු මිතුරිය බාර ගැනීමෙන් පසුව ය. රස වින්දන පාඩම සිදු කෙරෙන අද දවසේ ඇයත් මිහිදිනියත් පැමිණ ශිෂ්‍යයන් ඉදිරියේ දී ම සති අන්ත පාඩම් පැවැත්වීම පිළිබඳ වගකීම බාර ගන්නා බව දන්වා තිබිණ. ගඟුල්ගේ හිතට සැහැල්ලුවක් ගෙනාවේ ඔවුන්ගේ ඒ වචනවලට පමණක් සීමා නොවන ඒ ප්‍රතිඥාව යි. 

වසන්ත සහෘදයා ය, මෙදින ඔහු පාසලට ඇරලුවේ. ඔහු එහි යනවිට සුදර්ශී ද මිහිදිනිය ද විසල් තුරු සෙවණක් යටට වී සිටියේ සිය ඡාත්‍ර සමූහයා ද සමග ය. මෙසේ ළබැඳි වදනින් ඔහු පළමු කොට පිළිගන්නා සුදර්ශී ගුරු සුහදිනිය විසිනි.

“අපේ ආරාධිත කථිකාචාර්ය ගඟුල් සර්ව මේ සියලු දෙනාම වෙනුවෙන් අපි ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා.”

ගඟුල් එයට ප්‍රත්‍යාචාර දැක්වූයේ සුපසන් සිනහවකිනි. අනතුරුව හිරු කිරණ සිය සිරස මතට ගෙන තුරු සුවිසල් සෙවණ සදන මොහොතේ සියලු දෙනා ගියේ ඒ තුරු සෙවණ යට පන්තියක් පැවැත්විය හැකි සේ නිමවා ඇති අසුන් වෙත ය. ඒ වූකලී ගඟුල් මේ පාසලට ආ පළමු දිනයේ ඔහු හද පැහැර ගත් බිම්කඩ යි.

ගඟුල් පළමු ව කෙළේ සිය සිසු දූ පුතුනට ඉදිරි ඉරිදා දිනවල දී තමාට මේ පන්තිය පැවැත්වීමට නොලැබෙන බව කීම ය. සිසු දෙනෙත් කඳුළින් තෙත් ව ගිය ඒ නිමේශයේ දී ඔහු පැවසුවේ තමා යන්නේ සරසවි දූ පුතුන් පිරිසකට ඉගැන්වීමට බව ය. සිය ගුරුවරයා ලද පිළිගැන්ම ගැන කඳුළු අතරින් සිනා නඟන ශිෂ්‍ය ප්‍රජාව අමතමින් ඔහු යළි කතා කෙළේ ය.  

“දරුවනේ මන් යන්නෙ සති අන්තවල විතරයි. ඒ වගෙම මන් ගියා කියලා ඔයගොල්ලන්ගෙ ඉරිදා පන්තිය නවතින්නෙ නැහැ. ඒකෙ වගකීම බාරගත්තා ඔයගොල්ල ගොඩක් ආදරේ කරන මේ සුදර්ශි ටීචර්. එයාට උදව් වෙනවා ඔයගොල්ල ඉංග්‍රීසි ටීචර් විදිහට අඳුනගෙන ඉන්න ඒත් සිංහල සාහිත්‍යයටත් ගොඩක් ආදරය කරන මේ මිහිදිනී මිස්. සුදර්ශි මිස්ගෙ තාත්තා ගොඩක් අසනීපෙන් ඉන්න නිසා සිකුරාදා ඉස්කෝලෙ ඇරුණම ගමට යන ඔයගොල්ලන්ගෙ මේ මිස් සඳුදා උදෙන් ම ඉස්කෝලෙට එනවා කියන එකත් මේ දුවලා පුතාලා දන්නවා. දැන් ඔයගොල්ලො වෙනුවෙන් මන් වෙනුවෙන් එතුමිය ගෙදර කටයුතු පිළිවෙළක් කරලා ඉරිදා උදෙන් ගමෙන් පිටත් වෙනවා. මීට පස්සෙ අපි උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් යොදා ගත්ත පන්තිය මිස් දවල් එකේ ඉඳලා හවස පහ වෙනකන් කරාවි. ඉරිදා හවස් වරුවෙ ඔයගොල්ලො වෙනුවෙන් දේශපාලන විද්‍යාව උගන්නන මිසුයි ආර්ථික විද්‍යාව උගන්නන මිසු යි කැමති උනා උදේ වරුවෙ ඒ ගොල්ලන්ගෙ පන්තිවල වැඩ කරන්න. මිස් විස්තර කියාවි මේ පන්තිය ඉවර උනාට පස්සෙ.” 

අනතුරුව ගඟුල් හැරුණේ සිය ගුරු සුහදිනියන් දෙදෙනා දෙසට ය. 

“සුදර්ශි ඔයා ලොකුම දෙයක් මේ කරන්නෙ. ඔයා මෙහෙම මැදිහත් නොවුණනං මන් අර වගකීම බාර ගන්නෙ නැහැ. ඒ වගෙම මිහිදිනී ඔයත් කැමති උනා ඔයාට පුළුවන් උපරිමෙන් අපේ සුදර්ශිට උදව් වෙන්න. අනික් විශේෂ කාරණේ තමයි අද මේ මිස්ලා දෙන්නම රස වින්දන පාඩම ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්නවා කියන එක. ඒක නිසා මට වෙනදට වඩා අභියෝගයක් වගෙම පොඩි බයකුත් තියෙනවා. මොකද සුදර්ශි මිස් කියන්නෙ සිංහල විෂයට පශ්චාත් උපාධියකුත් තියෙන කෙනෙක් හින්දා. මමත් නොදන්න දේවල් අහගන්න මට මගෙ ගුරුවරියක් වගේ දැනෙන කෙනෙක් හින්දා. ඒ වගෙම අද ඉංග්‍රීසි සාහිත්‍යය දන්න මිසුත් බලාගෙනයි ඉන්නෙ. ඒක නිසා අද මට බොහොම පරිස්සමින් තමයි වැඩ කරන්න වෙන්නෙ. එහෙනං දැන් අපි පටන් ගම්මු.”

“මොකක් සර් අද තෝර ගත්ත නිර්මාණෙ මාතෘකාව.” 

ඒ ප්‍රශ්නය නඟන ලද්දේ මයුරි නම් සිසු දියණිය විසිනි.

“අද මාතෘකාව ‘පිහි.’

“අපොයි දෙය්යනේ එහෙනං අපි විනාශයි විනාශෙටම විනාශයි.”

“ඒ මොකෝ සකුණි ඔයා විනාශෙටම විනාශයි කිව්වෙ.”

“ඇයි සර් කිව්වා සර් යනවා කියලා. ඒකයි විනාශයි කිව්වෙ. ඊට පස්සෙ කිව්වා අද කරන පාඩම ‘පිහි’ කියලා. ඒකයි මන් විනාසෙටම විනාසයි කිව්වෙ.”

“නෑ දරුවනේ, අපේ සකුණි කියන විදිහට අපි විනාශ වෙන්නෙත් නැහැ. විනාසෙටම විනාස වෙන්නෙත් නැහැ. මොකද මේ පන්තිය බාර ගන්නෙ ඔයගොල්ලො ගොඩක් ආදරේ කරන ගුරුතුමියක්. එතුමියට උදව් වෙන්නෙ ඔයගොල්ලො ඒ වගෙම ආදරේ කරන තවත් ගුරුවරියක්. විනාසෙටම විනාස නොවෙන්නෙ මන් අද පන්තියට ගේන්නෙ ජීවිත විනාශ කරන පිහි නෙමෙයි ආදරේ පිහි නිසා.”

“එහෙනම් සර් ඒ නම් පුදුම විදිහෙ පිහි ජාතියක් වෙන්න ඕනෙ. අපි අහලා නැහැනෙ සර් ආදරේ පිහි ගැන. අපේ සීයට කිව්වොත් එයා කියාවි මගෙ අම්මා මුත්තා කාලෙවත් එහෙම පිහි ගැන නං මමත් අහලා නැහැ කියලා.”

“එහෙනං දිමුතු අද අහමුකො අපි ආදරේ පිහි ගැන.”

දැන් ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව සුදර්ශී මිහිදිනී ගුරු සුහදිනියන් දෙදෙනාට ඇත්තේ ද ආදරයේ පිහි ගැන දැන ගැන්මේ වුවමනාව යි. මන්ද ගඟුල් පවසන ඒ නිර්මාණය මේ වන තෙක් ඒ දෙදෙනාගේ ද ඇස නොගැසී ඇති එකක් බැවිනි.

“දරුවනේ කෞශල්‍යා ජයලත් කියන අලුත් පරපුරට අයිති කරන්න පුළුවන් හොඳ කවි ලියන කිවිඳියක් ලියනවා කවි පොතක් ‘සහස් කළ තරණ මංපෙත්’ කියලා. ඒකෙ එන එක නිර්මාණයක් තමයි පිහි.”

“ඒකනෙ සර් මන් කිව්වෙ. එහෙනං සකුණිලා අපි හරි. දැන් සර් කියන්න යන්නෙත් පිහි ගැන මිසක් ආදරේ පිහි ගැන නෙමෙයිනෙ.”

“දිමුතු සර්ට කියන්න දෙනවකො හලෝ මැද්දට පනින්නැතුව.”  

“නෑ සදුල්, දිමුතු එහෙම කියන එක පුදුමයක් නෙමෙයි. එයාට විතරක් නෙමෙයි මටත් මුලින් ම මේ මාතෘකාව දකිද්දි මොකක් ද මේ කියන හැඟීම ආවා. අපි දැන් බලමුකො ඉස්සෙල්ලා මේ නිර්මාණය දිහා.”

“එතැන සිටි ශ්‍රාවක පර්ෂදය සාවධාන වූ නිමේශයේ ගඟුල් එම නිර්මාණයේ සමාරම්භක කාව්‍යෝක්තිය ඉදිරිපත් කෙළේ ය.  

“රුහිරු ඉහිරුම පමණ ද

පිහියකට උරුම මිතුරේ

ආදරේ තැවරී නැතිව ද 

පිහි දාර අතර පතරේ”

දරුවනේ, අපි ඉස්සෙල්ලම මේ කොටස ගැන කතා කරමු ද? මන් කැමතියි මුලින් ම මේ ගැන ඔයගොල්ල අවංක ව හිතන දේ දැනගන්න.

“සර්, මටනං පිහි කියන්නෙ ආදරේ තැවරිලා තියෙන දෙයක් නෙමෙයි පිහි කියන්නෙම වෛරය තැවරිලා දෙයක් කියලයි. මොකද ආදරය අහිමි වෙච්ච පෙම්වතා තමන්ගෙ පෙම්වතියට පිහියෙන් ඇනපු සිද්ධි අපි අහලා තියෙන්නෙ එකක් දෙකක් නෙමෙයිනෙ.”

“ඉතින් මියුරි ඒක පිහියෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. ඒ පිහිය පාවිච්චි කරපු කෙනාගෙ මානසික තත්වය ගැන ප්‍රශ්නයක්නෙ. සර් මන් අපේ මියුරිට ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මට තියෙනව ද ඒකට ඉඩක්.”

“මොකෝ නැත්තෙ කුමුදක, අහන්න අහන්න එහෙම තමයි අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න ඕනෙ.”

“එහෙනං මියුරි මට කියන්න ඔයගොල්ලන්ගෙ ගෙදර පාන් කපන්නෙ පිහියකින් නේද?”

මේ මොහොතේ පරාජිත ස්වරූපයකින් බලා සිටි මියුරි දෙසට හැරුණු ගඟුල් මෙසේ පැවසීය.

“දුව කතා කළේ මේ සමාජෙ සිද්ද වෙච්ච දෙයක් ගැනනෙ. ඔයා ඒ ප්‍රශ්නය අහපු නිසානෙ කුමුදක ඒකෙ තවත් පැත්තක් පෙන්නලා දුන්නෙ. මට හිතෙන්නෙ පිහි කියන්නෙ හොඳ හෝ නරක කියන විශේෂණ දෙක දාලා කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක හොඳ හෝ නරක වෙන්නෙ පිහිය පාවිච්චි කරන විදිහ අනුවයි, පිහිය පාවිච්චි කරන කෙනා අනුවයි. අපි ම තමයි තීරණය කරන්න ඕන අතට ගන්න පිහියෙ විස තවරලා මේ ලෝකය තව තවත් විස කරනව ද එහෙම නැත්තං ඒ පිහියෙ රස තවරලා අපේ ලෝකය ලස්සන කරනව ද කියලා.”

“ගඟුල් සර්, අපිටත් අවසර තියෙනව ද මේ සාකච්ඡා මණ්ඩපේ කොටසක් වෙන්න.”

“අපොයි පුළුවන් සුදර්ශි අක්කෙ. ඔයා ඒ කියන දේවල් මේ සාකච්ඡාවට තවත් එළියක් එකතු කරාවි කියලයි මට හිතෙන්නෙ.”

“දරුවනේ, මට ඔයලොල්ලන්ගෙ ගඟුල් සර්රුයි අපේ මියුරි දුවයි කුමුදක පුතයි කතා කරපු දේවල් අහගෙන ඉන්න වෙලාවෙ මතක් උනේ මන් ඔයගොල්ලන්ගෙ වසසෙදි කියවපු කෙටිකතාවක්. මන් ඒක කියෙව්වෙ සඟරාවක තිබිලා. අවාසනාවකට මට කෙටිකතාවෙ නමවත් ලේඛකයගෙ නමවත් මතක නැහැ. ඒක මගෙ වරදක්. ඒකට ඒ ලේඛකයා මට සමා වෙන්න ඕනෙ.”

“අනේ මිස් කියන්ඩකො ඒ කතාව.” 

පන්තියේ තැනින් තැනින් ඒ ඉල්ලීම ඉදිරිපත් වද්දී සුදර්ශි කතා කළා ය.  

“ඒ කෙටිකතාවෙදි අපට මුලින් ම හම්බ වෙන්නෙ පාන් බයිසිකලයක් තල්ලු කරගෙන යන මනුස්සයෙක්. එයා පල්ලමකදි බයිසිකලේට නැගලා යන්න හදන වෙලාවෙ පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් පාන් පෙට්ටියට අත දාලා පාන් දෙකක් අරගෙන විරුද්ධ පැත්තට දුවනවා. පාන් විකුණන මනුස්සයා කරන්නෙ බයිසිකලේ හරෝගෙන අර මනුස්සයා ලුහුබඳින එක. මෙහෙම යද්දි මෙයා දකිනවා ළඟින් ළඟින් තියෙන පැල්පත් ගොඩක්. මෙයා අර පාන් අරන් දිව්ව මනුස්සයා ඉන් එක ගේකට ඇතුල් වෙනවත් දකිනවා. මෙයා හොඳට මතක තියා ගන්නවා ඒ ගේ.”   

“ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ මිස්. පාන් මෑන් යනවද අර ගෙට.”

“අපි පුතා පාන් මෑන් - පාන්කාරයා වගේ නම් ඒ අයට පාවිච්චි කරන එක නවත්තමු. ඔයගොල්ලන්ට වඩා වැඩිමල් කෙනෙක් නිසා අපි පාන් මාමා වගේ නමක් පාවිච්චි කරමු.”

“ඉතින් මිස් ඊට පස්සෙ මොකද උනේ කියලා ඉක්මනට කියන්නකො.”

“මොකෝ සකුණි ඉක්මනට කිව්වෙ. මේ පන්තිය ඉවර වෙච්ච ගමන් ගමනක් තියෙනව ද යන්න. හොඳයි හොඳයි මන් ඉක්මනට කතාව කියන්නංකො. නැත්තං ගඟුල් සර්ට අද රසවින්දන පාඩම කරන්න වෙන්නෙ නැහැනෙ.”

“නෑ සුදර්ශි අක්කෙ මට දැනෙන්නෙ ඔයාගෙ මේ කතා කරන දේවලුත් අපේ රසවින්දන පාඩමේ කොටසක් හැටියටම තමයි.”

“ඉතින් ඔයගොල්ලන්ගෙ සර්ගෙ අදහසත් ඒකනං මන් කතාව කියන්නංකො. ඒ මනුස්සයා ඉක්මණින්ම යන්නෙ තමන්ට කිට්ටුම පොලිසියට. ඒ වෙලාවෙ පොලිසියෙ ඕඅයිසී මහත්තයා තව නිලධාරීන් කීපදෙනෙකුත් එක්ක හදිසි වැඩකට යන්න ජීප් එකට නගින්නයි යන්නෙ. අර පාන් විකුණන මනුස්සයා තමන්ගෙ බයිසිකලේ ජීප්පෙක ඉස්සරහ නවත්තනවා. ඒ වෙලාවෙ එක නිලධාරියෙක් බනිනවා, ගන්නවා අයිසෙ තමුසෙගෙ හුචක්කුව අපේ සර්ට දැනටත් පරක්කු වෙලයි තියෙන්නෙ කියලා. ඒ වෙලාවෙ හරි ලස්සන වැඩක් තමයි වෙන්නෙ.”

“හරි ලස්සන වැඩක් උනා කිව්වෙ කේන්ති ගිය මිස් ඕඅයිසී මහත්තයා බැහැලා දුන්නද අර මනුස්සයගෙ කණට එකක් දුම් විසි වෙන්න.”

“එහෙම උනානං මන් ඒකට ලස්සන වැඩක් කියලා කියන්නෙ නැහැ සවිත්. වැඩේ වගෙම ඒ වෙලාවෙ ඒ පොලිසියෙ ලොකු මහත්තයා කියපු වචන ටිකත් ලස්සනයි. ඒ අවස්ථාව හරිම ලස්සනට කෙටිකතාකරුවා නිර්මාණය කරනවා. මන් මට මතක තියෙන විදිහට ඒ ටික කියන්නං. එයා මුලින් ම කතා කරන්නෙ අර සැරින් කතා කරපු තමන්ගෙ නිලධාරියට. ඊට පස්සෙ අර පාන් මාමට.

“සංජීව මතක තියා ගන්න එයාගෙ බයිසිකලේ එයාට හුචක්කුවක් නෙමෙයි, අපිට අපේ මේ ජීප්පෙක වගේ එයාට එයාගෙ බයිසිකලේ වැදගත්.”

“අනේ සර් මන් ඒක එච්චර හිතලා නෙමෙයි කිව්වෙ. දැන් සර් ඒ මනුස්සයගෙ ප්‍රශ්නෙ අහන්න ද යන්නෙ. සර් අර උත්සවේට යන්න දැනටමත් පරක්කු වෙලයි තියෙන්නෙ. මහ ඇමතිතුමා ඇවිල්ලත් ඇති දැනටමත්. එතුමට කේන්ති යන්නත් බැරි නෑ සර් පරක්කු උනොත්.”

“සංජීව, අපි පොලිස් නිලධාරීන් මිසක් ඇමතිලගෙ සේවකයො නෙමෙයි. අපි බැඳිලා ඉන්නෙ රටේ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයො කියන විදිහට වැඩ කරන්න නෙමෙයි. අපි ඉස්සෙල්ලම බලමු මේ මනුස්සගෙ ප්‍රශ්නෙ මොකක් ද කියලා. මෙහෙම කියලා අර මනුස්සයා ඉස්සරහට යනවා. එහෙම ගිහින් මෙහෙම කියනවා.   

“අර අනේ සර් මන් පාන් විකුණලා ජීවත් වෙන දුප්පතෙක්. මට පාන් ගෙඩි දෙකක සල්ලි නැති වෙනවා කියන්නෙ ලොකු පාඩුවක් සර්. බේකරිය අයිති මුදලාලිට පාන් නැති උනේ කොහොමද කියන එක වැදගත් නෑ සර්. ඒවා උණු උණු පාන් සර්. ගත්ත එකාගෙ හොම්බට දෙකක් ඇනලා මට පාන් දෙක හරි ඒකෙ සල්ලි හරි අරන් දෙන්න සර්. මන් උගෙ ගේ තියෙන තැනත් බලා ගත්තා සර්.”

“මේ මනුස්සයා කතා කරපු විදිහට එතන හිටපු ගොඩක් නිලධාරීන්ට හිනා ගියත් ඕඅයිසී මහත්තයා හිනා උනේ නැහැ. පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමම තමයි කියලා පාන් විකුණන මනුස්සයත් දාගෙන අර ගෙදරට ගියා.”

“ආයි නෑ පොලිස් ඕඅයිසී දෙන්න ඇති අර පාන් හොරාට නහයෙන් කටෙන් ලේ දාන්න.”  

“නෑ ප්‍රමෝද් එහෙම උනේ නැහැ. කතාව ඉවර උනේ එහෙම නං මන් ඒ කතාව ඔයාලට මෙහෙම කියන කතාවක් වෙන්නෙ නැහැ.”

“එහෙනං කොහොම ද මිස් ඒ කතාව ඉවර වෙන්නෙ.”

“මේ ගොල්ලො ගේ ඇතුළට යනවා. ගේ කිව්වට ඔක්කොටම තියෙන්නෙ පොඩි සාලයක් කියලා කියන්න පුළුවන් පුංචි ඉඩක්. ඔයගොල්ල මවා ගන්න හිතින් මන් දැන් මේ කියන දර්ශනය. එක එක වයස් මට්ටම්වල ගෑනු පිරිමි ළමයි හය හත් දෙනෙක් වටේට බිම වාඩි වෙලා ඉන්නවා. එක් පාන් ගෙඩියක් පුංචි පුංචි පෙතිවලට කපලා. අනික් පාන් ගෙඩිය ඒ දරුවන්ගෙ මැදට වෙන්න පත්තර කෑල්ලක් උඩ තියලා. පොඩි පොඩි කෑලිවලට කපපු බීළුෑණු පෙති අර ළමයින්ගෙ අත්වල. ඒවත් එක්කයි මේ පාන් කන්නෙ.”

“අනේ මිස්....”

ඒ පොලිස් ඕඅයිසී දෙන්න ඇති පාන් හොරාට නහයෙන් කටෙන් ලේ දාන්න යැයි කී ශිෂ්‍යයා ය. ශිෂ්‍ය ප්‍රජාව මතු නොව ගඟුල් සහ මිහිදිනී ද හැඟුම්බර ව අසා සිටින ඒ මොහොතේ සුදර්ශි යළිත් කතා කළා ය.

“පොලිසියෙ ඕඅයිසී මහත්තයයි පාන් විකුණන මනුස්සයයි දැකපු ගමන් අනිත් පාන් ගෙඩියයි ඒක කපන්න ගත්ත පිහියයි අර මනුස්සයගෙ අතින් ගිලිහුණා. මනුස්සයා තමන්ගෙ දරුවන් ඉස්සරහදිම කෑගහලා කිව්වෙ අනේ සර් මන් හොරෙක් නෙමෙයි මේ දරුවො බඩගිනියි කියලා අඬන කොට මට බලන් ඉන්න බැරුව ගියා සර්. මට ඕනෙ දඬුවමක් දෙන්න මන් එන්නන් පොලිසියට කියලයි. ඔයගොල්ල දන්නව ද මේ වෙලාවෙ පාන් විකුණන මනුස්සයා මොකක් ද කිව්වෙ කියලා වචන තුනයි.“

“අපි යන් සර්.”

“ඕඅයිසී මහත්තයත් වචනයක්වත් කතා කරන්නැතුව එළියට ආවා. ආයි ජීප්පෙකට නගින ගමන් පාන් විකුණන මනුස්සයගෙන් ඇහැව්වෙ නැති වෙච්ච පාන් ගෙඩි දෙකට ගිය වියදම කීයද කියලයි. එහෙම කියලා ඒ මුදල අර පාන් විකුණලා ජීවත් වෙන මනුස්සයගෙ අතේ තියන්න හදන කොට එයා ආයෙත් කිව්වෙ වචන තුනක් විතරයි.”

“මට එපා සර්.”

“ඉතින් ඊට පස්සෙ මොකද උනේ මිස්.” 

“ඒ කතාව නං එතනින් ඉවරයි පුතා. කතාව සම්පූර්ණ කරන්න ඕනෙ වෙන කවුරුවත් නෙමෙයි ඔයගොල්ලම තමයි. ඔයගොල්ල වැඩ කරන්න ඕනෙ කාටවත් බඩගින්නෙ ඉන්න නැති වෙන සමාජයක් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන්න. අනේ මන්දා මන් මේ කතන්දර කියලා ඔයගොල්ලන්ගෙ රසවින්දන පාඩමට බාදා කළා ද කියලා.”

එහෙත් එයට පිළිතුරු දුන්නේ ශිෂ්‍යයන් නොව ඔවුන්ගේ ගුරුවරයා ය.  

“නෑ සුදර්ශි අක්කෙ, ඔයා කළේ මේ පාඩම තවත් රසවත් කරන අතරෙම ඒකට මනුස්සකමේ පාඩමත් එකතු කරන එක. බලන්න මේ මොහොතෙ මේ දරුවන්ගෙ මුහුණු. අපේ මිහිදිනී මිස් ඉන්න හැටිය. ඔයාට බොහොම පින් අක්කෙ, අපි කාටත් හිතන්න දෙයක් කිව්ව වගේම අපේ මේ පාඩමට හොඳ ප්‍රවේශයක් අරන් දීම ගැන. බලන්න අක්කා කතා කළේ ලේ තැවරුණු පිහියක් ගැන නෙමෙයි ආදරයේ පිහියක් ගැන. දැන් අපි කෞශල්‍යා කිවිඳියගෙ කවි පන්තියෙ දෙවන කොටසට ගියොත් අපිට ඒ ආදරේ පිහිය දැක ගන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නෙ පාන් තිබුණ තැනට අඹ ආදේශ වෙන එකයි. ඒ උනාට දරුවනේ සුදර්ශි මිස් කියපු කතාවෙ එන තාත්තගෙත් මේ නිර්මාණෙ එන තාත්තගෙත් ආදරේ එකයි.”

එසේ පවසා ගඟුල් යථෝක්ත කාව්‍යයේ දෙවැනි කොටස කියැවීය.

“දෝණියන්දෑ ආස හින්දම  

පියඹා අඹ තුරේ

අඹ නෙළා අච්චාරු සෑදූ

අප්පච්චිගේ අත් අතරේ

ආදරේ තැවරුණු පිහියකි

අද ද නෙත තුටු කඳුළු පැතිරේ”

නදිතිගේ දෑස් කඳුළින් පිරී ගියේ තුටු කඳුළින් නොව දුක් කඳුළිනි. ඒ ආදරේ තැවරුණු පිහියෙන් අඹ, පේර කපා දුන් ඇයගේ දයාබර පියා දැන් ජීවතුන් අතර නැති බැවිනි. පන්තියේ සියලු දෙනා ඒ බව දැන සිටියහ. සංවේදනීය නිහඬතාව බිඳිමින් කතා කෙළේ ඔවුන්ගේ ආදරණීය ගුරුවරයා ය.

“ජීවිතයේ දුක්මුසු අද්දැකීම් අපි කාටත් තියෙනවා දරුවනේ. දුක හිතෙන එක කඳුළු එන එක ස්වභාවයක්. ඒ වෙලාවට අපි ඒක බලහත්කාරයෙන් නවත්තන්න යන්න අවශ්‍ය නැහැ. ඒත් අපේ වේදනාවන්ට අපිව  දුර්වල කරන්න ඉඩ දෙන්න එපා. ඒක ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි මේ කතා කරන මටත් අදාළයි. අපි කවියෙ ඊළඟ කොටසට යමු. ඒක කියවන කොට මට මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉස්සරහ වෙළදන් කරපු වෙරළු ආච්චිව, ඒ වගෙම අපේ ආච්චිව, ඈත ගමන් බිමන් යද්දි අතරමගදි අපිට අඹ පේර අන්නාසි කපලා දුන්න නන්නාඳුනන අම්මලාව ආච්චිලාව. අද වෙන කොට ඒ ගොඩක් අම්මලත් ආච්චිලත් ජීවතුන් අතර නැතුව ඇති. මන් දැක්කා නදිති දුවගෙ ඇස්වලට කඳුළු එනකොට පන්තියෙ අනෙක් දරුවන්ගෙ ඇස්වලටත් කඳුළු උනනවා.” 

මොහොතක් නිහඬ ව සිටි ගඟුල් අනතුරුව මෙවදන් පැවසීය. 

“මේ ඔක්කොම කඳුළු නදිති දුවගෙ තාත්තට ඒ වගෙම අර කියපු අම්මලට වගෙම අපෙන් වෙන් වෙලා ගිය ඔක්කොම ආදරණීයයන්ට උපහාරයක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉස්සෙල්ලා කිව්වා වගේ කවියෙ ඊළඟ කොටසට යමු. මන් කැමතියි අපේ නදිති දුව ඒ කොටස අපි කාටත් ඇහෙන්න කියවනවනං.”

අනතුරුව කාටත් අසන්නට ලැබුණේ සිය හෘදයරිද්මයට අනුගත ව වචන මත රිද්මය තවරන නදිති සිසුවියගේ සුපහන් හඬ යි.

“වන්දනාවේ යනතර

අතරමග නැවතෛන අතරේ

ගමේයම්මාගේ මල්ලෙන්

පිහි මිටක කැටයම් විසිරේ  

කොමඩු අඹ පේර අන්නසි 

කැබලිවල රස අතරේ  

අද ද දිවගෙහි ඒ රස වැතිරේ”

“සර් මේ කිවිඳිය, කියපු ගමන් කපන කොටන දෙයක් විදිහට දැනෙන පිහිය ගේන්නෙ වෙනස් ම තැනකටනෙ.”

“ඒක තමයි දරුවනේ නිර්මාණයක ආශ්චර්යය කියන්නෙ. අපි සාමාන්‍යයෙන් දකින දේවල් ම වෙනස් විදිහට කියන තැනයි නිර්මාණය තියෙන්නෙ. සාහිත්‍යය හදාරන දරුවන් හැටියට මන් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නිර්මාණ මිසක් නිෂ්පාදන නෙමෙයි. බලන්න දරුවනේ මේ නිර්මාණකාරිය තමන්ගෙ නිර්මාණය ඇතුළට මුදිතාව ගේන හැටි. අර කියපු පිහිය මත සෙනෙහස තවරන හැටි.”

“දහදිය සරම් ඉණතුර  

පිහියකින් මුදිතාව වැගිරේ

බුලත්විට පෑ දෙතොලක

ස්නේහ හස සුතුර මැතිරේ

“සුදු මැණිකෙටයි මේ කුරුම්බා”

ගුණේ මාමගෙ පඬුරේ

නැළැවී මියුරු ම පොල්මුර

සිපගමි මතක මැදුරේ”

මේ මොහොතේ මිහිදිනීට මතක් වූයේ කුරුණෑගල වත්තේ පොල් කඩන දවසට “සුදු මැණිකෙටයි මේ කුරුම්බා” යන වදන් පවසමින් ඇයට කුරුම්බා කපා දෙන පුංචිබණ්ඩා සීයා ය. සිතින් කුරුණෑගල සිටි ඇය යළි රසවින්දන පන්තියට ආවේ සකුණි විසින් අසන ලද ප්‍රශ්නයත් සමග ය.

“සර් ස්නේහ හස සුතුර කියන්නෙ මොකක් ද? මට ස්නේහ නං තෙරෙනවා. මේ හස සුතුර තමයි තේරෙන් නැත්තෙ.”

“දුව, සංස්කෘත භාෂාවට අයිති වචනයක් තියෙනවා හාස කියලා. ඒ සිනාවට කියන වචනයක්. ඒ හාස කියන වචනෙ සිංහලට බිඳිලා එන්නෙ හස කියලයි. සුතුර කියන වචනය බිඳිලා එන්නෙ සංස්කෘත සූත්‍ර කියන වචනයෙන්. ඒ කියන්නෙ මේ වචන දෙක සිංහලේ පාවිච්චි වෙන තද්භව වචන දෙකක්.”

“සර් ඔහොම කියන කොට මට මතක් උනේ පහුගිය දවසක කියවපු නවකතාවක්. ඒකෙ නම ප්‍රේමසූත්‍ර. ඒක ලියලා තියෙන්නෙ චූලාභය ශාන්තකුමාර හේරත්.”

“බලන්නකො සර් අපේ කුමුදකට මතක් වෙන්නෙ ප්‍රේමසූත්‍රනෙ. නරක නැහැ. මට නං මතක් වෙන්නෙ සර් කරණීයමෙත්ත සූත්‍රය.”

“ඉතින් මියුරි ප්‍රේමය නරක දෙයක් නෙමෙයිනෙ. ප්‍රේමය කියන්නෙ පෙරළා කිසිම දෙයක් අපේක්ෂා නොකර දෙන දෙයකට. ඒකත් සංස්කෘත වචනයක්. ඒකෙ නිරුක්ති අර්ථයත් ඒක තමයි. චූලාභයගෙ ප්‍රේමසූත්‍ර මමත් කියවලා තියෙනවා. ඒක මෑතකදි ලියවෙච්ච හොඳ නවකතාවක්. ඔය පොත බලලා ඒ ලේඛකයට මන් කතා කරලා සුබ පැතුවත් එක්ක. ඒ වගෙම කරණීයමෙත්ත සූත්‍රය අපි මේ ප්‍රේමය කියලා කියන දේ හැඟීම වඩාත් පෘථුල තැනක ර`ඳවනවා.”  

“මොකක් ද සර් ඒ ප්‍රේමෙයි මේ ප්‍රේමෙයි වෙනස. ඒ කිව්වෙ ප්‍රේමසූත්‍රයෙයි  කරණීයමෙත්ත සූත්‍රයෙයි වෙනස.”  

“බැලුවහම අපේ කුමුදකට හොඳ ප්‍රශ්නනෙ එන්නෙ.”  

“අනේ සර් මන් ඇහැව්වෙ මෝඩ ප්‍රශ්නයක් ද?”

“අපොයි නෑ කුමුදක ඔයා ඇහැව්වෙ තවත් දවසක දීර්ඝ සාකච්ඡාවක් කරන්න තරන් හොඳ ප්‍රශ්නයක්. අපි සරල ව කිව්වොත් චූලාභය, ප්‍රේමසූත්‍ර ඔස්සෙ ලෞකික ප්‍රේමයේ සුන්දරත්වය ගැන කතා කරද්දි කරණීයමෙත්ත සූත්‍රය අපව රඳවන්නෙ අපි කවුරුත් කවදා හරි දවසක ගැඹුරින් ම අවබෝධ කරගන්න ඕන අලෞකික ප්‍රේමය ළඟ. ලෞකික ප්‍රේමයෙ කවර මට්ටමක හරි අයිති කර ගැනීමක් තියෙනවා. අලෞකික ප්‍රේමය කියන්නෙ අයිති කර ගැනීමේ හැඟීමෙන් වියුක්ත වෙච්ච දෙයක්.”

“සර් ලෞකික යුග ජීවිතයක් ගත කරන දෙන්නෙක් අතරෙ ඒ තත්වය ඒ කියන්නෙ අයිති කර ගැනීමේ හැඟීමෙන් තොර සම්බන්ධයක් ඇති වෙන්න බැරි ද?”

“මොකෝ බැරි කුමුදක. ඇයි සිද්ධාර්ථ යසෝදරා, වෙස්සන්තර මද්දී. ඒ වගෙම ශ්‍රී හර්ෂ ලියපු නාගානන්ද සංස්කෘත නාට‌්‍‌්‍යෙමූතවාහන - මලයවතී කියලා අපට හම්බ වෙන්නෙත් තමන්ගෙ ජීවිත ලෞකික ප්‍රේමයට වඩා අලෞකික ප්‍රේමය ළඟ රඳවපු චරිත දෙකක්. ඒ වගෙම ඉන්දියාවෙ ජීවත් වෙච්ච ශ්‍රී රාමක්‍රිෂ්ණ පරමහංස සර්ධා දේවි යුවළ.” 

“සර් බෞද්ධ සාහිත්‍යය අපට බොහොම කිට්ටු නිසා අර මුලින් කියපු චරිත හතරම අපට ආගන්තුක නැහැ. ඒ උනාට නාගානන්ද නාට්‍යෙ දි හම්බ වෙනවා කියපු යුවළ අපට ආගන්තුකයි. ඇයි සර් ඒ දෙන්නව සර් අලෞකික ප්‍රේමවන්තයන් කියලා හඳුන්වන්නෙ.”

“ඒක මම කරන දෙයක් නෙමෙයි සදුල්. ඒ නාට්‍යය ලියපු ශ්‍රී හර්ෂ කරපු දේ. අපට සංස්කෘත සාහිත්‍යෙට අයිති නාට්‍ය අතර නාගානන්දය විශේෂයි. අතීත භාරතීය සමාජෙ ලියැවෙච්ච නාට්‍ය අතර බුදුන් වහන්සේට කරන ප්‍රණාම පූජාවකින් ආරම්භ වෙන එකම නාට්‍යය තමයි ඒක. ඒකෙ එන ජිමූතවාහන බෝධිසත්ත චරිතයක්. ඒ චරිතෙට සමීප වෙන මලයවතී බෝසත් බිරිඳක්. ඒ දෙන්නා අපට මතක් කරලා දෙන්නෙ වෙස්සන්තර - මද්දී ප්‍රේම පුරාණය ම තමයි. දරුවනේ මන් ඉදිරි දවසක ඒ චරිත ගැන විස්තර ඇතුව කතා කරන්නංකො.”

“සර් මටත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද දැන්.”

“සචින්තනා අහන්න දුවේ ඔයාගෙ ප්‍රශ්නෙත්.”

“සර් මට මතකයි දවසක් පරමහංස ආදරය කියන මාතෘකාව යටතෙ ලියපු ලිපියක ෆොටෝ කොපි කරපු පිටපත් අපට බෙදලා දීලා ඒ ආදරය ගැන අපට දැනෙන දේ ලියන්න කිව්වා.”

“ඔව් මට මතකයි දුව. ඒක අපි විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයන්ව හිටපු කාලෙ අපේ සර් දුන්න ලිපියක්. ඇයි දුව ඔයාට මේ වෙලාවෙ ඒ ලිපිය ම මතක් උනේ.” 

“සර් මට ඒක මතක් උනේ නන්දා මාලිනී නෝනා කියන අපට ඉතාම කලාතුරකින් ඇහෙන දැන් අපි මේ කතා කරන මාතෘකාවට සම්බන්ධ කරන්න පුළුවන් ලස්සන ගීතයක් ඒකෙ තිබිච්ච නිසා. ඒක ලියලා තිබ්බෙ සුනිල් ආරියරත්න සර්. මන් හිතනවා සර් මේ සාකච්ඡාවට ඒකත් සම්බන්ධ කරන්න පුළුවන් කියලා.”   

“ඔයා දුව මට මතක් කරලා දුන්නෙ මෙතෙන්ට ලස්සනට ගළපන්න පුළුවන් ගීතයක්. ඒක සුනිල් සර් ලියපු සංගීතඥ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු ඔයා මතක් කරපු විදිහටම ආචාර්ය නන්දා මාලනී කියන ගීතයක්. ඔයා මතක් කරපු අපේ සර්ගෙ පරමහංස ආදරය ලිපිය පටන් අරන් තිබුණේ ඒ ගීයෙන්. දුවට මතක නං මන් කැමතියි ඒක ඔයා හරි මේ පන්තියෙ වෙන දුවෙක් හරි කියනවනං.”

“එහෙනං සර් අපි පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න අපේ චන්දූපමාට කියමු ඒක කියන්න කියලා. මන් වෙලාවකට චන්දුට කියලා ඒක කියවා ගන්නවා සර්. අපේ රස වින්දන පාඩම තව තවත් රසවත් කරන්න කියලා අපි එයාට කියමු සර් ඒක කියන්න කියලා.” 

පන්තියේ මිතුරු මිතුරියන්ගෙන් මතු නොව ඒ ආදරණීය ගුරු ත්‍රිත්වයේ නුවන් මත ලියැවී තිබූ නිහඬ ඉල්ලීම වූයේ ද චන්දූපමා විසින් එය ගායනා කළ යුතු බව යි. තදනන්තර ව අසන්නට ලැබුණේ නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ ගීත කෝකිලාවිය ලෙස සම්මානිත ඒ ශිෂ්‍ය මාණවිකාවගේ රිද්මිත ළබැඳි ස්වරය යි.

“ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි

මලින් ගඳින් පුදනා

මුනි කන්‍යාවයි මා

යහනත එක අරණේ

සුසුම් අතර ඔබගේ

කරුණා සීතල සුවඳ ගලා

මහද නිවී සැනසේ

ගිතෙල් පහන් එළියේ 

නිවුණු නුවන් ඔබගේ 

ලොවුතුරු ලොවකට මා කැඳවා 

සිත සුවපත් කරවයි”

ඒ ගීතය සවන් පත් වැටෙද්දී මිහිදිනියට සිහිපත් වූයේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ඇරයුම්පත් දීම සඳහා බදුලු බලා ගිය ගමන යි. නාය යාම නිසා අතරමග නිවාඩු නිකේතනයේ රැඳි ගත කළ නික්ලේශී රාත්‍රිය යි. ඈ ඒ ස්මරණයෙන් මිදුණේ පන්තියේ ශිෂ්‍යයකු විසින් යොමු කරන ලද ප්‍රශ්නයක් ඇසීමත් සමග ය.

“සර්  අපේ චන්දු ඒක කියන කොට මට මතක් වෙන්නෙ සරත්චන්ද්‍ර සර්ගෙ ‘විලාසිනියකගෙ ප්‍රේමය’ නවකතාවෙ එන කෑල්ලක් තමයි. මන් කියන්න ද සර් ඒක.”

“කියන්න කියන්න එක දේකින් තව තව දේවල්වලට යන එකත් රසවින්දන පාඩමේ ම කොටසක්නෙ. ඒක නිසා මේ කවුරුත් කැමති වේවි රංගන ඒක කියනවනං.”

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ

රිසි වූ කෙනෙකුට පූජා කෙරුමට

ලෝභ සිතින් තොර පිදුව මනා වේ

පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්”

“සර් ඒක ඇහැව්වහම මට තවත් ප්‍රශ්නයක් ආවනෙ. අනේ මොකක් ද මන්දා සර් මට වෙලා තියෙන්නෙ.”  

සකුණි එය ඇසූ ආකාරයට පන්තියේ උතුරා ගියේ සිනහවයි. 

“දැන් බලන්න අපේ සකුණි හස සුතුරෙන් - හාස සූත්‍රයෙන් පන්තිය පුරවන හැටි. හරි අහන්න බලන්න ඔයාට මොකක් ද වෙන තරමට ආපු ප්‍රශ්නෙ.”

“මොකක් ද සර් අසෙනිය කුසුම කියන්නෙ.”

“කාටද කියන්න පුළුවන් අසෙනිය කුසුම් කියන්නෙ මොකට ද කියලා.”  

පන්තිය පුරා පැතිර ගියේ පූර්ණ නිහඬතාවකි.

“ඒ කියන්නෙ සකුණි අහලා තියෙන්නෙ වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නෙ මේ කවුරුත් නොදන්න දෙයක් ගැන. ඒ ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙන්නෙ කිවිපති විමල් අභයසුන්දර කවියා වෙනුවෙන් කරලා තියෙන අසෙනිය කුසුම් කියන උපහාර ග්‍රන්ථය. සංස්කෘත භාෂාවෙ වචනයක් තියෙනවා අර්චන කියලා. ඒකෙ ගරු කටයුතු, පුද ලද යුතු, උපහාර ලද යුතු කියන අර්ථ තියෙනවා. ඒ වගෙම සුමංගල ශබ්දකෝශෙ විළඳ - පොරි කියන අර්ථෙ දීලා තියෙනවා අසෙනිය කියන වචනෙට. කොහොම උනත් අපට මෙතෙන්දි ගන්න වෙන්නෙ උපහාර මල් කියන අර්ථෙයි. අර කියපු පොතේ හැඳින්වීමෙ සඳහන් කරලා තියෙන්නෙත් විමල් අභයසුන්දර කවියා වෙනුවෙන් අභිනන්දන අසෙනිය කුසුම් පොකුරක් පිරිනැමීම ය මේ කරන්නෙ කියලයි. මේ මල් ගැන අභයසුන්දර කවියා ලියපු ලස්සන කවියකුත් තියෙනවා මෙහෙම.   


“පංකජ පංකයෙහි දිය උඩින්           සිට

අසෙනිය කුසුම් වන මෙන් පිපි විටින්   විට

ලොව සැරි සරන මුත් ලොව්තුරු දසුන් පිට

කවියා පූජනීය ම වෙයි රටින්           රට”


“සර් දැන්නං මට අසෙනිය කුසුම් කියන්නෙ මොකක් ද කියන එක හොඳටම පැහැදිලියි. සර් කවදා හරි දවසක මාත් අසෙනිය කුසුම් අභිනන්දන ග්‍රන්ථයකින් පූජා ලබාවි නේද?”

පන්තිය පුරා යළිත් පිපිරී ගියේ මහා සිනා සමුදායකි.

“ඇයි ඔයගොල්ලො හිනාවෙන්නෙ කවදා හරි එහෙම වෙන්න බැරිකමක් නැහැනෙ.”

“සර් එහෙමනං ඒ දවසට මන් තමයි සකුණි මහා උපහාර ග්‍රන්ථයේ සංස්කාරක වෙන්නෙ.”

“සර් මන් තමයි ඒකට නම දාන්නෙ. මමත් කැමතියි සම සංස්කාරක වෙන්න. ඒ වගෙම දැනටමත් මගෙ හිතට නම් දෙකක් ම ඇවිත් තියෙන්නෙ. මන් කියන්න ද?”

“අපි ඉඩ දෙමු නේද ඒකට.”

“ඔන්න එහෙනං සර් මන් කියනවා. පළවෙනි නම නාගොල්ලාගම කුරුළු ගීතය සකුණි කටකාර උපහාර ග්‍රන්ථය. දෙක විකට ධාරිණී සකලභාෂිණි සකුණි අමන්දා රත්නායක අසෙනිය කුසුමපූජා. සම සංස්කාරකවරු ගරු කුමුදක හංස රත්නායක සමග ගරු විදුල අමයුරු අබේසිංහ.”

“බලන්ඩකො සර් උපහාර ලබන්නෙ අපේ සකුණි. ගරු විශේෂණය දාගන්නෙ සංස්කාරකලා. ඒක හරි විහිලුවක්නෙ.

“විහිලුකාරියකට ගරු නම්බු දෙන කොට එහෙම තමයි වැඩ කරන්න ඕනෙ.”  

“අනේ සර් අපි දැන් අපේ රස වින්දන පාඩමෙන් ගොඩක් ඈතට ගියානෙ. අපි ආයෙත් පාඩමට යමු ද?”

“නෑ සිතුලි, අපි රසවින්දනයෙන් ඈතට ගියා කියලා මට හිතෙන්නෙ නැහැ. අපිට වෙලාවක දුක හිතුණා. ඒ අපේ භාරතීය සෞන්දර්යවේදීන්ට අනුව ගත්තොත් ශෝක කියන ස්ථායි භාවය නිසා ඇතිවන කරුණ රසයනෙ. ඒ වගෙම තවත් වෙලාවකදි මුළු පන්තියට ම හිනා ගියා. ඒ කියන්නෙ අපි හාස කියන ස්ථායි භාවය නිසා ඇතිවන කරුණ රසය වින්දා කියන එකනෙ. හොඳයි අපි මෙතෙක් නිහඬ ව හිටපු අපේ මිහිදිනී මිස්ගෙන් රසවාදය ගැන අදහසක්  ගනිමු ද?   

“දැන් මට කතා කරන්න වෙන්නෙ මේ විෂය ගැන හොඳ දැනුමක් තියෙන ගඟුල් සර්රුයි සුදර්ශි අක්කයි ඉන්න තැන. මන් මෙතෙන්දි නිර්මාණ රස විඳින කෙනෙක් විදිහට මට දැනෙන දේ කියන්නං. සමහර නිර්මාණයක දැවටිලා තියෙන්නෙ දුක. අපි ඒවට කියනවා ශෝකය ආත්ම කොට ගත් කරුණ රසය උපදවන නිර්මාණ කියලා. තවත් නිර්මාණයක් රතිය නිසා ඇතිවන ශාංගාර රසය උපද්දනවා. තවත් නිර්මාණයක් වීර රසය මතු කරන කොට තව නිර්මාණයක් අපේ හිත්වල ඇති කරන්නෙ රුදුරු බව වෙන්න පුළුවන්. ඒත් මේ එකම රසයකටවත් අයිති කරන්න බැරි නිර්මාණ තියෙන්න බැරි ද?””

“සුදර්ශි අක්කා මොකක් ද මිහිදිනී කියන අදහස ගැන කියන්නෙ.”  

“මිහිදිනී කියන කාරණේ ගැන මට වඩා හොඳට කරුණු කියන්න පුළුවන් ඔයගොල්ලන්ගෙ ඔයාලගෙ මේ ගඟුල් සර්ටම තමයි. මතක ද දවසක් භරතමුනි කතා කරපු නවනළු රස ගැන නතර කරන්න බැරි නිර්මාණ තියෙනවා කියලා විශ්වනාථ කියපු අදහසක් මතු කරන පද්‍යයක් මට දුන්නා. මන් හිතන්නෙ ඒකෙ තමයි මිහිදිනී නංගි මතු කරපු කාරණේට උත්තර තියෙන්නෙ.”

“අක්කා කියන්නෙ විශ්වවනාථගෙ සාහිත්‍යදර්පණේ එන පද්‍යයක් ගැන. ඒකෙ කියැවෙන හැටියට සමහර නිර්මාණයක් කියවන කොට අපට ඇතිවෙන්නෙ කරුණ - ශාංගාර - රෞද්‍ර - භයානක ආදි වශයෙන් තියෙන කිසිම රසයකින් විස්තර කරන්න බැරි වෙනස් ම හැඟීමක්. හැබැයි කිසියම් නිර්මාණයක් අර කියපු රස මතු කරන විදිහට ගලාගෙන ගිහිල්ලා අන්තිමට අර කියපු හැඟීම ළඟ නතර වෙන්නත් පුළුවන්.”

“මොකක් ද සර් ඔය විශ්වනාථ කියන කෙනා මතු කරන අමුතු අදහස.”

“විශ්වනාථ කියන කෙනා කියන එක වෙනුවට අපි විශ්වනාථ පඬිවරයා කියන නම පාවිච්චි කරමු. ඇත්තටම භාරතීය සමාජය එතුමා හඳුන්වන්නෙ මුනිවරයෙක් විදිහට.”

“ඇයි සර් මුනිවරයෙක් නොවිච්ච එතුමාට මුනි කියන විශේෂණය දාලා තියෙන්නෙ.”

“ඒකට මියුරි හේතුවක් තියෙනවා. කවර හෝ විෂයක ගැඹුරට ම ගිහිල්ලා තමන් නිවිලා තමන්ගෙ හදවතේ ඝෝෂාව නතර කරලා ජීවන නිහැඬියාව විඳලා ඒ අවබෝධය ඇතුව ලෝකයට අර්ථවත් දෙයක් දෙන අය ඒ අතීත භාරතීය සමාජය හැඳින්නුවේ මුනිවරු කියලා. බලන්න නාට්‍යශාස්ත්‍රය ගැන කතා කරපු භරත කොහොමත් ඍෂිවරයෙක්. එතුමාට කිව්වෙ භරතමුනි. ව්‍යාකරණ ශාස්ත්‍රය ගැන ගැඹුරින් කතා කරපු පාණිනී හැඳින්නුවෙත් පාණිනි ඍසි එහෙම නැත්තං පාණිනි මුනි කියන නමින්. ඒ වගෙම නිවැරදි ව ගත කරන ලෞකික ජීවිතය ගැන කතා කරපු වාත්ස්‍යායනත් මුනිවරයෙක්. ඒ වගෙම කලාව ගැන කියලා තියෙන  දේවල් බැලුවහම අපට විශ්වනාථතුමා දාන්න වෙන්නෙත් මුනි කුලකයට ම තමයි.”

“සර් අර සුදර්ශි මිස්ට දුන්න පද්‍යයයි ඒකෙ අර්ථයයි අපටත් කියන්ඩකො ලියා ගන්න.”

“මට පේනවා මයුරි වගේම අනික් දරුවොත් ඒ ගැන උනන්දුයි කියලා. හොඳයි එහෙනං දැන් ලියා ගන්න.”

“න යත්‍ර දුඃඛං සුඛං න චින්තා න ද්වේෂරාගෞ න ච කාචි චින්තා

රසඃ ස ශාන්තඃ කථිතෝ මුනීන්ද්‍රයෛඃ සර්වේෂු භාවේෂු ශමඃ ප්‍රධානඃ”    

යම් තැනක දුකක් නැද්ද සැපයත් නැද්ද ද්වේෂය හෝ ඇලීමත් නැද්ද අන්න එය මුනීන්ද්‍රයන් වහන්සේලා විසින් ශාන්ත රසය යයි හඳුන්වති. සියලු භාවයන් කෙරෙහි ශම හෙවත් සන්සිඳීම ම ප්‍රධාන වෙයි.

“සර් සන්සිඳෙන තැන තියෙන්නෙ විඳීමක් නෙමෙයි නිවීමක්නෙ. ඒ කියන්නෙ සර් කියන මේ අතීත සෞන්දර්යවේදීන්ට නිවන ගැනත් යම් අදහසක් තිබුණ කියන එක ද?”  

“ඒක නං මන් හරියට කියන්න දන්නෙ නැහැ සදුල්. ඒ උනාට ඒ ගොල්ලන්ට ඒ ගැන මොකක්දෝ අවබෝධයක් තිබුණා කියලානං හිතෙනවා සාහිත්‍යදර්පණය වගේ පොත් අධ්‍යයනය කරන කොට.” 

“සර් සමහර නිර්මාණයක් කියන කොට අපිට අපිව නැති වෙලා යනවා වගේ දැනෙන වෙලාවල් එනවා නේද?”

“මයුරි කිව්වෙ මට කියා ගන්න ඕන වෙලා තිබිච්ච දේනෙ. ඔව් දුව ඔය ගැනත් හරිම ලස්සනට කියනවා විශ්වනාථ මුනිවරයා. එයා එක තැනකදි කියනවා කිසියම් නිර්මාණයක් රස විඳින කොට මගේ ය අනුන්ගේ ය කියන සීමා කැඩිලා යනවා කියලා. එතෙන්දි සියලු අන්තර නැති වෙලා ගිහිල්ලා ඉතිරි වෙන්නෙ වින්දන මාත්‍රයක් විතරයි කියලා.”

“ගඟුල් සර්ට මතක නං කියන්නකො ඒකෙ සංස්කෘත පාඨයත්. මටත් ලියා ගන්න.”

“මයුරි මට නෙමෙයි අපිට ලියා ගන්න කියලා කියන්න. එහෙම නේද සර් හරි.”  

“හරි හරි මයුරි ඒක එච්චර හිතලා කියපු දෙයක් නෙමෙයිනෙ. අර ඉස්සෙල්ලා නිර්මාණ ගැන දක්වපු අදහස බැලුවහම අද දවසෙ හොඳම ශිෂ්‍යාව වෙලා තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ මේ මිහිදීනී මිස්නෙ. හොඳයි හොඳයි මන් කියන්නං. මේ දුවලා පුතාලත් ඒක ලියා ගන්න. ඒක ඔයගොල්ලන්ටත් වැදගත් වේවි.”

“පරස්‍ය න පරස්‍යෙති මමේති ච මමේති ච

තදාස්වාදේ විභාවාදේඃ පරිච්ඡේදෝ න විද්‍යතේ”

මේ මොහොතේ දක්නට ලැබුණේ මිහිදිනී සිසු කැළ මතු නොව සිංහල විෂය පිළිබඳ පාසලේ ප්‍රාමාණික ආචාර්යවරිය වූ සුදර්ශී ද එය ලියා ගන්නා ආකාරය යි.

“දරුවනේ ඔය පොත්වල ලියා ගන්න වචන වගේම සුදර්ශි මිස්ගෙ මිහිදිනී, මිස්ගෙ නිහතමානිකමත් ඔයගොල්ලන්ගෙ හදවත්වල ලියා ගන්න. ඒ දෙන්න මගෙ හොඳ මිතුරියන් වගෙම වෙලාවකට මට ගුරුවරියො වෙනවා. සිංහල සාහිත්‍යෙ මට අහු නොවෙච්ච ගොඩක් තැන් කියලා දුන්නෙ සුදර්ශි මිස්. ඒ වගෙම ඉංග්‍රීසි සාහිත්‍යෙ විතරක් නෙමෙයි සිංහල සාහිත්‍යෙත් ලස්සන ලස්සන තැන් මට ගෙනත් දෙන කෙනෙක් තමයි මේ මිහිදිනී මිස්. මට ඉස්සරහට මග හැරෙන මේ ඉරිදා පන්තිය දැන් යන්නෙ ඒ මිස්ලා දෙන්නගෙ අත්වලට. ඒක නිසා මට සැහැල්ලුවෙන් යන්න පුළුවන්.”

“සර්, අර පිහි කවි නිර්මාණයෙ තව කොටස් තියෙනව ද?”

“ඔන්න සකුණි, දැන් අපිව ආයෙත් අර පද්‍ය පන්තිය ළඟට ගෙනිච්චා. ඔව් දුව තව එකම එක කොටසක් විතරයි තියෙන්නෙ. හොඳයි අපි ඒකත් කියවලා ඉඳිමු.”

“පිරිමැද කතන්දර

ආදරේ පිරි පිහි අතරේ

හද සිදුරු කළ පිහි ගැන

අමතක කරමි නිතරේ”   

“අනේ සර් ඒ නිර්මාණය අපිව ගෙන යන්නෙ වෙනම තැනකටනෙ. මුලින් අපිට අපි ආදරේ කරපු අයත් මතක් වෙලා අපට දුක හිතෙන විදිහට නිර්මාණය ඉස්සරහට අරගෙන ගියා. හැබැයි කිවිඳිය ඒක කළේ අපේ හිත්වලටත් ආදරය ඇතුල් කරන ගමන්. බලන්ඩකො අන්තිමට අපිට කියන්නෙ ආදරේ පිහි මතක තියාගෙන වෛරයේ පිහි අමතක කරන්න කියලයි. මේ සර්, සර් අර ඉස්සෙල්ලා කියපු විදිහට නවනළු රසයෙන් එකක් ළඟ නතර කරන් නැතුව එතනින් ඔබ්බට ගෙන යන තැනක් නේද?”

“දුව මයුරි, මට කියා ගන්න ඕනෙ වෙලා තිබිච්ච දේ තමයි ඔයා දැන් මේ වචනවලට පෙරළුවෙ. ඔයාගෙ ප්‍රකාශෙ මට එකම තැනක් විතරයි සංශෝධනය කරන්න තියෙන්නෙ. ඒ සර් අර ඉස්සෙල්ලා කියපු විදිහට කියපු තැනට විශ්වනාථ මුනිවරයා කියපු විදිහට කියන වචන ටික දාන එකයි.”   

“ගඟුල් මටත් ඒකට වචන දෙක තුනක් එකතු කරන්න ඉඩ දෙන්න. අපි හිතනවටත් වඩා දුරකට යන්න පුළුවන් වාසනා ගුණය මේ දරුවන්ට තියෙනවා. ඔයා ඇවිල්ලා අපේ දරුවන්ගෙ තියෙන හැකියා මතු කරන්න පුළුවන් අලුත් උල්පත් මතු කරලා නිර්මාණ ගංගා නිර්මාණය කරන්න පුළුවන් හොඳම ගුරුවරයෙක්. ඉස්සරහට ඔයාගෙන් ඉගෙන ගන්න ඉඩ ලබන විශ්වවිද්‍යාලෙ දරුවොත් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. ඔයා සැහැල්ලුවෙන් යන්න. මන් මිහිදිනිත් එක්ක මේ දරුවන්ගෙ රසවින්දනය  තවත් තවත් තහවුරු කරන්න අපට පුළුවන් උපරිම දේ කරන්නං. අපි ඔයාට ආශිර්වාද කරනවා.”  

සුදර්ශීගේ මේ ආදරණීය වචන ඇසීමත් සමග හිඳ හුන් අසුනින් නැඟී සිටි ගඟුල් සිය දෙටු ගුරු සුහදිනිය හුන් තැනට ගොස් ඇයට වැඳ ආචාර කෙළේ ය. ඒ මොහොතේ කඳුළින් තෙත් ව ගියේ සුදර්ශිගේ දෙනෙත් පමණක් නොවේ. එදසුන දුටු මිහිදිනී මෙන් ම ඔවුන්ට ආදරය කළ ඒ ශිෂ්‍ය ප්‍රජාවේ දෑස් ද සංවේදනීය කඳුළින් පිරී තිබිණ.

“දැන් දරුවනේ මට යන්න වෙලාව හරි. මන් හිතුවෙ වැඩිපුර වෙලාවක් ගියත් දවල් දෙකට නාගොල්ලාගමින් කුරුණෑගලට ගිහිල්ලා එතනින් කොළඹ බස්සෙකක් ගන්න. මන් ඒ පාරටයි වැඩිය කැමති. මන් ගියාට සැරින් සැරේ ආපහු එනවනෙ. ඔයගොල්ල මේ මිස්ලා දෙන්නත් එක්ක මේ ඉරිදා පන්තිය මිස් කර ගන් නැතුව වැඩ කරන්න. මන් ගිහින් එන්නං සුදර්ශි අක්කේ, මන් ගිහින් එන්නම් මිහිදිනී, දරුවනේ ආයෙත් හම්බ වෙනකන් ඔයගොල්ලන්ටත් ආයුබෝවන්.” 

“සුදර්ශී දෙටු ගුරු සුහදිනිය සිය සහෘදයාගේ හිස පිරිමැද සමු ගනිද්දී මිහිදිනී කෙළේ නිහඬ වතින් බලා හිඳීම ය. ඇයගේ අප්‍රකාශනය යනු හෘදය සංවේදීත්වයේ උපරි ප්‍රකාශනය විය. මේ මොහොතේ ඇයට සිහිපත් වූයේ නොබෝදා ගඟුල් තිලිණ කළ මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතයේ අභිනව සිංහල පරිවර්තනය යි. එය පරිවර්තනය කොට තිබුණේ මෙරට කීර්තිමත් යති පඬිරුවනක් වූ පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. එහි අවසන ආදරවන්තයා වැහි වලාකුළ අමතා කරන ප්‍රාර්ථනය මිහිදිනී සිය අප්‍රකාශිත හෘදය ප්‍රකාශනය බවට පත් කොට ගත්තා ය.

“මාභූදේවං ක්ෂණමපි ච තේ විද්‍යුතා විප්‍රයෝගඃ

එක් ක්ෂණයකටවත් ඔබට විදුලි පතිනියගෙන් වෙන් වීමට සිදු නොවේවා!”

මේ පණිවිඩය මිහිදිනීගේ නොකියූ රහස වද්දී ගඟුල්ගේ අප්‍රකාශිත ප්‍රකාශනය වූයේ කුමක් ද? ඒ වූකලී ගඟුල් පමණක් නොව එදා සිටි අද සිටින හෙට දවසේ ද සිටින්නා වූ සත්‍ය වූ ආදරය හඳුනන සමස්ත ආදරණීයයන් උදෙසා රත්න ශ්‍රී කවි හද පිපුණු ස්නේහයේ කුසුම විය.


“රතු තිලක තියා නිල් අහසට ඉර බටු තරුව       පිපේවි

හෙට උදේම හමු වෙමු යි කියා හිරු ඔබ      කැඳවා යාවි

මට අඬන්නට නොදී නිල් තරු එක දෙක පිනිබින්දු සලාවි

ඔබ නිදන තැනට ඉහළ අහස මගේ මිහිරි සිහින     අඳීවි

කවි ලියන කෙනෙක් කවදා හරි මගේ හිතේ තරම  ලියාවි”


  


Wednesday, October 16, 2024

112. ගුරු දියවර නවකතාව - තිස්පස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                         ගුරු දියවර 35



ආදරණීය ගඟුල්,

ඔබ විසින් මවෙත එවන ලද සුදිගු ලියමන අද උදේ වරුවේ මා අතට පත්වුණා. ‘ස්තුති කිරීමෙහි ලා මට වචන නැත’ යන අර්ථය දෙන ගඟුල්ලාට එවක අන්තර් භාෂා ඥාන පන්තියේ දී මා ඉගැන්වූ සංස්කෘත ප්‍රකාශයකින් ම මේ ලියමන පටන් ගන්නවා.

“ස්තුතිකරණේ වචනානි න සන්ති මේ.”

ගඟුල්, ඔබ විසින් මට එවන ලද්දේ ලියමනක් ද නැත්නම් කෙටි නවකථාස්වරූපී කෙටිකථාවක් ද? ඔබගේ ලියමන මට ඉසොඳුරු අරුත්බර කෙටිකථාවක් කියැවීමෙන් ලැබෙන ප්‍රසන්න අද්දැකීම ලබා දුන්නා. මෙය අවිදූර අනාගතයේ ඔබගෙන් ලියැවෙන කෙටිකතා සංග්‍රහයක කෙටිකතාවක් වී සමාජයට යායුතු යි. ඔබ සතුටු නම් ඒ කෙටිකතා සංග්‍රහයට පෙරවදන ලියන භාග්‍යවන්තයා වීමට මම කැමැතියි.

ඔබේ ලේඛනය, දැන් මගේ සිතේ නාගොල්ලාගමත් එහි පරිසරයත් එගම ජීවත් වන ජනතාවත් ඔබේ සහෘදයනුත් ගැන මනා සිත්තමක් මැවීමට සමත් වුණා. එය මට අය්යාගේ සිත්තමක් සේ දැනුණා. මේ මොහොතේ ගඟුල්ට කියන්නට විශේෂ දෙයක් තියෙනවා. ඒ ඔබ ද නිතර අවධාරණ කළ ඒ සිත්තම්වලින් කොටසක් සංරක්ෂණය කිරීමට හැකි වූ බව යි. වැටුපෙන් සැලකිය යුතු කොටසක් බදු වශයෙන් කපා හැර නොතිබුණේ නම් මෙයට වැඩි කොටසක් සම්බන්ධයෙන් එකී ආරක්ෂණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ හැකි ව තිබුණා. එපමණක් නොවෙයි වෙනදා ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ආර්ථිකයක් තිබූ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකුට දැන් ගොඩක් අමාරුකම් තියෙනවා. අපි අපට පුළුවන් හැටියට ඒ අයටත් උදව් කරමින් අපත් ජීවත් වෙනවා. මා මෙහි දී අප කියා සඳහන් කළේ එසේ කටයුතු කරන්නේ මා පමණක් නොවන නිස යි. 

මේ ළඟදී දවසක ලද හද පාරන අද්දැකීමක් ගැන ඔබට කියන්නට සිතෙනවා. ඒ අපගේ මිතුරකුට අත්‍යවශ්‍ය බෙහෙත් ගැන්ම සඳහා ඔහුට යැවූ මුදල ඔහු භාවිතයට ගෙන තිබූ ආකාරය ගැන යි. ඔහු බෙහෙත් වර්ග මිල දී ගැනීම වෙනුවට කර තිබුණේ සිය බිරිඳ හා දරු තිදෙනා සමග තමා ද ජීවත් වීමට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන ගෙදර යාම යි. මා මේ කරුණ සරසවියේ අපගේ සහෘදය මිතුරියකට කී මොහොතේ මහත් කම්පාවකට පත්  වූ ඇය ඒ මොහොතේ ම මගෙ අතට මුදලක් දුන්නා, ඖෂධ වට්ටෝරුව ගෙන්වා ගෙන මින් ඒවා මිල දී ගෙන මිතුරාගේ ගෙදරට ම ගෙන ගොස් දෙන්නැයි යන ඉල්ලීම ද කරමින්. මම ඒ මොහොතේ ම අප මිතුරාගෙන් අදාළ ඖෂධ වට්ටෝරුව ගෙන්වා ගත්තා. පසුදින උදය වරුවේ වැඩ සැලසුම් කරගෙන එහි යාමට යි මා සිතා සිටියේ. රාත්‍රී 11 ට පමණ අර සරසවි ඇදුරු මිතුරිය මට කතා කළා. ඇය කීවේ මිතුරු නිවහනට යාමට පෙර මා හමු විය යුතු බව යි. එහෙත් එදින ඇයට සරසවියට එන්නට ලැබෙන්නේ දහවල බැවින් දිවා ආහාර වෙලාවෙන් පසු එහි යාමට යොදා ගත හැකි දැයි ඇසුවා. මම ඒ අනුව මගේ දෛනික වැඩ සටහන වෙනස් කොට හවස එහි යාමට වැඩ සැලසුම් කර ගත්තා. ගඟුල්, දහවල් එක පමණ වන විට මගේ මිතුරිය ආවා. ඇය අනතුරුව මගේ රිය නවතා ඇති තැනට ඇගේ රිය පදවා ගෙන ආවා. ඒ ඔබ ද හොඳින් දන්නා භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය ඉදිරිපස ඇති බිම්කඩට යි. ඇය තම වාහනයේ ඩිකිය ඇරියා. එහි එළවළු, කිරිපිටි, සබන් ආදි ගෙදරකට අවශ්‍ය කරන ගොඩක් ජාති තිබුණා. ඒ මිතුරාගේ ගෙදරට ගෙන ගොස් දීමට යි. මන් ඒ වෙලාවෙ කිව්වෙ ‘ඇයි ඔයා මට ඊයෙ ලොකු මුදලක් දුන්නනෙ බෙහෙත් ගන්න කියලා. ඉතින් ඇයි මේ තව....’ මන් මෙහෙම කියද්දී ඇය මට මගේ වාක්‍යය සම්පූර්ණ කරන්න දුන්නේ නැහැ. ‘සර් බය වෙන්න එපා මන් ඊයෙ කළේ මට කරන්න පුළුවන් දෙයයි. මේක මගේ වැඩක් නෙමෙයි’ කියලයි ඇය කිව්වෙ. ‘එහෙනම් මේක කාගෙ වැඩක් ද’ කියලා ඇහැව්වහම ඇය හිනාවෙවී මට උත්තර දුන්නෙ මෙහෙම යි. 

“සර්, මම ඊයෙ මේ කතාව අපේ අම්මටයි නංගිටයි කිව්වා. ඒක අහලා ඒ දෙන්නගෙ ම ඇස්වලට කඳුළු ආවා. මන් ඒ කඳුළුවලට ආසයි සර්. අපේ පෞද්ගලික දුකකදි අපෙන් වැටෙන කඳුළකට වඩා අනුන්ගෙ දුකකදි වැටෙන කඳුළෙ ලොකු අර්ථයක් වගෙම ලස්සනක් තියෙනවා කියන එක අපිට කියලා දුන්නෙත් සර් ම තමයි. සර් දන්නවනෙ මන් විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවක් විදිහට ඉන්න කාලෙ අපේ තාත්තා නැති වෙච්ච බව. ඇයි සර්ලත් ආවනෙ මළගෙදර. මගෙ අම්මා විශ්‍රාම ගිය ගුරුවරියක්. නංගි බැංකු නිලධාරිනියක් විදිහට වැඩ කරනවා. ඊට පස්සෙ මන් දැක්කා අම්මයි නංගියි පැත්තකට ගිහින් මට නෑහෙන්න කුටු කුටු ගානවා. මන් ඒ දෙන්නට කතා කරගන්න ඇරලා මගෙ කාමරේට ගිහින් පහුවදාට කරන්න තියෙන දේශනේට සූදානම් උනා. ටික වෙලාවකට පස්සෙ අම්මා මගෙ ළඟට ඇවිත් මගෙ ලියන මේසෙ ළඟ තියෙන ඇඳෙන් ඉඳගත්තා. එහෙම ඉඳගෙන ලොකු දුව ලොකු වැඩක් ද කියලා ඇහැව්වා. මන් හිනාවෙවී අම්මට කිව්වෙ අම්මගෙ ලොකු දුවට ලොකු වැඩ මිසක් පොඩි වැඩ නෑනෙ කියලයි. ඒ එක්කම කිව්වා ලොකු වැඩක් නං මන් කරන්නං. පොඩි වැඩක් නං අන්න අරයට කියන්න කියලා නංගිව පෙන්නුවා. මොකද ඒ වෙලාව වෙන කොට නංගිත් මගෙ කාමරේට ඇවිල්ලා හිටපු නිසා. සර් දන්නව ද අපේ නංගි දුන්න උත්තරේ. එයත් ලොකු වැඩක් කරන්න ය යන්නෙ. කළාට පස්සෙ බැරියා මගෙ මේ අක්කා කියන ලොක්කිට ඒක බලා ගන්න කියලා මගෙ ළඟට ඇවිල්ල මාව ඉඹලා මගෙ කොණ්ඩෙනුත් ඇදලා එළියට දිව්වා.”

“ඉතින් ගඟුල් ඊට පස්සෙ මොකක් ද උනේ කියලා කියලා මන් අපේ මිතුරියගෙන් ඇහැව්වා. එතකොට එයා මෙහෙම කිව්වා.”

“අම්මගෙ අවශ්‍ය ම වැඩ ටිකක් කර ගන්න තියෙනව ය ඒ නිසා එයත් එක්ක ළඟ තියෙන ටවුමට යන්න එන්න ය. නංගිවත් එක්ක යමු ය කියල යි අම්මා කිව්වෙ. ඉතින් සර් ඔහොම අපි යනවා කියමුකො. ඔන්න ෆුඩ් සිටියක් ළඟදි අම්මා මට වාහනේ නතර කරන්න කිව්වා. මමත් එතන කාර්රෙක නතර කළා. මෙන්න අපේ නංගි කියනවා ඔබතුමියට අවශ්‍ය නං කාර්රෙකේ ම ඉඳලා තියෙන වැඩක් කරගන්න පුළුවන්. නැත්තං ඉතින් අපිත් එක්ක එන්න පුළුවන් කියලා. හැබැයි ඒකෙ ඇතුළෙ අම්මයි මමයි කරන කියන දේවල් ගැන ඔයාට ප්‍රශ්න අහන්නත් තහනම් කියලා කිව්වා. මන් කිව්ව මටත් තනියෙම මේක ඇතුළට වෙලා ඉන්න බැහැය ඒ නිසා මාත් ඇතුළට එනවය ඒ උනාට ඒ ආවට පස්සෙ මට හිතුණොත් මන් ප්‍රශ්නත් අහනවය කියල. එහෙම කියාගෙන මාත් ඒ දෙන්න එක්ක ම ෆුඩ්සිටිය ඇතුළට ගියා. ඔන්න අම්ම යි දුවයි දෙන්න එක්ක අර බඩු දාගන්න ට්‍රොලි දෙකක් ගත්තා. ඒ පාර මන් ඇහැව්වා එක ගෙදරට බඩු ගෙනියන්න ට්‍රොලි දෙකක් මොකට කියලා. එතකොට අපේ නංගි කියාපි මන් ඔයාට කිව්ව නේද ඇතුළට ආවට කමක් නෑ අපෙන් ප්‍රශ්න අහන්න තහනම් කියලා. මන් ඒ වෙලාවෙ කිව්ව මතක ද මට හිතුණොත් මන් ප්‍රශ්න අහනව කියලා මන් උත්තර දුන්නා. 

ඔව් සර් මන් ප්‍රශ්න කළා. ගෙදර පොඩි හරි දානයක් දෙනවනං මාවත් සම්බන්ධ කර ගත්තනං නේද හොඳ කියන එකයි මන් ඇහැව්වෙ. ඒකට එයාගෙ නංගි කියලා තිබුණෙ අක්කෙ මේ වෙන කොට ඔයා ඔයාගෙ දායකත්වෙ කරලා ඉවරයි දැන් මේ අපේ දාන සහභාගීත්වෙ. ඒකට ඔයා බාධා කරන්න එපා කියලයි. අනේ සර් මොකක් ද දන්නව ද වෙලා තියෙන්නෙ. මන් සර්ගෙ යාළුවට බේත් ගත්ත නිසා අම්මයි නංගියි මේ කරන්නෙ එයාගෙ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න එකයි. මට කවදත් මගෙ අම්මයි නංගියි ගැන අබිමානයක් තිබ්බා ඒ දෙන්නා මගෙ අම්මයි නංගියි වීම ගැන. එදා ඒ හැඟීම තවත් වැඩි උනා සර්. ඒ වෙලාවෙ මන් කිව්වා ඉතින් ළමයො මගෙ යාළුවා වෙනුවෙන් දැන් මට කරන්න දෙයක් නැහැනෙ කිව්වහම එයා දුන්න උත්තරේ. සර් අපිට ඉගැන්නුවෙ විෂය කරුණු විතරක් නෙමෙයි මනුස්සකං ගැනත් ඉගැන්නුව නේද කියලා මේ ඉතින් ඒකෙන් බොහොම අල්පයක් ක්‍රියාත්මක කරන සුයාමය යි කියලා හිනාවෙවී කිව්වා. 

ගඟුල්, මට මේ වෙලාවෙ මතක් වෙනවා ඔයගොල්ල අපේ ශිෂ්‍ය කාලෙ කියපු සමහර දේවල්. මීට කාලෙකට ඉස්සෙල්ලා අපේ මිත්‍රයෙක්ගෙ පොතක් එළි දක්වන උත්සවයකදී සරච්චන්ද්‍ර සර්ගෙ ශිෂ්‍යයෙක් හමු උනා. එතුමා ඒ වෙන කොට විශ්‍රාම ගිය ගුරුවරයෙක්. පේරාදෙණියෙ ඉගෙන ගෙන තිබුණෙ. ඔය කාලෙම තමයි සුචරිත ගම්ලත් සර් ආචාර්ය මණ්ඩලයට සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙච්ච කාලෙ. දවසක් සරච්චන්ද්‍ර සර්රුයි සුචරිත සර්රුයි අර මට හම්බවෙච්ච සර් ඇතුළු ශිෂ්‍යයො කීප දෙනෙකුයි කතා කර කර විශ්වවිද්‍යාලෙන් එළියට එනකොට තමන්ට අතපාපු හිඟන මනුස්සයෙකුට සරච්චන්ද්‍ර සර් මුදලක් දීලා තිබුණා. සුචරිත සර් සමාජවාදි ආකල්ප දරන අර වගෙ වැඩවලට පැලැස්තර කියලා කියන කෙනෙක්නෙ. ඒ වෙලාවෙ සුචරිත සර්ගෙ කට කොණට නැගෙන උත්ප්‍රාසාත්මක හිනාව දැකලා සරච්චන්ද්‍ර සර් මෙහෙම කිව්වලු.

“අයිසෙ සුචරිත මන් දන්නව තමුසෙ ඇයි හිනාවෙන්නෙ කියලා. ඒ උනාට තමුසෙලගෙ ක්‍රමේ එනකන් මේ මනුස්සයා ජීවත් වෙන්නත් ඕනනෙ කියලා. ඇත්තට ම මන් විශ්වාස කරන්නෙත් මේ වගෙ දේවලට දීර්ඝකාලීන විසඳුමක් එනකන් කෙටිකාලීන විසඳුම් උවමනයි කියන එකයි. ඒ දීර්ඝකාලීන විසඳුම දේශපාලනිකයි. ගඟුල්ලා දන්නවනෙ මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි. ඒක නිසාම පක්ෂයකට අයිති වෙච්ච කෙනෙකුට වඩා එහෙම අයට හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. අවුරුදු හැට හැත්තෑවක් තිස්සෙ මේ රට පාලනය කරපු අය අතර හොඳ මිනිස්සු නොහිටියා නෙමෙයි. ඒත් ඒ අයට වඩා බලවත් උනේ නරකේ නියෝජිතයන්. රට මේ තරන් ප්‍රපාතයකට වැටුණෙ ඒ නිසානෙ. ඔයගොල්ලන්ට මතක ද මන් ඒ දවස්වල සුභාෂිතරත්නාවලිය දේශපාලනඥයා ගැන කියපු දෙකක්. ඒ ප්‍රකාශෙ කියවෙන විදිහෙ චරිත එදාටත් වඩා ඕන කරන්නෙ අදටයි ගඟුල්. මන් ඒ ප්‍රකාශෙ මෙතන ලියනවා. ඔයා මේක ටයිප් කරලා පුළුවන් තරන් දෙනෙකුට යවන්න.”

“තමන්හට වරදක් කළත් නොකිපෙන, කරුණාවෙන් යුතු ව ඒ තැනැත්තාටත් පිළිසරණ වන, කාගෙන්වත් උදව් උපකාර සැලකිලි කිසිවක් අපේක්ෂා නොකරන, චාම් ගති ඇති අය දේශපාලනයට සුදුසු ය.”

ගඟුල්, මට නුදුරු අනාගතයේ දී වේවි කියලා හිතට දැනෙන මොකක්දෝ දෙයක් තියෙනවා. ඒක ඈත තිබිලා ටික ටික ළංවෙන ආලෝකයක් වගෙයි. ඔය හැඟීමත් එක්ක මන් ඊයෙ රාත්‍රියෙ දේශපාලනය සහ දේශපාලනඥයා කියලා ලිපියක් ලියන්න ගත්තා. හෙට අනිද්දා දිහාට ඒක ඉවර කරගන්න පුළුවන් වේවි. මේ ලිපිය ලියලා ඉවර උනාම සදසි දුව ලවා ඉංග්‍රීසියටත් භාග්‍යා දුව ලවා දෙමළටත් දාන්නයි මන් හිතාගෙන ඉන්නෙ. අපි හිතන යහපත හැම සමාජෙකට ම යන්න ඕන නේද ගඟුල්. මන් මේ ලියන ලිපිය ගැන මගෙ උදය කියන මිත්‍රයට කිව්වා. මට ගෙනත් දෙන්න මන් ඒක මුද්‍රණය කරන්නං කියලයි එයා කිව්වෙ. මන් කැමතියි ඒ ලිපියෙ අවසානය සලකුණු කරන්න මන් හිතාගෙන ඉන්න, ඒ කියන්නෙ සමාප්ති වාක්‍යය විදිහට ලියන්න ඕනෙයි කියලා හිතන අදහස මේ වෙලාවෙ ඔයත් එක්ක බෙදා ගන්න.

දේශපාලනඥ යන වචනයේ ඇති පවිත්‍ර නිරුක්ති අර්ථය සිය ජීවිතයෙන් ප්‍රකාශයට පත් කරන උතුම් දේශපාලනඥයන් හඳුනාගෙන, ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යැවීම සඳහා වන ප්‍රඥාවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ධෛර්යයත් මගේ මේ ආදරණීය දේශයේ ජනතාවට නොමඳ ව ම ලැබේවා!

ගඟුල්, ලෝකයේ යහපත වෙනුවෙන් අපට කරන්න පුළුවන් පුංචි ම දේ හරි අපි කරන්න ඕනෙ. ඔයා ගුරුවරයෙක් විදිහට තමන්ගෙ සිසු දරුවන්ට දැනුමට අමතර ව දැක්මක් දෙන බව සිහි කිරීමත් ඔබේ ගුරුවරුන් වන අපට සතුටක්.

ගඟුල්, අද මන් ඔබට මේ ලියමන ලියන්නෙ ආගිය තොරතුරු වගෙම රට ගැන මට දැනෙන දේවල් කියන්න විතරක් නෙමෙයි. ඔබට ආරාධනයක් කරන්නත් තියෙනවා. ඔයා ෆස්ට් ක්ලාස් එකක් එක්කනෙ උපාධිය ගත්තෙ. ඒ එක්කම ඔයා කැලණිය විශ්වවිද්‍යාලෙ එක් අවුරුදු පශ්චාද් උපාධියත් කරගත්තනෙ. සම්භාව්‍ය සිංහල ගැන හැඟීමක් වගේම දැනීමකුත් ඔයාට තියෙනවා. ඒක නිසා අපේ අධ්‍යයනාංශෙ ආරාධිත කථිකාචාර්යවරයෙක් විදිහට ඔයාව බඳවා ගනිමු කියන යෝජනාව පසුගිය අධ්‍යයනාංශ රැස්වීමට ආවා. ඒ යෝජනාව ගෙනාවෙ නං මම නොවේ. ඒත් ඒක සතුටින් අනුමත කරපු අය අතරෙ මාත් හිටියා. ඒ විස්තර මන් පස්සෙ ඔයාට කියන්නං. විවේක තියෙන වෙලාවක මට කතා කරන්න. 

ගඟුල්, මේ ඉල්ලීමට ඔයා කැමැත්ත දෙන්න. ඒක අපේ ශිෂ්‍යයන්ටත් ඔබටත් කියන දෙපාර්ශ්වයට ම හොඳයි. පාසලින් එක දවසක් නිදහස් කරගන්න පුළුවන් ද බලන්න. ඔබට බ්‍රහස්පතින්දා ඉස්කෝලේ ඇරුණට පස්සෙ එන්න පුළුවන්නං ගොඩක් හොඳයි. එහෙම උනොත් සිකුරාදාටත් සෙනසුරාදාටත් අපිට දේශන යොදා ගන්න පුළුවන්. විදුහල්පතිතුමිය දැනුවත් කරලා අවසරේ ගන්න. අද හෙට ම විශ්වවිද්‍යාලෙන් ඔයාගෙ ලියමන ලැබේවි. ඒ එන දවස්වලට ඔබේ දර්ශනපති උපාධියෙ වැඩත් කරන්න පුළුවන්. ඒ වගෙම ඔයාගෙන් අපේ සමාජෙට පොතක් පතක් යන්නත් ඕනෙ. මෙහෙ ආවහම ඒකටත් ඉඩක් හදාගන්න. ඔන්න ඒ වැඩ තුනට ම මගෙන් සුබ පැතුම්.

ඉතුරු විස්තර අපි හමු වී කතා කරමු.

ඔබට ගමට රටට ලොවට යහපත ම වේවා!

ලියමන එසේ අවසන් කොට මා අදරැති ඇදුරු යයි සඳහන් කොට ගඟුල්ගේ ඒ හද බැඳි ගුරුවරයා සිය අත්සන තබා තිබිණි. ගඟුල් දෙතුන් වරක් සිය ගුරුවරයා විසිත් තමා වෙත එවන ලද හෘදයංගම ලේඛනය කියැවීය. ඔහුට දැනුණේ සිය ළබැඳි ගුරුවරයා සමීපයේ සිට කතා කරන සෙයකි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සිය ගුරුවරයා එක් දේශනයක් අවසන සිසුන් අමතා කළ ප්‍රකාශයකි.

“දුරකථනය අපට ගොඩක් වැඩ පහසු කරලා දෙන එක ඇත්ත. ඒ උනාට දුරකථනයට කරන්න බැරි දේවලුත් තියෙනවා. වෙලාවකට අපේ හදවතේ තියෙන හෘදයංගම ආදරණීය දේ කියන්න පුළුවන් දුරකතනයක් ඔස්සෙ කටින් කතා කරන වචනවලට නෙමෙයි මුලින් හිතේ ලියැවිලා කොළේක ලියැවෙන අකුරුවලට.”  

එසේ නම් සිය ගුරුවරයා විසින් මේ කරනු ලැබ ඇත්තේ ඒ කාර්යය ද? මේ මොහොතේ ගඟුල්ගේ සිතට නැඟුණේ තම කලණ මිතුරියක වන චතුරි දමයන්ති නම් ජීවක සුහදිනිය විසින් ලියන ලද කවි දෙකකි. 

“දිය උනන කුඩා උල්පත්   පොකුරු

තුරු කිනිති අග සැලෙන මල් අහුරු

සඟවගෙන පපු ගැබෙහි  දුක් අකුරු

ලියන කවි කන්දක් ද     ඔබ මිතුරු


තියාගෙන තනියෙන් ම ගිනි පුපුරු

දකින්න ද දුම් නඟින දිය    පුපුරු

නාය යන්නට කලින්    මල් අහුරු

ලියමු අපි අලුත් කවියක     අකුරු”

සිය හද නැඟි මල් අහුරු විසිර යන්නට කලින් තම ගුරුවරයාට අලුත් කවියක අකුරු ලියනු පිණිස ගඟුල් සිය ලියන මේසය ළඟ ඇති අසුනෙහි හිඳ ගත්තේ ය. මෙතැන් සිට අත් අකුරු වී ගඟුල් අතින් ලියැවෙන්නේ ඒ හද අකුරු ය.

සදාදරණීය සහන් සර් වෙත අපරිමිත ආදරයෙනි.

සර් අකුරු බවට පත් කොට තිබූ හැඟුම් මල් පොකුරු මට ලැබුණා. මේ ජීවිත කාලය තුළ ඇසුරට ලද මනු සම්පත් අතර සිත්තර සමන් අය්යා මෙන් ම  ඔබ ද ඉහළ ම තැනක සිටින බව කියන්නට පළමු ව මට අවසර දෙන්න. 

සර් කිව්වා හරි. වෙලාවකට අපි කතා කරන වචනවලට වඩා කොළයක ලියන අකුරු බලවත්. ඒ වගෙම සමන් අය්යා වගේ කෙනෙක් ගත්තොත් අපේ වචනවලට වඩා එයාගේ රේඛා බලවත්. කවියන් කලාකරුවන්ගේ බලය පිළිබඳ ව දැන් මට වෙනදාටත් වඩා දැනෙනවා. ඒ අය අතරින් අපට වඩාත් තදින් දැනුණු ඇතැම් චරිතයක් දැන් අප අතර නැහැ. ඒත් ඒ අය ඉන්න කාලෙටත් වඩා ඔවුන්ගේ අකුරු සහ රේඛා ඉතා බලවත් ව අපට කතා කරනවා. 

සර්ලා සමන් අය්යාගේ චිත්‍ර සංරක්ෂණය සඳහා ගත් පියවර ප්‍රශස්ත යි. සර්ලාගේ අම්මා ජීවත් ව සිටින තාක් ඒ කාර්යය නොකළේ ඒවා දකින මොහොතක් පාසා ඒ ආදරණීය අම්මාට දුක හිතෙන නිසා බව අපි දන්නවා. ඒත් ඔබ, ඔබේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන් ම සමන් අය්යාගේ කල්‍යාණ මිත්‍රයන් මෙන් ම ඒ ශිෂ්‍ය ප්‍රජාව මෙතෙක් ඒවා පරිස්සම් කිරීම සඳහා ගත් පියවර අගය කිරීමට ද මම මෙය අවස්ථාව කොට ගන්නවා.

සර්ගෙ සතුට පිණිස කරුණක් සඳහන් කරන්නට කැමතියි. ඒ මා අතින් වෙනදාට වඩා කවි කෙටිකතා ආදිය ලියැවෙන බව යි. සර්ලගේ තාත්තාගේ වචනවලින් කියනවා නං ඒ ගැන කියන්න වෙන්නේ මෙහෙම යි.

  ‘ලියනවා නෙමෙයි මේවා ලියැවෙනවා ඉබේ’

සර්, මන් ලියන ඒවා කියවන සහෘදය පාඨක කණ්ඩායමක් ද ඉන්නවා. ඒ අය අතර අපේ ගුරු මණ්ඩලයේ අය, අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ත්‍රී රෝද රථ එළවන මිතුරන් කිහිප දෙනෙක් වගෙම මන් ඉන්න ගෙදර තාත්තා ඇතුළු පිරිසත් ඉන්නවා. ඒ ඔක්කොම සර් ගැන දන්නවා. අපේ ඉස්කෝලෙ ඇතුළු අවට ඉස්කෝල කීපයකට ම සර් ලවා දේශන මාලාවක් කිරීම අපේ බලාපොරොත්තුවක්. ස්වාමි විවේකානන්දතුමාගෙ ප්‍රකාශයක් එහෙම කියලා සර් ම නේ ද අපට ඉගැන්නුවෙ හොඳම දේවල් තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ලෝකයටත් දෙන්න කියලා. ඒක නිසයි සර් ලවා අපේ ඉස්කෝලෙ අයට විතරක් දේශනයක් කරව ගන්නෙ නැතුව ඒක විහිදුවන්න තීරණය කළේ. මන් මෙහෙම ලිව්වහම මන් දන්නවා සර් කියන දේ. මගෙ දේශන ද බන් ලෝකෙට දෙන්න තියෙන හොඳ ම දේ කියලා සර් හිනාවෙන හැටි මට මැවිලා පේනවා. කොහොම උනත් සර්ගෙ වචනවලින් ම කියනවනං නං මේ වචනවලට සීමා නොවිච්ච ක්‍රියාවක් කරන්න තමයි ලෑස්ති වෙන්නෙ. සර්ව නොදැක දකින අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ ඔක්කොට ම මගෙ සර්ව හඳුන්වා දෙන එකත් මේ ක්‍රියාන්විතයේ ම කොටසක්.

සර් එන්නෙ ගෙදර කට්ටියත් එක්කනෙ. මටත් අපේ යාළුවන්ටත් ඒ අද්දැකීම තියෙනවනෙ සර්ලා එක්කම ගමන් ගිහිල්ලා. අපි සර්ලට මෙහෙ නවාතැන් හදන්නෙ අපේ ශිෂ්‍යයෙක්ගෙ ගෙදර. ඒ ගේ තියෙන්නෙ මිරිහන්පිටිගම වැව අයිනෙ. පුංචි සිරියාවන්ත ගෙදරක්, අවශ්‍ය කරන මූලික පහසුකම් ඔක්කොම තියෙන. හැබැයි සර්, සර්ලව බලන්න හවසට ඒ ගෙදරට නාගොල්ලගම ඉස්කෝලෙන් නෑයො එන එක නවත්තන්න නං මට බැරි වේවි. මට දැන් මැවිලා පේනවා ඒ අය වැව් කණ්ඩිය දිගේ නෑ ගං එන හැටි.

සර් අර බෙහෙත් ගන්න බැරිව හිටිය යාළුවා ගැනත් එයාට උදව් කරපු ආචාර්යතුමිය ගැනත් මන් අපේ දරුවන්ට කියනවා. මිනිස්සු මනුස්සකම් ඉගෙන ගන්නෙ ඔය වගෙ දේවලින්. එතුමියට අපේ ආදරය ගෞරවය වගේ ම ප්‍රසාදය පළ කළ බව කියන්න. ඒ වගෙම සර් ලියන දේශපාලනය ගැන ලිපියෙ වැඩ ඉවර උනාම ඒකෙන් පිටපත් අපටත් එවන්න. 

සර් කියන ආලෝක රේඛා දැන් මටත් පේනවා. දේශපාලන බලය යන්න ඕන හොඳ මිනිස්සු අතට. එහෙම හිටපු අතළොස්ස බහුතරයක් වෙන දවසක වැඩි ඈතක නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. මේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකෙ කිසි කෙනෙක් දුකෙන් අසහනයෙන් ඉන්ඩ අවශ්‍ය නැහැ. අපිට පුළුවන් දේ තමයි මේ රට යහපත් තැනක් කිරීම සඳහා අපට පුළුවන් දේ කරන එක. මට මේ වෙලාවෙත් මතක් වෙන්නෙ කිසිම දේක කොටසක් නොවී තමන් විශ්වාස කරපු යහපත තහවුරු කරන්න, තමන්ගෙ කායික මරණය සිද්ධ වෙනකන් වැඩ කරපු සමන් අය්යව යි. මට රත්න ශ්‍රී අය්යගෙ සර්රුත් කැමති එක කවි පන්තියක් දැන් මතක් වෙනවා. මට මතකයි මේ කවි දෙකත් සම්බන්ධ කරලා සර් සැරයක් සමන් අය්යා ගැන ලිපියකුත් ලියලා තිබුණා. 

“එදා පාසල් මවුන් තුරුළේ ඉර එළිය යට    උණුසුමේ

විදා නෙත් හැර බලා ලොව දෙස අකුරු කියවූ ජීවිතේ

ගසා කන විට බුරා අගහිඟ කුරිරු වූ      ගිම්හානයේ

සහෝදරයා නුඹ ය මග කී කටු පඳුරු නැති  නිම්නයේ 


පියාපත් සිඳ තලා මැරුව ද තුඩින් ගී පද   නොවෑහේ

මුසා රන් ලියකමින් සැදුව ද එයින් සත්‍යය  නොසෑදේ

අපේ සිත් තුළ ඇස පියා නුඹ නිදන මේ රැය  නිමාවේ

එදා දහසක් බුදුන් බුදු වුණ උදෑසන යළි        උදාවේ”

සර්ලගේ අපේ ජීවිතවලට මග කිව්ව කෙනා තමයි සමන් අය්යා. සර්ට මතක ද දවසක් අපිට සර් බෞද්ධ සාහිත්‍යෙ එන චරියා සූත්‍රෙ අරගෙන ඒවා අපේ ජීවිතවලට සම්බන්ධ කරලා කරුණු පැහැදිලි කළා. ඒ කිව්ව හැටියට මනුස්සයෙක්ගෙ ඉරියව්, ඇහ කණ ඇතුළු ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න විදිහ, සිහියෙන් කටයුතු කරන හැටි,  තමන්ගෙ ජීවිතය සමාධිගත කරගෙන තියෙන හැටි, එයාගෙ ප්‍රඥාව, එයා යන මාර්ගය පෞද්ගලිකව උපය ගත්ත දේවල් පවා ලෝකයේ යහපතට යොදන හැටි කියන ඒ කාරණා ඒ අතරෙ තිබුණා. සමන් අය්යා තෝරගත්තේ ආදරයේ මාර්ගය. එයා තමන්ගෙ කායික මරණය සිද්ද වෙනකම්ම ඒකෙන් අංශුමාත්‍රයක්වත් බැහැර උනේ නැහැ. ඒක අපි කාටත් වඩා හොඳින් ම දන්නෙ සර්. එයාව දැකලා නොතිබිච්ච අය එයාව දැක ගත්තෙ සර්ලා එයා ගැන සමාජගත කරපු එයාගෙම දේවල්වලින්. සර්ට මතක ද දවසක් අපිත් එක්ක ඉගෙන ගත්ත අපේ කවිකාරි හසිනි අනුත්තරා සංයෝගය සහ වියෝගය පොත කියවලා ඉවර වෙලා ලස්සන කවි පන්තියක් ලියලා තිබුණා. ඒකෙ එයා නොදැක්ක සමන් අය්යව තියලා තිබිච්ච තැන. ඔන්න සර් දැන් මට ඒ කවිත් මතක් වෙනවා. ඒක හින්දා මන් ඒ කවි තුනකුත් මෙතන ලියනවා.


“නොනිමෙන ගමන නොනිදා ගිය අරුම  දැනී

නුඹෙ සෙවණින් බිඳක් සුවයක් අවැසි     වුණි

නුඹේ සෙවණ ලද දිවිවල           අරුම දැනී

නුඹ ලොව නැති දැ මා නුඹ සිසුවියක්     වුණි


මුදු ස්වරයෙන් ගැයී මහ සිහනදක     බලේ

නොකළැකි ඒ අරුම නුඹ වැකි පසක්  කළේ

නුඹ ගුරු දියවරින් සුපිපුණු නෙළුම්     විලේ

උරුමය අපට නැතිව ද? ඒ       සුනිල් විලේ


නින්දේ පිය සිසුන් තැබුවේ නැහැ     නින්දේ

බැන්දේ සිය සුතන් ලෙස සෙනෙහස බැන්දේ

වැන්දේ සොඳුරු මිනිසුන්ටයි ලෝ    වැන්දේ

වන්දේ සමන් ගුරු පිය නිරිඳුන්        වන්දේ”


හසිනි එදා ලියලා තිබිච්ච කවි අට ම මට පාඩම් සර්. සර් ඒකට උත්තර එවලා තිබුණෙත් කවියෙන්. ඒ කවි අදටත් අපේ හසිනි ගාව පරිස්සමට තියෙනවා. වැදගත් ම දේ ඒක නෙමෙයි සර්, ඒ හසිනි අද ගුරුවරියක් වෙලා ඒ දරුවන්ට ජීවිතය උගන්නනවා. ඒක නේද සර් වෙන්ඩ ඕන දේ. ඒක නේද සර්ලගෙ ප්‍රාර්ථනාවත්. දැන් අර සර්ලගෙ සිසු දියණියගෙ වගෙම අපිත් එක්ක විෂය කරුණු වගෙම ජීවිතය ගැන කරුණු කතා කළ අපේ සර් හසිනිට යවපු පිළිතුරු ලියමනේ කවි දෙකක් උපුටලා දක්වන්න යි යන්නෙ. ඒ කවි පෙළ සර් නම් කරලා තිබුණෙ ‘අහිමි ගුරු’ අහිමි නොම කොට දුවට කියලයි. ඔන්න දැන් මම සර්ගෙ කවි සර්ට ම එවන්නයි යන්නෙ.

“නොම දැක ගුරු හදක විසිතුර දුටු  දියණි

නුඹ හද පිපුණු කවි කුසුමන් නෙත රැඳුණි

අහිමි ව සදා හිමි වූ රුව හද      මැවිණි

සිත පියුමක් ව ඒ රුව පාමුල      පිපුණි


මුදු ස්වරයෙන් ගැයුණු සිහ නද   හඳුනා ගත් 

දියණිය හසිනි, ලොව ගුණ රුව   උකහා ගත් 

‘ගුරු දියවරින්’ දිනකදි මට    ලැබුණා නෙත්

ලද නෙත් දුනිමි, දුටුවෙමි  මම තෙමුණා සිත්” 


සර්, මන් අද මේ ලියමන ලියන දවස සැප්තැම්බර් තුන. කිසිම දේශපාලන පක්ෂෙක සාමාජිකයෙක් නොවෙච්ච සර් කිසි දවසක ශිෂ්‍යයන් වන අපි දරන දේශපාලන අදහස්වලට බාදා කළේ නැහැ. මන් විශ්වාස කරනවා සර් ආදරණීය සමාජයක් බිහි කරන්න නම් ආදරණීය මිනිස්සු හැම අතින් ම බලවත් වෙන්න ඕනෙයි කියන කාරණාව. සර් එහෙව් මිනිහෙක් කවදා හරි මේ රටේ නායකයා වෙන්න ඕනෙ කියන එක තමයි මගෙ හීනෙ. එහෙම චරිතයක් ආවොත් අවංකව සාධාරණයෙන් ජීවත් වෙන කොයි කාටත් යහපතක් සර් වෙන්නෙ. මේක වැඩිකල් නොගිහින් මිනිස්සු තේරුම් ගන්නවා සර්.

සර්ට මතක ද අපට එක දවසක් සර්ගෙ දේශනයකදි අපිට අංගුත්තර නිකායෙ එන වඩ්ඪි සූත්‍රය ගැන කතා කළා. සර් එදා කිව්වා බුදුහාමුදුරුවො අපට පෙන්නලා දෙන හැටියට අපි කරුණු දහයකින් වැඩෙන්න ඕනෙ කියලා. ඒ කෙත්වතුවලින්, ධනධාන්‍යයෙන්, දූ පුතුන්ගෙන්, පරිවාර සම්පත්තියෙන්, සිවුපාදි සත්ත්ව සම්පත්තියෙන් කියන භෞතික කාරණා පහෙන් වගේම ශ්‍රද්ධාව, සිලය, ඇසූ දෙයින්, පරිත්‍යාගශීලී ගුණයෙන්, ප්‍රඥාවෙන් කියන ආධ්‍යාත්මික කාරණා පහෙනුත් වැඩෙන්න ඕනෙ කියලයි ඒ සූත්‍රයට අනුව සර් පැහැදිලි කළේ. සර් එදා අපිට කිව්වා ඒ අතීත කාරණා වර්තමානයත් එක්ක ගළපලා තේරුම් ගන්න කියලා. සර් ඒ කියපු දේවල් වැදුණෙ සිංහල සංස්කෘතික සමාජය නියෝජනය කරපු ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. සර්ට මතක ද සිංහල කවි ලියලා සර්ට අපිට පෙන්නන අපිත් එක්ක හිටපු ෆාතිමා. එදා ෆාතිමා තමයි ශිෂ්‍ය අපි ඔක්කොම නියෝජනය කරමින් ඔය සම්බන්ධයෙන් හොඳම විග්‍රහය කළේ. එයා කෙත්වතුවලින් අපි වැඩෙන්න ඕනෙයි කියන කාරණාව සම්බන්ධ කළේ කෘෂිකාර්මික අතින් ලබන දියුණුවට. ධනය සම්බන්ධ කළේ අවංක ව වැඩ කරලා ලබන සතුටට. දූ පුතුන්ගෙන් වැඩෙනවා කියන කාරණේ ෆාතිමා රැඳෙව්වෙ අම්මා තාත්තා හැටියට ලබන දරුවන් ළඟ විතරක් නෙමෙයි. ගුරුවරුන් හැටියට අපි ශිෂ්‍යයන්ව හරියට හදා ගත්තොත් ඒක දරු සම්පතින් වැඩීමක් විදිහටයි එයා අර්ථකථනය කළේ. මේ කෙල්ල ඒවා වචනවලට විතරක් සීමා කළේ නැහැ. උපාධිය ගත්ත ගමන් අධ්‍යාපන පරිපාලන විභාගෙත් කරලා ඒකෙනුත් ඉහළින් ම පාස් වෙලා මේ කෙල්ල දැන් අනුරාධපුරේ ඉස්කෝලෙක විදුහල්පතිනිය හැටියට වැඩ කරනවා. හැම සංස්කෘතියක අයම එයාට ආදරෙයි. මේ ළඟදි එයාව වෙන ඉස්කෝලෙකට අයුක්තිසහගත විදිහට මාරු කරන්න හැදුව ම ඒකට විරුද්ධව ඍජුවම පෙනී හිටියෙ අනුරාධපුරේ භික්ෂූන් වහන්සේලා. මේක නේද සර්, සර්ලත් අපට කියලා දුන්න සහජීවනේ. අපි සර් වෙලාවක අපේ ෆාතිමාව පුදුම කරන්නත් එක්ක නොකියම කෙල්ලගෙ ඉස්කෝලෙට යන්. හැබැයි සර්ට ඒ ළමයින්ට පොඩි වෙලාවක් හරි කතා කරන්න වෙනවා කියන කාරණෙත් අමතක කරන්න එපා. 

සර් මෙහෙ ආපු දවසක අපේ ගුරු මණ්ඩලේට අපේ දරුවන්ට ඒ ගොල්ලන්ගෙ දෙමවුපියන්ට වඩ්ඪි සූත්‍රය මුල් කරගෙන හොඳ සාහිත්‍ය දේශනයක් කරමු. එදාට සර්ගෙන් වැඩිපුරම බලගල්ල ශාලාවෙදි ඉගෙන ගත්ත ශිෂ්‍යයෙකුත් පැත්තක ඉඳගෙන ඒ දේශනය අහාවි. 

සර්ලා මැඩම්ලා මන් ගැන තියන විශ්වාසය බලාපොරොත්තු ගැන මගේ ගෞරවය පළ කරන්න ඉඩ දෙන්න. සර්රුත් දන්න අපේ හිටපු විදුහල්පතිතුමා වගෙම දැන් විදුහල්පතිනිය විදිහට වැඩ කරන සුමනා මැඩනුත් බොහොම හොඳ කෙනෙක්. ජපුරෙ විසිටින් යන යෝජනාවට මට එතුමියගෙන් අවසර ලබා ගන්න පුළුවන්. අපේ මෙහෙ දරුවන්ට අසාධාරණයක් නොවෙන විදිහට වැඩ සැලසුම් කරගන්න මට පුළුවන් වේවි. කොහොමත් සර් ඉස්කෝලෙ ඇරුණට පස්සෙත් අපි මන් විතරක් නෙමෙයි අපි ගුරුවර ගුරුවරියො කීප දෙනෙක් ම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට උගන්නනවා. හැබැයි ටියුෂන් නෙමෙයි. ඒ දරුවන්ගෙ අම්මලා තාත්තලා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ අපි කොච්චර එපා කිව්වත් තමන්ගෙ වත්තෙ එළවළු පලා මළු අපට ගෙනත් දීලා. මේ ළඟදි ගොවිතැන් වැඩ කරන තාත්තෙක්ට මන් කිව්වා මලින්ද මේ එයාගෙ නම. එළවළු විතරක් නං කමක් නෑ ඔයා හාල් පොල් හිටන් උස්සන් එනවනෙ කියලා. එතකොට මිනිහා කියාපි සර් මන් එහෙම නොකෙළොත් ඒ ගොල්ලො මට බනිනවනෙ කියලා. මන් ඇහැව්වා ඒ ගොල්ලො කියලා කිව්වෙ ඔයාගෙ නෝනයි දරුවොයි ද කියලා ඇහැව්වහම මිනිහ මට දුන්නෙ මහ පුදුම උත්තරයක්. සර් මේ මේ ගොල්ලන්ව ඉඳලා හිටලනෙ සර් අපි ගේන්නෙ. අපේ දරුවන්ට උගන්නන සර්ලට මැඩම්ලට අපිව ගෙනිහින් දෙන්නෙ නැති උඹලා මිනිස්සු ද කියලා බණින්නෙ මෙන්න මේ ගොල්ලො කියලා සර් දන්නව ද මෙයා මට පෙන්නුවෙ මොකක් ද කියලා. එයා ගෙනාපු එළවළු මල්ල. මේ මිනිස්සු හරි අහිංසකයි, නිර්ව්‍යාජයි සර්. මට ඒ වෙලාවෙ මතක් උනෙත් සර් අපි දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට උගන්නපු දෙයක්. දැන් ඔන්න ගෝලයා උගන්නපු සර්ට ම ඒක මතක් කරන්නයි යන්නෙ. 

සර් අපිට දවසක් උපනිෂද් අධ්‍යාපන ක්‍රමය ගැන කියලා කිව්වා ධර්මශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් හැටියට ගුරු ශිෂ්‍ය දෙපිරිස එක තැනක නැවතිලා ඉගෙන ගන්න එක තමයි වැදගත් කියලා. යම් මට්ටමකට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙදි වෙන්නෙ ඒකයි කියලා කියපු සර් අවධාරණ කළා ඒ උනාට ඒකෙ හැඩය මීට වඩා වෙනස් වෙන්න ඕනෙයි කියන කරණාව. අද ගුරුවරයට ජීවත් වෙන්න වැටුපක් තිබුණට එදා ගුරුවරයා එහෙම වැටුපක් ලැබුවෙ නැහැ. ගුරුවරයා ජීවත් කෙරෙව්වෙ ශිෂ්‍යයා. මේ වෛදික අධ්‍යාපන ක්‍රමය ගැනවත් උපනිෂද් අධ්‍යාපන ක්‍රමය ගැනවත් දන්නෙ නැති අපේ ශිෂ්‍යයන්ගෙ තාත්තලා අම්මලා අපි නොමිලයේ කරන සේවය අගය කරන්නෙ එහෙමයි. හරි පුදුමයි නේද සර්.

සර්, මේ වාරෙ ඉවර වෙන්න තියෙන්නෙ තව මාස දෙකයි. මේ ටිකේ අපේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන වැඩ වැඩියි. මන් ඒවා පිළිවෙළක් කරලා ලබන අවුරුද්ද මුල ඉඳලා වැඩ කරන්න එන්නම්. මගෙ පශ්චාත් උපාධියෙ වැඩවලත් යෙදෙන්නම්. ඒ වගෙම ඉස්සර වගෙ සර් ඈත දේශනවලට යනකොට මටත් යන්න තිබුණොත් හොඳයි. අද ඉරිදා උනත් සර්ට ලියන මේ ලියමන ඉවර කළාට පස්සෙ මන් ඉස්කෝලෙට යනවා. ඒ මන් ඉරිදා හවස් වරුව ම අපේ උසස්පෙළ පන්ති දෙක එකට දාලා උගන්නන නිසයි. අනික් උසස් පෙළ පන්තිය බාර ව ඉන්න සුදර්ශි ටීචරුත් මට උපරිම සහය දෙනවා. එයා කලුතර. තාත්තා අසනීප තත්වෙන් ඉන්න නිසා හැම සිකුරාදා හවසකම ගෙදර යන එයා ඒ වැඩ පිළිවෙළක් කරලා සඳුදා ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවට මෙහෙ. යම් විදිහකින් මේ මට කොළඹ එන්න වෙලා සති අන්ත පන්තිය කර ගන්න බැරි තත්ත්වයක් ඇති උනොත් සුදර්ශි ගෙදර වැඩවලට පිළිවෙළක් යොදලා මේ දරුවන්ට උගන්නනවා. ඒ වගෙම ගම්පහින් ඇවිල්ලා ඉන්න රේණු අක්කා. කුරුණෑගලින් ආපු නදී අක්කා. කොළඹින් ආපු මිහිදිනී මේ ඔක්කොම ඉරිදට තම තමන්ගෙ විෂයන් උගන්නනවා. අර කලින් කියපු දෙනා තමයි අක්කලා. ඒක නිසයි ඒ දෙන්නට අක්කලා කියලා මිහිදිනීට විශේෂණයක් නොදැම්මෙ. ඒ එයා මට බාල නිසයි. මේ ගොල්ලන් වැඩ කරන හැටි දැක්කහම මට මතක් වෙන්නෙ සර්රුත් අගය කරපු විසාකා දිසානායක ගුරු ජීවිතය ගැන ලියපු කවි පන්තිය. සර් මගෙ නවකතාවක් හැටියට සර්ට දැනෙන මේ ලියවිල්ලට දැන් ඒ කවි පන්තියත් ඇතුළු කරන්නයි මේ ගෝලයා යන්නෙ. සර්ට ඔය කවි ටික කොච්චර දැනුණ ද කියනවනං සර් ඒ මුළු කවිපන්තිය ම සර්ගෙ පොතකටත් දාලා තිබ්බනෙ. උපුටා ගැනීම පාඩම් පොත 39 වෙනි පිටුව. සර්ට හරි හිනහයි නේද? සර්ගෙම පොතකින් උපුටලා අරන් තමයි මන් දැන් ඒක ලියන්නෙ. සර් උපුටා ගන්නව කිව්වට මට ඒ කවි පන්තිය ම කටපාඩම්. සර්ට ගෝලයා ගැන සතුටු වෙන්න පුළුවන් නේද? දැන් මට සර් හිනාවෙන විදිහ උපහාසෙට නෙමෙයි ආදරේට හිනාවෙන විදිහත් මට මැවිලා පේනවා.


“මස් ලේ සිඳී යන තුරු වන පොත්       කළෙමි

ලස් නොව නැණ නුවණ ලැබ කෙළ පැමිණියෙමි

තිස් පැය දුර ගෙවා ගෙන        පියමං කෙළෙමි

දුස්කර සේවයට අද දින      පැමිණියෙමි


කරවුණු පොළොව මත තෙතමනයෙන්  තොර ව

වියළුණු ඉපල් ඇත දුහුවිල්ලෙන්           තර ව

මැලවුණු මුහුණු පොඩි ලෙන්ගතුකම       බර ව

හිනැහෙනු පෙනේ මා එනු දැක        විලිබර ව


හිරු මැදියමේ ගත ගිනි ගෙන       දැවෙන සඳ

දරු පැටවුන් පෙනේ දූවිලි            හුළඟ වැද

තුරු යට බොරළු පොළොවේ      රළු පහස විඳ

ශුරු බුහුටි ව ගයයි තනුවක            මිහිරි පද


මුදු සෙනෙහසට ලය තෙමමින්       එරෙයි කිරී

සුදු පුතු සිහි ව සිඳුණා ගත            රැඳුණු දිරී

කඳුලැලි ගලයි තවමත් නෙතු           අතර පිරී

රිදුණත් සිතට දැන් ආපසු          හැරෙනු බැරී


හදවත ඉකි ගසයි ළැම පිරි කිරි බරට

සඳ වන් දරු පැටවු ළත වෙති          සිප් කිරට

රිද වා උන්ගෙ සිත යා නොහැකි ය         දුරට

පොද වැස්සක් ව වැගිරෙමි මේ      ගම් දොරට”


මමත් ආපහු හැරෙන්නෙ නං නැහැ. ඕනෑම සමාජයක ඉන්න කොට හිත සැනසෙන හේතු වගෙම හිත රිදවන දේවලුත් අපට වෙනවා තමයි. ඒ උනාට මට මේක දාලා එන්න බැහැ. මට දවසින් දවස නිර්මාණය වෙන්නෙත් සර් දාලා එන්න බැරි හේතු තමයි. ජීවිතේ හරි පුදුමයි නේද සර්. කොහොම උනත් සර්ගෙ මේ ගෝලයා සති අන්තෙ විද්‍යෝදෙට එන්නෙ මේ ගම් දොරට පොද වැස්සක් ව ඇද වැටෙන ගමන් ම තමයි. එහෙම කරන්න නේද සර්ලත් අපිට ඉගැන්නුවෙ. දැන් සර් මට මේ පණිවිඩේ ඉක්මණින් ම දෙන්න ඕනෙ කීප දෙනෙක් ම ඉන්නවා. මන් මේ ලියුම ලියලා ඉවර වෙලා යන්නෙ ඒ ගොල්ලන් ව හම්බ වෙන්න. ඒ ගොල්ලො මේ පණිවිඩේ අහලා සතුටු වේවි. ඒ වගෙම ඒ ගොල්ලන්ට දුකකුත් දැනේවි. ඒ සති අන්තෙ පවා ඒ ගොල්ලොත් එක්ක ඉන්න හිතවතෙක්ගෙ ඇසුර තරමකට හරි අහිමි වෙන නිසා. බලන්ඩකො සර් එකම කාරණේ අපේ සතුටට වගෙම දුකටත් හේතු වෙන හැටි. හරි පුදුම යි නේද?

සර්ලගේ අපේ රෝලන්ඩ් සර් නැති උනා කියන කාරණෙත් හිතට ලොකු දුකක් ගෙනාවා. සර්ට ළඟකදි අපේ අනුලා ටීචර්ව හම්බ උනේ නැද්ද එතුමිය සනීපෙන් ද? මේ සැරේ කොළඹ ආපුවහම අපි එතුමිය ව බලන්න යමු. අදිකාරම්තුමා ජාතිවාදෙ මුළාව බොහොම සරල වචනවලින් සමාජයට කියලා දෙන කොට එතුමිය ඒ පණිවිඩේ ම දෙන්න පාවිච්චි කළේ කවිය.

“ලොව වෙසෙනා ගැහැණුන් විඳි අපමණ    දුක් පිපිරී ගෙන

බිහි ව වැඩෙන කිරි කැටියොයි සිහල දෙමළ සියලු ම  දෙන”

මේක බොහෝ දුරට තේරුම් ගත්ත සමාජයක් තමයි දැන් බිහි වේගන එන්නෙ. ඉස්සරහට පවතින්න පුළුවන් අවංක දේශපාලනඥයන්ට විතරයි. ඉස්සරහට මිනිස්සු බෙදලා වෙන් කරලා ඔවුනොවුන් අතර ගැටුම් ඇති කරලා වාසි ගන්න බලන් ඉන්න අයගේ යුගය අවසන් වේවි. ඒත් මම දැන් අතීතයට අයිති කරන්න පුළුවන් ඒ හැම දේශපාලනඥයෙක් ම නරකයි කියන්න තරම් සාහසික වෙන්නෙත් නැහැ. ඒ වගෙම හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් උනත් නරක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්න ඕනෙ අපිව නරක් කරවන හේතුවලින් අයින් වෙන එක. 

මට මේ වෙලාවෙත් මතක් වෙන්නෙ අපේ සමන් අය්ය ම තමයි සර්. මතක ද සර්ගෙ අය්යා කාලෙකට ඉස්සෙල්ලා කිව්වා ලෝකයේ ජාතීන් අතර ඔවුනොවුන්ට භාෂා සාහිත්‍යවලින්, ආගමික අදහස්වලින්, හැඩරුවෙන් එකිනෙකාට ඉතාම සමීප සංස්කෘතීන් දෙකක් එකම මිනීවලක දමා යට කිරීම මහා ඛේදවාචකයක් කියලා. මෙතෙන්දි කරන්නෙ ජාතිය ආයුධය කර ගැනීම යි කියපු සමන් අය්යා අපිට මතක් කරලා දුන්නා යුද්දෙදි වෙඩි කන සිංහල දරුවන් අම්මා යයි හඬමින් මැරෙන කොට දෙමළ දරුවොනුත් අම්මා කියන වචනෙම කියමින් මියයාවි කියන කාරණේ. එදා ලියපු ඒ ලේඛනය අවසන් කරලා තිබුණෙ මේ විදිහට නේද සර්.

“දිවයින තුළ ද ලෝකය පුරා ද ආන්දෝලනයකට ලක් වෙමින් සිදුවීම් සිදුවෙමින් සත්‍යය ලොවට හෙළිදරව් වනු ඇත.”

සර් වෙනදා අපිට ලියන කියන දේවල් දැන් අපි සර්ට ලියනවා නේද? සර් මේ ගැන සතුටු වෙන බව අපි දන්නවා. සර්ලා අපිට උගන්නපු දේවල් දැන් තමන්ගෙ දෛනික ක්‍රියාකාරකම් බවට පත් කරගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා සර්. සර් දැන් මම ලියුම ඉවර කරන්නං ඉස්සෙල්ලා කියපු අය හම්බ වෙන්ඩ යන්න තියෙන නිසා. දැන් මට අවසර දෙන්න සර්, ප්‍රණීත් සර්ගෙ තාත්තා විමල් අභයසුන්දර මහත්තයගෙ කාව්‍යෝක්තියකින් මගෙ මේ ලියමන අවසාන කරන්න.

“ඔබ දුන් උතුම් හර දම් සළු පිළි පෙර ව 

පසු වෙමි අදත් පිළිවෙත් මග තිර සර ව”

සදා අදරැති ශිෂ්‍ය

ගඟුල් සමරනායක

මෙම ලිපිය ලියා අවසන් කළ ගඟුල් අනතුරුව නාගොල්ලාගමට ගොස් එය තැපැල් කොට තදනන්තර ව යාමට තීරණය කෙළේ රේණු සහ මිහිදිනී නැවතී සිටින නිකේතනයට යාමට ය. ඒ නිවහනෙහි දරු තිදෙනා ඇතුළු දම්පතීනටත් සිය සුහදිනියනටත් ගෙනයාම සඳහා පලතුරු මිල දී ගත් ඔහු එයිනික්බිති අසල ත්‍රීරෝද රථ නැවතුම්පළට ගියේ ය. මේ වන විට මේ සියලු ම රියැදුරන්ගේ මිත්‍ර සම්පත්තිය දිනා ගැන්මට ඔහු සමත් ව තිබිණ. ගඟුල් එතැනට ළඟා වත් ම ඔහු සමීපයට ආවේ සිය සිසු දරුවකුගේ ද පියකු වන අමිල යි.

“සර් කොහාට ද යන්න ඕනෙ. නගින්න මන් ඕන තැනට ගිහින් දාන්නම්.”

තමාට හුරුපුරුදු සිනාවෙන් ඊට ප්‍රත්‍යාචාර දැක්වූ ගඟුල් එම රියට ගොඩ වූයේ අවට සිටි රියැදුරු සහෘදයනට ද සිනාවෙකින් සංග්‍රහ කිරීමෙන් පසු ය.

“අමිල කොහොම ද අපේ හාදයා ක්‍රීඩාවට වගෙම පොතපතේ වැඩටත් උනන්දුයි නේද?”

“පොතපතට කොහොම වෙතත් ක්‍රීඩාවට නම් හරිම උනන්දුයි සර්. මිනිහ කියනවනේ සර් කවදා හරි එයා අතුල සර් වගේ ක්‍රීඩා සර් කෙනෙක් වෙනවා කියලා.”

“අපේ අතුල සර් වගේ ක්‍රීඩා ගුරුවරයෙක් වෙන්න හිතපු එක හොඳ දෙයක්. ඒත් එතෙන්ට එන්න තව කඩයිම් කීපයක් ම පනින්න තියෙනවනෙ අමිල. ඒ සහතික නැතුව කොල්ලට ඒ වගෙ තනතුරකට ඉල්ලුම් කරන්නවත් බැහැනෙ. ඒක නිසා පොතපතේ වැඩවලටත් උනන්දු කරවන්න, ක්‍රීඩාවට තියෙන ඇල්මටත් බාදාවක් නොවෙන විදිහට. මන් අතුල සර් වගෙ වෙන්න නං මොනාද දැන් කරන්න ඕනෙ කියන එක එයාට පැහැදිලි කරලා දෙන්නම්.“

”සර්ට කියන්න මමයි අපේ පුතාලගෙ අම්මයි එයාට කොච්චරක් නං කියනව ද ඉගෙන ගන්න වැඩේටත් උනන්දු වෙන්න කියලා. සර් දන්නව ද මිනිහ මේ ළඟදි ඉඳලා අපට ඒකට ලොකු උනන්දුවක් තියෙන බව පෙන්නුවා. හවසට හවසට පොතපතත් කියවන්න පටන් ගත්තා. අපි දෙන්නත් සතුටු උනා ඒ ගැන. මොකද සර් තව අවුරුද්දක් වත් නැහැනෙ උසස් පෙළ විභාගෙට. සර් ඉරිදට ඉස්කෝලෙ කරන සිංහල පන්තියටත් එනව කියලයි ගෙදරින් එන්නෙ. මිනිහා ඇත්තට ම එනව ද සර්? හැබැයි ඒ දවසට ගෙදර එන්නෙනං ඉරත් තමන්ගෙ සේවය අවසාන කළාට පස්සෙ.”

“ඇයි අමිල එහෙම සැකේකින් වගෙ ඇහැව්වෙ. පුතා එනවා. මන් උගන්නන්නෙ උදේ වරුව විතරයි. ඒ උනාට හවස තුනට විතර අතුල සර් පන්ති භේදෙකින් තොර ව අපේ ඉස්කෝලෙ ක්‍රීඩා කරන ළමයින්ට අවශ්‍ය පුහුණුවීම් කරනවා. මන් දන්න තරමින් පුතා ඒවටත් උනන්දුවෙන් සහභාගි වෙනවා. මට දවසක් අතුල සර් කිව්වා එයා කවදා හරි දවසක අපේ රටේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයෙක් වෙනවා කියලා.“

“සර් එහෙම කිව්වහම මට එකක් මතක් උනා. මිනිහ ළඟදි කරපු වැඩක්. අම්මයි මායි දෙන්නම කියන හින්දා මිනිහ හැමදාම හවසට පොත්පත් බලන්න පටන් ගත්තා. මටනං පොඩි සැකේකුත් තිබුණා පාඩම් පොත් බලන විදිහට නවකතා පොත්වත් බලනව ද කියලා. බැලුවහම සර් මිනිහ බලලා තියෙන්නෙ නවකතා පොතුත් නෙමෙයි.”

“එහෙනං මොනව ද අපේ මිනිහා බොහොම උනන්දුවෙන් බලලා තියෙන්නෙ.”

“සර්ට කියන්න සර් අපේ ස්වර්ණට තමයි ඒක අහු උනේ. මෙයා බලපු පොතක් එයාගෙ මේසෙ උඩ තිබිලා තියෙනවා. මේ පොතට ලස්සනට පිට කවරෙකුත් දාලා. ඒ කවරෙ පොතේ නම නූතන සිංහල කවියේ විකාසය කියලත් ලියලා. පොත් ප්‍රදර්ශනවලින් අරන් එන පොත්වලට පිටකවර දාලා පොතේ නම ඒකෙ ලියන සිරිතක් මෙයාට තිබුණා. අපේ ස්වර්ණත් කවියට ආස කෙනෙක් නිසා නිකමට ඒ පොත පෙරළලා. ඒ උනාට උදාහරණෙකටවත් ගත්ත එක කවියක් වත් තිබිලා නැහැ. ස්වර්ණා ඒ පොත අරන් මගෙ ළඟට ඇවිල්ලා අහනවා අමිල පොතේ නම එකක් වෙලා ඒ නමට සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක් ඒක ඇතුළෙ තියෙන්න පුළුවන් ද කියලා. මන් ඉතින් ප්‍රෙස් එකකත් කාලයක් වැඩ කරපු මිනිහනෙ සර්. මන් කිව්වා එකම මුද්‍රණාලෙක එකම කාලෙක පොත් දෙකක් මුද්‍රණය කරන කොට වැරදීමකින් එක පොතක කවරයක් අනික් පොතකට දෙකකට දැමෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම කලාතුරකින් සිද්ද වෙන්න ඉඩ තියෙන දෙයක් කියලත් ස්වර්ණට කිව්වා. සර් දන්නව ද අපේ ස්වර්ණා ඊළඟට මොකක් ද කිව්වෙ කියලා.”

“මටනං හිතා ගන්න බැහැ අමිල. මොකක් ද ස්වර්ණා කිව්වෙ.”

“මෙයා අහපි මාත් නොදැනුවත්ව මේ ගෙදර ප්‍රෙස් එකක් දාලා තියෙනව ද කියලා තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා කියලා. එහෙනං ඔයාම බලන්ඩකො මේ ගෙදරත් එහෙම වැඩක් වෙලා තියෙනවනෙ කියලා අර පොත මගෙ අතට දුන්නා. ඉතින් මන් අපේ පුතාගෙ නූතන සිංහල කවියේ විකාසය අරන් බැලුවයි කියන්ඩකො. අපිත් ආසයිනෙ සර් කවියට. අපි දෙන්නත් නාගොල්ලගම ඉස්කෝලෙනෙ ඉගෙන ගත්තෙ උසස්පෙළට එනකන්. අපි දෙන්නට ම එතනින් එහාට යන්න බැරි උනානෙ සර්. ඒකනෙ සර් අපි දෙන්නම මේ දත කන්නෙ අපිට බැරි වෙච්ච ලෝකෙ කොල්ලට උරුම කරලා දෙන්න.”

“ඒක හැම අම්ම තාත්තා දෙන්න කෙනෙක්ගෙ හිතේ තියෙන්න ඕන හොඳ ප්‍රාර්ථනාවක්. හැබැයි අපි වැඩ කරන්න ඕනෙ අපිට බැරි වෙච්ච දේට කොහොම හරි දරුවා යවන්න ඕනෙ කියලා විතරක් නෙමෙයි අපේ දරුවට වැඩියෙන් ම ගැළපෙන්නෙ මොකක් ද කියන කාරණෙත් හිතලයි. ඇත්තට ම අතුල මොකක් ද අර පොත?”

“නම නූතන සිංහල කවියේ විකාසය උනාට ඒක එක ක්‍රීඩාවක් ගැන ලියැවුණු පොතක්. පොතේ ඇත්ත නම සර් වොලිබෝල් ක්‍රීඩාවේ විකාසය.”

“අමිල මට දෙයක් පැහැදිලි යි. දරුවගෙ ඇඟේ තියෙන්නෙ ක්‍රීඩාව. අපි ඒක තේරුම් අරගෙන ඒකට අපි බාදා නෙමෙයි කරන්නෙ කියන හැඟීම පුතාගෙ හිතට එන විදිහට වැඩ කරමු. මන් අතුල සර් එක්කම පුතත් එක්ක කතා කරන්නං. හැබැයි මොනවා උනත් අපේ කොල්ලා හරි නිර්මාණශීලි කෙනෙක්. එයා ඒ නිර්මාණශීලී බව කවද හරි ක්‍රීඩාවටත් ගෙනේවි.”

“ඔන්න සර් අපි කතාවෙන් කතාවෙන් පංචකන්‍යාවන්ගෙ තුරු උයනට ආවා.”

“මොකක් පංචකන්‍යා තුරු උයන. අපේ මිස්ලා නැවතිලා ඉන්න තැනට ගමේ අය එහෙම කියනව ද?”

“අනේ සර් ඒක අපි දාපු නමක් නෙමෙයි අර මිස්ලගෙ ගෝලයො ම ආදරෙයි ගෞරවෙයි හින්දම දාපු නමක්.”

“ඔයා ඔහොම කිව්වහම මට මතක් උනේ අදටත් ඉන්දියාවේ කියවෙන සංස්කෘත කවියක්.”

“ඒ මොකක් ද සර් මේ අපිට දැන ගන්න හොඳ නැති එකක් ද?”

අමිල එය පැවසූ ආකාරයට ගඟුල්ට සිනහ ගියේ ය. ඒ සිනහ වතින් බැහැර නොවෙමින් ම ඔහු මෙසේ අමිලට පිළිතුරු දුන්නේ ය.

“අපොයි නෑ මන් කියන්නංකො ඒක අර්ථෙත් එක්කම. එහෙනං ඔයා අහගෙන පුළුවන්නං කටපාඩම් කරගෙන වෙනදටත් වැඩිය තමන්ගෙ බිරිඳට ආදරෙන් ගෞරවෙන් සලකන්න පුරුදු වෙන්න.

අහල්‍යා ද්‍රෞපදී කුන්තී - තාරා මන්දෝදරී තථා

පංචකන්‍යා ස්මරේන්නිත්‍යං - මහාපාතකනාශනම්

මේකෙන් කියන්නෙ අහල්‍යා, ඒ කියන්නෙ ගෞතම ඍෂිවරයගෙ බිරිඳ තවත් විදිහකට කියනවනං ඍෂිපත්නිය, ඒ වගෙම පංච පාණ්ඩවයන්ගෙ බිරිඳ දෞපදී, පණ්ඩුපත්නී කුන්තී තවත් විදිහකට කිව්වොත් පස්සෙ කාලෙක පංචපාණ්ඩවයන්ගෙ අම්මා වෙච්ච කුන්තී, අවලෝකිතේශ්වර පත්නී තාරා, රාවණපත්නී මන්දෝදරී. මේ කියන ස්ත්‍රීරත්න පහ යම් කෙනෙක් නිතර සිහි කරනව ද ඒ තැනැත්තගෙ මහපව් නැසෙනවා කියලයි මේකෙ අර්ථෙ තියෙන්නෙ.”

“ඔන්න සර් කිව්ව පංචකන්‍යාවන්ගෙ තැනට අපි ආවා. ඔන්න දැනුත් පස්දෙනාම එකට වැඩ. ගැහැණු -පිරිමි - මල් - පලතුරු කියන්නෙ මෙන්න මේවට තමයි.”

“ඔයා ඔහොම කිව්වට කෝ මෙතන පිරිමි නැහැනෙ.”

“මොකෝ නැත්තෙ බැලු බැල්මට පේන්න නැහැ තමයි පිරිමි. හැබැයි ඔය ගෙදර ඉන්න අම්මා වගෙම ඔය ගෙදර තාත්තයි පුතයි දෙන්නගෙ සම්පූර්ණ සහයෝගෙ ලැබෙනවා මේ පස්දෙනාට.”

“ආ එන්ඩ ගඟුල් සර්. අපේ අමිලත් එක්කනෙ ඔයා ඇවිත් ඉන්නෙ. අපි පහ එකම අරමුණකට එකට වැඩ.”

“ඔය පස්දෙනා එකට ඉන්න එකනං කාට උනත් පේනවනෙ. මොකක් ද ඒ එක අරමුණ.”

“අරමුණ තමයි මල් සම්පත සහ පල සම්පත ලබාගැනීම.”

එසේ පිළිතුරු දුන්නේ රේණු ය.

“ඔය විදිහට එකට වැඩ කිරීම ගැන හරි ලස්සන කතාවක් කියනවා අපේ අදිකාරම්තුමා. එතුමා කියන්නෙ මනුෂ්‍යයා සමාජ සත්ත්වයෙක් නිසා අපිට තනියම කරගන්ඩ බැරි වැඩ කරගන්න තවත් කෙනෙක්ගෙ සහය අවශ්‍යයි කියන එක. තනිව අරන් යන්න බැරි බරක් අරගෙන යන්න අපිට තව කෙනෙක්ගෙ උදව් අවශ්‍යයි. එතකොට ඒ වැඩේ පහසු වෙනවා. දැන් බලන්න මේ වත්තෙ තියෙන මල්, පලතුරු, එළවළු මෙතෙන්ට නිකන්ම ආවා නෙමෙයිනෙ. ඔයගොල්ලො ඔක්කොමගෙ ඩාදිය මාන්සිය තමයි මෙතන තියෙන්නෙ.”

“හැබැයි සර් ඊටත් වඩා ලස්සන දෙයක් මෙතන තියෙනවා කියලයි මටනං හිතෙන්නෙ.”

“ඒ මොකක් ද අමිල.”

“මේ මිස්ලගෙ තියෙන සමගිය සර්, සමගිය.”

“ඔයා කියන එක හරි අමිල. මේ ගැන බොහොම ගැඹුරින් කතා කරනවා අදිකාරම්තුමා. වෙලාවක මන් අමිලටත් ගෙනත් දෙන්නං ඒ ගැන සඳහන් ලිපිය. ලිපියෙ නම එක්ව වැඩ කිරීම. එතුමා කියන්නෙ සංවිධානයක් හරි කණ්ඩායමක් එකට වැඩ කරන කොට ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒත් පිරිස අතර සමගිය තියෙනවනං ඒක එහෙම වෙන්නෙ නැහැ කියලයි. අදිකාරම්තුමා අපිට පෙන්නලා දෙන්නෙ සමගියේ උල්පත යි.” 

“මොකක් ද මල්ලි උඹ කියන සමගියේ උල්පත.”

“රේණු අක්කෙ මන් නෙමෙයි අදිකාරම්තුමා කියන සමගියේ උල්පත තමයි ආදරය. අපි එකිනෙකා අතර තියෙන අන්‍යොන්‍ය ආදරය. ඒක නැත්තං ඉතින් ගැටුම් තමයි. එතුමා කියන්නෙ ආදරේ තියෙනවනං කණ්ඩායමක මොන අඩුපාඩුකම් තිබුණත් කාගෙන් හරි වැරැද්දක් උනත් ගැටුම්වලට මග පෑදෙන්නෙ නැහැ කියලයි.”

“ඉතින් සර් අපි කාළඟ උනත් මොනයම් තරමකට හරි ආදරේ තියෙනවනෙ. දැන් අපේ ත්‍රීවීලර් සංගමේ ඉන්න කට්ටිය ගත්තත් ආදරේ අඳුනන්නෙ නැති අය කියලා කියන්න බැහැනෙ.”

“අපොයි ඔව්. අපි ඒක නැහැ කියන්නෙ නැහැනෙ අමිල. අපි කාගෙත් අඩුපාඩු තියෙනවා. ඒවා නැති කරගන්න කොහොම ද කියන කාරණේ ගැනයි අපි හිතන්න ඕනෙ. බලන්න අදිකාරම්තුමාට මේ ගැන තියෙන උත්තරේ.

“දැනට අපට කළ හැකි එකක් තිබේ. ඒ ඉතාම කුඩා සංවිධානය වන තම පවුලේ හෝ ඊට වඩා විශාල සංවිධානයක දී හෝ යමෙකු සමග ගැටුමක් ඇති වේ ගෙන එන විට මම මේ තැනැත්තාට ආදරේ ද නැද්දැයි තමා තමාගෙන් ම විමසා බැලීම ය.”  

“අපේ ළමයි විතරක් නෙමෙයි සර්ලා එක්ක හිටියහම අපිත් ඉගෙන ගන්නවා. මන් සර් එහෙනං ගිහින් එන්නං. යන්න හදන වෙලාවට මට කෝල් එකක් දෙන්න සර්.”

“අමිල අය්යේ, ඉන්න අපි අදට වැඩ නතර කරන්නයි යන්නෙ. අය්යා තේකක් බීලම යන්න ඉන්න.”

ඒ ඇරයුම ගෙදර දෙටු දියණිය මාධවීගෙනි.

තේ පානයෙන් පසු අමිල නික්ම ගියේ ය. ගඟුල්ට සහ මිහිදිනියට නිදහසේ කතා කොට ගැන්මට අවකාශ සැලසිය යුතු යයි සිතුූ රේණු නිවැසි දියණයන් තිදෙනා සමග යළි ගෙවුයනට ගියා ය. විසල් අඹ තුර යට ගඟුල් හිඳ ගත්තේ ය. එහි ම පසෙකින් හිඳගත් මිහිදිනී විනාඩි කිහිපයක් යන තෙක් කිසිවක් නොකියා සිය හෘදයනිවාසී සහෘදයා දෙස බලා සිටියා ය. ගඟුල්ට සිහිපත් වූයේ අභය හේවාවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද A Digit of the Moon නම් කෘතියේ සිංහල පරිවර්තනය වන සඳරේඛාවේ එන ඉසොඳුරු සංකථනයකි.

“මගේ දෑස් දෙස බලන්න, නැඹුරු වී. එවිට ඔබට පෙනෙනු ඇත මගේ හදවතේ පිළිබිඹුව මගේ නෙත් තුළින්.

පෙම්වතා ඇගේ නෙත් තුළට එබී බැලූ විට ජලාසයකින් සූර්යයා පිළිබිඹු වන්නාක් මෙන් තම පිළිබිඹුව ඇගේ දෙනෙත් තුළින් දුටුවා.

“ඔබ මගේ ආත්මය සොරකම් කර ඇත. ඒ නිසා ඔබගේ ස්වරූපයෙන් එය මට දෙන්න.”

පැවති නිහැඬියාව බිඳිමින් කතා කෙළේ ගඟුල් ය.

“ඔයාට මන් දවස් දෙකකට කලින් දුන්න පොත බැලුව ද මිහිදිනී.”

“කුලරත්න බුලත්ගම කවියගේ නොව පැරණිය කවි සරණිය පොත ද? බැලුවා බැලුවා ඒකෙ සමහර කවි දැනටමත් මගෙ හිතෙත් ලියවිලා තියෙන්නෙ. හැබැයි ඔයා ආවෙ නං ඒ කවි පොත බැලුව ද ඒකෙ කවි මට පාඩම් ද කියන එක දැන ගන්නනං වෙන්න බැහැ. කොහොම උනත් ඒ පාඩම් කවි මොනව ද කියලා මගෙන් අහන්න තහනම්. දැනුත් ඒකෙ කවියක් මගෙ හිතේ ලියවෙමින් තමයි තියෙන්නෙ. සමහර දේවල් කියනවට වඩා හිතේ තියෙන එක ලස්සනයි කියලයි මට හිතෙන්නෙ.”

මේ මොහොතේ ඇගේ සිතේ ලියැවෙමින් තිබෙන ගඟුල් අබිමුව අප්‍රකාශිත ව ගිය මිහිදිනියගේ හෘදය ප්‍රකාශනය මෙය නොවේ ද?

“රැයේ අඳුරේ මෙන් ම නොනැවත උදේ දහවල හවස වරුවේ

මගේ නෙත්වල වැටෙන පිළිබිඹු දහස් ගණන ම යළිදු  දුරුවේ

එහෙත් ඔබ මේ මොකද නැවතී මගේ සිතිවිලිවලට  කෙරුවේ

බවේ කොයි කාලයක ඉඳල ද මෙයට ඔබ මුල් පිටුව   පිරුවේ”

“මිහිදිනි මට මීට පස්සෙ මේ විදිහට ඔයගොල්ල හම්බ වෙන්න බැරිවේවි. ඒ උනාට මන් අපේ සුදර්ශිත් එක්ක කතා කරලා අපේ දරුවන්ගෙ පන්තියට පිළිවෙළක් යොදනවා. ඉංග්‍රීසි උගන්නනවට අමතර ව අපිට ඒකට ඔයාගෙ උදව්වත් ඕන වේවි.”

“ඇයි ඔයගොල්ලන්ගෙ අම්ම හරි තාත්තා හරි අසනීපවත් වෙලා ද හැම සති අන්තෙම ගෙදර යන්න වෙන්නෙ.”

මිහිදිනී විමසුවේ මඳක් කලබල සහගත ස්වරයකිනි.

“නෑ ළමයො එහෙම දෙයක් නෙමේ. ඔයා බලන්නකො අපේ සර් මට එවලා තියෙන මේ ලියමන. එතකොට කාරණේ තේරේවි.”

ගඟුල් දුන් ලියමන මිහිදිනී එක් වරක් නොව දෙවරක් ම ඉතා සැලකිල්ලෙන් කියවූවා ය. අනතුරුව ඇය තිරසර හඬින් මෙසේ පැවසුවා ය.

“ඔයා මේකට යන්න ඕනෙ. මේක මන් සලකන්නෙ අපේ ඉස්කෝලෙයි විශ්වවිද්‍යාලයයි එකට සම්බන්ධ කරන වැඩක් විදිහට. ඒ විතරක් නෙමෙයි සහන් සර් කියලා තියෙන විදිහට ඔයාගෙ පශ්චාත් උපාධියෙ වැඩත් ඒ ගමන් කරගන්න පුළුවන්. පුරුදු හමුවීම් සීමා වෙන කොට අමාරුයි තමයි. අනාගතේ එකට ඉන්න හිතාගෙන දැනට අපි තාවකාලික වෙන්වීම්වලට ඉඩ දෙමු. එහෙමනං ඔයා උපාධිය ගන්නකන් ගෙදර හිටපු ඔයා මෙහෙ ඇවිත් නැවතුණාම ඔයාගෙ අම්මට තාත්තට කොච්චර අමාරු වෙන්න ඇද්ද? මේ වැඩේ යන විදිහට දැන් ඒ ගොල්ලන්ටත්  දවස් තුනක් ඔයාව ලැබෙනවා. නාගොල්ලාගමට දවස් හතරයි.”

“ඔයා පටු විදිහට හිතන් නැතුව ඔහොම හිතන එක ගැන මට සතුටුයි මිහිදිනී. අපේ රේණු අක්කටත් විස්තරේ කියන්න ඔයා. මන් දන්නවා එයත් මට මුළු හදවතින්ම සුබ පතන බව. ඒ තමයි මිහිදිනී මගෙ වැඩිමහල් සහෝදරී.

“ඔයා මේ ගමන සැහැල්ලුවෙන් යන්න. ආදරය කියන්නෙ හිර කරන දෙයක් නෙමෙයි කෙනෙක් ව නිදහස් කරන දෙයක් කියලා මට කියලා දුන්නෙත් ඔයාමනෙ. මේ දරුවන්ට වගෙම ඒ දරුවන්ටත් ඔයා ගඟුලක් ම වෙන්න. මට ඉස්කෝලෙදි මේ විදිහට සමු ගන්න බැරි නිසා දැන් මට ඒකට ඉඩ දෙන්න.”

එසේ පැවසූ මිහිදිනී කෙළේ ගඟුල්ගේ දකුණත ගෙන සිය ලය මත තබාගැනීම ය. ගඟුල්ට ඇසුණේ සුපවිත්‍ර වූ ආදරණීය කාන්තා හෘදයක අනවරත රිද්මය යි. කොළඹ කවි යුගය සුන්දර කළ එච්. ඇම්. කුඩලිගම කවියාගේ ඉසොඳුරු කවි සිත්තමක් සිය හදබිතුවෙහි ඇඳගනිමිනි, ඔහු ඇගෙන් සමුගෙන එතැනින් නික්ම ආවේ.


“සඳරැස් සමග සඟවා          මඳ සිනාවේ

දිවගට පරම සංගීතය             ගෙනාවේ     

ඇය නොදැනුවත් ව යි එය නොදැනුනාවේ

මට එහි සදා ජීවය             වුවමනා වේ”


  


111. වචන හබලක වාරු දිගුවයි..!

හිත් වාන් දොර උඩින් නුහුරු දියවර ගලන

ප්‍රේමයේ මල්හාර සමයයි..

නැවුම් තරු කතාවක ආලෝක වර්ෂයෙන්

ඇස් නිලංකාර වන කොටසයි..


සයුරු රැල්ලක එතී - සිප්පි පියනක රැඳී

පෙණ නගන වසත් සත් ස්වරයයි..

කුඩා මුවවිට මතින් පෙරි පෙරී එන රොනින්

මකරන්ද ගලන මධු නිවනයි..


සංවාද තොටුපොළේ - පාරුවක නිසසලේ

වචන හබලක වාරු දිගුවයි..

හරිත වන පෙත් දිගේ - දුදුළු බෑවුම් මගේ

අතින් අත පටලැවෙන ගමනයි..


නොතිත් හිත් යුග බැඳී - ලවන් ලවනත රැඳී

දෙහිත් පින්තාරු වන දවසයි..

භවයකින් කෙළවරක් දකින්නට බැරි ඉමක

ඔබ-මගේ උත්තරය සසරයි..


Saturday, September 28, 2024

110. ඈත කඳු පෙළින් එහා, තිත්ත මල් සහ ටැබ්ලොයිඩ් නවකතාදරය!




මේ ඊයෙ පෙරේදා දොස්තර සංජීවනී නෝනා මුණගැහෙන්න තාත්තා එක්කලා ගිය වෙලාවෙ කලකට පස්සෙ හමු වෙලා ආගිය කතා කරමින් ඉද්දි එතුමිය කීවා, ප්‍රියංකා අමරතුංග දුරින් නෑදෑයෙක් වෙනවාය කියලා.. එතනින් ප්‍රියංකා අමරතුංගගෙ පොත් ගැන පටන්ගත්ත සංවාදෙ ඇදිලා ඇදිලා ගිහින්, ඩොක්ටර්ගෙ ෆී එක ගන්නෙ නැතුව රීෆන්ඩ් කළා කියලා ඩොක්ට එක්ක පොඩි සණ්ඩුවකුත් අල්ලලා පරාද වෙලා, කවුන්ටර් එකෙනුත් හැමදාම අඳුනන නාඳුනන ගොඩක් දෙනෙක්ට ඩොක්ටගෙ රීෆන්ඩ් වදින හින්දා ඊට එරෙහි වෙලා වැඩක් නෑ කියලාත් අහගෙන, රට සමාජවාදී වෙන්න පෙරත් ජනතාවාදී දොස්තරවරු සිටීම ගැන ආහ්ලාදයද සහිතව ආයෙ ගෙදර බලා ආවා. ඒ එන අතරෙ තමා වැහි දැරියට අලුත් වියුණුවක් ලියන්න හිතට ආවෙ. ඒකට හේතුව ඒ සංවාදෙදි මතු වෙච්ච, ප්‍රියංකා අමරතුංගගෙ රිවිසරසි අතිරේකයෙ ගිය නවකතාවක්. ඒකෙ නම 'තිත්ත මල්!'


මට මතක හැටියට ඒ රිවිර පත්තරේ ආව මුල් කාලෙ. රිවිසරසියෙ ආසාවෙන්ම කියවලා කපලා අරන් තියාගත්තෙ, රසික ජයකොඩි ලියාපු 'දවසක්දා හැන්දෑවක' තීරුලිපි එකතුව. පස්සෙ රසික ජයකොඩි දේශපාලනික වශයෙන් ප්‍රතිගාමීව රනිලමය ආස්ථානයකට ගියා වුණත් ඔහුගේ ලිවීම් කෙරේ පැවති ආසාව දුරස් වූයේ නෑ. ඉතින් රිවිසරසි කියවන කාලෙ ඔය කතාවත් මං පත්තරේ ආව ගමන් ටැබ්ලොයිඩ් කෑල්ලෙ පැලක් අටවගෙන කියෙව්ව විත්තිය මතකයි. 


හැබැයි වැසිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතා ආලෙ පටන්ගත්තෙ, ශේක්ස්පියර්, ආයුර්වේදය, හෘදය සූත්‍රය සහ භාවනාව ආදී මනරම් හා ගැඹුරු තේමා රාසියක් එක්තැන් කළ 'තිත්ත මල්' කියවන්න හුඟ කාලෙකට කලින්. සමාජමාධ්‍ය ජනප්‍රිය වෙන්ඩ කලින් ගෙවුණ ⁣නවයොවුන් වියකට හිමිකම් කියාපු අවසාන පරම්පරාව වෙච්චි වැසි දැරියලාගෙ පරම්පරාවෙ බොහෝ ගෑණු දැරිවියො ටැබ්ලොයිඩ් කියෙව්වෙ සිනමා තරු, ගායක තරු සහ රූපලාවණ්‍ය ඔත්තු ආදිය ගැන දැනගන්න වුණත්, නිදහස් සිතිවිලි බ්ලොග් අඩවියෙ රවි මාමා කියන්නැහේ වැසිදැරිය හැත්තෑව අසූවෙ උපදින්න ඉඳලා වැරදීමකින් මේ කාලෙට ප්‍රාදූර්බූත වෙච්ච මානවිකාවක් හන්දා උන්දෑ ටැබ්⁣ලොයිඩ් කෑලිවල හිටපු නලු කෑලි දිහා ඇහැක් ඇරල⁣ නොබලා, ගෙනාව ගමං පත්තරෙන් ඩැහැගත්තෙ සාහිත්‍ය කෑලි ටික! 


ඒ කියද්දි මතක් වුණෙ, මේ ළඟදි  වැහිදැරිවිගෙ නවයෙ පන්තියෙ එකට හිටපු යාලුවෙක්, වැහිදැරිවිගෙ අම්මටයි වැහිදරුවටයි ආපිකෝ එකේදි මුණගැහිලා කිව්වලු, වැහිදැරිවි කසාද බැඳපු එක පුදුමයි, ඒ කාලෙ වැහිදැරිවිට කොල්ලො පේන්න බැරිය කියලා.. දැන් ආපහු හැරිලා බලද්දි තමා හිතෙන්නෙ, ශිහාන් මිහිරංග⁣ට යුනිෆෝම් එක ඉරලා පපුවෙ අස්සන් ගහන්න කියපු, සිහාන්ගෙ ඩේ කාඩ්ස් එක්කහු කරපු, සිහාන් පැරදුණාම අස්සයා මැරිච්ච කව්බෝයි වාගෙ අඬපු ⁣කෙල්ලො උන්න කාලෙක, සිහාන්ගෙ නවපන්නෙ කොණ්ඩෙ මෙලෝ ලස්සනක් නොදැකපු - සිහාන් අනුකාරකයෙක්ය කියා විවේචනය කරාපු, ටීනේජ් වැහිදැරිවි අමුතු ඩෑල් එකක් වගෙ පේන්න ඇතිය කියලා..)) 


ඒකෙන් මේකෙන් වැඩක් නෑ.. මං කියමින් උන්නෙ ටැබ්ලොයිඩ් නවකතා ගැන. වැහි දැරිවි ටැබ්ලොයිඩ් කතා කියවන්න පටන්ගත්තෙ සිළුමිණ පත්තරේ රසඳුන සහ දිවයින පත්තරේ මීවිත අතිරේකෙන්. රසඳුනේ කතා අතරින් නම් වැහි දැරියට මතක හිටියෙ යමුනා ⁣මාලිනී ලියූ 'සඳමාධවී' විතරයි. ඒ කතාවෙ තරුණයා අතින් ලියැවුණු කවියක්, පසුව ගීයක් වී ගැයෙනවා ඇහෙද්දි දැනුණ අතීතකාමයෙ තිවුණෙ වෙනස් සෞන්දර්යයක්.


සුදු ඇඳගෙන සඳ ඇවිදින්

දුර කඳු මුදුනට..

නිදි නැති සිත ගෙන යයි

සිතිවිලි ගං ඉවුරට..!


මේ ලියන මොහොතෙත් වැහිදැරියගෙ සවන් පත්ළෙන් ඒ ගීය වාදනය වෙනව.


වැහි දැරිවි දන්නා තරමින්, චන්දො හෙවත් චන්ද්‍රසිරි දොඩන්ගොඩ නමැති ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා ජීවිතක්ෂයට පත් වෙන තුරු මීවිත ටැබ්ලොයිඩයෙ නවකතා ලිව්වා.

ඉතින් වැහි දැරිවි මුලින්ම කියෙව්ව ටැබ්ලොයිඩ  නවකතාව ඔහු ලියූවක්. මට මතක හැටියට 'ආත්මා'. ඉන්පස්සෙ 'සතී'. ඒ හැමෙකකම චිත්‍ර ඇන්දෙ ජනක රත්නායක. ඔබේ හිතේ මේ වදන කියවද්දි ඇඳෙනවා ඇති ඔහුගෙ අවර්ණ පැන්සල් පෑන් ඉරිවලින් සිත්තම් වුණ මනරම් නූතනමය සිත්තම්. මේ සටහනේ අයිකනය ලෙස ඇමිණුවෙත් ජනක රත්නායකගෙ සිත්තමක්ම තමා. ඒ චිත්‍රකර්මවලින් අලංකෘත වෙච්ච චන්දොගෙ නවකතා ඇසුරින් වැසිදැරිවි වඩාත්ම ආසා වුණ නවකතාව වුණේ, 'ඈත කඳුපෙළින් එහා!'


ඔය ටැබ්ලොයිඩ කියවලා විතරක් සෑහීමට පත් වෙන්න බැරි වුණ වැහි දැරිවි, තාත්තාගෙත් මහප්පාගෙත් පරණ පත්තර නිධානෙ අවුස්සලා අවුස්සලා සිත්තරාදී පරණ චිත්‍රකථා පත්තරවලත්, අරලියාදී යොවුන් සඟරාවලත් කොටස් වශයෙන් පළ වී තිබූ නවකතා, සිහියක් පතක් නැතුව දූවිලි නාගෙන කියවන්න පටන්ගත්තා. ඒ අතරෙ තිබුණ නවකතා ඇසුරින් තදින්ම මතකෙ රැඳුණ නවකතාකරුවන් වූයේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රදීප් බාලසූරිය ආදි නවකතාකරුවන්. ඒත් ඒ අතරෙ ටැබ්ලොයිඩ් නවකතාදරයෙ උඩින්ම රැඳෙන්නෙ චන්දොගෙ අමුතු නවකතා ආර..)

දැන් චන්දො නෑ. ඒත් හැමදාකම කඳු දකිද්දි චන්දොගෙ 'ඈත කඳුපෙළින් එහා' නවකතාවෙ තිබූ එක් කුඩා කවියකුත් - වැහිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතාදරයත් මතක් වෙන්නේ නොස්ටැල්ජියාවක් සමඟින්!


ඈත කඳුපෙළින් එහා

තාරකා සිනාසිසී

එන්න,යන්න, මාත් එක්ක

කතා කරනවා..!


දැන් කියවන්න තරමෙ ලස්සන ටැබ්ලොයිඩ කතා කොහේවත් නැති වුණත් අදත්, බෙලිහුල්ඔය චාරිකාමය නැවතුමක අහස දකිද්දි ඇස ගැටුණ - කතා කරන තාරකා අස්සේ යම් තැනක වැසි දැරියගේ ටැබ්ලොයිඩ් නවකතාදරේ හැංගිලා තියෙනව!



Wednesday, September 25, 2024

109. රොමැන්තික ආහ්ලාදය සහ සහෝදර බිමක මල් සිටුවීම..!

අවුරුදු අටෙන් විතර සෝවියට් පොත් කියවන්න පටන් අරගත්ත පොඩි දැරියක්, රෝහණ විජේවීරට මංගල ඡන්දෙ දුන්න අම්මෙකුගෙ දුවක්, සමාජදේහය වසා පැතිර පවතින නූගත් බව නසමින් බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත පරපුරක් බිහි වනු ප්‍රාර්ථනා කරන අධ්‍යාපනවේදිනියක්, ස්ත්‍රී පුරුෂ පන්ති කුල සමානාත්මතාව අත්‍යන්තයෙන්ම විශ්වාස කරන තරුණියක් විදියට, පවත්නා දේශපාලන ප්‍රවාහය හා එකඟ වන නොවන තැන් ඇති මුත්, ඔව්, විසිදෙවැනිදාව යනු, වැසිදැරියට ජීවිතයේ සන්තුෂ්ටිදායක දවසක්!

ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම සමාජවාදී නොවේය යන තර්කය ඒ සන්තුෂ්ටියට කිසිසේත්ම බාධාවක් නොවෙයි. මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය හෝ සෝවියට් සමාජවාදය සම්පූර්ණයෙන්ම මෙබිමෙහි ස්ථාපිත කිරීම ප්‍රායෝගිකත් නෑ. දේශයෙහි පවත්නා සමාජ,සංස්කෘතික ප්‍රවාහය වඩා යහපත්, වඩා අදූෂිත තැනක් කිරීම සඳහා සමාජවාදී දේශපාලනය යොදාගැනීමයි විය යුත්තෙ. ජාතික ජන බලවේගය මේ සා ජයග්‍රහණයක් අත් කරගන්න හේතුවත් ඒ අවශ්‍යතාව ඔවුන් හඳුනාගැනීම නිසයි.

කිසිදු දේශපාලන ප්‍රවාහයක කොටසක් නූනාට, ජීවිතයෙ මංගල ඡන්දය ධනවාදී පක්ෂයකට දෙන්නට තිබූ අකැමැත්ත නිසා දහඅට පිරුණාට පස්සෙ නන්නාඳුනන ජවි‍පෙ සහෝදරුවරු දෙන්නෙක්ටත්, සහෝදරියකටත් මහමැතිවරණෙදි ඡන්දෙ දුන්න, 3% ගොඩේ හිටපු වැසිදැරියට, එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවෙ අසාධාරණයට එරෙහිව තනිව සටන් කළ නුදුටු සහෝදරයකු, 9වන විධායක ජනාධිපතිවරයා ලෙස, ඡන්ද පනස්හත්ලක්ෂයක් ලබමින්, පත් වෙද්දි යමක් නොලියා ඉන්න අපහසුයි. නමුත් එය රොමැන්තිකකරණයට ලක් වූ ලිවීමක් වනවාට වැසිදැරිය කැමති නැහැ.

පාර්ලිමේන්තුවේ දූෂිතයන්ට එරෙහිව කෑගහන විප්ලවකාරයා සහ ජනතාව අමතන සන්සුන් - තැන්පත් සහෝදරයා අතර පවතින විස්මය දනවන සුළු පරස්පරය සහ ජනතා නියෝජකයකු ලෙස අත්‍යයන්ත‍යෙන් හැඳින්විය හැකි අන්දමේ දුර්ලභ දේශපාලකයෙක්, දූෂකයන් අමතන දෘඩ ස්වරය සහ දූෂණයට ලක් වූවන් අමතන විශ්වාසදායී මන්ද්‍ර ස්වරය අතර ඇති වෙනස, රොමැන්තික ව දැනීම ඉතා ස්වාභාවික බව නොපිළිගන්නවා නොවෙයි.

පරිවාසවලට රිංගා මව්පියන් නැති දැරිවියන් පවා අත් නෑර වාර්තාගත ස්ත්‍රී දූෂණයන් කළ -ගැහැණුන්ව මුළුතැන්ගෙයි මෙවලම්, ලිංගික භාණ්ඩ හෝ ලස්සනට තබන මල් පෝච්චි ලෙස ගෙන වාස්තවීකරණයට ලක් කරන ඊනියා තරුණ නායකයන්ට ආකර්ෂණය නොවන තරුණියන් තුළ - ස්ත්‍රීන්ව නායිකාවන් සහ සහෝදරියන් ලෙස හඳුන්වන ජනාධිපතිවරයකු කෙරේ පවතින ආකර්ෂණයට එහා ගිය ගෞරවය අතිශය ස්වාභාවිකවයි. තරුණියන් පමණක් නොවෙයි, තරුණයන්, ඒ විතරද මැදිවියේ වැඩිහිටි ආදී විවිධ පරාසයන් නියෝජනය කරන - වසර ගණනක තට්ටු මාරු දේශපාලනයෙන් හෙම්බත්ව සිටි ඡන්දදායකයන් බහුතරයක්, අසාධාරණයට එරෙහිව නැගී සිටි අවුරුදු 'පනස් පහක' තරුණයෙක්ට ආකර්ෂණය වීම සිදු වූ වේගය ඇතුළේ ඡන්ද හාරලක්ෂ ගණනක් - පනස්හයලක්ෂය ඉක්මවා ඉහළ යාම මවිතයක් වන්නට කාරණයක්ද නෙමෙයි. 

අප සමඟ පශ්චාත් උපාධිය හැදෑරූ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක ගුරුවරියක් ඒ පාසලේ දරුවන් අන් දරුවන්⁣ට වඩා හොඳ බව කියද්දී, ඊට ඉතා තදින් විරුද්ධ වී සියලු පාසල්වල සියලු දරුවන්ට සම පහසුකම් ලැබිය යුතු යැයි, පාර්ලිමේන්තු යන්න කලින්  විශ්වවිද්‍යාල ආචාර්යවරියකව සිටියදී පවා අධ්‍යාපනයෙහි පන්ති විෂමතාවට එරෙහිව තර්ක කළ ඇදුරුතුමියගේ මතකය, කෙටිකලකට පෙර අගමැතිතුමියගේ සිසුවියකව සිටි වැසිදැරියට අමතක කළ නොහැකියි.

සංදර්ශන නොපවත්වා විනාඩි දහයෙන් දිවුරුම් දී මිලියන දෙසීයක් ඉතුරු කිරීම, ඇතැම් දේසපාලුවන් විසින් මෙතෙක් නොගෙවා සිටි රජයට අය විය යුතු මුදල් නව රජය කෙරේ වන භීතිය හේතුවෙන් ගෙවීම, රජයේ භාවිතයටම පමණක් නොව පුද්ගලික අවැසියාවන් උදෙසා අනිසිව භාවිත වෙමින් කරක් ගැසූ වාහන හිටිඅඩියේ බ්‍රේක් ගසා නතර වීම, ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අධ්‍යාපනයට ගරු කරමින් අගමැතිවරියකගේ සිදු වූ ආගමනය, පාසල් උත්සවවල දේශපාලන සංදර්ශන නතර වීම ඇතුළු ආර්ථික සමාජ දේශපාලනික ක්ෂේත්‍රයන්හි දින කිහිපයකට සිදු වූ සාධනීය වෙනස්කම් ඇසුරින්, තමන් ගත් තීරණය නිවැරදි බව බොහෝ තැන්වලින් සාධක සහිතව සනාථ වෙද්දි ඡන්දදායකයන්ට රොමැන්තික නොවී ඉන්නත් අපහසු ඇති. ඒත් ව්‍යතිරේකී විශිෂ්ට බවකින් යුතු වූ සහෝදරයකු සහ ඔහු නියෝජනය කළ සමාජ අසාධාරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකලාපය නිසා හටගත් රොමැන්තික බව ඩබල් පොකට් ෂර්ට් එකේ අත් නැවීම සිදු නොවුණහොත් නැසී යන්නේය වැනි තැනකට පමණක් ලඝු කිරීම කොතෙක් දුරට සාධාරණද යන්නත් නතර වී සිතිය යුතුයි.

දූෂිත දේසපාලුවො පාර්ලිමේන්තුවේ උඩබුරද්දි  - තමාට එරෙහි වන්නට නැගිටින නැගිටින සියලු ‍දෙනාගේ දූෂණ වංචා ගැන මතකයෙන් කතා කරන ජනතා නි‍යෝජකයෙක් අබිමුව, පොතක්-කඩදාසියක් නොබලා දේශපාලන-සමාජ-සංස්කෘතික සියලු කාරණා ගැන අනලස්ව විග්‍රහ කරන සුවිශිෂ්ට සන්නිවේදකයකු අබිමුව බහුතර ඡන්දදායකයන්ට, රොමැන්තික නොවී ඉන්න අපහසුයි. ඒක ඇත්ත. පිළිගන්නවා. ඒත් සහෝදර කුරුල්ලනි, රොමැන්ටිසයිස් වීමෙන් නතර විය යුතු නැහැ. වඩා හොඳ දේශයක් උදෙසා අප එක්ව වැඩ කළ යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුවේ වැඩ කරාවි. අපද වඩා නිවැරදි සමාජයක් උදෙසා අ⁣පේ වපසරිය තුළ වෙනදාටත් වඩා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කළ යුතුයි.

අනෙක් අතට පාලන තන්ත්‍රයන්, කිසිදු විවේචනයකින් තොරව, රොමැන්ටිසයිස් කරන්නට ගොස් හොම්බ කට බිම ඇනී සමතලා කරගත් ජනතාවක් ලංකාවේ තරම් වෙනත් කොහේවත් නැති බවත් අප අමතක කළ යුතු නෑ. එසේම රොමැන්තික දෑස්වලට යථාවන් - යථාවන් ලෙසම නොපෙනී යන්න ඉඩ ඇති වගත් අමතක කළ යුතු නෑ.

මේ රොමැන්තික ආහ්ලාදය සහ වගකීම් සත්තාව අතර දෝලනය වන සටහන නිමවන්න පෙර ඊයෙ වූ සිදුවීම් කීපයක් ගැන කුඩා මතක කුරුටුවක් තබන්නත් අවැසියි.

විසිහතරවැනිදාවෙ, ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා, දවස් දෙකකට පස්සෙ මාත් වැහි දරුවාත් දවසේ දේශන අවසන් කරලා බැරිස්ටා⁣ කෝපිහලට ගියේ ඡන්ද අසා නිදි මරා සිටි විඩාව නිවාගන්නත් එකයි. එවිට ආරක්ෂක සහෝදරයා දොර හරින්න එද්දි වැසිදැරිය දොර ඇරගෙන එළියට බැස්සේ වෙනදාත් කරන අන්දමටම තමයි. කොහොමත් කුඩා කාලෙදිවත් කවදාවත් මා කාටවත් දොර අරින්න දෙන්නෙ නෑ. අතපය හතර ගැන ලෙනින් කුඩා කොලුවකු කාලෙ කීවා යැයි ඇසූ කතාවක් කවුරු හරි දොර අරින්න එද්දි මතක් වන බැවින්. කොහොම හරි මගෙ දොර මංම ඇරගත්ත නිසා එහා පැත්තෙ දොර අරින්න කියායි ඔහු වැහිදරුවා පැත්තට ගියේ.

රටේ ජනාධිපති කාටවත් කියලා දොර ඇරගන්නෙ නැත්නම්.. ඇයි අපේ දොරවල් අරින්නෙ! 

කියා වැහිදරුවා අහද්දි ආරක්ෂක සහෝදරයා සුණු සිනහව ඇතුළේත්, මාත්- වැහිදරුවාත් තුළ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක පාරිභෝගිකයන් ලෙස නැගුණු හැඟුම් සමුදායෙත් තිබුණේත් ප්‍රථම වතාවට සහෝදරයකු ජනපති වීම තුළ තිබෙන රොමැන්තික ආහ්ලාදය.

තව කතා දෙක තුනක් තියෙනවා ඒ ආහ්ලාදෙට ඈඳන්න. අපේ ගෙදර මිනිස්සු, ඇකඩමික් වැඩ, ⁣පොදු වැඩ ආදි ඔය නොඑක් දේවල් මැද්දෙ ඉඩක් හම්බ වුණ ගමන් රෝන්දෙ යන්න, ගස්ගල් අස්සෙ, නටබුන් මැද්දෑවෙ ඇවිදින්න කකුල් දෙකම එලියට දාගෙන ඉන්න ජාතියෙ මිනිස්සු කොට්ටාසයක්. ඉතින් එහෙව් ගමනක් ගිහින් - මට කොහේදො කියන්න මතක නෑ, බාගෙදා බෙලිහුල්ඔය වෙන්න ඇති - එන ගමන් මොනවා හරි සප්පායම් වෙන්න, අවන්හලක් ගාව නතර වුණා, ජනාධිපතිවරණ උණුහුමේදිම.

ඒ අවන්හලේ යට කොටහ අමද්‍යප. උඩ කොටහ මද්‍යප. අවන්හලේ සේවයට හිටියෙ යාන්තං දැලිරවුල් ආව වයසෙ පොඩි කොල්ලන්ගෙ සිට තිහේ දශකයට විතර කිට්ටු කරලා හිටපු කොල්ලො ටිකක්.

වැඩිය සෙනඟ නොහිටිය හින්දත්, අපේ කණ්ඩායමේ හත් අට දෙනෙක් හිටිය හින්දත්, ඉල්ලීම් අටෝරාසියක් අපේ මේසවලින් නැගුණ හින්දත්, කොල්ලො ඔක්කොම ටික වාගේ අපි එක්ක හිතවත් වුණා.

අනික වැහිදැරිවිගෙ තාත්තා, අම්මා විතරක් නෙවෙයි වැහිදරුවගෙත් තියෙන පුරුද්දක් තමා, මළමිනී පවා කතා කරවන තරමට සමාජ සම්බන්ධතා හෙවත් පී.ආර් විෂයෙහි කෙළපැමිණි බව. තුන්දෙනාගෙම ඔළුව උඩිනුත් එහාට ගලාගෙන යන මට්ටමට පී.ආ් තියෙනව. සාමාන්‍යයෙන් පී.ආර් ඕනවටත් වැඩි වැහිදැරිවිගෙ පී.ආර් නතිං, අර තුන්දෙනාගෙ පී.ආර් එක්ක ගත්තම. ඉතිං හිතාගන්නකො. කොහොම හරි තාත්තා එක කොල්ලෙක්ගෙන් ඇහුව, උඩ අවන්හ⁣ල කොල්ලො ටිකවත් ගිල දාලාද කියලා. 

'ජනාධිපති සහෝදරයාත් බොන්නෙ නැත්තං අපි ඇයි සර් බොන්නෙ..?'

තරුණයා ඍජු ස්වරයෙන් කිව්වා.

පහුගිය කාලෙ වෛරල් වෙච්ච, මට බොන එක හරියන්නෑ.. අල්ලන්නෑ.. කියපු, මොකෝ ඔයා එක්ක මං කුඩුෂොට්ස් ඔට්ටු අල්ලන්නද.. බේරුවලින්ද දෙවුන්දරින්ද හෙරොයින් එන්නෙ කියලා ඔට්ටු දාන්නද.. කියා මත්ද්‍රව්‍ය ජාවාරමේ උඩින්ම ඉන්න දේශපාලකයකුගෙන් පාර්ලිමේන්තුවේදි අහපු - සිහියෙන් ඉන්න ජනාධිපති සහෝදරයාගෙ වීඩියෝ ඛණ්ඩ වැසිදැරියට මතක් වුණා. 

ආයෙ මේ ළඟදි විශ්වවිද්‍යාලෙ උත්සවයක් තිබ්බ. වැසිදැරියගෙ ප්‍රකාශනයකට ඒකෙන් සහතික කොළයක් ලැබෙන්න තිවුණා. ඉතින් ඒකට යද්දි, ළපටි කෙල්ලො දෙන්නෙක් ලස්සනට ඇඳගෙන, මූණු පින්තාරු කරගෙන, හිනාවක් අලවගෙන, දොර අල්ලාන ඉන්නව කට්ටියට ඇතුළට යන්න. 

'ප්‍රසිඩන්ට්ට තමුන්ගෙ අතින් දොර ඇරන් යන්න පුළුවන් නම් ඇයි ඔයාලා අපිට දොර අරින්නෙ?' ඇතුළට යද්දි මට ඇහුණා.

කෙල්ලො දෙන්නා එතෙක් මූණෙ ඇඳන් තිවුණ ව්‍යාජ හිනාව මැකිලා ගියා. හෙන රොමැන්තික සෞන්දර්යෙකින් එකිනෙකා එක්කයි මා එක්කයි හිනා වෙලා ආදරෙන් බලා උන්නා. 

ඊටපස්සෙ ඇතුළට යනකොට අප හා එක්ව වැඩ කළ කථිකාචාර්යවරියන් දෙන්නෙක් ආසන සංවිධානය කරනව. නෑ නෑ එහෙම ආසන සංවිධානේ නෙමේ.. දන්නෙ නැද්ද, වෙන් කොට තිබෙන වාඩි විය යුතු ආසන පෙන්වා දෙනව. මට සහතික කොළේ තිබීම සහ ඒ විශ්වවිද්‍යාලෙ හිටපු සහකාර කථිකාචාර්යවරියක් වීම නිසා ඉස්සරහට ගිහින් වාඩි වෙන්න කිව්වා.

'ඉස්සරහා බිග් ෂොට්ස් ගාව නෙමේ.. සාමාන්‍ය තැනක් නැද්ද වාඩිවෙන්න..' මං ඇහුවා - හැමදාම වගෙ පිටිපස්සෙම පුටුවල - ඕඩියන්ස් එක මැද්දෙ වාඩි වීමේ වුවමනාවෙන්. වෙනදා එහෙම ඇහුවම - මේ මොන සමයමක්ද - ඉස්සරහ ඉන්න හැකිකම තිබෙද්දි නොයන්නෙ - ආදි වසයෙන් - බලන පුදුමය අද තිබුණෙ නෑ. ඇයි, ආදර්ශ රූපයක් තියෙන හින්දා..  එක්ස්ට්රාවැගන්ස් එකක් සහිතව ජීවත් විය යුතුයි කියා නොහිතන, දිවුරුම් දීමට පවා මහාවිසාල උත්සවයක් ගන්න ඕනෑ කියා නොහිතුව, සිම්පල් සහෝදරයෙක් ජනාධිපති හින්දා.

මිනිස්සුන්ගෙ මූණුවල හිනාවක් තියෙනව. අද උදේ අපි යද්දි කුණු ගේන සහෝදරවරු ඉස්සරහට හම්බවුණා. වැහිදරුවායි මායි වාහනෙ එයාලට යන්න නැවැත්තුව. ඊට කලින් අපිට යන්න ලොරිය අතුරු පාරකට හරවපු සහෝදරවරුත් හිනා වෙවී ඉවසිල්ලෙන් බලා හිටියා. 

ආණ්ඩු රොමැන්ටිසයිස් කරන්නේ නම් නෑ. සියල්ල සදා මෙසේම පවතීයැයි බෙල්ල කඩාන ප්‍රතිඥා දෙන්නෙත් නෑ. ඒත් මේ පටන් ගත්ත කොම්රේඩියානු සහෝදර සෞන්දර්යය මේ පාලන තන්ත්‍රය අවසානය දක්වා රැකගත්තොත් ඒක මාරයි. අනෙක් අතට, අනාගතය ගැන පූර්ව නිගමන දිය නොහැකි වෙතත්, මේ මොහොත තුළ මේ තියෙන සහෝදර රොමැන්තිකේ මාරයි. ආන් ඒකට වැසි දැරිය මාර ආසයි! 


ඒ හැම තැනකින්ම දැනුණෙ සහෝදර බිමක, මල් පිපෙන්න පටන් අරන් ඇති බවට වන රොමැන්තික ආහ්ලාදය එපමණ සුන්දරයි..

නමුත් කඳුහෙල් යට කර ගලා ආ මහජන ගඟ මහමැතිවරණයෙ මීටත් වඩා ප්‍රබලව ගලනු ඇත්තෙ දැන් තමා අදූෂිත යැයි පෙන්වාගෙන එක් වෙන්න හදන දූෂිත දේශපාලුවන් මාලිමාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අන්දමටත් - තනතුරු සඳහා සිදු වන පත්කිරීම් සඳහා දේශපාලනික ආකල්ප හා අධ්‍යාපන සුදුසුකම් මතු නොව කැපවීම, අදූෂිත බව සහ ප්‍රඥාව සහිත නිවැරදි මිනිසුන් තෝරාගන්නා අන්දමටත්, ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි වගන්ති සත්තාවන්ව මහපොළොව මත ක්‍රියාත්මක වන අන්දමටත් අනුලෝමව සමානුපාතිකව වගත් - එසේ නොවුණහොත් ජනගඟ යළි වෙනත් දිශානතියකට ගලනු ඇති වගත් - අමතක කරන්න බැරි බවත් සටහන් කළ යුතුමයි. 

ඉතින් සහෝදර බිමේ බිම් මට්ටමේ මල් හිටුවන ගමන් නව දිශානතියකට රටේ මාලිමාව කැරකෙන අන්දම දිහා රොමැන්තික ආහ්ලාදයටම නතු නොවී, සහෝදරවරුනි අපි බලා සිටිය යුතු බවද, ඒ අතරේ කුමන ක්ෂේත්‍රයක් නියෝජනය කළද, වඩා යහපත් - වඩා පිරිසිදු හෙටක් සහ රටක් උදෙසා තනි තනි ඒකක ලෙස අපෙන් විය යුතු යුතුකම ඉෂ්ට කළ යුතු බව ද අමතක කළ නොහැකියි.

එවිට සහෝදර බිමේ මල් තව දශක ගණනාවක් යන තුරු පර නොවී දිගින් දිගටම පිපී තියේවි!