Wednesday, September 9, 2015

17. යළි වසිනු ඇත වැසි...

විභාගය නිමා විය.ඒත් ජීවිතය නිමා වෙන්නේ නැත.සුපුරුදු විප්‍රකාර තානයට ජීවිතය ගලා යයි.. අපිළිවෙළ බැව් ඇත්තය.ඒත් ජීවිතයේ ඇති ඒ අපිළිවෙළටත් මම ආසා කරමි.මගේ කුඩා කාලයේ වීරවරිය ඈන් පැවසූ පරිදි ඉතාම පිළිවෙළ දේ ප්‍රසන්න වන්නේ කළාතුරකිනි.ජීවිතය සැලසුම් කළ යුතු මෙන් ම ඊට සැනසුම් සහගත ස්වරයකින් ගලා යන්නට ද ඉඩ හැරිය යුතු ය.. 

...අප නොදන්නා අතීතය දෙස හැරී බලන විට ඉසියුම් වේදනාවක් ද දැනේ.අපේ මව්වරුන්ගේ යුගයේ නිර්මාණය වූ ගීතයක පවා නම් කළ නොහෙන සුන්දරතාවක් විය.ඔවුන්ගේ ජීවිතවල ද අපට අල්ලා බැලිය නොහැකි අන්දමේ සෞම්‍යතාවක් අදත් දක්නට තිබේ.එහෙත් අවාසනාවකට මෙන් විසිඑක් වෙනි සියවසේ අපේ මූණුපොත් පරම්පරාවට අහිමි වූ බොහෝ දේවල් ඇත.. 

අපේ පරම්පරාවේ ඇතැම් අය සංවේදී ය.අනුන්ගේ දුක දැනෙන සුළු ය.ඔවුන්ට හිස නමා ආචාර කරමි.එහෙත් පොදුවේ දකින්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.කොටසක් ජීවිතය දිනා ගත යුතු යැයි අනවරත අරගලයක නිරත වී සිටිති.එහි කිසිදු වරදක් නැත.නමුත් මනුෂ්‍යත්වයෙන් තොර අධ්‍යාපනයක අවාසනාව සඳහා පණපිටින් ඇති උදාහරණ අප අතරේම බහුල ය.තවත් පිරිසක් අන්තර්ජාල සිරකරුවන් ව සිටිති.මැච් එකකට-සිහින තරු තෝරන තරඟයකට-මේ ආදරයයි වැනි මාලා ටෙලා නාටකයකට මුළු මහත් ජීවිතයේ ම දුක - සතුට තීරණය කළ හැකි යැයි සිතන මට්ටමකට අප ළං වී සිටින බව අමතක නොකළ හැකි ය.

එහෙත් වඩාත් ඵලදායී ගමනක් යාමට නම් අප සියලු දෙනා උඩුගං බලා පිහිනිය යුතු ව තිබේ.මගේ දශක දෙකකට අඩු ජීවිතයේ අල්ප අත්දැකීම් ප්‍රමාණයට දැනෙන හැඟෙන හැටියට නම් ඒ සඳහා බොහෝ උත්සාහ කළ යුතු ද නැත.... ගහක් යට වාඩි වී පොතක් කියවද්දී දැනෙන මිහිර මෙතෙකැයි කියා විඳ ගත හැකි නම්, එක වර පෙම් සබඳතා දෙක තුන නඩත්තු කරනු වෙනුවට සංසාරගත පෙමක පැටලීමේ ඇති පවිත්‍ර සුන්දරත්වය ස්පර්ශ කළ හැකි නම්, ගඟක ඇළක දොළක දිය ඉහිරෙන තානයට සිත සංවේදී කරගත හැකි නම්... අප අත් විඳින මේ ජීවිතය මීට වඩා දශම ගණනකින් හෝ සුන්දර වනු නොඅනුමාන ය..