Sunday, July 3, 2016

33. රහස්.. රස රහස්...

රඟහලේ මැද පෙළේ අසුනක
නෑසියන් අතර ඉඳ ඉන්න කොට
හිතෙනවා, ළඟක උන්නා නම් ඔබ
වාරු වන්නට
රඳවා මා සිඟිති හිස
පුළුලුර - කැරලි කෙටි කෙස් අස..

ගැහැණුන් පහත් යැයි දොඩවන
පුස් ම පුස් පිරිමි වෙති දස අත
ඔවුන් දකිනා කල
පිරී යන්නෙය මා හද
මහ බැතියකින් සිහි වැ ඔබ මුදු බස්..

මවමින් සිටිමි නෙක සිහින රූ
ඇවිද යන්නට අතිනත වෙළා ඔබ හා
පුරාවිද්‍යා බිම්වල.. කියවමින් සෙල්ලිපි..
පොත් ප්‍රදර්ශනවල.. සිතුවම් ප්‍රදර්ශනවල.. 

ඒත් හඬ ගා කියනු කෙලෙසද 
දැන් ම ලෝකෙට ඔබ ගැන..?

රහස්වලින් මැ නිමැවුණ
රහස් බසින් මැ ඉපදුණ
රහස් ඇසිනැසින් කියැවුණ
රහස් පෙමකිය අප සතු..!