Saturday, January 15, 2022

66. හද බස් දොරටු!

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන ආතතිමය කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක වන සුවිනි අක්කා මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම හෝ භාෂා කීපයක් එක් වර ඉගැන්වීම නිසා හෝ කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෲ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය.

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන සම්මුඛ සාකච්ඡාවක් මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


65. ගුරු දියවර නවකතාව - සයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                   සයවන දියවර



ගඟුල් කාර්යාලයට යන විට විදුහල්පතිතුමා සිටියේ ශිෂ්‍යයකුගේ කිසියම් ලිපි ගොනුවක් පරීක්ෂා කරමිනි. සිය නවක ගුරුවරයා කාර්යාලයට පැමිණි බව දුටු විදුහල්පතිවරයා ඔහුට හිඳ ගන්නා මෙන් දැන්වීය.

"කොහොම ගඟුල් වැඩ?" 

"වරදක් නෑ සර් මම අද කළේ ඒ ළමයි එක්ක කතා කරල අඳුනගන්න එක. මට පුළුවන් වෙයි සර් ඒ ළමයින් එක්ක වැඩ කරන්න."

"මට හරි සන්තෝසයි ගඟුල් ඔයා පළවෙනි අභියෝගෙ ජය අරන් තියෙනව. මීට කලින් අවස්ථා දෙකකදි ඔය පන්තියෙ සිංහල උගන්නන්න බාර දුන්න ගූරුවරු දෙන්නම පළවෙනි දවසෙම ආයිත් නම් ඒ පන්තියට යන්න බෑ කිව්ව. එක ගුරුවරයෙක් කතා කළේ හරිම කේන්තියකින්. එයා මට කියනව සර් මට අපායෙ යමපල්ලන්ට උගන්නන්න කියන්න. මුන්ට නං බෑ කියල. 

ඊට පස්සෙ කාලෙක ඔය පන්තියම බාර දුන්න අනික් ගුරුවරය මගෙ ළඟට ආවෙ බයවෙලා වගෙ. එයා කිව්වෙ අනේ සර් මේ වගෙ ලොකු පන්ති ඕනෙ නැහැ. ඔය මොනව හරි පොඩි පන්තියක දෙකක වැඩ දෙන්න මට කියල. ගඟුල් මේ දෙන්න ම සිංහල ගෞරව උපාධිය කරපු අය. එහෙම නං මේක විෂය දැනුම ගැන ප්‍රශ්නයක් වෙන්න බැහැනෙ.මට හිතෙන්නෙ ඒ දෙන්නට ම බැරි උනේ ඒ ළමයින්ව අඳුනගන්න. අපි ළමයින්ට උගන්නන්න කලින් වෑයම් කරන්න ඕන ගඟුල් ළමයින්ව තේරුං ගන්න."

"බොහොම ස්තුතියි ලොකු සර්. සර් එක්ක කතා කරන හැම වෙලාවකදි ම අලුතින් මොකක් හරි දෙයක් මන් ඉගෙන ගන්නව. ඉස්සරහට මොනව වෙයි ද කියල මට දැන්ම කියන්න බැහැ. ඒත් මං වෑයම් කරන්නං සර් මට පුළුවන් දේ කරන්න."

දෙදෙනාට සිය කතාව නතර කිරීමට සිදු වූයේ හයවන පන්තිය තරමේ යැයි සිතිය හැකි තරබාරු ශිෂ්‍යයකු හඬමින් විදුහල්පතිවරයා වෙතට දිව ආ නිසා ය. ඔහු කතා කෙළේ හති දමමිනි.

"මොකද චමත් මේ කඩාගෙන බිඳගෙන. ලොකු ප්‍රශ්නයක් වගෙයි."

"ලොකු සර් ලොකු සර් මන් .. මට.." 

ඔහු කතා කරන්නට වූයේ ගොත ගසමිනි.

"ඔව් මන් ලොකු සර් තමයි. බොහොම ලොකු ප්‍රශ්නයක් වගෙයි මුන්නැහැට."

"ලොකු සර් අදත් මට නුවන් ඉස්කෝලෙ එනකොට අනික් ළමයි ඉස්සරහ මහ හයියෙන් බතලයෝ කියල කිව්ව. අනික් අයත් මට හිනා උනා සර්. මන් මක් කරන්න ද සර් මම මහත උනාට."

"හරි පුතා මන් නුවන්ව ගෙන්නල අහන්නංකො මොකක්ද මේකෙ තේරුම කියල.හැබැයි මම ඔයාටත් එකක් කියන්න ඕන. ඔයාට ඔය නම කියන ළමයින්ට බැනල හරි ගහල හරි යැව්ව කියල ඔයාගෙ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. හැබැයි ඒක නිසා ඇත්තටම වෙන්න ඉඩකඩ තියෙන්නෙ ඔයාට ඔය නම රෙජිස්ටර් වෙන එක. එතකොට අපි කවුරුත් නැති තැන ඒ ළමයි වැඩි වැඩියෙන් ඔය නම කියන්න පටන් ගනීවි. මට තේරෙන විදිහට ඔයා කරන්න ඕන දේ තමයි ඔය නම ඕන කෙනෙකුට ඕන තරං සැරයක් කියාගන්න ඇරල ගණන් ගන්නැතිව සද්ද නැතුව ඉන්න එක. එහෙම නැත්තං ඒ නමට ඔයා පුදුම තරං ආසයි කියල බොරුවට පෙන්නන එක. එතකොට ඒගොල්ලන්ටම එපා වෙලා ඒක නතර කරාවි. තව පැත්තකින් ගත්තත් බතල කියන්නෙ කොච්චර හොඳ කොච්චර රස කෑමක් ද? ඒවයේ රස ගුණ දන්නෙ නැති මෝඩයො කියන කතා ගණන් ගන්න එපා පුතා. මම නුවන්ව ගෙන්නල තදින් ම අවවාද කරන්නං. දැන් ඔයා යන්න පන්තියට."

අනතුරුව විදුහල්පතිතුමා හැරුණේ පියසේන දෙසට ය.

"පියසේන ඔයා ගිහිල්ල 6 සී පන්තියෙ නුවන්ට එන්න කියන්න. නිලූ මිස්ටයි මේ පීරියඩ් එක අයිති. අද මිස්ට එන්න වෙන් නැහැ කියල දන්වපු නිසා මං සඳමාලි මිස්ට කිව්ව මේ වෙලාවෙ ඒ පන්තිය බලා ගන්න කියල. ඒ මිස්ට කියන්න නුවන්ව පොඩ්ඩකට ඔපිස්සෙකට එවන්න කියල."

පියසේන නික්ම ගිය පසු විදුහල්පතිවරයා තමා කලින් බලමින් සිටි ලිපිගොනුවට යළිත් සිය අවධානය යොමු කෙළේ ගඟුල්ට ද තව ටික වෙලාවක් කාර්යාලයේ රැඳී සිටින මෙන් දන්වමිනි. 

මඳ වෙලාවක් ගත විය. සිහින් සිරුරක් ඇති කුඩා ශිෂ්‍යයෙක් විදුහල්පති කාමරයට ඇතුළු වූයේ තැතිගත් ස්වභාවයකිනි.

විදුහල්පතිතුමා සිය උපැස් යුවළ යටින් එම ශිෂ්‍යයා වෙත හෙළුවේ බැරෑරුම් බැල්මකි.

"ආ ලොකු මහත්තය එමු එමු මෙහෙට. මොකද අද මේ පැත්තෙ."

"ලො..ලො.....  ලොකු සර් එන්ඩ කිව්ව කියල සඳමාලි මිස් කිව්ව සර්. ඒකයි මේ මන්...මන්..."

"මොකද මේ ඒකයි මන් මන් ගාන්නේ. තමුන්ට අද මෙහෙම මෙතෙන්ඩ එන්න උනේ ඇයි කියල තමුන් දන්නව ද?"

"නෑ ලොකු සර්." 

අනතුරුව සිය බැරෑරුම් ස්වරූපය වෙනස් කළ විදුහල්පතිතුමා එම ශිෂ්‍යයා දෙසට මඳක් නැඹුරු ව කරුණාවෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය.

"නුවන් ඔයා කැමති ද පුතා මේ මන් හරි සඳමාලි මිස් හරි වෙන සර් කෙනෙක් මිස් කෙනෙක් හරි මේ පියසේන මාමා හරි ඔයාගෙ පන්තියෙ චමත්ල හරි ඔයාට මහ සෙනඟක් මැද්දෙ ඒයි පතෝලයා, ඒයි වැටකොළුව හරි ඒයි මුරුංගයා කියල හරි කියනවට."

ශිෂ්‍යයාට කාරණය වැටහුණේ දැන් ය.

"අනේ නෑ ලොකු සර්." 

එහෙමනං ඔයා ආස කොහොම කතා කරනවට ද?

"ලොකු සර් මන් ආසයි නුවන් - එහෙම නැත්තං පුතා කියල කියනවට. අපේ පන්ති බාර සඳමාලි මිස් සංගීත මිස් මිහිදිනී මිස් එහෙමත් අපට කතා කරන්නෙ එහෙමයි."

"ආ එහෙම ද? ඒ උනාට මට නං ආරංචි ඔයා ගොඩක් කැමති ඔය එක එක එළවළු අල බතල වගේ නම්වලින් කතා කරනවට කියල."

"අනේ නෑ ලොකු සර්. එහෙම නංවලට මං නං චුට්ටක්වත් කැමති නෑ."

"ආ එහෙම එමුකො. එහෙනං ඔයා චුට්ටක්වත් ආස නැති නමකින් වෙන කෙනෙකුට කතා කරන එක හරි ද? ඒ වගෙම පුතා මෙහෙමත් හිතන්න. මේ ඉස්කෝලෙ ඉන්නව උස ළමයි, මිටි ළමයි, මහත ළමයි, කෙට්ටු ළමයි, සුදු ළමයි, ඒ වගෙම කළු ළමයි. මේ එකක් වත් ඒ අයගෙ වැරැද්දක් නෙමේනෙ පුතා. මොකද ඔයා කියන්නෙ." 

"අනේ ඔව් ලොකු සර් අපි උස හරි මිටි හරි මහත හරි කෙට්ටු හරි වෙලා තියෙන්නෙ අපිට ඕනවට නෙමෙයිනෙ."

"අන්න හරි ඔයාටම ඒක තේරුණා. බොහොම හොඳයි බොහොම හොඳයි. එහෙනං දැන් ඔයාම දන්නව ඔයාට පතෝලයා වැටකොළුව මුරුංගයා කියල කියන කොට රිදෙනව වගේම මහත ළමයෙකුට බතලය කිව්වමත් රිදෙනව කියලා."

"මට සමාවෙන්න ලොකු සර්. එහෙම වැරැද්දක් මගෙනුත් උනා අපේ පන්තියෙ චමත්ට. ඒක කොච්චර හොඳ නැති වැඩක් ද කියල තේරෙන්නෙ මට දැනුයි ලොකු සර්. මම ඒ වැරැද්ද කළා. මට සමාවෙන්න සර්. මන් චමත්ට බතලය කියල කිව්වෙ බස් එකේදි. එයා බස් එකෙන් බැහැල ඉස්කෝලෙ ගාවට එනකම්ම ආවෙ අඬ අඬා. අනේ මට සමාවෙන්න සර්."

"නෑ නෑ ඔයා මගෙන් සමාව ගන්න ඕනෙ නෑ. මොකද ඔයා බතලය කිව්වෙ මට නෙමෙයිනෙ. ඔයා මගෙන් නෙවෙයි සමාව ගන්න ඕනෙ පුතා, චමත්ගෙන්. මොකද තමන් දැන දැනම කෙනෙකුට වැරැද්දක් කෙරුවනං පස්සෙ තමන්ටම ඒකෙ වැරැද්දත් තේරුණානං ඒ වැරැද්දට ලක් වෙච්ච කෙනාගෙන්ම තමයි සමාව ගන්න ඕනෙ."

"අනේ ලොකු සර් දැන් මං මොකක්ද කරන්න ඕනෙ. චමත් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. බලන්නෙවත් නෑ. දවසක් මට පැන්සලක් නැතිව ඉන්න කොට එයාගෙ පැන්සලේ දෙකට කඩල කොටට කැඩිච්ච කෑල්ල එයා තියාගෙන දිගට කැඩිච්ච කෑල්ල මට දුන්න. තව දවසක් පොත් සාප්පුවට ගියාම එයාගෙ තාත්තට කියල මටත් අලුත්ම අලුත් බෑග් එකක් අරන් දුන්න සර්. චී මං හරිම නරක වැඩක්නෙ කරල තියෙන්නෙ. අනේ ලොකු සර් දැන් මං මොකද කරන්නෙ."

"දැන් ඔයාට තේරෙනව නේද පුතා, චමත් කියන්නෙ කොච්චර හොඳ යාළුවෙක් ද කියන එක. ඔයා එහෙම යාළුවෙක්ට යි බස් එකේ සෙනඟ ඉස්සරහ බතලය කිව්වෙ. ඒත් ඔයාම දැන් ඒක ගැන කණගාටු වෙනවනෙ. ඒක හොඳ ගුණයක්. යන්න ගිහිල්ල ඔයාම චමත්ව යාළු කරගන්න. ඒක කොහොම හරි කරන්න ඕනෙ ඔයාම තමයි. මං හිතනව ඔයාට ඒක කරන්න පුළුවන් කියල." 

යන්නට සැරසුණු ශිෂ්‍යයාට විදුහල්පතිවරයා යළිත් කතා කෙළේ ය.

"හොඳයි දැන් ඔයා යන්න. හැබැයි චමත් එක්කම ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ල මං ගාවට එන්න  ඕනෙ. හැබැයි පුතෝ මට නං බෑ චමත්ට එන්න කියල පණිවිඩ යවන්න. ඔයාම තමයි ඒක කරන්න ඕනෙ. මේ අලුත් සරුත් ඔක්කොම අහගෙනයි හිටියෙ. දැන් ඔයා මේ වැරැද්ද හදා ගත්තෙ නැත්තං සරුත් හිතාවි අපොයි මමත් ඇවිල්ල තියෙන්නෙ වෙච්ච වැරැද්දක් වත් හදාගන්න දන්නෙ නැති ඉස්කෝලෙකට කියල. එතකොට ඕගොල්ලන්ටත් පල්ලෙක. ගුරු මණ්ඩලේටත් පල්ලෙක. මටත් පල්ලෙක." 

"ලොකු සර් ලොකු සර් මන් කතා කළාම චමත් ඒවි ද?"

ශිෂ්‍යයා විදුහල්පතිවරයාට මඳක් සමීප වෙමින් ඇසුවේ සෙමිනි.

"ඒක මන් දන්නෑ පුතා. ඒක තියෙන්නෙ ඔයාගෙ අතේ. හා හොඳයි ඔයා දැන් යන්න."

කුඩා සිසුවා විදුහල්පතිතුමාට වැඳ කාර්යාලයෙන් නික්ම ගියේ ය.

සමස්ත සිදුවීම දුටු ගඟුල් මහත් ගෞරවයෙන් බලා සිටියේ සරල ඇඳුමක් හැඳි මනා පෞරුෂයක් ඇති මේ ප්‍රසන්න මිනිසා දෙස ය.

විදුහල්පතිවරයා මේ ශිෂ්‍යයාට සැර වැර කෙළේ නැත. එහෙත් මුලදී එම ශිෂ්‍යයා තුළ කිසියම් බියමුසු ගතියක් ඇති වන සේ ඔහු හැසුරුණේ ය. ඒ ඔහු ම දෙවනු ව සිය චර්යාවෙන් කාරුණිකභාවය ද පළ කෙළේ ය. එසේ ම ශිෂ්‍යයාගේ හදවතෙහි ද විදුහල්පතිවරයා කෙරෙහි ඇති ආදර ගෞරවය හඳුනා ගන්නට ගඟුල් සමත් විය. අනතුරුව ඔහු විදුහල්පතිවරයාගෙන් මෙසේ ඇසී ය.

"සර්, සර්ගෙ ප්‍රධාන විෂය මොකක් ද? අධ්‍යාපන මනෝවිද්‍යාව එහෙමත් සර් කළා ද?"

"මම උපාධියට කළේ නං ආර්ථිකවිද්‍යාව. අර ඔයා අහපු අධ්‍යාපන මනෝවිද්‍යාව නං ඉගෙන ගෙන නෑ."

"ඒ උනාට සර් දැන් වැඩ කළේ ළමයින්ගෙ මනස වැඩ කරන හැටි ගැන හොඳ අවබෝධයකින්නෙ."

"ගඟුල් අපේ අම්මල තාත්තල කවුරුවත් ඔය කියන මනෝවිද්‍යාව ඉගෙන ගෙන නැහැනෙ. ඒත් ඒ ගොල්ලන්ට ජීවිතය ගැන තියෙන අවබෝධයත් එක්ක සංසන්දනය කළාම අපි කොච්චර පුංචි ද කියල හිතෙනව."

"ඒක නං ඇත්ත සර්. අපි වෙන කොහේවත් යන්න ඕනෙ නෑ අපේ ම ජීවිතවල අතීතයට එබිල බලන කොට සර් කියපු කාරණේ කොච්චර ඇත්තක් ද කියල හිතෙනව."

මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සිය ආදරණිය අම්මා ය. හයේ පන්තියට පමණක් ඉගෙන ගෙන ඇති අම්මා ඇතැම් විට දක්වන අදහසක් අය්යාගේත් තමාගේත් ජීවිත ආලෝකවත් කළ මාර්ගදර්ශක බවට පත්වූවා නොවේ ද? මේ මොහොතේත් ගඟුල්ගේ සිහියට නැඟුණේ එවන් ආලෝක ප්‍රකාශයකි.

"නොඑතිය යුතු ගසක වැලක් එතෙනවානං ඒක එතනින් මුදවල සුදුසු ගහකට යවන්න."

"අපේ අම්මගෙ මේ කතාව ම අපේ ශිෂ්‍ය දරුවන්ගෙ ජීවිත එක්කත් සම්බන්ධ කරන්න පුළුවන්නෙ. ඒ ගොල්ලො දැන් කරන්නෙ නොකෙරෙන්න ඕන වැඩ නං ගුරුවරු හැටියට අපි කරන්න ඕන ඒවට කේන්ති ගන්න එක නෙමෙයි අම්ම කිව්ව වගේ නොඑතෙන්න ඕන ගහෙන් මුදවල එතෙන්න ඕනෙ ගහට වැල යවනව වගේ මේ දරුවන්වත් නොකෙරෙන්න ඕන වැඩෙන් මුදවල කෙරෙන්න ඕන වැඩේට යොදවන එක." 

"ඔයා ලොකු කල්පනාවක වගේ ගඟුල්. ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනත් ඔයත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ."

ගඟුල් කල්පනා ලොවින් මෑත් වූයේ විදුහල්පතිවරයාගේ ඒ වචන ඇසීමත් සමග ය.

"සමහර මිනිස්සු ඉන්නව අවුරුදු ගාණක් ඇසුරු කළත් දුරස්ත ගතියක් දැනෙන. තව සමහර කෙනෙක් ව දැකල දවසයි දෙකයි හරි සමීප ගතියක් දැනෙනව. මට මේකට හේතු මොනවද කියල විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒක දැනෙන හැඟෙන දෙයක්. මං මේ ගඟුල්ව දකින දෙවෙනි දවස. ඒ උනාට ඔයාගෙ මොකක්දෝ මහ පුරුදු ගතියක් දැනෙනව. මේ නං ගුරු ජීවිතයට සුදුසු මනුස්සයෙක් කියන හැඟීම ඇති උනෙත් ගඟුල්ව දැකපු පළවෙනි මොහොතෙමයි."

"බොහොමත්ම පින් සර් ඔය විදිහට මං ගැන හිතන එකට. මන් ගුරු ජීවිතේට අලුත්. ඒත් මන් උපරිමෙන් ම වෑයං කරන්නං සර් මේ දරුවො වෙනුවෙන් මට පුළුවන් දේ කරන්න. මන් දන්නව මට තේරෙනව සර්ගෙ හිතේ මේ ඉස්කෝලෙ භෞතිකව දියුණු කරනවටත් වඩා වැඩි ඕනකමක් මේ දරුවන්ගෙ ජීවිත උසස් කිරීම සම්බන්ධයෙන් තියෙන බව. සර් මගෙ කොටස කියන්න. මන් ඒ කොටස කරන ගමන් අනික් අයගෙ කොටස් ඉටු කරන්න මට පුළුවන් සහයෝගෙ දෙන්නං."

"මට හරි සන්තෝසයි ගඟුල් ඔයාගෙ ඒ වචනෙට. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ ගුරුවරයා කියල කියන්නෙ කාට ද කියල කියවෙන ලස්සන ප්‍රකාශයක්. ඉන්දියාවෙදි ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ දේශනයක් අහගෙන හිටපු ස්වාමි වෙන්කටේශානන්ද  කියන පඬිවරයට දැනෙනව මේ ක්‍රිෂ්ණමූර්ති කියල කියන්නෙ වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවී මහ පෘථුල අර්ථයකින් ලෝකයටම ගුරුවරයෙක් වන උත්තමයෙක්ට නේද කියල. වෙන්කටේශානන්ද විශිෂ්ට සංස්කෘත පඬිවරයෙක්, මහා භාෂාඥයෙක්. එතුමා කියන විදිහට නොදැනීම කියන අඳුර යි ගු යන්නෙන් අර්ථවත් වෙන්නෙ. රු යන්නේ දුරු කරන්නා යන අර්ථෙ තියෙනව.එහෙම නං ගුරුවරයා කියල කියන්නෙ නොදැනීම කියන අන්ධකාරය නැති කරන කෙනාට. එයාට අයිතියක් නෑ අන්ධකාරෙ පතුරවන්න." 

"අපිට අපිව දකින්න සලස්සන කතාවක්නෙ සර් මේ. සර්ට පුළුවන් ද ඕකෙ මුල් ප්‍රකාශෙ හොයල දෙන්න." 

"හොඳ මිනිස්සු, හොඳ දේවල්, හොඳ ගීත, හොඳ කවි මතක හිටිනව වගේ හොඳ ප්‍රකාශත් මතක හිටිනව. මේකෙ හොඳම තැන ක්‍රිෂ්ණමූර්තිතුමා දේශනේ ඉවර කළාට පස්සෙදි අර පඬිවරය අර සභාවෙදි ම මේ ප්‍රකාශෙ කිරීම යි. එයාගෙ වචනවලින් ම කිව්වොත් ඒක මෙහෙමයි ගඟුල්."

Etymologically the word guru means the remover of ignorance. 'Gu' stands for the darkness of ignorance and 'Ru' for its remover. So anyone who removes ignorance is a guru.

"මේක සර් සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම ගහල ඉස්කෝලවලයි විශ්වවිද්‍යාලවලයි කාටත් පේන තැනක එල්ලල තියන්න ඕන ප්‍රකාශයක්නෙ." 

"අන්න බලන්න මං කිව්ව එක හරිනෙ. ඔයා නං ගුරු ජීවිතේට සුදුසු මනුස්සයෙක් කියල. ඔයා දැන් මේ කියපු කතාවත් එක්ක තවත් අපි කරන්න ඕන වැඩක් ගැන මට අදහසක් ආවා."

"ඒ මොකක් ද සර්." ඒ ගඟුල් ය.

"ඇයි දැන් ඔයා කිව්වෙ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ අර ප්‍රකාශෙ ගහල කාටත් පේන තැනක එල්ලමු කියල. ඒක මට කලින් හිතිල තිබුණෙ නෑ. ඒත් දැන් ඒක විතරක් නෙමෙයි ඒ වගෙ ලස්සන අර්ථවත් ප්‍රකාශ අපිට පුළුවන්නෙ මේ ඉස්කෝලෙ ඒවට ගැළපෙන තැන්වල ගහන්න. එතකොට ඒව ගුරුවරුත් දකිනව, ශිෂ්‍යයොත් දකිනව, අපිත් දකිනව. විශේෂයෙන් අපිට අපිවම දැක ගන්න, අපේ මෙහෙවර ගැන ගැඹුරින් හිතන්න ඒ ප්‍රකාශ උදව් වේවි." 

"කොච්චර වටින අදහසක් ද සර් ඒ."

"ඔව් වටින අදහසක් නම් තමයි. හැබැයි ඒකෙ ගෞරවය නං හිමි වෙන්න ඕනෙ ඔයාටයි ගඟුල්."

"ඉතිං සර් සර්මනෙ ඒ අදහස කිව්වෙ."

"අදහස් කියන ඒව අපිට අයිති නෑ ගඟුල්. හැමදාම ලෝකෙ සුන්දර අදහස් තිබුණා. අදත් තියෙනව. මම හිතන්නෙ අපේ කාර්යය ඒ කියන්නෙ ගුරු කාර්යය තමයි ඒ අදහස් අපේ ශිෂ්‍ය ප්‍රජාවට දෙන එක. ඒ විතරක් නෙමෙයි අපට ඉඩ ලැබෙන හැම වෙලාවකදිම ඒව සමාජගත කරන එක. මේ ඉස්කෝලෙට ගුරුවරුයි ළමයිනුයි විතරක් නෙමේනෙ ගඟුල් එන්නෙ. නොයෙක් වෙලාවට දෙමව්පියොත් එනව. හිටපු ගමන් අධ්‍යාපන නිලධාරිනුත් එනව. උත්සව දවස්වලට දේශපාලනඥයොත් එනව. අඩු ගානෙ ඒ අයත් මේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙ ප්‍රකාශ දැකල මොනව හරි ඉගෙන ගනීවිනෙ. මේක අපි අද හෙට ම පටන් ගන්න ඕන වැඩක් ගඟුල්."

"ලොකු සර් මේ ඉස්කෝලෙ කාගෙත් ආදරයට ගෞරවයට ලක්වෙච්ච වැඩිහිටි සර් කෙනෙකුට හරි මැඩම් කෙනෙකුට හරි වැඩේ බාර දෙන්න. මන් සර් පැත්තකින් ඉඳන් කරන්න ඕන වැඩ ටික කරන්නං."

"ඔයා ඔහොම කතා කරන එක ගැන මට හරි සතුටුයි ගඟුල්. මොකද ඔයා මේ කතා කරන්නෙ වැඩක් කරන්න උදව් වෙන්න මිසක් ඒ වැඩේ කළේ ඔයා කියල බෝඩ් එකක් ගහගන්න නෙමේ කියන එක ඒකෙන් පේනවා. මට මෙතන හදා ගන්න ඕන කරන්නෙ ඔන්න ඔහොම මිනිස්සු. ඔය වචන ටික මට ඔය විදිහටම කියපු තවත් ගුරුවරියක් ඉන්නව මෙහෙ. ගුරුවරියක් කිව්වට මට දැනෙන්නෙ  තවම පොඩි කෙල්ලෙක් විදිහට. මගෙ පොඩි දුවගෙ වයසෙ. අවුරුදු විසි හතරයි. අවුරුදු විස්සක් තිහක් මේකෙ උගන්නපු ගුරුවර ගුරුවරියන්ට වඩා ළමයි මේ පොඩි කෙල්ලට ආදරෙයි. උසස් පෙළ පන්තියෙ නාහෙට අහන්නැති කොල්ලො කෙල්ලොත් මෙයාට සරෙන්ඩර්."

"සර් ඒ මිස්ගෙ නම මිහිදිනී ද?"

"ඔව් මිහිදිනී තමයි. ගඟුල් අඳුනනව ද කලින් මිහිදිනී ව."

විදුහල්පතිතුමා ඇසුවේ පුදුමයෙන් මෙනි.

"අනේ නෑ සර් මට මේ දවස් දෙකට ඇහිච්ච දේවල් එක්කයි එහෙම හිතුවෙ."

ඒ කිව්වෙ ගඟුල්. 

"සර් මං ආපු පළවෙනි දවසෙම උසස්පෙළ පන්තියෙ කියල හිතන්න පුළුවන් ගෑණු ළමයි තුන් දෙනෙක් කතා කරන දේවල් මට අහම්බෙන් වගේ අහන්න ලැබුණා. ඒ ගොල්ලො කිව්වෙ අපි ඉතින් එපා කරපු පන්තියෙ ළමයිනෙ. අපිට කැමති ගුරුවරු කියල කියපු නම් දෙක තුන අතරෙ ඔය මිහිදිනී කියන නමත් තිබුණ. ඒ නමේ තිබිච්ච වෙනස් වගේම අලුත් ගතිය නිසා මට ඒ නම මතක හිටිය. ඒ වගේම දැන් ටිකකට ඉස්සෙල්ල මෙතනින් ගිය පුතා කිව්වෙත් අපිට සඳමාලි මිස් මිහිදිනී මිස් කතා කරන්නෙ පුතා කියලයි කියලා. සර් කියපු හැටියට සඳමාලි මිස් කියන්නෙ පන්ති බාර මිස් කෙනෙක්. විදුහල්පතිවරයෙක් සාමාන්‍යයෙන් පන්තියක් බාර දෙන්නෙ ටිකක් හරි වයසින් වැඩි කෙනෙකුට. ඉතිං මිහිදිනී කියන්නෙ අවුරුදු විසි හතරක කෙනෙක් නං සර් කියපු කාරණා එක්ක ගළපන්න පුළුවන් ඒ මිස් ම තම යි."

"ගඟුල් ගොඩක් දුරට හිතල තියෙනවනෙ. ඒ ළමය ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්. ඒ වගේම වයසෙ හැටියටත් වඩා ඉංග්‍රීසි සිංහල පොතපත කියවපු - කියවන ළමයෙක්. ගඟුල්ට ඒ ළමයා අඳුන ගත්ත දවසක තේරේවි ඒ ළමය කොච්චර බුද්ධිමත් හොඳ ළමයෙක් ද කියන එක. ඔයා මායා රන්ජන් ගැන තාගෝර් ගැන ටොල්ස්ටෝයි ගැන ස්වාමි විවේකානන්ද ගැන මේ කෙල්ලත් එක්ක කතා කරන්න ඒ හැම කෙනෙක් ගැන ම මේ කෙල්ලට කියන්න දෙයක් තියෙනවා. මේ ළමයත් එක්ක කතා කළාම අපිත් අලුත් වෙනව."

"ආ ඒ වගේම ගඟුල්  ඔයා කලින් කියපු කාරණෙත් එක්ක - ඒ කිව්වෙ බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන්  කෙනෙක් ගැන කියපු ගමන් මගෙ ඔළුවට ආවෙ තෙන්නකෝන් සර්ව. මන් ඒ සර්ට කියන්නං වගකීම බාර ගන්න. ගඟුල් ඒකට උදව් කරන්න. මන් මිහිදිනීටත් කියන්නං උදව් වෙන්න කියල. ඒ ළමයත් හොයලා දේවි මේකට එකතු කරන්න පුළුවන් දේවල්. මං අදම තෙන්නකෝන් සර්ව දැනුවත් කරන්නංකො."

මෙසේ කියා මඳ වෙලාවක් නිහඬ ව සිටි විදුහල්පතිවරයා අනතුරුව යටකී ගුරුවරයා ගැන කතා කෙළේ ඉමහත් හැඟීමකිනි.

"ඒ සර් වෙලාවකට මට ගුරුවරයෙක් ගඟුල්. ගොඩක් වෙලාවට කල්‍යාණ මිත්‍රයෙක්. අපේ ධම්මපදයේ එන එක ගාථා පාඨයක් දකිද්දි මට මතක් වෙන ජීවමාන නිදර්ශනේ තමයි තෙන්නකෝන් සර්."

"මොකක් ද සර් ඒ ගාථාව. මමත් සැරින්සැරේ කියව කියව තේරුන් ගන්න උත්සහ කරන පොතක් තමයි ධම්මපදේ. මන් කැමතියි සර්, සර් කියන ඒ ගාථාව දැනගන්න."

"නිධීනංව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං

නිග්ගහ්‍යවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ

තාදිසං භජමානස්ස - සෙය්‍යෝ හෝති න පාපියෝ"

"ඒකනං හරිම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක් තමයි සර්"

"ඉතිං සර් ඒකෙ තේරුමත් කියන්නකො."

මෙසේ පැවසුවේ සිය අසුනේ රැඳී ලිපියක් සකස් කරමින් සිටි නිම්මී ය.

"දැක්ක නේද ගඟුල් මේකි අතන ඉඳගෙන හිටියට කන තියෙන්නෙ මෙහෙ. අම්මප මේකිට හොරෙන් මෙතන හොඳ දෙයක් වත් නරක දෙයක් වත් කතා කරන්න බැරි හැටි. හරියට හාඩ් ඩිස්ක් එකක් වගේ. දාගන්නව ඔක්කොම එයාගෙ හාඩ් ඩිස්සෙකට."

විදුහල්පතිතුමා ගඟුල් දෙසට හැරී එසේ පැවසුවේ සිනාසෙමිනි.

"ඉතිං දවසක් ලොකු සර්මනෙ අපිට කිව්වෙ හිඟන්නෙක්ගෙන් හරි හොඳ දෙයක් නං ඉගෙන ගන්න. නරක දෙයක් නං ඒක කිව්වෙ මහාචාර්යවරයෙක් උනත් හිතට ගන්න එපා කියලා."

"ආ එහෙනං කියමු බලන්න ඔය තරුණ නෝනා එහෙම ඉගෙන ගත්ත එක දෙයක් මේ ගඟුල් සර්ට ඇහෙන්නත් එක්ක."

"එහෙනං මං ලොකු සර් කියපු දෙයක් ම කියන්නං ගඟුල් සර්."

"මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සෙල්ල දවසක හවසක අපේ මේ ලොකු සර් ගමනක් යන්න පානදුරේ බස්සෙක එනකං බලාගෙන ඉඳල තියෙනව නුගේගොඩ හන්දියෙ. එදා හරි සැරට වැහපු දවසක්. මේ වැස්සෙ තෙමි තෙමී ආව අන්ධ හිඟන තරුණයෙක් හිඟමං ඉල්ලල තියෙනව. ඒ වෙන කොට ඊට කලිනුත් හිඟන අය කීප දෙනෙක් ම ආපු නිසා දෙන්නෙක්ගෙන් විතරයි එයාට සල්ලි හම්බ වෙලා තියෙන්නෙ. එහෙම දුන්න දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අපේ මේ ලොකු සර්. " 

නිම්මි එසේ කියා ආඩම්බරයෙන් බැලුවේ විදුහල්පතිතුමා දෙස ය.

"හරි හරි මගෙ වර්ණනාව තියල උඹේ කතාව කියපන්කො."

"ඊට පස්සෙ ඒ යාචක තරුණයා දීපු නොදීපු ඔක්කොටම තමන්ගෙ ගෞරවය පළ කරල මුලින් ම මෙහෙම කියල තියෙනව."

"අසරණ දනට සිය දෝතින් සදන සුවේ

ඔබ නැතිදාට ජීවත් විය හැකි ද ලොවේ"

"මේක අහපු නුදුන්නු අයටත් හොඳට ම දුක හිතිල තියෙනව.  එයා කිව්ව කවියක අන්තිම පේළි දෙක තමයි මට ගොඩක් ම දැනුණේ." 

"ඒකත් කියන්න නිම්මි."

නිම්මිගේ කතාවට සාවධාන ව සවන් දී සිටි ගඟුල් පැවසීය.

"ඒක මෙන්න මෙහෙමයි සර්" 

"කාගේ වුව ද හොඳ ගුණයට ගරු          කරමු 

මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙස මැරෙමු"

"ලොකු සර් ආයි කියල වැඩක් නෑ මේ නිම්මි මේක එයා ලබපු අද්දැකීමක් වගේ ම පණ පිහිටුවල කිව්වනෙ."                   

"ඇත්ත ගඟුල් ඇත්ත. මේ ළමය හරි දක්ෂ ළමයෙක්. මෙයා හොඳ කාර්යාලෙක ලියුම් ලිය ලිය ඉන්න නෙමෙයි, සිංහල සාහිත්‍යයයි නාට්‍ය හා රංගකලාවයි උගන්නන්න."

"ඒක නං හරි ඇත්ත සර්."

"ඒක ඇත්ත උනාට ගඟුල් අපිට ඒ ඇත්ත ක්‍රියාත්මක කරන්න විදියක් නෑනෙ. මට බලයක් තිබ්බනං මං කරන්නෙ ඔය උගන්නන්න ආස නැති ගුරුවරයෙක් නිම්මිගෙ සීට්ටෙකට දාල මේ කෙල්ලට උගන්නන්න දෙන එක."

"ඊළඟ ආත්මෙවත් ගුරුවරියක් වෙන්න මට ලැබේවා කියල තමයි ලොකු සර් මං ප්‍රාර්ථනා කරන්නෙ."

නිම්මි ඒ වචන පැවසුවේ වේදනාත්මක ස්වරයකිනි. ගඟුල් කරුණාබර දෑසින් ඇය දෙස බලා සිටියේ ජීවිතයේ ප්‍රාර්ථනා කඩ වූ බාල සහෝදරියක දෙස බලා සිටින ආදරණීය වැඩිමහල් සහෝදරයකු මෙනි. තමාට පියෙකු මෙන් දැනෙන විදුහල්පතිවරයා දෙසට හැරුණු නිම්මී මෙසේ පැවසුවා ය.

"ඉතිං ලොකු සර් අර ගාථාවෙ තේරුම කිව්වෙ නැහැනෙ."

"ඒකෙ තේරුම මේකයි ළමයො. බුදු හාමුදුරුවො අපට කියන්නෙ නිදානයක් පෙන්නන කෙනෙක් වගේ අපේ වරද දකින ඒ වගේ ම එහෙම වැරදි කරන්න එපා කියල අපට තරවටු කරල අවවාද කරන ප්‍රඥාවන්තයෙක් ව ම ආශ්‍රය කරන්න කියල. ඒ මොක ද එහෙම කෙනෙක් ඇසුරු කරන කෙනාට කවදාවත් නරකක් නොවෙන නිසයි."

සමන් සිත්තරා විසින් පුරවන ලද්දේ මේ දුර්ලභ කල්‍යාණ මිත්‍ර ප්‍රඥාවන්තයාගේ හිස්තැන නොවේ ද? පැනසර සොඳුරු සිදුවීම් වන විට එසොඳුරු චරිතය පිළිබඳ වන ආදරණීය ස්මරණ හදගැබ වෙත ගලා ඒම කෙසේ නම් වැළැක්විය හැකි දැයි ගඟුල්ට සිතිණ. එදින ඔහු පාසල් බිමින් නික්ම ආවේ තමාට පමණක් නොව ඇසුරු කළ කාටත් ජීවත් වීමේ කලාව කියා දුන්, සත්‍ය වූ ආදරය අන් කිසිවකින් නොව සිය ජීවන චරණයෙන් ම ඉගැන්වූ, අඳුර ඇති තැනට ආලෝකය ම ආදේශ කළ වරෙක තෙදවත් හිරු මඬල සේ ද, තව වරෙක මුදුවත් සඳ මඬල සේ ද දැනෙන ඒ සදාදරණීය ගුරු සහෘදයා පිළිබඳ වන සුපහන් හැඟුමින් හද පුරවා ගනිමිනි.

"ඔබගේ ජීවිතය මා දුටු     කලාවයි

ඔබගේ ආදරය මා දුටු        අමාවයි

ඔබගේ වචන ආලෝකයෙ උදාවයි 

හිරු සඳු දුටිමි එක තැන වාසනාවයි"