Sunday, July 20, 2025

133. ගුරු දියවර 46 - සමන් චන්ද්‍ර රණසිංහ

 ලංකා - භාරතී  කවි ගඟ      ගලන සඳ

මතු වෙයි මාලනී, ඉතිහාස    නුබ මැද

නොබෝදා දේශයට අහිමි වී ගිය කීර්තිශේෂ භාවෝපගත, සාහිත්‍යසූරී   කලාභූෂණ සම්මානිත මහාචාර්ය  මාලනී ඇඳගම ඉසොඳුරු ගුරු තාරකාව වෙත මෙවර ගුරුදියවර කුසුමාඤ්ජලියක් කොට පුද දෙමි.

අසීමිත ආදරයෙනි, අපරිමිත ගෞරවයෙනි.

                                    ගුරු දියවර 45




ඍතුර්ව්‍යතීතඃ පරිවර්තතේ පුනඃ - ක්ෂයං ප්‍රයාතඃ පුනරේති චන්ද්‍රමාඃ
    ගතං ගතං නෛව තු සංනිවර්තතේ - ජලං නදීනාඤ්ච නෘණාං ච  යෞවනම්

ඍතු නික්ම යයි; පෙරළා පැමිණෙයි. සඳ ක්ෂය ව යයි; නමුදු යළිත් එයි. එහෙත් නදී ජලයත් මානව යෞවන භාවයත් ගියොත් ගියා ම ය. පෙරළා නොපැමිණෙයි.
මිහිදිනී මග එයි. ඇය ගනු පිණිස මහරගමට යාම සඳහා ය, ගඟුල් පිටත් වූයේ. කාලය ගෙවී ඇත්තේ කොතරම් ඉක්මණින් ද? බාහිර උපාධියේ ප්‍රථම වර්ෂය සාර්ථක ව නිමා කළ පාසල් පද්ධතියේ ආචාර්යවරුනට ලැබෙන විශේෂ වරප්‍රසාදය අනුව මිහිදිනී දෙවැනි වසරේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යාවක බවට පත්වීමේ භාග්‍යය ලැබුවා ය. ඇය සමග එවන් සාමර්ථ්‍යයන් ලද පාසල් පද්ධතියේ විසි දෙදෙනකුට එම අවස්ථා හිමි විය. ඒ අනුව ඒ අයට වසර දෙකක වැටුප් සහිත නිවාඩු හිමි විය. එසේ නිවාඩු ලද ගුරු පර්ෂදයෙන් වැඩි දෙනෙක් තෙවැනි වසර දක්වා සාර්ථක ව සිය සාමාන්‍ය උපාධි පාඨමාලා හදාරා තම තමන්ගේ පාසල්වලට පෙරළා පිටත් ව ගියහ. සාමාන්‍ය උපාධියෙන් උපරිම ලකුණු ලබා ගත් පස් දෙනෙකුට සිවුවැනි වසරේ ශිෂ්‍යයන් වශයෙන් ලියාපදිංචි වී විශේෂ උපාධිය හැදෑරීමට ඉඩ ලැබිණ. එයින් දෙදෙනෙක් ද තමන්ගේ පවත්නා තත්ත්ව යටතේ සාමාන්‍ය උපාධියෙන් සෑහීමට පත් ව නික් ම ගියහ. වැටුප් රහිත ව තවත් වසරක් අදාළ නිවාඩුව ලබා ඉගෙන ගැනීමට නතර වූ එක් ගුරු ශිෂ්‍යයෙක්  ද ගුරු ශිෂ්‍යාවෝ දෙදෙනෙක් ද වූහ. මිහිදිනී නියෝජනය කෙළේ එම කණ්ඩායම යි.

අද මිහිදිනීගේ කතාව යි. එහෙත් ඒ කතාව ඉදිරියට ගලා යන්නේ ගඟුල් ද සමග ය. එසේ ම විදුදය සරසවියත් සමග ය. 

ඉංග්‍රීසි විෂය යටතේ ගෞරව උපාධිය ලැබීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද නැතිනම් සාමාන්‍ය උපාධියෙන් සෑහීමට පත් ව පෙරළා පාසලට සේවය කිරීම සඳහා යනවා ද වශයෙන් තමා තුළ වූ අවිනිශ්චිතය නිශ්චිතයක් කිරීම උදෙසා මැදිහත් වූයේ තමාට ගැඹුරින් ම ආදරය කරන තමා ද පෙරළා හදවතින් ම ආදරය කරන ගෞරව කරන සහෘදය චරිත දෙකකි. මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයෙන් විශිෂිටාකාරයෙන් සමත් ව, සුමනා හේරත් මැතිනිය විශ්‍රාම යාමෙන් පසු නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් පත් වූ රේණු අක්කා ඉන් එක් අයෙකි. අනික් චරිතය තමා තවදුරටත් උගත යුත්තේ තමා සඳහා නොව ලෝකය උදෙසා ය යන කරුණ නිබඳ අවධාරණය කරන හෘදයසන්නිවාසී ගඟුල් ය. මිහිදිනී අද මේ යන්නේ ඔහු සමග සිය උපාධි නිබන්ධ මාතෘකාව පිළිබඳ ව ඔහුගේ ආචාර්යවරයා සමග කරුණු සාකච්ඡා කිරීම සඳහා ය. යන අතරමගදී ඇයට සිහිපත් වූයේ තමා විශේෂ උපාධිය කිරීමට තේරී පත් වූ මොහොතේ රේණු අක්කා පැවසූ වචන යි.  

“නංගි, උඹ ඉංග්‍රීසි ගෞරව උපාධිය කරන්නම ඕනෙ. වැටුප නැති එක ප්‍රශ්නයක් කරගන්නම එපා. මේ උඹේ අක්කා ඉන්නවා උඹට උදව් කරන්න බලාගෙන. මන් දන්නවා මම ඔය විෂයෙන් ගත්ත විශේෂ උපාධියට මම බරක් දුන්නෙ නැතිවට මේ සමාජෙ ගොඩක් දෙනා ඒකට බරක් දෙන හැටි. මගෙ කණට ම ඇහිලා තියෙනවා මම විදුහල්පති රැස්වීම්වලට ගියාම අර නාගොල්ලාගම ප්‍රින්සිපල් මැඩම් ඉංග්‍රීසි ගෞරව උපාධියක් කරපු කෙනෙක් කියන එක මතු කරනවා. ඇයි බන් අනික් විෂයන් විෂයන් නෙමෙයි ද? මු් අමතකයි සුද්දො මේ රටට ඇවිල්ලා අපිව යටත් කරලා අපේ සම්පත් උන්ගෙ රටට හූරගෙන ගියා ය කියන කාරණේ. මේක මහ පුදුම ලෝකයක් බන්. මන් උඹට සහෝදරියක් හැටියට කියන්නෙ උඹ ඕකට යන්න ඕනෙ කියන එක. ඒක අහන්නෙ නැත්නං නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ වර්තමාන ගරු විදුහල්පතිනිය හැටියට මන් උඹට තර්ජනය කරනවා උඹ ඕකට යන්න ම ඕනෙ කියලා. ඒ වගෙම දැනගනින් මන් ගඟුල් ලව්වත් උඹට තර්ජනය කරවන බව.”

ඒ මොහොතේ තමා පැවසුවේ ගඟුල් පවසන්නේ ද රේණු අක්කා කී වචන ම බව ය. ඒ මොහොතේ තමාගේ පිටට තදින් නමුත් ආදරයෙන් පහරක් ගසමින් රේණු අක්කා පැවසුවේ පහත සඳහන් වචන යි.

“ඉතින් මෝඩියෙ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින්. ඔය කියන විදිහට උඹට එක පඩියක් නොලැබුණාට දැන් දෙන්නෙක් ම උඹට පඩි ගෙවන්න බලාගෙන ඉන්නවනෙ. පිස්සු නැතුව ඕක කරපන් නංගි. දැන් කොහොමටත් උඹලා දෙන්නා එක කිට්ටුවක ඉන්න එක උඹලා දෙන්නට ම හොඳයි. මන් මෙහෙ වැඩ බලා ගන්නම්. උඹ පලයන් නංගි මම උඹට ආශිර්වාද කරනවා.”

එවේලෙහි තමා කෙළේ වරෙක තමාට මිතුරියක සේ ද තව වරෙක දෙටු සොයුරියක සේ ද සිය ජීවිතයේ තීරණාත්මක අවස්ථාවල දී ආදරණීය අම්මා සේ ද දැනෙන මේ උතුම් ගැහැනිය පාමුල වැඳ වැටීම ය. එවේලෙහි ඇය ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය ද මිහිදිනීගේ දෑසට මේ මොහොතේ පවා කඳුළු නංවයි. තමාට වඳින මිහිදිනිය  එසවූ රේණු ඇය තදින් වැළඳ ගත්තේ කල්‍යාණමිත්‍ර ප්‍රේමයෙනි, සහෝදර ප්‍රේමයෙනි, මාතෘ ප්‍රේමයෙනි. අනතුරුව මිහිදනීගේ දෑසටත් වඩා තෙත් ව තිබුණේ රේණුගේ දෑස යි.

රියපොළක රිය නවත්වා ගඟුල් සිටියේ මහරගම බෝ සෙවණේ ය. ඈත සිට ම සිය සුප්‍රිය සහෘදයා දුටු මිහිදිනීට සිතුණේ ගඟුල් යනු ද බෝ සෙවණක් නොවන්නේ ද කියා ය. ඇය ඔහුට සමීප වූයේ මෙසේ අසමිනි.

“ඔයා ගොඩක් වෙලා බලන් හිටිය ද? මන් ඊයෙ ඉස්කෝලෙටත් ගිහිල්ලයි ආවෙ. කට්ටිය මට විහිලු කරනවා මිහිකත යළි යළිත් ගඟුල සොයා යන්නට හේතු හදා ගන්නව ද කියලා.”

“ඉතින් මිහිදිනී මෙහෙ තත්වෙත් වැඩි වෙනසක් නැහැ. ඔයා දන්නව ද මන් අපේ මිහිදිනී මිසුත් එක්ක එයාගෙ උපාධි මාතෘකාව සාකච්ඡා කරන්න අද සර්ලගෙ ගෙදර එන්න ද කියලා ඇහැව්වහම සර් මොකක් ද කිව්වෙ කියලා.”

“ඇයි අපේ සර් මොකද කිව්වෙ.

ආ මිහිදිනී මිස් එක්ක ද ගඟුල් එන්නෙ. හා හා හොඳයි ඔයා එහෙනම් මිහිදිනී මිසුත් එක්ක එන්නකො.”

“ඒ ඉතින් සර් ශිෂ්‍යයන්ට උනත් ගරු නම්බු දීලා කතා කරන්න පුරුදු වෙලා තියෙන නිසානෙ.”  

“ඔව් සර් එහෙම කෙනෙකුත් තමයි. ඒ උනාට මිහිදිනී දැක්ක නං ඒ වෙලාවෙ සර්ගෙ කට කොණකට නැගිච්ච හිනාව. ඒ හිනාව ම තමයි මන් ඊයෙ හවසත් දැක්කෙ. මන් විශ්වවිද්‍යාලෙන් එන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා සර් හම්බ වෙන්න ගියහමත් අර හිනාවම මූණෙ තියාගෙන සර් මට කිව්වෙ එහෙනං ගඟුල් හෙට ඔයා අපේ ගෙදර එනවා නේද අර කියපු මිහිදිනී මිසුත් එක්ක. ඒ හිනාවෙ අර ඔයා කියන ගෞරවාර්ථෙ නං තිබ්බෙ නැහැ. ඒ වගෙම උපහාස අර්ථෙකුත් තිබ්බෙ නැහැ. ඒකට මට කියන්න පුළුවන් ආදරයත් එක්ක මුසු වෙච්ච පවිත්‍ර හාසයයක් කියලා.”

“එහෙනං මන් හරියට ම කියන්න ද ඒ හිනාවෙ මොකක් ද තිබුණෙ කියලා.”
මිහිදිනී එසේ පැවසුවේ ද ආදරණීය සිනාවක් සෙමිනි.

“හරි කියන්න බලන්න.”

“ඒ පාර ඔයත් පටන් ගත්තා හිනාවෙන්න. ඔව් අපේ සර්ගෙ ඒ හිනාවෙ තිබුණෙ අපි දෙන්නට ම තියෙන ආදරය තමයි.”

“හරි හරි ඔහොම අමුතු විදිහට මා දිහා බලන්න එපා. අපි සර්ලගෙ ගෙදරට මොනවා හරි අරගෙන දැන් යමු.”

“මොනවා අරන් ගියත් සර්ගෙන් බැනුම් අහන්න වෙනවා සල්ලි අරගෙන එක එක ජාති අරන් එනවා කියලා. ඒක නිසා මන් සල්ලි දීලා මුකුත් ගත්තෙ නැහැ. ඔයා මොකුත් ගන්න ඕන කරන්නෙත් නැහැ.”

“එතකොට අනේ අපි හිස් අතින් ද සර්ලගෙ ගෙදර යන්නෙ.”

“නෑ නෑ හිස් අතින් නෙමෙයි. ඔයාගෙ අතේ ඔය සටහන් පොත් එහෙම තියෙනවානෙ. මන් ගෙදර වත්තෙ අඹ කෙසෙල් එහෙම ගත්තා සර්ට ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි අපේ අම්මා අළුවා පාර්සලයක් හදලා දුන්නා සර්ලට ගෙනියන්න.”

“ඇයි මට එක අළුවා කෑල්ලක් වත් ගෙනාවෙ නැද්ද ඔයා.”

“ඇත්තම කියන්න මිහිදිනී මට ඔයාට එක අළුවා කෑල්ලක් ගේන්න මතක් උනේ නැහැනෙ. ඒත් අපේ අම්මා මෙන්න මේ පාර්සලේ දුන්නා අර ළමයට දෙන්න කියලා.”

“අන්න දැක්ක ද ඔයාට අමතක උනාට අම්මට මාව අමතක වෙන් නෑ හරි ද?”

“හැබැයි මිහිදිනී අම්ම අර ළමයට දෙන්න කිව්වට අම්මා නමක් ගමක් නම් කිව්වෙ නැහැ. මාත් මේ තාම කල්පනා කරන්නෙ අර ළමයා කියන්නෙ කාටද කියලා. මොකද අර ළමයා හොයා ගෙන එපායැ මේ අළුවා පාර්සලේ එයාට දෙන්න.”

“කෝ දෙන්න ඕක මෙහාට. නමක් ගමක් කියන්න ඕනෙ නැහැ. අම්මා අර ළමයා කියන්නෙ මට තමයි. මේ ළමයා අන්න ඒක හොඳට මතක තියා ගන්න හොඳ ද? ”

“හරි හරි මතක තියා ගන්නංකො. දැන් අපි යමුකො වාහනේට.”

විනාඩි පහළොවක රිය ගමනින් පසු මේ දෙදෙනා සිටියේ සිය ආචාර්යවරයාගේ නිවහන දොරකඩ ය. රිය හඬ අසා එළිමහනට පැමිණි ඔහු සිනාසෙමින් මෙසේ පැවසීය.

“එන්න ගඟුල්. ඔයා කිව්ව අපේ මිහිදිනී මිස්වත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.”

ඒ මොහොතේ එළිමහනට ආ ආචාර්ය පතිනිය මිහිදිනීගේ අතින් අල්ලාගෙන නිවහන ඇතුළට කැඳවාගෙන යන ආකාරය දෙස ගඟුල් බලා සිටියේ ආදරයෙනි.   

“අපි මේ කෙල්ල ගැන අහලා තිබුණට අදනෙ දැක්කෙ. උදේට කාලා නැත්තං කාලම වැඩ පටන් ගන්න පුළුවන්. කොහොමටත් කෙල්ලෙ ඔයාගෙ වැඩේට සෑහෙන වෙලාවක් ගනීවි සර්. ඔන්න අපි දවල් කෑම ලෑස්ති කරනවා ඔය දෙන්නටත්.”

“අනේ මැඩම් කරදර වෙන්න එපා. අපිට කෑම හදන්න මහන්සි වෙන්නත් එපා.”

මිහිදිනී එසේ පවසද්දී ගඟුල් පැවසුවේ ඊට වෙනස් කතාවකි.

“මැඩම් මෙයා දැන් ඔහොම කිව්වට එන ගමන් කිව්වෙ නං වැඩ පටන් ගන්න කොට මොනවා හරි කන්න දීලා තේත් දීලා දවල්ට කන්නත් දේවි නේ ද කියලා. අපි දවල් වෙනකන් බොරුවට පරක්කු වෙවි වැඩේ ඇදගෙන යමු කියලයි මෙයා කිව්වෙ.”

“අම්මෝ මෙයා ගහන පච. අනේ මැඩම් මන්නං එහෙම කිව්වෙ නැහැ.”

“ඒ උනාට මැඩම් ඇත්තම කියනවනං මන් නං එහෙම කිව්වා. මෙයා උසස් කෙනෙක් නිසා මෙහෙන් කෑම ගන්න එකක් නැහැ. එ උනාට මන්නං වෙනදා වගේ මෙහෙන් කාලම තමයි යන්නෙ.”

“හරි හරි ගඟුල්ට ඕන එකක් කියන්න ඇරලා අපි යන් දුවේ ඇතුළට.”

බලන්ඩකො සර් මෙච්චර දවසක් මෙහෙ ආව ගිය මම නිකන්ම නිකන් ගඟුල්. ආපු පළවෙනි දවසෙම එයා දුව. ”
එහෙත් ගඟුල් මේ වචන පැවසුවේ අනාදරයෙන් නම් නොවේ.

කෙටි විරාමයකින් පසු ආචාර්යවරයා, ගඟුල් සහ මිහිදිනී යන තිදෙනා අතර උපාධි නිබන්ධයට අදාළ විෂය සංකථනය ඇරඹිණ. ආචාර්ය පතිනිය එතැනින් නික්ම ගියේ අවශ්‍ය ඕනෑම මොහොතක තමාට කතා කරන මෙන් දන්වා හෙට දවසේ ලකුණු බාරදිය යුතු පිළිතුරුපත්වල ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා ය.

”හරි දැන් මිහිදිනී ඔයා දුවේ මේ වෙන කොට මාතෘකාවක් තෝර ගෙනනෙ තියෙන්නෙ. මම ඒ ගැන අපේ ගඟුල්ට යම් කාරණා ටිකක් කියලා තියෙන්නෙ. ඒත් මන් කැමතියි මේ වැඩේ කරන කෙනාම ඒ ගැන යම් අදහසක් කියනවනං.”

”සර් මන් හිතුවෙ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ නිර්මාණ කීපයක් අරගෙන අපේ සිංහල කවියෙක්ගෙ නිර්මාණත් සම්බන්ධ කරගෙන සන්සන්දනාත්මක අධ්‍යයනයක් කරන්න.”

“හරි ඔයාගෙ ප්‍රවේශය හොඳයි. තාගෝර්තුමා ඔයාගෙ විෂයට ඍජු ව ම අදාළයි. ඒක හරි. දැන් ඔයා මට ඔයා කියන්න ඔයා මේ වැඩේට සම්බන්ධ කරගන්න හිතපු සිංහල කවියා කවුද කියලා.”

“සර් මේ සම්බන්ධයෙන් මගෙ හිතේ කවීන් හතර දෙනෙක් ඉන්නවා. ඒ විමලරත්න කුමාරගම, එච්. ඇම්. කුඩලිගම, පී. බී. අල්විස් පෙරේරා එහෙම නැත්තං කපිල සෙනෙවිරත්න. ඔය කියන කවීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගෙ නිර්මාණ අරගෙන තමයි මන් මේ නිබන්ධනේ කරන්න හිතුවෙ.”  

“හොඳයි දරුවො ඔයා හිතලා තියෙන මේ සිංහල කවීන් හතර දෙනාගෙන් කවුරු ගත්තත් වරදක් නැහැ. මොකද මේ තුන්දෙනාගෙන් කාගෙ උනත් නිර්මාණ සම්බන්ධ කරගෙන තාගෝර් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ උනාට මිහිදිනී, අපි අපේ පළවෙනි උපාධිය පටන් ගන්න කොට හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මන් ඒවා ඉගෙන ගත්තෙ අපේ ගතාරේ ධම්මපාල හාමුදුරුවන්ගෙන් අදිකාරම්තුමාගෙන් ඒ වගෙම පලිහවඩන සර්ගෙන්. ඒ කාරණා ගැන මන් ගඟුල් එක්ක නං කතා කරලා තියෙනවා. ගඟුල්ට පුළුවන් ද දැන් ඒ ගැන යමක් මේ මිහිදිනිත් ඉන්න තැන කියන්න.”

“සර් මන් හිතන්නෙ මන් මෙතෙන්දි නිහඬ ශ්‍රාවකයෙක්. මොකද මම පශ්චාද් උපාධි ශිෂ්‍යයෙක් උනාට මට තව සර්ලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. අනික සර්ට මතක ද සර් ම දවසක් කිව්වා පුළුවන් තරම් ප්‍රාථමික මූලාශ්‍රය පාවිච්චි කරන්න. අවශ්‍ය තැනක් එළඹුනාම ද්විතීයික මූලාශ්‍රය පාවිච්චි කරන්න කියලා.”

“හරි ගඟුල් ඒක කොහොම ද මන් ඉස්සෙල්ලා කතා කරපු කාරණයත් එක්ක ගළපන්නෙ.”

“ඇයි සර් සර්ටනෙ අදිකාරම්තුමා ඇසුරු කරන්න ලැබුණෙ. සර්ටනෙ පලිහවඩන සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණෙ.  ඒක නිසා මන් කල්පනා කරන්නෙ ප්‍රාථමික මූලාශ්‍රය තියෙද්දි ද්විතීයික මූලාශ්‍රය ඉදිරිපත් වෙන එක අවශ්‍ය නැහැ කියලයි.”

”ගඟුල්, මේ ශාස්ත්‍රීය ලෝකෙදි විතරක් නෙමෙයි අපේ ජීවිතයේ දීත් එක තැනක දි ප්‍රාථමික මූලාශ්‍රය වෙන කෙනාට ද්විතීයික මූලාශ්‍රය වෙන්නත් සිද්ද වෙනවා. ඒ වගෙම ඒකෙ අනිත් පැත්තත් සිද්ද වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ද්විතීයික මූලාශ්‍රය ප්‍රාථමික මූලාශ්‍රය බවට පත් වෙන්නත් පුළුවන්. කොහොම උනත් අලුතින් වැඩේට බැස්ස අපේ කෙල්ලට උදව් කරන්නත් එපායැ. හරි මිහිදිනීට මේ ගැන අහන්න තියෙන දෙයක් තියෙනව නං අපි ඒ ගැනත් කතා කරලා ඉම්මු.”

”සර් ඉස්සෙල්ලා කිව්වා නේද පළවෙන වතාවට උපාධි නිබන්ධයක් කරන්න යන කෙනෙක් හිතන්න ඕනෙ කාරණා කීපයක් තියෙනවා කියලා. මන් කැමතියි සර් ඒ ගැන මුලින් ම දැන ගන්න. ”

”එකක් තමයි තමන් තෝර ගත්ත මාතෘකාව කවුරුවත් දුන්න එකක් නොවී තමන්ගෙම හිතට ආපු තමන්ට ආශාවෙන් කරන්න පුළුවන් එකක් වීම. මන් හිතන්නෙ ඒක හරි. දැන් මිහිදිනී තෝරගෙන තියෙන්නෙ තමන් ආස කරන මාතෘකාවක්නෙ. ඒක නිසා ඒ කාරණේ හරි. ඊට පස්සෙ අපි බලන්න ඕනෙ තමන් තෝරගත්ත මාතෘකාවට සමාන මාතෘකා යටතේ කලින් උපාධි නිබන්ධ ලියවිලා තියෙනව ද කියලා. ”

”සර් එහෙම තිබුණොත් අපි තෝර ගත්ත මාතෘකාව අත හරින්න වෙනව ද? ”

”නෑ දුව, එතකොට අපි පෙන්නන්න ඕනෙ බැලූ බැල්මට මාතෘකාවෙ සමාන බවක් පෙනුණට තමන් ඒ සඳහා ගන්න දෘෂ්ටි කෝණය වෙනස් බව. මොක ද එකම මාතෘකාව ගැන උනත් දෙන්නෙකුට දෘෂ්ටි කෝණය වෙනස් කරමින් අලුත් නිදර්ශන වගෙම මුල් එකට වඩා වෙනස් කාරණා අරගෙන කතා කරන්න පුළුවන් නිසා. ”

”සර්ට පුළුවන් ද මට ඒක උදාහරණෙකින් පැහැදිලි කරලා දෙන්න. ”

”මේකට අපි ගොඩක් ඈතට යන්න ඕනෙ නැහැ දුව, අපිට බෞද්ධ සාහිත්‍යයෙන් ම පුළුවන් උදාහරණ ගන්න. මේ වෙලාවෙ මට එක පාරටම මතක් වෙන්නෙ අංගුත්තරනිකායෙ තියෙන පඨම මහාපඤ්හ සූත්‍රයයි දුතිය මහාපඤ්හ සූත්‍රයයි. මේ සූත්‍ර දෙකේ එකට ගැළපිලා යන ගතියක් තියෙනවා. පළවෙනි සූත්‍රෙ වෙනත් ආගමික අදහස් දරන පරිව්‍රාජකයන් කණ්ඩායමක් ඇවිල්ලා බුදුහාමුදුරුවන් සමග සුහද පිළිසඳරක යෙදුන බව සඳහන් වෙනවා. මේ සංකථනය සිද්ධ වෙන්නෙ දහම පිළිබඳ ප්‍රශ්න දහයක් අහන අතරෙ ඒවාට පිළිතුරු දෙන ආකාරයකට. මෙතෙන්දි ඒවාට පිළිතුරු දෙන ධර්ම සන්නිවේදකයා වෙන්නෙ බුදු හාමුදුරුවො. දෙවෙනියට කියන සූත්‍රයෙදි වෙන උපාසක කණ්ඩායමක් අහන්නෙත් ඒ ප්‍රශ්න ම තමයි. හැබැයි එතෙන්දි අපට ඒවාට උත්තර දෙන චරිතය විදිහට හමු වෙන්නෙ ධර්ම සන්නිවේදිකාවක්. ඒ තමයි කජංගලා රහත් භික්ෂුණීන් වහන්සෙ. වෙලාවකදි උත්තර සමානයි වෙලාවක දි ගන්න නිදර්ශන වෙනස්. උදාහරණයක් විදිහට අටවෙනි ප්‍රශ්නෙ ගත්තොත් බුදුහාමුදුරුවො ඒක පැහැදිලි කරන්න ගන්නේ අටලෝ දහම. බුදුන් වහන්සෙගෙ ශ්‍රාවිකාවක් වෙච්ච කජංගලා භික්ෂුණීන් වහන්සෙ අටවෙනි ප්‍රශ්නෙට උත්තර පැහැදිලි කරන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආශ්‍රයෙන්. මෙතන අපට තව ලස්සන දෙයක් හෙළි කරනවා ගඟුල්. ඒ තමයි ගුරුවරයා කියපු දේ පුනරුච්චාරණය කරන්නෙ නැතුව ඒ ගුරුවරයගෙන් ම ඉගෙන ගත්ත වෙනත් දේකින් හරි වෙන තැනකින් ජීවිතයට උකහා ගත්ත දෙයකින් හරි ශිෂ්‍යයා තමන්ගෙ විවරණ ඉදිරිපත් කිරීම. අපේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ එන නව ප්‍රවේශ ගැනීම කියන කාරණේ මම තේරුම් අරන් තියෙන්නෙ එහෙමයි.”

“සර්, මේ සාකච්ඡාව අපිට හරිම වැදගත්. උපාධි නිබන්ධෙ ලිව්වත් නැතත් මේවගෙ සාකච්ඡා නිසා අපි වෙනස් වෙනස් අමුතු අමුතු තැන්වලටනෙ අපේ හිත් යන්නෙ.”

“ඔව් දුව, ඔයා ඔය යන වෙනස් වෙනස් අමුතු අමුතු දේවල්වලට පුළුවන් වෙන්න ඕනෙ ලෝකය යහපත් විදිහට වෙනස් කරන්න. ඒ වගෙම මෙතෙන්දි මම කැමතියි තවත් වැදගත් කාරණාවක් මතු කරන්න. ඒක මම ඉගෙන ගත්තෙ අපේ පලිහවඩන සර්ගෙන්. සර් කිව්වෙ කෙනෙකුට පුළුවන්නං හොඳයි පළවෙනි උපාධියට ගන්න ප්‍රවේශය තමන්ගෙ පශ්චාද් උපාධි ඔස්සෙත් ඉස්සරහට අරගෙන යන එක කියලා. ඇත්තට ම මගෙ උපාධි මාර්ගය හැදුණෙ ඒ දර්ශනය මත.”

“අනේ සර් ඒ ගැනත් කියන්නකො අපට.”  

“වෙනදට ගඟුල් ඔයා අහන ප්‍රශ්න ටිකනෙ අද මේ කෙල්ල අහන්නෙ. කොහෙන් ද ගඟුල් අපේ කෙල්ල හොයා ගත්තෙ.”

“මෙහෙමනෙ සර්, අපි බෞද්ධයන් හැටියට කර්ම, කර්ම පල විශ්වාස කරන අයනෙ. මන් හිතන්නෙ මගෙ කර්ම පලේ  නියම වෙලා තිබුණෙ නාගොල්ලාගම දි ලැබෙන විදිහට. මොනවා කරන්නද සර් ඕවට ලබා උපන් හැටි කියලා හිත සනසා ගන්නවා හැරෙන්න වෙන මොකක් කියන්න ද වෙන මොකක් කරන්න ද?

”නරක් වෙලා තියෙයි මෙයාට කර්ම පලේ. මේ කොච්චර හොඳ කෙල්ලෙක් ද මේ?”

ඒ වචන පැවසුවේ ඒ මොහොතේ එතැනට පැමිණි ආචාර්ය පතිනිය විසිනි. ආචාර්යවරයා කෙළේ ද ඒ වචන සනාථ කිරීම ය.

“ඒක නේන්නම් මේ කෙල්ල හොඳ කෙල්ලෙක් කියලා මටත් දැනෙනවා.

මදැයි කොළා සර්ටයි මැඩම්ටයි දෙන්නටම ලොකු උනේ මෙච්චර කාලයක් තිස්සෙ මෙහෙ ආව ගිය මාව නෙමේ මේ කොහෙන් වත් ආපු....”

ගඟුල්ට එවදන් සම්පූර්ණ කිරීමට නොලැබුණේ මිහිදිනී විසින් එය මෙසේ සම්පූර්ණ කරන ලද බැවිනි.

මේ කොහෙන් වත් ආපු....සක්කරවට්ටම කියලා නේද කියන්න හැදුවෙ. අහන්න මැඩම් මෙයාගෙන් කවුද සක්කරවට්ටම උගන්නන ඉස්කෝලෙටම පත්වීමක් අරන් ආවෙ කියලා.”

”අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ”
ඒ ආචාර්ය පතිනිය යි.

”පිළිතුරු දීම දුෂ්කර නමුත් ගඟුල් උත්තර දෙන්න ම ඕන ප්‍රශ්නයක් කියලත් ඒක හඳුන්වන්න පුළුවන්.” 
ඒ ගඟුල්ගේ ආචාර්යවරයා ය.

“අය්යෝ මම මේ එක් කෙනෙක් ව මෙහෙට අරගෙන ඇවිත් කරගත්ත මෝඩකමක්.”

ගඟුල් එසේ පවසද්දී ඔහුගේ සමීපයට ආ මිහිදීනී වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් විසින් ලියන ලද ජිනපාලගේ කතන්දරයේ එන බබා බාරලිස් සිහි කොට ඔහුට පමණක් ඇසෙන සේ ඇසුවේ ‘ඇද්ද උඹට’ යනුවෙනි.

අනතුරුව ගඟුල් ඒ කතාවේ එන බබා බාරලිස්ගේ  කතා සිහි ව සිනාමුසු ව බලා සිටිය දී මිහිදිනී කෙළේ ඔහුට කිසිවක් නොකී තැනැත්තියක මෙන් සන්සුන් ව තමා හිඳ උන් අසුනට ගොස් ආචාර්යවරයා සමග යළි සාකච්ඡාවට එළඹීම ය.

“සර්ට කියන්න හම්බ උනේ නැහැනෙ සර්ගෙ උපාධිවල දර්ශනය හැදුණෙ කොහොම ද කියන එක. කොහෙද මේ මහත්තයා මැද්දට පැන්නනෙ.”
ඇය එසේ පැවසුවේ ගඟුල් පෙන්වමිනි.

“කවුද මම ද මැද්දට පැන්නෙ ඔයා ද මන් කොයි කාලයක ඉඳල ද සර් ව යි මැඩම් ව යි දන්නෙ. ඔයානෙ අද ඇවිත් අදම මැද්දට පැන්නෙ. නැද්ද මැඩම්?”

මන් හිතන්නෙ ගඟුල් මන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න යන එක හොඳ නෑ කියලයි.”
සිනාසෙමින් මෙසේ පවසා ආචාර්ය පතිනිය සිය ඇගයීම් කටයුතුවල යළි නිරත වනු පිණිස එතැනින් නික්ම ගියා ය.  

“දැක්ක ද මැඩනුත් මෙයාගෙ හිත රිදෙයි කියලා හිතලා ඒකට හරි උත්තරයක් නොදී හෙමින් ම ලිස්සලා යන හැටි.”

එසේ කවටකම් වශයෙන් පැවසූ මුත් ගඟුල් සිටියේ මහදානන්දයෙනි. මන්ද සිය හද දිනූ යුවතිය පැමිණි සුළු මොහොතට සිය ගුරු යුග්මයේ සිත් දිනා ගත් බව දැකීම පිළිබඳ වන ප්‍රසන්න අත්දැකීමෙන් ඔහුගේ හද සන්තානය පිරී ගොස් තිබූ බැවිනි. අනතුරුව ඔහුට ඇසුණේ සිය ආචාර්යවරයාගේ හඬ යි.

“දැන් දුව ඔයා තාගෝර්තුමා තමන්ගේ අධ්‍යයනයට ගන්නවා කියන එක හරිනෙ. ඔයාගෙ විශේෂ උපාධිය ඉංග්‍රීසි නිසා තාගෝර් අධ්‍යයනය කරන්න ගන්න එක පැහැදිලි ව ම විෂයබද්ධ යි. ඔයා ඊළඟට හිතන්න ඕන දේ තමයි තමන්ගෙ මේ සන්සන්දනේට ගන්න සිංහල කවියා කවුද කියන එක. ඒක පැහැදිලි කරගත්තට පස්සෙ අපිට පුළුවන් ඊළඟ කළයුත්ත මොකක් ද කියන එක කතා කරන්න.”

“සර් මන් කුඩලිගම කවියගෙ නිර්මාණ සම්බන්ධ කරගන්න ද මේකට.”

“ඒක දරුවො තීරණය කරන්න ඕනෙ ඔයා. මොකද මේ අධ්‍යයනය කරන්නෙ ඔයානෙ. ඔයාගෙ තේරීම ඒක නම් අපිට පුළුවන් ඉස්සරහට යන්න. දැන් ඔයා හදාගන්න ඕනෙ විෂය සීමාවක්. මොකද තාගෝර් වගෙම කුඩලිගම කියන්නෙ එක නිර්මාණයක් දෙකක් කරපු අය නෙමෙයි. ඔයා කුඩලිගම ගත්තට පස්සෙ අපිට පැහැදිලි ව ම කවිය කියන ශානෙරේ ඉඳගෙන අදාළ අධ්‍යයනය කරන්න පුළුවන්.  මොකද කුඩලිගම ප්‍රසිද්ධත් කවියට. වැඩි වශයෙන් ලියලා තියෙන්නෙත් කවි. එහෙම නම් අපි තාගෝර්ගෙත් කවි පැත්තට යන එකයි හොඳ. මොකද එතුමා කවි, ගීත, නාට්‍ය, කෙටිකතා, නවකතා කියන ගොඩක් පැති ස්පර්ශ කරලා තියෙන නිසා.”  

“සර්, මම තාගෝර් කාව්‍ය නිර්මාණ පදනම් කරගෙනනෙ කොහොමටත් මගෙ නිබන්ධය කරන්නෙ. මන් හිතුවෙ සර් තාගෝර්ගෙ ගීතාඤ්ජලියයි ස්ට්රේ බර්ඩ්ස් කියන පොතයි අරගෙන මේක  කරන්න.”

“මට හිතෙන්නෙ මිහිදිනී දුව ඒකෙනුත් එකකට ආවොත් තමයි හොඳ. මොකද අපිට ඔක්කොටම තියෙන්නෙ අවුරුද්දක කාලයක්. කාලය ගැන හිතලත් පර්යේෂණය සීමා කර ගන්න වෙනවා. අපි මේ මේ දෙකෙන් එකක් ගනිමු. මන් හිතන හැටියට නං හොඳ ස්ටේ්‍ර බර්ඩ්ස් ගන්න එක. ගඟුල්, ඔයා පුතා අපේ පුස්තකාල කාමරේට ගිහිල්ලා 
The English Writings of Rabindranath  Tagore කියන පොතයි මන් බැඳි පන්හිඳ එච්. ඇම්. කුඩලිගම කවි කියන පොතයි අරගෙන එනව ද?”

ඉතා කෙටි කාලයක් තුළ ගඟුල් පැමිණියේ ඒ දෙපොත් රැගෙන ය.

“ෂා බලන්නකො සර්, සර්ගෙ ගෝලයා ටක් ගාලා ඒව අරන් එන හැටි.”

“ඔව් මිහිදිනී, ගඟුල්ට හුරුයි අපේ ඔය පොඩි පුස්තකාලෙ. එයා දන්නවා ඒ ඒ පොත් තියෙන තැන්. දැන් අපි මේ පොතේ අපි පෙරළ ගමු  ස්ට්රේ බර්ඩ්ස් තියෙන තැනට. හරි මේ තියෙන්නෙ. ඒ කියන්නෙ මේ පොතේ 397 ඉඳලා 435 පිටුව දක්වා තියෙන්නෙ ඒ පොත. කවි නැත්තං කාව්‍යෝක්ති විදිහට ගත්තොත් ඒකෙ තියෙනවා නිර්මාණ 326 ක්.”

“සර් ගීතාඤ්ජලිය වෙනුවට මේක ගන්න කියන්නෙ විශේෂ හේතුවක් ඇතුව ද?”

“ඔව් මිහිදිනී, තාගෝර්ගෙ ගිතාඤ්ජලිය ගොඩක් දෙනා තමන්ගෙ අධ්‍යයනවලට අහු කරගෙන තියෙනවා. ඒත් ඒ තරම් ප්‍රබල අවධානයක් යොමු වෙලා නැහැ  ස්ට්රේ බර්ඩ්ස්වලට. ඒත් මේ ගැන ඔයා අවසාන තීරණේ ගන්න ඕනෙ ඔයාගෙ විෂය උපදේශකතුමා හරි උපදේශකතුමිය හරි එක්ක කතා කරගෙන. හරි දැන් මට කියන්න කවුද ඔයාගෙ විෂය උපදේශක හැටියට කටයුතු කරන්නෙ කියලා.”

“සර්, අපි විශේෂ උපාධියට තේරිච්ච දොළොස් දෙනෙක් ඉන්නවා. අංශප්‍රධාන මැඩම් තමයි ආචාර්ය මණ්ඩලෙන් අපේ උපදේශක හැටියට දෙන්නෙ කවුද කියලා තීරණය කරලා ඒ අනුව අපට වැඩ කරන්න කිව්වෙ. ඒ වගෙම තමන්ගෙ අධ්‍යයනය වෙනත් සාහිත්‍යයක් එක්ක සම්බන්ධ කරගෙන කරන සන්සන්දනාත්මක අධ්‍යයනයක් නං ඒ අදාළ අංශෙ ආචාර්යවරයෙක් හරි ආචාර්යවරියක් හරි එක්ක කතා කරගෙන මැඩම්ට කියන්න කිව්වා.”

“ඔයගොල්ලන්ගෙ අංශප්‍රධාන වෙන්නෙ වර්ණපාල මැඩම් නේද?”

“ඔව් සර් මැඩම් කිව්වෙ මට ඉන්දිරා මාවැල්ල මැඩම් එක්ක වැඩ කරන්න කියලා මන් ගිහින්  මැඩම්ව හම්බ උනා සර්. මැඩම් කැමතියි මගෙ උපදේශක වෙන්න. සර්ට පුළුවන් ද සිංහල කවිය පැත්තෙන් මගෙ උපදේශක වෙන්න.”

“ඉංග්‍රීසි කවි වගෙම සිංහල කවිය ගැනත් හැඟීමක් වගෙම දැනීමක් තියෙන කෙනෙක් තමයි ඔයාට අංශප්‍රධාන මිස් නම් කරලා තියෙන්නෙ. හැබැයි අංශප්‍රධානතුමිය දුන්න උපදෙස්වලට අනුව සිංහල කවිය පැත්තෙන් ඔයාගෙ උපදේශක වෙන්න ඕනෙ ඒ අංශෙ කෙනෙක්. අපි මෙහෙම කරපු මිහිදිනී, මම ඔයාගෙ නොනිල උපදේශක වෙන්නම්. ඔයා සිංහල අංශෙ ආචාර්ය මණ්ඩලේ ස්වාමීන් වහන්සෙ නමක් හරි සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් ව හරි කැමති කරවා ගන්න ඔය වැඩේට.”

“සර් මට බැරි වෙයි ද අපේ මෙහෙ මැඩම්ව උපදේශක විදිහට ගන්න.”

“බැරි වෙන එකක් නෑ මන් මැදිහත් උනොත් මැඩම් බෑ කියන එකක් නෑ.”  

ඒ සංකථනයට සම්බන්ධ එසේ පැවසුවේ ගඟුල් ය.

“ඉඳා බලන්ඩකො සර්, මේ මහත්තය කියන එක. එයා මැදිහත් උනොත් නං මැඩම් බෑ කියන එකක් නෑලු.”

“ඔව් අපි එයාටත් කියලා මැඩම්ට කියවමු. ඒත් දුව ආපු වෙලාවෙ ඉඳලා මැඩම් ගත්තෙ ඔයාගෙ පැත්ත වගෙ මට දැනිච්ච නිසා මන් හිතන්නෙ ඉස්සෙල්ලා ඔයා අහන එකයි හොඳ?”

සහන් එසේ පැවසුවේ සිනාසෙමිනි. පැමිණි පළමු දවසේ ම ගෙදර සාමාජිකාවක බවට පත් වූ මේ යුවතිය පිළිබඳ වන දාරක ප්‍රේමයෙනි.

“අපි කෑම කන වෙලාවට මැඩම් එක්ක ඒ ගැන කතා කරමු නේද සර්?
ඒ ගඟුල් ය.

“බලන්ඩකො සර් මෙයාගෙ කල්පනාව මෙහෙන් දවල්ට කාලත් යන්නනෙ.”

”ඔව් ඔව් මන්නං මෙහෙන් දවල්ට කාලා තමයි එන්නෙ. ඔයා මුලින් ම කිව්වනෙ මැඩම්ට කෑම හදන්න කරදර වෙන්න එපා කියලා. ඒක නිසා මිහිදිනී ඒ කියපු විදිහට ම කරන්න. මිහිදිනී මෙතන ඉඳන් කිලෝමීටර් එකක් විතර දුරින් තියෙනවා බත් කඩ දෙකක්. ඔයා අපි කන වෙලාවට ම ඒ කඩේකට ගිහිල්ලා කාලා එන්නකො. ඕනෙ නං මන් ඔයාව එතනට ඇරලවලා එන්නං.”

”නෑ අපි මෙහෙම කරමු නේද දුව. අපි ගඟුල්ට කියමු වෙනසකටත් එක්ක ඒ කඩේකින් කාලා එන්න කියලා. අපි ගෙදරින් දවල්ට කාලා ඔයාගෙ උපදේශකමට මැඩනුත් කැමති කරගෙන ටිකක් මැඩම් එක්කත් මාතෘකාව ගැන කතා කරලා මෙයාට කියමු ඔයා ඇරලන වෙලාවට මෙහෙට එන්න කියලා. ”

”සර් මෙන්න මේවට තමයි සමාජය බලවත් අසාධාරණ කියලා කියන්නෙ. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ සිංහල ප්‍රස්තාව පිරුළකුයි සර් ම කියලා දුන්න හින්දු දේව කතාවක එන සිද්ධියකුයි. ”
ගඟුල් එසේ පැවසුවේ බැරෑරුම් මුහුණක් මවාගෙන ය.  

”අපි ඒ දෙකත් අහලම ඉම්මු ද මිහිදිනී.”

”ඔව් ඔව් අහන්නම වටින කාරණා දෙකක් වෙන්ඩැතිනෙ මෙතුමා කියන්නෙ. අපි අවසර දෙමු දැන් ඒවා කියන්න. ”

”හොඳයි නගෝ මන් අල්ල ගන්නංකො පස්සෙ උඹව. මේ ගෙදරදී අදහස් ප්‍රකාශ කිරීමට අපට ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මම දැන් කතා කරනවා. ප්‍රස්තාව පිරුළ තමයි ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වීම. අනික තමයි විෂ්ණු බලි අසුරයගෙන් තමන්ගෙ පය තියා ගන්න විතරක් තැනක් ඉල්ල ගෙන අන්තිමට ඒ පය ඒ මුළු ප්‍රදේශය පුරා පැතිරෙන තරන් විශාල කරලා බලි ව එළවල දැමීම. ”

ඒ කතා අසා සහන් කෙළේ මහ හඬින් සිනාසීම ය.

”ඇයි සර් හිනාවෙන්නෙ මන් කිව්වෙ බොරු ද? ”

”නෑ නෑ මන් හිනා උනේ උපහාසෙට නෙමෙයි බන් සතුටට. ඒ කියන්නෙ අපේ ශිෂ්‍යයො ඒ අවස්ථාවට ගැළපෙන විදිහට තමන් ඉගෙන ගත්ත කාරණා ගළපන එකේ සතුටට. ඒ වගෙම දැක්ක පළවෙනි දවස උනාට මේ ටික වෙලාවට දැනිච්ච දේවලුයි මේ කෙල්ල ගැන උඹ කියන දේවලුයි අනුව මට පැහැදිලිව එක දෙයක් කියන්න පුළුවන්. ”

”ඒ මොකක් ද සර්?“
ගඟුල් ඇසුවේ උනන්දුවෙනි.

”මන් හිතන හැටියට මට දැනෙන විදිහට උඹ පය තියාගෙන ඉන්න තැනින් උඹව උස්සලා වෙන තැනකට විසි කරන්න කවුරු හරි ආවොත් මේ කෙල්ල තමයි ඉදිරිපත් වෙන්නෙ ඒ ආපු කෙනා මොන තරංනං බලවතෙක් උනත් එයාව උස්සලා පරසක්වල ගහන්න. ”

”මන් ඒක දන්නවා සර්.“
ගඟුල් එසේ පැවසුවේ මිහිදිනී දෙස ආදරයෙන් බලමිනි.

”මේ ඔය ශාස්ත්‍රීය සංකථනෙ ඉවරනං කෑම ලෑස්ති කරන්න පුළුවන් කියලා අපේ නංගියි අපේ රාණියි කියනවා. මොකද කියන්නෙ. ”
එසේ පැවසුවේ එතැනට පැමිණි ආචාර්ය පතිනිය යි.

”අපේ ශාස්ත්‍රීය සාකච්ඡාව දැන් ටිකක් වෙන පැත්තකට ගිහින් තියෙන්නෙ. දැන් ආයෙත් ඒක ශාස්ත්‍රීය සංකථනයක් කරගන්න ඔයාගෙ සහයත් අපට අවශ්‍ය යි. ”

”මොකක් ද අප්පේ මගෙන් ඕන කරන සහය. ”
ඇය පැවසුවේ එතැන වූ අසුනක හිඳගනිමිනි.

”මෙහෙමයි මේ කෙල්ල උපාධි නිබන්ධෙ කරන්නෙ තාගෝර් නිර්මාණ ගැන, කුඩලිගමත් සම්බන්ධ කරගෙන. එයාගෙ විෂය පැත්තෙන් ඉන්න උපදේශිකාව තමයි මහාචාර්ය ඉන්දිරා මාවැල්ල. සිංහල පැත්තෙන් ඔයාව සම්බන්ධ කරන්නයි ඕනෙ. මොකද ඔයාටත් තියෙනවනෙ කොළඹ කවිය වගෙම කුඩලිගම ගැන වෙනම කියවීමක්. කොහොමත් දැන් ටිකකට ඉස්සෙල්ලා අපේ ගඟුල් කිව්වෙ මන් මැදිහත් උනොත් නං මැඩම් බෑ කියන එකක් නෑ කියලයි. ”

”නැතුව නැතුව ගඟුල් නෑ මට වැරදුනා ගඟුල් පුතා මැදිහත් උනොත් අපිට බෑ කියන්න බෑනෙ. ඔය ගොල්ලන්ට තවම බඩගිනි නැත්තං තව ටිකක් සාකච්ඡාව ගෙනි යන්න. මන් තේ ටිකක් හදලා දෙන්නම්. ”

”අන්න ඒක හොඳයි මැඩම්. අපේ මේ මිහිදිනී කිව්වෙත් කෑමට ඉස්සෙල්ලා තව තේකක් තිබ්බොත් හොඳයි කියලා. ”

”අනේ මැඩම් මම නං එහෙම කිව්වෙ නැහැ. මේ එයාගෙ හිතේ තියෙන ඒවනෙ මගෙ පිට දාලා කියන්නෙ. ”

”මට දුව, ඔයා ඔහොම කියන කොට මතක් වෙන්නෙ කාලිදාසගෙ ශාකුන්තලේ ශකුන්තලා. ”

”සර් කියන්ඩකො ඒ මතක් වෙච්ච එක. ඒකත් අපට ඉගෙනීමක්. ”

”ඔව් ඒ ඒ අවස්ථාවලට ගැළපෙන දේවල් ශිෂ්‍යයන්ට මතක් වෙනවා වගේ ගුරුවරුන්ටත් මතක් වෙන්න පුළුවන්නෙ. ”

”මේක එන්නෙ එන්නෙ අභිඥානශාකුන්තලේ පළවෙනි අංකෙ. ප්‍රියංවදා, අනසූයාට  කියනවා ඔයා දන්නව ද මේ ශකුන්තලා ඇයි මේ මී අඹ ගසයි ඒකෙ එතිච්ච දෑසමන් වැලයි දිහා බලාගෙන ඉන්නෙ කියලා. එතකොට අනසූයා කියනවා මන් දන්නෑ ඔයා කියන්න ප්‍රියංවදා කියලා. ඒකට උත්තරේ හැටියට ප්‍රියංවදා කියන්නෙ මේ දෑසමන් වැලට තමන්ට සුදුසු ගහක් හම්බ උනා වගෙ මටත් මට ගැළපෙන ස්වාමියෙක් ලැබෙන්න කියලා තමයි දැන් මේ ශකුන්තලා කල්පනා කරන්නෙ කියලයි. ”

”එතකොට සර් ඒක කොහොම ද මෙතෙන්ට ගළපන්නෙ. ”

”මෙතෙන්ට ගළපන්නෙ දුව, ඔයා ඉස්සෙල්ල ගඟුල් ගැන කියපු දෙයත් එක්ක යි. ඇයි ගඟුල් කිව්වනෙ ඔයා කිව්වා කියලා බත් කන්න ඉස්සෙල්ලා තව තේකක් තිබ්බොත් හොඳයි කිව්වා කියලා. එතකොට ඔයා කිව්වනෙ අනේ මැඩම් මේ මෙයාගෙ හිතේ දේවල් තමා මගෙ පිට දාලා කියන්නෙ කියලා. අන්න එතෙන්ට තමයි ශකුන්තලාගෙ කියමන ගළපන්න පුළුවන් වෙන්නෙ. මම ඒ කාලිදසගෙ ප්‍රකාශෙ ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්ක මෙහෙම කියන්නම්කො. ”

”ඒෂ නූනං තවාත්මගතෝ මනෝරථඃ - මේ ඒකාන්තයෙන් ම ඔබේ හිතේ උපන් මනදොළ යි.”

”අපි මේ වගෙ සාකච්ඡාවකදි හරි හරි ලස්සන තැන්වලටනෙ එන්නෙ. මන් ශාකුන්තලේ සිංහල පරිවර්තනයකුයි ඉංග්‍රීසි පරිවර්තනයකුයි කියවලා තියෙනවා. මට ආසයි සංස්කෘත භාෂාවත් ටිකක් හරි ඉගෙන ගන්න.”

“ඉස්සරහට මිහිදිනී ඒකත් පටන් ගන්න. මන් මටත් පුළුවන් උදව්වක් කරන්නම්කො. දැන් අපි ආයෙත් අපේ විෂය සාකච්ඡාව නතර කරපු තැනට යමු ද?”

“හැබැයි සර්, අපේ විෂය සාකච්ඡාව නං නැවතුණේ නැහැ. ඒක නිසා අපිට කියන්න වෙන්නෙ නිබන්ධ මාතෘකාව ගැන කතා කරලා නවත්තපු තැනට යමු කියලයි.”

“ඔයා හරි ගඟුල්. මොක ද අපි සාහිත්‍ය විෂය කියන කාරණෙන් බැහැර උනේ නැහැනෙ. කොතන ද මිහිදිනී අපි නතර කළේ.”

“දැන් සර් අපිට තියෙන්නෙ කුඩලිගමගෙ තෝර ගන්න පොත් මොනව ද කියන එක ගැන කතා කරන්න. මන් එකක් විදිහට හිතුවෙ ඈ කියන කවි පොත ගන්න.”  

“ඔව් කුඩලිගමගෙ ඈ අනිවාරෙන් ම ගන්න එක හොඳයි. ඒ වගෙම මට හිතෙනවා මෙතෙන් දි කුණාටුව කවිපොතත් සම්බන්ධ කරගන්න එන හොඳයි කියලා. මොක ද ඔය පොත් දෙකේ තමයි තාගෝර් ආභාසය තියෙන තැන් අපිට වැඩිපුර දක්නට ලැබෙන්නෙ. එතකොට මූලාශ්‍රය දෙකම ඒ කියන්නෙ තාගෝර් - කුඩලිගම නිර්මාණ තෝරා ගැනීම අපි සමාන බරක් තියෙන විදිහට ගත්තා වෙනවා. එතකොට ඒක ප්‍රමාණාත්මක ව වගෙම ගුණාත්මක ව යි සමාන ය කියන අදහස හිතේ තියාගෙන අපට වැඩ කරන්න පුළුවන්.”
“සර්, එතකොට අපිට පුළුවන් නේද ඒකට අනුගත ව මාතෘකාවක් හදා ගන්න.”

”ඔව් මිහිදිනී, දැන් මේ වෙන කොට ඔයාගෙ හිතට මාතෘකාවක් ඇවිත් තියෙන්න ඕනෙ. අන්න ඒ ආපු එක දැන කියන්න බලන්න. ”

”සර්, මම රබීන්ද්‍රනාත් තාගෝර් සහ එච්. ඇම්. කුඩලිගම නිර්මාණවලින් විශද වන මානව ප්‍රේමය, පරිසර ප්‍රේමය සහ සෞන්දර්යය කියලා මාතෘකාව හදා ගත්තොත් හොඳයි ද?”

“ඔව් ඒක හොඳයි ඒ වගෙම අපි ඒක යටින් සඳහන් කරන්න ඕනෙ තාගෝර්ගේ ස්ට්රේ බර්ඩ්ස් සහ කුඩලිගමගේ ඈ  - කුණාටුව කාව්‍ය ග්‍රන්ථ ආශ්‍රයෙනි කියලා.

“සර් මෙයාට  ස්ට්රේ බර්ඩ්ස්වල ගොඩක් තැන් කටපාඩමින් උනත් කියන්න පුළුවන්.”
ගඟුල් එසේ පැවසුවේ මිහිදිනී දෙස බලමිනි.

“එහෙනං වැඩේ අපට ලේසි වෙනවා. මේ වැඩේ තවත් ලේසි වෙනවා අපේ ගඟුල්ට කුඩලිගමගෙ ගොඩක් කවි කටපාඩම් නිසා. දැන් මිහිදිනී කරන්න ඕනෙ පරිච්ඡේද සැලැස්ම හදන එක. දවල් කෑමෙන් පස්සේ මැඩම් එක්කත් කතා කරගෙන ඒක හදන්න.”

“සර් ඒක හදනකොට මගෙ විශේෂ අවධානය යොමු කරන්න ඕනෙ කියලා සර් හිතන තැන් මොනව ද?”

“මෙහෙමයි දුව අපිට අදහස් කියන්න පුළුවන්. ඒත් අපි කියන හැම දෙයක් ම ඔයා ඒ ආකාරයෙන් ම බාර ගන්න ඕනෙ නැහැ. උදාහරණ හැටියට මේ දෙන්නගෙ නිර්මාණ ගැන උනන්දුවක් දක්වපු කෙනෙක් හැටියට මම දැකපු දේවල් කීපයක් මතු කරන්න පුළුවන්. මේ දෙන්නම අඩු වචන සංඛ්‍යාවකින් වැඩි දෙයක් කියන අය. ඒ කියන්නෙ වචන නාස්ති නොකරන අය.  ඒ වගෙම සොබාදහම තුළ තියෙන ජීවගුණය දැකලා සොබාදහමට ආමන්ත්‍රණය කරපු අය. තව විදිහකට කිව්වොත් සොබාදහම තුළ මිනිස් ස්වභාවත් මිනිස් ස්වභාව තුළ සොබාදහමත් දකින නිර්මාණකරුවන් දෙන්නෙක් කියලත් කියන්න පුළුවන්. ඒ වගෙම දෙන්නම තමන් භාවිතයට ගන්න භාෂාව සරලවත් අව්‍යාජවත් යොදනවා. මේ නිසාම දෙන්නම අපට දැනෙනවා. ඒ වගෙම දෙන්නගෙම නිර්මාණවල පැහැදිලි ජීවන දර්ශනයක් තියෙනවා. ඊළඟට මේ දෙන්නම තමන්ගෙ කවිය ඉස්සරහට අරගෙන යන්නෙ රසික පාඨකයන් ව ඒවයෙ කොටසක් කරගෙන. මේ අධ්‍යයනේ දි ඔයාගෙ විශේෂ අවධානය යොමු වෙන්න ඕනෙ තැනක් තමයි තාගෝර්ගෙ ආභාසය කුඩලිගමගෙ ඇතැම් නිර්මාණවල විද්‍යමාන වීම.”

“හරි සර්, මට මගෙ සැලැස්ම හදද්දි ඔය කාරණා ගොඩක් වැදගත්. සර්ට පුළුවන් ද සර්, අර අන්තිමට පේන කාරණේ පැහැදිලි වන එක තැනක් දෙන්නගෙ නිර්මාණ ආශ්‍රයෙන් මට පෙන්නලා දෙන්න.”

“ස්ට්රේ බර්ඩ්ස්වල මේ 153 කවිය දිහා බලන්න දුව. ඔයා කියවන්න ඒක. ඒක ඔයා කියන කොට මම දන්නවා ගඟුල්ට මතක් වෙනවා ඒකෙ ආභාසය ලබලා කුඩලිගම ලියපු කවිය. දැන් ඉංග්‍රිසි කවිය කියවන්න මිහිදිනීටත් ඊට පස්සෙ ඒකට අදාළ සිංහල කවිය කියන්න මම ගඟුල්ටත් ආරාධනා කරනවා.”

ඒ අනුව මිහිදිනී යටකී තාගෝර් පාඨය මෙසේ කියන්නට ඉදිරිපත් වූවා ය.

How may I sing to thee and worship O Sun, asked the little flower. 

By the simple silence of thy purity. Answered the sun.


අනතුරුව ඇසුණේ ගඟුල්ගේ හඬ යි. කුඩලිගමගේ ඈ කාව්‍ය සංග්‍රහයේ එන ඊට අදාළ කවිය ඔහු පැවසුවේ සිය මතකයෙනි.

දෙවියනි ඔබට මම බැති ගී ගයමි    කෙසේ  
හිරුගෙන් අසයි වනමල ගිරි දුදුළු      හිසේ
ඔබගේ හේළි බව පිළිබඳ නිසල      වෙසේ   
ඇති රසයෙනැයි හිරු පිළිතුරු කියනු ඇසේ

“ඒ වගෙම මට මතක් වෙනවා සර්ගෙ උල්පතේ තියෙන තාගෝර් චින්තාවකට කරපු පද්‍යමය අනුවර්තනයක්.”

“අනේ ඒකත් මට කියන්නකො මට මේ ඔක්කොම වැදගත්නෙ.”
මිහිදිනීගේ ඉල්ලීමට අනුව ගඟුල් එය ද සිය මතකයෙන් පැවසුවේ ඊට පූර්විකාවක් ද සපයමිනි.

“මේක මිහිදිනී ඔයා උපදින්නත් අවුරුදු කීපයකට කලින් සර් ලියපු පොතක්. ඒකෙ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස සිතිවිලි සයුර, දෙවෙනියට තියෙන්නෙ අනුරපුර චාරිකා, අන්තිම කොටස නම් කරලා තියෙන්නෙ උල්පතින් උල්පතට කියලා. කිසියම් නිර්මාණයක කොටසක් මුලින් දක්වලා ඒක පාදක කරගෙන ලියපු කවි තමයි ඒකෙ තියෙන්නෙ. ඒ අනුව සර්, තාගෝර්ගෙ, චාල්ස් ඩිකන්ස්ගෙ, පංචතන්ත්‍රෙ වගෙම සමන් සිත්තරාගෙ කාව්‍යෝක්ති හරි ප්‍රකාශ හරි උල්පත කරගෙන කවි ලියලා තියෙනවා. මට මතක හැටියට තාගෝර් චින්තා පහක් ආශ්‍රයෙන් ලියපු කවි උල්පතේ තියෙනවා. මිහිදිනී ඔයාට ඒවා වැදගත් වෙන්නෙ ඒ තාගෝර් කාව්‍යෝක්ති පහම සර් අරගෙන තියෙන්නෙ ඔයාගෙ අධ්‍යයනේ ප්‍රධාන මූලාශ්‍රය වෙන ස්ටේ්‍ර බර්ඩ්ස්වලින් නිසා. දැන් මම කියන්නෙ ඒකෙන් මට වැඩියෙන් ම දැනිච්ච තාගෝර් කවියයි ඒකෙ පද්‍යමය පරිවර්තනයයි.”

The Moon has her light all over the sky, her dark spots to heself.

සිය කිරණ පතුරුවන මුළු මහත් කුසෙහි   නුබ
දයාබර සඳ දනිමි අඳුරු තැන හිඳියි        ඔබ
ලොවක් එළි වන අතර ඔබගේ ම එළිය   ලැබ
අපරිමිත සෙනෙහසින් පිරී යයි මහද      ගැබ

“සර් මට ගෙනිහින් බලලා ගෙනත් දෙන්න උල්පත කවි පොතකුත් ඕනෙ. මට ඒ නිර්මාණත් වැදගත් වේවි.

“හරි මම ඔයාට උල්පතක් දෙන්නම්කො තියා ගන්නම. හැබැයි දුවේ ඔයා මෙතෙන්දි අමතක කරන්න එපා ඔයාට තාගෝර් කාව්‍යෝක්ති සන්සන්දනය කරන්න තියෙන්නෙ කුඩලිගම කවියගෙ කවිත් එක්ක මිස මන් ලියපු කවිත් එක්ක නොවන බව.”

“සර්,  ස්ට්රේ  බර්ඩ්ස් සිංහලට පරිවර්තනය වෙලා නැද්ද? මම ගීතාංජලිය, ගෝරා, කුණාටුව, බිලිපූජා වගේ පොත්වල තාගෝර් පරිවර්තන කියවලා තියෙනවා. ඒවයෙ මුල් පොතත් කියවලා තියෙන නිසා මට හිතුණෙ මේ හැම පරිවර්තකයෙක් ම වගේ ඒවට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියලයි.”

“මොකද නැත්තෙ  ස්ට්රේ  බර්ඩ්ස් විතරක් නෙමෙයි තවත් පොත් දෙකකුත් ඒකට සම්බන්ධ කරළා හොඳ පරිවර්තනයක් කළා සුගුණදාස සමරසේකර මහත්තයා. ඒ 
Chitra, Stray Birds, Fruit Gathering  කියන පොත් තුන. එතුමා ඒවා නම් කරලා තිබුණෙ චිත්‍රා , අහඹු කුරුල්ලෝ සහ පල නෙලීම කියලයි.”

“අනේ සර් ගාව නැද්ද ඒ පොත.”

“අපොයි තියෙනවා. එකක් නෙමෙයි පිටපත් තුනක් ම තියෙනවා. දෙකක් මේ වෙලාවෙ පිට. එකක් අද උදේ ප්‍රණීත් සර් අරගෙන ගියා සර්ගෙ වැඩකට. තව පොතක් අපේ ආදි ශිෂ්‍යයෙක් ළඟ. එකක් තියෙනවා ගෙදර.“  

“ඇයි සර් එකම පොතෙන් පොත් තුනක් ම ගත්තෙ.”

“දැන් සර් උපාධි නිබන්ධ මාතෘකාව ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙයාගෙ මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්න වෙයි සර්ට.”

“ඉතින් අනේ මන් ඒක නිකන් දැනගන්නනෙ ඇහැව්වෙ අපේ සර්ගෙන්.”

”ගඟුල්, ඒක ඉතින් අපේ මේ කෙල්ලගෙ කැමැත්තනෙ. ඔය පොත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වෙන්නෙ 1988 දි. ඒ කාලෙදිම එක පොතක් මම පොත් සාප්පුවකින් ගත්තා. අනිත් පොත් දෙක ලැබිච්ච විදිහත් එක්ක ටිකක් දුක හිතෙන කතාවක් තියෙනවා. මට දෙවෙනි පොත හම්බ වෙන්නෙ මුද්‍රණාලයක වැඩ කරපු අය්යා කෙනෙක්ගෙන්. එයා පොතපත කියවන්න පුරුදු වෙච්ච කෙනෙක් නෙමෙයි. වැඩ කළේ අච්චු කන්තෝරුවක. එහෙම තැනක වැඩ කළාට ඒ අච්චු කන්තෝරුවෙන් ගහන පොතක්වත් කියවන පුරුද්දක් මට නැහැ කියලයි ඒ අය්යා කිව්වෙ. ඒ උනාට ඒ අය්යගෙ පුරුද්දක් තිබුණා මේ පොත වැදගත් වේවි කියලා හිතන අයට ඒකෙන් පිටපතක් තෑගි කරන එක. ඒකෙන් එයා ලොකු සතුටක් ලැබුවා.”

“සර් එතකොට දුක හිතෙන කතාවකුත් මේකෙ තියෙනවා කිව්වෙ.”

“අපිට එහෙම පොත් ගෙනත් දුන්න ඒ නන්දසේන අය්යා දැන් ජීවතුන් අතර නෑ දුව. ඒ වගෙම දරුවො තුන්වෙනි වතාවටත් මට තෑග්ගක් විදිහට දුන්න මිත්‍රයත් දැන් ජීවතුන් අතර නැහැ. ඒ තමයි සුගුණපාල සමරසේකර මහත්තයගෙ පුතා ප්‍රසාද් සමරසේකර. මන් ප්‍රසාද්ව අඳුන ගත්තෙ අපේ මිත්‍රයන් දෙන්නෙක් පරිවර්තනය කරපු ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ පොත් දෙකක වැඩවලට ගිහිල්ලයි. මොකද ඒ වෙන කොට ප්‍රසාද් ප්‍රකාශන ආයතනයක් හදාගෙන තමන්ට ම හොඳයි කියලා දැනෙන පොත් ප්‍රකාශයට පත් කිරීමේ මෙහෙවරේ නිරත වෙලයි හිටියෙ. ප්‍රසාද්ගෙ ජීවිතේ අන්තිම කාලෙදියි මට ප්‍රසාද්ව හම්බ වෙන්නෙ. ඒ වෙන කොට එයා පිළිකා රෝගියෙක්. හැබැයි ප්‍රසාද් කියන්නෙ මැරෙන බව දැනගෙන ජීවත් වෙච්ච ප්‍රඥාවන්තයෙක් ය කියන කාරණේ ඒ ටික කාලෙට මම තේරුම් ගත්තා.”

“සර්, සමන් සිත්තරාත් තාගෝර් සාහිත්‍යය ගැන විශේෂ උනන්දුවක් දක්වපු කෙනෙක් නේද?”

“ඔව් මිහිදිනී, ඒ සාහිත්‍යය ගැන මට හැඟීමක් උනන්දුවක් ඇති උනේ අය්යා නිසා. ඒ ගොල්ලන්ගෙ විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි දෙවෙනි අවුරුදු දෙක ගත වෙන්නෙ හොරණ ශ්‍රීපාලියෙ. ඔය කාලෙ දි අය්යා හරියට තාගෝර්තුමා ගැන වගෙම ශ්‍රීපාලියෙ නිර්මාතෘ වෙච්ච විල්මට් පෙරේරා මහත්තයා ගැනත් ගොඩක් විස්තර එකතු කළා. මන් ඔයාට පෙන්නන්නං දුව අය්යා ඇඳලා තියෙන ඒ දෙන්නගෙම උඩු කය චිත්‍ර දෙකත්. තාගෝර්තුමාගෙ ශාන්ති නිකේතතනයට භෞතික ව කවදාවත් ගිහින් නැති අය්යා ඒක ගැන කියපු දේවල් තමයි අපේ හිත්වල ලොකු චිත්‍රයක් ඇන්දෙ ඒ අධ්‍යාපන නිකේතනය ගැනත් තාගෝර් සාහිත්‍යය ගැනත්.”

“සර්, අපේ හිත්වල කියලා කිව්වෙ සමන් සිත්තරා නිසා තවත් හිත්වල තාගෝර් චිත්‍ර ඇඳුණා කියන එක ද?”

“ඔව් දුව, මගේ හිතේ තාගෝර් සාහිත්‍යය ගැන උනන්දුවක් ඇති වෙලා මන් ඒ ගැන හොයන්න කියවන්න ගත්තා වගේ  චිත්‍ර වේවා, සංගීතය වේවා, නැටුම් වේවා කරපු අය්යලෙ සමකාලීන මිතුරු මිතුරියන් තුළත් ඒ උනන්දුව ඇති උනා. ඒ විතරක් නෙමෙයි ඒක පස්සෙ පරම්පරාවටත් බෝ උනා. අය්යගෙ ඇසුර ලැබීම තමන්ගෙ ජීවිතේ ලබපු ලොකුම භාග්‍යයක් විදිහට සලකපු අපේ ශිෂ්‍ය ප්‍රජාවෙ මුල් ම චරිත නියෝජනය කරන ධම්මිස්සර හාමුදුරුවො නැවතුණේ ඉන්දියාවෙ ශාන්ති නිකේතනයට ගිහින් එහෙ දි තමන්ගෙ ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරලයි.”  

“එහෙනං එනව ද කට්ටිය ම කෑමට. දැන් දෙකටත් කිට්ටු යි.”
ඒ ඇරයුම ලැබුණේ එතැනට ආ ආචාර්ය පතිනියගෙනි.

“මැඩම්, අපේ මේ මිහිදිනී අහනවා කෑමට එන්න කියලා වතුර අල්ලන සිරිතක් මෙහෙ නැද්ද කියලා.”

“අනේ මෙයාගෙ බොරු මැඩම් මන්නං එහෙම ඇහැව්වෙ නැහැ.”

“යන් යන් ඔක්කොම යන්. අද ඔයගොල්ල ආපු අද දවස කියන්නෙ අපිට විශේෂ දවසක්. අපි කොහොමටත් කැමතියි මෙහෙට එන කාට උනත් අපට තියෙන විදිහට සංග්‍රහ කරන්න. ඒත් අපට අද විශේෂ වෙන්නෙ සමන් අය්ය වගේ උත්තම මනුෂ්‍යයෙක්ගෙ උපන් දිනය අද වෙච්ච නිසා. අද මම ඔය දෙන්නට කවි තෑග්ගක් දෙනවා. ඒ අපේ දුව එයා භෞතික ව විතරක් නොදැකපු එයාගේ ආදරණීය මහප්පා ගැන අද උදේ ලියපු කවියක්.”

“අනේ මැඩම්, ඒ කවි තෑග්ග මට දැන් දෙන්න බැරි ද?”

“මොකෝ බැරි ඉන්න මන් ඒකෙ ප්‍රින්ට් අවුට් දෙකක් අරගෙන එන්නම්.”

එසේ පවසා එතැනින් නික්ම ගිය ආචාර්ය පතිනිය ටික වෙලාවකින් පසු පැමිණියේ එකව මුද්‍රිත ඒ ෆෝ කොළ දෙකක් අතැති ව ය. ඉන් එකක් ඇය ගඟුල්ටත් අනෙක මිහිදිනීටත් පිරිනැමුවා ය. දෙදෙනා ම ඒ පිළිගත්තේ දෝතිනි; ගෞරවපූර්වක හදවතිනි. අනතුරුව දෙදෙනා ම පළමු ව කෙළේ එය කියැවීම ය.

“හරිම ලස්සනයි මැඩම්, මේකෙ අපි දැක්කෙ නැති ඒ සර් ඉන්නවා.”

“මට කියන්න තියෙන්නෙ මම දැක්ක සමන් අය්යා නොදැක්ක අයට දකින්නත්, දැක්ක අයට පහන් සංවේගය ඇති කරගන්නත් හේතු වෙන නිර්මාණයක් මේ. මැඩම්, මට මේක කාටත් ඇහෙන්න සැරයක් කියවන්න හිතෙනවා.

“හිතිච්ච දේ ක්‍රියාවක් කරන්න මිහිදිනී, ඒ අය්යා ගැන කතා කරන එකත් පිනක්.”

ගඟුල් වදනට අනුගත ව මිහිදිනියගේ මිහිරි කටහඬින් ගැයෙන සමරු කවිය ය ඔවුනට අනතුරුව අසන්නට ලැබුණේ.

ඔබ නුදුටු ඇස්වලට දැන් ඔබව දකින්නට ඔබේ     සිත්තම් ගෙදර     තියෙනවා
නතර වී බලන හැම වාරයක එසිත්තම් පෙර නොදුටු       අමුත්තක්     මවනවා
අහිමි වූ සංවාද දහස් ගණනක් සිහි ව රිදෙන හද ඉන්       සුඟක්       නිවෙනවා
ගෙදර විතරක් නෙමෙයි විශ්වයේ හැම තැනම සිත්තමක් සේ ම ඔබ    ඉන්නවා

ගණ අඳුරු තක්සලා දසදහස් දල්වන්න ඔබේ වදනක        එළිය       තියෙනවා  
කුඩා ඉටිපන්දම්වැ මඳක් හෝ ඒ එළිය ගෙන යන්න ළයට බර         දැනෙනවා
හරිතවත් තුරු වගේ දැනෙන සුපහන් පහන් සිසු රුවින් අප අවට     නැගෙනවා
ඔබෙන් නොනිවී ගලන තාරකාලෝකයෙන් ඒ පහන් අදත් එළි           ලබනවා   

“ආයෙ කියන්න දෙයක් නෑ සර් - මැඩම්, නංගි සර්ලගෙ අය්යා ගැන කියන්න ම ඕන දේ, සමාජෙට යන්න ම ඕනෙ දේ, සමන් අය්යගෙ චිත්‍ර ගැන කියන්න ම ඕන දේ මේ කවියට අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපට අපේ ගුරු මෙහෙවර මතක් කරලා දෙන ගමන්ම තමන් ඒ මෙහෙවරේ තමන්ගෙ උපරිමෙන් නිරත වෙනවා කියන පණිවිඩයත් මේකෙ තියෙනවා. මන් අහන්නත් හිටියෙ අදත් නංගි වැඩට ගිහින් ද? මන් දන්න තරමින් නං දැන් බෞද්ධ පාළියෙ විභාගත් ඉවරයි.”

“ඒ උනාට දෙන්න ම අදත් එහෙ ගියා.”

“මිහිදිනී, මේ කවිය ගායනා කළෙත් බොහොම හැඟීමෙන්. අදත් දුවයි පුතයි දෙන්නම ගියා බෞද්ධ පාළියට. මේ කවියෙ ඒක ලියපු දුව විතරක් නෙමෙයි ඒ පුතත් ඉන්නවා. එයා නිතර කියන දෙයක් තමයි එයාටත් දකින්න ඉඩ නොලැබිච්ච මහප්පගෙ චිත්‍රවල හැමදාම අලුත් දෙයක් දකිනවා කියන එක.”

“මැඩම්, මම දවසක එන්න ද අය්යයි අක්කයි දෙන්නම ගෙදර ඉන්න දවසක මේ චිත්‍ර බලන්නම විතරක්.”

“ඇයි ඔයා විතරක් මමත් එනවා.”

“ඔව් ඉතින් මන් එන්නෙ ඔයත් එක්ක තමයි. ඒ උනාට ඔයා මීට කලින් මේ චිත්‍ර දැකලා තියෙවනෙ.”

“ඒ දැක්කට මට කියන්න තියෙන්නෙ ඒ චිත්‍ර ගැන නංගිගෙ මහත්තයා - අපේ හෂාන් කියපු දේම තමයි. අර සර් අපට කියලා දුන්න මාඝ කවියගෙ මොහොතක් මොහොතක් පාසා යම් අලුත් බවක් ඇති වෙනව ද ඒක තමයි රමණීයත්වයේ ස්වරූපය කියන එක සමන් අය්යගෙ චිත්‍ර සම්බන්ධයෙනුත් හරියට ම හරි.”

“ඉතින් අනේ ඔයා විතරක් දැනගෙන ඉඳලා හරියනව ද මටත් දැන ගන්න කියන්ඩකො ඒ සංස්කෘත පාඨයත්.”

“මන් ගොඩක් තැන්වල දි මතක් කරන එකක් ඒ. සමහර විට මට ඔයාට කියන්න අමතක වෙන්න ඇති.”

“ක්ෂණේ ක්ෂණේ යන්නවතාමුපෛති තදේව රූපං රමණීයතායාඃ මට මිහිදිනී ඔයා සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙත් ...”
ගඟුල් කියන්නට ගිය දෙය නොකියා නතර වූයේ තමා දැන් සිටින්නේ ගුරු ගෙදර බව සිහිපත් වූ බැවිනි. එහෙත් තමා ප්‍රමාද වැඩි බව ඔහුට වැටහුණේ සිය ආචාර්යවරයා සිනාසෙමින් කියූ දෙයත් ආචාර්ය පත්නියගේ සිනාමුසු බැල්මත් තමා වෙත එල්ල ව තිබූ නිසා ය.

“ගඟුල්ට මතක ද ශාකුන්තලේ දුෂ්‍යන්ත රජතුමා ඇගේ යෙහෙළියන් දෙන්නගෙන් අහනවනෙ ඔබේ මේ යෙහෙළිය ගැන තොරතුරු දැනගන්න කැමතියි කියලා. එතකොට ඒ ගොල්ලො කියනවනෙ මෙයා මේනකා කියන අප්සරාවගෙ දුව ය, විශ්වාමිත්‍ර ඍෂිවරයා ඇය දැකලා ආදරයෙන් උමතු උනා කියලා. ඊට පස්සෙ මොකක් ද ගඟුල් ශාකුන්තලේ තියෙන්නෙ.”

“ඊට පස්සෙ මොකද උනේ කියන එක කියාගන්න බැරුව අනසූයයි ප්‍රියංවදයි ඇඹරෙන කොට රජතුමා කියනවනේ කියන්න උවමනා නෑ පස්සෙ මොකක් ද උනේ කියලා මට පැහැදිලි යි කියලා.”

“අන්න හරි මටත් ඔයා කියන්න ගිහින් නතර කරපු දේ ගැන කියන්න තියෙන්නෙ, කියන්න අවශ්‍ය නැහැ නැහැ කියන අර්ථෙ දෙන පරස්තාදවගම්‍යත ඒව කියන දුෂ්‍යන්තගෙ වචන ටික තමයි.”

“ඒ සිද්ධියට සමාන නැති උනාට ඔයා කියන්න ගිහිල්ලා නතර කරපු දේත් එක්ක සර්ගෙ වචන හරියට ම ගැළපෙනවා කියලා තමයි මටත් හිතෙන්නෙ.”  

ආචාර්ය පතිනිය එසේ කියා විලිබර ව සිටි මිහිදිනියගේ අතින් අල්ලා ගෙන ගියේ ආහාර සූදානම් කොට තිබූ තැනට ය. කෑම මේසය දුටු මිහිදිනී මුවින් පිටවූයේ පහත සඳහන් වචන යි.

“අනේ මැඩම්ලා ගොඩක් මහන්සි වෙලානෙ.”

“දුව, ඒ සම්මානෙ අයිති මට නෙමෙයි ඔයගොල්ලන්ගෙ මේ සුදු නැන්දටයි රාණි නැන්දටයි. ඒ දෙන්න තමයි කවුරු ආවත් මේ සංග්‍රහ කටයුතු කරන්න මුල් වෙන්නෙ, මහන්සි වෙන්නෙ.”

දිවාහාරයෙන් පසු මිහිදිනීට ආචාර්ය පත්නිය සමග තවදුරටත් සිය පර්යේෂණ නිබන්ධ මාතෘකාව ගැන සාකච්ඡා කිරීමටත් අවසානයේ දී පරිච්ඡේද සැලැස්ම සකස් කොට ගැනීමටත් අවස්ථාව ලැබිණ. ඒ අනුව මාතෘකානුගත ව සැකසුණේ පහත සඳහන් සැලැස්ම යි.

රබීන්ද්‍රනාත් තාගෝර් සහ එච්. ඇම්. කුඩලිගම නිර්මාණවලින් විශද වන මානව ප්‍රේමය, පරිසර ප්‍රේමය සහ සෞන්දර්යය

ප්‍රථම පරිච්ඡේදය  හැඳින්වීම
1.1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතය සහ ඔහුගේ නිර්මාණ
1.2 එච්. ඇම්. කුඩලිගමගේ ජීවිතය සහ ඔහුගේ නිර්මාණ
ද්විතීය පරිච්ඡේදය
2. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ස්ටේ්‍ර බර්ඩ්ස් කෘතියෙන් විශද වන මානව ප්‍රේමයේ සෞන්දර්යය
2. 2 එච්. ඇම්. කුඩලිගමගේ ඈ සහ කුණාටුවෙන් විශද වන මානව ප්‍රේමයේ සෞන්දර්යය
තෘතීය පරිච්ඡේදය
3. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ස්ටේ්‍ර බර්ඩ්ස් කෘතියෙන් විශද වන පරිසර ප්‍රේමයේ සෞන්දර්යය  
3. 2 එච්. ඇම්. කුඩලිගමගේ ඈ සහ කුණාටුවෙන් විශද වන පරිසර ප්‍රේමයේ සෞන්දර්යය
චතුර්ථ පරිච්ඡේදය
4. 1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ රචනා ශෛලියේ විශේෂතා
4. 2 එච්. ඇම්. කුඩලිගමගේ රචනා ශෛලියේ විශේෂතා
5 පඤ්චම පරිච්ඡේදය
සමාලෝචනය    

“දැන් ඉතින් ඔයා දුව ඔයාලගෙ සර් එක්ක කතා කරලා අවශ්‍ය වෙනස්කම් කරගෙන වැඩේට බහින්න.”

“අනේ බොහොම ස්තුතියි, බොහොම පින් මැඩම් මට උදව් කළාට.”

“නෑ ඒක අපේ වගකීමක්නෙ ළමයො. එහෙනං ඉතිරි වැඩවල යෙදෙන්නකො.”  

සහන් පරිච්ඡේද සැලැස්ම කීප වරක් කියවා පැවසුවේ පහත සඳහන් වචන යි.

“මිහිදිනී, මේ සැලැස්ම ඔස්සේ ඔයාගෙන් අන්තිමට බිහි වෙන්න ඕනෙ කරන්නෙ පාඨකයන්ගෙ පැත්තෙන් බැලුවහම හොඳ කියවීමක්. මුලින් ම මේකෙ තියෙන හරය නොමැරෙන විදිහට මේක ඉංග්‍රීසියට දාන්න. මොකද ඔයාගෙ විෂය වෙන්නෙ ඉංග්‍රීසිනෙ. ඒ වගෙම මේ වෙලාවෙ මන් ඔයාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා උපාධි ප්‍රතිඵල ආවට පස්සෙ ඔයා දුව මේක සිංහලයට පරිවර්තනය කරලා පොතක් හැටියට සමාජගත කරන්නත් ඕනෙ. ඒ වගෙම අපි බලමු මේ ඔරිජිනල් එකත් සමාජගත කරන ක්‍රමයක්. මොකද මේ ආදරණීය නිර්මාණකරුවන් ගැන, ඔවුන්ගෙ නිර්මාණ ගැන දැන ගන්න පාඨකයන්ට තියෙන අයිතියට භාෂාවක් බාධා වෙන්න බැහැ. ඒ බාධකෙ ජයගෙන ඉන්න දුවගෙ වගකීමක් නෙමෙයි වගවීමක් මේවා ලෝකයට ගෙනියන එක.”

“සර්, මම බොහොම ගෞරවයෙන්, හිස් මුදුනින් ම සර්ගෙ ඉල්ලීම බාරගන්නවා. මන් හිතනවා මේකෙ සිංහල පරිවර්තනය කරන්න තව කෙනෙක් මට උදව් කරයි කියලා.”
මෙසේ කියා මිහිදිනී ආදරයෙන් බැලුවේ ගඟුල් දෙස ය. අනතුරුව ඇය යළිත් කතා කළා ය.

“සර්, දැන් මේකෙ වෙන්න තියෙන පොඩි හරි සංශෝධනයක් තියෙනවා නං මට කියනව ද? එතකොට මට හෙට අපේ ඉන්දිරා මැඩම් හම්බ වෙලා මැඩම්ගෙන් ලැබෙන වචනෙත් එක්ක වැඩේට බහින්න පුළුවන්.”

“මේ සැලැස්ම හොඳයි දුව. දැන් ඔයා මේකෙ පළවෙනි පරිච්ඡේදෙ මුල් කොටසෙදි තාගෝර්ගෙ ජීවන තොරතුරු ගැන, බලන අයට චිත්‍රයක් මැවෙන විදිහෙ සටහනක් ලියන්න. ඊට පස්සෙ තාගෝර් නිර්මාණ ගැන ලියන්න. ඒ මුල් කොටසෙ අවසානෙට ස්ට්රේ බර්ඩ්ස් ගැන ප්‍රමාණවත් සඳහනක් කරන්න. ඒ ආකෘතිය ම පාවිච්චි කරමින් කුඩලිගම ගැනත් ලියන්න.”

“සර් ඔහොම කියන කොට මට තව උපශීර්ෂත් එනවා හිතට. ඒ කියන්නෙ සර් 1.1, 1.2, 1.3 විදිහට තව උපශීර්ෂත්  දාලා හයක් විතර ආවට කමක් නැද්ද?”

“ඉතින් ඒක හොඳයිනෙ. දැන් මට කියන්න ඔයාගෙ හිතට ආපු උපශීර්ෂ හය.”  

“සර්, මම හිතුවෙ 1.1 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ජීවිතය 1.2 ඔහුගේ නිර්මාණ 1.3 ස්ට්රේ බර්ඩ්ස් අන්තර්ගතය කියලා අරගෙන 1.4 එච්. ඇම් කුඩලිගමගේ ජීවිතය 1.5 ඔහුගේ නිර්මාණ 1.6  ඈ සහ කුණාටුවේ අන්තර්ගතය කියලා ගන්න.”

“කොච්චර හොඳ ද ඔයා හිතලා තියෙන විදිහ.”

“දැක්ක ද සර් මට දෙන ක්‍රෙඩිට් එක. සර්, මෙයාට කියන්න මට හොඳට සලකන්න කියලා.”

“මන් ඒක අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැ දරුවො. ඔයාට ලැබිලා තියෙන්නෙ මරණය තෙක් ගත වෙන අපේ මේ කෙටිකාලීන ජීවිතේ ලැබෙන්න ම ඕන කෙනා. ඔයාට සලකන ම කෙනා. ඒ වගෙම ගඟුල්, පුතා උඹේ මේ තේරීම හරියට ම හරි. මට දැන් තමයි තේරෙන්නෙ ශිෂ්‍ය ජීවිතේ දි මේ හාදයා තමන්ට එන ප්‍රේමාරාධනා බාරගන්නැතුව හිටියෙ එකේ තේරුම.”  

සහන් මෙවදන් ප්‍රකාශ කෙළේ ගඟුල් දෙස බලා  දෙදෙනා වෙත ම ස්නේහපූර්වක බැල්මක් හෙළමිනි.  

“මම සර්, මෙහෙ මැඩම්ගෙනුත් අහලා දෙවෙනි පරිච්ඡේදෙත් උපශීර්ෂත් වැඩි කර ගන්න පුළුවන් ද කියලා බලන්නම්. ඒ වගෙම අපිට බැරි ද සර්  මානව ප්‍රේමයේ සෞන්දර්යය ගැන කතා කරද්දි කාන්තා භූමිකා ගැනත් කතා කරන්න.”

“අනිවාරෙන් ම දුව, ඔයා ඒක කරන්න ම ඕන දෙයක්. මේ දෙන්නගෙම නිර්මාණ හුයක් වගෙ සම්බන්ධ කරන විශේෂ තැන තමයි ගැහැණිය. ඔයා අධ්‍යයනය කරන පොත්වලදි ඔයාට වරින් වර මුණ ගැසේවි ඇය. මේ පොත්වලට අමතර ව සුදුසු ම අයත් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් දෙකක්  තියෙන එකත් හොඳයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නිර්මාණකරුවන් දිහා, ඔවුන්ගෙ නිර්මාණ වගෙම ඔවුන් කතා කරපු ගැහැනිය දිහා නිවැරදි දෘෂ්ටි කෝණයකින් කතා කරන්න පුළුවන් අපේ යුගයෙ අපට ඉස්සරහින් හිටිය වැඩිහිටි ස්ත්‍රී රත්නයක්.”

“අනේ සර් කවුද ඒ. මමත් කැමතියි එහෙම චරිතයක් මගෙ උපාධි පොතේ කොටසක් වෙනවට. මට ඉන්න තැන කියන්න සර්. සර්රුයි මාව එව්වෙ කියන එක කියලා මම ඒ මැඩම්ව හමු වෙන්නම්.”

“ඒ මැඩම් ව හමු වෙන්න මන් කිව්වා කියන එක නං අවශ්‍ය වෙන්නෙ නැහැ එතුමිය හිටියනං. ඒ ඉන්නවනං මේකට කැමති වෙලා ඔයාට වෙලාව දෙන නිසා. ඒ කියන්නෙ එතුමිය ඒ තරම් ම ආදරණීය ගුරු මවක් නිසා.”

“ඒ කිව්වෙ සර්, ඒ මැඩම් මේ දවස්වල ලංකාවෙ නැද්ද?”

“ලංකාවෙ නෙමෙයි දුව, ලෝකයෙ කොයි තැනකවත් නැහැ එක තැනක ඇර.”

“සර් මේ කියන්නෙ අමුතු කතාවක්. ලංකාවෙත් නැත්තං ලෝකෙ කොතැනවත් නැත්තං ඒ මැඩම් ඉන්නෙ කොහෙද සර් දැන්.”

“අපේ හදවත්වල දුව, අපේ හදවත්වල.”

“මන් දන්නවා සර් කියන්නෙ කා ගැන ද කියලා. අපේ මිහිදිනීට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ මැඩම්ව දකින්න. ඒත් එයා මැඩම් ගැන අහලා තියෙනවා. මැඩම් ලියපු දේවල් කියවලා තියෙනවා. අපේ සර් මේ කියන්නෙ මිහිදිනී වෙන කාගෙවත් ගැන නෙමෙයි. මේ ළඟදි අපට විතරක් නෙමෙයි රටට ලෝකෙට අහිමි වෙච්ච ඇඳගම මැඩම් ගැන. සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම කියන අපිට උගන්නපු අපේ ගුරුවරුන්ටත් ගුරු වෙච්ච උත්තම ස්ත්‍රී රත්නය ගැන.”

“මන් මේ ආවෙ ඔයගොල්ල අපේ ඇඳගම මැඩම්ගෙ නම කියනවා ඇහිලයි. දුවේ ඇඳගම මැඩම් කියන්නෙ ඉතිහාස පොතකට. ඉතිහාස භාෂවෙන් කියනවනං මැඩම් අපට මහවංසයක්.”

“අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට එනකොටත් ඇඳගම මැඩම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. හැබැයි ශිෂ්‍යයන් දැකලා නතර වෙලා වචනයක් දෙකක් කතා කරලා යන්න එතුමිය අමතක කළේ නැහැ. කෙනෙකුට පුළුවන් දරුවනේ අවුරුදු ගත වෙන කොට වෘත්තීය වශයෙන් ජ්‍යෙෂ්ඨ වෙන්න. ඒත් ශ්‍රේෂ්ඨ නාමය දිනා ගන්න අමාරුනෙ. ඇඳගම මැඩම් කියන්නෙ ජ්‍යෙෂ්ඨ වගේ ම ශ්‍රේෂ්ඨ කථිකාචාර්යවරියක්.”
ඒ එකතු කිරිම කළේ සහන් ආචාර්යවරයා ය.

“අපි දැන් කෑම ගනිමු, මැඩම් ගැන කතා කරමු. අර විදුහල්පතිනියක් විදිහට ලොකු සේවයක් කරපු කුලතුංග නෝනා කිව්වා වගෙ ලැබෙන හැම මොහොතක ම යහපත් කෙනෙක් ගැන කතා කරන එකත් පිනක් කියනවනෙ.”

ඒ ප්‍රකාශය කෙළේ ද සහන් ආචාර්යවරයා ය.  

“සර් කියන එක ඇත්තම ඇත්ත දරුවනේ. මමත් එතුමිය දකින්නෙ, අඳුනාගන්නෙ සරසවි ශිෂ්‍යාවක් විදිහට. සෑහෙන කාලයක් ප්‍රධාන නේවාසිකාගාර පාලිකාව වෙලා හිටියා ඇඳගම මැඩම්. ඒ තමන්ගෙ දරුවන්ගෙ බඩගින්න වගේ සිසු දරුවන්ගෙ බඩගින්න දැනිච්ච ගුරු අම්මා කෙනෙක්. ඒ වගෙම මම ආචාර්ය මණ්ඩල සාමාජිකාවක් වෙලා නේවාසිකාගාර උපපාලිකාවක් විදිහට වැඩ කරන කොට තවත් හොඳට අඳුනගත්තා එතුමියගෙ මවුහත් ගුණය.”

“මැඩම්, ඇඳගම මැඩම් මොනව ද දරපු තනතුරු.”

“එතුමිය අවශ්‍යම කාලෙ දි ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශෙ අංශප්‍රධානවරිය විදිහට වැඩ කළා. ඒ අතරෙ උගන්නන එක අතපසු කළෙත් නැහැ. අද වෙන කොට ඒ අධ්‍යයනාංශෙ ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු කථිකාචාර්යවරු වැඩිම පිරිසක් එතුමියගෙන් ඉගෙන ගත්ත අය.”

“ඔයගොල්ලන්ගෙ මේ මැඩම් එතුමිය දරපු තනතුරු ගැන එහෙම කියන කොට එතුමිය නොදරපු තනතුරකට සම්බන්ධ කතාවක් මට මතක් වෙනවා. එතකොට මම අපේ අධ්‍යයනාංශෙ බාහිර කථිකාචාර්යවරයෙක්. ඒ කාලෙ අංශ ප්‍රධාන විදිහට වැඩ කළේ මේ ළඟදි අපට අහිමි වෙච්ච පලිහවඩන සර්. සර් මට අලුතින් බාර දුන්න විෂයකට අදාළ කාරණා ගැන උපදෙස් දිදී ඉන්න වෙලාවක ඇඳගම මැඩ ම්ආවා අපේ සර්ව හම්බ වෙන්න. මන් එතනින් නැගිටලා යන්න හදන කොට මැඩම් කිව්වෙ මන් ආවෙ සර්ට සුබ පතලා යන්නයි ඔය වැඩවලට බාධා නොකර මන් ඉක්මනට යන නිසා ඔයා ඔහොම ඉන්න කියලා කිව්වා.”

“අපි ඉඳගෙන ම කතා කරමු ප්‍රොපෙසර් ඇඳගම කියලා සර් කිව්වහම මැඩම් මන් ළඟ තිබිච්ච අනික් පුටුවෙ ඉඳගෙන ඒ වෙලාවෙ එතුමිය ආපු නිසා එතන හිටගෙන හිටපු මාව අනික් පුටුවෙ වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ සර්ට කිව්වා. සර් මම දැනගත්තා සර් මේ සැරේ පීඨාධිපතිකමට ඉල්ලනවා කියලා මන් ඒක දැන ගත්තෙ පස්සෙ. මම ඒක නොදැනයි මමත් පීඨාධිපති ධුරයට ඉල්ලන්න හිතුවෙ. සර් දැන් මම කොහොමටවත් ඉල්ලන්නෙ නැහැ කියලා ඉඳගෙන ආපු පුටුවෙන් නැගිටලා සර්ට ආචාර කරලා සර්ට සුබ පතලා ගියා. මට මතකයි සර් ඒක පිළිගත්තෙ  සර්ලගෙන් මැඩම්ලගෙන්මයි ඉගෙන ගත්තෙ විශ්වවිද්‍යාලෙක ජ්‍යෙෂ්ඨයන් හැසිරෙන්න ඕනෙ කොහොම ද කියන එක. අන්‍යොන්‍ය ගෞරවය දක්වන්නෙ කොහොම ද කියන එක.”

“ඒ විතරක් නෙමෙයි දරුවනේ මැඩම් ආචාර්ය මණ්ඩලේ සභාපති හරි ලේකම් හරි විදිහට කලක් වැඩ කළා. ඒ කාලෙ තමයි අපේ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලේ ගොඩක් දෙනාට එතුමියගෙ ප්‍රඥාවන්තකම නිර්භීතකම වගෙම කරුණාවන්තකම දැක ගන්න විඳගන්න ලැබුණේ. අපි සමහර විට ඇතැම් වැඩකට යන්නෙ ඒකෙ කෙයෙන වැදගත්කම නිස විතරක් නෙමෙයි ඒ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න අයගෙ තියෙන කැඳවන ගුණයත් නිසා. මහවංස කර්තෘ මණ්ඩලේ කාලයක් වැඩ කරපු ඔයගොල්ලන්ගෙ මේ සර් වෙනත් වැඩ යොදාගෙන තිබුණ දවසක උනත් අද නං යන්නම වෙනවා. මොකද ඊයෙ රෑ අපේ ඇඳගම මැඩම් ටෙලිෆෝන් කරලත් ඇහැව්වනෙ ඔයා හෙට එනවා නේද කියලා? පහුවදා මෙයා ඒ රැස්වීමට ගියේ අපිට ආයතනික වශයෙන් කරන නියෝගයක් නොතකා හරින්න පුළුවන් ඒත් අපි ආදරය කරන ගෞරව කරන කෙනෙක්ගෙ ඉල්ලීමක් නොතකා හරින්න බැහැ කියලා.”

“ඒ වගෙම දුවේ මම මට විභාග දෙපාර්තමේන්තුවෙ වැඩවලට සම්බන්ධ වෙලා ඉඳිද්දිත් අපේ ඇඳගම මැඩම් වැඩ කරපු විදිහ දැක්කා. මට මතකයි ඉතිහාසය විෂයට ජාතිත මට්ටමෙන් වෙන නොතකා හැරීම්වලට විරුද්ධ ව කතා කරපු ප්‍රබල කාන්තා හඩවල් දෙකක් තිබුණා. එක්කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ ඉතිහාසෙ උගන්නපු ඉන්ද්‍රාණි මුණසිංහ මහාචාර්යතුමිය. අනික් කෙනා අපේ මේ ඇඳගම මැඩම්.”   

“ඒ වගෙම අපේ ඇඳගම මැඩම් කියන්නෙ ආදරණීය බිරිඳක්. ඒ සහතිකය ප්‍රසිද්ධියේ ම දුන්නෙ අද අපි අතර නැති එතුමියගෙ ආදරණීය ස්වාමිපුරුෂයා වෙච්ච මානවවිද්‍යාඥ පණ්ඩුල ඇඳගම. ඒ වගෙම දුවලම හතර දෙනෙකුට ඒ බෑණාවරුන්ට වෙනසක් නැතුව ආදරණීය අම්මා කෙනෙක් වෙන්න මැඩම්ට පුළුවන්කම තිබුණා. ඒ මුනුපුරන්ට මිනිපිරියන්ට අඩුවක් නැතුව සෙනෙහස දෙන මිත්තනියගෙ භූමිකාවෙ ඉන්නත් ඇයට පුළුවන්කම තිබුණා අප්‍රමාණ වැඩ තියෙන අතරෙම.”

“සර් මැඩම් විෂයබද්ධ පොත් එහෙමත් සමාජගත කරලා තියෙනවා නේද?”

“ඔව් ගඟුල්, පොත් වගෙම ලිපි ලේඛන රාශියක් එතුමිය සම්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලෙ දර්වන්ට ඉගැන්වීම ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඉස්කෝලවලටත් ගිහින් පාසල් ගුරුවරුන්ට පාසල් දරුවන්ට අපේ ඇත්ත ඉතිහාසය කියලා දෙන්නත් එතුමියට පුළුවන්කම තිබුණා. අපේ ඉතිහාසය සංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව අපි කවුරුත් දැන ගන්න ඕනෙ කියන හැඟීම අපේ මැඩම්ට තිබුණා. අන්න ඒ ආදරණීය හැඟීම තමයි මුලින් සිහලෙන් ලියපු නූතන මහවංසය ඉංග්‍රීසියට පාළියට විතරක් නෙමෙයි දෙමළටත් දාන්න ඕනෙයි කියන කාරණය වෙනුවෙන් එතුමිය අඛණ්ඩ ව පෙනී හිටියෙ.”

“එතුමියගෙ ජීවිතය කියව ගන්න බැරි වෙච්ච අයත් හිටියා නේද සර්?”

“සමාජෙට වැඩක් ඇති වැඩක් කරන ඕනෙම කෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්නෙ ගඟුල් ඒ. ඒක අපේ මැඩම්ටත් සාධාරණයි. හැබැයි මැඩම් නොකියවපු අයට වඩා කියවපු අය වැඩියි. තේරු ම්නොගත්ත අයට වඩා තේරුම් ගත්ත අය වැඩියි. ඒක නිසානෙ ජයවර්ධනපුරේ සේවය කරපු අපේ මැඩම්ට කොළඹ පේරාදෙණිය රජරට රුහුණ ඌව වෙල්ලස්ස වගේ ගොඩක් විශ්වවිද්‍යාලවලින් ආරාධනා එන්නෙ ඒවයෙ වැඩවලට උදව් වෙන්න කියලා.”

“ඒ විතරක් නෙමෙයි කෙනෙක්ගෙ ජීවිතෙ සංවේගජනක සිද්ධි වෙන කොට මහා ශක්තියක් වෙමින් වචනයෙන් ක්‍රියාවෙන් උදව් කරන කෙනෙකුට තමයි ඇඳගම මැඩම් කියන්නෙ. ඒ අද්දැකීම තියෙන්නෙ අපි එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි.”

“ගඟුල් - මිහිදිනී, අතීතයේ එක දවසක රුවන්වැල්ල ඉස්කෝලෙන් පේරාදෙණිය විහ්වවිද්‍යාලෙට ගිය තරුණියකට පුළුවන් වෙනවා පස්සෙ කාලෙක රට ලෝකය පිළිගත්ත මහාචාර්යවරියක් වෙන්න. මනුස්සකම් දන්න, ඊළඟ පරම්පරාවක් හදන්න හිතන ආදරණීය මහාචාර්යවරියක් වෙන්න. මැඩම් ඒ දේ කළා. එතුමිය අපිට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගෙ පරම්පරාවටත් ආදර්ශ රූපයක්. දැන් ගන්න මිහිදිනී මේ ස්ට්රේ බර්ඩ්ස් පොත අතට. ඔයා ගන්න ගඟුල් ඈ පොත.  දෙන්න වෙන වෙන ම තෝරන්න අපේ ඇඳගම මැඩම්ගෙ ආදරණීය ජීවිතයත් එක්ක ගළපන්න පුළුවන් නිර්මාණ දෙකක්. අපි එතනින් අදට මේ සාකච්ඡාව අවසාන කරමු.”

නිහඬතාව හා බැඳුණු විනාඩි කීපයක් ගෙවී ගියේ ය. පළමු ව ඇසුණේ මිහිදිනියගේ හඬ යි. ඇය පළමු ව තත් කවියේ තාගෝර් ප්‍රකාශනය දක්වා දෙවනු ව ඒ මොහොතේ හදට ආ පරිවර්තනය ද ඉදිරිපත් කළා ය.

Let my thoughts come to you, when I am gone, like the afterglow of sunset at the margin of starry silence.


හිරු බැස ගිය පසු තාරකා පිරිවැරූ නිහඬතාව මැදින් විහිදෙන සන්ධ්‍යා ආලෝකය සේ මා පිළිබඳ සිතිවිලි ඔබ හදට ඒවා, මා වෙන් ව ගිය කල.

අවසන සංකථන සමාප්තිය සලකුණු කරමින් ගඟුල් විසින් පවසන ලද්දේ කුඩලිගමයන්ගේ ඈ කව් පොතෙහි එන ඉසොඳුරු කවකි.  

ඈතින් ඇසට හමු වන ඉර බහින    අත
පඬු පැහැ වැටී බැබළෙන කඳු වළලු මත  
නුපුරුදු රැස් වැදැල්ලක් දැක    රහසිගත
විමසිලිමත්  වුණෙමි ඇය ඒ අසල   ඇත

Sunday, June 29, 2025

132. ගුරු දියවර 44 - සමන් චන්ද්‍ර රණසිංහ

ඇදුරු සඳ බැස යද්දි -

පොසොන් සඳ උදා වෙයි


පොසොන් සඳ මිහි මත වැටී දිදුලන ඒ නිශා යාමයේ ගඟුල්, සිය නිවහනේ ගෙමිදුලට පැමිණියේ ය. පොසොන් සතියෙන් පසු එළැඹෙන ප්‍රථම සතියේ ඔහුට කිරීමට තිබෙන එක් දේශනයක මාතෘකාව වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සහ දේශීය කලා නිර්මාණ යි. සිය ආචාර්යවරයා විසින් පවරන ලද මේ වගකීමත් සමග ඔහුට සිහිපත් වූයේ ඒ ආචාර්යවරයාගේ උල්පත කාව්‍ය සංග්‍රහයේ එන අවසන් පැදිය යි.

පොසොන් දිනයේ අරුත වැනි වූ දයාබර සොහොයුර මගේ
ඔබේ ජීවය නතර වී නැහැ ගලා යයි සිසිලස්             ගඟේ
හදේ කැටි වුණු අඳුර විනිවිද ඔබ උදා හිරු  සේ       නැඟේ
අදත් ළඟ ඉන්නවා වාගෙයි එදා ළඟ සිටියා              වගේ
 
දැන් තමා විසින් පළමු ව සිදු කළ යුත්තේ පොසොන් දිනයේ අරුත නිවැරදි ව හඳුනා ගැනීම ය. ඒ හඳුනා ගැනීම සිය ශිෂ්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීම ය. සිය ආචාර්යවරයාට තම සොහොයුරා පොසොන් දිනයේ අරුත සේ දැනුණේ ඇයි? ඔහුට සිතුණේ ඒ මොහොතේ සිය ආචාර්යවරයා දූරකථනයෙන් සම්බන්ධ කොට ගැනීමට ය. සිය සිතට ආ සිතිවිල්ල ක්‍රියාවක් බවට පත් කරමින් ගඟුල් සඳ කිරණින් නැහුවුණු ගෙමිදුල හිඳිමින් ම ඔහුට දුරකතන ඇමතුමක් ගත්තේ ය.
 
“සර් මට මේ කතා කරන්න පුළුවන් වෙලාවක් ද? සර් වැඩක ද ඉන්නේ.”

“වැඩක නම් තමයි ගඟුල් ඉන්නෙ. ඒ උනාට මටත් ඔයාට කතා කරන්න ඕනෙකම තිබ්බා. මන් කොහොමටත් තව ටිකකින් ඔයාට ගන්න තමයි හිටියෙ. ඉස්සෙල්ලා කියන්ඩකො ඔයාගෙ ඕනෙකම.”
 
“සර්ට මතක ද සර් අය්යා ගැන පොසොන් දිවියේ අරුත වැනි වූ දයාබර සොහොයුර මගේ කියලා කවියක් ලියලා තිබුණා. සර් ඒක කියන්න ඇත්තෙ ලොකු අර්ථයක් හිතලනෙ. මට ඒ ගැන කතා කරන්න ඕන කරනවා සර් ටික වෙලාවක් සර් ව හම්බ වෙලා ම. මට සර් වෙලාවක් දෙනව ද එහෙ ගෙදරට හරි විශ්වවිද්‍යාලෙට හරි එන්න.”

“පොසොන් අර්ථයක් වගේ අපේ ජීවිත ආලෝකවත් කරපු තවත් සුවිශේෂ ගුරු තාරකාවක් අද අපට අහිමි උනා ගඟුල්.”
 
“අනේ කවුද සර් ඒ. මමත් දන්න සර් කෙනෙක් ද?”

“ඔව් ඔයත් දැකපු කතා කරපු කෙනෙක්. අද පලිහවඩන සර් නැති උනා ගඟුල්. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මට ප්‍රොපෙසර් නලින් කතා කරලා කිව්වේ. මන් සර්ගෙ පුතා රවීට යි ලොකු දුව ප්‍රියංවදාට යි කතා කළා. ඒ අතරෙ සර්ගෙ ඥාති පුතෙක් වන අජන්ත පලිහවඩනත්  කතා කළා. හෙට ගඟුල්ගෙ වැඩ කොහොම ද?”

“සර් මට දවස සැලසුම් කර ගන්න පුළුවන්. මට කියන්න මොකක් ද මගෙන් වෙන්න ඕන කරන්නෙ කියලා.”  

“ගඟුල්, මන් කුරුණෑගල ඉන්නෙ ගෙදර කට්ටියත් එක්ක. දවස් හයක් ඉන්න බලාගෙන ආවෙ. ඒත් අපි ඔක්කොම අද රෑ හරි හෙට එළිවෙන පාන්දරින් හරි කොළඹ එන්න පිටත් වෙනවා. හෙට නවය දෙක වෙලාවන් අතරෙදි සර්ගෙ බොඩි එක අපේ වෛද්‍ය පීඨෙට බාර දෙන්නයි තියෙන්නෙ. මන් වෛද්‍ය පීඨෙ සුරංගි යසවර්ධන මැඩම්ටත් කතා කරලයි තියෙන්නෙ. මට මොකක් හරි හේතුවක් නිසා නවයට ම එන්න බැරි උනොත් කියන හැඟීම නිසා තමයි ඔයාගෙන් අහන්න හිටියෙ අට වෙන කොට අපේ ඇනටොමි ඩිපාර්ට්මන්ට් එකට එන්න පුළුවන් ද කියලා.”
 
“අපෝ මට පුළුවන් සර්. ඊට කලින් උනත් එන්න පුළුවන්. මොකද මම කොළඹ ගෙදර ඉන්නෙ. සර් මගෙ මට්ටමෙන් කරන්න පුළුවන් ඕනෙ දෙයක් කියන්න. මන් ඒවා කරන්නම්.”
 
“සුරංගි මැඩම් කොහොමටත් එතෙන්ට ඒවි. වයිස් චාන්සලර් සර්, ඩීන් සර් දෙන්නම හෙට යූජීසේ එකේ කලින් යොදාගත්ත රැස්වීමක. ඒ දෙන්නම අවශ්‍ය දේකදි කතා කරන්න කියලත් කිව්වා. කොහොමටත් අපේ ආචාර්ය මණ්ඩලේ ඔයත් දන්න කියන කීප දෙනෙකුත් එතෙන්ට ඒවි. ඔයා නලින් සර්, රවි මහත්තයා, ප්‍රියංවදා නෝනා, රණසිංහ මහත්තය හම්බ වෙලා ඒ ගොල්ලන්ට අවශ්‍ය කරන උදව්වක් කරන්න.”

“සර් නලින් සර් කිව්වෙ නලින් වික්‍රමාරච්චි මහාචාර්යතුමානෙ. සර්ගෙ එක දුවක් වන පරිසරවේදිනී නිර්මලා මැඩම්ගෙ මහත්තයනෙ. මට සර්ගෙ පුතා රවී මහත්තයත් හම්බ වෙලා තියෙනවා. පලිහවඩන සර් බලන්න ගියාම සර්ලගෙ ගෙදරදි ප්‍රියංවදා නෝනත් හම්බ වෙලා තියෙනවා. රණසිංහ මහත්තයා තමයි හම්බ වෙලා නැත්තෙ.”

ගඟුල්, රණසිංහ මහත්තයා කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පරම්පරාවෙ අය අඳුන ගන්න ඕන කෙනෙක්. ඒ පලිහවඩන සර්ගෙ ලොකු දුව ප්‍රියංවදා නෝනගෙ මහත්තයා. අපේ සර්ව බොහොම ආදරේකින් වගෙම ගෞරවේකින් බලා ගත්ත කෙනෙක් තමයි ඒ රණසිංහ මහත්තයා.”

“හරි සර් මන් උදෙන් ම එතෙන්ට යන්නම්. තව මොනවා හරි විශේෂයෙන් කියන්න තිබුණොත් මට රෑ කීයට හරි සර් කතා කරන්න.”

“හරි ගඟුල්, තවත් ටිකක් රෑවෙලා අපි පොසොන් අර්ථය ගැන කතා කරමු. ඒ වගෙම පලිහවඩන සර්ගෙන් ඉගෙන ගත්ත, ජීවිතයට ගත්ත දේවල්වලින් කොටසක් ගැන හරි මට ඔයාට කියලා තියන්නත් ඕනෙ. මන් හිතන්නෙ මම සර් ගැන යම් යම් දේවල් මේ වෙන කොටත් ඔයාට කියලනෙ තියෙන්නෙ. අපි රෑට තව විස්තර කතා කරමු. එහෙනං දැනට මම නවතින්නම්.”

එම දුරකතන ඇමතුමෙන් පසු ගඟුල්ගේ මනසට පිවිසියේ සිය ගුරුන්ටත් ගුරු වූ ඒ සුප්‍රසන්න මහාචාර්යවරයාගේ සුන්දර රූපකාය යි. තමා ද ඇතුළු සිසු කැළට උගන්වද්දී සිය ආචාර්යවරයා නිතර සිහිපත් කරන සංස්කෘත විෂය හා බැඳුණු ගුරු නම් තුනක් වෙයි. ඒ තමනට ප්‍රථම හෝ පශ්චාද් උපාධි අධ්‍යයනයන්හිදී මාර්ගෝපදේශකත්වය නොමසුරු ව ප්‍රදානය කළ මහාචාර්ය මහින්ද පලිහවඩන, මහාචාර්ය වෝල්ටර් මාරසිංහ සහ ආචාර්ය මහානාම කරුණාරත්න යන ගුරු ත්‍රිත්වය ගැන ය. පලිහවඩන ඇදුරුතුමන් දැකීම සඳහා තමා රැගෙන ගිය දිනයේ සිය ආචාර්යවරයා මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.

“ගඟුල්, මේ තමයි මහාභාරතේ ගංගාපුත්‍ර භීෂ්ම, මේ තමයි භගවද්ගීතාව. මේ තමයි ධම්මපදය. සර් තමයි හින්දු සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදාය දෙකම ගැන අපිට ඉගැන්නුවෙ. මගෙ ප්‍රථම උපාධියෙ ඉඳල ම සංස්කෘතත් එක්ක පාළි එකට අරන් යන එකේ වැදගත්කම කියලා දුන්නෙත් සර්. සර්ගෙ උපදෙස් අනුව තමයි මම මගෙ බී ඒ උපාධියට ධම්මපදයයි භගවද්ගීතාවයි සම්බන්ධ කරගත්තෙ. සර්ගෙ උපදෙස් අනුව තමයි එම් ඒ එකට ක්‍රිෂ්ණමූර්ති දර්ශනය අධ්‍යයනය කළේ ත්‍රිපිටකය වගෙම උපනිෂද්, සාංඛ්‍ය යෝග වගේ භාරතීය දර්ශන කවුළුවක් කරගෙන. ඒ විතරක් නෙමෙයි ගඟුල් මගෙ ආචාර්ය උපාධියට රාමායණයයි ජාතකට්ඨකථයි මූලාශ්‍රය කරගෙන පරමාදර්ශී නායකත්වය ගැන අධ්‍යයනය කරන්න කිව්වෙත් සර් ම තමයි. ඇත්තටම අපිට පලිහවඩන සර් කියන්නෙ එක සාහිත්‍ය පොතක් නෙමෙයි සාහිත්‍ය වංශයක්.”  

ඒ මොහොතේ තමා පැවසුවේ පලිහවඩන මහාචාර්යතුමා කිසියම් දැක්මක් ඇතුව සිය ශිෂ්‍යයන් අධ්‍යයන කටයුතු වෙත යොමු කොට ඇති බව ය. ඊට පිළිතුරු දෙමින් සිය ආචාර්යවරයා පැවසුවේ පහත සඳහන් වචන යි.

“ඔව් ගඟුල්, සර්ට විෂය අරමුණ වගේ ම ඊට එහාට ගිහින් අපට ජීවන දර්ශනය උගන්වන්නත් ඕනෙකම තිබුණා. සර්ට ඕන උනේ නැහැ අපිව සංස්කෘත විෂය ළඟ විතරක් නතර කරන්න. ඇත්තටම පාළි ඉගෙන ගැනීමට මට අත්පොත් තිබ්බෙ අදිකාරම්තුමා. ධම්මපදය, සුත්තනිපාතය වගේ පොත් අධ්‍යයනය කොට තමයි තේරුණේ ඒවා ලියලා තියෙන භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම.”

“සර් එම් ඒ එකේදිත් පාළි අධ්‍යයන අතහැරියෙ නැහැ නේද?”  

“අතහැරියෙ නැහැ කියන එක නෙමෙයි සර් මට ඒවා අතහරින්න දුන්නෙ නැහැ කියන එකයි වඩා නිවැරදි. මට පාළිවලටත් ඇල්මක් තිබ්බා කියන එක ඇත්ත. හැබැයි ඒක ඔපමට්ටම් කරලා ගත්තෙ සර්. දවසක් වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමා කිව්වා වෙලාවක දි පලිහවඩන සර් පාලි පිළිබඳ මහාචාර්ය කෙනෙක් කියලත් හිතෙනවා කියලා. සර්ගෙ ඉංග්‍රීසිත් අදිකාරම්තුමාගෙ වගෙම හරි ලස්සන යි. ඒ වගෙම යම් මට්ටමක ජර්මන් භාෂාව ගැන දැනුමකුත් සර්ට තිබුණා. ඒ වගෙම අපි ශිෂ්‍යයන්ව ඉන්න කාලෙ සර් අඛණ්ඩ ව දෙමළ ඉගෙන ගන්න එකත් කළා.”

“මට මතකයි සර්ව ක්‍රිෂ්ණමූර්ති අධ්‍යයනයට යොමු කළෙත් පලිහවඩන සර් කියලා අපිට කියනවා.”
 
“ඔව් ගඟුල්, හැබැයි සර් ඒක කළෙත් මට සංස්කෘත, පාළි අත හැරෙන්නෙ දෙන්නෙ නැතුව. සර්ට අවශ්‍ය උනා ක්‍රිෂ්ණමූර්ති දර්ශනය වගෙම ඒවා ලියලා තියෙන ඉංග්‍රීසි පොතපත, පටිගත කරපු දේශන මා ලවා අධ්‍යයනය කරවන්න. ඒකෙන් මගෙ ඉංග්‍රීසි භාෂා දැනුම තව දියුණු කරන එකත් සර්ගෙ එක අරමුණක් වෙලා තිබුණා.”

“එතකොට සර්ගෙ පීඑච්ඩී එක සම්බන්ධයෙනුත් පලිහවඩන සර්ට විශේෂ අරමුණක් තිබුණ ද?”

“මගෙ විතරක් නෙමෙයි ගඟුල්, එතුමා යටතෙ පශ්චාද් උපාධි කරපු හැම කෙනෙකු ම යොමු කරන ඉලක්ක ගැන සර්ට හැඟීමක් තිබුණා. උදාහරණයක් ැටියට අපේ ධම්මිස්සර හාමුදුරුවො ගත්තොත් උන් වහන්සෙගෙ දර්ශනපති උපාධිය යොමු කළේ මහාභාරත සංස්කෘත වීරකාව්‍යයත් එක්ක. ඔයා දන්නවනෙ ගඟුල් ඒක ශ්ලෝක ලක්ෂයක් තියෙන පොතක්. දර්ශනපති උපාධි මාතෘකාව ශාන්ත සහ ප්‍රචණ්ඩ ඍෂිවරු. එතකොට මහාභාරතේ තැනින් තැන විසිරිලා ඉන්න ඍෂිවරු හොයා ගන්න නම් මුළු මහාභාරත වීරකාව්‍යය ම අධ්‍යයනය කරන්න වෙනවා. හාමුදුරුවො මේ අභියෝගය බාර ගත්තා විතරක් නෙමෙයි සාර්ථක ව තමන්ගෙ උපාධිය අවසානත් කළා.”

“එතකොට ඇයි සර් උන් වහන්සෙව පාලි මූලාශ්‍රය පැත්තට යොමු නොකෙළේ.”

“ඒක අවශ්‍ය නොවන නිසා. එකක් ධම්මිස්සර හාමුදුරුවො කියන්නෙ ප්‍රාචීන පඬිවරයෙක්නෙ. උන් වහන්සෙගෙ පාළි දැනුම කොහොමටත් හොඳයි. අනිත් කාරණේ උන්වහන්සෙට තිබුණෙ ශ්ලෝක ලක්ෂයක් තියෙන පොතක් අධ්‍යයනය කරන්න.”

“ඉතින් සර්, සර්ට දීලා තිබුණ රාමායණය කියන්නෙත් පොඩි පොතක් නෙමෙයිනෙ. ශ්ලෝක විසිහතර දාහක් තියෙන පොතක්නෙ.”

“ඔව් ඒ කියන්නෙ මහාභාරතෙත් එක්ක සන්සන්දනය කළාම ඒකෙන් හතරෙන් එකක්නෙ. හැබැයි සර් ඒ එක්ක තව වැඩක් කළා ඒ තමයි ජාතකකථා 547ක් පාළියෙන් තියෙන ජාතකට්ඨකථා පොත මගෙ අධ්‍යයනයෙ අනිවාර්ය කොටසක් කරන එක. මට ධම්මිස්සර හාමුදුරුවො ඔය මහමූලාශ්‍රය දෙකම ගෙනත් දුන්නා. ඇත්තටම මට මගෙ පීඑච්ඩී එකට අවුරුදු හතක් ගියා.”  

“යමර වැඩක්නෙ සර් ඒක.”

“ඒ වෙලාවෙ නම් යමර වැඩක් වගෙ පෙනුණ අවස්ථා තිබුණා. හැබැයි වැඩේ ඉවර කරන කොට ඒක හිතට සෙමර සලන වැඩක් වෙලා තිබුණා. මොකද ඒක කළාට පස්සෙ මගෙ තිබුණු මට්ටමට වඩා සංස්කෘත, පාලි දැනුම වර්ධනය වෙලා තිබුණා.”

“ඒ කියන්නෙ පලිහවඩන සර්ගෙ එක අරමුණක් වෙන්ඩ ඇතිනෙ ඒකත්.”  

“වෙන්ඩ ඇති නෙමෙයි ගඟුල්, ඒකත් ප්‍රධාන අරමුණක් බව සර් ම කියලා තිබුණා මගෙ පීඑච්ඩී එකේ අනික් උපදේශකවරයා වෙච්ච වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමාට. මොකක් ද දන්නව ද කියලා තියෙන්නෙ එයා ඕක කළාට පස්සෙ පීඑච්ඩී එක ලැබුණත් නැතත් සංස්කෘත - පාළි භාෂා දැනුම්වල තියෙන තත්ත්වයට වඩා ලොකු වර්ධනයක් වෙන එක නං මට සහතිකයි කියලා.”

“ඔය අධ්‍යයනය කරද්දිම නේද සර්ට හිතුණෙ රාමායණයෙ හිතට දැනිච්ච තැන් සිංහලයට නගන්න.”

“ඔව් ගඟුල්, මන් සෑහෙන කොටසක් පරිවර්තනය කළා. ඒත් පොතක් හැටියට ගත්තෙ ඒවයින් කොටසක් පමණයි.”

මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ රාමායණයේ තමාට වඩාත් දැනුණු තැන් සිංහලයට නගා ඒ පරිවර්තන පුස්තකය සිය ආචාර්යවරයා වන මහින්ද පලිහවඩන මහැදුරුතුමන් වෙත පුද කරමින් ලියා තිබූ පැදිය යි.

                හද විල නැණ කුසුම් දී සිසු හද    මැදුරු
                සුවඳින් සදන සැදු සඳ හිරු බඳු    ඇදුරු
                දුන් සිප් සිහි නගා පලවා හද       අඳුරු
                පුද දෙමි මෙකුදු ගත ගුරු පාමුල සොඳුරු
 
සිය ආචාර්යවරයා කතා කෙළේ මධ්‍යම රාත්‍රිය සමිප වද්දී ය. ඒ සංකථනයේ දී ගුරු ශිෂ්‍ය යුග්මය කතා කෙළේ   පොසොන් අර්ථය ගැන පමණක් නොවේ. ඔවුහු පලිහවඩන මහැදුරුතුමන් ගැන ද කතා කළහ.
පොසොන් අර්ථය තුළ දේශීය කලාව සහ කලා නිර්මාණ ද ඇත. ඔහුට සිහිපත් වූයේ දිනෙක සරසවියේ දී උගත් කලා නිරුක්තිය ගැන ය. ගණන් කිරීම, ශබ්ද කිරීම, දරා ගැනීම, බාර ගැනීම, අවබෝධ කර ගැනීම, සිතීම, අවදිවීම යන අර්ථවල යෙදෙන කල් ධාතුවෙන් කලා යන වචනය සැදෙන බව එදින උගත් බව ගඟුල්ට මතක ය. එසේ නම් මහින්දාගමනයත් සමග ජීවිතය දරා ගැනීම, ජීවිතය ගැන සිතීම, ජීවිතය අවබෝධ කර ගැනීම, අවදිමත් භාවය කෙතරම් හොඳින් ගළපා ගත හැකි ද යන හැඟුම ඔහු සිතෙහි ඇති විය. එසේ ම ආගම යන වචනයේ නිරුක්තිය ද මිහිඳු මහරහතන් විසින් සම්ප්‍රේෂණය කරන ලද බුද්ධාගම සමග මැනවින් සම්බන්ධ කළ හැති නොවන්නේ ද යන කල්පනය ද ගඟුල් තුළ ඇති විය. ඔහු සිය අතට ගත්තේ අර්ථනදී කෘතිය යි. එහි 21 වැනි පිටුවේ විද්‍යමාන ප්‍රථම ඡේදය වෙතට ගඟුල් සිය අවධානය යොමු කෙළේ ය.  

“ආගම යන වචනය සැදෙන්නේ ආ යන උපසර්ගය පූර්වයෙන් යෙදී ගම් යන ධාතුවෙනි. ආ උපසර්ගය මෙහි දී වෙතට යන අරුත්හි යෙදෙන අතර ගම් ධාතුව ගමන් කිරීම යන අරුතෙහි යෙදෙයි. ඒ අනුව ආගම යනු වෙතට ගමන් කිරීම යි. ආගමිකයා විසින් කළ යුත්තේ තමාගෙන් පිටතට නොයා තමා වෙතට එනම් සිය අභ්‍යන්තරය වෙතට ගමන් කිරීම යි. ඔහු හොඳ හෝ නරක වේවා තමා තුළ ඇති ඇති සැටිය අවබෝධ කොට ගනියි. එසේ තමා පිළිබඳ සත්‍යය තේරුම් ගන්නා ඔහු ලෝකය පිළිබඳ සත්‍යය ද තේරුම් ගනියි. අනතුරුව ඔහු ගස ගස ලෙසත් සතා සතා ලෙසත් මිනිසා මිනිසා ලෙසත් හඳුනා ගනියි. ඒ වූකලී ආගමිකයාගේ පාරිසරික දර්ශනය යි. මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට කියා දුන් පාරිසරික දර්ශනය මෙය නොවන්නේ ද? උන් වහන්සේ මුව දඩයමේ ආ රජුට පැවසුවේ රටක රාජ්‍ය පාලකයා යනු ගහකොළ, ඇළදොළ, සිවුපා සත්වග යන සියල්ලේ භාරකාරයා මිස සංහාරකයා නොවන බව යි. ඒ පොසොන් අර්ථය යි. ඒ අප විසින් යළි යළිදු සිහිපත් කළ යුතු පොසොන් අර්ථය යි.”    

සාරස්වත සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථය අධ්‍යයනය කරද්දී උගත් ශත්‍රැවදාදේශඃ මිත්‍රවදාගමඃ යන සූත්‍රයේ අර්ථය ද පොසොන් අර්ථය සමග මනා කොට ගැළපෙන්නේ නොවේ ද? ඉන් කියන්නේ ආදේශය සතුරකු මෙන් පැමිණෙද්දී මිතුරතු මෙන් ආගමය සිදු වන බව යි. මෙකරුණ පැහැදිලි කිරීම සඳහා සිය ආචාර්යවරයා එදින ගත්තේ ජීවිතයෙන් උදාහරණයකි. මිත්‍රත්වයෙන් පසුවන දෙදෙනකු අතරට තෙවැන්නකු පැමිණ ඒ දෙදෙනා භේද කොට එක් අයකු පලවා හැර සිය මිත්‍රත්වය තහවුරු කර ගන්නා තැන ඇත්තේ ආදේශය යි. එහෙත් දෙදෙනකු අතරට පැමිණෙන තෙවැන්නා ඒ දෙදෙනාගේ මිත්‍රත්වයට හානි නොකොට අර්ථ සම්පන්න ලෙස සිය මිත්‍රත්වය තහවුරු කරන්නේ නම් එතැන ඇත්තේ ආගම යි, ආගමනය යි. මිහිඳු මාහිමියන් පැමිණෙන විට ද මෙහි කවර හෝ මට්ටමක සංස්කෘතික සමාජයක් විය. උන් වහන්සේ විසින් කරන ලද්දේ ඒ සංස්කෘතික සමාජය පවතිනවාට වඩා උසස් කිරීම ය. පොසොන් අර්ථය වන්නේ එය යි. පොසොන් අර්ථය සිහි කරද්දී ගඟුල්ගේ හිතට එන්නේ සිය ආචාර්යවරයා විසින් මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳ ව රචනා කරන ලද සංගීත අධ්‍යයනාංශයේ වත්මන් අංශාධිපති ප්‍රියන්ත තිලකසිරි ආචාර්යවරයා විසින් සංගීතවත් කරන ලදුව තමාගේ සමකාලීන සෞන්දර්ය මිතුරු මිතුරියන් විසින් ගායනා කරන ලද පොසොන් භක්ති ගීතය යි. එම ගීතයෙන් මිහිඳු මාහිමියන් ගැන පමණක් නොව පොසොන් අර්ථය ද ප්‍රකාශයට පත් වෙති යි ගඟුල්ට හැඟිණ.

චාරුශශී ත්වමසි සිත ගගනේ - ශීතනදී ත්වමසි  ජනපවනේ
දේවනමස්කෘත සුන්දරචරණේ - ජීවති විලසති මානසකමලේ

ධර්මවාරිරුචි ශ්‍රීමුඛපද්ම - විඥාතනිරන්තර   දුඃඛිතරිද්ම
මෝහතමස්විධ්වංසිතසද්ම - ත්වමසි භානුශශී අනුබුද්ධ  

බුද්ධවාග්ධර සුන්දරචන්ද්‍ර -     ස්නේහප්‍රදායක          ප්‍රේමසුරේන්ද්‍ර
මහේන්ද්‍ර යතීන්ද්‍ර නරේන්ද්‍ර කවීන්ද්‍ර - ත්වමසි මම දේශස්‍ය සුරේන්ද්‍ර

ප්‍රියන්ත තිලකසිරි ඇදුරුතුමනට මෙහි සිංහල පරිවර්තනයක් අවශ්‍ය වූ විට සිය ආචාර්යවරයා එම වගකීම පැවරුවේ තමාට ය. පහත සඳහන් වන්නේ තමා විසින් එම වගකීම ඉටුකරන ලද ආකාරය පිළිබඳ වන සහතිකය යි.

පිවිතුරු අහසෙහි බබළන මනහර සඳ ඔබ යි - ජනපවනෙහි දැවටුණු ශීතල නදිය ඔබ යි
දෙව් පුද ලද සොඳුරු පා යුග්මයක් ඇත්තාණෙනි, ඔබ අපේ සිත් නමැති විලේ ජීවත් වෙයි, බබළයි.
දහම් දිය රුචි කරන උතුම් මුව පියුමක් ඇත්තාණෙනි, නිබඳ දුක්ඛිතයන්ගේ පීඩාවන් දැනගත්, මෝහය නමැති අන්ධකාරය විධ්වංසනය කළ නිකේතනය වූ අනුබුදු හිමියනි, ඔබ වහන්සේ ම ය හිරු.
බුදුන් වහන්සේගේ වදන් දරන්නාණෙනි, සුන්දර චන්ද්‍රයාණෙනි, ස්නේහ ප්‍රදායකයාණෙනි, ප්‍රේමයේ මහා දෙවියාණෙනි,
මහේශ්වර ඔබ යි, යතීශ්වර ඔබ යි, නරේශ්වර ඔබ යි, කවීශ්වර ඔබ යි, මගේ මේ දේශයට සුරේශ්වර ද ඔබ යි,  

පොසොන් අර්ථය සමග සමාජයක් ප්‍රඥාවන්ත කිරීම ද විය. වරක් සිය ආචාර්වරයා සිනාසෙමින් පැවසුවේ මිහිඳු මාහිමියන් තිස්ස රජු ප්‍රඥාවන්තයෙක් ද නැද්ද යන්න විමසීම සඳහා කළ බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන්නේ තමා නම් එදින ධර්මය දේශනා නොකොට පෙරළා යළිත් වැඩම කරන බව ය. තමා ඒ මොහොතේ මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.
 
“ඒක එහෙම වෙන්නෙ කොහොම ද සර්. සර්රුත් උගත් කෙනෙක්නෙ. සර්ට බැරි නෑ ඒවට උත්තර දෙන්න.”
 
“ඔව් තිස්ස රජතුමා දුන්න උත්තර ටික කටපාඩම් නිසා දැන් පුළුවන් උත්තර දෙන්න. මන් කියන්නෙ තිස්ස රජතුමා උත්තර දුන්නට පස්සෙ උත්තර දෙන එක නෙමෙයි. ඒ වෙලාවෙ එතුමා වෙනුවට හිටියෙ අපි නං අපි කීදෙනෙකුට පුළුවන් වෙයි ද උත්තර දෙන්න. අනිත් අය ගැනනං මන් දන්නෙ නැහැ. මන් කියන්නෙ මටනං බැරි වෙනවා කියන එක.”

“සර් ඇයි එහෙම කියන්නෙ.”

“මන් එහෙම කියන්නෙ ගඟුල් උගත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නෙ පැහැදිලි ව ම දෙකක් නිසා. මන් හිතන්නෙ මෑත කාලෙකදි ගණිත දෘෂ්ටි කෝණයකින් විතරක් නෙමෙයි දාර්ශනික දෘෂ්ටි කෝණයකිනුත් මහින්දාගමන සංසිද්ධිය උගත් නූගත් අප කාටත් තේරෙන සරල භාෂාවකින් පැහැදිලි කළේ නලින් සර්.”

“ඔව් සර් මට මතකයි ඒක සර් අපිට ඒ දවස්වල බලන්න කියපු කාලය සඟරාවක කුලක ආශ්‍රයෙන් නලින් ද සිල්වා මහාචාර්යතුමා පැහැදිලි විග්‍රහයක් කරලා තිබුණා. සර් තමයි කියලා තිබුණෙ ඒක නැත්නම් මේක කියලා ද්විකෝටික තර්ක ක්‍රමය මත පදනම් වෙලා ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක් ම විසඳන්නත් බැහැ දකින්නත් බැහැ කියන කාරණය.”

“ඇත්තට ම ගඟුල්, මිහිඳු මහ රහතන් වහන්සෙ අහනවනෙ අඹ ගහ පෙන්නලා මේ ගස කුමක් ද කියලා. රජතුමා උත්තර දෙනවනෙ මේ අඹ ගහක්නෙ කියලා. ඊට පස්සෙ අහනවනෙ මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනව ද කියලා. ඒකට උත්තර දෙනවනෙ තවත් අඹ ගස් තියෙනව  කියලා. ඒකටත් තියෙනවා කියලා උත්තර දුන්න රජතුමාගෙන් මහින්ද මහ රහතන් වහන්සෙ ඊටත් පස්සෙ අහන්නෙ අඹ ගස් හැර වෙනත් ගස් තියෙනව ද කියලනෙ. ඒකටත් උත්තර දෙනවනෙ තියෙනවනෙ කියලා. ආයෙ උන් වහන්සෙ අහනවනෙ ඒ ගසු යි අර තියෙනවයි කියපු අඹ ගසුයි ඇරුණහම තවත් ගස් තියෙනව ද කියලා.”

“ඔව් සර් ඒ වෙලාවෙ ඔව් හිමියනි, ඇයි මේ අඹ ගස කියලා ඒ මුලින් ම කියපු අඹ ගහ පෙන්නුව කියලනෙ පොතපතේ සඳහන් වෙන්නෙ.”

“අන්න ගඟුල් එතන තමයි තැන. මන් කියන්නෙ මට නම් ඒක මතක් වෙන එකක් නැහැ කියන එක. දැන් අපි වීරයො වගේ උත්තර දෙන්නෙ තිස්ස රජතුමා දුන්න උත්තරේ දන්න නිසානෙ.”
 
“එහෙම නං සර් ඊළඟට අහපු ප්‍රශ්නෙට දෙන උත්තරේ ගැනත් අපිට කියන්න වෙන්නෙ ඕකම නේද?”
 
“පැහැදිලි ව ම ඔව් ගඟුල්. රජතුමනි ඔබට නෑයෝ සිටිද්ද කියලා ඇහැව්වහම රජතුමා කියනවනෙ ඉන්නවා කියලා. ඒ නෑයන් හැරුණහම නෑයන් නොවන අයත් ඉන්නව ද කියලා ඇහැව්වහම රජතුමා ඒකටත් උත්තර දෙනවනෙ නෑයන් නොවන අයත් තමාට ඉන්නව ය කියලා.”

“ඔව් සර් ඊට පස්සෙ අහනවනෙ නෑයන් සහ නෑයන් නොවන අය ඇරුණහම ලෝකයෙ තවත් අය ඉන්නව ද කියලා.”  

“දැන් ගඟුල් මට ඔයා අවංක ව කියන්න තිස්ස රජතුමාගෙ උත්තරේ වෙච්ච ඇයි ස්වාමිනි මේ මම කියන උත්තරේ ඔයා දැනන් හිටියෙ නැත්තං තිස්ස රජතුමා වෙනුවට හිටියෙ ඔයානං ඔයාගෙ උත්තරේ මොකක් ද කියලා.”

“සර් ඇත්ත ම කියනවනං මන් නං හිර වෙනවා.”

“ඔන්න ගඟුල්, පලිහවඩන සර් අපෙන් වෙනස් වෙන තැන. සර් නං එදා එතන හිටියෙ ඔය ප්‍රශ්නෙට තිස්ස රජතුමා දුන්න උත්තරේ ම දෙනවා කියන එක පැහැදිලි යි.”

“ඒ කියන්නෙ පොසොන් අර්ථ සමග ගළපන්න පුළුවන් ප්‍රඥාව කියන සාධකය නොඅඩු ව ම පලිහවඩන සර්ගෙ ජීවිතේ තිබුණා කියන එක ද සර් කියන්නෙ.”

“පැහැදිලි ව ම. සර් අපිට ඉගැන්නුවෙ සංස්කෘත, පාලි විතරක් නෙමෙයි. ජීවිතයත් ඉගැන්නුවා. එතුමා උගන්නපු හැම දවසක ම අපි විෂය කරුණු වගෙම විෂයට එහා ගිය ජීවිතය සම්බන්ධ කරුණු ඉගෙන ගත්තා. මන් දන්නවා ගඟුල් ඔයත් ඔයාගෙ
 පැය දෙකේ දේශනවලදී උපරිම විදිහට පැය එකහාමාරක් වගේ වෙලාවක් අරගෙන තමන්ගෙ ශිෂ්‍යයන්ට උපරිම විදිහට විෂය දැනුම දෙනවා වගෙ ම පැය බාගයක් විතර විෂයෙන් ඔබ්බට ගිහිල්ලා ජීවිතේට වැදගත් දේවල් කතා කරන බව. ඒකත් ගුරු මෙහෙවරේ අනිවාර්ය කොටසක් ගඟුල්.

මගෙ ශාස්ත්‍රපති උපාධියෙදි දත්ත සංරචනය ගැන උගන්නද්දි පර්යේෂණ වැඩක දි දත්ත එකතු කර ගන්න එකේ වැදගත්කම කියලා දීපු පලිහවඩන සර් ම තමයි ආශාවෙන් රැස්කරපු දේවල් අත හරින්න වෙනවා කියන පාඩම කියලා දුන්නෙ. අවුරුදු සීයකට ආසන්න කාලයක් ජීවත් වෙච්ච අපේ සර්ගෙ සමස්ත ජීවිතය ම අපට ලොකු පාඩමක්. එතුමා අන්තිම කාලෙ කියලා තිබුණෙත් තමන්ට ඉන්න පහසුකම් සලසන එක නෙමෙයි යන්න දෙන එකයි කරන්න ඕනෙ. සර්ගෙ මේ ප්‍රකාශ අපි මතුපිටින් නෙමෙයි බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕනෙ.”

“සර් ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර විෂය වගෙම ජීවිතය ජීවිතය ගැන සාකච්ඡා කෙරෙන්න ඕනෙයි කියන කාරණේට ලොකු බරක් දුන්න කෙනෙක්. දවසක් අපි විෂය කාරණාවක් ගැන කතා කරන කොට ඒ සම්බන්ධයෙන් නිවැරදි දේ ප්‍රකාශ උනේ සර්ගෙ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන කෙනෙක්ගෙන්. ඒ වෙලාවෙ එයා සමාවෙන්න සර් මන් සර්ලා ඉක්මවලා දෙයක් කිව්වනං ඔයා දන්නව ද ගඟුල් සර් දුන්න උත්තරේ.”

“කියන්න සර් මන් අහගෙන ඉන්නෙ.”

“වැදගත් වෙන්නෙ කවුද හරි කියන එක නෙමෙයි මොකක් ද හරි කියන එකයි. ඒ තමයි ගඟුල් පලිහවඩන සර්. ඒක පොසොන් අර්ථෙටත් අදාළ යි. මන් හිතන්නෙ මිහිඳු මහ රහතන් වහන්සෙයි තිස්ස රජ්ජුරුවොයි ඒ ප්‍රවේශය අරගෙන තියෙනවා. ඇත්තට ම මට හිතෙන්නෙ ගඟුල් මේ රටේ පළවෙනි දහම් පාසල විදිහට අපිට සලකන්න පුළුවන් ඒ උදාර චරිත දෙක හමුවෙලා කතා කරපු තැන.”

“ඒ කියන්නෙ අපේ පළවෙනි දහම් පාසල මිහිත්තලේ කියන එකයි ප්‍රථම දහම් පාසල් ගුරුවරයා මිහිඳු මහ රහතන් වහන්සේ වෙනකොට පළවෙනි දහම් පාසල් ශිෂ්‍යයා තිස්ස රජතුමා කියන එක නේද?”
 
“ඔයා හරියට ම තේරුම් ගත්තා ගඟුල්.”

“ඔයා ගඟුල් ආයෙත් සැරයක් චුල්ලහත්ථිපදෝම සූත්‍රය කියවන්න. මොකද පොසොන් අර්ථය හරිහැටි තේරුම් ගන්න වැදගත් වෙන සූත්‍රයක් තමයි ඒ.”

“සර් ඒක මජ්ක්‍ධිම නිකායෙ නේද තියෙන්නෙ.”  

“ඔව් ගඟුල්, මජ්ක්‍ධිම නිකායෙ ඕපම්ම වග්ගෙ. මේක බුදුහාමුදුරුවො ජානුස්සෝණි බ්‍රාහ්මණයටයි දේශනා කරන්නෙ ඇතෙක් උදාහරණෙට අරගෙන. මේ සූත්‍රයනෙ මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස රජතුමාට දේශනා කළා කියලා සඳහන් වෙන්නෙ. මේක ආයෙ ආයෙත් කියවන්න ගඟුල් අපි ඊට පස්සෙ අපි ඒ ගැන කතා කරමු.

“සර්, පොසොන් අර්ථයත් එක්ක පලිහවඩන සර්ගෙ ජීවිතය සම්බන්ධ කළානෙ. ඒ වගෙම ප්‍රඥාව පොසොන් අර්ථයේ ප්‍රකාශනයක් වෙන්න ඕනෙයි කියන කාරණෙත් කිව්වනෙ. සර්ට පුළුවන් ද සර්ලට ලැබිච්ච අපට නොලැබිච්ච ඒ සර්ගෙ ඇසුරින් ඒ විදිහට ප්‍රඥාව ප්‍රකාශයට පත් වෙච්ච තැනක් දෙකක් ගැන කතා කරන්න.”  

“අථර්වවේදෙ එන හරි ලස්සන තැනක් තියෙනවා තුන් වෙනි මණ්ඩලේ මුල. ඒක ප්‍රසිද්ධ අථර්වවේදයෙ සාම ගීතය කියලයි. ඒකෙ තියෙන්නෙ සුහද බවයි, සම සිතයි ඇති කරගෙන අපේ හිත්වලින් ද්වේෂය පහ කරන්න ය, අපි හැම කෙනා ම ගව දෙනක් තමන්ගෙ එක ම පැටියට ආදරය කරනවා වගේ අනික් අයට ආදරේ කරන්න ඕනෙයි කියන එක. පලිහවඩන සර් ඔය අදහස ගැබ්වෙච්ච ඒ පද්‍ය අපට ඉගැන්නුවෙ කරණීයමෙත්ත සූත්‍රයේ එන අම්මා කෙනෙක් තමන්ගෙ එකම දරුවට සෙනෙහස දක්වනවා වගේ අප්‍රමාණ මෛත්‍රී සිතක් ලෝකයට දක්වන්න කියන කාරණෙත් කියලා. එදා සර් ගොඩක් කතා කළේ මෛත්‍රී සංකල්පය ගැන.”

“පලිහවඩන සර්ගෙ නිර්මාංසික ජීවිතය ගොඩ නැගෙන්නෙත් මේ මෛත්‍රී සංකල්පයත් එක්ක නේ ද සර්.”    

“ඔව් ගඟුල්, අදිකාරම්තුමා නතර කරපු තැන ඉඳලා ඒ ආදරණීය ලෝකය හදන්න නායකත්වය දුන්නෙ පලිහවඩන සර්. මිතුරු ලොව කියන සර් ම දීපු නමින් පටන් ගත් සඟරාව පටන් ගත්ත අරමුණ උනෙත් ඒක. මිහිඳු මහ රහතන් වහන්සෙ ලංකාවට වැඩම කළෙත් ගහකොළ, ඇළ දොළ, අපා දෙපා සිවුපා කියන මේ කාගෙත් ජීවිත සුරක්ෂිත වෙන මිතුරු ලොවක් නිර්මාණය කරන්නනෙ. සර්ගෙ අරමුණ උනෙත් ඒක. මානව ප්‍රජාව මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ගොඩක් දෙනා ඉන්න නිසා සර් පටන් ගත්තා සත්ත්ව අයිතිවාසිකම් ගැන කතා කරන්න.”

“මට මතකයි දවසක් සර් පලිහවඩන සර් සංවේදී තල කියන මාතෘකාව ගැන කතා කරන කොට කියපු දෙයක් මතක් කළා. ඒ කියපු හැටියට ඇළ දොළ ගහකොළ ඇතුළු සත් වග රකින එකේ ප්‍රතිඵල හිමි වෙන්නෙත් මනුෂ්‍යයන්ට ම තමයි. මොකද වනාන්තරයක තියෙන ඇල දොළ ගහකොළ රකින කෙනා නිරායාසයෙන් ම සත්ත්ව ජීවිතවලට ආදරය කරන කෙනෙක් වෙනවා විතරක් නෙමෙයි, එහෙම ජීවිත නිසා මනුෂ්‍ය ජීවිතත් සුරක්ෂිත වෙනවා කියන කාරණේ කියලා තිබුණා.”

“ඔව් ගඟුල්, සර් සංවේදී තල කියන එකෙන් අදහස් කළේ අවස්ථා තුනක්. ගහකොළ ඇළදොළ රකින එක තමයි පළවෙනි අවස්ථාව නැත්තං පළවෙනි සංවේදී තලය. ගහකොළ රකින හිතක් තියෙන කෙනා සත්තු මරන්න, මරවන්න හිතන්නෙ නැහැ. ඒ කියන්නෙ පළවෙනි සංවේදී තලයෙ ඉන්න කෙනා නිරායාසයෙන් ම දෙවෙනි සංවේදී තලය මත පිහිටන කෙනෙක් වෙනවා. එහෙම හිතක් මිනිස් ජීවිත විනාශ කරන්නෙත් නැහැ එහෙම දෙයකට අනුබල දෙන්නෙත් නැහැ. ඒක තමයි තුන්වෙනි සංවේදී තලය.”

“ඒ කියන්නෙ සර්, පලිහවඩන සර් ලෝකය අවලෝකනය කරලා තියෙන්නෙ වෙනස් ම ඇහකින්නෙ.”  

“මන් දන්න තරමින් ආචාර්ය අදිකාරම්තුමාගෙන් පස්සෙ තමන් ප්‍රාර්ථනා කරන මිතුරු ලොව ඒ කියන්නේ මෛත්‍රියේ ලෝකය හදවතේ තියාගෙන වැඩිම ලිපි සංඛ්‍යාවක් ලියපු කෙනා වෙන්නෙ පලිහවඩන සර් සත්‍ය සිද්ධි කීපයක් ආශ්‍රය කරගෙන ලියපු අවමගුලක් නොවූ මගුල් සාදය, පෙනෙන හා නොපෙනෙන යුද්ධ, ත්‍රිකෝටි පරිශුද්ධ මාංසය ඇත්තේ කොහි ද, නිර්මාංසාහාරය සහ මධ්‍යම ප්‍රතිපදාව, නිර්මාංසික ජීවිතයක් ගත කළ යුත්තේ ඇයි?  සතුන් මැරීම හා මිනී මැරීම, මස් මඩුවේ දී ලත් අත්දැකීම්, කුකුළාගේ කතාව වගේ ලිපි ඒකට උදාහරණ හැටියට දක්වන්න පුළුවන්.”

“සර් දැන් අන්තිමට සඳහන් කරපු කුකුළාගේ කතාව ලිපිය නේද පලිහවඩන සර් 
The Story of Broiler Chick කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කළේ.”

“අපි බෞද්ධකම ගැන කතා කළාට අපි ඇත්තටම බෞද්ධ ද යන ප්‍රශ්නය අපි අපිගෙන් ම අහගන්න වටිනවා. මේ හැම ලිපියක් හරහාම පලිහවඩන සර් කළේ මනුෂ්‍යයන් විදිහට අපි මීට වඩා සානුකම්පිකව ලෝකයත් එක්ක පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනෙය කියන පණිවිඩය ගේන එක. ඉතින් ගඟුල් පොසොන් පණිවිඩය උනෙත් ඒකමනෙ.

සර් ඔය කියපු ලිපි අතර පොසොන් පණිවිඩය පැහැදිලි ව ම ගැබ් වෙලා තියෙන ලිපිය මොකක් ද කියලා ඇහැව්වොත් සර්ට මොකක් ද කියන්න තියෙන්නෙ.”  
 
“මෙහෙමයි ගඟුල්, මේ හැම ලිපියක ම තියෙන්නෙ පොසොන් පණිවිඩය තමයි. ඒ අතරින් අවමගුලක් නොවූ මගුල් සාදය ලිපිය තරමක විශේෂයක් පෙන්වනවා කියලයි මට හිතෙන්නෙ. මොකද මේ ලිපිය හරහා තමයි සර් අපිට කෙනෙකුගේ මංගල්‍යය තව කෙනෙකුගේ අවමංගල්‍යයක් වෙන්න බැහැ කියන පණිවිඩය ගේන්නෙ. ඒ විදිහට හිතලා කරපු ඇත්තටම මංගල්‍යයක් කියලා කියන්න පුළුවන් විවාහ මංගල්‍යයන් ගැන තිබිච්ච අත්දැකීම් පදනම් කරගෙන තමයි සර් මේ ලිපිය ලියන්නෙ. ගඟුල් ඔයයි මමයි දෙන්නම උගන්නන්නෙ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. නුදුරු අනාගතයෙ විවාහ වෙන්න බලාගෙන ඉන්න ඒ දරුවන් අතරට මේ පණිවිඩය  ගෙනියන්න. පලිහවඩන සර් සිහි කරන්න තියෙන හොඳම ක්‍රමයක් වගෙම ඒක සර් වෙනුවෙන් කරන පින්කමක් හැටියටත් සලකන්න පුළුවන්. සර්ගෙ ශිෂ්‍යයන් හැටියට අපිටත් ඒ ශිෂ්‍යය‌ෙ ශිෂ්‍යයන් හැටියට ඔයගොල්ලන්ටත් සර් වෙනුවෙන් දක්වන්න පුළුවන් ඉහළම ගෞරවය තමයි ඒ.”

“සර් කියපු දේවල්වලින් මට හැඟුණෙ පොසොන් පණිවිඩය ඍජුව වගෙම වක්‍රවත් තියෙන ලිපියක් තමයි ඒ. ඒ ලිපියෙ අන්තිම ඡේදයත් අපිට ඒකට උදාහරණ කරන්න පුළුවන්. මේ ලිපි නැවත නැවත මුද්‍රණය කරලා ජනතාව අතර බෙදා හරින්න කියන ඉල්ලීම ඔයාට කියලම මන් ඒ ප්‍රකාශෙ උපුටලා දක්වන්නම්.”

අනතුරුව සහන් කෙළේ තමා ළඟ වූ ලිපි ගොනුවෙන් එම ලිපිය ගෙන එහි අවසන් ඡේදය කියැවීම ය.

“ලක්දිව බුදු සසුන පිහිටවීමට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ මේ දිවයිනේ දී කළ ප්‍රථම කාරිය වූයේ මුව දඩයමට සැරසි සිටි දේවානම් පියතිස්ස රජ එම කුරිරු ක්‍රියාවෙන් වළක්වාලීම ය. මෙම උතුම් පොසොන් පුන් පොහෝ දින   සිට මස්මාලු අනුභවය අත්හැර ඔබත් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගන්නා මෙන් නිර්මාංසික භික්ෂු සංවිධානය සහ ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතිය කාරුණික ව ඉල්ලා සිටිති.”

“මේ පණිවිඩය මතුපිටින් නෙමෙයි හිත ඇතුළෙන්ම ග්‍රහණය කරගන්න ඕන කරන එකක්. සර් මේ ගැන බොහොම ගැඹුරින් සාකච්ඡා කරනවා සර්ගෙ නිර්මාංසික ජීවිතයක් ගත කළ යුත්තේ ඇයි? කියන ලිපියෙදි. සර් කියනවා ප්‍රාණීන් කෙරෙහි දයාව නැති කරලීමේ ව්‍යාපාර නොයෙක් මුහුණුවරින් අප අතර පැතිරෙන බව. මොන අරමුණු නිසා කළත් මේකෙන් සිද්ද වෙන ප්‍රතිවිපාකය වෙන්නෙ අපේ හිත්වල තියෙන මෘදුකම නැති වෙන එක ය කාරණයට සර් අපේ අවධානය යොමු කරනවා. සර් මේක හඳුන්වන්නේ අපේ හදවත්වල අභ්‍යන්තර දූෂණය පැළපැදියම් වීමක් හැටියට. එහෙම හිත් තමයි ක්‍රෑරකම් කරන්න, අපරාධ කරන්න පෙළඹෙන්නෙ. එහෙම බැලුවහම ගඟුල් මේක සමාජ ප්‍රශ්නයක්. අර අපි කතා කරපු සංවේදී තල පිළිබඳ කතාවටත් මේක සම්බන්ධ යි.”  

“ඇත්තටම සර් මේ අපි වෙනම සාකච්ඡා මණ්ඩපයක කතා කරන්න ඕන කරන මාතෘකාවක්. සර්, මම දැන් අපේ මාතෘකාව ටිකක් වෙනස් පැත්තකට ගෙනියන්නයි හදන්නෙ. කවුරු හරි කෙනෙක් අපෙන් ඇහැව්වොත් ආචාර්ය අදිකාරම්තුමාලා පලිහවඩන සර්ලා තමන්ගෙ අදහස් තහවුරු කරන වෙනම ගුරුකුලයක් හදන්න ය වැඩ කළේ කියලා කිව්වොත් මේ චරිත දෙකම ඇසුරු කරන්න ලැබිච්ච කෙනෙක් හැටියට සර්ට මොකක් ද කියන්න තියෙන්නෙ.”

“අදිකාරම්තුමාටවත් පලිහවඩන සර්ටවත් වෙනම පෞද්ගලික න්‍යායපත්‍ර තිබුණෙ නැහැ. හැබැයි මට දැනිච්ච හැටියට ඒ දෙන්නම තමන්ගෙ මුළු ජීවිත කාලය පුරා වැඩ කළේ එක න්‍යායපත්‍රයකට තමයි. ඒ දෙන්නම අයිති එකම ගුරුකුලයකටත් තමයි.”  

“සර් ඒ කාරණේ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?ඒ කියන්නෙ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වොත් මොකක් ද ඒ න්‍යායපත්‍රය මොකක් ද ඒ ගුරුකුලය කියලා සර් මොකක් ද කියන්නෙ.”
 
“ඒක තමයි ආදරයේ මෛත්‍රියේ න්‍යායපත්‍රය, ඒක තමයි ආදරයේ මෛත්‍රියේ ගුරුකුලය. බුදු හාමුදුරුවන්ට මිහිඳු මහරහතන් වහන්සේට වගෙම ලෝකය තියෙනවාට යහපත් කිරීම සඳහා වැඩ කරපු ශාස්තෲන් වහන්සේලා කාට උනත් තිබුණෙ ඒ න්‍යායපත්‍රය ඒ ගුරුකුලය තමයි.”
 
“මට මතකයි සර් දවසක් අපට උගන්නන කොට මතක් කළා සර්ගෙ මුල් ම පශ්චාද් උපාධිය කරන කොට කියපු දෙයක්. ඒ තමයි පශ්චාද් උපාධියක් කරන කොටත් අපි ආශාවෙන් රැස් කරපු දේවල් අතහරින්න ඕනෙය කියන කාරණාව.”

“ඔව් මට අද ඊයෙ වගේ ඒ සිද්ධිය මතකයි. මගෙ ශාස්ත්‍රපති උපාධියෙ මුඛ්‍ය උපදේශකවරයා උනේ පලිහවඩන සර්. මන් හිතන්නෙ ඒ 1989 අවුරුද්දෙ දවසක්. මගෙ උපාධි නිබන්ධයේ හතරවෙනි පරිච්ඡේදයේ නම තමයි කාලය, උත්සාහය සහ භාවනාව. මම බෞද්ධ, උපනිෂද්, සාංඛ්‍ය යෝග කියන දර්ශන වගෙම ක්‍රිෂ්ණමූර්ති දර්ශනය ගැන තියෙන පොතපත කියවලා දීර්ඝ පරිච්ඡේදයක් ලියලා සර්ට පෙන්නන්න ගියා. දැන් මගෙ හිතේ සෑහෙන තරම් හොඳ පරිච්ඡේදයක් තමයි මම ලියලා තියෙන්නෙ කියලා. සර් මොකක් ද දන්නව ද කළේ. මන් හිතන්නෙ මන් කලින් ගඟුල්ට මේ ගැන කිව්වා කියලයි. සර් කලේ මන් පිටු දෙසීයක් විතර ලියපු පරිච්ඡේදෙ  බොහෝ තැන් කපා දමමින් සමහර ඡේද යටින් ඉරි ගහ ගහ සංශෝධන වාක්‍ය ලිය ලිය මගේ පිටු දෙසීය සීයකට බස්සන එක. මගෙ මට්ටමට මන් බොහොම වැදගත් කියලා හිතපු තැනුත් කපලා දානවා දැකපු මට එක පාරට කියවුණේ සර් මන් ගොඩක් මහන්සි වෙලයි ඕවා ලිව්වෙ කියන වචන ටික.”

“සර් මට ඔය සිද්ධිය ගැන කියපු දේවල් දැන් හරියට ම මතකෙ නෑ. ඊට පස්සෙ මොකක් ද සර් උනේ.”

“ඊට පස්සෙ ද සර් පෑන පැත්තකින් තියලා මහ හයියෙන් හිනා වුණා. ඊළඟට බොහොම සන්සුන් හඬකින් කිව්වෙ පශ්චාද් උපාධියකදි ඔයා ඉගෙන ගන්න ඕනෙ දෙයක් තමයි ආශාවෙන් රැස් කරපු දේවල් අතහරින එක. ගඟුල් ඒක මට පාඩමක් උනේ පශ්චාද් උපාධියට විතරක් නෙමෙයි මුළු ජීවිතේටමයි. මන් 2010 අවුරුද්දෙ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරපු පාඩම් පොතේ එන දෙවෙනි පාඩම තමයි ඒක.”

“ඒ කියන්නෙ සර් ආශාවෙන් රැස් කරපු දේවල් අත හරින එක ද?”

“ඔව් ගඟුල්, ඒක අපි දැන් මේ කතා කරන පොසොන් අර්ථයටත් අදාළ යි. මොකද මිහිඳු මහ රහතන් වහන්සෙ විතරක් නෙමෙයි බුදු මග පිළිපන් උන්වහන්සෙගෙ ගිහිකල සහෝදරිය වෙච්ච සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සෙ දුන්නෙත් ඒ ආදර්ශයනෙ.”  

“සර් මේ කතා කරන්නෙ අතහැරීම ගැන නේද?”

“හිතලා බලන්න ගඟුල්, මිහිඳු මහ රහතන් වහන්සෙ කියන්නෙ ධර්මාශෝක කියන මහා අධිරාජයගේ රාජ්‍යය උරුම පුතා. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සෙ කියන්නෙ ඒ රජතුමාගෙ දුව. මේ චරිත දෙක ම මිනිස්සු බොහොම ආශාවෙන් බදා ගන්න සම්පත් අතහරිනවනෙ. තවත් අතකට ගත්තහම මිහිඳු හාමුදුරුවො අපට දුන්නෙත් බුද්ධ ආදර්ශයනෙ. සිද්ධාර්ථ ආදර්ශයනෙ. ඒක ම අපිට පොසොන් අර්ථය කියලත් හඳුන්වන්න පුළුවන්.”

“සර් පොසොන් අර්ථයත් එක්ක ම ගළපන්න පුළුවන් දේවල් නේද අපි අල්ල ගන්න දේවල තියෙන අස්ථිර භාවය, පුද්ගලයො වේවා දේවල් වේවා මේ ඔක්කොම දාලා අපට දවසක යන්න වෙනවා කියන එක.”  

“ගඟුල්, ඔයා අපේ මාතෘකාව ගෙනාවෙ හරිම ලස්සන තැනකට. ඔයාගෙ ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙන්නෙ මේ ඊයෙ පෙරේදා දවසක පාලි හා බෞද්ධ අධ්‍යයනාංශෙ උගන්නන අපේ විනීත හාමුදුරුවො බෞද්ධ සාහිත්‍යයෙන් මතු කරපු කාරණා හතරක්. ඔයාට වෙලාව තියෙනවනං අපි ඒ ගැන කතා කරමු.”

“අපෝ මට වෙලාව තියෙනවා සර්. කාලේන ධම්ම සාකච්ඡා කියන එකත් හිතේ තියාගෙන මන් කැමතියි ඒ දේවල් අහන්නෙනෙ    

“විනීත හාමුදුරුවො විශ්වවිද්‍යාලෙ පුස්තකාලයෙ කාර්ය මණ්ඩලය සූදානම් කරපු ආගමික වැඩ සටහනක ධර්ම දේශනයක් කරන්න වැඩම කරලා තිබුණා. උන් වහන්සෙ එදා මාතෘකා කරගෙන තිබුණෙ රට්ඨපාල සූත්‍රය. ඒකෙදි අපට හමු වෙන රට්ඨපාල තරුණ මාණවකයා බුදු හාමුදුරුවො ළඟට ඇවිල්ලා මහණ වෙන්න අවසර පතනවා. ඒකට දෙමවුපියන්ගේ අවසරය අරන් එන්න කියලා කිව්වහම ඔහු ඒ සඳහා ගෙදර යනවා. අවස්ථා ගණනාවකදිම ඒ ඉල්ලීම දෙමවුපියන් ප්‍රතික්ෂේප කරනවා. අවස්ථා කීපයක් කියලා කියලා බොහොම අමාරුවෙන් තමයි කැමැත්ත ගන්නෙ. මහණ වෙලා බොහොම කෙටි කාලයකින් උන්වහන්සේ රහත් බව ලබනවා. උන්වහන්සෙ මිගාවීර නම් උයනට වැඩම කරලා එතන වැඩ ඉන්න වෙලාවෙ කෝරව්‍ය රජතුමා එතනට එනවා. ගිහින් උන්වහන්සේට  කෙනෙක් සසුන්ගත වෙන්නෙ පිරිහීම් හතරක් නිසා ය කියලා කියනවා. ඒ එක්කො ජරාවට පත්වීම නිසා, නැත්නම් ව්‍යාධියෙන් පිරිහීම නිසා. තව කෙනෙක් මහණ වෙන්නෙ භෝග සම්පත් නැති නිසා. තවත් කෙනෙක් ඥාති පරිහානිය නිසා ආදි වශයෙන් කරුණු හතරක් දක්වනවා.

මේ වෙලාවෙ රට්ඨපාල රහතන් වහන්සේ තමන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඉගෙන ගත්ත ධර්ම කාරණා හතරක් ගැන රජතුමාට කියලා දෙනවා. අන්න ඒ කාරණා හතර එදා විනීත හාමුදුරුවො අපට බොහොම සරල ව කියලා දුන්නා. ඔය වෙලාවෙ ඔය වගෙ දේවල්වලට බොහොම උනන්දුවෙන් සවන් දෙන ධනපාල වි‌ජේසිංහ මහාචාර්යතුමත් මාත් එක්ක හිටියා.”

“සර්ට මතක ද ඒ කාරණා හතර. මාත් කැමතියි ඒ ගැන දැන ගන්න.”

“පළවෙනි කාරණේ තමයි ගඟුල්, මේ ලෝකයේ තියෙන අධ්‍රැව ස්වභාවය. ඒ කියන්නෙ ස්ථිර නොවන ගතිය. මුලින්  රජතුමා ලෝකය අධ්‍රැවයි කියන කාරණේ පිළිගත්තෙ නැහැලු. ඒත් රට්ඨපාල හාමුදුරුවො සහේතුක ව කරුණු පැහැදිලි කරලා රජතුමාට ඒත්තු ගන්නලා තියෙනවා ලෝකය අධ්‍රැවයි කියන කාරණේ.”

“එතකොට සර් දෙවෙනි කාරණේ.”   

“දෙවෙනි කාරණේ තමයි අපි දකින, අපි අල්ල ගන්න හදන හැම දෙයක ම තියෙන අනීශ්වරභාවය. ඒ කියන්නේ යමකට අයිතියක් - ආධිපත්‍යයක් දෙන්න බැරිකම. අපි ළඟ තියෙන කිසිම දෙයක් අන්තිමේදි අපට පිහිට පිණිස නොවන බව.මේ කාරණෙත් රජතුමා මුලදි පිළිඅරගෙන නැහැ. රජ්ජුරුවො කියලා තියෙන්නෙ එහෙම වෙන්නෙ කොහොම ද කොයි තරම් නං දේවල්වලට මම නේද ඊශ්වර මම නේද අධිපති කියන එක. හැබැයි ඒ අධිපතිකමේ ඊශ්වරභාවයේ තාවකාලික බවත් රජතුමාට අවබෝධ කරලා දෙන්න රට්ඨපාල හාමුදුරුවො සමත් වෙනවා.”

“සර් තුන්වෙනි කාරණේ වෙන්නෙ මොකක් ද?”

“ඒක ඔයගොල්ලන්ට අපිට විතරක් නෙමෙයි අපේ ත්‍රීරෝද රථ එළවන මිත්‍ර ප්‍රජාව අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්.”

“මොකක් ද සර් ඒ කියමන.”
 
“ඒ තමයි සබ්බං පහාය ගමනීයං කියන එක.”

“ඒ කියන්නෙ කවද හරි දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන එකනෙ.”

“ඔව් ගඟුල්, ඔන්න ඔය කාරණේ හරියට තේරුම් ගත්තනං අපි කාගෙත් ජීවිත මීට වඩා වෙනස් වෙනවා. රට්ඨපාල හාමුදුරුවන්ට සවන් දීපු රජතුමා ඒ කාරණෙත් අවබෝධ කරගන්නවා.”

“සර් අපි හතරවෙනි කාරණේටත් යමු ද?”
 
“එදා විනීත හාමුදුරුවො අපට මතක් කරලා දුන්න හතරවෙනි කාරණේ තමයි ලෝකයෙ ඉන්නෙ තෘෂ්ණාවට දාස වෙච්ච අය බව. පාවිච්චි කරලා තියෙන වචනෙ තමයි තණ්හාදාස. මහා රාජ්‍යයන් ගණනාවක් තිබිච්ච  රජතුමා අන්තිමට තේරුම් අරන් තියෙනවා කොච්චර තිබුණත් තමන් ඉන්නෙ සෑහීමට පත්වෙලා නොවේ කියන එක. අන්තිමට රජතුමාටම තේරුම් යනවා තමා තණ්හාවේ කොයි තරම්නං දාසයෙක් ද කියන කාරණාව. ඒ අවබෝධය තමයි අන්තිමට රජතුමා තණ්හාවෙන් මුදවන්නෙ.”

“එතකොට සර් ඔය කාරණා හතරත් අපිට පුළුවන් ද පොසොන් අර්ථයත් එක්ක ගළපන්න.”  
 
“මොකෝ බැරි ගඟුල්, මිහිඳු මහ රහතන් වහන්සෙ ලෝකයේ පවත්නා අධ්‍රැව ස්වභාවය අවබෝධ කරගෙන හිටිය නිසා තමයි භාරතය පුරා විහිදිච්ච ලෞකික රාජ්‍යය අතහැරලා අයිතියෙන් මිදිච්ච බුද්ධ රාජ්‍යය තෝරගත්තෙ. දේවල්වල තියෙන අනීශ්වරභාවය තේරුම් ගත්ත නිසා තමයි ඊශ්වර භාවයෙන් පෙනී හිටින්න පුළුවන්කම තියෙද්දි ඒ බලපුළුවන්කාරකම් ඔක්කොම අතහැරලා දැම්මෙ. සබ්බං පහාය ගමනීයං කියන බුද්ධ වචනය ගැඹුරින් ම අවබෝධ කරගත්ත නිසා තමයි උන් වහන්සේ රජ පදවි නෙමෙයි මහරහත් පදවිය ලැබුවෙ. ඒ වගෙම තමන් තෘෂ්ණාවට දාසයෙක් නෙමෙයි කියන කාරණෙත් උන් වහන්සෙ වෙන කිසිම දේකින් නෙමෙයි තමන්ගෙ ජීවන චරණයෙන් පෙන්නුම් කරලා හිටියෙ.”

“සර් අපි ජීවත් වෙන ලෝකෙ දි අපට වැඩිපුර දකින්න ලැබෙන්නෙ ලෝකය අධ්‍රැවයි - අනිත්‍යයි - වෙනස් වෙන සුළුයි කියලා හිතලා වැඩ කරන චරිත නෙමෙයි. ඒ වගෙම කාට හරි එහෙම නැත්තං දේවල්වලට හරි තමන්ගෙ ආධිපත්‍යය පතුරන්න හරි තව විදිහකට කිව්වොත් ඊශ්වර භාවය පෙන්වන්න තමයි ගොඩක් දෙනා කැමති. සියල්ල නෙමෙයි තමන්ගෙ තියෙන පුංචි දෙයක්වත් අතහරින්න අකැමැති චරිත තමයි අපට වැඩි වැඩියෙන් හමු වෙන්නෙ. කොටින්  ම කිව්වොත් උගත් - නූගත්, පොහොසත් - දුප්පත්, බලවත් - බලහීන මේ කාගෙ උනත් ජීවිතවලින් පේන්න තියෙන්නෙ ඒ අය තෘෂ්ණාදාසලා කියන එක තමයි.”  

“ඔන්න ඔය නිසා තමයි පලිහවඩන ආදර්ශය මේ සමාජයට වඩාත් වැදගත් වෙන්නෙ. ‌මේවගෙ සමාජෙක එහෙම චරිත දුර්ලභ යි කියලා නෙමෙයි ගඟුල් අපිට කියන්න වෙන්නෙ සුදුර්ලභයි කියලයි.  අපිට ගමන් බිමන් යන්න රථ වාහන අවශ්‍ය තමයි. ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ වාහනේ අනික් අයගෙ වාහනත් එක්ක සසඳලා ආඩම්බර වෙන එක හරි හීනමානයක් ඇති කරගන්න හරි තැනනෙ. දැන් බලන්න අපිට නිදියගන්න ඕනෙ කරන්නෙ බිමක්නෙ. එතන පැදුරක් දාගෙන හරි නැතුව හරි එහෙම නැත්නම් ඇඳක් තියාගෙන හරි නිදා ගන්න අපට පුළුවන්නෙ. ඒත් ඇඳකනං නිදියන්නෙ අපි බලන්නෙ තියෙන හොඳම මෙට්ටෙ ගෙනල්ලා දාන්න. මන් කියන්නෙ කෙනෙකුට ඒවා කරන්න එපා කියන එක නෙමෙයි ජීවිතය ගැන මීට වඩා හිතන්න කියන එක.”

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ ශිෂ්‍ය කාලෙදි මාරසිංහ සර් ඇතුළු ව සර්ලත් එක්ක අනුරාධපුරේ ගිය අධ්‍යයන චාරිකාවක්.”  

“ඇයි හිටපු ගමන් ගඟුල්ට ඒ අධ්‍යයන ගමන මතක් උනේ.”

“ඒක මතක් උනේ සර් වෙස්සගිරියෙදි දැකපු මිහිඳු මහ රහතන් වහන්සෙ සැතපුණයි කියන ගල්යහන ගැන එදා සර් කියපු දේවල් එක්ක.”

“ඇයි මොකක් ද එදා ඒ ගැන විශේෂයෙන් කිව්වෙ.”  

“සර් එදා අපිට කිව්වා මේ යහනෙ සැතපුණේ කවුද කියන එක සිහි කරන්න කියලා. තමන්ට හුරුපුරුදු රට අතහැරලා නන්නාඳුනන රටකට ඇවිල්ලා මුළු දවස පුරා ඒ රටේ මිනිසුන්ට ධර්මය කියලා දීලා රෑ පොඩි වෙලාවකට මේ ගල් යහනෙ සැතපුණේ සිංහාසනය වගෙම රාජකීය සුවපහසු ශයනාසන අතහැරලා ආපු මහා බුද්ධපුත්‍රයෙක් ය කියන හැඟීම හිතේ තියාගෙන මේ ගල් ආසනය දිහා බලන්න කියලයි සර් කිව්වෙ. ඊට පස්සෙ ඒ ගල් ආසනය දිහා බලපු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගෙ, මගෙ සමකාලීන මිතුරු මිතුරියන්ගෙ ඇස්වල එදා මම කඳුළු දැක්කා. ඒ කඳුළුවල ලොකු අර්ථයක් තිබුණා සර් ඒවා තමන්ගෙ පෞද්ගලික දුකකට නැගිච්ච කඳුළු නොවිච්ච නිසා.”

“ඔයා හරි ගඟුල්, කඳුළක් වඩා අර්ථවත් වන්නෙ පෞද්ගලික කාරණා නිසා හෙළන තැනකදි නෙමෙයි අපෞද්ගලික කාරණේක දි හෙළන තැනකදි. තමන්ගෙ පෞද්ගලික කාරණාවලදි නෙවෙයි අනුන්ගේ දුකකදි කඳුළු හෙළපු කවිකාර පරිපාලන නිලධාරියෙක්ගෙ නිර්මාණයක් තමයි මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ.”

“සර් මේ කතා කරන්නෙ විමලරත්න කුමාරගම කවියා ගැනනෙ. සර්ට මතක් වෙන කවිය කියන්ඩකො. මටත් මතක් වෙනවා මේ වෙලාවෙ එතුමාගෙ නිර්මාණයක්. සර් කිව්වට පස්සෙ මම ඒකත් කියන්නම්.”  
 
අනුන් සැදු මිම්මකින් මගෙ හෝ අනුන්ගේ දිග පළල නොමනිමි
මගේ ඇස් දෙක මගේ හදවත කාට අයිති ද මම ද       නොදනිමි
දිනපතා මට ලැබෙන රිදුමින් බිඳක් වත් අන් අයට   නොම දෙමි
අනුන්ගේ රිදුමකට නිතරම මගේ රිදුමක් වගේ          වැලපෙමි

“ඔන්න මන් මට මතක් වෙච්ච කවිය කිව්වා. දැන් මන් කැමතියි ගඟුල්ට මතක් වෙච්ච කුමාරගම කවිය මොකක් ද කියලා දැන ගන්න.”    

“සර් මේක කුමාරගම 1962 දී ලියපු කවියක්. ඒ කියන්නෙ සර් චූටි බබෙක් වෙලා හිටපු මම ඉපදිලාවත් හිටපු නැති කාලෙ. මේ කවිය එතුමා නම් කරලා තිබුණෙ ඔබත් මමත් කියලයි. කවි හයක් තියෙනව මේ නිර්මාණයෙ. ඒකෙ හතරවෙනි කවිය තමයි මට මතක් උනේ. ඒ මේ කවිය සර්.”

            නයි පෙණ විදා ඉන්නේ සුළු මොහොතක ය
            දළයේ රිදුම විස ඇතිවම නැත    සැක      ය
            ඉදිරියෙ බලන විට ඇයි පෙර මග   වක    ය
            ලෝකයෙ දුකත් මගෙ දුක මෙන් මට දුක ය    

“ගඟුල්, උඹ නම් නියම සාහිත්‍ය ගුරුවරයෙක්. ඔය විදිහට ඒ ඒ අවස්ථාවලට ගැළපෙන නිර්මාණ ගළපගන්න පුළුවන්කම තියෙන ඒ වගෙම හොඳ නිර්මාණ පොත්වල නෙමෙයි හිතේ ලියා ගෙන ඉන්න අය තමයි සාහිත්‍ය ගුරුවරුන් විදිහට මේ සමාජෙට ඕන කරන්නෙ. විද⁣්‍යෝදය අධ්‍යාපන දර්ශනේ ගැන කියද්දි හික්කඩුවෙ නායක හාමුදුරුවො අවධාරණ කරපු එක කාරණයක් තමයි කටපාඩම් කිරීම වගෙම පදගතාර්ථ දැක්වීම. උඹට මගෙ ගුරු ජීවිතේ කවර හරි කාල වකවානුවක් උගන්නපු ගුරුවරයෙක් හැටියට මට හරිම සතුටු යි ගඟුල් උඹ ගැන.”

“සර්ගෙ ඔය වචන ටික මන් සලකන්නෙ ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට දුන්න විවරණයක් විදිහට.”

“ගුරුවරයෙක්ට තමන්ගෙ අධ්‍යාපන නිකේතනයෙන් ඒ වගෙම ලෝකයෙන් සැහැල්ලුවෙන් නික්මිලා යන්න පුළුවන් වෙන්නෙ ඔය ගොල්ලො වගේ ශිෂ්‍යයන්ගෙන් ඒ හිස්තැන් පිරෙන කොටයි.”  

තදනන්තර ව ගඟුල් යළිත් මෙතෙක් කතා කළ මාතෘකාව වෙතට හැරවුම් ලක්ෂ්‍යය ගත්තේ ය.

“සර් ඔය පොසොන් අර්ථත් එක්කත් ගළපපු අපි කලින්  කතා කරපු ධර්ම කාරණා හතර කොහොම ද පලිහවඩන සර්ගෙ ජීවිතයත් එක්ක ගළපන්නෙ.”    

“අපිට ඇසුරු කරන්න ලැබුණ අපිට විෂය විතරක් නෙමෙයි ජීවිතයත් උගන්නපු පලිහවඩන සර්ව අවුරුදු හතළිස් පහක් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න අපට වාසනාව තිබුණා. ඒක නිසා අපි කලින් කතා කරපු ධර්ම කාරණා තමන්ගේ ජීවිතයෙන් ප්‍රකාශයට පත් කරපු උත්තමයෙක් හැටියට අපට සර්ව හඳුන්වන්න පුළුවන්. සර් ලෝකයේ පවතින අධ්‍රැව ස්වභාවය හොඳින් ම අඳුනගෙන හිටියා. තමන්ගෙ ශිෂ්‍යයනට උගන්වන පාඩම්වලත් ඒ ඉගැන්වීම තිබුණා. සර්ට කිසි තැනෙක මන් තමයි ප්‍රධානියා කියලා අනික් අය අතරින් කැපී පෙනෙන මානසිකත්වය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි ගඟුල් සබ්බං පහාය ගමනීයං කියන ධර්ම වාක්‍යය මතුපිටින් නෙමෙයි ගැඹුරින් ම අවබෝධ කරගෙන හිටපු නිසයි සර්ට පුළුවන්කම තිබුණෙ තමන්ගෙ ශාරීරික පැවැත්ම තහවුරු කිරීම සඳහා අවංකවම වෙහෙසිච්ච දරුවන්ට නෑයන්ට ශිෂ්‍යයන්ට  දැන් මට යන්න දෙන්න කියන ඉල්ලීම කරන්න පුළුවන්කම තිබුණෙ. සර්ගෙ අන්තිම කාලෙදි තමන්‌ගෙ ශිෂ්‍යයන්ගෙ ශිෂ්‍යයෙක් වෙච්ච මේ වෙනකොට චීනෙ විශ්වවිද්‍යාලයක සිංහල උගන්වන තමන්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙච්ච 
රත්නප්‍රිය විජේරත්නටත් මේ කාරණේ කියල තිබුණ.  

“සර් කියන දේවල් හරි. ඒ සර්ව ඇසුරු කරන්න ලැබුණ කෙටි කාලෙට අපිටත් දැනුණා සර්ව. මන් දැන් අන්තිම කාරණේ පලිහවඩන සර්ගෙ ජීවිතේට ගළපන්නෙ කොහොම ද කියන කාරණේ ගැන සර්ගෙන් අහන්න යන්නෙ නැහැ. ඇසුරු කරපු කෙටි කාලෙට පලිහවඩන සර් කියන්නෙ තෘෂ්ණාදාසයෙක් නොවන බව අපටම පැහැදිලි වෙච්ච නිසා. සර් හරි මේ කතා කරපු කාරණා හතර පොසොන් අර්ථ විදිහටත් සලකන්න පුළුවන්නම් පලිහවඩන සර් කියන්නෙ ඒ අර්ථ වෙන කිසි දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතයෙන් ම ඔප්පු කරපු මෑත යුගයේ ජීවත් වෙච්ච උත්තමයෙක් ම තමයි.”  

“පලිහවඩන සර් කියන්නෙ බුද්ධාලෝකය, මහින්දාලෝකය, උපනිෂදාලෝකය වගෙම අදිකාරම්තුමාගෙ ආභාසය නොඅඩුව ම තමන්ගෙ ජීවිතේට බාහිරින් නෙමේ අභ්‍යන්තරයෙන් ම ඇතුළු කරගෙන වැඩ කරපු චරිතයක්. අදිකාරම්තුමා නැති උනාට පස්සෙ හුලන්දාවේ උපාලි නායක හාමුදුරුවො කිව්වා මන් අදිකාරම්තුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙ නැහැ කියලා. මොකද එතුමා නිවන් දැකලා ජීවත් වෙච්ච චරිතයක් කියලා තමන්ටම දැනෙන නිසා කියලා. මට පලිහවඩන සර් ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. එතුමාගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ප්‍රජාව අතර ඉන්න ගිහි අය පැත්තකින් තියන්න. අපවත් වී වදාළ රද්දැල්ලෙ පඤ්ඤාලෝක නායක හාමුදුරුවො, ගිගුම්මඩුවෙ අනෝම නායක හාමුදුරුවො කියන්නෙ සර්ගෙ උපදේශකත්වය ලබමින් තමන්ගෙ පශ්චාද් උපාධි කරපු අය. ඒ වගෙම කැලණිය විශ්වවිද්‍යාලෙදි වටගෙදර විමලබුද්ධි නායක හාමුදුරුවො, පත්‌බේරියේ විමලඤාණ නායක හාමුදුරුවො, කහපොළ සුගතරතන නායක හාමුදුරුවො වැනි ස්වාමීන් වහන්සෙලා වගෙම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙදි අපේ මාදුරුඔයේ ධම්මිස්සර හාමුදුරුවො, ලබුගම නාරද හාමුදුරුවො, දාපනේ සුමනවංස හාමුදුරුවො කියන ස්වාමීන් වහන්සේලා ඇතුළු සැලකිය යුතු පැවිදි ශිෂ්‍ය ප්‍රජාවක් සර්ගෙන් ඉගෙන ගත්තා. මේ කොයි භික්ෂූන් වහන්සේගෙන් ඇහැව්වත් උන් වහන්සේලා අපේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය නායක හාමුදුරුවො ආචාර්ය අදිකාරම්තුමා ගැන යම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා ද ඒ ප්‍රකාශෙම තමයි අපේ සර් ගැන කරන්නෙ.”

“බළන්ගොඩ නායක හාමුදුරුවො අදිකාරම්තුමා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවනෙ සර්. සර් ඒවයින් අදහස් කළේ කොයි ප්‍රකාශය ද?”

“අදිකාරම්තුමා කියන්නෙ තමන්ගෙ ජීවිත කාලෙදි තමන් දැකපු බෝධිසත්ත්වයෙක් කියන එක. ඒක ඒ විදිහටම අපේ පලිහවඩන සර්ට අදාළයි ගඟුල්.”  

“සර්ගෙ ජීවිතේ පලිහවඩන සර් ගැන ගොඩක් මතක ඇතිනෙ. ඒ මතකාවලියෙන් තැනක් දෙකක් මතු කරන්න පුළුවන් ද?”

“එහෙම විශේෂ තැනක් තමයි සර් අදිකාරම්තුමා නැති උනාට පස්සෙ එතුමාට ආදර ගෞරවය දක්වපු සමරවීර වීරවන්නි හිටපු ඇමතිතුමා සංවිධානය කරලා තිබිච්ච සමරු වැඩ සටහනේ දි කරපු කතාව. ඒ වැඩ සටහනට අදිකාරම්තුමා බලාගත්ත සිරි - ලක්ෂ්මී යුවළ වගෙම එතුමාගෙ ආදි ශිෂ්‍යයන්, නෑයන් ඇතුළු ගොඩක් දෙනෙක් සම්බන්ධ වුණා. ආචාර්ය අමරදේවයන් වගෙම අදිකාරම්තුමාගෙ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් හිටපු උපකුලපති ජිනදාස පෙරේරා මහාචාර්යතුමත් ඒකට සම්බන්ධ වුණා. භික්ෂූන් වහන්සේලා නියෝජනය කරමින් අපේ අකුරටියේ අමරවංස නායක හාමුදුරුවො, දැන් රුහුණ විශ්වවිද්‍යාලෙ කුලපති හැටියට කටයුතු කරන අකුරටියේ නන්ද හාමුදුරුවො ඒ වෙන කොට ලන්ඩන් බෞද්ධ විහාරෙ වැඩ වාසය කරපු හිග්ගොඩ ඛේමානන්ද හාමුදුරුවො, හුලන්දාවෙ උපාලි හාමුදුරුවො වගේ භික්ෂූන් වහන්සේලා මහා සංඝරත්නය නියෝජනය කරමින් වැඩම කරලා හිටියා. එදා සමරු දේශනය හැටියට පලිහවඩන සර් කළේ බැලූ බැල්මට තරමක විවාදාපන්න කතාවක්.”  

“විවාදාපන්න කතාවක් කියන ඒකෙන් සර් අදහස් කළේ?”

“මන් එහෙම කිව්වෙ ඒ කතාව පස්සෙ තවත් කතාවලට මග පෑදිච්ච කතාවක් වෙච්ච නිසා. හැබැයි අපි ගොඩක් දෙනාට දැනිච්ච දේ තමයි සර් කතා කළේ දහමට අනුගතව අදිකාරම් චින්තනයට අනුගත ව මිස තමන්ගෙ අලුත් දෘෂ්ටියක් මතු කරන්න නොවන බව. අද අපි කතා කරන මාතෘකාවට අනුව ගත්තත් මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ ස්ථාපිත කරපු ධර්ම කාරණා එක්කත් ගළපන්න පුළුවන් කතාවක් තමයි එදා සර් කළේ. අද අපි ඉන්න සමහර ආස්ථාන ගැනත් අලුතින් හිතන්න ඕන විදිහ පෙන්වන කතාවක් තමයි එදා සර් කළේ.”

“ඉතින් සර් දැන් අපි ඒ ගැනත් ටිකක් කතා කරමු ද?”  

“පොඩ්ඩක් ඉන්න ගඟුල් ඒ කතාවෙ අත් පිටපත මගෙ ළඟ තියෙනවා. මම ඒක ළඟට අරගෙන ම කතා කරන්නම්.”

මෙසේ කියා සිය කාමරයට ගිය සහන් ආචාර්යවරයා පෙරළා පැමිණියේ එක් පැත්තක ටයිප් කළ සටහන් ඇති කොළවල හිස් පැතිවල අත් අකුරින් ලියා තිබූ දේශන පිටපත රැගෙන ය.
 
“ගඟුල්, සර් මේ දේශන පිටපත ලියලා තියෙන කොළ ටික සාක්කි දරන්නෙත් බෞද්ධ දර්ශනය අපට උගන්වන සම්පත් අරපිරිමැස්ම තමන්ගේ ජීවිතේ අවියෝජනීය අංගයක් කරගත්තා කියන එකට.”

“එතකොට සර් මේ තියෙන්නෙ පලිහවඩන සර්ගෙ අත් අකුරු.”

“ඔව් ගඟුල්, දැන් මම මේ දේශනේ තැනකින් ම තැනක් අරගෙන කතා කරන්නම්.”  
 
“සර් කතාව ආරම්භෙදිම වාගේ අපේ ඉස්සරහ තියන්නෙ ප්‍රශ්න කිහිපයක්. ඒ තමයි අදිකාරම්තුමාගෙ ජීවිතයෙන් අප බලාපොරොත්තු වන දෙය කුමක් ද? එතුමා උතුමෙක් කියා කියන්නේ කුමක් නිසා ද? අපේ ජීවිත සකස් කරගැනීමට එතුමාගෙන් අප උගත යුතු පාඩම් මොනවා ද?” කියන ප්‍රශ්න. 
 
“ඔය ප්‍රශ්න ටිකම අපිට පුළුවන් නේද සර් අපේ පලිහවඩන සර්ගෙ ජීවිතයත් එක්ක ගළපල සමාජය ඉදිරියෙ තියන්න. අපිට පුළුවන්නෙ සර් අපි පලිහවඩන සර්ගෙ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? සර් උත්තම චරිතයක් කියලා කියන්නෙ ඇයි? අපේ ජීවිත හදා ගන්න සර්ගෙ ජීවිතයෙන් අපි ගන්න ඕනෙ පාඩම් මොනව ද? කියන ප්‍රශ්න අපෙන් ම අහන්න.”  

“ඔයා ගේන්න ම ඕන තැනට තමයි ගඟුල් මේ සාකච්ඡාව ගෙනාවෙ. මේ කතාවෙ දි සර් කියනවා අදිකාරම්තුමා ජීවත් වෙච්ච කාලෙදි සමාජය පුදුම අන්දමකට එතුමාගෙ ජීවිතය දිහා බැලුවා කියලා. එතුමාගෙ  ඇසුර නිසා කෙනෙක් නිර්මාංසික ජීවන රටාවකට පුරුදු උනාම ඒ අයට උසුළු විසුළු කරලා තියෙනවා. එතුමා කතා කරපු දේවල් හරියට තේරුම් ගන්නෙ නැතුව ඒවා විවාදෙට හේතුවක් කරගෙන තිබුණා. එතුමා ජීවත් ව හිටිකාලෙදි ඇස් ඇරලා බැලුවෙ නැති වැඩිහිටි සමාජය එතුමාගේ දෑස පියවුණාට පස්සෙ ඇස් ඇරලා බලන්න පුරුදු වෙලා තියෙනවා. තමන්ගෙම දරුවන් යායුතු දිසාව ගැන ඔවුන්ට හොඳ අනාගතයක් උරුම කරලා දෙන්න ඕනෙ කොහොමද කියන කාරණා ගැන නේ ද අදිකාරම්තුමා කතා කළේ කියලා දැන් හොයා බලන්න පටන් අරන් තියෙනවා. මන් හිතන්නෙ මේ ප්‍රශ්න ටිකම අපි පලිහවඩන සර්ගෙ ජීවිතෙ එක්කත් ගළපලා අහන්න ඕනෙ කියලයි.”

“සර් අදිකාරම් දර්ශනය වගෙම පලිහවඩන ජීවන දර්ශනයක් ගැනත් අපිට කතා කරන්න පුළුවන්නෙ.” 
   
“ඔය ප්‍රශ්නෙට ගඟුල් මම උත්තර දෙන්නම් එදා පලිහවඩන සර්ගෙ කතාවෙන් ම කරුණු අරගෙන. සර් කියනවා අදිකාරම්තුමා කිසිම දෙයක ඇලී ගැලී නොහිඳ සමාජෙ හැම පැත්තක් ගැනම කතා කරපු බව. එතුමා කියලා තියෙන්නෙ මට කිසිම දෘෂ්ටියක් නැහැ. මිනිස්සු දේපළක් එකතු කර ආරක්ෂා කරනවා වගේ දර්ශනයක් චින්තනයක් ගොඩ නගා අරගෙන යන්නට දෙයක් තමා ඉතුරු කරන්නෙ නැහැ කියලා.”

“එහෙම නං සර් අදිකාරම්තුමා මොකට ද තරුණ සිතිවිලි සමාජය, තරුණ කාන්තා සිතිවිලි සමාජය, නිර්මාංසාහාර සමිතිය වගේ සංවිධාන හැදුවෙ.”

“ඉන්න ගඟුල් මම ඒකට උත්තර දෙන්නම් එදා පලිහවඩන සර් කරපු දේශනයේ තැනකින් ම.”  

“තරුණ සිතිවිලි සමාජය ආරම්භ කරන අවස්ථාවේ දී පවා එතුාගේ යථාර්ථය වූයේ මේ සමාජයට එකතු වන පිරිස සංවිධාන කරගෙන බැම්මකින් බැඳ තහවුරු කරගෙන එහි නායකත්වය තමා කෙරෙහි තබාගෙන නිකායක් හැදීමට නොවෙයි. එතුමා කල්පකා කළේ තමාගේ පණිවුඩය දීමට පමණයි. එමගින් ඒ දරුවන් තමන් ජීවත් වන සමාජයේ කොතැන වුවත් නිදහස් ලෙස සිතීමට සමර්ථ වෙනවා නම් එය ප්‍රමාණවත් ය කියා එතුමා කල්පනා කළා.”

“ඒක සර් හරි උදාර අරමුණක්නෙ. මට මතක් වෙන්නෙ කලාව ඉදිරියට දී කලාකරුවා සැඟවෙන තැනයි කලාව තියෙන්නෙ කියලා ඔස්කාර් වයිල්ඩ් කරපු ප්‍රසිද්ධ ප්‍රකාශෙ. අදිකාරම්තුමා කරලා තියෙන්නෙත් පුද්ගලයා වශයෙන් තමන් ඉස්මතු වීම නෙමෙයිනෙ මතු කරන්න ඕනෙම කරන දේ ඉස්මතු කරන එකනෙ.”

“ඔයා හරියට ම තේරුම් ගත්තා ගඟුල්. අදිකාරම්තුමා නැති උන දවස වගේම තමයි අපිට පලිහවඩන සර් නැති උන දවසත්. හරි හිස් බවක් දැනෙවා ගඟුල් වෙන කවදාටත් වඩා. පලිහවඩන සර් 1986 මාර්තු 29 වෙනි දා එදා බණ්ඩාරවෙලදි කියපු දෙයක් මට මතක් වෙනවා. මන් ඔයාට පෙන්නන්නම් දැන් එතැනත්.”  
 
“ඇත්ත වශයෙන් අපට නිදහස් ව සිතීමට ඉඩ දී අනාගත පරපුරට යහ මග පෙන්වීමට සමර්ථ කෙනෙකු අද ජීවතුන් අතර ඉන්නවා ද යනු සැක සහිතයි. දරුවන්ගේ ජීවිතය සකස් කරගැනීමට ආදර්ශයට ගත හැකි චරිතයක් නූතන සමාජයේ ඇද්ද කියා මට සැකයි. යහගුණ ගැන හැම දෙනාටම කතා කළ හැකියි. නමුත් එසේ කරන අය සරලව ජීවත් වෙන්නේ නැහැ. අවිහිංසාව ගැන කතා කළ හැකියි. නමුත් අහිංසාවෙන් ජීවත් වන්නේ නැහැ. ප්‍රායෝගික වශයෙන් අවිහිංසාව පෙන්වන්නේ නැහැ. අද ඇත්තේ අපට පමණක් නොවෙයි මුලු ලෝකයටම හරි ආකාර ව පණිවිඩයක් ලබාගැනීමට කෙනෙකු නැති වූ ස්වභාවයක්. තෙහෙට්ටුවට පත් වූ වේදනාව එක් රැස් වූ සමාජයක්.”

“සර් මිනිස්සු වේදනාවට තෙහෙට්ටුවට ලක් වෙන්නෙ තමන්ගෙම චර්යා නිසා මිස වෙන කාගෙවත් වරදක් නිසා නෙමෙයිනෙ.”
 
“ඔව් ගඟුල්, ඒක නිසා තමයි සර් අපිට කිව්වෙ ජීවිතය විදිහට බොහෝ දෙනා සලකන ගෙවල් දොරවල්, ඉඩකඩම්, රසමුසු ආහාර, සතුටු සාමීචිය ආදිය ජීවිතය නොවන බව. සර් දැක්කා අර කියන ජාති එක්රැස් කරගත්තට පස්සෙත් මිනිස්සු ඒවායින් සතුට හොයා ගන්න බැරිව තම දරුවන් එක්ක එකම නිවසෙ එකම වහලය යට සැනසිල්ලේ ඉන්න බැරුව ඒ භෞතික භාණ්ඩ අතර තනිවෙලා සුසුම් හෙළන හැටි. මිනිස්සු වේදනාවට තෙහෙට්ටුවට පත් වෙන ආකාරය ගැන එදා සර් අදිකාරම් සමරු දේශනේ දී කතා කරනවා. බලන්න ගඟුල් මේ කොටස දිහා.“

“සමහර අවස්ථාවලදී දෙමවුපියන් දරුවන් ගැන කථා කරන කොට ඔවුන් ඉගෙන ගන්නා විෂයධාරාවන් ගැන ආඩම්බරයෙන් කථා කරනවා. ඒ මාර්ගයෙන් ඔවුන්ට ලැබිය හැකි ලොකු තනතුරු ගැන චිත්‍රයක් මවාගෙන ඒ මවාගත් සිතුවිල්ල අනුව තම දරුවන් හැඩ ගස්වා බලයෙන් හෝ ඒ පැත්තට ගමන් කරවීමට හැකි තරම් මහන්සි ගන්නවා. ඒ නිසාම දහස් සංඛ්‍යාත දරුවන් ගොරෝසු වී තනි වී, ළමා වියෙහි දී ලබා ගත යුතු සතුට ලබා ගැනීමට නොහැකි වී දෙමව්පියන් දෙස අමුතු ආකාරයකින් බලනවා. මේ දේවල් ගැන අදිකාරම්තුමා කථා කළා. මේවා එතුමා පෙන්වා දුන්නා.”
 
”සර්, අදිකාරම්තුමා වගෙම පලිහවඩන සර්රුත් තමා අවට සමාජය දිහා ඒ ඇහින් ම බලපු කෙනෙක් නේද?“ 

”ගඟුල්, පලිහවඩන සර් කියන්නෙ අදිකාරම්තුමා වගෙම මිනිස්සු ගොඩක් දේවල්වලින් මත්වෙලා ඉන්න බව දැකපු කෙනෙක්. අදිකාරම්තුමා ඇයි තරුණ ප්‍රජාව දුම්බීමෙන්, මත්පැනින් වගෙම හිංසක ක්‍රියාවලින් වළක්වා ගන්න ඕනෙ කියලා කටයුතු කළේ කියන එක මතුපිටින් නෙමෙයි ගැඹුරින් දැකපු කෙනෙක්. අදිකාරම්තුමා මත්වීම ගැන දේශනයක් කරන කොට මත්ද්‍රව්‍යවලින් විතරක් නෙමෙයි ජාති - ආගම් - කුල - දුප්පත් - පොහොසත් - උගත් - නූගත් ආදි වශයෙන් මත් වෙලා ඉන්න එක ගැනත් කතා කළා. පලිහවඩන සර් අපට උපනිෂද් දර්ශනය උගන්නන කොටත් ඒ කාරණා මතු කළා. මන් කැමතියි ආයෙත් සර්ගෙ ප්‍රකාශයක් උපුටා දක්වන්න. අද ජාති ආගම්භේද මුල් කරගෙන රට රටවල් අතර කොච්චර ගැටුම් ද? එදාටත් වඩා සර්ලා වගෙ උත්තමයන් අවශ්‍ය වෙන්නෙ අද සමාජයට. ඒත් අද භෞතික ව අදිකාරම්තුමාලා පලිහවඩන සර්ලා අපි අතර නැහැ. ඒක නිසා ගඟුල් ඔයගොල්ලන්ට අපිට වෙනදාටත් වඩා ගුරුවරුන් හැටියට වගකීමක් යුතුකමක් තියෙනවා ඒ අදහස් සමාජයට ගෙනියන්න. බලන්න ගඟුල් පලිහවඩන සර්ගෙ මේ ප්‍රකාශය දිහා.”

“ආගම්, ජාති, කුල, දුප්පත්-පොහොසත්, උගත්-නූගත් ආදි භේදවලින් වඩ වඩාත් මිනිසුන් කොටු වී පටු වී සිටිනවා. තමා මවාගත් දේවලින් කොටු වී කාලය ගත කරන විට අනෙක් දේ පෙනෙන්නේ නැහැ. ජාතිවාදය නිසා තනි වූ කොටු වූ පුද්ගලයාට පෙනෙන්නේ අනෙක් ජන කොටස්වල වැරදි. සිතෙන්නේ ඔවුන් නැති කිරීමට, විනාශ කිරීමට. වස්තු තණ්හාවෙන් පෙළෙන මිනිසාට දරුවන්ගේ දුක සැප සොයා බැලීමට ඔවුන්ට ආදරයෙන් කතා කිරීමට වෙලාවක් නැහැ. ගෙදර සිටින දරුවන් සමග පවා සුහදව වේලක් ආහාර ගැනීමට හිතෙන්නේ නැහැ. වස්තුව රැස්කර ගැනීම පරමාර්ථය කරගත් මිනිසා ඒ තණ්හාව නිසා ගොරෝසු වෙනවා.”

”මට මතකයි සර් අපිට දවසක් උගන්නද්දි කිව්වා අදිකාරම්තුමා, පලිහවඩන සර් වගේ අල්පයක් චරිත මේ යුගේදි පිරෙව්වෙ අතීතයේ කවර හෝ යුගයක බෞද්ධ දාර්ශනිකයන්, උපනිෂද් චින්තකයන් වගෙම සොක්‍රටීස්තුමා වගෙ චරිත පුරවපු හිස්තැන කියලා.”

“ඔව් ගඟුල්, මම කැමතියි ඒ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දෙන. දාර්ශනිකයන්ට පොදු ලක්ෂණයක් තමයි මුලින් තමන් ජීවත් වන සමාජය හොඳින් අවලෝකනය කරනවා. ඊට පස්සෙ සමාජය අබිමුව ප්‍රශ්නපත්‍රයක් තියනවා. අන්තිමට ඒ ප්‍රශ්නපත්තරේට උත්තර ලියන්න පුළුවන් තැනට මානව ප්‍රජාව ගේනවා. පලිහවඩන සර්ගෙ මේ දේශනයෙනුත් අපිට එහෙම තැන් මතු කර ගන්න පුළුවන්. මේ එහෙම එක තැනක්.”

“දරුවන් ඉදිරියෙහි දී මත්පැන් බොමින් අවිචාරවත්ව වැඩිහිටියන් හැසිරෙන ආකාරය දක්නා දරුවන් තුළ ඔවුන් කෙරෙහි ආදර ගෞරවයක් ඇති වේ ද? ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුන්ගේ ධර්මය අනුව ජීවත් වන බව කියමින් ඒවා ප්‍රායෝගික ජීවිතයෙන් මුලුමනින් ම ඈත් කර චාරිත්‍රානුකූල ඇදහිල්ලකට පමණක් සීමා කර ගෙන සිටින මිනිසුන් ජීවිතයෙහි දී කරන හරයක් නැති දේවල් නිසා කොතරම් දුරට පිරිහී ගොස් ද? අද මිනිස් සමාජයෙහි කරන වැඩ කටයුතුවල කොතෙක් දුරට හරයක් ඇද්ද?”

“සර් මේ ප්‍රශ්නවලට අපි අවංක නිවැරදි උත්තර හොයනව නම් මීට වඩා වෙනස් සමාජයක් ඇති වේවිනෙ.”

“පලිහවඩන සර් කියනවා ලෝකය ගැඹුරින් අවබෝධ කරගෙන හිටපු කෙනෙක් ජීවත් ව ඉන්දැද්දි පෙන්නපු කරුණු දිහා එතුමා ජීවත් ව සිටියදී ඇස් ඇරලා බලන්න බැරි උනානම් අඩුම ගාණේ අප අතරින් ඒ චරිතය වෙන් වෙලා ගියාට පස්සෙ වත් ඒවා දිහා බලන්න කියලා.”  

“සර් මේ චරිතය ගැන නොදන්න අයට යම් චිත්‍රයක් හදා ගන්න මේ කතා කරපු කාරණා ගොඩක් උදව් වේවි. මෙයට අමතර ව සර් ලබලා තියෙන සම්මත උගත්කම් ගැනත් අපි ටිකක් කතා කරමු ද? මොකද ඒවා උදව් වේවි මේ උගත්කම් ලබපු ලෝකෙට තමන්ගෙ දැනුම ශක්තිය යොදවන්න ඕන කාටද කොතෙන්ට ද කියන කාරණා පෙන්නලා දෙන්න.”

“සර්ගෙ පුතා රවී පහුගිය දවසක සර් පිළිබඳ ජීවදත්ත සටහනක් එවලා තිබුණා. මන් ඒක පාදක කරගෙන ඒ ගැන කෙටි විස්තරයක් කරන්නම්.”  

“සර් උපදින්නෙ 1926 අවුරුද්දෙ නොවැම්බර් 26. නැති වෙන්නෙ 2025 ජූනි 08. තමන්ගෙ ප්‍රාථමික අධ්‍යාපනය දම්පැල්ල ග්‍රාමීය පාසලේ ලබපු අපේ සර්ව ද්විතීයික අධ්‍යාපන සඳහා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට අරගෙන එන්නේ ප්‍රසිද්ධ ගත් කතුවරයෙක් වෙච්ච පීටර් විජේසිංහ මහත්තයා. ඉගෙන ගැනීමේ අරමුණින් ගමින් නගරයට සංක්‍රමණය වීම ගැන තිබිච්ච මේ ප්‍රවේශය ඒ මුළු පවුලට ම බලපානවා. සර්ගෙ අක්කා, ලොකු මල්ලි අමර පලිහවඩන, ඊළඟ මල්ලි සිරි පලිහවඩන, පොඩි මල්ලි නිමල් පලිහවඩන මේ ඔක්කොම වෙන දේකට නෙමෙයි ඉගෙන ගන්න ම කොළඹට එනවා. ඒ කියන්නෙ ආනන්ද ශාස්ත්‍රාලෙට. මේ කාලෙ ශාස්ත්‍රාලෙ විදුහල්පති විදිහට කටයුතු කළේ අදිකාරම්තුමා. එතුමාගෙන් ගණිතයයි පාළියි ඉගෙන ගන්නත් පලිහවඩන ශිෂ්‍යයාට අවස්ථාව ලැබුණා. 1944 දි ආනන්ද ශාස්ත්‍රාලයෙන් ශිෂ්‍යයො හතර දෙනෙක් විශ්වවිද්‍යාලයට තේරෙනවා. මහින්ද ශිෂ්‍යයා එයින් එක් කෙනෙක්. එතුමා 1947 අවුරුද්දෙදි තමන්ගෙ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබනවා. ඊට පස්සෙ 1948 දි ගුරුවරයෙක් විදිහට ශාස්ත්‍රාලෙට සම්බන්ධ වෙලා සේවය කරනවා. ඊටත් පස්සෙ 
1952  දි කොළඹ විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය දිනා ගන්නෙ විශිෂ්ට සම්මානයකුත් එක්ක.”

“සර් මේ කාලෙ තුළ සර්ගෙ ජීවිතේ සිද්ද වෙචච් විශේෂ දේවලුත් ඇතිනෙ.”

“ඔව් ගඟුල් එහෙම සිද්ධි කීපයක් ගැන අපේ රවීත් තමන්ගෙ සටහනේ ලියලා තිබුණා. ඉන් එකක් මම ඒ සටහනින් ම උපුටලා දක්වන්නම්. බලන්න ගඟුල් මේ ජීවදත්ත සටහනේ තුන්වෙනි පිටුවෙ තියෙන මේ කොටස.

කොළඹට පැමිණෙන විට ඉංග්‍රීසි හෝඩිය පවා හරිහැටි නොදැන සිටි මහින්ද, උපාධිය ලබා නොබෝ දිනකින්, ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස තරඟයකට ඉදිරිපත් වී ප්‍රථම ස්ථානය දිනා ගත්තා. දෙවෙනි ස්ථානය දිනාගත් විදේශික කාන්තාව, තමා බ්‍රිතාන්‍ය සරසවියක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියක් බවත්, ලොව අනික් කෙළවර වසනා තරුණයෙක් මෙලෙස මගේ මව්බස හැදෑරීම සඳහා දක්වන උනන්දුව මහත් සේ අගයන්නෙමි යි පවසමින් මහින්දට සුබ පැතුවා.”

සර් ඔය ප්‍රකාශෙ පලිහවඩන සර්ගෙ විශිෂ්ට දක්ෂතාවට වගෙම අර ඉංග්‍රීසි මහාචාර්යතුමියගෙ නිහතමානිකමත් පෙන්වනවා කියලයි මට හිතෙන්නෙ. මේවා ඇත්ත ඇකඩමික් වෙන්න කැමති අය තමන්ගෙ ආදර්ශ පාඨ කරගන්න ඕන කරන ප්‍රකාශ. අපි රවී මහත්තයටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ එහෙම තැන් මතු කිරීම ගැන. දැන් සර් අපි අර ජීවදත්තෙ අනික් තැන්වලටත් යමු ද?”

“ගඟුල්, 1955 අවුරුද්දෙදි තමයි සර් ආනන්ද ශාස්ත්‍රාලෙ විදුහල්පති තනතුරට පත් වෙන්නෙ. 1960 අවුරුද්ද වෙනකං සර් ඒ තනතුරේ ඉන්නවා. 1960 දි තමයි සර් වැලිවියෙ සෝරත නායක හාමුදුරුවන්ගෙ යුගයෙ දි විද්‍යෝදය විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්නෙ. සර් සංස්කෘත විෂය පිළිබඳ මහාචාර්යවරයා බවට පත් වෙන්නෙ 1971 දි. 1972  දි තමයි සර් ආරාධිත පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයෙක් විදිහට ඇමෙරිකාවෙ හාවඩ් විශ්වවිද්‍යාලයට යන්නෙ.”  

“සර් අපි අහලා තියෙනවා සර් ඇමරිකාවෙ නෝර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලෙත් වැඩ කළා කියලා.”  

“ඔව් ගඟුල්, ඊට කිට්ටු කාලෙක සර් අර ඔයා කිව්ව විශ්වවිද්‍යාලෙ ඉතිහාසය හා ආගම් පිළිබඳ අධ්‍යයනාංශෙ ආරාධිත මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අවුට් වෙච්ච අලුත විශේෂ ආරාධනයක් ලබලා සර් ඇමෙරිකාවෙ කෝල්ගේට් විශ්වවිද්‍යාලෙ ලෝක ආගම් පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ වගෙම මෙතෙන්දි මට අමතක වෙච්ච තවත් දෙයක් තියෙනවා. ඒ 1966 දි සර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තමන්ගෙ ආචාර්ය උපාධිය දිනාගන්නවා ඍග්වේදය පිළිබඳ පර්යේෂණ නිබන්ධය ඉදිරිපත් කරලා.”  

“සර් කල්‍යාණි ටීචර් එහෙම නැත්තං කුසුම් මැඩම් කියලා මතක් කරන අපේ සර්ගෙ නෝනව සර්ට මුණ ගැහෙන්නෙත් ඒ පශ්චාද් උපාධිය කරන කාලෙ නේද?”

“ඔව් ගඟුල්, හැබැයි ඒ පීඑච්ඩී එක කරන කාලෙ නෙමෙයි සර් කොළඹ විශ්වවිද්‍යාලෙ එම්ඒ එක කරන කාලෙ.”

“මට මතකයි සර් දවසක් කිව්වා පලිහවඩන පවුලෙ සහෝදරයො තුන් දෙනෙක් එකම පවුලෙ සහෝදරියන් තුන්දෙනෙක් ය විවාහ කරගත්තෙ කියන කාරණේ.”  

“ඔව් ගඟුල්, ඒක අපට රාමායණේ රාම, භරත, ලක්ෂ්මණ, භරත කියන සහෝදරයො හතර දෙනා සීතා, මාණ්ඩව්‍යා, ඌර්මිලා, ශ්‍රැතකීර්ති කියන එකම පවුලෙ සහෝදරියන් හතර දෙනා විවාහ කරගත්ත එකට සමාන කතාවක්. මහින්ද පලිහවඩන සර් විවාහ වෙන්නෙ ඒ පවුලෙ ලොකු දුව වෙච්ච කල්‍යාණි සංඝමිත්තා කියන අපේ ගුරුපත්නියත් එක්ක. ඊළඟට මේ රටේ යෝග පිළිබඳ නමක් දිනාගත්ත අමර පලිහවඩන මහත්තයා විවාහ වෙන්නෙ කල්‍යාණි මැඩම්ගෙ සහෝදරියක් වෙච්ච රාණි මැතිනියත් එක්ක. ඊළඟට අපිට ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබුණ අපි ගොඩක් දෙනා සිරි අන්කල් කියලා කතා කරපු සිරි පලිහවඩන මහත්තයා විවාහ වෙන්නෙ ඒ පවුලෙ පොඩි දුව සීතා ලක්ෂ්මී ඒ කියන්නෙ අපි ලක්ෂ්මී ඇන්ටි කියලා කතා කරපු මහත්මියත් එක්ක.”

“සර් අපි ටිකක් කතා කරමු ද සර්ගෙ ග්‍රන්ථ වගෙම ලේඛන සම්පාදනය ගැන.”

“ඒ ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ගඟුල්. මන් ඒවයින් විශේෂ තැනක් දෙකක් ගැන විතරක් කියන්නම්. එකක් තමයි සර් මහාචාර්ය ජොන් රොස් කාටර් කියන විද්වතාත් එක්ක ධම්මපදයට කරපු විග්‍රහ සහිත විශිෂ්ට පරිවර්තනය. අපේ විශ්වවිද්‍යාලෙට හැට වසරක් පිරිච්ච වෙලාවෙ විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශයට පත් කරපු 
The Indra Cult as Ideology  කියන පොතත් ගොඩක් විද්වතුන්ගෙ සම්භාවනයට පත් වුණා. ඒ වගෙම ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ග්‍රන්ථ කිහිපයක් ම සර් සිංහලයට පරිවර්තන කළා. මන් ඔයාටත් කියවන්න දීලා තියෙන මනුෂ්‍ය වර්ගයාගේ කථාන්තරය, චින්තන ජාලය, අද අලුත් දිනයකි, මරණින් මතු ජීවිතය වගේ පොත් ඒ කාරණේට උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. ඒ වගෙම සිංහලෙන් වගෙම ඉංග්‍රීසියෙනුත් ගොඩක් ලිපි ලියලා තියෙනවා. සර් සංස්කෘත ගැන විතරක් විශේෂඥයෙක් නෙමෙයි. පාලි ගැන වේවා ඉංග්‍රීසි සාහිත්‍යය ගැන වේවා දෙයක් දැන ගන්න ඕන උනාම අපි ගියේ සර් හොයාගෙන. මට මතකයි අපේ වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමා සැරයක් කිව්වා මෙතුමත් එක්ක කතා කරන එක වෙලාවටකට හිතෙන්නෙ මේ මහා සංස්කෘත පඬිවරයෙක් නේද කියන එක කියලා. ඊළඟට පාලි ගැන කතා කරන කොට පාලි මහාචාර්යවරයෙක් හැටියටත් ඉංග්‍රීසිය ගැන කෙරෙන සාකච්ඡාවක දි දැනෙන්නෙ ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් හැටියටත් කියලා. මේ මගෙ නෙමෙයි අපේ මාරසිංහ සර්ගෙ වචන.”

“සර් පලිහවඩන සර් කාලයක් කැලණිය විශ්වවිද්‍යාලෙත් වැඩ කළා නේද?”

“ඔව් 1975 ඉඳලා 1980 වෙනකන් කැලණියෙත් වැඩ කළා.”  

“සර් පලිහවඩන සර්ගෙ වෘත්තීය සේවා, සමාජසේවා ජීවිතය වගෙම ලබපු සම්මාන ගැනත් අපිට කතා කරන්න තව දේවල් තියෙනවා නේද?”   

“ඔව් 1996 ඉඳලා 1999 වෙනකන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙ ප්‍රලේඛන ඒකකයෙ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළේ සර්. මන් හිතන්නෙ සර් පරිගණක භාවිතයෙන් ගොඩක් වැඩ කරන්න ඉගෙන ගත්තෙත් මේ කාලෙදි. මට මතක හැටියට 1996 නැත්තං 97 දි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ සම්මානිත මහාචාර්ය පදවිය ලබනවා. 2002 අවුරුද්දෙදි සර් ඇමෙරිකාවෙ කෝල්ගේට් විශ්වවිද්‍යාලයෙන් මානවශාස්ත්‍ර පිළිබඳ ජාතික ප්‍රදානය ලත් ආරාධිත මහාචාර්ය පදවිය ලබනවා. 2003 දි සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසූරි සම්මාන උපාධිය ලබනවා.  2005 දි ශ්‍රී ලංකා ශිඛාමණී ජාතික ගෞරව සම්මානය ලබනවා. සර්ගෙ සමාජ සේවා ගැනත් පොඩි සඳහනක් කරන්න ඕනෙ මෙතෙන්දි. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් පදනමේ භාණ්ඩාගාරික විදිහට, අනුලා විද්‍යාලය නීතිගත පාලක මණ්ඩලයේ යාවජීව සාමාජික විදිහට ශ්‍රී ලංකා නිර්මාංසික සමිතියෙ සභාපති වගෙම පස්සෙ කාලෙක ඒකෙ අනුශාසක විදිහට ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානෙ සභාපති විදිහට සර් විශිෂ්ට සේවා සම්ප්‍රදාන සිද්ද කරලා තියෙනවා.”
 
“විශ්වවිද්‍යාලෙ විශේෂ තනතුරුත් දැරුවා නේද පලිහවඩන සර්.”  

“ඇයි සර් තමයි අද භාෂා, සංස්කෘතික හා ප්‍රාසංගිකකලා අධ්‍යයනාංශය විදිහට තියෙන අපේ අධ්‍යයනාංශෙ දෙවැනි අංශප්‍රධානවරයා. එතකොට මේ අංශෙ නම සංසකෘත හා වාග්වේද අධ්‍යයනාංශය. සර් අපේ අංශෙ පස්සෙත් අවස්ථා දෙකකදි නැත්තං තුනකදි අංශප්‍රධාන විදිහට කටයුතු කළා. ඒ වගෙම ශාස්ත්‍ර පීඨාධිපති විදිහට වැඩ කළා. සර් විශ්‍රාම යන්නෙ මාස හතරකට වැඩිකාලයක් වැඩ බලන උපකුලපති විදිහටත් සේවය කරලයි.”

“සර් තමන් ගැන කියපු දෙයක් රවී අපට එවලා තිබුණ ජීවදත්ත සටහන අගට එකතු කරලා තිබුණා. ඒක මට හිතෙන්නෙ සර්ගෙ ජීවිතය ගැන සර් කරන ආත්ම භාෂණය කියලයි.”

“සර් ඒකත් අපි මෙතෙන්ට සම්බන්ධ කරමු ද?”

“මා ඉන්දියානු සම්භාව්‍ය සංගීතයට කැමතියි. හිතුණු විට, පොත්පත් කියවනවා. ප්‍රවෘත්ති හා ඉඳහිට රූපවාහිනියෙන් ක්‍රිකට් තරඟ නරඹනවා. නිතිපතා ව්‍යායාම කරනවා. ගෙවතු වගාවත් කරනවා. නමුත් එතරම් සාර්ථක නැහැ. මා පාරිසරික ගැටළු සහ දේශපාලනය, විද්‍යාව හා ආගම සම්බන්ධ පෘථුල නව ප්‍රවණතා අවබෝධ කර ගැනීමට කැමතියි. නමුත් මා ආගමික හෝ දේශපාලනික දෘෂ්ටිවාද කරපින්නා ගෙන සිටීමට අකමැතියි. මා කිසිම දෘෂ්ටිවාදයක් අනුගමනය කරන්නේ නැහැ. මා ඇත්ත ඇති සැටියෙන් දැකීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම කෙනෙකුගේ මානසික හා චිත්තවේගීය තත්ත්වයන් ගැන. එය කෙනෙකුට ගැටුම්වලින් මිදී, සුමට අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම එය කෙනෙකු තමා ගැන ඕනෑවට වඩා බැරෑරුම් ලෙස සැලකීමෙන් වළක්වනවා.”

“සර් පලිහවඩන සර් කියන්නෙ කෙනෙකුට දර්ශනසූරී උපාධි මාතෘකාවක්නෙ.”

“ඔව් ගඟුල්, කවුරු හරි දැනීමක් හැකියාවක් විතරක් නෙමෙයි හැඟීමක් තියෙන කෙනෙක් මේ මාතෘකාව කරන්න ඉදිරිපත් වෙනවනම් මම කැමතියි බොහොම සතුටින් ඒකට උපදේශකත්වය දෙන්න.”

“සර් අපිට බැරි ද පලිහවඩන සර් නමින් පදනමක් හදන්න.”

“සර් කරපු වැඩ කරගෙන යන්න පදනමක් අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නෙ. සංවිධාන පදනම් හදලා කාලයක් යනකොට ඒවයෙ අරමුණු වෙනුවට වෙනත් වෙනත් දේවල් ඒකට එකතු වෙන්න පුළුවන්. සර් සංවිධානවල, පදනම්වල වැඩ කළේ ඒ අවබෝධය ඇතුව. අපි ආයෙත් සර් 1986 දි අදිකාරම් සමරු දේශනයට ගියොත් අපට පුළුවන් ඒ ගැන පැහැදිලි අදහසක් ඇති කර ගන්න.”

“සර්, ඇත්තටම සමරු දේශන ගැනත් පලිහවඩන සර්ට තිබුණෙ සමාජෙ ගොඩක් දෙනාට තියෙන අදහසට වඩා වෙනස් අදහසක් නේද?”   

“ඔව් ගඟුල්, සර් එදා දේශනේ දි කියනවා අපි මේ සමරු උත්සවේකට සහභාගි වෙලා අපේ වගකීම ඉටුකළා කියලා හිතන එක නෙමෙයි අපි කරන්න ඕනෙ කියන එක. අපි එකතු වෙලා එතුමාගේ මේ දිනය වෙනුවෙන් යමක් කළා කියලා හිත සැහැල්ලු කරගන්න එකේ තේරුමක් නැහැ. එතුමා කියන්නෙ අවිචාරයෙන් කරන දේවලට සිරිත්වලට වැදගත් තැනක් දෙන්න එපා කියලයි. පලිහවඩන සර් අදිකාරම්තුමාගෙ මුලු ජීවිතය හැඳින්නුවෙ ප්‍රායෝගික සම්පූර්ණ ජීවිතයක් විදිහට. ඒක අසම්පූර්ණ නෙමෙයි පූර්ණ කතාන්තරයක් හැටියට. එදා කතාවෙ තවත් කොටසක් මන් කැමතියි ගඟුල් උපුටලා පෙන්වන්න. මේ බලන්න මේ කොටස.”  

“ඉතා විසිතුරු විධියට, ලස්සණ විධියට බටනළාවකින් ඉමිහිරි වාදනයක් හමාගෙන එළියට විහිදී යනවිට ඒ මිහිරි නාදය බටනළාවේ කොතැන රැඳිලා තිබුණ ද කියා අප දන්නේ නැහැ. බටනළාව ඒ මිහිරි නාදයට අයිතිවාසිකම් කියන්නේත් නැහැ. නමුත් මිහිරි බව කවුරුත් දන්නා දෙයක්. අදිකාරම්තුමාගේ ජීවිතය බටනළාවකින් විහිදුණ මිහිරි සංගීතයක් බඳු යි. ඒ කිසිම දේකට එතුමා අයිතිවාසිකම් කීවේ නැහැ. ඒ කිසිම දෙයක් තමාගේ ධර්මය හැටියට හඳුන්වා දීමට එතුමා මහන්සි ගත්තේ නැහැ. ඒ කිසිම දෙයක් මගින් වාදයක් ගොඩනගා අනුගාමිකයන් හදා ගැනීමට උත්සාහ කළේ නැහැ. එතුමාගේ ක්‍රියාවලිය මලකින් විහිදෙන සුවඳ වගෙයි. කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ සුවඳ කොහෙන් ආවා ද කියා.

එතුමාගෙන් විහිදුණ සුවඳත් ආපසු එකතු කර ගෙන රඳවා ගන්නට උත්සාහ කළේ නැහැ. එයට අයිතිවාසිකම් කීවේ නැහැ. භෞතික වශයෙන් ආරක්ෂා කරගත යුතු දෙයක් එතුමා අපට තබා ගියේ නැහැ. හිමින් සීරුවේ සුළඟට පාවී යන හිරු එළියෙන් ඔපවත් වූ වළාකුළක, සුවඳින් හා පැහැයෙන් පිරී ගිය මලක, සංගීත භාණ්ඩයකින් නිකුත් වී සුළඟට මුසු වන මිහිරි සංගීතයක, දොළ පාරක ගලා බසින ජලයෙන් නිකුත් වන සුළං පොදක, ගහක අඬන කුරුල්ලෙකුගේ නාදයෙහි, පුංචි සතුන් එකට එක්වී නිදහසේ සැරිසරන ස්ථානයක එතුමාගේ චින්තනය ඉතුරු වී තිබෙනවා.”

“සර් හරිම ලස්සන තැනක්නෙ මේ.”  

“එහෙම කියලා විතරක් ප්‍රමාණවත් නැහැ ගඟුල්. පලිහවඩන සර් කියන්නෙ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෲන් වහන්සේලා දේශනා කරලා තියෙන්නෙ ප්‍රායෝගික ධර්ම. එදා කතාවෙදිත් සර් කිව්වෙ බුදුහාමුදුුවො දේශනා කළේ ප්‍රායෝගික ධර්මයක් මිස ඇදහිය යුතු ආගමක් නොවන බවයි. ලෙඩ වුන විට, ගෙයක් හදන විට, අත්තිවාරමක් කපන විට, කෙනෙකු මැරී තුන් මසක් ඉකුත් වූ විට පින් පෙත් දීමට චාරිත්‍ර පද්ධතියක් ඉටු කිරීමට කැප වුනු ආගමක් නෙමෙයි උන් වහන්සේ දේශනා කළේ ප්‍රායෝගික ශ්‍රේෂ්ඨ ධර්මයක් බවයි. 

ක්‍රිස්තුස් වහන්සේ තමන් විශ්වාස කළ සත්‍යය වෙනුවෙන් වැඩ කිරීම නිසා කුරිරු මරණයකට පත් වෙච්ච ආකාරය ගැනත් සර් කතා කළේ සංවේගයෙන්. සර් දැක්කා අද මුළු මනුෂ්‍ය සමාජයම ඒ ශ්‍රේෂ්ඨ ශාස්තෘාන් වහන්සේලා දේශනා කළ ධර්මයෙන් ඈත් වෙලා ඉන්න හැටි. ඒ ඈත්වීමේ හේතුව නිසා හටගත්ත තනි බව නැති කර ගැනීමට ජාති වශයෙන් කුල වශයෙන් බෙදිලා ඉන්න හැටි. එතුමා එදා කිව්වා අදිකාරම්තුමා ගැන අපේ හිත්වල ඇත්තටම ආදරයක් ගෞරවයක් තියෙනවා නම් අපි කරන්න ඕනෙ මොකක් ද අපේ වගකීම අපේ කාර්ය භාරය මොකක් ද වෙන්න ඕනෙ කියන එක. සර් අපි ඔක්කොමගෙන් ම ඉල්ලා හිටියෙ අදිකාරම්තුමාගෙ ඒ ප්‍රායෝගික ජීවන දර්ශනය අලුත් පරම්පරාවට හඳුන්වා දෙන්න කියලයි. මන් කැමතියි ගඟුල් එදා ඒ දේශනය අවසන් කරමින් සර් අන්තිමට කළ ප්‍රකාශයත් උපුටලා දක්වන්න.”   

“මිය ගිය එක එක නායකයන් වෙනුවෙන්, විවිධ පුද්ගලයන් වෙනුවෙන් පදනම් හා ආයතන පිහිටුවා ගෙන තිබෙනවා. එබඳු හරයක් නැති, ගැඹුරක් නැති පදනම් හෝ ආයතන මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයාගේ නාමයෙන් ඇති නොවේවා යි මා ප්‍රාර්ථනා කරනවා. සැම මිනිසෙකුගේ ම ජීවිතය ප්‍රායෝගික පදනමක් වේවා යි අපි ප්‍රාර්ථනය කරමු. හැම මිනිසෙක් ම ජීවිත දයාවෙන් හා කරුණාවෙන් පිරිපුන් පදනමක් විය යුතුයි.

එයයි අදිකාරම් චින්තනය, එයයි අදිකාරම් පදනම”

“සර්”
 
මෙසේ ආමන්ත්‍රණ පදය පමණක් කියා විස්මයෙන් සිය ආචාර්යවරයා දෙස බලා මඳක් නිහඬ ව සිටි ගඟුල් අනතුරුව කතා කෙළේ ය.

“හරි සර්, දැන් මට හොඳටම පැහැදිලියි අදිකාරම්තුමා වෙනුවෙන් විතරක් නෙමෙයි අපේ පලිහවඩන සර් වෙනුවෙනුත් අපි කරන්න ඕනෙ මොකක් ද කියන එක.”  
 
“ගඟුල්, අපේ ජීවිත කාලෙදි අපට මුණ ගැහෙනවා තමන් කඳුමුදුනට නැගලා අපිවත් එතෙන්ට කැඳවන මිනිස්සු. මගෙ ජීවිතේ දි මන් එහෙම ලබපු පළවෙනි අද්දැකීම තමයි මගෙ නැති වෙච්ච අය්යා. මන් අය්යා නැති වෙච්ච දවස්වල අනුරාධපුර අධ්‍යයන චාරිකාවකදි ලියපු කවිය ම තමයි මට අදිකාරම්තුමා වෙනුවෙන් ලියන්න තියෙන්නෙත්. අපේ පලිහවඩන සර් වෙනුවෙන් ලියන්න තියෙන්නෙත්.”

“එහෙනන් සර් හෙට හම්බ වෙනකන් අදට නවතිමු, ඒ කවියත් සිහි කරලා.”

            කඳු මුදුන දකිමි එහි සිට හිනැහෙන ඔබ දකිමි
            කඳු මුදුනට කැඳවන ඔබගේ හදවත      දකිමි
            කඳු මුදුනට යන මග හඳුනා     ඒ මග ඇදෙමි
            කඳු මුදුනට පිවිසෙමි      මම මිටියාවත දකිමි