ගංගා නදී ළඟ සිට ගලයි ගුරු දිය
ආදරණීය මිහිදිනී,
අපි 20 වැනි දා කටුනායක බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් නික්ම එදින දහවල් දෙක පමණ වන විට නවදිල්ලියේ ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොලට ආවා. අපේ පිරිස හතළිස් තුන් දෙන යි. අපට නායකත්වය දුන් අනිල් ඉන්ද්‍රජිත් ජයවර්ධන සහෘදයා සොඳුරු ආඥාදායකයෙක්. අප සෑම කෙනෙක් ම ගැන ම එක ම කරුණා ඇසින් බැලීමේ ගුණය ඔහු ළඟ තිබුණා. අපේ කල්‍යාණ මිත්‍ර පර්ෂදය ගැන ද වරින් වර ලියන්නම්, ඒ ඒ අවස්ථාවල ලද අද්දැකීම් අනුව. මෙතැන් සිට ඔබට ලියන්නේ ඒ ඒ දිනවලට මා දැමූ මාතෘකා යටතේ යි. දැන් මා අපේ මාතෘ භූමියේ සිටින ඔබ කැඳවා ගෙන යන්නේ අපට සංස්කෘතික, ආගමික වශයෙන් පමණක් නොව භෞතික වශයෙන් ද සමීප දේශය වන මහාභාරතයට යි.
නමාමි ගංගේ - වඳිමි ගංගා නම් නදියට.
ළබැඳිනී මිහිදිනී,
මේ ලියන්නේ භාරත චාරිකාවේ ප්‍රථම දිනය හා බැඳුණු අද්දැකීම් මාලාව යි. කොළඹින් - හොරණින් -හංවැල්ලෙන් - කඩවතින් - මහනුවරින් - කුරුණෑගලින් සහ මාතලෙන් පැමිණි අපගේ සියලු සහෘදයන් කටුනායක දී එකට හමු වුණා. අරුණ - සමීර දෙසොහොයුරන් අප පළමු ව අධිවේගී මාර්ගාසන්නයට ඇරලවූ බව ඔබ දන්නවානේ. ගුවන් යානය, නවදිල්ලිය බලා පිටත් වූයේ පැයක ප්‍රමාදයකින් පසු ව යි. ගුවන් යානයේ දී හඳුනා ගැන්මට ලැබුණු ගුවන් සේවිකා ඩීප්මාලී ප්‍රසන්න කාන්තාවක්. ඇය සමග මා කතාකෙළේ භාරතීය සංස්කෘතිය, සංස්කෘත සාහිත්‍යය සහ රබීන්ද්‍රනාත් තාගෝර්තුමන් ගැන යි. ඇය තරමක් දුරට ඉංග්‍රීසි සාහිත්‍යය හදාළ තැනැත්තියක්. ඔබ එතැන සිටියා නම් වඩාත් සොඳුරු සංකථනයකට සවන් දීමට අපට අවකාශ ලැබෙනවා. දැන් මම දන්නවා ඔබේ හිතේ ඇති ප්රශ්නය. ඒ ඩීප්මාලී යන නම ගැන. ඔය ප්රශ්නය මගෙ හිතටත් ආවා මිහිදිනී. මොකද ඩීප් යන ඉංග්‍රීසි වචනයත් මාලී යන සංස්කෘත වචනයත් එක් වී හැදුණු නමක් නිසයි ඒ. මන් මුලින් හිතුවේ ඇගේ නම දීප්මාලී හෝ දීපමාලී කියා යි. ඇය මට කිව්වේ ඇගේ ආදරණීය තාත්තා ගැඹුර යන අර්ථය දෙන ඩීප් යන ඉංගීසී වචනයත් මල්දම යන අර්ථය දෙන පෙරදිග භාෂාගත මාලී යන වචනයත් එකතු කොට ගැඹුරු මල්දම යන අර්ථය මතු වන සේ මේ නම දමා ඇති බව යි. ඇයත් සමග කතා කරද්දී මට සිහිපත් වූයේ අපේ ජීවිතයට අතිසමීප ගැඹුරු මල්දම යි. ඒ කවුද කියා මම මෙහි ලියන්නට යන්නේ නම් නැහැ.
උළු - තහඩු ආදිය සෙවෙණි කළ ගෙවල් වෙනුවට මෙහි තියෙන තරමක් ඇත්තේ සරල කොන්ක්‍රීට් වහලවල්. මට මතක් වූයේ අපේ ජයතිලක කම්මැල්ලවීර ලේඛකයා ඉන්දියානු පවුලක් සමග එවන් වහලක් මත රැයක් පහන් කළ ආකාරය ගැන ලියා තිබූ සටහන යි.
මිහිදිනී අනිල් සහෘදයාගේ වැඩ පිළිවෙළ අනර්ඝ යි. කාලය කළමනාකරණය කොට ගැන්ම සඳහා අපට ආහාර ගැන්මට සලස්වා තිබුණේ බස් රිය තුළ දී යි. අපගේ දෙවැනි නායකයා මෙන් ම අනිල්ගේ සෙවණැල්ල මෙන් සිටි උපකාරක මිත්‍රයා වූයේ ෂෙල්ටන් ලියනගේ සහෘදයා යි. තාගෝර්තුමා පවසන ප්‍රකට ශක්තිය අනිල් නම් අප්‍රකට ශක්තිය යන අභිධානය දිය යුත්තේ ෂෙල්ටන්ට යි. අනිල් මේ ගමනට කණ්ඩායම් නායකයන් දෙදෙනෙක් ද පත් කළා. ඒ ප්‍රවීණ ඉංජිනේරුවරයකු වන පාලිත අබේකෝන් මිතුරා සහ තවමත් තරුණ විය පසු නොකළ අරවින්ද සංජීව මිතුරා යි. ඒ දෙදෙනාත් ආරම්භයේ සිට ගමනාවසානය තෙක් සිය වගකීම මැනවින් ඉටු කළා.
අපි හැම කෙනෙකුට ම අංකයක් දී තිබෙනවා. ඒ සංවිධාන කටයුතුවල පහසුව සඳහා යි. මේ ගමනට සම්බන්ධ වූ වැඩි දෙනෙක් ආදරණීය වැඩිහිටියන් බව සඳහන් කළ යුතු යි. ඒ බොහෝ දෙනා අපේ සර්ලගේ වයසේ හෝ ඊට සම වියක හෝ ඊට මඳක් අඩුවැඩි වියක සිටින අය යි. ඒ නිසා මම මෙතැන් සිට ඔවුන් හැඳින්වීම සඳහා මාමා - නැන්දා යන අපේ සංස්කෘතිය හා බැඳුණු ආදරණීය වචන යොදා ගන්නවා. මගේ වයසේ මිත්‍ර පිරිස නියෝජනය කරන්නේ ඔබ ද දන්නා හඳුනන අපේ හෂාන් සහ වර්ෂා යි. අපට වයසින් වැඩි ඒත් තවමත් තරුණ විය පසු නොකළ අරවින්ද - නදී යුවළට අපි තුන්දෙනා කතා කළේ අය්යා හෝ අක්කා යන දයාබර යෙදුමින්.
දීර්ඝ ගමනක් බැවින් පිරිස වෙහෙසකාරී බැවින් මිදවීම සඳහා තරඟ ද සංවිධානය කොට තිබුණා. ඒවා විනිශ්චය කිරීම සඳහා අපේ කුසුම් මිසුත් අධ්‍යාපන අධ්යක්ෂවරියක වන ඩිලානී කරුණාරත්න නැන්දාත් අපේ සරසවි ජ්‍යෙෂ්ඨයකු වන දයාරත්න අබේකෝන් මාමාත් පත් කළා. ඔහුගේ ආදරණීය බිරිඳ වන ජපුර ආදි විද්‍යාර්ථිනියක වන කුසුම් රත්නායක නැන්දාත් මේ ගමනට එක් ව සිටියා. මේ අවස්ථාවේ සහන් සර් තරඟය වෙනුවට ඇගයීම යන නම යොදන්නට යෝජනා කළා. අනිල් මාමා එය පිළිගෙන එතැන් සිට පාවිච්චි කෙළේ තරඟය වෙනුවට ඇගයීම යන නම යි. මේ නම්‍යශීලී ගුණය අනිල් සහෘදයාගේ ජීවිතයේ අප දුටු හොඳ ගුණාංගයක්.
ශරීර සුවපහසුකම් සලසා ගැනීම සඳහා ඇති වැසිකිළි සංකීර්ණ මෙහි නම් කොට ඇත්තේ ශෞචාලය කියායි. එය දුටු අපේ සර්, සිය ආදරණීය ආචාර්යවරයකු වූ මහානාම සර් කී දෙයක් සිහිපත් කළා. ශෞච යනු පවිත්‍ර භාවය යි, ආලය යනු ස්ථානය යි. මේ අනුව වැසිකිළිය යනු අපවිත්‍ර කරන තැන නොව ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කොට කායික ව මෙන් ම මානසිකවත් සුව සහනය ලබන ස්ථානය යි.
මිහිදිනී, ශෞචාලයවල දුටු තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඒ ආබාධිත හෝ විශේෂ හැකියා ඇති වශයෙන් අපේ රටේ එවැනි අය හැඳින්වීම සඳහා දී ඇති නම වෙනුවට මෙහි භාවිත කෙරෙන නම යි. එබඳු පුරුෂයන් හැඳින්වීම සඳහා දිව්‍යාංග පුරුෂ යන නම ද එබඳු කාන්තාවන් හැඳින්වීම සඳහා දිව්‍යාංග මහිලා යන නම ද යෙදූ වැසිකිළි කුටි දක්නට අපට දක්නට ලැබුණා. ඒ අය සලකන්නේ කිසියම් අඩුවක් ඇති පුරුෂයන් හෝ කාන්තාවන් වශයෙන් නොව දෙවියන්ගෙන් ආශිර්වාද ලද මානව කොට්ඨාසයක් ලෙස යි.
මථුරා ආදි නගර පසුකොට උත්තර ප්‍රදේශයට එන අතරමග දුටු පුවරු කිහිපයක නමාමි ගංගේ යන යෙදුම තිබුණා. එය දුටු වහා මට සිහිපත් වූයේ මහාභාරත ටෙලි වෘත්තාන්තය බලද්දී දේවව්රත් එනම් ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ ආදරණීය මව ගංගා මාතාව, සිය පුතු වෙත ගඟ මැදින් ඇවිද එන දර්ශනය යි.
මිහිදිනී අද දවසේ දී අපේ පිරිස ඔවුනොවුනට වඩාත් සමීප ව ඇසුරු කරන්නට ලැබුණා. භද්‍රා ඇතිපොළ නැන්දා, කුසුම් කුමාරී නැන්දා, දමයන්තී අමුණුගම නැන්දා, තරිඳුමතී අමුණුගම නැන්දා, ශ්‍රියාලතා විතාරණගේ නැන්දා, සීතා කුමාරී නැන්දා, නිල්මිණි අබේරත්න නැන්දා, රමණී සන්ධ්‍යා කුමාරී නැන්දා ඒ අතර ඉන්නවා.
මේ ගමනට නුවර සහෘදයන් සම්බන්ධ කළ විශේෂ චරිතයක් ඉන්නවා. ඒ මාලතී ඒකනායක නැන්දා යි. ඇය ඉන්දියානු ගමන් ගැන පූර්ව අද්දැකීම් ඇති පරිණත කාන්තාවක්. මේ ගමනේ දී අපි ඇගේ ඇසුරින් ද බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගෙම නුවර කණ්ඩායමේ සිටි ඉන්ද්‍රා මැදිවක නැන්දා තමයි අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා. ඇය අධ්‍යාපන ක්ෂේත්රයේ බහුවිධ අද්දැකීම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක් බව මෙතැන දී සඳහන් කළ යුතු යි. මම නිතර විහිලු කරන්නට අල්ලා ගත් තවත් නැන්දා කෙනෙක් ඉන්නවා. ඒ ඔසාකා කුමාරිහාමි නැන්දා යි. ඇයත් අපි වගේම කවියට කලාවට ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. මේ අපට නුවරින් ලැබුණු අලුත් ඥාති පිරිසෙන් කිහිප දෙනෙක් පමණ යි. ඉඩ ලැබෙන පරිදි නුවරින් වගේ ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු අනික් ඥාති පිරිස ගැනත් ලියන්නම්. අනෙක් අය ගැනත් සඳහන් කරනවා.
නුදුරු අනාගතයේ දවසක සිදු වන අපේ ශරණ බන්ධනය වෙනුවෙන් මා ඔබට දෙන තිලිණය වන්නේ දෙසතියකට ඔබ භාරතයට කැඳවා ගෙන ඒම යි.
මේ ආකාරයට හැම දවසක ම රාත්‍රී නවාතැනේ සිට ඔබට විද්‍යුත් තැපෑලෙන් ලියනවා. ඔබ ද දවස ගානේ මෙයට පිළිතුරක් ලියා ළඟ තබා ගන්න. මා පැමිණි පසු ඒ පිළිතුරු ලිපි මට අවශ්‍ය යි.
අද අපි අග්‍රාවලට ආවා. නැවතුණේ එහි අසීස් පැලැස් නම් නවාතැනේ යි.
මොන වැඩ තිබුණත් හෙට දවසේ ලද අද්දැකීම් මම ඔබට හෙට රෑ ලියනවා.
රේණු අක්කා ද ඉතා ම ආදරයෙන් සිහිපත් කළ බව දන්වන්න.
ඔබ ඇතුළු සියලු දෙනාට ම සම්මා සම්බුදු සරණ යි.
මේ සදා අදරැති
සුහෘත් ගඟුල්
භාරත මිතුරන් අතර
සුහදිනී මිහිදිනී,
මේ භාරත යාත්‍රාවේ දෙවැනි දිනය යි. අපි අසීස් පැලැස් නවාතැනින් වාරාණසී බලාපිටත් වූයේ උදේ හතයි හතළිහට යි. අද වාහනයට අලුත් ටයර් දෙකක් ද දැම්මා. අද අපට කිලෝමීටර් හයසියයක ගමනක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ ගමනට ගත වන කාලය පැය දහයක්. අපේ බස් රියේ ඉන්දියානු මිතුරන් සය දෙනෙක් සිටිනවා. ඒ රියැදුරු ප්රහ්ලාදක් ඔහුගේ සහායක සුජිත් සූපවේදී මෝහන් සහ ඔහුගේ
සහායකයන් දෙදෙනා වන රාම්ජතන් සහ රාහුල් වගෙම අපගේ ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කරන සංජීව රාජ්කුමාර් යන පිරිස යි. ප්රහ්ලාදක් අඩු කතා කාරයෙක්. ඔහුගේ සහායකයා ද එබඳු යි භාෂා ගැටලුව ඊට හේතු වන්නට ඇති. මෝහන්ට සෑහෙන තරම් දුරට සිංහලත් පුළුවන්. ඔහු නිර්මාංසිකයෙක්. ඔහුගේ එක් සහායකයකු වන රාම ජතන් තරුණයා ගාන්ධි සරසවියේ ශිෂ්‍යයෙක්. සමාජවිද්‍යාව, දේශපාලන විද්‍යාව සහ හින්දී ඔහු ඉගෙන ගන්නා විෂයයන්. ඔහුට යම් තරමක සංස්කෘත දැනුමක් ද තිබෙනවා. අපේ සර් සංස්කෘත ගීත ගායිකා ශුබ්බු ලක්ෂ්මී ගැන කියා ඇගේ හෘදයං මධුරං වචනං මධුරං ගීතයේ මුල් වචන කී විට රාම් ගීතයේ ඉතිරි කොටස් ගායනා කළා. අපි භගවද්ගීතාව ගැන කතා කළා. රාම් පැවසුවේ අපි මොන දේ කළත් අවසානයේ මේ මෝහ මායාවෙන් මිදීම සඳහා කටයුතු කළ යුතු බව යි. ආචාර්ය විනෝබා භාවේ සහ ආගම සහ සංගීතය ගැන ද අපි කතා කළා. මෝහන්ට සහාය වන සුජිත් වැඩි කතා කාරයෙක් නෙමෙයි. එහෙත් හෘදයංගම සන්නිවේදනයට භාෂාව අවශ්‍ය නොවන බව ද අපි මේ ගමනේ දී ඉගෙන ගත්තා.
අපේ ඡායාරූපශිල්පි සංජයකුමාර ගැනත් යමක් සඳහන් කළ යුතු යි. මේ ගමනේ දී ඔහු කළේ ඡායාරූප ගැනීම පමණක් නොවේ. වරෙක මහාභාරතයේ අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජුට මග පෙන්වන සාරථි එනම් රථාචාර්ය සංජයගේ කාර්යය ඔහු මැනවින් ඉටු කළා. මම මහාභාරතයේ සංජය ගැන සඳහන් කළ විට ඔහු සිනාසුණා. ඔහු ඒ රථාචාර්යවරයා ගැන වන සාහිත්‍යය කියවා තිබුණා. සූපවේදී මෝහන් සිය සහායකයන් සමග අපට ආහාර බෙදන විට සංජය ද ඒ වැඩවල කොටසක් උනා.
ගොවිපලවල් රැසක් දුටුවා. මේ යන ගමනේ දී පුරන් කුඹුරු දුටුවේ ම නැහැ. විසල් හනුමාන් මූර්ති දුටුවා. ඔබට මතකයි නේද ඔහු පවනට බඳු වේගයෙන් යන නිසා සුළඟේ පුත්‍රයා යන අර්ථය දෙන පවනාත්මජ නමින් හැඳින්වෙන බව. මේ ගමනේ දී සුළු සුළු අපහසුකම් ප්‍රමාද වීම් ඇති නොවුණා නොවෙයි. නමුත් ඒ අවස්ථා ම තමයි අපි එකිනෙකා අතර සාකච්ජා අවස්ථා ඇති කළේ. එසේ ම එකිනෙකා තවත් සමීප කළේ. බුද්ධ වචනයට අනුගත ව අපි එබඳු අවස්ථා ක්ෂණ විපත්ති බවට පත් කොට නොගෙන ක්ෂණ සම්පත්ති බවට පත් කර ගත්තා.
දැන් මුළු බස්රියේ ම අය අපේ සමීප මිතුරන් ඥාතීන් බවට පත් වෙලා. ගෙදර පවුලට සිමා නොවී තවත් පවුල් රැසක් අපේ පවුලට එක් වී අපේ පවුල පුළුල් වන්නේ මෙහෙම ගමන් නිසා නේද? දැන් ඒ පවුලේ තවත් සාමාජිකයන් කිහිප දෙනෙක් ගැන සඳහන් කරන්නම්. ඒ බන්ධු පර්ෂදය නියෝජනය කරන අය අතර රූපා කුමාරිහාමි නැන්දා, සාමා ප්‍රියන්ති නැන්දා වගෙම ඥානවතී කුමාරිහාමි නැන්දාත් ඉන්නවා. මේ වෙන කොට පාදුක්කෙන් ගමනට එකතු වෙච්ච ඇග්නස් විජේරත්න නැන්දාත් ඇයත් සමග ම ගමනට එක් වූ නැන්දලාත් අපේ වැඩිහිටි කලණ මිතුරියන් වෙලා ඉවරයි. අපේ හෂාන් සහ වර්ෂා ඇග්නස් හඳුන්වන්නෛ් මල් නැන්දා යන ආදරණීය නමින්. ඒ මේ ගමන පිටත් වීමට පෙර අගෝස්තු 10 වෙනි දා අපි අනිල් මාමලාගේ ගෙදර සිට නවගමුව පන්සලට සහ එහි පත්තිනි දේවාලයට ආ වෙලාවේ ඔවුනට මල් දුන්නේ ඇග්නස් නැන්දා නිස යි. අපේ නව ඥාති පිරිස අතරට පහත සඳහන් නම් ද අනිවාරෙන් ම ඇතුළත් කළ යුතු යි. ඒ දර්ශනී දීප්තිමාලා නැන්දා, බිම්බා ජානකී නැන්දා, පුෂ්පා මල්කාන්ති නැන්දා, බණ්ඩාරගම ඉන්ද්‍රාණි නැන්දා, මාකොළ ස්වර්ණකාන්ති නැන්දා, මොරටුවේ නන්දනී නැන්දා, කැලණියේ යසවතී නැන්දා, ගම්පොළ තිලිණි නැන්දා සහ කුසලා වීරවංස නැන්දා. මේ අවසානයේ නම සඳහන් කුසලා නැන්දාත් මේ මුළු ගමනේ දී ම අපත් සමග විහිලු තහලුකරමින් තමයි ගියේ. අනාගතයේ දවසක මේ ඔක්කොම ඔයාටත් හඳුන්වා දෙන්නට මගෙ හිතේ කැමැත්තක් තියෙනවා.
අපේ සර්ලගෙ පවුලේ පස්දෙනා ඔයා කොහොමත් අඳුනනවානේ. දැන් තවත් තුන්දෙනෙක් ඉන්නවා විශේෂයෙන් සඳහන් කළ යුතු. ඒ ගණේමුල්ලේ ඥානවතී නැන්දා ඇගේ සොහොයුරා වන අනුරුද්ධ උදයකුමාර සහ ඔවුන්ගේ ඥාති සොහොයුරා වන මාතලේ ජයතිස්ස හුළංගමුව අය්යා. මේ තුන්දෙනා අප සමග හිතවත් උනේ ඔවුන් අපට හඳුනා ගන්නට ලැබුණු පළවෙනි දවස වන අගෝස්තු 10 වෙනි දා යි. ඒ අනිල් මාමලාගේ ගෙදර දී යි. එදා ඥානා නැන්දාගේ මහත්තයාත් අඳුන ගන්නට ලැබුණා.
තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ හිටපු විදුහල්පතිවරයකු වන නිහාල් විජිසිංහ මාමා සහ ඔහුගේ බිරිඳ වන සුභද්‍රා නැන්දා යි. මේ අයත් වරින් වර මගේ මේ ලිපිවලින් ඉදිරියේ දීත් ඔබට හමු වේවි.
මෙදින බස්රියේ යන අතරමග අනිල් සහෘදයාගේ ඉල්ලීම පරිදි අපේ සර් අපි වැඩෙමු යන මාතෘකාව යටතේ දේශනයක් කළා. අපේ හෂාන් කියූ හැටියට එය පැයකුත් විනාඩි දහයක දෙසුමක්. සර් එයට මූලාශ්‍රය කර ගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංඛ වග්ගයේ වඩ්ඪී සූත්‍රය යි. එහි සඳහන් වන පරිදි කාරණා දහයකින් වැඩෙන ආර්ය ශ්රාවකයා උත්තම වෘද්ධියට පත් වන බව සඳහන්. ඒ අනුව අපි කෙත්වතුවලින්, ධන ධාන්‍යයෙන්, පුත්රදාරාවන්නේ, පරිවාර සම්පත්තියෙන්, සිවුපාදාදි සත්වගින් වැඩිය යුතු යි. බුදුන් වහන්සේ වදාරන පරිදි ඒ කාරණා පහෙන් පමණක් වැඩීම ප්‍රමාණවත් නැහැ. ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, දැනුමින්, පරිත්‍යාගශීලී භාවයෙන් මෙන් ම ප්‍රඥාවෙන් ද අප වැඩිය යුතු යි.
කෙත්වතුවලින් වැඩීම ගැන කියද්දී සර් සිය සොහොයුරා වැව, කෙත සහ දාගැබ ගැන කියූ පහත සඳහන් ප්‍රකාශය ද මතු කරන්නට අමතක කළේ නැහැ.
“වැව, කෙත සහ දාගැබ ජාතික සංස්කෘතියේ පහන් ටැම් වනවා පමණක් නොව ආරක්ෂක කුළුණු ද වෙයි. දේශයට මග පෙන්වීමත් එය රැක ගැනීමත් මෙම ත්‍රිවිධ ශක්ති මූලය මගින් සිදු කෙරේ.”
පුත්‍ර දාරාවන්ගෙන් වැඩීම ගැන කියද්දී ඒ වර්ධනය සඳහා අප තුළ අවශ්‍යයෙන් ම තිබිය යුතු ප්‍රේමය ගැනත් සර් කතා කළා. එකරුණ පැහැදිලි කිරීමේ දී ඔහු නිදසුන් කොට ගත්තේ අපි දෙදෙනා ම එක විදිහට කැමති කුඩලිගම කවියාගේ නිර්මාණ යි. එහෙම ගත් කවි අතුරින් දෙකක් මම මේ මොහොතේ ඔබ සමග බෙදා ගන්නවා.
“සඳරැස් සමඟ සඟවා මඳ සිනාවේ
දිවගට පරම සංගීතය ගෙනාවේ
ඇය නොදැනුවත්වය එය නොදැනුණාවේ
මට එහි සදා ජීවය වුවමනා වේ
මිහිරෙන් මිහිරටම ගිය ආලයක තතු
උගතිමි ඇගෙන් උගනිමි තවදුරට මතු
ආලය වූ කලී හැමදා උගත යුතු
රසවත් කලාවකි ලොව හද මඬල සතු”
ආදරණීය මිහිදිනී, උතුම් දේ අසා උතුම් දහමට අනුව කටයුතු කරන කවරෙක් වේවා ආර්ය ශ්‍රාවක යන නමට සුදුසු යි. මගේ මේ ජීවිත කාලය තුළ මුණ ගැසුණු පිරිසුදු යුවතියක වන ඔබ මට දැනෙන්නේ ආර්ය ශ්‍රාවිකාවක ලෙස යි. ඔබ ශ්‍රවණය කළ, ඔබ ඉගෙන ගත් යහපත් දේ අඛණ්ඩ ව ඔබේ ආදරණීය ශිෂ්‍ය ප්‍රජාවට දෙන්න. එවිට ඔවුන් උගත්කමින් මෙන් ම මිනිස්කමින් ද යුතු ව වැඩේවි.
අපට හැකි පමණින් ලොව ද වඩවමින් අපිදු වැඩෙමු.
ඔබට මෙන් ම ලොව සියලු ම දෙනාට සම්මා සම්බුදු සරණ යි.
මේ ළබැඳි සුහෘත්
මිහිබැඳි ගඟුල්
බරණැස ඉසිපතනේ
සබැඳිනී මිහිදිනී,
අද අපේ චාරිකාවේ තුන්වෙනි දිනය. උදාසන ම දුටුවේ සුපිපි හිඟුරු මලින් ගැවසී ගත් මල් යායක්. මට අපේ පාසල් භූමියේ ඇති වතුසුද්ද මල් යායයි සිහිපත් උනේ. අද අපි ඉසිපතනාරාමයට ආවා. ඉසිපතනය ගැන කියන විට ඔබටත් ඉසිපතනේ මිගදායේ යන වචන සිහිපත් වෙනවා නේද?
ඉසිපතනාරාම විහාර සංකීර්ණයේ ඇති ධම්මරාජික ස්තූපයත් ධම්මික ස්තූපයත් වැඳ පුදා ගැන්මෙන් පසු අශෝක කුළුණ නැරඹුවා. අනතුරුව දම්සභා මණ්ඩපය දැක බලාගෙන අපි මූලගන්ධ කුටි විහාරයට ගියා. අනිල් සහෘදයා කලක සිට හඳුනන පූජ්‍ය කණ්ඩලමේ පියසිරි ස්වාමීන් වහන්සේ මේ තැන්වලදී අපට මග පෙන්වීම සඳහා පැමිණියා.
කලින් කී ධම්මික ස්තූපය අද දවසේ දැක ගැන්මට ලැබුණු තවත් සුවිශේෂී තැනක්. සම්මුඛ චෛත්‍යය ලෙස ප්‍රචලිත ව ඇත්තේ ද එතැන යි. මේ බුදුන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව වදාළ තැන යි. කොණ්ඩඤ්ඤ -භද්දිය - වප්ප - මහානාම සහ අස්සජී යන බුදුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක කණ්ඩායම නියෝජනය කරන ඒ උත්තම චරිත පඤ්චකය දහම් ඇසූ තැන දුටුවා. ඒ සුන්දරාර්ථවාහී ප්‍රසන්න අතීතය මම මෙතන දී සිතේ මවා ගත්තා. අපේ පිරිසටත් එය එසේ ම වන්නට ඇතැයි සිතනවා.
මිගදාය දුටු විට සිහිපත් වූයේ න්‍යග්‍රෝධ මිග ජාතකය යි. මේ අවස්ථාවේ අපේ සර් සියලු ම දානයන්ට වඩා ජීවිත දානය එනම් අභයදානය උසස් බව කියැවෙන සංස්කෘත පද්‍යයක් කියා එහි තේරුම ද සඳහන් කළා. මම අපේ මිහිදිනී අභයප්රදායිනිය සමග ඒ පැදියත් එහි අරුතත් බෙදා ගන්නට කැමතියි. මේක මිහිදිනී තියෙන්නේ නාරායණශර්මන්ගේ හිතෝපදේශයේ යි. එහි කියැවෙන හැටියට මෙලොව ඇති සියලු ප්‍රදාන අතුරින් මහත් ම ප්රදානය වන්නේ අභයදානය යි. භූමි දාන, ස්වර්ණ දාන, ගෝදාන, ආහාර දාන යන කිසිවක් අභයදානය තරම් ශ්‍රේෂ්ඨ නොවන බව එහි කියැවෙනවා. ඔයාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ළමයින්ට මේ අදහස ඒ භාෂාවෙනුත් කියා දෙන්න. එවිට ඔවුන් ඉගෙන ගන්නේ ඉංග්‍රීසි පමණක් නොවේ. පද්‍යය මෙන්න මේක යි.
න භූප්රදානං න සුවර්ණදානං - න ගෝ ප්රදානං න තථාන්නදානම්
යථා වදන්තීහ මහාප්රදානං - සර්වේෂු දානේෂ්වභයප්රදානම්
මිහිදිනී, බුදුන් වහන්සේ සිවුරු සෝදන ලදැයි විශ්වාස කරන ගලත් දැක ගැන්මට ලැබුණා. සියලු සම්පත් තිබූ ඒ ශාක්‍ය පුත්‍රයා බුද්ධ රාජ්‍යය උදෙසා භෞතික රාජ්‍යය අතහැර ආ ගමන සිහි උනා අපට එතැන දී.
ඒ තැන් දැක බලා ගැන්මෙන් පසු අපි ධම්මරාජික විහාරය වැඳ පුදාගෙන, ධර්මපාල කෞතුකාගාරය බැලීමට ද ගියා. මිහිදිනී, ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයා ගැන තවදුරටත් ඔබේ ශිෂ්‍ය ප්‍රජාවට කියා දෙන්න. මේ සඳහා ඔබට, ඔබ උගන්වන භාෂාව වන ඉංග්‍රීසියෙන් ආනන්ද ගුරුගේ මහාචාර්යතුමා ලියූ The Unforgettable Dharmapala ග්‍රන්ථයත් පරිපාලන නිලධාරිනියක වශයෙන් කටයුතු කළ රූපා ශ්‍රියාණි ඒකනායක ලේඛිකාව සිංහලෙන් ලියූ සෝබන මාලිගා චරිතාපදාන ස්වරූපී නවකතාවත් භාවිතයට ගත හැකි යි. තවත් එතුමා ගැන ලියැවුණු පොත් තිබෙනවා. ඒවා කියවීම වෙත ද අපේ සිසු දරුවන් යොමු කරන්න.
අපි ජෛන ආරාමයක් දැක බලා ගැන්මටත් ගියා. ඒ භාරත භූමියේ පහළ වූ තවත් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්. ජෛන සම්ප්රදාය ගැන අපට ඇත්තේ අල්ප දැනීමක්. මේ ගැන සරල අවබෝධයක් ලබා ගැනීම සඳහා අපේ සර් ජෛන සමය සහ අහිංසා සංකල්පය ගැන ප්‍රාචීන සඟරාවකට ලියා තිබෙන ලිපිය මිහිදිනීත් බලන්න.
නවමූලගන්ධකුටි විහාරයේ පැවති ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට සවන් දීමට ද අපට අවකාශ ලැබුණා.
ඇතැම් මෝගල් රාජ්‍ය පාලකයන් විසින් මේ ඓතිහාසික පුදබිම්වල නොකළ යුතු වෙනස්කම් සිදු කොට තිබුණා. අපට ඔවුන්ගේ ඓතිහාසික ස්ථාන වෙනස් කිරීමට වත් ඔවුන්ට අපේ ඓතිහාසික ස්ථාන වෙනස් කිරීමට වත් කිසිදු අයිතියක් නැහැ. නුසුදුසු අය පාලකයන් බවට පත් වූ විට මේ ඛේදවාචක සිදු වෙනවා මිහිදිනී. අද මේ දේවල් ඇතුළු වෙනත් කාරණා ගැන කතා කළා දමයන්තී - තරිඳුමතී දෙසොයුරියන් සමග. ඒ දෙදෙනා ම පේරාදෙනිය සරසවියේ විද්‍යා උපාධිධාරිනියන්, ගුරු උතුමියන්. මේ සාකච්ඡාවට පසුව තරිඳුගේ දයාබර සැමියා වන පාලිත සහෘදයා ද සම්බන්ධ උනා.
සංජය බොහෝ වෙලාවට මහාභාරත වීරකාව්‍යයේ සාරථි සංජය ම තමයි. අවශ්‍ය ම වෙලාවට ඔහු අපට මග පෙන්වීම සිදු කරනවා. සර්වේශ් නම් ආරක්ෂක නිලධාරියා ද හඳුනා ගැන්මට ලැබුණා. මිහිදිනී රාමායණය - මහාභාරතය - භගවද්ගීතාව ගැන කවර හෝ මට්ටමකට තියෙන දැනුම මේ අය අපට වඩාත් සමීප කරනවා.
පන්සිල් පද නාගරී අකුරින් දුටුවා. ඒ ගෞරවය හිමි වන්නේ අනගාරික ධර්මපාලතුමාට යි. එතුමා සිරි දේවමිත්ත නමින් පැවිදි ව සිට පසු ව අපවත් වූ තැන ද දුටුවා. ඔයාට මම අපේ අදිකාරම්තුමා සමීප ව ඇසුරු කළ හිග්ගොඩ ඛේමානන්ද හාමුදුරුවන් ගැන කියා තිබෙනවා නේද? අපේ මිස්, ධර්මපාල කෞතුකාගාරයේ තිබූ උන් වහන්සේ ධර්මපාලතුමන් ගැන තැබූ සටහනක් පෙන්නුවා. වරින්වර මහාත්මා ගාන්ධිතුමන් සහ තාගෝර්තුමන් ද මට මනසින් හමු වෙනවා. මේ භූමියේ නිස්කලංක තැනක බිම හිඳ ඔබත් සමග තාගෝර් සාහිත්‍යය ගැන කතා කිරීමට තිබුණා නම් කියා මට සිතුණේ එක වරක් දෙවරක් නොවෙයි.
බුද්ධ මාර්ගය හදවතින් ම අගය කරන කිසිවකුට ජෛන මාර්ගයට හෝ වෙනත් සද්දහමකට සිනා වෙන්නට බැහැ. ජෛන ඍෂිවරයෙක් අතින් කෑම ගැන්ම ගැන කියද්දී පැවසුවේ ආහාර ගන්නා බඳුනට ඇති ඇල්ම පවා ඔවුන් අතහරින බව යි. මට එවිට මතක් උනේ භගවද් ගීතාවේ එන අවබෝධය ලැබ පරම තත්ත්වය ස්පර්ශ කරන්නා පරම තත්ත්වය දකින්නා නැවැත්ම ලබන බව යි.
“රසවර්ජ්යං රසෝප්යස්ය පරං දෘෂ්ට්වා නිවර්තතේ.”
මිහිදිනී, මට යළිත් ජයසේන ජයකොඩි ලේඛකයාගේ අමාවැස්ස කියවන්නට සිතුණා. ඔබ ඔබේ සිසු දරුවන්ට එහි ඉංග්‍රීසි පරිවර්තනය වන The Portrait of the Buddha පොතෙන් කොටස් කියා දෙන්න.
මනෝහර උද්‍යානය දුටුවා. එය ජෛන බැතිමතුන්ගේ තැනක්. අර ඔබ නිතර කියන very beautiful life යන චවන තමයි ඒ වෙලාවේ මගේ මතකයට ආවේ.
අපට ඕනෑකමත් තියෙනවා නං ත්‍රිවිධ රත්නය සම්මුඛ විය හැකි යි. ඒ සඳහා කළ යුත්තේ අපේ හදවත ඒ සඳහා සුදුසු පිවිතුරු පුද බිමක් බවට පත් කොට ගැන්ම යි.
අද අපි ඍෂිවරුන් 500ක් දෙනා දේහ ත්‍යාගය කළ තැනත් දුටුවා. දේහ ත්‍යාගයත් දිවි නසා ගැනීමත් අතර බරපතල වෙනසක් තියෙනවා. අපි හමු වූ පසු ඒ ගැන වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු යි.
අපේ අනිල් සහෘදයා අපෙන් ලද මුදල ඉක්මවා ගිය වටිනා සේවයක් ලබා දුන් බව යි අප කාගේත් අදහස උනේ. මේ ගමනට ගිය මුදල ඒ සඳහා යොදවන්නේ නැතුව තියා ගත්තානං අප කාටත් ඒවා වියදම් වෙනවා. සමහර විට එය බොහෝ දුරට නිරර්ථක වියදමක් වීමට ද ඉඩ තිබුණා. අපේ අනිල් කළේ ඒ මුදල අපේ සන්තුෂ්ටිය බවට පත් කොට අපට ම ඒ සතුට පෙරළා පිරිනැමීම යි. ඔබ අප දන්නා හඳුනන අය කවර හෝ දවසක භාරතයට යන්න සිතා සිටිනවා මම කිසිම ගැටලුවකින් තොර ව අනිල් මාමාගේ නම යෝජනා කරනවා ඒ සඳහා. මේ මගේ පෞද්ගලික හැඟීම නොව මේ ගමනට සහභාගී වූ කාගේත් පොදු හැඟීම වශයෙන් සඳහන් කිරීම තමයි වඩා සුදුසු.
ආචාර්ය අම්බෙඩ්කාර්තුමා නිසා භාරතයේ විශාල පිරිසක් බෞද්ධයන් බවට පත් උනා. මිහිදිනී, මේ චරිතය ගැන ඔබත් අධ්‍යයනය කරන්න. අදටත් ඉන්දියාවේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වන්නේ ද එතුමා යි.
අපට අද දවසේ කරුණු කියා දුන් කණ්ඩලම පියසිරි ස්වාමීන් වහන්සේ අපෙන් සමුගෙන යාමට පෙර සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියා ආදි වශයෙන් සංගායනා කරන විට ඔබ ද ඇතුළු නිර්වාණය ලබන තෙක් මා ප්‍රාර්ථනා කරන සහෘදය පර්ෂදය මට සිහි උනා. අපේ පේමානන්ද හාමුදුරුවන් කී මෝක්ෂය ලබන තෙක් වන සුහෘත් කැළ එනම් ආමෝක්ෂ සුහෘත් වන්නේ ද ඒ පිරිස යි.
අද දවසේ අපගේ ආදි විද්‍යාර්ථි අපේ කුටියේ අප සමග සිටි සද්ධි විහාරික දයාරත්න මාමා සමග ගුරු ජීවිතයේ සුන්දර අර්ථ ගැන කතා කළා. එයට අපේ සර් ද සම්බන්ධ වුණා. ඒ විස්තර රේණු අක්කාත් ඔබත් හමු වූ පසු කියනවා.
මිහිදිනී, දැන් අපි ඉන්නේ වාරාණසී එනම් අනාගත කේතුමතී නතරයේ යි. මේ වූකලී ආලෝකයේ නගරය යි.
අපමණ ශිෂ්‍ය ප්රජාවකට ආලෝකය ප්රදානය කරන සුහදිනිය, ආලෝක දියණිය ඔබටත් ඔබගේ ආදරණීය ජීවිතය හා බැඳුණු සියලු ම දෙනාටත් යහපත ම වේවා!
සදා ලැදි සුහෘත්
ළබැඳි ගඟුල්
බරණැසින් යමු අපි බුද්ධගයාවට
මනදිනූ මිහිදිනිය වෙත ඉතා ආදරයෙන් ලියමි.
ප්‍රිය මිහිදිනී, මම ඉතා ආදරයෙන් ලියමි යන වාක්‍ය ඛණ්ඩය ඉගෙන ගත්තේ අපේ සර් සිය ශිෂ්‍ය අවදියේ අදිකාරම්තුමන්ගේ සෙවණේ හිඳ ලියූ ලිපි අධ්‍යයනය කිරීමෙන්. ඒ නිසා එය මා සම්බන්ධයෙන් ආදරණීය සොරකමක් වෙනවා. අපටත් නොදැනෙන සේ හදවත් හොරකම් කරගන්නට දන්නා සෙරක වෙනුවෙන් අර යෙදුම ඉතාම ගැළපෙනවා කියලයි මට සිතෙන්නේ.
අපේ චාරිකාවේ සිවුවැනි දිනය වන අද උදාසන හතට වාරාණසී සිද්ධාර්ථ නවාතැනින් පිටත් වුණා බුද්ධගයාව බලා යාම සඳහා. මෙතැන සිට බුද්ධගයාවට කිලෝමීටර් දෙසිය පනස් එකක දුරක් තියෙනවා. අනිල් සහෘදයා ගමනාරම්භයේදී අප සැමට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනය කළා. දැන් අපි නැවතත් කෙත්වතු මැදින් යන ගමනක යෙදෙනවා. කෙතක් මැදින් ආ පොඩි පාරක කුඩා දරුවෙක් පාපැදියකින් යනු දුටුවා. මට සිහිපත් වූයේ පාපැදිවලින් පාසලට එන අපේ නාගොල්ලාගම දූ පුතුන්.
මේ යන ගමන අතරමගදී මට විශාරද ගුණදාස කපුගේ සහෘදයා ගයන ආචාර්ය රත්න ශ්‍රී සහෘදයා ලියූ සොයා නොගොසින දමා නගරය - ගයා හිස රමණීය වන ගැබ ගීතය මතක් උනා. මහාභාරතයේ කුල්ගුරු ක්‍රීපාචාර්ය සිහිපත් වන ගුරු මැදුරු දෙකක් දුටුවා. ඒ දෙක නම් කොට තිබුණේ ගුරු ක්‍රීප මන්දිර යනුවෙන්. යන අතරමගදී අපේ සර් අදත් දේශනයක් කළා. සරසවි මෙහෙවර ඔහුට මෙහිදීත් පැවරී තිබෙනවා. ඒ සේවය නිතර ලබා ගන්නේ අපේ සමස්ත ගමනේ මෙන් ම බස්රියේදීත් අංශප්රධානවරයා වශයෙන් කටයුතු කරන අනිල් මාමා යි. සර් අද බොදු බැති ගී ගැනත් මතක් කළා. ඔයාට මතකයි නේ ද මිහිදිනී ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ අපි දෙදෙනාම එක විදිහට කැමති ගීතයක එන මේ කොටස.
“මිනිසත් භවය ලද මට නැති ලබන්නට
මල කළ පින කිමෙක ඔබ ළඟ මියෙන්නට”
ඒ වගෙම සර් සිහිපත් කළා ආචාර්ය ශාන්තිදේව ආචාර්යවරයාගේ පළමු කොට අප අනුන්ගේ ජීවිත අපේ ජීවිත මෙන් සලකා සුරැකිය යුතු යි යන අදහස දෙන ධර්ම පාඨය. මා මෙය කියන විට ඔබට ආදෞ පරාත්ම ආත්මවත් සමතාමාදරාත් භාවයේත් යන ප්‍රකාශය මතක් වන බව දන්නවා. ඒ, මේ පාඨය ද අප ඒ දිනවල පාසල් බිමේ ප්‍රදර්ශනය කිරීම සඳහා ගැසූ පාඨ අතර තිබෙන නිස යි.
මට මෙහෙ හැම තැනකදීම සමන් අය්යා සිහිපත් වෙනවා මිහිදිනී. මට මෙහෙම නම් ඒ චින්තාව අපේ සර්ලා සම්බන්ධයෙන් කොහොම සිදු වෙනවා ඇද්ද? භාරතයට ආ අපට වඩා භෞතික ව කිසිදාක භාරතයට නොආ ඔහු භාරතය දුටුවා කියලයි අපට සිතෙන්නේ. අපට වරින් වර සුජාතා අත්තනායක ගායනවේදිනියගේ සුළඟ හමා එන දසතින්නේ ඔහුගේ සුවඳ ද මේ ගෙන එන්නේ ගීතය සිහිපත් වන්නේ ද ඒ නිස යි.
අප අතර භාෂාව පිළිබඳ සාකච්ඡා ද ඇති වෙනවා. මෙහෙ ශෞචාලයන් හැඳින්වීම සඳහා ප්‍රසාධන යන වචනය යෙදෙනවා. මෙහිදී පැහැදීම යන අර්ථය දෙන ප්‍රසාද යන වචනයත් සාකච්ඡාවට ගැනුණා. අපේ සර් ඒ ගැන කියද්දී අප සමග ගමනට එක් වූ පාසල් ගුරුතුමියක වන සුභද්‍රා නැන්දා පැවසුවේ දේශීය වෛද්‍යවිද්‍යා ග්‍රන්ථවල රසකිඳ උදෙසා ප්‍රසාද යන වචනය භාවිත වන බව යි. මේ සාකච්ඡාවට සුභද්‍රාවන්ගේ ආදරණීය සැමියා වන මන් කලින් ද නම සඳහන් කල හිටපු විදුහල්පතිවරයකු වන නිහාල් මාමා ද සම්බන්ධ උනා. මේ අවස්ථාවේ නිහඬ ශ්‍රාවකයකු වශයෙන් සිටි පාලිත මාමා පැවසුවේ, බලන්න එක වචනයක් යන දුර - මේවා කොයි තරම් සුන්දර සංකථන ද කියා යි.
මේ අවස්ථාවේ අප වෙතට පැමිණි අනිල් මාමා අප හැම කෙනෙක් ම ඇවිත් සිටින්නේ බුදු හිමියන් දැක ගන්න යන කරුණ සිහිපත් කොට, තමන් සැනසී අනුන්ට සැනසීම උදා කරන කෙනෙකු වන්නැයි පැවසුවා. මේ අදහස් ගැඹුරින් ම ග්‍රහණය කරගන්නා තවත් ගුරු සහෝදරියක් ගැන යමක් සඳහන් කළ යුතු යි. ඇගේ විෂයත් ඔබේ විෂය ම තමයි. ඇය ඉඩ ලද හැම අවස්ථාවක ම අපේ, සර් මිස් ඇතුළු අය සමග දහම ගැන - ජීවිතය ගැන කතා කරනු දුටුවා. ඒ ගුරු සුහදිනියක වන භද්‍රා නැන්දා යි. මේත් ඔයා කවදා හෝ හඳුනාගත යුතු චරිතයක්. අපේ පිරිසේ හැම කෙනෙක්ගෙන් ම ඉගෙන ගන්නට දෙයක් තිබෙනවා. මම ඉඩකඩ ලැබෙන පරිදි ඒවා ගැන ඔබට ලියන්නම්, හමු වූ පසු ද අපේ සහෘදය පිරිස ගැන තවත් විස්තර කියන්නම්.
අනිල් මාමා තුළ කවියෙක් ද ජීවත් වෙනවා. එක් අවස්ථාවක ඔහු මෙසේ පැවසුවා.
“ක්‍රම ක්‍රමයෙන් වැසි දිය හැළුණත් හිරු රැස් කෙමෙන් කෙමෙන් මහ පොළොවට පතිත වන වෙලාව යි මේ.”
දැන් අපිට මේ ගමනේ දී බිහිවූ කවියන් තිදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් අනිල් මාමා. අනික් කවියා මාතලේ තිස්ස අය්යා යි. ඔහු කවි ලියා මුලින් ම පෙන්වන්නේ ඔහුට සමීප තැනක බස්රියේ හිඳ සිටින හෂාන්ට සහ වර්ෂාට යි. අනික් කවියා තමයි අපේ පුංචිම සාමාජිකයා වන රොමිඳු පුතා.
අනිල් මාමා අපේ විනෝදය සහ සතුට ගැනත් නිතර සැලකිලිමත් වෙනවා. ඒ වගෙම අපේ හිත්වලට එහෙ මෙහෙ යන්නට නොදී නැවතත් ඔහු අප ආගමික පරිසරය වෙතට කැඳවා ගන්නත් අමතක කරන්නේ නැහැ.
අද අපේ සර් කළ දේශනයේ මාතෘකාව ගැන මට මුලින් සඳහන් කරන්නට බැරි වුණා. මාතෘකාව අපි කතා කියමු යන්න යි. සර් ඒකට පදනම් කරගත්තේ ත්‍රිපිටක සාහිත්‍යාගත අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ එන පඨම කථාවත්ථු සූත්‍රය සහ දුතිය කථාවත්ථු සූත්‍රය යි. බුදු හාමුදුරුවො නොකළ යුතු කතා 27ක් ගැන කියනවා. රාජකතා, චෝරකතා, භයකතා, යුද්ධකතා, අන්නකතා, යානකතා, ස්ත්රීකතා, පානකතා, වස්ත්රකතා, ශයනකතා, ඥාතිකතා ආදිය ඒ අතර තියෙනවා. මිහිදිනී, අප බොහෝ දෙනා කරන තරමක් කරන්නේ මේ කතා නේද?
ඉහත කතා වෙනුවට බුදුහාමුදුරුවෝ කළ යුතු කතා වර්ග දහයක් ගැන දේශනා කරනවා. ඒ අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා සහ විමුත්තිඤාණදස්සනකථා යි. ඔයා මේ සූත්‍ර දෙක හොයගෙන කියවන්න ඕනෙ. මන් ආවහම මේ ගැන ඔයාගෙන් ප්‍රශ්න අහනවා. එහෙම හොඳයි නේද?
සර්, මේ කතාවේදී ඔබ ද ඉතා ප්‍රිය කරන විභූතිභූෂණ බන්ධ්යෝධපාධ්යයන්ගේ ආරණ්‍යක් කෘතිය ගැනත් සඳහන් කළා. නුවර පාසලක ගණිත ගුරුවරියක වශයෙන් සේවය කළ චින්තා ලක්ෂ්මී මහත්මිය ඒ පොත සිංහලයට නැගීමෙන් කළ මහා මෙහෙවර ගැන සර් සඳහන් කළේ ගෞරවයෙන්. සර්ට ඇය හමු වී තිබෙනවා. ඇතැම් සංස්කෘත වචනවල තේරුම් දැනගැනීම සඳහා ඇය සරසවියට ආ බවත් කියා දුන් වදන් ප්‍රමාණයට වඩා ගොඩක් ලොකු ස්තුතියක් ඇය පොතේ දී කර තිබෙන බවත් සර් කිව්වා. මේ පොත කියවූ අයට එය නැවත කියවීමටත් නොකියවූ අයට පොත කියවීමටත් සිතී තිබෙනවා. බලන්න මිහිදිනී, විභූතිභූෂණ ලේඛකයාත් චින්තා ලක්ෂ්මී ලේඛිකාවත් ජීවතුන් අතර නොහිඳ ජීවත් වෙනවා නේද?
අද බස්රියේ දී මා දුටු ආදර්ශවත් පුද්ගලයා යන මාතෘකාව යටතේ අපේ සහෘදයන් අදහස් දැක්වුවා. පාලිත මාමා කතා කළේ ප්‍රවීණ ඉංජිනේරු ගෘහනිර්මාණ ශිල්පි කුලසිංහයන් ගැන යි. අපේ ගුරු සහෘදයන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට ආලෝකයක් වූ විදුහල්පතිවරුන් ගැන කතා කළා. රොමිඳු පුතාට ආදර්ශවත් ම පුද්ගලයා වූයේ සිය පියා වන අරවින්ද අය්යා යි. අරවින්ද අය්යා පැවසුවේ තමාගේ ජීවිතයේ ආදර්ශය වන්නේ සිය ප්‍රිය බිරිඳ වන නදී බව යි. මේක හරිම සුන්දර අදහස් දැක්වීම් මාලාවක් උනා.
අද අපි සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කළ දුර්ගේශ්වරී බලා ගියා. එය කඳු ගමනක්. ගමන දුෂ්කර මුත් සුන්දර යි. ඉන්දියාවේ දරිද්‍රතාවේ පැතිකඩ ද මැනවින් පෙන්වන ප්‍රදේශයක් දුර්ගේශ්වරී. දේහපාලකයන් විසින් කළ යුත්තේ දුප්පත්කම නඩත්තු කිරීම නොව ඒවාට පිළියම් යෙදීම යි.
අපි අද සුජාතාගමටත් සුජාතා දේවිය කිරිපිඬු පූජා කළ තැනටත් ගියා. සොත්තිය බමුණා කුස තණ පූජා කළ තැන ද දැක බලා ගත්තා.
කලකට පසු නේරන්ජනා නදිය දියෙන් පිරී තිබුණා. අප පෙරළා අපේ නවාතැනට එන අතරමගදී කුඩා පාසල් දරුවන් රැසක් අපට අත වැනුවා. කොහෙත් දරුවන් එකයි මිහිදිනී.
රාත්‍රියේ දයා මාමා සහන් සර් සහ හෂාන් සොහොයුරා සමග බොහෝ දේ සාකච්ඡා කළා. දැන් අපි හෙට දවසට සූදානම් වෙනවා. මිහිදිනී, දැන් මට පටු අර්ථයකින් නොව පෘථුල වූ අර්ථයකින් සිහිපත් වන්නේ ඔබත් මමත් එක් සේ ප්‍රිය කරන සංගීතවේදී සේන වීරසේකරයන් විසින් රචනා කොට සංගීතවත් කළ, ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන ගීතයක කොටසක්. අද මේ ගීතය ළගන්නා අයුරින් ගායනා කළා අපේ පාලිත සහෘදයා.
අද මේ සටහන අවසන් කරන්නට තෝරා ගන්නේ ඒ ගීතෝක්තිය යි.
“ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ.”
මා සදා ලැදි
සුහෘත් ගඟුල්
බුද්ධ ගයාවේ ශීල සමාධී
හදරැඳි මිහිදිනී,
මේ අපේ චාරිකාවේ පස්වැනි දිනය යි. අපි සත් දෙනෙකු හැරුණු විට අපේ කණ්ඩායමේ අනික් තිස්හත් දෙනා ම අද සිල් සමාදන් උනා බුද්ධගයා මහාබෝධි විහාර පරිශ්‍රයේ දී. අනිල් මාමා සහ ෂෙල්ටන් මාමා අවශ්‍ය කටයුතු සංවිධානය කොට තිබුණා. අරවින්ද අය්යා, හෂාන්, රොමිඳු, අපේ සර් සහ මම අපට කළ හැකි දේ සිදු කළා. පිරිස උදාසනින් නැගිට කිරිපිඬු පූජාව සකස් කළා. අනතුරුව අපේ පිරිස ශීල සමාදානය උදෙසා ගියා. වැස්ස නිසා සිල් ගන්නා ස්ථානය වෙනස් කොට තිබුණා. අපේ පිරිස සොයා ගත නොහැකි ව සහන් සර් සහ හෂාන් පැයකටත් වැඩි කාලයක් ඒ මේ අත අපේ පිරිස සොයා ගොස් තිබුණා. වහින්නට ගත් නිසා පිරිස සිල් ගෙන රැඳී සිටියේ අනගාරික ධර්මපාල අනුස්මරණ ශාලාවේ යි. බෝ රුක් සෙවණේ සිටින විටත් සර් සිය සොහොයුරා සිහිපත් කළේ අතීත අනුරාධපුර මතකයත් එතැනට සම්බන්ධ කර ගෙන යි.
“බෝ රුක පිස හමන මුදු සීතල සුළඟ
හා එක් කෙරෙයි මුදු සංගීතය විහඟ
නෑ මගෙ සොහොයුරා කී මට මග නොමග
යායුතු තැන කොතැන යමි කවරෙකු සමග”
ඇත්තටම මිහිදිනී, සමන් අය්යා නැති අඩුව අපට මෙහෙදීත් තදින් ම දැනෙනවා.
හෂාන් සමග ධර්මපාලතුමන් ගැන සංකථනයක යෙදුණා. අප කතා කරමින් සිටි තැනට ආ භාරතීය තරුණයන් දෙදෙනා සමග කතා කළා. ඒ ශ්‍යාම් සහ සන්දීප්. අපේ සර් 2001 වර්ෂයේ පූජ්‍ය ධම්මිස්සර හිමියන් සහ වේරගල සහෘදයා සමග භාරතයට ආ වෙලාවේ බුද්ධගයාවේදී ඔවුනට මග පෙන්වූ පුරාතන ඉතිහාසය හදාළ නාරායන් මිතුරා ගැන ඔවුන්ගෙන් විමසුවා. ඒ වෙලාවේ ශ්‍යාම් පැවසුවේ පහත සඳහන් වචන කීපය යි. ඔබ මේ කතා කරන්නේ ලුම්බිනියේ සිට පැමිණ, බුද්ධගයාවේ රැඳී මාර්ගෝපදේශන සිදු කළ වයස අවුරුදු 70ක් පමණ වන නාරායන් ගැන නම් මට කියන්නට තිබෙන්නේ පසුගිය අවුරුද්දේ ඔහු මෙලොව හැර ගිය බව යි.
ශ්‍යාම් එසේ කියද්දී අපේ සර්ගේ මුහුණේ රැඳුණේ මහත් සංවේගජනක බවක්. ටික වෙලාවක් නිහඬ ව සිටි සර් අශ්වඝෝෂ හිමියන්ගේ බුද්ධචරිත මහාකාව්‍යයේ එන පහත සඳහන් පද්‍යය සිහිපත් කළා.
“ඍතුර්ව්යතීතඃ පරිවර්තතේ පුනඃ
ක්ෂයං ප්රයාතඃ පුනරේති චන්ද්‍රමාඃ
ගතං ගතං නෛවතු සන්නිවර්තතේ
ජලං නදීනාඤ්ච නෘණාං ච යෞවනම්
ඍතු එයි. පෙරළා යයි. සඳ ක්ෂය වෙයි. එහෙත් යළිදු උදා වෙයි. එහෙත් නදී ජලයත් මිනිසුන්ගේ යොවුන් බවත් ගියොත් ගියා ම ය. පෙරළා නොපැමිණෙයි.”
උදේ අපි සත්සති වන්දනාව සිදු කළා. එසේ ම සාංඝික දානයක් ද දුන්නා. පොත් සහ මුදල් පිරිකර වශයෙන් පූජා කළා.
මිහිදිනී, අද දිගින් දිගට ම වසින්නට පටන් ගත්තා. අපේ සිල් ගත් පිරිස නවාතැනට පැමිණ සීල සමාදානයෙහි නිරත වුණා. සර් සිල් ගත් අයට ගිහි දේශනයක් කළා. මාතෘකා කොට ගත්තේ සුභ සූත්‍රයක්. එහිදී සර් ඒ සුභ සූත්‍රයේ එන කාරණා අතුරින් සයකට අපගේ අවධානය යොමු කළා. ඔබගේ දැනගැන්ම සඳහා එහි හරය කෙටියෙන් කියන්නම්.
ඒ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, නිවැරදි ජීවන ප්‍රතිපදාව, මහදර්ථ ක්‍රියා, ප්‍රඥාවන්ත භාවය, සන්තුෂ්ටිය සහ අවබෝධයට එනම් විමුක්තියට මාර්ගය යි. මේ සූත්‍රයේ ආරම්භයත් හරිම ලස්සන යි. සුභගේ මිත්‍ර බ්‍රාහ්මණ තරුණයෙක් දිනක් සුභ වෙත පැමිණ මේ සැවැත් නුවර ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෙක් ඇත්නම් ඒ ගැන තමාට පවසන්නැයි කියනවා. සුභ පවසන්නේ බුදු හිමියන් ඇසුරු කරන ලෙස යි. මේ ඇසුරින් ඔහු බොහෝ දේ ඉගෙන ගන්නවා. මේ සුත්‍රයේ සඳහන් වන්නේ බුදු වදන් අසා සුභ පහන් වී සුපහන් වූ බව යි. අනතුරුව ඔහු සිය ගුරුවරයා වන ජානුස්සෝණි බ්‍රාහ්මණයා හමුවට ගොස් තමා බුදුන් වහන්සේගෙන් ඉගෙන ගත් දේ ගැන පවසනවා. ඔහු ඉතා සාවධාන ව සිය ශිෂ්‍යයාට සවන් දෙනවා.
මඳ වැසි පවතිද්දී සිල් පවාරණය උදෙසා අපේ පිරිස සමග පෙරළා විහාරස්ථානයට ගියා. පෙරළා පැමිණි අප සියලුදෙනාට අරවින්ද සහෘදයා සමහන් පිළියෙළ කරවා තිබුණා. අද අපි ආධ්‍යාත්මිකවත් වෙනදාට වඩා සමහන් බවට පැමිණි දවසක්. ජානුස්සෝණි බ්‍රාහ්මණයා ද පහන් වී සුපහන් ව ආධ්‍යාත්මික වෙනසකට පත් වෙනවා. ඒ කොසොල් රජුගේ විජිතයේ දී යි. මේ අවස්ථාවේ ජානුස්සෝණි මෙවන් ප්‍රකාශයක් කරනවා.
“යම් රජෙකුගේ විජිතයේ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වැඩ වෙසෙත් ද, ඒ පසේනදී කොසොල් රජුට එය ලාභයකි, සුලද්ධ ලාභයකි, කල්‍යාණමිත්‍ර ලාභයකි.”
මිහිදිනී, මේ අතර අපට ලංකාවෙන් සංවේගජනක ආරංචියක් ලැබුණා. ඒ අපගේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යාවක වන අපේ සර්ලා මිස්ලාගෙන් ඉගෙන ගත් ස්වර්ණා අක්කා හදිසියේ අභාවයට පත් වීම පිළිබඳ වන සංවේගජනක පුවතයි. අපි රාත්‍රියේ ඇයට පින් අනුමෝදන් කළා. අටපිරිකර පූජා කරන මොහොතේ අපි සිතින් ඇය සිහිපත් කළා. අද මල් පූජාවක් ද සූත්‍ර සංගායනාවක් ද බෝධිපූජාවක් ද කළා. ඒ සියලු පින් ද ඇගේ භවගාමී ජීවිතයේ සුගතියට හේතු වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
හමු වීම් - වෙන්වීම් යන මේ සියල්ලට ම නේද මිහිදිනී ජීවිතය කියා කියන්නේ. ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන ඔබ වන් ළබැඳිනියක් මගේ ජීවිතයට සමීප වීම ද පිනක් හැටියට යි මා සලකන්නේ. අර කුඩලිගම කවියා කී දේ තමයි දැන් මට කියන්නට සිතෙන්නේ.
“ජීවන ගමන වන තෙක් දිනකදි නතර
අපි ඒ අනුව එක් වෙමු වෙන් වෙමු නිතර”
ලෝකයට යහපත කිරීම සඳහා ඔබ අධ්‍යාපනික වශයෙන් තවදුරටත් ශක්තිමත් විය යුතු යි. මා පැමිණි පසු ඒ අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය මට පෙන්විය යුතු යි, මගේ මේ ලිපිවලට ලියු පිළිතුරු ලිපි ද සමග. අද මගේ ලිපිය අවසන් කරන්නේ කවියකින්.
“කරුණා කිරණ රැඳි මිතුරියේ සඳවතේ
මුදු බව දකිමි ළබැඳිය, ඔබෙ හදවතේ
අවිහිංසක මුවන් සේ ඈත වනපෙතේ
මිහිදිනි අපිදු සැනසෙමු ලොවට පා මෙතේ”
සදා ලැදි සුහෘත් ගඟුල්
බුද්ධ ගයාවෙන් රජගහනුවරට
සුලවතී මිහිදිනී,
අද අපේ චාරිකාවේ සයවැනි දවස. අපි කීර්ති නවාතැනින් රජගහනුවර බලා ඒමට පිටත් වුණා. බුද්ධනගර නමින් වූ පෙදෙසේදී දැවැන්ත සැතපෙන බුද්ධ මූර්තියක් දුටුවා. මට සිහිපත් වූයේ අවුකන බුදුරුව අබියස ලද පවිත්‍ර ආධ්‍යාත්මික අද්දැකීමට අනුව ආචාර්ය මහගමසේකරයන් විසින් ලියන ලද පණ්ඩිත් අමරදේවයන් විසින් ගයනු ලබන ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්’ ගීතය යි. මට ඒ ගීතයේ එන ‘ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ - මගේ කුදු බව පසක් කොට ඇත’ වැනි ගීතෝක්ති සිහි වුණා. ඊළඟට අප පසු කළේ වසන්ත පුරය යි. ඒ එක්තරා මට්ටමකට තිබූ ග්‍රීෂ්ම පරිසරය නිමා කොට වසන්ත අද්දැකීමක් ලැබීමක් වුණා. ඒ නිසා වෙන්න ඇති ඔබත් ප්‍රිය කරන මමත් ප්‍රිය කරන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගායනවේදියාණන්ගේ ‘හිනැහෙන්න සොඳුර ගිමිහානෙට පසුව එයි වසන්තේ’ වැනි ගීත මට සිහි වන්නේ. අනතුරුව තවත් නදියක් සහ කඳු පන්තියක් දුටුවා. ගඟේ නම නං දන්නේ නැහැ. මේ ගමන්වලදී අපි එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ඇතුළුවීම සිදු වෙනවා. එක් අතකට අපේ සමස්ත ගමන ම අන්තර් ප්‍රාන්ත චාරිකාවක්.
මිහිදිනී, දැන් අපි රජගහනුවරට ආවා. මහාශාක්‍ය සංහාරය සිදු කළ විරූඪ රජුගේ ගැල් එරුණු තැන දුටුවා. කුල වංශ පීඩනය නිසා මිනිසෙක් කෙතරම් නම් සාපරාධි මිනිසකු බවට පත් විය හැකි ද යන්නට දියහැකි නිදසුනක් තමා විරූඪ රජු. බිම්බිසාර රජු සිර කොට සිටි බන්ධනාගාරයත් දුටුවා. ඒ රජමැදුරත් දැක්කා. ඒ වගෙම තපෝදා නදිය - උණුවතුර ළිං දැක බලා ගැන්මට ද ඉඩ ලැබුණා. මිතුරිය දැන් මේ ඉන්නේ නාගොල්ලාගම පාසලේ වැඩ කරන ගඟුල් නෙමෙයි. ඔහු මනසින් දන් දැන් ජීවත් වන්නේ බිමිසර රජ සමයේ යි. මන් දැන් ඔයා කැඳවාගෙන යන්නේත් ඒ යුගයට යි.
අනිල් මාමා කොසොල් රජු ගැන බොහෝ කරුණු පැවසුවා. උන් වහන්සේගේ ප්රාතිහාර්ය ගැන ඇති ඓතිහාසික කරුණු ද සිහිපත් කළා. මිහිදිනී, බුදුහාමුදුරුවන්ගේ සමස්ත ජීවිතය ම ප්රාතිහාර්යයක් කියලයි මට හිතෙන්නේ.
මට මේ මොහොතේ මතක් වන්නේ අපේ සර්ගේ දම් දිය බිඳු පොතේ එන ‘මා ඔබ වහන්සේට ගරු කරන්නේ ඇයි’ යන ලිපිය යි. එහි සඳහන් වන්නේ කොසොල් රජු බුදුහිමියනට ගරු කිරීමට හේතු වූ ප්‍රධාන කාරණා දහයක්. අංගුත්තර නිකායේ දුතිය කෝසල සූත්‍රයේ තමයි මේ ගැන සඳහන් වෙන්නේ. රජු මුලින් ම කියන්නේ බුදුන් වහන්සේ කලණ දහමින් ද කුසල දහමින් ද බොහෝ දෙනාට සුව පිණිස විත් බොහෝ දෙනා ආර්ය ඥානයෙහි පිහිටුවන නිසා තමා මේසා ගෞරවයක් උන් වහන්සේ වෙත පළ කරන බව යි. උන් වහන්සේගේ අප්‍රමාණ සීලමය ජීවිතය තමයි දෙවන හේතුව. සියලු සැප සම්පත් අතහැර වන අරණ සෙනසුන් සොයා ආ ගමන ද රජු සිත බුදු හිමියන් පිළිබඳ අපමණ ගෞරවයක් ඇති වීමට තවත් හේතුවක්. ලද පමණින් සතුටු වීම, කෙලෙස් ගලන කතා වෙනුවට ජීවිතාවබෝධය ඇති වන කතා කිරීම තවත් හේතුවක්. ඔන්න මන් දැන් කරුණු කීපයක් ලිව්වා. ඔබ දුතිය කෝසල සූත්‍රය කියවා අනික් කාරණා දහය හොයාගෙන මට කියන්නට ඕනෙ. ඒ ඔබට දෙන තවත් පැවරුමක්.
මිහිදිනී, අපි යළිත් වන අරන් මැදින් ගමනක. මහාවීරතුමන්ගේ ජන්මභූමිය ද දුටුවා. ජයප්රකාශ උද්‍යානය ද එතුමාට සම්බන්ධ එකක්. ඔන්න දැන් මම ඔයා එක්ක ගෙන යන්නේ මහාභාරත වීරකාව්‍යයට යි. දැන් අපි දකින්නේ ජරාසන්ධ නම් පීඩක රජු පරාජය කළ තැනයි. එය Battle Ground of Jarasandha යනුවෙන් නම් කොට තිබුණා.
අපි දැන් වේළුවනාරාමයේ යි. ගිජ්ඣකූට පර්වතයට ද ගියා. ඒක නම් එක්තරා අන්දමක ත්‍රාසජනක අද්දැකීමක්. අට දෙනෙකුට ගමන් කළ හැකි කේබල් මත ගමන් කරන යානාවලයි අපි ඒ කඳුමුදුනට ගියේ. එනකොට නම් පා ගමනින් ආවා අපට බැලිය යුතු ම තැන් කිහිපයක් මග හැරෙන නිසා. අපි බුදුන් වහන්සේ වැඩ සිටි බව පැවසෙන බුදුකුටිය දුටුවා. එසේම මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටි තැන් ද දුටුවා. සප්තපර්ණ ගල්ගුහාව ද දැක්කා. ඒ සුභද්‍ර හිමි බුදුන් වහන්සේ පිරිනිවන පෑ පසු, අපි දැන් ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණු තැන යි කියා කී තැන යි. මිහිදිනී මට නම් හිතෙන්නේ සුභද්‍ර හිමියන්ගේ ඒ වචන නිසා සිදු වූයේ අභද්‍ර දෙයක් නොව සුභද්‍ර දෙයක් බව යි. මන්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට තීරණය කළේ ඒ නිසා නේ ද?
වාලසංඝාට චෛත්‍යය අපි වැඳ පුදා ගත් තවත් තැනක්. ඉතා සුන්දර ලෙස ගායනයෙහි යෙදෙමින් ලංකාවෙන් ආ අපට ලංකා මහා රාජා - ලංකා මහා රාජිනී යන ආමන්ත්රණ පද යොදමින් ගයන අන්ධ ගායකයකු ද දුටුවා. මේ අයගේ ජීවිතවල ආත්මගත ව සංගීතය තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් ගමනක් තිබෙනවා. ඒ නාලන්දා සරසවිය වෙත ගිය ගමන යි. අපේ සරසවියේ ගොඩනැගිලි හැදීම පිණිස අපගේ ප්‍රථම විශ්වවිද්යාලයාධිපතීන් වහන්සේ වන වැලිවිටියේ ශ්‍රී සෝරත නා සමිඳුන් එවක තරුණ ගෘහනිර්මාණ ශිල්පියකු වූ ලලා ආදිත්‍යයන් සමග පැමිණ අධ්‍යයනය කළ එක් තැනක් තමයි නාලන්දා සරසවිය. අපේ ශ්‍රී සුමංගල මන්දිර ආකෘතිය තුළ නාලන්දා සරසවියෙන් උකහා ගත් දෙය ද ඇති බව යි අප අසා ඇත්තේ. නාලන්දාව ගැන කියා දීමට පැමිණි මහින්ද හාමුදුරුවන් වෙතින් අපේ ජීවිතවලට වැදගත් බොහෝ කරුණු දැන ගැන්මට ලැබුණා. උන් වහන්සේ වර්තමාන නාලන්දා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් යතිවරයෙක්. අපේ සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ උගන්වන ආචාර්ය කුඹුකේ චන්දාලෝක හිමියන් ද සිය ආචාර්ය උපාධිය ලබා තිබෙන්නෙ ඒ සරසවියෙන් උන් වහන්සේ සමග එකට යි. මහින්ද හාමුදුරුවෝ මාතර ප්‍රදේශයෙන් තමයි මෙහෙට වැඩම කොට තිබෙන්නේ. දැන් අවුරුදු විසිතුනක් තිස්සේ උන් වහන්සේ ඒ සමීපයේ විහාරස්ථානයක වැඩ වෙසෙමින් වටිනා ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වෙනවා. දසදහසක් භික්ෂූන් වහන්සේලා දානය වලඳමින් සිවින මොහොතේ උන් වහන්සේලා ද සමග ඒ මහා සරසවිය භක්තියාර් චිල්ජි නම් මුසල්මානු ආක්රමණිකයා ගිනිබත් කළ ආකාරය ගැන උන් වහන්සේ කතා කළේ මහත් සංවේගයකින්. කිසිදු හොඳ මුසල්මානුවෙක් ඒ ක්‍රියාව අනුමත නොකරනු ඇති. උන් වහන්සේට ව්‍යක්ත ලෙස සිංහල, ඉංග්‍රීසි, හින්දී සහ සංස්කෘත භාෂා කතා කළ හැකි යි. අපේ සර් සමග උන් වහන්සේ සංස්කෘතයෙන් කළ සංකථනය අපට ද වෙනස් අද්දැකීමක් වුණා. ඒක හෂාන් සොහොයුරා රෙකෝඩ් කළා.
මහින්ද හාමුදුරුවෝ අපි උන් වහන්සේගෙන් සමු ගන්නා මොහොතේ ඉතා වැදගත් කරුණු හතරක් සඳහන් කළා. උන් වහන්සේ මුලින් ම කිව්වේ භෞතික සහ ආධ්‍යාත්මික විපත්වලින් අපේ දූ දරුවන් බේරා ගන්නා ලෙස යි. මත් ද්‍රව්‍ය නිසා රටට වන විපත ද උන් වහන්සේ අවධාරණ කළා. දෙවනු ව උන් වහන්සේ පැවසුවේ රටේ තිබෙන තමන්ගේ ඉඩම් විකිණීමේ කාර්යය සිදු නොකරන ලෙස යි. තෙවනු ව පැවසුවේ ඔබ නිවැරදිව ජීවත් වන්නේ නම් බුදුන් වහන්සේ සොයා ගෙන දුර යායුතු නොවන බවත් උන් වහන්සේ ම අප ළඟට වඩින බවත් ය.
එසේ ම ටජ්මහල් නැරඹිය යුතු ද නැද්ද යන්න ගැන සිය හදවතින් සහ බුද්ධියෙන් තීරණයක් ගන්නැයි උන් වහන්සේ ඉල්ලා සිටියා. අපේ හදවත්වල ගැඹුරු ම තැනට ඒ ප්‍රකාශය දැනුණා. කොහොමත් ඔබත් නිතර අවධාරණ කරන පරිදි සාජහාන් යනු සැබෑ ප්‍රේමවන්තයෙක් නම් නෙවෙයි. ඔහු ටජ්මහල් ඉඳි කිරීමට හේතු වූ බව කියන මුම්තාස් මහල් බිසව මිය යන්නේ සිය දාහතරවැනි දරු ප්‍රසූතියේ දී යි. අනික් කාරණේ මේ ටජ්මහල් ඉඳිකළ බව කියන කලාශිල්පියා තවත් මෙබඳු ම නිර්මාණයක් කරතියි යන හැඟීම නිසා ඔහුගේ දෑස අන්ධ කිරීම යි. මේවා හොඳ ප්‍රේමවන්තයකුගේ ලක්ෂණ නොවෙයි. ඔබත් මමත් දෙදෙනා ම අගය කරන මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ටජ්මහල වර්ණනා කළත් මට එය වර්ණනා කිරීමට තබා ඒ ගැන කතා කිරීමට වත් නොසිතෙන්නේ ඒ නිස යි. ඒ අතින් සිය ආදරය වෙනුවෙන් රාජ්‍යය අතහළ සාලිය කුමරුට මන් ගෞරව කරනවා. ඒ වගෙම මේ වෙලාවෙ මට මතක් වෙන්නේ අපේ මහා සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ තැනක සිය බිරිඳ සිහිපත් කරමින් මූර්ති ශිල්පියකු ලවා කළු ගලක බුද්ධ මූර්තියක් නිර්මාණය කළ ආකාරය යි. ආචාර්ය පබ්ලිස් වැඩිහිටි සහෘදයාගේ ඒ ක්‍රියාව ළඟදී මට සාජහාන් ප්‍රේමයේ මුල් අකුරුවත් නොකිය වූ අසරණයෙක් පමණ යි. ඒ අසරණයාට අනුකම්පා කරනු විනා ඔහු ඉහළ මානයක රඳවා තබන්නට මට නම් කොහෙත් ම සිතෙන්නේ නැහැ.
මිහිදිනී, අපි සමු ගන්න වෙලාවෙදිත් අපේ මහින්ද හාමුදුරුවො හරි වෙනස් කතාවක් - ඒ කියන්නෙ ඒ ගැන හිතලා අපේ ජීවිතයට ගළපා ගන්න ඕනෙ කරන දෙයක් කිව්වා. අද මේ සටහන මම නිමා කරන්නෙ උන් වහනසේගේ ඒ ප්‍රකාශයෙන්.
“ඔබ සියලු දෙනා මේ භාරතයට ආවෙ බුදුන් වහන්සේගෙ ජීවිතය හා බැඳුණු මේ උතුම් ස්ථාන දැක ගන්න තියෙන කැමැත්ත නිසානෙ. ඒ කියන්නෙ ඔබ හොඳ නිසානෙ මේ ගමන ආවෙ. ඒ වගෙම වැදගත් දේ තමයි ඔබ මෙහෙන් යන්න ඕනෙ ආවටත් වැඩිය හොඳ අය හැටියට යි. එකිනෙකා කෙරෙහි අන්‍යොන්‍ය දයාව වැඩි කර ගත්ත පිරිසක් හැටියට යි.”
මිහිදිනී, අදට මම නවතින්නම්. තෙරුවන සරණයි!
මා ළබැඳි මිත් ගඟුල්
සත්වැනි දවස අපේ
කීර්ති නවාතැනින් අපි පිටත් වුණා උදෑසන හතරයි කාලට. ඒ විශාලා මහනුවර බලා යාම සඳහා යි. පැට්නාවල විශාල මාර්ග තදබදයක් තිබුණත් අපේ සාරථී එයින් අප මුදවා ගෙන ඉදිරියට ගමන් කළා. නිහාල් විදුහල්පතිතුමා සහ හෂාන් සමග බොහෝ දේ කතා කළා. යන අතරමග රාජා රාධේ භවන් යන නම ඇති ගෙදරක් දුටුවා. අපිත් දාමු ද අපේ අනාගත ගෙදරට ගඟුල් - මිහිදිනී මැදුර කියලා. මන් මෙහෙම කිව්වට ඒ වගෙ වැඩ අපි දෙන්නාට ම ඕනෙ කරන්නෙ නැහැ නේද? මේ යන ගමනට කිලෝමීටර් 168ක් තියෙනවා. පාලිත මාමා ගීත ගායනයට පිවිසුණෘ. ඔහු සිය ආරම්භය ගත්තේ අමරදේවයන්ගේ ‘වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා වෙත දෝතට ගෙනෙන තුරා’ ගීතයෙන්. මිහිදිනී, මෙය හොඳ ආරම්භයක් නේද? මට මතක් වුණේ ඍතුසංහාරයේ එන ‘සර්වං ප්‍රියේ චාරුතරං වසන්තේ’ ලෙස අවසන් වන සුන්දර පද්‍යය යි.
මිහිදිනී, අපි ආසියාවේ දිගම පාලම පසු කළා. එය ගංගා නම් ගඟ මැදිනු යි වැටෙන්නේ. ඒ මැදින් යද්දී මට මතක් වෙන්නේ ම කුඩලිගම කවියා සහ ඔහු කළුගඟ ගැන ලියූ පද්‍ය යි. අපි ඉන් එකක් විතරක් දැන් බෙදා ගනිමු.
“හිරිමල් සිනාවට සංගීතය කැව්වේ
කවුදැයි විමසුවෙමි නැහැ කිසිවෙකු කිව්වේ
ඔබ හදවතින් උතුරන පෙම් පිළිරැව්වේ
අතරිනි මගේ සුබ සීනය පණ පෙව්වේ”
මිහිදිනී, ගංගනාම් ගඟ භාරතයට සංගීතය කවනවා. ඒක ප්‍රශ්න කරන්න ඕනෙ දෙයක් නෙමෙයි. ඒ ගංගා හදවත ප්‍රේමයේ ප්රතිරාව නංවමින් යුගයෙන් යුගය ගලා යනවා. ඒ වගෙම භාරතීයයන්ගේ අප්‍රමාණ සුබ සිහිනවලට ගංගා ජීවය ලබා දෙනවා.
මිහිදිනී, අපි විශාලා මහනුවර විහාරාරම දැක බලා ගත්තා. අපේ සිත් දැන් බුදුන් වහන්සේ තුන් බියෙන් මුදවා ලීම සඳහා රතන සූත්‍රය ආදි සූත්‍ර දේශනා කළ ඒ අවිනාශී අතීතයට යනවා. ඒ අතීත භව අවසන් කළ, නැවත ඉපදීමක් නැති, ක්ලේශ බීජ ක්ෂය කළ, නැවත ඉපදීම පිළිබඳ වන රුචියෙන් මිදුණු ඒ ප්‍රඥාවන්තයන් වහන්සේලා පහනක් නිවී යන්නා සේ නිවී ගිය බව කියැවෙන ඒ සූත්‍ර කොතරම් සුන්දර ද අර්ථවත් ද, තමන් නිදහස් වී ලෝකය ගලවන ගුණය ඒවායේ නොඅඩුව ම ගැබ් වී තියෙනවා නොවේ ද?
“ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මින්
තේ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායං පදීපෝ”
අපි අද ම විශාලා මහනුවර සිට කුසිනාරා නුවරට ආවා. පිරිනිවන් චෛත්‍යය අබියස දී දෑස තෙත් වූයේ ඇයි ද කියා මා දන්නේ නැහැ. මට සිහිපත් වූයේ අපේ මිස්ගේ ආදි ශිෂ්‍යයකු වන දැන් ගුරුවරයකු වශයෙන් සේවය කරන කේ.පී. ඩබ්ලිව්. ප්‍රියන්ත ජයලත් කවියාගේ පහත සඳහන් පද්‍යය යි.
“ගිලිහී මලක පෙති උපවර්තන උයනේ
කිසිදා නොමැති ලෙස මිහි මවුනට රිදුණේ
නොකියා පුරහඳටවත් බුදු ඇස නිවුණේ
යළි බුදු පුතෙකු බිහි කළ මැන මවුවරුනේ”
කුසිනාරාවේ දී අපේ අනිල් මාමා පිරිස සමග කවි ගායනා කළා. එකව් ද හද පහන් කළ බව සඳහන් කළ යුතු යි.
එන අතරමගදී ළදරු පාසලක් දුටුවා. එහි නම දරුවන්ගේ ලෝකය යන අර්ථය දෙන ‘ශිශුලෝක’ නම් වුණා. ගණ දෙවියන් පිළිබඳ වන්දනය සිදු කැරෙන තැන් ද දුටුවා. ඒ වෙලාවෙහි අපේ සර් සිය ආචාර්යෝත්තම මහින්ද පලිහවඩන ඇදුරුතුමා ඉගැන් වූ ශුබ්බු ලක්ෂ්මී ගායනවේදියගේ සංස්කෘත ගණේශ භක්ති ගීතයක් සිහිපත් කළා. සදා විමුක්ති සාධනය කරන්නා වූ ලෝකය ආරක්ෂා කරන්නා වූ අසුභ විනාශනය කරන්නා වූ අසුර බල මර්දනය කළ ශ්‍රී ගණේශ දෙවියනට නමස්කාර කරන බව යි මින් කියැවෙන්නේ. මේක ගීත ඛණ්ඩ කීපයකින් සමන්විත භක්ති ගීතයක්. ඔබට මම භජන් ගී ඇතුළත් සංයුක්ත තැටියක් ගේනවා. මේ ගීතයත් එහි අන්තර්ගත යි. ඔබ හමු වූ විට මේ සම්පූර්ණ ගීතයේ ම අර්ථය ඔබට කියා දෙන්නම්. දැනට එහි පළමු ගීත ඛණ්ඩය පමණක් මම මෙහි සටහන් කරනවා.
“මුදාකරෝත්තමෝදකං සදා විමුක්තිසාධකං
කලාවරෝධතංසකං විලාසිලෝකරක්ෂකං
අනායකෛකනායකං විනාශිතේභ දෛත්යකං
නතාසුභාසුනාශකං නමාමි තං විනායකම්”
බසය නවතා තිබූ මොහොතක ශ්‍රී කෘෂ්ණ භජන් ගී ද අසන්නට ලැබුණා. ඉන් ඇතැම් ගීයක් මන් ශුබ්බු ලක්ෂ්මියගේ හඬින් අසා තිබෙනවා. මෙවර ඔබට මගෙන් ලැබෙන සංයුක්ත තැටියේ ඒ බොහෝ ගීත අන්තර්ගත යි.
ආ මට කියන්නට අමතක වුණා ඔබට අද අපි මකුට බන්ධන චෛත්‍යය ද වැඳ පුදා ගත් බව. එතැන දී අපි සිවුරු පූජාවක් ද සිදු කළා. 19
අදත් සර් දේශනයක් කළා. ඒ ප්රත්යශතකයේ එන අක්රෝධමාරෝග්ය ආදි වශයෙන් කියැවෙන ඥානවන්තයාගේ දස ලක්ෂණ ගැන යි. ඒ ක්‍රෝධ නොකිරීම, නිරෝගී බව, දිනූ ඉඳුරන් ඇති බව, දයාබර බව, ඉවසීම, සියලු දෙනාට ප්‍රියවීම, ආශා නොකිරීම, පරිත්‍යාගය, බියෙන් සහ ශෝකයෙන් මිදීම යි.
ආදරණීය මිහිදිනී, ඔබ ඔබේ ශිෂ්‍ය ප්‍රජාව තුළින් එවන් ප්‍රඥාවන්තයන් බිහි කිරීම සඳහා තමාට හැකි උපරිමය කරන බව සිහි කිරීමත් මහත් සතුටක්.
පැනසර මිහි දියණිය, ඔබටත් ඔබ හා බැඳුණු සැමටත් ලොවටත් යහපත ම වේවා!
සදා අදරැති සුහෘත්
ඔබේ සුප්‍රිය ගඟුල්
භාරතයෙන් නේපාලයට
මිහිදිනී සුහදිනී,
අපේ චාරිකාවේ අට වැනි දවස වන අද අපි රටකින් තවත් රටක් වෙත යනවා. අපි අද භාරතයේ සිට නේපාලයට යනවා. භාරතයේ කුසිනාරාවෙන් පිටත් වූ අද අපි මේ යන්නේ නේපාලයේ තිබෙන ලුම්බිනිය වෙත යි. සෙත් පිරිත් සංගායනා කොට අනිල් සහෘදයා සුපුරුදු පරිදි ගමනේ ආරම්භය ගත්තා. අනතුරුව අද දවසේ සිය උපන් දිනය යෙදී තිබෙන අරවින්ද අය්යාට අප සියලු දෙනා වෙනුවෙන් ඔහු සුබපැතීම සිදු කළා. අනතුරුව පාලිත මාමාගේ මූලික සහභාගීත්වයෙන් ගීත ගායනා කිරීම සිදු වුණා. ඔහු අද ආරම්භය ගත්තේ එවක අමරදේවයන් සිය පත්නී විමලා අමරදේවයන් සමග ගායනා කළ පසුව ඔහු සිය කනිටු දියණී සුභානී අමරදේවයන් සමග ගායනා කළ ගීතයකින්. සුභානී අක්කාත් අපේ සර්ලගේ ආදි ශිෂ්‍යාවක්. ඇය සංස්කෘත, සංස්කෘතික අධ්‍යයනය සහ හින්දී යන විෂයයන් සිය උපාධියට හදාරා තිබෙනවා. ඇය ද මහාචාර්ය රමා ඩුබ්ලිශ් ඇදුරුතුමියගෙන් එවක ව්‍යවහාර සංස්කෘත ඉගෙන ගැනීමට භාග්‍යවත් වූ කෙනෙක්. අපේ සර් ඒ අක්කාව මුලින් ම එතුමියට හඳුන්වා දී තිබෙන්නේ මෙහෙම යි. ඔයාට මම ඒ සංස්කෘත පාඨය කියන්නම්. සිංහල දැනුමක් තියෙන කෙනෙකුට එහි පරිවර්තනයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
“ඒෂා අස්මාකං දේශේ මහාගාන්ධර්වස්ය පණ්ඩිත් අමරදේවස්ය දුහිතා. ආර්යේ, සාපි මධුරගානේ දක්ෂා.”
ඒ මධුර ගැයුමෙහි දක්ෂ සුභානි අක්කා පසුව භාරතයට ගොස් සංගීතය පැත්තෙන් පශ්චාද් උපාධියක් ද කළා. මා දන්නා තරමින් ඇය දැන් සෞන්දර්ය කලා සරසවියේ උගන්වනවා.
අපට භාරත - නේපාල රටවල් දෙකට අයත් ආගමන විගමන කාර්යාල දෙකේ දී ම සැලකිය යුතු වෙලාවක් රැඳී සිටීමට සිදු වුණා අපේ ඉන්දියා වීසා අවලංගු කර ගැනීම සහ නේපාල වීසා ලබා ගැනීම සඳහා. මේ අවස්ථාවේ භාරත - නේපාල නිලධාරීන් අතර සම්බන්ධීකාරකයා බවට සිය කැමැත්තෙන් ම පත් වෙමින් අපේ අනිල් - ෂෙල්ටන් සහෘදයන් දෙදෙනාට අගනා සහයක් ලබා දුන්නා ඡායාරූපශිල්පී සංජය.
ලද වෙලාව අපි අපතේ හැරියේ නැහැ. යටකී ආගමන විගමන කාර්යාලයන් අපේ අවස්ථාව එළැඹෙන තෙක් අපි සාකච්ඡා මණ්ඩප බවට පත් කර ගත්තා. මේවාට පාලිත මාමා- තරිඳුමතී නැන්දා - ඩිලානී නැන්දා මෙන් ම අපේ සර් ද සම්බන්ධ වුණා.
අපේ නුවර කුසුම් නැන්දා බලවත් සේ ගිලන් උනේ නේපාල ආගමන විගමන කාර්යාලයේ දී යී. භාග්‍යා අක්කා, අපේ මිස්, මිස්ගේ නංගී අපේ සුදු අම්මා ඇයට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දුන්නා. අනතුරුව අනිල් මාමාත් අපේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යාවක වන වැලිමඩ කුසුම් නැන්දාත් ඇය ළඟම පිහිටි පෞද්ගලික රෝහලකට ගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.
දැන් අපි ලුම්බිනිය බලා යන ගමනේ යි. ඒ යන අතරත් අපේ චාරිකාවේ ප්‍රධාන ගාන්ධර්ව පාලිත සහෘදයා ‘ශාන්ත මේ රෑ යාමේ’ – ‘චන්දෝ මා බිළිඳේ’ යන ගීත ගායනා කළා.
මිහිදිනී, කෙනෙකුගේ ආගම තීරණය වන්නේ තමන්ට උපතින් ලැබෙන පරිසරය අනුව යි. ආගම අපි එකතු කරන දෙයක් මිස වෙන් කරන දෙයක් බවට පත් නොවිය යුතු යි. මේක සනාථ කරන යුවළක් අප සමග මේ ගමනේ යෙදෙනවා. ඒ මා කලින් ද කී කිතුණු බැතිමතකු වන අරවින්ද අය්යා සහ බොදු උවැසියක වන ඔහු ප්‍රිය පත්නී නදී අක්කා යි. අප සියලු ම දෙනාගේ කැමැත්ත ඇතුව මේ ගමනට පත් කළ නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙක් තමයි අරවින්ද සහෘදයා. ඔහු සිය වගකීම මැනවින් ඉටු කරනවා. ඒ දෙදෙනාගේ පුත් රොමිඳු ද ගමනේ යෙදෙන සියලු දෙනාගේ සිත් දිනා ගත් සුරතලා බවට පත් ව තිබෙනවා.
ඔයාට කියන්න අද අපි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ලුම්බිනී සල් උයන ළඟ බොහෝ වෙලාවක් රැඳී සිටියා. ඒ වගෙම අශෝක කුළුණ සහ මායා පොකුණ ද දැක ගැන්මට ලැබුණා. මායා පොකුණ යනු මායාවේ පොකුණ නොව ලෝකය මායාවෙන් මුදාලූ සිද්ධාර්ථ උත්තම චරිතයට උපත දුන් මහමායා දේවිය ස්නානය කළ පොකූණ යි. අපට පුරුදු පොකුණ වෙනුවට මෙහි ඒ තේරුම ම දෙන පුෂ්කරණී යන සංස්කෘත වචනය තහවුරු වී තිබෙනවා. බලන්න මිහිදිනී, සිංහලෙන් පොකුණ, පාලියෙන් පොක්ඛරණ,ී සංස්කෘත භාෂාවෙන් පුෂ්කරණී.
අද අපි නැවතුණේ ලුම්බිනියේ පිහිටි ශ්‍රී ලංකා ගෙස්ට් හවුස් එකේ යි. නේපාල ජාතිකයන් කිහිප දෙනෙකු සිය සහායකයන් වශයෙන් පත් කරගෙන එතැන පාලිකාව වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසන්න සිංහල කාන්තාවක වන මිථිලා සහෝදරිය යි. ඇයත් අපේ කෙනෙකු බවට පත් වී වැඩ කළා. අරවින්ද සොහොයුරාගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ චාම් උත්සවයේ දී අපේ පිරිස සමග එක් ව ඇයත් ගීත ගායනා කළා. අපේ සර් ඔවුන්ගේ පුස්තකාලයට පොත් කීපයක් ද පරිත්‍යාග කළා.
අප සියලු දෙනා වෙනුවෙන් අනිල් - පාලිත මාමලාගේ ඉල්ලීම පරිදි අපේ සර් සුබ පැතුම් එක් කළා. අරවින්ද අය්යාගේ ජීවිතය භාරතය සමග බද්ධ වී ඇති ආකාරය සිහිපත් කළ සර් දරුවකු නොමැති ව දුකින් ගත කළ ජීවිතය නිමා කිරීම සමග භාරතය සම්බන්ධ වී ඇති ආකාරය ද සිහිපත් කළා. ඔහු නදී අක්කා දෙසට හැරි පැවසුවේ විරාගයේ අරවින්ද ප්‍රාර්ථනා කළ සරෝජිනී ඇය බව යි. එසේ ම පුතුගේ උපතත් සමග දුකින් සිටි කාලය අවසන් වූ බව යි. ඔහු සිය කතාවේ දී ඒ වෙනස් නොවන අරවින්ද සිහිපත් කරන කවියක් ද කතාවට එක් කළා. සර් කී හැටියට එය ලියා තිබෙන්නේ එවක පානදුරේ සංස්කෘතික නිලධාරියා වශයෙන් කටයුතු කළ සුරංග දිසානායක යි. මිහිදිනී, මම අද අපේ මේ චාරිකා සටහන අවසන් කරන්නේ ඒ කවියෙන්.
“හදවත් පවුර මත ඇස කඳුළින් ඇන් ද
සිතුවම් මැකී ගොස් දැන් කොපමණ කල් ද
දොඩමළු නොවී දොරගුළු ලා ඉකි බින්ද
සරෝජිනී, මම තවමත් අරවින්ද”
තෙරුවන සරණ ම වේවා!
මේ ඔබේ හද බැන්ද
ගඟුල මම අරවින්ද
නේපාලයෙන් යළි භාරතයට
සිතුවම් මැකී ගොස් දැන් කොපමණ කල් ද
දොඩමළු නොවී දොරගුළු ලා ඉකි බින්ද
සරෝජිනී, මම තවමත් අරවින්ද”
තෙරුවන සරණ ම වේවා!
මේ ඔබේ හද බැන්ද
ගඟුල මම අරවින්ද
නේපාලයෙන් යළි භාරතයට
ආදරණීය සඛී ප්‍රිය මිහී,
අද අපේ චාරිකාවේ නව වැනි දවස යි. අදත් අපිට නේපාල භාරත ආගමන විගමන කාර්යාලයවල සැලකිය යුතු වෙලාවක් රැඳී සිටීමට සිදු වුණා. සුපුරුදු පරිදි අපි කළේ ඒ අවස්ථා අපේ සාකච්ඡාවන් සඳහා යොදා ගැනීම යි. මෙතෙක් වැඩිපුර කතා කිරීමට ඉඩ නොලද අය සමග කතාබහ කිරීමට ද මේ වෙලාවල් යොදා ගත්තා. මේ හැම කෙනෙකුගෙන් ම අපට ජීවිතයට ඉගෙන ගැන්මට දේවල් තිබෙනවා. මන් මේ ගැන කලිනුත් ඔයාට ලිව්වා. හොරණින් ගමනට එක් වූ අපේ වැඩිහිටි නිහඬ සහෝදරියන් තිදෙනා තමන්ට දැනෙන ම තැන්වලදී ඇසූ දෙයට පිළිතුරු දෙනවා. ඔවුන්ගේ හෘදයංගම බවේ කිසිම අඩුවක් නැහැ. දැන් වෙනත් ප්‍රදේශවල ජීවත් වුණත් කලුතරට සම්බන්ධ මිතුරියන් තිදෙනෙක් ද සිටියා. මන් ඉඩ ලැබෙන අවස්ථාවලදී ඒ අය සමග කතා කළේ කලුතරින් බිහි වූ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් ගැන යි.
එළිමහන් තැනක හිඳ පාලිත මාමා සමග විද්‍යාව සහ කලාව ගැන අපි කළ සාකච්ඡාව ද වැදගත්. මන් එතුමාගෙන් ඉල්ලා සිටියේ මේ චාරිකාව අවසන් වීමට පෙර අපේ සහෘදයන් සමග මේ දැනුම බෙදා ගත යුතු බව යි. මේ අවස්ථාවට සම්බන්ධ වූ අපේ සර් පැවසුවේත් එය අනිවාර්යයෙන් ම සිදු කළ යුතු කටයුත්තක් බව යි.
අද අපි දැක බලා ගත් තැන් ගැන තවම මට යමක් සඳහන් කරන්න බැරි වුණා. ලුම්බිනියේ සිට අපි කපිලවස්තුපුරයට ආවා. එතැනට ඇත්තේ කිලෝමීටර් 68 ක දුරක්. අපි කපිලවස්තුපුර පිහියි සුදොවුන් රජමැදුර බැලුවා. ඒ වගෙම නිග්‍රෝධාරාම විහාර සංකීර්ණය දැක ගැන්මට ද අපට අවස්ථාව ලැබුණා. කාලය පිළිබඳ ගැටලුව නිසා අර රජමැදුර නැරඹුවේ නම් රථයේ සිට යි.
පසුගිය දිනවල මේ චාරිකාවේ දී හඳුනා ගැන්මට ලැබුණු දඹදිව වන්දනාවේ පැමිණ සිටි කෝසල - ධම්මවිජය මිතුරු පිරිස් අද දවසේත් හමු වුණා. මේ පිරිසත් පෙරළා ලංකාවට යන්නේ අප යන දිනයට සමීප දිනයක යි. කෝසල කණ්ඩායමේ නායක හාමුදුරුවන් පමණක් අපට මේ වන විට හත් අට වතාවක් හමු වුණා. ඒ කණ්ඩායමේ සිටින කුඩාම සාමාජිකාව වන කවීශා අප කොතැන දී දුටුවත් අපට අත වනා ගෙන යනවා. ඇය වවුනියා මහ විද්‍යාලයේ නවවන පන්තියේ ඉගෙන ගන්නා බව පැවසුවා. ඇයට නුදුරු අනාගතයේ සරසවි වරම් හිමිවේවා යි ප්‍රාර්ථනය කළ අපේ සර්, ඒ වන විට තමන් සරසවි පද්ධතියේ නොසිටියත් අපේ ශිෂ්‍ය ප්‍රජාව ඒ තනතුරු දරමින් ඒවායේ සිටින බව කියා ඇයට පෙන්වූයේ මාව යි. කොහොම ද දැන් මට තියෙන තැන. ඔය නාගොල්ලාගම නෝනා ද ඒ බව අවබෝධ කරගත යුතු යි. අන්න ඒ අන්තිම වාක්‍යය විහිලුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
දැන් ධම්මවිජය කණ්ඩායමේ නායක විජේරත්න මහතාත් අපේ මිතුරෙක්. අනාගතයේ දවසක පෙරළා අපි හමුවෙමු යි ඔහු පැවසුවා. අපේ සර්ගේ අත් දෙකින් අල්ලා ගෙන ඔහු කතා කළේ බොහොම හැඟීමකින්.
හෙට දවසේ අපේ කණ්ඩායමේ තවත් කෙනෙකුගේ උපන් දිනයක් තිබෙන බව කණින් කොණින් අසන්නට ලැබුණා. ඒ ගැන විමසූ විට අනිල් අය්යා සිනාසෙමින් කිව්වේ එය හෙට රාත්‍රියට දැන ගැන්මට ලැබෙන බව යි. ඒ වෙනුවෙන් දෙන සංග්‍රහයත් ඔහුගෙන්. අපි සියලු දෙනාගේ උපන් දින ද ඇතුළු විස්තර ඔහු ළඟ තිබෙන නිසා කිසිවෙකුට අද මගේ උපන් දිනය නෙමෙයි කියා කියන්නට බැහැ.
අද දවස අවසන අපි උත්තර ප්‍රදේශ්හි ශ්‍රාවස්තිපුර නවාතැනට ආවා. ලුම්බිනියේ සිට එතැනට කිලෝමීටර් 231ක් තියෙනවා. එය පැය හයක ගමනක් බවයි දැන ගන්නට ලැබුණේ. අපේ සුපුරුදු දේශන - සංකථන ඇගයීම් සහ සංගීත සභා සමගිනු යි අපි ඒ දිගු ගමන නිමා කළේ.
අද අපි නැවතුණේ කොරියන් බෞද්ධ මන්දිරයේ යි. එමැදුර අද අපට සෙවණ දෙනවා. හෙට තවත් පිරිසකට සෙවණ දේවි. හෙවණ දෙන ගසක් වෙන එක නේද හොඳ? හෙට සංකස්ස බලා යාමට නියමිත යි. ඒ විස්තර ඔබට හෙට ලියනවා.
අද සටහන අවසන් කිරීමට මම තෝරා ගත්තේ හිතෝපදේශයේ එන පද්‍යයක්. ඉන් කියැවෙන්නේ ඵල සහ සෙවණ දෙන විසල් රුක සේවනය කළ යුතු බව යි. ඉදින් යම් විටෙක දෛවය කරණ කොට ගෙන එම රුකෙහි පල නැති උනත් කාටද හැකි ඒ සෙවණ වළකන්නට. මේ අදහස තියෙන සංස්කෘත පද්‍යයත් එයට මාකළ සිංහල පරිවර්තනයත් ලියා අද ලිපිය අවසන් කරන්නම්.
“සේවිතව්යෝ මහාන් වෘක්ෂඃ - ඵලච්ඡායා සමන්විතඃ
යදි දෛවාත් ඵලං නාස්ති - ඡායා කේන නිවාර්යතේ
දෛවය නිසා පල නැති වුව පරිදි සිතූ
සෙවණ ද පල ද දෙන තුඟු තුර සෙවිය යුතු
සිය හද සෙවණ දෙන ඒ තුර නමැති මිතූ
අපි විඳ ගනිමු අද මෙන් දිනයෙදි ද මතු”
මිහිදිිනි හද සෙවණ ගැන හොඳ හැටියට දන්නා
මිතුරා ගඟුල් මම, බුදු සෙවණෙහි ඉන්නා
අනඳ බෝ සෙවණේ -හද මල් සුවඳ රැඳුණේ
මිතුරා ගඟුල් මම, බුදු සෙවණෙහි ඉන්නා
අනඳ බෝ සෙවණේ -හද මල් සුවඳ රැඳුණේ
හෘදයසුගන්ධිනි මිහිදි වසන්තිය වෙත ආදර ගෞරවයෙනි,
අද අපේ චාරිකාවේ දසවැනි දවස. අපි උදෙන් ම ජේතවනාරාමයට ආවා. ආනන්ද බෝධිය සෙවණේ ගත කළ මොහොත ද අපට වෙනස් ම අද්දැකීමක් වුණා. අපි අද සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සහ ආශිර්වාද පූජාවට ද සම්බන්ධ වුණා. මෙතැන දී අපි අටපිරිකර පූජාවක් ද සිදු කළා. පුරා අවුරුදු තිස් හතක් තිස්සේ එතැන වැඩ වෙසෙන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග කතා බස් කළා. උන් වහන්සේ අපට වටිනා ධර්ම දේශනයක් ද සිදු කළා. අනිල් මාමාට නම් උන් වහන්සේ කිහිපවරක් හමු වී තිබෙනවා. සර් අපි සියලු දෙනාගේ හැඟීම කවියක් කොට උන් වහන්සේට නමස්කාර කළේ මෙහෙම යි.
“තරුපති සෙයින් සසුනඹරෙහි බලවත් ව
දිදුලන සමිඳ හිටි කවදත් හිතවත් ව
අද මෙන් ම හෙටත් මේ දෙරණට සියපත් ව
සමිඳුනි යෙහෙන් වැජඹෙනු මැන සුවපත් ව”
අපට අද සුදත්ත සිටුවරයා එනම් පසුකාලීන ව අනේපිඬු සිටුවරයා වශයෙන් ප්‍රසිද්ධ වූ ඒ මහා බොද්ධෝපාසකතුමා ජීවත් වී යැයි කියැවෙන සිටු මැදුර දැක ගැන්මට ලැබුණා. එතැනටත් මල් අරගෙන යායුතු ද යනුවෙන් කෙනෙකු විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සර් පැවසුවේ අනේපිඬු සිටු යනු මල් පිදුමට තරම් සුදුසු චරිතයක් බව යි.
මිහිදිනී, අද අපට අංගුලිමාල පිරිත දේශනා කළ තැන ද දැක ගැන්මට වාසනාව ලැබුණා. බලන්න ගැහැනියක් ගැබිනියක වන්නේ එක පිරිමියෙක් නිසා. එහෙත් ඒ ගැහැනියට නැගණිය යනුවෙන් ආමන්ත්‍රණය කොට ඇය ප්‍රසූත වේදනාවෙන් නිදහස් කරන සූත්‍රය දේශනා කරන්නේ ඊට කිසිදු සම්බන්ධයක් නැති නික්ලේශී උත්තමයෙක්. බුදුන් වහන්සේ, සමාජය දැඩි ව ප්‍රතික්ෂේප කළ අංගුලිමාල චරිතය අංගුලිමාල හාමුදුරුවන් වශයෙන් සමාජගත කළ ආකාරය හරි අපූරුයි නේද?
යමක මහා ප්රාතිහාර්යය පෑ ස්ථානය දැක ගැන්මට ලැබීම සුගන්ධ කුටිය වන්දනා කිරීම සහ ආලෝක පූජාව අද දවසේ ලද අද්දැකීම් අතරට එකතු වෙනවා. දිනාවසානයේ අපේ පිරිස සාප්පු සවාරියකට රැගෙන යාමටත් අනිල් මාමා අමතක කළේ නැහැ. රාත්‍රී ආහාර ගන්නා අවස්ථාවේ තවත් උපන් දිනයක් යෙදී තිබුණා. ඒ මහනුවර ඔසාකා නැන්දාගේ යි. අප සියලු දෙනා වෙනුවෙන් සිය වියදමින් සංග්‍රහයක් සූදානම් කොට අපි ඔක්කොම වෙනුවෙන් ඇයට සෙත්පතා සුබ පැතුම සිද්ධ කළේත් අනිල් මාමා ම තමයි.
ඔසාකා නැන්දා කියන්නේත් මන් කලිනුත් කිව්වා වගේ කවියට කලාවට ඉතා ප්‍රිය කරන චරිතයක්. අපේ සර්ගේ වයස් මට්ටමේ කෙනෙක් ඇය. තමාට වඩාත් දැනෙන නිර්මාණයක් නම් ඒ කවිය හෝ ගීතය නැවත කියන්නැයි යන ඉල්ලීම ඉදිරිපත් කරන්නේ ඔසාකා නැන්දා යි. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අද්දැකීම් ඇති ගුරුවරියක වන ඇගෙන් ද අපට ඉගෙන ගැන්මට බොහෝ දේවල් තිබුණා.
ජීවිතය කියන්නේ දුක සතුට මැද යන අනවරත ගමනක්නෙ මිහී. අපේ මේ චාරිකාව ගත්තොත් බොහොම සතුටින් ගමනෙහි යෙදුණ කෙනෙක් අසනීප වී පසුවන ගිලන් තත්ත්වය දැක්කාම ඇති වන්නේ දුකක්. ඒත් ඒ වෙලාවට තමයි ඒ තැනැත්තාට හෝ තැනැත්තියට අනික් අයගේ ආදරය කරුණාව සහ සැලකිල්ල වෙනදාටත් වඩා ලැබෙන්නේ. ඒක අපි අවස්ථා කීපයකදීම අද්දුටුවා. මේ වෙලාවේ මට මතක් වෙන්නේ අපේ ඉන්ද්‍රා ලියනගේ කිවිඳියගේ රිද්ම කාව්‍ය සංග්‍රහයේ එන හෘදයහාරී පද්‍යයක්. අද මම මේ ලිපිය අවසන් කරන්නේ ඇගේ ඒ සොඳුරු කවියෙන්.
“පාරමී පිරුවත් නැතත්
මෙය චාරිකාවක් බැවින් හිතවත
ආදරය යන කාරණාවෙනි
පිරිමැදෙන්නේ රිදුණු පියපත”
මේ ආදර චාරිකාවේ යෙදෙන
ඔබ ප්‍රිය සුහෘත් ගඟුල්
පුද ලද සුදේශය - සංකස්ස ප්‍රදේශය
දයාලූ සුහදිනී ප්‍රිය මිහිදිනී,
ඔන්න අද අපේ චාරිකාවේ එකොළොස් වන දවසයි මේ. අපි අද කිලෝමීටර් 316 ක දුරක් ගෙවා ගෙන සංකස්සයට ආවා. එය ද සුපහන් අද්දැකීමක්. අපේ සහෘදයන් කීප දෙනෙක් ම අසනීපයෙන්. අනිල් මාමා ඒ අයටත් ගමනේ යෙදෙන අනික් අයටත් සුව සෙත පතා සෙත් පිරිත් සංගායනය කළා. මේ අසනීප පිරිස අතර සර් ද ඉන්නවා. ඒ නිසා මේ දිගු ගමනේ දී වෙනදා මෙන් ඔහුගේ දේශනයක් නැහැ. පාලිත මාමා විද්‍යාව සහ කලාව ගැන කාටත් ප්‍රයෝජනවත් දේශනයක් කළා. සංගීත සුයාමය ද වෙනදා මෙන් පැවතුණා. ඇගයීම් සංකථන ද තිබුණා.
අද අපි බුදුන් වහන්සේ දෙව්ලොවට ගොස් මාතෘ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසා යළි මිහිමතට පා තැබී යයි සැලකෙන ස්ථානය දැක බලා ගත්තා. අද හවස් වන විට අපි අග්‍රා නගරය වෙත ළඟා වුණා. අපි පළමු දවසේ නැවතුණු අසීස් පැලැස් වෙත තමයි යළිත් ආවේ. සර්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අනිල් මාමා හෂාන් සහ වර්ෂා අග්‍රාවල ඇති පෞද්ගලික රෝහලකට ගියා. ඔහුට බෙහෙත් ගෙන ආ මොහොතේ අපේ චාරිකාවට සම්බන්ධ ව සිටි වැඩිහිටි ම සාමාජිකාව වන මැදිවක නෝනා ද අසනීප වුණා. අනිල් මාමා ඇයත් රැගෙන යළි අර රෝහලට ගියා. අවශ්‍ය අවස්ථාවලදී ලංකාවේ සිට වෛද්‍ය ලලිත් - වෛද්‍ය සමාධි යන ජීවක සහෘදයන් කළ මැදිහත් වීම් ද ගෞරවයෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාව කොට ගන්නවා.
ටජ්මහල් නැරඹීමට ගියේ අපේ පිරිසෙන් ටික දෙනෙක් පමණ යි. මොන එකක් ද මන්දා මිහිදිනී මටත් එහි යන්නට සිතුණේ නැහැ. ඔබ මට ප්‍රේමයේ සංකේතයක්. ඒත් මට සාජහන් රජු ප්‍රේමයේ ආදරණීය සංකේතයක් වශයෙන් ගන්නට හිතෙන්නේ ම නැහැ. මට අර දෑස් අන්ධ කළ කලාකරුවා සහ මුම්තාස් මහල් ගැන ඇත්තේ බලවත් සංවේගයක්. පැමිණි පසු අපි මේ මාතෘකාව ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. අපේ ශිෂ්‍ය ප්‍රජාවටත් අපට දැනෙන දෙය කියා දෙමු.
මිහිදිනී, ප්‍රේමය කියන්නේ දෙන්නෙකු අතර ඇති වන හැඟීමක් පමණක් නෙමෙයි. එය ගංගානම් ගඟ වගේ ගලා යායුතු යි. අපට තිබෙන ලොකුම ගඟ වන මහවැලිය වගේ ගලා යායුතු යි. අපේ ඉන්ද්‍රා කවි මිතුරිය කිව්වා හරි. ඒක නිසා අදත් මම මගේ මේ ලියමන අවසාන කරන්නේ ඇගේ මේ ඉසොඳුරු කවියෙන්.
“ප්‍රේමය ගැලියය යුතු
පොළොව මත
මට ද ඔබට ද
නෑ... සියලු අත”
මේ සදා ලැදි
සුහෘත් ගඟුල්
අග්රාවෙන් යළිත් දිල්ලියට
ආදරණීය මිහිදිනී,
සංකස්සේ සිට අග්රාවට කිලෝමීටර් 226 ක දුරක් තියෙනවා. අපි පෙරළා දිල්ලිය බලා විත් සතිපට්ඨාන සූත්‍ර දේශනාව කළ පුද බිම දුටුවා. මේ අතීත කුරු ක්ෂේත්රය නේද? මට මතක් උනේ භගවද්ගීතාවේ එන දහම් කෙතක් වූ කුරු කෙතෙහි මගේ පුතුන් සහ පාණ්ඩව පුත්‍රයන් යුද වැද මේ කුමක් ද කළේ යනුවෙන් අන්ධ ධ්රැතරාෂුට්ර රජු සිය රථාචාර්ය සංජයගෙන් ඇසු ප්රශ්නය යි. ඔහු එසේ පැවසුවේ සිය පුතුන් සහ ඥාති පුතුන් යුද වැද ඒ දහම් කෙත ලෙයින් තෙත් කළ නිස යි. ගීතාවේ ඒ ගැන කියැවෙන්නේ මෙහෙමයි මිහිදිනී.
“ධර්මක්ෂේත්රේ කුරුක්ෂේත්‍රේ සමවේතා යුයුත්සවඃ
මාමකාඃ පාණ්ඩවාශ්චෛව කිම කුර්වත සංජය”
කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැන්ම ද සිදු කළා. ඉන්දියා ගේට් පාර්ලිමේන්තුව අගමැති නිල නිවස යන තැන් ගැන ද අනිල් මාමා පිරිස දැනුවත් කළා.
අද දිනාවසානයේත් අපේ පිරිසට සාප්පු සවාරියේ යෙදීමට අවකාශ සලසා තිබුණා. අද ඉතින් හිතට පොඩි දුකකුත් නොදැනෙවා නෙමෙයි. ඒත් මිහිදිනී ඕනෑම දෙයක් කොයි මොහොතේ හෝ අවසාන වෙනවා ය යන සනාතන දහම අප කිසිවෙකුට වෙනස් කරන්නට බැහැ.
ආ තවත් දෙයක් ලියන්නට අමතක වුණා. ඒ අපේ සර්ගේ උපන් දිනය ද සිහිපත් කොට සෙත් පතා රාත්‍රියේ පලතුරු සංග්‍රහයක් කිරීමට අනිල් මාමා අමතක නොකළ බව යි.
අද දවස අපේ පිරිසට විවේකය අඩු දවසක් වුණා. ඒ සියලු දෙනාට ම පෙරළා යාම සඳහා සිය ගමන් මළු යළිත් පිළිවෙළකට සකස් කර ගැනීමට තිබූ නිස යි.
කෙහොම වුණත් පෙරළා ගෙදර එන හෙට දවසේත් මම ඔබට ලියනවා. පැමිණි පසු කියන්නට ද බොහෝ තොරතුරු තියෙනවා.
අපි හමු වී ඒ විස්තර කතා කරමු.
මා සදා අදරැති ගඟුල්
භාරතයෙන් ලංකාවට
අපි අද ඊයේ රාත්‍රිය ගත කළ දිල්ලි සංචාරක හෝටලයෙන් පිටත් වුණා උදෙන් ම. අද දවසේ මා අපේ පිරිසේ දුටුවේ දුක - සතුට මුසු ස්වභාවයක්. කාටත් පෙරළා මාතෘභූමියේ සිටින සමීපතමයන් පෙරළා දැක ගැනීමේ වුවමනාව තිබුණා. ඒ වගේ දෙසතියක් එක ම පවුලක් වශයෙන් සිටි සහෘදයන්ගෙන් වෙන් ව යාමට සිදුවීම නිසා ඇති වන වේදනාව ද තිබුණා.
ප්‍රමාදයකින් තොර ව ගුවන් යානය අපේ මාතෘභුමිය බලා යාත්‍රා කළා. යනකොට වගෙම එනකොටත් ගුවන් යානයේ සේවය කරන සහෘදයන් අප සමග හිතවත් වුණා. අපේ සර් අප සියලු දෙනා වෙනුවෙන් ඒ අයට බෙදා ගෙන බැලීම සඳහා පලිහවඩන සර් ලියූ The Indra Cult and Ideology පොතක් තිලිණ කළා.
කටුනායක දී අපි ඔවුනොවුන්ගෙන් සමු ගත්තා. මෙයත් ජීවිතයේ අවස්ථාවක්නෙ. මට මතක් වුණේ සුමින්ද අය්යා ලියා තිබූ කවියක්. ඔහුගේ ඒ කවිය ඔබ දන්නා බව දන්නා මුත් මට එය මෙතන සටහන් කරන්නට සිතෙනවා.
“තවම වැලපෙන
මල් නටුව
අමතා
කියයි ගස
සමුගත යුතු ය ඔබ
සමු ගැනීමෙන් පවා”
මිහිදිනී, අද මම මේ ලිපිය අවසන් කරන්නේ ඔබගේ හෘදයනිවාසී මිතුරියක වන වර්ෂා ලියු පැදි තුනකින්. මට මේ කවිත් එහි අරුතත් දැනෙනවා. අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ මෙහි කියැවෙන ඒ නිවෙන දවස නේද? බුදුන් වහන්සේ ධරමාන සමයේ අපිත් එහි ජීවත් වන්නට ඇති. අර අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් කිව්වා වගේ බණත් අහන්නට ඇති. අදිකාරම්තුමා කියනවා වගේ අපට ඒවා ඒ කාලයේ අවබෝධ නොවන්ටත් ඇති. වර්ෂා පැණ ඇස මදි වී ද බුදු හාමුදුරුවනේ යනුවෙන් මෙහි මතු කොට තිබෙන්නේ ඒ ඇත්ත නේද?
ඇය අවසන අප කාගේත් ප්‍රාර්ථනය තවත් කවියකින් ප්‍රකාශයට පත් කරනවා. ඒ මුළු පද්‍ය පන්තිය තමයි මේ චාරිකා සටහන අවසන් කිරීම සඳහා මට ගන්නට සිතෙන්නේ. ඔන්න දැන් මම ඒ කවි තුන මෙතන ලියනවා.
“හැල්මේ දුර පියාඹා යන විට අහස
රිදුමක් සිත පිරේ වළකන්නෙමි කෙලෙස?
කවදා එයි ද පතනා ලස්සන දවස
නිවනින් නිවී නිවනා සසරේ පවස
අඳුරින් පිරෙන මොහොතක සංසාර වනේ
නිවනට ඇවිද යන පා පොඩි රැඳෙනු දැනේ
පැණ ඇස මදි වී ද බුදු හාමුදුරුවනේ
මට ඒ දවස්වල නිවෙනට නොහැකි වුණේ
එ දවස උනිම් නම් බුදු හිමි දකින්නෙමි
පිනි කැට ගෙනත් සිරිපා යුග තෙමන්නෙමි
අරමක සරන්නෙමි - පිරිතක් පුරන්නෙමි
මල් පෙත්තක් ව සිරිපද අස නිවෙන්නෙමි”
පැණ ඇස මදි වී ද බුදු හාමුදුරුවනේ
මට ඒ දවස්වල නිවෙනට නොහැකි වුණේ
එ දවස උනිම් නම් බුදු හිමි දකින්නෙමි
පිනි කැට ගෙනත් සිරිපා යුග තෙමන්නෙමි
අරමක සරන්නෙමි - පිරිතක් පුරන්නෙමි
මල් පෙත්තක් ව සිරිපද අස නිවෙන්නෙමි”
මේ නිවෙනු රිසි - සුහෘත් ගඟුල්
No comments:
Post a Comment