අථ ශ්‍රී මහාභාරත කථා - මේ උතුම් මහාභාරත කථාව යි!
“මිහිදිනී, මේ බදාදා කොහොම ද ඔයාගෙ වැඩ.”
“මොකක් හරි විශේෂ වැඩක් තියෙනවනං මට දවස සැලසුම් කර ගන්න පුළුවන්. ඉස්සෙල්ල මට ඔයා කියන්නකො ඇයි එහෙම අහන්නෙ කියලා.”
“මේකයි මිහිදිනී, ඔයා දන්නවනෙ සිනමා කාව්‍ය හා ටෙලි සිනමා කාව්‍ය සංසදය ගැන, අපේ තරුණ කණ්ඩායමක් අලුතින් පිහිටුවා ගත්ත.”
“ඔව් මම දන්නව. ඇයි ඒ ගොල්ලන්ගෙ එක වැඩ සටහනකට ඔයා මාවත් එක්කරගෙන ගියේ.”
“මෙහෙමයි මිහිදිනී, අපේ පරම්පරාවටම අයිති මේ කණ්ඩායම ලෝකයෙ කොතනක හරි තියෙන, සමාජගත කළොත් ලෝකයට වැඩක් වෙයි කියලා හිතන සිංහල හරි ඉංග්‍රීසි හරි හින්දී හරි මලයාලම් හරි සංස්කෘත හරි මොකක් හරි හොඳ චිත්‍රපටයක් වේවා ටෙලි නිර්මාණයක් වේවා ඒක ගැන මුලින් දේශනයක් එක්ක සාකච්ජාවකුත් සිද්ධ කරලා ඒ නිර්මාණ අපේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න සලස්වනවා. ඒකෙ එක වැඩ සටහනක් තියෙනවා, ඒ කියන්නෙ දේශනයක් තියෙනවා මේ බදාදා කොළඹ නවනගර සභා ශාලාවෙදි. එනව ද මාත් එක්ක ඒකට යන්න.”
“මන් එන්නැතුව කොහොම ද, අපේ සර්නෙ දේශනය කරන්නෙ. ඒ මහාභාරත ටෙලි වෘත්තාන්තය ගැනනෙ.”
“ඒ කියන්නෙ ළමයට ආරංචි වෙලා වැඩ සටහන ගැන.”
“ඉතින් ඔයාගෙ සර් කියන්නෙ දැන් මගෙත් සර්නෙ. මට ආරංචි වෙන් නැද්ද එතකොට. මන් අනිවාරෙන් ම එනවා ඔයත් එක්ක ඒකට යන්න.”
මේ වූකලී ගඟුල් මිහිදිනීගේ යථෝක්ත සංකථනයෙන් පසු එළැඹි එකී බදාදාව යි. එදින ඔවුන්ගේ ආචාර්යවරයා සිය දේශනයට පැමිණ සිටි පිරිසෙන් අවසර ගැනීමෙන් පසු සිය ප්‍රවේශය ගෙන පවත්වන ලද කතාවේ සාක්ෂිකරුවන් වීම සඳහා අපිදු දැන් යමු, ඒ නගරශාලා දේශනශාලාවට.
“මම මේ කතාව පළමු ව විඳගත්තේ මගේ සොහොයුරා වන සමන් සිත්තරා ඇතුළු සහෘදයන් සමග යි. මේ මහාභාරත ටෙලි වෘත්තාන්තයෙ කොටස් 94 ක් තියෙනවා. ශ්ලෝක ලක්ෂයක් තියෙන පර්ව හෙවත් කාණ්ඩ වශයෙන් සලකන්න පුළුවන් ප්‍රධාන කොටස් 18 කුත් ඒකෙම තවත් කාණ්ඩයක් කියලා කියන්න පුළුවන් හරිවංශයත් අන්තර්ගත, ව්‍යාස මහ ඍෂිවරයාට කර්තෘත්වය පැවරෙන දැනට ලෝකයෙ තියෙන ලොකුම වීරකාව්‍යය වන මහාභාරත කියන සංස්කෘත වීරකාව්‍යය තමයි මේකට මුල් වෙන්නෙ. භණ්ඩාර්කාර් ප්‍රාචීන පර්යේෂණ ආයතනය තමන්ගෙ පර්යේෂණ කාර්යයක් විදිහට තමයි මේ ටෙලි වෘත්තාන්තෙ ඉදිරිපත් කරන්නෙ. ප්‍රධාන වශයෙන් ආචාර්ය වී. එස්. සුඛ්තන්කර් - එස්. කේ. බෙල්වල්කාර් කියන සංස්කෘත විද්වතුන්ගෙ අධීක්ෂණය යටතෙ මේක අධ්‍යක්ෂණය කරන්නෙ බී. ආර්. චොප්රා සහ රවි චොප්රා කියන සහෝදරයන් දෙන්නා. ඔක්කොම දෙබස් ලියන්නෙ ආචාර්ය රහී මසූම් රේසා කියන සංස්කෘත පඬිවරයා. සියලු ම ගීත රචනා කරන්නෙ තවත් සංස්කෘත විද්වතෙක්. එතුමගෙ නම නරේන්ද්‍ර ශර්මා. ඒ වගෙ සංස්කෘත විද්වතුන් වගෙම භාරතීය ආගමික සංස්කෘතික පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන අය තමයි පසුබිමේ ඉන්නේ. කතාවට අවශ්‍ය නළුනිළියනුත් මේකට සම්බන්ධ වෙන්නෙ මහාභාරත වීරකාව්‍යය ගැන ලබපු අවබෝධයකුත් එක්ක. ඇතැම් දෙනා තමන් රඟපාපු චරිතය කතාවට විතරක් සීමා කරන්නෙ නැහැ. උදාහරණයක් විදිහට මේකෙ පංචපාණ්ඩවයන් අතර ඉන්න අර්ජුනට රඟපාපු මුසල්මානු තරුණයා තමන්ගෙ පෞද්ගලික ජීවිතේදිත් අර්ජුන කියන නම තමයි භාවිතයට ගන්නෙ. ඒක එක උදාහරණයක් විතරයි. ඒ වගෙම මහාත්මා ගාන්ධි චිත්‍රපටයෙ රඟපාපු රංගධරයගෙත් ඉදිරි ජීවිතය ගාන්ධි චරිතයෙන් පෝෂණය උනා කියන කාරණෙත් මෙතෙන්දි මම මතක් කරන්න කැමතියි.
මේ ටෙලි වෘත්තාන්තය පටන් ගන්නේ මහාභාරතේ ම කොටසක් වෙන භගවද්ගීතාවෙ එන ප්‍රසිද්ධ පාඨ දෙකකින්. ඒක හරිම දැනෙන විදිහට ගායනා කරනවා සුගායනවේදී මහේන්ද්‍ර කපූර්. මේකෙ එන ඔක්කොම ගීත සංගීතවත් කරන්නේ සංගීතඥ රාජ් කමල්. මන් කැමතියි ඒකෙ මුලින් ම යන පද්‍යය මෙතෙන්දි ඒකෙ සිංහල අර්ථයත් එක්ක දක්වන්න. ”
”පරිත්‍රාණාය සාධූනාං විනාශාය ච දුෂ්කෘතාං
ධර්මසංස්ථාපනාර්ථාය සංභවාමි යුගේ යුගේ
සජ්ජනයන් සැමතින් ම රකිනු පිණිස ද දුෂ්ට විනාශනය පිණිස ද ධර්මය මනාව පිහිටුවනු පිණිස ද මම යුගයක් යුගයක් පාසා පහළ වෙමි.“
“මේක තමයි මේ මුළු කතාව ම සම්බන්ධ කරමින් හුයක් වගේ ඉස්සරහට ගෙන යන පණිවිඩය වෙන්නෙ. ඒ වගෙ ම හැම කථාංගයක් ම ආරම්භ වෙන්නෙ කාල චක්‍රය කරන ප්‍රකාශයකින්. ඇත්තට ම කාල චක්‍රය කියලා වෙන ම ලොකුවට සංකල්පයක් අපට මහාභාරතේ දී හම්බ වෙන්නෙ නැහැ. කාලඃ කරෝති භූතානි - කාලය සියලු භූත සම්භවය සිදු කරයි යන අදහස දෙන පද්‍යයක් සහ තවත් පද්‍ය තුන හතරක තමයි මේ කාලය ගැන සඳහන් වෙන්නෙ. හැබැයි මේ නිර්මාණකරුවන් බොහොම නිර්මාණශීලී විදිහට කාල චක්‍ර සංකල්පය මේකට සම්බන්ධ කරලා තියෙනවා, මුළු ටෙලි වෘත්තාන්තයට ම ලොකු එළියක් වෙන විදිහට.
මහාභාරත කතාව ආරම්භ වෙන්නෙ දුෂ්‍යන්ත ශකුන්තලා පුත්‍ර භරත හා බැඳුණු සිදුවීම් දාමයකින්. රාජ්‍යපද ප්‍රාප්තියට පත් ඔහු රටට ජනතාවට අවශ්‍ය ම කරන පාලකයෙක් විදිහට කටයුතු කරනවා. එහෙත් සිය පුතුන් අතර තමාගෙන් පසු රාජ්‍යය පැවරීමට යෝග්‍ය එකම පුතෙක්වත් නොමැත යන කල්පනය ඔහුට වේදනාකාරී අද්දැකීමක් වෙනවා. මේ ගැන ඔහු කණ්ව මහ ඍෂිවරයාට දන්වන්නේ ද සංවේගයෙන්. ඒ මොහොතේ කණ්ව මෙසේ කියනවා.
ඔබ අප්‍රමාණ රාජ්‍යයන් දිනා ගැනීමට සමත් වුණත් ඔබ, ඔබ දිනා ගැන්මට සමත් වී නැහැ. දැන් තමා දිනා ගැන්මට කටයුතු කරන්න.
මේ ටෙලි වෘත්තාන්තය වරින්වර අප අබිමුව මේ පණිවිඩය තබනවා. ඒ ප්‍රකාශය භරතට විතරක් නෙමෙයි ඔබ අප කාටත් වැදගත්.
භරතගෙන් පසු කිහිප දෙනෙක් රාජ්‍ය පාලනය කළත් ඒවා බලවත් යුග නොවයි. ඒක නිසා පසුව එන ශාන්තනුගේ යුගය ගැන කතා කිරීමට අධ්‍යක්ෂවරුන් දෙන්නා ඉදිරිපත් වෙනවා. ඒ ශාන්තනු බලවත් නරපතියකු් වූ නිසා නෙමෙයි ඔහුගේ ක්‍රියාකාරිත්ව රාජ්‍යයේ පැවැත්මට සිදු කළ බලපෑම් නිස යි. ඔහු ලෞකික ආශාවන් ළඟ රැඳෙන චරිතයක් ලෙස යි නිරූපිත. ගංගා නම් ගඟ මැදින් මතු වන ගංගාගේ රූප ශ්‍රීයෙන් වශීකෘත වන ශාන්තනුට ඇය විවාහ කොට ගැන්මට අවශ්‍ය වෙනවා. ඇය ඊට එකගත්වය පළ කරන්නේ රජුට එක්තරා කොන්දේසියක් පනවමින්. ඒ තමයි ගංගා කරන කියන කිසිම දෙයක් ගැන ශාන්තනු ඇගෙන් ප්‍රශ්න කිරීමට නොයාම. එසේ කළහොත් ඇය ඔහුගෙන් වෙන් ව යන බව ඇය අවධාරණයෙන් කියා සිටිනවා. ඒ සියල්ලට එකග වන ශාන්තනු, ගංගා විවාහ කොට ගන්නවා. ඔහු රාජ්‍ය කටයුතු පවා අමතක කොට ගංගා සමග ගත කරන ජීවිතයට මුල් තැන දෙනවා. කාලය ගෙවී යනවා. ගංගා තමා ලද පළමු දරුවා ගංගා නම් ගඟට දමනවා. ඈ තමාගෙන් වෙන් ව යතැයි යන හැඟීම නිසා ශාන්තනු ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙත් මේ සිදුවීමෙන් මහත් වේදනාවකට පත් වන ශාන්තනු ඍෂිවරයකු හමු වීමට ගොස් ඔහුගෙන් උපදෙස් පතනවා. ඒ ඍෂිවරයා පවසන්නේ පහත සඳහන් වචන යි.
කිසියම් දෙයක් කිරීමට පෙර එය කළ යුතු ද නොකළ යුතු ද යන්න ගැන හොඳින් සිතා බලන්න.
මන් පහුගිය දිනවල මේ කතාව නැවතත් බලන්නට ගත්තා මුල පටන්. ඒ බිරිඳ, නංගී, දුව සහ පුතා සමග. මෙයට අවුරුදු තිහකට තිස්පහකට පෙර බැලූ අවස්ථාවේ වගෙම එය බලන වාරයක් පාසා එහි හැම කොටසකින් ම අලුතින් අපේ ජීවිතවලට එකතු කරගන්නට දෙයක් තිබෙනවා. දැන් අපි ආයෙත් කතාවට යමු. ගංගා මෙසේ දරුවන් සත් දෙනෙකු ගඟට දමන තෙක් ශාන්තනු අපහසුවෙන් මුත් කිසිවක් නොකියා එය දරා ගන්නවා. මේ අවස්ථාවේ අපේ දුව මට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ගංගා කිව්වේ තමා කරන කියන කිසිම දෙයක් ගැන ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන්න එපා යනුවෙන් බැවින් රජුට ඇයට කිසිවක් නොකියා ඇය පසුපස ගොස් සිය දරුවන් ගොඩට ගන්නට ඉඩ තිබුණා නේද කියා යි. දුවගේ ප්‍රශ්නයත් අපට ඉවත දමන්නට බැහැ. ඒ මේ ප්‍රශ්නය දිහා වෙනම පැත්තකින් බැලීමක්. ශාන්තනු සිය අටවන දරුවා ගඟට දමන අවස්ථාවේ තමයි කෑ ගසා කියන්නේ මේ ක්‍රෑර ක්‍රියාව නවත්තන මෙන්. ගංගා සිය ප්‍රතිඥාව මතක් කොට එම දරුවා රජුට බාර දී වෙන් ව යනවා. වෙන් ව යන මොහොතේ ඇය තමන් නදියට දැම්මේ, ශාපයක් නිසා මනුෂ්‍යාත්ම භාවයට පත් දිව්‍යමය කුමරුන් බවත් ඔවුන් ඉන් මිදෙන්නේ මෙසේ කිරීමෙන් බවත් පවසනවා. දේවව්‍රත් නමින් ප්‍රසිද්ධ වන ඉතුරු වන දරුවා තමයි පසුව ගංගාපුත්‍ර භීෂ්ම නමින් මහාභාරතයේ අවියෝජනීය චරිතයක් වී වරින් වර අපට හමු වන්නේ. මේ දෙවන කොටස අවසන් වන්නේ පහත සඳහන් ප්‍රකාශයෙන්.
අම්මා මහපොළොව වගෙයි.
ශාන්තනු දෙවන වතාවටත් ස්ත්‍රී වසඟයට පත් වෙනවා. ඒ සත්‍යවතී නම් තරුණියට ආසක්ත වෙමින්. ඉන් මහත් අසාධාරණයට ලක් වන්නේ දේවව්‍රත්. රාජ්‍ය උරුමය අතහැර අඛණ්ඩ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන බවත් පියරජු නිසා සත්‍යවතියට ලැබෙන දරුවාට රාජ්‍ය උරුමය පැවරීමටත් ඔහු එකඟ වෙනවා. මහාභාරතයේ සිවුවැනි කථාංගය ආරම්භ වන්නේ කාලචක්‍රයේ මේ ප්‍රකාශයෙන්. ඒ ගංගාපුත්‍ර භීෂ්ම ගැන යි. සිනමාවේදීන්ට මේ ප්‍රකාශය කොහොම දැනෙනවා ද කියන්නට මා දන්නේ නැහැ. මම සාහිත්‍යකරුවෙක්, ඒ වගෙම සාහිත්‍ය ගුරුවරයෙක්. ඒ දෘෂ්ටි කෝණයෙන් මම මට දැනෙන දෙය කියනවා. සිනමාවට ලැදි, සිනමාව ගැන දන්නා ඔබ සිනමානුරූපී ව මා ඉදිරිපත් කරන අදහස් ග්‍රහණය කර ගන්නා මෙන් මා ඉල්ලා සිටිනවා.
තමා කිසිවකුට හෝ කිසිවකට සම්බන්ධ නැති මුත් ගංගාපුත්‍ර භීෂ්ම නමැති මනුෂ්‍යයාට ගරු කරනවා. ඒ ඔහු විශ්වයේ සලකුණු තැබූ මිනිසකු නිස යි.
මහාභාරතය අපට කියන්නේ ඉපිද මියයන අප්‍රමාණ මිනිසුන් අතර කෙනෙකු වීමට නොව විශ්වයේ සලකුණු තබන මිනිසකු වන ලෙසට යි. මෙතැන සිටින නිර්මාණකරුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබගේ කලා නිර්මාණය එබඳු දිශානතියක් වෙතට යොමු කරන ලෙසට යි.
අපට මේ කොටසේ දී කුල්ගුරු ක්‍රීපාචාර්ය මෙන් ම මහාධනුර්ධර ද්‍රෝණාචාර්ය ද හමු වෙනවා. භීෂ්ම පවසන්නේ ක්‍රීප - ද්‍රෝණ බඳු මිනිසුන් සිටින යුගයක ජිවත් වන්නට ලැබීමත් භාග්‍යයක් බව යි. ඒක අපට අපට අපේ යුගයේ දී අදිකාරම්තුමා - සමන් සිත්තරා වැනි සුවිශිෂ්ට චරිත ඇසුරු කරන්නට ලැබුණා වගෙයි.
මේ ටෙලි වෘත්තාන්තය මුලින් ම ඉන්දියාවෙ දූරදර්ශන් නැත්නම් රූපවාහිනී සේවයෙ විකාශනය වෙන කොට ඒ වෙලාවට මුළු දිල්ලි නගරයම ඔක්කොම වැඩ නවත්තලා මේ කතාව තමයි බලලා තියෙන්නේ. ප්‍රබල විදිහට ශ්‍රී ක්‍රිෂ්ණ චරිතය දිගින් දිගට ම ඉස්මතු කරමින් කතාව ගලාගෙන යනවා. මේකෙ පළමුවැනි කතාංගයෙ දිම කියැවෙනවා ඇතැම් චරිතයක උපත කියන්නෙ ම අයුක්තියේ මරණය බව. මේ කියන්නෙ ශ්‍රී ක්‍රිෂ්ණයන් ගැන. මුලදීම අයහපතේ - දුෂ්ටත්වයේ සංකේතය විදිහට මතු කරන්නෙ කංස යි. ලෝකයට අයහපත - අසතුට ගෙන දෙන්නෙ ඒ වගෙ දුෂ්ට බලවේග ්‍යි. මේකෙ එක තැනකදි කියැවෙනවා දේවකීගේ පුත්‍රයාගේ ක්‍රිෂ්ණගේ උපත යනු කංසගේ මරණය බව, මථුරාවේ නිදහස බව. ක්‍රිෂ්ණගේ දෙමව්පියන් වන්නේ වසුදේව සහ දේවකී යි. එහෙත් ඒ දෙදෙනාට සිය පුතු රැක ගැන්මට පුළුවන්කමක් නැහැ. ඒ ඔවුන් කංස විසින් සිරගත කොට තිබෙන නිස යි. ඒ නිසා නන්ද ගෝපාලට රහසිගත ව සිය පුතා පවරා දෙනවා ඔවුන්, ඔබ බිරිඳ යශෝදා සමග ඔහු ආරක්ෂා කොට ගන්නැයි යන ඉල්ලීම කරමින්.. ඒ මොහොතේ නන්ද පවසන මේ වදන් ප්‍රේක්ෂක අපේ සිත්වලට තදින් ම දැනෙනවා.
දැන් වාසුදේව සහ දේවකී යන ඔබ දෙදෙනාගේ කාර්යය අවසන්. ඔබ දෙදෙනා දැන් ඒ දරුවා ලෝකයට දී අවසාන යි. දැන් ඇත්තේ නන්ද සහ යශෝදා යන අප දෙදෙනාට අයත් රාජකාරිය යි. ඒ අනාගතය උදෙසා මේ දරුවා ආරක්ෂා කොට ගැනීම යි.
අපට වරින්වර සදුක්ති හමු වෙනවා මේ කතාවේදී. මන් කැමතියි ඉන් කීපයක් උපුටා දක්වන්නට.
හැඬීම කිසිදු ප්‍රශ්නයකට පිළිතුර නොවේ.
අපට ඍතු පාලනය කළ නොහැකි ය. මන්ද ඒවා අපේ නොවන බැවිනි.
තමාට තමාවත් පාලනය කරගත නොහැකි තැනැත්තා රාජ්‍යයක් කෙසේ පාලනය කරන්න ද?
ඔබගේ තනතුර මෙතනට ගේන්නට එපා. මේ ඔබ නිදන කුටිය යි. ඔබේ කිරුළ හිසින් ඉවත් කරන්න. එය තිබෙන තාක් ඔබේ හිස රිදේවි.
ගවදෙනට එරෙන කිරි මුලින් දිය යුත්තේ ඇගේ පැටවුන්ට යි. එයින් පසු ව යි, මිනිස් දරුවන් වන අප ඒවා ලබා ගත යුත්තේ.
වියෝගය යනු අපගේ ජීවිතයේ ම අංගයකි.
අපට වෙන් වීමට සිදු වුවත් එය වන්නේ ලෝකයේ යහපත සඳහා නම් වෙන් ව යනු මැනවි.
අපි අපේ ක්‍රියා ගැන වගකිව යුත්තෝ වෙමු.
මහාභාරත ටෙලි වෘත්තාන්තය යනු මහාභාරත වීරකාව්‍යය ම නොවේ. වීරකාව්‍යයට හානි නොකොට ඒ කතාවේ ගලා යාමට බාධා නොවන සේ සම්බන්ධ කොටගත් ප්‍රකාශවලින් මේ ටෙලි වෘත්තාන්තය සමන්විත යි. මා උපුටා දැක්වූයේ ද එවන් තැන් කිහිපයක්. සිනමාවේදීන් - සාහිත්‍යකරුවන් වන ඔබට ද ඒ නිදහස නිරවද්‍ය ආකාරයෙන් භාවිතයට ගත හැකි ය යන කරුණ අමතක කරන්නට එපා.
මේ කතාවේ 20 වන කොටස දක්වා තැනින් තැන උපුටා ගැනීම් සිදුකළ නිසා මම කැමතියි දැන් එහි 20 වැනි කතාංගය ළඟ මොහොතක් නතර වී ඔබ සමග මා විඳි අරුත් මිහිර සහිත සිනමා වින්දනය බෙදා ගන්නට. මහාභාරතය සේ ම එහි අන්තර්ගත භීෂ්ම පර්වයේ එන භගවද්ගීතාව ද වඩාත් වැදගත් කොට සලකන්නේ භක්ති මාර්ගය නොව ඥාන මාර්ගය යි. ගෞතම බුදුන් වහන්සේ අනුදත් මාර්ගය වූයේ ද එය යි. ගීතාවේ නිරූපිත දෙවියන් වන ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ භක්ති, කර්ම සහ ඥාන යන මාර්ග තුනෙන් නිත්‍යයුක්ත ඥානයෝගියා තමාට වඩාත් ප්‍රිය බව යි. මම කැමතියි ඒ ගීතා පාඨය ඔබේ දැනුමට එකතු කරන්න.
තේෂාං ඥානී නිත්‍යයුක්ත ඒකභක්තිර්විශිෂ්‍යතේ
ප්‍රියෝ හි ඥානිනො‘ත්‍යර්ථමහං ස ච මම ප්‍රියඃ
ශ්‍රී ක්‍රිෂ්ණ චරිතය හරහා මේ සිනමාවේදීන් අපේ ජීවිතයට වැදගත් තවදුරටත් සිතා බලා තීරණ ගැන්මට අප යොමු කරන ප්‍රකාශ එකතු කරනවා. මහාභාරත කතාව විකාසනය කිරීමේ දී පසුව ඒවා ඉංග්‍රීසි උපසිරසි වශයෙන් ද ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු වරෙක පවසන්නේ ඕනෑම දෙයක් කිරීමට සුදුසු කාලයක් සහ ස්ථානයක් ඇති බව යි.
There is a time and place for everything.
මේ කොටසේ දී අපට ළමාවියේ සිටින පාණ්ඩව කුමාරවරුන් පස්දෙනා සහ දුර්යෝධන ප්‍රධාන කෞරව කුමාරවරුන් රැස ක්‍රීඩා කරමින් සිටින දර්ශනයක් දකින්නට ලැබෙනවා. ඔවුන් සෙල්ලම් කරන පන්දුව අසල ඇති විසල් ළිඳකට වැටෙනවා. ඒ දරුවන් අතරින් කිසි කෙනෙක් ඒ පන්දුව උඩට ගැන්මට සමත් වන්නේ නැහැ. මේ අවස්ථාවේ එතනට එන ප්‍රතාපවත් ඍෂිවරයෙක් පන්දුව අරන් දී ඒ රජකුමරුන් අබිමුව මේ ප්‍රශ්නය තබනවා.
පන්දුවක් ආරක්ෂා කොට ගත නොහැකි ඔබ රාජ්‍යයක් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?
පසුව ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ ඉල්ලීම පරිදි මේ දරුවන්ට අවිසිප් උගන්වන ආචාර්යවරයා බවට පත්වන්නේ ඒ ඍෂිවරයා යි. ඒ අන් කිසිවකු නොව මේ කතාවේ දී අපට වරින් වර හමු වන අතිප්‍රබල චරිතයක් වන ද්‍රෝණාචාර්ය යි.
මහාභාරතය, කාන්තාව ඇය රැඳවිය හැකි ඉහළ ම තැන රඳවනවා. 21 වන කතා අංගයේ ගන්ධාරී චරිතය නිරූපණය කොට ඇති ආකාරය ඊට එක නිදසුනක්. ඇය සිය සැමියා වේවා - පුතුන් වේවා කරන්නේ වරදක් නම් ඒවා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඇය ප්‍රසිද්ධියේ මෙන් ම අප්‍රසිද්ධියේ ද එවැනි වරදට එරෙහි ව කටයුතු කරනවා. සිය අන්ධ ස්වාමියා අනුව යමින් ඈ සිය දෑස් බැඳගෙන ජීවත් වීම සිදු නොකළා නම් ඇයට සිය සැමියා නිවැරදි තත්ත්වයට ගැනීමට හැකි වේය යන ප්‍රකාශය ද අපට මෙහි දී හමු වෙනවා.
අනතුරුව අපට දක්නට ලැබෙන්නේ අවිසිප් පුහුණු වීමට පෙර සිය අවිවලට ආචාර කරන පාණ්ඩව සහ කෞරව කුමාරවරුන්. ඔවුන් සිය අවිවලට නමස්කාර කොට පවසන්නේ අපට වචනයෙන් සහ ක්‍රියාවෙන් යහපත දායාද කරන්නැයි කියා යි. එසේ ම අපට විනය ප්‍රදානය කරන්නැයි කියා යි. මට සිතෙන්නේ ලොව වර්තමාන සමාජයේ සියලු හමුදාවල අයට ද මේ පාඩම ඉගැන්විය යුතු බව යි. සිනමාවට සම්බන්ධ අනාගතයේ එහි නියැලීමට අපේක්ෂා කරන මේ පිරිසෙන් මා ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ඔබගේ විශේෂ අවධානය යොමු කරන්නට කියා යි. ඔබගේ නිර්මාණ මාර්ගයෙන් මේ පණිවිඩය සමාජගත කරන්නට කියා යි.
මා කලින් කී කාලචක්‍රය මේ ටෙලි වෘත්තාන්තයේ දී වරින වර අපට හමු වෙනවා. 23 කථාංගය ආරම්භයේ අපට මෙවැනි කාලචක්‍ර ප්‍රකාශයක් හමු වෙනවා.
ඔබ වතුරට විස මිශ්‍ර කළොත් ඒ වතුර විස වේවි. ඔබ ඒ වතුරට අමෘතය මිශ්‍ර කළහොත් ඒ වතුර අමාජලය වේවි.
මහාභාරතයේ දී හමු වන කර්ණ ද සුවිශේෂ චරිතයක්. ගංගාපුත්‍ර භිෂ්ම මෙන් ම ඔහු ද ධනුශ්ශිල්පය ඉගෙන ගන්නේ දේව කුලකය නියෝජනය කරන පරශුරාමයන් වෙතින්. කර්ණට කළ ඉගැන්වීම අවසන පරශුරාම පවසන්නේනේ ශ්‍රේෂ්ඨ ධනුර්ධරයකු වන ලෙස යි.
ශ්‍රේෂ්ඨ ධනුර්ධරෝ භව.
එසේ ම මෙතැන දී ඔහු තවත් ප්‍රකාශයක් කරනවා. ඒ ශ්‍රේෂ්ඨ ධනුර්ධරයන් ශිෂ්ටාචාරයක පැවැත්මට එරෙහි ව හී නොයොදන බව යි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ද ශිෂ්ටාචාරයක පැවැත්ම තහවුරු කිරීම උදෙසා මිස ශිෂ්ටාචාරයක් විනාශ කිරීම උදෙසා කිසිවිටෙකත් ඔබගේ සිනමා ශක්‍යතා භාවිතයට නොගන්නා ලෙස යි. මහාභාරතයේ එන ශිෂ්ටාචාර සංහාරක පක්ෂය නියෝජනය කරන ශකුනි බඳු අය ඔබට කළ යුතු - නොකළ යුතු දේ කියා දෙන්නට ඒවි. එහි දී කළ යුත්ත නොකළ යුත්ත ගැන තීරණ ගත යුත්තේ ඔබගේ හෘදය සාක්ෂියට අනුව මිස ශකුනිලාගේ වචනවලට අනුව නොවේ. ශිෂ්ටාචාර සංරක්ෂකයකු වීමේ වාසනා ගුණය තිබූ දුර්යෝධන විනාශ වූයේ ශකුනිගේ දුරුපදේශ නිසා ය යන කරුණත් ඔබ මහාභාරතයෙන් ඉගෙන ගත යුතු පාඩමක්.
මම දැන් කථාංග දෙකක් ඉක්මවා මහාභාරතයේ 26 වන කොටසට එනවා. ඒ මට ලැබී ඇති කාලයටත් ඔබටත් උපරිම සාධාරණය ඉෂ්ට කිරීම මගේ අපේක්ෂාව නිස යි. ඒ කොටසේ කියවෙන්නේ අඳුර සහ ආලෝකය අතර සටන යි. මෙතනදී ආලෝකයේ නියෝජිතයා වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. කංස අන්ධකාරයේ නියෝජිතයා යි. හොඳ සිනමාකරුවෙක් කියන්නේ ආලෝකයේ නියෝජිතයකුට මෙන් ම ආලෝකයේ රණකාමියකුට යි. ඔබ සිනමාව නමැති අවිය අතට අරගෙන අඳුරට එරෙහි ව සටන් කරන ආලෝකයේ රණකාමියෙක් වෙන්න.
අලුත් දෙයක් පටන් ගන්න යන ඔබ අප කාටත් මුහුණ දීමට සිදු වන දේවල් තිබෙනවා. නව දෙය පටන් ගන්නට යාම උදෙසා ඇතැම් විට අපට පැරණි දෙය අතහැර දැමීමට සිදු වේවි. සමහර විට අපි ඉතාම ආදරය කරන දෙයින් විතරක් නෙමෙයි, ඉතාම ආදරය කරන අයගෙන් ඈත් වීමටත් සිදු වේවි.
මහාභාරතයේ 28 වැනි කොටසේ දී විදර්භ දේශයේ සිටින රුක්මණී සිය පෙම්වතා වන ශ්‍රී ක්‍රිෂ්ණට යවන පෙම්පත ගැන මම මීළඟට කතා කරන්නට කැමතියි. කාලචක්‍රය පවසන්නේ මේ පෙම්පත සමාජවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් බව යි. රුක්මණීගේ කැමැත්ත නොතකා ඇගේ පියා සහ සොහොයුරා ඇය ශිශුපාල රජුට විවාහ කොට දීමට ගන්නා තීරණය කාල චක්‍රයේ විවේචනයට ලක් වෙනවා. කුමරියගේ කැමැත්ත නොතකා ඇය ශිශුපාල රජුට විවාහ කොට දීමට ගත් තීරණය අපට ද අනුමත කරන්නට බැහැ. මන්ද ඇයට ද පිරිමියාට මෙන් ම තම ජීවිතය ගැන ස්වාධීන ව තීරණ ගැන්මේ අයිතිය තියෙන නිස යි. එය ශුද්ධ වූ අයිතියක්. එය උල්ලංඝනය කිරීමට - කිලිටි කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. මේ අවස්ථාවේ ක්‍රිෂ්ණ සොයුරු බලරාම ප්‍රශ්න කරන්නේ විදර්භ දේශයේ තරුණියකට තමා පිළිබඳ තීරණ ගැනීමේ අයිතියක් නැද්ද කියා යි. එය නොතකා ක්‍රියා කරන සියලු ම දෙනාට සංස්කෘතියේ පාඩම ඉගැන්විය යුතු යයි බලරාම කියා සිටිනවා. ඔහු එසේ කියා නිහඬ ව සිටින්නේ නැහැ. රුක්මණී මුදා ගැන්ම පිළිබඳ වන ක්‍රියාන්විතයේ ප්‍රබල චරිතයක් ව ක්‍රියා කරනවා. රුක්මණී සිය විමුක්තිය - මිදීම සඳහා දෙවොලකට එනවා, සිය පරිවාර කාන්තාවන් සමග. ඇය වටපිට බලන්නේ සිය පෙම්වතා කොතනින් හෝ මතු වෙතියි යන බලවත් විශ්වාසයෙන්. මේ මොහොතේ පරිවාර කාන්තාවක් ඇගෙන් අසන්නේ කුමරිය ඔබ මේ සා බලන්නේ කුමක් දෙස ද කියා යි. රුක්මණී ඊට දෙන්නේ මේ පිළිතුර යි.
මා බලන්නේ මගේ අනාගතය දෙස යි.
මිතුරනි මිතුරියනි, මම ඊළඟට කතා කරන්නේ මෙහි 29 වැනි කථාංගය ගැන යි. එය ආරම්භ වන්නේ කාලචක්‍රය කරන මේ ප්‍රකාශයෙන්.
සත්‍යය යම් තැනක ද එතැන ඇත්තේ ආගම යි, ධර්මය යි.
සත්‍යයට - දහමට අනුව ක්‍රියා නොකරන තැනැත්තා වන්නේ ශකුනි යි. එහෙත් දුර්යෝධනට රාජ්‍යය ලබාදීම සඳහා ශකුනි විසින් කරනු ලබන කුමන්ත්‍රණ කර්ණ අනුමත කරන්නේ නැහැ. පාණ්ඩවයන් ජයගත යුත්තේ ඔවුනට විරුද්ධ ව කුමන්ත්‍රණ දියත් කිරීමෙන් නොව ඔවුනට ඍජු ව මුහුණ දීමෙන් බව කර්ණ පවසනවා. එසේ ම කුමන්ත්‍රණවලින් ලබන ජය ජයක් නොවන බව ද ඔහු කියා සිටිනවා.
මහාභාරතයේ 30 වන කථාංගය ආරම්භයේ එන කාලචක්‍ර ප්‍රකාශය සිනමාවට කවර හෝ ආකාරයකින් සම්බන්ධ ඔබ සියලු දෙනාට ද වැදගත්. එහිදී කාලචක්‍රය මෙසේ සඳහන් කරනවා.
මම කවියෙක්මි. මට සත්‍යය දෙස විවිධ පැතිවලින් බැලීමේ හැකියාව තිබේ. මම කැඩපතක්මි. මගේ කැඩපතට එබී ඔබට තමා දැකගත හැකි ය.
ඔබ ද කාලචක්‍රය මෙන් විය යුතු යි. විවිධ පැතිවලින් සත්‍යය අවලෝකනය කොට එසේ දක්නා සත්‍යය කලා මාධ්‍යයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට ඔබට හැකි විය යුතු යි. මහාභාරතයේ එන මහා ප්‍රඥාවන්තයා වන විදුරගේ ඇස අපට අවශ්‍ය වන්නේ ඒ සඳහා යි. අනාගත විපත් පවා කල් තියා හඳුනා ගන්නේ ඔහු යි. වාරාණාවත ප්‍රදේශයේ ඉටි මාලිගාවක් ඉඳි කොට පංච පාණ්ඩවයන් ඔවුන්ගේ මව වන කුන්තී බිසව ද සමග මරාදැමීමට ශකුනි කරන කුමන්ත්‍රණය කල්තියා දැන ගන්නේ විදුර යි. ඔහු සංකේත ඇසුරින් පවසන අදහස් පවා වහා ග්‍රහණය කොට ගන්නේ යුධිෂ්ඨිර යි. මේ අනුව අදාළ කුමන්ත්‍රණය සිදු කිරීමට පෙර ඉටි මැදුරින් පැන යායුතු බව ඔහු පවසනවා. මේ මොහොතේ ප්‍රශ්නයට මුහුණ නොදී පැන යාම දුර්වලයන්ගේ ක්‍රියාවක් නොවේ දැයි අර්ජුන විමසූ විට යුධිෂ්ඨිර පවසන්නේ මෙය පැනයාමක් නොව අනාගතයට වඩා හොඳින් මුහුණ දෙනු පිණිස වන නික්ම යාමක් බව යි. මෙයිනික්බිති එන කොටසේ කියවෙන පරිදි පංචපාණ්ඩවයන් දවාලීම සඳහා කළ කුමන්ත්‍රණය කාලචක්‍රයට රහසක් වන්නේ නැහැ. එහෙත් කාලචක්‍රය කරන්නේ සිදුවීමවලට මැදිහත් වීම නොව ඒවා අවලෝකනය කිරීම යි. මෙහිදී කාලචක්‍ර ප්‍රකාශය වන්නේ මේ කුමන්ත්‍රණකාරී ගින්න අනාගතය උදෙසා පදනම දැමීමක් ලෙස යි. ඒ අනුව අනාගතය උදෙසා වන පදනම දමන්නේ ඒ කුරිරු වර්තමානය යි. සිනමාකරුවන් වන ඔබ ද කළ යුත්තේ ඔබ ජීවත් වන හොඳ සහ නරක යන දෙකේ ම සම්මිශ්‍රණයක් වන මේ වර්තමානයේ සිට අනාගතය උදෙසා පදනම් දැමීම යි.
මේ කුමන්ත්‍රණය හෙළි වූ මොහොතේ භීම මෙන් ම අර්ජුන බලවත් කෝපයට පත් වෙනවා. කුමන්ත්‍රණකරුවන් ගැන ඒ දෙදෙනා කතා කරන්නේ අතිමහත් ක්‍රෝධයකින්. මේ අවස්ථාවේ යුධිෂ්ඨිර පවසන්නේ ක්‍රෝධය වීරයන්ගේ අවියක් නොවන බව යි. එය කිසිසේත් ම වීරයන්ට නොගැළපෙන දෙයක් බව යි. මහාභාරතීය භගවද්ගීතාවේ එන මෙතැනට ගැළපෙන පද්‍යයක් ඔබගේ දැනුම සඳහා එහි සිංහල අර්ථයත් සමග සම්බන්ධ කරන්නට මම කැමතියි.
ක්‍රෝධාද් භවති සම්මෝහඃ සම්මෝහාත් ස්මෘතිවිභ්‍රමඃ
ස්මෘතිභ්‍රංශාද් බුද්ධිනාශෝ බුද්ධිනාශාත් ප්‍රණශ්‍යති
මෙහි කියැවෙන්නේ ක්‍රෝධයෙන් මුළාවත් මුළාවෙන් සිහිය අවුල් වීමත් සිහිය අවුල් වීමෙන් බුද්ධි නාශයත් බුද්ධි විනාශයෙන් සියල්ල විනාශ වීමත් සිදු වන බව යි. මේ බව දකිනා ප්‍රඥාවන්තයා ක්‍රෝධයට තමා ස්පර්ශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. සිනමාවේදියා ද සිය කලා කෘත්‍යය කළ යුත්තේ පුද්ගලයන් හෝ සමාජය ගැන කවර හේතුවක් නිසාවත් කළ කිරෙන්නේ නැතුව ක්‍රෝධයෙන් වියුක්ත සිතකිනු යි.
33 වන කථාංගයේ මට වඩාත් දැනුණු තැන වන්නේ මාතෘ ප්‍රේමයේ මහදර්ථය තහවුරු කිරීමට දරා ඇති ප්‍රයත්න යි. එහි කියැවෙන්නේ අන් කිසිවෙකුට වඩා මවකට දරුවා පිළිබඳ අයිතියක් ඇති බව යි. එසේ ම මවකගේ ආදරය විශ්වීය බවත් එයට වඩා උසස් අන් කිසිවක් නොමැති බවත් එය අන් කිසිවක් සමග සන්සන්දනය කළ නොහැකි බවත් මෙහි කියවෙනවා. මහාරාණි ගන්ධාරී - මහාරාණී කුන්තී මෙන් ම භීමපත්නී හිඩිම්බා ද මේ විශ්වීය ආදරය සංකේතවත් කරන අවස්ථා අපට මේ ටෙලි වෘත්තාන්තයෙන් දැකගත හැකි යි. ඉටි මැදුරෙන් පැමිණ වෙස්වළා සිටි කුන්තී සහ පංචපාණ්ඩවයනට සෙවන දුන් බ්‍රාහ්මණ පවුල රකුස් උවදුරක් නිසා මහත් විපතකට මුහුණ දෙන මොහොතේ ඒ විපතින් ඔවුන් මුදවා ගැනීම සඳහා ඒ පවුලේ ගෘහමූලිකයා වෙනුවට සිය පුතකු යැවීමට තීරණය කරන්නේ කුන්තී නම් ශ්‍රේෂ්ඨ මාතාව යි. ඇය මෙසේ පවසනවා.
දෙවියන් මට දරුවන් පස්දෙනෙක් දී තිබෙනවා. එයින් එක් කෙනෙක් මට අහිමි වුණත් තව හතර දෙනෙක් ඉන්නවා. ඒත් මේ ගෙදර තත්ත්වය ඊට වෙනස්. ගෘහමූලිකයා වන ඔබ නැති වුණොත් මේ මුළු ගෙදර ම බිඳ වැටෙනවා. එහෙයින් මේ සඳහා යන්නේ මගේ පුතෙක්. මගේ තීරණය එය යි.
මේ අවස්ථාව ගැන කාලචක්‍රය පවසන්නේ කුන්තීගේ ප්‍රකාශය නිසා මුළු ඉන්දියානු ඉතිහාසය ඇගේ තීරණයට හිස නවන බව යි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ද ඔබේ සිනමා කාව්‍ය මාර්ගයෙන් ද ඒ මාතෘත්වය නිරූපණය කරන ලෙස යි.
කුන්තී බකාසුර නම් ප්‍රචණ්ඩ රකුසා වෙත යැවීම සඳහා තෝරා ගන්නේ සිය පුතුන් අතර වඩාත් ශක්තිවන්තයා ලෙස සැලකෙන භීම යි. මේ මොහොතේ යුධිෂ්ඨිර පවසන්නේ පවුලේ ජ්‍යෙෂ්ඨ පුතුයා වශයෙන් ඒ අවස්ථාව හිමි විය යුත්තේ තමාට බව යි. මේ මොහොතේ ද කුන්තී කරන්නේ ඉතිහාසගත වන ප්‍රකාශයක්.
ඔබ මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා පමණක් නොව හස්තිනාපුරයේ කිරුළ හිමි රජු යි.
අනෙක් සොහොයුරන් තිදෙනා ද රකුසා වෙත යාමට ඇති කැමැත්ත ගැන පැවසුවත් භීම අවධාරණයෙන් කියා සිටින්නේ අම්මා මේ සඳහා තෝරා ගෙන ඇත්තේ තමා බැවින් තමා ම යායුතු බව යි. සිය සහෝදරයන් සතර දෙනා නිතර තමාගේ බලවත් කුසගින්න නිවීම සඳහා සිය ආහාරවලින් කොටස බැගින් දී ඇති බැවින් ඔවුන් වෙනුවට එහි යාමට අයිතිය ඇත්තේ තමාට ම බව භීම කියා සිටිනවා. අනුන්ගේ ජීවිත බිලි දී හෝ තමාගේ ගැලවීම උදෙසා කටයුතු කරන අය බහුල සමාජයක ජීවත් වන අපට අනුන් බේරා තමා බිලිවීම සඳහා වන භීමගේ මැදිහත් වීම වැදගත්. එය මහාභාරතය මනුෂ්‍යත්වය පිළිබඳ ව සමාජය අබිමුව තබන කැඩපතක්.
මේ අනුව රකුසා වෙත යාමට භීමට ඉඩ දෙනු ලබන අතර අවසන යුධිෂ්ඨිර පවසන්නේ ජය ලබා පෙරළා පැමිණෙන ලෙස යි. පුර ජනයා සිය ජීවිත සුරක්ෂිත කරනු පිණිස මේ ආගන්තුක තරුණයා මුහුණ දීමට යන බිහිසුණු ගමන දෙස බලා සිටින්නේ මවිත වූ දෑස්වලින්. අන්තිමේ දී දරුණු සටනකින් බකාසුර පරාජය කොට පෙරළා පැමිණි පසු භීම පවසන්නේ ලොව බලවත් ම සත්ත්ව කොට්ඨාසය වන්නේ මනුෂ්‍යයා මිස වෙනත් බලවේග නොවන බව යි. එසේ ම දැන් අපට පෙරළා මෙතනින් නික්ම යාමට කාලය එළඹ ඇති බව යුධිෂ්ඨිර පවසනවා. මේ අනුව පාණ්ඩවයන් ඒ රාත්‍රියේ සිය මව ද සමග රහසේ ම එතැනින් නික්ම යනවා. මේ මහා ජයග්‍රහණය පිණිස ඔවුනට සිය ප්‍රසාදය පළ කොට ජය සමරා සුබ පතනු පිණිස පසුව දා උදෑසන එතැනට එන පුර ජනයනට ඔවුන් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මහාභාරතය මේ මගින් සමාජය අබිමුව තබන පාඩම අප හඳුනා ගත යුතු යි. ඒ අප සමාජය විෂයයෙහි දෙයක් කළ යුත්තේ පෙරළා කිසිවක් අපේක්ෂාවෙන් නොවන බව යි. විශේෂයෙන් මෙතැන සිටින තරුණ සිනමාවේදීන්ගෙන් සහ තරුණ සිනමාවේදිනියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අනාගත සම්මාන ගැන සිතේ තබාගෙන නිර්මාණකරණයෙහි නොයෙදෙන ලෙස යි. භීමගේ චරණය එවන් චින්තාවක් උදෙසා ඔබ සියලු දෙනාට කමටහනක් වේවා යි මම ප්‍රාර්ථනය කරනවා.
අපි දැන් යමු මේ ටෙලි කතාවේ 34 වන කොටසට. එය ආරම්භ වන්නේ ද සුපුරුදු පරිදි කාලචක්‍රයේ ප්‍රකාශයකින්.
වෙනසට ඊට ම ආවේණික වූ වේගයක් තිබේ. කාලචක්‍රය වන තමාට කළ හැක්කේ ඍතු වෙනස් වෙමින් ගලා යන ආකාරය දෙස බලමින් ගමන් කිරීම පමණ යි.
මේ අනුව කාලචක්‍රය යන්නේ හස්තිනාපුර රාජ මන්දිරය දෙසට යි. ධ්‍රැතරාෂ්ට්‍ර රජු, සිය පුත් දුර්යෝධන ඇතුළු කෞරවයන්ට එක් කොටසක් ද අනික් කොටස යුධිෂ්ඨිර ඇතුළු පාණ්ඩවයන්ට බෙදා රාජ්‍යය දෙකඩ කොට තමා අබිමුව ඇති ප්‍රශ්නයෙන් මිදීමට කල්පනා කරනවා. එහෙත් මහාභාරතය අවධාරණ කරන්නේ රාජ්‍යය යනු බෙදා වෙන් කළ යුතු එකක් නොවන බව යි. මෙය ලොව කොතැනක හෝ සිටින බෙදුම්වාදීන් ද වර්තමාන ගැටලුවෙන් පැන යාම සඳහා බෙදුම්වාදය මිස වෙනත් විසඳුමක් නැතැයි ද යනුවෙන් කල්පනා කරන දේශපාලනඥයන් විසින් ද ගැඹුරින් නොව සුගැඹුරින් කල්පනා කළ යුතු එකක්.
ද්‍රෞපදී ස්වයංවරය ඇත්තේ ද මේ කොටසේ යි. ඇය දිනා ගැන්ම සඳහා දුනුදිය ඇදීම පවා අතිදුෂ්කර දුන්න සකසාගෙන, දක්වා ඇති කෘත්‍රිම මත්ස්‍ය ඇසට විදිය යුතු වෙනවා. විවිධ රාජ්‍යවලින් පැමිණි විවිධ රජවරුන් සහ කුමාරවරුන් මේ සඳහා ඉදිරිපත් වුව ද ඒ කිසිවකුට දුන්නෙන් විදිනු තබා දුනුදිය ඇද ගැනීමටවත් හැකි වන්නේ නැහැ. මේ අසමත් පිරිස අතර බලවත් ක්ෂත්‍රියයන් නිරූපණය කරන දුර්යෝධන ජරාසන්ධ - ශිශුපාල වැනි රණවිරුවන් ද සිටිනවා. මේ අතර ඒ වන විට රාජකුලකය නියෝජනය නොකරන රණශූරයකු වන කර්ණ පිරිස අතරින් නැගී සිටිනවා. ඔහුට මේ සඳහා ඉඩ නොදිය යුතු ය යන සංඥාව මේ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ ද්‍රෞපදියට කරනවා. තමා ක්ෂත්‍රිය කුමරකු මිස රථාචාරියකුගේ පුතකු සමග විවාහ නොවන බවට වන අවමානාත්මක ප්‍රකාශය ඇය ප්‍රසිද්ධියේ කරන්නේ ඒ අවස්ථාවේ දී යි. ඇය පවසන්නේ රණශූරයකුට හොඳ මුලක් තිබිය යුතු බව යි. මේ මොහොතේ කර්ණ දුන්න තබා එතැනින් නිහඬ ව නික්ම යනවා. ද්‍රෞපදීගේ සොහොයුරා වන ධ්‍රැෂ්ට්‍රද්‍යුම්න කරන්නේ ද සිය නැගනියගේ වචන අනුමත කිරීම යි.
මගේ අදහසේ හැටියට ද්‍රෞපදී කළේ නොකළ යුතු ප්‍රකාශයක්. මෙහි දී ද්‍රෞපදීටත් වඩා මගේ විවේචනය එල්ල වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණට යි. එය දෙවියකුට තරම් නොවන ක්‍රියාවක්. ඔහුට, අපට පෙර චෝදනා කළේ ක්‍රිෂ්ණ චරණ අගයන මුත් කළ යුතු තැනදී විවේචන සිදු කරන භාරතීය මහා සෞන්දර්ය සිද්ධාන්තවාදියකු වන ධ්වන්‍යාලෝකය කළ ආනන්දවර්ධන යි. ඒ හුදෙකලාව සිටින ගොපලු තරුණියක සමග එක්වන ක්‍රිෂ්ණගේ චර්යාව ශෘංගාර රසයට නොව ඊට වඩා අඩු තැනක තියෙන ශෘංගාර රසාභාසයට නිදසුනක් වන බව කියමින්.
මේ අවස්ථාවේ අපට දැනෙන පමණක් නොව යුගයෙන් යුගය ප්‍රතිරාව දෙන අතිප්‍රබල ප්‍රකාශය කරන්නේ දුර්යෝධන යි. මේ ප්‍රකාශය අපට ප්‍රදානය කරන්නේ මහාභාරත ටෙලි වෘත්තාන්තය යි. මම මහාභාරතයේ කථාංග දෙකක කොටස් ඇසුරිනු යි, දුර්යෝධනගේ ඒ ප්‍රකාශය මතු කර ගන්නේ.
ගංගාවන්ට සහ රණශූරයන්ට මුලක් නැහැ. ඔවුන් නැගී සිටින්නේ තනිව යි. ඥාතීත්වය ඇති වන්නේ සමාන වංශිකයන් අතර ය යන ප්‍රකාශය ම මම බලවත් සේ හෙළා දකිනවා. මම මේ සභාවෙන් අසන්නේ මේ බලවත් රණශූරයන් අතර මේ අභියෝගය පිළිගෙන එය ජයගත හැකි එක් අයෙක් වත් නැද්ද කියා යි, මේ ඉලක්කයට විදින්නට හැකි එක් අයෙක් වත් නැද්ද කියා යි? මා මේ මොහොතේ ඔබ ක්ෂත්‍රියයකු නොවේ යයි කියා අවමන් කරන මේ කර්ණ මගේ යටතේ දැන් පවතින අංග දේශයේ රජු හැටියට පත් කරනවා. ඔහු දැන් අංගරාජ් කර්ණ යි.
මේ තමයි දුර්යෝධන සහ කර්ණ අතර මරණය තෙක් පවත්නා එනම් යාවජීව මිත්‍රත්වයට පදනම වැටුණු දිනය. යුක්තිය - අයුක්තිය කවරක් වේවා මහාභාරත සාහිත්‍ය වංශය පවත්නා තෙක් මානව හදවත්වල ජීවත්වන කර්ණ රණශූරයා මරණයට පත් වන්නේ ද දුර්යෝධන වෙනුවෙන් සටන් වැදීමෙන්. අවසන ශ්‍රී ක්‍රිෂ්ණ මෙන් ම කාලචක්‍රය පවසන්නේ ද කර්ණ යනු අතිප්‍රබල මිත්‍රත්වයක සුවිශිෂ්ට සංකේතය බව යි.
කර්ණ හෙළා දැකීමෙන් පසු අර්ජුන ද්‍රෞපදී දිනා ගැන්ම පිළිබඳ වන සංසිද්ධිය කාට කෙසේ වෙතත් මගේ හිතට නම් ප්‍රබල ව දැනෙන්නේ නැහැ. ඇය අර්ජුන විසින් දිනා ගත් මොහොතේ අනික් රජවරු දෞපදියගේ පිය රජු වන ද්‍රැපද්ට සිය විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ දෞපදිය මොහුට නොව අප අතුරින් කෙනෙකුට විවාහ කොට දිය යුතු බව යි නොඑසේ නම් සටනට සැරසෙන ලෙස යි. මේ අවස්ථාවේ ඉදිරිපත් වන ද්‍රැපද් සහ ඔහු පුත් ධ්‍රැෂ්ට්‍රද්‍යුම්න නවතා ඊට මැදිහත් වන්නේ අර්ජුන යි. ඔහු පවසන්නේ ද්‍රෞපදී යනු දැන් තමාගේ වගකීම බැවින් තමා ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව යි. යුධිෂ්ඨිරගේ අනුමැතිය ලබා භීම ද ඔහුගේ සහයට එනවා. පැමිණි සියලු රජවරුන් මෙන් ම කුමාරවරුන් මේ සංග්‍රාමයෙන් පරාජය ලබනවා. අවසන කර්ණ ද අර්ජුන සමග සටන් කිරීමට එළඹෙනවා. ඒක බිහිසුණු ධනුර්ධරයන් දෙදෙනකුගේ බලවත් සටනක්. ඔහු ද අර්ජුන වෙතින් පරාජය ලබනවා. ඒ අවස්ථාවේ කර්ණ පරාජය පිළිගෙන පවසන්නේ ඔබට ශිල්ප ඉගැන්වූ ගුරුවරයාට මගේ ප්‍රණාමය හිමිවේවා කියා යි. මේ අදහස් අපට හමු වන්නේ 35 වන කථාංගයේ දී යි.
බලන්න, එවක තරුණ සිනමාකරුවන් දෙදෙනකු වූ චොප්රා සොහොයුරන් චරිත නිර්මාණය කළ ආකාරය.
අර්ජුන තමා දිනාගත් දෞපදිය සහ සොහොයුරන් සමග පෙරළා නවාතැනට යනවා. සිය මව වන කුන්තීට ඔවුන් පවසන්නේ අද දවසේ දිනා ගත් දෙයක් තමා සතු ව ඇති බව යි. කුන්තී නිවහන ඇතුළේ සිට පවසන්නේ යමක් දිනා ගත්තේ නම් වෙනදා මෙන් පස් දෙනා අතර එය සම ව බෙදා ගන්නා ලෙස යි. නිවහනින් එළියට ආපසු යි, ඇයට තමා කළ ප්‍රකාශයේ බරපතල බව දැනෙන්නේ. මෙහි දී මාතෘ වචනය අනුල්ලංඝනීය බව කියන පංච පාණ්ඩවයන් ඇය සිය සමාන භාර්යාව බවට පත් කොට ගන්නවා. රජවරුන් අන්තඃපුර තබාගෙන සිටීම ගැන වැඩි ප්‍රවණතාවක් ඇති තැනට, මහාභාරතය එක් කාන්තාවක විසින් බහුපුරුෂයන් විවාහ කොට ගැනීම සංස්කෘත සාහිත්‍ය වංශයට එකතු කරන්නේ එහෙම යි. දෞපදියට ආශිර්වාද කරන කුන්තී අඛණ්ඩ සෞභාග්‍යවතී භව එනම් කිසිදා අවසන් නොවන භාග්‍යයක හිමිකාරිය වන්න යන ප්‍රාර්ථනාව කරනවා. මෙතනදී අපට වැදගත් වන්නේ කුන්තී කරන ප්‍රකාශය යි.
ගැහැණිය යනු ශක්තිය යි. ඇගෙන් තොර ව පිරිමියකුගේ ජීවිතය සම්පූර්ණ වන්නේ නැහැ. මව, බිරිඳ, දියණිය, සොයුරිය ආදි වශයෙන් ඇය පුරුෂයාගේ ජීවිතයට සමීප වෙනවා.
මහාභාරතය නිරුපණය කරන පරිදි යුධිෂ්ඨිර යනු සත්‍යය යි, භීම යනු ශක්තිය යි. අර්ජුන යනු ධනුර්වේදය යි, නකුල යනු සුන්දරත්වය යි, සහදේව යනු ඉවසීම යි, දෞපදී යනු මේ සියල්ල යි.
සුදුසු අවස්ථාව එළැඹි නිසා පංච පාණ්ඩවයන් යළිත් හස්තිනාපුරයට ඒමට තීරණය කරනවා. මෙයින් වඩාත් කලබල වන්නේ ශකුනි යි. මේ මොහොතේ කර්ණ පවසන්නේ ගන්ධාර නරේශ් ශකුනිගේ කුමන්ත්‍රණ සියල්ල ව්‍යර්ථ කරමින් යුධිෂ්ඨිර යුවරජ පදවියට පත වන බව යි. මේ අවස්ථාවේ වික්ෂිප්ත ව සිටින දුර්යෝධන දෙසට හැරෙන කර්ණ පවසන්නේ තත්ත්වය කුමක් වුවත් මා ඔබ වෙනුවෙන් මරණයට පත් වීමට වුව සූදානම් බව යි. ඒ මොහොතේ ශකුනි පංචපාණ්ඩවයන් භේද කිරීම සඳහා ද්‍රෞපදිය යොදා ගත හැකි බව කියනවා. එයට පිළිතුරු දෙමින් කර්ණ කරන්නේ මේ ප්‍රකාශය යි.
පංච පාණ්ඩවයන් යනු භේද කළ හැකි අය නොවේ. ඔවුන් ශරීර වශයෙන් පස්දෙනෙකු වුවත් ඒ පස්දෙනාට ඇත්තේ එකම ආත්මයක්.
මේ ප්‍රකාශය අපට භගවද්ගීතාව මෙන් ම උපනිෂද් දර්ශනය නිතර මතු කරන විවිධත්වය තුළ ඇති ඒකත්වය පිළිබඳ වන ඉගැන්වීම සිහිපත් කොට දෙනවා.
මම දැන් ඊළඟට ඔබේ අවධානය යොමු කරන්නේ 36 වන කථාංගයට යි. එය ආරම්භ වන්නේ කාලචක්‍රය විසින් කරනු ලබන පහත සඳහන් ප්‍රකාශයෙන්.
මම නදිය වෙමි. ඔබට කැමති නම් ඒ නදියේ ගිලීමට පුළුවන. නැතිනම් පසෙකට වී නිසල ව බලා හිඳීමට පුළුවන. නදිය වෙත එන කිසිවකු මම නොවළක්වමි. එසේ ම නොඑන අයට කිසිවක් නොකියමි. ශෝකය මෙන් ම සතුට ද එක්වන් ව මා වෙත තිබේ.
මේ ටෙලි වෘත්තාන්තය බලද්දී මට සිතුණේ සිනමාවේදියා කවියකු හෝ කවි මනසක් ඇති අයෙකු වූ විට කොතරම් සුන්දර නිර්මාණයක් බිහි වන්නේ ද කියා යි. මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ කවියකු වූ ආචාර්ය මහගමසේකරයන්ගේ තුං මං හංදිය සිනමා කාව්‍යය යි.
ප්‍රඥාවන්තයකු වීමට නොහැකි නම් අඩුම තරමින් ප්‍රඥාවන්තයන්ට ගරු කරන්නට වත් උගත යුතු ය යන පාඩම මහාභාරතය වරෙක සමාජගත කරන්නේ ධ්‍රැතරාෂ්ට්‍ර මාර්ගයෙන්. දිනක් දුර්යෝධන සිය පියාගේ කනිටු සොහොයුරා නැණවත් විදුරයන් ගැන කිසිදු ගෞරවයකින් තොර ව කතා කළ විට ධ්‍රැතරාෂ්ට්‍ර පවසන්නේ පහත සඳහන් වචන යි.
පුත දුර්යෝධන, ඔබ විදුර ගැන කතා කරන්න ගෞරවයෙන්. ඔබ ඔහුගේ දැනුමින් අඩක්වත් ලබා ගන්නට උත්සාහ කරන්න. ඒ සඳහා ඔහු ඇසුරු කරන්න.
ශකුනි කියන්නේත් මෝඩයෙක් නෙමෙයි. එහෙත් ඔහු සිය දැනුම සහ ශක්තීන් යොදවන්නේ අයහපතට යි. ඔහු හරියට ම මහා උම්මග්ග ජාතකයේ දී අපට හමු වන කේවට්ට වගෙයි. කේවට්ටට මෙන් ශකුනිට ද දේශපාලනය පිළිබඳ දැනුමක් තිබෙනවා. ඔහු වරෙක දුර්යෝධනට පවසන්නේ රාජ්‍යය ලබාගැන්ම පිළිබඳ වන ඔබගේ ආශාව අනුන්ගෙන් සඟවා ගත යුතු බව යි. එය දේශපාලනයේ පළමු පාඩම බව යි. ඒ සඳහා සිය දිව ආරක්ෂා කර ගන්නැයි ද ඔහු දුර්යෝධනට කියනවා. සිය අරමුණු සඟවා ආශාවන් පිටතට පෙනෙන්නට නොදී වචන පවා ප්‍රවේශමෙන් පාවිච්චි කරන වර්තමාන සටකපට දේශපාලනයඥයන් දකින විට ද මට සිහි වන්නේ ශකුනි වැනි චරිත යි. මහාභාරතය එබඳු චරිත හඳුනා ගැන්මට ද අපට මග පෙන්වනවා. දුර්යෝධනපාක්ෂික කර්ණ, ශකුනිගේ දුර්දාන්ත චර්යා හඳුනා ගැන්මට සමත් වෙනවා. ඔහු දුර්යෝධනට පවසන්නේ සිය මාමාගේ කුමන්ත්‍රණවලට අනුව කටයුතු කිරීමට නොයා වීරයකු මෙන් ම ශ්‍රේෂ්ඨ ගදාධරයකු ද වන ඔබ තමාගේ ශක්තිය ගැන විශ්වාසය තබා කටයුතු කළ යුතු බව යි.
වරින්වර මේ කතාවේ චරිත මාර්ගයෙන් සමාජයට ඇසක් දෙන යහ ප්‍රකාශ සමාජගත කෙරෙනවා. වරෙක ධ්‍රැතරාෂ්ට්‍ර සිය බිරිඳ ගන්ධාරියට පවසන්නේ තමා අවට පරිසරයේ සිදුවන දේ පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීම සඳහා දෑස් බැඳ ඇති රෙදිපට ඉවත් කරන ලෙස යි. එවිට ගන්ධාරී සිය සැමියාගෙන් ඉල්ලා සිටින්නේ බලයට ඇති කැමැත්ත අත හරින ලෙස යි. මනුෂ්‍යයා බලයට ආධිපත්‍යයට කැමතියි. ස්වාමියා - බිරිඳට, ආයතන ප්‍රධානියා - සේවකයන්ට, පවුලේ වැඩිමලා - තමාට බාල අයට ගුරුවරයා - ශිෂ්‍යයන්ට ආදි වශයෙන් ආධිපත්‍යය පතුරුවන්න කැමතියි. මේ ආධිපත්‍යවාදී හැඟීමෙන් වියුක්ත සමාජයක් උදෙසා ඔබේ සිනමා භාවිතය යොදා ගන්නයි යන ඉල්ලීම කිරීමට ද මෙය අවස්ථාව කර ගන්නවා.
අපි දැන් 37 වැනි කථාංගයට යමු. රාජ්‍යය දෙකඩ වීම ගැන සන්තාපයෙන් සිටින ගංගාපුත්‍ර භීෂ්ම විසඳුමක් සොයා ගංගා මාතාව වෙත යනවා. ඔහු ජීවිතයේ තීරණාත්මක හැම අවස්ථාවකදී ම මව වෙත ගොස් උපදෙස් පතනවා. මේ අවස්ථාවේ ගංගා සිය පුතුට දෙන පාඩම අපට ද පාඩමක්.
ඔබ මේ අම්මාගෙන් ඉවතට නුදුවන්නේ ඇයි? දැන් මා කුමක් කළ යුත්තේ දැයි අසන ඔබ රාජ්‍යය වෙනත් කෙනෙකුගේ අතට යාමට හේතු වූ බ්‍රහ්මචාරී ජීවිතයක් වෙත යන ප්‍රතිඥාව දුන්නේ මගෙන් අසා ද? ඉගෙන ගන්න ප්‍රශ්නවලට මුහුණ දීමට. ඒවායින් පැන දුවන්නට එපා.
මවට සිය ගෞරව ආචාරය පුද කරන භීෂ්ම මින් මතු තමා මෙවන් උපදෙස් පතා ඇය වෙත නොඑන බව කියා එතනින් නික්ම යනවා. නික්ම යන සිය පුතු දෙස සංවේගයෙන් බලා සිටින ගංගා ඔහුට නිහඬ ව සිය ආශිර්වාදය පිරිනමනවා.
මේ අතර පංච පාණ්ඩවයන් සිය මව සහ බිරිඳ සමග හස්තිනාපුරයට පැමිණීමත් ධ්‍රැතරාෂ්ට්‍ර ඇතුළු පිරිස ඔවුන් සාදරයෙන් පිළිගැනීමත් සිදු වෙනවා. ඒ සිදුවීම එන්නේ ද මේ කොටසේ යි. තමාට වඳින යුධිෂ්ඨිරයනට සිදු වූ කුමන්ත්‍රණය ගැන සිය සංවේගය පළ කොට සමාව අයදින ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඒ පිළිබඳ ව ඔබ මා සමග කෝපයෙන් සිටිනවා දැ යි අසනවා. මේ මොහොතේ යුධිෂ්ඨිර පවසන්නේ අනතුරු යනු ජීවිතයේ කොටස් බව යි. ඒ නිසා ඒවාට දොස් පැවරීමෙන් වැළකෙන්නැයි ද ඔහු ඉල්ලා සිටිනවා.
අනතුරුව අපට ක්‍රිෂ්ණ සහ සුභද්‍රා අතර සිදුවන දෙබසක් හමු වෙනවා. සැතපී සිටින බවක් පෙනෙන ක්‍රිෂ්ණ වෙත එන සුභද්‍රා ඔබ දැන් නින්දේ ද යනුවෙන් විමසනවා. ඊට පිළිතුරු දෙමින් ක්‍රිෂ්ණ පවසන්නේ තමා නිදා සිටියත් අවදි ව සිටින බව යි. මේ අවස්ථාව මට සිහිපත් කරදෙන්නේ භගවද්ගීතාවේ එන ප්‍රකාශයක්. සියලු දෙනාට යමක් රාත්‍රිය වේ ද මුනිවරයා ඒ රාත්‍රියේ අවදි ව සිටිනවා. අන් අය අවදි ව සිටින බව කියන දහවල තත්ත්වදර්ශී මුනිවරයාට රාත්‍රිය යි. ඒ ප්‍රකාශය ද මම ඔබ සමග බෙදා ගැන්මට කැමති යි.
යා නිශා සර්වභූතානාං තස්‍යාං ජාගර්ති සංයමී
යස්‍යාං ජාගර්ති භූතානි සා සා නිශා පශ්‍යතෝ මුනේඃ
කලින් කී පරිදි හස්තිනාපුරය දෙකඩ කිරීමෙන් පසු එහි නිසරු කොටස වන ඛාණ්ඩවප්‍රස්ථයේ පාලනය හිමි වන්නේ යුධිෂ්ඨිරට යි. යුධිෂ්ඨිර එයට එකග වූයේ ඇයි? මේ ගැන දැනගැන්ම සඳහා අප ප්‍රවේශ විය යුත්තේ එහි 38 වැනි කථාංගයට යි. ඛාණ්ඩවප්‍රස්ථය තරණය කිරීමට අසීරු ගිරිදුර්ග ඇති - ගල්පර බහුල - ප්‍රචණ්ඩ අමානව බලවේග ඇති නිසරු ප්‍රදේශයක්. ශ්‍රී ක්‍රිෂ්ණ පවසන පරිදි ඔවුන්ගේ කර්ම භූමිය හෙවත් සිය ක්‍රියාවන්ගෙන් ජයගත යුතු තැන වන්නේ එය යි. යුධිෂ්ඨිර මෙයට එකග වන්නේ එය තමන්ගේ කර්ම භූමිය වීම නිසා පමණක් නොවේ. යුද්ධයක් ඇති වීම වළක්වා හස්තිනාපුරයේ සාමය ස්ථාපිත කිරීම ඔහුගේ අරමුණ නිස යි. ඔබගේ සිනමා භාවිතය ද හදවත්වල සාමය ස්ථාපිත කිරීමට හෝ අන්‍යෝන්‍ය වෛරය රෝපණය කිරීමට යොදා ගත හැකි යි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පූර්වගාමියකු වන ආචාර්ය මහගමසේකරගේ පහත සඳහන් ප්‍රබුද්ධ කාව්‍යෝක්තිය ඔබගේ සිනමාවේ ආදර්ශ පාඨය කරගන්නා ලෙස යි.
අසාධාරණයට විරුද්ධ ව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත
අසාධාරණ නො කර හිඳිනට
පෙළඹවිය නො හැකි ද මිනිස් සිත?
ජීවිතය ගැන වෙනස් ම මානයකින් සිතීම වෙත අප යොමු කරන සුන්දර සේ ම අර්ථවත් ප්‍රකාශ මේ සිනමා කෘතිය අප අබිමුව තබනවා. තැනක් ලස්සන වන්නේත් ආදරණිය වන්නේත් ඒ තැන තිබෙන භෞතික ලස්සන නිසා ම නොවෙයි. එහි ජීවත් වන සුන්දර හදවත් ඇති මිනිසුන් නිසයි. ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ හස්තිනාපුරය ලස්සන වන්නේ ගංගාපුත්‍ර භීෂ්ම - ද්‍රෝණාචාර්ය - ක්‍රීපාචාර්ය - මහා බුද්ධිමාන් විදුර වැනි චරිත නිසා බව යි. ඔබ ත්‍රිපිටක සාහිත්‍යාගත මහාගෝසිංග සූත්‍රය ද කියවන්න. එහි කියැවෙන පරිදි එහි එන ගෝසිංග සල් වනය සුන්දර වන්නේ එතැන ජීවත් වන නික්ලේශී සුන්දර මානව ශ්‍රේෂ්ඨයන් නිසයි.
පංචපාණ්ඩවයන් අතුරින් කෙනෙක් පවසනවා, මේ ඔවුන්ගේ නරක දවස් ගත වන කාලයක් බව. ඊට පිළිතුරු දෙමින් ක්‍රිෂ්ණ පවසන්නේ හොඳ හෝ නරක වන්නේ දවස් නොව අපගේ ක්‍රියා බව යි. ඔහු පාණ්ඩවයන් ඛාණ්ඩවප්‍රස්ථය වෙත යාම දකින්නේ නව නගරයක් ගොඩ නැංවීමට ලැබුණු අවස්ථාවක් ලෙස යි. කෙසේ වෙතත් අර්ජුන මේ වන විටත් දුර්යෝධන ඇතුළු කෞරවයන් කෙරෙහි වන කෝපයෙන් මිදී නැහැ. ඔහු සිය කෝපය මුදා හරින්නේ අවට ඇති මහ රුකක් එල්ල කොට එයට අඛණ්ඩ ව හී මුදා හැරීමෙන්. මේ අවස්ථාවේ එතනට එන ගංගාපුත්‍ර භීෂ්ම, අර්ජුනගෙන් අසන්නේ ගස් ඔබේ සතුරන් ද යනුවෙන්. කෙනෙකුගේ සිතට ක්‍රෝධය ඇතුළු වූ විට ඔහුට හොඳ හෝ නරක පෙනෙන්නේ නැහැ, කළයුත්ත නොකළයුත්ත පෙනෙන්නේ නැහැ. රණශූරයකු වන ඔබ අවි අතට ගත යුත්තේ අහිංසකයන් ආරක්ෂා කිරීමට මිස පීඩා කිරීමට නොවේ ය යන කරුණ ද මෙහි දී භීෂ්ම අවධාරණය කරනවා.
39 වන කථාංගය ආරම්භ වන්නේ යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකය, ගැටලු අවසන් වීමක් නොව අලුත් ගැටලුවක ආරම්භය ද විය හැකි බවට වන කාලචක්‍ර ප්‍රකාශයෙන්. රජු සැලකිලිමත් නොවුණහොත් එය විනාශයක් ද විය හැකි ය යන පණිවිඩය ද කාලචක්‍රය සමාජය අබිමුව තබනවා.
මහාරාණී කුන්තී සිය පුතුන් සහ ලේලිය සමග හස්තිනාපුරය අතහැර යන දර්ශනය ද දැක ගැන්මට ලැබෙන්නේ මේ කොටසේ දී යි. ඇය මේ මොහොතේ හස්තිනාපුරය දෙසට හැරී පවසන්නේ තමා කලකට පෙර මහරැජිනිය ලෙස එහි පැමිණි අවස්ථාව සිහි වන බව යි. අනතුරුව සිය යුගය අවසන් බවත් ඔබගේ යුගය එළඹ ඇති බවත් කියා ඇය ද්‍රෞපදියට ආශිර්වාද කරනවා. එසේ ම මේ වන විට සිය හදවත තවුස් අරමක් වී ඇතැයි ද ඇය පවසනවා. මෙතනදීත් අපට ඉගෙන ගන්නට වටිනා පාඩමක් තිබෙනවා. ඒ අප කවර තනතුරු දැරුවත් කවර කටයුත්තක නිරත වුවත් ඒවා අවසන් කිරීමේ මොහොතක් එළඹෙන බව යි. එවිට අප කළ යුත්තේ ඊළඟ පරපුරට ඉඩ දී නික්ම යාම යි.
කර්ණ සැබවින් ම කල්‍යාණ මිත්‍රයෙක්. හස්තිනාපුර නගරය ඇතුළු සශ්‍රීක කොටස හිමි වීම නිසා දුර්යෝධන සතුටු උනත් ශකුනි ඔහුට පවසන්නේ රාජ්‍යයෙන් අඩක් හිමි වූවා කියා නොව රාජ්‍යයෙන් අඩක් අහිමි වූයේ ය කියා සිතන ලෙස යි. හැම විට ම දුර්යෝධනගේ මනසට විස කවන්නේ ශකුනි යි. මේ අවස්ථාවේ ශකුනිගේ දුර්භාෂිතයට එරෙහි ප්‍රබල ප්‍රකාශය කරන්නේ අංගරාජ් කර්ණ යි.
මිත්‍ර දුර්යෝධන, ඔබ රාජ්‍යයෙන් අර්ධයක් අහිමි වූයේ යැයි කියා නොව ඉන් අඩක් හිමි වූ බව සිතා කටයුතු කරන්න.
මේ රාජ්‍යයන් පවරන උත්සවයට මහඍෂි ව්‍යාස ද පැමිණෙනවා. එන අතරමගදී කර්ණ දකින ඍෂිවරයා ඔහුට ආශිර්වාද කරන්නේ මේ තුන්ලොව දිනිය හැකි වීරයෙකැයි කියමින්. මෙයිනික්බිති ඒ මහා ඍෂිවරයා කරන ප්‍රකාශය ඔබට මෙන් ම අපට ද වැදගත්. අපි ඊට සාවධාන වෙමු.
ජීවිතය අමාව සහ විස යන දෙකෙන් ම සමන්විත මහා සාගරයක්. එහි ඇති අමාව හෝ විස යන දෙකින් එකක් තෝර ගැනීම පුද්ගලයන්ට අයත් කාර්යයක්.
අප දකින වර්තමාන සිනමා ලෝකය ද අමාව සහ විස යන දෙකින් ම සමන්විත වූවක්. මා ඔබෙන් ආයාචනාත්මක ව ඉල්ලා සිටින්නේ එහි ඇති විස නොව අමාව තෝරාගන්නා ලෙස යි. සරු බිමක් නිසරු කරන්නේත් නිසරු බිමක් සරු කරන්නේත් මනුෂ්‍යයා යි. නිසරු බිම කෘෂි බිමක් කරන්නේත් මනුෂ්‍යයා යි. ක්‍රිෂ්ණගේ ආශිර්වාදය ඇතිව ඔහු දෙටු සොයුරු බලරාම ඛණ්ඩවප්‍රස්ථපුරයේ දී නගුල අතට ගන්නේ ඒ සඳහා යි. ඒ නගුල සශ්‍රීකත්වය උදෙසා භීමගේ දෑතට පවරන්නේ ද බලරාම යි.
සත්‍ය වූ කලාව අහිමි ව ගිය දේශයකට සැබෑ කලාව ප්‍රදානය කළ හැක්කේත් මනුෂ්‍ය කුලකයේ උපරි ප්‍රකාශනයක් වන කලාකරුවාට මිස අන් කවරෙකුට ද?
මහාභාරත සංස්කෘත වීරකාව්‍යය සහතික කරන්නේ සාහිත්‍යයේ - සිනමා කලාවේ පැවැත්ම පමණක් නොවෙයි. එය ශක්තිප්‍රදායක සංකල්ප සමාජගත කොට කෘෂිකර්මාන්තයේ පැවැත්ම ද සහතික කරනවා. පසුගිය දිනවල අප ගිය භාරත චාරිකාවේදී ප්‍රාන්ත කිහිපයක ඇවිදීමට අපට අවස්ථාව ලැබුණා. ඒ කිසිතැනක පුරන් ව ගිය කුඹුරු අප දුටුවේ නැහැ. කලාකරුවා කලාවෙන් මහපොළොව සරු කරන ආකාරය දැන ගැනීමට අපට මහාභාරත ටෙලි වෘත්තාන්තය ද හොඳ නිදසුනක්. මේ ඉන් එක තැනක්.
බලරාම සිය නගුල සීසානු වස් භීම අතට දෙයි. අර්ජුන අහසට හී යවා වැසි වස්වයි. වතුරින් ජලාශ පිරී යයි. පැළ සැදී ගස් වෙයි, මල් පිපෙයි. මහපොළොව ගැන හද පිළිසිඳි සිහිනය සත්‍යයක් වෙයි.
කාලචක්‍රය පවසන්නේ මධුර ස්වර ද සමග නව ජීවිතය ආරම්භ වූ බව යි.
a new life had begun with a sweet note.
මා වරෙක මහාභාරතයේ කථාංගයෙන් කථාංගයට යමින් ද ඇතැම් කථාංගයක් මග හැර ඉදිරි කථාංගයකට යමින් ද ඔබට කතාව කියාගෙන ආවා. ඒත් මට මතක හැටියට 36 සිට 39 දක්වා වන කොටස් ගැන කතා කළේ එක් කොටසක් වත් මග නොහැර යි. ඒ මග නොහැර යාමේ න්‍යායට අනුගත ව දැන් මම යන්නේ 40 වෙනි කථාංගයට යි. එහි ආරම්භයේ දී කියැවෙන්නේ දේශපාලනික මිත්‍රත්ව ගැන යි. මේ අදහස් පළ කරන්නේ ශකුනි යි. දුෂ්ට බලවේග නියෝජනය කරන ඔහුගෙන් ද අපට ඉගෙන ගන්නට පාඩම් තියෙනවා. යුද්ධ භූමියට යායුත්තේ හොඳින් සූදානම් වීමෙන් පසුවයි යන්න ඔහු අවධාරණ කරනවා. ශ්‍රී ක්‍රිෂ්ණගේ භාරයේ තිබෙන ද්වාරක දේශය සමීප කරගත යුතු යි යන යෝජනාව ගෙනෙන්නේ ද ඔහු යි. එහෙත් කිසිසේත් ක්‍රිෂ්ණ ඔවුනට නම්මා ගත නොහැකි බවත් ඔහු දන්නවා. මේ ශකුනි, දුර්යෝධනට පවසන්නේ ඔහුගේ දෙටු සොහොයුරා වන බලරාමට සමීප වන ලෙස යි. මෙය බොහෝ දුරට සාර්ථක වෙනවා. එසේ ම අනාගතයේ දී සිය බලයට තර්ජනයක් වෙති යි දැනෙන රජුන් සමග විවාහ සම්බන්ධතා ඇති කර ගනිමින් ඥාතිත්ව තහවුරු කර ගැනීම ද යුද උපක්‍රමයක්. එවිට වන්නේ අනාගතයේ එරෙහි වන්නට තිබෙන බලවේග නිෂ්ක්‍රිය වීම පමණක් නොවේ වෙනත් බලවතෙකුට විරුද්ධ ව යන විට ඥාති පාර්ශ්වික බලවතුන්ගේ සහාය තමාට ලබා ගැන්මට ද හැකි වීම යි. මේවා ක්‍රියාත්මක කරන්නට යන බොහෝ විට ශකුනි අසාර්ථක වුවත් ඉන් අනාවරණය වන්නේ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සටකපට බුද්ධිය යි.
බලරාමගේ චරිතය ද වරෙක අපට කැඩපතක් වෙනවා. බලරාම දුර්යෝධනට ගදායුධ සටන් ක්‍රම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දෙද්දී සිය ශිෂ්‍යයා ඉතා ඉක්මණින් කෝපයට පත් වන අයෙකු බව වටහා ගන්නවා. බලරාම පවසන්නේ සටන් කරද්දී කිසි විටෙකත් කෝප නොගත යුතු බව යි. ඒ එවිට සතුරා පරාජය කිරීමෙහි ලා අවශ්‍ය නිවැරදි තීරණය ගැනීමට එය බාධාවක් වන නිස යි. එසේ ම මානසික සමබරතාව රැකගැන්මට ද එය බාධාවක්. බලරාම දුර්යෝධනට මෙසේ කියන්නේ ඒ නිස යි.
Never get angry while fighting.
මේ අතර අර්ජුන සහ සුභද්‍රා අතර ඇති වන ප්‍රේම සම්බන්ධයට මුලදී සුභද්‍රාගේ දෙටු සොයුරු බලරාමගේ කැමැත්ත හෝ ආශිර්වාදය හිමි වන්නේ නැහැ. බලරාම කැමති වන්නේ ඇය දුර්යෝධනට විවාහ කොට දීමට යි. ඔහු සිය දෙමවුපියන් ද ඊට කැමති කරවා ගන්නවා. එය එසේ සිදු වුවහොත් වන්නේ ශකුනිගේ කූට උපක්‍රයමයක් පල දැරීම යි. මේ තීරණාත්මක අවස්ථාවේ අර්ජුන සුභද්‍රාගේ අනික් සොහොයුරා වන ශ්‍රී ක්‍රිෂ්ණගෙන් අසන්නේ දැන් මා කුමක් කළ යුතු ද යනුවෙනු යි. මෙයට ඔහු දෙන්නේ මේ පිළිතුර යි.
අර්ජුන, දැන් ඔබ ඉදිරියේ ඇත්තේ රණශූරයකුගේ ක්‍රියාව පමණ යි. සුභද්‍රා පැහැර ගෙන යන්න.
නිවැරදි දේ සිදු වන්නේ සමාජ සම්මත පැහැර ගැනීමක් මත නම් එය කළ යුතු බව යි, සුභද්‍රාගේ මේ සොහොයුරා පවසන්නේ. මන්ද මනාලිය හිමි විය යුත්තේ ඇගේ හදගත් පෙම්වතාට මිස අන් කෙනෙකුට නොවන බැවින්. මමත් ගුරුවරයකු වශයෙන් මගේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට කියා දෙන්නේ ග්‍රී ක්‍රිෂ්ණගේ වචන ම තමයි. එක් පසෙකින් බලරාමගේ අකැමැත්ත පළ වද්දී ඔහුගේ නියෝගයට සහ දෙමවුපිය කැමැත්තට අනුව ඇයගේ ජීවිතය සිරවන තැනකට පැමිණියහොත් මා කළ යුත්තේ කුමක් ද කියා මට නියෝග කරන මෙන් අර්ජුන ශ්‍රී ක්‍රිෂ්ණගෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිෂ්ණ සිනාසෙමින් අර්ජුනට පවසන්නේ මේ වචන යි.
කාගේවත් නියෝග පිළිපදින්නට එපා. ඔබ ගන්න තීරණය. ඒ තීරණයට අනුව වැඩ කරන්න.
අර්ජුන තවදුරටත් කල්පනාකාරී ව බලා සිටියදී ක්‍රිෂ්ණ පවසන්නේ මෙය යි.
අර්ජුන රථයත් ඔබේ රථාචාර්යත් සූදානම්. යන්න. සුභද්‍රා දැන් ඔබේ ජීවන රථය පදවන්න.
මේ මොහොතේ අශ්වරථය පදවමින් රථාචාර්යවරිය වී පැමිණෙන්නේ සුභද්‍රා යි. අර්ජුන ඒ රථයට නගිනවා. දැන් කිසිවකුට අර්ජුන සුභද්‍රා පැහැර ගෙන යන බව කියා ඔහුට චෝදනා කළ නොහැකි යි. මන්ද දැන් පැහැර ගන්නියක මිස පැහැර ගන්නකු නැති බැවින්. මේ අවස්ථාවේ බලරාම සිය පිරිසත් සමග මේ ක්‍රියාව නැවත්වීමට යාම සඳහා සැරසෙන්නේ කෝපයෙන්. මේ මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ අර්ජුන වරදක් කොට නොමැති බව යි. සුභද්‍රාට යෝග්‍යතම ස්වාමියා වන්නේ ද ඔහු බව යි. ද්‍රෝණ ශිෂ්‍ය සර්ව ශ්‍රේෂ්ඨ ධනුර්ධර අර්ජුනගේ මිත්‍රත්වය සහ බන්ධුත්වය ඔබට එපාද යනුවෙන් සිය සොහොයුරාගෙන් සහ ඔහුගේ සහායක පිරිසෙන් ප්‍රශ්න කරන ක්‍රිෂ්ණ ඔවුන් වෙත ගොස් ඔවුනට එරෙහි වීම නොව දෙටු සොහොයුරා වශයෙන් ඔවුන් පිළිගැන්ම සිදු කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අවසානයේ සැබැවින් ම සිදු වන්නේ ද එය යි. මෙතැනින් මේ කථාංගය අවසන් වෙනවා.
මේ ටෙලි වෘත්තාන්තයේ 41 වන කොටස ආරම්භ වන්නේ ආදරය සහ සතුට ආකාශයේ පවතිනවා යන කාලචක්‍රයේ ප්‍රකාශයෙන්. සිනමාකරුවන් වන ඔබ ඒ ආකාශයෙන් ඒ ආදරය සහ සතුට උකහාගෙන ඔබගේ නිර්මාණ ඔස්සේ ඒවා ලෝකයට දෙන්න.
මේ අතර අපට පසුබිමින් ඇසෙන්නේ මධුර සිතාර් වාදනයක්. ඒ වැයුම මැදින් සුභද්‍රාවන්ගේ ප්‍රේම ගීතය ද ඇසෙනවා. ඇය සිය පෙම්වත් ක්‍රිෂ්ණට මෙසේ කියනවා.
මේ ආදරයේ ප්‍රථම ප්‍රහර යි. ඔබට ඇසෙනවා ද ප්‍රියය, මා නගන ස්වරය. චන්ද්‍ර වංශයේ හංසයාණෙනි, ශරදාකාශයේ පියාඹා යන පක්ෂි රාජයාණෙනි, ඔබගේ හැම මිහිරි වදනක් ම නවතාවෙන් යුක්ත යි.
මිහිදිනී, මේ නේද මේ විශ්වයේ කොතැනක හෝ කවර හෝ භාෂාවකින් ගැයෙන ප්‍රේම ගීතයක සමාරම්භක වචන. දෞපදිය වෙත එන සුභද්‍රා, මේ ශ්‍රී ක්‍රිෂ්ණ සොයුරිය ඔබට ගෞරවය පළ කරයි යන වචන යි පළමු හමුවීමේ දී කියන්නේ. එවිට දෞපදී පවසන්නේ මගේ නිවහනට මෙන් ම හදවතට ඇය ඉතා ආදරයෙන් පිළිගන්නා බව යි. සැබවින් ම කෙනෙක් ජීවත් විය යුත්තේ නිවහනකට ගිය විට එතැන සිටින අයට මේ ප්‍රාර්ථනාව කොට පිළිගන්නට හිතෙන තරමේ යහපත් භාවයකිනු යි.
අනතුරුව අපට දක්නට ලැබෙන්නේ මේ දෙදෙනා අග්නි දෙවියන්ට සහ වන දෙවියන්ට කරන ප්‍රණාම යි. ගින්න අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ම දෙයක්. වන දේවතා පූජනය තුළ මා දකින්නේ පරිසර සංරක්ෂණය යි, සොබාදහම වෙත බැඳි ආදරය යි. කෙනෙකුට මේවා මිථ්‍යා විශ්වාස ලෙස සලකා ඒවාට සිනාසිය හැකි යි. එසේ කරන අය මේ වෙනුවෙන් සමාජය අබිමුව තබන විකල්පය කුමක් ද? තවත් පැත්තකින් ගත් විට මේවාට හිනාවෙන ඇතැම් දෙනා මේ සංසිද්ධි ම වරෙක ඉන්ද්‍රජාලික යථාර්ථ වශයෙන් සිය කලා නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කිරීමේ උත්ප්‍රාසාත්මක බව ගැනත් ඔබ සිතිය යුතු යි. ඔබට ඉන්ද්‍රජාලික යථාර්ථය බෞද්ධ සාහිත්‍යය මාර්ගය ආශ්‍රයෙන් දැකීමට අවශ්‍ය නම් ජාතක පොතට යන්න. එය සංස්කෘත සාහිත්‍ය මාර්ගයෙන් දැකීමට අවශ්‍ය නම් රාමායණය - මහාභාරතය - කථාසරිත්සාගරය - පංචතන්ත්‍රය වැනි මූලාශ්‍රයන් වෙත යන්න. මේ හැම පොතක ම සිංහල හෝ ඉංග්‍රීසි පරිවර්තන තිබෙන නිසා ඒ සඳහා මට සංස්කෘත දැනුම ඇද්ද නැද්ද යන්න ගැන සිතා කිසිවෙක් කරදර විය යුතු නැහැ.
මෙයින් පසු අපට දක්නට ලැබෙන්නේ ඛාණ්ඩවප්‍රස්ථය, සෞභාග්‍යවත් ඉන්ද්‍රප්‍රස්ථය නමින් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් නැගී සිටින ආකාරය යි. ඒ රාජ්‍යයේ පහත සඳහන් කාරණා පහ විද්‍යමාන යි.
1 ජනතාව සිටින්නේ සතුටින්. ඒ, සිතේ සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය කායික සහ මානසික විවේකය තිබෙන නිසයි.
2 සොර බිය නැහැ. ඒ, සොරුන් බිහි වන සමාජයක් එහි නැති නිස යි.
3 සමතාව තිබෙනවා. එහි එකෙකු පරයා නැගී සිටීමේ වුවමනාව ඇති කරන හේතු තුරන් කොට තිබෙන නිසයි.
4 සංචාරකයන්ට නිදහසේ දේශාටනයේ යෙදිය හැකි යි. ඒ, ඔවුනට අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කොට ඇති නිසයි.
5 රාජ්‍ය නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක යි. බලවතාට සහ බලය නැත්තනට වශයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙබිඩි ස්වභාවයක් කිසිසේත් ම එහි නැති නිසයි, නීති ආරක්ෂකයන් පළමු ව තමන් නීතිය රකින්නන් බවට පත් ව ඇති නිසයි.
මේ කොටස අවසානයේ බලවත් ප්‍රචණ්ඩ රජෙකු වන ජරාසන්ධගෙන් පංචපාණ්ඩවයන්ට එල්ල වන අභියෝගයක් ගැන ද කියවෙනවා. මේ මොහොතේ ඉදිරියට එන ක්‍රිෂ්ණ, ජරාසන්ධට පවසන්නේ ඔබ නියෝජනය කරන්නේ අධර්මය බැවින් එය අතහැර ධර්ම මාර්ගය තෝරා ගන්නා ලෙස යි. ඊට සිනාසෙන ජරාසන්ධ පවසන්නේ ඔබ සිතනවා නම් මේ ජරාසන්ධ දිනිය හැකි ය කියා එය සිදු නොවන්නක් බව යි. යුද්ධය ක්ෂත්‍රියයන්ගේ ක්‍රියාවක් බව පවසන ක්‍රිෂ්ණ ඔබේ ඉල්ලීම ද්වන්ද්ව සටනකට නම් අප තිදෙනාගෙන් කෙනෙකු ඒ සඳහා ඔබට තෝරා ගත හැකි බව කියා පෙන්වන්නේ අර්ජුන, භීම සහ තමා යි. ටික වෙලාවක් ඔවුන් දෙස බලා සිටින ජරාසන්ධ බාහිර වශයෙන් ද දැවැන්ත සිරුරක් ඇති භීම සිය ප්‍රතිමල්ලවයා වශයෙන් තෝරා ගන්නේ යුද්ධ ඇතිවිය යුත්තේ සමානයන් අතර ය යන ප්‍රකාශය කරමින්. මෙය අපට ඔහුගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශයක් වන්නේ තමාට වඩා බලයෙන් දැනුමින් අඩු අය පරාජය කොට වීරයන් විය හැකි ය කියා සිතන අය ද සමාජයක ජීවත් වන නිස යි. මෙහි දී ජරාසන්ධ මරණයට පත් වුවත් ඔහුගේ චරිතය හරහා මහාභාරතය සමාජගත කරන පණිවිඩය මරණයට පත් වන්නේ නැහැ.
මහාභාරත වීරකාව්‍යය මෙන් ම මේ ටෙලි වෘත්තාන්තය චරිත නිරූපණය කරන්නේ ඒවාට අදාළ විශ්වසනීයතා රැකෙන පරිදි යි. යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකය එළඹ සිටියදී ඊට එරෙහි ව එන බලවේගය වන ප්‍රබල ප්‍රතිමල්ලවයකු වන ජරාසන්ධ පරාජය කිරීමට අර්ජුන ඉදිරිපත් කළා නම් එය යෝග්‍ය නැහැ, උචිත නැහැ. මේ අවස්ථාව වෙන ම විචාරවාදයක් වශයෙන් ක්ෂේමේන්ද්‍ර ආචාර්යවරයා තහවුරු කරන ඖචිත්‍ය විචාර සිද්ධාන්තය පැහැදිලි කිරීම සඳහා නිදර්ශන වශයෙන් ද ගත හැකි තැනක්. අර්ජුන අතිදක්ෂ ධනුර්ධරයකු වුවත් භීම මෙන් මල්ලවපොර ශූරයෙක් නෙමෙයි. අර්ජුන අතින් ජරාසන්ධ ලබන පරාජයක් මහාභාරත පාඨකයන් හෝ ඉන් නිර්මිත සිනමා කෘති බලන ප්‍රේක්ෂකයන් හෝ අපේක්ෂා කරන්නේ නැහැ. මෙයින් කලාකරුවන් වන ඔබ ඉගෙන ගත යුතු පාඩම වන්නේ සිය නිර්මාණය උදෙසා පාදක කොට ගන්නා මූලාශ්‍රයේ වෙනස්කම් කළ යුත්තේ ඒ කාරණය ගැන සිහියේ තබාගෙන බව යි. මහාකවි කාලිදාස මෙතැනදී අපට ආදර්ශයක් දෙනවා. ඒ තමාට අභිඥානශාකුන්තලය රචනා කිරීමට මුල් වූ මහාභාරතයේ එන ශකුන්තලෝපාඛ්‍යානයේ හරයට හානි නොකොට අදාළ වෙනස්කම් කිරීම පිළිබඳ වන පාඩම දීමෙන්.
මේ ටෙලි වෘත්තාන්තයේ 43 වැනි කොටස අපට සාර්ථක ව යුධිෂ්ඨිරගේ රාජසූය යාගය පැවැත් වූ බව කියනවා. මේ අවස්ථාවේ පැමිණ සිටි සියලු ඍෂි සමූහයට සිය වන්දනය සිදු කරන යුධිෂ්ඨිර ගංගාපුත්‍ර භීෂ්මයන් දෙසට හැරී පවසන්නේ ඔබගේ ආදරය අපට යථාර්ථය දැන ගැනීමට උපකාර කළ බව යි. අනතුරුව මහාප්‍රාඥ විදුර දෙසට හැරී කියන්නේ ඔබගේ ප්‍රඥාව අප ආලෝකවත් කළ බව යි. මේ ප්‍රඥාලෝකය සියලු ආලෝකයන් පරයා නැගී සිටින බව කී සැටියි. මේ මොහොතේ රාජසූය යාගය හා බැඳුණු අග්‍රපූජාව පිදීමට ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ උපදෙස් පරිදි යුධිෂ්ඨිර තෝරා ගන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. මන්ද මානවයන් අතර ඉපිද දේවත්වයට පත් වීමට සමත් වූයේ ඔහු නිස යි. මෙයට ජරාසන්ධගේ ඥාතිපුත්‍ර රාජ්‍ය පාලකයෙක් වන ශිශුපාල විරෝධය පළ කරනවා. ඔහු ක්‍රිෂ්ණට පවසන්නේ ඔබට පාණ්ඩවයන් කළ මේ ගෞරවය අපට කළ අවමානයක් බව යි. ඔහු ප්‍රශ්න කරන්නේ මහාඍෂි ව්‍යාස සහ ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඉක්මවා යාමට තරම් චරිතයක් ද මේ ක්‍රිෂ්ණ කියා යි. මේ මොහොතේ ශිශුපාලගේ වචනවලට විරෝධය පළ කරනු සඳහා භීෂ්ම නැගී සිටිනවා. මේ වෙලාවේ ක්‍රිෂ්ණ, භීෂ්මයන් දෙසට හැරී කියන්නේ ඔහු මේ අවමන් කරන්නේ ඔබට නොව තමාට බව යි. මේ කිසිවක් නොතකා ශිශුපාල සිය විරෝධය දක්වද්දී ක්‍රිෂ්ණ මම මේ සම්බන්ධයෙන් ඔබට සියක් වතාවක් සමාව දෙන බව කියනවා. ඒ ශිශුපාලයන්ගේ මවට අතීතයේ දුන් ප්‍රතිඥාවකට අනුව යි. එහෙත් ශිශුපාල එය තකන්නේ ම නැහැ. 99 වතාවක් සමාව දෙන ක්‍රිෂ්ණ සිය වන වතාවට ශිශුපාල විරුද්ධ ව ආ මොහොතේ සිය සුදර්ශන චක්‍රයෙන් ඔහු මරා දමනවා.
අනතුරුව ගංගාපුත්‍ර භීෂ්මයන් අතින් රාජාභිෂේකය ලබන යුධිෂ්ඨිර පවසන්නේ තමා සම්ප්‍රදාය රකින බව යි, මාතෘභූමිය සුරකිමින් තමාගේ සීමාවේ රැඳෙන බව යි. කිසිදු රාජ්‍ය පාලකයෙක් තමාට බිය විය යුතු නැතැයි පවසන යුධිෂ්ඨිර තමා කිසිවිටෙකත් දේශසීමා උල්ලංඝනය නොකරන බව අවධාරණයෙන් කියා සිටිනවා. මෙය වර්තමාන රාජ්‍ය පාලකයන් විසින් ද මනා කොට සිහි කටයුතු කරුණක්. මේ අවස්ථාවේ මරණයට පත් වූ ශිශුපාලගේ පුතුට දිනාගත් රාජ්‍යයත් එහි රජකමත් බාර දෙන යුධිෂ්ඨිර පවසන්නේ මෙය යි.
මට ඔබේ භූමිය එපා. ඔබේ මිත්‍රත්වය සහ ආදරය පමණක් මට දෙන්න.
මේ කථාංගය අවසන් වන්නේ රාජ්‍ය පාලකයා විය යුත්තේ කවර ගති ලක්ෂණ ඇති අයෙක් ද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපට දෙමින්. ගංගාපුත්‍ර භීෂ්මගේ පහත සඳහන් ප්‍රකාශයෙන් පමණක් වුව ඒ චිත්‍රය සම්පූර්ණ වෙනවා.
පුත යුධිෂ්ඨිර, මේ ගත ව යන යුගයේ රජු ලෙස ඔබගේ නම ඉතිහාසයේ රඳවන්න. ආදරණීය මාතෘභූමිය රැකගන්න. කිසිවෙකුට වරදක් නොකරන ඔබ ධර්මයේ ද රජු බවට පත් වන්න. සත්‍යයේ හරය වන ඔබ කිසි විටෙකත් සත්‍යය කුසගින්නේ තබන්න එපා. එය නිවැරදි තැන තබන්න. සමාව දිය යුතු තැනදී සමාව දෙන්න. ශාන්තියෙන් ම ඒ සමාව දෙන්න. ජනතාව රකින්න. නිර්භීතභාවය සහ ගෞරවය ඔබේ වගකීම බව අමතක නොකරන්න.
මෙයින් පසු එන්නේ 44 වැනි කථාංගය යි. මේ ගැන අදහසක් දෙකක් දක්වා මේ දේශනය අවසන් කළ හැකි යි. අපට කර්ණගේ චරිතය ද තවුදුරටත් කියවා ගැන්මට මෙහි දී අවස්ථාව ලැබෙනවා. ඔහු රජවරුන් අතර තමාට පිළිගැනීමක් නැති බව දන්නවා. තනිවීම තරම් ප්‍රබල වෙනත් දඬුවමක් කෙනෙකුට නැතැයි ඔහු කියනවා. කර්ණ තමා සලකන්නේ පිටස්තරයකු ලෙස යි. ඔහු ශකුනිගෙන් අසන්නේ ශිශුපාලගේ මරණය සිදු වන තෙක් අපි නිහඬ ව සිටියේ ඇයි ද කියා යි. මේ මොහොතේ ශකුනි මෙසේ කියනවා.
අංගරාජ් කර්ණ, ඔබ මහා වීරයෙක්. එහෙත් එබඳු වීරයන්ට ද මේ ජීවිතයේ දී නැවතිය යුතු තැන් එළඹෙනවා.
යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකය නිසා නොසන්සුන් ව සිටින දුර්යෝධනට ශකුනි පවසන්නේ තවදුරටත් ඉවසා සිටින ලෙස යි. තමා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සැලසුම් සකස් කරන බවත් එතෙක් නිහඬ ව හිඳින ලෙසත් ඔහු කියනවා.
මේ අතර යලිත් අපට ක්‍රිෂ්ණ මුණ ගැසෙනවා. ඔහු ද්වාරකයට යන්නේ මේ දේශය අයත් වන්නේ අනාගත පරපුරටයි යන ප්‍රකාශය කරමින්. මන්ද භීෂ්ම නිතර අවධාරණය කරන පරිදි එක් රටක නොව විශ්වයේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ශ්‍රී ක්‍රිෂ්ණයන්ට නිසා. එබඳු කෙනෙකුට එක් තැනක පමණක් රැඳී සිටින්නට බැහැ.
ඔබේ සිනමා සංවිධානය මට මහාභාරත ටෙලි වෘත්තාන්තය ගැන දේශන තුනක් කරන්නැයි ආරාධනා කළා. මුල් කොටස් 44 තැනින් තැනින් උපුටා ගනිමින් මම අද මේ පළමු දේශනය කළා. තවත් කොටස් 50ක් අප ඉදිරියේ තිබෙනවා. මම හිතනවා මා කතා කළ දෙයින් ඔබට මහාභාරත වීරකාව්‍යය ගැනත් එම ටෙලි වෘත්තාන්තය ගැනත් යම් අසම්පූර්ණ අදහසක් හෝ ඇති වන්නට ඇති කියලා. ඔබ මේ ටෙලි වෘත්තාන්තය ඔබගේ සන්නිවේදන ශක්‍යතා මාර්ගයෙන් නව පරපුර වෙත ගෙන යන්න. දැන් මම ඉතිරි දේශන දෙක කිරීමේ වගකීම ඔබ සියලුදෙනා ඉදිරිපිට දී පවරන්නේ ඔබේ පරපුරට අයත් මගේ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන දෙදෙනකුට යි. ඒ දෙදෙනා මා ඇඳි අසම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ චිත්‍රයක් කරනු නිසැකයි. ඉන් එක් අයෙක් අපේ සරසවියේ ආරාධිත කථිකාචාර්යවරයෙක්, පාසල් ගුරුවරයෙක්. සංස්කෘත භාෂා සාහිත්‍යය පිළිබඳ යම් හැදෑරීමක් ඇති සිංහල විෂය පිළිබඳ විශිෂ්ට සාමර්ථ්‍යක් ද දිනා සිනමාව ගැන ද පර්යේෂණ පත්‍රිකා ලියා ඇති කෙනෙක්. මේ වනවිට සිය පශ්චාද් උපාධිය ද කරන පර්යේෂකයෙක්. ඔහු සිනමා රීතීන් ගැන ද සාවධාන වෙමින් සිංහල සාහිත්‍යයෙන් පවා නිදසුන් දක්වමින් මේ ටෙලි වෘත්තාන්තය ගැන කතා කරාවි.
මෙහි අනික් දේශනය කිරීමේ වගකීම මම පවරන්නේ මගේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන, ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳ අද්දැකීම් ඇති, ගුරුවරියක වශයෙන් ද සේවය කරන, වර්තමාන ලෝක සිනමාව ගැන ද හොඳ කියවීමක් තියෙන තරුණ විද්වතියකටයි. කලින් කී විද්වතාගේ දේශනයට සිංහල සාහිත්‍යයේ සොඳුරු තැන් එක් වනවා මෙන් ඇයගේ කතාවට ඉංග්‍රීසි සාහිත්‍යයේ රසබර තැන් එකතු වේවි. මේ දෙදෙනා පිළිබඳ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ දෙන්නාම මහාභාරත ටෙලි වෘත්තාන්තයේ කථාංග 94 ම බලා ඒ ගැන නිතර අප සමග ද සාකච්ඡා කළ දෙදෙනෙක් වීම යි. ඒ දෙදෙනා ම අද මෙතැනට ද පැමිණ සිටිනවා. මේ ශාලාවේ කෙළවරක ඇති අසුන් දෙකක මේ මොහොතේ ඉඳගෙන සිටින ඔවුන් මෙවන් ආරාධනයක් අද තමාට ඉදිරිපත් වන බව දන්නේ නැහැ. ඒත් මෙය ඔබ දෙදෙනා ඉදිරියේ ඇති වගකීමක්.”
අනතුරුව ශාලාවේ කෙළවරක හිඳ ඉන්නා සිය තරුණ ශිෂ්‍ය යුග්මය වෙත දෑස යොමු කොට ඔහු විසින් කරන ලද්දේ පහත සඳහන් ප්‍රකාශය යි.
“ගඟුල් - මිහිදිනී, කලාව වෙනුවෙන් සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන්න. මහාභාරත ටෙලි වෘත්තාන්තයේ හැම කථාංගයක් ම ආරම්භයේ ගැයෙන භගවද්ගීතා පාඨයේ කියවෙන පරිදි පරිදි ක්‍රියාව ගැන අධිකාරිත්වයක් නොතබා ඇලීමෙන් තොර ව, කිසි විටෙකත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොර ව ඔබගේ මෙහෙවර සිදු කරන්න. ඔබට ක්‍රියාවන් සිදු නොකර සිටීමෙහි ලා ද ඇල්මක් ඇති නොවේවා!
කර්මණ්‍යෙවාධිකාරස්තේ මා ඵලේෂු කදාචන
මා කර්මඵලහේතුර්භූර්මා තේ සංගෝස්ත්වකර්මණි
මෙතෙක් වේලා මට සවන් දුන් ඔබ සියලු ම දෙනාට යහපත ම වේවා! ඔබගේ නිර්මාණ අප ජීවත් වන මේ ලෝකය පවතිනවාට වඩා යහපත් සේ ම සුන්දර කිරීමට අත්‍යන්තයෙන් ම හේතු වේවා!
මේ මගේ හෘදයංගම ප්‍රාර්ථනාව යි.

No comments:
Post a Comment