Saturday, January 15, 2022

හද බස් දොරටු!

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන ආතතිමය කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක වන සුවිනි අක්කා මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම හෝ භාෂා කීපයක් එක් වර ඉගැන්වීම නිසා හෝ කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෲ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය.

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන සම්මුඛ සාකච්ඡාවක් මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


1 comment:

  1. යුනෙස්කෝ ප්‍රතිපත්තියේ පවා සඳහන් කරලා තියෙනවා 1-5 දකවා දරුවන්ට මව්භාසාවෙන් පමණක් ඉගැන්විය යුතු බව... කාටනම් මේවා කියන්නද.
    අධ්‍යාපනඤන්, රටකරවන ඇය මේවා ගැන සැලකිලිමත් වෙන්ට ඕන.

    ReplyDelete