Sunday, May 22, 2022

ගුරු දියවර නවකතාව - දහතුන්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                       ගුරු දියවර 13

 


ඒ සඳුදාවේ ගඟුල් සහ අතුල යන ගුරුභවතුන් දෙදෙනා ම නාගොල්ලාගම පාසල් බිමට පිවිසියේ එකම වෙලාවක දී ය. එහෙත් ඒ කලින් කතා කරගෙන නම් නොවේ. ක්‍රීඩා උත්සවයේ සැලැස්ම ගැන සාකච්ඡා කොට ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා එදින පෙරවරු දහයට තමන් හමු වන මෙන් විදුහල්පතිතුමා අතුලට දන්වා තිබිණි. ඔහු ගඟුල්ට දැන්වූයේ ඒ සාකච්ඡාව සඳහා ගඟුල්ට ද සහභාගි වන ලෙස ය. තම තමන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා විසිර යාමට පෙර පළමු ව කතා කෙළේ අතුල ය.

"මේ වැඩේ කරන්නං කියලා බාර ගත්තට මේක ඉවර වෙනකං ඔළුවෙ ලොකු බරකුත් තියෙනවා මචං. කීප දෙනෙක් බලන් ඉන්නව අපිට වරදිනකං. උන් හිතන් ඉන්නෙ උන් තමයි ලෝකය සුවඳ කරන්න පිපිච්ච මල් කියලා. පිපෙන මල්වලයි බලෙන් පුප්පපු මල්වලයි ලොකු වෙනසක් තියෙනවා මල්ලි. ඇත්තට ම උඹලා සෙට්ටෙක නැත්තං මන් අනාථ යි මචං. එහෙනං උන් තමයි රජ වෙන්නෙ."

"කරන්න තියෙන වැඩේ අවසාන වෙනකං සැහැල්ලුවෙන් කරනවා මිස ඔළුවට ලොකු බරක් ගන්න එපා අතුල සර්. අනිත් එක සර් එක්ක එකට ම ඉන්න කණ්ඩායමක් දැනටමත් ඉන්නවනෙ. මට මේ වෙලේ මතක් වෙන්නෙ සර්...."

"මේ මල්ලි උඹට මතක් වෙන කතාව අහගන්නත් ඕනෙ. ඒ වගෙම මේ ටික උඹට කියන්නත් ඕනෙ. මම උඹට වෙලාවකට ගඟුල් කියනවා. තව වෙලාවකට මචං කියනවා. තවත් වෙලාවකට මල්ලි කියනවා. එහෙම කතා කරන මට උඹ තවමත් කතා කරන්නෙ අතුල සර් කියලා. එහෙම කතා කරන එක වැරදියිනෙ මල්ලි. එක්කො මට මචං කියපන්. එහෙම කියන එක මට අවුලක් නොවුණට උඹට අවුලක් නං අතුල කියපන්. ඒකත් අවුල් නං අතුල අය්යෙ කියපන්. තුන්වෙනි යෝජනාව ක්‍රියාත්මක කරන්න ඕනෙ එක දෙක බැරිම නං විතරයි."

"මට අතුල සර් එක හරි දෙක හරි ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒත් තුන්වෙනි යෝජනාව නං ක්‍රියාත්මක කරන්න පුළුවන් වගෙ. ඒ වගෙම සර් දැන් කියපු වචන ටික අහගෙන හිටියමත් මගෙ ඔළුවට ආවෙ සහන් සර් කියපු කතාවක්."

"උඹ මල්ලි ක්‍රියාත්මක කරනවා කිව්වට ඒක කරන්නෙ නැහැනෙ. තාමත් අතුල සර්. එතකොට හරි දුරයි මල්ලි. ඒ වගෙම උඹට තවත් කතාවක් මතක් උනා කිව්ව නේද, දැන් කතා දෙකයි. කියපන් කියපන් කතා දෙකම කියපන්. උඹ ඇවිල්ල බැලුවහම මල්ලි කතා ඉස්ටෝරුවක්නෙ."

"මෙහෙමයි අතුල අය්යෙ එකක් කවියක්. අනික සිදුවීමක්."

"කියපන් ඉස්සෙල්ලම කවිය මල්ලි "

"ඒ කියන්නෙ අපිට පැහැදිලි නැති, බැලූ බැල්මට පෙනුණත් ඇත්තටම මිරිඟුවක් වන දෙයක් පස්සෙ කොයි තරං දෙනෙක් දුවගෙන ගියත් එහෙම කළයුතු නැහැ කියන එකයි මේ කවියෙන් අවධාරණය කරන්නෙ. ඒ වගෙම ඇත්තටම පිපෙන මල් අතරටම ඇවිල්ල පිපීමේ ගුණය නැති මල් තමන් තමයි පිපෙන්න තියෙන මල් පුප්පන්න ඉන්න අය බව කියාවි. ඒත්  හැමදාමත් ඇත්ත මල් තමයි තමන්ගෙ කෙටි ජීවිත කාලෙදි ලෝකය සුවඳවත් කරලා ලෝකයෙන් නික්ම ගියාට පස්සෙත් ජීවත් ව ඉන්න අයගෙ හිත්වල   රැඳෙන්නෙ. ඒ වගෙම බලෙන් පුප්ප ගන්න යන මල්වලට සිද්ධ වෙන්නෙ රැඳෙන්න නෙමෙයි වැටෙන්න. මේ අදහස හරි ලස්සනට මෙන්න මෙහෙම පේළි හතරකට ගන්නවා ඩී. එෆ්. ගණේගොඩ කියන කවියා.

                       දිව යන මිරිඟුවට නොදුවමි වියරු          වැටී

                       සලකමි  බලෙන් පුප්පන මල් වැටෙන   හැටි

                       තනි නොතනියට රැකවල් කොට තඹුරු  මිටි

                       මට හුරු පුරුදු අවිහිංසක ගතිය              සිටී

මේකෙ තියෙන්නෙ මහ අහිංසක විරෝධයක්. අනික් කතාවෙ එන විරෝධයේ තියෙන්නෙ ටිකක් විප්ලවකාරි ගතියක්. මට හිතෙන්නෙ අතුල සර්,  නෑ නෑ අතුල අය්යෙ සමාජයක යහ පැවැත්මට මේ විරෝධ දෙකම අවශ්‍ය යි. "

"නෑ බන් මට හිතෙන්නෙ දෙවෙනි එක තිබ්බහම හොඳටෝ ම ඇති කියලයි. ඒකෙන් කමක් නෑ කියපන්කො උඹේ කතාව."

"දැනට අවුරුදු විස්සකට විතර දවසක දිමුතු එදිරිසිංහ කියන තරුණ කවියගෙ කවි පොතක් එළි දකිනවා. ඒකෙ ප්‍රධාන දේශන දෙකක් තිබිල තියෙනවා. එක දේශනයක් කරලා තියෙන්නෙ සහන් සර්. අනික් කතාව කරල තියෙන්නෙ අපේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙච්ච සුනිල් මාධව ප්‍රේමතිලක. සුනිල් අය්යා විශ්ව සාහිත්‍යයෙන් විතරක් නෙමෙයි ලෝකයෙ සිදුවෙච්ච සුන්දර සිදුවීම් අරගෙන ලස්සන දේශනයක් කරල තියෙනවා. ඊට පස්සෙ කතාකරපු සහන් සර්, අර කවියගෙ නිර්මාණ අරගෙන පරිසරය සහ ජීවිතය එක්ක සම්බන්ධ කරලා සංස්කෘත සාහිත්‍යයෙන් උදාහරණ දිදී තමන්ගෙ දේශනය කරල තියෙනවා. සර් දේශනය කරලා බිමට බැස්සහම සුනිල් අය්ය සර්ගෙ අතින් අල්ලල කිව්වලු. ඔන්න ඕක තමයි මචං අපෙන් වෙන්න ඕන. අපි මැරෙනකං කරන්න ඕනෙ අපි ඉගෙන ගත්ත දේවල් - දැනගත්ත දේවල් මේ සමාජෙ මනුස්සකං තහවුරු කරන්න යොදවන එක කියලා. මචං අපි මීට වඩා හම්බ වෙලා කතා කරන්න ඕනෙ කියලත් කිව්වලු. ඊට පස්සෙ සුනිල් අය්යගෙ තරුණ යාළුවෙක් එයාට කියලා තියෙනවා. ඒ සුනිල් අය්යෙ විශ්වවිද්‍යාලෙක උගන්නන ආචාර්යවරයෙක් නේද, අඳුන ගත්ත පළවෙනි දවසෙම එයාට මචං බචං ගාන එක හරි නෑ නේද කියලා. ඒකට එදා සුනිල් අය්ය උත්තරයක් දීල නැහැ. හැබැයි ඒ දවස්වල සති අන්ත පත්තරේකට එයා සත්‍යවාදියකුගේ දිනපොත කියල ලියන ලිපියෙ මුලින් තරුණ කවියෙකුගේ කවි පොතක දොරට වැඩුමට තමන් සහභාගි උනා කියල ලියල ඒකෙදි තමනුත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුත්  අදාළ දේශන දෙක කළා කියලත් සඳහන් කරල තිබ්බලු. ඊට පස්සෙ ලියල තියෙන්නෙ මහ අමුතුම වාක්‍යයක්.

"කියහං මල්ලි ඒ අමුතු වාක්‍යය මටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ද කියල බලන්න."

"අතුල අය්ය නං ඒ වාක්‍යයෙන් ප්‍රයෝජන ගනීවි තමා. මෙන්න මේකයි අය්යෙ ඒ ප්‍රකාශෙ."

"මට යම් මිනිහෙක් ගැන ආදරයක් ඇති උනොත් මන් ඌට කියන්නෙ මචං කියලයි. අනික් හැම පරයට ම කියන්නෙ මහත්තය කියලයි."

"ඒක නං මටත් හොඳයිනෙ බන් කියන්න. මන් උඹට මචං කියන්නෙත් උඹ කියන්නෙත් මල්ලි කියන්නෙත් ආදරේ හින්දනෙ."

"ඒක මන් දන්නවා අතුල අය්යෙ. ඒ උනාට සුනිල් අය්යගෙ ජීවිතෙන් ඔය මචං පරය කියමන්වලට වඩා ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. සමහර දෙනා චේගෙන් අරන් තියෙන්නෙ එයාගෙ සුරුට්ටුව විතරනෙ. චේ බොන විදිහට සුරුට්ටුවක් බොන එකවත් චේගෙ නම ගහපු ටී ෂර්ට්ටෙකක් අදින එකවත් නෙමෙයි වැදගත්, චේ මේ සමාජෙ තියෙනවට වඩා යහපත් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් මොකද කළේ කියන එක තේරුන් ගන්න එක. චේගෙ  ටී ෂර්ට්ටෙක අදින අවංක මිනිස්සු ටිකකුත් ඉන්නවා, මන් ඒක නැහැ කියන්නෙ නැහැ. ඒත් වඩා වැදගත් වෙන්නෙ අඳින ඇඳුම මොකක් උනත් ඒක යට තියෙන පපුව හොඳ කරගන්න එක."

"හොඳ පපු මේ සමාජේ අඩුයි මල්ලි. මට බය නරක පපුත් එක්ක එක දිගට වැඩ කරන්න ගිහිල්ල අපේ පපුත් නරක් වෙයි ද කියන එක." 

"අතුල අය්යෙ, අපේ ගමේ ගොඩේ මිනිස්සු කියන ප්‍රසිද්ධ කතාවක් තියෙනවනෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා. මේක අය්යෙ අපිටත් අදාළ යි. අපි දැනගෙන නං අපේ ගමන යන්නෙ කිසිකෙනෙකුට බැහැ අපිව අතරමං කරන්න. ඒ වගෙම අය්යෙ ලෝකෙ වැඩි නරක පපු නං අපි වෑයම් කරන්න ඕනෙ හොඳ පපු වැඩි කරන්න. මං හිතන විදිහට අපේ ගුරු මෙහෙවරත් ඕකම නේද?"

"ඔන්න ඕකනෙ මල්ලි මං උඹත් එක්කත් වැඩ කරන්න කැමති. උඹ මට වඩා වයසින් බාල උනාට අපිට උඹෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි එහෙනං මල්ලි හරියට ම දහයට මන් ඔෆිස් එකේ ඇති. අපි ලොකු සර් එක්ක කතා කරලම ඉතිරි වැඩවලට බහිමු."

අතුල වෙන් ව ගිය පසු ගඟුල් දිගින් දිගටම කල්පනා කෙළේ මේ සමාජයේ ජීවත් වන හොඳ පපු සහිත මිනිසුන් සහ නරක පපු සහිත මිනිසුන් ගැන ය. මේ මොහොතේ ඔහුගේ සිතෙහි ඇඳී ගියේ සතරාකාරයක මිනිසුන් පිළිබඳ චිත්‍රයකි.

"ඇතැමෙක් හොඳ හදවතක් සහිත ව ජීවත් වන බව ලෝකයට පෙන්වති. එහෙත් ඔවුහු ඇතුළාන්තයෙන් හොඳ නොවෙති.

තවෙකෙක් බාහිර ව ද හොඳ නොවෙති. අභ්‍යන්තරයෙන් ද හොඳ නොවෙති.

තවත් චරිතයක් බැලූ බැල්මට අපට පෙනී යන්නේ නරක හදවතක් සහිත චරිතයක් ලෙස යි. එහෙත් කලක් එබඳු චරිත සමග වැඩ කළ පසු අපට ම අවබෝධ වන්නේ ඒ චරිතවලට ආවේණික හොඳ ගතිගුණ යි.

තවත් කෙනෙක් බාහිර ව ද හොඳ ය. අභ්‍යන්තරයෙන් ද හොඳ ය."

මේ මාතෘකාව ගැන මීට මොහොතකට පෙර තමා සමග කතාකළ අතුල මේ පාසලේ ම ඇතැම් දෙනා හඳුනාගෙන සිටින්නේ අණක් ගුණක් නැති කිසිදු හොඳක් නැති චරිතයක් ලෙස ය. එහෙත් හඳුනාගත් මේ කෙටි කාලයේදී ම ගඟුල් අවබෝධ කර ගත්තේ අතුල යනු සාකල්‍යයෙන් ම ගුරු ජීවිතයට ගැළපෙන සත්පුරුෂයකු බව ය. ක්‍රීඩා උත්සවයේ කටයුතුවලට ඔහුට උපරිමාකාරයෙන් උපකාර කළ යුතු ය යන හැඟීම ගඟුල් තුළ බලවත් ලෙස ඇති වූයේ ද ඒ නිසා ය.

මේ මොහොතේ ගඟුල්ගේ සිහියට නැඟුණේ නොබෝදා දේශයට අහිමි ව ගිය පාලිත වීරවර්ධන නමැති චිරකාලීන සහෘදයා ය. සිය ශිෂ්‍ය ජීවන සමයේ දී ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන්ගේ සෙවණෙහි දී හඳුනා ගැන්මට ලැබුණු මේ වැඩිහිටි සහෘදයා, තමා සරසවි සිසුවකු ව සිටියදී ඉගෙන ගැන්ම සඳහා අවශ්‍ය දුර්ලභ පොතපත පවා සොයා දුන් උපකාරක මිත්‍රයෙක් වීය යන කරුණ ගඟුල් සිහිපත් කෙළේ කෘතගුණපූර්වක හැඟීමෙන් යුතු ව ය. මෑත යුගයේ දී ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානයේ අප්‍රමාණ කාර්ය භාරය කිසිදු දෝෂාරෝපණයකින් තොර ව දරා සිටි දැවැන්ත හස්තය ද ඔහුගේ ය. ඔහුගේ අභාවයෙන් පසු තත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රවී පලිහවඩන මහතා වෙත තදාශ්‍රය ලද පූජ්‍ය ඕලන්දේ ආනන්ද හිමියන් විසින් එවා තිබූ හෘදයංගම සටහනක් දැක ගැන්මේ අවස්ථාව ගඟුල්ට ද ලැබිණ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබූ එම සටහනෙහි සිංහලාර්ථය වූයේ පහත සඳහන් ප්‍රකාශය යි.

"පාලිත වීරවර්ධන යනු කාරුණික අවබෝධාත්මක මිනිසෙකි. එම හිස්තැන පිරවීම සඳහා අවශ්‍ය වන යෝග්‍යතම අනුප්‍රාප්තිකයා සොයා ගැන්මට අවශ්‍ය කරන ප්‍රඥාව ඔබ සැමට  ලැබේවා යි ප්‍රාර්ථනය කරමි."

දිවාකර නමැති ආචාර්යවරයා ලෝකයෙන් නික්ම ගියේ සිය හිස්තැන පිරවිය හැකි අතුල නමැති යෝග්‍යතම අනුප්‍රාප්තිකයා සමාජයට උරුම කොට දෙමිනි. මෑතකදී සිය කලණ මිතුරකු වන වි. මු. රත්නායක සහෘදයා අවධාරණයෙන් කියා සිටියේ ද කවර හෝ ආකාරයක සමාජ මෙහෙවරක නිරත ව සිටින අය සුදුසු අනුප්‍රාප්තිකයන් පිළිබඳ ව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව යි. ඒ, ජීවිතය යනු අපට අයත් නිශ්චිත දෙයක් නොවන බැවිනි. කවර හෝ මොහොතක අප දරන තනතුරුවලින් පමණක් නොව අපේ ජීවිතය යයි සිතා සිටින අපේ නොවන ජීවිතයෙන් ද නික්ම යාමට අපට සිදුවන බැවිනි. 

ගඟුල් අනතුරුව ගමන් කෙළේ සිය කාලසටහනට අනුව තමා වැඩ කළ යුතු පන්තිය වෙත ය. ඒ දහය බී පන්තිය යි. ඔහු මුලින් ම කෙළේ අපරිමිත ආකාශය ම වහළ කොට ගත් එළිමහනේ තුරු සෙවණ යට සකසා ඇති පන්ති කාමරයක් නොවන පන්තිය වෙත සිසු දරු දැරියන් යැවීම ය. ඉමහත් සතුටකින් තුරු සෙවණේ පන්තිය වෙත දිව යන සිය සිසු දූ පුතුන් දෙස මොහොතක් සෙනෙහබර දෑසින් බලා සිටි ගඟුල් අනතුරුව තෙමේ ද සෙමෙන් සෙමෙන් එදෙසට ගමන් කෙළේ ය. ඔහුට සිතුණේ උසස් පෙළ දරු කැළට මෙන් ම මේ භද්‍ර යෞවනයේ සිටින මෙදරු කැළට ද ජීවිතය වින්දනය කළ හැකි ජීවන අර්ථ ද පෝෂණය කෙරෙන රසවින්දනාත්මක පාඩමක් කිරීමට ය. භරතමුනි-විශ්වනාථ-ආනන්දවර්ධන ආදි කොට ඇති භාරතීය සෞන්දර්යවාදීන් විසින් අවධාරණ කරනු ලැබ ඇත්තේ කිසියම් නිර්මාණයක් ආනන්දය ළඟ පමණක් නතර නොවී එය මානවයා ප්‍රඥාව වෙත කැඳවන නිර්මාණයක් විය යුතු බව යි. වරෙක සිය මිතුරකුගේ නිවසේ පැවති පින්කමක දී ධර්ම දේශනය සඳහා වැඩම කළ පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කළ අදහසක් ද ගඟුල්ට මේ මොහොතේ සිහිපත් විය.

"ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි, විඳීම ළඟ නතර වෙන්නත් නෙමෙයි, අවබෝධය සඳහා යි."

ගඟුල් තෝරා ගත්තේ තමා සේවය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයට අල්ලපු දිස්ත්‍රික්කය වන පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයේ ආදායම් පාලකවරයා ලෙස කලක් සේවය කළ එවක වන්නියේ රසවතා ලෙස ප්‍රචලිත ව සිටි කොළඹ කවි යුගය රසවත් කළ විමලරත්න කුමාරගමයන්ගේ නිර්මාණයකි. ඔහු කතාව පටන් ගත්තේ එම කවියා පිළිබඳ කිසියම් හැඟීමක් සමග දැනීමක් ලබා දෙන ප්‍රවේශයකිනි.

"අපිත් එක්ක එකම කාලෙක අපේ පීඨෙ නෙමෙයි කළමනාකරණ පීඨෙ ඉගෙන ගත්ත සිසිර කියන යාළුවා දවසක් අපේ සහන් සර්ගෙන් ඉල්ලිමක් කරල තිබුණ, එයා එකේ ඉඳල අට වෙනකං ඉගෙන ගත්ත ආණමඩුවෙ විමලරත්න කුමාරගම ඉස්කෝලෙ දේශනයකට එන්න කියලා. සිසිර කිව්ව උඹත් සර් එනකොට සර් එක්කම වරෙන් කියලා.

ඒ නිසා සර්ගෙ පවුලෙ කට්ටියත් එක්ක මටත් ආණමඩු යන්න ලැබුණා. අපි නවාතැන් ගත්තෙ සිසිරලගෙ ගෙදර. ඒ ගියදාට පහුවදා ම අපි දරුවනේ සිසිර මහත්තයා පොඩි කාලෙ ඉගෙන ගත්ත විමලරත්න කුමාරගම ඉස්කෝලෙට ගියා. එදා සහන් සර් ඒ දරුවන්ගෙන් අපේ ලස්සන ම කර ගන්න ඕනෙ තැන මොකක් ද කියලා ඇහැව්වා. එක දරුවෙක් නැගිටල තමන්ගෙ පපුවට අත තියලා කිව්වා මෙන්න මෙතනයි සර් කියලා.

සර් ටිකක් වෙලා ඒ දරුවා දිහා බලාගෙන ඉඳල ඇහැව්වා පුතාගෙ නම මොකක් ද ඉගෙන ගන්නෙ මොන පන්තියෙ ද කියලා.

සර් මම අටේ ඉන්නෙ, මගෙ නම ඉමල්ක කියල ඒ දරුව කිව්වා.

සර් ඒ පාර ඒ ශාලාවට රැස්වෙලා හිටපු අය දිහාට හැරිල කිව්වා මේ අටේ පන්තියෙ දරුව අපට මතක් කරල දුන්නෙ මේ ඉස්කෝලෙ නම තියෙන මහ කවිය ම මීට කාලෙකට ඉස්සෙල්ල කියපු දෙයක්නෙ කියල ඒ දරුවට ආශිර්වාද කරල ඒ කවිය කිව්වා."

"ඉතින් සර්, සර්ට මතක නං කියන්නකො අපිටත් ඒ කවිය."

"ඒක දරුවනේ එක සැරයක් ඇහැව්වත් මතක තියෙන කවියක්. කුමාරගම කියන්නෙ අපි අහල තියෙන විදිහට බාහිරවත් ලස්සන අභ්‍යන්තරවත් බොහොම ලස්සන මනුෂ්‍යයෙක්. මෙන්න මේකයි ඒ කවිය.

                          හිතවත් බවේ සුදු සඳ කිරණ                 වස්සන

                          හිත දෙන නිතර කවියෙහි කිරිය           උස්සන

                          නොසොයනු මැනවි මගෙ සම උවන ඇස් ගැන

                          මගෙ වත නොවේ මගෙ හදවත ය       ලස්සන"

"ඒක හරිම ලස්සන කවියක්නෙ සර්. අපිටත් ගොඩක් ගන්න දෙයක් ඒ කවියෙ තියෙනවා. මොකද කොච්චර උනත් අපිත් ගොඩක් වෙලාවට බලන්නෙ අපේ හිතට වඩා ඇඟ ලස්සන කරගන්නනෙ."

මේ අදහස් පැවසුවේ එම පන්තියේ ශිෂ්‍යාවක වූ අංජලී ය.

"හැබැයි සර් අපේ අංජලී නං ඔය කියපු කාරණා දෙකෙන් ම සම්පූර්ණ යි. මොකද එයත් ලස්සනයි එයාගෙ හිතත් ලස්සනයි."

දුලාර එසේ කියද්දී පන්තියේ පිටුපස හුන් සිසුවෙක් උස් හඬින් කවි පදයක් ගායනා කරනු ඇසිණ.

"ඔය ගොල්ලන්ට මොකක් ද වෙලා තියෙන්නෙ ඈ මේ සර්රුත් ඉන්න තැන කෝලන් කරන්න ද යන්නෙ ඔයගොල්ලා."

ඒ පන්ති නායිකාව වූ සත්සරණී ය.

"නිහඬ වෙන්න නිහඬ වෙන්න අපේ සප්ත ස්වරයට තද වෙලා."

අනතුරුව පන්තිය නිහඬ කර ගත්තේ ගඟුල් ය.

"අංජලී දුව කිව්වෙ ඔය ගොල්ලො අපි කාටත් හිතන්න දෙයක්. කුමාරගම කවියා වචනවලින් කියපු දේ තමයි මේ දුව වාක්‍යවලින් කිව්වෙ. අංජලීගෙ වචනත් එක්ක මගෙ හිතටත් අදහසක් ආවා. මම කැමතියි ඒක මේ දරුවොත් එක්ක බෙදා ගන්න. හැබැයි මන් මේ කියන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනව කියල ඔයගොල්ලන්ට දැනුණොත් ඒකෙ සම්පූර්ණ ගෞරවේ හිමි වෙන්නෙ අපේ අංජලීට. මොකද මන් මේ කියන්න යන දේට උල්පත උනේ අංජලී නිසා."

"දරුවනේ මේ ලෝකෙ සමහර දෙනා බාහිරෙන් ලස්සනයි. ඒ උනාට ඇතුළාන්තයෙන් ලස්සන නැහැ.

සමහර දෙනා බැලූ බැල්මට බාහිරෙන් ලස්සන නැහැ. ඒ උනාට ඇතුළාන්තයෙන් හරිම ලස්සන යි.

තවත් සමහර දෙනා බැලූ බැල්මට බාහිරෙනුත් ලස්සන යි. ඒ වගෙම  ඇතුළාන්තයෙනුත් හරිම ලස්සන යි.

තවත් කෙනෙක්  බාහිරෙනුත් ලස්සනක් ප්‍රසන්නකමක් නැහැ. ඒ වගෙම  ඇතුළාන්තයෙනුත්  කිසිම ලස්සනක් නැහැ."

"ඔය ගොල්ලන්ට මේ අයගෙන් වැඩියෙන් දැනෙන්නෙ කාවද?"

ගඟුල් ප්‍රශ්නය සිය සිසු දරුදැරියන් අබිමුව තබා මොහොතක් නිහඬ ව බලා සිටියේ ය.

නිහඬතාව බිඳිමින් කතා කෙළේ මනුජා සිසුවිය යි.

"මට නං සර් එක විදිහට දැනෙන්නෙ සර් කියපු දෙකට සහ තුනට අයිති කට්ටිය. ඒ බාහිරෙනුයි අභ්‍යන්තරෙනුයි කියන දෙකෙන් ම ලස්සන අයයි, බාහිරෙන් ලස්සනට නොපෙනුණත් අභ්‍යන්තරය ලස්සන අය යි."

"මට හිතෙනව සර් අපි මේ ලස්සන කියන වචනෙ පාවිච්චි කරන විදිහෙ මොකක්දෝ වරදක් තියෙනව කියලා. මට ලස්සන නැති කෙනෙක් තව කෙනෙකුට ලස්සනට පේන්න පුළුවන්නෙ."

"මොකක් ද ඔය පුතාගෙ නම කියන්න."

"සර් මම දුලන."

"දැන් මේ දුලන අපිව ගේන්නෙත් වෙනස්ම තැනකට. ඔයා පුතා ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ විෂ්ණුශර්මන් පඬිවරයගේ කියමනක්."

"කවුද සර් විෂ්ණුශර්මන් කියන්නේ."

ඒ ප්‍රශ්නය නැඟුවේ පන්තියේ සිටි සිසු දරුවෙකි.

"පුතා විෂ්ණුශර්මන් කියන්නෙ පංචතන්ත්‍රය කියන සංස්කෘත උපදේශ ග්‍රන්ථය ලියපු භාරතීය පඬිවරයෙකුට. එක රජ කෙනෙකුට මෝඩ පුත්තු තුන් දෙනෙක් හිටියලු. රජතුමා දිවා රෑ දෙකේ කල්පනා කළාලු මගෙ මේ පුතුන් බුද්ධිමතුන් කරන්නෙ කොහොම ද කියලා. ඉතින් එක බ්‍රාහ්මණ පඬිවරයෙක් මේ අභියෝගය බාර ගෙන මේ දරුවන්ට හොඳ උපදේශ ගැබ් වෙච්ච කතන්දර කිව්වලු. ලොකු පරිච්ඡේද විදිහට සලකන්න පුළුවන් තන්ත්‍ර කියල නම් කරපු කොටස් පහකින් යුක්ත නිස යි මේ පොතට පංචතන්ත්‍රය කියලා කියන්නෙ. අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපට අවස්ථාව ලැබුණා අන්තර් භාෂා ඥානය කියන පාඨමාලාව යටතෙ ඔය පොතින් කොටස් ඉගෙන ගන්න. මට මේ වෙලාවෙ ඒ පොතේ තැනක් මතක් උනේ අපේ මේ දුලන අහපු ප්‍රශ්නෙ හින්දයි. මොකද එයා ලස්සන ගැන කියපු කතාවම තමයි විෂ්ණුශර්මන් මීට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ල කියල තියෙන්නෙ."

"මොකක් ද සර් ඒ කතාව."

ඒ ප්‍රශ්නය නැඟුවේ පන්තියේ සිටි සිසු දැරියකි.

"කතාවක් කිව්වට දුවේ ඒක සංස්කෘත පද්‍යයක්. ඔය ගොල්ලො අපි පාඩම් කර ගන්න තරං වටින එකක්. මම ඒක කියලම ඒකෙ අර්ථෙ කියන්නංකො.

කිමප්‍යස්ති ස්වභාවේන - සුන්දරං වාප්‍යසුන්දරං

යදේව රෝචතේ යස්මෛ භවේත් තත් තස්‍ය සුන්දරම්

යම් දෙයක් තිබෙනවා ද ලොව සුන්දර හෝ අසුන්දර යයි කිව හැකි. යම් දෙයක් යම් කෙනෙකුට රුචි වෙයි ද ඒ දෙය ම ඒ තැනැත්තාට සුන්දර වෙයි."

"ඒක නං හරිම ලස්සන අදහසක් සර්. මන් ඒක පාඩම් කර ගන්න ඕනෙ."

"ඇයි මමත්......ඇයි මම....."

මෙසේ මුළු පන්තියට ම බෝ වී ගියේ එම පද්‍යය පාඩම් කොට ගැනීමේ වුවමනාව යි.

යළිත් සිය කටහඬ අවදි කෙළේ ගඟුල් ය.

"ඒ වගේ ම ලස්සනට පද ගළපන්න පුළුවන් කවියොත් මෙතන ඉන්න බව පේනවා. මේ පන්තියෙ පිටිපස්සෙන් හොඳට ගළපපු කවි පේළි දෙකක් ඇහුණා. එයා කවුරු උනත් හොඳ කවියෙක් වීමේ වාසනා ගුණය තියෙන කෙනෙක්. ඒ කවියට මන් කියන්නෙ කොයි වෙලාවෙ හරි ඇවිල්ල මාව හමු වෙන්න කියලයි. මන් දන්නව මේ වෙලාවෙ නං ඒ පුතා ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ උනාට මන් දන්නව එයා කොයි වෙලාවෙ හරි මාව මුණ ගැහෙන්න එන බව. මන් මගෙ ශිෂ්‍යයන්ව අසීමිත විදිහට විශ්වාස කරනවා. ඒක නිසා මේ කිසිම දරුවෙක් තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්නයක් හරි අපට කියන්න ඕනෙ කියල හිතුණොත් ඒකට පසුබට වෙන්න එපා."

"සර් මොකක් ද සර් අපේ පන්තියෙ පිටිපස්සෙන් ඇහිච්ච කවිය."

එක් දරුවෙක් එසේ විමසද්දී ගඟුල් ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය.

"එයත් ලස්සනයි එයාගෙ හිතත් ලස්සනයි.

ඔන්න ඕකයි ඇහුණෙ. මට විතරක් නෙමෙයි මේ මුළු පන්තියටම. පැහැදිලි ව ම මේක කාව්‍යෝක්තියක්. ඔය විදිහට පොඩියට පටන් අරන් තමයි ලොකු ලොකු දේවල් හැදෙන්නෙ. හරියට උල්පතකින් ගංගාවක් බිහිවෙනව වගේ. ඒ වගෙම මේකෙ අදහසත් ලස්සනයි. හැබැයි ඒක අපේ අංජලී දුවට විතරක් සීමා කරල හරි යන්නෙ නැහැ. අපි හැම කෙනෙක් ම වෑයම් කරන්න ඕනෙ ඉස්සෙල්ල ම අපේ හිත ලස්සන කර ගන්න. එතකොට නිකන්ම ගතත් ලස්සන වෙනවා."

සිසු දරු දැරියන් නිහඬ ව සවන් දෙන මේ නිමේශයේ දී ගඟුල්ගේ සිහියට නැඟුණේ තම සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන මහාචාර්ය ජයන්ත ජයසිරි මහතා ප්‍රසිද්ධ දේශනයක දී භද්‍ර යෞවනය නියෝජනය කරන පරපුර ගැන කළ ප්‍රකාශයකි.

"විශේෂයෛන් මේ ටීන් ටීන් පරපුරත් එක්ක වැඩ කරද්දි අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒ ගොල්ලො ස්වභාවයෙන් ම හොඳයි. මේ හිත් පිරිසිදු යි. ඒ උනාට මේ මනස්වලට වැඩිහිටි අපෙන් ලැබෙන අදහස් තමයි ඒ ගොල්ලන්ගෙ හොඳ වීම හෝ නරක් වීම තීරණය කරන්නෙ. ඒක නිසා වැඩිහිටි අපට ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන්ගෙ පිරිසිදු හිත් අපිරිසිදු කරන විෂම අදහස් නොදී ඉන්න."

මහාචාර්යවරයා ටීන් ටීන් පරපුර වශයෙන් අදහස් කෙළේ තර්ටීන් - ෆෝටීන් - ෆිෆ්ටීන් - සික්ස්ටීන් - සෙවන්ටීන් - එයිටීන් - නයින්ටීන් ආදි වශයෙන් අවුරුදු දහතුනේ සිට දහනවය දක්වා වන භද්‍ර යෞවනයට අයත් පරපුර යි. දැන් තමා ඉදිරියේ නිහඬ ව හිඳ සිටින්නේ ද ඒ පරපුරේ ම නියෝජනයකි. ගුරුවරයා පිළිබඳ වන අසීමිත විශ්වාසයකින් බලා සිටින මේ දරු දැරියන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙලූ ගඟුල් තව දුරටත් කතා කෙළේ ය.

"මට මෙතෙන්දි තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි මේ පන්තියෙ නායිකාව වන සත්සරණි වැඩ කරපු හැටි ගැන. එයා පැහැදිලි ව ම ඉෂ්ට කළේ නායිකාවකගෙ භූමිකාව. නායකය හරි නායිකාව හරි කියල කියන්නෙ තමන්ගෙ පිරිස වැරදි තැනින් හරි තැනට පමුණුවන කෙනාට. අද අපි ඉස්සරහ තියෙන්නෙ බොහෝ දුරට දේශපාලනික - ආගමික වගේම සාමාජික නායකත්ව බිඳ වැටුණු සමාජයක්. මේ දුවලා පුතාල තමයි අනාගතයෙදි සමාජයට නිවැරදි නායකත්ව දෙන්න ඕනෙ. අපි ගොඩක් දේවල් කතා කළා, රසවින්දන පාඩම වගේම ඒවත් ජීවිතයට වැදගත්. දැන් අපි ආයෙත් අපේ පාඩම දිහාට හැරෙමු.

අපි  ඉස්සෙල්ල දුවේ පුතේ මේ නිර්මාණයට අයිති කවි තුන කියවල බලමු ද? කවුද කාට ද පුළුවන් මේ කවි ගායනා කරන්න."

"සර් මටත් පුළුවන් ඔය කවි ටික කියවන්න. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සර් මන් ඒවා කියවන කොට සර්ටයි පන්තියෙ කට්ටියටයි අහන් ඉන්න පුළුවන් ද කියන එක."

දුලාර පැවසුවේ පන්තියේ සිසු සිසුවියන් පමණක් නොව ගඟුල් ද සිනහ ගන්වමිනි.

"හා හොඳයි එහෙනං පුතා ඔයාම යෝජනා කරන්නකො මේ කවි කියන්න හොඳ කෙනෙක් ව."

"සර් ඕකට ගැළපෙන්නෙ නං අපේ මේ චතුරි. කොටින් ම කිව්වොත් සර් චතුරි නං කවි - කවි නං චතුරි."

"කවු ද මේ චතුරි එන්න බලන්න."

ගඟුල් දුටුවේ ලජ්ජාවෙන් සිය මේසය මතට හිස නැඹුරු කොට ගෙන සිටින දැරියකි.

"කෝ එන්න පුතේ ඉස්සරහට."

චතුරි සිසුවිය සෙමෙන් සෙමෙන් පන්තිය අබිමුවට පැමිණියා ය.

"ඉස්සෙල්ලම අපේ පුංචි කවිකාරිට අප්පුඩියක් ගහල එයාගෙ ඉදිරිපත් වීම අගය කරමුකො අපි."

එසේ පවසා ගඟුල් සිය අත තිබූ පද්‍ය පන්තිය සිය සිසු දියණියගේ දෝතට පෑවේ පන්තිය පුරා පැතිර යන අත්පොළසන් හඬ මධ්‍යයේ ය. අනතුරුව රසික හදවත් ප්‍රකම්පනය කරමින් පැතිර ගියේ චතුරිගේ ලයාන්විත ස්වරය යි. ඒ මොහොතේ ගඟුල්ගේ දෑසට ලක්වූයේ 12 බී පන්තිය වෙත යන්නට ගිය රේණු ගුරුවරිය සිය ගමන මඳකට නවතා ඊට සවන් දෙන ආකාරය යි.

 

                              "මානෙල් ඕලු රසවත් නින්දට           පමුණා

                               හිරු බැස යද්දි ගිනිගත් වනපෙත     නිමුණා

                               සිතිවිලිවලට ඉඩ දී සඳරැස්            නැමුණා 

                               සුළඟේ ගීතවත් වන සිතිවිලි         තෙමුණා

 

                              වනමල් සුවඳ ඇද සඳ කිරණ  දස          අතේ 

                              යන මුත් බියත් අඳුරත් දනිමි වන        පෙතේ 

                              නිසලය අසල මුළු ගංගොඩම          නිදිමතේ

                              මතුවෙයි සුසුම් වට මහ වෙනෙහි      හදවතේ

 

                              හැම තැන නැගුණි වැව් පිටියේ කිරළ     නළා

                              කිසියම් සතෙක් මතු වුණු බව   පහළ     කළා 

                              වෙඩි හඬ ඇසුණි වන පෙත පරිසරය      පළා

                              ලෝකය අඳුරු කර      පුන්සඳ මඬල     මළා "

"මන් මුලින් මේ කවි ගැන මොකුත් කියන්න යන්නෙ නැහැ. කාටද පුළුවන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා මේ කවි පන්තිය ඇහැව්වට පස්සෙ තමන්ගෙ හිතට ආපු හැඟීම විස්තර කරන්න."

මඳ වේලාවක් පන්තිය පුරා පැතිර ගියේ නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් සිය කටහඬ අවදි කෙළේ දුලාර යි.

"ඔව් දුලාර මේ කවි ගැන ඔයාට හිතෙන දේ කියන්න."

"අනේ සර් මන් නැගිට්ටෙ නං කවි ගැන කියන්න නෙමෙයි, ඔය කවි ගැන කතා කරන්න අපේ පන්තියෙ ඉන්න හොඳම කෙනාගෙ නම යෝජනා කරන්න."

"ආ හොඳයි එහෙනං යෝජනා කරන්නෙකො දුලාර එයාගෙ නම."

"සර් එයා තමයි සර් දැන් සර්ගෙ ළඟින්ම හිටගෙන ඉන්නෙ. එයාගෙ තාත්තා අම්මා විතරක් නෙමෙයි සර් එයාගෙ මාම හිටන් යනවා කවි මඩුවලට. මෙයා තමයි අපේ සාමාන්‍ය පෙළ පන්තිවල ඉන්න හොඳම කවිකාරි. කියල වැඩක් නෑ සර් මෙයා ලස්සනට වෙන කවියන්ගෙ කවි කියනව වගෙම එයාම හිටිවන කවි හදලා අපට කියනවා. කොටින්ම ලොකු සර් දවසක් මෙතනින් යනකොටත් ලස්සන කවියක් හදල කිව්ව. මට ඒක නිකන්ම පාඩම් හිටියා. ඒ විතරක් නෙමෙයි සර් අපේ සර්ල මිස්ල අපට ලියාගන්න දෙන සටහන් කවි තුන හතරකින් ලියන්නත් මෙයා දස්සයි. අනිත් එක සර් මෙයා ඒවා අපටත් දෙනවා. ඒ කවි ටික පාඩම් කරගන්නව කියල කියන්නෙ අපේ පාඩමත් ගොඩ කියන එකයි. ඒකනෙ සර් මන් මුලින්ම කිව්වෙ චතුරි නං කවි කවි නං චතුරි කියල."

මේ මොහොතේ ගඟුල් ළඟ සිටගෙන හුන් චතුරි සිසුවිය කෙළේ සිය මුව බිමට හරවාගෙන මහ පොළොවෙහි ඉරි ඇඳීම ය.

"හරි එහෙනං අපි චතුරිට කියමුකො මේ කවි ටික ගැන එයාගෙ අදහස් දක්වන්න. ඒකට කලින් මන් කැමතියි කියන්න පුළුවන් කවියක් නං විතරක්, චතුරි කියපු දුලාරට පාඩං කවිය අහන්න."

"අපොයි පුළුවන් සර්. මොකද මේ ඉස්කෝලෙ කිසිම ළමයෙක් ලොකු සර්ට නරකක් කියන්නෙ නැහැ. මම සර් කවියෙ වචන ටික විතරක් ඔහේ කියාගෙන යන්නං, මොකද මට චතුරිට වගේ කවි කියන්න බැරි නිසා."

"හරි හරි තාලෙට නැතුව හරි ඒ කවිය කියන්ඩකො දුලාර.

                          "ඈත දුරක සිට ඉස්කෝලෙට    ආපු

                            සීත සඳක් සේ මුදු ගුණයම     පාපු

                            පාත බිමේ දරුවන්ටත් අත       දීපු

                            ගීතය තමා මේ අප ගැන හොඳ කීපු"

ගඟුල් මහත් ඕනෑකමින් කවිය අසා සිටියේ ය. මේ වූ කලී විදුහල්පතිතුමන් පිළිබඳ වන දරුවන්ගේ කියවීම යි. අනතුරුව ඔහු කතා කෙළේ ය.

"ඉස්සෙල්ලම ඔයගොල්ලො දෙපාරක් අප්පුඩි ගහන්න. පළවෙනි අප්පුඩිය මේ කවිය ලියපු අර කවි ටික ලස්සනට ගායනා කරපු අපේ චතුරිට. දෙවෙනි අප්පුඩිය චතුරිට ලස්සනට කවි කියන්න පුළුවන් කියපු ඒ වගෙම තමන්ගෙ පන්තියෙ සහෝදරියක්ගෙ කවි මතක තියාගෙන හිටපු අපේ දුලාරට."

ශිෂ්‍ය ශිෂ්‍යාවනට වඩාත් දැනුණේ සිය ගුරුවරයා කතා කරන විලාසය යි. අපේ චතුරි අපේ දුලාර වශයෙන් ආමන්ත්‍රණය කරන ගුරුවරයා මොහොතින් මොහොත සිසු හදවත්වලට සමීප වද්දී ගඟුල් යළිත් කතා කෙළේ ය.

"ඔන්න චතුරි දැන් ඔයාගෙ වාරෙ. අපි දැන් බලාගෙන ඉන්නෙ මේ කවි ගැන ඔයාගෙ අදහස කියනකං."

"සර් මන් දැන් මේ කතා කරන අදහස් මගෙම ඒවා නෙමේ. ගොඩක් ඒවා අපේ මාමා කියපුවා. මේ කවිපෙළ මම මුලින් ම ඇහැව්වෙ අපේ මාමගේ කටහඬින්. අපේ ගෙදර සතියකට දෙතුන් සැරයක් හවස්වරුවල අම්ම, තාත්තාමාමා. කිරි අම්මා, අක්කා, මම මොකක් හරි කවි පන්තියක් ගැන සාකච්ඡා කරනවා. සීයා ඉන්න කාලෙ සීයත් ඒවට සහභාගි වෙනවා. ඒ වගෙ දවසක අපේ මාමා ඔය කවි ටික හරි ලස්සනට කිව්ව. මට ඔය කවි ටික අමතක නොවෙන තවත් විශේෂ හේතුවකුත් තියෙනව. ඒ අපේ ගමේ සිරිල් මාමගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්නත් මේ කවි පන්තිය හේතු වෙච්ච නිසා. "

"බැලුවහම අපේ චතුරි හරිම කතාකාරියක්නෙ. දැන් කරන්නකො ඔයාගෙ විචාරය."

"මේක අහපු පළවෙනි දවසෙ ඇතිවෙච්ච අදහසම තමයි සර් අදත් හිතේ වැඩ කරන්නෙ. මේ පළවෙනි කවිය අහද්දිම අපිට මැවෙන්නෙ ඕළු මානෙල් මල් නිදා ගත්ත හැන්දෑවක්. ඒ වගෙම ටිකෙන් ටික රාත්‍රිය ළඟාවෙන මේ හැන්දෑව වඩාත් ලස්සන වෙන්නෙ හඳ එළිය පොළොවට වැටීමත් එක්ක. හැබැයි ඒ වගේම මොකක්දෝ වචනවලින් කියාගන්න බැරි ගුප්ත බවක් බිහිසුණු බවක් මේ පරිසරයෙ තිබුණා කියන එකත් මේකෙන් කියැවෙනවා. ඒ අදහස තවත් තීව්‍ර වෙන්නෙ ඊළඟ කවියෙන්. සඳකිරණ වැටිල වනබිමේ ගොඩක් තැන්  ආලෝකවත් උනත් එහෙම නොවිච්ච තැන් තියෙන බවත් ඒ තැන් හිතට ඇති කරන්නෙ බියමුසු හැඟීමක් කියන එකත් කවියා ලස්සනට පැහැදිලි කරනවා. බලන්න සර් ඒක කවියා කියපු හැටි.

                        වනමල් සුවඳ ඇද සඳ කිරණ   දස අතේ 

                        යන මුත් බියත් අඳුරත් දනිමි වන පෙතේ 

මේක අපේ මාමා මුලින්ම විස්තර කරපු වෙලාවෙ මට දැනුණෙ මන් රෑක වනන්තරේ තනි වෙලා ඉන්නව වගේ හැඟීමක්."

"ඔයාගෙ මාමා මොනවද දුවේ කරන්නෙ."

"සර් වගේ අපේ මාමත් ඉස්කෝලෙක උගන්නන කෙනෙක්. වැඩි ඈතක නෙමෙයි සර් මේ මිනුවන්ගැටේ ඉස්කෝලෙ."

"මට දැන් ආසයි පුතේ ඔයාගෙ මාමව අඳුනගන්න."

"අනේ සර් අපේ මාමත් හරි ආස වෙයි සර් වගේ කෙනෙක්ව අඳුනගන්න. එයා හරි කරුණාවන්ත කෙනෙක් සර්. එයා මස්මාළු කිසි දෙයක් කන කෙනෙක් නෙමෙයි. ඒ සත්තුන්ගෙ මරණෙට හේතුව අපේ මස්මාළු කෑමය කියල තමයි එයා මස්මාළු නොකන්නෙ. මමත් මස්මාළු කන එක නැවත්තුවෙ මාමා කියන දේවල් අහගෙන ඉඳල තමයි."

මේ නම් තමාට ම හරියන හඳුනාගතයුතු මිනිසෙකි. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමාගේ නිර්මාංසික ජීවිතයට පදනම වූයේ මේ මොහොතේ මෙම සිසු දැරිය මතුකළ කරුණ යි. 

"මා මස් මාළු නොකන්නේ ඉන් පව් සිදුවේ ය යන භයෙන් නොවේ. මස් මාළු කෑම සතුන්ගේ මරණයට හේතු වන බැවිනි."

මෙබඳු පූර්ව ප්‍රකාශිත අදහස්  දැන හෝ නොදැන එබඳු ජීවන චරණයක සිටින මනුෂ්‍යයෝ සිටිති. ගඟුල්ට සිතුණේ ආරාධිත දෙසුමකට මේ ගුරුවරයා ගෙන්වා ඒ සදැසුර සිය සිසු දරු දැරියනට ලබා දීමට යි. එම අදහස ගඟුල් වෙතින් ප්‍රකාශයට පත් වත්ම මේ දරුකැළ කෙළේ උණුසුම් අත්පොළසනක් දී ඒ අනුමත කිරීම ය.

"දැන් දුවේ ආයෙත් ඔයාගෙ විස්තර කිරීමට අවස්ථාව."

"තුන්වෙනි කවිය තමයි සර් අපිව හරි කම්පනේකට පත් කරන්නෙ. ඕනෙම කැලෑවකට ආවේණික ලස්සනක් තියෙනවා. ඒ ලස්සන රැකීම හරි විනාශ කිරීම හරි තියෙන්නෙ මිනිස්සුන්ගෙ අතේ. කුමාරගම කවියා අයිති වෙන්නෙ ඒ ලස්සන රකින මනුස්ස කණ්ඩායමට. මේකෙ කියවෙන සතාට වෙඩි තියපු කෙනාගෙන් සංකේතවත් වෙන්නෙ කැලේ ලස්සන නැති කරන චරිත. ඔන්න ඔය කතාව කියලා අපේ මාමා අපිට කිව්වා දුවලා තීරණය කරන්න ඔයගොල්ලො කැලේ ලස්සන කරන අය වෙනව ද එහෙම නැත්තං කැලේ අවලස්සන කරන අය වෙනව ද කියල. ඔය කතාවෙන් ලොකුම වෙනසකට ලක් උනේ සිරිල් මාමා. ඒ මාමා යාළුවොත් එක්ක දඩයමේ යන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. පහුවදා සිරිල් මාමා එයාගෙ ලොකු අකුරුවලින් ලියපු පුංචි ලියමනක් එවල තිබුණා අපේ මාමට එයාගෙ ලොකු දුවගෙ අතේ. ඒකෙ සර් මෙහෙමයි ලියල තිබුණෙ.

අපේ ඉස්කෝලෙ මහත්තයා වෙත ආදරයෙනි,

මේ සිරිල් ද කැලේ ලස්සන කරන මනුස්සයන්ගේ ගොඩට  දමා ගන්නා මෙන් ඉල්ලමි.

ඉස්කෝලේ මහත්තයාට බුදු සරණයි. 

මීට සිරිල්

සර් සිරිල් මාමා දඩයම් කරන එක සම්පූර්ණයෙන් ම නවත්තල තිබුණ. ඒ විතරක් නෙමෙයි මස් මාළු කන එකත් නවත්තල තිබුණා."

ඒ කියන්නෙ සර් නිර්මාණයකට ජීවිත වෙනස් කරන්න පුළුවන් කියන එක ද?

ඒ ප්‍රශ්නය නැඟුවේ සංකල්පනා සිසුවිය යි.

"මේ දුව හරිම වැදගත් ප්‍රශ්නයක් ඇහැව්වෙ. මමත් විශ්වාස කරනව නිර්මාණයකට ජීවිත වෙනස් කරන්න පුළුවන් කියන එක. අල්ලපු දිස්ත්‍රික්කෙ ඉඳගෙන වැඩ කරපු කුමාරගම කවියට පුළුවන් උනානං එහෙම කරන්න මේ දිස්ත්‍රික්කෙ ඉන්න දුවල පුතාලටත් එහෙම කරන්න බැරිකමක්  නැහැ. මට හිතෙන්නෙත් ජීවිතයක් අහිමි වෙන කොට මහී කාන්තාව පවා කම්පා වෙනවා කියලයි. ඒක නේද කුමාරගම කවිය කිව්වෙ වෙඩි හඬ ඇහුණට පස්සෙ ලෝකය අඳුරු කර පුන්සඳ මඩල මළා කියල. මන් මේ දරුවන්ගෙන් ඉල්ල හිටින්නෙත් පුන්සඳ මඩල අඳුරු කරවන වැඩට සම්මාදන් වෙන්න එපා කියල යි."

අනතුරුව ඇසුණේ කාල පරිච්ඡේදය අවසන් බව හඟවන සීනු නාදය යි.

ගඟුල් දරුවන්ටත් දරුවන් ගඟුල්ටත් ආචාර කෙළේ එදින වෙන් ව යාමට ය. ඒ දෛනික සමු ගැන්ම සිදුවන මොහොතේ ගඟුල්ගේ මුවින් පිටවූයේ පහත සඳහන් වචන සමුදාය යි.

"දරුවනේ අද ඉගෙන ගත්ත කවි පන්තිය ගෙදර ගිහිල්ලත් බලන්න. පුළුවන් නං ඔයගොල්ලන්ගෙම යාළුවා චතුරිලගෙ ගෙදර කළා වගේ මේ නිර්මාණය අරගෙන ගෙදර කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න. ඒ වැඩේ එතනින් නතර කරන්නෙ නැතුව හොඳ නිර්මාණ අරගෙන ගෙදර අයත් එක්ක රස විඳින එක පුරුද්දක් කර ගන්න. ඒ වගෙම චතුරි දුව, මට ඔයාගෙ මාමව හම්බ වෙන්න ඕනෙ පුළුවන් තරං ඉක්මණට. ඒ විතරක් නෙමෙයි දරුවො මට ඔයාගෙ සිරිල් මාමා හම්බ වෙන්නත් ඕනෙ. ඒ දෙන්නගෙන්ම අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා."

"සර් අපිත් එන්න ද සර් එක්ක ඒ ගොල්ලන්ව හම්බ වෙන්න යන්න."

එසේ ඇසුවේ සවිරු ය. ඒ පන්තියේ තවත් කිහිප දෙනෙකුන් ද වෙනුවෙනි.

"හොඳයි හොඳයි එන්න. හැබැයි ඔයගොල්ලො ගෙවල්වලට කියලා එන්න. අපි හෙට අනිද්ද දවසකම යමු ඒ ගොල්ලන්ව හමු වෙන්න."

මෙසේ පවසා ගඟුල් එම පන්ති කාමරයෙන් එළියට පැමිණියේ විදුහල්පතිතුමන් හමුවීමට යනු පිණිස ය.

ගඟුල් කාර්යාලයට ඇතුළු වද්දී ඔහුට ඇසුණේ ක්‍රීඩා උත්සවය පවත්වන ආකාරය පිළිබඳ ව විදුහල්පතිතුමනට කරුණු පැහැදිලි කරමින් සිටි අතුලගේ කටහඬ යි.

"මෙහෙමයි සර් මට සම්පූර්ණ නිදහස දුන්නනෙ කැමති විදිහේ සැලැස්මක් හදන්න කියලා. සර් මට නිදහස දුන්නට අපේ කමිටුවේ තරුණ හාදයන්ගෙන් හාදියන්ගෙන්නං ඒ නිදහස හම්බ උනේ නැහැ. හැබැයි සර් ඒ හැම අදහසක් ම වගේ වැදගත් කියල හිතුණ නිසා ඒව ඔක්කොම වගේ ඇතුළත් කරල තමයි ඕක හැදුවෙ. දැනට අත් අකුරින් ලියල තියෙන මේ සැලැස්මෙ සර් කරන වෙනස්කමුත් ගත්තට පස්සෙ මම මේක ටයිප් කරවල ගෙනත් දෙන්නං."

"කෝ බලන්න අතුල සැලැස්ම. හ්ම්...හැබැයි මේ අත් අකුරුනං උඹේ නෙමෙයි අතුල."

"ලොකු සර් හරියටම හරි ඔය අත් අකුරු අතුල සර්ගෙ නෑ නෑ අතුල අය්යගෙ නෙමෙයි එයාගෙ නිසි බලධාරිතුමියගෙ."

ගඟුල් එසේ පැවසුවේ විදුහල්පතිවරයා සහ අතුල සිටි ස්ථානය වෙතට එමිනි.

"මන් අඳුරගත්ත අත් අකුරු. මේ අපේ නදීගෙ අකුරු. අමුතුවෙන් ටයිප් කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නෙ පැහැදිලි මුතුකැට වගේ අත් අකුරින් ම. ආ ඒක නෙමෙයි මොකද අපේ ගඟුල් සර් අතුල මහත්තයට මුලින් සර් කියන්න ගිහිල්ල එකපාරටම ඒක අතුල අය්යා කියලා වෙනස් කළේ."

"මට සර් මෙතුමා තහනං නියෝගයක් දැම්මනෙ එයාට සර් කියන්න එපා කියල. මුලින් මචං කියල කතා කරපන් කිව්වා. එහෙම බැරිනං අතුල කියල නමින් කතා කරපන් කිව්ව. ඒකත් බැරිනං ඔය සර් කෑල්ල නැතුව අය්යෙ කියලවත් කතා කරපන් කිව්වා. මන් ලොකු සර් තුන්වෙනි යෝජනාව තමයි ඉතින් මේ ක්‍රියාත්මක මේ කරන්නෙ."

"ඒ කියන්නෙ ඇවිල්ල සතියක් දෙකක් යන්නත් ඉස්සෙල්ල ඔයාව අතුල සර් සරෙන්ඩර් කර ගත්තා."

විදුහල්පතිතුමා පැවසුවේ සිනාසෙමිනි.

"සර් එයා අපිව සරෙන්ඩර් කරාට එයා පටස් ගාලා සරෙන්ඩර් වෙන තැනක් තියෙනවා. වචනයක් කතා කරන්න ඕනෙ නැහැ එක බැල්මක් ඇති. හැබැයි සර් මේ ටිකත් කියන්න ඕනෙ. ඒක මහ ආදරණීය සරෙන්ඩර් එකක්."

"ඇත්තට කවුද ඔය අපි නොදන්න අතුලගෙ සරෙන්ඩර්."

විදුහල්පතිතුමා පැවසුවේ කිසිවක් නොදන්නා ගාණට ය.

"ඔය මුගෙ බොරු සර්. කිසි සරෙන්ඩර්කාරයෙක් නැහැ සර් මාව සරෙන්ඩර් කරන්න මෙහෙ සර් ඇරුණහම."

"ඇත්ත ලොකු සර් සහතික ඇත්ත. සරෙන්ඩර්කාරයෙක් නං නැහැ තමයි සරෙන්ඩර්කාරියකුයි ඉන්නෙ."

"කවුද ගඟුල් ඒ." 

"ඇත්තටම ලොකු සර් දන්නෙම නැද්ද?"

"දන්නැති හින්දනෙ බන් මේ අහන්නෙ. කවුද ඒ කියපන්කො මටත් දැන ගන්න."

දැන් විදුහල්පතිවරයා ගඟුල් ද අතුල මෙන් සමීපතමයන්ගේ ගොඩට දමාගෙන අවසාන ය.

"වෙන කවුරුවත් නෙමෙයි සර් අපේ නදී අක්කා. සර්ගෙ ආචාර්ය මණ්ඩලයෙ ඉන්න නදී මිස්."

"හෝ හෝ ඒකත් එහෙමයි. ඒක ගැන මෙහෙම සුළුවෙන් කතා කරල හරි යන්නෙ නැහැ. අපි විස්තර ඇතුව ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් බලමුකො අපි ක්‍රීඩා උත්සවේ සැලැස්ම."

විදුහල්පතිවරයා වරක් එය නිරීක්ෂණය කෙළේ ය. දෙවන වරට ද සැලැස්ම දෙස බලා එය මේසය මත තබා අනතුරුව යළිත් එය අතට ගෙන බලා කතා කෙළේ ය.

"මන් හිතුවටත් වඩා හොඳ සැලැස්මක්නෙ අතුල මේක. මට අලුතින් එකතු කරන්න කියල ඔයගොල්ලන්ගෙ ඉල්ලන්න තියෙන්නෙ වැඩ එකක් දෙකක් විතරයි. මේ නිවාසවල වැඩ බෙදලා තියෙන විදිහටත් මම කැමතියි. අපි නිර්මාණය කරන්න ඕනෙ ක්‍රීඩා උත්සවේ ඉවර උනාට පස්සෙ එකිනෙකාට කුලල් කාගන්න හිතෙන පරිසරයක් නෙමෙයි. ඔය ගොල්ලො හදල තියෙන්නෙ එහෙම අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය නොවෙන විදිහෙ සැලැස්මක්. මට මේකෙ පැහැදිලි කරගන්න විතරක් කාරණයක් දෙකක් තියෙනවා. අපි අන්න ඒ ටික කතා කරල ඉමු." 

"ඔව් සර් හිතන කාරණා ටික අපට කියන්ඩකො. ඊට පස්සෙ අපි සාකච්ඡා කරල කරන්න ඕනෙ වෙනස්කම් වගේම එකතු කිරීම් කරමු. "

එසේ පිළිතුරු දුන්නේ අතුල ය.

"අතුල ඔයගොල්ල මේ ආරාධිත අමුත්තන් විදිහට සහභාගි කරගන්න හිතපු කණ්ඩායමත් හොඳයි. ඒකට අලුතින් මම නම් දෙකක් විතරක් යෝජනා කරන්න කැමතියි. එක් කෙනෙක් මේ ගමේ වෙද මාමා. අනික් කෙනා අපේ ගොවි සංවිධානෙ සභාපතිතුමා. ඒ වගෙම ගඟුල්, අපේ අතුල සර්ගෙන්ම කෙරෙන්න ඕනෙ තවත් වැඩක් තියෙනවා."

"ඒ මොකක් ද සර්."

ඒ විමසීම අතුලගෙනි.

"අතුල කුරුණෑගල අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට වගේම දැන් මහව ඉන්න අලුත් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට ආරාධනය කරන එක තවත් ගුරුවරයෙක් දෙන්නෙක් එක්ක ගිහිල්ල ඔයාම කරන්න. ඒ වගෙම ඔයාගෙන් කෙරෙන්න ඕනෙ තවත් වැඩක් තියෙනවා. ඒ තමයි අපේ හිටපු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට ආරාධනය කරන එක. ඒ වැඩේ ඔයාගෙ අතින් කෙරෙනවනං තමයි මම ගොඩක්ම  කැමති."

"අය්යෝ සර් ඒක මොකක් ද මම හරි කැමැත්තෙන්ම කරන්නංකො ඒ වැඩේ. ඔන්න අර කලින් විදිහට ඒ මනුස්සයා අලි ඔළුවෙන්ම හිටියනං මට යන්න බැහැ. එහෙමනං මන් දන්නව ලොකු සර් මට ඔය වැඩේ කියන්නෙත් නැහැ. දැන් ඉන්නෙ හොඳ පැත්තට වෙනස් වෙච්ච මනුස්සයනෙ. ඒක නිසා සර් මන් එයා දැන් වැඩ කරන කොට්ඨාස කාර්යාලෙට ගිහින් ඒ ආරාධනේ කරන්නං."

"ඔන්න ඕක තමයි අතුල මන් උඹට ගොඩක් කැමති. මිනිහෙක් වැරදි පැත්තෙන් එනකොට එයාට විරුද්ධ වෙනවා වගේම එයා ඒ වැරැද්ද හදාගෙන හරි පැත්තට එනකොට එයාව පිළිගන්න ගුණය මම අතුලගෙ ජීවිතයෙ දැකපු විශිෂ්ට ගුණයක්."

"බොහොම ස්තුතියි සර් මන් ගැන ඔහොම හිතනවට. "

"අනිත්තෙක මේ සමස්ත ක්‍රීඩා උත්සවය පැවැත්වෙන තුරා අමුත්තන්ට සංග්‍රහ කිරීම් ඇතුළු සියල්ල සජීවි ආහාර විය යුතුයි කියල මේකෙ සඳහනක් තියෙනවා. මට ඒක පැහැදිලි මදි. මන් කැමතියි අතුල ඒ කාරණේ පැහැදිලි කරගන්න."

"සර් ඔය ප්‍රශ්නෙට නං උත්තර දෙන්න දන්නෙ මෙන්න මේ හාදයා තමයි. මේ හාදයා ඔය යෝජනාව ගෙනාවා. තෙන්නකෝන් සර් ද සුමනා මැඩම් ද රේණු ද මිහිදිනී ද ඒ විතරක් නෙමෙයි මාත් එක්ක එක දවසේ මේ ඉස්කෝලෙට ආපු මගේ ම යාළුවා වන සමරේ ද යන සියලුම දෙනා ඒක තදින්ම අනුමත කරානෙ. ඒ විතරක් නෙමෙයි ලොකු සර් අපේ නදී හිටන් ඒක අනුමත කරානෙ. මට පේන්නෙ මේ ඇවිල්ල ඉන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්නං වෙන්න බැහැ. මිනිස්සු වශී කරන මන්තර දන්න ඉන්ද්‍රජාලිකයෙක් ද කොහෙද?"

අතුල එසේ පැවසුවේ ගඟුල් දෙසට අත දිගු කරමිනි.

"හා හොඳයි එහෙමනං අපි අතුල,  මේ ඉන්ද්‍රජාලිකයගෙන් ම අහමුකො සජීවි ආහාර කියන්නෙ මොනවට ද කියලා. කෙනෙකුට එක පාරටම හිතෙන්නෙ නං මරන් නැතුව පණපිටින් සත්තු ආහාරයට ගන්නව වගේ අදහසක්. ඒත් ගඟුල් අදහස් කළේ එහෙම දෙයක් නං වෙන්න බැහැ. මන් කැමතියි ගඟුල් මේ කාරණේ පැහැදිලි කරනව නං."

"සර් මේකෙ පසුබිමත් එක්ක කතා කරන්න ගියොත් නං ටිකක් දිග කතාවක් වේවි. සර්ට වෙලාව තියෙනවනං ඒක කියන්නං. එහෙම නැත්තං කෙටියෙන් කියන්නං."

"නැහැ නැහැ මුළු කතාවම කියමු. කොහොමත් අර්ථවත් කතාවක් කියලා හිතෙන දෙයකට අපි වෙලාව හදා හරි ගන්න ඕනෙ."

"හොඳයි සර් මම කියන්නං ඒ පසුබිමත් එක්ක ම කතාව."

"විශේෂඥ වෛද්‍ය විමලචන්ද්‍ර සිරිසේන මහත්තය අපේ සර්ගෙ අම්මගෙ උපන්දිනේට පොතක් තෑගි දීලා තියෙනවා. ඒ පොතේ නම සුවරිය හැර හිමවත ගිය හිමි වත. ඒක රොබින් ෂර්මා කියන ප්‍රසිද්ධ ලේඛකයා ලියපු The Monk Who Sold His Ferrari කියන පොතේ සිංහල පරිවර්තනය. ඒක පරිවර්තනය කරල තියෙන්නෙ ලීලානන්ද ගමාච්චි කියන අද අපි අතර නැති ප්‍රවීණ පරිවර්තකයා. සර් ඕක බලල අපිටත් දුන්න කියවන්න. ඒ වගේම සර් දවසක් බදුල්ලෙ දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙයෙන් සංවිධානය කරපු වාර්ෂික සාහිත්‍ය දේශනය කරන්න බදුල්ලෙ ගිහින් තිබුණා. එහෙදි සර්ගෙ ශිෂ්‍යයෙක් කියලා තිබුණා වස විසෙන් තොර ආහාර හදාගෙන පරිසරයට හානි නොවන විදිහට ජීවත් වන සොබාදහමට බොහොම ආදරේ කරන පවුලක් ගැන. තාත්තයි අම්මයි දුවලා දෙන්නයි ඒ පවුලෙ ඉඳල තියෙන්නෙ. දේශනය ඉවර උනා විතරයි සර් අර පවුල ගැන විස්තර කරපු ශිෂ්‍යයයි තවත් අපට ගොඩක් සීනියර් අය්ය කෙනෙකුයි එක්ක එහෙ ගිහින් තිබුණා. ඒ සීනියර් අය්ය මට කිව්ව හැටියට ඒ ගෙදර මහත්තයයි  අපේ සර්රුයි ගොඩාක් වෙලා ගොඩාක් දේවල් කතා කරල තියෙනවා බොහොම ප්‍රයෝජනවත්. ඒක ඒ ගොල්ලන්ටත් හරි වෙනස් ප්‍රසන්න අර්ථවත් අද්දැකීමක් උනා කියලයි ඒ අය්යා මට කිව්වෙ. ඉතින් සර් එතනින් සමු ගන්න වෙලාවෙ අර මහත්තයට සර් ලියපු පොත් දෙකක් තෑගි කරල තියෙනවා. ඒ වෙලාවෙ ඒ මහත්තය කියල තියෙනව අපේ සර්ට  ඔබතුමාට දෙන්න මටත් තෑග්ගක් තියෙනව කියල. තෑග්ග පොතකුයි සංයුක්ත තැටියකුයි. ඒ තමයි රොබින් ෂර්මගේ මන් අර මුලින් කියපු  The Monk Who Sold His Ferrari  පොතයි ඒ මුළු පොතම ෂර්මාගේ කටහඬින් කියන තැටිය යි. සර්ට මාර සන්තෝසයක් දැනිල තියෙන්නෙ. මොක ද හොය හොය හිටපු පොතයි ඒ මුළු පොතම කතුවරයගෙ කටහඬින් තියෙන තැටියයි දෙකම එකට හම්බ වෙච්ච නිසා."

"ඉතින් ගඟුල් ඒ සර්ට විතරක් නෙමෙයි මටත් සතුටුයිනෙ. දැන් මට හිතිල තියෙන්නෙ මේ ඔක්කොම තියෙද්දි ඔයා ඔච්චර හැඟීමෙන් කතා කරන ඒ පොත් දෙක බලල ඉන්න. ඒ වගෙම ලේඛකයගෙ කටහඬින් මුළු කතාව ම අහන්න. ඒවා ඔක්කොම ගඟුල්ලගෙ සර් ළඟ  දැන් ඇති නේ ද? "

"නෑ සර් ඒවා දැන් තියෙන්නෙ තැන් තුනක."

"ඒ කියන්නෙ එහෙනං මට බලාපොරොත්තු අතහැර ගන්නයි වෙන්නෙ."

"නෑ නෑ සර් ඒ ඔක්කොම ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. සර්ගෙ අම්මට තෑගි හම්බ වෙච්ච පොත සර් ගාව තියෙනවා. ඒකෙ ඉංග්‍රීසි පොත සර්, සර්ගෙ නෝනට දීල තිබුණා උපන්දින තෑග්ගක් හැටියට. සර් තමන්ට වඩා වැඩි ප්‍රයෝජනයක්  ලබාවි කියල හිතපු හිතවත් වෛද්‍යවරයෙකුටයි එයාගෙ නෝනටයි තෑගි කරල තිබුණ සංයුක්ත තැටිය."

"එහෙනං ඉතින් කාලයක් යාවිනෙ ඒවා ගෙන්න ගන්න."

"නෑ සර් එයින් එකක් නං හෙට ඉස්කෝලෙට හරි එහෙම නැත්තං අද හවස සර්ලගෙ ගෙදරට හරි ගෙනත් දෙන්න මට පුළුවන්." 

"ඒ කොහොමද ගඟුල් ඔයා මේ දැන් කොළඹ ගිහින් ඔයාගෙ සර්ව හම්බ වෙලා ඒ පොතක් ගෙනත් දෙනව ද අතුල කියන විදිහෙ ඉන්ද්‍රජාලිකයෙක් නිසා. එහෙම නැත්තං ....."

"කොළඹ යන්න දෙයක් නැහැ සර්. ඒකෙ ඉංග්‍රීසි පොත තියෙන්නෙ මන් ගාව. මම මේ ඉස්කෝලෙ ගුරු පත්වීම ගැන කියන්න සර්ලගෙ ගෙදරට ගිය දවසෙ මට මැඩම්ගෙන් ලැබුණ එක තෑග්ගක් තමයි ඔය පොත. මම අද හවසම සර්ට ඒක ගෙනල්ල දෙන්නම්. ඒකෙ සිංහල පරිවර්තනෙත් ලස්සනයි. මම නිවාඩුවට ගෙදර ගිහින් එනකොට ඒ පොතත් ඉල්ල ගෙන එන්නං."

"එතකොට ගඟුල් අර සංයුක්ත තැටිය ?"

"ආ සර් ඒකත් ඉල්ල ගන්න පුළුවන්. ඒක සර් දුන්නෙ ඩොක්ටර් සමාධි රාජපක්ෂටයි එයාගෙ නෝන නිසංසලාටයි.යි. සර් කැමතිනං සර්ගෙ අවසරේ ඇතිව  ඒ දෙන්නවම මේ ඉස්කෝලෙ වැඩමුළු දෙකකට ගෙන්නන්න පුළුවන්. ඒ දෙන්න ම එහෙම වැඩකට කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ සේවයක් විදිහට කරාවි."

"ගඟුල් වැඩමුළු දෙකක් කියල කිව්වෙ."

"ඩොක්ටර් සමාධිට පුළුවන් එයාගෙ යාළුවොත් එක්ක ඇවිත් සෞඛ්‍ය සායනයක් කරන්න ගමේ කාටත් ප්‍රයෝජන ගන්න පුළුවන්වෙන විදිහෙ. ඒකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් දැනටත් සැරින් සැරේ ගමට ඇවිල්ල සෞඛ්‍ය සායන කරන මේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක් වෙන ඩොක්ටර් අසේල විජේසුන්දරවත්. ඒ වගෙම ඩොක්ටර් සමාධිගෙ නෝනා නිසංසලා රාජපක්ෂ කියන්නෙ සෞන්දර්යවේදිනියක්. එතුමියට පුළුවන් සෞන්දර්ය වැඩමුළුවක් කරන්න. අපිට පුළුවන් සර් අපේ ළමයින්ට අමතරව අවට ඉස්කෝලවල සෞන්දර්යය ඉගෙන ගන්න දරුවන්ටත් ඒකට ආරාධනය කරන්න."

"ෂා හරිම හොඳ යෝජනාවක්නෙ. මගෙ අනුමැතිය විතරක් නෙමෙයි ඔය වැඩේට මගෙ සම්පූර්ණ සහයෝගයත් ලැබෙනවා."

"සර් මේ යකා තව කාලයක් හිටියොත්නං අපි ඔක්කොමගෙම ලකුණු කැපෙනවා."

එසේ පැවසුවේ විදුහල්පතිතුමාගේත් ගඟුල්ගේත් සංවාදයට මෙතෙක් නිහඬ ව සවන් දී සිටි අතුල ය.

"උඹ ඔහොම කිව්වට හදවතින් මේ වැඩ කොච්චර අනුමත කරනව ද කියන එක මම දන්නව අතුල. කොටින් ම කිව්වොත් මේ සායන දෙක තියන්න හැදුවොත් ඒවට මට වඩා ගඟුල්ට උදව් කරන්නෙ උඹ බවත් මන් හොඳට ම දන්නවා. උඹේ ඔය කතාව ඇහැව්වහම මට මතක් උනේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ප්‍රසිද්ධ දේශනයකදි කියපු කතාවක්. ඒක මෙතෙන්ට හරි අදාළයි."

"කියන්ඩ කියන්ඩ සර්."

ඒ කතාව දැන ගැන්මට ගඟුල්ටත් වඩා උනන්දුවක් දැක්වූයේ අතුල ය.

"දවසක් අදිකාරම්තුමා මහනුවර ධර්මරාජෙ දේශනයකට ආවා. එතුමා එදා නතර උනේ මගෙත් යාළුවෙක් වෙච්ච මහේන්ද්‍ර සරත් අබේසුන්දරලගෙ ගෙදර. එයත් ගුරුවරයෙක්. මම එදා මහේන්ද්‍රලගෙ ගෙදර ගියා. එදා මගෙ ජීවිතෙත් මහ අනුස්මරණීය දවසක් ගඟුල්. එදා තමයි අදිකාරම්තුමා දැන හඳුනගෙන සමීප කතාබහක යෙදෙන්න මට අවස්ථාව ලැබුණෙ අතුල. ඒක මට මගෙ ජීවිත කාලෙ ලැබුණු වෙනස්ම අද්දැකීමක්. ඒක මන් ගඟුල්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඊට පහුවදා ධර්මරාජෙ තිබිච්ච දේශනේ අහන්න මමත් ගියා. මාතෘකාව මවකගේ ආදරය. අතුල කතා කරද්දි මට මතක් උනේ එදා අදිකාරම්තුමා කියපු කතාවක්."

"ඔන්න මල්ලි අහගනින්. මගෙ වැදගත්කමත් ඒකෙන් හෙළිවෙනවනෙ. ලොකු සර් වගෙ කෙනෙකුටත් කතා මතක් වෙන්න තරං මන් වැදගත් කෙනෙක්නෙ."

"කවුරු කිව්වත් නැතත් කවුරු පිළිගත්තත් නැතත් උඹ වැදගත් කෙනෙක් තමයි. ඒක පිළිගත්ත නිසා තමයි උඹේ මේ විදුහල්පති, ඒ විතරක් නෙමෙයි මේ ඉස්කෝලෙ වගේම මුළු ගමේම ලොකු පිළිගැනීමක් තියෙන තෙන්නකෝන් සර්, සුමනා මැඩම් වගේ අපිත් ගොඩක් ගරු කරන චරිතත් එච්චරක් ද ලේසියෙන් කෙනෙකුට ඔළුව නමන්නෙ නැති රේණු වගේ තරුණ ගුරුවරියකුත් ඒ වගේම නදී, මිහිදිනී, සමරෙ, මේ ගඟුල්ල වගෙ චරිතත් හරියටම මහ පවුරක් වගේ මේ වෙලාවෙ උඹ වටා ඉන්නෙ. ඒ අය උඹට උදව් කරන්නෙ අතුල මේ විදුහල්පතිගෙ කීමට විතරක් නෙමෙයි උඹ උඹේ ජීවිතෙන්ම මෙතෙක් පෙන්නල තියෙන යහගුණත් හින්දයි."

"ආයෙත් සැරයක් ස්තුති කරනව සර්ට දෙවෙනි සැරේටත් මට සහතිකයක් දුන්නට. දැන් අපි බලන් ඉන්නෙ ලොකු සර්ගෙ කතාව අහන්න."

එසේ පැවසුවේ අතුල ය.

"දවසක් තරුණ පුතෙක් භයානක කොටියෙකුත් ගැවසෙනව කියන ආරංචියක් පැතිරිලා තියෙන කැලයක් මැද්දෙන් ගමනක් යාමට හිතනවා. මෙයා මේ ගමන යන්න හදන කොට එයාගෙ අම්ම කියනව ඔය ගමන යන්න එපා කියලා. මේ පුතා අම්මගෙ කියමන අහන්නෙ නැතුව පහුවදා උදෙන්ම ගමනට පිටත් වෙනවා.ඒ වෙලාවෙ අම්මට හොඳටම කේන්ති ගිහිල්ල කියනව උඹව කොටියම කාපන් කියලා. අර පුතා මේක ගණන් ගන්නෙ නැතුව අර ගමන යනවා. ටික දුරයි යන්න හම්බ වෙන්නෙ. අර කිව්ව වගේම මෙයාගෙ ඉස්සරහට කොටියා එනවා."

"අරයා මාර අම්ම කෙනෙක්නෙ සර්."

"එයා මාර අම්ම කෙනෙක් නෙමෙයි අතුල. මේ කතාව අන්තිමට තමයි අපිට ඒ අම්ම මාර අම්ම කෙනෙක් නොවෙන බව  පැහැදිලි වෙන්නෙ."

"ඉතින් ඊට පස්සෙ මොකක් ද ලොකු සර් උනේ. "

යළිත් ඒ කතා කෙළේ අතුල ය.

"අර කොටිය තමන්ගෙ සමීපයටම ආපු වෙලාවෙ මේ පුතා මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා."

"අම්ම කියපු දේ නෙමෙයි අම්ම හිතපු දේ ඉෂ්ට වෙන්න ඕනෙ."

"මොකක් ද දන්නව ද ඒ වෙලාවෙ වෙන්නෙ. අර කොටියා මෙයා දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ආපහු හැරිල කැලේ ඇතුළට යනවා."

"ඒක නං සර් මනුෂ්‍ය ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් අතින් ලියැවෙච්ච කතාවක් කියලයි මට හිතෙන්නෙ."

"උඹට හිතාගන්න පුළුවන් නේද ඇයි මන් මේ කතාව කිව්වෙ කියලා."

"ඔව් සර්." 

අතුල ගඟුල් දෙස ද බලා එසේ පැවසුවේ හැඟුම්බර ව ය.

මේ අතර විදුහල්පතිතුමාගේ ලේකම්වරිය වන නිම්මි එතැනට පැමිණියේ විදුහල්පතිතුමන් හමුවීම සඳහා දෙමව්පිය යුවළක් පැමිණ ඇති බව දැන්වීමට ය. 

"සර් අර එකොළහමාරට එන්න කියලා කියපු 12 ඒ පන්තියෙ ළමයගෙ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා, දැන් එන්න කියන්නද එහෙම නැත්තං ටික වෙලාවක් ඉඳගෙන ඉන්න කියන්න ද ?"

"නෑ ළමයො මමම දුන්න වෙලාවනෙ. ඒ දෙන්නට එන්න කියන්න. අපි අතුල අදට අපේ සාකච්ඡාව නවත්තමු. ක්‍රීඩා උත්සවෙ ගැන විතරක් නෙමෙයි අපි මේ ටිකට වැදගත් දේවල් කීපයක් ගැනම කතා කළානෙ. අපිට කරන්න හම්බ උනේ නැත්තෙ සජීවි ආහාර ගැන සාකච්ඡාවනෙ. එක අතකට ඒක එහෙම වෙච්ච එක හොඳයි. මම කැමතියි ගඟුල් ඒ ගැන විස්තර ඇතුව කතා කරනව නං ඔයගොල්ලන්ගෙ කොමිටි රැස්වීමෙදි. එදාට මමත් එනව ඒ රැස්වීමට. අදට අපි නවතිමු එහෙනං."

"හොඳයි ලොකු සර් එහෙනං අපි ගිහිල්ල එන්නං."

අතුල සහ ගඟුල් විදුහල්පතිවරයාගෙන් සමුගෙන කාර්යාලයෙන් පිටතට පැමිණියේ තම තමන්ට නියමිත පන්ති වෙත යාමට ය. ඒ එන අතරතුරදී ගඟුල්ට සිහිපත් වූයේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන්ගේ ඉසොඳුරු ප්‍රකාශයක් සහ ඊට ඒ සදැසුර ලද සිය ආදරණීය ගුරුවරයා විසින් ලියන ලද පැදියකි.

"ලෝකයේ සිටින සියලු ම සත්ත්වයන්ගේ ශරීරත් සියලු ම පැළෑටිත් නොකැඩෙන එකම සම්බන්ධතාවකින් වෙළී පවත්නා බව මොහොතකට හෝ පැහැදිලි ව අපට පෙනී ගියහොත් ඒ හේතුවෙන්  ඉතාම ලොකු  වෙනසක් අපේ ජීවිතයෙහි සිදු වෙනවා ඇත. එවිට අද පවතිනවාට වඩා අනුකම්පා සහගත ඇසකින් සතුන් දෙසත් ගස් කොළන් දෙසත් අප බලනවා ඇත.

                       තුරුලිය පිස හමන මුදු සුළඟට                    බැඳෙමි

                       වන පෙත සරන සත් වග දැක පෙම්               බඳිමි 

                       නෙත මෙන් සිතත් තෙත් කොට සෙනෙහස  සදමි

                       මම ඔබ දකිමි,    සුන්දර   ලෝකය                විඳිමි "


1 comment:

  1. සදූපදේශ අතහැරුණු සාහිතයක් නොමිනිස්කමට උර දෙනවා. ආත්මාර්ථය වැඩි වෙනවා. ඒ ගැටලුවලට ලස්සන විචාරාත්මක පිළිතුරක් අපේ ගුරු දියවරේ හමුවෙනවා. සොබාදහමට වඩා අද කතාවේ කොටස මිනිසුන්ට සමීප වෙලා....කවි ලෝකයක්

    ReplyDelete