Saturday, May 27, 2023

86. ගුරු දියවර නවකතාව - විසි එක්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                  ගුරු දියවර 21

                 



                          සතර වරම් දෙව් මහරජ

                          සතර අතින් ඇවිදින්

                          පිරිත් පැන් ඉසිති පුතුනේ

                          පුවක් මල් කිනිත්තෙන්

 

ප්‍රඥාප්‍රදායි අර්ථවාහී මධුරගීතාභිලාෂී සහෘදය ත්‍රිත්වයක හද විල් මහදානන්දයෙන් පුරවමින් අමයුරු අමරදෙව් ස්වරගත, සුගේයකාරී රත්නලිඛිත එසොඳුරු ගීතයට සිය විපුල ස්වරය එසේ මුසු කෙළේ ලලිතකලාවේදී විපුල් සමරනායක යි. ඒ රුවන්පුර සමන් මහදෙව් පුදබිමින් නික්ම අසිරිමත් බදුලු පුරවරය බලා යනු පිණිස යළි රියට නැඟි කනිටු සොයුරු ගඟුල් සහ රේණු මිහිදිනී සුහදිනියන් ද්විත්වයේ හෘදයාචනයට අනුව යි.

සමන් දෙවියන් වෙතින් ඇරැඹි දෙව් හද බැතිය සතර වරම් දෙව් සංසදය වෙත යොමු කරමින් කෙලෙස් දිය නිවා දෝතට වැටෙන නිකෙලෙස් පිරිත් පැන් පොදක් පොදක් සේ එහද විල් තෙමා යළිදු මේ ගලා යන්නේ ඒ මධුර ගීතය යි.

 

                         පලා පෙති බැඳන් ගෙල වට

                         හංස පියාපත් සලමින

                         නුඹේ පා යටින් සඳකඬ පහණ පායලා

                         බ්‍රහස්පතී තාරකාව

                         මුදුන් වී සරත් නුබ ගැබ

                         ස්වර්ණමාලි මහ සෑ අග කොත් පළන්දලා

                         කලා වැව්දියේ උත්පල

                         නෙළාගෙන ඇඟිලි පොකුරට

                         අප්සරා ළඳුන් ලෙන් දොර 

                         සිනා නඟනවා

සඳකඩ පහණ මත හිඳ සිටින මොහොතක හංස පියාපත් සැලෙන සුවය දෙපයට ගෙන දෙමින් පැනසර ගුරු තරුව රන්මැලි මහ සෑ රදු අග දිස් වන කලා වාපියේ සුජලත සහජාත උපුල් මල් දෝතින් දරා ගත් සුන්දර අප්සරාවන් ඇති මනහර සිත්තමක් තෙහද බිතු මත අඳිමින් තව දුරටත් ගලා ගියේ අව්‍යාජ කලාකරුවකුගේ හෘදයහාරී මියුරු කටහඬ යි.

 

                          වලාහක දෙවිඳු ඉසිවර

                          ඇසින් බල බලා පුතු දෙස

                          ඉසුරු මුනි විහාරය ළඟ අන්න හිඳිනවා

 

දෙවිවරුන් ලෙසින් හැසිරෙන

මේ උතුම් බිමේ අසිරිය

නිදන්ගත ශ්‍රමය බැව් මම පුතුට කියනවා 

 

ගීතාවසානයෙන් පසු පැවතියේ එමිහිර විඳ ගන්නා නිහඬතාවේ නිමේශය යි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සන්මිත්‍ර ගීතනාත් කුඩලිගම විසින් කියන ලද පිය කුඩලිගම කිවිඳුන් විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශය යි.

              ගීතය නතර වන තැන ඇරඹෙන්නේ සංගීතය යි.

මේ වූකලි ගී ගැයූඒ ඇසූ හදවත් සතරක තථ්‍ය වූ සංගීතයේ උපත සිදු වූ අසිරිමත් නිමේශය යි. නිහඬතාව නිමා කරමින් කතා කෙළේ මිහිදිනිය යි.

‘ ගඟුල් සර්, රත්න ශ්‍රී සර් ලියපු අමරදේව සර් කියපු අපේ සිංහල ගීතාවලියට එකතු වෙච්ච හොඳම ගීතයක් තමා මේ කියල යි මට හිතෙන්නෙ. ඒ වගෙම කියන්න ඕනෙ මෙතෙන්දි අපේ විපුල් අය්යත් ඒ ගීතයට කරන්න ඕන උපරිම සාධාරණය ඉෂ්ට කළා කියන එක.’

‘  මිහිදිනී නංගි කියපු පළවෙනි කාරණේ නං හරිමොකද මේ ගීතය අපේ සිංහල ගීතාවලියෙ සුවිශිෂ්ට ගීතයක් කියන එක ගැනනං විවාදයක් නැහැ. හැබැයි මන් ඒ ගීතයට සාධාරණය ඉෂ්ට කළා කියන එකට නං මට කොහොමටවත් එකඟ වෙන්න බැහැ. මොකද අපේ අමරදේව සර් තරමට ම නො උනත් ඔය ගීතය ලස්සනට ඒ වගෙම නිවැරදි ව ගායනා කරන්න පුළුවන් අලුත් පරපුරකුත් අපට ඉන්න නිසා. ඒ විතරක් නෙමෙයි ඔය ගීතය මට වඩා හොඳට ගායනා කරපු අපේ පරපුරට අයිති තවත් කෙනෙක් අපිත් එක්ක හිටියා. හැබැයි එයා කවදාවත් ප්‍රසිද්ධියෙ ඒක කළේ නැහැ. ඒත් මල්ලිට යි මට යි දවසක් පොළොන්නරුවෙ දි ඒ අද්දැකීම විඳින්න ලැබුණා.’

‘ කවුද ඒ ඔයගොල්ලන්ට දැනෙන විදිහට මේ ගීතය කිව්වෙ.’

‘ මන් කැමති යි රේණුගෙ ප්‍රශ්නෙට අපේ මල්ලි උත්තර දෙනවනං.’

එසේ කියා විපුල් බැලුවේ සිය සොහොයුරා දෙස ය. ඒ මොහොතේ කතා කෙළේ ගඟුල් ය.

‘ රේණු අක්කගෙ ප්‍රශ්නෙට මන් කැමතියි මෙහෙම උත්තර දෙන්න. ඇත්තට ම ඔය ගීතය මන් මුලින් ම ඇහැව්වෙ අපේ අය්යගෙ කටහඬින්. අය්යා චිත්‍රයක් අඳින කොට හරි මූර්තියක් හදන කොට හරි ඒක කරන්නෙ ගීතයක් හරි ගීතයක කොටසක් හරි මුමුණ මුමුණා. අය්යා නොදැන හිටියට ඒ ගෙදර ම හිටියා එයාට හොරෙන් ඒ සින්දු රස විඳින රසික යුග්මයක්.’

‘ රසික යුග්මයක්. හරි එක්කෙනෙක් ඔයා. එතකොට අනික් එක්කෙනා කවුද?’

‘ අනිත් එක්කෙනා අපේ අම්මා. දවසක් අය්යා මූර්තියක් හද හද ඉන්න දවසක සැරින් සැරේ මුමුණපු ගීතය උනේ ඕක. පස්සෙ අම්මගෙයි  මගෙයි හොරේ අය්යට අහු උනා. එදා රෑ අපි ගීත ගැන කතා කළා. අය්යා තමයි එදා අමරදේව සර්ගෙ හඬින් ඔය ගීතය අම්මට යි මට යි අහන්න සැලැස්සුවෙ. ඊළඟ අවස්ථාව පොළොන්නරුවෙදි. සඳකඩ පහණක් ළඟ නැවතිලා බුද්ධ මූර්තිය දිහා බලාගෙන එදා ඔය ගීතය හරිම ලස්සනට ගායනා කළේ අපේ සමන් අය්යා. අපි ඔයගොල්ලත් එක්ක නිතර කතා කරන සමන් සිත්තරා. හැබැයි මට කියන්න තියෙන්නෙ මේ අවස්ථා තුනේදිම මම උපරිම ශ්‍රාවකයෙක් උනා කියන කාරණේ තමයි.’

‘ ගඟුල් සර් ඔය ගීතය මුලින් ම පළ උනේ රත්න ශ්‍රී සර්ගෙ ගී පොතක නේද?’

‘ ඔව් මිහිදිනී ඔයා හරි. රත්න ශ්‍රී අය්යගෙ වංකගිරිය අරණේ කියන ගී එකතුවේ තම යි ඔය ගීය තියෙන්නෙ. අමරදේව සර්රුත් තමන් ගායනා කරපු ගීතවලින් විශේෂයෙන් කතා කරන එක ගීතයක් තමා මේක. එතුමා ම තමයි මේක සංගීතවත් කළෙත්. රචනය යි ගායනය යි සංගීතය යි කියන කාරණා තුන ම එක ම විදිහට ගැළපුණු තැනක් තමයි මේ.’

‘ ඒ කියන්නෙ මල්ලි උඹේ අර බර වචනවලින් කිව්වොත් ත්‍රිත්ව සුසංයෝගයක්.’

‘ රේණු අක්කා හරියට ම හරි.’

‘ හරි මල්ලි දැන් උඹට මහන්සිත් ඇතිනෙ. නවත්තපන් අයිනකට කරලා. මෙතන ඉඳලා බදුල්ලට යනකං මන් ගෙනියන්නං වාහනේ. විපුල් අය්යත් යන් ඉස්සරහට මාත් එක්ක කතා කර කර යන්න. උඹ පලයන් පස්සට. එතකොට උඹට යි අරකිට යි පුළුවන් ප්‍රාචීන සාහිත්‍ය යි ප්‍රතිචීන සාහිත්‍ය යි ගැන අර සංකථනෙ ද මොකක් ද කියන එක කරන්න. ඒක රසවත් උනොත් විතරක් මායි විපුල අය්ය යි දෙන්නත් වචනයක් දෙකක් දාන්නංකො.’  

‘ හොඳයි ඊට ඉස්සෙල්ලා රේණු අක්කෙමේ ගීතය ගැන කියන්න තවත් දෙයක් තියෙනවා. මේ ගීතයෙ අන්තිමට තියෙන කොටසෙ අර්ථය ඔක්කොම නෙමෙයි ගොඩක් දෙනා සීමිත අර්ථයකින් විතරක් ගත්තා කියල යි මට නං හිතෙන්නෙ.’

‘ ඒ කිව්වෙ මල්ලි දෙවිවරුන් ලෙසින් හැසිරෙන මේ උතුම් බිමේ අසිරිය නිදන්ගත ශ්‍රමය බැව් මම පුතුට කියනවා කියලා එන කොටස ද?’

‘ මේ ගීතය ඔස්සෙ ගීත රචකයා අන්තිමට කුළු ගන්වන ඒත් ගොඩක් දෙනා එක තැනකට විතරක් සීමා කරපු අදහස තියෙන්නෙ ඔය ටිකේ ම තමයි අක්කෙ.’

‘ මල්ලි මට නං ඔය කොටස පේන්නෙ වැඩ කරන ජනතාවගේ විශිෂ්ටත්වය වටිනාකම අඩු වචන සංඛ්‍යාවකින් ඉස්මතු කරන්න දරපු අතිසාර්ථක ප්‍රයත්නයක් කියල යි.’

‘ ඒ ගැනනං විවාදයක් නැහැ අක්කෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි වැඩ කරන ජනතාව අර්ථ කථනය කරන විදිහෙ යි.’

‘ වැඩ කරන ජනතාව කියන්නෙ ගොවි කම්කරු ජනතාවට. මේ අපි වගෙ ගුරුවරුන් නෙමෙයිනෙ නිදන්ගත ශ්‍රමය වැය කරන අය වෙන්නෙ. මන් හිතන්නෙ රත්න ශ්‍රී මහත්තයට අවශ්‍ය උනේ ඒ ජනතාව ගැන මිසක් හීල් හෙවණෙ වැඩ කරන වෙන වෙන අය ගැන කියන්න නං නෙමෙයි කියල යි.’

‘ නෑ අක්කේ මන් දන්න රත්න ශ්‍රී අය්යා නං ඊට එහා ගිය අර්ථයක් ඔය ගීතය මාර්ගයෙන් දෙන්න වෑයම් කළා කියන එක යි මටනං හිතෙන්නෙ. අපි අක්කෙ ශ්‍රමය කියන කාරණාව අර්ථ කථනය කරන විදිහෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මට තේරෙන විදිහට අපිට දළ විදිහට ශ්‍රමය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කායික ශ්‍රමය යි මානසික ශ්‍රමය යි කියලා. ගොවි කම්කරුවන් මේ මහ පොළොවට හෙළන දාඩියවල වැඩියෙන් ම තියෙන්නෙ කායික ශ්‍රමය. හැබැ යි තමන්ගෙ ගොවිතැන හරි කර්මාන්තෙ හරි නිවැරදි ව කරන්නෙ කොහොම ද කියන එක ගැන ඒ අයත් කල්පනා කරනවා. ඒක නිසා කවර හෝ මට්ටමකින් මානසික ශ්‍රමයත් ඒ කායික ශ්‍රමයත් එක්ක එකතු වෙලා තියෙනවා. 

ඒ වගෙම රේණු අක්කලා මිහිදිනීලා අපි නියෝජනය කරන ගුරු පරපුරේ අය වැඩි වශයෙන් වැය කරන්නෙ මානසික ශ්‍රමය තම යි. ඒත් මොනයම් මට්ටමකින් හරි අපේ දරුවන්ට උගන්නන්න අපි කායිකවත් වෙහෙසෙන්නෙ නැද්දඇයි වෙලාවකට අපේ ම සහෝදර ගුරුවරයෙක් ගුරුවරියක් කියන්නෙ අදත් මන් උගුර ලේ රහ වෙනකං කෑ ගහලා තම යි ආවෙ කියලා. මන් නං හිතන්නෙ අපේ රත්න ශ්‍රී අය්යා කියන්නෙ කායික වේවා මානසික වේවා තමන්ගෙ ශ්‍රමය අවංක ව ම සමාජයට ප්‍රදානය කරන අය තම යි මේ උතුම් බිමේ අසිරිය වෙන්නෙ කියන එක යි. එහෙම දෙවිවරුන් වගේ හැසිරෙන අයට තම යි මේ ප්‍රණාමය හිමි වෙන්නෙ. එහෙම තමන් කරන වැඩේ ගැන හැඟීමක් නැති තමන් ජීවත් වෙන සමාජෙ මනුෂ්‍යයන් දැනෙන්නෙ නැති කෙනා ගුරුවරයා උනත් වෛද්‍යවරයා උනත් ඉංජිනේරුවා උනත් ගොවියා උනත් කම්කරුවා උනත් ඒ අය නං මේ අපි උපන්න උතුම් බිමේ අසිරිය නං වෙන්නෙ නැහැ.’

‘ මල්ලිඋඹ මාර තැනකටනෙ මේ ගීතය ගේන්නෙ.’

‘ නෑ රේණු අක්කෙගඟුල් සර් මේ ගීතය ගෙනාවෙ මාර තැනකට නෙමෙයි ප්‍රබුද්ධ තැනකට.’

මිහිදිනී සිය දෙටු මිතුරියගේ ප්‍රකාශය එසේ සංශෝධනය කළා ය.

‘ මන් නෙමෙයි මිහිදිනී මේ ගීතය ප්‍රබුද්ධ තැනකට ගෙනාවෙ ඒ ගීත රචකයා ම තම යි. අර අපි ගොඩක් වෙලාවට අපිට හිතෙන හිතෙන විදිහෙ අර්ථ දෙනවනෙ ඒවට. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ ගීතාඤ්ජලියෙ එක තැනක තියෙනවා මම දෙයක් ලොව අබිමුව කියනවා. ඔබ ඒවාට ඔබට රුචි අරුත් දෙනවා කියලා.’

‘ කියලා වැඩක් නෑ විපුල් අය්යෙ ඔයාගෙ මල්ලි අපිට වඩා බාල උනාට අපිට එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.’

‘ මට රේණු අක්කෙ මේ කතාබහ අහන කොට දැනෙන්නෙ අපි හොඳ ශාස්ත්‍රීය වැඩ මුළුවකට සහභාගි උනා වගේ හැඟීමක්.’

‘ ඒක අන්‍යෝන්‍ය දෙයක් මිහිදිනී. අද දවසෙත් අපි එකිනෙකාගෛන් කොච්චරක්නං දේවල් ඉගෙන ගත්ත ද? ‘

‘ ඒක නෙමෙයි නංගියෙ උඹ මොකද අර ශාස්ත්‍රීය වැඩමුළුව කියන එක ඉස්සරහින් හොඳ කියන විශේෂණේ දැම්මෙ.මොක ද නරක ශාස්ත්‍රීය වැඩමුළුත් තියෙනව ද? ‘

‘ ඇයි අක්කට මතක නෑඅපි මේ ඊයෙ පෙරේදා දවසක සහභාගි වෙච්ච ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ප්‍රව්‍යාප්ති වැඩමුළුව. ඇයි අක්කමනෙ කිව්වෙ මේ කියන කිසි දෙයක් අපි ජිවත් වෙන මහ පොළොවෙ යථාර්ථයත් එක්ක ගැළපෙන්නෙත් නෑ. කියන මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ කියලා.’

‘ ඉතින් බන් ඒක ඇත්තනෙ. එක්කෙනෙක් එනවා ඔහේ කියවගෙන යනවා. තව එක්කෙනෙක් එනවා තමන්ගෙ දේශනේ රසවත් කරන්න කියලා හිතාගෙන තමන් විහිලුවක් කියලා හිතන මොකක් ද මඟුලක් කියලා දානවා. අපිට හිනා යන්නැතිකොට දේශකය ම හහ් හහ් ගාලා හිනාවෙනවා. ඒවට හිනාවෙන්න නං විපුල් අය්යෙ අපි අපිට ම කිති කවා ගන්න ඕනෙ.’

‘ ඒ කියපු විහිලු මොනා ද කියලා නං දන්නෙ නෑ. ඒත් රේණු නංගි ඔයා මේ ඇට් කරලා පෙන්වන විදිහට නං අපිට හිනා යනවා.’

එසේ පැවසුවේ විපුල් ය.

‘ හරි එහෙනං දැන් අක්ක පිළිගන්නවා නේදනරක ශාස්ත්‍රීය වැඩමුළු කියලා ජාතියක් තියෙනව කියන එක.’

‘ ඒ වගෙ ජීවමාන නිදර්ශනවලට සහභාගි උනාටත් පස්සෙ පිළිනොගෙන කොහොම ද බන්.’

‘ ඔය ගොල්ලන්ගෙ කතාව ඇහැව්වට පස්සෙ මට මතක් උනේ අපේ සර් කියපු කතාවක්. මේ මෑත දවසක සර්රුයි කටුබැද්ද විශ්වවිද්‍යාලයෙ උගන්නන ක්‍රිෂ්ණමූර්ති පදනමේ සභාපති මහාචාර්ය නලින් වික්‍රමාරච්චි යි පරිසරවේදී අජන්ත පලිහවඩන යි ආචාර්ය අදිකාරම් පදනමේ සභාපති රවී පලිහවඩන යි බැංකු ක්ෂේත්‍රයෙ විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරපු කේ. ඩී. රණසිංහ යි ගාල්ලෙ මළ ගෙදරක ගිහින් තිබුණා. සර් කිව්වෙ ගඟුල් එදා ගමන අපි පස් දෙනා අතර නරක නෙමෙයි හොඳ වැඩමුළුවක් බවට පත් උනා කියල යි.’

‘ ඒ කියන්නෙ මල්ලිල උඹේ සර්ටත් අපිට වගෙම නරක වැඩමුළු ගැනත් අද්දැකීම් තියෙනවා කියන එකනෙ.’

‘ මන් හිතන්නෙ අපිට වඩා ගොඩක් වැඩි යි. එදා සර් කිව්වා ආදර්ශ ගොවිපළවල් පන්සීයක් හදන්න මුල් වෙච්ච පරිසරවේදී අජන්ත රටේ තැනින් තැන ඒ වගේ ගොවිපළවල් ඇති කිරීමේ වැදගත්කම ගැන කතා කරද්දි ඒවා වඩාත් සාර්ථක කරගන්න නං තාක්ෂණයෙ වහලෙක් නොවී තාක්ෂණය භාවිතයට ගන්න එකේ තියෙන ප්‍රයෝජනය ගැන මහාචාර්ය නලින් කතා කළා කියලා. එතකොට දක්ෂ භාෂා පරිවර්තකයෙක් වෙච්ච රවී කියලා තිබුණෙ ඊට අදාළ සාහිත්‍යය සමාජගත කිරීමේ තියෙන වැදගත්කම. රණසිංහ මහත්තයා කියලා තිබුණෙ දේශපාලන අධිකාරියෙල ඒ වගෙම මහබැංකුව ඇතුළු රාජ්‍ය ආයතන  වගෙම අවංක හැඟීමකින් කටයුතු කරන සමාජ සංවිධානවල සහායත් ලබාගෙන ක්‍රියාත්මක කළයුතු සමස්ත සැලැස්මක් ගැන. එහෙම නැති උනොත් අපි කොච්චර අවංක හැඟීමකින් වැඩ කළත් ඒවත් පැලැස්තර මිසක් ස්ථිර විසඳුම් නොවන බව යි ඒ මහත්තයා කියලා තිබ්බෙ. ‘

‘ එතකොට මල්ලි උඹේ සර්ගෙ දායකත්වය වෙලා තිබුණෙ මොකක් ද?’

‘ එදා සර් කතා කරලා තිබුණෙ සංස්කෘත සාහිත්‍යයෙන් මෙහෙම වැඩක දි ප්‍රයෝජනයට ගන්න පුළුවන් මූලාශ්‍රය ගැන. සර් කියනවා ඒ දවසෙ අපි එකිනෙකාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. මට මේ අපේ සාකච්ඡාව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටික ම තම යි.’

‘ විපුල් අය්යෙ මේ ඔයගොල්ල අපි මුණ ගැහිච්ච එක අහඹුවක් දවෙලාවකට කලින් හමු නොවී තිබිලත් සමහර දෙනා දැක්කහ ම නිකං ඉස්සර හම්බ උනා වගේ ගතියක් අපිට දැනෙන්නෙ ඇයිමට නාගොල්ලාගම ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම මුලින් ම රේණු අක්කා දැක්කහම දැනුණෙත් ඒ හැඟීම ම තම යි. ලොකු සර් ව දැනුණෙත් ඒ විදිහට ම යි. ඒ වගෙම තමයි විපුල් අය්යෙ අපිට ඔයා හම්බ වෙලා දවස් දෙක යි. ඒ උනාට දැනෙන්නෙ ගොඩක් කාලෙක ඉඳලා දන්න ගතියක්. සමහර දෙනා ගොඩක් කාලෙක ඉඳලා ඇසුරු කළත් නිකං හරියට මෙයාව දන්නෙ නැහැ කියන හැඟීම යි එන්නෙ. මට තේරෙන්නැහැ අය්යෙ ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න.’

‘ එතකොට නංගි දැන් උඹ කිව්වා දැක්ක පළවෙනි දවසෙම මාව දැක්කහම හරි පුරුදු ගතියක් දැනුණා කියලා. ලොකු සර් දැක්කහමත් එහෙම්ම උනැයි කිව්වා. ඊළඟට මේ දවස් දෙකකට කලින් දැක්ක විපුල් අය්යා දැක්කහමත් ඒ පුරුදු ගතිය දැනුණා කිව්වා. ඒත් උඹ කිව්වෙ නැහැනෙ නංගි දැකලා දැන් අවුරුද්දකට කිට්ටු වෙච්ච විපුල් අය්යගෙ මේ මල්ලි දැක්කහම උඹට දැනිච්ච හැඟීම මොකක් ද කියලා.’ 

මිහිදිනී අවිහිංසක ව සිනා සී බිම බලා ගත්තා විනා එයට පිළිතුරු දීමට නොගියා ය.

‘ තේරෙනවා නංගි ඔයා හරිම අවංක කෙනෙක්. වචනවලින් නොකියන ගොඩක් දේවල් කෙනෙක්ගෙ නිහඬතාවෙන් වගෙම ඇස්වලින් කියැවෙනවා කියලා කතාවක් තියෙනවනෙ. ගඟුල්ගෙ සර් දවසක් අදිකාරම්තුමා මට මුණ ගැස්වූ දෛවයට ස්තුතිවන්ත වේවා කිව්වා වගෙ මට කියන්න තියෙන්නෙ මගෙ මල්ලි නාගොල්ලාගම ඉස්කෝලෙට යවපු දෛවයට ස්තුතිවන්ත වේවා කියල යි.’

‘ නංගිඋඹ දැන් විපුල් අය්යට මොකක් හරි කියන්න වගේ හදලා එක පාරට ම නතර උනා නේදකියපන් කියපන් මෙතන ඉන්න ඔක්කොම උඹට හිතේෂිවන්ත අය. ඒක නිසා බය නැතුව ඕන දෙයක් කියපන්. දන්නවනෙ උඹ රෙඩි වෙන කොට උඹගෙ මේ රේණු අක්කා එවරෙඩි බව.’

‘ මන් කියන්න හදන දේ රේණු අක්කා කියපු මෙතන ඉන්න ඔක්කොම  හිතේෂිවන්ත අය කියන වචන පහේ කැටිවෙලා තිබෙනවා.’

‘ මට හිතෙන්නෙ මිහිදිනී නංගි අපි කාටත් හිතන්න හිතෙන ලොකු දෙයක් කියන්න යනවා කියල යි.’ 

‘ මන් කියන්න හැදුවෙ විපුල් අය්යෙඅපිට වඩා හුඟක් උගත් කෙනෙක් කියලා තිබිච්ච අදහසක්. ඔය ගොල්ල හැම කෙනාම වගේ එයාගෙ මොකක් හරි පොතක් හරි ලිපියක් හරි බලලා ඇති. ඒ තමයි මනෝ වෛද්‍ය බ්‍රයන් වයිස්.’ 

‘  ඔයා ඔය කියන්නෙ නංගි ලෝකය පුරා පිටපත් මිලියන ගාණක් අලෙවි වෙච්ච Many Lives, Many Masters කියන පොත ලියපු ඩොක්ටර් බ්‍රයන් වයිස් ගැන නේද ’

‘ අන්න හරි විපුල් අය්යෙඑතුමා තමයිඑයා ඒ පොතෙන් පස්සෙ ලිව්වා අර කලින් පොතේ දි වගෙම තමන්ගෙ ජීවන අද්දැකීම් ආශ්‍රය කරගෙන ඒ ජාතියෙ ම තවත් පොතක්. ඒ පොතේ නම Only Love is Real ඒකෙ ආරම්භෙ දි තිබිච්ච ඡේදයෙ හරය වගේ දැනෙන වචන පහක් තමයි මගෙ රේණු අක්කා මෙතන ඉන්න ඔක්කොම  හිතේෂිවන්ත අය කියන වචනවලින් අපට කිව්වෙ. ’

දුටු පළමු දිනයේ ම තමාට තම කනිටු සොහොයුරිය සේ දැනුණු මිහිදිනිය දෙස ඉමහත් ආදරයකින් මොහොතක් බලා සිටි රේණු මෙසේ පැවසුවා ය.

‘ ඉතින් නංගියෙ උඹ කියන ඔය පොත මම කියවනවා තියා මේ වෙනකං ඇහැටවත් දැකලා නැහැනෙ.’

‘ දේවල් දැනෙන්න පොත් කියවන්න ම ඕනෙ ද අක්කෙ. ඔය පොත් කියවන සමහර දෙනා ඉන්නෙ ජීවිතය දැනෙන්නැති. දැනෙන්නෙ අක්කෙ මෙතෙන්ට. අක්කව දැක්ක පළවෙනි දවසෙ ම මට ඔයාව මෙතෙන්ට ම තමයි අක්කෙ දැනුණෙ මෙතෙන්ට.’

මෙසේ කියා මිහිදිනී සිය අත තබා ගත්තේ ළය මත යි.

‘ කියන්න නංගි දැන් ඔය තරං හැඟීමකින් අපට කියන්න හදන දේ.’

‘ විපුල් අය්යෙඒ පොතේ පළවෙනි පරිච්ඡේදෙ පළවෙනි ඡේදෙ ආරම්භ වෙන්නෙ මෙන්න මේ අදහස දෙන වචනවලින්.’

‘ අපි හැම කෙනෙකුට ම විශේෂ වෙච්ච කෙනෙක් ඉන්නවා. සමහර විට දෙන්නෙක් වෙන්න පුළුවන්. නැත්තං තුන්දෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං හතරදෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ගොල්ලො එන්නෙ විවිධ පරම්පරාවලින් වෙන්න පුළුවන්. දිව්‍යමය මිනුම් දණ්ඩෙන් කාලයේ සාගරය තරණය කරමින් ඒ අය යළිත් යළිත් ඔබට මුණ ගැසෙනවා. ඒ අය පැමිණෙන්නේ දෙව් ලොවේ ම එක් පැත්තකින්. ඔවුන් බලන ආකාරය වෙනස්. එහෙත් ඔබේ හදවත ඔවුන් හඳුනා ගැනීමට සමත් වෙනවා. අනන්තයේ බන්ධනයෙන් ඔබ ඒ අය සමග බැඳෙනවා. එහෙයින් ඔබට කිසිවිටෙකත් හුදෙකලා භාවයක් දැනෙන්නේ  නැහැ.’

‘ ඒක නංගි හරි ලස්සන ඒ වගෙම ඔයා කියන විදිහට පපුවට දැනෙන මහ අමුතු ප්‍රකාශයක්නෙ.’

‘ ඔව් අක්කෙ ඒක ඇත්ත.’

‘ නංගියෙ ඕකෙ මුල් ප්‍රකාශෙ නැද්ද ඔයා ළඟ. ‘

‘ තියෙනවා විපුල් අය්යෙ මන් ඒක සැරයක් කියවලාම අය්යට දාන්නං.’

අනතුරුව ඇසුණේ එතරුණ ගුරු යුවතියගේ හෘදය ස්වරය සමග මුසු වූ සමුදු ස්වරය යි.

'There is someone special for everyone. Often there are two or three or even four. They come from different generational. They travel across ocean of time and the depths of heavenly dimensions to be with you again. They come from the other side, from heaven. They look different, but your heart knows them.... You are bonded together throughout eternity, and you will never be alone.'

නිහඬතාව මැදින් රිය ඉදිරියට ඇදිණ. ගඟුල් රිය නතර කෙළේ දොළ ළඟ කඩේ යනුවෙන් ලෑලි පටියක නම සඳහන් කොට තිබූ කුඩා කඩයක් ළඟ ය.

‘ ඔන්න රේණු අක්කෙ පොල් රොටි සමග ප්ලේන්ටි සංග්‍රහයක් දැන් මගෙන්. එම සංග්‍රහයෙන් පසු නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳ ආචාර්යා රේණු ආර්යාව බදුල්ලට යන තෙක් අපගේ රථාචාර්යවරිය වශයෙන් කටයුතු කරනු ඇත.’ 

‘ කොහොම උනත් උඹෙත් මොකක්දෝ වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙනවා. මට ඒක තහවුරු උනේ අවශ්‍ය ම මොහොතෙදි වටින කියන අපි වගේ අයට දැන් සංග්‍රහයක් කරන්න සුදුසු වෙලාව යි කියලා උඹේ හිතට ආපු අදහසක් එක්ක. ඒ වගෙම මෙතෙන්දි අපට පැහැදිලි වෙනවා වටින කියන අදහස් සාමාන්‍යයෙන් එන්නැති මොළයකට උනත් කලාතුරකින් හරි එහෙම අදහස් එන්න පුළුවන් කියන කාරණෙ. මේ අපි දැන් මේ අත්විඳින්න යන්නෙ එහෙම අතිදුර්ලභ අවස්ථාවක් තම යි.’

‘ එන්න මහත්තෙලා නෝනාල එන්න ඇතුළට. පොල් රොටි තියෙනවා ලුණු මිරිස් එක්ක. ලැවරිය තියෙනවා. තව රස්නෙට ආප්ප දාලා දෙන්නත් පුළුවන්.’

සුහදශීලි සිනාවක් සෙමින් ඔවුන් එසේ පිළිගත්තේ මැදිවියේ ප්‍රසන්න කාන්තාවකි.

‘ අම්මාමට මේ ලෝකෙ මෙතුවකට හදලා නැති ලොකුම රොටිය හදලා දෙන්න ලොකු ලුණු මිරිස් තලියකුත් එක්ක. මේ ගොල්ලන්ටත් ඔය මොනවා හරි තියෙන දෙයක් දෙන්නල හැබැයි ඒ මට ඕන කරන ජාති දුන්නට පස්සෙ.’

‘ මොනව ද රේණු අක්කෙ ඔයාට මේ වෙලා තියෙන්නෙ. දැන් මේ අම්මා හිතාවි ඔයානං මහ කෑමදාසියක් කියලා.’

‘ ඉතින් ඒක නේන්නං ඇත්තත්. අම්මෙ මේ ආචාරශීලී වැදගත් අයට ඕන එකක් කරගන්න කියලා අම්මා දාන්නකො මගෙ ලොකු රොටිය.’

‘ දාන්නං දාන්නං මන් ලොකුම ලොකු රොටියක්. මේ ලොකු නෝනා හරි විහිලුකාරියක්නෙ.’

‘ අන්න දැක්ක ද මේ අම්මට තමයි තේරුණේ මන් ලොකු නෝනා කෙනෙක් කියන එකත්. ඒ වගෙම අම්මෙ මන් ලොකු රොටියක් දාන්න කියපු එක විහිලුවක් නං නෙමෙයි.’

‘ හරි හරි මන් අපේ මේ සුදු නෝනට දාන්නංකො ලොකුම ලොකු රොටියක්. ඔක්කට ම ඉස්සෙල්ලා මේ නෝනා මහත්තැන්ලා ඇවිත් ඉඳගත්තනං. දුවේඔය භාජන සෝදලා ගත්තනං මෙහාට.’

ඇගේ ඒ වචනත් සමග අදාළ කාර්යය ඉටු කිරීම සඳහා පැමිණියේ දහඅට වන වියේ පමණ යැයි සිතිය හැකි තරුණ යුවතියකි.

‘ නංගිමට දෙන්නකො ඔය පිඟන් ටික. ඔයා අපිට අන්න අර ලැවරිය දීසිය ගෙනත් දෙන්නකො.’

‘ අනේ ඉන්න මිස්මන් ඔය ටික හෝදල ම මිස්ලට සර්ලට ඕන කරන කෑම ජාති ගෙනත් තියන්නංකො.’

‘ මේ මේ නංගි මෙතන සර්ලා මිස්ලා නැහැ අය්යලා අක්කලා මිසක්. ඔක්කට ම ඉස්සෙල්ලා මට කියන්න ඉස්කෝලෙ යන වයසෙ කියලා හිතෙන ඔයා අද ඉස්කෝලෙ නොගිහින් ඉන්නෙ ඇයි කියන කාරණේට උත්තරේ?’

‘ මිස් මන් එක සැරයක් උසස් පෙළ ලිව්වා. ඒ උනාට විශ්වවිද්‍යාලෙට යන්න තරං ලකුණු මදි. ඉතින් මිස් මන් දෙවෙනි සැරයක් ලියන්න හිතුවෙ නැහැ.’

‘ ඔන්න ඉතින් ආයෙත් මිස් ගානවා. කමක් නෑ මන් ඉතින් කොහොමටත් අපේ ළමයින්ට මිස් නිසා ඒක ඒ අර්ථෙන් හිතලා බාරගන්නංකො.’

‘ අනේ ඒ කියන්නෙ මිස් ටීචර් කෙනෙක්.’

‘ මන් විතරක් නෙමෙයි ළමයො අර ලොකුම ලොකු රොටියක් හදලා දෙන්න කිව්වෙත් මිස් කෙනෙක් තමයි. ඒ වගෙම අර ලා කහපාට ෂර්ට් එකක් ඇඳගෙන ඔයගොල්ලන්ගෙ කඩේ ඉස්සරහ තියෙන බංකුවෙ වාඩිවෙලා ඉන්නෙත් සර් කෙනෙක්.’

‘ එතකොට අර අනික් සර් සර් කෙනෙක් නෙමෙයි ද මිස්.’

‘ සර් කියන ඉංග්‍රීසි වචනෙට දෙන්න පුළුවන් අර්ථෙ හැටියට බැලුවොත් නං ඒ සර් සර් කෙනෙක් තමයි. කරන වැඩේ අනුව බැලුවොත් නං ඒ හොඳ චිත්‍ර මූර්ති ශිල්පියෙක්.’ 

‘ අනේ මට උගන්නන්න උදව් කරන අපේ මාමත් චිත්‍ර මූර්ති ශිල්පියෙක්නෙ.’

‘ මාමා කිව්වෙ ඔයාගෙ අම්මගෙ සහෝදරයෙක් ද නංගි. එයා කොහෙද ඉගෙන ගත්තෙ.’

‘ සෞන්දර්යෙ මිස්. අර මිස්ලගෙ චිත්‍රමූර්ති කරන සර්ගෙ වයසෙම වගේ ඇති මගෙ හිතේ අපේ මාමත්.’

‘ ඇත්තට ම සර් කියන්නෙ කාට ද මිස්. අර මිස් ඉස්සෙල්ලා කිව්වෙ සර් කියන ඉංග්‍රීසි වචනෙට දෙන්න පුළුවන් අර්ථෙ හැටියට බැලුවොත් නං ඒ සර් කෙනෙක් තමයි කියලා. අන්න ඒ නිසයි මට මෙහෙම අහන්න හිතුණෙ.’

‘ ශබ්දකෝශවල දීලා තියෙන අර්ථවලට අනුව සර් කියලා කියන්නෙ පුරුෂ පක්ෂය සඳහා තියෙන ආමන්ත්‍රණ පදයක්. ඒ වගෙම උතුම් ශ්‍රීමත් කියන අර්ථත් ගන්න පුළුවන්. ඒ වගෙම එංගලන්තෙ නයිට් පදවිය වගෙ ගරු තනතුරු දරපු ප්‍රභූ අය හඳුන්වන්නත් ඔය නම පාවිච්චි කරලා තියෙනවා.’

‘ මිස් ඉස්කෝලෙ උගන්නන්නෙ  ඉංග්‍රීසි ද මිස්. ‘

‘ මන් විතරක් නෙමෙයි අර මිස් උගන්නන්නෙත් ඉංග්‍රීසි තමයි.

‘ අර ලොකු රොටි මිස් ද?’

‘ මොකක් ලොකු රොටි මිස්. හැබැයි කොහොම උනත් ඒ මිස්ට ඒ නම නං ගැළපෙනවා.’

මිහිදිනී ඒ වදන් පැවසුවේ සිය මිතුරිය දෙස බලා සිනාසෙමිනි.

‘ අනේ මිස් මම සිංහලවලට වගෙම ඉංග්‍රීසිවලට ආසයි. ඒ උනාට මට සිංහල වගේ ඉංග්‍රීසි බැහැනෙ. වෙලාවකට මට ලැජ්ජත් හිතෙනවා.’

‘ ළමයොඅපි ලැජ්ජ වෙන්න ඕනෙ අපිට අපේ මාතෘ භාෂාව බැරි නං. භාෂාවක් නිකං පුළුවන් වෙන්නෙ නැහැනෙ. අපි ගුරුවරයෙක්ගෙන් හරි සමාජ පරිසරයෙන් හරි ඉගෙන ගන්න ඕනෙ.’

‘ මේ මිහිදිනී මිස්ඔය ඔබතුමිය ඔය පිඟන් හෝදන්න බාර අරගෙන ඒක කරනව ද එහෙම නැත්තං ඔය දරුවට පාඩමක් උගන්නනව ද?’

‘ දෙක ම ලොකු රොටි මිස් දෙකම.’

‘ අනේ මිස්මන් එහෙම ඒ නම කිව්ව කියලා කියන්න එපා. මට අම්මත් බනීවි අපේ කඩේට එන නෝනා මහත්තැන්ලට කලකොලොප්පං කරන්න පුරුදු වෙනව ද කියලා.’

‘ මන් එහෙමත් කරනව ද කෙල්ලෙ එහෙම කළත් ඒ මිස් ඇවිල්ලා ඒකට මහ හයියෙන් හිනාවෙලා ඔයාට ඊටත් වඩා වැඩි විහිලුවක් කරන ජාතියෙ කෙනෙක්.’

මිහිදිනී සේදූ පිඟන් රැගෙන ගොස් මේසය මත තැබුවා ය. යුවතිය ඇයගේ පසුපසින් පැමිණියේ උණු රොටි දැමූ බඳුන සහ ලැවරිය බඳුන රැගෙන ය. ඇය රොටි බඳුන තැබුවේ රේණුගේ ඉදිරියෙනි. අනෙක් බඳුන ද මේසය මත තබා ගියේ සිය මව අලුතින් ම සදා තිබූ ලුණුමිරිස ගෙන ඒමට ය. මේ අතර මිහිදිනී කෙළේ එතැනට කෙසෙල් සහ හකුරු ගෙනැවිත් තැබීම ය. ඇය ලුණුමිරිස තැබුවේ රේණුගෙ ඉදිරියෙනි. එසේ තබා මෙසේ පැවසුවා ය.

‘ අක්කෙඔයා දැන් රොටිත් එක්ක ලුණුමිරිස කන්න ලෑස්ති වෙන්න එපා. අන්න අම්මා ආප්පත් උණු උණුවෙන් ම දානවා.’

‘ අය්යෙඔන්න ඔහොම වෙන කොට තමයි අපිටත් සිංහල සාහිත්‍යයට අලුත් ප්‍රස්තාව පිරුළු එකතු කරන්න හිතෙන්නෙ.’ 

‘ මොකක් ද මල්ලි අලුත් ප්‍රස්තාව පිරුළ.’

‘ නාගොල්ලාගම ලුණුමිරිසට බලන්ගොඩ ලුණුමිරිස එකතු උනා වගෙයි.’

‘ ආ මල්ලි උඹට මන් දැන් ලුණුමිරිස් වගේ ද පේන්නෙ.’

‘ ඒක අක්කෙ මන් නෙමේ අපේ ගුරුමණ්ඩලේ ම සමහර දෙනා ඔයාට කියන නමනෙ. ඇයි තවත් නං තියෙනවනෙ ඔයාට. මේ කොච්චි කරල වගෙ.’

‘ හදපන් හදපන් පුළුවන් තරං නං හදපන් තව ප්‍රස්තාව පිරුළුත් හදපන් මට. අද උඹට උණ ගැනෙන්න මේ කඩේ තියෙන තරමක් ජාති කාලා තමයි මම පස්ස බලන්නෙ. මම කනවා උඹ ගෙවනවා. හොඳයි නේද?’

‘ අනේ ඕන දෙයක් කන්න අක්කෙ මාව විතරක් කන්නෙ නැතුව. කෝකටත් මේ තමයි අපේ දවල් කෑම වේල වෙන්නෙත්. මොකද තව දවල් වෙන්න දෙයකුත් නැති නිසා.’

මේ අතර මිහිදිනී යළි නැගිට ගොස් පිරිසට වතුර බඳුන් ද ගෙනැවිත් තැබුවා ය. අත් පිසින කඩදාසි කැබලි කිහිපයක් රැගෙන ඇයගේ පසුපසින් පැමිණියේ යුවතිය යි.

‘ අම්මෙ කියලා වැඩක් නෑ අම්මගෙ පරණ ගෝලය යි අලුත් ගෝලය යි දෙන්න ම බොහොම හොඳයිනෙ.’

රේණු මෙසේ පැවසුවේ අත පිච්චෙන තරමේ උණුසුමකින් යුතු රොටිය ඒ මේ අත පෙරළමිනි.

‘ නංගි මිහිදිනීඇයි අපට ම සංග්‍රහ කර කර ඉන්නෙ ඇයි ඔයත් එන්ඩකො මෙතෙන්ට.’

‘ නෑ නෑ විපුල් අය්යෙඑයා එන්නෙ ඔතෙන්ට නෙමෙයි අතෙන්ට.’

රේණු උණු රොටිය හපන අතර පෙන්වූයේ ගඟුල් හිඳ සිටි බංකුවේ තිබූ හිස් ඉඩකඩ යි.

අනේ ඇත්තට ම රේණු අක්කෙ ඔයාට තැනක් නියමයක් නෑනෙ විහිලු කරන්න. මේ කඩේ අයත් මොනවා හිතාවි ද?’

‘ මොනවත් හිතන්න දෙයක් නෑ මන් කිව්වෙ ඇත්තනෙ. පොඩ්ඩක් හිටපන් මන් මේ අම්මට ම කාරණේ කියන්න.’ 

‘ අම්මෙදැන් ඔය අම්මට සපෝට් කරන අලුත් දුව ඉන්නවා නේදඅන්න එයා මෙන්න මෙයාව තමයි....’

රේණුට ඒ වදන් අවසන් කළ නොහැකි වූයේ මිහිදිනී දිවැ විත් ඇයගේ මුව වැසූ බැවිනි.

‘ මොකක් ද නෝනා මට කියන්න හැදුවෙ.’

එසේ පැවසුවේ එතැනට පැමිණි යටකී මව යි.

මිහිදිනීගේ දෑතින් සිය මුව මුදාගත් රේණු එයිනික්බිති මෙසේ පැවසුවා ය. ඒ මිහිදිනී සිය මිතුරිය දැන් කුමක් පවසාවි දැයි යන බියෙන් සිටිය දී ය.

‘ අම්මෙඔය මන් වගෙ නෙමෙයි දැන් ආපු වෙලාවෙ ඉඳන් කඩේ වැඩට උදව් කළේ අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නන මිස්. අර මන් පෙන්නන්න හදපු සර් උගන්නන්නෙ සිංහල. ‘

‘ ආ ඒක මිසක් මේ මන් හිතුවෙ..’

මෙසේ කියා ඇය තමා කියන්නට සැදූ දෙය නොකියා නැවතුණා ය.

‘ ආ අම්මා හිතුවෙ වෙන දෙයක් නේද?’

අනතුරුව මිහිදිනී දෙසට හැරුණු රේණු මෙසේ පැවසුවා ය.

‘ මොකද වස්තුවේ මට රවා ගෙන ඉන්නෙමන් ඉතින් මොකුත් ඕන්නැති දෙයක් කිව්වෙ නැහැනෙ. මගෙ හොඳ නංගි වගේ ගිහින් අර අම්මා දැන් දාපු ආප්පඅතන තියෙන පිරිසිදු වට්ටියකට දාලා මගෙ ඉස්සරහින් ගෙනත් තියනව ද හරියට පූජා වට්ටියක් ගෙනත් තියන විදිහට.’

‘ අපේ නෝනා හරි විහිලු යි නෙ. මමත් කැමති මොන කරදර මැද්දෙ හරි ඔහොම හිනාවෙලා ඉන්න අයට යි.’

‘ අම්මා ඔහොම කිව්වට අපේ රේණු අක්කට සමහර වෙලාවට ඉස්කෝලෙදි යකා වැහෙනවා. අන්න ඒ වෙලාවට අක්කට ගැළපෙන්නෙ ඉස්සෙල්ලා ගඟුල් සර් කියපු ලුණුමිරිස් උපමාව හරි කොච්චි කරල් උපමාව හරි තමයි.’

‘ ඒ ඉතින් මොකක් හරි අසාධාරණෙක දි වෙන්න ඕනෙ නෝනෙ.

‘ අප්පෙ අම්මටත් අපේ රේණු අක්කව අල්ලලා ගිහිල්ලා තියෙන තරම.’

‘ අනේ නෝනෙ මේ ඇවිල්ලා ගතකරපු ටික වෙලාවෙදි ඒ නෝනා විතරක් නෙමෙයි මේ ඔක්කොම මගෙ හිතට හොඳට ම අල්ලල යි තියෙන්නෙ. මන් හිතන්නෙ අපේ දුවට දෙන්න තියෙන උත්තරෙත් ඒක ම තමයි.’

ඊට ප්‍රතිචාර වශයෙන් යුවතිය කෙළේ කිසිවක් නොකියා හිස සැලීම ය.

‘ ඒක නෙමෙයිඅම්මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා නේද සෞන්දර්යෙ ඉගෙන ගත්ත.’

‘ කවුද නෝනෙ අපේ දුව ද කිව්වෙ.’

‘ මොකක් සෞන්දර්යෙකොයි කාලෙ ද අම්මෙ එයා එහෙ ඉගෙන ගත්තෙ.’

‘ අප්පේ සෞන්දර්යෙ කිව්වහම අපේ විපුල් මහත්තයා කලබල වෙච්ච තරමක්. ඇයි එයත් එහෙ ඉගෙන ගත්ත කෙනෙක්නෙ. අපේ මේ විපුල අය්යට පුළුවන් ඕනනං අම්මව ඔය විදිහට ම අඳින්න. එහෙම නැත්තං හදන්න.’

එසේ පැවසුවේ රේණු ගුරු යුවතිය යි.

‘ අනේ ඇත්තෙයි. එහෙනං අපේ පුංචි මල්ලිට අඳුන ගන්න ම වටින යාළුවෙක්. අන්න එයා මාව හදලා තියෙනවා ගෙදර. ඒක දකින දකින මගෙ යාළුවො කියන්නෙ ඔන්න සුනීතා උඹේ මල්ලි උඹව හදලා තියෙනවා පණ පිටින් ඉන්නවා වගේ ම කියල යි.’

‘ අක්කෙ මේ බලන්ගොඩ නේ දමේ පැත්තෙ ඉඳලා ආපු මගෙ යාළුවෙක් හිටියා මූර්තිවලට දක්ෂ. චිත්‍ර මූර්ති අංශෙ හිටපු අපි ගොඩක් දෙනා තමන්ගෙ ප්‍රධාන විෂය හැටියට චිත්‍ර තෝර ගනිද්දි එයා එයාගෙ ප්‍රධාන විෂය හැටියට තෝරගත්තෙ මූර්ති. මේ එයාවත් ද?’

‘ මොකක් ද මහත්තයා ඒ යාළුවගෙ නම.’ 

‘ එයා තිලක්. යාළුවො අපි කතා කවුරුත් කතා කළේ තිලකෙ කියලා. සංගීත අංශෙ යි නැටුම් අංශෙ යි හිටපු අයට මූර්ති තිලක්. බලන්ගොඩ ඉඳලා එන නිසා අපි විහිලුවට කිව්වෙ බලන්ගොඩ මානවයා කියලා.’

‘ එහෙනං ඉතින් මහත්තයා මේ එයාවත් ද කියන්න දෙයක් නෑ. එයා ම තම යි. ඉන්න මන් එයාට එන්න කියන්න. එයත් හරිම සතුටු වෙයිල තමන්ගෙ පරණ යාළුවෙක් දකින්න ලැබුණහම. දුවේ හදිස්සි වැඩකට කියලා මාමට මන් පොඩ්ඩක් එන්න කිව්වා කියන්නකො දුවලා ගිහිල්ලා.’

‘ එහෙනං දැන් මට යාළුවගෙ අක්කට අම්ම කියන්න බැහැනෙ. අක්කෙ අපි ඉන්නවා කියන එක නොකියා එයාව ගෙන්නමු නේද?’

‘ ඒක ම තමයි මන් කරන්න හිතුවෙ. ඔය මගෙ චූටි මල්ලි. මට වඩා වයසින් ගොඩක් බාලයි. ඒ කියන්නෙ මට වඩා අවරුදු එකොළහක් බාල යි. අපේ අම්මා නැති වෙන කොට මල්ලිට අවුරුදු හතරයිමට පහළොව යි. ඔය මල්ලි එයාගෙ ජීවිතයට සම්බන්ධ හැම දෙයක් ගැන ම මාත් එක්ක කතා කරනවා. ඉගෙන ගන්න විෂය ගුරුවරු ගැන වගෙම ගොඩක් යාළුවන්ගෙ නම් ගම් ගැනත් මල්ලි කියනවා. මේ මහත්තයට මේ  මිස්ලා දෙන්න විපුල් අය්යෙ කියලා කතා කරන කොට මොන එකක් ද මන්දා මට මතක් උනේ මල්ලි නිතර මතක් කරන යාළුවන්ගෙ නම් අතර ඒ නමත් තියෙනවා කියන එක. ඒ මේ මහත්තය ම කියන එක තහවුරු උනේ අර පොඩි මිස් අපේ දුවට අර ඉන්නෙ චිත්‍ර මූර්ති කරන මහත්තයෙක් ය කියලා පෙන්නපු වෙලාවෙ.’

‘ හරි අක්කෙමේ මමත් දෙපාරක් ම මෙහෙ ඉන්න ඉඳලා වැළකූණා. ඔව් මට මතකයි එක සැරයක් එහෙම එන්න අපි සැලසුම් කරගත්ත දවසක අපේ අම්මා අසනීප උනා. ඊළඟ සැරේ අපේ ඉස්කෝලෙ හදිසියේ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමක් යොදාගෙන තිබුණා. හැබැයි ඒ හැම සැරේක ම අපේ යාළුවො නං මෙහෙට ආවා.’ 

‘ ඔව් ඒ ආපු අයගෙන් ගොඩක් දෙනාගෙ කලින් කිව්වා වගේ නම් ගම්  හිටන් මට මතකයි. සමන් - දිනසිරි - පියසේන - ලාල් කියන මල්ලිලා කීප සැරයක් මෙහෙ ඇවිත් ගිහින් තියෙනවා. ඒ වගෙම ඒ ගොල්ලොත් එක්ක එකට ඉගෙන ගත්ත දීපා කියන නංගිත් දවසක් මෙහෙ ඇවිත් ගියා. ඒ ගොල්ලන්ට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. මේ කෙල්ලත් ඒ දවස්වල පුංචිකමට ඒ කතා කරන තැනට ගිහින් ඒ ගොල්ල කියන ඒවා අහගෙන ඉන්නවා. එතකොට මන් කියනවා ළමයො ඔය ලොකු අය කතා කරන තැන්වලට ගිහින් කට ඇරගෙන බලන් ඉන්නැතුව මෙන්න මෙහෙට එන්න කියලා. එතකොට අර සමන් මල්ලි අපේ දුවව ළඟට අරන් උකුළෙ තියාගෙන මෙයාගෙ ඔළුවත් අතගාලා කියන්නෙ නෑ අක්කෙ අපි මේ කතා කරන දැනට කියන වැඩ අහගෙන ඉන්න ඕනෙ මේ පුංචි පරම්පරාව ම තමයිමොකද අපිට බැරි උනොත් අපි අසාර්ථක උනොත් ඒ වැඩ අපිට වඩා හොඳට කරන්න ඉන්නෙ මේ පරම්පරාව කියලා. හැබැයි ඒ තමයි අපි සමන් මල්ලිව දැකපු අන්තිම අවස්ථාව. අනේ එහෙම කෙනෙක්.’

මෙසේ කියා ඒ මව එතැනින් ඉවත් ව යාමට ගියේ දෑසෙහි නැඟි කඳුළු ඔවුන්ගෙන් වසන් කරනු සඳහා ය.

වහා හිඳ සිටි තැනින් නැඟී සිටි විපුල් සිය කලණ මිතුරු මිතුරියනට ද සොයුරියක වූ තම මිතුරාගේ දෙටු සොයුරියගේ දෑතින් අල්ලා ගෙන පැවසුවේ මේ වචන යි.

‘ අක්කෙ සමන් කියන්නෙ දවසක් ආශ්‍රය කළත් කෙනෙකුට දැනෙන කෙනෙක්. මේ බදුලු ගමන නවත්තලා එයා ගැන ම කතා කරන්න තරං දේවල් අපිට තියෙනවා. අපි ආයෙ දවසක මෙහෙ එන්නං අක්කෙ ඔය ගොල්ලන්ගෙ ගෙදෙට්ටත් එන්න බලාගෙන.’

‘ අනේ මහත්තයො මෙහෙට නෙමෙයි කෙළින් ම ගෙදෙට්ට එන්න ඔය ඔක්කොම දෙනා.’ 

‘ ඔන්න අක්කෙ මන් ඔයාට අක්කෙ කියද්දි ඔයා මට තවම කියන්නෙ මහත්තයා කියලනෙ. අපේ සමන්ලට කතා කළා වගේ මටත් මල්ලි කියන්නකො අපේ සමන්ගෙ නාමෙන්වත්.’ 

ඒ සහෘදය කාන්තාව මොහොතක් කුළුණුබර දෑසින් විපුල් දෙස බලා සිටියා ය. අනතුරුව කතා කළා ය.

‘ මේ මල්ලිට මට කියන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතවල ගොඩක් දුක්මුසු දේවල් වෙන කොටත් අකම්පිත ව හිටපු  අපේ මේ මල්ලිගෙ ඇස්වල කඳුළු දැක්කෙ සමන් මල්ලි නැති උනා කියන ආරංචිය දිනසිරි මල්ලිගෙන් ලැබිච්ච රෑ. අපි ඔක්කොම පහුවදා උදෙන් ම සමන් මල්ලිලගෙ ගෙදර ගියා. ඔන්න මල්ලි දැන් අපිට කතාව නවත්තන්න වෙනවාඅපේ මල්ලි අර ඉක්මණින් ඉක්මණින් මේ පැත්තට දුවගෙන වගේ එන්නෙ මගෙ හදිසි වැඩක් කියලා හිතල යි ඔය.’

‘ ලොකු අක්කේ මොකක් ද අප්පේ ඔයාගෙ හදිසි වැඩේ. මන් මේ කෙල්ලගෙන් ඇහැව්වහම මොකක් ද හදිස්සිය කියලා මේ පණ්ඩිත කෙල්ල කිව්වෙ ඒවා මන් දන්නෑ ඔයාගෙ අක්කගෙන් ම ඒක අහගන්න කියලා මට පණිවිඩේ දුන්න ගමන් ආපහු කඩේට දුවගෙන ආවෙ.’

මෙසේ කියා ඔහු බලා සිටියේ පැමිණි පිරිස දෙස ය. අනතුරුව දක්නට ලැබුණේ විස්මයෙන් විකසිත ව ගිය මුවමඬලක ඇඳෙන සිනහා රේඛා ය.

‘ මචං විපුල් මේ උඹ මෙහෙ. අප්පේ බන් උඹ ව දැකපු කල්. එදා සමන්ලගෙ ගෙදරදි දැක්කට පස්සෙ උඹව දකින්නවත් ලැබුණෙ නැහැනෙ. ඉඳගනින් ඉඳගනින් අපි ඉඳගෙන ම කතා කරමු.’

‘ මටත් කියන්න තියෙන්නෙ තිලක් ඔය ටික ම තමයි. මන් මේ උඹව දකින්නෙත් කොච්චර කාලෙකට පස්සෙ දඒත් උඹව දැක්කෙ නැති උනාට උඹ තැනින් තැන හදලා තියෙන මූර්තිනං මන් දකිනවා. අපි අහම්බෙන් හරි මේ ඇවිල්ලා තියෙන්නෙ උඹලගෙ අක්කගේ තේ කඩේටනෙ.’

‘ මචං ඔය මගෙ අක්කා නෙමේ. එයා මට තනෙන් කිරි දුන්නෙ නැති එක විතර යි. අම්මා නැති උන දවසෙ ඉඳලා මට අම්මා උනේ ඔය ලොකු අක්කා තම යි. අම්මගෙ මරණෙන් අවුරුදු හයකට පස්සෙ තාත්තත් නැති උනා. ඉස්කෝලෙ ගමනත් නවත්තලා තේ ෆැක්ටරියක රස්සාවට ගිහින් අපේ පවුලෙ අනික් සහෝදර සහෝදරියොත් බලාගෙන හිටියෙ ඔය අක්ක ම තමයි. අනිත් අයගෙ විවාහ කටයුතුත් කරලා අන්තිමට ම කසාද බැන්දෙත් ඔය අක්කා. එතකොට එහෙනං උඹ ආපු එකට තම යි අපේ අක්කා මට හදිසි වැඩක් කියලා එන්න තියෙන්නෙ. මේ තක්කඩි කෙල්ලගෙන් ඇහැව්වහම එයා කිව්වෙ ඒවා මන් දන්නෑ අම්මාගෙන් ම අහගන්න කියල යි.’

මෙසේ කියා තිලක් ව්‍යාජ අමනාපය මුසු ආදරණීය බැල්මක් හෙළුවේ සිය ඥාති දියණිය වෙත යි.

‘ එතකොට මචං කෝ මේ දුවලගෙ තාත්තා.’ 

‘ ඒකත් විපුල් දිග කතාවක්. බඳින්න ඉස්සෙල්ලා ඉඳලා ඔය අය්යා අපේ අක්ක ව බලන්න අපේ ගෙදරට ආවා ගියා. ඒත් එයාලගෙ ගෙදරින් බඳින්න බඳින්න කියල කරදර කරද්දිත් අපේ ගෙදර තත්වෙ තේරුං අරන් කටයුතු කරන්න ඒ අය්යට පුළුවන්කම තිබුණා. කොටින් ම මන් සෞන්දර්යෙට තේරිලා වියදම් කරගන්න බැරි ප්‍රශ්නෙ නිසා නොයා ඉන්න හදන කොට අක්කා වගේම මාව එහෙ යවන්න වියදම් කළෙත් කොටින් ම මට බස්වියදං හිටන් හොයලා දුන්නෙත් ඒ අය්යා තමයි විපුල්.’

‘ ඉතින් කෝ මචන් ඒ අය්යා.’

‘ ඒක මහ කනගාටුදායක කතාවක්. ‘

‘ ඒ කියන්නෙ මචං ඒ අය්යා නැති උනා ද?’

‘ නැති උනේ නෑ විපුල් අය්යා නොකළ වරදකට හිරේ ගියා. අය්යා වැඩ කළෙත් අක්කා වැඩ කරපු ෆැක්ටේරියෙ ම තම යි. ඒකෙ සුපවයිසර් කෙනෙක් එයා කරපු ලොකු වංචාවක් මේ අය්යගෙ පැත්තට හැරෙව්වා. ෆැක්ටේරියෙ ලොක්කො ගත්තෙත් සුපවයිසර්ගෙ පැත්ත. අය්යගෙ වැඩ තහනං කළා විතරක් නෙමෙයි අවුරුදු තුනක් තිස්සෙ නඩු අහලා අන්තිමට වැරදිකාරයා වෙලා හිරේට යන්න උනෙත් අය්යට. අපි දන්නවා අවංකකම තමන්ගෙ ජීවිතේ අංගයක් කරගෙන හිටපු අය්යා කවදාවත් හොරකං නොකරන බව. නඩු තීන්දුව දුන්න වෙලාවෙ අක්කයි මමයි අය්යා ළඟට ගිය වෙලාවෙ එයා අක්කගෙන් අහපු දේ. සුනීතා මට මේ තීන්දුව නෙමෙයි වැදගත් ඔයා මට කියන්න මන් හොරෙක් කියන එක ඔයා පිළිගන්නව ද නැද්ද කියන එක.’

‘ ඉතින් මචං එතකොට අක්කා මොකක් ද කිව්වෙ.’

‘ මහත්තයො මුළු ලෝකෙ ම එකතු වෙලා මගෙ මහත්තයා හොරෙක් කියලා කිව්වත් මන් ඒක පිළිගන්නෙ නැහැ. ඔයා එකම එක හොරකමක් විතර යි මන් දන්න තරමින් මේ ජීවිතේ කරලා තියෙන්නෙ කියලා අපේ අක්කා අඬ අඬා කිව්වා. ඒ වෙලාවෙ අය්යා පුදුම වෙලා ඇහැව්වා මොකක් ද සුනීතා මන් කරපු හොරකම කියලා. ඒ වෙලේ අක්කා දුන්නෙ මහ පුදුම උත්තරයක් විපුල්.’

‘ ඒ මොකක් ද දෙය්යනේ.’

ආහාර ගැනීම ද නවතා එසේ විමසුවේ මෙතෙක් නිහඬ ව සිටි රේණු ගුරු මෙණෙවිය යි.

‘ අක්කා කිව්වෙ ඔයා ඒ හොරකම කළේ වෙන කාටවත් නෙමෙයි මට යි කියලා කාටවත් බැරි වෙච්ච මගේ හිත හොරකම් කර ගත්තෙ ඔයයි කියලා අය්යගෙ අත් දෙකෙන් ම අල්ලගෙන අඬන්න ගත්තා. ඊට පස්සෙ අය්යා කිව්වෙ මෙන්න මේ වචන ටික යි.’

‘ මට ඔයාගෙ ඔය වචන ටික විතරක් ඇති සුනීතා අවුරුද්දක් දෙකක් නෙමේ මුළු ජීවිත කාලෙ ම උනත් හිරේ ඉන්න. ඔයා මට එදත් ලොකු ශක්තියක් උනා. අදත් ශක්තියක් වෙනවා. එහෙම කියලා මගෙ පැත්තට හැරිලා කිව්වෙ මල්ලි උඹ අක්ක යි මගෙ කෙල්ල යි බලා ගනින්. ඒ වගෙම මල්ලි උඹ ඉගෙන ගන්න එකත් කොහොම හරි කරපන් කියලා. ඒ වගෙම මේ මනුස්සයා හිරේ ඉඳගෙනත් මට ඉගෙන ගන්න උදව් කළා.’

‘ ඒ කොහොම ද හිරේ ඉඳන් අය්යා තිලක්ට උදව් කළේ.’

‘ අය්යට මේසන් වැඩ වඩු වැඩ එහෙමත් ටිකක් පුළුවන්. හිරකාරයන් වැඩ කළාම ඒ ගොල්ලො නිදහස් වෙලා යන දවසට ඒ මුදල ඒ අය අතට දෙනවා. ගෙදර සාමාජිකයන්ගෙ අවශ්‍යතා ගැන කියලා ඉල්ලීමක් කළොත් ඒ වෙනකං එකතු වෙලා තියෙන මුදල් ගෙදර කෙනෙකුට ගන්නත් පුළුවන්.’ 

‘ ඒ කොහොම ද?’

‘ ඒ කියන්නෙ එයාගෙ බිරිඳගෙ හරි වෙන සමීපතමයෙකුගෙ නමක් හරි කියලා ඒ අයට ඒ මුදල දෙන්න කියලා අදාළ හිරකරුවා කිව්වොත් ඒ කෙනාට අත්සන් කරලා ඒ මුදල ගන්න පුළුවන්.’

‘ කියන්නෙ තිලක්අය්යා ඒ ක්‍රමේට අදටත් සල්ලි එවනව ද?’

‘ ඔව් සල්ලි එවනවා අදටත්. හැබැයි ඒ ක්‍රමේටනං නෙමෙයි.’

‘ ඒ කිව්වෙ තිලක්?’

‘ ඇත්තම කියනවනං මචං මේ වෙනකං අක්කවත් මමවත් හිරගෙදරට ගිහින් අපේ සම්බන්ධය තහවුරු කරලා අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් අස්සන් කරලා මේ වෙනකං සල්ලි ගෙනත් නැහැ.’

‘ ඒ කියන්නෙ තිලක් ඒවත් යටිමඩි ගහගන්න වැඩක්වත් උනා ද?’

‘ නෑ මචං ලස්සන වැඩේ කියන්නෙ බන්ධනාගාර නිලධාරියෙක් තමයි ඒ සල්ලි අපට ගෙනල්ලා දුන්නෙ. මුලින් ම ඒ සල්ලි අරන් ආපු නිලධාරිය ම තමයි දිගට ම ආවේ. එයත් රත්නපුරේ කෙනෙක්. ඒ උනාට අපි කලින් අඳුනන කෙනෙකුත් නෙමෙයි. එයා අපේ අය්යා ගැන කතා කළේ හරිම ගෞරවයකින්.’

‘ ඒ කියන්නෙ කෙනෙකුට ඕනනං මචංබන්ධනාගාර නිලධාරියොත් ගරු කරන හිරකාරයෙක් වෙන්න පුළුවන් කියන එක ද?’

‘ ඇත්තට ඔව් විපුල්. මේ අය්යා ඒක තමන්ගෙ ජීවිතෙන් ම ඔප්පු කරලා තිබුණා. ඒ බන්ධනාගාර නිලධාරියා කිව්වෙ ඔයගොල්ලන්ගෙ මේ අය්යා නිසා හිරගෙදර ලස්සන උනා කියල යි. ඒ නිලධාරියා උපාධිධාරියෙක් වගෙම ජීවිතය ගැනත් හොඳ අවබෝධයක් තියෙන හොඳ මනුස්සයෙක්. එයා තමයි හිරකාරයන්ට කියවන්න සුදුසු පොත් පත් හිටන් ගේන්න යන්නෙ. එයා කිව්වෙ සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය කියන බෝඩ් එක විතරක් හිරගෙදර ඉස්සරහ කාටත් පේන්න ගහලා විතරක් වැඩක් නෑ. ඒක තහවුරු කිරීම සඳහා අපට කරන්න පුළුවන් හැම වැඩක් ම කරන්න ඕන කියල යි.’

‘ ඉතින් තිලක් අය්යෙ ඔයා ඇහැව්වෙ නැද්ද ඒ ගෙනාවෙ මොන පොත් ද කියලා?’

‘ ඇහැව්ව නංගිඑතකොට එයා කියපු පොත් නාමාවලියෙ යුක්තිය උදෙසා වැඩ කරලා අයුක්තිසහගත විදියට හිරබත් කන්න වෙච්ච මහාත්මා ගාන්ධිල ශ්‍රී නේරු, ආචාර්ය විනෝබා භාවේෆැටි්‍රක් ලුලුම්බා වගේ ශ්‍රේෂ්ඨ චරිත ගැන ලියවිලා සිංහලට පරිවර්තනය වෙච්ච පොත්වල නමුත් තිබ්බා.’

තිලක් එසේ පිළිතුරු දුන්නේ හමු වූ ප්‍රථම අවස්ථාවේ දී ම සහෝදරත්වයේ දෑත තමා වෙත දිගු කළ මිහිදිනියට යි.

‘ මචං තිලක්ඊළඟට අය්යා බලන්න යන දවස මටත් කියපන්. මාත් කැමති යි ඒ අය්යව අඳුන ගන්න. හොඳ මිනිස්සු කරදරේ වැටෙන එක හද පාරන කාරණ අතරට වැටෙන එකක්.’

එතැන් සිට හෝරාවකට ආසන්න කාලයක් ගලා ගියේ සහෘදය සංකථනවලට ඉඩ සලසමිනි. ඒ අතරත කාලයේ සරල රසවත් ආහාර වේලක් පිළිවෙළ කොට තිබුණේ මාතෘ දුහිතෘ සන්ධානය විසිනි. දිවා භෝජනයට හෝ කලින් ගත් ආහාරවලට හෝ මුදල් ගෙවීමට ගත් සියලු ප්‍රයත්න අසාර්ථක වූයේ තිලක් පමණක් නොව මව සහ දියණිය ද එසේ කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ බැවිනි. ඒ දැඩි ප්‍රතික්ෂේපය ම සුන්දර ප්‍රදානයකට දොර කවුළු විවර කෙළේ ය.

ඒ වූකලී තුරුණු යෞවනියකගේ ඉදිරි අධ්‍යාපනය උදෙසා සිය උපරිම දායකත්වය ලබා දිය යුතු ය යන සුපසන් හැඟුම තුරුණු හදවත් සතරක එක වර රෝපණය කළ සද්භාවයේ පවිත්‍ර නිමේශයක් ම විය. 

 

No comments:

Post a Comment