ගුරු දියවර 23
වැස්සට තෙමි තෙමි මා
යන ලස්සන
කවුළු දොරෙන් කවුදෝ බලනවා
‘‘මේ නංගි වහිනෙක ඇත්ත. ඒ උනාට උඹ වැස්සට තෙමෙන්නෑ මොකද උඹ ඉන්නෙ කාරෙක
ඇතුළෙ. අනික මෙහෙම යද්දි පිට ඉඳලා උඹ දිහා බලන්න මෙලෝ යකෙක් නෑ. ඒත් ඇතුළෙ ඉන්න
යකෙක් උඹ දිහා බලන් ඉන්නව ද නැද්ද කියන්න නං මන් දන්නෙ නැහැ. ”
විපුල් දෙස නොව ගඟුල් දෙස බලා ප්‍රණය කලහනීය එවදන් පැවසුවේ මිහිදිනියට මෙන්
ම ඇයගේ හඬටත් මෙගීතය ගැයූ ශ්‍රීමතියට මෙන් ම ඇයගේ හඬටත් එක්වන් ව ප්‍රිය කළ රේණු
ය. ඒ ඔවුන් බළන්ගොඩ දම් අරණින් නික්ම බදුල්ල බලා යන ගමනේ අතරමගක දී ය.
‘‘යකෙක් බලන් ඉන්න එක කෙසේ වෙතත් අපේ රේණු මැඩම්ට යකෙක් කන්න බඩගින්නක්
ඇවිත් කියන එකනං පේනවා. මේ වාහනේ ඉන්න අනික් අය කොහොම
වෙතත් එතුමිය වාහන කවුළු දොරෙන් බල බල යන්නෙ නං කඩ දිහා මිස මිස වෙන කිසි තැනක්
දිහා නං නොවේ.”
‘‘ඇත්ත වශයෙන් ම ගරු කටයුතු ගඟුල්තුමා පළ කළ ඒ වටිනා අදහස මම සියයට සීයක් ම
අනුමත කරනවා.”
‘‘මොකක් ද රේණු අක්කෙ, ඔයා සීයට සීයක් අනුමත කරනවා කියන්නෙ කෑමට නවත්තන්න කියන එක නේද?”
‘‘ඇයි දෙය්යනේ අපි ධම්මජීව හාමුදුරුවන්ගෙ පන්සලෙන් කෑම කාලා තවම පැය දෙකකවත් ගියෙ නැහැනෙ.”
‘‘උඹට එපානං උඹ නිකන් හිටපන් මිහිදිනී, නවත්තපන් මල්ලි හොඳ පෙට්ටි කඩයක් ළඟ.”
‘‘අනේ අප්පච්චියෙ මෙහෙමත් කෑම දාසියක්.”
‘‘මේ නංගි අහක ඉන්න අප්පච්චිලා ගාගන්න එපා මේකට. මේක තනිකර ම බුද්ධිමත්
කාන්තාවක් වන මගෙ ව්‍යාපෘතියක්. උඹත් ඉංග්‍රීසි නේද නංගි උගන්නන්නෙ, ඇයි උඹ අහලා නැද්ද ඉංග්‍රීසියෙන් දවසෙ කෑම වේලවල් හතට කියන වචන හත.”
‘‘මොකක් කෑම වේල හතක්.”
‘‘මොකක් නෙමේ හතක්. ඔන්න දන් නැත්තං අහ ගනින් මගෙන්. ඒයි ගඟුල් උඹත් අහ
ගනින්.”
‘‘එතකොට මන් අහන්න ඕනෙ නැද්ද?”
‘‘නෑ නෑ විපුල් අය්යා ඇවිල්ලා මගෙ බුද්ධිමත් ගමන් සගයනෙ. ඔයාට වැඩක් ඇති
දේවල් නෙමෙයි මේ. මන් මේ අපේ මෝඩ ජෝඩුවට යි මේ කියන්නෙ. ඔන්න අහගනින්. එක
බීබීෆස්ට්, දෙක බ්‍රෙක්ෆස්ට්, තුන බ්‍රන්ච්, හතර ලන්ච්, පහ ලන්ඩින්, හය ඩිනර්, හත ඩින් මිඩ්.”
‘‘ඕකෙන් තුනක් නං අපි හැමෝම දන්නවනෙ. ඒ වගෙම බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් අතරට බ්‍රන්ච් ආපු එකත් දන්නවා. බ්‍රෙක්ෆස්ට්, බ්‍රන්ච්, ස්නැක්, ලන්ච්, ටී, සපර්, ඩිනර් කියලා කෑම වේල් හතක් ගැනත් අහල තියෙනවා. ඒත් මේ රේණු අක්කා කියන බීබීෆස්ට්, ලන්ඩින්, ඩින් මිඩ් ගැන නං මන්නං ඔය ඇහැව්ව ම යි. විපුල් අය්යෙ ඔයා අහලා තියෙනව ද ඔය නං කලින්.”
එසේ කතාවට මැදිහත් වූයේ මිහිදිනී ය.
‘‘අනේ මන් නං දන්නෑ නංගි. ආහාර ගැන මන් කියවපු කිසිම පොතක මට නං ඔය අපේ රේණු කියන ජාතියෙ නං
තුනක් හම්බ වෙලා නෑ.”
‘‘එහෙමම කියන්නත් බෑ අය්යෙ. එක පොතක මේ ගැන සඳහන් වෙනවා. ඇයි මිහිදිනී, ඔයා නිතර කියවන පොතක් නෙ ඒක.”
‘‘මොකක් ද ගඟුල් සර් ඒ පොත.”
‘‘ඇයි රේණු පුස්තකය. හැබැයි මහ කසි කබල් පොතක් තමයි ඒක.”
ගඟුල් එවදන් පැවසුවේ තමා දෙස රවාගෙන සිටින රේණු දෙස බලා සිනාසෙමිනි.
‘‘එහෙමනං රේණු නංගිට ම තමයි පුළුවන් මේ කාරණේ පැහැදිලි කරන්න.”
‘‘මේ අනික් දෙන්නා නෙමෙයි විපුල්
අය්යා වගෙ වටින මනුස්සයෙක් එහෙම ඉල්ලීමක් කරන කොට මට මේක පැහැදිලි කරන්න ම වෙනවා.
ඔන්න එහෙනං තුන්දෙනා ම අහගන්න. බීබීෆස්ට් කියලා කියන්නෙ බිෆෝ බ්‍රෙක්ෆස්ට් කියන
එකයි. බ්‍රන්ච් කියන්නෙ බ්‍රෙක්ෆස්ට්වලට පස්සෙ ලන්ච්වලට ඉස්සෙල්ලා ගන්න කෑමවේලට. ”
‘‘ඔව් ඒ ටික පැහැදිලි යි.”
‘‘එතකොට ලන්ඩින්, ඩින් මිඩ්
කියන්නේ කොයි වෙලාවට ගන්න කෑම වේල් දෙකට ද?”
එම ප්‍රශ්න කිරීම ද මිහිදිනීගෙනි.
‘‘මහපොළොව දිනූ කෙනා කියලා නමක් තිබුණට මේ මහපොළොවෙ වෙන කිසි දෙයක් දන්නෙ
නැති අම්මණ්ඩියෙ අහගන්නවා මගෙන් ලන්ඩින් කියන්නෙ ලන්ච්වලට පස්සෙ ඩිනර්රෙකට
ඉස්සෙල්ලා ගන්න කෑම වේලට.”
‘‘අනේ රේණු අක්කෙ ඔයා තමයි ඔයා. ඔයාට ඕනෙ විදිහට කෑම වේලවල් හදනවා. ඒවට
නමුත් දෙනවා. අපේ පබ්ලිස් සිල්වා මහත්තයවත් දන්නැතුව ඇති ඔයාගෙ ඔය සප්ත ආහාර වේල්
ගැන.”
‘‘මේ මිහිදිනියො ඔව් මන් තමයි බන් මන්. ඒයි ගඟුලා නවත්පන් බන් කාරෙක අර
ඉස්සරහ පේන අඹ ගස් වදුල ළඟ.”
‘‘ඒ මොකට ද රේණු අක්කෙ. ”
‘‘මොකට ද අහන්නෙ උඹට පේන්නැද්ද බන් එතන තියෙන පෙට්ටි කඩේ.”
‘‘හරි මට පේනවා ඇයි දැන් අපි එතන නවත්තන්නෙ.”
‘‘නවත්තන්නෙද ලන්ඩින් එකට බන් ලන්ඩින් එකට.”
‘‘හරි හරි නවත්තන්නං නවත්තන්නං ඔයාගෙ ලන්ඩින් එකට. අක්කා පෙට්ටි කඩේ
කිව්වහම මට මතක් උනේ පේරාදෙනියෙ දෙමළ භාෂා අධ්‍යයනාංශෙ උගන්නපු මහේශ්වරන් සර් එක්ක
ඔලුවිල් විශ්වවිද්‍යාලෙට යද්දි වෙච්ච සිදුවීමක් ගැන අපේ සර් කිව්ව කතාවක්.”
‘‘ඒ කතාව කියන්න අනිවාරෙන් ම මගෙ අවසරේ ලැබෙනවා ගඟුලො උඹට. හැබැයි මේ දැන්
නෙමෙයි මන් ලන්ඩින් ගන්න වෙලාවට.”
එසේ කියා රේණු ගියේ පිළිවෙළකට ආහාර බඳුන් තබා තිබූ වීදුරු කබඩය වෙත ය.
‘‘ආ මේ සුදෝසුදු ලැවරියත් බලන් ඉඳලා තියෙන්නෙ අපි එනකං. එහෙම නේද පැටියො. ”
ලැවරියා බඳුනට එසේ කියා ඉන් ලැවරියාවක් අතට ගත් රේණු පුටුවක හිඳ ගත්තේ
අනික් අයටත් කැමති දෙයක් ගන්නැ යි අතින් සන් කරමිනි. අනතුරුව ඇය මෙසේ ද පැවසුවා ය.
‘‘මිස්ට ගඟුල්, දැන් තමුන්ට
පුළුවන් අර තමුන්ගෙ අපේ සර් කියන කෙනයි මහේශ්වරන් මහාචාර්යතුම යි අතර උනා කියන
සිද්ධිය විස්තර කරන්න.”
‘‘දවසක් ඔලුවිල් විශ්වවිද්‍යාලෙ භාෂා අංශෙක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්ගෙ
මහාචාර්ය ධුරයකට අදාළ ඇගයීමකට ගිහින් තිබුණා මේ සර් ලා දෙන්නා. ඒ දෙන්නට අමතර ව
මඩකලපුව විශ්වවිද්‍යාලෙ චිත්‍රලේඛා මහාචාර්යතුමියත් ඒකට ඇවිත් තිබුණා. අපේ සර්ව
ජයවර්ධනපුරෙන් අරගෙන මහේශ්වරන් සර් ව
පේරාදෙණියෙන් ගන්න ඇවිත් තිබුණෙ මුස්ලිම් ඩ්‍රයිවර් කෙනෙක්. මේ තුන් දෙනා ඔලුවිල්
යනකම්ම ගොඩක් දේවල් කතා කර කර තමයි ගිහින් තිබුණෙ. විශේෂයෙන් අපි ජාතිවලට බෙදිලා මරා
ගන්න එකේ තියෙන මුළාව වගෙම අනතුර ගැන. අදටත් අපේ සර් ඒ ගමන අඳුන්නන්නෙ සහජීවනයේ
චාරිකාව කියල යි.”
‘‘ඉතින් බන් මොකක් ද උඹලගෙ සර්ලගෙ ඔය සහජීවන චාරිකාවෙයි මේ පෙට්ටි කඩයි අතර
තියෙන සම්බන්ධෙ.”
‘‘ඉන්නකො රේණු අක්කෙ කියනකං. අපේ සර්ට මහේශ්වරන් සර් හමු වෙච්ච පළවෙනි දවස
මේ. ඉතින් සර් තේකක් බොන්න කැමති කොයි වගෙ තැනකින් ද කියන එක ගැන කලින් අද්දැකීමක්
නැහැනෙ. ඒක නිසා සර් කියලා තියෙනවා රියදුරු මහත්තයට රිස්වාන්, මහේශ්වරන් සර් කැමති වෙන්නෙ මගදි පහු කරන ලොකු හෝටලයකින් නං එහෙම තැනක හරි
ඒ සර් කැමති සාමාන්‍ය හෝටලයකින්නං එතන හරි වාහනේ නතර කරන්න කියලා. ඉතින් එහෙම
කියලා අපේ සර් මහේශ්වරන් සර්ගෙන් අහලා තියෙනවා සර් අපි තේකක් බොන්න කොයි වගෙ තැනක ද
වාහනේ නතර කරන්න ඕන කියලා. ”
‘‘ඉතින් බැස්ස ද උඹලා ලොකු හෝටලයක් ළඟ”
‘‘මොන දන්නව ද රේණු අක්කෙ මහේශ්වරන් සර් මොකක් ද කිව්වෙ කියලා. ”
‘‘මන් දන්නවැ යැ. කියපන් ඉතින් උඹ ම.”
‘‘සමන් මේ පෙට්ටි කඩයක් ළඟ නවත්තලා තේකක් බීලා යමු ද කියලා තමයි මහේශ්වරන්
සර් කියලා තියෙන්නෙ.”
‘‘අන්න දැක්ක ද විපුල් අය්යෙ විද්වත්තු. මහේශ්වරන් සර් වගේ භාෂා ක්ෂේත්‍රෙ
දැවැන්ත විද්වතෙකුටත් හිතිලා තියෙන්නෙ පෙට්ටි කඩේකින් තේ බොන්න. ඒ වගෙම මටත්
හිතුණෙ පෙට්ටි කඩේකින්. අය්යෙ ඔය භාෂා ඉගෙන ගත්ත ඉගෙන ගන්න හැම කෙනාටම ඔය ප්‍රඥාව
නැහැ.”
රේණු එවදන් පැවසුවේ බැරෑරුම් මුහුණක් මවාගෙන ගඟුල් සහ මිහිදිනී දෙස බලමිනි.
මේ මොහොත වන විට මිහිදිනී එළිමහනට පැමිණ තත් පරිසරයේ සුන්දරත්වය විඳිමින්
සිටියා ය. ගඟුල් සාවධාන වූයේ තමාගේ දෘශ්‍යමානයේ සිටි සහෘදයන් ගැන නොව දෘශ්‍යමානයෙන්
බහිර්ගත යෙහෙළිය ගැන ය. මිහිදිනී පරිසරාවලෝකනයෙන් මිදුණේ අතැති ජංගම දූරකථනය නාද
වනු ඇසීමෙනි. එම දූරකථන මුහුණතෙහි සටහන් ව තිබුණේ රේණුගේ දෙටු සොහොයුරාගේ අංකය යි.
ඇය වහා එම ඇමතුම සම්බන්ධ කොට ගත්තා ය.
‘‘නංගි ඔයගොල්ල කොතැන ද දැන් ඉන්නෙ. අපේ නංගි ඉන්න ළඟම නම් ඉන්නෙ ඔයා
විනාඩි දෙක තුනක් ඇතුළත එයාට ඇහෙන්නැති තැනකට ඇවිත් මට කතා කරන්න.”
ඔහු කතා කෙළේ අතිමන්ද ස්වරයෙනි. මේ තමාට ද සිය නැගණියනට මෙන් ම සලකන ඒ රේණු
සොහොයුරාගේ සුපුරුදු කෙළිලොල් කටහඬ නම් නොවේ.
‘‘ඇයි අය්යෙ මොකුත් කරදරයක්වත් ද අපි මේ කඩයක් ළඟ තේ බොන්න නැවත්තුවා. මට
කතා කරන්න පුළුවන්. මන් මේ එළියට ඇවිත් ඉන්නෙ. රේණු අක්කා ඇතුළෙ තේ බොනවා.”
‘‘ආ ඒක හොඳයි නංගි, මේකයි කාරණේ. ඊයේ රෑ අපේ තාත්තට අමාරු වෙලා ජයවර්ධනපුර හොස්පිටල් එකට ඇතුල්
කරලා තියෙනවා. මට පණිවිඩේ ලැබුණෙ ඊයෙ රෑ එකට විතර. චූටි නංගි යි කතා කරලා කිව්වෙ.
මන් පණිවිඩේ හම්බ වෙච්ච ගමන් ම කොළඹ ආවා. ඔය ගොල්ල ඉස්කෝලෙ වැඩකට බදුල්ලෙ ගියා
කියලත් චූටි නංගි කිව්වා. ඒ වගෙම අක්කව කලබල කරන්නැතුව ඒ ගොල්ලන්ට ඒ වැඩ කර ගන්න
ඉඩ දීලා මේ වෙලාවෙ අය්යා හිටියනං ඇති කියල යි එයා කිව්වෙ.”
‘‘අය්යෙ දැන් මන් මොකක් ද කරන්න ඕනෙ. අපිට මේ ගමන කැන්සල් කරලා එන්න
බැරිකමක් නෑ. දැන් මන් මොකක් ද රේණු අක්කට කියන්න ඕනෙ.”
‘‘චූටි නංගි කියපු විදිහට මමත් හිතන් හිටියෙ තාත්තට අවශ්‍ය ප්‍රතිකාර
උපරිමෙන් ම කෙරිච්ච නිසා ලොකු නංගිට ගෙදර ආවට පස්සෙම විස්තර කියනවා කියල යි. ඒත්
නංගි අද උදේ වෙන කොට තාත්තගෙ තත්වෙ ටිකක් හොඳ නැහැ වගේ. අපි අද උදෙන් ම
ඉස්පිරිතාලෙට ගිය වෙලාවෙ නංගිගෙයි මගෙයි අත් අල්ල ගෙන කිව්වෙ අනේ මට මගෙ ලොකු
කෙල්ලවත් දකින්න තිබුණනං හොඳයි කියලා.”
‘‘අය්යෙ අපි කෝකටත් එන්නං මන් රේණු අක්කා කලබල නොවෙන විදිහට පණිවිඩෙත්
දෙන්නං.”
‘‘ නෑ නංගි ඔයගොල්ල කලබල වෙන්න එපා. දැන් වෙලාව තුන යි . අක්ක ව 99 කොළඹ
බස් එහෙකට නග්ගන්න. මන් එයා බහින තැනින් ඒ කියන්නෙ පිටකොටුවෙන් ගන්නං.”
“ හොඳයි අය්යෙ මන් අපේ
කට්ටියත් එක්ක කතා කරලා කරන්න ඕන හොඳම දේ කරන්නංකො.”
සැහැල්ලු මානසිකත්වයෙන් පරිසර සුන්දරත්වය නරඹමින් සිටි මිහිදිනියගේ
ස්වරූපයේ ඇති වූ වෙනස දුටු ගඟුල් ඇය වෙත ගමන් කෙළේ ය.
‘‘ඇයි මිහිදිනී මොකක් හරි ප්‍රශ්නයක් ද ඔයාට. ”
‘‘ප්‍රශ්නයක් නම් තමයි ගඟුල් සර් ඒත් මට නෙමෙයි අපේ රේණු අක්කට. ”
‘‘රේණු අක්කගෙ ප්‍රශ්නයක් කියන්නෙ ඔයාගෙයි අපෙයි ප්‍රශ්නයක් තමයි. ඇයි නංගි, රේණු අක්කගෙ කවුරු හරි අසනීප වෙලාවද්ද? ”
‘‘ඔව් ගඟුල් සර්, තාත්තට අමාරුයි කියලා දැන් කතා කළා ලොකු අය්යා. අය්යා රේණු අක්කට කතා නොකර
මට කතා කළේ එයාව කලබල කරන්න හොඳ නැති නිසයි කියල යි කිව්වෙ.ඒ උනාට සර් අය්යගෙ
තිබ්බෙ වෙනදා අපට හුරු කතා විදිහ නං නෙමෙයි. මොකද අය්ය ම අන්තිමට කිව්වෙ තාත්තා
රේණු අක්කව දකින්න ඕනෙයි කියලා කියන නිසා දැන් ම කොළඹ බස් එකකට නග්ගන්න. මන් එයාව
පිටකොටුවෙන් ගන්නං කියලා.”
‘‘ඉතින් නංගි අපිට පුළුවන් ද එහෙම කරන්න. අපි කට්ටිය ම යමු රේණු අක්කත්
එක්ක ආපහු කොළඹ.”
‘‘මාත් ඕකම තමයි ගඟුල් සර් කිව්වෙ. ඒ උනාට අය්යා කියන්නෙ මේ කරන වැඩෙත්
අවුල් කරගන්නැතුව නංගිව එවන්න කියලයි. කෝකටත් අක්කත් එක්ක මාත් යන්නං.”
‘‘අපි ඉස්සෙල්ල ම විපුල් අය්ය ව එළියට අරන් කාරණේ පැහැදිලි කරලා ඉම්මු. ඊට
පස්සෙ කරන දේ තීරණය කරමු.”
ඒ අනුව ගඟුල් කෙළේ සිය සොහොයුරාට එළියට එන මෙන් සංඥා කිරීම ය. එහෙත් ඒ හස්ත
සංඥාව දුටු දෙවැන්නියක් වූවා ය. ඒ රේණු ය.
‘‘මොකද විපුල් අය්යෙ, මන් බලාගෙන අර ඩබලගෙ සතරකන් මන්ත්‍රණේ. දැන් මට පේන්නෙ ඒක සකන් ව යන්න වගේ.
කමක් නෑ කමක් නෑ ඔයගොල්ලන්ගෙ කුමන්ත්‍රණේ ඉවර වෙනකං මටත් මෙතන තව කරන්න දේවල්
තියෙනවනෙ.”
ඊට පිළිතුරු වශයෙන් රේණු දෙස බලා මඳ සිනහවක් පෑ විපුල්, සිය සොහොයුරා සහ මිහිදිනිය සිටින දෙසට ගමන් කෙළේ ය. විපුල් එතැනට පැමිණි
පසු කතාව ආරම්භ කෙළේ ගඟුල් ය.
‘‘අය්යෙ,
අපේ රේණු අක්කගෙ තාත්තට
අමාරු වෙලා ඉස්පිරිතාලෙ නවත්තලා කියලා ලොකු අය්යගෙන් පණිවිඩයක් ඇවිත් මිහිදිනීට. ඔයා ම කියන්නකො නංගි අපේ අය්යට
විස්තරේ.”
“ මේකයි අය්යෙ ලොකු අය්යා
කියන්නෙ පුළුවන් ඉක්මණින් රේණු අක්කව බස් එකකට නග්ගන්න. එයා අක්කා බහින තැනට ඇවිත්
අක්ක ව ගන්නං කියලා.”
“එහෙම කිව්වට අපි කොහොම ද මේ වෙලාවෙ එයාව තනියෙන් යවන්නෙ. අපි කට්ටිය ම
ආපහු යමු කොළඹ.”
“අපි කතා උනෙත් එහෙම තමයි අය්යෙ. කෝකටත් අපි ඉස්සෙල්ලම රේණු අක්කට පණිවිඩේ
දීලා කරන දෙයක් ඉක්මනට කරමු.”
මේ වන විට රේණු ද කැවිලි පාර්සලයක් ද අතැති ව එළියට එමින් සිටියා ය.
“ඒයි හයේ කණ්ඩායම කුමන්ත්‍රණේ ඉවර ද මොකෝ ගඟුලො, මගෙ අතේ තියෙන පාර්සලේ දැකලත් මොකුත් කට කැඩිච්ච කතාවක් නොකිය ඉන්නෙ.”
“නංගි අපි ආයෙත් ඇතුළට ගිහින් පොඩ්ඩක් ඉඳ ගම්මු ද?”
විපුල් සන්සුන් ස්වරයෙන් එසේ කියද්දී ප්‍රශ්නාර්ථනීය වතැති රේණු සිය
සහෘදයන් පසුපස ගියා ය.
“මොකක් ද අනේ ඔයගොල්ලන්ට වෙලා තියෙන්නෙ. එක්කෙනෙක් වත් කතා කරන්නෙ නැහැ
එළියට ආපු මට ආයි ඇතුළට යමු කියනවා. මෙච්චර වෙලා මෙතන ඉඳගෙන හිටපු මට ආයි ඉඳ ගන්න
කියනවා. ඇයි මේ.”
“හොඳ නංගි වගේ පොඩ්ඩක් ඉඳ ගන්නකො.”
එසේ කියා රේණුට ඉඳගන්නට සැලැස් වූ විපුල් සියලු දෙනා ඉඳ ගත් පසු කතා කෙළේ
ය.
“නංගි ඔයා කලබල වෙන්න ඕන නැහැ. දැන් කරන්න ඕන කරන අවශ්‍ය ම වැඩේ අපි කරමු.
දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ඔයාගෙ අය්යා මිහිදිනීට කතා කරලා කියලා තියෙනවා තාත්තට
ටිකක් අසනීප උනා කියලා.”
එසේ කියද්දී ම කලබල වූ රේණු වහා අසුනින් නැගී සිටියේ මෙසේ පවසමිනි.
“අනේ ඇයි මගෙ තාත්තට අපි එනකොට හොඳට හිටියනෙ. මන් පුළුවන් ඉක්මණින් කොළඹ
යන්න ඕනෙ. මන් මෙතනින් ම නගිනවා කොළඹ බස් එකකට.”
“කෝ නංගි ඔයා දැනට ම කලබල වෙලානෙ. ඔයා නංගි ගුරුවරියක්, නිකන් ම ගුරුවරියක් නෙමෙයි ශිෂ්‍ය පරම්පරාවකට මග පෙන්වන ගුරුවරියක්. තාත්තට
අසනීප යි කියපු ගමන් ම ඔයා නැගිට්ටෙ යන්න. ඔයා හිතනව ද මේ වෙලාවෙ ඔයාට තනියෙන්
යන්න අපි ඉඩ දෙයි කියලා. ඉඳ ගන්න නංගි කලබල නොවී. කොහොමත් අපි ආපහු යන්න හරි, ඔයා තනියෙන් බස් එකේ යවන්නැතුව අපෙන් කෙනෙක් ඔයත් එක්ක එන්න හරි, අපි ඔක්කොම ආපහු යන්න හරි අපි දැන් තීරණය කරන්න ඕනෙ. අපිට වැඩි වෙලා ගන්න
බැහැ. අපි මේ වෙලාවෙ කරන්න ඕන හොඳම දේ කරමු.”
සිය සහෘදයන්ගේ මුහුණු දෙස බලා රේණු යළිත් හිඳ ගත්තා ය.
එවර විපුල් බැලුවේ මිහිදිනිය දෙස යි. දෙටු සොයුරියක ලෙස සිය හදෙහි විසල්
ඉඩක් හිමි කොට ගත් තම ආදරණීය මිතුරිය දෙස ඉමහත් දයාලූ බැල්මක් හෙළා ඇය කතාවට ප්‍රවිෂ්ට
වූවා ය.
“අක්කෙ, ලොකු අය්යගෙන්
කෝල් එක ආවෙ මට. මන් දන්නවා ඔයාට ගෙදර එක්ක කොයි තරං ලොකු බැඳීමක් තියෙනව ද කියලා.
අය්යා කිව්වෙ තාත්තව ජයවර්ධනපුර හොස්පිටල්ලෙකේ නවත්තල යි තියෙන්නෙ අවශ්‍ය කරන ප්‍රතිකාර
ඔක්කොම හොඳින් ම සිද්ධ වෙනවා කියලා. කොහොමත් අක්කෙ ඔයත් එක්ක යන්න මාත් එනවා. අපි
විපුල් අය්යට යි ගඟුල් සර්ට යි කියමු ඉතිරි වැඩ ටික හෙට දවසෙ ඉවර කරලා කොළඹ එන්න
කියලා. එහෙම නැත්තං අපි කට්ටිය එක්කම යමු කොළඹ. ඔයා කියන්නෙ මොකක් ද ඒක අපි කරන්නං
අක්කෙ. වෙනදා මාත් ඇතුළු ව අපේ ඔහොම වෙලාවල කරන්න ඕන හොඳම දේ අපිට කියලා දෙන මගෙ
රේණු අක්ක ම තමයි මේ වෙලාවෙ කරන්න ඕන දේ තීරණය කරලා අපිට කියන්න ඕනෙ.”
මේ වන විට රේණු සිය මඳ සන්සුන් භාවයකට පත් ව සිටියා ය. අනතුරුව ඇය කතා කළා
ය.
‘‘අපි මෙහෙම කරමු කරන්න ගත්ත එක වැඩක්වත් නතර කරන්න අවශ්‍ය නැහැ. ඔය තුන්
දෙනා ආරාධනාපත්‍ර දෙන වැඩේට යන්න. මන් මෙතනින් ම නගිනවා බස්සෙකට. ඔයගොල්ලන්ගෙ
හිත්වලට බරක් වගෙයි නං මන් මෙතන තනියම ඉන්න එක මට බස්සෙකක් එනකං ඉන්න. අය්යා මාව
ගනීවි කොළඹින්. මන් ගැන බයවෙන්න එපා. ඔයගොල්ලා මේ කරන්න ගත්ත වැඩේ ඉවරයක්
කරන්නකො.”
“ඒ උනාට අක්කෙ මේ වෙලාවෙ අපිට ඔයාව තනියෙන් නං යවන්න බෑ. විපුල් අය්ය යි
ගඟුල් සර්රුයි දෙන්නා ඉතිරි වැඩ ටික කරාවි. මන් එනවා ඔයත් එක්ක යන්න.”
අනතුරුව කතා කෙළේ ගඟුල් ය.
“ මිහිදිනී කියනවා වගේ රේණු
අක්කව තනියෙන් යවලා අපට සැහැල්ලුවෙන් මේ ගමන යන්න බැහැ. ආරාධනාපත්‍ර වැඩේ වගෙම
ඔයාගෙ තාත්තගෙ වැඩෙත් අපිට වැදගත්. අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔයත් එක්ක එනවම
තමයි ඔයා කැමති උනත් නැතත්.”
“මන් ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ගුරුවරයෙක් නොවන නිසා මල්ලිටයි මිහිදිනී නංගිට යි
පුළුවන්නං බදුල්ලෙ වැඩේ කරන්න. රේණු නංගි කැමතිනං මට පුළුවන් එයත් එක්ක යන්න. රේණු
නංගිත් මිහිදිනී නංගිත් දෙන්නම මන් කියපු වැඩ පිළිවෙළට කැමති නං අපි එහෙම කරමු.”
“මන් මොකට ද අය්යෙ අකැමති වෙන්නෙ ඔය දෙන්නා මගෙ සහෝදරයො. මේ මගෙ සහෝදරී.
මිහිදිනීටත් විරුද්ධ වෙන්න හේතුවක් නෑ. ඒ වගෙම
ඔය තුන්දෙනාගෙන් කවුරු ආවත් මට ප්‍රශ්නයක් නෑ. මන් කල්පනා කළේ මේ ගමන මට
තනියම යන්න පුළුවන් නිසා ඔය තුන්දෙනාම අර ගමනට හිටියොත් හොඳයි කියන එක. මට පේන
හැටියට ඒ විදියට වැඩ සිද්ධ වෙන්නෙ නැති නිසා විපුල් අය්යා කියන විදියට වැඩ කරමු.
මගෙ බදුල්ලෙ ඉන්න යාළුවා ඔය අය්යා මල්ලි දෙන්නට යි අපි දෙන්නට යි ඒ ගොල්ලන්ගෙ ගෙදර
කාමර දෙකක් ලෑස්ති කරල යි තියෙන්නෙ. එයාට වෙච්ච දේ මන් කතා කරලා කියන්නං එයා තේරුං
ගන්නවා. ඔය දෙන්නට නිදහසේ ඉන්න වෙන වෙන ම කාමර දෙකක් තියෙනවනෙ. ගඟුල් බලා ගනින්
මල්ලි මගෙ නංගිව. ඒ වගෙම නංගි උඹ බලා ගන්න ඕන මගෙ මල්ලි ව. දෙන්නම පරිස්සමෙන්
වගකීමෙන් වැඩ කරන දෙන්නෙක් නිසා මගෙ හිතට බරක් නෑ. අනේ විපුල් අය්යෙ ඔයා මට සමා
වෙන්න ඕනෙ මන් නිසා වැටිච්ච අමතර කරදරේ ගැන.”
“අනේ නංගි ඔයා මේ මොනව ද කියන්නෙ. ඔයා කොහොම ද අපිට කරදරයක් වෙන්නෙ. අපි
කාගෙත් හිතට කරදරයක් වෙන්නෙ ඔයා තනියම ගියොත් තමයි.”
“එහෙනං විපුල් අය්යෙ අපි බස් හෝල්ට්ටෙකට යමු. ඔය දෙන්නත් දැන් ප්‍රමාද
වෙන්නෙ නැතුව පිටත් වෙන්න. අපි බස්සෙකක් ආවහම නගින්නං.”
“එහෙනං අක්කෙ අය්යෙ දෙන්නම පරිස්සමෙන්. අපිත් ප්‍රවේශමට වැඩ කර ගන්නං.
දෙන්නට ම තෙරුවන් සරණයි.”
“රේණු අක්කෙ මිහිදිනී ගැන බය වෙන්න එපා. මන් එයාව බලා ගන්නං.”
“ මන් මොකට ද මල්ලි බය
වෙන්නෙ මගෙ නංගිව බලා ගන්න මේ ලෝකෙ ඉන්න සුදුසු ම කෙනා කියලා මන් හිතන කෙනාට බාර
දුන්නට පස්සෙ.”
තාවකාලික සමු ගැනීම සිදු වූයේ තදනන්තරව ය.
ගඟුල් පළමු ව සිය සොහොයුරාටත් දෙවනු ව රේණුටත් වැඳ ආචාර කෙළේ ය. මිහිදිනී
වෙතින් සිදු වූයේ ද එම කාර්යය යි. කෙසේ වෙතත් ගඟුල් මිහිදිනී දෙදෙනා එතැනින් පිටත්
වූයේ කොළඹ බලා යන බස් රථයට විපුල් සහ රේණු ගොඩ වීමෙන් පසු ව ය.
“මිහිදිනී, ඔයාට මහන්සි නං
සීට්ටෙක කඩලා ටිකක් ඇල වෙන්න. ඔයා බය වෙන්න එපා මන් කල්පනාවෙන් වාහනේ එලවන්නං.”
මීදුම ටිකෙන් ටික පරිසරය සිය ග්‍රහණයට ගනිමින් තිබිණ. ගඟුල් රිය පැදවූයේ
වෙනදාටත් වඩා කල්පනාවෙනි. මේ පරිසර තත්ත්වය නිසා ම මිහිදිනීට කෙටිකාලීන හෝ නිද්‍රා
විරාමයක් ලැබීමට සිතුණේ නැත.
“ගඟුල් සර් මට නිදිමතක් නෑ. සර්ට බාධාවක් නැත්තං අපි කතා කර කර යමු.”
කඩින්කඩ වැසි වැටෙද්දී මිහිදුම ද කෙමෙන් වර්ධනය වන්නට විය. ගඟුල් මිහිදුම්
ඡේදක ආලෝක පහන් දෙක ද දැල්වීය. මේ මොහොතේ ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය.
“මිහි්දිනී වැස්ස දකින කොට ඔයාට මතක් වෙන සාහිත්‍යකරුවා කවුද?”
“මට ගඟුල් සර් ඒකට උත්තර දෙන්න වෙන්නෙ සර්ගෙ ප්‍රශ්නෙ පොඩි සංශෝධනයක් කරලා
තමයි.”
“ඒ කිව්වෙ මිහිදිනී.”
“ඒ කියන්නෙ සර්ගෙ ප්‍රශ්නෙ ඇහැව්වොත් වැස්ස දකින කොට මතක් වෙන සාහිත්‍යකරුවො
දෙන්නෙක් කියන්න කියලා මට මතක් වෙන නම් දෙකක් තියෙනවා.”
“එහෙමනං මටත් නම් දෙකක් තියෙනවා. මන් කියන්න ද ඒ නම් දෙක.”
“සර් නම් දෙක කියන්න ඕනෙ මන් මේ යන ගමන් ම පුළුවන් විදිහට මට හිතිච්ච නම්
දෙක ලියලා දුන්නට පස්සෙ යි.”
“ඇයි මන් එහෙම කරන්නෙ.”
“එහෙම කරන්නෙ ගඟුල් සර් ඔයාට වාහනේ අරන් යන ගමන් මොකවත් ලියන්න බැරි නිසා.
අනික ඔයා කිව්වට පස්සෙ මටත් හිතිලා තිබුණෙ ඒ නම් ම නං මන් ඒ නම් ම කියන එකේ
තේරුමක් නැති හින්දා.”
”ඔයාට ඔය ලියන අදහස ආවෙ කොහින් ද?”
“ඇයි සර්ට මතක නැද්ද අපි නිවාසවලට නම් හදන වෙලාවෙ අපි කට්ටිය එතෙක් යෝජනා
වෙලා තිබිච්ච නම් වෙන වෙන ම කොළවල ලියලා ලොකු සර්ට දුන්නා.”
“ඔව් මට මතකයි.”
“ඒ වගෙම සර්ට මතක ද අපි එකිනෙකා අතරෙ එකම නම් තෝරපු අවස්ථා වගෙම එහෙම
නොවිච්ච අවස්ථාත් තිබුණා.”
“ඒකත් මට මතකයි මිහිදිනී. ඇයි අපි දැන් එහෙම කරන්නෙ.”
“අදත් එදා වගෙම වෙයි ද බලන්න.”
මෙසේ කියා මිහිදිනී කෙළේ රිය කවුළුවෙන් ඈත බැලීම ය.
ගඟුල් පළමු ව කෙළේ තමා සිතූ නම් දෙක ප්‍රකාශයට පත් කිරීම ය. ඒ භාරතීය
සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර් සහ ශ්‍රී ලාංකේය කිවියර එච්. ඇම්. කුඩලිගම යන නම්
දෙක යි. අනතුරුව ඔහු මිහිදිනී තමා අතට පත් කළ කොළ කැබැල්ල දිග හැර බැලී ය. එහි
සඳහන් ව තිබූ නම් වෙතට ගඟුල්ගේ අවධානය යොමු විය.
රබීන්ද්‍රනාත් තාගෝර් සහ එච්. ඇම්.
කුඩලිගම
මිහිදිනිය ලියා ඇත්තේ ද තමා කියූ නම් දෙක ම ය.
“ඔයා නං මිහිදිනී අපූරු ගමන් සගයෙක්. සමන් අය්යා කියන විදිහට මේ ජීවිතයේ යන
ගමන සාර්ථක වෙන්නෙත් එහෙම ගමන් සහායකයන් සහායිකාවන් හිටියොත් තමයි. අපේ සර් ඕකට
ගැළපෙන වචන දෙකක් කියනවා.”
“මොකක් ද සර් ඒ චවන දෙක.”
“යාත්‍රාසහායක සහ යාත්‍රාසහායිකා”
“ඒ කියන්නෙ ගඟුල් සර් මට යාත්‍රාසහායිකා ගෞරවේ දෙනවා.”
“මේ ජීවිතේ දී දකින දකින කෙනාට ඒ ගෞරවේ දෙන්න බැහැ මිහිදිනී. වඩාත් පෘථුල
අර්ථෙ, අතුල අය්යා වගේ
චරිත යාත්‍රාසහායකයො. ඒ වගෙම රේණු අක්කා, සුමනා ටීචර්, ඔයා වගෙ චරිතත්
හොඳ යාත්‍රාසහායිකාවන්. ඒත් අපේ ජීවිතේ හිටපු හොඳම යාත්‍රාසහායකයා තමයි නංගි අපට
අහිමි උනේ. ඒ තමයි නංගි....”
වාක්‍යයේ ඉතිරි කොටස සම්පූර්ණ කෙළේ ගඟුල් නොව මිහිදිනිය යි.
“සමන් අය්යා ඔයගොල්ල දැක්ක අපි නොදැක්ක සමන් සිත්තරා.”
“නෑ නංගි ඔයගොල්ල දැක්කෙ නැහැ කියලා කියන්න බැහැ. අපි දැක්ක මිහිදිනීලා
නොදැක දකින සමන් සිත්තරා.”
“ඔයාට මතක ද මිහිදිනී කුඩලිගම කවියගෙ වැස්ස ගැන තියෙන ප්‍රසිද්ධ කවි
පන්තිය. අපේ තාත්තලාගෙ කාලෙ සිංහල පාඩම් පොතටත් ඒවා ඇතුළත් කරලා තිබුණා. හැබැයි ප්‍රබුද්ධ
යි කියලා තමන් ම හිතාගෙන හිටිය සමහර විචාරකයන්ට නං ඒවා දිරෙව්වෙ නැහැ. ඒක ගැන එක
විචාරකයෙක් ලියලා තිබුණෙ සුසුම් පද බහුල යි කියලා. ඒ කවි පන්තියෙ මට දැනිච්ච කවි
අතර එන කවි දෙකක් තමයි දැන් මට කියන්න හිතෙන්නෙ. මිහිදිනී නං අනිවාරෙන් ම මේවා
අහලා ඇති.”
“ ඒ උනාට මන් කැමතියි ගඟුල්
සර් ඒ කවි මේ වෙලාවෙ කියනවනං.”
ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඬා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා
වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදී
“ ගඟුල් සර් වැස්ස වැටෙන
කොට මුළු හදවත ම ඉඩ මදි වෙච්ච තවත් කෙනෙක් තමයි තාගෝර්තුමා. එතුමාගේ වර්ෂා ගීත
කියන්නෙ කෙනෙක් ශාස්ත්‍රීය අධ්‍යයනයකට ලක් කරන්න ඕන සෞන්දර්යාත්මක විෂය ක්ෂේත්‍රයක්.
ඒවා දිහා කෙනෙකුට බලන්න පුළුවන් පරිසර විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්. තවත් අයට පුළුවන්
සාහිත්‍ය සෞන්දර්ය දෘෂ්ටි කෝණවලින් බලන්න.”
“ඒ උනාට මිහිදිනී සමහර දෙනා කියනවා නේද තාගෝර්තුමාගෙ වර්ෂා ගීත ඒකාකාරියි
කියලා.”
“ ගීත අහපු රසිකාවියක් විදිහට මටනං එහෙම හිතෙන්නෑ ගඟුල් සර්. මට හිතෙන
හැටියට එක ප්‍රසිද්ධ විචාරකයෙක් එහෙම අදහසක් කිව්වට පස්සෙ තමයි අනික් ගොඩක්
දෙනාටත් එහෙම හිතුණෙ. අපි ස්වාධීන යි කියලා කිව්වට ගොඩක් දෙනා ස්වාධීන නැහැ ගඟුල්
සර්. හරිම අනුකාරක යි. හැබැයි ඒක පිළිගන්න ලෑස්ති නැහැ.”
“ඔයා කියන ඒ අදහසත් එක්ක මමත් එකග යි මිහිදිනී තාගෝර් කියන්නෙ විසල් හදවතක්
තියෙන මනුස්සයෙක්. වැස්ස කියන්නෙ අපෙන් බාහිර දෙයක් නෙමෙයි අපේ ම අභ්‍යන්තරේ අප්‍රමාණ
නිර්මාණශීලී අදහස් විකසිත වෙන්න බලපාන දෙයක්.”
“ඔයා වැස්ස ගැන හරිම වෙනස් කතාවක්නෙ මේ කියන්නෙ.”
“ඒක වෙනස් කතාවක්නං ඒ වෙනස් කතාවෙ නිර්මාතෘටයි මිහිදිනී ගෞරවේ දෙන්න ඕනෙ.”
“ඒ කියන්නෙ මෙතෙන්දිත් සම්බන්ධ කරන්න වෙන්නෙ අපි කලින් කියපු චරිතෙම නේද?”
“කලින් කියපු චරිතෙ සමන් සිත්තරා නං ඔයා හරි මිහිදිනී. මන් කලිනුත්
ඔයගොල්ලන්ට කියලා තියෙනවනෙ තාගෝර් සාහිත්‍යෙ දොරවල් ඇරලා දුන්නෙ සමන් අය්ය යි
කියලා. එයා අපිට කියලා දුන්නෙ තාගෝර්ගෙ සාහිත්යෝ්ක්ති විතරක් නෙමෙයි නංගි එතුමාගෙ අපි නොදන්න අප්‍රසිද්ධ ජීවනෝක්තිත්
කියලා දුන්නා.”
“දැන් මේ යන ගමන් සර් එහෙම අහගත්ත අප්‍රසිද්ධ එක ජීවනෝක්තියක් හරි කියන්ඩකො
මටත් දැනගන්න.”
“හොඳයි නංගි තාගෝර් සාහිත්‍යෙන් ඔයා මතු කරපු ඔයා වැඩිය කැමති මාතෘකාවට ම
එන්නංකො මන්.”
“ඒ කිව්වෙ සර්.”
“වැස්ස මිහිදිනී වැස්ස.”
“ඒ කියන්නෙ සර් ඔයා කියන්න යන්නෙ වර්ෂා ගීතවලට සම්බන්ධ කතාවක් ද?”
“මේ කතා කරන්නෙ වර්ෂා ගීත ගැන නෙමෙයි ඒවයේ උල්පත තිබිච්ච හදවත ගැන යි.
තාගෝර්තුමා අවසන් කාලෙ හොඳට ම ගිලන්වයි ඉඳලා තිබුණෙ. ඒ සිදුවීම් ගැන ඔයා කොහොමටත්
කියවලා ඇතිනෙ. මන් මේ කියන්නෙ සමන් අය්යගෙන් දැනගත්ත අප්‍රකට තොරතුරක්.”
“කියන්න ගඟුල් සර් මන් මේ හරිම ආසාවකින් අහගෙන ඉන්නෙ.”
“මේ කාලයෙ තාගෝර්තුමාව බලා ගන්න ම විශේෂයෙන් කෙනෙක් තාගෝරතුමාගෙ පුතා
රතීන්ද්‍රනාත් තාගෝර් යොදවලා තිබුණා. ”
“රතීන්ද්‍රනාත් තාගෝර් කිව්වෙ තාගෝර්තුමාගෙන් පස්සෙ කාලෙක ශාන්ති
නිකේතනේ උපකුලපති තනතුරට සමාන තනතුරේ
කටයුතු කරපු කෙනෙක් නේද?”
“ඔයා හරි මිහිදිනී, එයා තමයි. දවසක මේ පුතයි ගෙදර අනික් අයයි තාගෝර්තුමා බලා ගැනීමේ සම්පූර්ණ
වගකීම අර රැකවලාට දීලා ඈත ගමනක් යනවා. එදා හරි හය්යෙන් වහින දවසක්. තාගෝරතුමා
කවුළුවෙන් ඈත අහසත් වැස්සත් දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න අතරෙ තමන් ව බලාගන්න
ඉන්න රැකවලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේක යි ඒ ප්‍රශ්නෙ. ”
“ප්‍රවේශ් ඔයා මාව බලා ගන්නෙ ඔයාට පැවරිලා තියෙන රාජකාරිය නිසා ද එහෙම
නැත්තං මොන තරමෙ හරි මට ආදරයක් තියෙන නිසා ද ?”
“සර් මට රතීන්ද්‍රනාත් සර් සර්ව බලා ගන්නවට මට පඩියක් දෙන එක ඇත්ත. ඒක මට
මගේ දරු පවුල රකින්න අවශ්‍යයි කියන එකත් ඇත්ත. ඒත් මම කර කර හිටපු උද්‍යාන පාලක
රස්සාව දාලා රතීන්ද්‍රනාත් සර්ගෙ ඉල්ලීමට මෙහෙ ආවෙ මන් සර්ට ආදරේ හින්දා. මන්
සර්ගෙ රසිකයෙක් හින්දා. සර්ව බලා ගන්න එක අපෙත් වගකීමක් හින්දා.”
“හොඳයි දැන් ප්‍රවේශ් කිව්වනෙ මට තියෙන ආදරේ ගැනත්. සාමාන්‍යයෙන් ආදරේ
තියෙන අය තමන්ගෙ ආදරේ ලබන අය යම් ඉල්ලීමක් කළොත් ඉෂ්ට කරනවා නේද?”
“ඇයි දැන් සර් මගෙන් එහෙම ඉල්ලීමක් කරන්න ද යන්නෙ.”
“ඔව් මන් අහන්නෙ මන් එහෙම ඉල්ලීමක් කළොත් ඒක ඉෂ්ට කරනව ද කියල යි.”
“අනේ සර් මට පුළුවන් දෙයක් නං මන් ඒක බොහොම සතුටින් ම කරන්නංකො.”
“එහෙනං ප්‍රවේශ් මෙතනින් පුටුවක් අරගෙන එළියෙන් ගිහින් තියෙනව ද?”
“එළියෙ වහිනවනෙ සර්.”
“ඇයි ප්‍රවේශ් වැස්සෙ තෙමෙන්න බය ද?”
“අපොයි නෑ සර්, සර්ගෙ ඉල්ලීම
ඒකනං මන් එහෙම කරන්නංකො.”
“ඉතින් මිහිදිනී තාගෝර්තුමාගෙ ඉල්ලීමට අනුව ප්‍රවේශ් අර මහ වැස්සෙම පුටුවක්
ගෙනිහින් එළියෙන් තිබ්බා. ඔයා දන්නව ද නංගි එතුමා ප්‍රවේශ්ගෙන් ඊළඟට කරපු ඉල්ලීම.”
“ගඟුල් සර් නොකිව්වත් සිදුවීමෙ ඉතිරි ටික මට හිතා ගන්න පුළුවන්.”
“දැන් මන් කැමතියි මිහිදිනී ඔයා මේ කතාවෙ ඉතිරි ටික පුරවනවනං.”
“මට හිතෙන්නෙ ගඟුල් සර් තාගෝර්තුමා ඊළඟට ප්‍රවේශ්ට කියන්න ඇති අර මහ වැස්සෙ
එළියෙ තියෙන පුටුවෙන් මාව තියන්න කියලා. ඒ ප්‍රවේශ් හරිම අපහසුවකට පත්වෙලා
තාගෝර්තුමාට කියන්න ඇති අනේ සර් මටනං ඒක කොහොමටවත් කරන්න බැහැ කියලා.”
“ඔයා හරියට ම හරි මිහිදිනී එහෙමම තමයි වෙලා තියෙන්නෙ. ඒ වගෙම ඒ වෙලාවෙ
තාගෝර්තුමා හිනාවෙවී කියලා තියෙනවා මට බොහොම ලොකු ආදරයක් තියෙනවා කියලා කිව්වට මන්
දන්නවා ඔයාගෙ උත්තරේ ඕක තමයි කියලා.”
“ඒ වෙලාවෙ ප්‍රවේශ් අහලා තියෙනවා
තාගෝර්තුමාගෙන් ප්‍රශ්නයක්. ”
“සර් දන්නව ද ඇයි මම සර්ගෙ ඉල්ලීම මන් ප්‍රතික්ෂේප කළේ?”
“ ප්‍රවේශ් මට කිසිම ආදරයක් නැති හින්දනෙ.”
“නෑ සර් මම ඒක නොකරන්නෙ සර් කොච්චර වැස්සට ආදරේ උනත් සර්ගෙ වර්ෂා ගීතවලට
මන් කොච්චර කැමති උනත් ඒ ඔක්කොටම වැඩිය මන් සර්ගෙ ජීවිතයට ආදරේ නිසා.”
“ඒ වෙලාවෙ තාගෝර්තුමා හිනා උනා මිස ප්‍රවේශ්ට උත්තරයක් දීලා නැහැ
මිහිදිනී.”
“ඒවා හරිම සුන්දර ඒ වගෙම හෘදයංගම සිදුවීම් ගඟුල් සර්. ”
මීදුම කෙමෙන් කෙමෙන් තව තවත් දැඩි වන්නට විය. හිරු සැඟ ව ගොසිනි. හාත්පස
රජයන්නට වූයේ අඳුර යි. ගඟුල් නවාතැන වෙත යායුතු මාර්ගයට අවතීර්ණ විය. පෙර නොගිය
තැනක් බැවින් යා යුත්තේ පාර අසාගෙන ය.
රේණු පැවසූ සහ ලියා දුන් මං සලකුණු ඔස්සේ ගඟුල් ඉදිරියට ම රථය පැදවීය. එම මගෙහි
සැලකිය යුතු දුරක් ආ පසු රිය නවතන්නට ගඟුල් ද යොමු වූයේ ඉදිරි මග මාවතේ වාහන
කීපයක් ම නවතා තිබූ බැවිනි. ගඟුල් රියෙන් බැස්සේ ඊට හේතු විමසීම සඳහා ය.
සමීපයේ නවතා තිබූ ජීප් රථයේ සුක්කානමට හිස තබාගෙන සිටි මැදිවියේ ආගන්තුකයා නින්දක නොව කල්පනාවක සිටිනු දැක ගඟුල් කතා කෙළේ ය.
”ඔබතුමාගෙ විවේකෙට බාධාවක් උනා නං සමාවෙන්න ඕන. ඇයි දන්නෑ කට්ටිය මෙතන වාහන
නවත්තගෙන ඉන්නෙ.”
“මගෙ විවේකෙට නං කිසිම බාධාවක් නැහැ මල්ලි ඒත් අපි ඔක්කොමගෙ ගමනට තමයි
බාධාව ඇවිල්ලා තියෙන්නෙ.”
“ඒ කියන්නෙ අය්යෙ මොකක් ද ඉස්සරහ වෙලා තියෙන්නෙ.”
තමාට මල්ලී කියන මේ පසන් මිනිසාට තවදුරටත් ආගන්තුක බසකින් කතා කරන්නට
ගඟුල්ට සිතුණේ නැත.
“නාය ගිහිල්ලා මල්ලි. ආයි හරවන් යන්න තමයි අපිට වෙන්නෙ. ”
“ඒ කියන්නෙ වෙන අතුරු පාරක්වත් නැද්ද අය්යෙ අපට යන්න පුළුවන්.”
“මෙහෙ කොහෙන් ද මල්ලි අතුරු පාරවල්. අපි ආපහු හරවගෙන කොළඹ බදුල්ල ප්‍රධාන
පාරට යන්න ඕනෙ. ඊට පස්සෙ කැමති කෙනෙකුට බදුල්ල පහු කරලා කිලෝමීටර් තුනක් විතර
එහායින් අතුරු පාරකින් මේ පාරෙ තියෙන ගමනාන්තයට එන්න පුළුවන්. හැබැයි එහෙම එනවනං
මේ වගෙ පස් හය ගූණයක දුරක් එන්න ඕනෙ. හැබැයි මේ මීදුමත් එක්ක දැනටමත් රෑ වෙලා
තියෙන මේ වෙලාවෙ ඒ ගමනත් අවදානං. මන්නං හදන්නෙ බදුල්ල ටවුමට ආපහු ගිහින් එහෙ කොතනක
හරි නවාතැනක නැවතිලා අර දුර පාරෙන් මෙහෙට එන්න. මොකද මේ පස් ගල් එක දවසකින් අහක්
කරන්න පුළුවන් කියලා හිතන එකත් මෝඩකමක්. ”
“අපිට අය්යෙ වෙන විසඳුමක් ඇත්තෙ ම නැද්ද?”
ආගන්තුක හිතවතා ඊට පිළිතුරු දීමට සැරසෙන විට ය, මේ කුමක් සිදු ව ඇද්දැයි බැලීම සඳහා මිහිදිනී ද රියෙන් බැස එතැනට එතැනට
ආවේ. ඇය දෙස ද බලා මැදිවියේ ආගන්තුකයා පිළිතුරු දුන්නේ ය.
“මන් දෙන්න හිතා ගත්ත උත්තරේ මල්ලි මට වෙනස් කරන්නයි වෙන්නෙ. මොකද මන්
හිතාගෙන හිටියෙ නං මේ ළඟ තැනක තියෙන නවාතැනක් ගැන කියන්න. හැබැයි මේ මල්ලිගෙ නෝනා
දැක්කට පස්සෙ මට හිතුණෙ එතන තියෙන පහසුකං නං මදි නේ ද කියන එක.”
මැදිවියේ ආගන්තුකයා එසේ පිළිතුරු දුන්නේ මේ විවාහක යුවළකැයි සිතූ බැවිනි.
“අය්යා අපට එතෙන්ට යන පාර කියන්න. අපිට පහසුකං ප්‍රශ්නයක් නැහැ.”
“හැබැයි මල්ලි තවත් ප්‍රශ්නයක් තියෙනවා, එතන ඉතින් නෝ ස්මෝකින් නෝ ඩ්රින්කින් තැනක්.”
“ඉතින් අය්යෙ ඒකත් හොඳයිනෙ.”
“ඒ කියන්නෙ මල්ලි කන්නෙ බොන්නෙ නැති කෙනෙක්.”
“මොකද නැත්තෙ අය්යෙ මන් හොඳට කනවා හොඳට බොනවා.”
“එහෙනං ඔයා කිව්වෙ ඒවා නැති එක හොඳයි කියලා.”
“මන් කනවා අය්යෙ බත් පාන් රොටි, මන් බොනවා අය්යෙ වතුර තේ වගෙ දේවල්.”
“මල්ලි හරි විහිලුකාරයෙක්නෙ. මන් පුරුදු වෙච්ච නිසා ඒව කළාට ඒවට පුරුදු
නොවෙච්ච අයට රෙස්පෙක්ට් කරනවා.”
“එතකොට අය්යා එතන නවතින්න නොහිතුවෙ අර කියපු ජාති නැති නිසා ද?”
“නෑ මල්ලි ඒකම නෙමෙයි මට බදුල්ලෙන් කරගන්න තවත් වැඩක් දෙකක් තියෙනවා. ඒ
නිසා මන් දුර පාරකින් හරි බදුල්ලට යන එක තමයි හොඳ.”
“ අපිට අය්යෙ ඔයා කියපු
නවාතැන හොඳයි කියලයි හිතෙන්නෙ.”
ඔයා දැන් කතා කරපු දේවල් ඇහැව්වට පස්සෙ මටත් හිතෙන්නෙ එතන ඔයගොල්ලන්ට
ගැළපෙන තැනක් කියල යි. ඒ වගෙම ඒ ඒ පුංචි නවාතැන අයිති තරුණ හාදයෙක්ට. ගිහිල්ලා
බලන්නකො එතෙන්ට කතා කරලා.”
මේ මොහොතේ ආගන්තුක භාවයෙන් මිදී අනාගන්තුක භාවයට පත් ඔහුට කෘතඥතාපූර්වක
බැල්මක් හෙළීමට මිහිදිනී ද අමතක නොකළා ය.
“එහෙනං ඔය දෙන්නටම සුබ රාත්‍රියක්. ඔන්න මන් හරවා ගන්නවා වාහනේ.”
අනතුරුව යෝග්‍ය නවාතැනකට යන මග කියා නික්ම යන අනාගන්තුක සහෘදයාගෙන් සමුගත්
ගඟුල් සහ මිහිදිනී යළි සිය රිය දෙසට ගියහ. ඒ වන විට මඳ වැස්ස ධාරානිපාත වර්ෂාවකට
පරිවර්තනය වී තිබිණ. මොහොතින් මොහොත රිය ගමන දුෂ්කර චර්යාවක් බවට පෙරළිණ. ඉතා ප්‍රවේශම්
සහගත ව ගඟුල් රිය ඉදිරියට පැදවූයේ අනාගන්තුක සහෘදයා නවාතැන ගැන කී මං සලකුණු ගැන
සැලකිලිමත් වීමේ වගකීම මිහිදිනියට පවරා දෙමිනි. ගඟුල් එක් වංගුවක් ගනිද්දී මිහිදුම
කපාගෙන වැදි රියේ ආලෝක පහන් ඔවුන්ගේ දිනාන්තය සලකුණු කෙළේ ය. ඇය ඒ රථාලෝකයෙන් තත්
නිකේතනයේ නම දුටුවා ය.
කඳුබිම හදවත
“ගඟුල් සර් නවත්තන්න. මේක ද අපිට අතරමග දි හමු වෙච්ච යාළුවා කියපු තැන.”
“මන් හිතන්නෙ මේ එතනනං නෙමෙයි. එයා කිව්ව නිවාඩු නිකේතනේ නම කඳුකර නිවහන
කියල යි මට මතක. මෙතන නවාතැනක් ද හෝටලයක් ද කියලා හිතා ගන්න බැහැ. මිහිදිනී අපි
මෙතෙන්ට යනව ද එහෙම නැත්තං තව ටිකක් ඉස්සරහට ගිහින් අපිට අර මහත්තතයා කියපු තැනම
බලනව ද?”
“ගඟුල් සර් කෝකටත් අපි මෙතෙන්ට ගිහිල්ලම බලමු. මට හිතෙන්නෙ මෙතන නැවතිලා
විස්තර බලාගෙන යන එක හොඳයි කියල යි. එක
පැත්තකින් මීදුම. තව පැත්තකින් තද වැස්ස. තව ඉස්සරහ නාය යන එකේ අනතුර තියෙනව ද
නැද්ද කියන්න අපි දන්නෙත් නැහැ. ඒ වගෙම මේ වෙලාවෙ සර්ට ඩ්‍රයිව් කරන්න වෙන්නෙත්
අමාරුවෙන්. ඇයි ගඟුල් සර් අපි අවදානමක් ගන්නෙ. මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දෙය අපි
කරමු සර්. සර් තීරණය කරන්න කරන්න ඕන හොඳම දේ. කොහොමත් ගඟුල් සර් කියන්නෙ වැරදි
තීරණ ගන්න කෙනෙක් නෙමෙයිනෙ.”
“හරි මිහිදිනී දැන් ඔයා කියන දේ තමයි මටත් හරි තීරණේ කියලා දැනෙන්නෙ. හොඳයි
අපි මෙතන ඇතුළට ගිහින් ම බලමුකො. අපි දන්නෙ නැහැනෙ මෙතන ඉඩ තියෙද්ද නැද්ද කියන
එකවත්. අපි ඉස්සෙල්ලා මෙතනින් ....”
“හොඳ උණු කෝපි එකක් බීලා ඉමු.”
ගඟුල්ගේ වාක්‍යාංශය මිහිදිනී සම්පූර්ණ කළා ය.
“අන්න හරි ඒක තමයි මන් කියන්න හැදුවෙ.”
ඒ අධිශීතල නිමේශයේ උණුසුම් කෝපි පානයෙන් සන්තර්පිත සහෘදය යුග්මය සංග්‍රහ
කටයුතු කළ වේටර් තරුණයා සමග පිළිසඳරට වන්හ.
“මල්ලි මේ ඉස්සරහ තියෙනව ද කඳුකර නිවහන කියලා නිවාඩු නිකේතනයක්.”
“ඔව් තියෙනවා සර් තව කිලෝමීටර් නමයකට කිට්ටු දුරක් ගියාට පස්සෙ. හැබැයි සර්
එතනට යන්න නං බැරිවේවි. අපිට ආරංචිය ආවෙත්
තව කිලෝමීටර් පහකට විතර දුරින් කන්දක් නාය ගිහින් කියලා. මෙහෙ සර් කඳු නාය ගියහම
පාරවල් ගැන විශ්වාසෙ තියන්න බැහැ. මොකද ඒ කන්දක් නාය ගියොත් පස් කඳු පිටින් මහපාරට
වැටෙන එක වළක්කන්නත් බැහැ. අනිත් එක මේ තද මීදුමේ තව කිලෝමීටර් පහක් නෙමෙයි එකක්වත්
යන එක අවදානං සර්.”
“ඉස්සරහ නාය ගිහිල්ලා තියෙනවා කියලා ආපු ආරංචිය ඇත්තක් ම ද කියලා අපට
දැනගන්න බැරි ද මල්ලි.”
“ඒක ඇත්තක් ම තමයි සර්. මොකද අපේ සර්ගෙන් තමයි අපට ඒ පණිවිඩේ ලැබුණෙ.”
“අපේ සර් කිව්වෙ කවුද මල්ලි.”
“ඒ මේ හෝටලයයි අර සර්ලා අහපු කඳුකර නිවහනයි දෙකම අයිති කෙනා. සර් එහෙ ඉඳලා
ඒ අවදානම් කලාපෙ පහුකළාට පස්සෙ තමයි නාය ගිහින් තියෙන්නෙ. සර් ගෙදරටත් ගිහිල්ලා තව
ටිකකින් මෙහෙටත් ඒවි දෙය්යන්ගෙ බුදුන්ගෙ සරණින්.”
“ඔයා මල්ලි ඔයාගෙ සර්ට බොහොම ලෙන්ගතුයි වගෙ.”
“අපේ සර් දෙවියෙක් සර් දෙවියෙක්. සර්රුයි මිසි යි කලබල නොවී ඉන්නකො. සර්ලගෙ
නවාතැන් ප්‍රශ්නෙටත් අපේ සර් විසඳුමක් දේවි ආවට පස්සෙ. මෙහෙ නං දැනට ඉඩ නැහැ. ඒ
උනාට අපේ සර් මෙතනින් තැනක් මවලා හරි එහෙම බැරි උනොත් සර්ලගෙ මහගෙදරට එක්ක ගිහින්
හරි නවාතැන් ප්‍රශ්නෙ විසඳාවි. එතකන් සර්රුයි මිසුයි කතා කර කර ඉන්ඩකො. අවශ්‍ය
දෙයක් ඕන උනොත් මට හරි මෙතන ඉන්න අනික් දෙන්නට හරි කියන්ඩකො.”
වේටර් තරුණයා එතැනින් ඉවත් ව ගිය පසු ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය.
“මිහිදිනී මෙතන නං සාමාන්‍ය හෝටලයක් මිස නවාතැන් දෙන තැනක් වගේ නං පේන්නෙ
නැහැ. මෙහෙ ඉඩක් නැති උනොත් මොකද අපි කරන්නෙ.”
“අපි එන විදිහකට මුහුණ දෙමු.”
මෙසේ කියා මිහිදිනී බැලුවේ ඔවුන් පැමිණි රිය දෙස ය.
“ඔව් නංගි මට තේරෙනවා. අපිට ඒක තමයි කරන්න වෙන්නෙ. තව ටිකකින් මේ හෝටලේ
අයිති මහත්තයා එනවා කියලා වේටර් මල්ලි කිව්වනෙ. අපි එයා ආවට පස්සෙ එයාගෙන් අහලා මේ
මිදුලෙ ම සුදුසු තැනක කාර්රෙක පාක් කරලා ඒකෙ ඉම්මු. මන් ඔයාට ඇලවෙන්න පිටිපස්සෙ
සීට්ටෙක ලෑස්ති කරලා දෙන්නං.”
“එතකොට ගඟුල් සර් ඔයා.”
“ඇයි මට පුළුවන්නෙ ඉස්සරහ සීට්ටෙකට වෙලා සුක්කානමට ඔලුව ගහගෙන පොඩ්ඩක්
ඇලවෙන්න.”
මේ දෙදෙනා මෙසේ කතා කරමින් සිටියදී ය, පැරණි තාලයේ ජීප් රථයක් හෝටල් බිමට ඇතුළු වූයේ. එම රියෙහි ඉදිරිපස අසුන්
දොර හැරගෙන බිමට බැස්සේ තවමත් තරුණ විය පසු නොකළ අයෙකි. සිය හෝටල් බිම රිය නවතාගෙන
එතැනට වී කතා කරන යෞවනයන් දෙදෙනා වෙතට ඔහු ගමන් කෙළේ ය.
“ඔය දෙන්නත් මේ නාය යාම නිසා කරදරයට පත් වෙච්ච දෙන්නෙක් වගෙයි මට පේන්නෙ.
එන්න ඇතුළට. මොකක් ද අපෙන් කෙරෙන්න ඕන.”
“මේ හෝටලේ අයිති මහත්තය වෙන්න ඕනෙ.”
“මම නදුන් සල්ගමුව. මට මහත්තය කියන්න ඕනෙ නැහැ, නදුන් කියන්න. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට මට කියන්න තියෙන්නෙ මෙතන
මම තාවකාලික අයිතිකාරයා විතරයි කියන එක.”
“ඒ කියන්නෙ නදුන්ට නෙමෙයි ද මෙතන අයිති.”
“පරම්පරාවෙන් මට උරුම වෙච්ච තැනක් තමයි මේ. ඒ උනාට අපිට කවදා හරි දවසක මේ
ඔක්කොම දාලා යන්න වෙන නිසයි මන් මෙතන තාවකාලික අයිතිකාරයා විතරයි කියලා කිව්වෙ. කෝ
මන් මාව අඳුන්නලා දුන්නට මට ඔයගොල්ල අඳුන ගන්න ලැබුන්නැහැනෙ.”
“සමාවෙන්න නදුන්. මම ගඟුල්, මේ මිහිදිනී අපි දෙන්නම කුරුණෑගල දිස්ත්‍රික්කෙ තියෙන ඉස්කෝලෙක ගුරුවරු.
ඔයා හිතුව වගෙම අපි යන්න යොදාගෙන තිබුණ ගමනාන්තය එකක්. ඊට පස්සෙ මේ නායගිය ප්‍රශ්නෙ
නිසා නවතින්න හිතාගෙන හිටිය තැන තව එකක්. දැන් මේ නැවතිලා ඉන්න සිද්ධ වෙලා
තියෙන්නෙ තව තැනක. ”
“හරියට ම අපේ ජීවිතය වගෙයි නේ ද ගඟුල්. ඔන්න මන් ඔයාට නමින් ම තමයි කතා
කරන්නෙ. ගඟුල් සර් කියලා කතා කළොත් ඒක නිකං දුරයි වගෙ. ඒ කොහොම උනත් අපි ජීවිතය
පටන් ගන්නෙ එක තැනකින්. ඊට පස්සෙ එක එක තැන්වල නතර වෙවී අපි යනවා. ඒ වගෙම අපි
අන්තිමට යන්නෙ කොතැනට ද කියන්න අපි කාටත් පුළුවන්කමක් නැහැ.”
වෙනස් ආකාරයකට කතා කරන මේ තරුණ හෝටල් හිමියා පිළිබඳ ව ගඟුල් සහ මිහිදිනිය
තුළ ඇති වූයේ පසන් හැඟුමකි.
“ඇත්තට ම අපි නවතින්න හදන් තිබුණෙ අපේ යාළුවෙක්ගෙ ගෙදර. මේ කාලගුණ තත්වෙත්
එක්ක අපිට ඒක වෙනස් කරන්න සිද්ධ උනා. ඊට පස්සෙ අපට අද දවසෙ අඳුන ගන්න ලැබිච්ච
කෙනෙක් නවාතැනක් ගැන කිව්වා. ඒ ඔයාගෙ මේ කඳුකර නිවහන. වේටර් මල්ලිගෙන් එතනට යන පාර
ඇහැව්වහම එයා තමයි කිව්වෙ ඒකත් අපේ සර්ගෙ තැනක්. ඒ උනාට නාය යන හින්දා දැන්
එතෙන්ටත් යන්න බැහැ. අපේ සර් දැන් ළඟ එනවා. ඒ එනකං ඉන්න කියලා.”
“ඒ කියන්නෙ දැන් ඔයගොල්ල යන්න හිතාගෙන ආවෙ එක තැනකට. එතෙන්ට යන්න බලනකොට
ඒකටත් බාධාවක්. ඊළඟට දැන් මේ ඇවිල්ලා තියෙන්නෙ දෙවෙනියට හිතපු තැනටත් නෙමෙයි.”
“ඔව් ඔයා හරි නදුන්. හරියට ම ජීවිතේ වගේ තමයි. එක තැනකින් පටන් අරගෙන තව
තැනකට යනවා. ඒ වගෙම ඊළඟ නැවතුම කියලා හිතාගෙන ඉන්න තැන වෙනස් කරන්න අනපේක්ෂිත
විදිහට කාරණා යෙදෙනවා. අපිට නදුන් අපේ වාහනේ ම ඉන්න පුළුවන්. අයිතිකාරයා වන ඔයාගෙ
අවසරේ තමයි ඒකට ඕනෙ කරන්නෙ.”
“තමන්ගෙ වාහනේ ඉන්න මොකට ද කාගෙවත් අවසරයක්. එහෙම නෙමෙයි අපි මෙහෙම කරමු.
පහසුකම් නං අවමයි තමයි. ඒත් වෙලාවෙ හැටියට අපි මෙහෙම කරමු. මේ මිස්ටත් මහන්සි පාට
පේනවා. අපේ කඳුකර නිවහනේ වගේ මෙහෙ අපිට අමුතුවෙන් දෙන්න කාමර නැති උනත් මෙහෙම
හදිසියක දි ඒකට ගැළපෙන ප්‍රතිකර්මයක් යොදන්න අපට බැරිකමක් නැහැ.”
“සිසිර පොඩ්ඩක් මෙහාට වරෙන් මල්ලි. අපිට තියෙනවා පොඩි වැඩක් කරන්න.”
නදුන් කැඳවූයේ වේටර් තරුණයාව යි.
“සර් කියන්ඩ මොකක් ද මන් කරන්ඩ ඕනෙ කියලා. ”
“මල්ලි මේ ඇවිල්ලා ඉන්නෙ ඉස්කෝලෙක සර් කෙනෙකු යි මිස් කෙනෙකු යි කියන එක උඹ
දැනටමත් දන්නවනෙ. ඒ ගොල්ලන්ට අද අපි අපිට පුළුවන් විදිහට නවාතැන් පහසුකම් දෙන්න
ඕනෙ. උඹ ම යෝජනා කරපන් සිසිර අපිට ප්‍රායෝගික ව කරන්න පුළුවන් දෙයක්.”
“මෙහෙමයි සර් මේ සර්ලා කාමර දෙකක් ගන්න පුළුවන් ද කියල යි ඇහැව්වෙ. ඉතින්
සර් මෙහෙ එහෙම කාමර නැහැනෙ. තියෙන්නෙ අපි දෙන්න මාරුවෙන් මාරුවට ඉන්න කාමරෙයි
සර්ගෙ පුස්තකාල කාමරෙයි විතරයිනෙ. සර් මන් මෙහෙම කරන්න ද මට අලුත් බෙඩ්ෂීට් කොට්ට
උර දාලා අපේ කාමරේ ලෑස්ති කරන්න පුළුවන්. මට පුළුවන් තවකාලික තැනක් හදා ගන්න.
නිමල්සිරිටත් පුළුවන් එහෙම කරන්න.”
“ඇයි ඔය දෙන්නට ම ඉඩ ඇති ඒ කාමරේ.”
මේ මොහොතේ ගඟුල් නදුන්ට ළංව පැවසුවේ තමන් දෙදෙනා අඹුසැමියන් නොවන බව ය. එසේ
ම අද දවසේ පැමිණි සතර දෙනා ගැනත් එක් ගුරුවරියකගේ පියා හදිසියේ අසනීප වී රෝහල් ගත
කිරීම නිසා ඇය සිය සොහොයුරාත් සමග පෙරළා කොළඹ යාමට සිදු වූ ආකාරයත් ගඟුල් පැහැදිලි
කෙළේ ය.
“ආ ඒකත් එහෙම ද මන් හිතුවෙම ඔය දෙන්න නෝනයි මහත්තයයි කියලා. එහෙමනං අපි
මෙහෙම කරමු.”
මෙසේ කියා නදුන් නැවත කතා කෙළේ සිසිරට ය. මේ අතර කතාවට නැවතත් මැදිහත් වූයේ
ගඟුල් ය.
“අනේ නදුන් මට හිතෙන්නෙ අපි ඔයාගෙ මේ තියෙන වැඩ මදිවට අමතර කරදරයක් උනාවද්ද
කියල යි.”
“පිස්සු ද ගඟුල් මේ වගෙ වෙලාවක උදව්වක් කරන්න බැරිනං අපි මිනිස්සු ද? අපේ සිසිරට පැය බාගයක් දෙන්න. එයා නිමල්සිරිත් එක්ක කරන්න ඕනෙ දේ කරාවි.
සිසිර අර ඔයා කිව්ව විදිහට අපේ මේ මිස්ට ඔය ගොල්ලන්ගෙ කාමරේ පිළිවෙළ කරන්න. මේ
ගඟුල් සර්ට ඉන්න සිසිර මගෙ පුස්තකාල කාමරේ හදලා දෙන්න. හැබැයි ගඟුල් ඒකෙ ඇඳක් නෑ
මන් පොත් බලන්න හදාගත්ත ඩිවාන්නෙකේ තමයි ඉන්න වෙන්නෙ. ”
“මේ හෝටලේ පුස්තකාල කාමරයකුත් තියෙනව ද?”
ඒ ප්‍රශ්න කිරීම මිහිදිනියගෙනි.
“ඔව් මිස් මගෙ පොඩි බුක් කලෙක්ෂන් එකක් තියෙනවා. ඔය දෙන්නට නිදිමත එනකන් ඒ
ඕන පොතක් අරන් බලන්න.”
“ඔන්න නදුන් ඔයාගෙ ඔය කතාව ඇහැව්වට පස්සෙ අපේ මිහිදිනීට තමයි මට වැඩිය එතන
ඕන වෙන්නෙ. එයාට පොත් කිව්වොත් ආයෙ කෑම බීම මොකුත් ඕනෙ කරන්නෙත් නෑ.”
“හරි හරි කැමති විදිහකට ඔය දෙන්නට ඒවා බෙදා හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්.
අපෙන් බාදාවක් නෑ. සිසිර මේ වෙලාවෙ හැටියට අපේ සර්ටයි මිස්ටයි හදලා දෙන්න පුළුවන්
නේද නූඩ්ල්ස් ටිකක්.”
“අනේ අපේ කෑම ගැනනං කරදර වෙන්න එපා නදුන්. ඔය බිස්කට් එකක් දෙකක් තිබ්බහම
මදැයි අපට නේද මිහිදිනී.”
“අනේ ඔව් සර්, නදුන් ඔයා මේ
කරන මේ උදව්ව හොඳට ම ඇති. හැබැයි මට වෙන උදව්වක් ඕන කරනවා නදුන් ඔයාගෙන්.”
“ඔව් මිස් කියන්න කියන්න මොකක් ද වෙන්න ඕනෙ කියලා.”
“අන්න නදුන් වෙන්න ඕන දේට අදාළ වචනෙ ඔයා කියපු වාක්‍යෙ ම තියෙනවා.”
“ඒ මොකක් ද මිස්.”
“ඒ වචනෙ තමයි මිස්. ඔයා නදුන්, ගඟුල් සර්ට නම කියලා කතා කරනවා. ඒත් මට මිස් මිස් කියනවා. එතකොට ඔයාම කියන
විදිහට ඒවා අපිව ඈත් කරන යෙදුම්නෙ.”
“හරි ඔයා හරි දැන් ඉඳලා මන් ඔයාට කතා කරන්නෙ මිස් කියලා නෙමෙයි මිහිදිනී
කියලා. ඒත් ඒ ගමන් ම මගෙ හිතට එක ප්‍රශ්නයක් එනවා. එහෙනං ඇයි ඔයා මේ එක ස්ටාෆ් එකේ
ඉන්න ගඟුල්ට සර් සර් කියලා කතා කරන්නෙ.”
“ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් නදුන්. මට තවම ගඟුල් සර්ට නම කියලා කතා
කරන්න හිතෙන්නෙ නැහැ. දැන් බලන්න මේ සිසිර මොන තරම් ආදරයකින් ගෞරවයකින් ද නදුන්
ඔයාට සර් කියලා කතා කරන්නෙ. ඒ එයාට ඔයා වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම වචනය
වෙන්න ඇති. එහෙම සමහර දේවල් තියෙනවා අපි වෙනස් කරන්න හිතුවත් තව කෙනෙකුට වෙනස්
කරන්න හිතෙන්නෙ නැති.”
නදුන් මිහිදිනීගේ වදන්වලට සාවධාන වූ නමුදු එයට පිළිතුරු දීමට ගියේ නැත.
අනතුරුව ඇසුණේ ගඟුල්ගේ හඬ යි.
“දැන් මන් කල්පනා කරන්නෙ ඔයගොල්ලන්ගෙ තැන් අපිට දුන්නට පස්සෙ ඔයගොල්ලො
ඉන්නෙ කොතැන ද කියන එක.”
“ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකක් හරි දෙයක් කරන්න මන් ලෑස්ති උනොත් මේ
දෙන්න ඒ වැඩේ උපරිමෙන් ම කරන්න දෙපාරක් ලෑස්තියි. මගෙ ගෝලයො දෙන්න ගැන හිතේ බරක්
තියාගන්න එපා. ඒ ගොල්ල මේ වැඩ කරන්නෙ සතුටින් ය කියන එක මම හොඳාකාරවම දන්න දෙයක්.
ඒ වගෙම ගඟුල් මට මේ මහ රෑ පුස්තකාල කාමරේ ඕන කරන්නෙ නැහැ. මට කොහොමත් ගෙදර යන්න ම
එනවා. ඒ, අම්මා මන් එනකං
කෑමත් නොකා බලන් ඉන්න නිසා. ඒ වගෙම ඔයගොල්ලන්ට මොකක් හරි ඕනෙකමක් උනොත් ඕන වෙලාවක
මට කතා කරන්න. ගඟුල් මිහිදිනී, දැන් මම යනවා මේ දෙන්නා ඔය දෙන්නට අවශ්‍ය කරන පහසුකම් සලසාවි. ඔයගොල්ල
කැමති විදිහකට අපේ මේ දුප්පත් හෝටලේ තියෙන පුංචි කාමරෙයි පුස්තකාල කාමරෙයි
පාවිච්චි කරන්න පුළුවන්. එහෙනං අපි හෙට උදේට හමු වෙමු.”
“හැබැයි නදුන් යන්න ඉස්සෙල්ලා එකක් කියන්න ඕනෙ. මේක පුංචි හෝටලයක් බව ඇත්ත.
ඒත් මේ පොඩි වෙලාවට අපිට දැනිච්ච දේ තමයි ගොඩක් කාරණා අතින් ඔයත් ඔයාගෙ මේ ගෝලයොත්
පොහොසත් කියන එක. අපිට අද මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ. කවදා හරි මගෙ
ජීවිතේ විශේෂ අවස්ථාවක් උදා උනොත් එදාට මම එන්නෙ අද අපිට යන්න බැරි වෙච්ච ඔයාගෙ
කඳුකර නිවහනට.”
නදුන් ඔවුන්ගෙන් සමු ගෙන නික්ම ගියේ ඔවුන් මුලින් ම දුටු මොහොතේ පළ කළ
සිනහමුව සහිත ව ම ය. මේ අතර මේ දෙදෙනාගේ ආහාර සංස්කෘතියේ ගුණ රුව ගැන කලින් විමසා
දැනගත් සිසිර, නිමල්සිරි ද
සමග එළවළු මිශ්‍ර නූඩ්ල්ස් පිළිවෙළ කිරීමෙහි ලා නිරත විය. මිහිදිනී ඒ තරුණයන්
දෙදෙනා වෙතට ගියේ ඔවුනට උදව් වීමේ අදහසිනි.
“පිස්සු ද මිස් මේකත් වැඩක් ද මිසු යි සර්රු යි දෙන්න ම ටිකක් විවේක ගන්න.
ආයෙත් මොනවා හරි දෙයක් රස්නෙට බොන්න ඕනෙනං කියන්න ටක් ගාලා හදලා දෙන්නං.”
“අනේ ඕනෙ නැහැ සිසිර දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලනෙ ඔයා හදලා දීපු කෝපි බිව්වෙ.
දැන් මට මොකුත් කෑවෙ නැතිවත් කමක් නෑ වගෙ.”
මිහිදිනී කෘතගුණපූර්වක බැල්මකින් ඒ
තරුණයන් දෙදෙනාට සංග්‍රහ කළ යන්නට ගොස් පෙරළා ඔවුන් වෙත පැමිණියා ය.
“ඇයි මිස් තව මොකක් හරි අපෙන් වෙන්න ඕනෙ ද?”
“ඔයගොල්ලන්ට කරදරයක් නැත්තං මට පුළුවන් වෙයි ද සර්ගෙ පුස්තකාල කාමරේ බලන්න.
මට එතන පෙන්නුවහම ඇති.”
“මචං නිමල්සිරි අපේ මේ මිස්ට සර්ගෙ පුස්තකාල කාමරේ පෙන්නලා වරෙන්. ඒ වගෙම
මිස්ට ඕන පොතක් අරගෙන බලන්න තැනකුත් හදල දීපන්.”
“නිමල්සිරි ඔයගොල්ල නිවාඩු වෙලාවට පොත් බලන්නෙ නැද්ද?”
“මොකෝ නැත්තෙ මිස්. අපේ සර් කියලා තියෙන්නෙ ඉඩ තියෙන හැම වෙලාවෙම මේ පොතක්
පතක් අරන් කියවන්න කියල යි. ඒ විතරක් නෙමෙයි සමහර පොතක් කියවන්න කියලා ඇත්තට ම අපි
ඒක කියෙව්ව ද බලන්න අපෙන් ප්‍රශ්නත් අහනවා.”
“හරි ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි උනොත්.”
“එතකොට මිස් අපිට හෝටලේ වැඩ අතපසු කරලා හරි අර පොත ආයෙත් කියවන්න ම වෙනවා.
ඊට පස්සෙ ඇත්තට ම අපි ඒ පොත කියවල ද බලන්න සර් ඒකෙ තැනින් තැනින් අපෙන් ප්‍රශ්න
අහනවා. අපේ සර් මහ අමුතු පුදුම තරන් හොඳ කෙනෙක් සර්. අපිට අපේ සර් ගැන දවසක් දෙකක්
නෙමෙයි අවුරුද්දක් උනත් කතා කරන්න දේවල් තියෙනවා.”
මේ අතර ගඟුල් ද එතැනට පැමිණියේ ය.
“මිහිදිනී ඒ කාමරේ බලන්න ඉස්සෙල්ලා මේ නිමල්සිරිලා ඔයාට සූදානම් කරපු කාමරේ
බලලා ඇඟපත හෝදගෙන පුස්තකාල කාමරේට යන්න. නිමල් කලින් ම මේ මිස්ව එතෙන්ට ගියොත්
වෙන්නෙ පොතක් අරන් ඒක ඉවර වෙනකං බලන්න ගන්න එක.”
ගඟුල්ගේ ඉල්ලීම පරිදි නිමල්සිරි පළමු ව ඔවුන් කැඳවාගෙන ගියේ එම කාමරයට යි.
උඩුමහලේ කුඩා සඳළුතලයක් ද සහිත එම කාමරයේ කවුළු විවර කළවිට දැක ගන්නට ලැබෙන්නේ
මනස්කාන්ත දර්ශන සමුදායකි. එහෙත් ඒ වනවිට එදසුන් ගණ මිහිදුමින් වැසී ගොසිනි.
“සර්ලා මෙහෙට එන්න තිබුණෙ දවාලක. මේ කවුළු ඇරියහම පේන්නෙ මිස් ලස්සන චිත්‍රයක්.
සමහර දවසකට අපේ සර් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් වෙලා දුර ඈත බලාගෙන ඉන්නවා. වෙලාවකට පැය
ගණන් මෙතෙන්ට වෙලා ලියනවා. මන් හිතන්නෙ නවකතාවක් ද කොහෙද? ඒ වෙලාවට කන්න බොන්න වත් ඕනෙකමක් නෑ. ගොඩක් පරක්කු උනොත් අපි යනවා සර්ට
කෑමට එන්න කියන්න. එතකොට සර් කියන්නෙ මට බඩගිනි නෑ උඹලා දෙන්නා කාපල්ලා පුළුවන්නං
කාලා ඉවර උනාට පස්සෙ තේකක් ගෙනත් දෙන්න කියල යි. ”
“ඒ කියන්නෙ ඔහගොල්ලන්ගෙ සර් පාඨකයෙක් විතරක් නෙමෙයි ලේඛකයෙකුත් වෙනවා කියන
එකනෙ.”
“ හරියට ම හරි සර්, එහෙනං සර්ලා වොෂ්ෂෙකක් දාගෙන කෑමට පල්ලෙහාට එනව ද එහෙම නැත්තං අපි මෙතෙන්ට
ගෙනත් දෙන්න ද?”
“කරදර වෙන්න එපා නිමල් අපිට පුළුවන් පල්ලෙහාට එන්න.”
“කොතනද නිමල් අර පුස්තකාල කාමරේ තියෙන්නෙ.”
“ඒකට සර්ලා ඉන්න කාමරෙන් ඇතුල් වෙන්න දොරක් තියෙනවා. ඒ වගෙම මේ සඳළුතලේ
අනික් කෙළවරින් දොරකුත් තියෙනවා. ”
අවශ්‍ය ස්ථාන පෙන්වා දීම සිදු කොට නිමල්සිරි පහළට ගිය පසු ගඟුල් කතා කෙළේ
ය.
“මිහිදිනී මේ කොල්ලො දෙන්නා හිතාගෙන ඉන්නෙ අපි දෙන්නා නෝන යි මහත්තයයි
කියලා. මන් නදුන්ටනං විස්තර කිව්වා. ඒත් එයා මේ ගොල්ලන්ට ඒවා කියන්න ගිහින් නැහැ
වගෙයි.”
ගඟුල් කාමරය සිසාරා බැල්මක් හෙළී ය. නදුන් මෙන් ම මෙම කුටිය භාවිතයට ගන්නා
තරුණයන් දෙදෙනා ද පවිත්‍රතාව අගයන බව පෙනේ.
“මිහිදිනී කාමරය පිරිසිදු යි ඔයාට විවේකීව ඉන්න පුළුවන්. මේක හදලා තියෙන්නෙ
අර නිමල් කියපු විදිහට මේකෙන් පුස්තකාල කාමරේට යන්න පුළුවන් වෙන විදිහට. ඒක හින්දා
ඔයාට කැමති විදිහට අද දවසෙ මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්නෙ. පුස්තකාලෙට ගියාට
කමක් නෑ එළිවෙනකං පොත් බලන්නනං ලෑස්ති වෙන්න එපා. අපිට හෙට දවසෙ තියෙන්නෙ ලොකු වැඩ
සටහනක්. ඔයාට අද දවසෙ ගමන් වෙහෙසත් ඇති. ෆෝන්නෙක ඔන්නෙකේ තියා ගන්න. මේ කොල්ලො
දෙන්නා හොඳ කොල්ලො දෙන්නෙක්. හොඳ මිනිහෙක් නායකයා උනා ම එයා ළඟ වැඩ කරන අයටත් ඒ
මනුස්සකං බෝවෙනවා මිහිදිනී.”
“සර් කියපු කාරණා ගොඩක් දුරට හරි. ඒත් දැන් සර් හදන්නෙ මට මෙතන ඉන්න කියලා
වෙන තැනක් හොයාගෙන යන්න ද ඒ වගෙම සර් කිව්වා මෙතන අයිති කෙනා හොඳයි වැඩ කරන අය
හොඳයි. හොඳ අයගෙන් හොඳ ම තමයි බෝ වෙන්නෙ කියලා. එතකොට දැන් ගඟුල් සර් නරක කෙනා.
ඉස්කෝලෙට ආපු දවසෙ ඉඳලා සර් බෝ කළේ නරක ද? ඒ වගෙම ගමන් වෙහෙස වැඩියෙන් දැනෙන්නෙ වාහනය ඩ්‍රයිව් කරපු කෙනාට ද නිකන්
ඉඳන් ආපු කෙනාට ද? ඒ වගෙම ඔක්කොට
ම ඉස්සෙල්ලා මට කියන්න සර්, දැන් කරන්න හිතුවෙ මොකක් ද කියලා. ඔන්න මන් දැන් කියපු දේවල් නිසා හිතපු දේ
සංශෝධනය කරන්න බැහැ මට ඇත්තම කියන්න ඕනෙ.”
ගඟුල් මොහොතක් නිරුත්තර ව සිටියේ ය. අනතුරුව ඒ වනවිට ඉණට දෙඅත ගසාගෙන
ගැඹුරු මුහුණක් මවාගෙන බලා සිටින මිහිදිනිය දෙස බලා කතා කෙළේ ය.
“බැලුවහම ඔයා ඉස්කෝලෙ ළමයින්ට සැර නොකරන ගුරුවරියක් කියලා ප්‍රසිද්ධ උනාට ඒ
ඉස්කෝලෙම උගන්නන ගුරුවරුන්ට සැරයිනෙ. හොඳයි මන් ඇත්තම කියන්නනංකො. මිහිදිනී මන්
හිතුවෙ ඔයාට නිදහසේ විවේකීව ඉන්න දීලා කාර්රෙකට යන්න. අය්යට යි මට යි දෙන්නට ම ඒක
අමුතු දෙයක් නෙමෙයි පුරුදු දෙයක්. මට කාර්රෙකේ නිදියලා පුරුදු යි.”
“ගඟුල් සර්, අපි හතර දෙනා
එක අරමුණක් ඇතුව එක වැඩකටයි පිටත් වෙලා ආවේ. බලාපොරොත්තු නොවෙච්ච තත්වයක් ඇති
වෙච්ච නිසානෙ සර් රේණු අක්කටයි විපුල් අය්යටයි කොළඹ යන්න උනේ. ඉන්නවනං අපි දෙන්නම
කාර්රෙකට යමු. එහෙම නැත්තං මෙතන ඉම්මු. ඒ වගෙම ඔයා සර් හරියකට අතපය දිග ඇර ගන්නවත්
බැරි විදිහකට නිදිය ගන්න හදන කොට මන් කොහොම ද සර් මෙතෙන්ට වෙලා සැපට නිදා ගන්නෙ.
සම්ප්‍රදාය කියන වචනෙ තියෙන ගැඹුරු නිරුක්ති අර්ථෙ කියලා දුන්න ඔයාම මේ වෙලාවෙ
සමහර දෙනා ඒක පාවිච්චි කරන පටු අර්ථෙට වැඩි බරක් දුන්න යි කියලයි මට නං හිතෙන්නෙ.”
“නෑ මිහිදිනී මන් කල්පනා කළේ ම ඔයාගෙ ආරක්ෂාව ගැන. ඔයාගෙ ගෞරවේ ගැන.”
“ගඟුල් සර් ඔයා මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කෙනෙක්ගෙ ආරක්ෂාව උපරිමෙන් ම
රැකෙන්නෙ තමන් ආදරය කරන අය ළඟ ඉන්න කොට ද ඒ අය දුරස් උනාම ද? ඒ වගෙම දරුවන්ට ගැහැනුන්ට මිනිසුන්ට තමන් ජීවත් වෙන සමාජෙට විතරක් නෙමෙයි
ගහකොළට ඇළ දොළට පවා ආදරය කරන ගරු කරන කෙනෙක් ළඟ ඉන්න කොට ඒ ගෞරවේ නැති වෙනව ද?”
ගඟුල් මිහිදිනිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී බලා සිටින විට ඇය යළිත් කතා
කළා ය.
“ඇයි සර් මට උත්තර දෙන්නෙ නැත්තෙ.
මන් ඔයාගෙන් ම තමයි ඔය ටික ඉගෙන ගත්තෙ.”
මඳ නිහැඬියවකට පසු ය, ගඟුල් යළි කතා කෙළේ.
“හරි මිහිදිනී, මන් මෙහෙ ඉන්නං.
පුළුවන් විදිහකට අපි ඉමු. ඔයා ඇඳුමක් දාගෙන එන්නකො මන් එතකං පුස්තකාල කාමරේට
යන්නං.”
“මේ මේ මන් එනකන් එතෙන්ට යන්න තහනං. කැමති නං අර සඳළුතලේට වෙලා මීදුම
නරඹන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්ව නේද මම සැර නැති ගුරුවරියක් කියලා. ඒ උනාට මන්
හරිම සැරයි.”
“ඒකනං ඇත්තම ඇත්ත. දැන් පොඩ්ඩකට කලින් මට ඔප්පු කරලම පෙන්නුවෙ ඒකනෙ. හොඳයි
හොඳයි ඔයා එනකන් මන් සඳළුතලේට ගිහින් මීදුම දිහා බලන් ඉන්නංකො ඔයා කියපු විදිහට
ම.”
සඳකඩපහන සින්ඩියේ ඔත්තුවෙන් ආවේ!
ReplyDeleteබොරු කියන්න ඕනේ නෑනේ; බැලුවේ නම් නෑ!
බලාලා ගුණ දොස් ලියන්නම්!
ඒ මොනවා උනත් මේ තරම් දිගට ලියනවා කියන්නෙම මොන තරම් නං කැපවීමක්ද?
සඳකඩපහන සින්ඩියේ ඔත්තුවෙන් ආවේ!
ReplyDeleteබොරු කියන්න ඕනේ නෑනේ; බැලුවේ නම් නෑ!
බලාලා ගුණ දොස් ලියන්නම්!
ඒ මොනවා උනත් මේ තරම් දිගට ලියනවා කියන්නෙම මොන තරම් නං කැපවීමක්ද?