Sunday, February 25, 2024

ගුරු දියවර නවකතාව - විසි අටවන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                                  ගුරු දියවර 28


“මට ඉගැන්වීම සඳහා ලිප ළඟ හිඳ ආප්ප පිච්චූ මගේ ආදරණීය අම්මාට”

වෛද්‍ය වසන්ත කුමාර, ඔහුගේ නවතම කාව්‍යසංග්‍රහය සිය ආදරණීය අම්මාට පුදකරමින් ලියා තිබූ මේ හෘදයංගම සුවාක්‍යය ගඟුල් කීප වරක් ම කියැවූයේ මහත් හැඟීමකිනි. ඔහුට මේ පොත ගෙනැවිත් දුන් මොහොතේ මහතුන් අය්යා පැවසූ වදන් ද එයිනික්බිති දෙදෙනා අතර ඇති වූ සංකථනය ද ගඟුල්ට සිහිපත් වූයේ නිතැතිනි. 

“ගඟුල් සර් දැන් නාගොල්ලාගම ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයා වෙලා ඇවිල්ලා ඉන්නෙ අපේ සීලවතී නැන්දගෙ භාසාවෙන් කියනවනං හරිම සීදේවි මහත්තයෙක්.”

“ඒ කියන්නෙ අපේ අල්විස් පෙරේරා කවියගෙ වචනවලින් කියනවනං ‘ළඟ හිඳ කියනවිට ඔබහට තිබෙන ලෙඩේ - බෙහෙතට පළමු මඳහස දැක සුවය වැඩේ’ ජාතියෙ දොස්තර මහත්තයෙක් ද?”

“හරියටම හරි අන්න වාක්‍යෙ. සර් හරියටම කිව්වා. මන් විතරක් නෙමෙයි මේ ආපු ටික දවසට අපේ ගමම තේරුං අරන් තියෙන විදිහට සීදේවි දොස්තර මහත්තයෙක් ම තමයි.”

“අපිත් එක්කත් ඉගෙන ගත්තා කවි ලියන දොස්තර මහත්තයෙක්.”

“අපිත් එක්කත් ඉගෙන ගත්තා කිව්වෙ ගඟුල් සර්.”

“මෙහෙමනෙ මහතුන් අය්යෙ එකම විශ්වවිද්‍යාලෙක විවිධ අංශ තියෙනවනෙ. මන් කලා අංශෙ ඉගෙන ගන්න කොට වෛද්‍ය, වාණිජ, විද්‍යා කියන අංශවල ඉගෙන ගන්න යාළුවොත් අපිට හිටියා. අපි ඔක්කොම එකට එකතු කරපු එක තැනක් තමයි කලා පර්ෂදෙ. අපේ කාලෙ කලා පර්ෂදේ සභාපති වෙලා හිටියෙ ප්‍රණීත් අභයසුන්දර සර්. මන් කියන වසන්තත් මාත් ඒකෙ කාරකසභාවෙ සාමාජිකයො විදිහට කටයුතු කළා. ඔය කියන දොස්තර මහත්තය ඒ කියන වසන්තම නං, ඒ කියන්නෙ ගමේ උණ හොඳ කරන්න ඇවිල්ල ඉන්නෙ එසේ මෙසේ උණක් තියෙන කෙනෙක්නං නෙමෙයි.”

“ඒ කිව්වෙ ගඟුල් සර්.”

“ඒ කිව්වෙ මහතුන් අය්යෙ, මන් කියන යාළුවට නං ඒ ඉගෙන ගන්න කාලෙත් තිබ්බෙ එසේ මෙසේ කලා උණක් නොවන නිසා. එයත් එක්කම හිටියා තවත් එක්කෙනෙක් සංජීව කියලා. එයානං මට දවසක් පොළොන්නරුවෙදි අහම්බෙන් මුණ ගැහුණා. එයා තමයි දැන් එහෙ දැඩි සත්කාර ඒකකය බාරව ඉන්න වෛද්‍යවරයා. ඒත් කොහොම ද ඔයාට මේ දොස්තර මහත්තයව හම්බ උනේ. කොහොම ද එයාගෙ හැඩරුව.”

“සර්ගෙ දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තර දුන්නොත් මට කියන්න තියෙන්නෙ කොණ්ඩෙ පැත්තට බෙදලා පීරපු, හිනාවෙන කොට කම්මුල් වළ ගැහෙන, බොහොම සිම්පල් පෙනුමක් තියෙන කෙනෙක්.”

“කිසිම සැකයක් නෑ එහෙනං මේ අපේ වසන්තයාම තමයි.”

“හරි නේන්නං ඔය නම කියවුණා නේන්නං දෙතුන් සැරයක්. දැන් තමයි මට ඒක මතක් උනේ.”

“මහතුන් අය්යා මගෙ පළවෙනි ප්‍රශ්නෙටත් උත්තර දීලා හිටියනං.”

“ඒ කිව්වෙ ඒ දොස්තර මහත්තයව හම්බ වෙච්ච විදිහ නේද? ඒකට කියන්න තියෙන්නෙ මට ගඟුල් සර්ව හම්බ වෙච්ච විදිහටම තමයි කියලා.”

“ඒ කිව්වෙ එයා එයාගෙ වාහනෙන් නෙමෙයි ද නාගොල්ලාගමට ඇවිත් තිබුණෙ.”

“වාහනෙන් තමයි ඇවිල්ලා තිබුණෙ. ඒ උනාට මට හම්බ උනේ ඒ දොස්තර මහත්තයා ආපු දා නෙමෙයි ඊට පහුවදා. ගම ගැන පොඩ්ඩක් දැන ගන්න කියලා ඒ මහත්තයා එදා ටවුමට ඇවිදින් තිබුණා. මන් ටවුන්නෙකේ ඉන්න කොට මහත්තයෙක් ඇවිල්ලා මට කතා කරලා ඇහැව්වා අය්යෙ මාව නාගොල්ලාගම ඉස්පිරිතාලෙ ළඟට ගිහින් දාන්න පුළුවන් ද කියලා. ඉතින් මන් ඒ මහත්තයව වීල්ලෙකට නග්ග ගත්තා. ඒ මහත්තයව අර ගෙන පොඩ්ඩක් ඉස්සරහට ගියා විතරයි මහව පොලිසියෙ ජීප්පෙකක් අපේ වීලරේ ඉස්සර කරලා නවත්තලා මටත් නවත්තන්න සංඥා කළානෙ.”

“මොකද මහතුන් අය්යා මාර්ග නීති කඩාගෙන යන්න හැදුව ද?”

“මොන, මන් කිසිම මාර්ග නීතියක් දැනුවත්ව නං කැඩුවෙ නැහැ. කොහොම උනත් මන් හිතුවෙ ඉතින් ලෙඩක් ම තමයි කියලයි. මන් ඉතින් බැහැලා මගෙ ලයිෂන් ඉන්ෂුවරන්ස් එහෙම අරගෙන පෙන්නන්න ලෑස්ති වෙන කොට එතෙන්ට ආපු ඕඅයිසී මහත්තයා කිව්ව අපිට ඕනෙ තමුසෙගෙ ලියකියවිලි නෙමෙයි මේ දැන් වාහනේට නැග්ග එක්කෙනාව පරීක්ෂා කරන්න කියලා අර දොස්තර මහත්තයටත් ඇහෙන විදිහට මහ සද්දයක් දාලා කිව්වා. ඒ වෙලාවෙ දොස්තර මහත්තය බැහැලා ඇවිත් ඇහැව්ව මොකක් ද ඉන්ස්පෙක්ටර් ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ ද ප්‍රශ්නෙ අපි ආවෙ තමුන් අත්අඩංගුවට ගන්න කියලා ආයෙත් පොඩි සද්දයක් දාලම කිව්වා. මේ මොන මඟුලක් ද වෙන්න යන්නෙ කියලා දොස්තර මහත්තයත් පුදුම වෙලා මාත් පුදුම වෙලා බලන් ඉන්න කොට ඕඅයිසී මහත්තයා මහත්තයා දාන් හිටපු රාජකාරි තොප්පිය ගලෝලා හය්යෙන් හිනා උනා.”

“ඉතින් ඊට පස්සෙ මොකක් ද උනේ.”

“ඊට පස්සෙද ඊට පස්සෙ ඉතින් අර දොස්තර මහත්තය පුදුමෙන් වගෙම බොහොම සතුටකින් කිව්වෙ යකෝ මේ ප්‍රසාද්නෙ. උඹ නං ඉස්සර විදිහම තමයි කියලා දෙන්න ආගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තා.”

“ඒ කියන්නෙ දැන් ප්‍රසාදුත් මෙහෙට ඇවිල්ලා?

“මහව ඕඅයිසී මහත්තයව සර්රුත් අඳුරනව ද?”

“කිසිම සැකයක් නෑ මහතුන් අය්යෙ ඔය අපිත් එක්කම එක කාලෙ මැනේජ්මන්ට් ෆැකල්ටියෙ ඉගෙන ගත්ත ප්‍රසාද්. ඒ කාලෙ මිනිහ සම්බන්ධ නොවිච්ච සමිතියක් සමාගමක් තිබ්බෙ නැති තරන්. බෞද්ධ සංගමෙත් හිටියා, ක්‍රීඩා සංගමෙත් හිටියා ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක කලා පර්ෂදෙත් හිටියා. හොඳ ක්‍රීඩකයා.”

“එහෙනං දැන් යාළුවො කණ්ඩායමට ආයෙත් එකතු වෙන්ඩ ඉඩකඩ ලැබෙන්නයි යන්නෙ නේ ද?”

“ඔව් මහතුන් අය්යගෙ බාසාවෙන් කියනවනං අපිට ආයෙත් සුසෙට් වෙන්න අවස්ථාව ලැබෙන්නයි යන්නෙ.”

“ඔව් ඔව් මටත් ඒක තේරුණා. ඕඅයිසී මහත්තයා හැදුවෙ එවේලෙ ඉඳන්ම සුසෙට්ටෙක පටන් ගන්න තමයි. ඒ වෙලේ කිව්වෙත් නැගපන් බන් ජීප්පෙකට මන් උඹව ගිහින් දාන්නං කිව්වා. නෑ මට තව වැඩ ටිකක් තියෙනවා මන් ඒ ටික මේ මහතුන් අය්යත් එක්ක ගිහින් කරගෙනම හොස්පිටල් එකට යන්නං කියලා දොස්තර මහත්තයා කිව්වා. ඒ වෙලාවෙ ඕඅයිසී මහත්තයා ජීප්පෙකට නැග්ගෙ උඹනං වසන්ත ඉස්සර වසන්ත ම තමයි කියාගෙන. මන් ඒ වෙලාවෙ ඇහැව්වා ඇයි ඒ මහත්තයා දොස්තර මහත්තයට ඉස්සර වසන්තම තමයි කියලා කිව්වෙ කියලා.”

“ඉතින් එතකොට මොකක් ද මහතුන් අය්යෙ ඩොක්ටර් කිව්වෙ.”

“මහතුන් අය්යෙ, ඉස්සර අපි චිත්‍රපටි හරි, නාට්‍ය හරි බලන්න ගිහින් රෑ උනාම අපිට එන්න විදිහක් නැති උනාම මන් කතා කරන්නෙ විජේරාම හන්දියෙ ඉන්න ත්‍රීවීලර් එලෝන අය්යා කෙනෙක්ට. මේ මහ රෑ කතා කරන්නෙ. ඒ උනාට කිසි කතාවක් නෑ ඒ කවුරු හරි එනවා අපිව අරන් යන්න. සමහර වෙලාවට අපිට ඒ වෙලාවෙ දෙන්න සල්ලිත් නෑ. මන් කියනවා අය්යෙ දැන්නං සල්ලි දෙන්න විදිහක් නෑ මහපොළ ගත්තහම තමයි දෙන්න වෙන්නෙ කියලා. එතකොට ඒ ගොල්ලො කියන්නෙ කවුද මල්ලි සල්ලි ඇහැව්වෙ තියෙන වෙලාවක දෙන්න කියලයි.”

“මහතුන් අය්යා කියන එක හරි ඔය වසන්තට තමයි මටත් වැඩිය ත්‍රීවීලර් යාළුවො හිටියෙ. මිනිහ අපි අර විදිහෙ වැඩකට ගිහිල්ලා එන්න විදිහක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න කොට කතා කරනවා එක්කො නිහාල් අය්යෙ, එහෙම නැත්තං පාලිත අය්යෙ, එහෙමත් නැත්තං කුමාර අය්යෙ කියලා. ආයි අපරාදෙ කියන්න බැහැ ඒ කවුරු හරි එක්කෙනෙක් එනවම තමයි.”

“ඒ ඕඅයිසී මහත්තය ගියේනං ඔන්න මචං මන් අද හවසම එනවා උඹේ තැනට කියාගෙන. ඒ වෙලාවෙ අපේ දොස්තර මහත්තයා ඇහැව්වා උඹ කොහොම ද මන් ආවා කියලා දැනගත්තෙ කියලා. එතකොට ඒ මහත්තයා හිනාවෙලා කිව්වෙ උඹට අමතක උනාද මන් සීඅයිඩී කාරයෙක් කියන එක කියලා. ඊට පස්සෙ නෑ මචං මහව හොස්පිටල් එකේ වැඩ කරන අර උඹලා එක්ක ඉගෙන ගත්ත, අපිත් එක්ක කලා පර්ෂදේ චිත්‍ර ඇඳපු ඩොක්ටර් තිලිණි හම්බ උනානෙ මට ඊයෙ. එයා තමයි කිව්වෙ උඹ නාගොල්ලාගම හොස්පිටල් එකට එන කතාව. ඒක නිසා මන් අද කොහොමටත් උඹව බලන්න එන්නයි හිටියෙ. ඒ විතරක් නෙමෙයි මන් අපේ සෙට්ටෙකේ හිටපු දැන් මෙහෙ වැඩ කරන තවත් අය මේ ආපු දවස් ටිකට හම්බ වෙලයි තියෙන්නෙ. තවත් අය ඇති, උනුත් හොයා ගන්න ඕන. උඹ ලෙඩ ගැන බලපන්. මන් උන් ගැන බලන්නං. කියලයි.”

“එහෙනං ඒ සර්ගෙත් යාළුවෙක්නං සර්ටත් බැරි වෙයි ඒ පොලිස් මෙහෙයුමෙන් ගැලවෙන්න.”

“නෑ නෑ ඒ සීඅයිඩීකාරයට ඉස්සෙල්ලා අපි පටන් ගමු මෙහෙයුම.”

“ඒ කිව්වෙ ගඟුල් සර්.”

“ඒ අපේ ඒ සීඅයිඩීකාරයා අපිව හොයා ගන්න කලින් අපි එයාව හොයාගන්නවා කියන එකයි. මහතුන් අය්යෙ අද හවසට මොකුත් පොරොන්දු වෙච්ච හයර් එහෙම තියෙනවද”

“ඉතින් තිබ්බත් මොකෝ මට ඒ ඕන එකක් යාළුවෙක්ට බාරදීලා සර් එක්ක එන්න බැරිකමක් නෑ,”

“නෑ මහතුන් අය්යෙ, මන් හිතුවෙ හවසට නාගොල්ලගම ඉස්පිරිතාලෙ දිහාට යන්න. අපේ ප්‍රසාදුත් එනවා කිව්වනෙ. ඔය දෙන්නම දන්නෙ නැහැ මන් මෙහෙ ඉන්න බව. අර එකට හිටපු උන් හොයන අපේ සීඅයිඩීකාරයගෙ මෙහෙයුමටත් තාම මාවනං වැටිල නැහැ වගේ අනික් අය අහු උනා වගේ. සමහර විට ඔය ප්‍රසාද් වසන්තව පුදුම කරන්න හිතලා, අපිත් එක්ක එකට ඉගෙන ගත්ත දැන් මෙහෙ වැඩ කරන තව කවුරු කවුරු හරි ගේන්න බැරි නෑ. මන් දන්නවනෙ මිනිහව. ප්‍රසාද් කියන්නෙ මහ අමුතු අමුතු වැඩ කරන්න කැමැති මනුස්සයෙක්. දැන් මට ඕනෙ එකපාරට එතෙන්ට ගිහින් එයාවයි දොස්තර මහත්තයයි දෙන්නම පුදුම කරවන්න.”

“හරි ෂෝක්නෙ ගඟුල් සර්, මමත් කැමතියි ඔහොම මෙහෙයුම්වලට. මන් ඒ දොස්තර මහත්තයට ගෙනියන්න හොඳ කෙසෙල් ඇවරියකුත් ගේන්නං මන්ම හිටවපු කෙසෙල් යායේ ඊයේ පෙරේදා වැටිච්ච කැනකින්. කොහොමත් ඒවා වස විස නැති පලතුරුනෙ සර්.”

“එහෙනං මහතුන් අය්යෙ, හවසට එනව ද මන් ඉන්න තැනට. මොකද අද වසන්ත අය්යත් ගමනක් ගිහින්. එයා හිටියනං මට එයාගෙ බයික් එක අරන් යන්න තිබ්බා.”

“බයික් මොකට ද මන් එන්නංකො වීල්ලෙක අරගෙන. එහෙම නැත්තං මට තව වැඩක් කළෑකි. ඒ තමයි අපේ මිහිදිනී මිස්ට වීල්ලෙක දීලා ගඟුල් සර්ව ඉස්පිරිතාලෙ ගාවට ගිහින් දාන්න කියන එක.”

මහතුන් මෙහි දෙවන වැකිය කිව්වේ සිනාසෙමිනි. එයට ගඟුල්ගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.”

“හැබැයි මහතුන් අය්යෙ, මිහිදිනී මිස් කිව්වොත් ඒකත් කරන්න බැරි ගෑනියක්නං නෙමෙයි.”

සිනාසෙමින් ම එවදන් පැවසූ ගඟුල්, මහතුන්ගෙන් සමුගෙන එතැනින් පිට ව ගියේ වැව්තෙර දෙසට යි. හද රිදවන සිදුවීම් වන විට මෙන් ම හෘදයංගම හමුවීම් එළඹෙන විට ද ගඟුල්ට යන්නට සිතෙන්නේ එතැනට යි. සරසවි ජීවිතයේ දී හදාළ විෂයයන් වෙනස් වුවත් අදහස්වලින් සම සහෘදයන් කලකට පසු මෙසේ හමුවන බව සිහි කිරීමත් හදවතේ ජනනය කරන්නේ ඉමහත් සන්තුෂ්ටියකි. ගඟුල් වැව් තෙර හිඳ ගතට සුවයත් සිතට නිවණත් ගෙන දෙන ඒ නිමේශයේ විඳිමින් සිටියේ ඒ ආනන්දය යි. මේ මොහොතේ කවුරුන් විසින් හෝ සිය ග්‍රන්ථයන්හි කරන ලද සහෘදය පූජන ම තමාට සිහි වන්නේ ඇයි? 

සිය සමකාලීන සරසවි මිතුරියක විසින් තමාගේ අවසන් උපාධි නිබන්ධය උදෙසා තෝරාගෙන තිබුණේ දශකයක කාල සීමාවක් තුළ නිකුත් වූ විවිධවිෂයක ග්‍රන්ථවල දෘශ්‍යමාන තෝරාගත් පිදුම් ය. ඇයගේ මාතෘකාව වූයේ තද්ග්‍රන්ථවල විද්‍යමාන පිදුම් සහ ඒවාට පසුබිම් වූ සංසිද්ධි ය. ඇයටත් තමාටත් උපදේශකත්වය සැපයූ ආචාර්යවරයා, ශිෂ්‍ය පහසුවත් සිය පහසුවත් සලකා සතියේ එක් දිනක පැමිණ තමා විසින් මෙතෙක් ලියන ලද සටහන් ද රැගෙන පැමිණීම සඳහා කාලය වෙන් කොට තිබිණ. සිය මිතුරිය විසින් තෝරා ගන්න ලද පිදුම් අතර යථෝක්ත ආචාර්යවරයා විසින් ලියන ලද ග්‍රන්ථයක එන පිදුමක් ද විය. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ තමා ශ්‍රාවකයකු බවට පත් කරමින් සිය ආචාර්යවරයා සහ තම මිතුරිය අතර ඇති වූ සංකථනය යි.

“සර් මන් තෝර ගත්ත පිදුම් අතර සර්ගෙ එක පොතක එන පිදුමකුත් තියෙනවා. මොකද ඒ පොතත් මන් මගේ සීමාව හැටියට ගත්ත දශකයට අයිතියි. සර් මට පුළුවන් ද දැන් ඒ පිදුමට බලපාපු පසුබිම ගැන ටිකක් විස්තර දැනගන්න.”

“මොකෝ බැරි, මන් මට පුළුවන් විදිහට උපදෙස් දෙන්නං, මම අන්තිම අවුරුද්දෙ දෙන්න දෙන්න වෙන වෙන ම ගෙන්න ගන්නෙත් හේතුවක් ඇතුව. එතකොට ඒක එක්කෙනෙකුට විතරක් සීමා නොවිච්ච ශාස්ත්‍රීය සංකථනයක් වෙනවා. ඒ වගෙම කොයි පර්යේෂකයත් පොදුවේ දැනගන්න ඕන කාරණා සාකච්ඡාවට ලක් කරන්න ලැබෙන අවස්ථාවකුත් වෙනවා. විශේෂයෙන් පිදුමක් කියන්නෙ හෘදයංගම දෙයක් නිසා මන් කැමතියි ඔය හෘදයංගම සාකච්ඡා මතු කරන වෙලාවෙ ගඟුලුත් මෙතන ඉන්න එකට. හැබැයි ආශා, ඔයා දුව මට ඉස්සෙල්ලම කියන්න ඔයා මගෙ කොයි පිදුම ද තෝර ගත්තෙ කියන කාරණාව. මොකද ඔයා කියන ඔය කාලවකවානුවට අයිති මගෙ පොත් හතක් තියෙන නිසත් ඒ හැම එකකම පිදුමකුත් තියෙන නිසයි මන් එහෙම අහන්නෙ.”

එදා එයට පිළිතුරු වශයෙන් සිය මිතුරිය කෙළේ සිය ගුරුවරයාගේ පිදුම් අතුරින් තෝරාගත් පිදුම ඉදිරිපත් කිරීම ය. එපිදුම මෙපරිදි විය.

“සැට වසත් ඉක්මවා ගත ව ගිය මේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා කවර හෝ කාල වකවානුවක ඉතා ආදරයෙන් ආහාර සම්පාදනය කිරීමෙහි ලා වූ මහඟු මෙහෙවරෙහි නිරත වෙමින් අප පෝෂණය කළ ස්ත්‍රීරත්නයන් වන 

සදාදරණීය සෙල්ලම්මාට

සදාදරණීය ලීලම්මාට 

සදාදරණීය අබ්දුල් අම්මාට

සදාදරණීය ඥානක්කාට

සදාදරණීය ලතක්කාට

සදාදරණීය රන්ජනී සොයුරියට 

සදාදරණීය ශීලා සොයුරියට 

සදාදරණීය ධම්මිකා සොයුරියට 

සදාදරණීය ශාලිකා  සොයුරියට 

සදාදරණීය රාණී සොයුරියට 

අපරිමිත ආදරයෙන් ද අතිමහත් ගෞරවයෙන් ද මේ පොත පුදමි.”

“ඒ කියන්නෙ කෙල්ලෙ මගෙ පිදුම්වලින් උඹේ අධ්‍යයනය සඳහා තෝරාගත්ත පිදුම උනේ එහෙනං මේකයි. මන් කැමතියි මේ තරුණ පර්යේෂකයත් ඉන්න තැනදිම ඔය තරුණ පර්යේෂිකාවගෙන් ඒකට විශේෂ හේතුවක් තියෙනව ද කියන කාරණේ දැන ගන්න.”

“මෙහෙමයි සර්, සර්ගෙ විතරක් නෙමෙයි ඕන ලේඛකයෙක්ගෙ හරි ලේඛිකාවකගෙ හරි පිදුමෙන් බොහෝ දුරකට අපට පේන්නෙ එයාගෙ හදවත. පහුගිය කාලෙ මගෙ අධ්‍යයනයට අහුවෙච්ච ගොඩක් පිදුම් යොමු වෙලා තිබුණෙ එක්කො තමන්ගෙ ඉන්න හරි නැති හරි අම්මට, එක්කො ඒ විදිහටම ඉන්න හරි නැති හරි තාත්තට නැත්තං සහෝදරයට සහෝදරියට, එහෙමත් නැත්තං තමන්ට හෘදයංගම විදිහට දැනිචච් ගුරුවරයට හරි ගුරුවරියට. මෙයට අමතර ව තමන්ගෙ ආදරය හිමිකරගත්ත යාළුවට හරි යෙහෙළියට. ඊට අමතර ව ස්වාමියානං තමන්ගෙ බිරිඳට, ලේඛිකාව බිරිඳ නං ස්වාමියට. දැන් සර්ගෙත් ඔය හැම ජාතියෙම පිදුම් තිබුණා. මන් ඒවත් බැලුවා. වෙන ලේඛක ලේඛිකාවන්ගෙ පිදුම් ගොඩකුත් බැලුවා. ඒවයින් තමයි මන් අම්මට හරි තාත්තට හරි ගුරුවරයට හරි යාළුවට හරි කරපු පිදුම් තෝරගත්තෙ.”

“ඒ කියන්නෙ ආශා ඔයා මගෙ ඒ කුලකයට අයිති පිදුම් පැත්තකටම දැම්මා කියන එක ද?”

ආචාර්යවරයා සිනාසෙමින් ඒ ප්‍රශ්නය  ඇසූ ආකාරයත් සිය මිතුරිය එයට දුන් පිළිතුරත් මේ මොහොතේ  ගඟුල්ට සිහිපත් විය. 

“සර්ගෙත් තිබුණා එහෙම පිදුම්. ඒවටත් මන් කැමතියි. ඒත් සර්ගෙ මේ පිදුම අපිට වෙනම මානයකින් මනුෂ්‍ය ජීවිත දිහා බලන්න යොමු කරන එකක් කියලයි මට හිතුණෙ. මන් සර් ගඟුල් එක්කත් මේ ගැන කතා කළාම එයත් ඒ අදහසට එකග උනා. දැන් මට ඕන කරන්නෙ ඒ පිදුම කරපු ලේඛකයගෙන් ම ඒකෙ පසුබිම් කතාව දැනගන්න.”

“හරි හරි ළමයො මන් විහිලුවක් කළේ. පර්යේෂකයකුට සම්පූර්ණ අයිතිය තියෙනවා ගොඩක් දත්ත ලැබෙන කොට තමන්ගෙ නිබන්ධයට වඩාත් ගැළපෙන ඒවා තෝර ගන්න. නොගැළපෙන ඒවා අතහරින්න. මට ගොඩක් සතුටුයි දුවේ ඔයා හිතන විදිහ ගැන. ඇත්තටම පර්යේෂකයකුට ඔය ගුණාංගෙ ඒ කියන්නෙ කොච්චර දේවල් තිබුණත් තමන්ගෙ වැඩේට ගැළපෙන ම දේ තෝරගන්න පුළුවන් වෙන්න ඕන. එක පරිසරයකදි හොඳයි ම කියලා පේන දෙයක් උනත් තමන්ගෙ පර්යේෂණ සීමාව ගැන සැලකුවහම අදාළ නොවෙන්න පුළුවන්. මට මතකයි මන් දවසක් ඔයගොල්ලන්ගෙ කණ්ඩායමට පර්යේෂණ ක්‍රමවිද්‍යාව කරන කොට කිව්වා පලිහවඩන සර් ඒ කාලෙ මට කියපු දෙයක්. මන් පිටු දෙසීයක් විතර වෙන්න ලියාගෙන ගිය පරිච්ඡේදයක් මාව ඉස්සරහින් තියාගෙන සර් පිටු සීයට බැස්සුවා. මන් ඒ වෙලාවෙ කිව්වා නෙමෙයි මට කියවුණා සර් ඔය කපාගෙන කපාගෙන යන්නෙ මන් ගොඩක් මහන්සි වෙලා ලියපු දේවල් කියලා. එදා සර් ඒ පරිච්ඡේදෙ සංශෝධිත පිටපත මගෙ අතට දීලා හිනාවෙලා කිව්වෙ පර්යේෂණයක් කරන කෙනාට පුළුවන් වෙන්න ඕනෙ කියලා තමන් ආශාවෙන් රැස් කරපු දේවල් අත හරින්න කියලා. ගඟුල්, ආශා මට ඒක පාඩමක් උනේ මගේ පශ්චාද් උපාධිය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, ඒක මට ජීවිතය දකින්න ඕන කරන ඇහකුත් උනා.”

සහෘදය ඡාත්‍ර යුග්මය සාවධාන ව ඊට සවන් දෙමින් සිටිය දී ආචාර්යවරයා මේ වචන කිහිපය ද ඊට එක් කෙළේ ය.

“හරි දැන් මන් කැමතියි මගෙ අදහස් කියන්න ප්‍රවේශයක්, ප්‍රශ්න හැටියට ඔයගොල්ලම ඉදිරිපත් කරනවනං.”

”සර්ගෙ මේ පිදුම දැක්කම ඕනෙම කෙනෙකුට පැහැදිලි ව පේන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි පැහැදිලිවම මේ පිදුම කාන්තාවන්ට වීම. දෙවෙනි කාරණේ සර්ගෙ පිදුමට ලක්වෙන අය අතරෙ සිංහල, දෙමළ, මුස්ලිම් කියන අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන විදිහට ජාති තුනකට අයත් කාන්තාවො ඉන්නවා. ඒ වගෙම අපිට පේනවා සර් මෙතනින් හත් දෙනෙක් දාලා තියෙන්නෙ සහෝදරියන් කියන කුලකෙට. හැබැයි ඒ හත්දෙනාගෙන් දෙන්නෙකුට අක්කා කියන ආමන්ත්‍රණේ යොදලා ඉතිරි පස්දෙනා හඳුන්වන්න සොයුරියන් කියන යෙදුම පාවිච්චි කරනවා. සර්ට පුළුවන් ද අපිට මේ කාරණා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.”

“ආශා, ඔයා මේ දැන් හදලා දුන්නෙ මටත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වෙන විදිහෙ වේදිකාවක්. මන් ඉස්සෙල්ලම යන්නෙ මේ වගෙ පිදුමක් ලියන විදිහෙ හදවතක් නිර්මාණය කරපු උල්පත් ගැන කතා කරන්න. ඒ තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ගැහැනුන්ට ගරුකිරීමේ, ආදරය කිරීමේ මුල් පාඩම අපිට කියලා දුන්නෙ ඒ දෙන්නා. විශේෂයෙන් තමන්ගෙ අම්මා දිහා බලන හැඟීමෙන් අම්මට සමාන වයසෙ ඉන්න කාන්තාවන් දිහා බලන්න කියන පාඩම කියලා දුන්නෙ අම්මා. අම්මට සමාන වයසක හිටපු සෙල්ලම්මා, අබ්දුල් අම්මා වගෙම ලීලම්මා අය්යටයි මටයි අම්මලා වෙන්නෙ එහෙමයි. ඒ විතරක් නෙමෙයි පස්සෙ කාලෙක සංස්කෘත කරන්න ඇවිල්ලත් මගේ ගුරුවරුන්ගෙන් මන් ඉගෙන ගන්නවා, අන්‍යයන්ගෙ භාර්යාවන් දිහා බලන්නත් ඕනෙ අම්මා දිහා බලන විදිහට කියන කාරණේ.”

“මට මතකයි සර් අපිට මාතෘවත් පරදාරේෂු පද්‍යය කියලා දුන්නෙ මුලින් ඔය අදහස කියලනෙ අපේ සෙකන්ඩ් ඉයර්රෙකේදි.”

“ඔය මතක තියෙන්නෙ මගෙ ගෝලයට - ඔයාගෙ යාළුවට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කරපු පාඩමුත් හොඳට. ඒක මට බොහොම ලොකු සතුටකට හේතුවක්. ඒ වගෙම මෙතෙන්දි මන් ඔයගොල්ලන්ට තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි කෙනෙක් ගෙදරක වැඩ කරන්න ආ පලියට ඒ අය ඒ ගෙදර දාසයො හරි දාසියො හරි වෙන්නෙ නැහැ කියන පාඩම කියලා දුන්නෙ අපේ තාත්තා කියන එක. තාත්තා අපේ උදව්වට ආපු කාට උනත් හරි ආදරේකින් කතා කළේ ළමයො කියලා. ඒ ආදරේ ඒ අයට දැනුණා. තවත් චරිතයක් තියෙනවා මට මෙතෙන්දි අමතක කරන්න බැරි. ඒ අපේ අය්යා. තමන්ට වඩා වැඩි වයසෙ අයට අය්යෙ, අක්කෙ කියන එකත් බාල අයට නංගි, මල්ලි කියන එක අපේ සංස්කෘතියට ආගන්තුක දෙයක් නොවෙන බවත් ඒක ඕනෙම ඉස්කෝලෙක ළමයි පවා ක්‍රියාවෙන් කරලා පෙන්නන දෙයක් බව කිව්වෙ අය්යා. ඒත් එහෙම කරන ළමයින්ගෙන් ඇතැම් කෙනෙක් ගෙදරදි තමන්ගෙ උදව්වට ඉන්න තමන්ට වඩා ගොඩක් වැඩිමහල් අයට නම කියලා කතා කරන එකේ තියෙන වරදත් අසංස්කෘතික බවත් පෙන්නලා දුන්නෙ අපේ අය්යා. ඒක ගෙදර හිටපු මට විතරක් නෙමෙයි අය්යා ඇසුරු කරපු කාටත් බලපාපු දෙයක්.”

“ඒ කියන්නෙ සර් කියන හැටියට දැන් මේ අපි ඉස්සරහ ඉන්න අපේ සර් කියන චරිතය සකස් වෙන්න ගෙදර කියන සාධකය ගොඩක් ම බලපෑවා කියන එක නේද මේ කියන්නෙ.”

“මගෙ විතරක් නෙමෙයි ආශා, කාගෙ උනත් ජීවිතය හොඳට හරි නරකට හරි හැදෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි කෙනෙක්ගෙ ගෙදර. මන් හොඳටම දන්නවා මම කියන පුද්ගලයගෙ හොඳ නරක දෙක ම තියෙන බව. ශිෂ්‍යයො හැටියට ඔයගොල්ලො මගෙ දකින හොඳක් තියෙනවනං ඒකෙ ගෞරවය මන් මුලින්ම දෙන්නෙ මගෙ දෙමව්පියන්ට වගෙම අය්යට. ඊළඟට හෝඩියෙ පන්තියෙ ඉඳලා මට මේ වෙනකං උගන්නපු ගුරුවරුන්ට ගුරුවරියන්ට. මගෙ තියෙන සියලුම අඩුපාඩුකන්වලට නං ඉතින් වග කියන්න ඕනෙ මන්ම තමයි.”

“දැන් තමයි සර්, මට සර්ගෙ එක පොතක් හෝඩි පන්තියේ සිට සරසවිය තෙක් ද සරසවියේ දී ද මට ඉගැන් වූ සියලු ගුරු උතුමනට සහ ගුරු උතුමියනට කියලා කරපු පිදුමෙ හරිම අර්ථෙ තේරුණේ.”

“ගඟුල් බැලුවහම මේ කෙල්ල අපේ එකම පිදුමක්වත් අතඇරලා නැහැනෙ. දැන් මන් ප්‍රාර්ථනා කරන්නෙ   මගෙ පොත්වල පිදුම් ගැන නෙමෙයි මට ඔයගොල්ලන්ගෙ පොත්වල පිදුම් බලන්න ලැබෙන දවසක් පුළුවන් තරම් ඉක්මණින් එළඹේවා කියන එකයි.”

“සර් ඔහොම කියනව කියන්නෙ ආශා ඒක එහෙමම වෙනවා තමයි කියන කියන එක. ඒ කියන්නෙ සර් අපට කළේ ආශිර්වාදයක් නෙමෙයි. ඒකටත් එහා ගිය වරයකුයි ඒ දුන්නෙ.”

“ඒ කියන්නෙ ගඟුල්ට තාමත් මතකයි ඒ පාඩම්.”

“ඒවා සර් එහෙම අමතක වෙන පාඩම් නෙමෙයි. මන් විතරක් නෙමෙයි අපි ඔක්කොම අපේ ජීවිත පොතටත් එකතු කරගත්ත පාඩම් ඒවා. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ සර්, අපේ පෙරදිග භාෂා අධ්‍යයන පරිචය පාඨමාලාවෙදි කාලිදාස කවියගෙ ශාකුන්තලෙන් තෝරාගත් කොටස් කරපු එක. සර්ට මතක ද එක දවසක් කණ්ව ඍෂිවරයා ශකුන්තලාට එයා අසපුවෙන් සමුගෙන යන වෙලාවෙ ඔබට  සක්විති රජ  වෙන පුතෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළහම එතන හිටපු ගෞතමී ඍෂිවරිය ඒක අනුමත කරපු විදිහ ගැන කිව්වා.”

“මන් කැමතියි මගෙ සංස්කෘත ගෝලයම ඒ පද්‍යයත් ගෞතමී ඍෂිවරියගෙ ප්‍රකාශයත් කියලා ඒකෙ අර්ථත්   එයාගෙ යාළුවත් ඉන්න තැනම, ඒ කියන්නෙ මේ දැන් ඉදිරිපත් කරනවනං.”

“සර්රුත් කියනවනං මන් ඒක කරන්නං ආශා. ඒ පද්‍යය තියෙන්නෙ මෙහෙමයි.”

“යයාතේරිව ශර්මිෂ්ටා භර්තුර්බහුමතා භව

සුතං ත්වමපි සම්‍රාජං සේව පුරුමවාප්නුහි”

“මේකෙ පළවෙනි පේළියෙන් කියවෙන්නෙ ශර්මිෂ්ටා යයාතිගෙන් ගරු බුහුමන් ලැබුවා වගේ ඔබත් ස්වාමියාගෙන් ගරු බුහුමන් ලබන්නියක් වෙන්න කියන එකයි. ඒකෙම දෙවෙනි කොටසෙන් කියනවා  ශර්මිෂ්ටා පුරු කියන සක්විති පුතා ලැබුවා වගේ ඔබටත් සක්විති පුතෙක් ලැබෙන්න කියලා.”

“ඔව් කාරණේ පැහැදිලියි. ඒ උනාට ගඟුල් රාධා - ක්‍රිෂ්ණ, රාම - සීතා, රාවණ - මන්දෝදරී, දුෂ්‍යන්ත - ශකුන්තලා වගේ අර නම් දෙක අපිට හුරු නෑනෙ.”

“ඔව් ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. සංස්කෘත කරපු නොකරපු පොදුවේ සාහිත්‍යය ගැන උනන්දුවක් තියෙන කාට උනත් ඔයා කියන නම් තමයි හුරු. හැබැයි සංස්කෘත හදාරපු අයට තමයි යයාති - ශර්මිෂ්ටා කියන නම් හුරු.”

“ඇත්තටම කවුද ගඟුල් ඔය සර්මිස්ටයි යයාතියි කියන්නෙ.”

“සර්මිෂ්ට නෙමෙයි ආශා ශර්මිෂ්ටා.”

“හරි හරි ඕන මිට්ටෙක් මන් අහන්නෙ මෙයාලා කවුද කියන එකයි.”

“ගඟුල් මන් දිහා බලලා වැඩක් නෑ. ඔයාගෙ යාළුවා උත්තරේ බලාපොරොත්තු වෙන්නෙ මගෙන් නෙමෙයි ඔයාගෙන්.”

සිය ඡාත්‍ර යුග්මයේ වරෙක හාස්‍යෝත්පාදනීය මුත් ශාස්ත්‍රීය භාවයෙන් ද බැහැර නුවූ සංකථනය දෙස ආදරයෙන් බලා සිටි ආචාර්යවරයා එසේ පැවසීය.

“සර්රුත් කියනවනං මන් මෙයාට උත්තර දෙන්නං. මෙහෙමයි ආශා. ශර්මිෂ්ඨා කියන්නෙ වෘෂපර්වන් කියන අසුර රජතුමාගෙ දුව. එයාගෙ ස්වාමියා වෙච්ච යයාති ඇවිල්ලා නහුෂ කියන චන්ද්‍රවංශික රජ්ජුරුවන්ගෙ පුතා. දැන් හරි ද ආශා.”

“මෙහෙමයි තවම හරියටම හරි ගියේ නැහැ. ඔයා කිව්වනෙ ගඟුල් ඕක ආශිර්වාදයක් නෙමෙයි වරයක් කියලා. දැන් මට කියන්න මොකක් ද ඔය දෙකේ වෙනස කියලා.”

“මන් ඒක කියන්නං ගෞතමී ඍෂිවරිය කියපු වචන ටික කියලම. කණ්ව ඍෂිවරයගෙ ප්‍රකාශෙ කළාට පස්සෙ එතුමිය කියන්නෙ භගවන් වරඃ ඛල්වේෂඃ නාශීඃ කියලයි.” ඒකෙ තේරුම භාග්‍යවත් ඍෂිවරයාණෙනි, මේ වනාහි වරයක්, ආශිර්වාදයක් නොවේ කියන එකයි.”

“ඒ කියන්නෙ ආශිර්වාදයකට වඩා වරය කියන දේ බලගතුයි කියන එක ද?”

“ඔව්නෙ ආශා, ආශිර්වාදයක තියෙන්නෙ වේවා කියන ප්‍රාර්ථනාවනෙ. ඒක සිද්ධ වෙන්නත් පුළුවන්, නෙවෙන්නත් පුළුවන්. ඒ උනාට කෙනෙක් දෙන්නෙ වරයක් නං ඒකෙ තේරුම ඒ දේ වෙනවාම තමයි කියන එක.”

“අනේ දෙය්යනේ.... එහෙනං අපේ සර් අපේ පිදුම් තියෙන පොත් දකින්න ලැබෙන්න ඕන කියන වචනවල තියෙන්නෙ ආශිර්වාදයක් නෙමෙයි වරයක්. සර්ට බොහොම පින් සර්.”

ආශා එවදන් පැවසුවේ ඉමහත් හැඟීමකිනි. අනතුරුව ඇය යළිදු කතා කළා ය.

“සර්ගෙ වරය මුලින් ම ඇත්තක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගෙම අපි ඒකට වැඩත් කරනවා කියන එකත් කියලා අපි කතා කර කර හිටපු මාතෘකාවෙන් පොඩ්ඩක් පිට පනිනවා උනත් මන් කැමතියි මේ වෙලාවෙ අර සර් දවසක් සර්ගෙ ගුරුවරුන් ගැන එහෙම කියලා කිව්වෙ අපි ගුරුවරයෙක්ගෙන් අකුරක් හරි ඉගෙන ගත්තොත්, මේ මහ පොළොවෙ තියෙන කිසි දෙයකින් ඒ ණය ආපහු ගෙවන්න බෑ කියලා. අන්න ඒ ශ්ලෝකෙ කියන්ඩකො සර් මට නෝට් ඩවුන් කරගන්න.”

ආශා පැවසුවේ සිය කුඩා සටහන් පොතෙහි හිස් පිටුවක් පෙරළා ගනිමිනි. ආචාර්යවරයා විසින් එම ශ්ලෝකය පැවසීමේ වගකීම ද පවරන ලද්දේ කවි ගී සිලෝ වහා වනපොත් කරගන්නා ගුණපූර්ණ ශිෂ්‍ය ගඟුල්ට ය. ගඟුල් විසින් ඒ මොහොතේ යථෝක්ත අර්ථය රැගත් සිලෝව ප්‍රකාශ කරන්නට යෙදුණේ ඒ අනුව ය.

“ඒකමේවාක්ෂරං යස්තු ගුරුශ්ශිෂ්‍යන්තු වාචයේත් 

පෘථිව්‍යාං නාස්ති යද්ද්‍රව්‍යං යද්දත්වානෘණං භවේත්”

“හරි සර් ඒක මම ලියා ගත්තා. දැන් අපි ආයෙත් අපේ සාකච්ඡාවෙ නවත්තපු තැනට යමු. සර් හොඳටම පැහැදිලි කළා ඇයි කාන්තාවන් වෙනුවෙන් පිදුම් කළයුත්තේ කියන කාරණාව. දැන් සර් අපේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් අපිට පේනවා මේ පිදුමට ලක්වෙන අම්මලා අතරෙ සිංහල වගෙම දෙමළ, මුස්ලිම් සංස්කෘති දෙකට අයිති අම්මලා දෙන්නෙකුත් ඉන්න වග. අපි අහලා තියෙනවා ජාතිවාදි කෝලාහල ඇති වෙච්ච කාල වකවානුත් සර්ලගෙ ළමා ජීවිත කාලෙට අයිතියි. ඉතින් එහෙම කාලවලදි වෙන ජාතීන්ට අයත් අය ගෙදර තියන් ඉන්න එක ප්‍රශ්නයක් උනේ නැද්ද?”

“ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ආශා පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය යොදාගන්න අතළොස්සකට මිසක් රටේ පොදු ජනතාවට නං නෙමෙයි. ඇත්තම කිව්වොත් අපේ මිනිස්සු ජාතිවාදි නැහැ. අපිට තියෙන්නෙ සතෙක් වාහනේකට අහු උනාමත් අනේ අපොයි කියලා විස්සෝප වෙන කණගාටු වෙන සංස්කෘතියක්. ඒත් බෙදා වෙන් කිරීම තමන්ගෙ පැවැත්මට අත්‍යවශ්‍යයි කියලා හිතන මුග්ධ දේශපාලනඥයො අතළොස්සක් මිනිස්සුන්ගෙ ඔළුවලට විෂ දානවා. තමන්ට ඇත්තටම ඔළුවක් කියලා දෙයක් තියෙනවනං මිනිස්සු දැනගන්ඩ ඕන ඒවට අහු නොවී ඉන්න. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අපේ අදිකාරම්තුමාව. එතුමා හරියට වෑයම් කළා සහජීවනයෙන් ජීවත් වීමට අපට ස්වභාවෙන් ම පිහිටලා තියෙන දේවල් අපිටම පෙන්නලා දෙන්න. එතුමා තමන් ළඟ තිබිච්ච භාෂා දැනුම, විද්‍යා දැනුම විතරක් නෙමෙයි ධර්ම ඥානයත් පාවිච්චි කළේ ඒකටයි. අද ගාසාවල වෙනත් රටවල මිනිස්සු එකිනෙකා මරාගන්න හැටි දැක්කහම, ලොකු මිනිස්සුන්ගෙ වැරදි නිසා අහිංසක කිරි සප්පයන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙන හැටි දැක්කහම මට මතක් වෙන්නෙ අපේ අදිකාරම්තුමා වෛද්‍ය විශ්වකෝශ හිටන් උපුටලා දක්වලා මේ ලෝකෙ ජීවත් වෙන ඔක්කොම මනුෂ්‍යයන්ට තියෙන්නෙ ලේ වර්ග හතරකට අයත් ලෙයක් මිස කිසිම ජාතියකට අයත් ලෙයක්  නෙමෙයි කිය කිය සමාජය දැනුවත් කරන්න දරපු අවංක උත්සාහ. මේ වෙලාවෙ අපේ ආශා ඉස්සෙල්ලා කිව්වා වගේ මාතෘකාවෙන් පිට පැන්නත් මේ දැන් අපි කතා කරන ජීවිතය කියන පාඩම් පොතේ ලියා ගන්න ඕන පාඩම් නිසා මන් ඔයගොල්ලන්ගෙ දැන ගැන්ම සඳහා අදිකාරම්තුමාගෙ ජීවිතයෙන්  උදාහරණයක් දෙකක් විතරක් කියන්නං. මට මතක හැටියට 1983 ඇති වෙච්ච නෙමෙයි, ඇති කරවපු ජාතිවාදි කලබලවලින් පස්සෙ ලෝකයේ රටවල ප්‍රවණතාවක් ඇති උනා හදවතින් ම මිනිස්සු එකතු කරන්න වැඩ කරන්නෙ කවුද කියන එක ගැන. ඒ වෙලාවෙ එක්සත් ජාතීන්ගෙ සංගමයෙ ශ්‍රී ලංකා සංවිධානයෙ ඇහැ යොමු උනේ ආචාර්ය අදිකාරම්තුමාට. ඒ අනුව 1983 අවුරුද්දෙ එතුමාට තමයි සාම ත්‍යාගය පිරිනැමුවෙ.”

“සර් ඒ උනාට ඔය එක්සත් ජාතීන්ගෙ සංගමය කියන එක ගැනත් ප්‍රශ්න තියෙනවනෙ. ඒ ගොල්ලන්ට යුද්ධ නැති කරන්න අවංක උවමනාවක් තියෙනවනං ඒ අය වැඩ කරන්න ඕන ඔයිට වැඩිය වෙනස් විදිහකට කියලයි මට නං හිතෙන්නෙ. මට නං කිසිම පැහැදීමක් නෑ ඔය වගෙ සංවිධාන ගැන.”

“ඔයාට විතරක් නෙමෙයි ආශා, අදටත් මටත් ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙ අදිකාරම්තුමා ළඟින් ඇසුරු කළ කීප දෙනෙකුත් අහලා තිබුණා ඇයි ඔබතුමා මේක බාර ගන්නෙ කියලා.”

“අදිකාරම්තුමා කිව්වෙ මෙතෙන්දි  මට වැදගත් වෙන්නෙ පෞද්ගලිකව මට සාම තෑග්ග ලැබෙනවා කියන එක නෙමෙයි. මොන මට්ටමින් හරි සාමය ගැන අවංක හැඟීමක් ඇති කීපදෙනෙක්වත් ඔය අය අතර ඇතිනෙ. ඒ අයට කතා කරන්න ලැබෙන මේ අවස්ථාවෙන් මට දැනෙන දේවල් ටික කියන්න ඉඩක් පාදගන්න එක විතරයි මන් මෙතෙන්  දි කරන්නෙ කියන උත්තරේ එතුමා ඒ ප්‍රශ්න කරපු අයට දීලා තිබුණා. ඒ වගෙම අදිකාරම්තුමා 1983 ඔක්තෝබර් මාසෙ කොළඹ රුසියන් තානාපති කාර්යාල ශාලාවෙදි රුසියාවෙ තානාපතිතුමා මූලාසනේ ඉඳිද්දි ඉංග්‍රීසි භාෂාවෙන් ඓතිහාසික කතාවක් කළා. ඒ වගෙම මන් ඔයගොල්ලන්ට ඉතාම පැහැදිලිව කියන්න ඕනෙ මේ අදිකාරම් කියන චරිතය රුසියානු පිළටත් ඇමරිකානු පිළටත් වෙනත් කිසිම පිළකටත් අයිති නැති චරිතයක් බව. ඒ නිසා තමන්ට අවංකව දැනෙන අදහස් මොන ජගතා ඉන්න සබාවකදි උනත් කිසිම චකිතයකින් තොරව කියන්න එතුමට පුළුවන් උනා.”

“සර් ඒ කතාව අපිට බලන්න විදිහක් නැද්ද?”

“තියෙනවා ආශා, ඒ දවස්වලනං ඒක අපේ රටේ පත්තරවල විතරක් නෙමෙයි පිටරට සඟරා කීපයකත් පළ උනා. ඒ විතරක් නෙමෙයි අදිකාරම්තුමාම ඒක සිංහලයට පරිවර්තනය කරලා තිබුණා. එතුමගෙ මරණයෙන් පස්සෙ එතුමා කලින් ලියපු ලිපි ලේඛන එකතු කරලා අදිකාරම් පදනම ගහපු අම්මා කියන සිතිවිලි පොතේ තියෙනවා ඒ ලිපිය. මන් හිතන්නෙ ඒකෙන් පිටපතක් මන් ගඟුල්ට දීලා තියෙනවා කියලයි.”

“ඔව් සර් මන් ළඟ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආශා ඒකෙ තමයි තියෙන්නෙ අදිකාරම්තුමා අන්තිමට සහභාගි වෙච්ච ගුවන්විදුලි සාකච්ඡාවත්. ඒකෙ මාතෘකාව සෙනෙහස. ඒ වගෙම මේ ජාතිවාදි අරගලයක් නොවේ - තුන්වෙනි ලෝක යුද්ධයයි කියන, කලින් කල්පනා සඟරාවෙ පළවෙච්ච ලිපිය. ඒ වගෙම දැන් සර් මතු කරපු ලේ ගැන විද්‍යාත්මක කරුණු තියෙන ලිපිය.”

“ඔය කියන්නෙ ආශා, ගඟුල් මාතෘකාත් එක්කම. දැන් මොකද ආශා අපි ඔයාගෙ පිදුම් මාතෘකාවට යනව ද එහෙම නැත්තං මේ සාකච්ඡාව තව ටිකක් දුර ගෙනියනව ද?”

“සර්ට වෙලාව තියෙනවනං අපි කැමතියි මේ සාකච්ඡාව තවදුර ගෙනියන්න. නැද්ද ගඟුල්.”

“ඉතින් ඔයා හොඳටම දන්නවනෙ මේ ගඟුල් කියන්නෙ සංකථන පිපාසිතයෙක් බව.”

“හරි දෙන්නගෙම ඒකටනං කැමැත්ත තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් මට තියෙනවා වැදගත් දෙයක් කියන්න. ඒ කිව්වෙ එදා රුසියානු තානාපති කාර්යාලෙදි ලෝක සාමය ගැන කරපු කතාව ගැන. මන් දන්නෙ නැහැ අනාගතේ ඔයගොල්ල කොයි තැනක කොයි වෘත්තියක නිරත වෙයි ද කියලා. ඒත් කොතන හිටියත් කිසියම් උසස් අධ්‍යාපනයක් ලබපු අය හැටියට ඔයගොල්ලන්ට තියෙනවා සමාජයට, ජීවිතය ගැන අර්ථවත් දේවල් කියපු අයගෙ අදහස් තමන්ගෙ ශක්ති පමණින් සම්ප්‍රේෂණය කරන්න, ප්‍රදානය කරන්න. එදා අදිකාරම්තුමාට පුළුවන්කම තිබුණා රුසියානු තානාපතිවරයා ඇතුළු නිලධාරීන්ට නැවතිලා කල්පනා කරන්න පුළුවන් අදහස් ටිකක් දෙන්න. තානාපතිතුමා තමන්ගෙ කතාවෙදි එදා කියලා තිබුණා, මෙතුමා අද කතා කළේ අපිට නොපෙනිච්ච ඒත් අපි කවුරුත් දැකගන්න ඕනෙ පැත්තක් කියන කාරණාව.”

“සර්ට පුළුවන් ද සර් එදා කරපු කතාවෙ හරය අපට කෙටියෙන් හරි කියලා දෙන්න.”

ආශා වෙතින් ප්‍රකාශයට පත් වූයේ ඒ ශිෂ්‍ය සහෘදය ශිෂ්‍ය යුග්මයේ ම ඉල්ලීම යි. ඒ අනුව ආචාර්යවරයා යළිත් සිය හඬ අවදි කෙළේ ය.

“එදා අදිකාරම්තුමා කිව්වෙ සාමය කියන්නෙ ගැටුම් දෙකක් අතර පවතින අවස්ථාවක් නොවන බවයි. අදිකාරම්තුමා එදා අවධාරණය කළේ සාමය තියෙන තැන කරුණාව, දයාව, ආදරය අනිවාරෙන්ම තියෙනවා කියලයි. ඒ වගෙම එතුමා කිව්වා සාමයත් ඒකට ප්‍රතිවිරුද්ධ ගැටුමත් පවතින්නෙ මනුෂ්‍යයාගේ ශරීරයේ නෙමෙයි මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයෙහි කියලා. ඒ  වගෙම එතුමා පෙන්නලා දුන්නා සාමය නැති තැන බයත් ක්‍රෝධයත් තමයි තියෙන්නෙ කියන කාරණාවත්. ඒ වගෙම එදා එතුමා පෙන්නලා දුන්නා ජාති වශයෙන් බෙදීමේ තියෙන බලවත් අනතුර. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර කියලා කියන යුද්ධ කෝලාහලවලට හේතුවත් ජාතියක් තියෙනවා ය කියන මූලික වැරදි සංකල්පය තමයි කියන කාරණෙ කිව්වෙ එදා එතෙන්ට ඇවිල්ලා හිටපු රුසියානු බහුතරයෙන් කීපදෙනෙකුට වගෙම අඩු වශයෙන් එතන හිටපු ඇමෙරිකානු නියෝජිතයන් කීප දෙනාගෙන් එක්කෙනෙකුට හරි  ඒ අය සාමය සඳහා වැඩ කරන්නෙ වැරදි පදනමක් ඉඳන් ය කියන කාරණේ ඒත්තු යන විදිහට. අදිකාරම්තුමා තමන් කියන අදහස් තහවුරු කරන්න බුදුන්වහන්සේගේ වාසෙට්ඨ සූත්‍ර දේශනාව ගත්තෙ සැරයක් දෙකක් නෙමෙයි. ඒ අපේ ආගමික පරිසරයෙදි. ඒ වගෙම වෙනත් ආගමික පරිසරයක අය ඉන්න තැන්වලදි ඒ අය ගරු කරන ශාස්තෘාන් වහන්සේලාගෙ අදහස් ගෙනත් දක්වන්නත් එතුමා අමතක කළේ නැහැ. අපි වර්තමාන ලෝකෙ අද්දකින බිහිසුණු තත්ත්ව පේන කොට අපිටම පැහැදිලි වෙන්නෙ අපිත් වෙලාවකට අදිකාරම්තුමා කියන මානසික ප්‍රදූෂණයට ගොදුරු වෙලා නේ ද කියන කාරණාවයි. මන් හිතන්නෙ එදා හිටපු ගොඩක් දෙනා අතර හිටියෙ කිතුණු ආගමික බහුතරයක්. එදා මට හොඳටම මතකයි ඒ ඓතිහාසික දේශනේ අවසන් කරපු විදිහ. එදා එතුමා කිව්වෙ දසදහස් ගණනින්, ලක්ෂ ගණනින්, මනුෂ්‍යයින් මරලා දාන්න පුළුවන් තරමෙ මනුෂ්‍යයින් සාහසික කරවන්න පුළුවන් තරමෙ යුද්ධ කෝලාහල ඇතිවෙන්න හේතු වෙන තරමෙ ජාතිවාදි අදහස් උදහස් වැඩිහිටියන් ළඟ තිබුණට ඒ වගෙ හැඟීම් පුංචි දරුවො ළඟ නෑ කියලයි. එදා ඒ දේශනය  අවසන් කරපු වාක්‍යය මට අද වගේ මතකයි දරුවනේ. මන් හිතන්නෙ ඒ හිටපු විදේශිකයන්ගෙන් අඩුම තරමෙ කීප දෙනෙකුටවත් ඒ වාක්‍යය ඒ ගොල්ලන්ගෙ පපුවලටම දැනෙන්න ඇති කියලයි මන් හිතන්නෙ.”

“ස්වර්ගයට යාමට වැඩිහිටියන් ද කුඩා ළමුන් මෙන් විය යුතු යැයි යේසුස් වහන්සේ දේශනා කළේ මේ නිසා දැයි සිතමි.” 

“ඉතින් සාම තෑග්ග කියලා මොකක් ද අදිකාරම්තුමාට ලැබුණෙ.” 

“ලැබුණෙද ලෝක සාමය වෙනුවෙන් ලංකාවෙදි උපරිමෙන් කටයුතු කළා කියන ගරු නාමයයි රුපියල් දහදාහක මුදලකුයි. හැබැයි එක දෙයක් මන් මෙතෙන්දි පැහැදිලි ව කියන්න ඕනෙ. ඒ තමයි ඒ නම්බු නාමෙවත් ලැබිච්ච මුදලවත් එතුමා තමන්ගෙ පෞද්ගලික පරිහරණෙට ගත්තෙ නෑ කියන එක.”

“සර් ඔය තරන් විශ්වාසෙකින් ඒ ගැන කතා කරන්නෙ ඒ සමස්ත සිදුවීම ගැන දන්න නිසා ද එහෙම නැත්තං...”

ආශාට සිය වාක්‍යය අවසන් කිරීමට නොලැබුණේ ගඟුල් ඊට බාධා කළ බැවිනි. 

“මොකක් ද ආශා ඔයාගෙ මේ ප්‍රශ්න ඇහිල්ලෙ ඉවරයක් නෑනෙ.”

“නෑ ගඟුල්, ආශා අහපු දේ මටනං වරදක් පේන්නෙ නැහැ. මට දුවේ ඔයාට කියන්න තියෙන්නෙ ඒ සමස්ත සිදුවීමෙ මාත් පාර්ශ්වකරුවෙක් කියන එකයි. ඒ විතරක් නෙමෙයි මන් ඔය තරන් විශ්වාසෙකින් ඒ ගැන කිව්වෙ ඒකෙන් ශතපහක් වත් එතුමා ගත්තෙ නැති බව හොඳටම දන්න නිසයි. ඒ වගෙම ඒ මුදල බාර දුන්නෙ අපේ ඇස් ඉදිරිපිටදිම ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානෙ ලේකම් හැටියට එතකොට කටයුතු කරපු ෆොන්සේකා සර්ගෙ අතට නිසයි. ලෝකය පුරා සාමය පැතිරවීම සඳහා වැඩ කරන ජේ. ක්‍රිෂ්ණමූර්ති කියන ශ්‍රේෂ්ඨ චින්තකයාගේ නමින් පිහිටුවලා තියෙන ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානයට ඒ චෙක් එක බාර දුන්නෙ අපෙත් ඇස් ඉදිරිපිට නිසයි.”

“සර් මේ ෆොන්සේකා සර් කිව්වෙ ණරසියබ්පමරඑස ධබ ෑාමජ්එසදබ සිංහලට පරිවර්තනය කරපු මහත්තය ද?”

“අන්න හරි එතුමා තමයි. එතුමා ගඟුල්, ඒ පොත විතරක් නෙමෙයි ඊට පස්සෙත් ක්‍රිෂ්ණජීගෙ පොත් දෙක තුනක් සිංහලට දැම්මා. ඒ වගෙම අපේ පලිහවඩන සර්රුත් ක්‍රිෂ්ණජීගෙ පොත් කීපයක් සිංහලට දැම්මා. මේවා විශිෂ්ට පරිවර්තන ග්‍රන්ථ විදිහට හඳුන්නන්න පුළුවන්.”

“සර් මේ සර්ලා දෙන්නම අදිකාරම්තුමාගෙ ශිෂ්‍යයො නේද?”

“ඒ සර්ලා දෙන්න විතරක් නෙමෙයි පස්සෙ කාලෙක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ උපකුලපතිවරයෙක් විදිහට කටයුතු කරපු මහාචාර්ය ජිනදාස පෙරේරා සර්, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් වෙලා හිටපු ආනන්ද ජයවර්ධන සර්, කාලයක් රත්නපුරේ සීවලී විද්‍යාලෙ විදුහල්පති වෙලා හිටපු එම්. බී. රත්නායක සර් මේ ඔක්කොම අදිකාරම්තුමා කෝට්ටෙ ආනන්ද ශාස්ත්‍රාලෙ විදුහල්පති වෙලා ඉන්න කාලෙ ඒ ඉස්කෝලෙ ඉගෙන ගත්ත ශිෂ්‍යයො. ඔය ලැයිස්තුව කියන්න ගියොත් ඒකට වෙනම වෙලාවක් යාවි.”

“සර් මන් අහලා තියෙනවා මේ ඔක්කොම ද්විභාෂක උගතුන් ය කියලත්.”

“සර් ද්විභාෂක උගතුන් කියන්නෙ භාෂා දෙකක් දන්න අයට නේද”

“ආශා මතු කළේ හොඳ ප්‍රශ්නයක්. ද්විභාෂක කියන සංස්කෘත වචනෙ තේරුම නං භාෂා දෙකකට අයත් කියන එක තමයි. ඔය ඉසකසබටම්ක කියන ඉංග්‍රීසි වචනෙට සාමාන්‍යයෙන් දෙන තේරුම තමයි. මලලසේකර මහත්තයා තමන්ගෙ ශබ්දකෝශෙදි දක්වලා තියෙන්නෙත් ද්විභාෂා; භාෂා දෙකක් භාවිත වන කියලා තමයි. ඒ වගෙම මන් දන්න තරමින් භාෂා දෙකකට වැඩි ගණනක් භාවිත කරන්න පුළුවන් අය හඳුන්නන්නත් පාවිච්චි කරන්නෙ අර ඉංග්‍රීසි වචනෙම තමයි. ඇත්තටම මන් අර ඉස්සෙල්ලා නම් කියපු සර්ලා ඔක්කොම භාෂා දෙකකට වැඩියෙන් දැනගෙන හිටපු විද්වත්තු.”

“දැන් සර් කියන විදිහට ඒ සර්ලට එහෙම භාෂා කීපයක් පුළුවන් වෙන පදනම වැටුණෙ කෙහොම ද?”

“ඒකටත් ඉතින් උල්පත උනේ අදිකාරම්තුමාම තමයි. එතුමා ආනන්ද ශාස්ත්‍රාලෙ ඉන්න කාලෙ විදුහල්පතිකමට අමතරව ගුරුවරයගේ මෙහෙවරත් කළා. ඒ කාලෙ මන් අහලා තියෙන හැටියට තමන් මොන විෂයක් කළත් සංස්කෘත, පාළි, ලතින්, ග්‍රීක් වගෙ භාෂා ඉගෙන ගන්නත් පරිසරය හදලා තිබුණා. මන් හිතන්නෙ අදිකාරම්තුමා ම තමයි ඒ කාලෙ පාළියි ලතිනුයි ඉගැන්නුවෙ.”

“සර් දැන් ඔය භාෂා ඉගෙන ගන්න පරිසරය හැම විශ්වවිද්‍යාලෙකත් නැහැනෙ.”

“ඔව් ගඟුල් කිව්වා හරි. දැන් ඕගොල්ලො අපි ඉන්න මේ විශ්වවිද්‍යාලෙ අපේ සාකච්ඡාවට ලක්වෙච්ච භාෂා හතරෙන් සංස්කෘත, පාළි භාෂා දෙක ඉගෙන ගන්න පුළුවන්. ඒ පහසුකම කැලණියෙත් තියෙනවා. යාපනේ විශ්වවිද්‍යාලෙත් සංස්කෘත උපාධි විෂයක් හැටියට තියෙනවා. පේරාදෙනියෙ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශෙ තමයි සංස්කෘත, ලතින්, ග්‍රීක් කියන භාෂා ඉගැන්වෙන්නෙ. ඒ වගෙම එහෙ පාළි ඉගෙනගන්නත් වෙනම අංශයක් තියෙනවා.”

එදා පිදුමෙන් පටන් ගත් සංකථනය මෙබඳු වූ විවිධ කාරණා සාකච්ඡාවට ලක් කැරුණු සාකච්ඡා මණ්ඩපයක් වූවා ගඟුල්ට මතක ය. එම ආචාර්යවරයාගෙන් සමුගෙන එන මොහොතේ අවසාන වශයෙන් ඔහු පැවසූ වදන් ද මේ මොහොතේ ගඟුල්ට සිහිපත් විය.

“ඔය දෙන්නට මට කියන්න තියෙන්නෙ ප්‍රථම උපාධිය කියන්නෙ ශාස්ත්‍රීය ජීවිතයෙ ආරම්භය පමණයි. මන් විශ්වාස කරනවා අපේ ශාස්ත්‍රීය ජීවිතය අපේ සමාජ ජීවිතයෙන් දුරස් වෙන්ඩ බැහැ කියන කාරණාව. අපි ලියන කියන දේ උගතුන්ට විතරක් නෙමෙයි මේ සමාජෙ ජීවත් වෙන අනික් මිනිස්සුන්ටත් තේරෙන්න ඕන. ඒ අදහස් සමාජය වෙත ගලන, සමාජයටත් දැනෙන දේවල් වෙන්න ඕනෙ. මන් ආශට කියන්නෙ, ආශා ඔයාගෙ දරුවො ඇඟේ හිතේ තියෙන්නෙ කවිය. ඔයා කුඩලිගම හරි කපිල හරි කවියෙක් එක්ක තාගෝර්ගෙ හරි ඛලීල් ගිබ්රාන්ගෙ හරි නිර්මාණ ගළපන්න බලන්න. ගඟුල් ඔයත් ආශා වගෙම කවියට ගීතයට කැමති කෙනෙක් බව මන් දන්නවා. ඒ උනාට ඔයා කවදා හරි දවසක ආචාර්ය අදිකාරම්තුමාගෙ සිතිවිලි සාහිත්‍යය, අපේ හික්කඩුවෙ නායක හාමුදුරුවන්ගෙයි සෝරත නායක හාමුදුරුවන්ගෙයි අධ්‍යාපන සංකල්ප එක්ක ගළපගෙන පශ්චාද් උපාධියක් කරනවනං හොඳයි. ඒක අනාගතේදී විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය ගැන කියවන්න තියෙන අත් පොතක් වෙන්න කියලයි මන් ප්‍රාර්ථනා කරන්නෙ.”

ගඟුල් එදා එතැනින් නික්ම ආවේ සිය ගුරුවරයා කියන දෙය කවදා හෝ යථාර්ථයක් කළ යුතු ය යන අදිටන ද ඇතුව ය. ඒ අනුව පසුගිය වර්ෂය ආරම්භයේ දී සිය දර්ශනපති උපාධිය සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය කටයුතු කළ අතර ඔහුගේ පර්යේෂණ මාතෘකාව පහත සඳහන් පරිදි විය.

“විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක්

වැලිවිවිටියේ ශ්‍රී සෝරත යතිවර ලිඛිත සාහිත්‍යය සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ලිඛිත සිතිවිලි සාහිත්‍යය ආශ්‍රයෙනි.”

ප්‍රථම උපාධිය ප්‍රතිබද්ධ ස්වාධීන නිබන්ධයට උපදේශකත්වය සැපයූ ආචාර්වරයා සමග තමාට සරසවියේ දී ගුරු මවක සේ දැනුණු ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක් සිය දර්ශනපති උපාධියේ උපදේශකවරුන් වශයෙන් කටයුතු කිරීමට එකග වීම ගඟුල් සැලකුවේ තමා ලද ආශිර්වාදයක් ලෙසිනි. ඔහු සිතිවිලි දැහැනින් මිදුණේ සිය සුපසන් නවාතැනෙහි කනිටු දියණිය වසුන්දරාගේ ළබැඳි හඬිනි. 

“ගඟුල් අය්යේ ඉක්මණට එන්ඩෝ. අම්මා තේ බොන්ඩ කතා කරනෝ. ඔයා එනකන් අපිටත් තේ නැතෝ.”

වසන්ත විසින් ගුවන් හමුදාපතිනිය යන විරුදාවලිය දෙන ලද වසුන්දරා, පවුලේ සොයුරියන් නොමැති තමාට ද සිය බාල නැගණිය සේ දැනෙන වසුන්දරා දෙසට යාමට ගඟුල් නැගිට්ටේ ඇයට ඇසෙන සේ උච්ච ස්වරයෙන් මෙසේ පවසමිනි.

“මොකෝ එයා වයිස් මාෂල් මැඩම් මේ හය්යෙන් කෑ ගහන්නෙ. මොකෝ මේ ගුවන් හමුදාවට අණ දෙන එක මතක් වෙලා ද?”

“අන්න ලොකු අය්යත් ඔයාව හොයනවා. එයා තමයි කිව්වෙ අය්යා අනිවාරෙන් ම වැව ළඟ ගහක් යටට වෙලා ඉඳගෙන වැව දිහා බලාගෙන ඇති. ඔය ගොල්ලො මට තමයි හැම තිස්සෙම අහසෙ මාලිගා හදනව කිය කිය කොලොප්පං කරන්නෙ. බැලුවහම ඔයානෙ අය්යෙ අහසෙ වැව් හදන්නෙ.”

“අහසෙ හරි කමක් නෑ චූටි නංගි වැව් හදලා අපිට ආයෙත් මේ රටේ කෘෂි කර්මාන්තෙ දියුණු කරන්න පුළුවන්නං. ඔයාගෙ හමුදාවෙ සෙබලුන්ටයි සෙබලියන්ටයි කියන්න එහෙම වැඩකටත් හිත යොදන්න කියලා.”

“අහසෙ නෙමෙයි අය්යෙ, අන්න ඇත්තට ම චූටි අය්යා අපේ පුරන් වෙච්ච කුඹුරු යායත් අස්වද්දන්නයි යන්නෙ. අවශ්‍ය වෙලාවට සපෝට්ටෙකට මන් අපේ හමුදාවත් බස්සන්නංකො කුඹුරට.”

“ඔයාගෙ හමුදාව කිව්වෙ නංගි, මට තේරුන්නෑ. ඇත්තටම ඔයාටත් ඉන්නව ද හමුදාවක්.”

ගඟුල් ඇසුවේ සිනාසෙමිනි.

“මොකෝ නැත්තෙ ඇයි මගෙ පන්තියෙ කොල්ලො කෙල්ලො සෙට්ටෙක. අම්මෝ, කියන පරක්කුව විතරයි. ඒ විතරක් නෙමෙයි අපේ පන්ති බාර සුමිත් සර්. සර්රුත් හරි කැමතියි ඔහොම වැඩවලට. සර්ටත් කියන්නම වෙනවා. ආයි කියලා වැඩක් නෑ උගන්නන වෙලාවට සුමිත් සර් කියන්නෙ හරිම සීරියස් කෙනෙක්. කුඹුරට බැස්සහම නියම ගොවියා. ගමන් යනකොට වැඩියෙන් ම විහිලු කරන ගමන් සගයා. ගමේ මළගෙයක් උනාම එතෙන්ට ඇවිල්ලා උදව් කරන කල්‍යාණ මිත්‍රයා.”

“නංගිලගෙ සුමිත් සර් මේ ගමේම කෙනෙක් වගේ ජීවත් උනාට සර් මෙහෙ නෙමෙයි නේද?”

“නෑ සර් ගම්පහ. ගඟුල් අය්යා අපේ ඉස්කෝලෙට එන්න අවුරුදු දෙකකට විතර කලින් තමයි සුමිත් සර් අපේ ඉස්කෝලෙට ආවෙ. සර්ට තියෙන්නෙත් හරිම අනුවේදනීය කතාවක්.”

“අනුවේදනීය කතාවක් කිව්වෙ නංගි.”

“ඒක අපි දැන ගත්තෙත් සර් මෙහෙට ඇවිල්ලා අවුරුද්දක් විතර ගියාට පස්සෙ. ඒත් ඒක උනෙත් හරි අහඹු විදිහකට.”

“ඒ කිව්වෙ නංගි.”

“අපේ පන්තියෙ ඉන්න සචිත්‍රගෙ එකම නංගි ඩෙංගු උණ හැදිලා හදිස්සියෙ නැති උනා. ඒ ආරංචිය ආවෙ සුමිත් සර් අපිට ආර්ථික විද්‍යාව පාඩමක් කර කර ඉන්න වෙලාවෙ. අපිට තේරුණා ඒ පණිවිඩය ආපු වෙලාවෙ ඉඳලා සර්ගෙ මූඩ්ඩෙකත් එච්චර හරි නෑ කියලා. සර්ගෙ පීරියඩ් දෙකක් එකට තිබුණෙ. සර් දෙවෙනි පීරියඩ් එකේ බාගයක් විතර වෙලාවක් උගන්නලා ආවෙ සචිත්‍රගෙ කතාවට. සර් අපෙන් ඇහැව්වා දැන් සචිත්‍ර වෙනුවෙන් ඔයගොල්ලො මොකද කරන්නෙ කියලා. සර් අපි ඉස්කෝලෙ ඇරුණට පස්සෙ පන්තියෙ කට්ටියම යනවා ඒ ගොල්ලන්ගෙ ගෙදර කියලා අපි කිව්වා.“

”ඒක හොඳයි ඒ උනාට වැඩිය හොඳයි නේද ඔයගොල්ල කණ්ඩායම් හතරක් වෙලා, වෙලාවල් හතරකට එහෙ යන එක.”

“අපි හිතුවෙ නං එකට යන්න. ඒත් සර් කියන්නෙ වෙන වෙන ම යන්නනං අපි එහෙම කරන්නං කියලා අපි සර්ට කිව්වා. ඒ වෙලාවෙ අපේ සවින්ද ඇහැව්වා එහෙම කරන එකේ විශේෂ ප්‍රයෝජනයක් තියෙනව ද කියලා. ඒ වෙලාවෙ ඒකට උත්තර දෙන්න සර් ටික වෙලාවක් ගත්තා. ඒ වෙලේ තමයි අපි ඔක්කොම සර්ගෙ ඇස්වල කඳුළු තියෙනවා දැක්කෙ. සර් කිව්වෙ සවින්ද ඒකට හේතුවක් තියෙනවා. මන් ඒක වෙන වෙලාවක ඇවිල්ලා කියන්නං. දැන් ඔයගොල්ලො යන විදිහ කතා කරගන්න. මන් අපේ ලොකු සර් හම්බ වෙලා එන්නං ආපහු. ඔයගොල්ලන්ගෙ මුලින් යන කණ්ඩායමත් එක්ක මාත් එනවා යන්න කියලා සර් ඔෆිස්සෙක පැත්තට ගියා.”

ගඟුල් සාවධාන ව අසා සිටිද්දී වසුන්දරා යළිත් කතා කළා ය.

“ඒ ගිහින් ලොකු සර් හම්බ වෙලා සුමිත් සර් ආයෙත් ආවෙ අපේ පන්තියට. දරුවනේ මන් ලොකු සර්ගෙන් අවසරේ ගත්තා ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ලත් එක කණ්ඩායමක් යවන්න. මාත් එනවා ඒ කණ්ඩායමත් එක්ක. දැන්, ඒ කියන්නෙ මාත් එක්ක යන කණ්ඩායමට එන අය අත උස්සන්න කිව්වා. ඒ වෙලාවෙ පන්තියෙ ඔක්කොම අත් එසෙව්වා. ඒකට නං සර්ට හිනා ගියා. ඒත් ඒ හිනාවට යටින් මොකක් දෝ ලොකු වේදනාවක් සර්ගෙ හිතේ තියෙනවා කියන කාරණේත් අපිට දැනුණා. අපි ඒ වෙලාවෙ සර්ගෙන් ඇහැව්වා සර් එහෙම අපි එකට යන්නැතුව කණ්ඩායම් හතරක් හැටියට යන්න කියන එකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක මගෙන් නෙමෙයි වෙලාවක ඔයගොල්ලො අතුල සර්ගෙන් අහගන්නකො කියලා සර් අපි දහදෙනෙක්ගෙ කණ්ඩායමක් හදාගෙන සචිත්‍රලගෙ ගෙදර ගියා.”

“ඉතින් චූටි නංගි ඔයගොල්ල අහගත්ත ද අතුල සර්ගෙන් ඒකට හේතුව. ඇයි ඒ තමන් කලින් උත්තර දෙන්නං කියලා පස්සෙ ඒකට අපේ අතුල සර්ව සම්බන්ධ කළේ.”

“ඒකටත් හේතුවක් තිබුණා. සුමිත් සර්ගෙ ජීවිතේට සම්බන්ධ ගොඩක් දේවල් කියලා තිබුණෙ අතුල සර්ට. අපේ පස්සෙ ගිය කණ්ඩායම් තුනේ අය සචිත්‍රලගෙ ගෙදර එන්න ඉස්සෙල්ලා අතුල සර් හම්බ වෙලා කතා කරලා තිබුණා. අපිට ඒක අවශ්‍ය නොවුණෙ සුමිත් සර්ම යන ගමන් අපිත් එක්ක අර කණ්ඩායම් හදපු එකට හේතුව කියපු හින්දා.”

“මටත් තවම ගොඩක් කිට්ටුවෙන් සුමිත් සර්ව ඇසුරු කරන්න ලැබිලා නැහැ. එදා මොකක් ද සර් යන ගමන් නංගිලට කිව්වෙ.”

“සර් කිව්වෙ සචිත්‍ර අද ලබපු අද්දැකීම කියන්නෙ අතීතයෙ දවසක මම ලබපු අද්දැකීමක් කියලා කිව්වා. මටත් මට හිටපු එකම නංගි නැති උනේ ඔය සචිත්‍ර වගේ මාත් උසස් පෙළ පන්තියෙ ඉගෙන ගන්න කොට කියලා සර් කිව්වා. ඒ වගෙම ඔය වගෙ ම අපේ ආර්ථික විද්‍යාව සර් අපට පාඩමක් කර කර ඉඳිද්දි තමයි කිව්වා  නංගි නැති වෙච්ච පණිවිඩේ අරගෙන ඥාති අය්යා කෙනෙක් ඉස්කෝලෙට ආවෙ. මන් දන්නවා දරුවනේ අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් නැති උනාම ඇති වන වේදනාවේ තරම. අද මන් ඔයගොල්ලන්ගෙ පන්ති බාරව ඉන්නවා වගේ එදා අපේ පන්ති බාර සර් වෙලා හිටියෙ ආර්ථික විද්‍යාව උගන්නපු සර්. සර් එදා අපේ ගෙදෙට්ට ආවෙ පන්තියෙ කණ්ඩායමක් එක්ක. ඒ කණ්ඩායම යනකොට තව කණ්ඩායමක්. ඔය විදිහට අපේ නංගිගෙ අවසන් කටයුතු සිද්ධ කරනකං විතරයි නෙමෙයි එයාගෙ හත් දවසෙ දානෙ දෙනකනුත් අපේ ගුරුවරු වගෙම යාළුවො ආවා. නංගිගෙ හත් දවසෙ පින්කම ඉවර වෙලා මන් මුලින් ම ඉස්කෝලෙට යන දවසෙත් අපේ පන්තියෙ කොල්ලො කෙල්ලො කීප දෙනෙක් ඇවිත් හිටියා මාව එක්කන් යන්න. මට අද දැනුණෙ මගෙ ඒ දුක්බර අතීතය ම ආයෙත් කරකැවිලා මගෙ ඉස්සරහට ඇවිත් ක්‍රියාත්මක වෙනවා වගේ හැඟීමක්. දරුවනේ මේ වෙලාවෙ ඔය ගොල්ලො මේ කොල්ලව තනි කරන්න එපා. අපි ඔක්කොම එක්ක එයාට ශක්තියක් වෙමු කියලා කිව්වා.”

ඔවුන් දෙදෙනාට එම කතාවට විරාමයක් තැබීමට සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර වසන්ත ඔවුනට කතා කළ බැවිනි.

“හලෝ ඕයි, එයා වයිස් මාෂල්, ඔය ගඟුල් අය්යව ඉක්මනට එක්ක එන හැටි ද? දැන් අම්මා කී සැරයක් නං කතා කළා ද එනවලකො දැන්වත්.“

”ලොකු අය්යෙ අපි වැදගත් කතාවක යි හිටියෙ. දැන් මේ එන්න තමයි අපි හදන්නෙ. යන් ගඟුල් අය්යෙ තේ බොන්න.”

යන අතරතුර දී ද ගඟුල්ට කල්පනා වූයේ සචිත්‍ර නම් ශිෂ්‍යයා මෙන් ම සුමිත් නම් ගුරුවරයා මුහුණ දුන් අද්දැකීම් ගැන ය. මේ ජීවිත කාලය අතරතුර අපට මුණ ගැසෙන චරිත කීයකට නම් නොකියා සිටින මුත් කියන්න කතාවක් ඇත්තේ නොවේ දැයි ඔහුට සිතිණ. මේ අතර සිය සමකාලීන සරසවි සගයන්ගේ ජීවිත හා බැඳුණු අනේකවිධ සංසිද්ධි ද ගඟුල්ට සිහිපත් විය. එසේ ම ජීවිතය යනු මේ හමුවීම් සහ වෙන්වීම් ය යන කියමනෙහි ඇති සත්‍යතාව කවර නම් වාර ගණනක් තමාට ම ප්‍රත්‍යක්ෂ වී ද යන කාරණය ගැනත් ඔහු කල්පනා කෙළේ ය. මේ මොහොතේ ඔහුගේ සිහියට නැඟුනේ සරසවි මිතුරු මිතුරියන් ව හිඳ අකාලයේ දේශයට අහිමි වී ගිය මිතුරු සහෘදය චරිත ගැන ය. ඒ අතරිනුදු ආදරණීය ගුරුවරියක වශයෙන් මහඟු මෙහෙවරක් කොට අකාලයේ අහිමි ව ගිය මහියංගනේ මැණිකේ සුහද මිතුරිය පිළිබඳ වන ප්‍රසන්න මතකය සිය හද සන්තානයෙහි වඩ වඩාත් අවදි වන්නේ ඇයි? ගඟුල් ම කල්පනා කරන පරිදි එයට සුවිශේෂ වූ හේතුවක් තිබේ. ඒ මැණිකේ යනු මිය ගියද නොමළ කුලකයට අයත් වන ආදරණීය ගැහැනියක් වූ බැවිනි. 

මැණිකේ යනු මහියංගනේ සිට කොළඹට ඇති සැතැපුම් දෙසියකටත් වැඩි දුර තමාගේ නොව පොදු අවශ්‍යතා වෙනුවෙන් අඩු දුරක් කොට සැලකූ ගැහැනියකි. පුස්තකාලයක් නොමැති පාසලට, අතේ ඇති මුදලට ද හිතවතුන්ගෙන් ද ලබාගත් පොත්වල බර බරක් කොට නොතකමින් පොත් ගෙන ගිය ගැහැනිය ඇයයි. සිය බත්පත පාසලේ සිටි දුෂ්කරතා තිබූ දරුවකුගේ හෝ දැරියකගේ කුසගිනි නිවුමට දී ඒ ගැන ගුරුමඩ`ුල්ලේ අන් සාමාජිකයනට දැනගැන්මට ඇති ඉඩ ද අහුරා නිබඳ මුව රැඳි පසන් සිනහව වියැකී යා නොදී දරු පරපුරකට ඉගැන් වූ ගැහැනිය ඇය යි. සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස් වරක් පවසා තිබුණේ අප අතර සිටින ඉසොඳුරු චරිත ඒවායේ මල් බර අවස්ථාවේ දී පර ව යා හැකි බව ය. මැණිකේගේ අවසන් කටයුතු කළ දා මේ අදහස ඇය සමීප ව ඇසුරු කළ කලණ මිතුරකුට කියූ විට කිසිවක් කතා නොකළ ඒ සහෘදයා ඒ මොහොතේ සටහන් කළ කවක් පිරිස වෙන් ව යන මොහොතේ සිය අත රඳවා ගිය ආකාරය මෙන් ම එසේ අකුරු කළ කවි කුසුම ද ගඟුල් සිහිපත් කෙළේ සංවේගයෙනි.

උදයට පිපෙන මල, හවසට යයි         පරවී

නැග එන සඳට ඉඩ දී හිරු යයි         සැඟවී

එනමුදු සෙවණ දෙන රුක යන විට මැලවී

සැනසිය නොහැක ලෝ දහම යි            අනුගත වී

තමාට ද ඉගෙන ගැන්මට ලැබුණු පරිදි  පඤ්චතන්ත්‍රයේ එන මේඝෝ ගිරිදුර්ගවර්ෂී  යන පාඨයෙන් කියැවෙන පරිදි මැණිකේ යනු ද ගිරිදුර්ග අතරට පවා ගොස් වැසි වස්වන වලාකුළක් මෙන් ගිය ගිය තැන දයා දිය හෙළුෑ ඉසොඳුරු ගැහැනියකි. සිය සංස්කෘත ආචාර්යවරයා යථෝක්ත පද්‍යය ආශ්‍රයෙන් රචනා කළ පහත සඳහන් පද්‍යය ගඟුල්, ඒ මොහොතේ මැණිකේ සුහදිනියගේ අකලංක චරිතය අබිමුව තබන පුද කුසුමක් කෙළේ ය.


විදා අතුපතර රුක, සෙවණ ලොවකට  සදයි

නදී දිය, රුදුරු මුදු සත් පිපාසය        නිවයි

උදා වන හිරු දෙරණ මත කිරණ    පතුරවයි

වලාකුළ ගිරිදුර්ග අතරට ද        වැසි හෙළයි


No comments:

Post a Comment