ජීවිතය ගලා යයි
සන්තුෂ්ටිදායී සහ දුක්ඛදායී සිදුවීම් අතර දෝලනය වෙමින් ජීවිතය ගලා යයි. විපුල් සහ ගඟුල් සොහොයුරන් මෑතදී මුහුණ දුන් දුක්ඛදායී සිදුවීම වූයේ සිය ආදරණීය තාත්තාගේ අභාවය යි. ගිලන් ව සිටි තාත්තා වෙනුවෙන් කළ යුතු සියලු උවටැන් නොපමා ව ඉටුකළ අම්මා, සිය දයාබර සැමියාගේ නික්ම යාම අකම්පිත ව දරා ගත් ආකාරය ද දෙසොහොයුරන්ගේ ජීවිත විෂයයෙහි ප්‍රදානය කළ තවත් ආදර්ශයක් විය. ඒ දුක්ඛදායී සිදුවීම් අතරට එක් වූ සන්තුෂ්ටිදායක සිදුවීම වන්නේ විපුල් සහ රේණුගේ විවාහය සිදුවීම යි. තාත්තාගේ තුන්මාසයේ පින්කමින් පසු කිසිදු උත්සවයකින් තොර ව චාම් ආකාරයකින් ඒ කටයුතු සිදුවිය. මනාල - මනාලි යුවළ නියෝජනය කරමින් ඥාතිමිත්‍රාදීන් වශයෙන් ඒ අවස්ථාවට සහභාගී වූයේ විස්සකටත් අඩු පිරිසකි. ඒ විවාහයත් සමග වූ තවත් සිදුවීම් දෙකක් ගැන මෙහි ලියා තැබිය යුතු වෙයි. ඒ විපුල් සහ රේණු නාගොල්ලාගම පදිංචියට යාමත් ගඟුල් කොළඹ නිවහනේ පදිංචියට පැමිණීමත් ය. සොහොයුරන් දෙදෙනා ම සිය රැකියාවලින් ඉල්ලා අස්වීම ඇතැම් බන්ධුවරයකුගේ යම් යම් කතාබහට ද හේතු විය. එක් ඥාතියෙක් කියා තිබුණේ ඔය සහෝදරයන් දෙදෙනා ම වරදක් කියන්නට නැති හොඳ අය වුවත් දෙන්නාට ම තරමක පිස්සු ගතියක් ඇති බව ය. එසේ නොමැති නම් මෙවන් කාලයක තමාට තිබෙන රස්සාවෙන් අස් වන්නේ මොන මෝඩයා දැයි ඔහු අසා තිබිණ. ඒ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ඔවුනගේ සමීප වැඩිහිටි බන්ධුවරියක විසින් කියා තිබුණේ තමා ඒ දෙදෙනා කුඩා කල පටන් දන්නා බැවින් හෘදය සාක්ෂියට එකඟ ව සිතා බලා අපේ ජීවිත නොව තමන්ගේ ජීවිත ගැන ඔවුන් ගන්නා තීරණ ගැන ප්‍රශ්න කිරීමට තමාට හෝ අන් කිසිවකුට හෝ අයිතියක් නොමැති බව යි. මේ සම්බන්ධයෙන් පිළිතුරක් වශයෙන් නොව අදහසක් වශයෙන් විපුල් මෙසේ කියා තිබිණ.
“ඔය විදිහට අපි තීරණ ගත්තෙ මල්ලියි මමයි කතා වෙලයි. මන් විවාහ උනත් නැතත් රස්සාවෙන් අස් වෙලා කොහොමටත් කොළඹින් යන්නයි හිටියෙ. රේණුගෙ හමුවීම නිසා උනේ ඒක ඉක්මන් වෙච්ච එක විතරයි. එයා කොහොමටත් පහසුකම් තියෙන ඉස්කෝලෙක දරුවන්ට නෙමෙයි, පහසුකම් අඩු ඉස්කෝලෙක දරුවන්ට උගන්නන්න කැමති කෙනෙක්. මට එදා ඉඳල ම ඕන උනේ ගොවිතැන් බතක් කරගෙන, වැවක් කුඹුරක් ළඟට වෙලා චිත්‍රයක් දෙකක් ඇඳගෙන ඉන්න. ඒ වගෙම මේ වෙලාවෙ කොළඹ ඉන්න ඕනෙ මම නෙමෙයි මල්ලියි.”
“ඉතින් එයා කොළඹ ආවහම එයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට මොකද වෙන්නෙ” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට දීමට පැහැදිලි පිළිතුරක් ද විපුල්ට තිබිණ.
“මල්ලි එන්නෙ ඒ දරුවන් අතරමන් කරලා නෙමෙයි, කුරුණෑගල දිස්ත්‍රික්කෙම එකොළහේ පන්තිය වෙනකන් තියෙන ඉස්කෝලෙක උගන්නපු කැලණිය විශ්වවිද්‍යාලෙන් සිංහල ගෞරව උපාධියක් තියෙන සහෝදර ගුරුවරියකට නාගොල්ලාගම ඉස්කෝලෙට එන්න පාර හදලා තමන්ගෙ දරුවන්ගෙ වගකීම එයාට බාර දීලයි. මේ මොහොතෙ මල්ලි අනිවාරෙන් ම කරන්න ඕනෙ වැඩ කීපයක් තියෙනවා. එක අම්මා බලා ගන්න එක. දෙක විශ්වවිද්‍යාලෙ උගන්නන එක. තුන එයාගෙ පශ්චාද් උපාධියෙ වැඩ. හතර එයා දැනට ලියාගෙන යන පොත්වල වැඩ කරන එක. ඒ ඔක්කොම කරන්න පුළුවන් පරිසරය තියෙන්නෙත් මෙහෙ.”
මේ සියල්ල උපරිමාකාරයෙන් කියවා තිබුණේ මිහිදිනී ය. ප්‍රිය විප්‍රයෝගයේ වේදනාකාරී අද්දැකීම සිංහල සහ ඉංග්‍රීසි යන ද්විභාෂක සාහිත්‍ය පරිශීලනයෙන් දැන සිටි ඇය මේ මොහොතේ එය සිය ජීවිතයෙන් ම අද්දකින චරිතයක් බවට පත් ව සිටියා ය. එහෙත් තමාගේ පෞද්ගලික හැඟීම්වලට වඩා යමක ඇති පෘථුලාර්ථ හඳුනාගෙන සිටි මිහිදිනී එතැන හද රඳවා, සිය සදාදරණීය සහෘදයාට ලියන ප්‍රථම හෘදයහාරී සන්දේශය මෙසේ ආරම්භ කළා ය.
“මට පමණක් නොව ඇසුරු කළ කාටත් ගඟුලක් සේ දැනුණු සුප්‍රිය සහෘදයාණෙනි,
පළමු ව ඔබගේ ජීවිතයේ සියලු කටයුතු සැමයුරින් ම සාර්ථක වේවා යි පතමි. ඒ ඔබ වෙනුවෙන් පමණක් නොව අප ජීවත් වන ලෝකය ද වෙනුවෙනි. විපුල් අය්යාත් ඔබත් මේ මොහොතේ ගෙන ඇත්තේ ගත යුතු ම තීරණය යි. විපුල් සමරනායක යනු නාගරික පරිසරයක නොව වැව් බැඳි රාජ්‍යයේ ජීවත් වෙමින් මේ සමස්ත පරිසරය සිත්තමෙන් ලොවට දිය හැකි විශිෂ්ට කලාකරුවෙකි. මා ඉතා ආදරය කරන මගේ ම වැඩිමහල් සොයුරිය ලෙස සලකන රේණු අක්කා යනු ඔහුට ම ගැළපෙන සහකාරිය යි. එසේ ම මගේ ඒ අක්කා එවන් හෘදයංගම මිනිසකුගේ ආදරණීය බිරිඳ වීම ගැන මට ඇත්තේ වචනයෙන් කිව නොහෙන අන්දමේ මහා සතුටකි. එසේ ම ඒ උතුම් මානවයා ඔබේ දෙටු සොහොයුරා වීමේ සතුට විඳගැන්මට මටත් අයිතියක් තියෙනවා නේද?
අපේ හිටපු විදුහල්පතිතුමා - වර්තමාන කොට්ඨාස අධයාපන අධ්‍යක්ෂතුමා පවත්නා නෛතික රාමුව යටතේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු කිරීම සඳහා වැටුප් සහිත ව දෙවසරක් ඔබ සේවයෙන් නිදහස් කිරීමට තීරණය කොට තිබුණේ ඔබ එක් ප්‍රදේශයකට නොව අප ජීවත් වන මුළු මහත් සමාජයට ම අයත් මානවයකු නිසයි. එසේ ම එතුමන්ගේ ඒ හැඟීමට ගරු කොට ඔබ ඊට එකඟ නොවීම මා සලකන්නේ ආදරණීය ප්‍රතික්ෂේපයක් හැටියට යි. ඔබ මා හමු වූ විට ද පැවසුවේ සේවයක් නොදී වැටුප් ලැබීමට ඔබ අසතුටු බව යි, අස් වන්නට තීරණය කළේ ඒ නිසා බව යි. මෙවන් හැඟුම් පිරි හදක් ඇති මගේ ආදරණීය සහෘදයා ගැන මම අභිමානයට පත් වෙනවා. ඒ වගේම තවත් දෙයක් ඔබට කියන්නට තිබෙනවා. ඒ ඊයේ ඔබේ - අපේ කලණ මිතුරියක වන වත්සලා අක්කා අපේ පාසලට විත් වැඩ බාරගත් බව යි. මේ ආදරණීය ගැහැණිය ඔබේ අතින් ගත් යෂ්ටිය රැගෙන තනිව නොව සිය ශිෂ්‍ය ප්‍රජාව ද සමග ඉදිරියට යන බව මා දන්නවා. ඒ ගැන සිතා ඔබට ද සතුටු විය හැකි යි.
මේ මොහොතේ ඔබ සිටිය යුත්තේ අම්මා ළඟ යි. ඒ අතර ම ඔබට සරසවියේ ඉගැන්වීම් කටයුතු මෙන් ම පශ්චාද් උපාධියේ කටයුතු ද කළ හැකි යි. අර ලියන පොත් දෙකේ ද වැඩ කළ හැකි යි. ඒවා ගැන කොළඹ නොසිටින ගමේ ගැහැනියක් හොඳ පරීක්ෂාවෙන් සිටින බව දන්වන්නට කැමතියි. හමු වූ විට මේ වැඩ සියල්ලේ ප්‍රගතිය ගැන ඇයට සමාලෝචනයක් කළ යුතු යි. මෙය ආදරණීය ඉල්ලීමක් හෝ ආදරණිය නියෝගයක් වශයෙන් සැලකුවාට වරදක් නැහැ.
ඔබ ඉගෙන ගන්නා විට මටත් ඉගෙන ගන්නට සිතෙනවා. නුදුරු අනාගතයේ දී මගේ විෂයෙන් ම බාහිර උපාධියක් කිරීමට කැමැත්තක් තිබෙනවා. ඒ කැමත්ත මා තුළ රෝපණය කළේ ද ඔබ යි. ජපුර, කැලණිය හෝ පේරාදෙනියේ මට එය කළ හැකි යි නේද? විශේෂයෙන් ඔබට අවහිරයක් නොවන තැනක හිඳ මට එය කළ හැකි යි. හදිසි නොවී ඉඩ ලද විටෙක ඒ ගැනත් සොයා බලන්න.
මේ සියලු වැඩ අතර ලියන පොත් දෙකේ වැඩ ද කරගෙන යන්න. මෙහෙ අපේ වැඩත් හොඳින් සිදු වෙනවා. ඒ අතර ඔබ නැති හිස්තැන නොදැනෙනවා නොවේ, දැනෙනවා. ඒත් මා ඒ ගැන ලියන්නේ නැහැ. ඔබ කිව්වා වගෙම විපුල් අය්යලා ගත් තැන ඇත්තේ හරිම සෞන්දර්යාත්මක පරිසරයක්. නරමණාකොටුවේ ඉස්කෝලෙ දරුවන්ගේ වැඩකට උදව් කිරීමට ගිය දවසක මන් ආයෙත් ඒ තැනට ගියා. එදයි මට මුළු වත්ත ම දැක බලා ගන්න ලැබුණේ. ඒ අක්කර හතර ගැන විපුල් අය්යා කී දෙයක් ලියන්නට කැමතියි.
“නංගී මේ ඉඩමක් නෙමෙයි චිත්‍රයක්. හැබැයි මේ චිත්‍රෙ ඒ ඒ තැන්වලට ගැළපෙන්නේ මෙන්න මේ නම් කියලා කිව්වෙ චිත්‍ර කරපු මම නෙමෙයි චිත්‍ර නොකරපු ඔයාගෙ රේණු අක්කා. එයා මේ අක්කර බාගෙක විතර ඉඩේ තියෙන කුඹුර නම් කරන්නෙ කෙත් සිත්තම කියලා. අලුතින් එක එක ජාතියෙ පැල හිටවලා තියෙනවනෙ. ඒ තමයි පැල සිත්තම. මේ වත්තෙ තියෙන පුංචි වැව පෙන්නලා රේණු කිව්වෙ ඒ තමයි වැව් සිත්තම කියලා. අර වනරොද එයා නම් කළේ වන සිත්තම කියලා. මේ වත්තේ තියෙන උසම තැන පෙන්නලා මන් ඇහැව්වා රේණු මෙතෙන්ට නමක් නැද්ද කියලා. ඒ තමයි අපේ කඳු සිත්තම කියලයි ඒකට එයා උත්තර දුන්නෙ. ඊට පස්සෙ ඉඩමෙ පොඩි කොටසක් පෙන්නලා කිව්වා මට මේ කෑල්ල දෙන්න පුළුවන් ද වැඩකට කියලා. ඒ වෙලාවෙ මන් රේණුට කිව්වෙ ඔයා ඒකට මොකට ද මගෙන් අවසර ඉල්ලන්නෙ. මේක ඔයාටනෙ මම ගත්තෙ කියලයි. ඊට පස්සෙ මන් ඇහැව්වා ඇයි මෙතන ඕනෙ කියලා කියන්න පුළුවන් ද කිව්වහම එයා කිව්වෙ ඒ අපේ මල් සිත්තමට යි කියලා. මන් අන්තිමට රේණුගෙ අත් දෙකින් අල්ලගෙන කිව්වෙ රේණු මේ වත්තෙ තියෙන තවත් දේකට නමක් ඔයා නමක් දාලා නැති නිසා ඒ නම මන් දාන්න ද කියලා. දාන්න දාන්න ඒ තැනත් කියලම නමත් දාන්න. කොහොමටත් ඔයා සිත්තරා නිසා හොඳම නමක් දාන බව දන්නවා කියලා රේණු කිව්වා.
මොකක් ද අය්යෙ අය්යා කියන තැන. මොකක් ද ඒකට දාපු නම. කියලා මන් ඇහැව්වහම විපුල් අය්යා කිව්වෙ. නංගී ඒ තමයි හද සිත්තම. ඒ සිත්තම තමයි ඔයාගෙ අක්කා රේණු. ඒක අහපු වෙලාවෙ මගෙ ඇස්වලට කඳුළු ආවා දෙය්යනේ. ඒ වෙලාවෙ විපුල් අය්යා මගෙ ඔළුව අතගාලා කිව්වෙ නංගි මන් ඔය කතාව කියපු වෙලාවෙ ඔයාගෙ රේණු අක්කගෙ ඇස්වලට කඳුළු ආවා. එයා වචනයක් වත් කතා නොකර ගොඩක් වෙලා මන් දිහා බලාගෙන හිටියා. වචනවලින් කියා ගන්න බැරි අප්‍රමාණ පණිවිඩයක් ඒ වෙලාවෙ එයාගෙ ඇස්වල ලියවිලා තිබුණා කියලා.
බලන්න, ලස්සන මිනිස්සු ලෝකෙ ලස්සන කරන හැටි. ඒ දවසෙ රේණු අක්කා මගෙන් ඇහැව්වා මගෙ නංගිට බැරි ද අපිත් එක්ක ඉන්න කියලා. මට ඔයාට කියන්න තියෙන්නෙ ඒකට නං මම එකග උනේ නැහැ කියලයි. එකක් මොකද ඒ දෙන්නට නිදහසේ ඉන්න දෙන්න ඕන කරන හින්දා. අනික අපි දෙන්නම අපි හිටපු ගෙදරින් ගියොත් ඒ අයට දුක හිතෙන නිසා. තාත්තා, අම්මා වගේ බලන මේ දෙන්නා දාලා මට යන්න හිතෙන්නෙ නෑ. ඒත් මට දවසක් එන බව දන්නවා මටත් යන්න වෙන. ඒත් ඒ කා සමග කොතැනකට ද යන ප්‍රශ්නයට කාට උත්තරයක් දුන්නත් මන් ඔයාට නං උත්තර දෙන්නේ ම නැහැ.
ඉතින් මන් ඔයාට ආයෙ ආයෙත් ලියන්නම්. පුළුවන් වෙලාවක ඔයාගෙම කවියකුත් එක්ක මට වචනයක් දෙකක් ලියලා එවන්න. ඔයාටත් ආදරණීය අම්මාටත් තෙරුවන සරණ පතමින් අදට මන් නවතින්නම්.
සදා අදරැති මිහිදිනී
ගඟුල් සිය සුපිය සුහදිනී මිහිදිනී විසින් එවන ලද හද සටහන දෙතුන් වරක් සාවධාන ව කියැවීය. ඉන්පසු ලියැවුණේ ඔහු හද සටහන යි. ඔහු එහි සමාරම්භය සලකුණු කෙළේ භාරතීය මහා සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ප්‍රකාශයකිනි.
“ළඟ තබා ගනු පිණිස මල් එකතු කර ගනිමි යි මගින් මග නොනවතින්න. යන ගමන ඉදිරියට යන්න. ඔබේ මග දිගටම මල් පිපීම සිදු වන බැවිනි.
රබීන්ද්‍රනාත් තාගෝර් ”
හදදිනූ මිහිදිනී දයාබර සුහදිනිය වෙත ඉතා ආදරයෙනි,
අප ගත් තීරණවල ඇති අරුත් අපට පෙන්වා දෙමින් ඔබ ලියන අකුරු අපට මහත් ශක්තියක්. යන අයට දිරි දෙමින් සිය ගමන යන ඔබ මග දෙපස මල් පිපෙන බව දනිමි.
විපුල් අය්යා - රේණු අක්කාගේ විවාහය මා දකින්නේ පුද්ගලික සිද්ධියක් වශයෙන් නොව අපෞද්ගලික සංසිද්ධියක් හැටියට යි. එය ඔබ අප කියවූ තාගෝර්තුමන්ගේ ගෝරා නවකතාවේ බිනය සහ ලලිතාගේ එක්වීම වැනි යි. මෙය ලලිත කලාවේත් සාහිත්‍යයේත් හමුවීමක්. මේ දෙදෙනාගේ එක්වීම ඒ කලා සාහිත්‍ය ක්ෂේත්‍ර දෙකේ ම අභිවෘද්ධියට කවර මට්ටමකින් හෝ දායක වනු ඇති. අර කලින් කී විවාහය ගැන ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්තුමන් තබන සටහන විපුල් - රේණු සුසංගමය සම්බන්ධයෙන් ද අත්‍යන්තයෙන් ම ගැළපෙතියි සිතෙනවා.
“එය සාමාන්‍ය හමුවීමක් නොවේ. එම හමුවීමෙන් සෑම දෙයක ම අගය වැඩි වන්නට ඉඩ තිබේ. එය මිනිස් කයට කල්පනා කිරීමේ ශක්තිය පරිත්‍යාග කිරීමක් වැන්න. එය මිනිස් සිරුර නව ජීවනයකින් පිරවීමකි. මේ හමුවීම හුදෙක් කයට කයකුත් පණට පණකුත් සිතට සිතකුත් එකතු වීමක් පමණක් නොවේ. එය නව රසයකින් ජීවිතය ආලිප්ත කිරීමකි. නව ජලයකින් ජීවිතය අභිෂේක කිරීමකි.”
මිහිදිනී, විපුල් අය්යා අඳින සිත්තමක, රේණු අක්කාගේ සාහිත්‍ය පාඩමක කවර හෝ මට්ටමකින් මේ නවාභිෂේකයේ සලකුණු ද රැඳෙන බව මා දන්නවා.
සරසවි දෙකක එක ම යුගයක ඉගෙන ගත් කෙනෙකු යන විට අනිත් කෙනා එතැනට එනවා. ඇත්තට ම අපට ඒ ගමන ඒ සමුගැනීම සැහැල්ලුවෙන් යා හැකි ගමනක් සමු ගැනීමක් බවට පත් වන්නේ තමන්ට සෑහීමට පත්විය හැකි කෙනෙකු එතැනට ආ විට යි. අපේ වත්සලා මිතුරියගෙන් පිරෙන්නේ ඒ හිස් තැන යි. ඇය මටත් වඩා හොඳින් ඒ වගකීම ඉටු කරාවි. ඔතන හුරු ඔබ ඔතනට අලුතින් ආ ඇය ආදරයෙන් බලා ගන්නැයි යන ඉල්ලීම මා ඔබෙන් නොකරන්නේ එය අනවශ්‍ය නිසයි. ඉල්ලීමකින් තොර ව කළ යුත්ත ඔබ කරන බව දන්නා නිසයි.
ඔබේ ලියමන මන් අම්මාටත් කියවන්න දුන්නා. මා ලියන ලියමනේ අපේ දුව ආදරයෙන් මතක් කරන්න යන වචන ටිකත් කොළඹ ආ විට මෙහි ඇවිත් යන්නැයි යන පණිවිඩයත් විශේෂයෙන් ලියන්නයි අම්මා කිව්වා. කොහොම ද දැන් ඔයා අපේ අම්මාට අපේ දුවයි. අම්මා කී දේවල් අසා සිට මා කිව්වේ අම්මාට දැන් ඉස්සෙල්ලා ආ කනට වඩා පස්සෙ ආ අඟ ලොකු වී ඇති බව යි. ( ඒ අම්මා සමග කළ විහිලුවක් පමණයි.) මොකද ඔයා අඟක්වත් මම කනක්වත් නොවන නිසයි.
ඔබ ඉංග්‍රීසියට අදාළ ව උපාධියක් කිරීම ද මේ මොහොතේ කළ යුතු ම දෙයක්. මගේ උපරිම සහාය ඊට හිමි වෙනවා. ඔයාට කොහොමත් නිවාඩු ගන්න පුළුවන්. ඉංග්‍රීසි විෂය උගන්වන, ගුරු අභ්‍යාස විද්‍යාලයක ඉගෙන ගත්තු හරි ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් තියෙන හරි ගුරුවරුන්ට සහ ගුරුවරියන්ට සරසවියේ පූර්ව පරීක්ෂණයකට මුහුණ දී අභ්‍යන්තර ශිෂ්‍ය භාවයට පත් ව කටයුතු කළ හැකි වැඩ පිළිවෙළක් ද තියෙනවා. එයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවාඩු දීම ද සිදු කරනවා. ගෙදර පවතින තත්ත්ව අනුව ඔබේ උදව් උපකාර ඔවුනට අවශ්‍ය මේ මොහොතේ ඔබ මා මෙන් අස් වන්නට නම් හිතන්න එපා. අපි මුල් උත්සාහය අභ්‍යන්තර ශිෂ්‍යයකු වීමට දෙමු. එය අසාර්ථක වුවහොත් පමණක් බාහිර උපාධිය කරමු.
කවි පොතක් ද විෂයබද්ධ පොතක් ද ලියා ගෙන යනවා පශ්චාද් උපාධියෙ කටයුතු කරගෙන යන අතර ම. ආ මට කියන්න බැරි උනානෙ සුමින්ද අය්යා පිළිබඳ පශ්චාද් උපාධියක් කිරීමට කළ ඉල්ලීම අපේ මානවශාස්ත්‍ර අධ්‍යයන මණ්ඩලයෙන් අනුමත වී තිබෙනවා. සහන් සර් සහ ප්‍රණීත් සර් යන දෙන්නා ම මගේ උපදේශකවරුන් හැටියට වැඩ කරනවා. දැන් වැඩ පටන් ගත්තා. එහි ප්‍රගතිය වරින් වර ඔබට දන්වන්නම්.
රේණු අක්කාගේ සිත්තම් දැක්ම අපූරු යි. එහෙම කිව්වේ වත්තක් සිත්තම් දැක්මක් කිරීමේ අවස්ථාවක් ගැන මන් කලින් අහලා නැති නිස යි. ඒ වගෙම විපුල් අය්යාට හදසිත්තමක් තියෙනවා වගෙ මට තියෙනවා කවි සිත්තමක්. ඒ කවි සිත්තම සිහි කළ පමණින් මගෙ හිතේ කවි සිත්තම් මැවෙනවා. එසේ මැවුණු එක කවි සිත්තමක් පමණක් දැන් ඔයාට ලියා එවනවා. හැබැයි ඒ කවි සිත්තම කවුද එය ලිව්වේ කාටද කියා අහන ප්‍රශ්නය මේ ලෝකයෙන් ම මන් තහනම් කරන්නේ ඔයාට පමණ යි. දැන් අපි එය කියවලා ඉඳිමු ද?
යුවතියකගේ රුව ගුණ දකින මිහිකත
මල් පුබුදන අතර ඇය සතු වු වනපෙත
මුදමින් තුටු කඳුළු දිය ඇලි ද හිනැහෙත
පුද දිය යුතු තැනට මම පුදමි හදවත
මිහිදිනී, නවාතැන වෙනස් නොකිරීමට ගත් ඔබේ තීරණය හරි. වඩාත් ගැඹුරින් කල්පනා කරන විට එතැන ඇත්තේ ද සහෘදයන් කෙරෙහි වන ඔබගේ අවංක ආදරය යි. විපුල් අය්යාට සහ රේණු අක්කාට ඇති ආදරය නිස යි ඔබ මේ මොහොතේ ඒ දෙදෙනා ම ඉල්ලීම් කළත් ඔවුන්ගේ නිකේතනයට නොයන්නේ. මෙතෙක් රැඳි නිවහනෙහි අම්මාට සහ තාත්තාට ඇති ආදරය නිසයි එතැනින් නොයා ඔබ එතැන ම රැඳෙන්නේ. මිහිදිනී මට ඔබ තේරුම් ගත හැකි යි.
ඉදිරියේ දී කාලය කළමනාකරණය කර ගෙන වැඩ කරන්න. ජර්මන් දාර්ශනික නීට්සේ පැවසූ පරිදි උත්තර මනුෂ්‍යයා යනු මහ පොළොවේ අර්ථය යි. මහ පොළොවට අවංක ව ජීවත් වන්නේ එබඳු චරිත යි.
ආදරණීය මිහිදිනී, ගුරුවරුන් ලෙස මහපොළොවේ අර්ථය හඳුනාගෙන මහ පොළොව මත අවංක ව ජීවත් වන මානව ප්‍රජාවක් පාසලින් මෙන් ම සරසවියෙන් මහපොළොවට ප්‍රදානය කිරීම සඳහා අපට හැකි උපරිම දෙය කරමු.
ඔබට, ගමට, රටට සහ ලොවට යහපත ම වේවා!
මා සදා අදරැති ගඟුල්
මිහිදිනී එහද සටහන කිහිප වරක් කියවා මහද් ආදරයෙන් එය සිය ළය මත තබා ගත්තා ය. මොහොතක් එසේ සිටි ඇය අනතුරුව ලියමන ද රැගෙන සිය ප්‍රියසඛී රේණු සොයා ගියේ ඔවුන්ගේ නව නිවහනට යි. රේණු එය කියවීමෙන් පසු ඒ ගැන කීමට තිබූ දෙය මෙසේ වදන්වලට කැටි කළා ය.
“අනේ නංගියෙ මට දැනෙන සතුට. උඹ නංගියෙ උඹ පුද දිය යුතු තැනට ම තමයි හදවත පූජා කරලා තියෙන්නෙ. මට හද සිත්තමක් ලැබුණා. උඹට කවි සිත්තමක් ලැබුණා. අද විපුල් අය්යත් යාළුවෙකුට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න කොළඹ ගිහින්. යන් අපි තේකක් බිබී අපේ හද සිත්තම් කවි සිත්තම් ගැන ඇති වෙන කන් කතා කරමු.”
එදින මිහිදිනී සවස් වන තෙක් හද සිත්තම් නිවහනේ රැඳී සිටිමින් සිය දෙටු සොයුරියගේ කටයුතුවලට උදව් කළා ය. ඉන් වැඩි කාලයක් ගත වුණේ රේණුගේ මල් සිත්තමේ කටයුතුවලට ය. එදින සවස් වන තෙක් එහි රැඳී සිටි ඇය සිය හද නවාතැනට පැමිණියේ රෑ බෝ වන වෙලාවේ දී ය. නිවහනේ මවුපිය දෙදෙන ගේ දොරකඩට වී සිටියේ ඇය පැමිණෙන තුරා යි.
“අම්මයි තාත්තයි බය උනා ද මාව කවුරු හරි අරන් ගිහින් ද කියලා. ඔය දෙන්නගෙ මෙහෙ හිටපු ලොකු දුව තමයි මාව හවස් වෙනකන් තියා ගත්තෙ. මෙන්න අම්මටයි තාත්තටයි ගිහින් දෙන්න කියලා බත් එකකුත් දුන්නා එයා.”
මෙසේ කියා මිහිදිනී එබත්පත දුන්නේ අම්මාගේ දෝතට යි.
මැදියම් රැය ඉක්ම ගිය මුත් මිහිදිනියට නින්ද ගියේ නැත. ඇය සිය කුටියේ දොර කවුළු විවර කළා ය. සඳ කිරණ කුටියට ගලා ආ අතර ඇගේ ලියන මේසය පුරා ද පැතිර තිබුණේ එමුදු සඳ කිරණ යි. ඇයට සිහිපත් වූයේ තාගෝර්ගේ කවි චින්තාවකි. අඩ පැයක් පමණ සඳරැස් විඳගත් මිහිදිනී, සිය මේස විදුලි පහන දල්වා ගඟුල් වෙත යවන පිළිතුරු ලිපිය සිය හදට ගලා ඒමට ඉඩ හසර සලසා දුන්නා ය. ඇය ද සිය හද සටහනේ සමාරම්භය සලකුණු කෙළේ ගඟුල් සේ ම තාගෝර්ගේ කාව්‍යෝක්තියකිනි.
“සවස හුදකලාව පොතක් කියවන්නට පටන් ගතිමි. හදවත වියලෙන තුරු කියැවීමි. ලාවණ්‍යයේ වචන වෙළෙන්දන් විසින් මවන ලද්දක් යැයි මට හැඟීමක් ඇති විය. වෙහෙසට පත් ව පොත වසා දමා ඉටිපන්දම නිවීමි. එකෙණෙහි මුළු කුටිය සඳ පහනින් පිරීගියේ ය.
ලාව්‍ය්‍යයේ ආත්මය! ගුවන් තලය තම රශ්මි පාලාවෙන් පුරවන යුෂ්මතිය, ඉටිපන්දමක කුඩා ආලෝකය නිසා සැඟවී නොපෙනී සිටියේ කෙසේ ද? එමෙන් ම තම හඬින් පෘථිවි හෘදය වර්ණනා විෂයාතික්‍රාන්ත ශක්තියකින් නිශ්චල කළා වූ තැනැත්තියක් පොතක වචන ස්වල්පයකින් මීදුමක් සේ වැසිය හැකි ද?
රබීන්ද්‍රනාත් තාගෝර්”
සඳ වතුර - හද ගඟුල වෙත ඉතා ආදරයෙනි,
ඔබට ලියන මේ ලියමන අද මම ලියන්නේ මගේ හෘදයවාසී සුමිතුරාගේ ආකෘතිය කොපි කර ගෙන යි. මන් කියන හෘදයවාසී සුමිතුරා ඒ ආකෘතිය ඉගෙන ගෙන තියෙන්නේ එයා සමීප ව ඇසුරු කරන ආචාර්යතුමන්ගෙන්. මන් කළේ අර ඉස්කෝලෙ කාලෙ කියන විදිහට කොප්පෙ ගැහීමක්. හොඳ දේවල් කොප්පෙ ගැහීම නරක දෙයක් නෙමෙයි නේද? අර ඔයා කවිය ලිව්වේ කාට ද කියලා කියන්නේ නෑ කිව්වා වගේ මමත් මන් මේ කොප්ප ගහන හෘදයවාසී සුමිතුරා කවුද කියලා කියන්නේ ම නැහැ.
ඔයාට කියන්නට අලුත් ආරංචියක් තියෙනවා. ඒ ලලිතක්කා මන් දැන් ඉන්න ගෙදර නැවතීමට ආ බව යි. දැන් අපි දෙන්නා හවසට වැව අයිනට වෙලා සිංහල සාහිත්‍යෙ - ඉංග්‍රීසි සාහිත්‍යෙ තියෙන ලස්සන තැන් ගැන සාකච්ඡා කරනවා. අපිට වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ. ලලිතක්කා ඇතුළෙ ඉන්න කවිකාරි එළියට ආවෙ මෙන්න මේ වෙලාවක යි. ඔයා දන්නව ද එයාට හිටිවන කවි කියන්නත් පුළුවන්. ඔයාට කියන්න එයා දවසක වැව ළඟදි මටත් එහෙම කවියක් කියලා පස්සෙ ඒක මට ලියලත් දුන්නා. ඔන්න බලන්න ඔයාගෙ මිතුරිය - දැන් මගෙ අක්කා මන් ගැන කියපු කවිය.
නොම දෙන කිසි විටෙක හදවත්වලට ගිනි
ඔබ මට සොහොයුරිය මුදු සඳ මඬල වැනි
නිබඳ ව සිසු කැළට අම්මා කෙනෙකු වුණි
මේ මිහිදිනි ද නැහැ නැහැ ඇය සුමිහිදිනී
පේනව ද මගෙ යාළුවො මාව දාලා තියෙන තැන. දැන් ඉතින් මේ තැන පරිස්සං කරන් වැඩ කොරන්නත් එපායැ. වෙලාවකට වැඩ කරන කොට අභියෝගත් එනවා. විශේෂයෙන් අපේ පෞද්ගලික වැඩ නොවේ, අපි අපට දැනෙන හොඳ පොදු වැඩ කරන කොට. දරුවන්ට ඉස්කෝලෙන් පස්සෙ උගන්නන එකට අකමැති අපේ ගුරු පරපුරේ ම අය කීප දෙනෙක් ඉන්න එක හරිම කණගාටුදායක දෙයක්. හිත රිදෙන වචනයක් නිසා මන් නවාතැනට ඇවිල්ලා කල්පනා කරන කොට ඉස්සර රේණු අක්කා කළා වාගෙ ගෙදරදදි දැන් මගෙ හිත හදන්නෙ ලලිතක්කා. අපි දෙන්න ම ගොඩක් සති අන්තවලට රේණු අක්කලගෙ ගෙදර යනවා. ඒ තමයි අපේ ඔක්කොම දුක් නිවාරණය වෙලා අපේ හිත්වලට සතුට ඇති කරන සෞඛ්‍ය නිකේතනය. රේණු අක්කා විතරක් නෙමෙයි විපුල් අය්යත් ජීවිතෙ ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. මට විපුල් අය්යගෙන් පේන්නෙත් ඔයාව. ඇයි දෙය්යනේ ඒ ඉතින් ඔයාගෙම අය්යනෙ. ඒක ඉතින් එහෙමම වෙන්ඩත් එපායැ නේද?
හිත රිදෙන හැම වෙලාවක ම ඒකට ඔසුවක් වෙන තවත් බේතක් මගෙ ළඟ තියෙනවා. දවසක ඒක දුන්නෙත් ඉතින් අර මගෙ හෘදයවාසී සුමිතුරා ම තමයි. ළය විරේකයක් හැටියට ඒකෙන් කොටසක් මට මේ ලියමනට එකතු කරන්නත් හිතුණා, මෙන්න මේ විදිහට. ඒ අර තාගෝර්තුමා සැරයක් එයාගෙ බිරිඳට යවපු ලිපියෙන් කොටසක්.
“සෑම අවස්ථාවක දී ම අප ඍජු වූද සත්‍ය වූ ද මාර්ගයෙහි ගමන් කරන්නේ නම් අනෙක් අයගේ නපුරු පැවැත්මෙන් අප සිත්හී පවත්නා සාමය කැඩී යාමට හේතුවක් ඇති නොවේ.
මේ ජීවිතයේ කිසිවක් සම්පූර්ණ වශයෙන් සිදු කළ හැකි නොවේ. අපට ජීවත් වීමට ලැබෙන තත්ත්වයන්ට අනුරූප ව හැකි උපරිමයෙන් අපේ යුතුකම් ඉටු කළ යුතු යි. ඔබට ඔබ තුළ ම සමාදානය සොයා ගන්නට පුළුවන්නම් ඔබ අවට සිටින අයට සුවය ගෙන දෙන්නට පුළුවන්නම් එවිට රැජිනකගේ ජීවිතයට වඩා ඔබගේ ජීවිතය උසස් වේ. සොඳුරිය, ඔබ ඔබේ සිතට විසිරෙන්නට ඉඩ දුන්නොත් එය ඔබට විරුද්ධ ව නැගී සිටීවි. අපේ බොහෝ දුක් කරදර නිර්මාණය කර ගන්නේත් අප විසින් ම නේද?
අපි අන්‍යයන්ට ප්‍රේම කරමින් ඔවුන්ට යහපතක් ම කරමු. අන්‍යයන් වෙනුවෙන් කරන සියලු දුක් විඳීම් මිහිරි ප්‍රීතියකින් යුතු ව දරා ගැනීමට අපට හැකි විය යුතු යි. එසේ ම දුක සැප දෙක ද නිතර වෙනස් වන බව සැලකිය යුතු යි. අපට වුවමනා කරන දේ ඉතා සුළු විය යුතු යි. අපේ දිවි පැවැත්ම සැහැල්ලු මෙන් ම බාහිර අලංකාරයෙන් තොර විය යුතු යි. එය යහපත් වූ සාමයෙන් පිරී පැවතිය යුතු යි. අපේ ජීවිත ආදර්ශයෙන් උසස් විය යුතු යි. අපේ සියලු ප්‍රාර්ථනයන් ආත්මාර්ථයෙන් තොර විය යුතු යි. අපි අපේ වුවමනාවන්ට වඩා රටේ වුවමනාවන් සැලකිය යුතු යි. මේ ආදර්ශවත් කරුණු සම්බන්ධයෙන් අපේ දරුවන් පවා වෙනස් මගක ගියත් අප යා යුත්තේ නිවැරදි මාර්ගයේ යි.
අපේ ජීවිතයේ අවසානය දක්වා ඔබ හා මා ලෝක පීඩාවෙන් වෙහෙසට පත් එකිනෙකාගේ ආත්මයන්ට සරණ වී අපේ ජීවිතයන් පියකරු අවසානයකට ගෙන යන්නට ලැබේවා යනු මගේ ප්‍රාර්ථනාව යි.”
මෙය මගේ දෝතට පත් කළ චරිතයට එය දුන් දවස අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. තාගෝර්තුමා සිය බිරිඳ මෘණාලිනියට දුන් මේ සටහන මන් ලලිතක්කටත් කියවන්නට දුන්නා දවසක. ඇය කිව්වේ එහද සටහන ඇසට දුක් කඳුළු නොව අවබෝධයේ කඳුළු නංවන බව යි. අවබෝධයේ කඳුළු, ඒකත් හරි වෙනස් ම කතාවක් නේද? වෙලාවකට ඇය කියන්නේ මුළු දවසක් පුරා කල්පනා කරන්නට තරම් දෙයක්.
ඔයාට ලියන්නට තවත් වැදගත් දෙයක් තියෙනවා. මා ඉංග්‍රීසි සාහිත්‍යෙ එන පුංචි නවකතාවක් සිංහලයට පරිවර්තනය කිරීමට පටන් ගත් බව යි. ලලිතක්කාත් කවි පොතක වැඩ කරනවා. එයා ඒවා මට පෙන්නනවා. ඒවා අමුතු අදහස් තියෙන අමුතු කවි මිසක් අමු කවි නං නෙමෙයි. අපි දෙන්නා අපි ලියන දේවල් ගැන සාකච්ඡා කරනවා. එසේ ම අපේ පොත්වල වැඩ අවසන් කරන දින ගැන අපිම කාල සීමාවක් දාගෙනයි තියෙන්නෙ. මේවා කරන්නෙ මුද්‍රණය කරන්න හිතලාම නෙමෙයි. ඒවා අවස්ථාවක් ලැබුණු මොහොතක කළයුතු දෙයක් මිස මේ වෙලාවෙ හිත කරදර කරගත යුතු දෙයක් නෙමෙයි.
ඔයාගෙ සියලු කටයුතු අතර අම්මා බලා ගැන්ම ද ඔබ මැනවින් සිදු කරන බව මා දන්නවා. මේ සැරේ කොළඹ එන්නේ ඒ ආදරණීය අම්මා බැලීමටත් එක්ක යි. මා එදින එන්නේ විශේෂයෙන් ඇය බැලීමට මිස වෙන අය බැලීමට නොවන බව දැන්විය යුතු පණිවිඩකරුවා වන්නේ ඔබ යි.
ඉගැන්වීම් කටයුතුවල පශ්චාද් උපාධියේ සහ නිර්මාණ කටයුතුවල ප්‍රගතිය වරින් වර මට දන්වා එවිය යුතු යි. මෙය ඉල්ලීමක් නොව ආදරණීය නියෝගයක්. ඔන්න ඔය ආදරණීය නියෝග කියන වචනය මන් කොපි කර ගත්තේත් අර හෘදයනිවාසී සහෘදයාගෙන් ම තමයි.
අදට මේ ඇති නේද? භෞතික ව හමු වීමට පෙර ආයෙත් මෙවැන්නකින් අපි ආධ්‍යාත්මික ව හමු වෙමු.
ඔබට සහ අම්මාට තෙරුවන සරණයි.
මා සදා අදරැති මිහිදිනී
ගඟුල්, මිහිදිනී විසින් එවන ලද හද සටහන කියැවූයේ එදින රාත්‍රී හත වන තෙක් දේශන පවත්වා අනතුරුව දෙපැයක පමණ කාලයක් සරසවි පුස්තකාලයේ ද ගත කොට පැමිණ අම්මා සමග රාත්‍රී ආහාරය ද ගැනීමෙන් පසුව ය. ඒ මුදු සඳ පහනින් මිහිකත නෑවී ගිය රමණීය රාත්‍රියක් විය. ගඟුල්ට දැනුණේ මිහිදිනී සිය හද අකුරින් එපහන් රැය සුපහන් කරන බවකි. ඔහු තමා කියැවීමෙන් පසු එලිපිය කියැවීමට දුන්නේ සිය ආදරණීය අම්මාට ය. එය කියැවූ අම්මා පැවසුවේ මිහිදිනී යනු සාමාන්‍ය යුවතියක නොව මිහිකතෙහි සුවඳ දන්නා මිහිලියක බව ය. ඉසිඹුලත් ගුරු මවක වන අම්මා පවසන දෙයින් ගඟුල් තවමත් බොහෝ දෑ උගනියි. ඒ සඳ පහනින් මිහිකත නැහැවී ගිය සෞම්‍ය රාත්‍රියේ ගඟුල් සිය සුහදිනී මිහිදිනියට පිළිතුරු පතක් ලියන්නට හිඳ ගත්තේ ය. ඔහු මෙවර සිය ලිපිය ආරම්භ කෙළේ සිය මිතුරු චතුරි දමයන්ති ජීවක සුහදිනියගේ හද අකුරු සටහනකිනි.
දිය උනන කුඩා උල්පත් පොකුරු - තුරු කිනිති අග සැලෙන මල් අහුරු
සඟව ගෙන පපු ගැබෙහි දුක් අකුරු - ලියන කවි කන්දක් ද ඔබ මිතුරු
තියාගෙන තනියෙන් ම ගිනි පුපුරු - දකින්නද දුම් නඟින දිය කඳුරු
නාය යන්නට කලින් මල් අහුරු - ලියමු අපි අලුත් කවියක අකුරු
වෛද්‍ය චතුරි දමයන්තී
ළබැදිනී මිහිදිනී වෙත ඉතා ආදරයෙනි,
ඔන්න අද මම මගේ ලියමන ආරම්භ කළේ අපි දෙන්නාගේ ම සාහිත්‍ය මිතුරියක වන චතුරිගේ කවි දෙකකින්. අදහස් නාය යන්නට කලින් තමයි මන් ඔබට මේ අලුත් කවි අකුරු ලියන්නේ. කොහොමත් කිවිඳියකට ලියන අකුරුවලට කවි හැඩයක් එනවා. අපි ලියන ලියමනක් පෙම්පතක් පවා පෞද්ගලිකත්වය ඉක්මවා ගිය තැනක රැඳවිය යුතු යි කියල යි මට හිතෙන්නෙ. සොඳුරු අරුතක් රැඳි අපේ නොවන කවියක් හෝ සංකල්පයක් මේ ලියන ලියුමක රඳවන්නේ ඒ නිස යි. ඔබගේ ලිපිවල මේ ගුණය උපරිමාකාරයෙන් දෘශ්‍යමාන යි. අපේ කායික මරණයන්ගෙන් පසුව ද මේවා කාගේ හෝ ජීවිතවලට අල්පාකාරයකින් හෝ උපකාරයක් වේවා කියන හැඟීම පෙරදැරි ව තමා අප ලිවිය යුත්තේ. තාගෝර්තුමා මෘණාලිනියටත් ශ්‍රී නේරු සිය දියණිය වන ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධිටත් ලියූ ලියුම් අකාලික ලේඛන අතරට අයත් වන්නේ මේ නිස යි. අපේ සංස්කෘතික සමාජයෙන් ද මෙයට දිය හැකි නිදසුන් තියෙනවා. මේ මොහොතේ මට සිහිපත් වන්නේ කිවිපති විමල් අභයසුන්දරයන් සිය බිරිඳ කල්‍යාණී සංගීතවේදිනිය භාරතයේ සංගීතය හදාරද්දි ඇයට යැවූ වරින් වර යැවූ ලේඛන සමුදාය යි. පසුකලෙක සංගීත විෂය හදාරන අය අතට පත් පමණින් මෙන් ම ගුණයෙන් ද විසල් සංගීත සංහිතා නම් හස්තසාර ග්‍රන්ථය බිහි වුණේ එහෙම යි. ඔබත් මමත් තාගෝර් - මෘණාලිනී හෝ ශ්‍රී නේරු - ඉන්දිරා හෝ විමල් - කල්‍යාණී හෝ නොවෙතත් මේ මොහොතේ මේ යුගයේ අප විසින් ද ඉටු කළ යුතු මෙහෙවරක් තියෙනවා. ගුරුවරුන් වශයෙනුත් යම් ප්‍රමාණයකට යම් සාහිත්‍යයක් හදාළ අය හැටියටත් අපි ඒ අපෞද්ගලික මෙහෙවර අපට හැකි අයුරින් ඉටු කළ යුතු යි.
ඔබ ඉංග්‍රීසි සාහිත්‍යය හදාළ සහ තවදුරටත් එය හදාරමින් සිටින තැනැත්තියක්. මම සිංහල සාහිත්‍යය හදාළ සහ තවදුරටත් එය හදාරමින් සිටින තැනැත්තෙක්. සොබාදහමේ සුන්දරත්වය දුටු තාගෝර්, ගිබ්රාන්, වර්ඩ්වර්ත්, ෂෙලී, කාලිදාස, මාඝ වැනි කවීන් සිය නිර්මාණ ඔස්සේ මානව ජීවිතය තිබෙනවාට වඩා උසස් තලයකට නැංවීමට වැඩ කළා. කුඩලිගම, කුමාරගම ඇතුළු කොළඹ කවීන් විසින් ඉටු කරන ලද්දේත් නූතන යුගයේ කවි පරපුරේ ඇතැම් දෙනා විසින් ඉටු කරමින් සිටිනු ලබන්නේත් ඒ මෙහෙවර නේද? සොබාදහමේ සුන්දරත්වය දකින ඇසක් අයහපත සමාජගත කරන්නේ නැහැ. කුඩලිගම කවියා සිය ඈ කාව්‍ය නිර්මාණය මාර්ගයෙන් සමාජයට ප්‍රදානය කළේ ඒ යහපත යි. ඒ නිසා ඔහුගේ කවි අපි අපේ ජීවිතවලට ළංකොට ගත යුත්තේ පෞද්ගලිකත්වය ළඟ සිරවී නොව ඊට වඩා ඈතට ගිය හද මානයකින් යුතු ව යි. ඈ හි එන පහත සඳහන් නිර්මාණය මා ඔබ සමග බෙදා ගන්නේ ද ඒ පෘථුල මනස ඔබට නොමඳ ව ඇති බව මා දන්නා නිස යි.
“හිම කඳු ගැටයක් සනහයි වලා රොදක් ඇද හැලී
සමනළයකු වැළඳගනී රුක් අත්තන මල පිපී
තම වෙරළත රළ සිපගනු දැක නිලඹර හිරු සිපී
කුමරිය දැන් අප සතු යුතුකම ඉටු කරමු ද ? අපී”
මිහිදිනී, මේ සොබාදහමේ රිද්මය දැක හඳුනාගෙන අප එයට සවන් දී අපේ යුතුකම ඉටු කළ යුතු වෙනවා. අපේ ශිෂ්‍ය ප්‍රජාව කියන්නේ සොබාදහමේ රිද්මය අපට වරින්වර මතක් කොට දෙන සජීවි පණිවිඩකරුවන්. මට මේ වෙලාවේ සුනාමියෙන් පසු දවසක රත්න ශ්‍රී කවියා ලියූ නිර්මාණයක් ද සිහිපත් වෙනවා. එතුමාගේ ආලකමන්දා ගී පොතේ දෙසැම්බර් 26 යන මාතෘකාව යටතේ දක්වා තිබෙන්නේ ඒ නිර්මාණය යි. සුනාමි ඛේදවාචකය එක් ඡායාරූප ශිල්පියෙක් කැමරාගත කරනවා. ඒ ගීතයෙන් කියැවෙන හැටියට මේ සේයා රූ ශිල්පියා උපන් ගම, නෑ සියන් ඇතුළු තම සතු සේසත සිය දෑස් ඉදිරිපිට ඔහුට අහිමි වෙනවා. ඒ මොහොතේ ඔහු කරන්නේ මේ මහා ඛේදවාචකය ගැන ලෝකය දැනුවත් කිරීම සඳහා එය සේයාගත කිරීම යි. ඒ ඡායාරූප තරඟයකට ඉදිරිපත් කොට සම්මාන ලබා ගැන්මට නොව ඒ මොහොතේ ඒ කලා හදවතට කළයුතු සහ කළ හැකි දෙය ලෙස දැනුණේ ඒ මෙහෙවර නිස යි. මාධ්‍යවේදී අජන්ත සමරවික්‍රම මේ මහා සුනාමි විපත ගැන ලෝකය දැනුවත් කිරීම සඳහා සුනාමි නමින් වීඩියෝ පටයක් නිෂ්පාදනය කරනවා. අර කියු දෙසැම්බර් 26 ගීතය ඇතුළත් වන්නේ ඒ වීඩියෝ පටයේ යි. මෙය රචනා කරන්නේ ද සුනාමි විපතින් සිය ජීවිතය ගලවා ගැන්මට සමත් වූ රත්න ශ්‍රී කලාකරුවා යි. මට මතක හැටියට මේ ගීය සංගීතවත් කොට ගායනා කළේ අද අප අතර නැති සනත් නන්දසිරි මහාචාර්යතුමායි. බලන්න, මිහිදිනී මේ ගීතෝක්තිය සුනාමි ඛේදවාචකය ළඟ පමණක් අප නොරඳවා අපට අපේ මෙහෙවර සිහිපත් කොට දෙනවා නේද?
දිවි නොතකා ජලකඳ මැද රැකගත්තෙන් රූ පෙළ
මුළු ලොව දුටුවේ මගෙ දෑසිනි මේ මහ පිරිපත
නිසි රැකවල් පුද පඬුරු ලොවින් ලැබුවා ලක්මව
මට කියන්න මා ඉටු කළා ද මා සතු මෙහෙවර
ආදරණීය මිහිදිනී, අප විශ්‍රාම යන දිනයේ පමණක් නොව කවදා හෝ මේ ලෝකයෙන් සමු ගන්නා දවසේත් අප අපෙන් ම අසා ගත යුතු ප්‍රශ්නය නේ ද මේ. - මට කියන්න මා ඉටු කළා ද මා සතු මෙහෙවර.
මේ මෙහෙවර උපරිමාකාරයෙන් ඉටු කරන ගැහැනියක් මට මුණ ගැස්වූ දෛවයට ස්තුතිවන්ත වේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
නැවත මෙවැන්නකින් හමු වෙමු.
සියලු ම දෙනාට තෙරුවන සරණ යි.
මා සදා අදරැති ගඟුල්,
මේ ලිපිය ලද මොහොතේ සිට සිය හද ගීතය වෙමින් මිහිදිනියගේ හද නිනද වන්නේ ‘මට කියන්න මා ඉටු කළා ද මා සතු මෙහෙවර’ යන ගීතෝක්තිය යි. ඒ මෙහෙවර ප්‍රකාශය සිය හද ගැබ සුතැන් කොට ගනිමිනි, ඇය සිය සහෘදයා වෙත යවන හද සටහන ලියන්නට හිඳ ගත්තේ.
ධf ්කක එයැ ුම්කසසෙජ්එසදබිල කදඩැ සි එයැ පදිඑ සපචදරඒබඑල දෙර සf සඑ සි ිඑරදබට ැබදමටය සබ ් ප්බල සඑ දෙරජැි යසප එද ්ජුමසරු ්කක එයැ රුිඑල ්බා ්කක එයැ රුිඑ අසඑයදමඑ සඑ අදමකා බැඩැර ඉැ ිමසෛජැබඑග
න්‍ග ණරසියබ්පමරඑස
වචනයේ නිරුක්ති අර්ථය අනුව ම ඔයැසුර ලබන - නොලබන කාටත් ආදර ගඟුලක් ම වන සුප්‍රිය සහෘදයාණෙනි,
මම මෙවර ලිපියේ ප්‍රවේශ පාඨය වශයෙන් තෝරා ගත්තේ මගේ පසුගිය ජන්ම දිනයේ දී ඔබ මට තිලිණ කළ ක්‍රිෂ්ණමූර්තිතුමන්ගේ කෘතියේ එන ඉහත සඳහන් ප්‍රකාශය යි. පසුගිය දවසක අපේ දරුවන්ට ඉංග්‍රීසි පාඩමක් කරද්දීත් මා ප්‍රවේශ වාක්‍යය කොට ගත්තේ මේ ප්‍රකාශය යි.
එතුමා කියන එක හරි. මේ ජීවිතයේ අප ලබන සියලු ම සුදුසුකම් අතරින් ඉතා වැදගත් වන්නේ ආදරය ම තමයි. මන්ද මෙහි කියැවෙන පරිදි ම යම් කෙනෙකු තුළ ආදරය බලවත් ව පවතී නම් අන් සියලු ගුණ ධර්මයන් ලබා ගැනීමට ඔහුට එය බල කරන නිසයි. ඒ වගේ ම මොන සුදුසුකම් තිබුණත් ආදරය නොමැති නම් අනික් ඒවායින් පලක් නොමැති නිස යි. මේ පෘථුල අර්ථය සිතට දැනුණු පසු අප රස විඳින අප කැමති ගීතයක් වුව එහි අරුත ළඟ පමණක් නතර වී විඳ ගැන්මට සිතෙන්නේ නැහැ. ඹබත් මමත් දෙදෙනා ම ප්‍රිය කරන වික්ටර් රත්නායක - ශ්‍රීමතී තිලකරත්න ගායනවේදීන් දෙපළ ගයන ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගහන පවන් සිළු - මා ළඟ ඔබ හිඳිනා විට දි ලොවම දැකුම්කළු ගීතය ද අප කියැවිය යුත්තේ වෙනස් හද මානයකින් නේද? මට දැනෙන අන්දමට ඔබ ළඟ සිටියදී පමණක් නොව ඔබ ළඟ නැති විට ද මට ලොව දැකුම්කළු විය යුතු යි. එසේ නොමැති නම් එය ඇත්ත ආදරයක් වන්නේ නැහැ.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙයට දිගු කලකට පෙර දවසක නුගේගොඩ දාන පින්කමක දී කළ ප්‍රකාශයක් මේ ළඟක දී අපේ මාමා සිහිපත් කළා. මන් හොඳ දේ බෙදා හදා ගන්නා අපේ පුරුද්ද අනුව ඒ ප්‍රකාශයත් මේ මොහොතේ ඔබ සමග බෙදා ගන්නට කැමතියි.
“අනුන්ට කරදරයක් නොවන විදිහට ජීවත් වෙනවා නම් ඊට වඩා ලොකු බුද්ධ පූජාවක් තවත් නැහැ.”
අන් කිසිවක් නොව සිය ජීවිතය බුද්ධ පූජාවක් බවට පත් කොට ගෙන සිටි මේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශය අපට නොතකා හරින්නට බැහැ නේද? ඒ වගෙම අනුන්ට කරදරයක් නොවී ජීවත් වන අතර ම අප සියලුම දෙනා අපට පුළුවන් තරමින් ලොවට යහපත කරමින් ජීවත් වෙනවා නම් කොච්චර හොඳ ද? ඔබ මට කියා දුන් භක්තිශතකයේ එන ජගදුපකෘතිරේව බුද්ධපූජා යන ප්‍රකාශයේ අර්ථයත් එය ම නේද?
ඔබ එවා තිබූ අපේ චතුරිගේ කවි දෙක හරිම ලස්සන යි වගේ ම අර්ථවත්. සමහර දේවල් බැලූ බැල්මට ලස්සන උනාට අර්ථවත් නැහැ. සමහර අර්ථවත් දේවල් අපට ලස්සනට නොපෙනෙනවා විය හැකි යි. ඒත් අපේ මේ කවිකාරි තමන්ගෙ කවිය ලස්සන වගේ ම අර්ථවත් කර ගැන්මට සමත් වෙනවා. ඇත්ත, එයාගෙ කවි අකුරු මල් අහුරු ම තමයි. දවසක මන් චතුරිව අපේ ඉස්කෝලෙටත් කැඳවන්න හිතාගෙන ඉන්නවා.
තාගෝර්තුමා මෘණාලිණීට එවූ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනයක් ගැන සොයා බැලුවත් එවැන්නක් මට හමු වුණේ නැහැ. ඒක නිසා මන් මට දැනෙන විදිහට එහි ඔබ මට දුන් සිංහල පිටපත ඉංග්‍රීසියට නැගුවා. හැබැයි මොනම විදිහකටවත් ඒක තාගෝර්තුමාගේ හද බස සමග සමාන කරන්න යන්න නං එපා. එතුමා ජීවත් ව සිටියා නම් මගේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා මට අපහාස නඩුවක් දානවා නිසැකයි. කෝකටත් ඔබේ මගේ පරිවර්තනය ගැන ඔබේ අදහස් දැන ගැන්ම සඳහා එය මේ සමග එවනවා.
ඔබ එන දවසක මට කිවිපති විමල් අභයසුන්දරයන්ගේ සංගීත සංහිතා පොත ගෙනත් දෙනවා ද කියවීමට. ඔබ ඒ ගැන ලියා තිබූ දේවල් දුටු පසු මට ඒ පොත කියවීමට ආසාවක් ඇති වුණා. ශ්‍රී නේරුගේ ඛැඑඑැරි එද ෂබාසර් නම් මා කියවා තිබෙනවා. ඒ වගේ ම බිල්දේව් සිංමාන් සිය මරණය සිදුවීමට පෙර තමන්ගේ දියණියට එවූ ලියමන ගැන ද අපි කතා කළ යුතු යි. විය යුතු පරිද්දෙන් ම නේරු කෘතිය නම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ගැබ් ව ඇති සුවිසල් අර්ථය නිසා ම බිල්දේව්ගේ අපට කියවන්නට ලැබී ඇති ලියමන ද සමාජගත කළ යුතුයි. ඒ ලියමනේ දී ඔහු සඳහන් කරන්නේ මනුෂ්‍යත්වය මරණයට පත් කරමින් පවතින සමාජයක ජීවත් වන නිසා ම ඊට එරෙහි වන සටනක තමා නිරත ව සිටින බව යි. ඔහු සිය දියණියගෙන් ඉල්ලා සිටින්නේ ඒ සටනේ දී තමා අසාර්ථක වුවහොත් එතැන හිස් නොකොට ඒ වගකීම දියණියට බාර ගන්නා ලෙස යි. මෙය භෞතික සටනට එහා ගිය දෙයක් නේද? සාහිත්‍යකරුවන් වන අප සටන් කරන්නේ ආයුධවලින් නොවේ. අප මේ යුගයේ අපි අපට හැකි දෙය කරනවා. අපෙන් පසු අපේ සිසු පරපුර වේවා, දරු පරපුර වේවා ඒ මෙහෙවර ඉදිරියට ගෙන යා යුතු යි. ඔබ මට ලියා එවා තිබූ කුඩලිගම කාව්‍යෝක්තිය කුමරිය දැන් අප සතු යුතුකම ඉටු කරමු ද ? යන්න මා තේරුම් ගන්නේ ද ඒ ආකාරයට යි.
පහුගිය ඉරිදා ලලිතක්කාත් මාත් දෙදෙනාම රේණු අක්කලාගේ ගෙදර ගියා. ෂා බලන්න එපායැ. දැන් ඒ ගෙදර කලාගාරයක්. විපුල් අය්යා අලුත් චිත්‍ර කීපයක් ම ඇඳ තිබුණා. අපේ ඉස්කෝලෙ උසස් පෙළට චිත්‍ර විෂයක් වශයෙන් කරන දරුවන් කිහිප දෙනාට අය්යා ගෙදරට එන්න කියලා චිත්‍ර උගන්නනවා. ඒ වගෙම පහුගිය දිනක අපේ සුමනා මැඩම් ඒ ගෙදරට ම ගොස් විපුල් අය්යාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා සාමාන්‍ය පෙළ දරුවන්ට වගෙම අනික් දරුවන්ටත් පුළුවන් විදිහට චිත්‍ර උගන්නන්න එන්න කියලා. මේ වෙන කොට අපේ චිත්‍ර සර්ගෙත් හොඳ යාළුවෙක් වෙලා, ඔයාගෙ විතරක් නෙමෙයි මගෙත් අය්යා වන විපුල් අය්යා. ඔයා දන්නවා ද දැන් හැම සිකුරාදාටම අය්යා අපේ ඉස්කෝලෙට එනවා උගන්නන්න. හැබැයි එයා එක කොන්දේසියක් දාලා තියෙනවා එයාට කිසිම ගෙවීමක් හෝ දීමනාවක් නොදිය යුතු යි කියලා. දැන් සිකුරාදාට වෙනදටත් වඩා ළමයි ඉස්කෝලෙට එනවා කියල යි අපේ ලොකු මැඩම් කියන්නෙ. විපුල් අය්යාට බේරෙන්නම බැරි අපේ පොඩි පැටවුන්ගෙන් තමයි. වෙලාවකට විපුල් අය්යා ළමයිත් එක්ක වෙල් යායක් ළඟ ඉන්නෙ. ඒ වෙල්යාය අඳින්නෙ පන්ති කාමරේ ඉඳලා නෙමෙයි. වැව අන්දන්නෙ වැව ළඟට ගිහිල්ලයි. මේකෙ ගුරුවරයෙක් වෙලා මට බැරි වෙච්ච චිත්‍ර ප්‍රබෝධෙ උඹ මල්ලි මේකට ගෙනාවා කියලා දවසක් අපේ චිත්‍ර සර් විපුල් අය්යට සුබ පැතුවා. ලස්සන හිත් තියෙන මිනිස්සු එහෙම තමයි.
ඔයාගෙ පශ්චාද් උපාධියේ වැඩ හොඳින් කෙරෙනවා ඇතැයි සිතනවා. අම්මාගේ ඇස්වල පෙනීම කොහොම ද? මේ මොහොතේ ඊට අදාළ ශල්‍යකර්මය කළ යුතුනං කිසිසේත් එය කල් දමන්නට එපා. එය කළ පසු අම්මා ළඟ රේණු අක්කාටත් මටත් මාරුවෙන් මාරුවට ඉන්න පුළුවන්. මොකද පුතාලට තියෙන අයිතිය දුවලටත් තියෙන නිසයි.
තව පොඩ්ඩකින් මම හෙට දවසේ තියෙන පාඩම්වලට ලෑස්ති වෙන්න පටන් ගන්නවා. දැන් ඒ සඳහා අවශ්‍ය කරන ගැම්ම හිතට ආවා. ඔබේ ලිපි නිබඳ මට ශාරීරික ව මෙන් ම ආධ්‍යාත්මික ව ශක්තිය ප්‍රදානය කරන සුළු යි.
ආයෙත් මෙවැන්නකින් හමු වෙන්නම්.
මා සදා අදරැති
සුහදිනී මිහිදිනී
ගඟුල්ට ද මිහිදිනීගේ මෙවන් හෘදය ලේඛන ශක්ති ප්‍රදායකයක් ම විය. එදා අවශ්‍යයෙන් ම කළ යුතු ව තිබූ කටයුතු කිහිපයකට අදාළ වැඩ නිම කළ ඔහු, එදින රාත්‍රියේ ඇයට සිය හද සටහන ලිවීම මෙසේ ආරම්භ කෙළේ ය.
සිසිලස තුරුළු කොට ගෙන උපන් සඳවතේ
මුදු බව දකිමි මිහිරිය ඔබේ හදවතේ
වැව, කෙත මෙන් ම සදරුත දකින වන පෙතේ
මිහි දුව ඔබ ද කිව මැන මහරු මිහිකතේ
ආදරණීය මිහිදිනී වෙත ආදරයෙනි,
මහාභාරතය ලෝකයට ප්‍රදානය කළ ජේ. ක්‍රිෂ්ණමූර්ති නමැති ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා ආදරය ගැන කළ ඉසොඳුරු ප්‍රකාශයකින් සමාරබ්ධ ඔබේ ලියමන දෙතුන් වරක් ම කියැවූ බව දන්වන්නේ ආදරයෙනි. මේ වෙන කවරදාටත් වඩා ලෝකයට ආදරය කරුණාව අවශ්‍ය කාලයක්. ආදරය සමාජය වෙත සම්ප්‍රේෂණය කිරීමෙහි ලා වන මහඟු මෙහෙවරෙහි දී ගුරු චරිත වෙත පැවරෙන වගකීම සුළුපටු එකක් නෙමෙයි. ඔබ ක්‍රිෂ්ණජීගේ පරිවර්තනය කරන පොතේ නම සඳහන් කොට තිබුණේ නැහැ. එය මට දන්වන්න.
මිහිදිනී, ඔබ නුදුරු අනාගතයේ දී අවකාශ ලැබෙන පරිදි සිංහල - ඉංග්‍රීසි සාහිත්‍ය දෙක අතර පාලමක් වෙන වැඩක් කරන්නට අවශ්‍ය යි. මේ සාහිත්‍ය දෙක ගැන වෙන වෙන අධ්‍යයන සිදු වන මුත් සංසන්දනාත්මක අධ්‍යයන සිදු වන්නේ අල්ප වශයෙන්. ෂෙලී ගැන කීට්ස් ගැන ප්‍රොස්ට් ගැන අධ්‍යයන කරන අය කුඩලිගම කපිල කුමාරගම ගැන දන්නේ නැහැ. ඒ සිංහල කවියන් ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන දන්නා අය බටහිර කවීන් ගැන දන්නේ නැහැ. මේ සියලු දෙනා ම සොබාදහම - මානව ප්‍රේමය -මනුෂ්‍ය ජිවිතයේ දුක්ඛ දෝමනස්ස ගැන කතා කළ අය යි. මගේ සීමිත දැනුම් වපසරිය තුළ දී මට මනු හද ගැස්ම හඳුනාගත් කීට්ස්ලා කුඩලිලා එක බිමකදී හමු වී තිබෙනවා. මිහිදිනී, ඔයාට මේ සාහිත්‍ය දෙක ගැනම හොඳ දැනීමක් මෙන් ම හැඟීමක් තියෙනවා. ඔයාට බැරි ද එකම පොතකින් මේ දෙදෙනා අපේ පාඨක රසිකයන්ට මුණ ගස්වන්න. මේ ගැන ගැඹුරින් හිතන්න.
මිහිදිනී, මටත් ඔබ ඇති තැනදී මෙන් ම නැති තැනදීත් ලෝකය දැකුම්කළු යි. ඒ වගෙම දවසක චතුරි අපේ දරුවන්ට මුණ ගස්වන්නට ගත් තීරණයත් වටිනවා. චතුරි කියන්නේ අපේ දරු දැරියන් හඳුනාගත යුතු අව්‍යාජ නිර්මාණකාරියක්. නිර්මාණ ඔස්සේ හඳුනා ගන්න එබඳු චරිත වරින් වර අපේ පාසලට ගෙන ඒමේ අඛණ්ඩ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න.
සංගීත සංහිතා පොතේ පිටපතක් මා ළඟ නැහැ. ප්‍රණීත් සර් ඔබට කියවීම සඳහා සර්ගේ පොත දිය හැකි බව කිව්වා. ඊළඟට නාගොල්ලාගම එන දවසට ඒක ගේන්නම්.
විපුල් අය්යා දරුවන්ට චිත්‍ර ඉගැන්වීම සඳහා සිකුරාදා දිනවල පාසලට යන එක මට කිව්වා. ඔබ අකුරු හරහා අපේ දරුවන්ට ආදරය ප්‍රදානය කරනවා වගේ අපේ අය්යා රේඛා මාර්ගයෙන් ඒ කාර්යය කරාවි.
මිහිදිනී, ඊයේ රාත්‍රියේ මට වෙනස් ම ආකෘතියක කෙටිකතා සංග්‍රහයක් කියවන්නට ලැබුණා. පොතේ නම කුලහීනයෝ කර්තෘවරයා ශ්‍රී සී. රාජගෝපාලචාර්යයි. අවාසනාවකට මම පරිවර්තක නම ලියාගෙන නැහැ. ඒකේ එන එක කෙටිකතාවක් තමයි කුදු වූ සුන්දරී. මේ සුන්දරී විවාහ වන්නේ ලක්ෂ්මී නමින් කුඩා දියණයක් සිටින නරසිංහ ශාස්ත්‍රී සමග යි. ලක්ෂ්මී සිය මියගිය අම්මාට මෙන් ම සුන්දරීට ආදරය කරන අතර සුන්දරී ද අර දුවට සැබෑ අම්මා කෙනෙකු ම වෙනවා. ශාස්ත්‍රී ද සිය දියණියට මෙන් ම සුන්දරීට නොඅඩුව සිය ආදරය ලබා දෙනවා. බාහිර රූපයට මුල් තැන දෙන ගමේ බොහෝ දෙනා සුන්දරී කොන් කළත් ඒ හැමවිටම ඇගේ ජීවිතයට ලක්ෂ්මී සතුට සහ සැනසීම ගෙනෙනවා. මිහිදිනී, දැන් මම කැමතියි මේ කතාව ඔයත් එක්ක බෙදා ගන්න. මන් එයින් ගත් අදහස් වඩාත් සරල ව පාවිච්චි කරමින් ම කතාව කියන්නම්.
“මව ඉදිරියේ නැගී සිටි ලක්ෂ්මී, මේ බලන්න, ඔබ දෙස බැලුවොත් ඔබ නොපෙනේ ඔබගේ ශරීරය නොපෙනේ යැයි කීවා ය. හොඳට ඇස් ඇර බැලුවහොත් මගේ ශරීරය ද දැකිය හැකි යැයි සුන්දරී කීවා ය. මෙයට පිළිතුරු දෙමින් ලක්ෂ්මී පවසන්නේ නෑ අම්මේ ශරීරය දිහා බැලුවොත් මට පේන්නේ ඔබේ ශරීරය පමණයි ඔබ පේන්නේ නැහැ කියා යි. ඒත් මා බලන්නේ ඔබ දෙස නම් ඔබේ ශරීරය මට පෙනෙන්නේ නැත කියා යි. මේ මොහොතේ ශාස්ත්‍රී අසන්නේ සුන්දරී ඔබ දියණිය පැවසූ දෙය තේරුම් ගත්තා ද යනුවෙනි. එසේ ම මේ මොහොතේ සිය දියණිය තුරුළු කොට ගන්නා ශාස්ත්‍රී මෙසේ පවසනවා.
“සුන්දරී, අද ලක්ෂ්මී දුව කී දෙයක් ඇසීමෙන් පසු මට උපනිෂද්වල එන එක් අදහසක් හරි හැටි වැටහුණා. ළදරුවන්ගේ කථා වගෙයි උපනිෂද්වල ඒ කතා.”
මිහිදිනී, මේ මොහොතේ ඒ කතා මට ද කියා දෙන්නැයි කියා සුන්දරී ඉල්ලීමක් කරනවා. ශාස්ත්‍රී එවෙලේ කළ බව සඳහන් ප්‍රකාශය තමයි මන් ඊළඟට සඳහන් කරන්නේ.
“අක්ෂිණී පුරුෂෝ දෘශ්‍යතේ ඒෂ ආත්මා කියා මන්ත්‍රයක් තිබෙනවා නොවේ ද? ඇසට පෙනෙන්නේ ඒ පුරුෂයාගේ ආත්මය යි. මෙහි තේරුම තමයි අපේ ලක්ෂ්මී දැන් ටිකකට කලින් කිව්වේ.... හද පත්ලෙන් නගින ආදරය සහිත ව කෙනෙක් තව කෙනෙකු දෙස බලන විට ශරීරය මුළුමනින් ම අමතක වී යනවා. එවිට ආත්මය විසිනු යි ආත්මය දකිනු ලබන්නේ.
මිහිදිනී, සහන් සර් දවසක් අපට දේශනයක් කරද්දී ගත්ත භගවද්ගීතා පාඨයක් මට මේ වෙලාවේ මතක් වෙනවා. සර් ස්ථිර බුද්ධිමතාගේ ලක්ෂණ ගැන කියද්දී ගීතාවේ එන ආතෙමන්‍යේ ආත්මනා තුෂ්ටඃ කියන ප්‍රකාශය ඒකට සම්බන්ධ කළා. ඒකේ තේරුම ආත්මය විසින් ආත්මය කෙරෙහි සතුටු වන ගුණය ස්ථිර බුද්ධිමතා තුළ ඇති බව යි. එදා සර් ඒක පැහැදිලි කරපු හැටි මට අද වාගේ මතකයි. සර් කිව්වෙ ඒ අදහස් අපි සාමාන්‍යයෙන් කතා කරන ආත්මවාදය ළඟ සිර කරන්න බැහැ කියලයි. මන් කැමතියි මේ වෙලාවෙ ඔයත් එක්ක ඒ අදහසුත් බෙදා ගන්න. සර් කිව්වේ ස්ථිර බුද්ධිමතා බාහිර ක්‍රමවලින් සතුට සොයන්නට නොගොස් ආභයන්තරික සන්තුෂ්ටිය ලබන බව යි. ලෝකයේ ජීවත් වෙන අපි ගොඩක් වෙලාවට වැඩි අවධානයක් දෙන්නේ විභාගවලින් සමත් වීම, උසස් යැයි සම්මත තනතුරු ලබාගැනීම, හැකිතාක් මුදල් ඉපයීම වගේ දේවල්වලට නේද? අපි ගොඩක් දෙනා සතුට අහිමි වූ අය බවට පත් වෙලා තියෙන්නෙත් ඒ නිසාම නේද?
මේ ගැනත් හිතන ගමන් ම අපි අර කතාවේ ඉතුරු කොටසට යමු. මිහිදිනී, ඔයාට මතකනෙ අපි නවත්තපු තැන. ආත්මය ගැන සාකච්ඡාව මතු උන තැනදී සුන්දරී කියනවා ආත්මය වෙනමයි ශරීරය වෙනමයි කියලා. ඒක නේද ඇත්ත කියා යි ඇය කියන්නේ. මේකට ශාස්ත්‍රී දෙන උත්තරේට තමයි අපි දැන් අවධානය යොමු කරන්න ඕන කරන්නෙ.
“සුන්දරී, මම ඔබ දෙස බලා සිටින විට ඔබගේ ශරීරය මගේ අවබෝධයෙහි තැන්පත් වෙලා නැහැ. එය අමතක වෙලයි තියෙන්නේ. මට ඔබේ ඇස, කණ, නාසය, මුහුණ යන සියල්ල නොපෙනී ගොස් ඔබ පමණක් පෙනෙන්නට ගන්නවා. ඒ තමයි ඔබේ ඇස්වල රැඳී ඇති ජීවය.”
මිහිදිනී, සුන්දරී කියන්නෙත් උපනිෂද් ඉගෙන ගත් ගැහැනියක්. ඇය පවසන්නේ මෙහි තවත් අර්ථයක් ඇති බව යි. ඇසට පෙනෙන්නේ ‘පුරුෂයා’ යයි ඥානවන්තයන් කියන බව කියන සුන්දරී, ඇස් පියාගෙන ගැඹුරු ධයානයෙහි නිරත වන විට තමාගේ ආත්මය, ඥානය නමැත් ඇසෙහි පෙනෙනවා නේද කියා තව දුරටත් පවසනවා. මෙයට ශාස්ත්‍රී දෙන පිළිතුර ද වැදගත්.
“සුන්දරී, ඒකත් එක තේරුමක් තමයි. ඒ උනාට ලක්ෂ්මී දුව කියපු දේ තමයි මට එහි ඇති උසස් ම තේරුම ලෙස පෙනී යන්නේ. සුන්දරී මම දර්ශනවාදියෙක් වත් යෝගියෙක් වත් නෙමෙයි. ආදරයෙන් ඔබ දෙස බලද්දී ඔබගේ ශරීරය ද මට පෙනෙන්නේ? නැහැ සුන්දරී ශරීරය ඉක්මවා ගිය ඔබගේ ආත්මය මගේ ඇස්වලට ප්‍රත්‍යක්ෂ වීමෙන් මගේ සිත තෘප්තිමත් වෙනවා. ඔබගේ ඇසත් මගේ ආදරයත් එකට හමුවීම නිසා එකිනෙකා දෙස බලා සතුටු වන විට ඔබගේ මුහුණ නොව හදවතයි මට පෙනෙන්නේ.”
මිහිදිනී, මන් මේ පොත හොයා ගෙන ඔයා, රේණු අක්කා, ලලිතා ඇතුළු අපේ සහෘදයනට කියවීම සඳහා අරගෙන එන්නම්. මන් අද මේ ලියමන අවසාන කරන්නට තෝරා ගන්නේත් ඒ කෙටිකතාවේ එන මට වඩාත් ම දැනුණු තැනයි.
”ලස්සන කියන්නේ ආදරයටයි. ශරීරය තුළ ශරීරය වශයෙන් ඇත්තේ ගුණ සමුදායයි. දෙදෙනාගේ හදවත් ආදරයෙන් බැඳී ගිය විට මුහුණත් ඇඟත් කොහේ දෝ නොපෙනී යනවා. මේ සත්‍යය පිරිමියාටත් ගැහැනියටත් සාධාරණයි. ආදරයෙන් බැඳුණු යුවළකට අඟ පසඟ අප්‍රධාන වෙනවා. දෙදෙනාගේ හදවත්වල ඒකීයත්වයෙන් වෙළී ගිය සුහදතාව ම තමයි ප්‍රධාන වන්නේ.”
මන් මෙහෙම ලියන්නේ, මිහිදිනී යනු මේ දේවල් ගැඹුරින් ම අවබෝධ කොට ගන්නා මිහි දියණියක් බව ඉතා හොඳින් ම දන්නා නිසයි.
අදට මේ හොඳට ම ඇති.
භෞතික ඇසින් මෙන් ම ආධ්‍යාත්මික ඇසින් ද මා ඔබ නිබඳ දකිනා බව සඳහන් කරන්නේ ඉතා ආදරයෙනි.
තෙරුවන සරණ ම වේවා!
මේ සදා අදරැති
චිරසුහෘත් ගඟුල්.
No comments:
Post a Comment