මිනිසුන් අතර
“ඊයේ රාත්‍රී වට මහ වැස්සෙන් පසු දැන් අහසින් වලාකුළු ඉවත් ව යනු පෙනේ. අද අලුත් දිනයකි. ඇති එකම දිනය ලෙස ඒ අලුත් දිනය පිළිගනිමු. ඊයේ පිළිබඳ සියලු ස්මරණ පසෙක දා අපේ ගමන අරඹමු. ප්‍රථම වතාවට තමන් අවබෝධ කර ගැනීම ආරම්භ කරමු.”
සම්මානිත මහාචාර්ය මහින්ද පලිහවඩනයන් විසින් ‘අද අලුත් දිනයකි’ නමින් සිංහලයට නඟන ලද ජේ. ක්‍රිෂ්ණමූර්තීන්ගේ Freedom From The Known කෘතියේ එන පාඨයකි, මේ ජනවාරි පළමුවැනි දා ගඟුල් විසින් කියවන්නට යෙදුණේ. ඔහුට සිහිපත් වූයේ ගත ව ගිය දෙසැම්බර් 31 වැනි දා සිය ආචාර්යවරයාගේ නිවහනේ දී ඔහු සමග කළ සංකථනය යි.
“ගඟුල්, දවසක ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ ජීවිත කාලය පුරා ඔබට යන්න ගමනක් තියෙනවා, ඒත් ඒ හඳටවත් දෙවියන් වෙතටත් නෙමේ, ඔබ තුළට ම යි කියලා. අදිකාරම්තුමා තමා තෝර ගන්නෙ සඳ ගමන නෙමෙයි හද ගමන කියලා අපට බොහොම සරල වචනවලින් කිව්වෙත් ඒ කාරණේනෙ. අපේ මේ ජීවිත කාලය බොහොම කෙටි යි ගඟුල්. අපි ඒක තේරුම් ගත්තොත් අපි ජීවත් වෙන රටාව වෙනස් වෙනවා. ඒක මෙතෙන්ට ම දැනුණට පස්සෙ කවුරු අපි එක්ක තරහ උනත් අපට කාත් එක්කවත් තරහ වෙන්න බැහැ ගඟුල්.”
සහන් ඒ ප්‍රකාශය කෙළේ සිය හද මත අත තබමිනි.
“මට මතක යි, අපි ෆස්ට් ඉයර්රෙකේ ඉන්න කොට සර් දවසක් අපිත් එක්ක, අපි ජීවත් වෙන කාලය දවස්වලින් විස්තර කළා. ඇත්තට ම සර් අපිට තේරුමක් නැති දේට යොදවන්න කාලයක් නෑ නේද? අපේ ම සමහර වැඩ දිහා බලන් ඉන්න කොට මට මතක් වෙන්නෙ අර ක්‍රිෂ්ණජී කියපු ඔබ ඉදිරියෙන් ඇත්තේ අනන්ත අපරිමාණ ආකාශය යි, ලෝකය යි, ඒත් ඔබ කරන්නෙ ඉවතට පාවෙලා යන වලාකුළක් වෙනුවෙන් සටන් කරන එක කියලා. මට ඊයේ රෑ 12 ට මතක් උනෙත් ඒ කතා කරපු දේවල් ම තමයි සර්.”
“මොකෝ ගඟුල් රෑ 12ට කිව්වෙ. ඒකට ඔයාට විශේෂ හේතුවක් තිබුණ ද?”
“ඇයි සර් 12 ලබන්නත් ඉස්සෙල්ලනෙ අපේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරන්න පටන් ගත්තෙ. බල්ලන්ගෙ, පූසන්ගෙ කන් හරි සංවේදියිනෙ සර්. ඒ වෙලාවට උන් බය වෙනවා, අපිත් අන්දමන්ද වෙනවා.”
“අර්ථසම්පන්න විදියට යමක් කළාට ඒකෙ වරදක් නැහැ ගඟුල්. ඒත් තමන්ටත් වැඩක් නැති, ලෝකෙටත් වැඩක් නැති සත්ත්ව ලෝකෙටත් හිරිහැරයක් වෙන වැඩ කරන එකේ නං තේරුමක් නැහැ ගඟුල්.”
“සර් අපේ අදිකාරම්තුමා ඔය රතිඤ්ඤා පත්තු කිරිලි ගැන මොකුත් කියලා නැද්ද?”
“මොකද නැත්තෙ. හැබැයි එහෙම දෙයක් සිතිවිලි පොත්වල තියෙන තැනක් ගැනනං මට මතක නැහැ. ඒ උනාට අපි ඉන්න තැනම දවසක එතුමා හරි ලස්සන කතාවක් කිව්වා අපි කාටත් හිතන්න.”
“ඒ මොකක් ද සර් ඒ.”
“එතුමා කියන්නෙ මිනිස්සු අවුරුද්දක් ඉවර වෙලා ඊළඟ අවුරුද්ද පටන් ගන්න දවසෙදි හරි, නැත්තං අලුත් අවුරුද්ද ලබන දවසෙදි හරි එහෙමත් නැත්තං නත්තලට හරි රතිඤ්ඤා පත්තු කරලා බලනවලු තමන් ඉන්නව ද කියලා.”
“ඒ කිව්වෙ සර් මට ඒක තේරුන් නැහැ.”
“ඇයි ගඟුල් සද්දෙ ඇහෙන කොට ආ මන් ඉන්නව නේද කියලා ඒ අයට දැනෙනවා ඇති කියලයි අදිකාරම්තුමා කියන්නෙ.”
“ඒක හරිම උත්ප්‍රාසාත්මක කියමනක්නෙ, අපිට හිතන්න දේකුත් තියෙන. සර් ඒ වගෙම මන් කැමතියි අද වගෙ දවසක අර දින වශයෙන් අපි ජීවත් වෙන කාලෙ ගැන කරපු මාතෘකාවට යන්න. මන් මෙහෙම ගන්නන්කො සර් ප්‍රශ්නෙකින් ම ඒකට ප්‍රවේශෙ. දැන් අදට දින වශයෙන් සර්ගෙ වයස කීය ද?”
සහන් එයට පිළිතුරු දීම සඳහා මඳ වෙලාවක් ගත්තේ ය; අනතුරුව කතා කෙළේ ය.
“දින හැටියට නං මන් මේ වෙන කොට අදට දවස් 23,017ක් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නෙ අවුරුද්දකට දවස් 365 යි කියලා බලලා ගණන් හැදුවහම තමයි ඒ ගාණ එන්නෙ. අවුරුදු පහක් කියන්නෙ දවස් 1825 යි. අවුරුදු දහයක් කියන්නෙ දවස් හැටියට ගත්තොත් 14,600 යි. එතකොට අවුරුදු 60ක් කියන්නෙ දවස්වලින්නං 21,900 යි. උපන් දිනේ ඉඳලා අවුරුදු 63 වෙනකන් ගණන හදලා 63 ලා මන් 80 වෙනි උපන් දිනේ වෙනකන් හිටියොත් කියලා උපකල්පනය කරලා ගණන් හැදුවොත් මට තව තියෙන්නෙ දවස් 5123 යි. ඔය ගාණ එන්නෙ මනුස්සයෙකුට අවුරුදු 80 ක් ජීවත් වෙන්න පුළුවන් කියන උපකල්පනේට ගියහම යි. ඕක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.”
“සර් ඔහොම හිතන කොට පොඩි බයක් වගේ හැඟීමකුත් එනවනෙ.”
“ඉතින් ගඟුල්, බයක් ආවත් අපි ඇත්තට මූණ දෙන්න එපැයි. අපි කැමති උනත් අකැමති උනත් ජීවන සංසිද්ධිය කියන දේ සිද්ද වෙන්නෙ එහෙම නං අපි ඒක දැනගෙනයි වැඩ කරන්න ඕනෙ. ඔයා කියන එකේ ඇත්තක් නැත්තෙම නෑ කියන්න බෑ. මොකද ඔහොම හිතෙන කොට අපේ ම හිත්වලට පොඩි බයක් දැනෙන්න පුළුවන්. ඒ උනාට ගඟුල්, මන් දැන් ජීවත් වෙන්නෙ මැරෙන බව දන්න මිනිහෙක් හැටියට.”
“සර් ම දවසක් අපට උපනිෂද් උගන්නන කොට කඨෝපනිෂද්වල තිබිච්ච පාඨයක් අරන් කිව්වෙ හරි දීර්ඝයි කියන ජීවිතයක් උනත් හරි අල්පයි කියලා.”
“ඔව් මට මතකයි ගඟුල් ඒක. ඒක නචිකේතස් කියන ඔයාගෙ වයසෙ හිටපු තරුණ සත්‍ය ගවේෂකයා ධර්මයෛ් වගේම මරණයේ දෙවියන් විදිහට හින්දු සම්ප්‍රදායෙ විස්තර වෙන යමට කියපු දෙයක්නෙ. යම එයාව පරීක්ෂා කරන්න අශ්වයන්, ධනය භෞතික සම්පත් වගෙම නැටුම් ගැයුම් වගේ හිත පිණවන අංග දෙන්න හැදුවහමනෙ නචිකේතස් කියන්නෙ මේ සම්පත් ඔයාම තියාගන්න, මොකද හරි දිගයි කියලා හිතාගෙන ඉන්න ජීවිතයත් හරි කෙටියිනෙ කියලා.
”මට මතකයි සර්, සර් ම තමයි අපිට කඨෝපනිෂද් ඉගැන්නුවෙ. මට මතකයි ඔය අදහස තියෙන උපනිෂද් පාඨයත්.
“අපි සර්වං ජීවිතමල්පමේව. තවෛව වාහාස්තව නෘත්‍යගීතේ.”
“සර්, ඔය විදිහට හිතන්න ගියොත් අපි ඉස්සෙල්ලත් කතා කරපු විදිහට මිනිස්සුන්ට තමන්ට ලැබිච්ච ජීවිතේ ගැන බයක් දැනෙන්න පුළුවන්නෙ.”
“ඒකට අපි කරන්න තියෙන්නෙ අපි හිතන විදිහ වෙනස් කරන එකනෙ ගඟුල්. ලෝකෙට ආපු ශාස්තෘාන් වහන්සේලා දාර්ශනිකයො කියන්නෙම ආවනං යන්න වෙන බව දැනගෙන ජීවත් වෙච්ච, ඒ වගෙම තමන් ඉන්න කාලෙ හිටපු අයට විතරක් නෙමෙයි ලෝකය පවතිනකන් ඒ ලෝකෙට යන එන අයට මැරෙනකන් ලස්සනට ජීවත් වෙන හැටි කියලා දුන්න අයනෙ. ඔයත් බොහොම රුචිකත්වයකින් කියවන ක්‍රිෂ්ණජී මරණය ගැන, ජීවිතය ගැන හරි කරපු හරිම වටින ප්‍රකාශ ගොඩක් තියෙනවා.”
“සර්ට එහෙම වැඩියෙන් ම දැනිච්ච එක තැනක් හරි මතක් කරනවනං මන් කැමතියි සර් දැන්.”
“ගඟුල්, ඔයාට මතක ද ක්‍රිෂ්ණජීගෙ සොබාදහම සහ ජීවිතය කියන පොත. අර පොත් රාක්කෙ දෙවෙනි තට්ටුවෙ තියෙනවා ඒ පොත. ඒක ගේන්න ගඟුල් එතනින්.”
ගඟුල් ඒ පුස්තකය ගෙන ආවේ සිය ආචාර්යවරයාට මෙසේ පවසමිනි.
“සර්, මේ මාත් ගොඩක් කැමති පොතක්නෙ. මන් මේ පොතටත් කැමතියි ඒකෙ පරිවර්තනේටත් කැමතියි මේකෙ පිටකවරෙටත් කැමතියි.”
“ගඟුල්, මේ ක්‍රිෂ්ණජීගෙ Krishnamurti To Himself – His Last Journal කියන පොතේ සිංහල පරිවර්තනය. මේ පරිවර්තනය කළේ අපේ මිත්‍රයෙක්. ඒ ගාමිණී පත්බේරිය. දැන් ගාමිණි ජීවතුන් අතර නැහැ. පිටකවරය ඇන්දෙ සමන් අය්යලත් එක්ක එකට ඉගෙන ගත්ත චන්දන අය්යා.”
“සර් චන්දන අය්යා කිව්වෙ සර්ගෙ රාවණ පොතේ වගෙම තව පොත් කීපෙකත් පිටකවරෙ ඇඳපු චන්දන වීරසිංහ මහත්තයා නේද?”
“අන්න හරි ගඟුල්, දැන් ඔයා පෙරළන්න ඕකෙ අන්තිම පිටුව. ඔය සටහන ක්‍රිෂ්ණජී දාලා තියෙන්නෙ 1984 මාර්තු 30 වෙනිදා. ඒක දින සටහනක්. ක්‍රිෂ්ණජී ඒ සටහන පටන් ගන්නෙ තමන් දකින පරිසරය ගැන අපූරු විස්තරයක් කරලා. ඊට පස්සෙ එතුමා අහනවා මිනිස්සු මේ තරම් දුක්ඛිත ව, අසතුටින් රෝගයකින් වියපත් වීමෙන්, ජරාවට යෑමෙන්, ශරීරය හැකිලීමෙන් මැරෙන්නෙ, අප්‍රසන්න ව මැරෙන්නෙ ඇයි කියලා. ඔහු ප්‍රශ්න කරනවා ගහකින් වැටෙන කොළයක් වගේ ස්වාභාවික ව ලස්සනට මැරෙන්න අපට බැරි ඇයි කියලා.”
“සර්, ලස්සනට මැරෙනවා කියන එකෙන් ක්‍රිෂ්ණජී අදහස් කළේ ඉන්නකන් නිවැරදිව වගෙම සුන්දර ව ජීවත් වෙලා සතුටින් ලෝකය අතහැර යන එක නේද?”
“ඔව් ගඟුල්, ඔයා ගුරුවරයෙක්. මෙතෙන්දි ඔයා අපටත් වඩා විශේෂ වෙන්නෙ ඔයා විශ්වවිද්‍යාලයයි පාසලයි කියන අධ්‍යාපන නිකේතන දෙක ම එකට සම්බන්ධ කරන පාලමක් වෙච්ච ගුරුවරයෙක් නිසා. ගඟුල්, ක්‍රිෂ්ණජී කියන්නෙ ළමයින්ට ගණිතය, ලිවීම, කියවීම සහ දැනුම රාශිභූත කර ගැනීමේ ක්‍රියාවලිය උගන්වන ගමන් ම ඔවුන්ට මරණයේ මහත් උදාරත්වය ද උගන්වන්න ඕනෙ කියලයි. අවසානයේ දී මුහුණ දෙන්නට සිදුවන අශුභ දුක් සහිත දෙයක් හැටියට මරණය දිහා බලන්න නෙමෙයි, දිනපතා ජීවිතයේ දී සාමාන්‍යයෙන් සිදු වන දෙයක් දිහා බලන විදිහට මරණය දකින්න ළමයින්ට උගන්නන්න කියලයි.”
“සර්, ක්‍රිෂ්ණජී ඔය දේශනේ දීම නේද කියන්නෙ නිල්වන් අහස දිහා වගෙම ගහක කොළයක ඉන්න පළගැටියෙක් දිහා බලන විදිහට මරණය දකින්න දරුවන්ට උගන්නන්න කියන කාරණෙත්. එතුමා කියන්නෙ මරණයේ නියම ස්වභාවය අවබෝධ උනාට පස්සෙ හැම දෙයක් ම මරණයට පත් වෙනවා, දූවිල්ලෙන් දූවිල්ලට පත් වෙනවා කියලා අමුතුවෙන් උගන්නන්න අවශ්‍ය නැහැ කියලයි. මොකද ඒ ගොල්ලො ජීවිතයයි මරණයයි කියන්නෙ දෙකක් නෙමේ එකක් කියලා අවබෝධ කරගෙන තියෙන නිසා. එතකොට අපේ දරුවො, මරණය කියන්නෙ අවුරුදු පණහක් හැටක් එහෙම නැත්තං අවුරුදු අනූවක් ගියාට පස්සෙ ජීවිතේ අවසන් වෙන කොට වෙන දෙයක් නෙමෙයි අර ගහකින් කොළයක් වැටෙනව වගේ දෙයක් ය කියන අවබෝධය ලබලා තියෙන නිසා.”
“ඇත්තටම ගඟුල්, මරණය කියන්නෙ බය වෙන්න ඕනෙ දෙයක් වත් මග හරින්න ඕනෙ හරි, මග හරින්න පුළුවන් දෙයක් හරි නෙමෙයිනෙ. මේක අපේ ජීවිතේ ම කොටසක්. මේ වගෙ අවබෝධයක් එක්ක වැඩෙන ළමයා මරණයට බය වෙන්නෙ නැහැ. ක්‍රිෂ්ණජී කියන හැටියට අපි බය වෙන්න ඕනෙ, අපිට ඉස්සෙල්ලා ජීවත් වෙච්ච හැම පරම්පරාවක් ම මේ වෙනකනුත් ජීවත් ව හිටියානං කියලා. එහෙම උනානං ලෝකය මොන තරම් බය ගෙන දෙන තැනක් වෙයි ද කියලයි එතුමා කියන්නෙ.”
“සර්, මේ මරණය ගැන කරන සාකච්ඡාව ක්‍රිෂ්ණජී ආදරය, දයාව, අහිංසාව ගැන කරන සාකච්ඡාවක් බවට පත් කරනවා නේද?”
“බලන්න ගඟුල්, ඔය ලිපියෙ අන්තිම ඡේදයට කලින් තියෙන ඡේදෙදි එතුමා ඒ ගැන නේද අවධානය යොමු කරලා තියෙන්නෙ කියලා. එතුමා ආහාර පිණිස සත්ත්ව ඝාතනය කරන එකට, විනෝදය පිණිස, ක්‍රීඩා පිණිස උන් මරන එකට විරුද්ධ වෙන්නෙ පදනමක් ඇතුවයි. ක්‍රිෂ්ණජී මුවකු මැරීම සමාන කරන්නෙ තමන්ගේ අසල්වැසියා මැරීමට. එතුමා අපට පෙන්නලා දෙන විදිහට මිනිස්සු සතුන් මරන්නෙ සොබාදහමත් එක්ක, මේ මහපොළොවෙ ජීවත් වෙන සතුන් එක්ක අපේ තියෙන සම්බන්ධතා ගිලිහිලා තියෙන නිසයි. ඒ වගෙම යුද්ධවලදි නොයෙක් විචිත්‍ර අනුරාගී ජාතිවාදී හරි, දේශපාලන අදහස් හරි, දෙවියන්ගෙ නාමයෙන් හරි, ආගමික දෘෂ්ටි නිසා හරි මිනිස්සු මිනිස්සුන්වත් මරන්න සූදානම්. දැන් හිංසාවයි මැරීමයි එකට ගමන් කරන දෙයක් වෙලා.”
“ඒත් එහෙම නොහිතන මානව ප්‍රජාවකුත් අපට ඉන්නවා නේද? අපිට අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ එහෙම අය අතරෙ ඉන්න කොට නේද?”
“ගඟුල්, දැන් ඔයා මාව ගෙනාවෙ තවත් වෙනස් මාතෘකාවක් ළඟට. මට දැන් මතක් වෙන්නෙ මීට සතියකට කලින් අපි දෙන්නම අපේ අද්දැකීම් ආශ්‍රයෙන් ලියමු කියලා කතා කරගත්ත මාතෘකාවක්. මන් දැන් වැඩේ පටන් අරගෙනයි තියෙන්නෙ. මන් හිතන්නෙ ඔයත් පටන් අරගෙන ඇති.”
“ඇත්තට ම මොකක් ද සර් ඒ මාතෘකාව. අපි ගොඩක් දේවල් කතා කරන නිසා එකපාරට ඒක මොකක් ද කියලා ඔළුවට එන්නෙ නැහැ.”
“හැබැයි ඒ මාතෘකාව යටතෙ අපි දෙන්නට කලින් ලියපු අය ඉන්නව. මන් කියන්නංකො. මාතෘකාව මිනිසුන් අතර.”
“හරි හරි සර්, මට දැන් හොඳට ම මතකයි. අපිට ඒ මාතෘකාව ආවෙ අපි එදා මැක්සිම් ගෝර්කිගෙ නිර්මාණ ගැන කතා කරපු දවසෙයි. විශේෂයෙන් ගෝර්කිගෙ ජීවිත කතාව ගැන කියන්න ගිහිල්ලා. මට මතක හැටියට පළවෙනි පොත ගෝර්කිගෙ ළමා කාලය ගැනනෙ. දෙවෙනි පොත තමයි මිනිසුන් අතර. තුන්වෙනි නැත්තං අන්තිම පොත මගේ සරසවි.”
“ඒ වගෙම අපි මෙතෙන්දි මතක් කරන්න ඕනෙ කරන තව පොත් තුනක් තියෙනවා. ඒ ලියෝ ටොල්ස්ටෝයි කියන රුසියානු මහ ගත්කරුවා තමන්ගේ ජීවිතය සමාලෝචනය කරමින් ලියපු පොත් තුන. එකක් Childhood, දෙවෙනි පොත Boyhood, තුන්වෙනි පොත Youth. මේකෙන් Childhood කියන පොතයි Boyhood කියන පොතයි එකට අරගෙන අපේ මානෙල් කරුණාතිලක ලේඛිකාව හොඳ සිංහල පරිවර්තනයක් කරලා තියෙනවා. ටොල්ස්ටෝයි මුලින් ගෘහ සාමාජිකයන් අතර ඉඳලා ලබපු අද්දැකීම් ගැන කියනවා. ඊට පස්සෙ පාසලෙන් මිතුරු මිතුරියන් අතරෙ ඉඳලා ලබපු අද්දැකීම් ගැන කියනවා. ඊටත් පස්සෙ ඒක තවත් පෘථුල කරලා මහ සමාජෙට යනවා.”
“සර්, ඒ පොතේ වඩාත් දැනුණු තැනකින් අපි අපේ මාතෘකාවට යමු ද?”
සහන් සිය පොත්ගුලෙන් එම පොත අතට ගත්තේ ය. අනතුරුව ඔහු විසින් කියවන්නට යෙදුණේ එහි එන පහත සඳහන් ඡේදය යි.
“කෙනෙකු තමා ආදරය කළ අයකු ගේ නම සිහි කරන විට කඳුළු අතරින් අපැහැදිලි ව පැරණි මතකයන් මතු වී එයි. මේ කඳුළු මතකයන්ගේ කඳුළු ය. මගේ මව ගැන සිහි කරන විට නිරතුරුව ම ආදරය හා කරුණාව පළ කළ ඇගේ දුඹුරු දෑසත්, බෙල්ලෙහි වූ රැළි ගැසුණ කෙස් ගහක් සහිත උපන් ලපයත්, එම්බ්‍රොයිඩර් කරන කරන ලද සුදු කර සහිත ගවුමත්, නිතර මා විසින් සිප ගන්නා ලද ඇගේ සිනිදු සිසිල් අතුත් සමග ඇගේ මුළු රුව සමස්තයක් ලෙස මට පෙනේ.”
“බාහිර ස්වරූපෙන් වෙනස් උනාට ලෝකෙ ඉන්න කොයි අම්මත් ගුණ රූපයෙන් එකයි සර්.”
ඉමහත් හැඟීමකින් එසේ කියූ ගඟුල් තෙමේ ම යළිත් කතාවට අවතීර්ණ වූයේ ය.
“සර් ඔය පොත් දෙකට අමතරව තියෙන එකම ලේඛකයෙක් ලියපු තවත් පොත් තුනක් මතක් උනා දැන් මට.”
“ඔව් ගඟුල් එහෙමනං අපි ඒකත් මෙතෙන්ට සම්බන්ධ කරලා ඉම්මු.”
“සර් ලේඛකයා බා ජින්.”
“චීන ලේඛක බා ජින්.”
“අර The Family කියන අනුවේදනීය පොත ලියපු ලේඛකයා. මට ඔය පොතත් එක්ක මතක් වෙන මහ අනුවේදනීය දෙයක් තියෙනවා. ඔය පොතට හරිම ලස්සන පරිවර්තනයක් කළා ආනන්ද කුමාර කියන ලේඛකයා. මන් ඔයාගෙ වයසෙ ආචාර්යවරයෙක් ව ඉන්න කාලෙ තමයි ඒක කියෙව්වෙ. මන් ඒක කියවලා කොච්චර දැනුන ද කිව්වනං මන් ඒක කියවලා අවසන් කරපු දවසෙම රෑ එතුමට ලියුමක් ලිව්වා ඒ පරිවර්තනය අගය කරලා. මට මතක හැටියට ඒ පොතේ ම සඳහන් වෙලා තිබුණ මීගොඩ පැත්තෙ ලිපිනයකට මන් ලියුම තැපැල් කළා. ඔයාට කියන්න ගඟුල්, මට හැරෙන තැපෑලෙන් ම ලියුමක් ආවා එතුමාගෙන්, බොහොම අමාරුවෙන් වගෙ ලියපු කටු අකුරුවලින්.”
“මොනාද සර් ඒ ලියුමෙ තිබුණෙ?”
ගඟුල් ඇසුවේ නොතිත් කුතුහලයෙනි.
“ඒකෙ තිබුණෙ ගඟුල්, මන් දැන් වයසයි, ඒ වගෙම ඇස් පේන්නෙත් නැහැ ය, පරිවර්තනේ අගය කරලා එවපු ගැන ගොඩක් සතුටු හිතුණ ය, එහෙම පාඨකයොත් එක්ක කතා කරන්න ආස ය, පුළුවන් දවසක මාව බලන්න එන්ඩ ය කියලා.”
“ඉතින් සර් ගියා නේද එතුමව බලන්ඩ.”
“නෑ ගඟුල්, ඒ දවස්වල තිබිචච් වැඩත් එක්ක මට යන්න හම්බ උනේ නැහැ. මට අදටත් ඒ ගැන පසුතැවිල්ලක් තියෙනවා. මට මතකයි අපේ අය්යා කියපු දෙයකුත්. මල්ලි, ඔය වගෙ ගමන් කල් දාන්න එපා, එහෙම කළොත් ඔයාට ම තමයි පස්සෙ පසුතැවිලි වෙන්ඩ වෙන්නෙ කියලා. අය්යා කියපු එක ඇත්ත ගඟුල්. අපේ ජීවිතේ සමහර වැඩ තියෙනවා කල් දාන්න බැරි, ඒ වගෙම කල් නොදැමිය යුතු. මොකද පස්සෙ ඕන උනත් ඒ අද්දැකීම ආයෙ කවදාවත් ලබන්න බැරි වෙන නිසා.”
“මට තේරුන් ගන්න පුළුවන් සර්. මන් අද සර්ගෙන් තවත් පාඩමක් ඉගෙන ගත්තා ජීවිතේට.”
“ඔයා හරි ගඟුල්, ගුරුවරුන්ට වැරදුණු, ඒ වගෙම අතපසු උනු තැන් හදාගෙන ගමයි ශිෂ්‍යයා ඉස්සරහට යන්න ඕනෙ. දැන් මන් කැමතියි මට මග හැරිච්ච, ඔයාට හමු වෙච්ච, බාජින්ගෙ අර පොත් ගැන කියනවනං.”
“සර් මන් ඒ පොත් ගැන මුලින් ම දැන ගත්තෙ අනුල ද සිල්වා ලේඛිකාවගෙ පොතකින්. එයා බා ජින්ගෙ Ice Cold Nights කියන පොත සිංහලට පරිවර්තනය කරලා තිබුණා ‘හිම මිදුනු රාත්‍රිය’ කියලා. මේ පොතට ලියපු පොඩි හැඳින්වීමෙ බා ජින් ගැනත් එයාගේ නිර්මාණ ගැනත් සඳහන් කරලා තිබුණා. ඒ පොතේ තමයි තිබුණෙ එයා තමන්ගෙ ජීවන වෘත්තාන්තය කොටස් තුනකින් ලිව්වා කියලා. ඊට පස්සෙ තමයි මම Torrent, Spring වගෙම Autumn කියන ඒ පොත් තුන හොයාගෙන කියෙව්වෙ.”
“ඔයාගෙ ඔය කතාව ඔප්පු කරන්නෙත් ශිෂ්‍යයා ගුරුවරයා පහු කරගෙන ඉස්සරහට යනවා කියන එකනෙ. දැන් ඔයා හදන්න ඕනෙ ඔයාවත් පහු කරගෙන ඉස්සරහට යන ශිෂ්‍ය ප්‍රජාවක්.”
“සර්, අපිට සිංහල සාහිත්‍යෙනුත් පුළුවන් නේද අපි කතා කරන කාරණේට උදාහරණ මතු කර ගන්න.”
“මොකෝ බැරි, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ උපන්දා සිටත් මේකට සම්බන්ධ කරන්න පුළුවන්.”
“ඒ උනාට සර් අපි ඉස්සෙල්ලා කතා කරපු පොත් වගේ එතන පොත් තුනක් නෑනෙ. උපන්දා සිට කියන්නෙ තනි පොතක්නෙ.”
“උපන්දා සිට තනි පොතක් තමයි ගඟුල්. ඒ උනාට ඒකෙ තියෙනව නේද බාල විය, තරුණ විය, මැදි විය කියලා කොටස් තුනක්. ඒවත් ජීවිතේ අවදි තුනක් ගැන තියෙන පුංචි පොත් තුනක් කියලා කිව්වට වරදක් නැහැ කියලයි මට හිතෙන්නෙ.”
“එහෙමනං සර් අපිට පුළුවන්නෙ පරිපාලන නිලධාරියෙක් වෙච්ච පාදෙණිය මහත්තයා ලියපු, තමන්ගෙ ජීවිත කතාව ම වෙනස් විදිහට කියන පොත් තුනත් ඒ කැටගැරියටම දාන්න. ඔය පොත් තුනම ගෙනල්ල දවසක් මගෙ අතට දුන්නෙත් සර්ම තමයි. ඒවා චරිතාපදාන වගෙම රසවත් නවකතා පොත් තුනක් හැටියටත් අගය කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.”
“ඔව් ඔයා හරි. ඔයා මේ කියන්නෙ පාදෙණිය මහත්තයගෙ දඩබ්බරයා, වසවර්තියෙක් නොවීමි, ලෝකෝත්තරයෙක් ද නොවීමි කියන පොත් තුන. අපේ දුවත් අගය කරන, අදටත් ඒකෙ තියෙන රසවත් තැන් මතක් කරන පොත් තුනක් තමයි ඒ.”
“හැබැයි සර්, මන් ඔය පොත් තුනේම අන්තර්ගතේට කැමති උනාට අර ලෝකෝත්තරයෙක් ද නොවීමි කියන පොතේ නමට නං කැමති නෑ. මොකද සර් මහ උතුම් තේරුමක් තියන නමක් කයිරාටික කියන අර්ථෙ දෙන තැන නතර කරන එකට මට එකඟ වෙන්න බැහැ.”
“එතෙන්දි මාත් ඔයත් එක්ක එකඟයි ගඟුල්. මෙතෙන්දි පාදෙනිය මහත්තයා එච්චර ගැඹුරට හිතන්නෙ නැතුව සමාජෙ භාවිත අර්ථෙ හිතලා, ඒ කියන්නෙ තමන් ඒ කියන අර්ථෙන් ලෝකෝත්තර වැඩ එහෙම නැත්තං කපටි සූත්තර වැඩ කළේ නැහැ කියන කාරණේ කියන්න තමයි හිතලා තියෙන්නෙ. ඒ උනාට මෙතන අර්ථය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා කියන එක මාත් පිළිගන්නවා.”
“සර් මිනිසුන් අතර අද්දැකීම් හරි ලස්සනට විස්තර වෙන ගුරු ජීවිත අද්දැකීම් ගැන ලියවෙච්ච පොත් ටිකකුත් තියෙනව නේද අපේ සාහිත්‍යෙට එකතු වෙච්ච.”
“ටිකක් නෙමෙයි ගොඩක් තියෙනවා ගඟුල්, අපිට වෙනම දවසක් යාවි ඒ ගැන කතා කරන්න.”
“අපිත් මිනිසුන් අතරෙ ඉඳලා ලබපු අද්දැකීම් ගැන ලියමු කියලයි සර් අපි කතා උනේ. මමත් පටන් ගත්තා. මන් කැමතියි සර් ඒ ගැන ලියපු දේවල් ගැන කතා කරනවනං. මට ඒවයින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබේවි.”
“නෑ ගඟුල්, ඒ ප්‍රකාශෙ සංශෝධනය කරලයි කතා කරන්න ඕනෙ. මගෙන් ඔයාට වගෙම ඔයාගෙන් මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා කිව්වොත් තමයි හරි.”
“සර් පටන් ගන්න. මන් එතකොට මගේ අද්දැකීමුත් ඒකට සම්බන්ධ කරන්නං.”
“ගඟුල්, දැනුත් ඒ සටහන් මන් ළඟ තියෙනවා. මන් පටන් ගත්තෙ පහුගිය අවුරුද්දෙ මිනිසුන් අතර ඉඳලා ලබපු අද්දැකීම්වලින්. ඊට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්දට පස්සට යන්න යි හිතුවෙ. ඒ කියන්නේ දැන් ඉන්න තැන ඉඳලා අවුරුද්දෙන් අවුරුද්ද අතීතෙට යන එක.”
“ඒක එතකොට ජීවිතය ගැන සමාලෝචනයකුත් වෙනවනෙ සර්. සර්, පටන් ගන්නකො සර් ඔය පොතේ පටන් ගත්ත තැනින් ම.”
“ඒ අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා දවස් දෙකකට කලින් මට කතා කරනවා ඒ වෙන කොට කොට ලංකාදීප විධායක කර්තෘ වෙලා හිටිය සිරි රණසිංහ මහත්තයා. එතුමා කියනවා මට අලුත් විදිහෙ අලුත් අවුරුදු ප්‍රාර්ථනාවක් ලියලා එවන්න කියලා මිනිසුන් අතරට යවන්න.”
“එතකොට සර් මොකක් ද අපේ රණසිංහ මහත්තයට ලියලා යැව්වෙ.”
“මන් ලියලා යැව්වෙ ගඟුල් ‘සදර්ථ උත්පාදනා සුප්‍රවර්ෂ ප්‍රාර්ථනා’ කියලයි.”
“ඒ කියන්නෙ හොඳ අර්ථ ඇති කරවන සුබ නව වසරකට ආසිරි කියන එකමනෙ. ඉතින් ඒක පත්තරේ ගියා ද?”
“පත්තරේ ගියා කියන එකට වඩා හරි, අපේ රණසිංහ මහත්තයා ඒ ප්‍රාර්ථනාව ජනවාරි පළවෙනිදා මිනිසුන් අතරට ගෙන ගියා කියන එකයි.”
“ඊට පස්සෙ සර් මොකක් ද ලියලා තියෙන්නෙ.”
“අපේ පවුලෙ හිතවතියක් වෙච්ච මාලිනී සොයුරියට අවසන් ගෞරව දක්වන්න ගියා කියලයි තියෙන්නෙ. එතෙන්දිත් අපි ගොඩක් දෙනා හම්බ වෙලා කතා කළා. එතන කතා කරපු එක මාතෘකාවක් තමයි මරණය. මන් එදා දිනපොතේ කාලිදාස කවියගෙ රඝුවංශෙ එන ‘මාරුතිඃ සාගරඃ තීර්ණඃ සංසාරමිව දුර්ගමඃ’ කියන ප්‍රකාශෙත් ලියලා තියෙනවා.”
“ඒක හරි ලස්සන අර්ථවත් ප්‍රකාශයක්නෙ. මාරුතය සාගරය තරණය කළේ දුර්ගම සංසාරය වගෙයි කියන අදහස නේද ඒකෙ තියෙන්නෙ.”
“ඔයා හරියට ම අර්ථය ගත්තා ගඟුල්. ඔයා දන්නව ද ගඟුල්, මන් ඊළඟට කරලා තියෙන්නෙ මේ ලෝකෙට සුළඟක් වගේ සුවය ගෙන දිදී හමා ගිය චරිතයක් ගැන අපේ තරුණ සන්නිවේදකයෙක් වෙච්ච දිනූෂ කුඩාගොඩගෙ එක්ක සාකච්ඡාවක් කරන එක.”
“කවුද සර් ඒ සුවදායක සුළඟ?”
“ගඟුල්, ඒ ආචාර්ය අදිකාරම්තුමා. අපි ඒ සාකච්ඡාව කළේ ප්‍රණීත් අභයසුන්දර මහාචාර්යතුමත් එක්ක ඉදිරි දවසක විකාසනය වෙන චරණ රූපවාහිනී වැඩ සටහනකට පූර්ව ප්‍රවේශයක් හැටියට. ඒකෙන් පස්සෙ මන් අපේ ආදි ශිෂ්‍ය ලංකාදීපෙ අජන්ත අගලකඩත් එක්ක කතා කරලා තියෙනවා අදිකාරම්තුමාගෙ ලේඛන අලුත් පරම්පරාව අතරට ගෙන යන එක ගැන.”
“ඊට පස්සෙ සර් මිනිසුන් අතරට ආවෙ කොයි විදිහට ද?”
“ගඟුල්, ඒ ප්‍රශ්නෙ අහපු විදිහට මන් කැමතියි. මොකද මට ඒකට දෙන්න තියෙන්නෙත් ටිකක් වෙනස් උත්තරයක් නිසා.”
“වෙනස් උත්තරයක් කිව්වෙ සර්.”
“වෙනස් උත්තරයක් කිව්වෙ මන් ඊළඟට මිනිසුන් අතරට ගත්ත ප්‍රාර්ථනා, උත්තර මානව ප්‍රජාවක් විසින් කියන්ට යෙදිච්ච ප්‍රකාශ නිසා; ඒක භෞතික හමුවීමකට එහා ගිය ආධ්‍යාත්මික හමුවීමක් නිසා.”
“සර්, ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?”
“ගඟුල්, මන් මේ කාරණේ අර ගත්තෙ පාලි ත්‍රිපිටකේට අයිති කථාවත්ථුප්පකරණයෙන්. මන් ඒකෙ සිංහල අර්ථෙ කියන්නංකො මෙහෙම.
“වෘක්ෂයෝ නිත්‍යපුෂ්ප ඇති වෙත්වා! වෘක්ෂයෝ නිත්‍යඵල ඇති වෙත්වා! නිත්‍ය ජ්‍යොත්ස්නා ඇති වේවා! නිත්‍ය ක්ෂේම ඇති වේවා! නිත්‍ය ස්වස්ති වේවා!”
“හරි මට දැන් පැහැදිලියි සර්. සර් කියන්නෙ මේවා ආධ්‍යාත්මික වශයෙන් අපට වඩා ගොඩක් ඉස්සරහට ගිය හින්දම උත්තර මානවයන් කියලා හඳුන්වන්න පුළුවන් පිරිසක් අතින් කියවුණා කියන එකනෙ. මේක මනුෂ්‍යයන් ඇතුළු මුළු සොබාදහම ම සුවපත් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවක්නෙ. ගස්වල මල් පිපෙන්න, පල හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරලා, ඊළඟට කරන්නෙ මහපොළොව ආලෝකවත් වෙන්න කියන ප්‍රාර්ථනාවනෙ. ඊටත් පස්සෙ අපි ඉන්න පරිසරය කෙම්බිමක් වෙන්න ප්‍රාර්ථනා කරන මේ අධ්‍යාත්මික මානව ප්‍රජාව අන්තිමට කියන්නෙ කාටත් යහපත ම වෙන්න කියලනෙ.”
“ඔයා හරියට ම අර්ථෙ ග්‍රහණය කරගත්තා ගඟුල්. දැන් ඔයාට ම පුළුවන් මූලාශ්‍රෙටත් යන්න.”
“ඔව් සර්, මන් පාලි පාඨය හොයාගෙන ඒක මගෙ දේශනයක් හරි පන්තියක් හරි අවසාන කරන කොට කරන ප්‍රාර්ථනා පාඨ අතරට ගන්නවා.”
“අන්න බොහොම හොඳ වැඩක් ඒක.”
“හැබැයි ඒ බොහොම හොඳ වැඩේ කියන එක ඉගෙන ගත්තෙ නං සර්ගෙන්. හරි දැන් ඊළඟට කවුද සර්ගෙ මිනිසුන් අතරට එන මානවයා.”
“ඒ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ. අපේ අසල්වාසී කල්‍යාණ මිත්‍රයෙක්. එයා දරුවන්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙලා ඒ දරුවන්ගෙ ජීවිත භෞතික ව වගෙම ආධ්‍යාත්මික ව සුවපත් කරන්න වැඩ කරන ජීවකයෙක්. තමන් නිර්මාංසික ජීවිතයක් ගත කරන ගමන් ලෝකෙ ඕනෑම කෙනෙකුට හිංසකත්වයෙන් තොර ආදරණීය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා කියන ජීවකයෙක්.”
“සර්, ඇත්තට ම අපිට ජීවක කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන් මානවයා ඇතුළු සත්ත්ව ප්‍රජාව ජීවත් කරවන කෙනාට මිස ජීවිත විනාශ කරන හරි, කරවන්න හරි අනුබල දෙන කෙනාට නෙමෙයිනෙ.”
“ඔයා හරි ගඟුල්. මේ ජීවිත සුරක්ෂිත කරන්න අනුබල දෙන ජිවකයෙක්. ඝාතනයෙන් තොර සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කියලා දෙන, පෝෂණයේ නාමයෙන් කරන මිථ්‍යා අදහස් ප්‍රචාරණයට විරුද්ධ කෙනෙක්. දැන් මේ වෙන කොට මේ විදිහට හිතන ජීවක පරම්පරාවක් අපිට ඉන්නවා. මන් හිතන්නෙ සමාජය මීට වඩා මේ චරිතවලින් ප්‍රයෝජන ගන්න ඕනෙ කියල යි. මට එතුමා වැඩියෙන් ම දැනුණෙ, දවසක් අපි එතුමාත් එක්ක දේශීය කෘෂිකර්මය සහ නිර්මාංසික ජීවන ප්‍රතිපදාව ගැන කතා කළා. එදා අපි අපේ මේ ජීවක මිත්‍රයගෙන් අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”
“සර් අපි කොහොම ද ඒ දේවල් අපිට ලබා ගන්නෙ.”
“විදි දෙකක් තියෙනවා. එකක් එතුමාව ඔයාට අඳුන්නලා දෙන එක. දෙක අන්තර්ජාලෙ එතුමගෙ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ අදහස් ගවේෂණය කරන එක.”
“සර් ඊළඟට මට කවුරු ගැන ද කියන්නෙ.”
“දැන් ඔයාට නං මගෙ මිනිසුන් අතර පොත ගැහැව්වට පස්සෙ අලුතින් කියවන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඇයි ඔයා ඔක්කොම දේවල් දැන් අහගන්නවනෙ. හරි මන් ඊළඟට කියන්නෙ ඔයත් දන්න කෙනෙක් ගැන. ඒ වෙන කවුරුවත් නෙමෙයි සමන් අය්යා.”
“ඒ නං ඉතින් එක මාතෘකාවක් නෙමෙයි මාතෘකා මහා ගොඩකට උල්පතක්නෙ.”
“අපේ ගෙදර ප්‍රතිසංස්කරණ වැඩ කීපයක් කෙරිච්ච කාලයක් ඒ. වහලෙත් තෙමෙන තැන් තිබිච්ච නිසා සම්පූර්ණ වහලෙ ගලවලා හදන්න ගත්තා. එදා අපි නිදා ගත්තෙ අහස පියස වෙච්ච වහලක් නැති ගෙදරක. ඒ රෑ මේ අප්‍රමාණ ආකාශය දකිමින් ඒ අහසෙ සුන්දරත්වය ගැන අය්යා කියපු දේවල් මට අද වගේ මතක් වෙනවා ගඟුල්.”
“මට සර් ඔහොම කතා කරන කොට මතක් වෙන්නෙ සිත්තර සිත්තම් පොතේ එන සිත්තම, ආකාශ චිත්‍රය, සුන්දරත්වයේ සත්‍යය, අතීතයෙන් ගඟ ගලා බසී වගේ ලිපි. මන් කැමතියි සර් ඔය පොතේ සමන් අය්යා ගැන ලියන දේවල් නිදහසේ කියවන්න. දැන් අපි ඉස්සරහට යමු.”
“ගඟුල්, මන් මිනිසුන් අතරට ඊළඟට අරන් තියෙන්නෙ හේම චන්ද්‍රිකා ලියනගේ කියන අපේ කලණ මිතුරිය. එතුමිය අපේ විශ්වවිද්‍යාලෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයනාංශෙ ඉගැන්නුවා. ඒ අතරෙ ම ළමයින්ගෙ හිතට කාවදින ළමා වගෙම යොවුන් නවකතා ලියලා නමක් දිනා ගත්තා. අපි එතුමිය හැඳින්නුවෙ ශ්‍රී ලංකාවේ එනිඩ් බ්ලයිටන් කියන නමින්. මන් එතුමියගෙ අභාවයෙන් පස්සෙ තුන්මාසෙ පින්කම පැවැත්වෙන දවසෙ තියපු දින සටහනටත් එක උල්පතක් තමයි එතුමිය. මෙන්න මගෙ අත් අකුරින් ම තියෙනවා ගඟුල්ට ම පුළුවන් කියවගන්න.”
අනතුරුව ඇසුණේ ගඟුල් මිනිසුන් අතර ඒ සටහන රඳවන හඬ යි.
“ලෝකය පවතිනවාට වඩා යහපත් කිරීම උදෙසා අපට කළ හැකි අංශුමාත්‍ර දෙය වුව ද කළ යුතු ය. එසේ ම ලෝකයේ හැමදාමත් වැඩි වශයෙන් සිටියේත් දැන් ඇත්තේත් සජ්ජනයන් මිස අසජ්ජනයන් නොවේ ය යන කරුණ ද අප විසින් අමතක නොකළ යුතු ය.”
“සර්, මේ ප්‍රකාශෙට පස්සෙ මිනිසුන් අතරට ගෙනත් තියෙන්නෙ ලක්ෂ්මන් රුද්‍රිගු, රූපා ඉන්දුමතී ගායක යුවළනෙ. ඒ දෙන්නගෙ ගීත, මානව ප්‍රේමය පවතිනවා වඩා උසස් තැනක රඳවන්න හේතු වෙච්ච හැටි ගැන සර් ලියලා තියෙනවා. මේවා අලුත් පරම්පරාවට යන්න ඕනෙ සර්.”
“මන් කැමතියි ඒ අලුත් පරම්පරාව නියෝජනය කරන ඔයාගෙන් එහෙම එක තැනක් දැන ගන්න.”
“බලන්න සර්, ඒ දෙන්නගෙ උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා ගීතය. මන් දන්න තරමින් මේ ගීතය ලිව්වෙ අපට හිටපු ප්‍රවීණ නිවේදිකාවක් වෙච්ච රත්නා ලංකා අබේවික්‍රම. මන් හිතන්නෙ සංගීතය මොහොමඩ් සාලි මාස්ටර්ගෙ. මට දැනිච්ච ම තැනනෙ සර්රුත් මෙතන සටහන් කරලා තියෙන්නෙ.”
“මිහිරි පෙම්කතා රහසින් කණට කොඳුරලා - සෙනෙහෙ ගඟ ගලයි හදවත් ඉවුරු තල තලා”
“ඔව් ගඟුල්, හද ඉවුරු තෙමා ගෙන ගලා යන්න ඕනෙ සෙනෙහෙ ගඟ ම තම යි. සෙනෙහස ගංගාවක් තරමට නොගලන නිසානෙ මේ ඔක්කොම ප්‍රශ්න. අපේ හදවත් ඇත්තට ම ස්නේහ උල්පතක් උනොත් අපිට ලෝකය වෙනුවෙන් වැඩ නොකර ඉන්න බෑ ගඟුල්. අනිත් එක මේ ලෝකෙට ආවා වෙනුවට අපි ලෝකෙට දෙයක් දෙන්නත් ඕනෙ. මේ ගැන දවසක් හරිම ලස්සන ප්‍රකාශයක් කරනවා මොහොමඩ් අලී මෙන්න මේ විදිහට.”
“අන් අයට සේවය කිරීම යනු ලෝකය නමැති නිවසේ ඔබ පරිහරණය කරන්නා වූ කාමරයට ඔබ ගෙවන කුලිය යි.”
“මොහොමඩ් අලීගෙන් පස්සෙ සර් මිනිසුන් අතරට ගෙනත් තියෙන්නෙ ශාන්ති දිසානායකගෙ ගිගිරි. සර් හරි අමුතු වැඩනෙ කරන්නෙ. එක එක රටවල, වෙනස් වෙනස් පරිසරවල ඉන්න අය ගේනවනෙ එක තැනකට. සර් ලියලා තියෙනවා වරාමල් නවකතාවෙන් දැක්ක ශාන්ති ව ආයෙ දැක්කෙ එයාගෙ ගිගිරිවලින් කියලා. එහෙම කියලා සර් ඒ පොතින් මිනිසුන් අතරට ගේන්නෙ අපි කවුරුත් හිතලා බලන්න ඕනෙ කාරණයක්.”
“පුංචි කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන සත්තු ඉන්නෙ මිනිස්සු සතුටු කරන්ඩ නෙමෙයි කියන එක. නිදහසේ ඉන්න සතෙක් දිහා බලල මිසක් කූඩු කරන සතෙක් දිහා බලල සතුටු වෙන එක මහ නපුරුකමක්.”
දැන් සහන්ගේ මිනිසුන් අතර පොතේ අත් පිටපත ඇත්තේ ගඟුල් අත ය. මේ මොහොතේ ශිෂ්‍යයා ප්‍රශ්නකරු බවට පත් ව ගුරුවරයා ඉදිරියේ ප්‍රශ්න තබයි. ගුරුවරයා ද සිනාමුසු මුහුණින් ඒවාට පිළිතුරු දෙයි. ඒ මනා ගුරු ශිෂ්‍ය සබඳතාවක සුමනීය ප්‍රකාශනය යි.
“හැබැයි ගඟුල්, ඔය වැඩේ ඉස්සෙල්ලා පටන් ගත්තෙ නං මම නෙමෙයි. ඔය කාරණේට සංස්කෘත සාහිත්‍යෙන් දෙන්න තියෙන හොඳම උදාහරණෙ තමයි ශ්‍රී බල්ලාල කවියගෙ භෝජප්‍රබන්ධෙ. එතුමා තමන්ගෙ මේ කෘතිය හරහා විවිධ යුගවල ජීවත් වෙච්ච කවීන් එක වේදිකාවකට, එක යුගයකට ගේනවා. කාලිදාස, භවභූති, මාඝ, බාණ, දණ්ඩි, මයූර වගේ එකිනෙකට වෙනස් යුගවල ජීවත් වෙච්ච මහ කවියන්ව බල්ලාල එකම කාලෙක ජීවත් වෙන අය බවට පත් කරනවා. එහෙම කරලා ඒ ගොල්ලන්ගෙ නිර්මාණ අතුරින් තමන්ට වඩාත් දැනිච්ච ඒවා තමන්ගෙ කෘතියට ගේනවා.”
“සර් භෝජප්‍රබන්ධෙ එහෙම එක එක කවීන්ගෙ නිර්මාණ වගෙම බල්ලාල ඒ ගොල්ලන්ගෙ නමින් ලියපු නිර්මාණත් තියෙනවා නේද?”
“ඔව්, එහෙම නිර්මාණත් තියෙනවා. ඒ අතරින් මට වඩාත් සුන්දරයි කියලා හිතෙන්නෙ බල්ලාල එකම කවියෙ පේළි හතර එක එක කවියගෙ කර්තෘත්වයට දීලා ලියපුවා. ඒකෙදි එයා එකම කවි පේළියක්වත් තමන්ගෙ කරගන්නෙ නැහැ.”
“ඒ උනාට සර් සංස්කෘත භාෂාව හොඳට ඉගෙන ගත්ත, අපි විද්වතුන් විදිහට සලකන ගොඩක් දෙනා බල්ලාලට කවිත්වයක් තිබුණා කියලා පිළිගන්නෙත් නැහැ, භෝජප්‍රබන්ධය සත්කෘතියක් කියලා පිළිගන්නෙත් නැහැ. සර්ගෙ අදහස මොකක් ද ඒ ගැන.”
“ඕනෑම කෙනෙකුට නිර්මාණයක් ගැන තමන්ට ආවේණික අදහසක් තියෙන්න පුළුවන්. ඒත් මේ කාරණේදි ගොඩක් දෙනා සම්බන්ධයෙන් නං මට හිතෙන්නෙ කාලිදාස, දණ්ඩින් වගේ කවීන්ගෙ නිර්මාණ ගැන හිතේ ඇති කරගත්ත වසිය, වසඟවිම මේකට හේතු වෙන්න ඇති කියන එකයි. එතකොට අනිත් අයගෙ නිර්මාණවල රුවගුණ පේන්නෙ නැතුව යනවා.”
“හැබැයි සර් වගෙම අපිත් ගොඩක් ගරු කරන වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමා ඉන්නෙත් භෝජප්‍රබන්ධෙට වැඩි බරක් නොදෙන තැන නේද?”
“ඔව් ඒ ගැන වෝල්ටර් සර්ගෙ ආස්ථානය නං ඒක තමයි. හැබැයි සර් ඒ ගැන කතා කරන්නෙ පදනමක් ඇතුව. ඒ වගෙම සර් කියන්නෙ නැහැ මේකෙන් කිසියම් රසයක් ලැබෙන්නෙ නැහැ කියලා. සර් කාලිදාසට දණ්ඩීන්ට සාපේක්ෂ ව බල්ලාල ගැන කතා කරන්නෙ අඩුවෙන්. මන් හිතන්නෙ අපේ සර් කැමති නැති නිසා මමත් ඒකට කැමති නැහැ කියලා කියන එක තමයි වැරදි. තමන්ට තියෙන්න ඕන ඒ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් ලබාගත්ත අදහසක්. භෝජප්‍රබන්ධය ගැන මන් කතා කරන්නෙ මට දැනිච්ච හැඟිච්ච දේවල් පදනම් කරගෙනනෙ ගඟුල්.”
“සර්, මෙතන මිනිසුන් අතරට ගෙනත් තියෙන මේ කවිය සනාථ කරන්නෙත් භෝජප්‍රබන්ධයෙ චමත්කාරය කියලයි මට හිතෙන්නෙ. බලන්න සර් මේ පද්‍යය. පොතේ තියෙන හැටියට මේක භෝජ රජතුමයි රාජ භාණ්ඩාගාරෙ කොල්ල කන්න ආපු හොරෙකුයි අතර ඇති වන සංවාදයක්. මේක එක පැත්තකින් පරිසර වර්ණනාවක්, තව පැතතකින් රජෙකුට වගෙම හොරෙකුටත් හොඳ කවියෙක් වගෙම රසිකයෙක් වෙන්න පුළුවන් කියන එක පෙන්නලා දෙන නිර්මාණයක්.”
“ඔව් ගඟුල්, දවසක රජතුමා හඳ පායාගෙන එන දිහා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ හඳේ තමන්ට පේන සා සලකුණ ගැන රජතුමා කවි පද දෙකක් කියනවා. මේක අර භාණ්ඩාගාරෙන් ධනය හොරකන් කරන්න ආපු හොරාට ඇහෙනවා. බැලුවහම හොරත් හොඳ රසිකයෙක්. එයත් බොහොම ලස්සන කවිපද දෙකකින් ඒකට උත්තර දෙනවා. හොරා කියන්නෙ සඳවත තමයි ඔබ කියලයි. රජතුමා ඒ හඬ ඇහෙන දිහාට ආවහම දකිනවා හොරාව. හොරා රජතුමා ළඟ වැඳ වැටිලා අභයදානය ඉල්ලනවා. ලස්සන වැඩේ කියන්නෙ රජ්ජුරුවො අභයදානය විතරක් නෙමෙයි හොරාගෙ කවිකම ගැන පැහැදිලා වස්තුවත් දුන්නා කියලයි භෝජප්‍රබන්ධෙ සඳහන් වෙන්නෙ.”
“මන් දැන් කියවන්නංකො සර් බල්ලාලගෙ ඒ පද්‍යයයි ඒකට සර් ලියපු පද්‍යමය පරිවර්තනය යි. මේ පොත මිනිසුන් අතරට ගියාට පස්සෙ රසිකයො තීරණය කරාවි, ඒ කෘතියෙ දෙයක් තියෙනව ද නැද්ද කියලා.
“යදේතච්චන්ද්‍රාන්තර්ජලදලවලීලාං විතනුතේ - තදාචෂ්ටේ ලෝකඃ ශහක ඉති නෝ මාං ප්‍රති තථා”
“අහං ත්වින්දුං මන්‍යේ ත්වදරිවිරහාක්‍රාන්තතරුණී - කටාක්ෂෝල්කාපාතව්‍රණකණකලංකාකිතතනුම්”
“මන් කැමතියි සර් මේකෙ මුලින් තියෙන රජතුමාගෙ කොටස සිංහලට ගෙනත් තියෙන විදිහට.”
“චාරු සඳවතේ දිදුලන වළාවක් ලෙසේ - පේන ලකුණ සස ලකුණ යි කිව ද නැත එසේ.”
“ඔන්න ඊළඟට රසික හොරාගෙ උත්තරේ. මන් ඒකටත් කැමතියි.”
“රාගි රුපු ලියන් බැල්මෙන් කැලල් වැකි මෙසේ
චාරු සඳ ඔබයි දිදුලන මහද නුබ කුසේ”
“මන් හිතන්නෙ මේ තමයි සර් භෝජප්‍රබන්ධෙටයි ඒක ලියපු බල්ලාල කවියටයි සාධාරණය ඉෂ්ට කරන විදිහ කියලා කිව්වොත් මම හරි ද සර්.”
“අපි ඇත්තට ම කරන්න ඕනෙ අපිට ම දැනෙන දේ කතා කරන එක මිසක් තවත් කෙනෙකුගෙ ඇස්වලින් ලෝකය හරි, නිර්මාණ හරි දකින එක නෙමෙයිනෙ ගඟුල්. ඒක මන් ඉගෙන ගන්නවා මගෙ ගුරුවරුන්ගෙන්. උදාහරණයක් විදිහට මගෙ පීඑච්ඩී එකේ උපදේශකවරුන් උනේ මහින්ද පලිහවඩන මහාචාර්යතුමයි වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමයි දෙන්නා. ඒ දෙපළ ම මට ස්වාධීන ව වැඩ කරන්න නිදහස දීලා තිබුණා. රාමායණයෙ කියැවෙන ලංකාව ගැන මගෙ ආචාර්යවරුන් දෙන්නට තිබුණෙ වෙනස් අදහස් දෙකක්. පලිහවඩන සර් සහේතුක ව රාමායණයෙ ලංකා අපි ජීවත් වෙන ලංකාව නෙමෙයි කියලා කියන කොට මාරසිංහ මහාචාර්යතුමා සහේතුක ව පැහැදිලි කළේ මේ දෙක දෙකක් නෙමෙයි එකක් කියන එක. හැබැයි ඒ දෙන්න ම මට තමන්ගෙ මතය කවන්න වෑයම් කළේ නැහැ.”
“සර්, ඔය කියන දේවල් නිසා පෝෂණය වෙන්නෙ වෙන කිසි දෙයක් නෙමෙයි අපේ ම ගුරු ජීවිතය. සර් දැන් මන් කැමතියි මිනිසුන් අතරින් තව ඉස්සරහට යන්න.”
“මන් ඊළඟට කතා කරලා ඇත්තෙ සාමන්ත ගැන. සාමන්ත කියන්නෙ ලේඛකයෙක්. මේ වෙන කොට ඉන්නෙ ඔස්ටේ්‍රලියාවෙ. තමන්ගෙ යූටියුබ් වැඩ සටහන් හරහා ඒ වගෙම ලේඛනය ඔස්සේ ලෝකයට නිතරම අර්ථවත් දෙයක් දෙන්න වෑයම් කරපු, වෑයම් කරන කෙනෙක්.”
“සර්, මේ ලේඛකයාගෙ නිර්මාණ ගැනත් තව ටිකක් විස්තර කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”
“සාමන්ත මේ ළඟදි ලංකාවට ආවා. ඒ ඇවිල්ල එයාගෙ පොත් තුනක් ජනගත කළා. ඒකෙන් එක පොතක් ගැන කතා කළේ අපේ කපිල කුමාර කාලිංග. එක පොතක් ගැන මන් කතා කළා. විශේෂයෙන් අපේ කපිල කතා කළේ සාමන්ත මිනිසුන් අතරට වැඩියෙන් ගිහිල්ලා තිබිච්ච වැව රවුම කියන පොතෙන්.”
“සාමන්ත ඊට කලින් ලියපු පොතක් සර් මට දුන්නා කියවන්න. ඒකෙ පෙරවදන ලියලා තිබුණෙත් සර්. මට මතක හැටියට පොතේ නම මට වැරදුණ තැන්.”
“ඔව් ඒක හොඳ පොතක්. සාමන්ත ඒකෙ දෙවෙනි කොටසකුත් ලිව්වා. ඇත්තට ම එයාගෙ ඒ අපට වැරදුන තැන් අපට මාර්ග දර්ශකයක් වෙනවා, අපේ වැරදුණු තැන් හදාගන්න. සාමන්තගෙ නිර්මාණ ලෝකයට ප්‍රවේශ වෙලා එයාව කියවන්න කියන පණිවිඩෙත් මන් මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. හොඳ දේවල් සමාජගත කරන එක මන් සලකන්නෙ වගකීමට වඩා වගවීමක් හැටියට.”
“සර්, මොකක් ද ඒකෙන් අදහස් කළේ කියලා තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?”
“ගඟුල්, අපි අපේ මිනිසුන් අතරට ගිහිල්ලා අපේ හදගැස්ම නතර වෙන තෙක් අප ජීවත් වන සමාජයට පරිසරයට අපි කරන්න ඕන කරන මෙහෙවරක් තියෙනවා. ඒක වගකීමක් නෙමෙයි ගඟුල් වගවීමක්. ඒ වගවීමෙන් සාමන්තට ඔයාට මට විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉන්න කාටවත් නිදහස් වෙන්න බැහැ, එහෙම නිදහස් වෙන්න අයිතියකුත් නෑ.”
“සර්, මේ කතා කරන දේවල්වලින් මට ලොකු හය්යක් වගෙම ලොකු බරකුත් දැනෙනවා. හය්ය දැනෙන්නෙ මගෙ ගුරුවරයට පුළුවන්නං ඇයි මට වැඩ කරන්න බැරි කියන හැඟීමත් එක්ක. බර එන්නෙ අපි මීටත් වඩා අපේ මිනිසුන්ට වැඩ කරන්න ඕනෙ නේද කියන හැඟීම එනකොට. සර්, දැන් අපි ආයෙත් යමු ද මිනිසුන් අතරට. මේ පොතේ හැටියට සර් ඊළඟට ගෙනත් තියෙන්නෙ භාරතීය ප්‍රවීණ රංගධරයෙක් වෙච්ච දිලිප් කුමාර්. වැඩිපුර සාහිත්‍යයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් හැටියට අපිට පුරුදු අපේ සර් ඇයි මේ සිනමාව ගැන කතා කරන්නෙ කියන ප්‍රශ්නෙ ඇහැව්වොත් මොකක් ද ඒකට සර් දෙන උත්තරේ.”
“මන් හොඳ සිනමාවට කැමතියි ගඟුල්. ඒත් මන් වැඩිය කතා කරන්න කැමති කවි ගීත ගැනනෙ. එහෙම බැලුවහම ඔයා කියන කතාව හරි. ඇත්තටම මට දිලීප්කුමාර් සමීප වෙන්න අපේ හෂාන් පුතා නිසා. එයා මේ වෙන කොට සිනමාව ගැන යම් යම් හැදෑරීම් කරනවා. එයා ගෙදරට ගෙනත් තිබුණා දිලිප්කුමාර චරිතය ගැන ලියවෙච්ච පොතක්. මේක ලියලා තිබුණෙ බනී රූබන් කියන ලේඛකයා. අපේ ප්‍රවීණ රංගධරයෙක් වෙච්ච ටෝනි රණසිංහ මේක සිංහලට පරිවර්තනය කරලා තිබුණා. ඒ පොත තිබුණා අපේ හෂාන්ගෙ පොත් මේසෙ උඩ. එතනින් අරන් තමයි මන් ඒක බැලුවෙ.”
“ඒක කියෙව්වහම මොකක්ද දිලිප්කුමාර් ගැන සර්ගෙ හිතේ ඇඳිච්ච රූපෙ.”
“ගඟුල්, දිලිප්කුමාර් කියන්නෙ කොහොමත් සිනමාව හරහා තමන්ගෙ රූපය සමාජගත කරපු කෙනෙක්නෙ. මන් කොහොමටත් බලලා තියෙන්නෙ එතුමා ඉන්න චිත්‍රපටියක් දෙකක් විතරයි. හැබැයි ඒවයෙන් දකින්න බැරි දිලිප්කුමාර කෙනෙක් මේ පොතෙන් හමු වෙනවා. ඇත්තටම දිලිප්කුමාර් කියන්නෙ ජේ. ක්‍රිෂ්ණමූර්ති කියන භාරතීය දාර්ශනිකයගෙ පොතපත කියවපු වගෙම ඒ දේශන අහපු කෙනෙක් බව මන් දැනගන්නෙ මේ පොතෙන්. මට දැනිච්ච විදිහට එයා තමන් රඟපාපු චිත්‍රපටිවලට අභ්‍යන්තර ගැඹුරක් එකතු කරන්න වෑයම් කරලා තියෙනවා. චිත්‍රපටියක් කියන දේ විදග්ධ - සාමාන්‍ය කියන ජන කොට්ඨාස දෙකේම හදවත් එකට එකතු කරන මාධ්‍යයක් වෙන්න ඕනෙ කියන එකයි එයාගෙ විශ්වාසය වෙලා තිබුණෙ. ඒ වගෙම තමන්ගෙ ප්‍රතිවාදීන්ගෙනුත් ජීවිතයට උකහා ගන්න දෙයක් තියෙනවා කියන කාරණේ විශ්වාස කරපු කෙනෙකුට තමයි දිලිප්කුමාර් කියන්නෙ.”
“සර්ගෙ මේ පොතේ ඊළඟට දකින්න තියෙන්නෙ සර් ලියපු සටහනක්. මන් ඒක ගැන වචනයක් වත් කියන් නැතුව ඒක මන් මෙතෙන්ට එකතු කරන්නං.”
“මිනිස් වේශයෙන් වරින් වර ලෝකයට දෙවියන් එනවා. මගේ ජීවිත කාලය තුළ මා දුටු එවන් දෙවිවරුන් දෙදෙනෙක් සිටිනවා. ඒ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් සහ ආදරණීය අය්යා යි. ඔවුන්ගේ මහදාලෝකයෙන් මන්දාලෝකයක් හෝ ලද අපට අප ඉදිරියේ ඇති යුග මෙහෙවර අමතක කරන්නට බැහැ. ඒ දේවදූත මෙහෙවර යි. සෑම මිනිසකුට ම සෑම ගැහැනියකට ම දේවදූතයෙක් දේවදූතියක් විය හැකි යි.”
උදාසන එළි වෙන යාමයේ නින්දත් නොනින්දත් අතර සිටිය දී තවත් දේවදූතිකාවක ම වූ අම්මාගේ ආදරණිය කටහඬ ඇසුණා. ඒ වෙලාවේ මට සිහිපත් වූයේ ඉන්ද්‍රාණී විජේබණ්ඩාර ගායනවේදිනියගේ පහත සඳහන් ගීතය යි.
ඔබේ කටහඬ තාම මතකයි ඈත සිට මට ඔබ අමතනවා.”
සහන් ඒ ගැන ගඟුල්ට සිතා ගන්නට ඉඩ හැරියා මිස යථෝක්ත සටහන ගැන එක් වදනක් වත් පැවසුවේ නැත.
එයින් පසු සහන් මිනිසුන් අතරට ගෙනැවිත් තිබුණේ සුහර්ෂණි ධර්මරත්න කිවිඳිය යි. ඇයගේ ‘ආපුටුංගෝ මාපුටුංගෝ’ චරිතායන ග්‍රන්ථය කියැවීමෙන් දැනුණු තැන් ඔහු එහි සඳහන් කොට තිබිණ. මෙම කිවිඳියට සමාජය අබිමුව කියන්නට යම් අර්ථවත් දෙයක් කියන්නට ඇති බව ද ඔහු ලියා තිබිණ. එසේ ම ඇයගේ ජීවිත ස්වර සංකථනය ඇසූ බැලූ බවට වන සටහනක් ද එහි විය. එම සටහන අවසන් කොට තිබුණේ සුහර්ෂණී අම්මා ගැන ලියූ කාව්‍යෝක්තියකිනි.
“බුදු වදන හා මවු වදන හැර - අන් බසක් නැත හිත නිවන්නේ
බුදුන් නැති ලොව නුඹත් ගිය කල - කවුද අම්මේ අප නිවන්නේ”
අනතුරුව පැවැති නිහඬතාව බිඳ කතා කෙළේ ගඟුල් ය.
“සර්, මේකෙන් පස්සෙ පාලි සාහිත්‍යෙ තියෙන ලස්සන දෙයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා.
“මේ ජීවිත කාලය තුළ අපට ගූථභාණී මිනිසුන් මෙන් ම පුප්ඵභාණි සහ මධුභාණී චරිත ද හමු වෙනවා. අප ලොවට දිය යුත්තේ මල් සහ මිහිර මිස අපිවිතුරු දෙය නොවේ.”
“සර්, මෙතන තියෙන මධුභාණී වගෙම පුප්ඵභාණි කියන දෙක පැහැදිලියි. මන් තේරුන් ගත්ත හැටියට මධුභාණී කියන්නෙ මිහිරි වචන ඇති කියන එක. එතකොට පුප්ඵභාණී කියන්නෙ මල් වගේ වචන කතා කරන කෙනා කියන එක නේද? මොකක් ද සර් මේ ගූථභාණී කියන්නෙ.
“ගඟුල්, ගූථභාණී කියලා කියන්නෙ අසූචි වගේ අමිහිරි වචන කතා කරන කෙනාට යි. අපි මේ ලෝකෙට ආවා වගෙම කවදා හරි අනිවාරෙන් ම අපි මේ ලෝකෙන් නික්මිලා යන්නත් ඕනෙ. අපි ජීවත් වෙන්න ඕනෙ ඒ බව දැනගෙන. එතකන් කරන්න ඕනෙ මිනිසුන්ගෙ හිත් රිදවන ගල් වගේ දැඩි වචන කතා කිරීම වෙනුවට මල් වගේ හිත සනසන වචන කතා කරන එක, අමධුර වචන නෙමෙයි මධුර වචන කතා කරන එක.”
“සර්, තමන් ඉන්න තැන මොකක් උනත් ඕනෙ කෙනෙකුට මේක කරන්න පුළුවන් දෙයක්නෙ. විද්‍යාඥයෙක් වේවා කලාකරුවෙක් වේවා පරිපාලකයෙක් වේවා ගුරුවරයෙක් වේවා ඔය ඕනම කෙනෙකුට පුළුවන්නෙ එහෙම චර්යාවක නිරත වෙන්න. හැබැයි සර්, සර්ම කලින් දවසක කියපු දෙයක් එක්ක දැන් කියපු දේවල පොඩි ගැටෙන ගතියකුත් තියෙනවා.”
“ඔව් ගඟුල් කියන්න, අපි ඒකත් විසඳගෙන ම ඉස්සරහට යමු.”
“සර් දවසක් කිව්වා නේද අපිට වෙලාවකට මෘදු වචන වෙනුවට දැඩි වචන කතා කරන්න වෙන වෙලාවලුත් එනවා කියලා; මිහිරි වචන වෙනුවට කෙනෙකුට බැලූ බැල්මටම අමිහිරි වචන විදිහට දැනෙන වචන කතා කරන්නත් වෙනවා කියලා.”
“ඔව් ගඟුල්, මම එහෙම කිව්වා තමයි. බුදුහාමුදුරුවොත් එහෙම ක්‍රියා කරපු අවස්ථා අපට බෞද්ධ සාහිත්‍යෙන් හම්බ වෙනවා. හැබැයි එහෙම වැඩ කරපු හැම වෙලාවක ම උන් වහන්සේ කරුණා මූලයෙන් - ප්‍රඥා මූලයෙන් බැහැර නොවී තමයි කටයුතු කරලා තියෙන්නෙ.”
“ඒ කියන්නෙ අමිහිරි විදිහට පේන දැඩි වචන උනත් බුදුහාමුදුරුවො පාවිච්චි කළේ අවසාන අර්ථෙ දි මිහිරි මෘදු තත්ත්වයක් උදා කරන්න කියන එක නේ ද සර් මේ කියන්නෙ.”
“හරියට ම හරි ගඟුල් ඔයා හරියට ම ඒක තේරුම් ගත්තා.”
“සර් ඊළඟට මිනිසුන් අතරට ගෙනල්ලා තියෙන්නෙ චිත්‍රශිල්පියෙක්. ඒ ආරියසිරි කොඩිතුවක්කු. සර් කොහොම ද මෙතුමා පෞද්ගලික ව අඳුනනව ද?”
“මුලින් මම එතුමා අඳුන ගත්තෙ මීට දශක තුන හතරකට කලින් එතුමාගෙ චිත්‍රකතා හරහා. මේ මෑතක දි මට පෞද්ගලිකවම එතුමා අඳුන ගන්න ලැබෙනවා.”
“සර්ගෙ කියවීමට වගෙම මන් හිතන විදිහටත් චිත්‍රකතාව කියන්නෙ මිනිසුන් අතරට යන්න තියෙන හොඳ මාධ්‍යයක්. හැබැයි ඒ මාධ්‍යය ප්‍රබල විදිහට ජනප්‍රිය වෙච්ච කාලෙ පාඨකයො උනේ සර්ලා මිසක් අපි නෙමෙයි. සර් අවංකව ම විශ්වාස කරනව ද චිත්‍රකතාවට මිනිසුන් අතරට ගිහිල්ල ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා.”
“චිත්‍රකතාවට මිනිසුන් අතරට ගිහිල්ල ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා නෙමෙයි ගඟුල් අපි කියන්න ඕනෙ, ලොකු බලපෑමක් කළා කියල යි. දයා රාජපක්ෂ, බන්දුල හරිශ්චන්ද්‍ර, පී. වික්‍රමනායක, අනුර විජේවර්ධන, තලංගම ජයසිංහ, බන්දුල ලියනකුමාර, කැමිලස් පෙරේරා, බලන්ගොඩ සරත්මධු වගේ චිත්‍රශිල්පීන් රේඛා - වචන යොදාගෙන තමන්ගෙ චිත්‍රකතාව ඔස්සෙ සමාජෙට යම් පණිවිඩයක් දෙන්න වෑයම් කළා. මෙතන මන් නම් සඳහන් නොකරපු තවත් අය ඉන්නවා ඒ කුලකයට ඇතුළත් කරන්න පුළුවන්. අපේ ශිෂ්‍ය ජීවිතය වර්ණවත් කරපු එක කණ්ඩායමක් තමයි ඒ. මේ ආරියසිරි මහත්තය කියන්නෙත් ඒ යුගයට අයිති හොඳ චිත්‍රශිල්පියෙක්.”
“මට මතකයි සර් දවසක් කිව්වා එතුමා හම්බ වෙන්න ඒ ගෙදරට ගියා කියලා. මන් කැමතියි ඒ ගැනත් දැන ගන්න.”
“මෙහෙමයි ගඟුල්, මේ මෑතකදි මන් අපේ බන්දුත් එක්ක ඒ කිව්වෙ බන්දුල නානායක්කාරවසම් මිත්‍රයත් එක්ක චරණෙ කරපු වැඩ සටහනක් බලලා ආරියසිරි මහත්තය අපේ ටෙලිෆෝන් අංකෙත් හොයාගෙන මට කතා කළා. මන් ඔබතුමා හම්බ වෙන්න විශ්වවිද්‍යාලෙට හරි ගෙදරට හරි එන්න ද කියලත් ඇහැව්වා. එදා කතාවෙන් දැන ගත්ත විදිහට එතුමා තරමක් ගිලන් වයි ඉන්නෙ. මන් කිව්වා මම ශිෂ්‍ය කාලෙ ඔබතුමාගෙ කතා කියවපු රසිකයෙක්. ඔබතුමා එන්න එපා මම එන්නම් කියලා. එහෙම පොරොන්දු උනා වගෙම අපේ ගෙදර කට්ටියත් එක්ක දවසක් අපි එහෙ ගියා. එදා අපි ගොඩක් දේවල් කතා කළා. ඊට පස්සෙ එතුමාත් දවසක තමන්ගෙ බිරිඳයි, පුතයි, පුතා බඳින්න ඉන්න ගෑනු ළමයයි, පුතාගෙ යාළුවෙකුයි එක්ක අපේ ගෙදර ආවා. එදා දයා රාජපක්ෂ මහත්තයගෙ ‘ගිනිගත් කිරීටය’ පොතෙන් පිටපතක් මට තෑගි කළා. ඒක වර්තමාන සමාජ කියවීමක් කියලා අඳුන්නන්න පුළුවන් පොතක්. මන් ආරියසිරි මහත්තයගෙ දකින විශේෂ ගුණයක් තමයි තමන්ගෙ නිර්මාණවලටත් වඩා තමන්ගෙ නොවන අයගේ නිර්මාණ අගය කරන එක.”
“එතකොට සර් මේ මිනිසුන් අතරට අරන් එන්නෙ ඒ විදිහෙ චින්තනයක් තියෙන චිත්‍රශිල්පියෙක් ව?”
“ඇත්තටම ගඟුල්, ඒ පරම්පරාව වගෙම පස්සෙ කාලෙත් ඒ වගෙ චිත්‍රශිල්පීන් පරම්පරාවක් තමන්ගෙ තෙලිතුඩෙන් අපි ජීවත් වෙන ලෝකෙ තියෙනවාට වඩා අර්ථවත් කරන්න, ලස්සන කරන්න වැඩ කළා. ඇයි අපි ඒ මිනිස්සුන් ව මිනිසුන් අතරට ගේන්නෙ නැත්තෙ. මන් ආරියසිරි මහත්තයගෙන් සංකේතවත් කළේ ඒ සමස්තය. මොකද එක පොතකින් ඒ ඔක්කොම කතා කරන්න බැරි නිසා. එහෙම කතා කරනවනං අප්‍රමාණ දේවල් කතා කරන්න තියෙන නිසා.”
”ඒ උනාට සර්, ඒ ශිල්පීන් අතර ම හිටිය නේද ඒක වාණිජ ව්‍යාපාරයක් බවට පත් කරගෙන සල්ලි හම්බ වෙනවා නම් මොකක් ඇන්දත් කමක් නෑ කියලා හිතපු.”
“එහෙම කතා කළොත් ගඟුල්, අපිට අනික් ක්ෂේත්‍රත් එතෙන්ට දාලා තමයි කතා කරන්න වෙන්නෙ. එහෙම උනොත් කෙටිකතාව, නවකතාව, ගීතය, කවිය නියෝජනය කරන ඇතැම් කෙනෙකුත් ඒ ගොඩට දාලා කතා කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයයි මමයි නියෝජනය කරන ගුරු ක්ෂේත්‍රයත් ඒ චෝදනාවෙන් ගැලවෙන්නෙ නැහැ. හැබැයි අපි අමතක කරන්න නරකයි ග`ඟුල් කවර තත්ත්ව යටතෙ උනත් තමන් විශ්වාස කරන නිවැරදි දේ වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු සැලකිය යුතු පිරිසක් අපි අතරෙම ඉන්න බව.”
“අපිට මිනිසුන් අතරෙදි ඊළඟට හම්බ වෙන්නෙ විමල් විජේසිංහ. සර් ඒ චරිතය ගැන විශේෂ සටහනක් තියලා තියෙනවා මෙතන. කවුද මේ සර් කියන විමල් අය්යා.”
සහන් මොහොතක් නිහඬ ව සිටියේ ය. අනතුරුව සිය පොත් ගුලෙන් එක් පොතක් අතට ගත්තේ ය. අනතුරුව කතා කෙළේ ය.
“ගඟුල්, මේ විමල් අය්යා ලියපු ‘සත්‍යය සොයා’ කියන පොත. මේක මිනිසුන් අතරට යන්න ඕන කරන පොතක්. මේ පොත මුද්‍රණයෙන් පිටවෙන කොට විමල් අය්යා ජීවතුන් අතර නැහැ.”
“සර් අපිට දැනගන්න, විමල් අය්යා ගැනයි ඔය පොත ගැනයි පොඩි විස්තරයක් කරනව ද?”
“විමල් විජේසිංහ කියන්නෙ ආචාර්ය අදිකාරම්තුමා ළඟින් ම ආශ්‍රය කරපු තමන්ගේ කායික මරණය සිද්ද වෙනකන් ම මනුෂ්‍යයා ඇතුළු සමස්ත සත්ත්ව ප්‍රජාවේ, ශාක ලෝකයේ පැවත්ම - යහපත වෙනුවෙන් අඛණ්ඩ ව වැඩ කරපු චරිතයක්. මට එතුමා අඳුනගන්න ලැබෙන්නෙ මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ව ඉන්න කාලෙ අදිකාරම්තුමාගෙ සෙවණෙ දි. ඔහු විද්‍යාවයි කලාවයි දෙකම ස්පර්ශ කරපු කෙනෙක්. විද්‍යා ගුරුවරයෙක් විදිහට සේවය ආරම්භ කරපු විමල් අය්යා පස්සෙ දර්ශනය පිළිබඳ ප්‍රථම සහ පශ්චාද් උපාධි දිනා ගන්නවා. විදුහල්පතිවරයෙක් විදිහටත් උසස් අධ්‍යාපන නිකේතන කිහිපයක ආරාධිත කථිකාචාර්යවරයකු විදිහටත් එතුමා වැඩ කරලා තියෙනවා.”
“සර්, විමල් අය්යා ලේඛකයෙක් හැටියටත් අපිට අඳුන්නන්න පුළුවන් ද?”
“ඔව් ගඟුල්, එතුමගෙ පළවෙනි කෘතිය තමයි ශ්‍රී ලංකාවේ පාෂාණ කියන කෘතිය. ඊට පස්සෙ ලිව්වා ස්වභාව ධර්මයේ එළි දකින කලා නිර්මාණ කියන පොත. ඒ වගෙම ගුරු දැක්ම සහ තෙවන ඇස කියන පොත් දෙකේ කර්තෘත් විමල් අය්යා.”
“සර්, අර කලින් කියපු ‘සත්‍යය සොයා’ කියන පොත ගැන විශේෂ කරලා කතා කරනවා මට මතකයි. සර් පොඩ්ඩක් ඒ කාරණේ මෙතෙන්දි ඉස්මතු කරනවනං හොඳයි.”
“ගඟුල්, එතුමා මෙතෙන්දි ලියන්නෙ තමන් සමීප ව ඇසුරු කරපු චරිත හතකින් ජීවිතයට උකහා ගත්ත දේවල් ගැන. එතුමා ආචාර්ය අදිකාරම්තුමා, ක්‍රිෂ්ණමූර්තිතුමා, අපේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය නායක හාමුදුරුවො, හීනටියන ධම්මාලෝක නායක හාමුදුරුවො ගැන මේ පොතේ ලියලා තියෙනවා. ඒ වගෙම තමන් ළඟින් ඇසුරු කරපු අධ්‍යාපනඥ ඒ. එස්. බාලසූරිය මහත්තයා ගැන ධර්මචාරී ඩී. සී. පී. රත්නාකර මහත්තයා ගැන වගෙම තමන්ගෙ කල්‍යාණ මිත්‍රයෙක් වන වි. මු. රත්නායකයන් ගැනත් ලියලා තියෙනවා.”
“සර්ට පුළුවන් ද ඔය පොත ගැන අපටත් අදහසක් ඇති කරගන්න ඕකෙන් එක තැනක් හරි මතු කරලා පෙන්නන්න.”
“විමල් අය්යා මේ පොතේ දි අනුගමනය කරලා තියෙන ක්‍රමේ තමයි, ඒ ඒ චරිත ගැන ලියන අතරෙම ඒ අය කරපු ප්‍රකාශවලින් තමන්ට වැඩියෙන් ම දැනිච්ච ඒවා අපට, ඒ කියන්නෙ පාඨකයන්ට දෙන එක. එක උදාහරණෙකට අපේ බාලසූරිය මහත්තයා ගත්තොත් එතුමා ගැන එන ලියවිල්ල අවසානෙ, එතුමා වරින් වර කරපු ප්‍රකාශ 33 ක් දක්වලා තියෙනවා. අපි එයින් එකක් උපුටලා දක්වලා අපේ මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු.”
“නොකිසිවකු ව පිවිසියෙමි. කිසිවකු වන්නට තැත් කළෙමි. නොකිසිවකු ව ආපසු පිට ව යමි.”
“මට දෙන්න සර් ඔය පොත. මන් කියවලා ගේන්නං. අපි ඔයින් පොත් කීපයක් අරගෙන සුදුසු පුස්තකාල කීපෙකටත් දාමු.”
“ඒක හොඳයි ගඟුල්. අපේ අය්යත් නිතර කියපු දෙයක් තමයි තමන්ගෙ හිතට ගැඹුරින් ම දැනෙන දේවල් ලෝකෙටත් දෙන්න කියන එක. මේ අපි කතා කරන කිසිම මනුස්සයෙක් තමන්ගෙ නම පවතින්න කියලා හිතලා වැඩ කරපු අය නෙමෙයි. ඇත්තට ම අපි කවුරුත් කරන්න ඕනෙ නමෙන් ක්‍රියාව නොව, ක්‍රියාවෙන් නම මතු වෙන්න පුළුවන් ජාතියෙ වැඩ කරන එක.”
“සර්, මේ හොඳම මිනිස්සු ලෝකෙට වැඩියෙන් ම ඕනෙම කරන වෙලාවලදිනෙ අහිමි වෙන්නෙ.”
“ගඟුල්, ඕනම මොහොතක ඕනම කෙනෙක් අපට, ලෝකෙට අහිමි වෙන්න පුළුවන් කියන එක දැන ගෙන තමයි අපි වැඩ කරන්න ඕනෙ. මගෙ අම්මගෙ, තාත්තගෙ, අය්යගෙ, අදිකාරම්තුමාගෙ ඒ වගෙ ඔක්කොම අහිමිවීම් අපට සැරින් සැරේ මතක් කරල දෙන්නෙ ඒ කටුක යථාර්ථෙනෙ. මේ අවබෝධය ම තමයි මේ මොහොත, එහෙම නැත්තං වර්තමාන ක්ෂණමාත්‍රය තුළ තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියන අනර්ඝ පාඩම අපට කියලා දෙන්නෙ. ඒ වගෙම ගඟුල්, අපි අමතක කරන්න නරකයි කායික මරණය විසින් අපව නවතා දමන තෙක් අපට සමාජය වෙනුවෙන් කරන්න මෙහෙවරක් තියෙනවා ය කියන කාරණේ.”
“සර්ගෙ මිනිසුන් අතරෙදි අපට නිතර හමු වෙන කෙනෙක්නෙ සර්ගෙ අය්යා. මේ පොතේ සැරින් සැරේ මතු වෙන එක ප්‍රධාන චරිතයක් තමයි ඒ.”
“ගඟුල්, අය්යගෙ අහිමිවීම මගෙ ජීවිතේ සදාතනික හිස්තැනක්. මන් එයාගෙ මරණයෙන් පස්සෙ එයා වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ කළා. හෙට දවසෙත් මන් වැඩ කරන්නෙ ඒ හැඟීමත් එක්ක. කවදා හරි දවසක මමත් මේ ලෝකෙන් යන්න එපායැ. අර අපේ රත්න ශ්‍රී අය්යගෙ කවිය, මගේ සහෝදරයා සම්බන්ධයෙනුත් හරි ඇත්තක් ගඟුල්.”
“සහෝදරයා නුඹ ය මග කී දිය කඳුර වෙත නිම්නයේ.”
“සර්, මේ අය්යා ගැන කියාගෙන යද්දි එක තැනකදි එකතු කරනවා මලික් තුසිත් ගුණරත්න ලේඛකයගෙ සිල්වර් ටිප්ස් කියන පොතේ ප්‍රකාශයක්. සර් ඒ ගැන මොකද කියන්නෙ.”
“ඒ කියන ප්‍රකාශෙයි අය්යගෙ ජීවිතෙයි අතර වෙනසක් නැති නිසා; එයා වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් ලෝකයට ආදරය කරපු කෙනෙක් නිසා.”
අනතුරුව ගඟුල් විසින් කරන ලද්දේ එම ප්‍රකාශය කියවීම ය.
“එහි තිබුණේ අප්‍රකාශිත ආදරයකි. ඔහු ආදරෙයි කියා කිසි දිනෙක පවසා නැත. ඔහු ආදරය පෙන්වන්නෙකි. ක්‍රියාවෙන් සෙනෙහස පාන්නෙකි. බැල්මෙන් හද නිවා සනසාලන්නෙකි. සිනාවෙන් කඳුළු පිසින්නෙකි. වචනයක් හෝ නොදොඩා සිත දිරි වඩන්නෙකි.”
“සර්, ඔය කියන කාරණේ ඇත්ත මමත් ඇස් පනාපිට විඳපු කෙනෙක්නෙ. ඒක නිසා වචන මට්ටමෙන් එහාට ගිහිල්ලා මේ කියන දේ දැනෙනව සර්.”
“සර්, මේ මේඝ සංකල්පය කොහොම ද මිනිසුන් අතර කොටසක් වෙන්නෙ.”
ගඟුල් එසේ පැවසුවේ සහන් තදනන්තර ව ලියා තිබූ ‘මේඝ සංකල්පය’ පිළිබඳ වන සටහන දක්වමිනි.
“මිනිසුන් අතරට ගෙනියන්න ඕනෙයි කියලා හිතන හොඳ සංකල්ප මන් මේ පොතේ කොටසක් කරනවා, මට ඒක සුදුසු යි කියලා දැනෙන තැන්වලදී. මන් ඔය ලිපිය ලියන්න ගත්තෙ කැලණිය විශ්වවිද්‍යාලෙ මහාචාර්ය අනුරින් දිවාකර මිතුරියගේ ආරාධනේකට අනුව.”
“මන් කැමතියි සර් ඒ ලිපිය ඔස්සෙ සර් මිනිසුන් අතරට ගෙනියන්න හිතපු තැනක් දෙකක් ගැන කියනවනං.”
“ගඟුල්, ඔය ලිපිය ලියද්දි මන් මූලාශ්‍රය කරගත්ත එකක් තමයි කාලිදාස කවියගෙ මේඝදූතය. ඒකෙ එක තැනකදි කියනවා ‘මන්දායන්තෙ න ඛලු සුහෘදාමභ්‍යුපේතාර්ථකෘත්‍යාඃ’ කියලා. බලන්න, මෙතෙන්දි කියන්නෙ මිතුරන් වෙනුවෙන් කරන්න ඕන කරන වැඩ කටයුතුවල දි ප්‍රමාද වෙන්න එපා කියන එක. මොකද යාළුවෙක් යම් වැඩක් අපිට පවරන්නෙ ලොකු විශ්වාසයකින්නෙ. තව තැනකදි කියනවා උත්තම මිනිසුන් ළඟ තියෙන සම්පත් විපතට පත්වෙච්ච අයගෙ පීඩා දුරු කරන්න යි තියෙන්නෙ කියලා. ඒ අදහස මෙන්න මේ විදිහට බොහොම සුන්දර කාව්‍යෝක්තියකින් තමයි කාලිදාස කවියා කියන්නෙ.
“ආපන්නාර්තිප්‍රශමනඵලාඃ සම්පදෝ හ්‍යුත්තමානාම්.”
මන් විශ්වාස කරනවා ගඟුල් මේව මනුෂ්‍යයන් අතරට යන්න ඕන පණිවිඩ කියලා.”
තදනන්තර ව සහන් ලියා තිබුණේ නොබෝදා දේශයට අහිමි වී ගිය මිනිසුන් අතර හිඳ මිනිසුන් වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු වූ කුලරත්න බුලත්ගමයන් සහ සිය හාදයානන්දනීය කටහඬින් ජනතාවට ආමන්ත්‍රණය කළ සුගායනවේදී ප්‍රියා සූරියසේනයන් ගැන ය. ඔහු ඒ ග්‍රන්ථයට ජන මන අර්ථාන්විත සේ ම රසාන්විත කරන ඒ චරිත යුග්මයේ නිර්මාණ එක්කොට තිබිණ. ගඟුල් විසින් මේ මොහොතේ උපුටා දක්වන්නට යෙදුණේ බුලත්ගමයන්ගේ එක් කාව්‍යෝක්තියකි.
“දෙනුවන පුරා කුළු ගන්වා රස කාම - සැනසෙන විටදි කාලය යයි නොදැනීම
යළි මහ දුකකි පෙරහැර කෙළවර වීම - ලොව කිසි දෙයක් නැත සුව දෙන හැමදාම”
“සර්, මේ මිනිසුන් අතරෙදි අපට ඊළඟට මුණ ගස්සන්නෙ ජේ. ක්‍රිෂ්ණමූර්ති කියන භාරතීය දාර්ශනිකයව. ඒකෙදි සර්ගෙ රවී පලිහවඩන කියන මිත්‍රයා එව්ව ප්‍රකාශයක් තමයි භාවිතයට අරන් තියෙන්නෙ.”
“ඔව් ගඟුල්, ක්‍රිෂ්ණජී කියන්නෙ නිර්මාංසික ජීවිතයක් ගත කරපු කෙනෙක්. එතුමා කියන්නෙ කිසිම හේතුවක් නිසා ඝාතනය කරන්න එපා කියලා. ඒ වගේම ආහාර සඳහා සත්ත්ව ඝාතනය කරන්න එපා කියලා. තමන් කවදාවත් මාංසාහාර ගත්තෙ නැහැ කියන එක එතුමා කියන්නෙ අවධාරණයෙන්.”
“ඒ අදහසෙයි, ඒක කියන්න ක්‍රිෂ්ණජී පාවිච්චි කරපු භාෂා රටාවෙයි තියෙන ලස්සන නිසාම මට හිතෙනවා සර් ඒ ප්‍රකාශෙ මෙතනට මෙහෙම සම්බන්ධ කරන්න.
“Don't kill under any circumstances, don't kill an animal to eat. I have never
eaten an animal to eat in my life, never.”
“බලන්නකො සර් ඒක උදානයක් වගේනෙ.”
“උදානයක් වගේ නෙමෙයි, ඒක උදානයක් තමයි ගඟුල්. ශාස්තෘාන් වහන්සේලා ඇතුළු නික්ලේශී උත්තම චරිත කරපු උදානවල වගෙම ලෝකෙ කලින් කල ජිවත් වෙච්ච දාර්ශනිකයො කරපු ප්‍රකාශවල තියෙන්නෙ පෘථුල අර්ථ. ඒව අපි ගන්න ඕන මතුපිටින් නෙමෙයි, අපේ ජීවිතවල පරිවර්තනයක් ඇති කරන ආලෝක ප්‍රකාශ විදිහට.”
“ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ ක්‍රිස්තුස් වහන්සෙ කළයි කියන බයිබලේ සඳහන් වෙන Thou shalt not kill කියන ප්‍රසිද්ධ ප්‍රකාශෙ. ඒකෙදි උන්වහන්සෙ කියන්නෙ ඝාතනය කරන්න එපා කියලා මිසක් මිනිස්සු ඉතිරි කරලා සත්තු මැරුවට කමක් නෑ කියලා නෙමෙයිනෙ.“
“ඔහොම තමයි ගඟුල්. පහු පහු වෙන කොට මිනිස්සු ආගම දහමත් තමන්ට ඕනෙ විදිහට වෙනස් කරනවා. නැත්නම් බැටලු ගාලක සත්ත්ව ජීවිතවල උණුසුම ලබලා උපන්න ක්‍රිස්තුස් වහන්සෙව ආදරණීය විදිහට සිහි කරන්න ඕනෙ නත්තල් දවසෙ දි ගොඩක් දෙනා සිහි කරන විදිහ හරි ද? ඔයා හිතනව ද තමන්ගෙ නමින් සත්ත්ව ඝාතනය කරන එක උන් වහන්සෙ අනුමත කරයි කියලා?”
“හැබැයි සර්, කිතුණු ආගමික නිකායකට අයිති ක්වේකර්ස්ලා වෙජිටේරියන්ස්ලා නේද?”
“ඔව් ගඟුල්, ඒක ඇත්ත. ඒ අය ගැන මන් මුලින් දැන ගත්තෙ අපේ අදිකාරම්තුමාගෙ සිතිවිලි පොතකින්. ඉදිරියෙ දි මේක කියවන පාඨකයන්ගෙ ප්‍රයෝජනය ගැන හිතලා මන් ඒ ගැනත් ටිකක් ලියන්නංකො. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවෙ බොහොම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනෙ කරන අද අපි අතර නැති කිතුණු මිත්‍රයෙක් තමයි නිර්මාංසික ජීවිතයක් ගත කරපු අපේ මාතර ඩී. සී. පීරිස් මහත්තයා. එතුමා තමයි ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතියෙ මාතර සංවිධානෙ ලේකම් හැටියට වැඩ කළෙත්. එතුමා ගැන මට දවසක් උනත් කතා කරන්න දේවල් තියෙනවා. අපි ඉදිරි දවසක ඒකත් කරමු.”
“සර් මිනිසුන් අතරට ගසුත් ගෙනල්ලා තියෙනවනෙ ඊ ළඟට.”
“මන් නෙමෙයි ගඟුල් ඒ ආදර්ශෙ මුලින් දුන්නෙ අපේ බුදු හාමුදුරුවො. උන් වහන්සෙ මිනිසුන් අතරට ගස් ගෙනාවා වගෙම ගස් අතරට මිනිසුන් ගෙනිච්ච කියලත් අපට කියන්න පුළුවන්. හැබැයි මට මේ පොතට ගස් ගැන ලියන්න බලපෑවෙ පීටර් වෝලෙබන් ලියපු The Hidden Life of Trees කියන පොත. අනිවාරෙන් ඒ පොත හොයාගෙන කියවන්න ගඟුල්. මොකද ඒකෙන් උකහ ගන්න දේවල් ඔයා පාවිච්චි කරාවි මට වඩා.”
“සර්, මේකෙ තියෙන හැටියට, හරියට මානව සමාජෙක ඉන්න සාමාජිකයො වගෙ හැම ගහක් ම ශාක සමාජෙ සාමාජිකයෙක්. හැබැයි ඒ සාමාජිකත්ව අතර යම් යම් වෙනස්කම් තියෙනවා කියලා ලේඛකයා කියනවා. ඒ වගෙම ගස් තවත් ගහක් එක්ක කතා කරන්න මාධ්‍යය කර ගන්නෙ තමන්ට ආවේණික සුවඳ, ඒ කියන්නෙ ඒ ඒ ගස්වලට ආවේණික සුවඳ කියලත් මේකෙ තියෙනවා. ඒ වගෙම කිසි විටෙකත් ගහක් තවත් ගහකට උදව් කරන්න පැකිලෙන්නෙ නෑ කියලත් සඳහන් වෙනවා. සර් ගස් කියන්නෙත් හිතක් පපුවක් තියෙන ජෛව ප්‍රජාවක් කියලයි මේක කියවගෙන යද්දි මට හිතෙන්නෙ.”
“ඒ වගෙම ඔයා කියපු දේ අපිට අනිත් පැත්තටත් ගන්න පුළුවන්නෙ මිනිස්සු කියන්නෙ ගස් ද කියලා. හැබැයි අපිට එහෙම කියන්න වෙන්නෙ ජීවිතවලට සෙවන දෙන, වැටෙන කොට වාරු දෙන මල් වගේ සුවඳ හමන මිනිස්සු ගැන හිතලා.”
“සර්, අපිට මිනිසුන් හොයන් යන චාරිකාවෙදි හොඳ කෙටිකතාවක් නවකතාවක් උනත් ඒකට මූලාශ්‍රය කරගන්න පුළුවන් නේද?”
“ඇත්තටම පුළුවන් ගඟුල්. විශ්ව සාහිත්‍යය අපි පාවිච්චි කරන්නෙ ඒකටනෙ. ඒක සිංහල ද දෙමළ ද ඉංග්‍රීසි ද ජපන් ද රුසියන් ද චීන ද කියන එක නෙමෙයි වැදගත්. මොන භාෂාවකින් හරි තියෙන පලවත් දේ තමයි අපට වැදගත්.”
“සර් මන් ඔය ප්‍රශ්නෙ ඇහැව්වෙම සර් ඊළඟට මිනිසුන් අතරට ගෙනත් තියෙන්නෙ Ceceliya Ahern ලියපු The Year I met You කියන පොත නිසා. ඒක පෙම් කතාවක් නේද?”
“ගඟුල්, මට ඔය මුළු පොත ම කියවන්න හිතුණෙ මුලින් පොතේ පිටු පෙරළගෙන යද්දි අහම්බෙන් වගෙ ඇහැ ගැහිච්ච එක ප්‍රකාශයක් නිසා. ඒකෙදි කියනවා ඔබට යමක් කරන්න උවමනානං ඒක මේ මොහොතෙ කරන්න කියලා. ඒ වගෙම ඔබට කියන්න යම් දෙයක් තියෙනවනං ඒක පස්සෙ නෙමෙයි දැන් කියන්න කියලා.”
“හරි සර්, ඒ ප්‍රකාශෙනෙ මේ අරගෙන තියෙන්නෙ මෙතෙන්ට මෙහෙම.
“If you want to do something, you have to do it now.
If you want to say something, you have to say it now.”
“සර් එහෙම නොකළොත් අපිම සමහර විට පස්සෙ පසුතැවිලි වෙන්නත් පුළුවන් නේද?”
“හැබැයි ගඟුල්, අපි මෙතෙන්දි අමතක නොකළ යුතු කාරණාව තමයි අපි ඒ ඒ මොහොතෙ දි කරන්න ඕනෙ කළ යුතු දෙය මිසක් නොකළ යුතු දේ නෙමෙයි කියන එක. ඒ වගෙම ඒ ඒ වෙලාවට අපි කියන්න ඕනෙ කිවයුතු දේ මිසක් නොකිව යුතු දේ නොවන බව. එහෙම කළත් පස්සෙ පසුතැවෙන්න තමයි වෙන්නෙ. ඒක නිසා ඒ ඒ මොහොතෙදි කියන්න ඕනෙ මොකක් ද කරන්න ඕනෙ මොකක් ද කියන එක ගැන හොඳ අවබෝධෙකින් තමයි අපි වැඩ කරන්න ඕනෙ.”
“මෙතන ඉඳලා සර් කරලා තියෙන්නෙ සංස්කෘත සාහිත්‍යය හැදෑරීමෙන් මතු කරගත්ත දේවල් මෙතෙන්ට සම්බන්ධ කරන එක. විශේෂයෙන් සාහිත්‍යදර්පණය. ඒ හරහා කවිය ගැන දේවල් ලියලා තියෙනවා. මෙතෙන් දි සර් කියනවා මනුෂ්‍ය ජීවිතය උසස් කරන පරමානන්දය හදවතේ උපදින දෙයක් ය, එය සුකුමාර බුද්ධියක් තියෙන අයට කාව්‍යය ඔස්සේ සුවසේ ළඟා කරගන්න පුළුවන් දෙයක් ය කියලා.”
“මම නෙමෙයි ගඟුල්, ඒක කියන්නෙ විශ්වනාථ පඬිවරයා තමන්ගෙ සාහිත්‍යදර්පණේදි. ඒ කියන වචන ටිකටත් මන් කැමතියි.
“පරමානන්දසදෝහජනකතයා සුඛාදේව සුකුමාරබුද්ධීනාමේව ජායතේ.”
“සර්, විශ්වනාථ ආචාර්යවරයා මනුෂ්‍යයව හරිම ලස්සන තැනකටනෙ ගේන්නෙ. අපේ සංකථනය නිමා කරන්න හොඳම තැනක් ඒ. අපි සර්, ඒ සංස්කෘත සාහිත්‍යෙ තියෙන තව ලස්සන තැනකින් අපේ මේ සාකච්ඡාව අවසන් කරමු.”
“එහෙම නං අපි යමු සුභාෂිතරත්නභාණ්ඩාගාරයට. ඒකෙ නමින් කියන හැටියට ම තියෙන තරමක් තියෙන්නෙ සංස්කෘත සාහිත්‍යෙ විවිධ තැන්වලින් ගත්ත අර්ථවත්, හෘදයංගම වගෙම සුන්දර ප්‍රකාශ. ඒකෙ එක තැනක එනවා මනුෂ්‍යයන් විසින් නිරන්තර භාවිතයට ගන්න සුදුසු හරිම ලස්සන, අර ඔයා ඉස්සෙල්ලා පාවිචිචි කරපු හෘදයංගම කියන ස්වභාවය දනවන ප්‍රකාශයක්. මන් ඒ ප්‍රකාශය ඒකෙ පරිවර්තනෙත් එක්ක මෙතෙන්ට සම්බන්ධ කරන්නම්, තෝර ගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි හැම මනුෂ්‍යයෙක් ම නරවීරයෙක් - නරවිරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරලම.
“ආයුස්තේ නරවීර වර්ධතු සදා හේමන්තරාත්‍රිර්යථා
ලෝකානාං ප්‍රියවර්ධනෝ භව සදා හේමන්තසූර්යෝ යථා ”
නරවිරුව. හේමන්ත රාත්‍රිය යම් සේ ද. එපරිද්දෙන් ඔබේ ආයුෂ සදා වර්ධනය වේවා! හේමන්ත හිරු යම් සේ ද. එලෙස ලෝකයාට සදා ප්‍රියභාවය වර්ධනය කරන්නෙක් වන්න.
No comments:
Post a Comment