Thursday, January 16, 2025

124. පහන් සංවාද ඇසුරේ..!

2025 දුරුත්තෙ පළමු සතියෙ දවසක මගෙ දිනපොතේ මෙහෙම කවියක් සටහන් වුණා. 

හයිකු කවියක - සෙන් කතාවක

හරිතාරණ්‍ය දිය දහරේ..

ගලන එළියයි - කළණ මිතු යති

පහන් සංවාද ඇසුරේ..

ඒ කවිය ලියැවුණේ දුරුත්තෙ ඉපදිලා දුරුත්තෙම නික්ම ගිය වියපත් තරුණයෙක් වුණ සමරබන්දු සීයාගෙ වර්ෂපූර්ණ පිංකමට පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ වැඩම කළ නිසයි. තාරකාලෝකයන් දැල්වූ ධර්මදේශනයත්, හාමුදුරුවෝ ධර්ම දේශනයට වැඩමවාගෙන එන්න වජිරාරාමයට යන එන අතරේ හාමුදුරුවන් සමඟ තාත්තා-වැහිදරුවා සහ වැහිදැරිය අතර ඇති වුණ පහන් සංවාදත් - මේ සටහනටත් - කවියටත් හේතු වුණා. 

සුඛිත හාමුදුරුවෝ ධර්මදේශනය දේශනා කළේ අස්සාද - ආදීනව - නිස්සරණ යන කාරණා තුන ඇසුරින් ඒ කාරණා තුන අත්දකින්න - අත්විඳින්න ‍හොඳම භූමිය ගිහි‍ගෙය බව දක්වමින්. ලෞකිකත්වයේ අන්තය දක්වා ගොස් සියල්ල අත්හැර පෙරදිගට පැමිණෙන විදේශ තරුණයන්ගේ නිස්සරණය ගැන හාමුදුරුවෝ සිහිපත් කරද්දී විදෙස්  ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතින් දිනපතා අත්දකින ප්‍රඥාව, සැහැල්ලුව, අනවරත කරුණාව එතනදී වැහිදැරියගේ මතකයට අවා. ඒ ගැන මග එන අතරේත් අපි කතා කළා. 

මේ දවස්වල පරිවර්තනය කරන බිම බලන මල්පොදේ.. පරිවර්තන කවි එකතුවෙ එන ඇතැම් කවියකුත් ධර්මදේශනාව එක්ක සමපාතව දැනුණා.

මේ එවන් කවියක් දෙකක්.


පිළිස්සී ගියෙය මා කුටිය,

නොවේ දැන් කිසිවක්!

මා ද - සඳ ද අතරේ..!


මේ වසත් කල

මගේ පැළ තුළ⁣

නොවේ කිසිවක්

පිරී ඇත එය එහෙයින්!


වැහිදැරිය කුඩා කාලෙ සිට කියැවූ ආසම පොත්වල හිටපු පරමාදර්ශී පෙම්වතා ජාතියෙ පෙම්වතෙක් මුණගැසීම නිසා අතීතයට වඩා නිස්සරණය පිළිබඳ හැඟුම අසීරු වෙලා තියෙනවා. ස්ත්‍රියක වන වැසිදැරියටත් වඩා ඇතැම් විටක ස්ත්‍රීවාදී ආකල්ප දරන, ඉවීම හෝ ගැහැණුන් විසින් කළ යුතු යැයි මෙරට සම්මත වී තියෙන ගෘහස්ථ කටයුතු  කිසිදාක වැහිදැරියට තනිවම කරන්න නොදී ඒවා බෙදහදාගෙන කරන, වැසිදැරියගෙ අධ්‍යයන - වෘත්තිය සහ නිර්මාණ කටයුතුවලට තමාගෙ කටයුතුවලට වඩා උනන්දු වැහිදරුවා කෙරෙහි වන බන්ධනය නිස්සරණයට දුර වග දැනුණ මොහොතක අතීත දවසක ලියපු කවියක් මේ සටහන අග අමුණන්න හිතුවා. 

සුපෙම්වත, සසර දිගු දුරක් අප එක්වන්ව සපැමිණ,
සර නිම වන මොහොත වෙතට අප පා සෙමෙන් පැමිණෙන,
භවයකුත් කෙදින හෝ මෙදිගුමග එලඹෙන්න පිළිවන,
එදවසට ඔබ සුරත හැර යම්ද සුහද මම් කෙලෙසින

කෙළෙස් නිර්වාණයට පෙර ඔබේ හඬ යළිත් ඇසුණද
රතොට රත දී නුරා සිඳෙන තුරු සිපගන්න සිතුණද
සසරටම හේත්තුව ඉන්ට රුති හද හුඟක් රිදුණද
වැරෙන් නෙත් පිය පියා - තදින් තද කොට ගනිමි හදබඳ

ආදරේ අඩු නිසා අත් හළැයි පෙමින් සිඹි වත-ගත
නොසිතන්න, සසරක්ම පතා ආ යමකි ඔය හදවත
ඒත් ඔබ මිදේ නම් සංසාර ඕඝයෙන් පෙම්වත
ගැඹුරුතම ප්‍රේමයෙනි,අත් හරින්නේ එදින ඔබ අත!

මේ කවියෙ කියැවෙන තරම් අසීරුවෙන් නොවෙයි, ගැඹුරුතම ස්නේහයෙන් වුණත් - ආකාස්මික සැහැල්ලුවකින් අත්හැරීම ගැන හිතන්න පුළුවන් දවසක් මේ භවයේ නැතත්, සංසාරයේ යම් භවයක උදා වනු ඇතැයි උපන් අලුත් සැහැල්ලුවකින් වැසිදැරිවි මේ සටහනට නැවතුම් තිත තබනවා. 

No comments:

Post a Comment