Friday, March 21, 2025

127. ගුරු දියවර නවකතාව - 41වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                   


                             
                                   සවිනෝද අධ්‍යයන චාරිකා


“ඕවිල්ලේ පෙම් සඳැල්ලේ රන් තොටිල්ලේ ගීතයයි

නාදල්ලේ මල් පියල්ලේ රන් කැදැල්ලේ හීනයයි


ආදර රහසක් සඟවාලා මීවද ගුමු ගුමු හඬ දීලා

ඒ හඬ හද සවනත ගාලා මා හද බමරෝ මත් වීලා


සංසාරේ මං සොයාගෙන ආවදෝ සොයලා ඔයා

පීදෙන රන් පෙති සිප ගන්නම්  ආදරයෙන් බැඳිලා ඉන්නම් 


සීතල පවනට මුව දෙන්නම්  මා හද සිතුවිලි පවසන්නම්

ගුම් ගුම් ගුම් හඬද්දී එන්නෙමි සසරේ සරා”


සරසවි බිමෙන් අළුයම හතරට පිටත් වූ සවිනෝදක අධ්‍යයන චාරිකාවේ යන අතර තුරුණු සිසු මාණවකයකු සහ තුරුණු සිසු මාණවිකාවකගේ හඬින් ඇසුණු ගීතයට සියලු යාත්‍රිකයෝ සහෘදය රසිකයන් බවට පත් වූහ. කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරු ඓතිහාසික ස්ථාන අධ්‍යයනය කිරීම උදෙසා සංවිධානය කැරුණු මෙම චාරිකාවට සම්බන්ධ වූයේ තෙවැනි වසර කලා ශිල්ප හදාරන ශිෂ්‍ය කණ්ඩායම යි. රිය පසුපස කොටස සංගීතමය උදාසනක් බවට පත් වද්දී ගඟුල් මුලින් ම ඇසුණු ගීතය සිය ආචාර්යවරයා සමග වන සංකථනයක් උදෙසා ප්‍රස්තුතය කොට ගත්තේ ඉදිරිපස අසුන්වල හිඳහුන් ශිෂ්‍ය මාණවක මාණවිකාවනට යථෝක්ත සංකථනයෙහි ලා ශ්‍රාවකයන් මෙන් ම සංකථකයන් බවට පත් කොට ගනිමිනි. 

“සර්, මන් දැක්කා සර්රුත් බොහොම කැමැත්තකින් ඕවිල්ලේ පෙම් සඳැල්ලේ ගීතය රස විඳිනවා. මේ ගීතයෙ මුල් ගායතයා ෆීලික්ස් ඇන්ටන් බව අපි ගොඩක් දෙනා දන්නවා. ඒත් මුල් ගායිකාව කවුද කියන්න අපට අදහසක් නෑ. සර්ට පුළුවන් ද ඒ ගැන අදහසක් දෙන්න.”

“ගඟුල්, ඔය ගීතයත් එක්ක මගෙ හිත බොහොම ඈත අතීතෙකට යනවා. එතකොට මන් දහයෙ පන්තියෙ ශිෂ්‍යයෙක්. අපේ අධ්‍යයන චාරිකාවක දි ඔය සින්දුව හරිම ලස්සනට කිව්වා විද්‍යාව උගන්නන සුජාතා ටීචරුයි ගණිතය උගන්නන නිහාල් සර්රුයි දෙන්නා. අදටත් ඔය ගීතය ඇහෙන කොට මට අපේ ආදරණීය ගුරුවරුන්ගේ හඬත් ඒ එක්කම ඇහෙනවා වගේ දැනෙනවා.”

“සර්, අපේ ගඟුල් සර් ඇහැව්වා වගේ අපිත් ගායකයා දැන ගත්තට ගායිකාව කවුද කියලා දන්නෙ නැහැ. කවුද සර් ඒ ගායිකාව.”

“මේ ගායිකාවගෙ නම චන්ද්‍රාණි මානෙල් කල්දේරා. මේ මෑතක තිබිච්ච කලා උළෙලක දි එතුමිය ඒ වන විට වියපත් වෙලා හිටියත් මේ ගීතය බොහොම ලස්සනට ගායනා කළා. මටත් තිබුණා මගෙ අතින් එතුමියට සම්මානයක් දෙන්න.” 

“සර් මේ ගීතයෙ වචනත් හරි ලස්සනයිනෙ. කවුද සර් මේක ලියලා තියෙන්නෙ.”

ඒ ප්‍රශ්නය ඉදිරිපත් වූයේ ප්‍රසාදී ශිෂ්‍ය මාණවිකාව වෙතිනි.

“ප්‍රසාදි, ඕක ලිව්වෙ රත්නාලංකා අබේවික්‍රම කියන, ඒ කාලෙ සන්නිවේදිකාවක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරපු නෝනා කෙනෙක්. එයා ගොඩක් සින්දු ලිව්වෙ නැහැ. හැබැයි ඒ ලියපු හැම එකක් ම වගේ ජනප්‍රිය උනා. ලක්ෂ්මන් රුද්‍රිගු - රුපා ඉන්දුමතී දෙන්නා ගායනා කරන ‘උඩට උඩුවියන් පාවඩ’ ගීතය ලිව්වෙත් එයා.

“අනේ සර් අපේ අම්මා ඔය සින්දුව කියනවනෙ ගෙදෙද්දි.”

“නෙතුලිලගෙ අම්මා ඒක කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද මේක ඒ කාලෙ තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. මට පුදුම ඔයගොල්ලන්ගෙ පරම්පරාවත් මේවා කියන එක. එහෙම බැලුවහම අපට මේ ගීතය ඇතුළත් කරන්න පුළුවන් වෙන්නෙ අකාලික ගීත අතරට.”

“හැබැයි සර් ඒකමත් නෙමේ ඒකට හේතුව. අපේ ගඟුල් සර් තමන්ගෙ දේශනවලදි ඔය වගෙ ගීතයක් හරි දැනෙන කවියක් දෙකක් ගැන හරි අපිත් එක්ක කතා කරනවා.”

“හෝ හෝ ඒකයි එහෙනම් මේකට හේතුව. හැබැයි ළමයිනෙ, ගඟුල් සර්ට ඇයි මේ ජාතියෙ ගීතවලට ඔය තරන් කැමැත්තක් එන්නෙ කියලත් හේතුවක් තියෙන්ඩ ඕනෙනෙ.”

“හරියට ම හරි සර්. මටත් ඕකම හිතුණනෙ. මාත් කල්පනා කළේ අපිවත් මහ ආදරේකින් පුරවන මේ වගෙ ගීත කවි අපට දෙන කොට මොකක් හරි විශේෂ හේතුවක් අපේ ගඟුල් සර්ට තියෙන්න ඕනෙමයි කියලා. අනේ සර් කියන්ඩකො අපට ඒක.”

“නෑ නෑ රිද්ම, ගඟුල් සර් කියන්ඩ අවශ්‍ය නැහැ. ඔයගොල්ලො පර්යේෂණ - ගවේෂණ – සමීක්ෂණ - නිරීක්ෂණ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයොනෙ. සමහර විට ඔයගොල්ලො දක්ෂ නම් ඔයගොල්ලන්ට මේ ගමනෙන් ම ඒ හේතුව හොයාගෙන නිගමනයකටත්  එන්න පුළුවන් වේවි.”

සිය ඇදුරු සහන් ගුරුවරයා තමා දෙස බලා සිනාසෙමින් එසේ කියද්දී ගඟුල් කෙළේ කිසිවක් නොපවසා සිනහමුසු මුහුණින් නිහඬ ව බලා හිඳීම ය. අනතුරුව මොහොතකින් ඒ නිහඬතාව බිඳ කතා කෙළේ ද ගඟුල් ය.

“සර් අපේ ළමයින්ට තවම කිව්වෙ නැහැනෙ මේ ගීතෙ සංගිතඥයා කවුද කියලා.”

“මේකෙ තනුව වගෙම සංගීත නිර්මාණය කළේ වික්ටර් දළුගම. මේ මෑතදි අපට අහිමි වෙච්ච අමිතා දළුගම ගායිකාව, ඒ. එල්. බී. කන්දෙපොල කියන ගායකයත් එක්ක කියන, ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච ආදර චාරිකා ගීතය සංගීතවත් කළෙත් එතුමාම තමයි.” 

මේ මොහොතේ එකී සංකථන මණ්ඩපයට විස්මය ද ගෙන දෙමින් බස්රිය පුරා පැතිර යන්නට වූයේ ඒ ආදර චාරිකා ගීතය යි.

“ආදර චාරිකා ජීවන චාරිකා - සිතිවිලි අත්වැල් බැඳ යන  ආදර චාරිකා”

ඒ ගීතය නිමාවත් සමග උදාහාරය සඳහා වන නැවතුම ද සමීප වෙමින් තිබිණ. මේ මොහොතේ සහන් ආචාර්යවරයා කතා කෙළේ ය. 

“නිශාන්ත, අයිනකට කරලා පොඩ්ඩක් වාහනේ නවත්තන්ඩකො. ගඟුල්, අපි චාරිකාවෙ අද දවසෙ සැලැස්ම ගැන කතා කරල ම අපේ උදේ කෑමට යමු.”

“සර් එහෙනං පැහැදිලි කරනව ද අපේ සැලැස්ම.”

“ගඟුල්, ගෝලයොත් එක්ක එකතු වෙලා මේ ගමන සංවිධානය කළෙත් ඔයා. නවතින තැන්, කෑම ගන්න තැන්, ඇවිදින තැන් සැලසුම් කළෙත් ඔයා. ඒක නිසා අපේ වැඩ සටහන පැහැදිලි කරන්න සුදුස්සත් ඔයා.“

”මහාචාර්ය සහන් වීරසිංහ ආචාර්යතුමන්ගේ විශේෂ ආරාධනය පරිදි මේ කලාශිල්ප අධ්‍යයන චාරිකාව සංවිධානය කරන්නට යෙදුණු ආරාධිත කථිකාචාර්ය ගඟුල් සමරනායක තරුණ ආචාර්යතුමන් විසින් දවසේ වැඩ සටහන මේ මොහොතේ කලාත්මක ව පැහැදිලි කරන්නට යෙදෙනවා ඇත.“ 

ගමනට සම්බන්ධ වූ ආචාර්ය ප්‍රජාව ශිෂ්‍ය ප්‍රජාව මතු නොව රථාචාර්ය නිශාන්ත සහ රථ සහායක චමල් ද සිනහ ගස්වමින් එසේ පැවසුවේ එම ශිෂ්‍ය කණ්ඩායමේ කවටයා ලෙස නම් දරා සිටි මුළු සරසවියේ ම විදූෂක නමින් ප්‍රචලිත ව සිටි ඉසුරු ජානක ශිෂ්‍යයා ය.

“අපි රාත්‍රී දෙකක් ඇතුළත් වෙන විදිහටත් තුන්වෙනි දවසෙ රෑ ආපහු විශ්වවිද්‍යාලෙටත් එන විදිහටයි මේ මුළු චාරිකාව සංවිධානය කරලා තියෙන්නෙ. අපි පහුගිය සතියෙත් මේ ගමන කෙරෙන විදිහ ගැන කතා කළා. දැන් මන් තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්, සහන් සර් කියපු විදිහට. මන් ඉස්සෙල්ලම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙතන ඉන්න සියලු ම දෙනාගෙ ආචාර්යවරයා වන විශ්‍රාමික මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමා අපේ විශේෂ ආරාධනය පරිදි මේ ගමනට එක්වීම ගැන. සහන් සර්, සිතාරි මැඩම්, අපි ශිෂ්‍යයන්ව ඉන්න කාලෙත් බොහොම කැමැත්තෙන් අපිත් එක්ක මේ වගෙ ගමන්වලට එතුමා එක් උනා. ඒ වගෙම තමන්ගේ තවම අවුරුදු දෙකක්වත් නැති පුංචි පුතා රැකබලාගැනීම මහත්තයට පවරලා ශිෂ්‍ය ඔබ වෙනුවෙන් මේ ගමනට එක් වෙච්ච ඔයගොල්ලන්ගෙ සිතාරි මැඩම්ටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. මෙහෙම ගමනක දි ශිෂ්‍ය ඔබ ලබන සතුට වගෙම දැනුම කොපමණක් ද කියන එක ගැන අපට අද්දැකීම් තියෙනවා. ඒ අපටත් ඔබට වාගෙම බොහොම ආදරයකින් හැඟීමකින් සිහිපත් කරන්න පුළුවන් ශිෂ්‍ය ජීවිතයක් තියෙන නිසා.  

දැන් මම අපේ වැඩ සටහන පැහැදිලි කරන්නම්. අපේ චාරිකාවෙ පළවෙනි දවස වන අද අපි පළමුවෙන් පොඩි විවේකෙකට නවතින තැන වගෙම අපිට උදේ ආහාරය දෙන තැන වෙන්නෙ කුරුණෑගල නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය.”

ගඟුල් මෙසේ පවසද්දී තරුණ ශිෂ්‍ය ප්‍රජාව වෙතින් සිය සතුට පළ කිරීම සඳහා විසල් අත්පොළසන් හඬක් නැඟිණ. ඒ ඔවුන් සිය ආචාර්යවරයාගේ ස්ථිර සේවා ස්ථානය එතැන බව දැන සිටි බැවිනි. සිනහමුසු මුහුණින් ශිෂ්‍ය ප්‍රතිචාර පිළිගත් ගඟුල් යළිත් කතා කෙළේ ය.

“මේක දරුවනේ අපේ විශ්වවිද්‍යාලයත් මේ ගමේ තියෙන අපි දැන් යන ඉස්කෝලෙත් අතර සුහදතාව ඇති කරන ගමනක්. මන් මේකෙ උගන්නනවා වගෙම මේ වෙනකොට මේ පාසලේ විදුහල්පතිතුමිය විදිහට කටයුතු කරන්නෙත් ජපුරෙ ආදි ශිෂ්‍යාවක්. ඒ සුමනා හේරත් මැඩම්. අපිට අද උදේ සංග්‍රහය ඒ ලොකු මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලෙන්. මටත් පෞද්ගලිකව ලොකු සතුටක් දැනෙන තවත් විශේෂ කාරණාවක් දෙකක් තියෙනවා. ඒ තමයි මගෙ ජපුර ශිෂ්‍යයන් සහ නාගොල්ලාගම ශිෂ්‍යයන් අද එක තැනකදි එකට හමු වෙන එක. ඒ වගෙම මගෙ ගුරුවරුන් වගෙම අපි ඉගෙන ගත්ත කාලෙ අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සහෝදරියක් වෙච්ච සිතාරි මිස් මගේ සමකාලීන මිතුරිය මන් උගන්නන ඉස්කෝලෙට එන එක. මේ ගමනෙදි අපට කුරුණෑගල ඓතිහාසික තැන් ගැන කරුණු කියලා දෙන්න මන් මගේම ගුරුවරයෙක් විදිහට සලකන නාගොල්ලාගම ඉස්කෝලෙ තෙන්නකෝන් සර් අපට එකතු වෙනවා.

අපි හවස් වෙන තුරු රැඳෙන්නෙ කුරුණෑගල. ඊට පස්සෙ අපි අද අපේ රෑ නවාතැනට යනවා. එතන අපට ආගන්තුක තැනක් නෙමෙයි. ඒ තමයි අනුරාධපුරේ විජයපුර ආරණ්‍ය සේනාසනය. ඒ තමයි අපේ විශ්වවිද්‍යාලෙ භාෂා සෞන්දර්ය අධ්‍යයනාංශෙ උගන්නන ශ්‍රාවස්තිපුර ශාන්තසිරි හාමුදුරුවන්ගෙ පන්සල. අක්කර 25 ක ලස්සන නිස්කලංක තැනක් ඒ. අපට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් ඔක්කොම තමන්ගෙ ගිහි මිත්‍රයොත් එක්ක එකතු වෙලා සපයන්නෙ අපේ ශාන්ත හාමුදුරුවො.”

“සර් මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද?”

මේ අවස්ථාවේ ඒ ප්‍රශ්නකරුගේ භූමිකාවට අවතීර්ණ වූයේ ඉසුරු ජානක ශිෂ්‍යයා ය.

“ඔව් ඉසුරු කතා කරන්න.”

“සර් අපිට එක දෙයක් මග ඇරුණා නේද?”

“මොකක් ද ඉසුරු ඒ.”

“ඇයි සර් අපිට දවල් කෑම ලැබෙනව ද, එහෙම ලැබෙනවනං ඒ කොහෙන් ද කියන එක කියවුණේ නැහැනෙ.”

“බලන්ඩ සර් මේ ඉසුරුට කොහේ ගියත් කන බණේනෙ.”

“මේ චමා, ඔයාට ඒක වැදගත් නැති උනත් අපිට බොහොම වැදගත් ඒක. මන් හිතනවා අපේ සර්ලා මිස්ලා ඒක අමතක කරලා නැතුව ඇති කියලා.”  

“අප්පා වස වැරැද්දක්නෙ උනේ මට. හරි මන් ඒකට සමාව ඉල්ලලා වැරැද්ද නිවැරදි කිරීම ඔයාලගෙ සිතාරි මැඩම්ට පවරන්නම්.”

“ඇයි සර්, සර් ඒක සිතාරි මැඩම්ට පවරන්න ඕනෙ කියන්නෙ.”

“සිතාරි මැඩම්ට පවරන්නෙද? ඒ අපිට දවල් කෑම ලැබෙන්නෙ සිතාරි මැඩම්ගෙන් නිසා. ඒකට දවල්ට අපි යන්නෙ ඒ මැඩම්ලගෙ මහගෙදරට නිසා.”

අපේ සිතාරි මැඩම්ට ජයවේවා යන ප්‍රකාශයත් සමග ශිෂ්‍ය ප්‍රජාව වෙතින් ඊට පළවූයේ සුවිසල් අත්පොළොසනකි. අනතුරුව ඇසුණේ ඉසුරු ජානක හෙවත් විදූෂක නාමධාරී ශිෂ්‍යයාගේ කටහඬ යි.

“මේ  අවස්ථාවේදී ඒ කීර්තිමත්, උගත්, ගුණවත්, නැණවත්, බලවත්, ධනවත් තරුණ ආචාර්යතුමියට මෙතැන විජෘම්භමාන සියලු ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ගේ ගෞරවය සහ ප්‍රසාදය පළ කරන්නට යෙදෙනවා ඇත. එසේ ම අපගේ සෑම අධ්‍යයන චාරිකාවක් ම කුරුණෑගල හරහා ම යාමට යොදා ගැනීම අවධාරණය කෙරෙන අතර ඒ සෑම ගමනකදී ම මේ ශිෂ්‍ය ප්‍රජාව දිවා ආහාරය සඳහා සිතාරී ඇදුරුතුමියගේ මහගෙදර හෙවත් මහ නිවහන බලා ගමන් කරනවා ඇත.”

සිතාරී ආචාර්යවරිය ඇතුළු ගුරු මඩුල්ල සිනහමුසු ව බලා සිටිද්දී ශිෂ්‍ය ප්‍රජාව එය අනුමත කෙළේ තවත් වේගවත් අත්පොළොසන් නාදයක් ලබා දෙමිනි. අනතුරුව යළිත් ගඟුල් සිය හඬ අවදි කෙළේ ය.

“අපි මේ ඓතිහාසික ඇතුගල්පුරයට අදාළ අධ්‍යයන කටයුතු නිමා කළාට පස්සේ, අර කලින් කිව්ව අනුරාධපුරේ විජයපුර නවාතැනට යනවා. එතනදි නාගෙන කරගෙන අපට ලැබෙන ආහාරයක් භුක්ති විඳලා, අපේ ශාන්ත හාමුදුරුවොයි ඒ විහාරස්ථානෙම වැඩ ඉන්න නන්දරතන හාමුදුරුවොයි එක්ක ශ්‍රී මහා බෝධීන් වහන්සෙ, රත්නමාලී චෛත්‍යය, ථූපාරාමය ඇතුළු පුදබිම් වන්දනා කරන්න යනවා. බෝධීන් වහන්සේගෙ හෙවණ යටදි ශාන්ත හාමුදුරුවො පොඩි කතාවක් කරාවි. ඒ වගෙම රුවන්මැලි සෑ රද පාමුලදි අපේ නන්දරතන හාමුදුරුවො අපි ඔක්කොටම සෙත් පතලා ආශිර්වාද පූජාවක් කරනවා.”

“සර් එතකොට අපේ ඊළඟ දවස කොහොම ද සැලසුම් කරලා තියෙන්නෙ.”

“ඔව් ප්‍රසාදි, ඊළඟට මන් ඒ ගැන තමයි කියන්නෙ. අපි උදෙන් මෙහෙන් පිටත් වෙලා හවස් වෙන තුරු අපේ වෝල්ටර් සර්ගෙ මාර්ගෝපදේශකත්වය යටතෙ අනුරාධපුර විහාරාරම පිළිබඳ අධ්‍යයන කටයුතු කරනවා. ඒ කියන්නෙ මේ විෂය පිළිබඳ දැනට ලෝකයෙ ඉන්න විශිෂ්ටතම බුද්ධිමතා සමග ඔබ මේ අධ්‍යයනය කරනවා කියන එකයි.”

“සර් ඔය වැඩ කරලා දවල් වෙන කොට අපිට මොකද වෙන්නෙ.”  

“ඔය ගොල්ලන්ගෙ මේ විදූෂක මිත්‍රයා වක්‍රෝක්තියෙන් අහන මේ ප්‍රශ්නෙට අපිට කියන්න තියෙන්නෙ අපට නරක දෙයක් නෙමෙයි හොඳ දෙයක් තමයි වෙන්නෙ කියලා. ඉසුරු හදවතින් ම අපේක්ෂා කරන ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ සහන් සර්ගෙ සමකාලීන මිතුරු මිතුරියො කීපදෙනෙක්. ඒ අය තමයි අපට දවල් කෑම දෙන්නෙ. දැන් ඒකට අමුතුවෙන් අප්පුඩි ගහන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලො. කලින් ගහපු අප්පුඩි මේකටත් අදාළ කර ගනිමු.”

“එතකොට සර් අපි දෙවෙනි දවසෙ රෑ වෙන්න ද පොළොන්නරුවට යන්නෙ?” 

“ඔව් ලවැසි, අපි එහෙම තමයි සැලසුම් කරලා තියෙන්නෙ. මන් එහෙ නවාතැන් ගැන කිව්වොත් අපට ඒ ඔක්කොම පහසුකම් දෙන්නෙ අපේ සහන් සර්ගෙ අය්යගෙ ගෝලයො. දැන් විදුහල්පතිවරයෙක් විදිහට කටයුතු කරන කල්‍යාණවංශ සර්ගෙ තැනක තමයි අපි නවතින්නෙ. සර්ගෙ අය්යා, ඒ කිව්වෙ මන් ඔයාලත් එක්ක ගොඩක් තොරතුරු කතා කරලා තියෙන සමන් සිත්තරා පළුගස්දමන ඉස්කෝලෙ උගන්නන කාලෙ ඉගෙන ගත්ත ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවො කීප දෙනෙක් එකතු වෙලා තමයි අනික් සංග්‍රහ කටයුතු කරන්නෙ. අපි අනික් විස්තර පස්සෙ කතා කරමු. දැන් අපි මේ වෙන කොට අපි එනකන් බලාගෙන ඉන්න නාගොල්ලාගම ඉස්කෝලෙට යන්න පිටත් වෙමු.”

රියැදුරු නිශාන්ත රිය පණගැන්වූයේ එයිනික්බිති ව ය. කෙටි වෙලාවකින් ඔවුහු ඒ පාසල් බිමට ඇතුළු වූහ. ඔවුන් පිළිගැන්ම සඳහා ඉදිරියට පැමිණි අය අතර විදුහල්පතිතුමිය ද මේ වන විට එවිදුහලෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන රේණු ආචාර්යවරිය ද අතුල ආචාර්යවරයා ද පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූහ.

ගඟුල් දුටු වහා අතුල කෙළේ ඉදිරියට පැමිණ ඔහු තරයේ වැළඳ ගැන්ම ය.

මල්ලි, උඹ එහෙනං පිරිවර සේනාවත් එක්ක අපිව බලන්න ආවා. අපේ මිහිදිනී හිටියනං කියයි බල සේනානායක සපු කුමරු එන කියලා.“

ඇයි අතුල අය්යෙ අද මිහිදිනී ආවෙ නැද්ද?

මිහිදිනී අද එන්නෙ නැතුව ඉන්න. මන් අදහස් කළේ එයා මේ වෙලාවෙ මෙතන නැති එක විතරයි. අන්න මේ වෙලාවෙ එයා බොහොම උනන්දුවෙන් පොල් සම්බෝලයක් හදනවා ළමයිත් එක්ක.

උඹ බය උනාද මල්ලි එයා අද නැහැ කියලා. ඉන්නවා ඉන්නවා. අරින්න ද ස්ටෝරිය උඹේ මේ කොල්ලො කෙල්ලො ටික ඉස්සරහම.

රේණු ගඟුල්ට පමණක් ඇසෙන සේ සෙමින් ය එවදන් පැවසුවේ.

”අනේ රේණු අක්කෙ පිස්සු නං කෙළින්න එපා. මට විශ්වවිද්‍යාලෙට ගියාට පස්සෙත් මුන්ගෙන් විසුමක් වෙන්නැහැ.”

අනතුරුව සිදු වූයේ සරසවිය සහ පාසල සහෘදය භාවයෙන් එකිනෙකාට හඳුන්වා දෙන සුයාමය යි. ඒ සුයාමයේ දී ම ය, මිහිදිනී - ලලිතා යන ගුරු මාණවිකාවන් දෙදෙන සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු සමග එතැනට පැමිණියේ. ඔවුන් හඳුන්වා දෙන ලද්දේ විදුහල්පතිතුමිය විසිනි.

“මේ තමයි අපේ ලලිතා මිස්. උසස් පෙළ සිංහල උගන්නන්නෙ. මේ මිහිදිනී, මේ මිස් අපිට ඉන්න තරුණම ආචාර්යවරිය. එයා උගන්නන්නෙ ඉංග්‍රීසි. මේ ඉන්නෙ 12 ඒ බී දෙකේ අපේ දරුවන්ගෙන් කොටසක්. තව කොටසක් ඇතුළෙ සංග්‍රහ කටයුතු සූදානම් කරනවා. ඒ තමයි අපේ අනාගත සරසවි ශිෂ්‍ය ප්‍රජාව.”

“ඒ වගෙම අපේ මැඩම් කියපු දෙයට තව ටිකක් එකතු කරනවනං මේ ලලිතා මිස් තමයි ගඟුල්ගෙන් පස්සෙ සිංහල විෂය යාත්‍රාවෙ හබල අතට ගත්තෙ. මේ මිහිදිනී මිස් තමයි කවද හරි දවසක ගංගොඩවිලයි නාගොල්ලාගමයි එකට යාකරන පාලම වෙන්නෙ.”

“මොකෝ මිහිදිනී මාව කොනිත්තන්නෙ. දැන් ඉස්සර වගේ මාත් එක්ක සෙල්ලම් බැහැ. දැන් මන් තමයි මේ ඉස්කෝලෙ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමිය. නැද්ද මැඩම්.” 

රේණු එවදන් පැවසුවේ සුමනා හේරත් විදුහල්පතිතුමිය ද සිනහ ගන්වමිනි.

“එහෙනං මන් අපේ මැඩම්ගෙන් නෙමෙයි, ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන් අහන්නෙ අපි අපේ මේ සර්ල මිස්ලයි දරුවොයි අනික් අයවයි පරක්කු නොකර කෑමට එක්ක යමු ද කියලා. මොකද මේ ගොල්ලන්ට කාලය ඉතාම වැදගත් නිසා.”

“විශේෂයෙන් අධ්‍යයන චාරිකාවකදි කාලයෙ තියෙන වටිනාකම තේරුම් ගන්න තරම් මේ තරුණ ගුරුවරියට සිහි කල්පනාව තිබීම ගැන මන් ගොඩක් සතුටු වෙනවා. ඒ වගෙම මේ වෙලාවෙ ගරු විදුහල්පතිතුමියගෙන් මට ලැබී තිබෙන බලතල ප්‍රකාර ව මන් යුෂ්මතියට නියෝග කරනවා මේ ලලිතා ආචාර්යවරියගෙත් මේ ශිෂ්‍ය කණ්ඩායමෙත් සහයෝගය ඇතුව වහාම සංග්‍රහ කටයුතු ආරම්භ කරන හැටියට.” 

“ඔයගොල්ලන්ගෙ වයිස් ප්‍රින්සිපල් මැඩම් විහිලුවලට ප්‍රිය කරන කෙනෙක් නේද?”

මේ වචන පැවසුවේ ඒ වන විට මිතුරන් බවට පත් ව අත් අල්ලා ගෙන සිටි සරසවි සිසුවියක විසින් නාගොල්ලාගම සිසුවියකට යි.

අනතුරුව සියලු ම දෙනා ගමන් කෙළේ උදා සංග්‍රහය සූදානම් කොට තිබූ ශාලාව දෙස ට යි. ඒ යන අතරමගදී අතුල පැවසුවේ සුළු මොහොතකින් තවත් විශේෂ අමුත්තකුගේ ආගමනය සිදු වන බව ය.

“කවුද අතුල අය්යෙ, ඒ එන අපි නොදන්න විශේෂ අමුත්තා.”

“උඹලා දන්නව ද නොදන්නව ද කියන එක ඒ ආවහම බලාගන්න පුළුවන්. දැන් යමුකො අපි.”

ඒ වූ කලී ගුරු ශිෂ්‍ය දෙමවුපිය ත්‍රිත්වය ම එක් ව මහදාදරයකින් සකස් කරන ලද සංග්‍රහ මේසයකි. බත් ඉඳිආප්ප ද කෙසෙල් ද කබල්ලෑදළු මාළුව ඇතුළු එගම හැදෙන විවිධ එළවළු වර්ග කිහිපයකින් ඒ සමන්විත විය. පසු දවසක සිතාරී ආචාර්යවරිය පැවසුවේ එදින නාගොල්ලාගම දී විඳගැන්මට ලැබුණේ සංග්‍රහයක් නොව සංග්‍රහ රාජයකු බව යි.  

අතුල පැවසූ විශේෂ අමුත්තා පැමිණයේ මේ අතර ය. ඔහු පැමිණි වහා ඉදිරියට ගිය ගඟුල් ඔහුට වැඳ ආචාර කෙළේ ය. ඒ වූකලී ඔහුට කිසිසේත් ම ආගන්තුකයකු නොවූ හිටපු විදුහල්පති, වත්මන මහව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ය.

“කොහොමද අපේ තරුණ කථිකාචාර්යතුමා. මාත් ආවා අද ඔයාගෙ ආචාර්ය කණ්ඩායමයි දරුවොයි බලලා යන්න. යමු අපි මාරසිංහ සර්ලා ඉන්න තැනට.”

ගඟුල්ගේ හඳුන්වා දීමෙන් පසු අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කතා කෙළේ ය. 

“සර්ලා හමුවෙන්න ලැබීම මට ලොකු සතුටක්. මන් මාරසිංහ සර් ව පළවෙනි සැරේට දකින්න අද උනාට මන් සර්ගෙ පොත් කියවලා තියෙනවා. සහන් සර් නම් මට සැරයක් දෙකක් හම්බ වෙලා තියෙනවා. මේ තරුණ ආචාර්යතුමිය ගැනත් මට ගඟුල් කියලා තියෙනවා.”

“මමත් ඔබතුමා දකින්නෙ අද උනාට අපිට ඔබතුමා ගැන ගඟුල් විස්තර කියලා තියෙනවා. මේ ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙ ඉඳල ම ඔබතුමාගෙන් ලැබිච්ච සහයෝගය ගැන ගඟුල් අදටත් කතා කරන්නෙ බොහොම හැඟීමකින්.”

“ඔන්න අපේ මාරසිංහ සර් සහයෝගය කියන වචනෙ පාවිච්චි කරපු නිසා ම මේ විශ්වවිද්‍යාලෙ ගුරු ශිෂ්‍ය දෙපිරිස ඉන්න තැනම ඉදිරි දවසක අපට අවශ්‍ය කරන සහයෝගයක් ගැන අහන්න හිතුණා.”

“අහන්ඩ සර් අපට, අපේ ගෝලයන්ට කරන්ඩ පුළුවන් දෙයක් නං අපට බොහොම සතුටින් ඒකට මැදිහත් වෙන්න පුළුවන්.”

සහන් සර්ලා ඇතුළු මේ පිරිසට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්. මන් සැලසුම් කරගෙන යනවා සර් අපේ උසස් පෙළ දරුවන් කේන්ද්‍ර කරගෙන අධ්‍යාපන සම්මන්ත්‍රණත් ගුරු ශිෂ්‍ය දෙමවුපිය කණ්ඩායම් වෙනුවෙන් සාහිත්‍ය සම්මන්ත්‍රණ කිහිපයකුත් කරන්න. පේරාදෙණියෙ මගෙ සමකාලීන මිත්‍රයන්ගෙ සහයත් මට මේ වැඩේදි ලැබෙනවා. සර්ලගෙ උදව් ලැබුණොත් ලොකු දෙයක්.”

“ඉතින් ඒක බොහොම හොඳ වැඩක්නෙ. ඔබතුමාට නිල වශයෙන් ම වගකීම් පැවරිලා තියෙන තමන්ගෙ කොට්ඨාසයෙන් වැඩේ පටන් ගන්න. එතකොට අනික් කොට්ඨාසවලටත් ඒක බෝවේවි. අපි අපේ සහෝදර විශ්වවිද්‍යාලවල සහයත් අරන් දෙන්නම් මේ වැඩේට.”

“බොහොම ස්තුතියි කියලා නෙමෙයි සර් මන් කියන්නෙ බොහොම පින් කියලයි.”

මේ අතර ඔවුන් අබිමුවට ආ විදුහල්පතිතුමිය සියලු ම දෙනා සංග්‍රහ ශාලාවට කැඳවා ගෙන ගියා ය. ඇය සරසවි ශිෂ්‍ය ප්‍රජාවට සංග්‍රහ කිරීමේ කටයුත්ත සිය පාසලේ උසස් පෙළ ශිෂ්‍ය ප්‍රජාවට පැවරුවේ සිනහමුසු මුහුණින් මෙසේ පවසමිනි.

“ඔන්න මේ අය්යලා අක්කලට සංග්‍රහ කරන එක ඔයගොල්ලන්ට බාර යි. ඒ ඉදිරි දවසක විශ්වවිද්‍යාලෙට ගියාම ඔයගොල්ලන්ට මුලින් ම හමු වෙන්නෙ මේ අය්යලා අක්කලා නිසා. ඒක නිසා දැන්ම තියා දෙගොල්ල අඳුනගෙන කියාගෙන ඉන්න එක වටිනවා.”  

ඒ වූකලී ගංගොඩවිල -පනාගොල්ලාගම ගුරු ශිෂ්‍ය පර්ෂද සහෘදය භාවයෙන් එකට එක් කළ සොඳුරු මොහොතක් විය. වෙන් ව යාමට පෙර විදුහල්පතිතුමිය මෙසේ ඉල්ලීමක් කළා ය.

“සර්ලා මිස්ලගෙන් කවුරු හරි මෙතනින් යන්න ඉස්සෙල්ලා අපේ උසස් පෙළ දරුවන්ට වචනයක් දෙකක් කතා කරලා යන්න. ඒක මේ නුදුරු අනාගතේදි අපිත් විශ්වවිද්‍යාලෙට යන්න ඕනෙයි කියන කාරණාව සඳහා ඒ   ගොල්ලන්ට උත්තේජනයක් වේවි.”

මෙදින පැමිණ සිටි සරසවි ආචාර්ය භවතුන් කිහිප දෙනා විසින් මෙම වගකීම පවරා දෙන ලද්දේ සහන් ආචාර්යවරයාට යි. ඒ අනුව උසස් පෙළ පන්ති සතරේ ශිෂ්‍ය කණ්ඩායම්වලට මෙන් ම ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයට ද සහන් අඩපැයක් කතා කෙළේ ය. මෙයිනික්බිති දක්වනු ලැබ ඇත්තේ ඒ දේශනයෙහි සමාරම්භක වාක්‍ය  කිහිපය සහ එහි සාරාර්ථය යි. 

“දයාබර වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමනි, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, අප සරසවියේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ප්‍රිය විදුහල්පතිතුමියනි, ආචාර්ය මණ්ඩල සහෘදයනි, මේ අවස්ථාවට සම්බන්ධ වන අප සරසවි විද්‍යාර්ථී දූ පුතුන් සහ ආවේලේ පටන් අප පිළිගෙන අප ළඟ රැඳුණු මේ පාසලේ ආදරණීය දූ පුතුනි,

මෙතැන සිටින මා සේවය කරන සරසවියේ ගුරු ශිෂ්‍ය දෙපිරිසේ ම ප්‍රාර්ථනාව මන් පළමුවෙන් ඔබට ඉදිරිපත් කරනවා. ඒ, මේ සියලු ම දරුවන් උසස් පෙළ කඩයිමෙන් එතෙර ව සරසවි වරම් ලබාවා යන ආදරණීය ප්‍රාර්ථනාව යි. නාගොල්ලාගම පාසලේ සහෘදය ගුරු භවතුනි, ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කිරීමෙහි ලා වන ශක්‍යතාව ඇති ගාමක බලවේගය වන්නේ ඔබ යි. ඒ සඳහා අපට දිය හැකි උපරිම සහාය අපි ලබා දෙන්නම්. ඔබේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් සංවිධානය කරන අධ්‍යාපන සම්මන්ත්‍රණවලට සම්බන්ධ වෙන්නත් අපට පුළුවන්. 

ආදරණීය දරුවනි, සරසවියෙන් බිහි කරන්න ඕන කරන දරුවා මොන වගෙ කෙනෙක් ද කියන එක ගැන අපේ ප්‍රථම විශ්වවිද්‍යාලයාධිපති වශයෙන් කටයුතු කරපු ශ්‍රී සෝරත නායක හාමුදුරුවො බොහොම පැහැදිලි ව කියලා තියෙනවා. ඒ කියලා තියෙන කාරණා දහය පාසල් දරුවන්ටත් සරසවි ගුරුවරයටත් පාසල් ගුරුවරයටත් එක වගේ ම අදාළ යි. මන් ඒ කාරණා දහය අපි කාටත් අදාළ වන විදිහට අරගෙන කතා කරන්න කැමතියි.    

සෝරත නායක හාමුදුරුවො මුලින් ම කියන්නෙ අධ්‍යාපන නිකේතනයක ඉගෙන ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව, ගොඩනැගිලිවල ප්‍රමාණය, අපි විභාගවලින් සමත් කරලා සමාජගත කරන ශිෂ්‍ය ප්‍රමාණය වගෙම ගුරුවරුන්ගෙ දක්ෂතා අනුව මනින්න බැහැ කියලයි. ඒ වගෙම දෙවනුව අපට සරසවිය මහ සමුදුරකට සමාන කරලා පෙන්වනවා. ඒ නොයෙක් දෙසින් ගංගාවන් ගලා ආ පසු  වෙන් වෙන් ව තිබූ නම් අතුරුදහන් වෙලා එකම සමුදුර වෙනවා වගේ නොයෙක් අධ්‍යාපන ආයතනවල නොයෙක් ආචාර්යවරුන්ගෙන් ඉගෙන ගත්ත, නොයෙක් අදහස් තියෙන, නොයෙක් පරිසරවල හැදිච්ච අය එකම ශිෂ්‍ය ප්‍රජාවක් විදිහට ඉගෙන ගන්නවා. මේ කරණේ අපට අපේ පාසල් පද්ධතියටත් යම් ප්‍රමාණයකින් ගළපා ගන්න පුළුවන්. අපි උදාහරණෙකට ඔබ ඉගෙන ගන්න මේ පාසල ගනිමු. මේකත් එක්තරා විදිහකට සමුදුරක්. මේ ගමේ වගෙම සමහර විට අල්ලපු ගමක දෙකක තුනක දරුවො වෙන වෙන ම ඇවිල්ලා මෙතෙන්දි නාගොල්ලාගම ශිෂ්‍ය ප්‍රජාව බවට පත් වෙනවා. ඒ වගෙම පේරාදෙණියෙන්, ජපුරෙන්, කැලණියෙන්, රුහුණෙන් ආදි සරසවිවලින් වගෙම නොයෙකුත් ගුරු විද්‍යාලයවලින් ආපු ගුරු ප්‍රජාවක් මෙතෙන්ට ඇවිල්ලා මේ පාසලේ ගුරු ප්‍රජාව බවට පත් වෙනවා.

අපේ නායක හාමුදුරුවො කියන්නෙ, සමුදුර පුළුල් වගේ අපේ ශිෂ්‍යයන්ගෙ බුද්ධිය හා අදහස් පුළුල් වෙන්න ඕනෙ කියලයි. එහෙම පුළුල් වෙන්න නම් ඒ ශිෂ්‍යයන්ට උගන්නන ගුරුවරුන් වන අපෙත් බුද්ධිය වගෙම අදහස් පුළුල් වෙන්න ඕනෙ. අද අපි සරසවියක වගෙම පාසලක ගුරු ශිෂ්‍ය දෙපිරිස එක තැනකදි එකට එකතු වෙච්ච එකත් අපට සීමා කරගන්නෙ නැතුව තවදුරට විහිදුවන්න අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ කිව්වෙ සමස්ත සරසවි ප්‍රජාව - සමස්ත පාසල් ප්‍රජාව එකට එක් කරන බැම්මක් හැඟීමක් බවට ඒක පත් කර ගන්න ඕනෙ. එතනින් නතර කරන්නෙ නැතුව අපි ජීවත්වන සමාජය වෙත ලෝකය වෙත ඒ හැඟීම අරගෙන යන්න ඕනෙ.

හතරවෙනියට අපේ හාමුදුරුවො කියන්නෙ සමුදුරේ තියෙන එකම රසය ලවණ රසය වගේ අපේ පරමාර්ථය ද එකක් වෙන්න ඕනෙ කියලයි. අපි අපේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගන්න තැන විතරක් නෙමෙයි නවතින්න ඕනෙ. ලෝකය පවතිනවාට වඩා යහපත් කිරීම වගේ ම උසස් කිරීම සඳහා අපට කළ හැකි උපරිම දෙය කිරීම අප කාගේත් පරමාර්ථය වෙන්න ඕනෙ.

පස්වෙනි කාරණේ අපි කාටත් අදාළ වෙන විදිහට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඒ තමයි රටට යෝග්‍ය, රටට ගැළපෙන, රටට ප්‍රයෝජනවත් පුරවැසියන් වන ශිෂ්‍යයන් බිහි කිරීම අධ්‍යාපන නිකේතනයක විශේෂ වගකීම වීම. 

අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, ඔබතුමා දියත් කරන්න හදන අධ්‍යපන සම්මන්ත්‍රණ අන්න ඒ අරමුණ සාධනය කිරීම සඳහාත් අපට යොදාගන්න පුළුවන්. ඔබතුමා මේ පාසලේ විදුහල්පතිවරයා විදිහට ඒ අරමුණ සාක්ෂාත් කර ගන්න වැඩ කරපු විදිහ ගැන අපේ ආදරණීය ආදි ශිෂ්‍ය මේ පාසලේ ආචාර්යවර ගඟුල් අපට කියලා තියෙනවා. දැන් ඔබතුමාට අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදිහට ඒ වගකීම වඩාත් බලවත් විදිහට ඉෂ්ට කරන්න මග පෑදිලා තියෙනවා. සරසවි ආචාර්ය ප්‍රජාව හැටියට ඔබතුමාට අපේ සහයෝගය ලබා දෙන්න අපි ලෑස්තියි. මන් ඒ කාරණේ කිව්වෙ මෙතන ආචාර්යවරුන් කීප දෙනා ගැන විතරක් හිතලා නෙමෙයි, ඔය අරමුණ ඇතුව වැඩ කරන අපේ පද්ධතියෙ සේවය කරන, සමාන ආකල්ප තියෙන සියලු ම ස්වාමීන් වහන්සේලා, ආචාර්යවරුන් වගෙම ආචාර්යවරියන් ගැනත් හිතලයි.

ශිෂ්‍යයෙක් ළඟ තියෙන්න ඕනෙ මම ය මගේ ය කියන හැඟීම වෙනුවට අපි ය අපේ ය කියන හැඟීම. ඒක තමයි සෝරත නායක හාමුදුරුවො ඊළඟට අවධාරණ කරන්නෙ. ඒ හැඟීම ඒ ආකාරයෙන් ම ගුරුවරුන් වන අපටත් තියෙන්න ඕනෙ. මේ ජපුරට නාගොල්ලාගමට සීමා කරන්නෙ නැතුව රටට ලෝකෙට අරගෙන යන්න ඕනෙත් අපිම තමයි. මේක තමයි හයවෙනි කාරණේ.  

අධ්‍යාපන නිකේතනයකින් බිහි කරන්න ඕනෙ අසත්‍යය දුරු කරන, වැරදි දෙය ඈත් කරන, සිය සම්ප්‍රදායට ගරු කරන, සත්‍යගරුක පිරිසක්. මේ හත්වෙනි කාරණේ. ඇත්තට ම සම්ප්‍රදා කියන සිංහලයෙත් පාවිච්චි වෙන වචනෙ නිවැරදි අර්ථය වෙන්නෙ හැම පැත්තෙන් ම, යහපත් ව, එක් ව ප්‍රදානය කිරීම යි. 

ආදරණීය ගුරුවරුනි, අපි පරපුරෙන් පරපුරට යහපත සහ සත්‍යය ප්‍රදානය කරන්න ඕනෙ. ඒ වගකීම පැවරිල තියෙන වර්තමාන කණ්ඩායම තමයි අපි. ඔබේ අපේ ශිෂ්‍ය කණ්ඩායම් තමයි ඒ වගකීම ඉස්සරහට ගෙනියන්නෙ.

අටවනුව සෝරත හාමුදුරුවො කියන්නෙ අධ්‍යාපන නිකේතනයකින් බිහි කරන්න ඕනෙ කියන දේ ඒ විදිහටම පිළිගන්න විවේචනයට අකමැති පිරිසක් නෙමෙයි කියලයි.

නවවෙනි කාරණේ හැටියට සෝරත හාමුදුරුවො මතු කරන්නෙ නැවෙන් ගොඩ බාපු විදිහට ම පවතින විදේශීය භාණ්ඩ වැනි මේ රටට ආගන්තුක, අපේ සභ්‍යත්වය අඳුනන්නෙ නැති රූකඩ බිහි කරන්න එපා කියල යි. ඔබ දන්නවනෙ රූකඩ කියන්නෙ එක්කෙනෙක්ගෙ අතේ නූල තියගෙන තමන්ට ඕනෙ විදිහට අනික් අයව නටවන අයටනෙ. අපේ කිසිම ගුරුවරයෙක් රූකඩ නටවන අය වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපේ මේ කිසිම ශිෂ්‍යයෙක් අනුන්ගෙ නූල්වලට නැටවෙන රූකඩ වෙන්න ඕන කරන්නෙත් නැහැ.

අවසාන වශයෙන් අපේ සෝරත නායක හාමුදුරුවො කාරණා අටක් එකට කැටි කරලා උන් වහන්සේගෙ අධ්‍යාපන දර්ශනයෙ දහවෙනි කාරණේ හැටියට ඉදිරිපත් කරනවා. උන් වහන්සේ කියන්නෙ ශිෂ්‍යයො විනෝද වෙන්න ඕනෙ කියලයි. ඔය විනෝද කියන වචනෙත් පුළුල් තේරුමක් තියෙනවා. විශේෂයෙන් කියන අර්ථය දෙන වි කියන උපසර්ගය මුලට යෙදිලා දුරු කිරීම කියන අර්ථය දෙය නුද් කියන ධාතුවෙන් තමයි විනෝද කියන වචනෙ හැදෙන්නෙ. ඒ කියන්නෙ ජීවිතයෙ වෙහෙස දුරු කරමින් යන චාරිකාවක්. අපි මේ ආවේ එහෙම සවිනෝද අධ්‍යයන චාරිකාවක්. ඒක වඩාත් සරල කරලා කිව්වොත් විනෝදය සහිතව ඉගෙනීමක් ලබන චාරිකාවක්. 

ඊළඟට අපේ හාමුදුරුවො කියන්නෙ අපේ ශිෂ්‍යයන් විවේචනශීලී වෙන්න ඕනෙ කියලයි. මේ වගෙ චාරිකාවකටත් ඒක අදාළ යි. මෙතෙන්දිත් ඔබ සියලු ම දෙනාගෙ විවේචනශීලී බව රැකිලා තියෙන්නෙ. මට මේ සවන් දෙන එක ඔබ කරන්න ඕන කරන්නෙත් ඒ විවේචනශීලී මනසින් බැහැර නොවී. ඊට පස්සෙ තියෙන්නෙ ශිෂ්‍යයන් ගවේෂණශීලී වෙන්න ඕනෙ කියලයි. මේ චාරිකාවට විතරක් නෙමෙයි අපේ සමස්ත ජීවිතේටම මේ විවේචනශීලී - ගවේෂණශීලී ගුණය අදාළ යි. ඒ වගෙම හැම තැනකදිම අපි සත්‍යගරුක වෙන්න ඕනෙ කියන කාරණෙත් සෝරත නායක හාමුදුරුවො අවධාරණ කරනවා. ඒ වගෙම උන් වහන්සේ අපට කියනවා බුද්ධිමත් වෙන්න කියලා, ශිෂ්ට වෙන්න කියලා, සභ්‍ය වෙන්න කියලා, සීමාන්තික වෙන්න එපා කියලා.

දයාබර ගුරු සහෘදයනි, මගේ සදාදරණීය සිසු දූ පුතුනි, අපි, අපේ සමස්ත ජීවිතයම සවිනෝද අධ්‍යයන චාරිකාවක් කර ගනිමු. විව්චනශීලී, ගවේෂණශීලී, සත්‍යයේ, ශිෂ්ටසම්පන්න භාවයේ, සභ්‍යත්වයේ මෙන් ම අසීමාන්තික භාවයේ චාරිකාවක් කර ගනිමු. මට සවන් දුන් නාගොල්ලාගම - ජපුර විදුදය අපේ ශිෂ්‍ය ප්‍රජාවටත් අපේ ගුරු ප්‍රජාවටත් ස්තුතිපූර්වක ප්‍රසාදය පළ කරමින් මම නවතිනවා. 

ඔබේත් රටේත් ලෝකයේත් සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා!”

සහන් ආචාර්යවරයා කතා කිරීමෙන් පසු විදුහල්පතිතුමිය ද සරසවි ප්‍රජාවේ පැමිණීම ගැන නාගොල්ලාගම ප්‍රජාවේ සතුට සහ ප්‍රසාදය පළ කරමින් කතා කළා ය. එයිනික්බිති ඒ හෘදයංගම සමුගැනීම සිදුවිය. බස්රිය පිටත් වන මොහොතේ අත් රැසක් විදුදය ප්‍රජාවට සිය ආචාරය පළ කරද්දී විදුදය අත් ඊට ප්‍රත්‍යාචාර කරනු පෙනිණ.  

පැය පහක පමණ කාලයක් තිස්සේ කුරුණෑගල ආශ්‍රිත අධ්‍යයන කටයුතු සිදු විය. ඒ අනුව පඬුවස් නුවර, යාපහුව, ඇතුගල් වෙහෙර සහ රිදී විහාරය වෙසෙසින් අධ්‍යයනය කරන්නට යෙදිණ. ඒ නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය උගන්වන තෙන්නකෝන් ආචාර්යවරයාගේ මග පෙන්වීම යටතේ ය. සරසවි සිසු හදවත් මෙන් ම ගුරු හදවත්වල එදා නොමැකෙන පරිදි සටහන් වූයේ ඇතුගල්පුර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ ආචාර්යවරයා කී වචන යි.

“අපි ඉතිහාසය අධ්‍යයනය කරන්නේ අපේ ඉතිහාසය කොච්චර ලස්සන ද වෙන මොන රටේ ද මේ වගෙ ලස්සන තැන් තියෙන්නෙ කියලා ඉතිහාසෙන් මත් වෙන්න නම් අපේ මේ අධ්‍යයනයෙන් පලක් නැහැ කියලයි මට හිතෙන්නෙ. දෙයක් දැකලා සතුටු වෙන එකේ මන් වරදක් දකින්නෙ නැහැ. ඒත් වඩා වැදගත් වෙන්නෙ ඉතිහාසය හදාරලා ඒකෙන් උකහා ගන්න පාඩම්වලින් අප ජීවත් වන වර්තමානය අර්ථවත් වගේම ලස්සන කර ගැනීම සඳහා පාඩම් ඉගෙන ගැනීම. වැවක් දැකලා ඒකට බැහැලා සතුටු වෙන එක විතරක් නෙමෙයි අපට තියෙන්නෙ. අඩු ගාණෙ අපට අලුතින් වැවක් හදන එක කෙසේ වෙතත් තියෙන වැවක් ප්‍රතිසංස්කරණය කරලා ඊළඟ පරපුරට පවරලා දෙන්නෙ කොහොම ද කියන අවබෝධය අපට තියෙන්න ඕනෙ. මෙතෙන්දි මේ කලා ශිල්ප හදාරන දරුවන්ට පුළුවන් වෙන්න ඕනෙ අද මේ ලබා ගන්න දැනුම, මේවා විෂයක් හැටියට හදාරන්නෙ නැති තමන්ගෙ පීඨෙ වගෙම වෙනත් පීඨවල ඉන්න තමන්ගෙ සහෝදර ශිෂ්‍ය ප්‍රජාවට සම්ප්‍රේෂණය කරන්න. උදාහරණයක් හැටියට ඔබට පුළුවන් උනොත් ඉංජිනේරු පීඨෙ ඉගෙන ගන්න ඔබේ මිතුරු මිතුරියන්ගෙ හිත්වල, ඔබේ වචනවලින් වැව ගැන චිත්‍රයක් අඳින්න. ඒ දරුවො තමන්ගෙ පීඨෙ ආචාර්යවරුන් එක්ක කතා කරලා වැව් අධ්‍යයනය කරන චාරිකාවක් සංවිධානය කර ගනීවි. වැව හරහා ඔබේ කළමනාකරණ පීඨෙ දරුවන්ට පුළුවන් කළමනාකරණය වෙනම දෘෂ්ටියකින් දකින්න. දාගැබ කියන්නෙ අපේ ගෘහ නිර්මාණ ක්‍රමවේද හදාරද්දි අමතක කරන්න බැරි අංගයක් කියලයි මට හිතෙන්නෙ. මේ සම්බන්ධයෙන් මේ රටේ විතරක් නෙමෙයි ලොවම පිළිගත් විද්වතා වන මාරසිංහ මහාචාර්යතුමා ඉන්නෙ ඔබත් එක්ක. විශේෂයෙන් හෙට අනුරාධපුරේදිත් අනිද්දා පොළොන්නරුවෙදිත් කරන විහාරාරාම අධ්‍යයනය අපේ අතීත වාස්තු විද්‍යාවෙ තිබිච්ච ගැඹුර අඳුන ගන්න ඔබට උදව් කරාවි.”

සරසවි ශිෂ්‍ය ප්‍රජාවට හස්තිශෛලපුර ආශ්‍රිත අධ්‍යයන කටයුතු කිරීමට අවකාශ ලැබුණේ මෙවන් අද්දැකීම් තිබු පාසල් ගුරුවරයකු යටතේ ය. මහාචාර්ය මාරසිංහ මහතා ද එම ආචාර්යවරයාගේ දැනුම මෙන් ම දැක්ම ඉතා අගය කෙළේ ය. සවස තුන වන විට යාත්‍රිකයෝ සිය දිවාහාරය සඳහා සිතාරී ආචාර්යවරියගේ මහගෙදරට ළඟාවූහ. එම නිවහනට මායිම් ව පිහිටා තිබුණේ පිරිසිදු වතුර ඇති තරමක් විශාල වාපියකි. එම ආචාර්යවරියගේ දයාබර දෙමවුපියෝ ද වැඩිමහල් සොහොයුරන් දෙදෙනා ද කනිටු සහෝදරිය ද තවත් ඥාති මිත්‍රාදීන් කිහිප දෙනෙක් ද ඔවුන් පිළිගැන්ම සඳහා පැමිණ සිටියහ.

වැව් සුළඟ ගත සනහා, සිත් සුවය සදද්දී ශිෂ්‍ය ප්‍රජාවට ආහාරයටත් වඩා වැදගත් අවශ්‍යතාවක් ඇති වී තිබිණ. සියලු දෙනා වෙනුවෙන් ඒ ඉල්ලීම සිතාරී ආචාර්යතුමිය වෙත ඉදිරිපත් කරන ලද්දේ ප්‍රසාදී සිසුවිය විසිනි.   

“අනේ මැඩම්, මැඩම්ලගෙ මේ ලස්සන වැවෙන් අපි නා ගන්න ද, අපිට පැය බාගයක් හොඳට ම ඇති.”

“දරුවනේ මේ අපිත් පුංචි කාලෙ ඉඳලා නාන වැව. පස්සෙ කාලෙක මොන නාන කාමර හැදුණත් අය්යලා දෙන්නත් නංගිත් මමත් අදටත් ගෙදර ආවහම නාන්නෙ මේ වැවෙන්. හැබැයි මේ වැව අපේ නෙමෙයි ආණ්ඩුවටයි අයිති. ඒ නිසා මේ වැවෙන් නාන්න මගෙ අවසරයක් අවශ්‍ය නැහැ. හැබැයි කාලය අනුව නාන්න අවසර දෙන්න පුළුවන් ද බැරි ද කියලා අවසර දෙන්න ඕනෙ මන් නෙමෙයි මේ චාරිකාව සංවිධානය කරපු ගඟුල් සර්.”

“අනතුරුව ශිෂ්‍ය කණ්ඩායම වට කර ගත්තේ ගඟුල් ව ය.”

“අනේ අපේ හොඳ සර් අපිට එකම එක පැය භාගයක් ඇති. මෙහෙම වතුරක් තියෙද්දි නාන්නැතුව ඉන්න පුළුවන් ද, අනිත්තෙක ගඟුල් සර්ටත් හොඳ නෑනෙ මේ වැව නොතකා යන එක. මොකද සර්ගෙ නමත් ගඟුල්නෙ. ඒකත් සම්බන්ධ වතුරටනෙ. සර්ට උනත් වටිනවනෙ නාන එක.” 

“අනේ අනේ ඔයගොල්ල මාව නාවන්න කෙසේ වෙතත් අන්දන්න යන බව නං මට පේනවා. ඉන්න මන් සහන් සර්ලත් එක්ක කතා කරලම වචනයක් දෙන්නම්.”

“අනේ සර් දෙන වචනෙ දෙන්න අපිට අපේ සන්තෝසෙ උතුරලා පුපුරලා යන විදිහට.”

“සන්තෝසෙ උතුරලා යන්න විදිහක් බලමු, හැබැයි පුපුරලා යන දෙයකට නං අපට එකග වෙන්න බැහැ.” 

සිනාසෙමින් මෙසේ පවසා ගඟුල් නික්ම ගියේ මාරසිංහ - සහන් - සිතාරී ආචාර්ය ත්‍රිත්වය හමු වීමට ය. ඒ ගොස් ඉතා කෙටි කාලයක් ඇතුළත ඔහු සිතාරී ආචාර්යවරිය ද කැටුව සිය ශිෂ්‍යයන් වෙත පැමිණියේ ය.

“ඔන්න දැන් වෙලාව හවස තුනයි. ඔයගොල්ලන්ගෙ ඉල්ලීමට ඉඩ දෙන්නම්. පැය බාගයක් නෙමෙයි පැයක් ම දෙන්නම්. මොකද ඔයගොල්ලො මොන නීති දැම්මත් පැය බාගෙන් නං ඔයගොල්ලන් ගොඩට එන්නෙ නැති නිසානෙ. හැබැයි ඊ්ට වැඩියෙන් බැහැ. අපි පහට ඉස්සෙල්ල මෙහෙන් පිටත් වෙනවා අනුරාධපුරේට යන්න. කොහොමත් රෑ අපට ඉන්න නවාතැනෙන් ඇඟපත හෝද ගන්නවා මිස වැව්වලට යන්න දෙන්න බැහැ. ඔය පැය හොඳට විඳගන්න. හැබැයි සිතාරි අක්කෙ ඔයාට තමයි මේකට වන්දි ගෙවන්න වෙන්නෙ. මොකද එතකොට බඩගිනි දැනෙන ප්‍රමාණෙ වැඩි යි. ඔයාට ඔයගොල්ලන්ගෙ සංග්‍රහය දෙගුණ තෙගුණ කරලා මේ ගොල්ලන්ට දෙන්න වෙයි.”

“හරි හරි ගඟුල්, මදි උනොත් අලුතෙන් උයලා හරි අපි මේ කොල්ලො කෙල්ලන්ට කන්න දෙන්නම්කො. දැන් ඔයගොල්ලො වැවෙන් නාගෙනම එන්නකො සර් දුන්න වෙලාවට අනුව. අපේ නංගියි පොඩි මල්ලියි එනවා ඔයගොල්ලොත් එක්ක වැවට යන්න.”

මෙසේ කියා සිතාරී ගඟුල් සමග සිය නිවහන දෙසට ගියා ය.   

නෑමෙන් කෑමෙන් සන්තර්පණය වූ පිරිස පොළොන්නරු බලා යාමට පිටත් වූ මොහොත කාටත් සංවේදනීය අවස්ථාවක් විය. බස් රියට නැගීමට පෙර සිතාරීගේ දෙමවුපියනටත් තව මොහොතකින් ඔවුන්ගෙන් සමු ගන්නා තෙන්නකෝන් ආචාර්යවරයාටත් වැඳීමට සරසවි ශිෂ්‍ය ප්‍රජාව පැමිණියේ පෝළිමේ ය. ඒ මොහොත කාගේත් මුහුණට සිනහවක් එක් කරන මොහොතක් බවට පත් වූයේ ශිෂ්‍යයන් තමාට වැඳීමට ආ කල, සිතාරීගේ බාල නැගණිය බුදු අම්මෝ මට වඳින්න එපෝ. මම ඔයගොල්ලන්ගේ වයසේ යනුවෙන් පවසා ගෙට දිව යාම නිසා ය. එය තවදුරටත් තීව්‍ර වූයේ ඉසුරු හෙවත් ජානකගේ මේ වචනත් සමග ය. 

“ගඟුල් සර් මේ චාරිකාව හැඳින්නුවේ සවිනෝද අධ්‍යයන චාරිකා කියලයි. ඒක අද දවසෙ ගවේෂණ චාරිකාවක් කළේ අපට අඳුන ගන්න ලැබුණ තෙන්නකෝන් සර්. ඒ තත්ත්වය හෙටත් අනිද්දත් දවස් දෙකේ දි අපේ මාරසිංහ සර් තවදුරටත් ශාස්ත්‍රීය ගවේෂණ චාරිකාවක් කරන බව අපි දන්නවා. ඒ වගෙම තවත් නමක් තියෙනවා මේ ගමනට දාන්න පුළුවන්. ගඟුල් සර්ගෙ යාළුවො අපිට උදේට කන්න දුන්නා. අපේ සිතාරි මිස්ලගෙ ගෙදර ඒක උත්කර්ෂයට නගලා පෙන්නුවා. දැන් අපි උදේ දවල් කෑම කන වෙලාවෙ දි ගත්ත පින්තූර අපේ ශාන්තසිරි හාමුදුරුවන්ට යවන්න ඕනෙ. එතකොට උන් වහන්සෙ තමන්ගෙ ගිහි යාළුවන්ගෙ සහය ලබා ගෙන මේ ආහාර ප්‍රදානය පරමෝත්කර්ෂයට නංවාවි. තත්ත්වය මේ විදිහ නිසා මම කැමැතියි අපේ ගමනට ආහාර චාරිකා කියන නම දෙන්නත්.”

ඒ වෙන් ව යන මොහොතේ දී ය, තෙන්නකෝන් ආචාර්යවරයාගේ සෞන්දර්ය කලා සරසවියේ උගන්වන තරුණ පුතු සිය පියා රැගෙන යාම සඳහා පැමිණියේ.

සවස පහයි තිහට යාත්‍රිකයෝ කුරුණෑගලින් අනුරාධපුරය බලා පිටත් වූහ. මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ යග්ගපිටියේ සිට මරළුවාව, වැල්ලව, කණව, නිකදළුපොත, හිරිපිටිය, බුල්නෑව හරහා අනුරාධපුරය වෙත දිවෙන මාර්ගය යි. 

“සර්, අපිට යන ගමන් බලන්න අධ්‍යයනය කරන්න තැන් නැද්ද?”

“මොකෝ නැත්තෙ. ඔයගොල්ලො අර වැවේ පිස්සු හැදිලා වගේ දියබුන් ගහන වෙලාව ටිකක් සීමා කරගත්ත නං අපිට තව තැනක් හරි දෙකක් හරි අධ්‍යයනය කරන්න තිබ්බා.”

ශිෂ්‍ය මාණවිකාවක විසින් නගන ලද ප්‍රශ්නයට ගඟුල් එසේ පිළිතුරු දුන්නේ ය. 

“ඒ උනාට සර්, මෙහෙම ගමනකදි එහෙම අද්දැකීමක් නැත්තං වැඩක් නෑ. අපි සර් ඒ වැව දැකලා පිස්සු හැදිලා වගේ නෙමෙයි ඇත්තට ම පිස්සු හැදිලා තමයි හිටියෙ. අපේ සිතාරි මැඩම්ට බැරි ද දන්නෑ ගඟුල් සර් අපේ විශ්වවිද්‍යාලෙට පරිත්‍යාගයක් කරන්න.”

“මොන විදිහෙ පරිත්‍යාගයක් ද ඉසුරු?”

“වෙන මොකක් වත් නෙමෙයි මිස් මිස්ලගෙ ඉඩමට මායිම් වෙන වැව ගෙනල්ලා අපේ විශ්වවිද්‍යාලෙ තියන එක.”

“මේකානං පිස්සු කොල්ලෙක් ම තමයි. මට කරන්න පුළුවන් වැඩක් එපායැ කියන්න.”

සිතාරි පැවසුවේ සිනාසෙමිනි.     

“සිතාරි අපේ ජානක විහිලුවට හරි කියපු දේ ගැබ්වෙලා තියෙන්නෙ අපි කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයක්. ළඟම ජලාශයක් තියෙන එක අපි කාගෙත් හිත්වල තියෙන ප්‍රාර්ථනාවක්.” 

“මේ රෑ අධ්‍යයන කටයුතුවලට නවතින්නත් බැරි නං මන් සර් අනුරාධපුරේට යනකන් කරන්න වැඩක් යෝජනා කරන්න ද?” 

“කරන්න කරන්න මේ චාරිකාව අපේ නෙමෙයි ඔයගොල්ලන්ගෙ. අර වැව ගෙනල්ලා විද්‍යෝදෙ හයි කරන්න යන ජාතියෙ වැඩක් නොවී කරන්න පුළුවන් වැඩක් නං අපි ගඟුල් ඒක අනුමත කරලා ක්‍රියාත්මක කරමු නේද?”

එවදන් පැවසුවේ සිය ශිෂ්‍ය ක්‍රියාකාරකම් දෙස ආදරයෙන් බලා සිටි සහන් ආචාර්යවරයා ය.

“හොඳයි, දැන් අපි අපේ සර්ලගෙයි මිස්ලගෙ අනුමැතියට දාලා ක්‍රියාත්මක කරන්න නං ඉස්සෙල්ලම වැඩේ මොකක් ද කියලා දැන ගන්න එපායැ. හරි ඒ යෝජනාව කරපු නිමන්ති ම කියන්නකො මොකක් ද මේ වෙලාවට ගැළපෙන වැඩේ කියලා.”

“මේකයි සර් මොන විදිහෙන් හරි වතුර - ජලාශ ගැන ලියැවිලා තියෙන සින්දු කියමු අපි. ඊළඟට ඒ ගීත තෝරගෙන බේර ගෙන අපේ ගායක ගායිකාවන්ට ආරාධනා කරන එක කරමු. ඔන්න දැන් අපේ නිවේදකයා වෙන්න ඕනෙ ඉසුරු ඔයා.”

“මේ ළමයි සහන්, මෙහෙම ගමනකට ගැළපෙන ම යෝජනාවක්නෙ කරන්නෙ. ඒක මට මගෙ අතීතයත් මතක් වෙනවා මීට සමාන සිද්ධියක් සම්බන්ධ. අවුරුදු තිහ හතළිහකට ඉස්සෙල්ලා වෙච්ච සිදුවිමක්.ඒක යාත්‍රා ගමනක්. හඳ එළිය වැටිලා තිබුණා ගඟට. එදා අපි කවුරුත් සින්දු කිව්වා. අපේ නෝනා කොහොමත් සංගීත ගුරුවරියක්නෙ. එයා තමයි එදා වැඩියෙන් ම සින්දු කිව්වෙ.”

මෙවදන් පවසන වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන්ගේ දෑස් කඳුළින් තෙත් ව ගියේ මේ වනවිට ජීවතුන් අතර නැති සිය ආදරණීය බිරිඳ සිහිපත් වූ බැවිනි. මේ මොහොතේ සහන් කතා කෙළේ ය.

“අපි අතර ඉන්න ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරයගෙනුත් ඒක අනුමත උනා. සර් සිතාර් ගහද්දි සෝමා මැඩම් සින්දු කියන අවස්ථා විඳින්න අපට වාසනාව ලැබිලා තියෙනවා. මන් එහෙම එක අවස්ථාවක් මතක් කරලා ඔය ගොල්ලන්ගෙ වැඩේට ඉඩ සලසන්නම්. එදා මම අපේ අය්යත් එක්ක වෝල්ටර් සර්ලගෙ ගෙදර ගිය දවසක්. ඒ අපේ සර් පේරාදෙණියෙ ඉඳලා විද්‍යෝදෙට ආපු අලුත. අපේ අය්යත් එක්ක සර් ඉන්දියාවෙදි උස්තාද් ඉම්රාත් කියන විශිෂ්ට සංගීතඥයගෙන් සිතාර් වාදන ඉගෙන ගත්ත හැටි විස්තර කළා. ඊට පස්සෙ අය්යගෙත් මගෙත් ඉල්ලීම පරිදි මෙයිටත් වඩා රෑ වෙලා තිබිච්ච ඒ රාත්‍රියෙ සිතාරය වාදනය කළා බොහොම ලස්සනට. ඊට පස්සෙ ඒක එතනින් නතර උනේ නැහැ. සෝමා මාරසිංහ මැඩම් ඒ කියන්නෙ අපේ සර්ගෙ ආදරණීය බිරිඳගෙ සුගායනීය හඬ ඒ රෑ තවත් ලස්සන කළා. මට අද වගේ මතකයි ඒ දවස. එදා ඒ අවස්ථාවෙ හිටපු හතර දෙනාගෙන් අද ඉතිරි වෙලා ඉන්නෙ සර්රුයි මමයි.”

“දරුවනේ, ඔයගොල්ලන්ගෙ සංගීතමය රාත්‍රියට හොඳම පසුබිමකුයි දැන් සකස් උනේ. අපේ මාරසිංහ මැඩම්ටත් අපේ සර්ගෙ අය්යටත් මේ ගීතමය රාත්‍රිය උපහාරයක් ම වේවා කියලා අපි අපේ දරුවන්ට ඉඩ දෙමු නේද ගඟුල්?”

සිතාරිගෙ මේ වචනත් සමග කතා කිරීමට ගත්තේ ඉසුරු ජානක ශිෂ්‍යයා ය. මේ අවස්ථාවේ සිටියේ වෙනදා පුරුදු විදූෂක භුමිකාව නිතර රඟ දක්වන විදූෂක නොව ඊට සපුරා වෙනස් චරිතයකි.  

“මගේ ආදරණීය සහෘදයනි, අපේ ම ආදරණීය ගුරු උතුමන්ගෙ ගුරු උතුමියගෙ වචන වෙනස් ම ආකාරයේ සංගීත රාත්‍රියක් වෙතට අප කැඳෙව්වා. අපි විශ්වාස කරන හැටියට ආදරණීය චරිත අමරණීය යි. ඒ අය ආදරණීයයන්ගෙ හදවත්වල හැමදාම ජීවත් වෙනවා. අපි ආරම්භය ගනිමු, අපේ සදාදරණිය වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමන්ගේ ජීවිතයට පවිත්‍ර ජලාශයක් වූ ඒ උත්තම කාන්තාවට උපහාරයක් වන ගීතයකින්. අපේ ආරාධනය අපේ සරසවියේ ආදරණීය හඬකට. ඔව් අපි ඉඩ දෙමු ඔහුට. ආදරණීය චාමිකර ගුණසිංහ, මේ ඔබේ මොහොත යි.”

අනතුරුව බස්රිය පුරා පැතිර ගියේ චාමිකරගේ ලයාන්විත කටහඬ යි. වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සහෘදය ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ගේ මතු නොව රිය පදවන නිශාන්තගේත් ඔහුගේ සහායකයාගේත් සවන් සනහාලමින් ඒ මොහොතේ සිදු වූයේ යුගයෙන් යුගයෙන් සිත් සනහන ඒ සොඳුරු ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ පුනරාගමනය යි. ඔහු මෙන් ම අද අප අතර නැති ආර්. මුත්තුසාමි නමැති විශිෂ්ට සංගීතඥයාගේ සංගීත සංයෝජනයේ රාව ප්‍රතිරාවය යි. ප්‍රවීණ ගේයපද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ සුරම්‍ය වාක් යෝජනයේ  පුනරුත්පත්තිය යි.

“මේ පිපාසිත ලෝ තලේ  - ලලනාව වේ අමා ජලාසේ 

 නොසිඳේ ඈගේ පෙම් රසේ

 බැලුවාම පේන වැලි තලාවකි - පතුලේහි දිය ගලා ගියේ

හද තාප ගින්න සීත වේ - හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ 

නොසිඳේ ඈගේ පෙම් රසේ


සාදා රකින්නෙ බිඳ හෙළන්නෙ ඒ - දෙවියන් කියා අසා තියේ

මගෙ දෑස දැක්ක මේ ලොවේ - දෙවියෝ ය ලලන සුව දෙන දිවියේ 

නොසිඳේ ඈගේ පෙම් රසේ”

චාමිකරගේ මියුරු නදින් රථ සංසදය දැහැන්ගත විමෙන් පසු ඔවුනට දැක ගැන්මට ලැබුණේ තවත් ඉසොඳුරු දසුනකි. ඒ ගඟුල් සහ සිතාරී තරුණ ශිෂ්‍ය ප්‍රජාව සමග එක් ව සජල ගී තේරීමෙහි ලා නිරත ව සිටීම යි. ඒ ගුරු සිසු දෙපිරිස එක් ව තේරූ ගී අතර එන ගීත කිහිපයක හෝ මුල් වදන් මෙහි සඳහන් නොකළ හොත් ඒ අඩුවකි.    

ඒ අනුව එදා ඒ ඒ රථ සංසදීය පරිශ්‍රයේ දී අකාලික ගායනවේදී එච්. ආර්. ජෝතිපාලයන්ගේ දිය පොදක් වෙමින් උතුරා යන පිපාසෙට, සංගීත ලෝකයේ සුජාත දියණිය සුජාතාවන්ගේ නිල් නිල් පාරු තොටිල්ලේ ගීතය ද සිංහල ගීතයේ සුශෝකී හඬ මිල්ටන් මල්ලව ආරච්චිගේ ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ ගීතය ද නද මිහිර ලොවට දී මොලොවින් නික්ම ගිය සිසිර ඉන්ද්‍රාණි යුවළගේ සයුර වෙත යන ගඟ පරිද්දෙන් ඇතුළු කොට ඇති සජල ගීතාවලියක් ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදා විය. මේ මොහොතේ එවන් තව එක් ගීතයක් ගැන සටහන් කරන්නට සිතෙයි. ඒ තරංගා චිත්‍රපටයේ එන ප්‍රවීණ ගේයපද රචක ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලදුව,  පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සංගීතවත් කරන ලද දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්ද්‍රාණී පෙරේරා සුගායක සුගායිකා යුග්මය විසින් ගයන ලද පවන් සුසුම් දැලින් වෙළී නින්නාද නැංවූ නොසංගා නමැති සුගීතය යි. එය මෙහි විශේෂයෙන් සධහන් කරන්නට සිතුණේ ශිෂ්‍ය ප්‍රජාවේ බලවත් ඉල්ලීම පරිදි ගඟුල් සහ සිතාරී ගුරු යුග්මය විසින් ගීතය ගායනා කරන ලද බැවිනි. ගුරු දියවරට එගුරු දියවර ද මෙසේ මුසු කරනු කැමැත්තෙමි.

“පවන් සුසුම් දැලින් වෙළී ශාංගාර රාවේ      නොසංගා

 නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා


කුසුම් ලඳුන් බිඟුන් මුවින්     අනුරාග ගී රාව නංගා

ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා


 පෙම් සීත වරුසාවේ නිල් වැව් තලාවේ - අනුරාග හෝරාව එළඹී තිබේ

 මල් හා ලියන් පෙම්වතුන් හා තුරුල් වූ - අභිෂේක යාමේ උදාවේ


මනමාලියක් වන්න සිහිනෙන් පැතුම් පෑ - අනුරාග හෝරාව එළඹී තිබේ

මුව මී තෙපුල් රොන් උරා බී සිනාසෙන්න - අභිෂේක යාමේ    උදාවේ“


සංගීත රාත්‍ර්‍යාවසානය අවසන් වූයේ යාත්‍රිකයන් විජයපුර ආරණ්‍ය සේනාසනේය පුණ්‍ය භූමියට ප්‍රවේශ වීමත් සමග ය. ඒ මොහොතේ කතා කෙළේ සහන් ආචාර්යවරයා ය.   

”දරුවනේ, මේ මාරසිංහ සර්, මන්, ඒ වගෙම ඔයගොල්ලන්ගෙ මේ සිතාරි මිස්ලා, ගඟුල් සර්ලා ඔයගොල්ල වගේ ශිෂ්‍යයන් ව ඉන්න කොට ඇවිදින් නැවතිච්ච පින්බිම. ඔයගොල්ල දන්නවා භාෂා සෞන්දර්ය අධ්‍යයනාංශෙ උගන්නන අපේ ශ්‍රාවස්තිපුර ශාන්තසිරි හාමුදුරුවො වැඩ වෙසෙන පුණ්‍ය භූමියත් මේක ම බව. උන් වහන්සෙ අපේ ශිෂ්‍යයෙක් ව ඉන්න කාලෙ ඉඳලා අනුරාධපුරේ ආවොත් අපි නවතින්නෙ මෙතන. මාරසිංහ සර්ට, සිතාරි මිස්ට ගඟුල්ට, මට මේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන යති පඬිරුවනක් මෙතන වැඩ හිටියා. ඒ තමයි මේ ආරණ්‍ය සේනාසනේ අධිපතීන්ද්‍රයන් වහන්සේ වෙලා හිටපු අපේ දෙමටව නන්දසාර ලොකු හාමුදුරුවො. අපේ ජීවිත කාලෙ අපි දැකපු හරිම කාරුණික, පරිත්‍යාගශීලී, සංග්‍රහශීලී ස්වාමීන් වහන්සේ නමක් තමයි ඒ. අද අප අතර නැති හැබෑ බුද්ධ පුත්‍රයෙක් වෙච්ච උන්වහන්සේ හදවතේ ගැඹුරු ම තැනින් සිහි කරලා අපි මේ පින්බිමට ඇතුළු වෙමු. මෙතන හැසිරෙන්න ඕන විදිහ ගැන මන් ඔයගොල්ලන්ට අමුතුවෙන් නොකියන්නෙ එහෙම කියන්න අවශ්‍ය නැති නිසා. මෙතන ඉන්නෙ තැනට ගැළපෙන විදිහට හැසිරෙන්න දන්න පිරිසක් නිසා. මන් දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ශාන්ත හාමුදුරුවන්ට කතා කළා. උන් වහන්සෙ අපට අද හෙට දවස් දෙකේ අවශ්‍ය පහසුකම් සලසන්න ආපු මේ සේනාසනේ තමන්ගෙ ගිහි යාළුවො දෙතුන් දෙනෙක් එක්ක දැන් මෙතෙන්ට එනවා.”

ඒ වනවිට ශාන්තසිරි ස්වාමීන් වහන්සේ එකී ගිහි හිතවතුන් සමග එතනට වැඩම කළහ.

උන්වහන්සේට පළමු ව වැඳ ආචාර කෙළේ වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමා ය. එයිනික්බිති සමස්ත යාත්‍රිකයන්ගේ ප්‍රණිපතනය උන් වහන්සේට හිමි විය.

“ෂා, වෙනදා වගෙම නිමල් අය්යා, චිත්‍රා අක්කා, ආරියසිරි මාමා කට්ටිය ම ඇවිල්ල ඉන්නෙ. ඔන්න ඉසුරු, ඔයා විශේෂයෙන් ප්‍රාර්ථනා කරන විදිහට ඔයා ඇතුළු මේ ඔක්කොටම සංග්‍රහ ලැබෙනවා හිතා ගන්න බැරි විදිහට. සිතාරි අක්කලටත් තියෙනවනෙ ඒ අද්දැකීම.”

අනතුරුව ඇසුණේ ශාන්ත හිමියන්ගේ ශාන්ත ස්වරය යි. 

“සර්, අපේ නායක හාමුදුරුවොත් අවදියෙන් ඉන්නෙ. අපි නායක හාමුදුරුවන්ට කතා කරලම සකස් කරලා තියෙන සර්ලට පුරුදු නවාතැනට යමු.”

මේ අනුව සියලු දෙනා එම ආරණ්‍ය සේනාසනයේ වර්තමාන අධිපතීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක උන් වහන්සේට වැඳ නමස්කාර කොට ශාන්ත හිමියන් පෙරටු කොට ගත් පිරිස සමග ඒ පුණ්‍ය භූමියේ ම පිහිටා ඇති නවාතැන වෙත ගමන් කළහ.

“ඈ නිමල් මාමෙ, මේක නවාතැනක් නෙමෙයි නවාතැන් රාජයෙක්නෙ.” 

ඉසුරු ඇඳන් රැසකින් සමන්විත ඒ පරිශ්‍රය දෙස බලා පැවසුවේ විස්මයට පත් වෙමිනි. 

“මේ පැත්ත ඔයගොල්ලන්ට. මෙතන ඇඳන් තිහක් තියෙනවා. අර එහා පැත්තෙ තියෙන අනික් කොටසෙත් ඒ වගෙම ඇඳන් තිහක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ගෙ මේ මිස්ට යි මිතුරියන්ට යි. මිස්ට අවශ්‍ය නම් වෙනම කාමරයක් දෙන්නත් පුළුවන් ඉක්මණට ලෑස්ති කරලා. අපි එහෙම නොකළෙ මිස් මේ දුවලා එක්ක ම ඉන්නයි කැමති කියලා කිව්ව නිසා.” 

“ඔව් නිමල් අය්යෙ; ඒක හොඳයි. කොහොමත් සිතාරි මිස් ඉන්නෙ මේ දරුවොත් එක්ක තමයි. මමත් අපේ මේ කොල්ලො ඉන්න කොටසෙම ඉන්නම්. අපි වෝල්ටර් සර්ට යි සහන් සර්ට යි අර ඉස්සරහ කාමරේ දෙමු. වෝල්ටර් සර් කොහොමත් අපට තනියෙන් තියන්න බැහැනෙ. ඒ නිසා සහන් සර්රුත් එතන ඉඳීවි.”

“ චිත්‍රා, ඔයා මේ දුවලා ගැන බලන්නකො. මන් ආරි අය්යත් එක්ක මේ පුතාලා ගැන බලන්නම්.”

එසේ පැවසුවේ විශ්‍රාම ලත් තැපැල් මහතකු වන නිමල් ය. 

“එහෙනම් කට්ටිය මූණ කට හෝදගෙන කෑමට පල්ලෙහාට එන්න. ඊට පස්සෙ සර්ලා මිස්ලා එක්ක හෙට දවසෙ වැඩ සටහන ගැන කතා කර ගනිමු. මමත් එකතු වෙන්නම්කො එතකොට.”

විජයපුර ආරණ්‍ය සේනාසනයේ කටයුතුවලට නිබඳ සහාය වන ඒ ගිහි පුණ්‍යවන්තයෝ  විද්‍යෝදය ප්‍රජාව උදෙසා රසවත් ආදරණීය ආහාර වේලක් ගෙනැවිත් තිබිණ. එයිනික්බිති නින්දට යාමට පෙර සියලු දෙනා ඒ සඳරැසින් ශෝභමාන වූ රාත්‍රියේ එළිමහන් බිම්කඩක දී හෙට දිනයේ වැඩ සටහන ගැන සාකච්ඡා කළහ. එහි ආරම්භය සලකුණු කරන ලද්දේ සිතාරී ආචාර්යවරිය විසිනි. 

“දරුවනේ, අපි හෙට උදේ හත වෙන කොට මෙතනින් පිටත් වෙනවා. නිමල් අය්යලා අපි ශිෂ්‍ය කාලෙදි වගෙම හෙට දවසෙදිත් ඔය ගොල්ලන්ට උදේ කෑම අරගෙන එනවා. උදේ පහ වෙන කොට නැගිටලා ඔය ගොල්ලො සූදානම් වෙන්න ඕන. අපි හෙට දවසෙ පුලියන්කුලම පුරාණ පබ්බත විහාරයකට අයිති නටබුන් පරීක්ෂා කරනවා. ඒ වගෙම අනුරාධපුරයට සැතපුම් තුනක් විතර උතුරින් තියෙන විජයාරාමය අධ්‍යයනය කරනවා. අපේ වෝල්ටර් සර්ගෙ ජපුරෙ පළවෙනි ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරන ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හාමුදුරුවො මෙහෙම ආපු ගමනකදි කියලා තිබුණා, අපි විජේරාමෙ ඉඳලා විජේරාමෙට ආවා කියලා. ඒ වගෙම මේ ගමනෙදි අනුරාධපුරයෙන් උතුරු පැත්තට හැතැම්මවලින් ම කිව්වොත් සැතපුම් දෙකහමාරක් විතර දුරකින් මල්වතු ඔයේ වම් ඉවුරේ තියෙන පන්කුලියේ ආරාමික නටබුන් ගැන විශේෂයෙන් අධ්‍යයනය කරනවා. අපි අද අශෝකාරාමය කියලා කියන්නෙ එතනට යි. ඒ විතරක් නෙමෙයි මේ චාරිකාවෙදි තොලුවිල තියෙන නටබුනුත් අපි අධ්‍යයනය කරනවා. ඒ කියන්නෙ වෙනදා ඔයගොල්ලො සාමාන්‍යයෙන් අනුරාධපුරේ ආවහම යන්නෙ නැති තැන්වලට යනව කියන එකයි. අද රෑ තමයි ශ්‍රී මහා බෝධිය, රුවන්මැලි සෑ වෙහෙර වැඳ පුදා ගැන්ම සිද්ධ කරන්න අපි ඉඩ හදාගන්නෙ. 

පබ්බතාරාම ඇතුළු ව වාස්තුවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලන ස්ථාන ගැන ඔයගොල්ලන්ට කරුණු කියලා දෙන්නෙ, ඔයගොල්ලොත් එක්කම අධ්‍යයන කටයුතුවල යෙදෙන්නෙ, මෙතන ආදි ශිෂ්‍ය යුග තුනක් නියෝජනය කරන වර්තමානයෙ ඔයගොල්ලන්ගෙ ආචාර්යවරුන් විදිහට කටයුතු කරන අපේ ශාන්ත හාමුදුරුවන්ට ගඟුල් සර්ට වගෙම මට ඒ දැනුම ලබා දුන්න අපේ ආදරණීය ආචාර්යවරයා මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමා ම තම යි. ඒක දුර්ලභ නෙමෙයි, අතිදුර්ලභ අවස්ථාවක්. මන් ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගන්න කාලෙ ආපු මේ වගෙම ගමනක දි වෙච්ච එක සිදුවීමක් මම මතක් කරන්න කැමතියි. වෙනදා වගෙම එදත් සහන් සර් අපේ වෝල්ටර් සර්ගෙ සහයට ඇවිදින් හිටියා. මේ කාලෙට වඩා අපේ යුගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හිටියා. මට මතකයි එදා අපේ වෝල්ටර් සර් අපට කරුණු පැහැදිලි කරන වෙලාවෙ මැදිවියෙ නෝනා කෙනෙකුයි තරුණ නෝනා කෙනෙකුයි අපි ඉන්න පැත්තට එනවා. මේ දෙන්නම විදේශිකයන්. ඒ වෙලාවෙ අපි ඉන්න තැනට කිට්ටුවෙන් බිම වාඩි වෙලා ඉන්න සහන් සර්ගෙන් අර තරුණ කාන්තාව මොකක් ද අහනවත් අපි දැක්කා. ඒ මොකක් ද දන්නව ද අහලා තිබුණෙ. අර උස මහත්තයා මේ භික්ෂූන් වහන්සේලටයි මේ තරුණ කණ්ඩායමට මොනව ද මේ පැහැදිලි කරන්නෙ කියන එක. ඒ වෙලාවෙ සහන් සර් කියලා තිබුණා ඒ අපේ රටේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් තමන්ගෙ ශිෂ්‍යයන්ට මේ තැන්වල තියෙන ඓතිහාසික අගය වගෙම වාස්තු විද්‍යාත්මක වටිනාකම් පැහැදිලි කරනවා කියලා. ඒ වෙලාවෙ අර තරුණ කාන්තාව කියලා තිබුණා මගෙ මහාචාර්යතුමියටත් එතුමා සමග කතා කරන්න අවස්ථාව සලසලා දෙන්න කියලා. කවුද දන්නව ද ඒ ඇවිල්ලා හිටියෙ, ලන්ඩන් විශ්වවිද්‍යාලෙ පුරාවිද්‍යා අධ්‍යයනාංශෙ මහාචාර්යවරියක්. අර තරුණ ගෑණු ළමයා එතුමියගෙ පර්යේෂණ සහායිකාව. සහන් සර් මාරසිංහ සර්ගෙ නම කිව්වා විතරයි අර මහාචාර්යතුමිය ගොඩක් සන්තෝස උනා. එතුමිය අපේ සර්  වාස්තුවිද්‍යාව ගැන ලියපු පොත් කියවපු කෙනෙක්. එතැන ඉඳලා කරුණු පැහැදිලි කිරීම් සර් කළේ ද්විභාෂික ව. මට මතකයි එදා ඒ දෙන්නා එතනින් සමු ගත්තෙ සර්ට අප්‍රමාණ විදිහට ස්තුති කරලා. දරුවනේ, ඔයගොල්ල අවුරුදු අනූවකට ආසන්න වෙලත් අපේ ආරාධනය පිළි අරගෙන ඔයගොල්ලන්ට මේ විෂයට තියෙන ආදරය නිසා අපිත් එක්ක මේ ගමනට එක් වෙච්ච අපේ සර්ගෙ දැනුමින් උපරිම ප්‍රයෝජන ගන්න.”  

මෙසේ කියා සිතාරී, බැලුවේ සහන් ආචාර්යවරයා දෙස ය. ඒ මොහොතේ සහන් පැවසුවේ පූජ්‍ය ශාන්ත හිමියනට අදහසක් ප්‍රකාශ කිරීම සඳහා ආරාධනය කරන ලෙස ය. එලෙස ලද ආරාධනය පරිදි ශාන්ත හිමියෝ සිය හඬ අවදි කළහ.

“මමත් ගොඩක් සතුටු වෙනවා මේ ගමනට මෙතන ඉඳලා ඔයගොල්ලොත් එක්ක සහභාගි වෙන්න ලැබීම ගැන. මම ශිෂ්‍යයෙක් විදිහට මේ ගමන්වලදි උකහා ගත්ත දැනුමක් තියෙනවා. මට පස්සෙ කාලෙක අපේ සිතාරි මිසුත් ඒ අද්දැකීම ලැබුවා. ඊටත් පස්සෙ ගඟුල් සර්ලා. මාරසිංහ සර් 1990 අපේ විශ්වවිද්‍යාලෙට සම්බන්ධ වුණු දවසෙ ඉඳලා ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට ඒ දැනුම ලබා දුන්නා. අද ඔය ගොල්ලන්ටත් ඒ භාග්‍යය උදාවෙලා තියෙනවා. දැනුම කියන්නෙ යුගයෙන් යුගය ඉදිරියට ගලා යන, ගලා යායුතු දෙයක්. මේක ප්‍රවාහයක්. ඒ ප්‍රවාහයේ වර්තමාන ක්ෂණ මාත්‍රය තමයි ඔයගොල්ලො.

අනුරාධපුරය අධ්‍යයනය කරනවා කියන්නෙ තවත් එක ගවේෂණයක්, අධ්‍යයනයක් විතරක් නෙමෙයි. අතීත සමාජයක් ගැන අධ්‍යයනය කිරීමක් විතරක් නෙමෙයි. මේක ජීවිතය ගැන අධ්‍යයනයක්, දහම ගැන අධ්‍යයනයක්. පරිසරය - සොබාදහම ගැන අධ්‍යයනයක්. නගර නිර්මාණය ගැන අධ්‍යයනයක්. වර්තමානයටත් ගළපා ගන්න පුළුවන් පරිපාලන ව්‍යුහ ගැන කරන අධ්‍යයනයක්. අනුරාධපුර ගමන කියන්නෙ පර්යේෂණ මාතෘකා රාශියක් අපට දායාද කරන උල්පතක්. ඒකට විෂය භේදයක් නෑ. වනවිද්‍යාව කරන කෙනෙකුට පුළුවන් අනුරාධපුරේ දෘශ්‍යමාන ශාක ගැන අධ්‍යයනය කරන්න. ඉංජිනේරු විද්‍යාව හදාරන දරුවන්ට පුළුවන් අතීත තාක්ෂණය ගැන ඉගෙන ගන්න. ගෘහ නිර්මාණය කරන අයට පුළුවන් තමන් ඉගෙන ගන්න වාස්තුවිද්‍යාව තව තවත් අර්ථවත් කර ගන්න මේ විදිහට ලබා ගන්න දැනුම ඔස්සෙ. අපි පුරුදු වෙලා අනුරාධපුරේ, පොළොන්නරුව වගේ තැන් අධ්‍යයනය කරන්න ඕනෙ ඉතිහාසය, කලාශිල්ප, සෞන්දර්ය වගේ හදාරන ශිෂ්‍යයන් විතරක් කියලා. ඒක වැරදි අදහසක්. මේ දරුවො වෙනත් පීඨවල ඉගෙන ගන්න තමන්ගෙ ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට කියලා දෙන්න, මේවා අධ්‍යයනය කිරීමෙන් ඒ ගොල්ලන්ගෙ විෂයන්ට ලබා ගන්න පුළුවන් ආලෝකය ගැන.

සහන් සර්ට මතක ද දවසක් සර් මට යෝජනා කළා කාලිදාස කවියාගේ නිර්මාණවල දෘශ්‍යමාන වෘක්ෂලතා ගැන අධ්‍යයනයක් කරන්න. මට සර් දවසක ඒ අධ්‍යයනය අනුරාධපුරයත් එක්ක ගළප ගෙන කරන්න අදහසක් තියෙනවා. ඒක කරන්නෙ කොහොම ද කියන එක ගැන මට තවම පැහැදිලි අදහසක් නැහැ. ඒත් යම් යම් දේවල් ගැන අපේ හිත්වල ඇති වන උනන්දුවම අපි යන්න ඕන කරන තැනට පාර පෙන්නාවි කියලයි මට හිතෙන්නෙ. අපිට පුළුවන් උනොත් අපේ සිසු දරුවො නිවැරදි දැනුම ලබලා ලෝකයට සෙවණ දෙන මහා වෘක්ෂ වගේ චරිත බවට පත් කරන්න, අන්න ඒක අපි මේ ජීවිත කාලය පුරා රැස් කර ගන්න අනික් ගොඩක් දේවල්වලට වඩා වැදගත්. මන් මේ වෙලාවෙ අපේ සහන් සර් 2000 අවුරුද්දෙ ලියපු කවියක පොඩි වෙනසක් කරලා ඒක සෙත් කවියක් ම කියන හැඟීම ඇතුව මේ සියලු ම දෙනාට මම සුබ පතන්න කැමතියි.   

මෙත් මල් පිපේවා   ඔබ හද තුරු අරණ - ඒ තුරු අරණ ලොවකට     දෙනු ඇත සෙවණ

කෙළවර දකිනු සඳහා මෙසසර ගමන     -      අනුරාපුරය වේවා    ලොවකට සරණ

No comments:

Post a Comment