Sunday, December 28, 2025

139. ගුරු දියවර 50 - සමන් චන්ද්‍ර රණසිංහ


                                                සිංහල සිනමාවට භාරත වර්ණ



“කොතැනක හෝ තිබෙන හොඳ දෙය අපේ කලාවටත් ඒ මගින් ඔබේ අපේ රටේ ලෝකයේ ජීවිතවලටත් ආලෝකයක් කරගැනීමේ උතුම් අරමුණින්  ආරම්භ කළ අප සිනමා සංසදය විසින් සංවිධානය කරන ලද දේශන මාලාවේ තෙවැනි දේශනය අදයි. මඳ වැසි මුදු මුදු ව මිහිමතට ඇද වැටෙන මේ සෞන්දර්යාත්මක නිමේශයේ අද දේශනය සඳහා අපගේ ආරාධනය ලැබ මෙහි පැමිණ සිටින්නේ, ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳ ව මෙන් ම සිංහල සාහිත්‍යය ගැනත් යම් හැදෑරීමක් මෙන් ම හැඟීමක් දැනීමක් ඇති තරුණ ගුරු මෙණෙවියක්. අද දවසේ ඇති විශේෂයක් වන්නේ මෙම දේශන මාලාවේ පළමුවැන්න සිදු කළ සහන් වීරසිංහ මහාචාර්යතුමා ද දෙවැන්න සිදුකළ මා මිත්‍ර ගඟුල් සමරනායක තරුණ සහෘදයා ද මෙහි සිවුවැනි දේශනය සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ලබා සිටින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හිතවතා ද ඇයගේ දේශනය ශ්‍රවණය කිරීමට මෙතැනට පැමිණ සිටීම යි. එසේ ම මේ කටයුතුවලදී මට වඩා බොහෝ කාර්ය භාරයක් ඉටු කරන අප සිනමා සංසදයේ ගරු ලේකම් මා සන්මිත්‍ර ඉසුරු නවරත්නයන් ඇතුළු අප සංසදයේ සියලු සහෘදයන්ගෙන් ද පැමිණ සිටින රසික සහෘදයන්ගෙන් ද අවසර ගෙන මම අපේ තරුණ දේශිකාව වන මිහිදිනී තරුචමා ජයසූරිය ගුරු මෙණෙවියට ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනය කරනවා තමන්ගේ දේශනය පවත්වන හැටියට.”

සිනමා සංසදයේ සභාපති සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සාලිය කරුණාරත්නයන් විසින් කරන ලද ආරාධනයෙන් පසු මිහිදිනී පළමු ව සිය හිස නමා සභාවට ආචාර කොට සිය ආචාර්යතුමන් ඇතුළු ප්‍රවීණ සහ නවක සිනමාවේදීන්ගෙන් සහ සිනමා රසිකයන්ගෙන් අවසර ගෙන සිය දේශනය මෙසේ ආරම්භ කළා ය.

මම සිනමාවේදිනියක් නෙමෙයි. එහෙත් සිනමාව ගැන උනන්දුවක් තියෙන සාහිත්‍යය ගැන වැඩි කැමැත්තක් තියෙන රසිකාවියක් පමණයි. එවන් තැනැත්තියක් සාහිත්‍ය දෘෂ්ටි කෝණයෙන් සිනමාව ගැන දක්වන අදහස් ගැන දැන ගැන්මට පැමිණි ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරයත් ස්තුතියත් පුද කරන්නට කැමතියි. අපේ ආචාර්යතුමා මහාභාරත ටෙලි වෘත්තාන්තයේ කථාංග 44 ක සාරාර්ථය දක්වමින් මෙහි පළමු දේශනය සිදු කළා. ආරාධිත කථිකාචාර්ය ගඟුල් සමරනායක සහෘදයා එතැන් සිට 60 වන කථාංගය තෙක් නිදසුන් ගෙන හැර දක්වමින් කතා කළා. 61 සිට තවත් කථාංග 34 ක් ඉදිරියට තිබෙනවා. මට ඒ සියල්ල ම විස්තර වශයෙන් ගැනීමට නොහැකි වේවි. ඒ නිසා මට පුළුවන් විදිහට මහාභාරත ටෙලි වෘත්තාන්තය බලමින් මා විඳගත් මිහිර සහ අරුත ඔබ සමග බෙදා ගැන්මට මම කැමතියි.  

61 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය කියන්නේ කවියා - නිර්මාණකරුවා කියන දෙයට එකග වන්නට හෝ නොවන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙන බවයි. ගෞරවනීය අතීතයක් අපට තිබුණත් ඒ අතීතයේ අපට ජීවත් වන්නට බැහැ. එහෙත් ඉන් පාඩම් උගෙන අපට වර්තමානය සකසා ගත හැකි යි. පාණ්ඩවයන්ගේ වනවාසයෙන් පසුත් පෙරළා ඔවුනට හිමි රාජ්‍යය නොලැබීම සමීප යුද්ධයකට හේතු වන ආකාරය ගැනයි මේ කථාංගයේ දිගින් දිගට ම කියවෙන්නේ. මෙහි එක් තැනක තිබෙනවා අර්ජුන පුත්‍ර අභිමන්‍යුගේ විවාහය ගැන. එහි කියැවෙනවා පාණ්ඩවයන්ට දිගු කලකට පසු සතුටු වීමට නිමිත්තක් ලැබී ඇති බව. මෙය අප සිනමාවට සම්බන්ධ කරගත යුත්තේ ඒ සතුට සමග අනිවාර්යයෙන් ම ජීවිතයේ අර්ථය ද තහවුරු කළ යුතු ය යන පණිවිඩයත් ඊට මුසු කිරීමෙන් පසු යි. මෙහි තවත් තැනක තියෙනවා මවකට සිය දරුවන් දැක හඳුනාගැනීමෙහි ලා තෙවැනි ඇසක් ඇති බව. මට දැනෙන විදිහට හොඳ සිනමාකරුවෙක් සිනමාකාරියක් කියන්නේත් මවක් වගේ ම පියෙක්. ඔහුට හෝ ඇයට සිනමා ප්‍රේක්ෂකයන් නිවැරදි ව හඳුනා ගැනීමෙහි ලා වන ඇස තිබිය යුතු යි.  

62 කථාංගයේ දේශපාලනය ගැන කියවෙනවා. එහි දී කාලචක්‍රය අපට දෙන එක් පණිවිඩයකට අනුව පාලකයා වැදගත් කොට සැලකිය යුත්තේ රට මිස සිය දූ පුතුන් නොවේ. ධ්‍රැතරාෂ්ට්‍ර නමැති රාජ්‍ය පාලකයා බලයෙන් සහ ගුණයෙන් පිරිහෙන්නේ ඔහු තමාගෙන් පසු සිය පුතු රජ විය යුතු ය යන පටු කල්පනාවෙන් වැඩ කළ නිස යි. අවසානයේ ඔහුට ඒ පුතුන් වත් ඉතිරි වන්නේ නැහැ. මෙය සිනමාවටත් සාධාරණ යි. මා විශ්වාස කරන අන්දමට කෙනෙක් දීර්ඝ කාලයක් සිනමාවේ වේවා වෙනත් කලා මාධ්‍යයක නිරත ව සිටීම යන කරුණ පමණක් ඔවුන්ගේ දූ දරුවන්ට ඒ මාධ්‍ය විවෘත වීමෙහි ලා වන දොරටුවක් විය යුතු නැහැ. ඒ අයට ඒ සම්බන්ධ කිසියම් කෞශල්‍යයක් තිබෙනවා නම් ඒ දොරටු වැසිය යුතුත් නැහැ.

ධ්‍රැතරාෂ්ට රජුට සිය පුත් දුර්යෝධනගේ වැරදි පෙනෙන්නේ නැහැ. ඔහු තමාට වඩා වයසින් ගුණයෙන් මෙන් දැනුමින් ද වැඩි අයට අගරු කොට කතා කරන්නේ වරක් දෙවරක් නෙමෙයි. එවන් අවස්ථාවක ගංගාපුත්‍ර භීෂ්ම දුර්යෝධනට පවසනවා, ඔබට වඩා වයසින් මෙන් ම නුවණින් ද වැඩුණු අයට ගරු කිරීමට පුරුදු වන්නැයි කියා. වරක් එවන් දැනුමින් ගුණයෙන් මතු නොව කෞශල්‍යයෙන් ද තමාට හිතන්නටවත් බැරි තැනක සිටි වයෝවෘද්ධ ගුණවෘද්ධ කෞශල්‍යවෘද්ධ විද්වතෙකුට එක් සිනමා අධ්‍යක්ෂවරයෙක් කතා කළ - ක්‍රියා කළ ආකාරය නිසා පිරිහුණේ ඒ තමා අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයකු යයි සිතා සිටි ඒ පුද්ගලයා ම යි. මේ කථාංගයෙන් සිනමාවට ගත යුතු පාඩම ලෙස මට දැනෙන්නේ එය යි.  

63 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ තම දැනුම වරෙක සිය දෙතොලට සිනහවත් තවත් වරෙක කඳුළත් ප්‍රදානය කරන බව යි. සිනමාකරුවන් වන ඔබ විසින් කරනු ලබන්නේත් මෙය ම නොවේ ද? එහෙත් සිනහව වේවා කඳුළ වේවා එයට සමාජය පවතිනවාට වඩා අර්ථසම්පන්න කිරීමේ හැකියාව තිබිය යුතු යි. මේ කොටසේ කියවෙන පරිදි අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජුට තමා වෙත එන ඕනෑම කෙනෙක් ඔවුන්ගේ පියසටහන්වලින් හඳුනාගත හැකි වුවත් ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට ඔහු සමත් වන්නේ නැහැ. එහෙත් ඔබ ධ්‍රැතරාෂ්ට්‍ර මෙන් නොවිය යුතු යි. ඔබට සිනමාකරුවන් ලෙස ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට හැකි විය යුතු යි. මන්ද ඔබගේ වර්තමාන නිර්මාණය අනාගතයේ දී ඉතිහාසයේ පියසටහන් අතරට එක් වන නිසයි. 

මෙම ටෙලි වෘත්තාන්තයේ 64 වැනි කොටසින් අපට උකහා ගත හැකි හොඳ පාඩමක් තියෙනවා. ඔබට සහ අපට පාඩමක් වන එය ප්‍රකාශයක් වශයෙන් සිනමාකරු ඉදිරිපත් කරන්නේ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ මුවින්.

"If you do not pass the test of truth. You will have neither a present nor a future.̎

සිනමාවේදීන් වන ඔබ මේ සත්‍යයේ පරීක්ෂණයෙන් අසමත් වුවහොත් සිනමාකරුවන් වශයෙන් ඔබටත් වර්තමානයක් හෝ අනාගතයක් හිමි වන්නේ නැහැ. එසේ ම එහි අරුත අතීතය ද අහිමි වී යාම ය යන කරුණත් අමතක කළ යුතු නැහැ. එසේ ම ගංගාපුත්‍ර භීෂ්ම, ධ්‍රැතරාෂ්ට්‍ර රජුට පවසන හස්තිනාපුරයේ අනාගතය, වර්තමානයේ ඔබ මේ කියන කරන දේ මත රඳා පවතීය යන්නත් අපගේ සිහියට ගත යුතු යි. මෙහිදී අප කළ යුත්තේ හස්තිනාපුරය යන වචනය ඇති තැනට සිනමාව යන වචනය ආදේශ කොට ඒ ගැන සිතීම යි.

සිනමාවට අමතර ව අපේ රටේ දේශපාලනයට ගත හැකි පාඩම් ද මේ කතාවේ තියෙනවා. විදුර් නම් මහාමන්ත්‍රීගේ ප්‍රකාශ සහ චර්යා ඒ සම්බන්ධයෙන් අපට කිසියම් ආලෝකයක් සපයනවා. ඔහු කියන්නේ සිය රජුට තමා ඇත්ත තත්ත්වය පහදන්නේ නැත්නම් තමාට ඇමතිවරයකු වශයෙන් කටයුතු කිරිමට ද අයිතියක් නොමැති බව යි. මන්ද ඒ හේතුවෙන් රටක විනාශය සිදුවීම දුර නොවන නිසයි. මේ කතාව අපට උගන්වන්නේ කිසියම් යුගයක සිටින නායකයන්ගේ මනස විපරීත වූ විට විනාශය සිදුවීම නියත බව යි. මෙය සිනමාවට අදාළ කරගෙන ඒ ගැන සිතන්න.

අහංකාරය එය පටන් ගන්නා මොහොතේ සිට ම අන්ධ ය යන කාලචක්‍ර ප්‍රකාශයෙන් තමයි 65 කථාංගය පටන් ගන්නේ. හොඳ සිනමාකරුවෙක් තමා කළ නිර්මාණයක් ගැන කවදාවත් අහංකාර වන්නේ නැහැ. සිය නිර්මාණය සම්බන්ධයෙන් අභිමානයක් ඇති කර ගැන්මේ වරදක් නැහැ. සමන් සිත්තරා මේ ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් කොට තිබෙනවා. ඔහු පවසන පරිදි අහංකාරය නොවටිනා දෙයක්. අභිමානය වටිනා ගුණාංගයක්. අහංකාරය දුර්වලතාවක්. අභිමානය ශක්තියක්. පොදුවේ අප තුළ ඇති වන අහංකාරය පරාජය කළ හැක්කේ අප අපගේ කටයුතු ගැන සිතා බලා අපේ වැරදි අපම දකින විට යි.  

මෙහි  65 වන කථාංගයේ එක් තැනක තියෙනවා ශ්‍රී ක්‍රිෂ්ණගේ එක් ප්‍රකාශයක් ඔබට සහ අපට වැදගත් වන. ඔහු කියනවා, කතා කරන එක ඔබේ වැඩක්. සවන් දෙන එක ඔවුන්ගේ වැඩක් කියා. අන්න ඒ වගේ සිනමා මාධ්‍යයෙන් ඔබට කළ හැක්කේ සිනමාවෙන් ලෝකයට කතා කිරීම යි. එයට සවන් දීම හෝ නොදීම ප්‍රේක්ෂකයන්ගේ වැඩක්. මෙහිදී ක්‍රිෂ්ණ පවසන්නාක් සේ මම මගේ මෙහෙවර කරමි යි යන ආකල්පයෙන් වැඩ කරන්න. මෙහි එන ධ්‍රැතරාෂ්ට්‍ර රජුට ක්‍රිෂ්ණ කියන තවත් ප්‍රකාශයක් වන්නේ ඔබගේ කාලය අවසන් වීමට පෙර වෙන් ව සිටින අය එකතු කිරීම සඳහා කටයුතු කරන ලෙස යි. මේ සිනමා සංසදයටත් වර්තමානයේ එහි තනතුරු දරන අයටත් කළ යුතු මෙහෙවරක් සහ ඊට අයත් කාලයක් තිබෙනවා. ඒ නිසා විවිධ හේතු නිසා විසිරී සිටින සිනමාකරුවන් සදර්ථය සඳහා එකට එකතු කොට ගැන්මට ඔබේ කාලය තුළ කටයුතු කරන්න. සිනමාවේ අනාගතය ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සපුරාලීම උදෙසා නොව සමාජාභිවෘද්ධිය උදෙසා සහ කලාවේ සුප්‍රගතිය උදෙසා ය යන ආකල්පය මුළු හදින් දරන අය එක තැනකට එකතු වීම අත්‍යවශය යි. මන්ද සමාජය යහපත් කරන අර්ථවත් කරන - සුන්දර කරන සිනමාව නමැති දිව්‍ය අස්ත්‍රය දරන අය වන්නේ ඒ පිරිස නිස යි.

සිනමා කෘතියක් ඔස්සේ සමාජගත කළ යුතු සුවිශිෂ්ට චරිතයක් ගැනයි 66 කථාංගය අපට කියන්නේ. ඒ සූර්යපුත්‍ර අංගරාජ් කර්ණ යි. මේ චරිතයේත් දෝෂ නොතිබෙනවා නොවේ. එහෙත් කාලචක්‍රය කියා සිටින්නේ කර්ණ යනු මුළු හදින් ම එක් අරමුණක සිත රඳවා ඒ සාධනය උදෙසා අවංකවම කැප වූ චරිතයක් බව යි. මෙහි දී සිනමාවට කර්ණගේ ආදර්ශය වැදගත් වන්නේ හරි හෝ වැරදි වේවා කිසිදු ප්‍රතිලාභයකට ඔහු සිටින තැනින් දශමයකුදු සෙලවීමට නොහැකි නිසයි. සිනමාකරුවන් කර්ණගෙන් ගත යුතු ආදර්ශය එය යි. මහාභාරතයේ දෙවියන්ගේ නියෝජනය සිදු කරන ප්‍රධානම චරිතය වන ශ්‍රී ක්‍රිෂ්ණ වරෙක පවසන්නේ කර්ණ යනු සුවිශිෂ්ට පුද්ගලයකු බව යි; එසේ ම සත්‍යවාදියකු ද බව යි. මන්ද ඒ ඔහු කිසි විටෙකත් තමා සත්‍යය වශයෙන් ගත් දෙය උල්ලංඝනය නොකරන නිස යි.

Karna, You are an excellent person; a truthful man. You never violated what you accepted as truth.

කාගේවත් බලපෑමකට, වරදානයකට යටත් ව තමා තුළ ඇති සත්‍යය යටපත් කරන්නට එපා. තමාට ලැබෙන ප්‍රතිලාභ මත තමන් නිවරදි යයි සිතා කටයුතු කළ දෙයින් ඉවත් වන, තමන්ට පාර කියා දුන් ගුරුතාරකා අමතක කරන, මිතුරන් නොතකා හරින අය කොයි ක්ෂේත්‍රයේත් හිඳින්නට පුළුවන්. කාලචක්‍රය කර්ණ වෙත සිය ගෞරවය පළ කරමින් පවසන්නේ හිරු අවරින් උදා වුවත් දහවල රාත්‍රිය බවට පරිවර්තනය වුවත් කර්ණ සිය මිතුරාට විරුද්ධ ව යාම නම් සිදු නොවන බව යි.

The sun may rise in the west. The day may become night. But Karna will never betray a friend.  

හොඳ සිනමාකරුවා මහාභාරත වීරකාව්‍යයේ එන විදුර් මෙන් විය යුතු යි. ඔහු ප්‍රශ්න දෙස බලන්නේ ඇලීමෙන් සහ ගැටීමෙන් තොර ව යි. කුරු පාණ්ඩව යුද්ධයේ දී හස්තිනාපුරයේ වර්තමාන පාලකයන් හරි වුවත් වැරදි වුවත් ඔවුන්ගේ පිළ ගැන්ම සිය වගකීම වශයෙන් භීෂ්ම - ද්‍රෝණ - ක්‍රීප බඳු මහාපුරුෂ විරුදාවලි ලද චරිත කටයුතු කළත් විදුර් එයින් වෙනස් වන්නේ යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස මෙන් ම සත්‍යය සහ අසත්‍යය අතර ඇති වෙනස ඔහු හඳුනා ගත් නිස යි. ඔහු හස්තිනාපුරයේ මහාමන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නේ ඒ නිස යි. රජුට වුව කිව යුත්ත මුහුණට ම කීමේ හැකියාව ඔහුට තිබෙනවා. 67 කථාංගයෙන් අපට එසේ ක්‍රියා කරන විදුර් දැකගැන්මට ලැබෙනවා. අප පසුගිය කාලයේ දී දුටුවා කලා ක්ෂේත්‍රය නියෝජනය කළ ඇතැම් දෙනා බලයට පත් කවර හෝ රජයක් විසින් තමා කිසියම් වගකිව යුතු තනතුරකට පත් කළ පසු සිය සමාජ වගකීම අමතක කොට කටයුතු කරන ආකාරය. මෙතනදී විදුර්ගේ ආදර්ශය අපට වැදගත් වන්නේ රජයේ කවර හෝ කොටසක් වැරදි ලෙස කටයුතු කරන විට වෛද්‍ය විද්‍යාවට අනුව ශල්‍ය වෛද්‍යවරයෙක් සමස්ත සිරුර ගිලන් කරවන ඒ කොටස කපා ඉවත් කරන්නාක්  රාජ්‍ය දේහයට සම්බන්ධ ව සිටින ඒ කොටස් ඉවත් කරන්නැයි යන ඉල්ලීම ඔහු නොබිය ව රජුට ම මෙසේ කියා සිටින නිස යි. 

I have come to you with a permant solution. O King, medical science says that if a part of the body is diseased the surgeon should cut away that partion.

පුතුන් යුද කරන විට ඔවුන්ගේ මවුවරුන් පත් වන තත්ත්වයේ සංවේදනීය සහ වික්ෂිප්තභාවය මැනවින් ප්‍රකාශයට පත් කිරීමට මේ සිනමාකරුවන් වඩාත් සාවධාන වන්නේ 67 සහ 68 වන කථාංගවල දී යි. සමාජයක ඇති වන යුද්ධයක කොටසක් නොවී ඒ යුද්ධය ගැන ප්‍රහර්ෂාත්මක ව හෝ විවේචනාත්මක ව කතා කරන්නට අප ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙත් යුද වදින දෙපක්ෂයත් ඔවුනට සම්බන්ධ චරිතත් විඳින කායික සහ මානසික වේදනා ගැන දන්නේ ඒ අය ම පමණයි. මේ සිනමාකරුවා ඒ වේදනාවන් ගැන අපට කියන්නේ එබඳු වේදනා ඇති නොවන අනාගත සමාජයක් නිර්මාණය කිරීම සඳහා යි. හස්තිනාපුරයේ මවුවරුන් යුද වදින සිය පුතුනට ආශිර්වාද නොකරන්නේ මේ නිසයි. යුදයෙන් ගාන්ධාරිට පුතකු අහිමි ව ගිය මොහොතේ ඒ වේදනාව මැනවින් අවබෝධ කරගන්නේ ප්‍රතිපක්ෂය නියෝජනය කරමින් සටන් කළ පිළේ මව වන කුන්තී යි. 

ඒ කෙසේ වුවත් යුක්තිය සහ අයුක්තිය, සත්‍යය සහ අසත්‍යය මෙන් ම අඳුර සහ ආලෝකය අතර ඇති වන සටනක දී අපට ගැන්මට සිදුවන පැත්ත පෙන්වා දීමට ද සිනමාකරු කටයුතු කරනවා. යුද නොකරන ශ්‍රී ක්‍රිෂ්ණ යුක්තිය, සත්‍යය සහ ආලෝකය නියෝජනය කරන පිළේ මාර්ගෝපදේශකයා බවට පත් කරන්නේ ඒ චරිත නිරූපණය ද සමාජයකට අවශ්‍ය නිසයි.

68 වන කථාංගයේ දී ව්‍යාස ඍෂිවරයා මුවින් ගස් ගැන කෙරෙන ප්‍රකාශය ද අපට දැනෙනවා. එහි කියැවෙන පරිදි ඇතැම් ගසක් අපට සෙවන දෙද්දී තවත් ගසක් දර සපයනවා. සෙවන දෙන ගස් රැකගන්නා අතර දරට ගත යුතු ගස් කපා ගත යුතු බවයි ඉන් කියැවෙන්නේ. එසේ කළ යුත්තේ සෙවන දෙන ගස්වලට ඉඩ දීම සඳහා යි. ව්‍යාස ඍෂිගේ මේ ප්‍රකාශය මහාභාරත යුද්ධයට ද අදාළ යි.

Trees not only give shade but are also for fuel. Trees which can not give shade should be cut. So that they make way for shade-giving trees.

69 කථාංගය ආරම්භයේ දී දෙපක්ෂයේ රණකාමීන් ගැන වර්ණනය කරන කාලචක්‍රය අනතුරුව  පවසන්නේ මේ ධර්මය සහ සත්‍යය උදෙසා කරන සංග්‍රාමයක් බව යි. එසේ ම මුළු මහත් විශ්වය ම මේ නිසා චංචල ව ගොස් ඇති බවත් මේ ඇරී තිබෙන්නේ විනාශයේ දොරටු බව කීමටත් සිනමාකරු අමතක කරන්නේ නැහැ.

මේ සමාජයේ ජීවත් වන විට පළිගන්නා චරිතයක ඇති ලක්ෂණ පිළිබඳ අවබෝධය ද තිබිය යුතු යි. ඒ ප්‍රවේශම් වෙමින් ජීවත් වීම සඳහා යි. සිනමාකරුවන් මේ ටෙලි වෘත්තාන්තයේ 70 වන කථාංගය ආරම්භයේ ප්‍රේක්ෂකයනට සම්මුඛ කරන්නේ එබඳු චරිතයක්. ඒ ශිඛණ්ඩින්. දින 18ක් පුරා පැවතීමට යන යුද්ධය ආරම්භ වීමට පෙර අපට ඔහු මුණ ගස්වන්නේ මේ කොටසේ දී යි. සොයුරු ධෘෂ්ට්‍රද්‍යුම්නට දක්නට ලැබෙනවා ඔහු සිය හීවල විෂ තවරමින් සිටින ආකාරය. ඒ කවර හෝ මොහොතක භීෂ්ම මරා දැමීම සඳහා යි. ඒ සඳහා ඔහුට හේතුවක් තිබෙන මුත් ඒ අප්‍රාමාණ වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ගංගාපුත්‍ර භීෂ්ම යි. මේ වන විට ඔබ දන්නවා භීෂ්ම යනු කවරෙක් ද යන බව. ඒ සමාජයක් අර්ථවත් කරන, සුන්දර කරන, පවිත්‍ර කරන චරිතයක්. ශිඛණ්ඩින්ගේ පෞද්ගලික වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ඒ උත්තුංග පුරුෂ රත්නය යි.

මේ කොටස අවසානයේ එන ගීතෝක්තියෙන් කියැවෙන්නේ ගිනිගත් ගැහැනියකගේ හද ගිනිදැල්ල සමත් වන්නේ දවාලීමට පමණක් නොවන බව යි. ඇයගේ පළිගැනීමේ හැඟීම ම තමයි, ඇයට ධෛර්යය සහ ශක්තිය දෙන්නේ. දෞපදී යනු කුරුක්ෂේත්‍ර සංග්‍රාමයේ පදනම යි. ඇය යනු හුදෙක් සන්නාහය පමණක් නොවේ; අසිපත ද ඇය යි.

May not the flame of the fiery woman, even burn down. The revenge of the firey woman has given her courage and strength.

Draupadi is the foundation of the Kurukheshetra  war. She is not only the shield, but also the sword

71 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ ජනතා ශුභසිද්ධිය අපගේ උත්තරීතර ව්‍යවස්ථාව විය යුතු බව යි. සිනමාකරුවන් වන ඔබගේ ව්‍යවස්ථාව ද ඉන් වෙනස් වන්නේ නැහැ. මන්ද ඔබගේ ප්‍රේක්ෂක රසිකයන් යනු ජනතාව ම වන නිස යි. 

මේ කථාංගයේ පසුබිමින් ඇසෙන රණකාමියකුගේ ප්‍රේම සන්දේශය අතීත, වර්තමාන සහ අනාගත සටන් දෙස වෙනස් ම ඇසකින් බැලීම වෙත අප යොමු කරනවා. සටන් බිම හිඳ සිය පෙම්වතියට ලියන මේ ගීතයෙන් කියැවෙන්නේ එය ලබන මොහොතේ තමා ජීවත් වීම හෝ නොවීම සිදු ව තිබීමට ඉඩ ඇති බව යි. ඒ හෙට දවසේ දී මේ පාරිශුද්ධ කුරු ක්ෂේත්‍රය සංග්‍රාම භූමියක් බවට පත් වන නිස යි. මේ නිසා අපට අහිමි වන්නේ ප්‍රේමය යි. මා විශ්වාස කරන්නේ සාධාරණ වේවා අසාධාරණ වේවා වන යුද්ධයන්ගේ නාමයෙන් ලෝකයට ප්‍රේමය අහිමි නොකළ යුතු බව යි. මන්ද ලෝකයේ පැවැත්ම සිදු වන්නේ ප්‍රේමය නිසා බැවින්. මා කම්පනයට නොව ප්‍රකම්පනයට පත් කළ ඒ ප්‍රේම ගීතයේ මුල් වචනවල ඉසොඳුරු පරිවර්තනය මම ඔබ සමග මෙසේ බෙදා ගැන්මට කැමතියි.

My beloved, By the time you get this letter of mine, I don´t know I may or may not live in this world. The holy land of Kurukshethra will tomorrow become a battlefield.

මෙහි 72 කථාංගය පුරා ඇත්තේ භගවද්ගීතාවේ රාවය යි. සංග්‍රාම භූමියට යන අර්ජුන දෙපක්ෂයේ සිටින නෑ - හිත මිතුරන් - ගුරුවරුන් දැක ඔවුන් සමග යුද කිරීමට මැලි වෙනවා. ධර්මයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන් මෙය කළ යුතු ම යයි කියා අර්ජුන යුද්ධයට පොළඹවන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. මේ අවස්ථාවේ ඔහු අර්ජුනට භගවද්ගීතාව දේශනා කරනවා. යුද සූදානමත් දෙපක්ෂයේ රණකාමීන් ගැනත් අර්ජුන-ක්‍රිෂ්ණ සංවාදය ගැනත් අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජු දැන ගන්නේ සිය රථාචාර්ය වන සංජයගේ ඇසින්. මේ කථාංගය ම මුල සිට අගට ගීතාව කියවීමක් ම තමයි. ඒ වගෙම 73 සහ 74 කථාංග තුළ ගැබ් ව ඇත්තේ ද භගවද්ගීතාගත දර්ශනය යි. මට  ගීතාව  සම්බන්ධයෙන් ඇත්තේ අල්ප දැනුමක් නිසා මන් ඒ ගැන කතා කිරීමට යන්නේ නැහැ. ඒ නිසා ඒ කථාංගවලින් ඔබට - අපට අපේ පෞද්ගලික ජීවිතයේ මෙන් ම සිනමා ජීවිතයේ ආදර්ශ පාඨ බවට පත් කොට ගත හැකි ප්‍රකාශයක් දෙකක් උපුටා දක්වන්නට තමයි මට හැකියාවක් තියෙන්නේ.

“මහපොළොවේ ඔබට ඇති කාර්යය ඉටු කරන්න.

අනාගතය උපදින්නේ වර්තමානයෙනි.

සත්‍යය පීඩා විඳින්නේ මනුෂ්‍යයා පෙළඹීමෙන් ඉවත් නොයන නිසයි.” 

මා ඒ උපුටා දැක්වූයේ මේ විශිෂ්ට සිනමාකරුවන් 73 කථාංගය ඔස්සේ සමාජගත කරන සදුක්ති තුනක් පමණ යි.

74 කථාංගය මුලදී කාලචක්‍රය කියන්නේ ඔබගේ ක්‍රියාවන් අනුව ඔබ විනිශ්චයට ලක් වන බව යි. මෙය ද ඔබට මෙන් ම අපටත් අදාළ වන කරුණක්. මෙහි අරුත අප ක්‍රියා නොකොට නිශ්ක්‍රියව හිඳීම නම් නෙමෙයි. මෙහි කියැවෙන පරිදි ගසක වගකීම වන්නේ ලොවට පල සම්පත සහ සෙවන ප්‍රදානය කිරීම යි. ඔබේ සිනමා සිත්තම කියන්නේ ද සමාජය අබිමුව තබන පලයක්. එසේ ම ඔබේ නිමැවුම ලොවට සෙවන දෙන විසල් රුකක් වේවා යි ප්‍රාර්ථනය කිරිමට ද මම මෙය අවස්ථාව කොට ගන්නවා. ගසකට තමා වෙත වැටෙන දැඩි හිරු කිරණ දරා ගැන්මට සිදු වෙනවා. එහෙත් ඒ පීඩාව දරාගෙන ඔහු ලෝකයට දෙන්නේ සෙවන යි. ඔබ නිර්මාණයක් බිහි කිරීමට කොපමණ වෙහෙසක් විඳිනවා ද? ඒ වෙහෙස විඳින්නේ තමාගේ පෞද්ගලික සතුට, ලාභය හෝ ප්‍රසිද්ධිය සඳහා පමණක් නම් එහි අර්ථයක් නැහැ. මහාභාරතය අපට කියන්නේ අනුන්ගේ වේදනා දරාගන්නා තැනැත්තා ශ්‍රේෂ්ඨයකු බව යි. යහපත කිසිදා විනාශ නොවන බවත් කල්‍යාණකාරි ශෝකකාරි නොවන බවත් මේ සිනමා කෘතිය අප වෙත ගෙනෙන තවත් පාඩමක්.

යුද්ධය ආරම්භ වීමට පෙර සටන් බිමට ඇවිත් සිටින සියලු රණකාමීන් අමතා පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර කරන ප්‍රකාශය සිනමා කෘතියක් මාධ්‍යය කොටගෙන ලොව සිටින වර්තමාන අනාගත සියලු යුද කරන්නනට දෙන මහගු පාඩමක් කියා යි මට සිතෙන්නේ. අපි දැන් ඔහුගේ ඒ ප්‍රකාශයට සාවධාන වෙමු.

“මෙහි පැමිණ සිටින සන්නද්ධ ව සිටින සියලු රණවිරුවනි, අසන්න, කුරු ක්ෂේත්‍රය යනු පවිත්‍ර පුණ්‍ය භූමියක්. මා මෙය සලකන්නේ ශුද්ධ වූ සංග්‍රාමයක් ලෙස යි. මගේ සේනාවේ සිටින කවුරුන් හෝ සිතනවා නම් සත්‍යය සහ යුක්තිය තියෙන්නේ ප්‍රතිපක්ෂයේ යයි කියා, ඔහුට දැන් අපට ඇති පක්ෂපාතිත්වය වෙනස් කොට ඒ පිළට යා හැකි යි. එසේ ම කෞරව පක්ෂයේ සිටින කවුරු හෝ සිතනවා නම් සත්‍යය ඇත්තේ අපගේ පිළේ යයි කියා, ඔවුනට අප වෙත ආ හැකි යි. මම ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.”

75 වන කථාංගයෙන් කියැවෙන්නේ සංග්‍රාමයේ ඇති අතිබිහිසුණු බව යි. ඒ විස්තර මම ඔබ සමග කතා කිරීමට යන්නේ නැහැ. 76 කථාංගයේ දී කාලචක්‍රය පවසන කරුණු වෙතයි අප අවධානය යොමු කළ යුත්තේ. එහි කියැවෙන පරිදි උපන් විට දෙමව්පියන් ඉතා ආදරයෙන් නම් තැබූ දරුවන් දෙපිරිසක් දෙපැත්තක සිට ඔවුනොවුන් මරා ගන්නවා. ඔවුන් කලින් සතුරන් ව හෝ මිතුරන් ව සිටියේ නැහැ. එහෙත් මේ යුද්ධය ඔවුන් සතුරන් බවට පත් කොට තිබුණා. ඔවුන් මේ සංග්‍රාම භූමියේ දී හමු නොවී වෙනත් පරිසරයක දී හමු වුණා නම් ඔවුනොවුනට දක්වන ප්‍රතිචාර වෙනස් විය හැකි ව තිබූ බවයි කාලචක්‍රය කියන්නේ. එසේ වූවා නම් ඔවුන් එකිනෙකා දෙස සිනහමුසු මුහුණින් බලන්නට ඉඩ තිබුණා. එසේ ම ඔබ කොහේ සිටි පැමිණ කෙනෙක් ද යන්නත් සුහද ව ඇසීමට ඉඩ තිබුණා. තම තමන්ගේ පවුල්වල තොරතුරු ද කතා කිරීමට ඉඩ තිබුණා. එය එසේ වී නම් මේ මරණයේ සලකුණ ඔවුන් වෙත ළඟා වන්නේ නැහැ. මේ එක් එක් අය කෙසේ මරණයට පත් වන්නේ දැයි කිසිවකුට කිව නොහැකි යි. ජීවත් ව සිටි නිවහනින් සැතපුම් ගණනාවක් ඈතින් තිබෙන තැනකට පැමිණ මෘත දේහ බවට පත් වන ඔවුන් දෙස බලා සිටින්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අප මෙතැන සිටීමෙන් ඵලයක් නැති බැවින් අපි වෙනත් තැනකට යමු කියා යි, කාලචක්‍රය අපට කියන්නේ.

කාලචක්‍රයමාර්ගයෙන් ඒ භාරත සිනමාවේදීන් අප අබිමුව තබන මේ කටුක යථාර්ථය අපට නොතකා හරින්නට බැහැ. මා මෙය සලකන්නේ විශිෂ්ට සිනමාකරුවන් විසින් සිනමාව මාධ්‍යය කොට ගෙන ලෝකයට දෙන ලද සුවිශේෂ පණිවිඩයක් ලෙස යි.

77 කථාංගයේ එක් තැනකදී ගංගාපුත්‍ර භීෂ්ම, දුර්යෝධන තූළ ඇති බලවත් ම දෝෂය වශයෙන් දකින්නේ නොසිතා කටයුතු කිරීම යි. එසේ ම අන්‍යයනට සවන් දීමේ ගුණය ද දුර්යෝධන තුළ අවිද්‍යමාන යි. හොඳ සිනමාකරුවකු විය හැක්කේ එකී දෝෂයන්ගෙන් වියුක්ත වන අයට පමණ යි.

වරෙක ක්‍රිෂ්ණ, අර්ජුනට පවසන්නේ අයහපතට පක්ෂ වන සියලුදෙනා තමන්ගේ සතුරන් කොට තකන ලෙස යි. මෙම කථාංගය අවසානයේ එන ගීතෝක්තිය ද අපට සිහිපත් කො දෙන්නේ ධම්මපදයේ එන යම් දෙයක් වපුළහොත් ඊට අදාළ ඵලය ලැබේ ය යන අර්ථය දෙන යාදිසං වපතේ බීජං තාදිසං ලභතේ ඵලං යන පාලි පාඨය යි. මහාභාරතය කියන්නේත් කෙනෙක් තමාගේ පව්වලට වන්දි ගෙවිය යුතු යයි කියා යි. එසේ ම යමෙක් වපුරන්නේ අයහපත් භාවයේ ඵල නම් ඔහු ඊට අදාළ ව අයහපත් භාවයේ ඵල ම ලබනු ඇත කියා යි.

One has to pay back for one´s own sins. If one has sown evil the fruit will also be evil.

සෑම කෙනෙකුට ම මේ ජීවිතයේ විවේක ලද යුතු කාලයක් එළඹෙනවා. ආදරණීය ලෙස හෝ අනාදරණීය ලෙස ඒ එළඹුම සිදු විය හැකි යි. සිය පුතු භීෂ්ම ලබන ඒ ඉසිඹුව පිළිබඳ යථාර්ථය කාටත් වඩා හොඳින් දන්නේ ඔහුගේ මව වන ගංගා යි. නිදහස් බිම් කඩක රැඳී එබිම පිරිසුදු කරන සිය මව දකින භීෂ්ම එයට හේතුව අසනවා. ගංගා පවසන්නේ මෙතන පූජනීය තැනක් බැවින් තමා එසේ කරන බව යි. මෙතන ගරුකටයුතු තැනක් වන්නේ කෙසේ ද යන්න විමසන භීෂ්මට ගංගා පවසන්නේ මේ හෙට ඔබ සැතපෙන තැන කියායි. ඇය දන්නවා හෙට දවසේ භීෂ්ම හී සර වර්ෂාවකට ලක් ව ලොවින් නික්ම යන තෙක් සැතපෙන්නේ එතන බව. ඇය පවසන්නේ පුත, දැන් විවේක ලැබුමට නුඹට දැන් අයිතියක් ඇතැයි කියායි. මේ අවස්ථාව අපගේ හදවත්වල රූපණය කරන්නේ සිනමාකරුවන් භාවිතයට ගෙන ඇති වචනයි. ඒ වචන සමග ඔවුන් ප්‍රේක්ෂකයන් අබිමුව තබන රූපරාමු ද අතිප්‍රබල යි. මෙයින් තිස්පස්වසරකට පෙර තාක්ෂණික වශයෙන් අදට සාපේක්ෂ ව නොදියුණු කාලයක සිනමාවෙන් කළ ආශ්චර්යය වර්තමානයේ සිටින අපට ආදර්ශයක්. මම කැමතියි ඒ සිනමාවේදීන්ගේ රූපරාමුවලටත් වඩා අපගේ හෘදය කම්පනය කළ ඒ වචන ඔබ සමග එක් ව විඳ ගන්නට.

What are you doing here mother?         Bhishma

Honouring this piece of land.                Ganga

What´s so special about it ?                   Bhishma

Tomorrow your bed will be placed here. You are very tired my son. So, You have a right to rest.                                                      Ganga

මහාභාරත ටෙලි වෘත්තාන්තයේ 78 කථාංගයේ මට වඩාත් දැනුණු තැන් දෙකින් එකකුයි, මා ඒ පැවසුවේ. මට දැනුණු අනික් තැනත් මම ඔබට කියන්නම්. ඒක ගංගාපුත්‍ර භීෂ්ම මෙන් ම මේ කතාවේදී අපට හමුවන ගුණවෘද්ධ බලවෘද්ධ වයෝවෘද්ධ උත්තම පුරුෂයකුගේ ප්‍රකාශයක්. ඒ ද්‍රෝණාචාර්ය යි.

“අප බැස යන හිරු වැනි යි. අප බැස නොගියහොත් නව හිරුට උදාවීමට ලැබෙන්නේ නැහැ. එහෙයින් අප ගැන නොසිතන්න. අප දැන් බැස යාමට ආසන්න යි.”

සක්‍රිය භීෂ්මට නිෂ්ක්‍රිය ව වැතිර සිටීමට සිදු වේය යනුවෙන් 78 කථාංගය දුන් ඉඟිය සත්‍යයක් බවට පත් වන්නේ 79 කථාංගයේ දී යි. මට සිනමාවට වඩා සමීප සාහිත්‍යය නිසා මගේ කතාවේ වැඩි සාහිත්‍ය නැඹුරුවක් තියෙන්නට පුළුවන්. මහාභාරත ටෙලි වෘත්තාන්තය කළ සිනමාවේදීනට සාහිත්‍යයෙන් මිදීමට නොහැකි වූවා නම් සාහිත්‍ය ගුරුවරියක වන මා ඉන් මිදී කතා කරන්නේ කෙසේ ද? ඒ නිසයි සුන්දර සාහිත්‍යෝක්ති දකින විට මා එතන නතර වන්නේ. ඒ නිසා එබඳු තැනක දෙකක දී නවතින්නට මට ඉඩ දෙන්න.

සමකාලීන මිත්‍ර කුල්ගුරු ක්‍රීපාචාර්ය, ශර යහනත සැතපෙන සිය සහෘදය මිතුරාට දෑත් එක් කොට වඳිමින් පවසන්නේ පවිත්‍ර වයසේ පවිත්‍ර ආත්මය ඔබ යි කියා යි. ඔහු තවදුරටත් කියනවා වියට ගැළපෙන සුදු වතින් සැරසුණු වෙනත් කෙනෙක් කොතැනින් අප ලබන්න දැයි කියා. ශ්‍රී ක්‍රිෂ්ණ එතැනට පැමිණ කියන්නේ ඔබගේ හස්තිනාපුර පක්ෂපාතිත්වය සහ සත්‍යවාදීභාවය කරණ කොට ගෙන ඔබ සදානුස්මරණීය වන්නේ යැයි කියා යි. එසේ ම සෑම යුගයකම සිටින මානවයන් ඔබට ආචාර කරන බව ද ඔහු කියා සිටිනවා. මහාභාරත මේ ටෙලි වෘත්තාන්තය නරඹන රසිකයන් වන අපේ වන්දනය ද දේශ භේදයකින් තොර ව ගංගාපුත්‍ර භීෂ්මයනට හිමි වීමෙන් සනාථ වන්නේ ඒ සත්‍යය යි.

ගංගාපුත්‍ර භීෂ්ම උදෙසා කාලචක්‍රය පවසන වචනවලින් හැඳින්විය හැකි ශ්‍රේෂ්ඨ මානවයන් බිහි කිරීම සඳහා ඔබට - අපට කළ හැකි දෙය වන්නේ ඒ සඳහා අපගේ මාධ්‍යයන් භාවිතයට ගැනීම යි. භීෂ්ම යනු ඉතා කලාතුරකින් බිහි වන චරිතයක්. කාලචක්‍රය, භාරතය අමතා කියන්නේ මෙවන් මිනිසකු සිය බිම ජනිත කරවීමට සමත් වීම නිසා ම ඇය ගෞරවයට පත් වන බව යි. එසේ ම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමට වචන අසමත් බව යි. 

Great men like him are rare. India, you are great that, a great man such as Bhishma was born here. Words fail before his greatness.

අපි දැන් මේ වෘත්තාන්තයේ 80 වන කථාංගය වෙත යමු. මේ කොටසේ දී තමයි අපට භීෂ්මගෙන් පසුව සෙන්පති බවට පත් වන ද්‍රෝණාචාර්ය අතිප්‍රබල ව සටන් කරන ආකාරය දැකගැන්මට ලැබෙන්නේ. දුර්යෝධනගේ ඉල්ලීම පරිදි ඔහුට අවශ්‍ය වන්නේ පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර ජීවග්‍රාහයෙන් අල්වා ගෙන මේ මහා සංග්‍රාමය අවසන් කිරීමට යි. මේ බව චරපුරුෂයන්ගේ මාර්ගයෙන් දැන ගන්නා පාණ්ඩව පක්ෂය, වෙනදාටත් වඩා සිය නායකයා රැකීම කෙරෙහි සාවධාන වෙනවා. ද්‍රෝණ මහා සේනා සංහාරයක නිරත වන විට යුධිෂ්ඨිර පවසන්නේ සිය සොහොයුරනට කියන්නේ තමා ළඟ රැඳී නොසිට සටන් කරන ලෙස යි. එහෙත් ඒ ගැන නොසිතන්න යි කියන භිම සහ අර්ජුන සිය දෙටු සොහොයුරා අතහැර යාමට කැමති වන්නේ ම නැහැ. මේ අවස්ථාවේ තමා ගැන බලනු වෙනුවට ප්‍රතිපක්ෂය සමග සටන් කරන්න යන නියෝගය ද යුධිෂ්ඨිර දැඩි ව කරනවා. මේ මොහොතේ නායකයා වශයෙන් ඔහු කරන ප්‍රකාශය ඉතා වැදගත්. එය ඇතැම් විට රට වෙනුවෙන් නොව සිය බලාධිපත්‍යය උදෙසා සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙබළුන් ඉදිරියට යවන ලොව සියලු රාජ්‍ය පාලකයන් විසින් ගැඹුරින් ම මෙනෙහි කළ යුතු පණිවිඩයක්.

“මා ඒ ගැන නොසිතන්නේ කෙසේ ද? රජුගේ යුතුකම නොවේ ද සෙබළුන් රැකීම. මේ සෙබළුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. ඔවුන් අපේ ම කොටසක්. ඔවුන්ගේ දේහ ද අපගේ දේහ මෙන් ම ගෞරවනීය යි. අපි සටන් කරන්නේ අපේ අයිතීන් වෙනුවෙනු යි. එහෙත් ඔවුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. මා ළඟ රැඳී නොසිට මේ ඍෂි ගුරුවරයා සමග සටන් කරන්න. ඔබට ඔබගේ ගුරුවරයා සමග සටන් කිරීමට ධෛර්යයක් නැත්නම් පසෙකට වන්න. මම ඔහු සමග සටන් කරන්නම්.”

සටනින් යුධිෂ්ඨිර නිරායුධ කළත් සිතූ පරිදි ද්‍රෝණට ඔහු ජීවග්‍රාහයෙන් ගැන්මට හැකි වන්නේ නැහැ. ඒ යුධිෂ්ඨිර තමා වෙතින් ඉවතට යැවූ අර්ජුන අන්‍යයන් හා සටන් කොට ඔවුන් සියලු දෙනා පරාජය කොට ඒ තීරණාත්මක නිමේෂයේ පැමිණ සිය ගුරු ද්‍රෝණ පරදවන නිසයි. ඒ මොහොතේ හිරු බැස යාම නිසා සටන අවසන් වෙනවා. එදින සිදුවූ ඒ බලවත් සංග්‍රාමයෙන් පසු රාත්‍රියේ ද්‍රෝණාචාර්ය ගංගාපුත්‍ර භීෂ්ම සැතපී සිටින තැනට යනවා. ඔහුට සිය ආචාරය පුද කරන ද්‍රෝණ පවසන්නේ සිය ජීවිත කාලය තුළ තමා දුටු අතිපරාර්ථකාමී නිෂ්කාමී පුද්ගලයා ගංගාපුත්‍ර භීෂ්ම බව යි. ද්‍රෝණට මේ මොහොතේ සිය ජීවිතයේ අවිනිශ්චිතභාවයත් දැනෙනවා. ඔහු පවසන්නේ ඔබට පෙර මට මෙලොවින් නික්ම යාමට සිදු විය හැකි බව යි. එහෙයින් සිය අවසන් ආචාරය පිළිගන්නා මෙන් ඔහු භීෂ්මගෙන් ඉල්ලා සිටිනවා. මේ විශිෂ්ටයන් දෙදෙනකුගේ අවසන් සමු ගැනීම යි. 80 වැනි කථාංගය ගැන මා අදහස් දැක්වීම නවත්වනවා ද්‍රෝණාචාර්යයන් ගංගාපුත්‍ර භීෂ්ම අමතා කළ ඒ අනුවේදනීය ප්‍රකාශයෙන්. 

̎ O Bhishma! I must leave before you. So accept my last salute."

මේ ටෙලි වෘත්තාන්තයේ 81 කථාංගය පටන් ගන්නේ කුරු කෙත රාත්‍රීන් අඳුරු යි යන ප්‍රකාශයෙන්. ඛේදවාචකවලට මුහුණ දෙන මානවයන් වෙත එළඹෙන්නේ අඳුරු රාත්‍රීන් තමයි. නොබෝදා සිදුවූ ගංවතුර නායයාම්වලින් සිදුවූ ජීවිත හානි විපත් අද්දුටු හදවත්වලින් සතුට පලාගොස් ඔවුන්ගේ හදවත් අඳුර ස්පර්ශ කිරීම ස්වාභාවික යි. අඳුර ඇති තැනට ආලෝකය ආදේශ කිරීමේ යුග මෙහෙවරින් කලාකරුවන් වන ඔබට කිසිසේත් ම මිදෙන්නට බැහැ. ඔබ කිසිවෙක් ඒ මෙහෙවර අමතක නොකරන බව ද මා දන්නවා. ඒ නිසයි එබඳු හෘදය සංවේදී මානව ප්‍රජාවක් අබිමුව අර්ථවාහී මෙන් ම හෘදයංගම නිර්මාණයක් ගැන කතා කරද්දී මා වඩාත් හැඟුම්බර වන්නේ. කලාව තුළින් උකහා ගෙන අප බෙදා ගන්නා මේ හැඟුම් නිර්මාණකරුවන් වන ඔබ වෙතින් ප්‍රබලාකාරයෙන් ප්‍රකාශයට පත් වන්නේ ය යන විශ්වාසය නිසා හදවතේ අතිමහත් සතුටක් ද උපදිනවා.

ඛේදවාචකයක් වේවා වෙන යම් හේතුවක් වේවා නිසා හෝ වේවා මියගිය අය භෞතික ව සුවපත් කිරීම සම්බන්ධයෙන් අපට කිසිවක් කරන්නට බැහැ. ඒ දැන් ඔවුන් ඒවා ලද හැකි තැනක නොසිටින නිස යි. ඔබේ ආගමික විශ්වාසයනට අනුව ඒ අය සම්බන්ධයෙන් යම් යම් පුණ්‍ය චාරිත්‍ර සිදු කළ හැකි යි. එහෙත් අපේ වැඩි අවධානය යොමු විය යුත්තේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු ව තමා සතු සියල්ල අහිමි වී ගොස් ශෝකාතුර ව ඉන්නා ජීවත් ව සිටින අය සුවපත් කිරීම ගැන යි; ජීවත් කරවීම ගැන යි. මේ කථාංගයේ එන විදුර් නම් ප්‍රඥාවන්තයා ධ්‍රැතරාෂ්ට්‍ර රජුට කරන පහත සඳහන් ප්‍රකාශය අපට වැදගත් වන්නේ ඒ අනුව යි.

̎ Those who are dead are dead, but at least let the others to live."

ධ්‍රැතරාෂ්ට, විදුර්ට ඒ මොහොතේ වත් ඇහුම්කන් දුන්නා නම් අනාගත මරණ සහ විපත් වළක්වා ගත හැකි ව තිබුණා. 

මෙම කථාංගයේ දී ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන යුක්තිධර රණවිරු අර්ජුනපුත්‍ර අභිමන්‍යු මහා රණවිරුවන් ලෙස විරුදාවලි ලබා සිටි බොහෝ යුද වීරයන් පරාජය කරනවා. අවසන දුර්යෝධනගේ අණින් ඒ පරාජිතයන් එක් වී තනි අභිමන්‍යුට වට කොට පහර දෙනවා. මෙය ඔබ නියෝජනය කරන කලා ලෝකයේත් සිදු වන දෙයක්. වරදක් දුටු විට හුදෙකලාව හෝ සාමූහික ව හෝ එයට එරෙහි වීම විවේචනය කිරීම වරදක් නෙමෙයි. එහෙත් වරද ඇත්තේ සැබවින් ම නිර්මාණශීලී දෙයක් සමාජගත කළ මිනිසකුට හෝ ගැහැනියකට ඒ නිර්මාණශීලීත්වය නැති අය එක් වී පහර දීම යි. මරණීය තුවාල ලද අභිමන්‍යු ඒ සාමූහික පහර දීමට සම්බන්ධ නොවූ මුත් සෙන්පති වශයෙන් එය වැළැක්වීමට කිසිවක් නොකොට බලා සිටි ද්‍රෝණාචාර්යගෙන් වේදනාත්මක ව කෑ ගසා අසන්නේ මේ යුද්ධයක ආචාර ධර්ම රකින ආකාරය ද කියා යි. ගංගාපුත්‍ර භීෂ්ම ඉදිරිපත් කළ යුද සම්මුතියට අනුව කෙනෙක් එක් අයෙකු සමග සටන් කරද්දී තවත් අය ඔහුට විරුද්ධ ව එන්නේ කෙසේ ද කියා යි. අභීත රණවිරුවන් යුද ආචාර ධර්ම උල්ලංඝනය නොකරන බව කියන අභිමන්‍යු පවසන්නේ වංචනිකයන් නොවී තමා සමග වෙන වෙන ම ද්වන්ද්ව සටනකට එන ලෙස යි. එහෙත් එය නොතකා ඔබ සියලු දෙනා එක් ව සටන් කළත් තමා ස්ථිර වශයෙන් ම සටන් කරන බව කියන අභිමන්‍යු ප්‍රකාශ කරන්නේ ඉතිහාසය කෛරාටිකයන්ගේ නාමාවලියට නුඹලාගේ නම් ඇතුළත් වනු දැකීමට තමා අසතුටු බව යි. 

කලාවේ නාමයෙන් කලාව නොවන දෙය කරන, විචාරය කළ යුතු තැනට අවිචාරය ආදේශ කරන කාටත් අනාගත ඉතිහාසය උරුම කොට දෙන්නේ ඒ කෛරාටිකයන්ගේ නාමාවලියේ තැනක් මිස වෙනත් තැනක් නම් නෙමෙයි. 

දැන් අපි සංග්‍රාමභූමියේ දී මරණීය තුවාල ලබා මරණය අබියස හිඳ බ්‍රාහ්මණවංශික භරද්වාජපුත්‍ර ද්‍රෝණාචාර්ය දෙස බලා අභිමන්‍යු නම් අභීත යෞවන රණකාමියා කළ ඒ ප්‍රබල ප්‍රකාශය දැක ගනිමු; විඳ ගනිමු; ඊට සාවධාන වෙමු.

̎ O Brahmin! O son of Bharadavaj. I am Abhimanyu, son of your disciple Arjun. I want to ask you. Have you forgotten the rules of war made by Gangaputra Bhishma? Wasn’t there a rule that only one warrior is supposed to fight another? Brave warriors don’t search for escape routes. If you are not cowards duel with me.

Sage, I too am Lord Krishna’s deciple. Don’t think I can’t fight you together-I will fight. I will surely fight. I don’t want history to know you as cowards."

83 කථාරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ එදින හිරු පවා සිදුකළ ඛේදවාචකය ගැන කම්පා වන බව යි. ස්වාභාවිකව ඛේදවාචක සිදු විය හැකි යි. එහෙත් බරපතල දෙය වන්නේ සිතා මතා ඛේදවාචක සිදු කිරීම යි. සිනමාකරුවන් වන ඔබට ඔබේ ජීවිත කාලය තුළ නොයෙකුත් ඛේදවාචක දැකීමට සිදු වේවි. එහෙත් නොබෝදා අපට අහිමි වී ගිය පිරවි නම් සුවිශිෂ්ට මලයාලම් සිනමාවේදී සාජි එන්. කරූන් කීවා සේ ඔබේ වගකීම වන්නේ ඛේදවාචක සිදු නොවන සමාජයක් නිර්මාණය කිරීම යි. 

අර්ජුන පැමිණ සිය පුතු ගැන විමසන විට සියලුදෙනා ශෝකාතුර ව බලා සිටිනවා විනා ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. අනතුරුව ඔහු සිය දෙටු සොයුරු යුධිෂ්ඨිරගෙන් අසන්නේ සිය පුත් අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ඇයි ද කියා යි. එයට ද කිසිවෙක් පිළිතුරක් දෙන්නේ නැහැ. එහෙත් හින්දු ආගමික සම්ප්‍රදායට අනුගත ව නම් ඊට දීමට පිළිතුරක් තිබෙනවා. ඒ අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ස්වර්ගයේ අසුනක් ඔහුට හිමි වූ නිසා බව යි.

මේ අවස්ථාවේ හඬා වැලපෙන අභිමන්‍යුගේ බිරිඳ උත්තරා වෙත යන ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ නැගිට නොහඬා මහා සත්‍ය රණකාමියකුගේ බිරිඳ ලෙස ඔහුට සමු දෙන ලෙස යි. මෙහි දී ඔහු අන් සියලු රණකාමීනට ආදර්ශයක් බවත් සෑම ජීවිතයකට ම අදාළ ඒකාන්ත සත්‍යය මරණය බවත් ක්‍රිෂ්ණ කියා සිටිනවා. එහෙත් මෙබඳු අභීත මරණ අතිදුර්ලභ ය යන කරුණ ඔහු අවධාරණ කරනවා. එසේ ම ලොව සිටින සියලු රණවිරුවන් තමාගේ ස්ථානය අභිමන්‍යුගේ ස්ථානය සමග හුවමාරු කොට ගැන්මට සතුටු බව ද ක්‍රිෂ්ණ අභිමානයෙන් කියා සිටිනවා. 

අනතුරුව අපට දැක ගැන්මට ලැබෙන්නේ ඔහු ඝාතනය කළ ප්‍රතිවාදීන් ද පැමිණ එම දේහය මත මල් විසුරුවමින් ප්‍රණාමය පළ කරන ආකාරය යි. මේ අවස්ථාවේ එතැනට එන අභිමන්‍යුගේ මරණය සිදුවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ ජයද්‍රථ දකින අර්ජුන කරන්නේ පහත සඳහන් ප්‍රතිඥාව යි.

“මහදෙවියන්ගේ නාමයෙන් දිවුරා කියන්නේ හෙට හිරු බැස යාමට පෙර මා ජයද්‍රථ මරා දමන බව යි. ජයද්‍රථ දැනගනු, නුඹ පසුදින හිරු නොදකින බව. මට මෙය කළ නොහැකි වුවහොත් මම දිවි නසා ගනිමි.”

අර්ජුනගේ මේ ප්‍රකාශය නිසා බලවත් යුදකාමියකු වුවත් ජයද්‍රථ වික්ෂිප්ත වෙනවා. ඔහු ද්‍රෝණාචාර්ය හමු වී අසන්නේ ඔබ අර්ජුනටත් මටත් එකට අවි සිප් උගන්වා ඇති මුත් ඔහු ඔබගේ දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් හඳුන්වන්නේ ඇයි ද කියා යි. එයට පිළිතුරු දෙමින් ද්‍රෝණාචාර්ය පවසන්නේ සිය දක්ෂතම ශිෂ්‍යයා බවට තමා ඔහු පත් නොකළ බව යි. ඔබටත් ඔහුටත් කියා දුන්නේ එකම අවි සිප් වුවත් අර්ජුන ඉන් සෑහීමට පත් නොවී තමාගේ ඉගැන්වීම් පදනම වශයෙන් ගෙන කටයුතු කළ බව යි. අපි දැන් ද්‍රෝණාචාර්ය මුවින් ම එවදන් අසමු.

̎ I have not made him my best pupil. I taught you both the same things. But he was not satisfied. He used my teaching as a foundation."

අද්‍යතන සිනමාවේදීන් වන ඔබ කළ යුත්තේ, ඔබට පෙර සිටි ඔබ ගුරුවරුන් වශයෙන් සලකන පූර්වගාමී සිනමාවේදීන්ගෙන් උගත් දෙය පදනමක් වශයෙන් ගෙන ඉන් ඔබ්බට ගමන් කිරීම යි.

යුද්ධය වයසක් හෝ පරම්පරාවක් ගැන නොතකන බව කියන කාලචක්‍ර ප්‍රකාශයකින් මෙහි 84 කථාංගය ආරම්භ වෙනවා. මේ යුගයේ සෑම යුදකාමියකුගේම හදවතේ ගිනිදැල්ලක් දැල්වෙන බවත් කවර පැත්තක් වුව නියෝජනය කරන ඒ රණවිරුවන්ගේ මවුවරුන්ගේ හදවත්වල දැල්වෙන ගින්න බලවත් බවත් කාලචක්‍රය කියනවා. මේ කිසිදු මවක වෙත නින්ද ළඟා වන්නේ නැහැ. යුද වදින දෙපාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල රණකාමීන්ගේ මවුවරුන් වන ගාන්ධාරී සහ කුන්තී වෙතින් ප්‍රකාශයට පත් වන්නේ ඒ සමස්ත මවුවරුන්ගේ අසීමිත වේදනාව යි. මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ 1989 වර්ෂයේ දී ප්‍රදීපා ලුම්බිනී ද සිල්වා කිවිඳියගේ එක් කවියක්.

බියකරු සිහින පෙනුණේ නැහැ මට    නරක

පුතුගේ සොහොන ඉඳි කළෙ කවුරු ද  රැයක

දැනුණා මල් සුවඳ නිසසල වූ           කයක

ලෝකය මොට ද නැති කළ මට මගෙ මැණික

මේ අතර අර්ජුන, ගංගාපුත්‍ර භීෂ්ම සැතපෙන තැනට ගොස් පවසන්නේ සිය පුත් අභිමන්‍යු යුද්ධයේ දී ඝාතනය කරන ලද බව යි. ඒ මොහොතේ භීෂ්ම මහත් සංවේගයෙන් අසන්නේ මේ යුද්ධය සිවුවැනි පරම්පරාවත් සිය ග්‍රහණයට ගත්තා ද කියායි. සිය නෙත නැඟි කඳුළු පිසලන්නැයි අර්ජුනට කියන භීෂ්ම වටකොට පහරදී නිරායුධ ව වැටී සිටින අභිමන්‍යු මරාදැමූවන් රණකාමීන් වශයෙන් හැඳින්වීමටවත් නුසුදුසු බව දැඩි ව කියා සිටිනවා. ඔවුන් කෛරාටිකයන් ලෙස හඳුන්වන භීෂ්ම මේ වූකලී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකැයි පවසනවා. එයට මූලික වශයෙන් වගකිව යුතු ජයද්‍රථ අමතක නොකරන්නැයි ද ඔහු අර්ජුනට ප්‍රකාශ කරනවා.

මේ කථාවේ 85 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, ජයද්‍රථ සහ අර්ජුන යන දෙදෙනා ම හිරු දෙස බලා සිටින බව. එහෙත් ඒ බලන අරමුණු එකිනෙකට වෙනස්. ජයද්‍රථට අවශ්‍ය වන්නේ හිරු බැස යනු දැකීමට යි. මන්ද ඔහුගේ ජීවිතය රැකෙන්නේ හිරු බැස ගියහොත් පමණක් වන නිස යි. අර්ජුනට අවශ්‍ය හිරු කිරණ මහපොළොවට වැටීම නතර වීමට පෙර ජයද්‍රථ මරා දැමීමට යි. එසේ නොකළ හොත් සිය දිවි නසා ගැනීමට ඔහු පිළිණ දී තිබෙනවා. සිනමාකරුවෙක් එකම භෞතික වස්තුවක් අර්ථ සම්පන්න ලෙස සිනමාවට යොදා ගත් එක් තැනක් මේ. මෙබඳු තැන් රැසක් මේ ටෙලි වෘත්තාන්තයේ දෘශ්‍යමාන යි.

භීම-හිඩිම්බාපුත්‍ර ඝටෝත්කච සංග්‍රාමාවතීර්ණ ව සාහසික ලෙස සේනා සංහාරයේ යෙදෙනු අපට දැකගැන්මට ලැබෙන්නේ 86 කථාංගයේ දී යි. කෙනෙකුගේ වීරත්වය ගැන කීමේ දී ඔහුට ජන්මය ලබා දුන් මවගේ වීරත්වය ගැන විශේෂයෙන් සඳහන් කරන්නට මහාභාරතය අමතක කරන්නේ නැහැ. අභීත පුතෙකු ඉපදිය හැක්කේ අභීත මවකට ය යනුවෙන් වන ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රකාශය ඊට සාක්ෂි දරනවා. එසේ ම කෙනෙකු බ්‍රාහ්මණ හෝ ක්ෂත්‍රිය වන්නේ උපතින් නොවේ ය යන ප්‍රකාශය ද ඔහු කරන්නේ ඝටෝත්කච සිය පියා ක්ෂත්‍රිය වුවත් තමා රාක්ෂස මවකගේ කුස පිළිසිඳි පුතකු බව කී නිස යි.

̎ A brave son can be born to a brave mother. No one is a brahmin or warrior by birth."

ඕනෑම කෙනෙකුට මේ ලෝකයට පැමිණීමට සහ ඉන් සමුගෙන යාමට මොහොතක් එළඹෙනවා. මේ කථාංගය අවසානයේ දී අපට දැකගැන්මට ලැබෙන්නේ අංගරාජ් කර්ණ අතින් ඝටෝත්කච මරණයට පත්වන ආකාරය යි. ඒ බව සියලු දෙනාට කලින් දැන සිටින්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු තමාට වන්දනය කළ ඝටෝත්කචට පවසන්නේ ඔබ නිවැරදි මොහොතේ පැමිණි බව යි. ඔබට භාරතය සහ එහි රණකාමීන් සදා ගෞරවය ද පළ කරන බව යි. මේ ක්‍රිෂ්ණ නොකියා කියන්නේ ඝටෝත්කචගේ මරණය සිදු වන බව නේද?

̎ There is an appropriate time for coming and going. You have come at the right time. You will always be respected in India. Warriors will salute you."

මේ කතාවේ එක් තැනෙක ගාන්ධාරී සහ කුන්තී ගංගාපුත්‍ර ශර යහනක සැතපී සිටින තැනට ගොස් කතා කරන දර්ශනයක් දැකිය හැකි යි. එතැන දී ගාන්ධාරී පවසන්නේ තමාගේ කඳුළුත් සිය කඳුළුත් වැටෙන්නේ සිය පුතුන් උදෙසා පමණක් නොවන බව යි. මේ සටන් බිම ඇද වැටෙන සියලු දේහ තව කොතෙක් කලක් සිය මාතෘත්වයට දරාගත හැකි වේ ද කියා යි ඇය ප්‍රශ්න කරන්නේ. ගාන්ධාරී කියන්නේ සෑම මවකගේ ම ඇසින් වැටෙන කඳුළු සමාන බව යි.

̎ I weep and or Kunti does the tear will be the same."

ගාන්ධාරී, ගංගාපුත්‍ර භීෂ්මයන් අබියස මේ ප්‍රකාශය තෙවරක් කරනවා. මේ දර්ශනය මේ වචන අසද්දී මට සිහිපත් වූයේ එකම පෙදෙසක ජීවත් ව සිටින පිරිසක් අතර දෙකඩ වීමක් ඇති වූ විට ඒ දෙපිරිස ම අමතා සමන් සිත්තරා කළ ප්‍රකාශයක්.

“අපි කාටත් තියෙන්නේ දුකකදී එක විදිහට තෙත් වන කඳුළු එන ඇස්.̎

සිනමාවේදීන් ලෙස ඒ ආදරණීය කඳුළ - දයාවෙන් තෙත් වන හදවත, ඔබේ සිනමා සිත්තම ඔස්සේ සමාජගත කරන්න.

මගේ ජීවිකාව-මගේ ජීවිතය අන් සියලු දෙනාගේ ජීවන චක්‍රය සමග බැඳී පවතින්නේ ය යන අදහස දෙන පරපටිබද්ධා මේ ජීවිකා යන බුද්ධ භාෂිතය සිහිපත් කොට දෙන ප්‍රකාශ ද අපට මහාභාරතයෙන් හමු වෙනවා. අප සියලු දෙනා එකම දම්වැලක කොටස් ය යනුවෙන් කුන්තී කරන ප්‍රකාශය ඉන් එකක්.

දැන් අපි මේ ටෙලි වෘත්තාන්තයේ 87 වන කොටසට යමු. මට එහි වඩාත් ම දැනුණු තැන වන්නේ බ්‍රහ්ම - ද්‍රෝණ සංවාදය යි. මේ සංග්‍රාමයේ දී සාහසික ව සටන් කරන ද්‍රෝණාචාර්ය, අවසානයේ සේනා සංහාරය උදෙසා දිව්‍යායුධ ද අතට ගන්නවා. මේ අවස්ථාවේ පෙනී සිටින ඉන්ද්‍ර දෙවියන් පවසන්නේ දිව්‍යායුධ ඇත්තේ ජීවිත විනාශය සඳහා නොව ධර්මය සුරැකීම සඳහා බව යි. ඒ මොහොතේ ම ද්‍රෝණ හමුවේ පෙනී සිටින මහාබ්‍රහ්ම ප්‍රකාශ කරන්නේ ගුරුවරයකු වන ඔබගේ ක්‍රියාව වන්නේ ඥානය ප්‍රදානය කිරීම මිස යුද කිරීම නොවන බව යි. ඒ ප්‍රකාශය දැකීමත් සමග මට සිහිපත් වන්නේ සමන් සිත්තරාගේ ප්‍රකාශයක්. 

මේ සභාවේ එක් අසුනක හිඳ සිටින මගේ ආදරණීය ඇදුරුතුමනි, ඔබේ ආදරණීය සොහොයුරා - අපගේ සිරුරු නොව හදවත් ස්පර්ශ කළ ඒ දයාබර සෞන්දර්යවේදියා වරෙක කළ ප්‍රකාශයක් මෙතනදී සාරාංශ කොට දක්වන්නට මට ඉඩ දෙන්න. මෙය අන්තර්ගත වන්නේ රාමායණයාත්‍රා ග්‍රන්ථයේ පූර්විකාවේ යි.

සමන් සිත්තරා පවසන අන්දමට සමාජයක් යහපත් කිරීම සඳහා - පවිත්‍ර කිරීම සඳහා මානවයනට දෙයාකාර ක්‍රියාවලියක නිරත විය හැකි යි. ඉන් එකක් නම් සමාජයක් වෙත අයහපත් - අශුද්ධ දෙය කවුරුන් හෝ ගෙනැවිත් තබන විට ඒවා බැහැර කිරීම යි. එහෙත් ඒ සමාජ කුණු ඉවත් කිරීමට යන විට ඒවාට අයිතිවාසිකම් කියන අය කුණු ඉවත් කරන අයට විරුද්ධ ව නැගී සිටිනවා. ඒ ‘සංග්‍රාමිකයනට’ කුණු අයිතිකරුවන්ගේ තාඩන පීඩනවලට ලක් වීමට ද සිදු විය හැකි යි. කුමන දුෂ්කරතා පැමිණියත් සමාජයකට ඒ කුණු ඉවත් කරන පිරිසක් ද අවශ්‍ය යි.

සමන් සිත්තරා පවසන අනිත් මෙහෙවර තමයි, මේ කුණු ඇති සමාජය වෙතට යහපත් - පිවිතුරු දෙය ගෙනැවිත් තැබීම. ඔහු කියන්නේ සිංහල වේවා, පාලි වේවා, සංස්කෘත වේවා, ඉංග්‍රීසි වේවා වෙනත් භාෂා සාහිත්‍යයක් වේවා හදාළ අයට මේ මෙහෙවර එනම් ‘හංස මෙහෙවර’ සිදු කළ හැකි යි. තමා කියවූ සාහිත්‍ය කෘතිවලින් සමාජය අර්ථවත් කරවන සුන්දර කරවන දේ උකහාගෙන ඔවුනට ඒවා සමාජගත කළ හැකි යි. මෙය ගැටුමකින් තොර කාර්යයක්. ගැටුම් රුචි නොකරන අය විසින් තෝරා ගත යුතු මාර්ගය එය යි. 

සිනමාවේදීන් වන ඔබ සියලු දෙනාගේ අවධානය ද සමන් සිත්තරාගේ ඒ හෘදයසංවේදී ප්‍රකාශයට යොමු වේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

ආචාරධර්ම උල්ලංඝනය කොට පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න, සිය පුතු මියගියේ යැයි පාණ්ඩවයන් විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය ප්‍රචාරය අසා අවි පසෙකට කොට ධ්‍යානයෝගී ව සිටින කෞරව සේනාපති ද්‍රෝණ මරා දමන දර්ශනය අපට දැකිය හැක්කේ ද මේ කථාංගයේ යි. අනතුරුව දුර්යෝධන විසින් අංගරාජ් කර්ණ කෞරව සේනාපති පදවියට පත් කරන බව කියැවෙන්නේ ද මේ කොටසේ දී යි. 

87 කථාංගය අවසානයේ එන ගීතෝක්තියෙන් පැවසෙන්නේ සියලු වටිනාකම් අහිමි වී ගිය, අන්ධකාර රාත්‍රීන්ගෙන් ගහන, පරමාදර්ශී කිසිදු වචනයකට සවන් නොදෙන යුගයක හිඳ වුව ප්‍රාර්ථනා කළයුත්තේ නව පරමාදර්ශ සහිත - නව ලොවක - නව යුගයක ආගමනය බව යි. එවන් යුගයක් උදෙසා කටයුතු කරන ගමනේ පෙර ගමන්කරුවන් වන ඔබ අබිමුව මම මේ කථාංගයේ සමාප්ති ගීතෝක්තිය උපුටා දක්වන්නට කැමතියි.

All values have been lost, enveloped in a dark night.

None is willing to listen to any words ideals.

Lets welcome the new world with new ideals.

Lets welcome it - Lets welcome it."

මහාභාරත ටෙලි වෘත්තාන්තයේ අපට කතා කිරීමට ඉතුරුව ඇත්තේ තවත් කථාංග හතක් පමණයි. දැන් අපි එහි 88 වැන්නට යමු. එහි ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ මේ මහා යුද්ධය අනාවරණය කරන්නේ මහාභාරතය පමණක් නොව සමස්ත ලෝකය ම බව යි. ලොව කොතැනක හෝ ඇතිවන කවර හෝ යුද්ධයක් නිසා ජීවත් වන සිටින එනම් සජීවී මිනිසුන් අජීවී මෘතදේහ බවට පත්වීමේ ඛේදවාදකයත් ඒ නිසා ජීවත් ව සිටින අය තුළ ඇති වන අසීමිත වේදනාවත් මින් ප්‍රකාශිත යි. යුද්ධ කරණ කොට ගෙන සමාජීය සදාචාරය බිඳ වැටී ජීවිත යුද වෙළඳ පොළේ අවම වටිනාකම ඇති දේ බවට පත් ව තිබීම ගැන කාලචක්‍රය කතා කරන්නේ සංවේගයෙන්. මේ කථාංගයේ දී සාධාරණ යුක්තිසහගත අවංක අව්‍යාජ මිනිසකුට අසත් පක්ෂය නියෝජනය කිරීමට සිදුවීමේ ඛේදවාචකය ගැන කීමට ද සිනමාකරුවන් සාවධාන වී තිබෙනවා. ඒ අංගරාජ් කර්ණ යි. අර්ජුනගේ රථාචාර්ය වශයෙන් සිටින ශ්‍රී ක්‍රිෂ්ණ ඔහු නිබඳ ශක්තිමත් කරද්දී කර්ණ තෝරාගත් රථාචාර්යවරයා වන මද්‍රී රජු කරන්නේ ප්‍රතිවාදීන්ගේ ශක්තීන් හැකිතාක් වර්ණනය කරමින් කර්ණ දුර්වල කිරීම යි. එහෙත් එදින අර්ජුන සහ කර්ණ අතර සිදු වන ද්වන්ද්ව සටනින් ජය ලබන්නේ කර්ණ යි. අර්ජුනගේ ජීවිතය ගැලවෙන්නේ ඒ මොහොතේ හිරු බැස ගිය බැවින් යුද ආචාර ධර්ම මෙනෙහි කොට කර්ණ එතැනින් නික්ම ගිය නිසයි. මේ දවසේ ම තමයි භීම විසින් දරුණු සටනකින් පසු කුරිරු ලෙස දුශ්ශාසන ඝාතනය කිරීම සිදු වන්නේත්. අනතුරුව කෞරව සේනාපති කර්ණගේ සමීප රූපයක් ප්‍රේක්ෂාභිමුඛ කරමින් සිනමාකරු පවසන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය කියා යි. එහෙයින් මේ උදාර රණකාමියා මුළු ලෝකය ම නිබඳ ගෞරවයෙන් සිහිපත් කරන බව යි. 88 කථාංගය අවසාන වන්නේ මේ අදහස රැගත් ගීතෝක්තියකින්.

̎ When the commander is Karna no rules will be broken.

The bravery of the generous warrior will always be remembered by the world."

89 කථාංගාරම්භයේ දී කාලචක්‍රය කියන්නේ තමා කාලය නොවී වෙනත් කෙනෙකු වූවා නම් මේ යුද්ධයේ සාක්ෂිකරුවකු වීමට නොයා ඉවතට යන බව යි. එහෙත් ඔහු කාලචක්‍රය යි. ඒ නිසා ඔහුට බල කෙරෙනවා මේ අමිහිරි යුද්ධය අවලෝකනය කරමින් එහි තතු ඇති සැටියෙන් ලොවට කියන්නට. මා තේරුම් ගත් හැටියට සිනමාකරුවන් කාලචක්‍ර සංකල්පය ඉතා සාර්ථක සිනමාරූපී භාවිතයක් කොට සිය නිර්මාණයෙහි ලා යොදා ගත්තේ යුද්ධයේ නිස්සාරත්වය කීමට මිස එහි වීරත්ව වර්ණනා කිරීමට නොවෙයි. මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් අවසානයේ දී ලෝකය උකහා ගත යුතු සදර්ථය එය යි.

ද්‍රෞපදී තමාට වූ අවමානය ගැන බලවත් කෝපයෙන් කතා කරන අවස්ථාවක දී අර්ජුන ඇයට කියන්නේ හස්තිනාපුරය සාගරයක් නම් ඔබ එහි දිය බිඳුවක් පමණක් බව යි. එහෙත් සාගරය පරිපූර්ණත්වයට පත් වීම සඳහා ඒ ජලබිඳුව ද අත්‍යවශ්‍ය යි. සාගරයේ දිය බිඳුවක් වීම නිසා ද්‍රෞපදියගේ අගය අඩු වන්නේ නැහැ. එයම තමයි ඇගේ අගය. අන්න ඒ වගේ සිනමා සාගරයේ  ඔබ දිය බිඳුවක් මිස සාගරය නෙමෙයි. ඒ දිය බිඳුව වීම ම තමයි ඔබේ වටිනාකම වන්නේ. ඒ වගෙම කර්ණ ගැන වන ප්‍රකාශයක් ද ඔබගේ ජීවිත සමග සම්බන්ධ කරන්නට සිතෙනවා. කර්ණ ප්‍රසිද්ධ ව සිටින්නේ දේවල් ගැන කතා කරමින් සිටීමට නොව ඒ ඒ දෙය ලෝකයට ප්‍රදානය කිරීමට යි. ඔහු දාන වීර කර්ණ ලෙස ලොව ප්‍රකට වන්නේ තමා නිවැරදි යයි විශ්වාස කරන අරමුණ වෙනුවෙන් ඕනෑම මොහොතක සිය ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සූදානම් නිස යි.

̎ You are not known for talking. You are known for giving."

සිනමාවේදීන් වන ඔබත් ඒ වගෙයි. ඔබ මේ ලෝකයට පැමිණ සිටින්නේ ලෝකයට කලාව ප්‍රදානය කිරීමට මිස ව්‍යාපාරිකයන් වී කලාවෙන් උපයා ගන්නට නොවේ.

මේ කථාංගය අවසන් වන්නේ පසුදින ද්වන්ද්ව සටනෙක දී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් අර්ජුන කර්ණ මරා දමන දර්ශනයකින්. මේ අවස්ථාවේ මිහිකත සිපගෙන සිටින කර්ණගේ සංවේදනීය මුත් උදාර දේහය ප්‍රේක්ෂාභිමුඛ වන විට අපට දැනෙන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය නොවේ ද කියා යි. 

දැන් අපි ගමන් කරන්නේ මේ ටෙලි කතාවේ 90 වැන්න වෙතට යි. කාලචක්‍රය මෙහි ආරම්භයේ දී හිරු දෙවි අමතා පවසන්නේ සිය ජීවිතය උදෙසා කිසිවක් ඉල්ලා නොසිටි, තමා නිවැරදි යයි විශ්වාස කළ අරමුණ වෙනුවෙන් තම ජීවිතය ද පරිත්‍යාග කළ සූර්යපුත්‍ර කර්ණට සිය ගෞරවාචාරය පළ කරන බව යි. එතැනට එන අශ්වත්ථාමා, ක්‍රීපාචාර්ය, මද්‍රී සහ ශකුනි යන රණවිරුවන් ද ඔහුගේ නිසල දේහයට ප්‍රණාම දක්වනවා. මේ අවස්ථාවේ ගන්ධාර් නරේශ් ශකුනිගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය මෙන් ම ඒ මොහොතේ ඔහුගේ මුවට නංවන වදන් ප්‍රේක්ෂකයන් වන අපගේ හදවත්වල ගැඹුරු ම තැන ස්පර්ශ කරනවා. ශකුනි පවසන්නේ, මුළු ජීවිත කාලය පුරා ඔබට ගරු නොකළ ගන්ධාර් නරේශ් මේ ශකුනි, අද ඔබට සිය අප්‍රමාණ ගෞරවය පළ කරන බව යි. ඔහු පවසන්නේ ඔබගේ මේ අභීත මරණය ම ඔබ ගෞරවයට පත් කළ බව යි. එක් වරක් නොව දහස් වරක් මේ ශකුනි ඔබට ප්‍රණාම දක්වන බව කියමින් ඔහු කර්ණගේ දේහයට වැඳ ආචාර කරනවා.

̎ Or Radheya, Hey Angaraj Karna, The manner of your death has made me respectful. O Brave warrior, O Charitable Karna, I Shakuni, the king of Gandhar, salute you a thousand times."

මේ කොටසේ දී හස්තිනාපුර යුවරාජ් දුර්යෝධනගේ හදවතෙහි සිය කල්‍යාණමිත්‍ර කර්ණ පිළිබඳ ව ඇති ගැඹුරු මිත්‍රත්වය උපරිමාකාරයෙන් නිරූපණය කිරීමට ද සිනමාකරුවන් සමත් වෙනවා. දරුණු ද්වන්ද්ව සටන්වලින් පසු යුධිෂ්ඨිරගෙන් මද්‍රී රජු ද නකුල්ගෙන් ශකුනි ද මැරුම් කන දර්ශන දැක ගන්නට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අනතුරුව සිය දෙටු පුතුගේ මරණය සිදු වූ බව කීමට වේදනාපීඩිත කුන්තී, ගංගාපුත්‍ර භීෂ්ම වෙත යන දර්ශනයත් භීෂ්ම දෑත් ඔසොවා කර්ණ නාමයට වැඳීමත් ප්‍රේක්ෂකයන්ට දැක ගැන්මට ලැබෙනවා. පංච පාණ්වඩයන් ද එතැනට එන අතර තමාගෙන් මැරුම් කා ඇත්තේ සිය දෙටු සොහොයුරා බව ඔවුනට දැන ගැන්මට ලැබෙන්නේ එතැන දී යි. ඔවුන් පළමු ව මහා වික්ෂිප්ත භාවයකටත් අනතුරුව මහා සංවේගයකටත් පත් වෙනවා. 

අනතුරුව අප දකින්නේ දුර්යෝධන, සිය මව ගාන්ධාරී සමග කරන සංවාදය යි. මේ වන විට ගත වන්නේ යුද්ධයේ 17 වැනි දිනය යි. දැන්වත් සාම සම්මුතියක් ගැන සිතන්න පුත යයි කියන මව ගන්ධාරීට, දුර්යෝධන පවසන්නේ මා මිත්‍ර කර්ණ මට පෙරළා ලැබෙනවා නම්, සොයුරු දුශ්ශාසනට යළි ජීවිතය ලැබෙනවා නම්, පිතාමහ භීෂ්මයන්ගේ සිරුරෙහි ඇණී ඇති හී ගලවා දැමිය හැකි නම් තමාට සාමයක් ගැන සිතන්නට ඉඩක් තිබූ බව යි. දුර්යෝධන අවධාරණයෙන් පවසන්නේ, සිය ආදරණීය මිත්‍ර කර්ණගේ පක්ෂපාතිත්වයට - සොයුරු දුශ්ශාසනගේ ආදරයට - ගුරු ද්‍රෝණාචාර්යගේ මරණයට - පිතාමහ භීෂ්ම ලද තුවාලවලට තමාට අවමන් කළ නොහැකි බව යි. එහෙයින් සාමයක් ගැන කතා නොකරන්නැ යි ද මගේ මව වන ඔබ කෛරාටිකයකුගේ මව ලෙස ඉතිහාසය සඳහන් කරනු දැකීමට අකමැති බව ද කියන ඔහු යුද්ධය නතර කිරීම ගැන යළි කතා නොකරන්නැයි ද කියනවා.

යුද්ධය නතර කිරීමට හැකියාව තිබූ ශ්‍රී ක්‍රිෂ්ණ එසේ නොකොට පාණ්ඩවයන් යුදයට පෙළඹවීම ගැන ගාන්ධාරී, ක්‍රිෂ්ණත් ඔහුගේ යාදව වංශයත් සහමුලින් වැනසේවා යි කරන ශාපය ඇත්තේ ද මේ කොටසේ යි.

මේ කථාංගය අවසාන වන්නේ කර්ණගේ අවසාන කටයුතු සිදු වන ආකාරය දක්වන දර්ශනවලින්. පංච පාණ්ඩවයන් එතැනට පැමිණ සිය දෙටු සොහොයුරාගේ දේහයට ගිනි දැල්වීමට සැරසෙන විට එයට ඔබ කිසිවකුට අයිතියක් නැතැයි කියා වළක් වන්නේ දුර්යෝධන යි. ඒ අවස්ථාවේ දුර්යෝධන පවසන්නේ තමා මේ ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා බව දැන ගත් බව යි. එහෙත් මෙතැන ඇත්තේ ඔබේ ඒ සොහොයුරාගේ දේහය නොව මගේ ආදරණීය මිත්‍රයාගේ දේහය බව ඔහු කියා සිටිනවා. මේ කුන්තීපුත්‍ර දේහයක් නොව මා මිත්‍ර රාධේයගේ දේහය බව කියන දුර්යෝධන එහෙයින් ඒ දේහය දවාලීමේ අයිතිය ඇත්තේ තමාට බව ද තවදුරටත් කියා සිටිනවා. මේ මොහොතේ සිනමාකරුවන් දුර්යෝධනගේ මුවට නංවන වදන් චරිත නිර්මාණයෙහි ලා ඔවුන් දක්වන විශිෂ්ට කෞශල්‍යයට හොඳ නිදසුනක්.

දුර්යෝධන අර්ජුනගෙන් අසන්නේ ඔබ හී සර එවා මරා දැම්මේ ඔබේ දෙටු සොහොයුරා ද නැත්නම් මගේ ආදරණීය මිත්‍රයා ද යන්න ප්‍රකාශ කරන ලෙස යි. මේ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ කර්ණ දේහය දවාලීමට දුර්යෝධනට ඇති අයිතිය පංච පාණ්ඩවයන් වන ඔබ සියලු දෙනා ඉක්මවා පවත්නා මහා අයිතියක් බව යි. අනතුරුව යුධිෂ්ඨිර අත ඇති ගිනිහුල සිය අතට ගන්නා දුර්යෝධන පවසන්නේ මේ හුදෙකලා වූ මිතුරාගේ ප්‍රණාමය පිළිගන්නා ලෙස යි. මේ මහ පොළොව පවත්නා තෙක් ඔබ කල්‍යාණ මිත්‍රත්වයේ උපරි සංකේතය වශයෙන් විද්‍යමාන බව ඔහු කියා සිටින්නේ කඳුළු පිරි දෙනෙතින් යුතු ව යි. මේ මා සිනමා සිත්තමක මෙතෙක් දුටු හෘදය සංවේදී වදන් සිත්තමක්. 

̎ Dear friend, Please accept the respects of your lonely friend.

Dear friend, As long as there´s life on earth you´ll always be a symble of friendship.  Blessed are you, Radheya."

91 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය, කර්ණගේ මරණය සිදු වූ අභිත ආකාරය අගය කරමින් ඔහුගේ උපතට අගයක් නොදීම ගැන චෝදනා කරන්නේ පිය සූර්ය දෙවියන්ට සහ මව කුන්තීට යි. පියා කාලය පවත්වා ගෙන යාම පිළිබඳ වන වගකීම තුළ සිර ව නොසිටියා නම්, මව සමාජ සම්මත සීමා ගැන සිතීම ළඟ නතර ව නොසිටියා නම්, කර්ණගේ ජීවිතයේ දිශානතිය වෙනස් විය හැකි ව තිබුණා. කිසිසේත් සිය උපත සිදු වූ ආකාරය ගැන පැහැදිලි ව ම කර්ණ නම් චුදිතයෙක් වන්නේ නැහැ. කාලචක්‍රය පවසන්නේ කිසිදු මව් කුසක් කුලය නොහඳුනන බව යි. ඔහු හිරුගෙන් අසන්නේ ඔබගේ පුත්‍රයාගේ ජීවිතය ප්‍රශ්නාර්ථයක් කළේ ඇයි ද කියා යි. එසේ ම සිය උපතට කර්ණ වගකිව යුතු නැත්නම් ඔහුගේ ඉපදීම ඔහුට දඬුවමක් වූයේ මන්ද කියා කාලචක්‍රය ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නය ම කර්ණ යන නමින් නොව වෙනත් නමකින් වෙනත් ආකෘතියකින් සමාජය අබිමුවට ආ හැකි බව ඔහු පවසනවා. ඔබ මේ නියෝජනය කරන යුගය ද එයින් වෙනස් වන්නේ නැහැ. කර්ණ බඳු දරුවන් පිළිබඳ ව සිනමාවේදීන් වන ඔබ ළඟ ඇති විසඳුම කුමක් ද? මේ ගැනත් ගැඹුරින් ම සිතා බලන්නැයි ඔබට ආයාචනා කරනවා. 

ඒ ඒ චරිත හොඳ නරක වශයෙන් මතුපිටින් බෙදීම් ඇති වුවත් ඊට වඩා ගැඹුරකින් අප ජීවිත අවලෝකනය කළ යුතු ය යන පණිවිඩය ද වරෙක මහාභාරතය ගෙන එනවා. දුර්යෝධනගේ දොස් දක්වමින් ධෘෂ්ට්‍රද්‍යුම්න කතා කළ අවස්ථාවක ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ ඔහු සතු ව දහසක් දොස් තිබිය හැකි වුවත් ඔහු රණකාමියකු මිස කෛරාටිකයකු නම් නොවන බව යි. ඔහු මේ සංග්‍රාමයේ දී ජය ලැබුවත් පරාජය ලැබුවත් අභීත රණවිරුවන් නියෝජනය කරන ඔහුට අවමන් නොකළ යුතු බව යි ක්‍රිෂ්ණ කියන්නේ.

මේ වන විට ප්‍රධාන රණකාමීන් අතුරින් දෙපක්ෂයට ම ඉතිරි ව සිටින්නේ නව දෙනෙක් පමණයි. ඒ පාණ්ඩව පිළට පංච පාණ්ඩවයන් ද කෞරව පිළට දුර්යෝධන, ක්‍රීපාචාර්ය, අශ්වත්ථාමා සහ ක්‍රිතවර්මා ද වශයෙන්. මෙයින් පෙනී යන්නේ යුද්ධයකින් පසු ජය සැමරීමට හෝ පරාජය ගැන දුක් වීමට හෝ තරම් ප්‍රමාණවත් පිරිසක් පවා ඉතුරු නොවන බව යි. මේ යුද්ධයක මාර්ගයෙන් මිනිසා යුද නොකරන තැනට කැඳවීමක් නොවේ ද?

මහාභාරතය පවසන්නේ යුද්ධය යනු අවසාන අරමුණ නොවන බව යි. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ සෞඛ්‍ය සම්පන්න දීප්තිමත් නව සමාජයක්. අප ගමන් කළ යුත්තේ සත්‍ය ගවේෂී නව මාවතක් ඔස්සේ යි. සිනමාවේදීන් වන ඔබ ඉදිරියේ ඇත්තේත් ඒ මාවත යි. ඔබ ඒ මාවතේ ගමන් කිරීම යනු සමාජය ද නිවැරදි මාවත වෙත වන කැඳවීමක් වෙනවා.

මේ කොටස අවසාන වන්නේ දුර්යෝධන සහ භීම අතර සිදුවන බිහිසුණු ද්වන්ද්ව සටනකින්. එහි විනිසුරු වන්නේ මේ දෙදෙනාගේ ගදායුධ ශිල්පය පිළිබඳ ආචාර්යවරයා වන බලරාම යි. මේ සිය අවසන් සටන බවත් මින් ජය ලබන පිළට ජයග්‍රහණය හිමි වන බවත් කියමිනු යි, දුර්යෝධන සටනට එන්නේ. මෙහි දී ජයග්‍රහණය දුර්යෝධනගේ පැත්තට බර වන විට ක්‍රිෂ්ණගේ සංඥා කිරීම් අනුව ආචාර ධර්ම උල්ලංඝනය කරමින් භීම, සිය ප්‍රතිවාදියාගේ ඉණෙන් පහළට පහර දී ඔහු පරාජය කරනවා. මේ අවස්ථාවේ මට දැනෙන විදිහට නම් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ යුක්තියේත් ධර්මයේත් සංකේතය වශයෙන් නිරූපිත ක්‍රිෂ්ණ නොව, ඔහු දෙටු සොයුරු බලරාම යි. නුඹ අද සිය ගුරුනට අවමන් කළ බව කියන ඔහු මා නුඹට උගන්වා ඇත්තේ ගදායුදයෙන් ඉණෙන් පහළට පහර නොදිය යුතු ය කියා නොවේ දැයි අසමින්, නුඹගේ මේ ගුරුවරයාගේ තුවාල වූ ගෞරවයට නුඹ සිය ලේවලින් වන්දි ගෙවිය යුතු යයි ප්‍රකාශ කොට සිය ගදායුදය ගෙන භීම මරා දැමීමට ඉදිරියට එනවා. එහෙත් ඉන් සිය සොහොයුරා වළක්වාලන්නේ ක්‍රිෂ්ණ යි. මේ මොහොතේ දුර්යෝධන ගත ව ගිය සංග්‍රාමයේ දී යුද ආචාර ධර්ම උල්ලංඝනය කළ ආකාර සිහිපත් කරමින් ක්‍රිෂ්ණ, භීමගේ ක්‍රියාව සාධාරණීකරණය කරනවා. එසේ ම අසත්‍යය සහ සත්‍යය අතර ඇති වන යුද්ධයේ දී සංග්‍රාමිකයාට ඇත්තේ එකම වන්දනා ගමනක් බවත් එය සත්‍යයේ වන්දනාව බවත් ක්‍රිෂ්ණ ප්‍රකාශ කරනවා.

මේ අවස්ථාවේ නම් මට ඔබ සමග එකග විය නොහැකි බව කියන බලරාම එතනින් නික්ම යන්නේ ජයග්‍රාහී යයි කියන භීමගේ ගුරුවරයා වීම තමාට ලැජ්ජාවක් බවත් පරාජිත දුර්යෝධනගේ ගුරුවරයා වීම තමාට බලවත් අභිමානයක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්. දුර්යෝධන කලින් භීමගෙන් ලද දරුණු පහරවලටත් වඩා දරුණු පහර වන්නේ ගුරුවරයාගේ ඒ වචන යි. මොන අඩුපාඩු තිබුණත් මට නම් චරිතයක් වශයෙන් ද දැනෙන්නේ දුර්යෝධන මිස භීම නෙමෙයි.

දැන් මට ඉදිරියට කතා කිරීමට තිබෙන්නේ මේ ටෙලි වෘත්තාන්තයේ තවත් කොටස් තුනක් පමණ යි. දැන් අපි එහි 92 වැනි කොටසට අපේ අවධානය යොමු කරමු. එහි ආරම්භයේ එන කාලචක්‍ර ප්‍රකාශය අපට සිහිපත් කර දෙන්නේ අද දවසේ අපගේ ආදරණීය දේශයේ ජනතාව නායයාම් නිසා පත් ව සිටින ඛේදවාචකයට යම් ආකාරයක සමානත්වයක් පෙන්වන අතීත ඛේදවාචකයක්.  එහි දී කාලචක්‍රය මෙසේ කියනවා.

“මම කවර දිසාවක් දෙස බලම් ද මට මෘත දේහ හැර අන් කිසිවක් දැකිය නොහැකි යි. මේ වූකලී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා යි.”

මහාභාරත යුද්ධයේ දී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා විනාශ කරන්නේ අයුක්තියේ පක්ෂය ලෙස මුද්‍රා තබා ඇති දුර්යෝධනගේ පිරිස පමණක් නොවේ. සංවේගජනක තත්ත්වය වන්නේ යුක්තියේ පක්ෂය නියෝජනය කරන බව කියන පාණ්ඩවයන් ද ඒ ඇගයුම් සහ බන්ධුතා විනාශනයේ කොටස්කරුවන් වීම යි. භීම විසින් අයුක්තිසහගත ලෙස පරාජය කරන ලද දුර්යෝධන මරණීය තුවාල ලැබ මිහිකත මත වැතිර හිඳ කරන පහත සඳහන් ප්‍රකාශය එය සනාථ කරන එක තැනක්. ඔහු බිම වැතිර මේ කතා කරන්නේ චන්ද්‍රයාට යි.

“අහෝ චන්ද්‍රදේව්! ඔබගේ චන්ද්‍ර වංශයේ පාණ්ඩවයන් බඳු කෛරාටිකයන් උපන්නේ කෙසේ ද? ඔබගේ වංශය සදා පැවතුණත් මේ රුධිරයට ඒ සරදම දොවාලිය හැකි ද?”

එතැනට විත් මහත් සංවේගයෙන් වැලපෙන අශ්වත්ථාමා අමතා දුර්යෝධන පවසන්නේ මේ තමාගේ ජීවිතයේ අභිමානවත් අවස්ථාව මේ වේදනාත්මක මොහොත බැවින් නොහඬන ලෙස යි; මෙසේ නොවැලප තමාට සුබ පතන ලෙස යි. දුර්යෝධන ජීවිතයෙන් සමු ගත්නේ ඉතිරි ව සිටින රණවිරුවන් තිදෙනාගෙන් එක් අයකු වන අශ්වත්ථාමා සිය ගතින් ගලා යන ලෙයින් ඔහුගේ නළල මත සලකුණක් තබා සේනාපති වශයෙන් පත් කිරීමෙන් පසු ව යි.

මේ අතර ධ්‍රැතරාෂ්ට්‍ර රජුට, සිය පුතුන් අතර ඉතිරි ව සිටි ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ද මැරුම් කෑ බව දැන ගැන්මට ලැබෙනවා. සංජය, ඔබට පෙනෙනවා ද දැන් මා වෙළාගෙන ඇති බලවත් අඳුර යනුවෙන් ඔහු පැවසූ විට සංජය කියන්නේ එය පෙනෙනු පමණක් නොව තමාට අවබෝධ කොට ගත හැකි ද බව යි. එසේ ම යුද්ධය කිසිදු ප්‍රශ්නයකට විසඳුම ද නොවන බව යි. එයට කළ හැක්කේ විනාශයේ ධ්වජයත් සමග විත් හදවත් සිදුරු කිරීම පමණක් බව යි.

̎ I can see and understand. O king, the truth of this painful moment is that war not a solution to any problem. It can only pierce the heart like the flags of destruction."

ධ්‍රැතරාෂ්ට්‍ර රජු අවසානයේ තමාගේ වරද අවබෝධ කර ගන්නවා. ඔහු සිය දරුවන් ආශාවේ විෂත් සමග පෝෂණය කිරීම හස්තිනාපුරයට මෙන් ම සිය දරුවන්ට ද කළ අසාධාරණයක් බව අවසානයේ පසුතැවි තැවී පිළිගන්නවා. කලාකරුවන් ලෙස සමාජය අබිමුව පෙනී සිටින ඇතැම් දෙනා සිතනවා, ආශාවේ විස සිය නිර්මාණය මාර්ගයෙන් සමාජගත කිරීම කළ යුතු ම දෙය යයි කියා. එහෙත් ඔවුන් මේ කාර්යය කරන්නේ විස යන වචනය ඇති තැනට රස යන වචනය ආදේශ කරලයි. බුද්ධ වචනයට සහ බෞද්ධ සම්ප්‍රදායට අනුගත ව නම් අවසානයේ දී ඔවුනට හිමි වන්නේ නිරය යි.

වෛරයේ සහ පළිගැනීමේ ඇති බිහිසුණු බව ප්‍රකට කරමින් නිදා සිටින පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න සහ පාණ්ඩවයන්ගේ පුතුන් පස්දෙනා අශ්වත්ථාමා විසින් මරා දමනු ලබන ආකාරය දැක්වෙන දර්ශන අපට දැක ගැන්මට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අශ්වත්ථාමා මේ බිහිසුණු ක්‍රියා කරන්නේ ධ්‍රැෂ්ටද්‍යුම්න සිය නිරායුධ පියා මරා දැමූ ආකාරය සිහිපත් කරමින්. එහෙත් ආචාර ධර්ම උල්ලංඝනය කිරීම ගැන අශ්වත්ථාමා පසු තැවෙන ආකාරය ද අපට පසුව දකින්නට ලැබෙනවා.

මේ කථාංගය අවසානයේ ඔබ අප කාටත් වැදගත් තවත් ප්‍රකාශයක් දැක ගත හැකි යි. ඒ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු පවසනවා ආලෝකය කිසිදා මරණයට පත් කළ නොහැකි බව. අන්ධකාරය සිතුවත් තමාට ආලෝකය යටපත් කළ හැකි ය කියා එය එසේ සිදු වන්නේ නැහැ.

Light can never die. Darkness feels it can swallow light, but light can not die.

මේ කතාවේ 93 වන කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, මේ කතාව අතීතයට පමණක් අයිති නොවන බව. එය වර්තමානයට මෙන් ම අනාගතයට ද අයිති යි. හරියට ම ඔබගේ නිර්මාණයක් බඳු යි. ඔබ වර්තමානයේ සිට කරන නිර්මාණය ම තමයි, පසුව අතීතයට එකතු වන්නේ. එහි ඇති සාධනීය හෝ අසාධනීයතා අනුව ඉන් අනාගත පරපුර ආභාසයක් ලැබීම හෝ නොලැබීම සිදු විය හැකි යි.

මේ කථාංගයේ එක් තැනක සඳහන් වෙනවා, ධර්මය හදවත් වෙන් කරන බිත්ති ඉඳි නොකරන බව. අන්න ඒ වගේ හොඳ කලා නිර්මාණයක් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති හදන්නේ නැහැ. ලොව කොතැනක හෝ ලියැවෙන සාහිත්‍ය කෘතියකට - සිනමා සිත්තමකට හැකි යි, අප එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති කඩා දැමීමට. විශ්වීය නිර්මාණ වශයෙන් සදා සම්භාවනයට පත් වන්නේ එබඳු නිර්මාණ යි. මෙතන විශිෂ්ට සිනමා නිර්මාණ කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් හිඳගෙන සිටිනවා. ඒ අයට වර්තමාන පරපුරට මග පෙන්විය හැකි යි. මහාභාරතය ජ්‍යෙෂ්ඨයනට කියන්නේ ඔබ හස්තිනාපුරයේ අතීතය වන අතර වර්තමානයට සුබ පැතීම ඔබේ කාර්යය ද වන බව යි.

දැන් මා මගේ දේශනයේ අවසන් කොටස වශයෙන් මහාභාරතයේ අන්තිම කොටස වූ 94 කථාංගය ගැන කතා කරනවා. මෙතන දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ මහාභාරත ටෙලි වෘත්තාන්තය ලෝකය පුරා අතිමහත් ජනාදරයට පත් වීමෙන් පසු මේ සිනමා අධ්‍යක්ෂවරුන් ඊට තවත් කොටස් රාශියක් ද එක් කළ බව යි. එය සුන්දර අර්ථවාහී සමාප්තියක් සලකුණු කළ මහාභාරත ටෙලි වෘත්තාන්තයට කළ අසාධාරණයක් ලෙස යි මට නම් දැනෙන්නේ. කිසියම් සාහිත්‍ය කෘතියක් වේවා - සිනමා කෘතියක් වේවා ජනාදරය දිනාගත් පසු එයට යළි යළිත් කොටස් එකතු කිරීම දැන් විලාසිතාවක් වී තිබෙනවා. රාමායණය ද මේ ඓතිහාසික වරද කළා. අයෝධ්‍යා කාණ්ඩයේ සිය යුද්ධ කාණ්ඩය දක්වා වන කොටස් පහේ සම්පූර්ණ රාමායණ කතාව තියෙනවා. ඊට මුලින් බාල කාණ්ඩය පසුව එක් කිරීම යනු ආරම්භ කළ කතාවකට යළිත් ආරම්භයක් දීමක්. ප්‍රබල අවසානයක් පෙන් වූ යුද්ධ කාණ්ඩය අගට උත්තර කාණ්ඩය නමින් තවත් අවසානයක් ඇති කොටසක් එක් කිරීම අපට දැනෙන්නේ ද ඓතිහාසික වරදක් ලෙස යි. 

ඒ කෙසේ වෙතත් 1 සිට 94 දක්වා වන මහාභාරත කථාංග බලන හෝ මහාභාරත සංස්කෘත මූලාශ්‍රය හෝ එහි පරිවර්තන කියවා ඇති පාඨක-ප්‍රේක්ෂක සහෘදයනට ටෙලි සිනමාකරුවන් මහාභාරතයෙන් ඔබ්බට ඒ නිර්මාණය කැඳවා ඇති බව පේනවා. ඒ කාර්යය කළ අය ම නැවත අලුත් කොටස් එකතු කිරීමෙන් කර තිබෙන්නේ බලවත් වරදක්. මෙහිදී සිදු ව ඇත්තේ කලින් විශිෂ්ට දෙයක් කළ අය තමන්ට ම පැරදීම යි. ඔබ කවදා හෝ දවසක මහාභාරතය මූලාශ්‍රය කොට ගනිමින් නිර්මාණයක් කරන්නේ නම් මේ ටෙලි සිනමාකරුවන් ඉන් ඔබ්බට ගියා සේ එය ද ඉක්මවා යන සුවිශිෂ්ට නිර්මාණයක් කිරීමට ඔබට හැකි වේවා යි කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. කිසි ම දවසක පෙර අපර දෙදිග නිර්මාණකරුවන්ගෙන් ඇතැමෙක් කළ ආකාරයට තමා කළ නිර්මාණය නැවත නැවත දිග්ගස්වමින් හදන නිෂ්පාදන බිහි කිරීමට ඔබට සිත් පහළ නොවේවා යි ද මම ප්‍රාර්ථනා කරනවා. 

අපි දැන් මෙතැන් සිට 94 කථාංගයෙන් අපට ගත හැකි සදර්ථ වෙත සාවධාන වෙමු.

වරෙක ශ්‍රී ක්‍රිෂ්ණ පවසනවා වර්තමානයට අතීතය නොතකා හැර සමෘද්ධියට පත් විය නොහැකි බව. එහෙත් උදාවන යුගයට ඉඩ දී ඉවත් ව යාමත් අතීතයට අයත් මෙහෙවරක්. අවසානයේ දී ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඒ බව තේරුම් ගන්නවා. ඔහු යුධිෂ්ඨිරට පවසන්නේ ඔබත් සමග ඇරඹෙන යුක්තියේ යුගයට ඉඩ දී හිරු ගැන නොදන්නා තමාට අඳුරේ සිටීමට ඉඩ හැර කටයුතු කරන ලෙස යි. යුධිෂ්ඨිර රාජ්‍ය පාලකයා වශයෙන් පත් වීමෙන් පසු කරන්නේ වර්තමාන අනාගත පාලකයන් විසිනුදු භාවිතයට ගත යුතු, සිය ආදර්ශ පාඨ කරගත යුතු ඓතිහාසික ප්‍රකාශයක්. අතීතයට ගරු කිරීම - වර්තමානය අවබෝධ කර ගැනීම මෙන් ම පාලකයා වන තමාගේ කාර්ය භාරය ගැන සතිමත් වීම ඉන් දෘශ්‍යමාන යි. මම කැමතියි ඒ ප්‍රකාශය මෙහි සාරාංශ කොට දක්වන්නට.

“පළමු ව මම මගේ ප්‍රණාමය මා සිය පාලකයා වශයෙන් පිළිගත් හස්තිනාපුරය වෙත පළ කර සිටිනු කැමැත්තෙමි. දෙවනු ව මට පූර්වයෙන් සිටි මී මුත්තනට වඳිමි. එසේ ම ඔවුන්ගෙන් මට උරුම වූ කිරුළ රකින බවට ප්‍රතිඥා දෙමි. එසේ ම ශ්‍රී ක්‍රිෂ්ණයන් වෙත ද ප්‍රණාමය පළ කරමි. යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස හඳුනා සමාජ සුධාරකයකු ව පොදු යහපත උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි. මා ඉන් ඉවත් ව අයෝග්‍ය පාලකයකු වශයෙන් කටයුතු කළහොත් මගේ ජනතාවට ඒ බව ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බව ද පවසමි. එසේ ම රාජසභාවේ  මා අසුන් තුනක් හිස් කොට තබා ඇත්තේ ඇයි ද යන කරුණ වෙතත් ඔබ සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඉන් පළමු අසුන පිතාමහ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ නමට යි. දෙවැන්න අපගේ ගුරුවර ද්‍රෝණාචාර්යයන්ගේ නමට යි. තෙවැන්න වෙන් වන්නේ අංගරාජ් කර්ණ නමට යි. මේ හිස් අසුන් මේ සංග්‍රාමය නිසා අපට අහිමි ව ගියේ කවර නම් විශිෂ්ට චරිත ද යන්න සිහිපත් කොට දෙනු ඇත.

මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ මගේ හදවතේ කිසිදු අමිහිරි දෙයකට ඉඩක් නොමැති බව යි. ඒ සියලු අමධුරතා නිමා කොට ඇත. පාලකයාගේ වගකීම වන්නේ සිය ප්‍රජාව අනාගතය වෙත කැඳවාගෙන යාම යි. රජු සිය කාලය අතීත අමධුරතා ගැන සිතීමට ගත කළ හොත් සිය ජනතාව පත් ව තිබෙන දුෂ්කරතාවලින් මුදවාලීමට අවශ්‍ය නායකත්වය දීමට ඔහු අසමත් වනු ඇත. මගේ ජනතාව මෙතෙක් විඳි හිරිහැර දුෂ්කරතා ප්‍රමාණවත් ය. දැන් ඔවුනට අවශ්‍ය සාමය සහ සමෘද්ධිය යි. අපි එක් ව නව යුගයක් බිහි කරමු. සෑම පුරවැසියෙක් ම රටෙන් මට නොව මගෙන් රටට යන දර්ශනය මත පිහිටා කටයුතු කරනු දැකීමට මම කැමැත්තෙමි.”

මෙයිනික්බිති අපට ගාන්ධාරි-කුන්තී-ද්‍රෞපදී කාන්තා ත්‍රිත්වයේ දර්ශනය දැක ගැන්මට ලැබෙනවා. සියල්ල අතහැර වනවාසී ජීවිතයක් වෙත යාමට සිය දෙටු මවුන් තීරණය කොට ඇති බව දැන ගන්නා ද්‍රෞපදී, ඇයට පවසන්නේ එසේ නොයන ලෙස යි. මන්ද ගාන්ධාරී බිසව යනු මේ මන්දිරයේ ආත්මය බැවින් එසේ නොකරන්නැයි ඇය උදක් ම ඉල්ලා සිටිනවා. ඊට පිළිතුරු දෙමින් ගාන්ධාරී කියන්නේ ආත්මයට ද සිය සිරුර අතහැර යාමට සිදු වන දිනයක් එන බව යි.

̎The soul too has to leave the body some day.

එයිනික්බිති ගාන්ධාරී සිය සැමියාට පවසන්නේ යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකයත් සමග හස්තිනාපුරය යළි සුරක්ෂිත වූ බව කියන්නට ගංගාපුත්‍ර භීෂ්මයන් වෙත යා යුතු බව යි. එහෙත් තමාගේ පාලනය හේතුවෙන් දැන් ශර යහනක සැතපෙන භීෂ්මයනට මුහුණ දිය නොහැකි බව යි, ධ්‍රැතරාෂ්ට්‍ර පවසන්නේ. අනතුරුව අපට ශරයහනත සැතපී සිටින භීෂ්ම දැක ගැන්මට ලැබෙනවා. ඔහු පවසන්නේ නවපාලනය යටතේ හස්තිනාපුරය සුරක්ෂිත බැවින් තමාට ශරීරය අතහැර යාමට අවශ්‍ය බව යි. ඊට පෙර තමාට ශ්‍රී ක්‍රිෂ්ණ දැකගැන්මට අවශ්‍ය බවත් මේ මොහොතේ මිහිකත වෙතින් තමා අපේක්ෂා කරන එකම ත්‍යාගය එය බවත් ඔහු පවසනවා. ඒ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පංච පාණ්ඩවයන් සමග එතැනට එනවා. ඒ සියලු දෙනා ගංගාපුත්‍ර භීෂ්මයනට සිය ප්‍රණාමය පළ කරනවා. භීෂ්ම පවසන්නේ ක්‍රිෂ්ණගේ පැමිණීම තමාගේ සියලු වේදනාවන් දුරලන ආලේපයක් වූ බව යි. මේ මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ ඔබගේ මේ දෙටු මුණුබුරු යුධිෂ්ඨිරට ඔබගේ අවසන් පාඩම කියා දෙන ලෙස යි. ඔබ සිටියදී ඔහුට මා කුමන පාඩමක් උගන්වන්න දැයි කියූ විට ක්‍රිෂ්ණ පවසන්නේ තමාට දැනුම ඇති මුත් අද්දැකීම් නොමැති බව යි; ඔබගේ අද්දැකීම් ද සමග යුධිෂ්ඨිරට ආශිර්වාද කරන ලෙස යි. ඔබේත් අපේත් ජීවිතවලට ගැන්මට බොහෝ දේ ඒ කතාවේ ඇති නිසා මම කැමතියි එහි මට වඩාත් දැනුණු තැන් උපුටා දක්වන්නට. 

“විජය ශ්‍රී අධිරාජයාණෙනි, දැන් මට මෙතැන හැර ස්වර්ගය වෙත යාමට කාලය යි. මා දුටුවා මේ ජීවිත කාලය තුළ දැකිය යුතු දෙය මෙන් ම නොදැකිය යුතු දෙය. මම පරාජිත රණකාමියකු මෙන් ම පරාජිත පුරවැසියෙක්. ඔබ ඉගෙන ගන්න මගෙන් හොඳ රණකාමියකු මෙන් ම පුරවැසියකු වශයෙන් නොකළ යුත්තේ කුමක් ද යන්න. සිය දරුවනට හෝ ප්‍රතිඥාවනට වඩා දේශය වැදගත් වන බව සිතන්න. මම ප්‍රතිඥාවේ වහලකු බවට පත් වූ රණකාමියෙක්. මේ අවමානයේ පරිච්ඡේදය මගේ මරණයත් සමග අවසන් වේවි. වැඩිහිටියෙක් වේවා, අයුක්තියේ පක්ෂය ගනියි නම් තරුණයන් ඊට එරෙහි ව අනිවාර්යයෙන් ම අභියෝග කළ යුතු යි. මේ වූකලී දේශපාලනයේ මූලික දර්ශනය යි. රාජ්‍ය දේපළ ඇත්තේ දේශය උදෙසා මිස රජු උදෙසා නොවේ. රාජ්‍යය අයත් වන්නේ රජුට නොවේ. එහෙත් රජු අයත් වන්නේ රාජ්‍යයට යි. අතීතය ඔබට පිරිනමා ඇත්තේ දුර්වල ආර්ථිකයක් සහ ගිලන් වූ සමාජයක් නම් ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඔබ කටයුතු කළ යුතු යි. අතීතයට වර්තමානය සමග තරග කරන්නට බැහැ. රට ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයට යි.

තවත් එක් වැදගත් කරුණක් තිබෙනවා. සාර්ථක සමාජයක් පිළිබඳ වන සත්‍ය පරීක්ෂණය ඇත්තේ ඒ සමාජය ගැහැනියට දක්වන ගෞරවය ළඟ යි. එසේ ම රජෙකුට ඇති වගකීම පුරවැසියාට වඩා බොහෝ සෙයින් වැඩි යි. රටක් දෙකඩ කළ යුතු ය යනුවෙන් කවර බලපෑම් පැමිණිය ද කිසි විටෙකත් එය දෙකඩ කරන්නට එපා. 

ක්‍රිෂ්ණ මට වෙනත් දෙයක් කීමට නැහැ. දැන් මට වෙහෙස යි. අර්ජුන් මාතෘභූමියේ පස් මිටක් ගෙන මගේ නළලත තවරන්න.”

මේ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ ඒ කාර්යය කිරීමට ඉදිරිපත් වෙනවා. ගංගාපුත්‍ර භීෂ්ම ලොවින් නික්ම යන්නේ මිහිකත මත යෝග්‍ය ලෙස හිරු කිරණ ද වැසි දිය ද වැටේවා යන ප්‍රාර්ථනය කරමින්. එසේ ම සිය රට ඵලවැලින් සමෘද්ධ ව විල් දිය මත නෙළුම් පිපේවා යි ද ඔහු ප්‍රාර්ථනා කරනවා. පංච පාණ්ඩවයන් වේදනාභරිත ව බලා සිටින ඒ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ මිය යන මිනිසෙක් අමරණීයත්වය ලබන නිමේශය දැක ගැන්මට අවකාශ ලබන්නේ ආශිර්වාද ලද අය බව යි. මේ මොහොතේ පසුබිමින් අනුවේදනීය කටහඬකින්  ඇසෙන්නේ මහාභාරත සංග්‍රාමය වන් සටනක් ලොව ඇති නොවේවා කියා යි. මහාභාරතය අප වෙත ගෙන එන්නේ සාමයේ පණිවිඩය බව ද එහි කියැවෙනවා. අවසන අපට කාලචක්‍ර ප්‍රකාශයක් ද සමස්ත කතාවේ අවසානය සලකුණු කරන ගීතයක් ද දැකිය හැකි - ඇසිය හැකි වෙනවා. අපි පළමු ව කාලචක්‍ර ප්‍රකාශය කියවා ගනිමු.

“ව්‍යාස මහ ඍෂිවරයා විසින් කියන වීරකාව්‍යය අදින් අවසන් වෙයි. මානවයනි, මේ අපේ අවසන් හමුවීම යි. භාවිතයට ගන්න, මේ කාව්‍යය ඔබේ ගැටලු විසඳා ගැන්ම උදෙසා. මේ කතාව ඔබේ සන්නාහය මෙන් ම අවිය ද වෙයි. ප්‍රයෝජනයට ගන්න, මෙය සමාජයක ජීවත් වන අසත් ජනයන් හඳුනා ගැන්ම උදෙසාත්. වර්තමානයේ පවත්නා අඳුරු අහුමුළු හඳුනා ගැන්මටත් මෙය ඔබට ආලෝකයක් වනු ඇති. ඔබට දැකගත හැකි වේවි මෙයින්, අසත්‍යය සත්‍යයේ ආකාරයෙන් එන වේශයත්.

මානවයනි, යුක්තිය සහ සත්‍යය වෙත යන ආලෝක මාර්ගයේ උරුමක්කරුවකු වන්න. ඒ වූකලී විමුක්ති දර්ශනය යි.”

මා මෙතෙක් වෙලා කතා කළේ මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් මා උගත් පාඩම් සමුදාය යි. මෙය අධ්‍යයනය කරන ඔබ ඕනෑම කෙනෙකු ඉදිරියේ මා කී දෙයට වඩා වෙනස් තවත් අලුත් දේවල් දර්ශනය වේවි. මම අවසාන වශයෙන් කැමතියි, මෙතෙක් වේලා මට සවන් දුන් ඔබ සියලු ම දෙනාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පළ කොට, මෙහි සමාප්ති ගීතෝක්තියෙන් මා ගත් සාරාර්ථය දක්වා, එහි අවසන් සුවාක්‍ය උපුටා දක්වන්නට.

“මේ ලෝකයේ යම් දෙයක් තිබෙනවා ද මේ ලෝකය යම් ආකාරයක් ගන්නවා ද ඒ සියල්ල වේද ව්‍යාස ඍෂිවරයාගේ මේ මහාභාරතය මාර්ගයෙන් ප්‍රකාශයට පත් කරන බව යි, ඉන් පළමු ව කියැවෙන්නේ. එසේ ම ඔබ අප සියලු ම දෙනා සිහියට ගත යුතු යි; ජීවිතය යනු අපේ ක්‍රියාවල ම ප්‍රතිඵලයක් බව. අපි දැන් ඔබට සමු දෙන්නේ අපේ සුබ පැතුම් පිළිගන්න යයි ප්‍රකාශ කරමින්.“ 

මේ මහා ටෙලි වෘත්තාන්තය එතැනින් අවසන් වෙනවා.

"All of you remember, Life is the result of your actions, We now take your leave.

 Accept our greetings.̎



Monday, December 1, 2025

138. ගුරු දියවර 49 - සමන් චන්ද්‍ර රණසිංහ

                         

                                     නොසිඳ දේශජ මුල් - ගනිමු භාරතයෙන් මල්


                        

“සිනමා සංසදයේ රසික සහෘදයනි, මගේ ආදරණිය ආචාර්යතුමන්ගේ ආරාධනය පරිදි යි අද මම මහාභාරත ටෙලි වෘත්තාන්තය ගැන කතා කිරීමට ඔබ හමුවට පැමිණියේ. අද මට මෙය වඩාත් විශේෂ දෙයක් වන්නේ වෙනදා අපට සරසවියේ දී උගන්වන ආචාර්යවරයා ද අද ශ්‍රාවකයකු වී මෙතැන හිඳ සිටින නිසයි.

අද මම මගේ කතාවට ප්‍රවේශය ගන්නේ කළ එකම සිනමා නිර්මාණය ම සිනමා සිත්තමක් බවට පත් කිරීමට සමත් වූ චිත්‍ර හා මූර්ති ශිල්පියකු රමණීය අර්ථප්‍රදායී ගේයපද රචකයකු ධ්වනිපූර්වක කාව්‍ය රචනා ඉදිරිපත් කවියකු නවකතාකරුවකු සිනමා අධ්‍යක්ෂවරයකු මතු නොව අව්‍යාජ ගැමියකු වූ සුවිශිෂ්ට කලාකරුවකුගේ ප්‍රකාශයකින්. ඔව් මගේ ඒ හැඳින්වීම ම අදාළ චරිතය කවුද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක්. ඔව් ඒ ආචාර්ය මහගමසේකර හෘදයසංවේදී කලාකරුවා යි. ඔහු මෙයින් 58 වර්ෂයකට පෙර එනම් අඩසියවසකටත් මඳක් වැඩි කලකට ඉහත එක්තරා කාව්‍ය ආඛ්‍යානයක් සමාජගත කරනවා. ඒක ඔහුගේ ම ප්‍රබුද්ධ කාව්‍ය ආඛ්‍යානයට වඩා පැරණි යි. කවි පොතේ නම රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත යි. මේ වූකලී අතීත වර්තමාන හා අනාගත යන පරම්පරා තුනක කතා ප්‍රවෘත්තිය යි. මේ පොත බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක් වුණා. ඒත් අද මා කතා කරන්නේ එහි අන්තර්ගත කාව්‍යෝක්ති ගැන නොව එහි එන අකාලික පෙරවදන ගැන යි. එය පූර්විකාවක් වන්නේ මගේ මේ කතාවට පමණක් නෙමෙයි. මට දැනෙන හැටියට ඒ පූර්විකාව ඔබේ සිනමා චාරිකාවේ ද පූර්විකාව යි. සේකර කියන්නේ රාජතිලක විසූ පැරණි සමාජය නිර්භය ව අපට පය ගසා ගැනීමට තරම් ශක්ති සම්පන්න එකක් වූ බව යි. ඔහු පවසන අන්දමට සමාජයත් සංස්කෘතියත් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින වර්තමානයේ වෙසෙන අපට එවැනි ස්ථිර පදනමක් නැහැ. අපි බියෙන් සැකයෙන් හා අවිශ්වාසයෙන් වෙළෙමින් උකටලී ලෙස ජීවත් වන බව කියන සේකර අපේ පැරණි සමාජ සංස්ථා බිඳ වැටුණත් ඒ වෙනුවට නිසැක ලෙස පිළිගත හැකි අලුත් සංස්ථා ඉඳිවී නොමැති බව සඳහන් කරන්නේ සංවේගයෙන්. ආචාර්ය මහගමසේකර 1967 දී තැබූ මේ සටහන එදාටත් වඩා වලංගු වන්නේ අදට යි.  

සේකර පවසන පරිදි අපි එගොඩ සිට මෙගොඩ බලා ඒමට ඒදණ්ඩකට නැගුණු පිරිසක් වැනි යි. ඒදණ්ඩ දුබලය,ි අත්වැල රහිතයි. ලයනල් මෙන් අප ද කොයි මොහොතේ හෝ ඇද වැටෙන්නට පුළුවන්. අපට ඇති එකම බලාපොරොත්තුව වන්නේ ප්‍රියන්ත යි. ප්‍රියන්ත යනු අනාගතයේ පහළ වන සමාජය මෙන් ම සංස්කෘතිය යි. එබඳු සමාජයක් හා සංස්කෘතියක් පහළ විය හැක්කේ ගමත් නගරයත් දෙකේ ම සංකලනයෙන් බිහිවූ ඒ දෙකේම හරය අවබෝධ කොට ගත් ලයනල්ලා ද සමග බව සේකර අවධාරණ කරනවා. ලයනල්ලා නොතකා ප්‍රියන්තලාට යා නොහැකි යි. සමන් සිත්තරා කියන පරිදි අද මහලු තොටියාට දුබල දෑතින් පාරුව පැද යාමට නොහැකි වූවාට ඔහුගේ ජීවන අද්දැකීම් සමුදාය යි තරුණ තොටියාගේ ජීවිතය සුරකින අත්වැල වන්නේ. දැන් මා ඉදිරියේ සිටින ඔබෙන් වැඩි දෙනෙක් නියෝජනය කරන්නේ ප්‍රියන්තලාගේ පරපුරයි. අතරින් පතර ලයනල් ලා ද හිඳ සිටිනු මට පෙනෙනවා.

මෙය මගේ මහාභාරත දේශනයට ප්‍රවේශයක් වන්නේ මහාභාරත වීරකාව්‍යය නොමසුරුව සේකර පවසන ශක්තිසම්පන්න පදනම අපට ප්‍රදානය කරන නිසයි. එහෙත් අපි අපේ පදනම සකසා ගත යුත්තේ ඊට වසඟ ව අමු අමුවේ එය අනුකරණය කිරීමෙන් නොව අපට අවශ්‍ය මාවත සිනමා මාර්ගය සොයා ගැන්ම සඳහා එය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන්.

කවර රටක වුවද මිනිසාගේ සහජ ආශාවන් සමාන වුවත් ඒ ආශාවන්ගේ පෙළඹවීම නිසා මිනිසා ක්‍රියා කරන ආකාරය ඔහුගේ හෝ ඇයගේ දේශය, අභ්‍යාසය, පරිසරය, සංස්කෘතිය යන සාධක අනුව වෙනස් වන බව කියන සේකර, කිසියම් අවස්ථාවකදී ප්‍රංශ ජාතිකයකු ක්‍රියා කරන ආකාරය ඊට සමාන අවස්ථාවක දී සිංහල ජාතිකයකු ක්‍රියා කරන ආකාරයට සමාන නොවේ ය යන කාරණය මතු කරනවා. සේකරගේ ම වචනවලින් කියනවා නම් දෙදෙනාම මුහුණ පෑ අවස්ථා සමාන වූ පලියට ප්‍රංශ ජාතිකයා සේ ක්‍රියා කරන සිංහල චරිතයක් නිර්මාණය කිරීම සම්ප්‍රදාය විරෝධියි. සේකර කියන්නේ සම්ප්‍රදායානුකූල වීම යන්නෙන් අදහස් කරන්නේ පැරැන්නන් ගත් මග ඒ තිබෙන ආකාරයට ම අනුගමනය කිරීම නොවන බව යි. එය නිර්මාපකයාගේ පෞද්ගලිකත්වය සහ නිර්මාණශීලී ගුණය අනුව ඉබේ සිදු වන්නක්. එය නිරායාසයෙන් නිර්මාණය තුළට ගලා ආයුතු ගුණයක්. සම්ප්‍රදායානුකූල වීම යනු පැරැන්නන් අනුකරණය කිරීම නම් අලුත් මං සොයා යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඔහු අප අබිමුව තබනවා. මහාභාරත ටෙලි වෘත්තාන්තය කළ අධ්‍යක්ෂවරුන් ඒ යුගයේ සිටි ලයනල්ලා සම්බන්ධ කරගෙන කළේ මහාභාරත වීරකාව්‍යය අධ්‍යයනය කරමින් සම්ප්‍රදායට එකග ලෙස පෙර නොවූ විරූ මගක් ගැනීම යි. මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් ඔබ උගත යුතු පාඩම එය යි.

සේකර කවිය ගැන කරන ප්‍රකාශය සිනමාව ඇතුළු අනෙකුත් කලා නිර්මාණවලට ද අදාළ යි. ඔහු පවසන්නේ කවිය යනු කවියාගේ අධ්‍යාත්මය මිස අන් කිසිවක් නොවන බව යි. කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වන බවත් කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වන බවත් කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වන බවත් සේකර අවධාරණයෙන් කියා සිටිනවා.

මම මහාභාරත ටෙලි වෘත්තාන්තයේ මගේ ආදරණීය ආචාර්යවරයා නැවැත්වූ තැන සිට එනම් 45 වැනි කතාංගයේ සිට කතාංග විස්සක් පමණ වන තෙක් කතා කරන්නේ ආචාර්ය මහගමසේකරයන්ගේ මේ අකාලික ප්‍රකාශ පදනම වශයෙන් ගනිමින්. මගේ කතාවට මගේ ප්‍රධාන විෂය වන සිංහල සාහිත්‍යය ද සුදුසු පරිදි සම්බන්ධ කරගන්නවා. මගෙන් පසු ඔබට එදා කතාකළ ආචාර්යතුමන්ගේ ප්‍රිය සිසු දියණියක වන මිහිදිනී අප හිතවතිය ඉංග්‍රීසි සාහිත්‍යය ද සම්බන්ධ කර ගනිමින් ඉදිරි දවසක දී කතා කරාවි. අද ඇයත් මේ මොහොතේ අප සමග මේ සභාවේ සිටිනවා. 

මහාභාරත ටෙලිවෘත්තාන්තයේ කතාංග ගැන කතා කිරීමට පෙර මහගමසේකර ඒ මහා කලාකරුවාගේ යටකී පෙරවදනේ එන අවසන් ඡේදය මෙසේ ඔබ හමුවේ තැබීමට මට අවසරග”

“පෙර මෙන් නොව, වර්තමානයෙහි ලෝකයේ රටවල් තදින් එකිනෙකට බැඳී පවතී. මේ හෙයින් මෙකල බිහි වන කෘතියක් දේශීය මිම්මෙන් මෙන්ම අන්තර්ජාතික මිම්මෙන් මනින කල ද උසස් තත්ත්වයක තිබිය යුතුය. එහෙත් දේශීය වීම යනු අන්ධ ලෙස පැරැන්නන් අනුකරණය කිරීම නොවේ. අන්තර්ජාතික වීම යනු අන්ධ ලෙස වෙනත් රටවල කලාකරුවන් අනුකරණය කිරීම ද නොවේ.”

අපි දැන් මහාභාරත ටෙලි වෘත්තාන්තයේ 45 වැනි කොටසට යමු. එය ආරම්භ වන්නේ දෞපදී කළ ප්‍රකාශයක් ගැන කාලචක්‍රය කරන ප්‍රකාශයකින්. ඉන්ද්‍රප්‍රස්ථයට පැමිණි දුර්යෝධන විශ්වකර්ම විසින් ගොඩබිමක් සේ දැනෙන සේ ඉඳිකළ ජලාශය මතින් ඇවිද යාමට ගොස් ඊට ඇද වැටෙනවා. ඒ දර්ශනය දෙස බලා මහ හඬින් සිනාසෙන ද්‍රෞපදී අන්ධයාගේ පුතාටත් තැන් පැහැදිලි ව හඳුනාගත නොහැකි බව කියනවා උපහාසාත්මක ව. දුර්යෝධනගේ සිතේ ඔවුන් පිළිබඳ බලවත් වෛරයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙයයි. මෙහි ප්‍රතිවිපාක සිදුවීමට වන්නේ භාරතයට බව කාලචක්‍රය පවසනවා. 

“ඇගේ වගකීමෙන් තොර සිනාව ඉන්දියාවට බලපානවා. යැවූ ඊතලය නැවත කැඳවිය නොහැකි යි.”

කාලචක්‍රයේ ප්‍රකාශය ඔබ - අපටත් අදාළයි. සේකර පැවසූ ඉහත කාරණා ගැන සතිමත් නොවී අප කිසියම් සිනමා කෘතියක් බිහිකොට එය සමාජගත කළහොත් එහි ප්‍රතිවිපාක අපට පෙරළා කැඳවිය නොහැකි යි. එය ඒ කෘතියේ ස්වභාවය අනුව සමාජයට යහපත හෝ අයහපත උදා කරාවි. ද්‍රෞපදියට තමා කළ ප්‍රකාශයේ ඇති බරපතලකම වැටහෙන්නේ යුධිෂ්ඨිර විසින් එය පෙන්වා දෙන ලද පසුව යි. ඇය තම වරද පිළිගත් විට එය උද්ගත වන ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව යුධිෂ්ඨිර කියනවා. මට මතක් වන්නේ ධම්මපදයේ එන ප්‍රකාශයක්. යම් දෙයක් සිදු කොට එය පසුව කඳුළු පිරි දෙනෙතින් සිහි කිරීමට සිදු වේ නම් ඒ දෙය නොකර සිටින්නැයි එහි කියවෙනවා. තමා ලියූ කියූ කළ කී දේ ගැන එසේ නොකළා නම් හොඳ නොවේද කියා පසුතැවෙන අය ඔබටත් හමු වී ඇති. ඔබේ සිනමා කෘතිය ඒ ගොඩට නොවැටේවා යි මම ප්‍රාර්ථනා කරනවා.

ධ්‍රැතරාෂ්ට්‍ර රජු පුත් දුර්යෝධනගේ ඉල්ලීම පරිදි දූකෙළිය සඳහා පංච පාණ්ඩවයන්ට නියෝජිතයකු යැවීම හමු වන්නේත් මේ කතාංගයේ දී යි. ඒ සඳහා යායුතු නියෝජිතයා වශයෙන් රජු නම් කරන්නේ මහාමන්ත්‍රී විදුර යි. ඒ මොහොතේ විදුර් රජුගෙන් මෙසේ ප්‍රශ්න කරනවා. 

“ඔබ මේ කුරු වංශයේ අවසන් පරිච්ඡේදය ලිවීමට ද යන්නේ.”

ඔබ කිසිවෙක් සිනමා වංශකතාවේ අවසන් පරිච්ඡේදය ලිවීමට ඉදිරිපත් නොවේ ය යන හැඟීම මා තුළ බලවත් ව තිබෙනවා. 

අපේ ආචාර්යතුමා මෙහි සමාරම්භක දේශනයේ දී කළ පරිදි මමත් ඒ ඒ කථාංගවලින් මතු කොට ගත හැකි අපගේ ජීවිතවලට වැදගත් වන වියුක්ත ප්‍රකාශ කිහිපයක් සඳහන් කරන්නට කැමතියි. මෙහි 46 කතාංගයේ එක් තැනක මෙවන් සඳහනක් එනවා.

“අපි අමතක කරනවා අප අනුන්ට කළ දේ. එහෙත් අනුන් අපට කළ දේ අප ලෙහෙසියෙන් අමතක කරන්නේ නැහැ.” 

මෙය බොහෝ විට අදාළ වන්නේ අපගෙන් අනුන්ට සිදු වූ වැරදි සහ අනුන් අපට කළ වැරදි සම්බන්ධයෙන්.

දූ කෙළිය පුද්ගලයා පමණක් නොව මුළු මහත් රාජ්‍යයක් වුව අයසට හෙළීමට හේතු වන සැටි මහාභාරතය පෙන්වා දෙනවා. ඉඩක් ලද විටෙක ඍග්වේදයේ එන සූදුකාරයාගේ ගීතයත් බලන්න. එය සූදු අන්තුවකුගේ ජයගීතය පරාජයේ ශෝකාලාපය ප්‍රකට කරන්නක් ලෙස යි මට දැනෙන්නේ. මහාභාරතයේ දානවීර කර්ණ කරන ප්‍රකාශය ද අපට කිසිසේත් නොතකා හරින්නට බැහැ.

“මම දූකෙළියට කැමති නැහැ. එයින් ලබන සියලු ජයග්‍රහණයනට වඩා යුද වැද සියල්ල පරාජය වීම මට වැදගත්.”

අතිප්‍රබල චරිත වුව කවර හෝ මොහොතක ඇද වැටිය හැකි යි. මෙය පුද්ගලයා සම්බන්ධයෙන් දෙවිධියකට සිදු  වෙනවා. ඒ භෞතික ඇදවැටීම සහ ආධ්‍යාත්මික ඇද වැටීම යි. රෝගීවිම නිසා හෝ මහලු වීම නිසා හෝ අනතුරක් නිසා හෝ මේ භෞතික ඇද වැටීම සිදු විය හැකි යි. එහෙත් ඊට වඩා බරපතල වන්නේ කෙනෙක් ආධ්‍යාත්මික ව ඇද වැටීම යි. ගංගාපුත්‍ර භීෂ්ම මේ ශෝචනීය ඉරණමට මුහුණ දෙනවා. සිය දෑස් ඉදිරියේ සිදුවන අසත් ක්‍රියා වැළැක්විය නොහැකි වීමේ වේදනාව ඔහුගේ සමස්ත ආත්මයම පීඩාවට පත් කරනවා. ඔහුගේ මේ සංවේගජනක තත්ත්වය හොඳින් ම අවබෝධ කරගන්නේ මහාමන්ත්‍රී විදුර යි. තමා හමුවට පැමිණ වේදනාභරිත ව නික්ම යන භීෂ්මයන් පෙන්වන විදුර සිය බිරිඳට මෙසේ පවසනවා. 

“ප්‍රියේ ඔබ දුටුවා ද, අද පැරණිතම දැවැන්ත වෘක්ෂයක් ඇද වැටෙන සැටි.”

ගස් දිරායාමෙන් මහලු වීමෙන් හෝ කපා දැමීමෙන් හෝ වෙනත් ආපදාවකට ලක්වීමෙන් හෝ ලක් කිරීමකින් ඇද වැටිය හැකි යි. මහා වනස්පති බඳු මානවයන් ද එසේ ඇද වැටෙන ආකාරය ඔබ අප දැක තිබෙනවා. ඇතැම් විට ඒ ගසේ ඇද වැටීම වැළැක්වීමට ඔබට හෝ මට හෝ වෙනත් කෙනෙකුට හෝ නොහැකි විය හැකි යි. එහෙත් ඒ මහා ගස්වලින් ඔබට අපට මෙන් ම අප ජීවත් වන සමාජයට ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙනවා. වරක් එසේ ඇද වැටුණු ගසක් දුටු ධර්මසිරි ගමගේ කවියා 1998 වසරේ දී මෙවන් කවියක් ලියා තිබෙනවා

ගුරු මවුන් කියා දෙන පාඩමකි    දිය දමේ 

තබා ගනු මැනවි එය කෙළවරක ඔබ ළැමේ   

සොබාදම සුරැක ජීවත් වුණොත් මවු බිමේ 

මිය ගියද අමුතු හැඩරුවක් ඇත  මළගමේ

අන්න ඒ අමුතු හැඩරුව උකහා ගෙන කලාවේ මාර්ගයෙන් එය සමාජගත කිරීමට සමත් වන්නේ කලාකරුවන් වන ඔබ මිස අන් කවරෙක් ද?

මේ කවිය දැක එය උල්පත කරගෙන අපේ සර් ලියූ කවියක් ද මෙතනට සම්බන්ධ කරන්න මම කැමතියි.

වැටුණු ගසකට සිනාසෙන ගුණය නැත  හදේ 

එපමණක් නොවේ ඒ සොඳුරුතා    හද රැඳේ

සෙවණ දුන් ගසේ රුව නිබඳ ව ම හද ඇඳේ 

ඒ රුව ම හිරු විලස දකිමි   නැග එන උදේ

ඔබේ සිනමා සිත්තම ඒ සුන්දරත්වය - ඒ සූර්යාලෝකය ප්‍රකාශයට පත් කරන ආලෝක ප්‍රකාශකයා fවිවා යි මම ප්‍රාර්ථනා කරනවා.

මේ කතාවේ එන තවත් ලස්සන තැනක් ගැන කියන්නට මට ඉඩ දෙන්න. වෘද්ධ ගංගාපුත්‍රගෙන් ප්‍රකාශයට පත් වන ආලෝකය සහ සෞන්දර්යය ගැන ප්‍රශ්න කළ මොහොතක ඔහු සියලු දෙනාගේ ජ්‍යෙෂ්ඨතමයා බව කී විට ඔහු පවසන්නේ සෙවණැල්ල දිගු වන විට දැන ගන්න හිරු බැස යාමට ආසන්න යයි කියා යි. මෙය ඉතාම සුන්දර විදිහට ඉංග්‍රීසියට ද නගා තිබෙනවා මෙයට උපසිරසි ලියූ අය අතින්. මෙවැනි ප්‍රකාශ අතිසුන්දර ලෙස මට වඩා කීමට සමත් වන්නේ අපේ මිහිදිනී වුවත් මේ ප්‍රකාශය ඔබ හමුවේ නොකියා ඉන්නට සිතෙන්නේ ම නැහැ. ඉදිරියේ දී අපට ඒ භාග්‍යය උදා වන බව සඳහන් කරමින් ඇස පත් - සවන් පත් ඒ ඉසොඳුරු ප්‍රකාශය මෙසේ සඳහන් කරන්නම්.

 ,උයැබ ිය්ාදඅි ඉැටසබ එද කැබටඑයැබ හදම ියදමකා  රු්කසිැ එය්එ සඑ සි එසපැ දෙර එයැ ිමබ එද ිැඑග,

සිය පුතා වුව වැරදි නම් ඒ බව ප්‍රකාශ කරන්නට මහාරාණී ගාන්ධාරී පැකිළෙන්නේ නැහැ. ඇය තමාගේ පුතා නියෝජනය කරන්නේ අයුක්තිය බව දන්නවා. දුර්යෝධන සිය පුතු වුවත් තමාට වැදගත් වන්නේ පුතුට වඩා මාතෘභූමිය බව ඇය අවධාරණ කරනවා. ඇය පවසන්නේ දුර්යෝධනගේ ජයග්‍රහණය යනු හස්තිනාපුරයේ පරාජය බව යි.  

පාණ්ඩවයන්ගේ විනාශය උදෙසා සියලු කුමන්ත්‍රණ රහසිගත ව දියත් කරන්නේ ගන්ධාර නරේශ් ශකුනි යි. එහෙත් පාණ්ඩවයන් මුහුණට මුහුණ හමු වූ විට මිහිරි වචන කතා කරන්නේ ද ඔහු යි. දුර්යෝධන මෙයින් වෙනස් වන්නේ හොඳ හෝ නරක වේවා පවත්නා තත්ත්වය සඟවා කතා කරන ස්වභාවය ඔහු තුළ නැති නිස යි. ශකුනිගේ චරිතය අපට සිහිපත් කර දෙන්නේ හිතෝදේශයේ එන පද්‍යයක්. ඉන් කියැවෙන්නේ දුර්ජනයන් විසින් කියනු ලබන වචනය සිනා සහිත වූයේ වුවත් ප්‍රිය වූයේ වුවත් අකාලයේ හටගන්නා මල් මෙන් බිය උපදවන බව යි. එහි මූලපාඨය දැන ගැන්මේ ස්වභාවය ඔබෙන් පේන නිසා මන් ඒ පද්‍යය ද කියන්නම්.

දුර්ජනෛරුච්‍යමානානි සස්මිතානි ප්‍රියාණ්‍යපි

අකාලකුසුමානීව    භයං     සංජනයන්ති ච

දැන් අපි මහාභාරත ටෙලියේ 46 වැනි කතාංගයට යමු. මේ කොටස රාජ දූකෙළියට වෙන් කර තිබෙනවා. රජවරුන් කළත් ප්‍රභූවරුන් කළත් සාමාන්‍ය ජනතාව කළත් දූකෙළිය යනු දූ කෙළිය ම තමයි. බෞද්ධ සම්ප්‍රදායට අනුගත ව බැලුවත් එයින් ලැබෙන්නේ ආදීනව මිස ආනිසංස නම් නෙමෙයි. මෙය යුධිෂ්ඨිර අද්දැකීමෙන් ම ලබනවා. කණගාටුවට කරුණ වන්නේ ඔහු විපතට පත් වන්නේ තමා සමග සිටින සමීපතමයන් ද විපතට පත් කරගෙන වීම යි. යුධිෂ්ඨිර ගුණවතෙක්. බලවතෙක්, යුක්තිධරයෙක්. ධර්මධරයෙක්. කරුණාබර හදක් ඇත්තෙක්. එහෙත් ඒ සියල්ල පරයා එක දෝෂයක් ඔහුගේ චරිතයෙන් ප්‍රකාශයට පත් වෙනවා. ඒ දූ කෙළියට ඇති ලොල් බව යි. මහාකවි කාලිදාස කවියා හිමාලය කන්ද වර්ණනා කොට එහි ඇති එක් දෝෂයක් ගැන සඳහන් කරනවා. ඔහු පවසන්නේ ගුණසමුදායක් ඇති තැන ද එක් වරදක් විද්‍යමාන විය හැකි බව යි. කාලිදාසගේ වචන මගේ පරිවර්තිත වචනවලට වඩා ප්‍රබලයි.

“ඒකෝ හි දෝෂෝ ගුණසන්නිපාතේ”

සියලු ගුණ පරයා දෝෂය බලවත් වීම නිස යි, යුධිෂ්ඨිර සිය රාජ්‍යය සියලු සම්පත් පමණක් නොව සිය ආදරණීය බිරිඳ සහ සොහොයුරන් පවා පරදුවට තබන්නේ. ඒ දෝෂය තමයි, රාජ්‍යය සමීපතමයන් ඇතුළු සියල්ල ඔහුට අහිමි කරන්නේ.

අයුක්තිසහගත මෙන් ම අශීලාචාර ක්‍රියා කරන අය ඒ මොහොතේ දී බැලූ බැල්මට සාර්ථක වූ බව පෙනෙතත් ඉතිහාසය ඔවුන් තැබිය යුතු තැන තබනවා.

මහාමන්ත්‍රී ඒ අයුක්තිය සිදු කළ රාජසභාවේ දී ම දුර්යෝධන අමතා කරන්නේ මේ ප්‍රකාශය යි. 

“ඉතිහාසය නුඹට සමාව දෙන්නේ නැහැ.”

සිනමාකරුවන් වන ඔබ ද මෙයින් උගත යුතු පාඩමක් තිබෙනවා. තමා කළ නිර්මාණය පිළිබඳ සැබෑ පසුබිම - සැබෑ අරමුණු දන්නේ ඔබ යි. ඔබේ නිර්මාණය ගැන ලෝකය කවර විචාර ඉදිරිපත් කළත් ඒ පිළිබඳ ඇත්ත දන්නේ ඔබේ ම හෘදයසාක්ෂිය යි. ඔබ සම්මාන ලැබුවත් නැතත් අනාගතයේදී ඔබේ නිර්මාණය හිමිකරගන්නා තැන කුමක්ද යන්න ප්‍රකාශ කරන තීරකයා වන්නේ ඉතිහාසය යි.  

ස්ත්‍රී භූමිකාවේ ප්‍රාබල්‍යය මොනවට ප්‍රකාශ කරන කොටසක් වශයෙන් මෙහි 47 වන කතාංගය හඳුන්වා දිය හැකි යි. මෙහි දී අයුක්තියට එරෙහි ව ප්‍රබල ව හඬ නගන්නේ ද්‍රෞපදිය යි. බලවත්  යයි කියන පිරිමින් නිහඬ ව සිටින විට අසත්‍යය පරාජය කිරීම සඳහා කටහඬ අවදි කරන්නේ ඇය යි. පිරිමින් පලා ගිය රණබිමේ තනිව සටන් කරන ආලෝකයේ රණකාමිනිය වන්නේ ඇය යි. මේ කොටස බලද්දී අපගේ සිහියට නැගෙන්නේ අපට කායික වශයෙන් පමණක් අහිමි ව ගිය සමන් සිත්තරාගේ ප්‍රකාශයක්. කතාංගය ගැන කීමට කලින් මම ඒ ප්‍රකාශය උපුටා දක්වන්නේ එය අපට මහාභාරතයේ දී හමු වන ද්‍රෞපදියගේ ආත්ම ප්‍රකාශනය සේ ද දැනෙන නිසයි.

“ලෝකය මුළුමනින් ම යහපත් දේශයක් කරගැනීමේ කර්තව්‍යය මේ තාක් මුළුමනින් ම සිදු නොවූයේ මන්ද? ඒ සඳහා ශ්‍රේෂ්ඨ මිනිසුන් විඳි වද වේදනා අපමණ ය.

ලෝකය මුළුමනින් ම යහපත් නොවීමට හේතුව ස්ත්‍රිය තමන් වැදූ මිනිස් පරපුර රැකගැන්මේ උදාර කර්තව්‍යයෙන් ඈත් ව සිටීම ය. අසත්‍යය පරාජය කිරීම සඳහා ස්ත්‍රියගේ කටහඬ අවදි නොකිරීම ය. 

මෙයට ඇති එකම පිළියම නම් ස්ත්‍රී ආත්මය ස්වකීය කටහඬ අවදි කිරීම යි.”

දුශ්ශාසන සිය කෙස්වැටියෙන් ඇදගෙන තමා බලහත්කාරයෙන් රාජසභාවට ඇදගෙන යන විටත් ද්‍රෞපදී සිය අභිමානය නිර්භීතභාවය අත්හරින්නේ නැහැ. ඇය තමා බිම දිගේ ඇදගෙන යනවිටත් දුශ්ශාසනට පවසන්නේ පවසන්නේ ස්ත්‍රීනට ගරු කිරීමට ඉගෙන ගන්නා ලෙස යි. රාජසභාවේදී ඇය මෙතෙක් නිහඬ ව සිටි භීෂ්මගෙන් අසන්නේ ඔබ රකින්නේ හස්තිනාපුරයේ කිරුළ පමණක් ද කාන්තා ගෞරවය ඔබ රකින්නේ නැද්ද කියා යි. ඇය මෙතෙක් නිහඬ ව බිම බලාගෙන මානව ගරුත්වය නොව රාජනීතියට පමණක් අවනත ව සිටින සිය සැමියන් ඇතුළු රණවිරුවන්ගෙන් අසන්නේ ඔබලා සැබැවින් ම විරුවන් ද කියා යි. මේ මොහොතේ ද්‍රෞපදිය වෙනුවෙන් කතා කරන්නේ විදුර සහ දුර්යෝධනගේ සහෝදරයකු වන විකර්ණ පමණ යි. වැරදි දෙය සිදු කරන්නේ සිය බලවත් සොහොයුරා වුවත් ඔහුට එරෙහි ව කතා කිරීමට විකර්ණ පසුබට වන්නේ නැහැ. මේ මොහොතේ ටෙලි නාට්‍යය ද්‍රෞපදියගේ මුවට නංවන වචන ඓතිහාසික යි. එය සිනමාකරුවන් දෙදෙනෙක් සිය නිර්මාණය මාර්ගයෙන් සමාජගත කරන සුවිශිෂ්ට පණිවිඩයක්. ප්‍රබල පුරුෂයන් නිහඬ ව සිටිද්දී අපට ද්‍රෞපදී කතා කරන හඬ ඇසෙනවා. සිනමාකරුවන් ඇගේ ප්‍රබල රූපය සිනමාරූපී ව අප අබිමුව තබනවා.  

“මෙයද භරත රාජ වංශයේ සම්ප්‍රදාය - තනි ගැහැනියකට හිංසා කිරීම. මගේ පියාගේ- ද්‍රැපද් රාජවංශයේ ස්ත්‍රීන්ට සලකන්නේ මෙයට වඩා බොහෝ වෙනස් අන්දමකට යි. පිතාමහ, මා ඔබට පළමු දවසේ වන්දනා කළ විට ඔබ මට ආශිර්වාද කළේ මට සතුටුදායක ජීවිතයක් හිමි වේවා කියා යි. මෙය ද ඒ ජීවිතය. ඔබ මෙය දකිනවා නම් වරදක් ලෙස විනාශ කරන්න මේ දූෂිතයන් ව. නැගී සිටින්න මේ දූෂිතයන්ට එරෙහි ව. 

දූකෙළියෙන් පැරද තමාට තමාගේ ස්වාමිත්වය පවා අහිමි කරගත් මිනිසෙකුට තව කෙනෙක් පරදුවට තැබිය හැකි ද පිළිතුර ඔබගේ මේ ලැජ්ජාසහගත නිහඬතාව ද? මේ මා නොව මිහිකත ඔබෙන් අසන ප්‍රශ්නය යි.”   

මේ අවස්ථාවේ ගංගාපුත්‍ර භීෂ්ම ද්‍රෞපදියට මහත් වේදනාවෙන් පුත්‍රී කියා ආමන්ත්‍රණය කළත් ඇය පවසන්නේ මේ තමා නෑකම් ගැන අසන මොහොතක් නොවන බව යි. මේ වූකලී  මනුෂ්‍යත්වයට කරන අවමානය ගැන ප්‍රශ්න කරන මොහොත බව යි. මා ඔබේ දියණියක් නම් මෙය  ද මා පිළිගන්නා විදිහ කියා ඇය තවදුරටත් ප්‍රශ්න කරනවා.

ගංගාපුත්‍ර භීෂ්මට මෙයට දෙන්නට පිළිතුරක් නැහැ. ඔහු දිගින් දිගටම නිහඬ ව සිටින විට ඇය පවසන්නේ ඔහුට ඔහු ම ප්‍රශ්නයක් වී ඇති බව යි. එසේ ම ඒ මොහොතේ ඇය අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජු දෙසට හැරී පවසන්නේ මෙහි වන සිදුවීම් දැකීමට දෑස් නැති වීම නිසා ඔබ භාග්‍යවන්ත බව යි.

භීෂ්ම මෙන් ම ද්‍රෝණාචාර්යත් ක්‍රීපාචාර්යත් නිහඬ ව සිටිනවා. කලින් කී පරිදි රණවිරුවන් අතරින් නැගී සිට ඉදිරියට ද්‍රෞපදිය නිවැරදි ව ක්‍රියා කරන බව පවසන්නේ කලින් ද කී පරිදි විකර්ණ යි. දුර්යෝධන ඔහුට සිය බලවත් විරෝධය පළ කරද්දීත් ඔහු ඇය වෙනුවෙන් අඛණ්ඩ ව පෙනී සිටිනවා.

මේ කතාංගය අවසානයේ ද්‍රෞපදි රාජසභාව දෙසට හැරී කරන ප්‍රකාශයත් වැදගත්. අපි ඒ ප්‍රකාශයටත් සාවධාන වෙමු. 

“නුඹලා උගත් එසේ ම බලවත්. එහෙත් කෝ මගේ ප්‍රශ්නවලට උත්තර. මේ මනුෂ්‍යයන් නොවේ මළ ගියවුන්. මේ මළවුන් සිටින තැනින් පිට ව යාමට මට අවශ්‍ය යි. සුළඟ පවා නොවැදි හිරු කිරණ පවා ස්පර්ශ නොකළ මා නිරුවත් කරන්නට යන ආකාරය දෙස බලා සිටි ඔබ සියලුදෙනා කෙතරම් දුර්වලයන් ද? මා අසන්නේ මේ කෞරව වංශය මේ සා දුර්වල ද කියා යි.” 

ඇය අවසන තමා හස්තිනාපුරය දල්වන ගින්නක් වී ශාප කරන්නට යන බව කියනවා. මේ කොටස අවසන් වන්නේ මෙතනින්.

සිනමාකරුවන් වන මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ද්‍රෞපදී චරිතය ගැඹුරින් අධ්‍යයනය කරන ලෙස යි. සිනමාවට පමණක් නොව එය ඔබ අප කාගේත් ජීවිතවලට වැදගත් වන දෙයක් නිස යි මම මේ යෝජනාව කරන්නේ.   

දැන් අපි යමු මෙහි 48 වන කතාංගයට. එය ආරම්භ වන්නේ කාලචක්‍රය ස්ත්‍රීත්වය ගැන කරන ප්‍රකාශයන්ගෙන්. කාලචක්‍රයට පසු අපට දකින්නට ලැබෙන්නේ මහාරාණී ගාන්ධාරී නම් ප්‍රබල ගැහැනිය ඉදිරියට එන ආකාරය යි. ඇයත් ස්ත්‍රී ආත්මය ස්වකීය කටහඬ අභීත ව අවදි කිරීම ගැන මහාභාරතයෙන් දිය හැකි තවත් හොඳ නිදර්ශනයක්. දුර්යෝධන, ද්‍රෞපදිය නිරුවත් කිරීමට දුශ්ශාසනට දුන් අණත් දුශ්ශාසනගේ ක්‍රියාවත් සිය සොයුරු ශකුනිගේ දුර්දාන්ත හැසිරීමත් ගාන්ධාරී දැඩි ව හෙළා දකිනවා. අපි දැන් ඇයගේ ඒ අභීත ප්‍රකාශයට සාවධාන වෙමු.

“සොයුරු ශකුනි, ඔබේ ආදරණීය බෑණාට කියන්න, මේ රාජසභාවේ දී සිය මව නිරුවත් කරන්නැයි කියා. පුත්‍ර දුර්යෝධන, ඇයි ඔබ නියෝග නොකරන්නේ දුශ්ශාසනට සිය මව නිරුවත් කරන්නැයි කියා.”

අනතුරුව ඇය අහසට දෑත් දිගු කොට දුර්යෝධන පෙන්වා කරන්නේ මේ ප්‍රකාශය යි. 

“දෙවියනි, මෙවැනි පුතෙකුට උපත දුන්නාට මට සමාව දුන මැනවි. සේවිකාවකගේ වස්ත්‍රයට පවා අත නොතැබූ කුරු වංශයට කුමක් ද මේ කළේ. ද්‍රෞපදී ශාප කළා නම් අස්වනු නොදේවි මේ මිහිකත. ගංගා නොදේවි සිය ජලය. ආලෝකය නොදේවි හිරු. දුර්යෝධන නුඹේ හමුදාවට හැකි ද ඊට මුහුණ දීමට.”

මෙසේ කියා ගාන්ධාරී ඒ ප්‍රසිද්ධ සභාවේදී ද්‍රෞපදියගෙන් සමාව අයැද සිටිනවා. මේ මොහොතේ ඇය පවසන්නේ දුර්යෝධන - දුශ්ශාසන - ශකුනි - කර්ණ හැර අන් සියලු දෙනාට සමාව දිය හැකි බව යි. මේ අවස්ථාවේ දී ඇය ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඉදිරියට ගොස් පවසන්නේ ඔබට නොපෙනෙන මුත් සියල්ල ඇසෙන බව යි, සිතන්නට හැකි බව යි. ඇයට පිළිතුරු දෙමින් රජු කියන්නේ අද සිදු වූ දෙයට තමාට අතීතයෙන් වර්තමානයෙන් මෙන් ම අනාගතයෙන් ද සමාව නොලැබෙන බව යි. මෙයත් අප හොඳින් ම සිතා බැලිය යුතු දෙයක්. අද අපි කරන දෙය හෙට අතීතයට අයත් වෙනවා. අපේ නිර්මාණවල ගුණාත්මක භාවය ගැන වර්තමාන සමාජය නගන ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු දීමට අප සමත් විය යුතු යි. අපේ නිර්මාණ ගැන ගැන අනාගත සමාජය ද ප්‍රශ්න කරන බව දැනගෙන තමයි, අද දවසේ අපි අපේ නිර්මාණ සමාජගත කළ යුත්තේ.

අවසන රජුට ද්‍රෞපදී නම් ප්‍රබල ගැහැනියගේ හඬට සවන් දීමට සිදු වෙනවා. පාණ්ඩවයන්ට අහිමි වූ සියල්ල යළි හිමි වන්නේ ඇය නිස යි. ඇගේ වචන සහ චර්යාව දෙස බලා සිටින දුර්යෝධන පාක්ෂික කර්ණ පවා පවසන්නේ මෙබඳු ශ්‍රේෂ්ඨ කාන්තාවක් තමා මීට පෙර දැක නැති බව යි. 

මේ සිදුවීමෙන් පසු කුන්තීට දකින්නට ලැබෙන්නේ හුදෙකලාව වැලපෙන ද්‍රෞපදිය යි. ඇය පවසන්නේ මේ ගැන හැඬිය යුත්තේ ලැජ්ජා විය යුත්තේ ඔබ නොව හස්තිනාපුරය බව යි. ඔබට අවමන් කරද්දී නිහඬ ව සිටි ඔබේ ස්වාමිවරුන් බව යි. ඇය ද්‍රෞපදියගේ දෑතින් අල්ලාගෙන පවසන්නේ ඒ සූදුකාරයන්ගෙන් මව ඇයගෙන් සමාව ඉල්ලා සිටින බව යි. එසේම සිය අභිමානය අවමානයට ලක් වූ බවත් සිය පුතුන් තම මාතෘභාවයට නින්දා කළ බවත් කියා නොහඬා හිස කෙළින් තියාගෙන ඉන්නයි ඇය දෞපදියට කියනවා. කවර හෝ ගැහැනියකට හිස කෙළින් තියාගෙන සිටිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මේ සිනමාකරුවන් සිය සිනමා භාවිතය යොදාගෙන ඇති ආකාරය ප්‍රශංසනීය යි.  

මේ කතාංගයේ එක් තැනක එන Each person is responsible for his action යන්න මට තදින් ම දැනුණු එකක්. මෙය මට මගේ ක්‍රියා දෙස ආපසු හැරී බලන්නට කැඩපතක් වී තිබෙනවා. මහාභාරතය ද්‍රෞපදිය මුවින් පවසන්නේ පවසන්නේ භීෂ්ම - ද්‍රෝණ - ක්‍රීප වැනි අය හොඳ මිනිසුන් වුවත් ඔවුන් කුරු වංශය ගලවා ගැන්මට කටයුතු නොකරන බව යි, මේ ගිනිගෙන දැවෙන මන්දිරය නොදකින බව යි. ඇය පවසන්නේ බිඳී ගියේ භාරතීය ගෞරවයේ කැඩපත බවයි. ඒ කැඩපත බිඳ දමන දේ කොට පසුව පශ්චාත්තාප වීමෙන් පලයක් නැහැ. භාරතයට මෙන් ම ශ්‍රී ලාංකේය අපට ද ගෞරවයක් අභිමානයක් තිබෙනවා. අවාසනාවට මෙන් ම සිය දේශයේ ගෞරවය නැති කරන සිනමා කෘතිවලට වැඩි වැඩියෙන් සම්මාන ලබා දෙන ප්‍රවණතාවක් අපි අද්දුටුවා. ඒ අය කාගේ වුවමනාවට වැඩ කරනවා ද කියා කියන්නට මා දන්නේ නැහැ. ඒත් කාගේ හෝ සැඟවුණු වුවමනාවන් නම් තිබෙන බව පැහැදිලි යි. ඔබ කාගේවත් කොටසක් නොවී ඔබේ ම හෘදයසාක්ෂියට අනුව වැඩ කරන්න. මහාභාරතය හස්තිනාපුරය සිය කර්මභූමිය යයි කියන ලෙසින් මේ ශ්‍රී ලංකාව ඔබේ කර්මභූමිය බව සිතා කටයුතු කරන්නට ඔබ කාටත් පුළුවන්. 

මෙයින් පසු අපට දක්නට ලැබෙන්නේ ද්‍රෝණාචාර්ය, ගංගාපුත්‍ර භීෂ්ම හමුවීමට යන දර්ශනය යි. ද්‍රෝණ අසන්නේ අප සිටින්නේ දෞපදියට වූ අවමානයට සාක්ෂිකරුවන් වීම සඳහා ද කියා යි. මේ ප්‍රශ්නය ඔබට පීඩා ගෙන දෙන්නේ නැද්ද කියා ඔහු තවදුරටත් ප්‍රශ්න කරනවා. මෙයට පිළිතුරු දෙමින් භීෂ්ම පවසන්නේ තමා ඉපිද සිටින්නේ ම මේ ප්‍රශ්න දරාගැනීමට බව යි. මට තේරෙන අන්දමට ඒ ආකාරයෙන් සිතීම ප්‍රශ්නවලට පිළිතුරක් වන්නේ නැහැ. ඔබ කරන්නේ නිවැරදි දෙයක් නම් ඔබ වැරදි දෙය කරන වැරදි දෙය සමාජගත කරන අයගේ ක්‍රියාවල සාක්ෂිකරුවන් විය යුතු නැහැ. අසත් නිර්මාණ නිසා එල්ල වන පීඩා දරාගත යුතුත් නැහැ. ඒවායේ ප්‍රතිවිපාක විඳගැන්ම ඒ අයට ම බාර දෙන්න.

මේ අතර අර්ජුන සමුගැන්ම සඳහා භීෂ්ම වෙත එන දර්ශනය දැක ගැන්මට ලැබෙනවා. මූලික කතාබහකින් පසු භීෂ්ම පවසන්නේ අහිමි වූ දෙය පෙරළා ඔබට හිමි වූවා නේද කියා යි. ඒ මොහොතේ අර්ජුන පවසන්නේ ද්‍රෞපදියට වූ අවමානය පෙරළා නොලද බව යි, එයට පිළිතුරු දියයුතු බව යි. දුර්යෝධන, දුශ්ශාසන, ශකුනි සහ කර්ණ ඊට සිය ජීවිතවලින් වන්දි ගෙවිය යුතු බව යි. මේ මොහොතේ භීෂ්ම පවසන්නේ තමා හස්තිනාපුරයේ ද්වාරපාලකයා බැවින් ඔබේ හී එවන අය අතරට තමා ද ඇතුළත් කරන ලෙස යි; සිය දේහය ද ඒ කොටසට ඇතුළත් කරන ලෙස යි.

මෙන්න මේක තමය, අපි අද දවසේත් දකින ඛේදවාචකය. අයහපත නොකරන අසත් නිර්මාණ නොකරන අය අයහපත කරන - අසත් දේ සමාජගත කරන අය වෙනුවෙන් පෙනී සිටීම. මට දැනෙන හැටියට එය අප නොකළ යුතු දෙයක්.  

49 කතාංගයේදී අපට හමුවන්නේ ලද අර්ධ රාජ්‍යයෙන් සෑහීමට පත් නොවන දුර්යෝධන යි. නැවත පාණ්ඩයන් සමග යුද කිරීම හෝ තව එක් වරක් දූකෙළියෙහි යෙදිය යුතු බව හෝ ඔහු අවධාරණයෙන් කියා සිටිනවා. ඔහු එසේ කියන්නේ ශකුනිගේ උපදෙස් අනුව යි. කර්ණ ශකුනිගෙන් අසන්නේ ඔබට තවත් කුමන්ත්‍රණ නැද්ද කියායි. සිනමා ලෝකයේත් තමන්ගේ නිර්මාණය ඔසොවා තැබීම සඳහා සමහර දෙනා කුමන්ත්‍රණ කරන බව අපි දන්නවා. මෙහි තිබිය යුත්තේ සිනමා සම්මන්ත්‍රණ මිස සිනමා කුමන්ත්‍රණ නෙමෙයි. ඔබ මේ සිනමා සම්මන්ත්‍රණය ආරම්භ කිරීමෙන් දී ඇත්තේ ඉතා හොඳ ආදර්ශයක්. මෙය බෞද්ධ සම්ප්‍රදායට අනුගත වචනවලින් කියනවා නම් එක්තරා විදිහක පින්කමක්. ඒ පින්කමට මේ අන්දමින් අපත් සම්බන්ධ කර ගැනීම ගැන ඔබේ සංවිධායක මණ්ඩලයටත් අපේ ආචාර්යතුමන්ටත් අපගේ නොවක් ආදර ස්තුතිය පළ කරනවා.

යමකට ඇලී හෝ ගැටී හෝ හොඳ නිර්මාණ බිහි කරන්නට බැහැ. ඔබ ධ්‍රැතරාෂ්ට්‍ර රජුගෙන් උගත යුත්තේ පුතුට ඇති ප්‍රේමය නිසා රාජ්‍යයට වන විනාශය පවා ඔහුට නොපෙනී ගිය ආකාරය යි. මේ විනාශය දැකීමට සමත් වන්නේ ගාන්ධාරී බිසව යි. සිය පුතු කියන දෙයට ඉඩ දී භාරතයේ විනාශයට අත නොවනන මෙන් ඇය සිය සැමියාට පවසනවා. කුරු - පාණ්ඩවයන් අතර ඇති පාලම කඩා නොදමන මෙන් ද අඳුරට ඉඩ නොදෙන මෙන් ද ඇය ඉල්ලා සිටිනවා. 

සිදු වූ දේ ගැන අර්ජුන සිය දෙටු සොයුරු යුධිෂ්ඨිරට චෝදනාත්මක ව කතා කරන විට භීම පවසන්නේ හොඳ රණවිරුවකුට බොහෝ දේ දරා ගැනීමට හැකිවිය යුතු බව යි. එහෙත් එසේ පවසන භීම ද බොහෝ විට කෝපය සහ ආවේගය දරා ගැනීමට අසමත් වෙනවා.

අනතුරුව යළි දූකෙළිය ඇරඹෙනවා. දුර්යෝධන පවසන්නේ මින් පැරදුණොත් පරදින අය දොළොස් වසක වනවාසයට යායුතු බව සහ අවසන් අවුරුද්දේ දී ඔවුන් සිටින තැනකට ගොස් හඳුනාගත හොත් හොත් ඒ වනවාසී ජීවිතය තවත් වසර දොළහකට දීර්ඝ වන බව යි. මේ කොටස අවසන් වන්නේ දුර්යෝධන ලබන ජයග්‍රහණයෙන්. ඒ අනුව 12 වසක වනවාසී ජීවිතය වෙත යාමට සිදු වන්නේ පාණ්ඩවයන්ට යි.

කාලචක්‍රය සිනමාරූපී මනා භාවිතයක්. යෝග්‍ය පරිදි හැම කතාංගයකදී ම කාල සංකල්පය භාවිතයට ගැනෙනවා. අනතුරුව එන 50 වන කතාංගය ඇරඹෙන්නේ කාලචක්‍රය කරන පහත සඳහන් ප්‍රකාශයෙන්.

“මේ කතාවේ අන්තිම කොටස ලියැවෙන්නේ ලෙයින් සහ කඳුළින්. දෙවියන්ගේත් දෙවඟනන්ගේත් භූමිය වන භාරතවර්ෂය සිය දෑස් වසාගෙන සිටිනවා මොහොතකට. මේ වනවාසය යි.”   

මහාරාණී කුන්තී ද සිය පුතුන් සහ ද්‍රෞපදිය සමගවනවාසයට යාමට තීරණය කරනවා. ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඔබ ඔවුන් සමග යන්නේ කුමකට ද යනුවෙන් ප්‍රශ්න කළ විට කුන්තී පවසන්නේ ද්‍රෞපදියගේ වස්ත්‍රහරණය සිදු කළ රාජ මන්දිරයේ සිටීම තමාට ලැජ්ජාවක් වන නිසා තමා ද ඔවුන් සමග නික්ම යන බව යි. එතැන සිටින විදුර්, කුන්තීට පවසන්නේ ඔබ යනු නිරවද්‍යභාවයේ හරය බැවින් සිය නිවසේ රැඳෙන ලෙස යි. මේ මොහොතේ දුශ්ශාසන කියන්නේ කුන්තී මාතාවට සිය නිවසේ ද රැඳිය හැකි බව යි. එවිට භීම මහත් කෝපයෙන් පවසන්නේ එය කිසිසේත් සිදු නොවිය යුතු බව යි. තමාට පළිගැනීමට තිබෙන ඉඩ එවන් ණයගැති භාවයක් නිසා අහිමි වන බව ඔහු දැඩි ව කියා සිටිනවා. මේ මොහොතේ යුධිෂ්ඨිර මවගෙන් ඉල්ලා සිටින්නේ මේ දුෂ්කර වනවාසී ජීවිතයට නොපැමිණ විදුර මාමාගේ නිවහනෙහි රැඳෙන ලෙස යි. ඔවුනට යාමට සමු දෙන කුන්තී, ද්‍රෞපදියට පවසන්නේ සිනහව අමතක නොකරන ලෙස යි. සිනහවට සතුට ජනිත කළ හැකි නිස යි.         

සුවපහස් ඇති සුමුදු යහන් මත සැතපුණු පාණ්ඩවයන් කටුක බිම්කඩවල සැතපෙන ආකාරය රැගත් දර්ශන අනතුරුව අපට දැකගැන්මට ලැබෙනවා.  මහාභාරතය, අනපේක්ෂිත ලෙස අපගේ ජීවිත වෙනස් වන බව ද රාජකීය ජීවිතය වනවාසී ජීවිතයකට පෙරළිය හැකි බව ද යන පණිවිඩ සිය ප්‍රේක්ෂකයන් අබිමුව තබනවා. අනතුරුව ඉදිරිපත් වන්නේ විදුර්, ගංගාපුත්‍ර භීෂ්ම වෙත යන දර්ශනය යි. භීෂ්ම අඳුරේ හිඳ සිටිනවා. විදුර්, ඇයි ඔබ මේ අන්ධකාරයේ සිටින්නේ. ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා ගංගාපුත්‍ර භීෂ්මයනට ප්‍රාර්ථනා කරනවා. එවිට භී්ෂ්ම අසන්නේ මේ අන්ධකාර යුගයේ අපේ ජීවිත තවත් දිගුවිය යුතු ද කියා යි. එසේ ම ඔහු විදුරට පවසන්නේ පිවිතුරු සිතක් ඇති මිනිසකු වන ඔබ මා වෙත නොයා යුතු බව යි. මන්ද විදුර යනු හස්තිනාපුරයේ ආලෝකය නියෝජනය කරන චරිතයක් වන නිස යි. ගත වූ සිදුවීම ගැන ඔබ හැර අප සියලු දෙනා ම අවමන් ලද යුතු බව භීෂ්ම පවසනවා. 

මේ මොහොතේ මා ඔබ ඉදිරියේ තවත් කරුණක් මතු කරන්නට කැමති යි. ඒ සමාජයට ඒ ආලෝකවත් පවිත්‍ර මිනිසා නිර්මාණය කිරීම සඳහා සිනමාව භාවිතයට ගත නොහැකි ද යන්න යි. මෙයින් වර්ෂ කීපයකට පෙර දවසක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී නිර්මාණය හා නිෂ්පාදනය යන මාතෘකාව යටතේ සිය උපාධි ප්‍රදානෝත්සව දේශනය පවත්වමින් අපේ ආචාර්යතුමා උපුටා දැක්වූ සමන් සිත්තරාගේ ප්‍රකාශයක් මෙතනට සම්බන්ධ කරන්නට මම කැමති යි. ඒ කලාකරුවා සෞන්දර්යවාදය විමවිමුක්තිවාදයක් කළ නොහැකි ද යන ප්‍රශ්නය අප ඉදිරියේ තබා තිබුණා. මා අසන්නේ නූතන කලාවේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් වන සිනමාව ඔබට විමුක්තිවාදයක් උදෙසා භාවිත කළ නොහැකි ද යන කරුණ යි.    

ආචාර්ය අදිකාරම්තුමන්ගේත් සමන් සිත්තරාගේත් සංකල්ප උල්පත කොට ගනිමින් එදා අපේ ආචාර්යතුමන් කළ ඒ කතාවෙන් මම උකහා ගත් හරය සිනමාවේදයට සම්බන්ධ කරගනිමින් අද දවසේ ඔබට කියන්නට කැමති යි. සිනමාවේදියා පළමු ව සිතින් නිදහස් වූ පුද්ගලයකු විය යුතු යි. ඔහු මේ මහාභාරත ටෙලි වෘත්තාන්තය ද ඇතුළු ව ලෝක සිනමාවෙන් දේවල් උකහා ගත යුත්තේ ඒ නිදහස අහිමි කර ගන්නේ නැතුව යි. එසේම සිනමාවේදියා බිහිකළ යුත්තේ සිනමා නිර්මාණ මිස සිනමා නිෂ්පාදන නොවේ. සිනමාව උදෙසා  චරදාමජඑසදබ යන වචනය පාවිච්චි කිරීම පවා වරදක් හැටියට යි මට නම් දැනෙන්නේ. හොඳම සිනමා සිත්තමක් උපදින්නේ පිරිසුදු හද සන්තානයක  යි. එසේම සමන් සිත්තරා කලාව ගැන කියූ අදහස් නමැති දෘෂ්ටිකෝණයෙන් සිනමාව දෙස බලන විට අවබෝධාත්මක සිනමාව සමාජ ගැටලු මතු කරන්නේ නැහැ. ඒ වගේම සිනමාවේදියා තමා ජීවත් වන සමාජයට අසීමිත ලෙස ආදරය කරන්නකු විය යුතු යි. හොඳ සිනමා කෘතියක් එක් භාෂාවක් පදනම් කරගෙන හැදුවත් එය මුළු ලොවට ම ආමන්ත්‍රණය කිරීමට සමත් වෙනවා. අපරාධවලින් තොර සමාජයක් නිර්මාණය කිරීම සඳහාත් ඔබට සිනමාව භාවිතයට ගත හැකි යි.    

අපරාධවලින් තොර සමාජයක් නිර්මාණය කිරීම යනු තමාට මෙන් ම සමාජයට සිදු වන සියලු අපරාධ නිහඬ ව ඉවසා සිටීම නොවේ. අර්ථවාහී සාහිත්‍යෝක්ති ඇසුරින් මහාභාරතය වරින් වර අප වෙත ගෙන එන්නේ ඒ පණිවිඩය යි. ඔහුගේ වනවාසී ජීවිතයට නොපැමිණ ඔබ මේ සොහොයුරා වන ධ්‍රැෂ්ටද්‍යුම්න සමග ඔහුගේ රාජ්‍යයට ගොස් ජීවත් වන්නැයි යුධිෂ්ඨිර පැවසූ විට ද්‍රෞපදී දෙන්නේ මේ පිළිතුර යි. 

“ඔබ මේ වනවාස රණභූමියෙන් පැන යන්නේ නැත්නම් ඔබගේ බිරිඳ වන මා මෙතනින් පැන යන්නේ කෙසේ ද? මේ වනය මගේ රණභූමිය යි. මගේ මේ මුදාහළ කෙස්වැටිය මගේ අවිය යි.”

මේ අතර තමාට වැඳි ද්‍රෞපදියට විදුර පවසන්නේ මේ වචන යි.

“දියණිය ද්‍රෞපදී, ඔබ පාණ්ඩවයන්ගේ ශක්තිය යි. ඔබට අමුතුවෙන් මගේ ආශිර්වාද අවශ්‍ය කරන්නේ නැහැ. ඔබ ඔබගේ කාර්යය කරන්න. ඔබ සැම වර්තමානයේ සිට අනාගතය නිර්මාණය කරන්න.” 

ඔබගේ නිර්මාණ සම්බන්ධයෙන් මේ කාරණය ගළපා ගත හැකි යි. සැබැවින් ම ඔබගේ නිර්මාණ තියෙන්නේ වර්තමාන මානව ප්‍රජාව උදෙසා පමණක් නොවෙයි. ඒවා අනාගත මානවයාට ද රසය  සහ  ප්‍රඥාව ප්‍රදානය කළ යුතු යි.

මේ හැඟීම හදවතෙහි දරාගෙන දැන් අපි අපේ මේ ටෙලි වෘත්තාන්තයේ 51 වැන්න වෙත යමු. මෙය පටන් ගන්නේ ද සුපරුදු පරිදි කාලචක්‍රයේ ප්‍රකාශයකින්. එහි කියැවෙන පරිදි මනුෂ්‍යයා යනු අමුතු සත්ත්වයෙක්. ඔහු ඇහුම්කන් දෙන්නේ තමා ඇහුම්කන් දීමට කැමති දෙයට යි. මනුෂ්‍යයාට ඔහුගේ ක්‍රියා පාලනය කළ හැකි වුවත් ඔහු තුළ ඇති වන ආශාවන් ඔහුගේ දෑස් වසනවා. 

අපට මහාභාරතයේ දී හමුවන දුර්යෝධන එවන් චරිතයක්. ඔහුගේ පියාට පුතුගේ දුර්දාන්ත ක්‍රියා පෙනෙන්නේ නැහැ. ඒ අතින් ගත් විට ඔහු භෞතික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික ව ද අන්ධ යි. දුර්යෝධන ඔබේ පුතා නොවුණා නම් ඔබ ඔහුට දෙන දඬුවම කුමක් දැයි භීෂ්ම විමසූ විට ධ්‍රැතරාෂ්ට්‍රට ඊට දීමට පිළිතුරක් නැහැ. යුධිෂ්ඨිර දුර්යෝධනගෙන් වෙනස් වන්නේ ඔහු කිසියම් ක්‍රියාවක් කරන්නේ ගැඹුරින් සිතා බැලීමෙන් පසුව වීම යි. ඔහුට ද වරදින්නේ එසේ සිතා නොබලා ක්‍රියා කළ අවස්ථාවලදී යි. ඔහු සම්බන්ධයෙන් මහාභාරතය කරන ප්‍රකාශය ඔබ අපට ද වැදගත්.

" Yudhistir is truth itself. He must have thought deeply before action."   

ඔබ ඔබේ නිර්මාණය ගැඹුරින් සිතා බැලීමෙන් පසු ක්‍රියාවක් සිනමා කෘත්‍යයක් බවට පත් කරතියි යන විශ්වාසය අපට තිබෙනවා.   මහාභාරතයේ 52 වැනි කතාංගය ආරම්භයේ කියැවෙන පරිදි කිසියම් දෙයක් පිළිබඳ හොඳ ස්මරණ තමයි වැදගත් වන්නේ. අප අදත් ආචාර්ය මහගමසේකරගේ තුංමංහංදිය, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව වැනි සිනමා සිත්තම් පිළිබඳ වන ස්මරණය ඊට නිදසුනක්. මෙහි කියැවෙනවා අප මනුෂ්‍යභාවයේ අංශුමාත්‍රයක් පමණක් බව. එසේ ම අතීතයේ තමා අතින් සිදු වූ දේ ගැන සිතා නොතැවෙන්නයි ද වර්තමානයේ ඔබගේ නිරවද්‍ය ක්‍රියාව සමාජගත කරන්නැයි යනුවෙන් ශ්‍රී ක්‍රිෂ්ණයන් අර්ජුනට දෙන අවවාදය අපට ද වැදගත්. සියල්ල සිදු වන්නේ ඔබගේත් මගේත් කැමැත්තට අනුව ම නොවේ. ඔබ අප අකැමති, අපට අනුමත කළ නොහැකි බොහෝ මේ සමාජයේ සිදු වෙනවා. අයහපත කලාවේ වේශයෙන් ද අප වෙත පැමිණිය හැකි යි. එබඳු විට අප කළ යුත්තේ ඒවා වර්ජනය කිරීම යි. ඔබ මෙතෙක් නිර්මාණය කොට තිබෙන හොඳ නිර්මාණ, කලාවේ වේශයෙන් ඉදිරිපත් වන කලාව නොවන දෙය හඳුනා ගැනීමට රසිකයන්ට උදව් කරාවි. මේ රසික මනස අවබෝධාත්මක වින්දනීය මනසක් බවට පත් කිරීමෙහි ලා වන දැවැන්ත මෙහෙවර ඔබ අබිමුව තිබෙනවා. එය මගහැර යාමට කලාකරුවන් ලෙස නමක් දිනාගත් ඔබ කිසිවකුට අයිතියක් නැහැ. ක්‍රෝධයෙන් අන්ධ වූවිට, පළි ගැනීමේ චේතනා සිතට ආවිට කළයුත්ත නොකළ යුත්ත අපට පෙනෙන්නේ නැහැ. දුර්යෝධන සම්බන්ධයෙන් මහාභාරතය කරන ප්‍රකාශය කලාකරුවන් වන ඔබට සම්බන්ධ වන්නේ කෙසේ ද? කලාව තිබෙන්නේ අප මේ ජීවිත කාලය තුළ දී මුහුණ දුන් අමිහිරි සිදුවීම් සම්බන්ධයෙන් ඇරියස් ගැනීමට නොවේ. ඔබ ජීවිතයේ පීඩා විඳි බව ඇත්තක් වුණත් කලාකරුවන් ලෙස සමාජය මහත් බරක් දුන් ඔබ කළයුත්තේ පීඩන මැදින් ජීවිතය දැකීම පිළිබඳ වන මාර්ගය රසික ප්‍රජාවට පෙන්වා දීම යි. එය ඔබට කළ හැකි යි; එය ඔබ කළ යුතු යි. දුර්යෝධන කියන්නේ අයහපතට කියන නමක් ය යන්න වරෙක කියවෙනවා. ඔබ කිසිවිටෙකත් ඔබේ නමවත් ඔබේ සිනමා කෘතියවත් මානව රසවින්දනය පිරිහෙළන නිරිමාණයක් හෝ එවැන්නක් කළ කෙනෙකුගේ නමක් යනුවෙන් ගණනය කිරීමට ඉඩ තබන්න එපා. 

මහාභාරතයේ 53 වැනි කතාංගය ආරම්භයේ කාලචක්‍රය පවසනවා, පංචපාණ්ඩවයන් වනවාසයට යන්නේ ඒ අය තමා කියන කරන දේ සම්බන්ධයෙන් වගවීමක් ඇතුව ක්‍රියා කරන නිසා බව. අපට ද අප නිරත වන කලාව මාර්ගයෙන් අප කරන - කියන - ඉදිරිපත් කරන දේ සම්බන්ධයෙන් වන වගවීමෙන් ගැලවෙන්නට බැහැ. වරෙක හනුමාන්, සිය ශක්තිය ගැන අසීමිත විශ්වාසයකින් තමාට වඩා බලවතෙක් නැතැයි සිතා කටයුතු කරන භීමට පවසනවා ඔබ දන්නවා ද ඔබට කවරෙක් කවර ස්වරූපයකින් ජීවිතයේ මාර්ගය කියා දීමට ඉදිරිපත් වේද කියා. මේ ප්‍රකාශය ඔබට ගැළපෙන පරිදි සංශෝධනය කර ඉදිරිපත් කරන්නට මට සිතෙනවා. ඔබ තමයි සිනමා රූපයෙන් මානව වර්ගයාට ජීවිතයේ මාර්ගය කියා දීමට කලාකරුවාගේ වේශයෙන් සමාජයට ආ දේවදූතයා. දේවදූතයන් කිසිවකුට මුදලට ගත නොහැකි යි. කිසිවකුට ඔවුන් යන මාර්ගය වෙනස් කළ නොහැකි යි. මේ කතාංගයේ තැනක කියැවෙනවා කිසිවකුට තමන්ගේ පෞද්ගලික අරමුණු හෝ ආශාවන් උදෙසා තවත් මානවයෙක් බිලිගත නොහැකි බව. අන්න ඒ වගෙම කලාවේ මාර්ගයෙන් අපේ ආශාවන් හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා රසික සමාජය බිල්ලට ගැනීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.   

මහා රණකාමියකු වශයෙන් ප්‍රචලිත අර්ජුන දෙව්ලොවට පැමිණ ඉන්ද්‍ර දෙවියන්ගෙන් ඔවුන්ගේ චිත්‍රසේන නම් දිව්‍යමය ගාන්ධර්වයාගෙන් සංගීතය ඉගෙන ගැනීමට අවසර ඉල්ලනවා. එවිට ඒ ගාන්ධර්වයා නගන ප්‍රශ්නය වන්නේ රණකාමියකුට කුමට ද කලාව කියා යි. එතැනදී ඉන්ද්‍ර දෙවියන් පවසන පහත සඳහන් ප්‍රකාශය මම ප්‍රාර්ථනා කරන්නේ ඔබගේ ජීවිතයෙන් නිබඳ ප්‍රකාශයට පත් වන හෘදය සූත්‍රය වේවා කියා යි.  

,්රඑ සි එයැ පදිඑ චදඇරමෙකක ඇ්චදබග,

අර්ජුනට ගන්ධර්ව විද්‍යාව සහ නර්තනය ඉගෙන ගැනීමට අවකාශ ලැබෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යි.  

මහාභාරත ටෙලි වෘත්තාන්තයේ 54 වැනි කොටසේ දී අපට සංගීතය සහ නර්තනය ඉගෙන ගැනීමට ගිය අර්ජුන වෙත පැමිණ තමාට ප්‍රේම කරන්නැයි කියන උර්වශී හමු වෙනවා. එවිට අර්ජුන පවසන්නේ තමාට බිරිඳක් ඇති බැවින් තමා අනෙකුත් කාන්තාවන් තුළ මාතෘත්වය දකින බව යි. මෙයට පිළිතුරු දෙමින් උර්වශී දෙවඟන පවසන්නේ තමා මවක හෝ බිරිඳක් නොව සෞන්දර්යයේ ප්‍රතිමූර්තියක් බව යි. එය පිළිගෙන කටයුතු කරන්නැයි පැවසූ විට අර්ජුන පවසන්නේ තමා ඇය ාතාව වශයෙන් පිළිගන්නා බව යි. සිනමා අධ්‍යක්ෂවරුන් වශයෙන් දැනටත් කටයුතු කරන සහ අනාගතයේ දී එසේ කිරීමට අපේක්ෂා කරන අය තමා හදවතට ගත යුත්තේ අර්ජුනගේ වචනය ද උර්වශිගේ චවනය ද යන්න ගැන සිතා බැලිය යුතු යි. මේ මොහොතේ උර්වශී කුපිත ව අර්ජුනට ශාප කරනවා, ඔබ නපුංසකයකු බවට පත් වේවා කියා. මේ අවස්ථාවේ  දෙවිවරුන්ගේ ප්‍රධානියා වන ඉන්ද්‍ර පවසන්නේ ඔබ ඔබේ සීමා උල්ලංඝනය කොට ඇති බව යි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉන්ද්‍රගේ වචනය ගැන සාවධාන වන ලෙස යි. එවිට තමා කරන සිනමා කෘත්‍යය සම්බන්ධයෙන් ඉන්ද්‍ර දේවයා වන ඔබට ඔබ සම්බන්ධයෙන් සහ නළුවන් හෝ නිළියන් සම්බන්ධයෙන් ඉන්ද්‍ර මෙන් කටයුතු කළ හැකි යි. ඉන්ද්‍ර වචනයට අනුව උර්වශීට කළ හැකි වන්නේ කළ ශාපයක් ආපසු ඇදගත නොහැකි නිසා එය ලිහිල් කිරීම පමණ යි. ඒ අනුව ඔහුට අවුරුද්දකට සිමා වන කාලයක්  යටකී පරිදි ජීවත් වීමට සිදු  වෙනවා. මේ මොහොතේ ඉන්ද්‍ර පවසන්නේ ලද ශාපය ආශිර්වාදයක් කොට ගෙන කටයුතු කරන ලෙස යි. ඔබට කිසිවකුගේ ශාපයනට ලක් වීමට සිදු නොවූවත් කිසියම් නිර්මාණයක් සමාජගත කිරීම සඳහා කටයුතු කරන විට අපමණ බාධා අභියෝග එල්ල විය හැකි යි. එවිට ඔබ කළ යුත්තේ ද අර්ජුන මෙන් ඒවාට නොසැලී මුහුණ දීම යි.

මහාභාරතය අපට ප්‍රදානය කරන ලාබාලතම රණවිරුවා වන අභිමන්‍යුගේ කෙළිලොල් ළමා කාලය අපට හමු වන්නේ මේ කොටසේ දී යි. ඔහු සම්බන්ධයෙන් ක්‍රිෂ්ණ මෙවන් ප්‍රකාශයක් කරනවා. 

 “ඔහු අතීතයෙන් වර්තමානයෙන් මෙන් ම අනාගතයෙන් ද ගෞරව ලබනවා.”

මා ප්‍රාර්ථනා කරන්නේ ඔබේ සිනමා කෘතියට ද සියලු භෞතික සම්මාන ඉක්මවා ගිය ඒ අකාලික සම්මානය හිමි වේවා කියා යි.  

මහාභාරතය ඉදිරිපත් කරන යුද්ධයක් තිබෙනවා. එය ඇති වන්නේ සත්‍යය සහ අසත්‍යය අතර යි; ධර්මය සහ අධර්මය අතර යි; අඳුර සහ ආලෝකය අතර යි. ඔබ අප කිසිවකුට මේ යුද්ධයේ කොටසක් නොවී ඉන්නට බැහැ. වර්තමාන ලෝකයේ විද්‍යමාන සිනමාකරුවන් ද අනෙක් අය මෙන් ම මින් කවර කොටසකට හෝ අයත් වෙනවා. ඔබ සත්‍යයේ, ධර්මයේ සහ ආලෝකයේ මාර්ගය තෝරාගත් නිර්මාණකරුවන් වශයෙනු යි මම දකින්නේ. ඒ මාර්ගය තෝරාගත් මහාභාරත ටෙලි වෘත්තාන්තය කළ සිනමාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණය ගැන සාකච්ඡා කිරීමට ඔබේ සිනමා සංසදය ගත් තීරණය ම ඊට සාක්ෂි දරනවා. මහාභාරතය පවසන පරිදි අපේ ක්‍රියා සම්බන්ධයෙන් අප නිහඬ ව සිටියත් ඉතිහාසය නිහඬ ව සිටින්නේ නැහැ. එය කවදා හෝ අතීතයට අයත් වන අප ගැනත් අපේ ක්‍රියාවන් ගැනත් ප්‍රශ්න කරනවා. එය අපට වළක්වන්ට බැහැ. අපට කළ හැක්කේ ඉතිහාසය නගන ප්‍රශ්නවලට ප්‍රමාණවත් පිළිතුරු ලැබෙන සේ අපේ ක්‍රියා - අපේ නිර්මාණ සකසා ගැනීම යි.

එක් අවස්ථාවක අර්ජුන අන්‍යයන්ගේ ඉල්ලීම පිට දිව්‍ය අස්ත්‍ර භාවිත කරන හැටි පෙන්වන්නට හදනවා. මේ මොහොතේ ඇසෙන දිව්‍යමය හඬකින් කියැවෙන්නේ දිව්‍යායුධ ඇත්තේ ක්‍රීඩා පිණිස නොවන බව යි; විනෝදාස්වාදය සඳහා නොවන බව යි. මෙයට ඔබේ සිනමා භාවිතය ද සම්බන්ධ කර ගත හැකි යි. වරක් ධර්ම දේශනයකදී කොටපොළ අමරකිත්ති හිමියන් පැවසුවා, ජීවිතය ඇත්තේ විඳවීමට - වින්දනය ළඟ නතර වීමට හෝ නොව අවබෝධය සඳහා බව. මේ අප කතා කරන මහාභාරත ටෙලි වෘත්තාන්තය, මලයාලම් සිනමාවේදී සාජි. එන් කරූන්ගේ පිරවි, ආචාර්ය සේකරගේ තුංමංහංදිය වැනි සත්කෘති මට දැනෙන විදිහට නියෝජනය කරන්නේ අර ධර්ම පාඨයට අයත් කුලකයට යි.

සිනමාකරුවා සාහිත්‍යකරුවා ද වූ විට නිර්මාණය වන සිනමා සිත්තම ප්‍රබල යි. හී ශිපල්පයෙහි දක්ෂ යුධිෂ්ඨිරගේත් ගදායුධයෙහි නිපුණ භීමගේත් මහාධනුර්ධර අර්ජුනගේත් අසිපත් භාවිතයෙහි දක්ෂ නකුල සහ සහදේවගේත් පත්නී ද්‍රෞපදී හුදෙකලාව සිටින මොහොතක ජයද්රථ නම් බලවත් රණකාමියා ඇයට අඩන්තේට්ටම් කිරීමට එනවා. එවිට දෞපදී කරන්නේ පහත සඳහන් ප්‍රකාශය යි.   

“ජයද්රථ මගේ ඇඟට අත නොතබව. මම යුධිෂ්ඨිරගේ බලවත් හෙල්ලය වෙමි. භීමගේ දරුණු ගදායුධය වෙමි. අර්ජුනගේ ගාණ්ඩීව දුන්න වෙමි. නකුල සහ සහදේවගේ තියුණු අසිපත් වෙමි.”

මහාභාරතයේ 55 වැනි කතාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ කුරුකෙත බොහෝ අන්ධයන් සිටින බව යි. ධ්‍රැතරාෂ්ට්‍ර රජු උපතින් ම අන්ධ යි. ගන්ධාරී, සිය සැමියා අන්ධ නිසා සිය කැමැත්තෙන් දෑස් වසාගෙන අන්ධ ව සිටිනවා. සිනමාකරුවන් වන ඔබට මේ දෙයාකාර ජනතාව වෙත ආලෝකය ගෙන ආ හැකි යි. ඔබේ විශිෂ්ට සිනමා නිර්මාණයට හැකි වේවි ස්වභාවයෙන් අන්ධ අය තුළත් ප්‍රඥාවේ ආලෝකය දල්වන්නට. ඒ සඳහා ඔබට උදව් වන්නේ අප කතා කරන මේ සිනමා සිත්තමේ නිර්මාණකරුවන් මෙන් ප්‍රබල නිර්මාණශීලී වචන භාවිතයට ගැනීම යි. එසේ ම ඔබේ නිර්මාණයේ රුවගුණ වැඩි වන්නට වැඩිවන්නට සිය කැමැත්තෙන් දෑස් වසාගෙන සිටින අයත් ඒවා පරිශීලනය කොට ආලෝකය ලබාවි.  

මහාභාරතය පවසන පරිදි අන්ධභාවයේ විවිධ ස්වරූප තිබෙනවා. කෙනෙක් බලලෝභයෙන් අන්ධ ව යි සිටින්නේ. දුර්යෝධන සංකේතවත් කරන්නේ එය යි. ජයද්රථ රාගයෙන් අන්ධ ව සිටිනවා. මේ ආකාරයට තව කෙනෙක් තනතුරින් ද තවෙකෙක් සිය දස්කම්වලින් ද තවත් කෙනෙක් රූපයෙන් ද අන්ධ ව සිටිය හැකි යි. එහෙත් සිනමාකරුවන් වන ඔබට මේ කිසිවකින් අන්ධ වීමට අයිතියක් නැහැ. ඔබ අන්ධ වුවහොත් ඔබගෙන් බිහිවන නිර්මාණය ද අන්ධ යි. එබඳු නිර්මාණයක් සමාජය අන්ධභාවයෙන් මුදවන්නට සමත් වන්නේ නැහැ.

මහාභාරතය අපගේ ප්‍රඥාව විකසිත කරවන සංවාද ද එහි සිනමාරූපී භාවයට හානි නොවන සේ වරෙක ඉදිරිපත් කරනවා. යුධිෂ්ඨිර - යම සංවාදය එවැන්නක්. ඒ ගැනත් මම කෙටියෙන් සඳහන් කරන්නම්. එය අපේ සිනමා නිර්මාණයටත් වඩා අපේ ජීවිතවලට වැදගත් වේවි.  

ධර්මය සංකේතවත් කරන දෙවියා වන යම මහපොළොවටත් වඩා වැදගත් වන්නේ කුමක් ද කියා  යුධිෂ්ඨිරගෙන් අසනවා. යුධිෂ්ඨිර පවසන්නේ මිහිකතටත් වඩා වැදගත් වන්නේ අම්මා බව යි. එසේ ම අහසටත් වඩා උස කවුදැයි ඇසූවිට ඊට ඔහුගේ පිළිතුර වන්නේ පියා යි. මරණයට සමීප වූ තැනැත්තාට සමීපතම දෙය ධර්මය බවත් මේ ආකාරයට සුළඟේ වේගයට වඩා වේගයෙන් ගමන් කරන්නේ සිත බවත් සංඛ්‍යාත්මකව වැඩි චින්තාව බවත් කි ැවෙනවා. මෙයට අමතර ව ආගමික භාවය, දරුවා, අවිද්‍යාව, ණයගැති භාවයෙන් තොරවීම, මානසික පවිත්‍රභාවය ආදි වශයෙන් අසනු ලබන ඒ ඒ ප්‍රශ්නවලට ද පිළිතුරු ලැබෙනවා. මෙහි අවසන අසන ප්‍රශ්නය ද අපට ඉතා වැදගත්. යම, ලෝකයේ පවත්නා මහත් ම පුදුමය කුමක් දැයි ඇසූ විට යුධිෂ්ඨිර පවසන්නේ තමා අවට ලෝකය මිය යද්දීත් මරණය ගැන නොදන්නවුන් සේ මිනිසා කටයුතු කිරීම ඒ මහා පුදුමය බව යි. මේ කොටස ඔබ අදම බලන්න. වෙලාවක් තියෙනවා නම් පොත ද බලන්න. මම දැන් කිව්වාට වඩා බොහෝ වැඩි දෙයක් එවිට ඔබට ග්‍රහණය කරගත හැකි වේවි.

අප මෙතෙක් නොසිතු පැතිවලටත් මහාභාරතය ආලෝක දහරා එල්ල කරනවා. මට දැනුණු එවන් තැනක් ද ඔබ සමග බෙදා ගන්නට කැමත ියි. 13 වන වසරේ දී දුර්යෝධනගේ චරපුරුෂයන් පාණ්ඩවයන් සොයා පැමිණෙන ආකාරය දැක්වෙනවා. ඔවුන් සැලකෙන්නේ අධර්මයේ සහ අසත්‍යයේ නියෝජිතයන් හැටියට යි. මේ ගැන කාලචක්‍රය කරන ප්‍රකාශය යි, අපට වැදගත්.

“ධර්මය වේවා අධර්මය වේවා සත්‍යය වේවා අසත්‍යය වේවා ඒ දෙක ම වැඩීමට සහ පරිණාමයට අවශ්‍ය යි.”    

මෙයට කොටසක් එකතු කරමින් ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ ඇතැම් අවස්ථාවල දී අපට ජීවිතයේ ඇගයීම් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට සිදු වන බව යි. එවන් විටෙක එවන් තැනැත්තාගේ සතුරන් පවා ඔහුගේ නාමය ගෞරවයෙන් සිහිපත් කිරීම ද සිදු විය හැකි බව යි. මෙයිනික්බිති එන භීෂ්ම - විදුර සංකථනයෙන් ද අපට ඉගෙන ගන්නට දේවල් තිබෙනවා. විදුර පවසන්නේ දුර්යෝධන යනු අන්ධකාරය බව යි. ඔහු ආලෝකය දෙසට යන්නට හැදුවත් ශකුනි ඊට ඉඩ නොදෙන බව යි. මේ අවස්ථාවේ කතා කරමින් භීෂ්ම කියන්නේ තමාගේ මාතෘභූමිය දැන් සිය මරණ මංචකයේ සිටින බව යි. තමා මේ හස්තිනාපුරය ධ්‍රැතරාෂ්ඨ්‍රගේ, ශකුනිගේ සහ දුර්යෝධනගේ ක්‍රීඩාභූමිය බවට පත් වේ යැයි කිසිදා නොසිතූ බව ඔහු කියනවා.

අපේ සිනමාව ද තමන්ගේ පෞද්ගලික ක්‍රීඩා භූමිය සේ සිතා කටයුතු කරන අය ද වරින්වර මේ සිනමාවට අවතීර්ණ වෙනවා. හොඳ සිනමා කෘති නිර්මාණය කරනවා සේම සිනමාවේ දුර්යෝධනලාට ශකුනිලාට සහ ධ්‍රැතරාෂ්ට්‍රලාට ඉඩ නොදිය යුතු යි. ඒ ශක්තිය ඔබ සැමට නොඅඩුව ම හිමි වේවා කියා තමයි මම ප්‍රාර්ථනය කරන්නේ.   

දැන් මෙතැන් සිට කතා කිරීමට තිබෙන්නේ මේ ටෙලි වෘත්තාන්තයේ 56 කතාංගයේ සිට ඉදිරියට යි. ඒ ඒ කොටස්වලින් වඩාත් දැනෙන කිහිපයක් වෙත පමණක් සාවධාන වෙමින් මෙතැන් සිට මගේ කතාව කරන්නම්. මෙහි විදුර් ගැන කියන්නේ ඔහු කටුක සත්‍යය කීමට පසුබට නොවන චරිතයක් බව යි. මෙතැන දී කාලචක්‍රය පවසන්නේ අනාගතය, වර්තමානය බවට පත්වන විට දැන් වර්තමානයේ සිටින අප අතීතයට එක් වන බව සිතා සිහියෙන් කටයුතු කළ යුතු බව යි. අතීතයෙන් ආ භරත රජු, වර්තමාන රාජ්‍ය පාලකයා වන ධ්‍රැතරාෂ්ට්‍ර වෙත කරන පැමිණිල්ල ඔහු පවසනවා මෙසේ. මගේ පැමිණිල්ල අසන්න. සාධාරණය ඉටු කරන්න. අද ඔබ ඉඳගෙන සිටින්නේ එදා මා හිඳ සැටි සිංහාසනයේ යි.  ඔබගේ වර්තමාන චර්යාව මට අසාධාරණයක්. 

මේ ප්‍රශ්නය නැගිය හැක්කේත් අතීතයේ නිවැරදි ව කටයුතු කළ රාජ්‍ය පාලකයකුට පමණ යි. එසේ ම වර්තමාන සිනමාවේ ගුණාත්මක භාවය ගැන ප්‍රශ්න කරනවා එසේ නම් එය කළ හැක්කේත් අතීතයේ දී නිවැරදි දෙය සමාජයට සම්ප්‍රදානය කළ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයකුට පමණ යි. කවර හෝ අන්දමකට අතීතයෙන් මේ ප්‍රශ්නය ඇසෙන විට වර්තමානය නියෝජනය කරන කෙනෙකුට ධ්‍රැතරාෂ්ට්‍ර දුන් ආකාරයේ පිළිතුරක් ද දිය හැකි යි. ඔහු කියන්නේ මෙය තමාගේ යුගය බැවින් තමා මීට පිළිතුරු දීමට බැඳී නැති බව යි. ඔබ මට චෝදනා කරනවා නම් මගේ මීමුතු පරපුර නියෝජනය කරන ශාන්තනුට චෝදනා නොකරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරනවා. මට දැනෙන අන්දමට ධ්‍රැතරාෂ්ටූ දෙන අන්දමේ පිළිතුරක් දීමට සිදුවන ආකාරයෙන් නෙමෙයි ඔබ කටයුතු කළ යුත්තේ.

මහාභාරත කතාවට නර්තනය සම්බන්ධ කරගෙන තියෙන්නේ කතාවේ ඒකාබද්ධතාවට හානි නොවන ආකාරයට මෙන් ම සෞන්දර්යාත්මක චමත්කාරයක් සමස්ත සිනමා සිත්තමට එක් කිරීම සඳහා යි. අපේ ඇතැම් චිත්‍රපටවල හිටි හැටියේ කතාව මැද නර්තන දකින්නට ලැබෙනවා. ඒ ඇතැම් ඒවා නර්තන නමින් හැඳින්වීම නර්තන කලාවට කරන අපහාසයක්. මහාභාරතයේ එක් වසරක් බෘහන්නලා නමින් පෙනී සිටින අර්ජුන පවසන මේ වදන් ඉතා වැදගත්. 

“නර්තනය ඇත්තේ හුදු විනෝදාස්වාදය සඳහා පමණක් නොවේ. නර්තනය යනු සංස්කෘතියේ යාගය යි. එය මහන්සි වී අභ්‍යාස කරන්න. එය පූජාවක්.”     

57 කතාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ මේ කතාවේ සිටින සෑම කෙනෙක් ම කිසියම් ප්‍රතිඥාවකින් බැඳි සිටින බව කියනවා. මා සිතන්නේ සිනමාකරුවන් වන ඔබ විසින් ද අනිවාර්යයෙන් ම දියයුතු ප්‍රතිඥාවක් තිබෙනවා. එහෙත් එය කළ යුත්තේ මහාභාරතයේ මෙන් නොව තමා විසින් තමා ඉදිරියේ දී යි. ඒ මගේ ජීවිත කාලය තුළ මා කලාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නේ සුවර්ණ සිනමා නිර්මාණයක් මිස දුර්වර්ණ සිනමා නිෂ්පාදනයක් නොවන බව යි. කවර හෝ ක්ෂේත්‍රයක දී ගුරු ඇසුර ඉතා වැදගත්. එහෙත් හොඳම දෙය නිර්මාණය කිරීම සඳහා හෘදයංගම ගුරුවරයා පවා අතහැර යායුතු වෙනවා. නව මාවත් විවර කරගත හැක්කේ එවිට යි. අපේ ගුරුවරුන් අපට උගන්වා ඇත්තේ එහෙම යි. මහභාරතයේ කර්ණට ඔහුගේ ආචාර්ය පරශුරාම ඍෂි පවසන්නේ ද  දැන් තමා අතහැර යන ලෙස යි.   

මේ කතාංගයේ දී හමුවන අතිසුන්දර ගීතයක් තිබෙනවා. මධුර මධුර යන වචනවලින් ඇරඹෙන එය අර්ජුන ඉදිරියේ දී  ගයන්නේ මත්සය රජදියණී උත්තරා යි. එහි හින්දී වචනත් ලස්සනයි; පරිවර්තනයත් ලස්සනයි. 

“අහා මගේ හදවත පවසන්න සුමිහිරි වදන්, මගේ හදවත දස අත සුවඳ විහිදුවමින් පැතිර යන විකසිත මලක් වගෙයි.”

මෙය ඉංගීසියට නගා තිබුණේ මෙහෙමයි.

"O my heart speak a few sweet words. My heart is like a blooming flower spreading its scent all over."

සිනමාකරුවන් වන ඔබේ හද සුවඳින් මෙන් ම නිර්මාණ සුවඳින් ලෝකය සුවඳවත් වේවා කියලයි මම ප්‍රාර්ථනය කරන්නේ. 

මහාභාරතයේ 58 කතාංගයේ එක් තැනක මෙවන් ප්‍රකාශයක් තිබෙනවා. ඒ ප්‍රකාශය කරන්නේ ගංගා පුත්‍ර භීෂ්ම දැල්වෙන පහන් කීපයක් දෙසට අත දිගු කරමින්.

“මේ පහන්වලට තිබෙන්නේ කෙටි ආයු කාලයක්, කවුද දන්නේ සුළඟ විත් මේවා නිවා දමා ද කියා.” 

භීෂ්ම පැවසුවාක් මෙන් මනුෂ්‍යයන් වන අපටත් සියලු දේ කිරීමට තිබෙන්නේ කෙටි ආයු කාලයක් පමණ යි. ඒ කෙටි කාලය තුළ අප කරන කියන දේ අනුව අප අනාගත මානව හදවත්වල ජීවත් වීම හෝ නොවීම තීරණය වේවි.  

මහාභාරතයේ 59 කතාංගය ආරම්භයේ කාලචක්‍රය පවසන්නේ සෑම කෙනෙකුට ම තමා යුදයට අකැමැති වුවත් කවර හෝ මට්ටමකින් යුදයට සම්බන්ධ වීමට සිදු වන බව යි. රණබිම දී අපට ජය හෝ පරාජය හිමි වේවි. ජීවන සංග්‍රාමය සම්බන්ධයෙන් කිීමට තියෙන්නේ ද එය යි. සිනමාව සම්බන්ධයෙන් වන සම්මාන ලැබීම හෝ සම්මාන නොලැබීම ගැන කියන්නට තිබෙන්නේ ද එය යි. ඇතැම් විට අපට ලැබෙන සම්මානය අපේ පරාජය සංකේතවත් කරන සාධකය වූවා නොවේ ද කියා කෙනෙකුට සිතෙන අවස්ථා ද තිබෙනවා.  

තමාට දෙයක් හරිහැටි කළ නොහැකි නම් එය කළ හැකි කෙනාට බාරදී පැත්තකට වීම හෝ ඒබඳු තැනැත්තාට තමාට හැකි උදව්වක් කිරීම යි වැදගත්. තමා ඉදිරිපස පෙනී සිටින මහා රණවිරුවන් දැක උත්තර කුමරු පලා යාමට හදන විට බෘහන්බලාගේ වේශයෙන් සිටින අර්ජුන කරන්නේ තමා හිඳ සිටි රියදුරු අසුනින් නැගිට උත්තර කුමරු ඒ අසුනෙහි හිඳුවා යුද්ධයට ප්‍රවේශ වීම යි. මෙයින් සිනමාකරුවන් ඔබ ගත යුතු ආදර්ශය වන්නේ ඔබට යමක් හරිහැටි කළ නොහැකි නම් කළ යුත්තේ කළ හැකි කෙනෙකුට ඉඩ දී පැත්තකට වීම යි. වරක් ආචාර්ය අදිකාරම්තුමා පැවසූ අදහසක් මට මෙතනට සම්බන්ධ කරන්නට සිතෙනවා. නිවැරදි ව ඉගැන්වීම කළ නොහැකි, සිය ජීවිතයෙන් සිය ශිෂ්‍යයන්ට ආදර්ශයක් දිය නොහැකි අය ගුරු සේවයෙන් ඉවත් වී මේස පුටු හදන වඩු කාර්මිකයකු බවට පත්වීම වටිනා සමාජ සේවයක් කියල යි එතුමා කියන්නේ. එහි තේරුම ගැන ඇසූ විට එතුමා කියා ඇත්තේ ඩෙස් පුටුවලින් ශිෂ්‍යයන්ට කිසිවකුගේ චරිතයේ ඇති අසප්පුරිස ගති බෝ නොවන බව යි. එසේ ම ඒ ඩෙස්පුටු ඉගෙන ගැනීමට උදව් වන නිසා ඒ අයගෙන් අධ්‍යාපනයට ද සේවයක් වෙනවා. අන්න ඒ වගේ සත් සිනමා සිත්තමක් කළ නොහැකි අයට ද එහි පසුබිමේ ඇති වැඩවලට උදව් වීමෙන් සිනමාවට සේවයක් කළ හැකි යි.  

මම අවසාන වශයෙන් කතා කරන්නේ මහාභාරතයේ 60 වන කතාංගය ගැන යි. මේ කතාවේ තවත් කොටස් 34 ක් තියෙනවා. මම දන්නේ නැහැ අපේ මිහිදිනී මින් කීයක් ගැන කතා කරයි ද කියලා. දැන් මම 60 කතාංගයේ ආරම්භක කාල චක්‍ර ප්‍රකාශය වෙත ඔබ ගෙන යන්නම්. එහි සඳහන් වෙනවා, බොහෝ රටවල් දෙවියන්ගේ පණිවිඩය ගැන කියන මුත් එය භාවිතයට නොගන්නා බව. ඇතැම් දෙනා මෙහෙවර ගැන කතා කරන මුත් එහි අරුත අමතක කොට ආත්මාර්ථකාමී අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා තමාට මේ මහපොළොවේ ඉටු කිරීමට තිබෙන සැබෑ මෙහෙවර අමතක කරනවා. සිනමා මෙහෙවරේ තිබෙන සුගැඹුරු අරුත මුළු හදවතට ම ගෙන කටයුතු කරන නිර්මාණකරුවන් - සිනමාවේදීන් අපට අවශ්‍ය වන්නේ මේ නිස යි. 

සියලු දෙනා ශර වර්ෂණයෙන් පරාජය කරන අර්ජුනගේ ප්‍රබල ක්‍රියාකාරිත්වය අපට දැකිය හැක්කේ මේ කොටසේ දී යි. රණවිරුවන් ලෙස විරුදාවලි ලද අය මේ සටනේ දී අර්ජුනට පරදිනවා. එහෙත් අර්ජුන පවසන්නේ පරාජිතයන් මරා ඉතිහාසයේ නින්දාව ලබන්නට තමා අකැමැති බව යි. අයුක්ති සහගත ලෙස වැරදි මග පෙන්වීම් මත යුද බිමට ආ වීරයන් යයි සැලකුණු අය පරාජිත ව යුද බිම තුවාල ලබා වැතිරී සිටිනවා. මා විශ්වාස කරනවා, ඔබ කිසිවෙක් අසත් නිෂ්පාදන කොට ඉතිහාසයේ බිම වැතිර සිටීමට සිදුවන සිනමාවේදීන් නොවේ ය කියා.   

කන්ක නමින් වෙස්වළාගෙන තමා ළඟ රැඳී සේවය කළේ යුධිෂ්ඨිර රජු බව දැන ගන්නා මත්ස්‍ය රජු කම්පිත ව සිය රජ අසුනට පැමිණෙන්නැයි කියනවා. මෙයට පිළිතුරු දෙමින් යුධිෂ්ඨිර කියන්නේ කිසිම රණවිරුවෙක් තමාට අයත් නොවන අසුනක හිඳ නොගන්නා බව යි. එය කෙනෙකුට කරන අවමනක් බව කියන යුධිෂ්ඨිර ඔබේ අසුනට ගොස් හිඳ ගන්නැයි රජුට පවසනවා. 

මෙය වෙනත් දේ සම්බන්ධයෙන් ද සත්‍ය යි. සිනමාවේ වුණත් ඒ ඒ දස්කමට අනුව භෞතික ව නොව ආධ්‍යාත්මික ව හිමිවන අසුනක් තිබෙනවා. අප ද අනිසි ලෙස අනුන්ට අයත් අසුන් හිමි කර ගැනීමට ගොස් සැබැවින් ම අපට හිමි අසුන අහිමි කොට නොගත යුතු යි.  

මට හිතෙන අන්දමට මම කතා කළා ප්‍රමාණවත් කියල යි මට හිතෙන්නේ. මම කැමති යි සිනමාව තුළ සිය කටහඬ අවදි කළ ස්ත්‍රී රත්නයක ප්‍රකාශයක් දෙකක් මෙතනට සම්බන්ධ කොට මගේ දේශනය අවසන් කරන්න.  ඒ ගැහැනිය ලේඛිකාවක, සන්නිවේදිකාවක, කිවිඳියක මෙන් ම සිනමාවේදිනියක ලෙස ද නමක් දිනාගත් තුෂාරි අබේසේකර යි. ඇය පවසන්නේ පෘතුගීසීන් සහ ලන්දේසීන් වාසගම් පමණක් ඉතිරි කොට ඉතිහාසයේ නතර වූ බව යි. ඔබ ඉතිහාසයේ නතර නොවන සිනමාකරුවකු විය යුතු යි. ඉංග්‍රීසීන් තවමත් නතර නොවූයේ ඔවුන් යුද අවි අතහැර සාහිත්‍ය කලාවේ අවි අතට ගෙන ලෝකයට ආමන්ත්‍රණය කිරීමට සමත් වූ නිස යි. හින්දී බස නොදන්නා අයට ඉංග්‍රීසි උපසිරසි මගින් මහාභාරත ටෙලි වෘත්තාන්තය ආමන්ත්‍රණය කරනවා. තුෂාරිගේ තනිමිනිසා නවකතාවේ එක් තැනක සඳහන් වෙනවා, පිපාසිත අයෙකුට එක් වතුර පොදක් ලබා දෙන්න එය ඔබේ යුතුකම යි කියා. එසේ ම තවත් තැනකදී කිසියම් ක්ෂේත්‍රයක් වෙත වන ඇතැමෙකුගේ ආගමනය නිහඬ ව නිශ්චල ව තිබෙන බොහෝ දේ චංචල කිරීමට හේතු වන බව. අනාවරණය නොවී තිබෙන දෙය සමාජ යහපත උදෙසා අනාවරණය කළ යුතු නම් එය කළ යුතු වෙනවා.

සිනමාවේදිනියක වන තුෂාරි අබේසේකරගේ වචන සිනමාවේදීන් වන ඔබට මම මෙහෙම සම්බන්ධ කරන්නට කැමතියි. කලා පිපාසිත ලෝකයට ඔබේ සත් සිනමා කෘතිය නමැති පිරිසුදු  වතුර ප්‍රදානය කරන්න. කලාවේ මාර්ගයෙන් අනාවරණය කළ යුතු දෙය අනාවරණය කරන්න. එවිට මේ නිශ්චල ලෝකය සදර්ථය උදෙසා චංචල වේවි. එය මෙයට වඩා උසස් රසිකත්වයක් ඇති, මෙයට වඩා යහපත් හදවත් ඇති, මෙයට වඩා ආදරණීය උසස් මානව සමාජයක් බිහි වීමෙහි ලා හේතු වේවි.

ඔබ සියලු ම දෙනාට යහපත ම වේවා!