සිංහල සිනමාවට භාරත වර්ණ
“කොතැනක හෝ තිබෙන හොඳ දෙය අපේ කලාවටත් ඒ මගින් ඔබේ අපේ රටේ ලෝකයේ ජීවිතවලටත් ආලෝකයක් කරගැනීමේ උතුම් අරමුණින් ආරම්භ කළ අප සිනමා සංසදය විසින් සංවිධානය කරන ලද දේශන මාලාවේ තෙවැනි දේශනය අදයි. මඳ වැසි මුදු මුදු ව මිහිමතට ඇද වැටෙන මේ සෞන්දර්යාත්මක නිමේශයේ අද දේශනය සඳහා අපගේ ආරාධනය ලැබ මෙහි පැමිණ සිටින්නේ, ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳ ව මෙන් ම සිංහල සාහිත්‍යය ගැනත් යම් හැදෑරීමක් මෙන් ම හැඟීමක් දැනීමක් ඇති තරුණ ගුරු මෙණෙවියක්. අද දවසේ ඇති විශේෂයක් වන්නේ මෙම දේශන මාලාවේ පළමුවැන්න සිදු කළ සහන් වීරසිංහ මහාචාර්යතුමා ද දෙවැන්න සිදුකළ මා මිත්‍ර ගඟුල් සමරනායක තරුණ සහෘදයා ද මෙහි සිවුවැනි දේශනය සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ලබා සිටින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හිතවතා ද ඇයගේ දේශනය ශ්‍රවණය කිරීමට මෙතැනට පැමිණ සිටීම යි. එසේ ම මේ කටයුතුවලදී මට වඩා බොහෝ කාර්ය භාරයක් ඉටු කරන අප සිනමා සංසදයේ ගරු ලේකම් මා සන්මිත්‍ර ඉසුරු නවරත්නයන් ඇතුළු අප සංසදයේ සියලු සහෘදයන්ගෙන් ද පැමිණ සිටින රසික සහෘදයන්ගෙන් ද අවසර ගෙන මම අපේ තරුණ දේශිකාව වන මිහිදිනී තරුචමා ජයසූරිය ගුරු මෙණෙවියට ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනය කරනවා තමන්ගේ දේශනය පවත්වන හැටියට.”
සිනමා සංසදයේ සභාපති සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සාලිය කරුණාරත්නයන් විසින් කරන ලද ආරාධනයෙන් පසු මිහිදිනී පළමු ව සිය හිස නමා සභාවට ආචාර කොට සිය ආචාර්යතුමන් ඇතුළු ප්‍රවීණ සහ නවක සිනමාවේදීන්ගෙන් සහ සිනමා රසිකයන්ගෙන් අවසර ගෙන සිය දේශනය මෙසේ ආරම්භ කළා ය.
මම සිනමාවේදිනියක් නෙමෙයි. එහෙත් සිනමාව ගැන උනන්දුවක් තියෙන සාහිත්‍යය ගැන වැඩි කැමැත්තක් තියෙන රසිකාවියක් පමණයි. එවන් තැනැත්තියක් සාහිත්‍ය දෘෂ්ටි කෝණයෙන් සිනමාව ගැන දක්වන අදහස් ගැන දැන ගැන්මට පැමිණි ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරයත් ස්තුතියත් පුද කරන්නට කැමතියි. අපේ ආචාර්යතුමා මහාභාරත ටෙලි වෘත්තාන්තයේ කථාංග 44 ක සාරාර්ථය දක්වමින් මෙහි පළමු දේශනය සිදු කළා. ආරාධිත කථිකාචාර්ය ගඟුල් සමරනායක සහෘදයා එතැන් සිට 60 වන කථාංගය තෙක් නිදසුන් ගෙන හැර දක්වමින් කතා කළා. 61 සිට තවත් කථාංග 34 ක් ඉදිරියට තිබෙනවා. මට ඒ සියල්ල ම විස්තර වශයෙන් ගැනීමට නොහැකි වේවි. ඒ නිසා මට පුළුවන් විදිහට මහාභාරත ටෙලි වෘත්තාන්තය බලමින් මා විඳගත් මිහිර සහ අරුත ඔබ සමග බෙදා ගැන්මට මම කැමතියි.
61 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය කියන්නේ කවියා - නිර්මාණකරුවා කියන දෙයට එකග වන්නට හෝ නොවන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙන බවයි. ගෞරවනීය අතීතයක් අපට තිබුණත් ඒ අතීතයේ අපට ජීවත් වන්නට බැහැ. එහෙත් ඉන් පාඩම් උගෙන අපට වර්තමානය සකසා ගත හැකි යි. පාණ්ඩවයන්ගේ වනවාසයෙන් පසුත් පෙරළා ඔවුනට හිමි රාජ්‍යය නොලැබීම සමීප යුද්ධයකට හේතු වන ආකාරය ගැනයි මේ කථාංගයේ දිගින් දිගට ම කියවෙන්නේ. මෙහි එක් තැනක තිබෙනවා අර්ජුන පුත්‍ර අභිමන්‍යුගේ විවාහය ගැන. එහි කියැවෙනවා පාණ්ඩවයන්ට දිගු කලකට පසු සතුටු වීමට නිමිත්තක් ලැබී ඇති බව. මෙය අප සිනමාවට සම්බන්ධ කරගත යුත්තේ ඒ සතුට සමග අනිවාර්යයෙන් ම ජීවිතයේ අර්ථය ද තහවුරු කළ යුතු ය යන පණිවිඩයත් ඊට මුසු කිරීමෙන් පසු යි. මෙහි තවත් තැනක තියෙනවා මවකට සිය දරුවන් දැක හඳුනාගැනීමෙහි ලා තෙවැනි ඇසක් ඇති බව. මට දැනෙන විදිහට හොඳ සිනමාකරුවෙක් සිනමාකාරියක් කියන්නේත් මවක් වගේ ම පියෙක්. ඔහුට හෝ ඇයට සිනමා ප්‍රේක්ෂකයන් නිවැරදි ව හඳුනා ගැනීමෙහි ලා වන ඇස තිබිය යුතු යි.
62 කථාංගයේ දේශපාලනය ගැන කියවෙනවා. එහි දී කාලචක්‍රය අපට දෙන එක් පණිවිඩයකට අනුව පාලකයා වැදගත් කොට සැලකිය යුත්තේ රට මිස සිය දූ පුතුන් නොවේ. ධ්‍රැතරාෂ්ට්‍ර නමැති රාජ්‍ය පාලකයා බලයෙන් සහ ගුණයෙන් පිරිහෙන්නේ ඔහු තමාගෙන් පසු සිය පුතු රජ විය යුතු ය යන පටු කල්පනාවෙන් වැඩ කළ නිස යි. අවසානයේ ඔහුට ඒ පුතුන් වත් ඉතිරි වන්නේ නැහැ. මෙය සිනමාවටත් සාධාරණ යි. මා විශ්වාස කරන අන්දමට කෙනෙක් දීර්ඝ කාලයක් සිනමාවේ වේවා වෙනත් කලා මාධ්‍යයක නිරත ව සිටීම යන කරුණ පමණක් ඔවුන්ගේ දූ දරුවන්ට ඒ මාධ්‍ය විවෘත වීමෙහි ලා වන දොරටුවක් විය යුතු නැහැ. ඒ අයට ඒ සම්බන්ධ කිසියම් කෞශල්‍යයක් තිබෙනවා නම් ඒ දොරටු වැසිය යුතුත් නැහැ.
ධ්‍රැතරාෂ්ට රජුට සිය පුත් දුර්යෝධනගේ වැරදි පෙනෙන්නේ නැහැ. ඔහු තමාට වඩා වයසින් ගුණයෙන් මෙන් දැනුමින් ද වැඩි අයට අගරු කොට කතා කරන්නේ වරක් දෙවරක් නෙමෙයි. එවන් අවස්ථාවක ගංගාපුත්‍ර භීෂ්ම දුර්යෝධනට පවසනවා, ඔබට වඩා වයසින් මෙන් ම නුවණින් ද වැඩුණු අයට ගරු කිරීමට පුරුදු වන්නැයි කියා. වරක් එවන් දැනුමින් ගුණයෙන් මතු නොව කෞශල්‍යයෙන් ද තමාට හිතන්නටවත් බැරි තැනක සිටි වයෝවෘද්ධ ගුණවෘද්ධ කෞශල්‍යවෘද්ධ විද්වතෙකුට එක් සිනමා අධ්‍යක්ෂවරයෙක් කතා කළ - ක්‍රියා කළ ආකාරය නිසා පිරිහුණේ ඒ තමා අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයකු යයි සිතා සිටි ඒ පුද්ගලයා ම යි. මේ කථාංගයෙන් සිනමාවට ගත යුතු පාඩම ලෙස මට දැනෙන්නේ එය යි.
63 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ තම දැනුම වරෙක සිය දෙතොලට සිනහවත් තවත් වරෙක කඳුළත් ප්‍රදානය කරන බව යි. සිනමාකරුවන් වන ඔබ විසින් කරනු ලබන්නේත් මෙය ම නොවේ ද? එහෙත් සිනහව වේවා කඳුළ වේවා එයට සමාජය පවතිනවාට වඩා අර්ථසම්පන්න කිරීමේ හැකියාව තිබිය යුතු යි. මේ කොටසේ කියවෙන පරිදි අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජුට තමා වෙත එන ඕනෑම කෙනෙක් ඔවුන්ගේ පියසටහන්වලින් හඳුනාගත හැකි වුවත් ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට ඔහු සමත් වන්නේ නැහැ. එහෙත් ඔබ ධ්‍රැතරාෂ්ට්‍ර මෙන් නොවිය යුතු යි. ඔබට සිනමාකරුවන් ලෙස ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට හැකි විය යුතු යි. මන්ද ඔබගේ වර්තමාන නිර්මාණය අනාගතයේ දී ඉතිහාසයේ පියසටහන් අතරට එක් වන නිසයි.
මෙම ටෙලි වෘත්තාන්තයේ 64 වැනි කොටසින් අපට උකහා ගත හැකි හොඳ පාඩමක් තියෙනවා. ඔබට සහ අපට පාඩමක් වන එය ප්‍රකාශයක් වශයෙන් සිනමාකරු ඉදිරිපත් කරන්නේ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ මුවින්.
"If you do not pass the test of truth. You will
have neither a present nor a future.̎
සිනමාවේදීන් වන ඔබ මේ සත්‍යයේ පරීක්ෂණයෙන් අසමත් වුවහොත් සිනමාකරුවන් වශයෙන් ඔබටත් වර්තමානයක් හෝ අනාගතයක් හිමි වන්නේ නැහැ. එසේ ම එහි අරුත අතීතය ද අහිමි වී යාම ය යන කරුණත් අමතක කළ යුතු නැහැ. එසේ ම ගංගාපුත්‍ර භීෂ්ම, ධ්‍රැතරාෂ්ට්‍ර රජුට පවසන හස්තිනාපුරයේ අනාගතය, වර්තමානයේ ඔබ මේ කියන කරන දේ මත රඳා පවතීය යන්නත් අපගේ සිහියට ගත යුතු යි. මෙහිදී අප කළ යුත්තේ හස්තිනාපුරය යන වචනය ඇති තැනට සිනමාව යන වචනය ආදේශ කොට ඒ ගැන සිතීම යි.
සිනමාවට අමතර ව අපේ රටේ දේශපාලනයට ගත හැකි පාඩම් ද මේ කතාවේ තියෙනවා. විදුර් නම් මහාමන්ත්‍රීගේ ප්‍රකාශ සහ චර්යා ඒ සම්බන්ධයෙන් අපට කිසියම් ආලෝකයක් සපයනවා. ඔහු කියන්නේ සිය රජුට තමා ඇත්ත තත්ත්වය පහදන්නේ නැත්නම් තමාට ඇමතිවරයකු වශයෙන් කටයුතු කිරිමට ද අයිතියක් නොමැති බව යි. මන්ද ඒ හේතුවෙන් රටක විනාශය සිදුවීම දුර නොවන නිසයි. මේ කතාව අපට උගන්වන්නේ කිසියම් යුගයක සිටින නායකයන්ගේ මනස විපරීත වූ විට විනාශය සිදුවීම නියත බව යි. මෙය සිනමාවට අදාළ කරගෙන ඒ ගැන සිතන්න.
අහංකාරය එය පටන් ගන්නා මොහොතේ සිට ම අන්ධ ය යන කාලචක්‍ර ප්‍රකාශයෙන් තමයි 65 කථාංගය පටන් ගන්නේ. හොඳ සිනමාකරුවෙක් තමා කළ නිර්මාණයක් ගැන කවදාවත් අහංකාර වන්නේ නැහැ. සිය නිර්මාණය සම්බන්ධයෙන් අභිමානයක් ඇති කර ගැන්මේ වරදක් නැහැ. සමන් සිත්තරා මේ ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් කොට තිබෙනවා. ඔහු පවසන පරිදි අහංකාරය නොවටිනා දෙයක්. අභිමානය වටිනා ගුණාංගයක්. අහංකාරය දුර්වලතාවක්. අභිමානය ශක්තියක්. පොදුවේ අප තුළ ඇති වන අහංකාරය පරාජය කළ හැක්කේ අප අපගේ කටයුතු ගැන සිතා බලා අපේ වැරදි අපම දකින විට යි.
මෙහි 65 වන කථාංගයේ එක් තැනක තියෙනවා ශ්‍රී ක්‍රිෂ්ණගේ එක් ප්‍රකාශයක් ඔබට සහ අපට වැදගත් වන. ඔහු කියනවා, කතා කරන එක ඔබේ වැඩක්. සවන් දෙන එක ඔවුන්ගේ වැඩක් කියා. අන්න ඒ වගේ සිනමා මාධ්‍යයෙන් ඔබට කළ හැක්කේ සිනමාවෙන් ලෝකයට කතා කිරීම යි. එයට සවන් දීම හෝ නොදීම ප්‍රේක්ෂකයන්ගේ වැඩක්. මෙහිදී ක්‍රිෂ්ණ පවසන්නාක් සේ මම මගේ මෙහෙවර කරමි යි යන ආකල්පයෙන් වැඩ කරන්න. මෙහි එන ධ්‍රැතරාෂ්ට්‍ර රජුට ක්‍රිෂ්ණ කියන තවත් ප්‍රකාශයක් වන්නේ ඔබගේ කාලය අවසන් වීමට පෙර වෙන් ව සිටින අය එකතු කිරීම සඳහා කටයුතු කරන ලෙස යි. මේ සිනමා සංසදයටත් වර්තමානයේ එහි තනතුරු දරන අයටත් කළ යුතු මෙහෙවරක් සහ ඊට අයත් කාලයක් තිබෙනවා. ඒ නිසා විවිධ හේතු නිසා විසිරී සිටින සිනමාකරුවන් සදර්ථය සඳහා එකට එකතු කොට ගැන්මට ඔබේ කාලය තුළ කටයුතු කරන්න. සිනමාවේ අනාගතය ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සපුරාලීම උදෙසා නොව සමාජාභිවෘද්ධිය උදෙසා සහ කලාවේ සුප්‍රගතිය උදෙසා ය යන ආකල්පය මුළු හදින් දරන අය එක තැනකට එකතු වීම අත්‍යවශය යි. මන්ද සමාජය යහපත් කරන අර්ථවත් කරන - සුන්දර කරන සිනමාව නමැති දිව්‍ය අස්ත්‍රය දරන අය වන්නේ ඒ පිරිස නිස යි.
සිනමා කෘතියක් ඔස්සේ සමාජගත කළ යුතු සුවිශිෂ්ට චරිතයක් ගැනයි 66 කථාංගය අපට කියන්නේ. ඒ සූර්යපුත්‍ර අංගරාජ් කර්ණ යි. මේ චරිතයේත් දෝෂ නොතිබෙනවා නොවේ. එහෙත් කාලචක්‍රය කියා සිටින්නේ කර්ණ යනු මුළු හදින් ම එක් අරමුණක සිත රඳවා ඒ සාධනය උදෙසා අවංකවම කැප වූ චරිතයක් බව යි. මෙහි දී සිනමාවට කර්ණගේ ආදර්ශය වැදගත් වන්නේ හරි හෝ වැරදි වේවා කිසිදු ප්‍රතිලාභයකට ඔහු සිටින තැනින් දශමයකුදු සෙලවීමට නොහැකි නිසයි. සිනමාකරුවන් කර්ණගෙන් ගත යුතු ආදර්ශය එය යි. මහාභාරතයේ දෙවියන්ගේ නියෝජනය සිදු කරන ප්‍රධානම චරිතය වන ශ්‍රී ක්‍රිෂ්ණ වරෙක පවසන්නේ කර්ණ යනු සුවිශිෂ්ට පුද්ගලයකු බව යි; එසේ ම සත්‍යවාදියකු ද බව යි. මන්ද ඒ ඔහු කිසි විටෙකත් තමා සත්‍යය වශයෙන් ගත් දෙය උල්ලංඝනය නොකරන නිස යි.
Karna, You are an excellent person; a truthful man.
You never violated what you accepted as truth.
කාගේවත් බලපෑමකට, වරදානයකට යටත් ව තමා තුළ ඇති සත්‍යය යටපත් කරන්නට එපා. තමාට ලැබෙන ප්‍රතිලාභ මත තමන් නිවරදි යයි සිතා කටයුතු කළ දෙයින් ඉවත් වන, තමන්ට පාර කියා දුන් ගුරුතාරකා අමතක කරන, මිතුරන් නොතකා හරින අය කොයි ක්ෂේත්‍රයේත් හිඳින්නට පුළුවන්. කාලචක්‍රය කර්ණ වෙත සිය ගෞරවය පළ කරමින් පවසන්නේ හිරු අවරින් උදා වුවත් දහවල රාත්‍රිය බවට පරිවර්තනය වුවත් කර්ණ සිය මිතුරාට විරුද්ධ ව යාම නම් සිදු නොවන බව යි.
The sun may rise in the west. The day may become
night. But Karna will never betray a friend.
හොඳ සිනමාකරුවා මහාභාරත වීරකාව්‍යයේ එන විදුර් මෙන් විය යුතු යි. ඔහු ප්‍රශ්න දෙස බලන්නේ ඇලීමෙන් සහ ගැටීමෙන් තොර ව යි. කුරු පාණ්ඩව යුද්ධයේ දී හස්තිනාපුරයේ වර්තමාන පාලකයන් හරි වුවත් වැරදි වුවත් ඔවුන්ගේ පිළ ගැන්ම සිය වගකීම වශයෙන් භීෂ්ම - ද්‍රෝණ - ක්‍රීප බඳු මහාපුරුෂ විරුදාවලි ලද චරිත කටයුතු කළත් විදුර් එයින් වෙනස් වන්නේ යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස මෙන් ම සත්‍යය සහ අසත්‍යය අතර ඇති වෙනස ඔහු හඳුනා ගත් නිස යි. ඔහු හස්තිනාපුරයේ මහාමන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නේ ඒ නිස යි. රජුට වුව කිව යුත්ත මුහුණට ම කීමේ හැකියාව ඔහුට තිබෙනවා. 67 කථාංගයෙන් අපට එසේ ක්‍රියා කරන විදුර් දැකගැන්මට ලැබෙනවා. අප පසුගිය කාලයේ දී දුටුවා කලා ක්ෂේත්‍රය නියෝජනය කළ ඇතැම් දෙනා බලයට පත් කවර හෝ රජයක් විසින් තමා කිසියම් වගකිව යුතු තනතුරකට පත් කළ පසු සිය සමාජ වගකීම අමතක කොට කටයුතු කරන ආකාරය. මෙතනදී විදුර්ගේ ආදර්ශය අපට වැදගත් වන්නේ රජයේ කවර හෝ කොටසක් වැරදි ලෙස කටයුතු කරන විට වෛද්‍ය විද්‍යාවට අනුව ශල්‍ය වෛද්‍යවරයෙක් සමස්ත සිරුර ගිලන් කරවන ඒ කොටස කපා ඉවත් කරන්නාක් රාජ්‍ය දේහයට සම්බන්ධ ව සිටින ඒ කොටස් ඉවත් කරන්නැයි යන ඉල්ලීම ඔහු නොබිය ව රජුට ම මෙසේ කියා සිටින නිස යි.
I
have come to you with a permant solution. O King, medical science says that if
a part of the body is diseased the surgeon should cut away that partion.
පුතුන් යුද කරන විට ඔවුන්ගේ මවුවරුන් පත් වන තත්ත්වයේ සංවේදනීය සහ වික්ෂිප්තභාවය මැනවින් ප්‍රකාශයට පත් කිරීමට මේ සිනමාකරුවන් වඩාත් සාවධාන වන්නේ 67 සහ 68 වන කථාංගවල දී යි. සමාජයක ඇති වන යුද්ධයක කොටසක් නොවී ඒ යුද්ධය ගැන ප්‍රහර්ෂාත්මක ව හෝ විවේචනාත්මක ව කතා කරන්නට අප ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙත් යුද වදින දෙපක්ෂයත් ඔවුනට සම්බන්ධ චරිතත් විඳින කායික සහ මානසික වේදනා ගැන දන්නේ ඒ අය ම පමණයි. මේ සිනමාකරුවා ඒ වේදනාවන් ගැන අපට කියන්නේ එබඳු වේදනා ඇති නොවන අනාගත සමාජයක් නිර්මාණය කිරීම සඳහා යි. හස්තිනාපුරයේ මවුවරුන් යුද වදින සිය පුතුනට ආශිර්වාද නොකරන්නේ මේ නිසයි. යුදයෙන් ගාන්ධාරිට පුතකු අහිමි ව ගිය මොහොතේ ඒ වේදනාව මැනවින් අවබෝධ කරගන්නේ ප්‍රතිපක්ෂය නියෝජනය කරමින් සටන් කළ පිළේ මව වන කුන්තී යි.
ඒ කෙසේ වුවත් යුක්තිය සහ අයුක්තිය, සත්‍යය සහ අසත්‍යය මෙන් ම අඳුර සහ ආලෝකය අතර ඇති වන සටනක දී අපට ගැන්මට සිදුවන පැත්ත පෙන්වා දීමට ද සිනමාකරු කටයුතු කරනවා. යුද නොකරන ශ්‍රී ක්‍රිෂ්ණ යුක්තිය, සත්‍යය සහ ආලෝකය නියෝජනය කරන පිළේ මාර්ගෝපදේශකයා බවට පත් කරන්නේ ඒ චරිත නිරූපණය ද සමාජයකට අවශ්‍ය නිසයි.
68 වන කථාංගයේ දී ව්‍යාස ඍෂිවරයා මුවින් ගස් ගැන කෙරෙන ප්‍රකාශය ද අපට දැනෙනවා. එහි කියැවෙන පරිදි ඇතැම් ගසක් අපට සෙවන දෙද්දී තවත් ගසක් දර සපයනවා. සෙවන දෙන ගස් රැකගන්නා අතර දරට ගත යුතු ගස් කපා ගත යුතු බවයි ඉන් කියැවෙන්නේ. එසේ කළ යුත්තේ සෙවන දෙන ගස්වලට ඉඩ දීම සඳහා යි. ව්‍යාස ඍෂිගේ මේ ප්‍රකාශය මහාභාරත යුද්ධයට ද අදාළ යි.
Trees
not only give shade but are also for fuel. Trees which can not give shade
should be cut. So that they make way for shade-giving trees.
69 කථාංගය ආරම්භයේ දී දෙපක්ෂයේ රණකාමීන් ගැන වර්ණනය කරන කාලචක්‍රය අනතුරුව පවසන්නේ මේ ධර්මය සහ සත්‍යය උදෙසා කරන සංග්‍රාමයක් බව යි. එසේ ම මුළු මහත් විශ්වය ම මේ නිසා චංචල ව ගොස් ඇති බවත් මේ ඇරී තිබෙන්නේ විනාශයේ දොරටු බව කීමටත් සිනමාකරු අමතක කරන්නේ නැහැ.
මේ සමාජයේ ජීවත් වන විට පළිගන්නා චරිතයක ඇති ලක්ෂණ පිළිබඳ අවබෝධය ද තිබිය යුතු යි. ඒ ප්‍රවේශම් වෙමින් ජීවත් වීම සඳහා යි. සිනමාකරුවන් මේ ටෙලි වෘත්තාන්තයේ 70 වන කථාංගය ආරම්භයේ ප්‍රේක්ෂකයනට සම්මුඛ කරන්නේ එබඳු චරිතයක්. ඒ ශිඛණ්ඩින්. දින 18ක් පුරා පැවතීමට යන යුද්ධය ආරම්භ වීමට පෙර අපට ඔහු මුණ ගස්වන්නේ මේ කොටසේ දී යි. සොයුරු ධෘෂ්ට්‍රද්‍යුම්නට දක්නට ලැබෙනවා ඔහු සිය හීවල විෂ තවරමින් සිටින ආකාරය. ඒ කවර හෝ මොහොතක භීෂ්ම මරා දැමීම සඳහා යි. ඒ සඳහා ඔහුට හේතුවක් තිබෙන මුත් ඒ අප්‍රාමාණ වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ගංගාපුත්‍ර භීෂ්ම යි. මේ වන විට ඔබ දන්නවා භීෂ්ම යනු කවරෙක් ද යන බව. ඒ සමාජයක් අර්ථවත් කරන, සුන්දර කරන, පවිත්‍ර කරන චරිතයක්. ශිඛණ්ඩින්ගේ පෞද්ගලික වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ඒ උත්තුංග පුරුෂ රත්නය යි.
මේ කොටස අවසානයේ එන ගීතෝක්තියෙන් කියැවෙන්නේ ගිනිගත් ගැහැනියකගේ හද ගිනිදැල්ල සමත් වන්නේ දවාලීමට පමණක් නොවන බව යි. ඇයගේ පළිගැනීමේ හැඟීම ම තමයි, ඇයට ධෛර්යය සහ ශක්තිය දෙන්නේ. දෞපදී යනු කුරුක්ෂේත්‍ර සංග්‍රාමයේ පදනම යි. ඇය යනු හුදෙක් සන්නාහය පමණක් නොවේ; අසිපත ද ඇය යි.
May
not the flame of the fiery woman, even burn down. The revenge of the firey
woman has given her courage and strength.
Draupadi is the foundation of the Kurukheshetra war. She is not only the shield, but also the sword
71 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ ජනතා ශුභසිද්ධිය අපගේ උත්තරීතර ව්‍යවස්ථාව විය යුතු බව යි. සිනමාකරුවන් වන ඔබගේ ව්‍යවස්ථාව ද ඉන් වෙනස් වන්නේ නැහැ. මන්ද ඔබගේ ප්‍රේක්ෂක රසිකයන් යනු ජනතාව ම වන නිස යි.
මේ කථාංගයේ පසුබිමින් ඇසෙන රණකාමියකුගේ ප්‍රේම සන්දේශය අතීත, වර්තමාන සහ අනාගත සටන් දෙස වෙනස් ම ඇසකින් බැලීම වෙත අප යොමු කරනවා. සටන් බිම හිඳ සිය පෙම්වතියට ලියන මේ ගීතයෙන් කියැවෙන්නේ එය ලබන මොහොතේ තමා ජීවත් වීම හෝ නොවීම සිදු ව තිබීමට ඉඩ ඇති බව යි. ඒ හෙට දවසේ දී මේ පාරිශුද්ධ කුරු ක්ෂේත්‍රය සංග්‍රාම භූමියක් බවට පත් වන නිස යි. මේ නිසා අපට අහිමි වන්නේ ප්‍රේමය යි. මා විශ්වාස කරන්නේ සාධාරණ වේවා අසාධාරණ වේවා වන යුද්ධයන්ගේ නාමයෙන් ලෝකයට ප්‍රේමය අහිමි නොකළ යුතු බව යි. මන්ද ලෝකයේ පැවැත්ම සිදු වන්නේ ප්‍රේමය නිසා බැවින්. මා කම්පනයට නොව ප්‍රකම්පනයට පත් කළ ඒ ප්‍රේම ගීතයේ මුල් වචනවල ඉසොඳුරු පරිවර්තනය මම ඔබ සමග මෙසේ බෙදා ගැන්මට කැමතියි.
My
beloved, By the time you get this letter of mine, I don´t know I may or may not
live in this world. The holy land of Kurukshethra will tomorrow become a battlefield.
මෙහි 72 කථාංගය පුරා ඇත්තේ භගවද්ගීතාවේ රාවය යි. සංග්‍රාම භූමියට යන අර්ජුන දෙපක්ෂයේ සිටින නෑ - හිත මිතුරන් - ගුරුවරුන් දැක ඔවුන් සමග යුද කිරීමට මැලි වෙනවා. ධර්මයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන් මෙය කළ යුතු ම යයි කියා අර්ජුන යුද්ධයට පොළඹවන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. මේ අවස්ථාවේ ඔහු අර්ජුනට භගවද්ගීතාව දේශනා කරනවා. යුද සූදානමත් දෙපක්ෂයේ රණකාමීන් ගැනත් අර්ජුන-ක්‍රිෂ්ණ සංවාදය ගැනත් අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජු දැන ගන්නේ සිය රථාචාර්ය වන සංජයගේ ඇසින්. මේ කථාංගය ම මුල සිට අගට ගීතාව කියවීමක් ම තමයි. ඒ වගෙම 73 සහ 74 කථාංග තුළ ගැබ් ව ඇත්තේ ද භගවද්ගීතාගත දර්ශනය යි. මට ගීතාව සම්බන්ධයෙන් ඇත්තේ අල්ප දැනුමක් නිසා මන් ඒ ගැන කතා කිරීමට යන්නේ නැහැ. ඒ නිසා ඒ කථාංගවලින් ඔබට - අපට අපේ පෞද්ගලික ජීවිතයේ මෙන් ම සිනමා ජීවිතයේ ආදර්ශ පාඨ බවට පත් කොට ගත හැකි ප්‍රකාශයක් දෙකක් උපුටා දක්වන්නට තමයි මට හැකියාවක් තියෙන්නේ.
“මහපොළොවේ ඔබට ඇති කාර්යය ඉටු කරන්න.
අනාගතය උපදින්නේ වර්තමානයෙනි.
සත්‍යය පීඩා විඳින්නේ මනුෂ්‍යයා පෙළඹීමෙන් ඉවත් නොයන නිසයි.”
මා ඒ උපුටා දැක්වූයේ මේ විශිෂ්ට සිනමාකරුවන් 73 කථාංගය ඔස්සේ සමාජගත කරන සදුක්ති තුනක් පමණ යි.
74 කථාංගය මුලදී කාලචක්‍රය කියන්නේ ඔබගේ ක්‍රියාවන් අනුව ඔබ විනිශ්චයට ලක් වන බව යි. මෙය ද ඔබට මෙන් ම අපටත් අදාළ වන කරුණක්. මෙහි අරුත අප ක්‍රියා නොකොට නිශ්ක්‍රියව හිඳීම නම් නෙමෙයි. මෙහි කියැවෙන පරිදි ගසක වගකීම වන්නේ ලොවට පල සම්පත සහ සෙවන ප්‍රදානය කිරීම යි. ඔබේ සිනමා සිත්තම කියන්නේ ද සමාජය අබිමුව තබන පලයක්. එසේ ම ඔබේ නිමැවුම ලොවට සෙවන දෙන විසල් රුකක් වේවා යි ප්‍රාර්ථනය කිරිමට ද මම මෙය අවස්ථාව කොට ගන්නවා. ගසකට තමා වෙත වැටෙන දැඩි හිරු කිරණ දරා ගැන්මට සිදු වෙනවා. එහෙත් ඒ පීඩාව දරාගෙන ඔහු ලෝකයට දෙන්නේ සෙවන යි. ඔබ නිර්මාණයක් බිහි කිරීමට කොපමණ වෙහෙසක් විඳිනවා ද? ඒ වෙහෙස විඳින්නේ තමාගේ පෞද්ගලික සතුට, ලාභය හෝ ප්‍රසිද්ධිය සඳහා පමණක් නම් එහි අර්ථයක් නැහැ. මහාභාරතය අපට කියන්නේ අනුන්ගේ වේදනා දරාගන්නා තැනැත්තා ශ්‍රේෂ්ඨයකු බව යි. යහපත කිසිදා විනාශ නොවන බවත් කල්‍යාණකාරි ශෝකකාරි නොවන බවත් මේ සිනමා කෘතිය අප වෙත ගෙනෙන තවත් පාඩමක්.
යුද්ධය ආරම්භ වීමට පෙර සටන් බිමට ඇවිත් සිටින සියලු රණකාමීන් අමතා පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර කරන ප්‍රකාශය සිනමා කෘතියක් මාධ්‍යය කොටගෙන ලොව සිටින වර්තමාන අනාගත සියලු යුද කරන්නනට දෙන මහගු පාඩමක් කියා යි මට සිතෙන්නේ. අපි දැන් ඔහුගේ ඒ ප්‍රකාශයට සාවධාන වෙමු.
“මෙහි පැමිණ සිටින සන්නද්ධ ව සිටින සියලු රණවිරුවනි, අසන්න, කුරු ක්ෂේත්‍රය යනු පවිත්‍ර පුණ්‍ය භූමියක්. මා මෙය සලකන්නේ ශුද්ධ වූ සංග්‍රාමයක් ලෙස යි. මගේ සේනාවේ සිටින කවුරුන් හෝ සිතනවා නම් සත්‍යය සහ යුක්තිය තියෙන්නේ ප්‍රතිපක්ෂයේ යයි කියා, ඔහුට දැන් අපට ඇති පක්ෂපාතිත්වය වෙනස් කොට ඒ පිළට යා හැකි යි. එසේ ම කෞරව පක්ෂයේ සිටින කවුරු හෝ සිතනවා නම් සත්‍යය ඇත්තේ අපගේ පිළේ යයි කියා, ඔවුනට අප වෙත ආ හැකි යි. මම ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.”
75 වන කථාංගයෙන් කියැවෙන්නේ සංග්‍රාමයේ ඇති අතිබිහිසුණු බව යි. ඒ විස්තර මම ඔබ සමග කතා කිරීමට යන්නේ නැහැ. 76 කථාංගයේ දී කාලචක්‍රය පවසන කරුණු වෙතයි අප අවධානය යොමු කළ යුත්තේ. එහි කියැවෙන පරිදි උපන් විට දෙමව්පියන් ඉතා ආදරයෙන් නම් තැබූ දරුවන් දෙපිරිසක් දෙපැත්තක සිට ඔවුනොවුන් මරා ගන්නවා. ඔවුන් කලින් සතුරන් ව හෝ මිතුරන් ව සිටියේ නැහැ. එහෙත් මේ යුද්ධය ඔවුන් සතුරන් බවට පත් කොට තිබුණා. ඔවුන් මේ සංග්‍රාම භූමියේ දී හමු නොවී වෙනත් පරිසරයක දී හමු වුණා නම් ඔවුනොවුනට දක්වන ප්‍රතිචාර වෙනස් විය හැකි ව තිබූ බවයි කාලචක්‍රය කියන්නේ. එසේ වූවා නම් ඔවුන් එකිනෙකා දෙස සිනහමුසු මුහුණින් බලන්නට ඉඩ තිබුණා. එසේ ම ඔබ කොහේ සිටි පැමිණ කෙනෙක් ද යන්නත් සුහද ව ඇසීමට ඉඩ තිබුණා. තම තමන්ගේ පවුල්වල තොරතුරු ද කතා කිරීමට ඉඩ තිබුණා. එය එසේ වී නම් මේ මරණයේ සලකුණ ඔවුන් වෙත ළඟා වන්නේ නැහැ. මේ එක් එක් අය කෙසේ මරණයට පත් වන්නේ දැයි කිසිවකුට කිව නොහැකි යි. ජීවත් ව සිටි නිවහනින් සැතපුම් ගණනාවක් ඈතින් තිබෙන තැනකට පැමිණ මෘත දේහ බවට පත් වන ඔවුන් දෙස බලා සිටින්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අප මෙතැන සිටීමෙන් ඵලයක් නැති බැවින් අපි වෙනත් තැනකට යමු කියා යි, කාලචක්‍රය අපට කියන්නේ.
කාලචක්‍රයමාර්ගයෙන් ඒ භාරත සිනමාවේදීන් අප අබිමුව තබන මේ කටුක යථාර්ථය අපට නොතකා හරින්නට බැහැ. මා මෙය සලකන්නේ විශිෂ්ට සිනමාකරුවන් විසින් සිනමාව මාධ්‍යය කොට ගෙන ලෝකයට දෙන ලද සුවිශේෂ පණිවිඩයක් ලෙස යි.
77 කථාංගයේ එක් තැනකදී ගංගාපුත්‍ර භීෂ්ම, දුර්යෝධන තූළ ඇති බලවත් ම දෝෂය වශයෙන් දකින්නේ නොසිතා කටයුතු කිරීම යි. එසේ ම අන්‍යයනට සවන් දීමේ ගුණය ද දුර්යෝධන තුළ අවිද්‍යමාන යි. හොඳ සිනමාකරුවකු විය හැක්කේ එකී දෝෂයන්ගෙන් වියුක්ත වන අයට පමණ යි.
වරෙක ක්‍රිෂ්ණ, අර්ජුනට පවසන්නේ අයහපතට පක්ෂ වන සියලුදෙනා තමන්ගේ සතුරන් කොට තකන ලෙස යි. මෙම කථාංගය අවසානයේ එන ගීතෝක්තිය ද අපට සිහිපත් කො දෙන්නේ ධම්මපදයේ එන යම් දෙයක් වපුළහොත් ඊට අදාළ ඵලය ලැබේ ය යන අර්ථය දෙන යාදිසං වපතේ බීජං තාදිසං ලභතේ ඵලං යන පාලි පාඨය යි. මහාභාරතය කියන්නේත් කෙනෙක් තමාගේ පව්වලට වන්දි ගෙවිය යුතු යයි කියා යි. එසේ ම යමෙක් වපුරන්නේ අයහපත් භාවයේ ඵල නම් ඔහු ඊට අදාළ ව අයහපත් භාවයේ ඵල ම ලබනු ඇත කියා යි.
One
has to pay back for one´s own sins. If one has sown evil the fruit will also be
evil.
සෑම කෙනෙකුට ම මේ ජීවිතයේ විවේක ලද යුතු කාලයක් එළඹෙනවා. ආදරණීය ලෙස හෝ අනාදරණීය ලෙස ඒ එළඹුම සිදු විය හැකි යි. සිය පුතු භීෂ්ම ලබන ඒ ඉසිඹුව පිළිබඳ යථාර්ථය කාටත් වඩා හොඳින් දන්නේ ඔහුගේ මව වන ගංගා යි. නිදහස් බිම් කඩක රැඳී එබිම පිරිසුදු කරන සිය මව දකින භීෂ්ම එයට හේතුව අසනවා. ගංගා පවසන්නේ මෙතන පූජනීය තැනක් බැවින් තමා එසේ කරන බව යි. මෙතන ගරුකටයුතු තැනක් වන්නේ කෙසේ ද යන්න විමසන භීෂ්මට ගංගා පවසන්නේ මේ හෙට ඔබ සැතපෙන තැන කියායි. ඇය දන්නවා හෙට දවසේ භීෂ්ම හී සර වර්ෂාවකට ලක් ව ලොවින් නික්ම යන තෙක් සැතපෙන්නේ එතන බව. ඇය පවසන්නේ පුත, දැන් විවේක ලැබුමට නුඹට දැන් අයිතියක් ඇතැයි කියායි. මේ අවස්ථාව අපගේ හදවත්වල රූපණය කරන්නේ සිනමාකරුවන් භාවිතයට ගෙන ඇති වචනයි. ඒ වචන සමග ඔවුන් ප්‍රේක්ෂකයන් අබිමුව තබන රූපරාමු ද අතිප්‍රබල යි. මෙයින් තිස්පස්වසරකට පෙර තාක්ෂණික වශයෙන් අදට සාපේක්ෂ ව නොදියුණු කාලයක සිනමාවෙන් කළ ආශ්චර්යය වර්තමානයේ සිටින අපට ආදර්ශයක්. මම කැමතියි ඒ සිනමාවේදීන්ගේ රූපරාමුවලටත් වඩා අපගේ හෘදය කම්පනය කළ ඒ වචන ඔබ සමග එක් ව විඳ ගන්නට.
What
are you doing here mother?
Bhishma
Honouring
this piece of land. Ganga
What´s
so special about it ? Bhishma
Tomorrow
your bed will be placed here. You are very tired my son. So, You have a right
to rest. Ganga
මහාභාරත ටෙලි වෘත්තාන්තයේ 78 කථාංගයේ මට වඩාත් දැනුණු තැන් දෙකින් එකකුයි, මා ඒ පැවසුවේ. මට දැනුණු අනික් තැනත් මම ඔබට කියන්නම්. ඒක ගංගාපුත්‍ර භීෂ්ම මෙන් ම මේ කතාවේදී අපට හමුවන ගුණවෘද්ධ බලවෘද්ධ වයෝවෘද්ධ උත්තම පුරුෂයකුගේ ප්‍රකාශයක්. ඒ ද්‍රෝණාචාර්ය යි.
“අප බැස යන හිරු වැනි යි. අප බැස නොගියහොත් නව හිරුට උදාවීමට ලැබෙන්නේ නැහැ. එහෙයින් අප ගැන නොසිතන්න. අප දැන් බැස යාමට ආසන්න යි.”
සක්‍රිය භීෂ්මට නිෂ්ක්‍රිය ව වැතිර සිටීමට සිදු වේය යනුවෙන් 78 කථාංගය දුන් ඉඟිය සත්‍යයක් බවට පත් වන්නේ 79 කථාංගයේ දී යි. මට සිනමාවට වඩා සමීප සාහිත්‍යය නිසා මගේ කතාවේ වැඩි සාහිත්‍ය නැඹුරුවක් තියෙන්නට පුළුවන්. මහාභාරත ටෙලි වෘත්තාන්තය කළ සිනමාවේදීනට සාහිත්‍යයෙන් මිදීමට නොහැකි වූවා නම් සාහිත්‍ය ගුරුවරියක වන මා ඉන් මිදී කතා කරන්නේ කෙසේ ද? ඒ නිසයි සුන්දර සාහිත්‍යෝක්ති දකින විට මා එතන නතර වන්නේ. ඒ නිසා එබඳු තැනක දෙකක දී නවතින්නට මට ඉඩ දෙන්න.
සමකාලීන මිත්‍ර කුල්ගුරු ක්‍රීපාචාර්ය, ශර යහනත සැතපෙන සිය සහෘදය මිතුරාට දෑත් එක් කොට වඳිමින් පවසන්නේ පවිත්‍ර වයසේ පවිත්‍ර ආත්මය ඔබ යි කියා යි. ඔහු තවදුරටත් කියනවා වියට ගැළපෙන සුදු වතින් සැරසුණු වෙනත් කෙනෙක් කොතැනින් අප ලබන්න දැයි කියා. ශ්‍රී ක්‍රිෂ්ණ එතැනට පැමිණ කියන්නේ ඔබගේ හස්තිනාපුර පක්ෂපාතිත්වය සහ සත්‍යවාදීභාවය කරණ කොට ගෙන ඔබ සදානුස්මරණීය වන්නේ යැයි කියා යි. එසේ ම සෑම යුගයකම සිටින මානවයන් ඔබට ආචාර කරන බව ද ඔහු කියා සිටිනවා. මහාභාරත මේ ටෙලි වෘත්තාන්තය නරඹන රසිකයන් වන අපේ වන්දනය ද දේශ භේදයකින් තොර ව ගංගාපුත්‍ර භීෂ්මයනට හිමි වීමෙන් සනාථ වන්නේ ඒ සත්‍යය යි.
ගංගාපුත්‍ර භීෂ්ම උදෙසා කාලචක්‍රය පවසන වචනවලින් හැඳින්විය හැකි ශ්‍රේෂ්ඨ මානවයන් බිහි කිරීම සඳහා ඔබට - අපට කළ හැකි දෙය වන්නේ ඒ සඳහා අපගේ මාධ්‍යයන් භාවිතයට ගැනීම යි. භීෂ්ම යනු ඉතා කලාතුරකින් බිහි වන චරිතයක්. කාලචක්‍රය, භාරතය අමතා කියන්නේ මෙවන් මිනිසකු සිය බිම ජනිත කරවීමට සමත් වීම නිසා ම ඇය ගෞරවයට පත් වන බව යි. එසේ ම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමට වචන අසමත් බව යි.
Great
men like him are rare. India, you are great that, a great man such as Bhishma
was born here. Words fail before his greatness.
අපි දැන් මේ වෘත්තාන්තයේ 80 වන කථාංගය වෙත යමු. මේ කොටසේ දී තමයි අපට භීෂ්මගෙන් පසුව සෙන්පති බවට පත් වන ද්‍රෝණාචාර්ය අතිප්‍රබල ව සටන් කරන ආකාරය දැකගැන්මට ලැබෙන්නේ. දුර්යෝධනගේ ඉල්ලීම පරිදි ඔහුට අවශ්‍ය වන්නේ පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර ජීවග්‍රාහයෙන් අල්වා ගෙන මේ මහා සංග්‍රාමය අවසන් කිරීමට යි. මේ බව චරපුරුෂයන්ගේ මාර්ගයෙන් දැන ගන්නා පාණ්ඩව පක්ෂය, වෙනදාටත් වඩා සිය නායකයා රැකීම කෙරෙහි සාවධාන වෙනවා. ද්‍රෝණ මහා සේනා සංහාරයක නිරත වන විට යුධිෂ්ඨිර පවසන්නේ සිය සොහොයුරනට කියන්නේ තමා ළඟ රැඳී නොසිට සටන් කරන ලෙස යි. එහෙත් ඒ ගැන නොසිතන්න යි කියන භිම සහ අර්ජුන සිය දෙටු සොහොයුරා අතහැර යාමට කැමති වන්නේ ම නැහැ. මේ අවස්ථාවේ තමා ගැන බලනු වෙනුවට ප්‍රතිපක්ෂය සමග සටන් කරන්න යන නියෝගය ද යුධිෂ්ඨිර දැඩි ව කරනවා. මේ මොහොතේ නායකයා වශයෙන් ඔහු කරන ප්‍රකාශය ඉතා වැදගත්. එය ඇතැම් විට රට වෙනුවෙන් නොව සිය බලාධිපත්‍යය උදෙසා සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙබළුන් ඉදිරියට යවන ලොව සියලු රාජ්‍ය පාලකයන් විසින් ගැඹුරින් ම මෙනෙහි කළ යුතු පණිවිඩයක්.
“මා ඒ ගැන නොසිතන්නේ කෙසේ ද? රජුගේ යුතුකම නොවේ ද සෙබළුන් රැකීම. මේ සෙබළුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. ඔවුන් අපේ ම කොටසක්. ඔවුන්ගේ දේහ ද අපගේ දේහ මෙන් ම ගෞරවනීය යි. අපි සටන් කරන්නේ අපේ අයිතීන් වෙනුවෙනු යි. එහෙත් ඔවුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. මා ළඟ රැඳී නොසිට මේ ඍෂි ගුරුවරයා සමග සටන් කරන්න. ඔබට ඔබගේ ගුරුවරයා සමග සටන් කිරීමට ධෛර්යයක් නැත්නම් පසෙකට වන්න. මම ඔහු සමග සටන් කරන්නම්.”
සටනින් යුධිෂ්ඨිර නිරායුධ කළත් සිතූ පරිදි ද්‍රෝණට ඔහු ජීවග්‍රාහයෙන් ගැන්මට හැකි වන්නේ නැහැ. ඒ යුධිෂ්ඨිර තමා වෙතින් ඉවතට යැවූ අර්ජුන අන්‍යයන් හා සටන් කොට ඔවුන් සියලු දෙනා පරාජය කොට ඒ තීරණාත්මක නිමේෂයේ පැමිණ සිය ගුරු ද්‍රෝණ පරදවන නිසයි. ඒ මොහොතේ හිරු බැස යාම නිසා සටන අවසන් වෙනවා. එදින සිදුවූ ඒ බලවත් සංග්‍රාමයෙන් පසු රාත්‍රියේ ද්‍රෝණාචාර්ය ගංගාපුත්‍ර භීෂ්ම සැතපී සිටින තැනට යනවා. ඔහුට සිය ආචාරය පුද කරන ද්‍රෝණ පවසන්නේ සිය ජීවිත කාලය තුළ තමා දුටු අතිපරාර්ථකාමී නිෂ්කාමී පුද්ගලයා ගංගාපුත්‍ර භීෂ්ම බව යි. ද්‍රෝණට මේ මොහොතේ සිය ජීවිතයේ අවිනිශ්චිතභාවයත් දැනෙනවා. ඔහු පවසන්නේ ඔබට පෙර මට මෙලොවින් නික්ම යාමට සිදු විය හැකි බව යි. එහෙයින් සිය අවසන් ආචාරය පිළිගන්නා මෙන් ඔහු භීෂ්මගෙන් ඉල්ලා සිටිනවා. මේ විශිෂ්ටයන් දෙදෙනකුගේ අවසන් සමු ගැනීම යි. 80 වැනි කථාංගය ගැන මා අදහස් දැක්වීම නවත්වනවා ද්‍රෝණාචාර්යයන් ගංගාපුත්‍ර භීෂ්ම අමතා කළ ඒ අනුවේදනීය ප්‍රකාශයෙන්.
̎
O Bhishma! I must leave before you. So accept my last salute."
මේ ටෙලි වෘත්තාන්තයේ 81 කථාංගය පටන් ගන්නේ කුරු කෙත රාත්‍රීන් අඳුරු යි යන ප්‍රකාශයෙන්. ඛේදවාචකවලට මුහුණ දෙන මානවයන් වෙත එළඹෙන්නේ අඳුරු රාත්‍රීන් තමයි. නොබෝදා සිදුවූ ගංවතුර නායයාම්වලින් සිදුවූ ජීවිත හානි විපත් අද්දුටු හදවත්වලින් සතුට පලාගොස් ඔවුන්ගේ හදවත් අඳුර ස්පර්ශ කිරීම ස්වාභාවික යි. අඳුර ඇති තැනට ආලෝකය ආදේශ කිරීමේ යුග මෙහෙවරින් කලාකරුවන් වන ඔබට කිසිසේත් ම මිදෙන්නට බැහැ. ඔබ කිසිවෙක් ඒ මෙහෙවර අමතක නොකරන බව ද මා දන්නවා. ඒ නිසයි එබඳු හෘදය සංවේදී මානව ප්‍රජාවක් අබිමුව අර්ථවාහී මෙන් ම හෘදයංගම නිර්මාණයක් ගැන කතා කරද්දී මා වඩාත් හැඟුම්බර වන්නේ. කලාව තුළින් උකහා ගෙන අප බෙදා ගන්නා මේ හැඟුම් නිර්මාණකරුවන් වන ඔබ වෙතින් ප්‍රබලාකාරයෙන් ප්‍රකාශයට පත් වන්නේ ය යන විශ්වාසය නිසා හදවතේ අතිමහත් සතුටක් ද උපදිනවා.
ඛේදවාචකයක් වේවා වෙන යම් හේතුවක් වේවා නිසා හෝ වේවා මියගිය අය භෞතික ව සුවපත් කිරීම සම්බන්ධයෙන් අපට කිසිවක් කරන්නට බැහැ. ඒ දැන් ඔවුන් ඒවා ලද හැකි තැනක නොසිටින නිස යි. ඔබේ ආගමික විශ්වාසයනට අනුව ඒ අය සම්බන්ධයෙන් යම් යම් පුණ්‍ය චාරිත්‍ර සිදු කළ හැකි යි. එහෙත් අපේ වැඩි අවධානය යොමු විය යුත්තේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු ව තමා සතු සියල්ල අහිමි වී ගොස් ශෝකාතුර ව ඉන්නා ජීවත් ව සිටින අය සුවපත් කිරීම ගැන යි; ජීවත් කරවීම ගැන යි. මේ කථාංගයේ එන විදුර් නම් ප්‍රඥාවන්තයා ධ්‍රැතරාෂ්ට්‍ර රජුට කරන පහත සඳහන් ප්‍රකාශය අපට වැදගත් වන්නේ ඒ අනුව යි.
̎
Those who are dead are dead, but at least let the others to live."
ධ්‍රැතරාෂ්ට, විදුර්ට ඒ මොහොතේ වත් ඇහුම්කන් දුන්නා නම් අනාගත මරණ සහ විපත් වළක්වා ගත හැකි ව තිබුණා.
මෙම කථාංගයේ දී ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන යුක්තිධර රණවිරු අර්ජුනපුත්‍ර අභිමන්‍යු මහා රණවිරුවන් ලෙස විරුදාවලි ලබා සිටි බොහෝ යුද වීරයන් පරාජය කරනවා. අවසන දුර්යෝධනගේ අණින් ඒ පරාජිතයන් එක් වී තනි අභිමන්‍යුට වට කොට පහර දෙනවා. මෙය ඔබ නියෝජනය කරන කලා ලෝකයේත් සිදු වන දෙයක්. වරදක් දුටු විට හුදෙකලාව හෝ සාමූහික ව හෝ එයට එරෙහි වීම විවේචනය කිරීම වරදක් නෙමෙයි. එහෙත් වරද ඇත්තේ සැබවින් ම නිර්මාණශීලී දෙයක් සමාජගත කළ මිනිසකුට හෝ ගැහැනියකට ඒ නිර්මාණශීලීත්වය නැති අය එක් වී පහර දීම යි. මරණීය තුවාල ලද අභිමන්‍යු ඒ සාමූහික පහර දීමට සම්බන්ධ නොවූ මුත් සෙන්පති වශයෙන් එය වැළැක්වීමට කිසිවක් නොකොට බලා සිටි ද්‍රෝණාචාර්යගෙන් වේදනාත්මක ව කෑ ගසා අසන්නේ මේ යුද්ධයක ආචාර ධර්ම රකින ආකාරය ද කියා යි. ගංගාපුත්‍ර භීෂ්ම ඉදිරිපත් කළ යුද සම්මුතියට අනුව කෙනෙක් එක් අයෙකු සමග සටන් කරද්දී තවත් අය ඔහුට විරුද්ධ ව එන්නේ කෙසේ ද කියා යි. අභීත රණවිරුවන් යුද ආචාර ධර්ම උල්ලංඝනය නොකරන බව කියන අභිමන්‍යු පවසන්නේ වංචනිකයන් නොවී තමා සමග වෙන වෙන ම ද්වන්ද්ව සටනකට එන ලෙස යි. එහෙත් එය නොතකා ඔබ සියලු දෙනා එක් ව සටන් කළත් තමා ස්ථිර වශයෙන් ම සටන් කරන බව කියන අභිමන්‍යු ප්‍රකාශ කරන්නේ ඉතිහාසය කෛරාටිකයන්ගේ නාමාවලියට නුඹලාගේ නම් ඇතුළත් වනු දැකීමට තමා අසතුටු බව යි.
කලාවේ නාමයෙන් කලාව නොවන දෙය කරන, විචාරය කළ යුතු තැනට අවිචාරය ආදේශ කරන කාටත් අනාගත ඉතිහාසය උරුම කොට දෙන්නේ ඒ කෛරාටිකයන්ගේ නාමාවලියේ තැනක් මිස වෙනත් තැනක් නම් නෙමෙයි.
දැන් අපි සංග්‍රාමභූමියේ දී මරණීය තුවාල ලබා මරණය අබියස හිඳ බ්‍රාහ්මණවංශික භරද්වාජපුත්‍ර ද්‍රෝණාචාර්ය දෙස බලා අභිමන්‍යු නම් අභීත යෞවන රණකාමියා කළ ඒ ප්‍රබල ප්‍රකාශය දැක ගනිමු; විඳ ගනිමු; ඊට සාවධාන වෙමු.
̎
O Brahmin! O son of Bharadavaj. I am Abhimanyu, son of your disciple Arjun. I
want to ask you. Have you forgotten the rules of war made by Gangaputra Bhishma?
Wasn’t there a rule that only one warrior is supposed to fight another? Brave
warriors don’t search for escape routes. If you are not cowards duel with me.
Sage,
I too am Lord Krishna’s deciple. Don’t think I can’t fight you together-I will
fight. I will surely fight. I don’t want history to know you as cowards."
83 කථාරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ එදින හිරු පවා සිදුකළ ඛේදවාචකය ගැන කම්පා වන බව යි. ස්වාභාවිකව ඛේදවාචක සිදු විය හැකි යි. එහෙත් බරපතල දෙය වන්නේ සිතා මතා ඛේදවාචක සිදු කිරීම යි. සිනමාකරුවන් වන ඔබට ඔබේ ජීවිත කාලය තුළ නොයෙකුත් ඛේදවාචක දැකීමට සිදු වේවි. එහෙත් නොබෝදා අපට අහිමි වී ගිය පිරවි නම් සුවිශිෂ්ට මලයාලම් සිනමාවේදී සාජි එන්. කරූන් කීවා සේ ඔබේ වගකීම වන්නේ ඛේදවාචක සිදු නොවන සමාජයක් නිර්මාණය කිරීම යි.
අර්ජුන පැමිණ සිය පුතු ගැන විමසන විට සියලුදෙනා ශෝකාතුර ව බලා සිටිනවා විනා ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. අනතුරුව ඔහු සිය දෙටු සොයුරු යුධිෂ්ඨිරගෙන් අසන්නේ සිය පුත් අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ඇයි ද කියා යි. එයට ද කිසිවෙක් පිළිතුරක් දෙන්නේ නැහැ. එහෙත් හින්දු ආගමික සම්ප්‍රදායට අනුගත ව නම් ඊට දීමට පිළිතුරක් තිබෙනවා. ඒ අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ස්වර්ගයේ අසුනක් ඔහුට හිමි වූ නිසා බව යි.
මේ අවස්ථාවේ හඬා වැලපෙන අභිමන්‍යුගේ බිරිඳ උත්තරා වෙත යන ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ නැගිට නොහඬා මහා සත්‍ය රණකාමියකුගේ බිරිඳ ලෙස ඔහුට සමු දෙන ලෙස යි. මෙහි දී ඔහු අන් සියලු රණකාමීනට ආදර්ශයක් බවත් සෑම ජීවිතයකට ම අදාළ ඒකාන්ත සත්‍යය මරණය බවත් ක්‍රිෂ්ණ කියා සිටිනවා. එහෙත් මෙබඳු අභීත මරණ අතිදුර්ලභ ය යන කරුණ ඔහු අවධාරණ කරනවා. එසේ ම ලොව සිටින සියලු රණවිරුවන් තමාගේ ස්ථානය අභිමන්‍යුගේ ස්ථානය සමග හුවමාරු කොට ගැන්මට සතුටු බව ද ක්‍රිෂ්ණ අභිමානයෙන් කියා සිටිනවා.
අනතුරුව අපට දැක ගැන්මට ලැබෙන්නේ ඔහු ඝාතනය කළ ප්‍රතිවාදීන් ද පැමිණ එම දේහය මත මල් විසුරුවමින් ප්‍රණාමය පළ කරන ආකාරය යි. මේ අවස්ථාවේ එතැනට එන අභිමන්‍යුගේ මරණය සිදුවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ ජයද්‍රථ දකින අර්ජුන කරන්නේ පහත සඳහන් ප්‍රතිඥාව යි.
“මහදෙවියන්ගේ නාමයෙන් දිවුරා කියන්නේ හෙට හිරු බැස යාමට පෙර මා ජයද්‍රථ මරා දමන බව යි. ජයද්‍රථ දැනගනු, නුඹ පසුදින හිරු නොදකින බව. මට මෙය කළ නොහැකි වුවහොත් මම දිවි නසා ගනිමි.”
අර්ජුනගේ මේ ප්‍රකාශය නිසා බලවත් යුදකාමියකු වුවත් ජයද්‍රථ වික්ෂිප්ත වෙනවා. ඔහු ද්‍රෝණාචාර්ය හමු වී අසන්නේ ඔබ අර්ජුනටත් මටත් එකට අවි සිප් උගන්වා ඇති මුත් ඔහු ඔබගේ දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් හඳුන්වන්නේ ඇයි ද කියා යි. එයට පිළිතුරු දෙමින් ද්‍රෝණාචාර්ය පවසන්නේ සිය දක්ෂතම ශිෂ්‍යයා බවට තමා ඔහු පත් නොකළ බව යි. ඔබටත් ඔහුටත් කියා දුන්නේ එකම අවි සිප් වුවත් අර්ජුන ඉන් සෑහීමට පත් නොවී තමාගේ ඉගැන්වීම් පදනම වශයෙන් ගෙන කටයුතු කළ බව යි. අපි දැන් ද්‍රෝණාචාර්ය මුවින් ම එවදන් අසමු.
̎
I have not made him my best pupil. I taught you both the same things. But he
was not satisfied. He used my teaching as a foundation."
අද්‍යතන සිනමාවේදීන් වන ඔබ කළ යුත්තේ, ඔබට පෙර සිටි ඔබ ගුරුවරුන් වශයෙන් සලකන පූර්වගාමී සිනමාවේදීන්ගෙන් උගත් දෙය පදනමක් වශයෙන් ගෙන ඉන් ඔබ්බට ගමන් කිරීම යි.
යුද්ධය වයසක් හෝ පරම්පරාවක් ගැන නොතකන බව කියන කාලචක්‍ර ප්‍රකාශයකින් මෙහි 84 කථාංගය ආරම්භ වෙනවා. මේ යුගයේ සෑම යුදකාමියකුගේම හදවතේ ගිනිදැල්ලක් දැල්වෙන බවත් කවර පැත්තක් වුව නියෝජනය කරන ඒ රණවිරුවන්ගේ මවුවරුන්ගේ හදවත්වල දැල්වෙන ගින්න බලවත් බවත් කාලචක්‍රය කියනවා. මේ කිසිදු මවක වෙත නින්ද ළඟා වන්නේ නැහැ. යුද වදින දෙපාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල රණකාමීන්ගේ මවුවරුන් වන ගාන්ධාරී සහ කුන්තී වෙතින් ප්‍රකාශයට පත් වන්නේ ඒ සමස්ත මවුවරුන්ගේ අසීමිත වේදනාව යි. මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ 1989 වර්ෂයේ දී ප්‍රදීපා ලුම්බිනී ද සිල්වා කිවිඳියගේ එක් කවියක්.
බියකරු සිහින පෙනුණේ නැහැ මට නරක
පුතුගේ සොහොන ඉඳි කළෙ කවුරු ද රැයක
දැනුණා මල් සුවඳ නිසසල වූ කයක
ලෝකය මොට ද නැති කළ මට මගෙ මැණික
මේ අතර අර්ජුන, ගංගාපුත්‍ර භීෂ්ම සැතපෙන තැනට ගොස් පවසන්නේ සිය පුත් අභිමන්‍යු යුද්ධයේ දී ඝාතනය කරන ලද බව යි. ඒ මොහොතේ භීෂ්ම මහත් සංවේගයෙන් අසන්නේ මේ යුද්ධය සිවුවැනි පරම්පරාවත් සිය ග්‍රහණයට ගත්තා ද කියායි. සිය නෙත නැඟි කඳුළු පිසලන්නැයි අර්ජුනට කියන භීෂ්ම වටකොට පහරදී නිරායුධ ව වැටී සිටින අභිමන්‍යු මරාදැමූවන් රණකාමීන් වශයෙන් හැඳින්වීමටවත් නුසුදුසු බව දැඩි ව කියා සිටිනවා. ඔවුන් කෛරාටිකයන් ලෙස හඳුන්වන භීෂ්ම මේ වූකලී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකැයි පවසනවා. එයට මූලික වශයෙන් වගකිව යුතු ජයද්‍රථ අමතක නොකරන්නැයි ද ඔහු අර්ජුනට ප්‍රකාශ කරනවා.
මේ කථාවේ 85 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, ජයද්‍රථ සහ අර්ජුන යන දෙදෙනා ම හිරු දෙස බලා සිටින බව. එහෙත් ඒ බලන අරමුණු එකිනෙකට වෙනස්. ජයද්‍රථට අවශ්‍ය වන්නේ හිරු බැස යනු දැකීමට යි. මන්ද ඔහුගේ ජීවිතය රැකෙන්නේ හිරු බැස ගියහොත් පමණක් වන නිස යි. අර්ජුනට අවශ්‍ය හිරු කිරණ මහපොළොවට වැටීම නතර වීමට පෙර ජයද්‍රථ මරා දැමීමට යි. එසේ නොකළ හොත් සිය දිවි නසා ගැනීමට ඔහු පිළිණ දී තිබෙනවා. සිනමාකරුවෙක් එකම භෞතික වස්තුවක් අර්ථ සම්පන්න ලෙස සිනමාවට යොදා ගත් එක් තැනක් මේ. මෙබඳු තැන් රැසක් මේ ටෙලි වෘත්තාන්තයේ දෘශ්‍යමාන යි.
භීම-හිඩිම්බාපුත්‍ර ඝටෝත්කච සංග්‍රාමාවතීර්ණ ව සාහසික ලෙස සේනා සංහාරයේ යෙදෙනු අපට දැකගැන්මට ලැබෙන්නේ 86 කථාංගයේ දී යි. කෙනෙකුගේ වීරත්වය ගැන කීමේ දී ඔහුට ජන්මය ලබා දුන් මවගේ වීරත්වය ගැන විශේෂයෙන් සඳහන් කරන්නට මහාභාරතය අමතක කරන්නේ නැහැ. අභීත පුතෙකු ඉපදිය හැක්කේ අභීත මවකට ය යනුවෙන් වන ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රකාශය ඊට සාක්ෂි දරනවා. එසේ ම කෙනෙකු බ්‍රාහ්මණ හෝ ක්ෂත්‍රිය වන්නේ උපතින් නොවේ ය යන ප්‍රකාශය ද ඔහු කරන්නේ ඝටෝත්කච සිය පියා ක්ෂත්‍රිය වුවත් තමා රාක්ෂස මවකගේ කුස පිළිසිඳි පුතකු බව කී නිස යි.
̎
A brave son can be born to a brave mother. No one is a brahmin or warrior by
birth."
ඕනෑම කෙනෙකුට මේ ලෝකයට පැමිණීමට සහ ඉන් සමුගෙන යාමට මොහොතක් එළඹෙනවා. මේ කථාංගය අවසානයේ දී අපට දැකගැන්මට ලැබෙන්නේ අංගරාජ් කර්ණ අතින් ඝටෝත්කච මරණයට පත්වන ආකාරය යි. ඒ බව සියලු දෙනාට කලින් දැන සිටින්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු තමාට වන්දනය කළ ඝටෝත්කචට පවසන්නේ ඔබ නිවැරදි මොහොතේ පැමිණි බව යි. ඔබට භාරතය සහ එහි රණකාමීන් සදා ගෞරවය ද පළ කරන බව යි. මේ ක්‍රිෂ්ණ නොකියා කියන්නේ ඝටෝත්කචගේ මරණය සිදු වන බව නේද?
̎ There is an appropriate time for coming and going.
You have come at the right time. You will always be respected in India. Warriors
will salute you."
මේ කතාවේ එක් තැනෙක ගාන්ධාරී සහ කුන්තී ගංගාපුත්‍ර ශර යහනක සැතපී සිටින තැනට ගොස් කතා කරන දර්ශනයක් දැකිය හැකි යි. එතැන දී ගාන්ධාරී පවසන්නේ තමාගේ කඳුළුත් සිය කඳුළුත් වැටෙන්නේ සිය පුතුන් උදෙසා පමණක් නොවන බව යි. මේ සටන් බිම ඇද වැටෙන සියලු දේහ තව කොතෙක් කලක් සිය මාතෘත්වයට දරාගත හැකි වේ ද කියා යි ඇය ප්‍රශ්න කරන්නේ. ගාන්ධාරී කියන්නේ සෑම මවකගේ ම ඇසින් වැටෙන කඳුළු සමාන බව යි.
̎ I weep and or Kunti does the tear will be the same."
ගාන්ධාරී, ගංගාපුත්‍ර භීෂ්මයන් අබියස මේ ප්‍රකාශය තෙවරක් කරනවා. මේ දර්ශනය මේ වචන අසද්දී මට සිහිපත් වූයේ එකම පෙදෙසක ජීවත් ව සිටින පිරිසක් අතර දෙකඩ වීමක් ඇති වූ විට ඒ දෙපිරිස ම අමතා සමන් සිත්තරා කළ ප්‍රකාශයක්.
“අපි කාටත් තියෙන්නේ දුකකදී එක විදිහට තෙත් වන කඳුළු එන ඇස්.̎
සිනමාවේදීන් ලෙස ඒ ආදරණීය කඳුළ - දයාවෙන් තෙත් වන හදවත, ඔබේ සිනමා සිත්තම ඔස්සේ සමාජගත කරන්න.
මගේ ජීවිකාව-මගේ ජීවිතය අන් සියලු දෙනාගේ ජීවන චක්‍රය සමග බැඳී පවතින්නේ ය යන අදහස දෙන පරපටිබද්ධා මේ ජීවිකා යන බුද්ධ භාෂිතය සිහිපත් කොට දෙන ප්‍රකාශ ද අපට මහාභාරතයෙන් හමු වෙනවා. අප සියලු දෙනා එකම දම්වැලක කොටස් ය යනුවෙන් කුන්තී කරන ප්‍රකාශය ඉන් එකක්.
දැන් අපි මේ ටෙලි වෘත්තාන්තයේ 87 වන කොටසට යමු. මට එහි වඩාත් ම දැනුණු තැන වන්නේ බ්‍රහ්ම - ද්‍රෝණ සංවාදය යි. මේ සංග්‍රාමයේ දී සාහසික ව සටන් කරන ද්‍රෝණාචාර්ය, අවසානයේ සේනා සංහාරය උදෙසා දිව්‍යායුධ ද අතට ගන්නවා. මේ අවස්ථාවේ පෙනී සිටින ඉන්ද්‍ර දෙවියන් පවසන්නේ දිව්‍යායුධ ඇත්තේ ජීවිත විනාශය සඳහා නොව ධර්මය සුරැකීම සඳහා බව යි. ඒ මොහොතේ ම ද්‍රෝණ හමුවේ පෙනී සිටින මහාබ්‍රහ්ම ප්‍රකාශ කරන්නේ ගුරුවරයකු වන ඔබගේ ක්‍රියාව වන්නේ ඥානය ප්‍රදානය කිරීම මිස යුද කිරීම නොවන බව යි. ඒ ප්‍රකාශය දැකීමත් සමග මට සිහිපත් වන්නේ සමන් සිත්තරාගේ ප්‍රකාශයක්.
මේ සභාවේ එක් අසුනක හිඳ සිටින මගේ ආදරණීය ඇදුරුතුමනි, ඔබේ ආදරණීය සොහොයුරා - අපගේ සිරුරු නොව හදවත් ස්පර්ශ කළ ඒ දයාබර සෞන්දර්යවේදියා වරෙක කළ ප්‍රකාශයක් මෙතනදී සාරාංශ කොට දක්වන්නට මට ඉඩ දෙන්න. මෙය අන්තර්ගත වන්නේ රාමායණයාත්‍රා ග්‍රන්ථයේ පූර්විකාවේ යි.
සමන් සිත්තරා පවසන අන්දමට සමාජයක් යහපත් කිරීම සඳහා - පවිත්‍ර කිරීම සඳහා මානවයනට දෙයාකාර ක්‍රියාවලියක නිරත විය හැකි යි. ඉන් එකක් නම් සමාජයක් වෙත අයහපත් - අශුද්ධ දෙය කවුරුන් හෝ ගෙනැවිත් තබන විට ඒවා බැහැර කිරීම යි. එහෙත් ඒ සමාජ කුණු ඉවත් කිරීමට යන විට ඒවාට අයිතිවාසිකම් කියන අය කුණු ඉවත් කරන අයට විරුද්ධ ව නැගී සිටිනවා. ඒ ‘සංග්‍රාමිකයනට’ කුණු අයිතිකරුවන්ගේ තාඩන පීඩනවලට ලක් වීමට ද සිදු විය හැකි යි. කුමන දුෂ්කරතා පැමිණියත් සමාජයකට ඒ කුණු ඉවත් කරන පිරිසක් ද අවශ්‍ය යි.
සමන් සිත්තරා පවසන අනිත් මෙහෙවර තමයි, මේ කුණු ඇති සමාජය වෙතට යහපත් - පිවිතුරු දෙය ගෙනැවිත් තැබීම. ඔහු කියන්නේ සිංහල වේවා, පාලි වේවා, සංස්කෘත වේවා, ඉංග්‍රීසි වේවා වෙනත් භාෂා සාහිත්‍යයක් වේවා හදාළ අයට මේ මෙහෙවර එනම් ‘හංස මෙහෙවර’ සිදු කළ හැකි යි. තමා කියවූ සාහිත්‍ය කෘතිවලින් සමාජය අර්ථවත් කරවන සුන්දර කරවන දේ උකහාගෙන ඔවුනට ඒවා සමාජගත කළ හැකි යි. මෙය ගැටුමකින් තොර කාර්යයක්. ගැටුම් රුචි නොකරන අය විසින් තෝරා ගත යුතු මාර්ගය එය යි.
සිනමාවේදීන් වන ඔබ සියලු දෙනාගේ අවධානය ද සමන් සිත්තරාගේ ඒ හෘදයසංවේදී ප්‍රකාශයට යොමු වේවා යි මම ප්‍රාර්ථනය කරනවා.
ආචාරධර්ම උල්ලංඝනය කොට පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න, සිය පුතු මියගියේ යැයි පාණ්ඩවයන් විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය ප්‍රචාරය අසා අවි පසෙකට කොට ධ්‍යානයෝගී ව සිටින කෞරව සේනාපති ද්‍රෝණ මරා දමන දර්ශනය අපට දැකිය හැක්කේ ද මේ කථාංගයේ යි. අනතුරුව දුර්යෝධන විසින් අංගරාජ් කර්ණ කෞරව සේනාපති පදවියට පත් කරන බව කියැවෙන්නේ ද මේ කොටසේ දී යි.
87 කථාංගය අවසානයේ එන ගීතෝක්තියෙන් පැවසෙන්නේ සියලු වටිනාකම් අහිමි වී ගිය, අන්ධකාර රාත්‍රීන්ගෙන් ගහන, පරමාදර්ශී කිසිදු වචනයකට සවන් නොදෙන යුගයක හිඳ වුව ප්‍රාර්ථනා කළයුත්තේ නව පරමාදර්ශ සහිත - නව ලොවක - නව යුගයක ආගමනය බව යි. එවන් යුගයක් උදෙසා කටයුතු කරන ගමනේ පෙර ගමන්කරුවන් වන ඔබ අබිමුව මම මේ කථාංගයේ සමාප්ති ගීතෝක්තිය උපුටා දක්වන්නට කැමතියි.
All values have been lost, enveloped in a dark night.
None is willing to listen to any words
ideals.
Lets welcome the new world with
new ideals.
Lets welcome it
- Lets welcome it."
මහාභාරත ටෙලි වෘත්තාන්තයේ අපට කතා කිරීමට ඉතුරුව ඇත්තේ තවත් කථාංග හතක් පමණයි. දැන් අපි එහි 88 වැන්නට යමු. එහි ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ මේ මහා යුද්ධය අනාවරණය කරන්නේ මහාභාරතය පමණක් නොව සමස්ත ලෝකය ම බව යි. ලොව කොතැනක හෝ ඇතිවන කවර හෝ යුද්ධයක් නිසා ජීවත් වන සිටින එනම් සජීවී මිනිසුන් අජීවී මෘතදේහ බවට පත්වීමේ ඛේදවාදකයත් ඒ නිසා ජීවත් ව සිටින අය තුළ ඇති වන අසීමිත වේදනාවත් මින් ප්‍රකාශිත යි. යුද්ධ කරණ කොට ගෙන සමාජීය සදාචාරය බිඳ වැටී ජීවිත යුද වෙළඳ පොළේ අවම වටිනාකම ඇති දේ බවට පත් ව තිබීම ගැන කාලචක්‍රය කතා කරන්නේ සංවේගයෙන්. මේ කථාංගයේ දී සාධාරණ යුක්තිසහගත අවංක අව්‍යාජ මිනිසකුට අසත් පක්ෂය නියෝජනය කිරීමට සිදුවීමේ ඛේදවාචකය ගැන කීමට ද සිනමාකරුවන් සාවධාන වී තිබෙනවා. ඒ අංගරාජ් කර්ණ යි. අර්ජුනගේ රථාචාර්ය වශයෙන් සිටින ශ්‍රී ක්‍රිෂ්ණ ඔහු නිබඳ ශක්තිමත් කරද්දී කර්ණ තෝරාගත් රථාචාර්යවරයා වන මද්‍රී රජු කරන්නේ ප්‍රතිවාදීන්ගේ ශක්තීන් හැකිතාක් වර්ණනය කරමින් කර්ණ දුර්වල කිරීම යි. එහෙත් එදින අර්ජුන සහ කර්ණ අතර සිදු වන ද්වන්ද්ව සටනින් ජය ලබන්නේ කර්ණ යි. අර්ජුනගේ ජීවිතය ගැලවෙන්නේ ඒ මොහොතේ හිරු බැස ගිය බැවින් යුද ආචාර ධර්ම මෙනෙහි කොට කර්ණ එතැනින් නික්ම ගිය නිසයි. මේ දවසේ ම තමයි භීම විසින් දරුණු සටනකින් පසු කුරිරු ලෙස දුශ්ශාසන ඝාතනය කිරීම සිදු වන්නේත්. අනතුරුව කෞරව සේනාපති කර්ණගේ සමීප රූපයක් ප්‍රේක්ෂාභිමුඛ කරමින් සිනමාකරු පවසන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය කියා යි. එහෙයින් මේ උදාර රණකාමියා මුළු ලෝකය ම නිබඳ ගෞරවයෙන් සිහිපත් කරන බව යි. 88 කථාංගය අවසාන වන්නේ මේ අදහස රැගත් ගීතෝක්තියකින්.
̎ When the commander is Karna no rules will be broken.
The bravery of the generous warrior will always be
remembered by the world."
89 කථාංගාරම්භයේ දී කාලචක්‍රය කියන්නේ තමා කාලය නොවී වෙනත් කෙනෙකු වූවා නම් මේ යුද්ධයේ සාක්ෂිකරුවකු වීමට නොයා ඉවතට යන බව යි. එහෙත් ඔහු කාලචක්‍රය යි. ඒ නිසා ඔහුට බල කෙරෙනවා මේ අමිහිරි යුද්ධය අවලෝකනය කරමින් එහි තතු ඇති සැටියෙන් ලොවට කියන්නට. මා තේරුම් ගත් හැටියට සිනමාකරුවන් කාලචක්‍ර සංකල්පය ඉතා සාර්ථක සිනමාරූපී භාවිතයක් කොට සිය නිර්මාණයෙහි ලා යොදා ගත්තේ යුද්ධයේ නිස්සාරත්වය කීමට මිස එහි වීරත්ව වර්ණනා කිරීමට නොවෙයි. මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් අවසානයේ දී ලෝකය උකහා ගත යුතු සදර්ථය එය යි.
ද්‍රෞපදී තමාට වූ අවමානය ගැන බලවත් කෝපයෙන් කතා කරන අවස්ථාවක දී අර්ජුන ඇයට කියන්නේ හස්තිනාපුරය සාගරයක් නම් ඔබ එහි දිය බිඳුවක් පමණක් බව යි. එහෙත් සාගරය පරිපූර්ණත්වයට පත් වීම සඳහා ඒ ජලබිඳුව ද අත්‍යවශ්‍ය යි. සාගරයේ දිය බිඳුවක් වීම නිසා ද්‍රෞපදියගේ අගය අඩු වන්නේ නැහැ. එයම තමයි ඇගේ අගය. අන්න ඒ වගේ සිනමා සාගරයේ ඔබ දිය බිඳුවක් මිස සාගරය නෙමෙයි. ඒ දිය බිඳුව වීම ම තමයි ඔබේ වටිනාකම වන්නේ. ඒ වගෙම කර්ණ ගැන වන ප්‍රකාශයක් ද ඔබගේ ජීවිත සමග සම්බන්ධ කරන්නට සිතෙනවා. කර්ණ ප්‍රසිද්ධ ව සිටින්නේ දේවල් ගැන කතා කරමින් සිටීමට නොව ඒ ඒ දෙය ලෝකයට ප්‍රදානය කිරීමට යි. ඔහු දාන වීර කර්ණ ලෙස ලොව ප්‍රකට වන්නේ තමා නිවැරදි යයි විශ්වාස කරන අරමුණ වෙනුවෙන් ඕනෑම මොහොතක සිය ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සූදානම් නිස යි.
̎ You are not known for talking. You are known for giving."
සිනමාවේදීන් වන ඔබත් ඒ වගෙයි. ඔබ මේ ලෝකයට පැමිණ සිටින්නේ ලෝකයට කලාව ප්‍රදානය කිරීමට මිස ව්‍යාපාරිකයන් වී කලාවෙන් උපයා ගන්නට නොවේ.
මේ කථාංගය අවසන් වන්නේ පසුදින ද්වන්ද්ව සටනෙක දී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් අර්ජුන කර්ණ මරා දමන දර්ශනයකින්. මේ අවස්ථාවේ මිහිකත සිපගෙන සිටින කර්ණගේ සංවේදනීය මුත් උදාර දේහය ප්‍රේක්ෂාභිමුඛ වන විට අපට දැනෙන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය නොවේ ද කියා යි.
දැන් අපි ගමන් කරන්නේ මේ ටෙලි කතාවේ 90 වැන්න වෙතට යි. කාලචක්‍රය මෙහි ආරම්භයේ දී හිරු දෙවි අමතා පවසන්නේ සිය ජීවිතය උදෙසා කිසිවක් ඉල්ලා නොසිටි, තමා නිවැරදි යයි විශ්වාස කළ අරමුණ වෙනුවෙන් තම ජීවිතය ද පරිත්‍යාග කළ සූර්යපුත්‍ර කර්ණට සිය ගෞරවාචාරය පළ කරන බව යි. එතැනට එන අශ්වත්ථාමා, ක්‍රීපාචාර්ය, මද්‍රී සහ ශකුනි යන රණවිරුවන් ද ඔහුගේ නිසල දේහයට ප්‍රණාම දක්වනවා. මේ අවස්ථාවේ ගන්ධාර් නරේශ් ශකුනිගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය මෙන් ම ඒ මොහොතේ ඔහුගේ මුවට නංවන වදන් ප්‍රේක්ෂකයන් වන අපගේ හදවත්වල ගැඹුරු ම තැන ස්පර්ශ කරනවා. ශකුනි පවසන්නේ, මුළු ජීවිත කාලය පුරා ඔබට ගරු නොකළ ගන්ධාර් නරේශ් මේ ශකුනි, අද ඔබට සිය අප්‍රමාණ ගෞරවය පළ කරන බව යි. ඔහු පවසන්නේ ඔබගේ මේ අභීත මරණය ම ඔබ ගෞරවයට පත් කළ බව යි. එක් වරක් නොව දහස් වරක් මේ ශකුනි ඔබට ප්‍රණාම දක්වන බව කියමින් ඔහු කර්ණගේ දේහයට වැඳ ආචාර කරනවා.
̎
Or Radheya, Hey Angaraj Karna, The manner of your death has made me respectful.
O Brave warrior, O Charitable Karna, I Shakuni, the king of Gandhar, salute you
a thousand times."
මේ කොටසේ දී හස්තිනාපුර යුවරාජ් දුර්යෝධනගේ හදවතෙහි සිය කල්‍යාණමිත්‍ර කර්ණ පිළිබඳ ව ඇති ගැඹුරු මිත්‍රත්වය උපරිමාකාරයෙන් නිරූපණය කිරීමට ද සිනමාකරුවන් සමත් වෙනවා. දරුණු ද්වන්ද්ව සටන්වලින් පසු යුධිෂ්ඨිරගෙන් මද්‍රී රජු ද නකුල්ගෙන් ශකුනි ද මැරුම් කන දර්ශන දැක ගන්නට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අනතුරුව සිය දෙටු පුතුගේ මරණය සිදු වූ බව කීමට වේදනාපීඩිත කුන්තී, ගංගාපුත්‍ර භීෂ්ම වෙත යන දර්ශනයත් භීෂ්ම දෑත් ඔසොවා කර්ණ නාමයට වැඳීමත් ප්‍රේක්ෂකයන්ට දැක ගැන්මට ලැබෙනවා. පංච පාණ්වඩයන් ද එතැනට එන අතර තමාගෙන් මැරුම් කා ඇත්තේ සිය දෙටු සොහොයුරා බව ඔවුනට දැන ගැන්මට ලැබෙන්නේ එතැන දී යි. ඔවුන් පළමු ව මහා වික්ෂිප්ත භාවයකටත් අනතුරුව මහා සංවේගයකටත් පත් වෙනවා.
අනතුරුව අප දකින්නේ දුර්යෝධන, සිය මව ගාන්ධාරී සමග කරන සංවාදය යි. මේ වන විට ගත වන්නේ යුද්ධයේ 17 වැනි දිනය යි. දැන්වත් සාම සම්මුතියක් ගැන සිතන්න පුත යයි කියන මව ගන්ධාරීට, දුර්යෝධන පවසන්නේ මා මිත්‍ර කර්ණ මට පෙරළා ලැබෙනවා නම්, සොයුරු දුශ්ශාසනට යළි ජීවිතය ලැබෙනවා නම්, පිතාමහ භීෂ්මයන්ගේ සිරුරෙහි ඇණී ඇති හී ගලවා දැමිය හැකි නම් තමාට සාමයක් ගැන සිතන්නට ඉඩක් තිබූ බව යි. දුර්යෝධන අවධාරණයෙන් පවසන්නේ, සිය ආදරණීය මිත්‍ර කර්ණගේ පක්ෂපාතිත්වයට - සොයුරු දුශ්ශාසනගේ ආදරයට - ගුරු ද්‍රෝණාචාර්යගේ මරණයට - පිතාමහ භීෂ්ම ලද තුවාලවලට තමාට අවමන් කළ නොහැකි බව යි. එහෙයින් සාමයක් ගැන කතා නොකරන්නැ යි ද මගේ මව වන ඔබ කෛරාටිකයකුගේ මව ලෙස ඉතිහාසය සඳහන් කරනු දැකීමට අකමැති බව ද කියන ඔහු යුද්ධය නතර කිරීම ගැන යළි කතා නොකරන්නැයි ද කියනවා.
යුද්ධය නතර කිරීමට හැකියාව තිබූ ශ්‍රී ක්‍රිෂ්ණ එසේ නොකොට පාණ්ඩවයන් යුදයට පෙළඹවීම ගැන ගාන්ධාරී, ක්‍රිෂ්ණත් ඔහුගේ යාදව වංශයත් සහමුලින් වැනසේවා යි කරන ශාපය ඇත්තේ ද මේ කොටසේ යි.
මේ කථාංගය අවසාන වන්නේ කර්ණගේ අවසාන කටයුතු සිදු වන ආකාරය දක්වන දර්ශනවලින්. පංච පාණ්ඩවයන් එතැනට පැමිණ සිය දෙටු සොහොයුරාගේ දේහයට ගිනි දැල්වීමට සැරසෙන විට එයට ඔබ කිසිවකුට අයිතියක් නැතැයි කියා වළක් වන්නේ දුර්යෝධන යි. ඒ අවස්ථාවේ දුර්යෝධන පවසන්නේ තමා මේ ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා බව දැන ගත් බව යි. එහෙත් මෙතැන ඇත්තේ ඔබේ ඒ සොහොයුරාගේ දේහය නොව මගේ ආදරණීය මිත්‍රයාගේ දේහය බව ඔහු කියා සිටිනවා. මේ කුන්තීපුත්‍ර දේහයක් නොව මා මිත්‍ර රාධේයගේ දේහය බව කියන දුර්යෝධන එහෙයින් ඒ දේහය දවාලීමේ අයිතිය ඇත්තේ තමාට බව ද තවදුරටත් කියා සිටිනවා. මේ මොහොතේ සිනමාකරුවන් දුර්යෝධනගේ මුවට නංවන වදන් චරිත නිර්මාණයෙහි ලා ඔවුන් දක්වන විශිෂ්ට කෞශල්‍යයට හොඳ නිදසුනක්.
දුර්යෝධන අර්ජුනගෙන් අසන්නේ ඔබ හී සර එවා මරා දැම්මේ ඔබේ දෙටු සොහොයුරා ද නැත්නම් මගේ ආදරණීය මිත්‍රයා ද යන්න ප්‍රකාශ කරන ලෙස යි. මේ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ කර්ණ දේහය දවාලීමට දුර්යෝධනට ඇති අයිතිය පංච පාණ්ඩවයන් වන ඔබ සියලු දෙනා ඉක්මවා පවත්නා මහා අයිතියක් බව යි. අනතුරුව යුධිෂ්ඨිර අත ඇති ගිනිහුල සිය අතට ගන්නා දුර්යෝධන පවසන්නේ මේ හුදෙකලා වූ මිතුරාගේ ප්‍රණාමය පිළිගන්නා ලෙස යි. මේ මහ පොළොව පවත්නා තෙක් ඔබ කල්‍යාණ මිත්‍රත්වයේ උපරි සංකේතය වශයෙන් විද්‍යමාන බව ඔහු කියා සිටින්නේ කඳුළු පිරි දෙනෙතින් යුතු ව යි. මේ මා සිනමා සිත්තමක මෙතෙක් දුටු හෘදය සංවේදී වදන් සිත්තමක්.
̎
Dear friend, Please accept the respects of your lonely friend.
Dear friend, As long as there´s life on earth you´ll always be a symble of friendship. Blessed are you, Radheya."
91 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය, කර්ණගේ මරණය සිදු වූ අභිත ආකාරය අගය කරමින් ඔහුගේ උපතට අගයක් නොදීම ගැන චෝදනා කරන්නේ පිය සූර්ය දෙවියන්ට සහ මව කුන්තීට යි. පියා කාලය පවත්වා ගෙන යාම පිළිබඳ වන වගකීම තුළ සිර ව නොසිටියා නම්, මව සමාජ සම්මත සීමා ගැන සිතීම ළඟ නතර ව නොසිටියා නම්, කර්ණගේ ජීවිතයේ දිශානතිය වෙනස් විය හැකි ව තිබුණා. කිසිසේත් සිය උපත සිදු වූ ආකාරය ගැන පැහැදිලි ව ම කර්ණ නම් චුදිතයෙක් වන්නේ නැහැ. කාලචක්‍රය පවසන්නේ කිසිදු මව් කුසක් කුලය නොහඳුනන බව යි. ඔහු හිරුගෙන් අසන්නේ ඔබගේ පුත්‍රයාගේ ජීවිතය ප්‍රශ්නාර්ථයක් කළේ ඇයි ද කියා යි. එසේ ම සිය උපතට කර්ණ වගකිව යුතු නැත්නම් ඔහුගේ ඉපදීම ඔහුට දඬුවමක් වූයේ මන්ද කියා කාලචක්‍රය ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නය ම කර්ණ යන නමින් නොව වෙනත් නමකින් වෙනත් ආකෘතියකින් සමාජය අබිමුවට ආ හැකි බව ඔහු පවසනවා. ඔබ මේ නියෝජනය කරන යුගය ද එයින් වෙනස් වන්නේ නැහැ. කර්ණ බඳු දරුවන් පිළිබඳ ව සිනමාවේදීන් වන ඔබ ළඟ ඇති විසඳුම කුමක් ද? මේ ගැනත් ගැඹුරින් ම සිතා බලන්නැයි ඔබට ආයාචනා කරනවා.
ඒ ඒ චරිත හොඳ නරක වශයෙන් මතුපිටින් බෙදීම් ඇති වුවත් ඊට වඩා ගැඹුරකින් අප ජීවිත අවලෝකනය කළ යුතු ය යන පණිවිඩය ද වරෙක මහාභාරතය ගෙන එනවා. දුර්යෝධනගේ දොස් දක්වමින් ධෘෂ්ට්‍රද්‍යුම්න කතා කළ අවස්ථාවක ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ ඔහු සතු ව දහසක් දොස් තිබිය හැකි වුවත් ඔහු රණකාමියකු මිස කෛරාටිකයකු නම් නොවන බව යි. ඔහු මේ සංග්‍රාමයේ දී ජය ලැබුවත් පරාජය ලැබුවත් අභීත රණවිරුවන් නියෝජනය කරන ඔහුට අවමන් නොකළ යුතු බව යි ක්‍රිෂ්ණ කියන්නේ.
මේ වන විට ප්‍රධාන රණකාමීන් අතුරින් දෙපක්ෂයට ම ඉතිරි ව සිටින්නේ නව දෙනෙක් පමණයි. ඒ පාණ්ඩව පිළට පංච පාණ්ඩවයන් ද කෞරව පිළට දුර්යෝධන, ක්‍රීපාචාර්ය, අශ්වත්ථාමා සහ ක්‍රිතවර්මා ද වශයෙන්. මෙයින් පෙනී යන්නේ යුද්ධයකින් පසු ජය සැමරීමට හෝ පරාජය ගැන දුක් වීමට හෝ තරම් ප්‍රමාණවත් පිරිසක් පවා ඉතුරු නොවන බව යි. මේ යුද්ධයක මාර්ගයෙන් මිනිසා යුද නොකරන තැනට කැඳවීමක් නොවේ ද?
මහාභාරතය පවසන්නේ යුද්ධය යනු අවසාන අරමුණ නොවන බව යි. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ සෞඛ්‍ය සම්පන්න දීප්තිමත් නව සමාජයක්. අප ගමන් කළ යුත්තේ සත්‍ය ගවේෂී නව මාවතක් ඔස්සේ යි. සිනමාවේදීන් වන ඔබ ඉදිරියේ ඇත්තේත් ඒ මාවත යි. ඔබ ඒ මාවතේ ගමන් කිරීම යනු සමාජය ද නිවැරදි මාවත වෙත වන කැඳවීමක් වෙනවා.
මේ කොටස අවසාන වන්නේ දුර්යෝධන සහ භීම අතර සිදුවන බිහිසුණු ද්වන්ද්ව සටනකින්. එහි විනිසුරු වන්නේ මේ දෙදෙනාගේ ගදායුධ ශිල්පය පිළිබඳ ආචාර්යවරයා වන බලරාම යි. මේ සිය අවසන් සටන බවත් මින් ජය ලබන පිළට ජයග්‍රහණය හිමි වන බවත් කියමිනු යි, දුර්යෝධන සටනට එන්නේ. මෙහි දී ජයග්‍රහණය දුර්යෝධනගේ පැත්තට බර වන විට ක්‍රිෂ්ණගේ සංඥා කිරීම් අනුව ආචාර ධර්ම උල්ලංඝනය කරමින් භීම, සිය ප්‍රතිවාදියාගේ ඉණෙන් පහළට පහර දී ඔහු පරාජය කරනවා. මේ අවස්ථාවේ මට දැනෙන විදිහට නම් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ යුක්තියේත් ධර්මයේත් සංකේතය වශයෙන් නිරූපිත ක්‍රිෂ්ණ නොව, ඔහු දෙටු සොයුරු බලරාම යි. නුඹ අද සිය ගුරුනට අවමන් කළ බව කියන ඔහු මා නුඹට උගන්වා ඇත්තේ ගදායුදයෙන් ඉණෙන් පහළට පහර නොදිය යුතු ය කියා නොවේ දැයි අසමින්, නුඹගේ මේ ගුරුවරයාගේ තුවාල වූ ගෞරවයට නුඹ සිය ලේවලින් වන්දි ගෙවිය යුතු යයි ප්‍රකාශ කොට සිය ගදායුදය ගෙන භීම මරා දැමීමට ඉදිරියට එනවා. එහෙත් ඉන් සිය සොහොයුරා වළක්වාලන්නේ ක්‍රිෂ්ණ යි. මේ මොහොතේ දුර්යෝධන ගත ව ගිය සංග්‍රාමයේ දී යුද ආචාර ධර්ම උල්ලංඝනය කළ ආකාර සිහිපත් කරමින් ක්‍රිෂ්ණ, භීමගේ ක්‍රියාව සාධාරණීකරණය කරනවා. එසේ ම අසත්‍යය සහ සත්‍යය අතර ඇති වන යුද්ධයේ දී සංග්‍රාමිකයාට ඇත්තේ එකම වන්දනා ගමනක් බවත් එය සත්‍යයේ වන්දනාව බවත් ක්‍රිෂ්ණ ප්‍රකාශ කරනවා.
මේ අවස්ථාවේ නම් මට ඔබ සමග එකග විය නොහැකි බව කියන බලරාම එතනින් නික්ම යන්නේ ජයග්‍රාහී යයි කියන භීමගේ ගුරුවරයා වීම තමාට ලැජ්ජාවක් බවත් පරාජිත දුර්යෝධනගේ ගුරුවරයා වීම තමාට බලවත් අභිමානයක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්. දුර්යෝධන කලින් භීමගෙන් ලද දරුණු පහරවලටත් වඩා දරුණු පහර වන්නේ ගුරුවරයාගේ ඒ වචන යි. මොන අඩුපාඩු තිබුණත් මට නම් චරිතයක් වශයෙන් ද දැනෙන්නේ දුර්යෝධන මිස භීම නෙමෙයි.
දැන් මට ඉදිරියට කතා කිරීමට තිබෙන්නේ මේ ටෙලි වෘත්තාන්තයේ තවත් කොටස් තුනක් පමණ යි. දැන් අපි එහි 92 වැනි කොටසට අපේ අවධානය යොමු කරමු. එහි ආරම්භයේ එන කාලචක්‍ර ප්‍රකාශය අපට සිහිපත් කර දෙන්නේ අද දවසේ අපගේ ආදරණීය දේශයේ ජනතාව නායයාම් නිසා පත් ව සිටින ඛේදවාචකයට යම් ආකාරයක සමානත්වයක් පෙන්වන අතීත ඛේදවාචකයක්. එහි දී කාලචක්‍රය මෙසේ කියනවා.
“මම කවර දිසාවක් දෙස බලම් ද මට මෘත දේහ හැර අන් කිසිවක් දැකිය නොහැකි යි. මේ වූකලී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා යි.”
මහාභාරත යුද්ධයේ දී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා විනාශ කරන්නේ අයුක්තියේ පක්ෂය ලෙස මුද්‍රා තබා ඇති දුර්යෝධනගේ පිරිස පමණක් නොවේ. සංවේගජනක තත්ත්වය වන්නේ යුක්තියේ පක්ෂය නියෝජනය කරන බව කියන පාණ්ඩවයන් ද ඒ ඇගයුම් සහ බන්ධුතා විනාශනයේ කොටස්කරුවන් වීම යි. භීම විසින් අයුක්තිසහගත ලෙස පරාජය කරන ලද දුර්යෝධන මරණීය තුවාල ලැබ මිහිකත මත වැතිර හිඳ කරන පහත සඳහන් ප්‍රකාශය එය සනාථ කරන එක තැනක්. ඔහු බිම වැතිර මේ කතා කරන්නේ චන්ද්‍රයාට යි.
“අහෝ චන්ද්‍රදේව්! ඔබගේ චන්ද්‍ර වංශයේ පාණ්ඩවයන් බඳු කෛරාටිකයන් උපන්නේ කෙසේ ද? ඔබගේ වංශය සදා පැවතුණත් මේ රුධිරයට ඒ සරදම දොවාලිය හැකි ද?”
එතැනට විත් මහත් සංවේගයෙන් වැලපෙන අශ්වත්ථාමා අමතා දුර්යෝධන පවසන්නේ මේ තමාගේ ජීවිතයේ අභිමානවත් අවස්ථාව මේ වේදනාත්මක මොහොත බැවින් නොහඬන ලෙස යි; මෙසේ නොවැලප තමාට සුබ පතන ලෙස යි. දුර්යෝධන ජීවිතයෙන් සමු ගත්නේ ඉතිරි ව සිටින රණවිරුවන් තිදෙනාගෙන් එක් අයකු වන අශ්වත්ථාමා සිය ගතින් ගලා යන ලෙයින් ඔහුගේ නළල මත සලකුණක් තබා සේනාපති වශයෙන් පත් කිරීමෙන් පසු ව යි.
මේ අතර ධ්‍රැතරාෂ්ට්‍ර රජුට, සිය පුතුන් අතර ඉතිරි ව සිටි ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ද මැරුම් කෑ බව දැන ගැන්මට ලැබෙනවා. සංජය, ඔබට පෙනෙනවා ද දැන් මා වෙළාගෙන ඇති බලවත් අඳුර යනුවෙන් ඔහු පැවසූ විට සංජය කියන්නේ එය පෙනෙනු පමණක් නොව තමාට අවබෝධ කොට ගත හැකි ද බව යි. එසේ ම යුද්ධය කිසිදු ප්‍රශ්නයකට විසඳුම ද නොවන බව යි. එයට කළ හැක්කේ විනාශයේ ධ්වජයත් සමග විත් හදවත් සිදුරු කිරීම පමණක් බව යි.
̎
I can see and understand. O king, the truth of this painful moment is that war
not a solution to any problem. It can only pierce the heart like the flags of
destruction."
ධ්‍රැතරාෂ්ට්‍ර රජු අවසානයේ තමාගේ වරද අවබෝධ කර ගන්නවා. ඔහු සිය දරුවන් ආශාවේ විෂත් සමග පෝෂණය කිරීම හස්තිනාපුරයට මෙන් ම සිය දරුවන්ට ද කළ අසාධාරණයක් බව අවසානයේ පසුතැවි තැවී පිළිගන්නවා. කලාකරුවන් ලෙස සමාජය අබිමුව පෙනී සිටින ඇතැම් දෙනා සිතනවා, ආශාවේ විස සිය නිර්මාණය මාර්ගයෙන් සමාජගත කිරීම කළ යුතු ම දෙය යයි කියා. එහෙත් ඔවුන් මේ කාර්යය කරන්නේ විස යන වචනය ඇති තැනට රස යන වචනය ආදේශ කරලයි. බුද්ධ වචනයට සහ බෞද්ධ සම්ප්‍රදායට අනුගත ව නම් අවසානයේ දී ඔවුනට හිමි වන්නේ නිරය යි.
වෛරයේ සහ පළිගැනීමේ ඇති බිහිසුණු බව ප්‍රකට කරමින් නිදා සිටින පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න සහ පාණ්ඩවයන්ගේ පුතුන් පස්දෙනා අශ්වත්ථාමා විසින් මරා දමනු ලබන ආකාරය දැක්වෙන දර්ශන අපට දැක ගැන්මට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අශ්වත්ථාමා මේ බිහිසුණු ක්‍රියා කරන්නේ ධ්‍රැෂ්ටද්‍යුම්න සිය නිරායුධ පියා මරා දැමූ ආකාරය සිහිපත් කරමින්. එහෙත් ආචාර ධර්ම උල්ලංඝනය කිරීම ගැන අශ්වත්ථාමා පසු තැවෙන ආකාරය ද අපට පසුව දකින්නට ලැබෙනවා.
මේ කථාංගය අවසානයේ ඔබ අප කාටත් වැදගත් තවත් ප්‍රකාශයක් දැක ගත හැකි යි. ඒ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු පවසනවා ආලෝකය කිසිදා මරණයට පත් කළ නොහැකි බව. අන්ධකාරය සිතුවත් තමාට ආලෝකය යටපත් කළ හැකි ය කියා එය එසේ සිදු වන්නේ නැහැ.
Light can never die. Darkness feels it can swallow light, but light can not die.
මේ කතාවේ 93 වන කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, මේ කතාව අතීතයට පමණක් අයිති නොවන බව. එය වර්තමානයට මෙන් ම අනාගතයට ද අයිති යි. හරියට ම ඔබගේ නිර්මාණයක් බඳු යි. ඔබ වර්තමානයේ සිට කරන නිර්මාණය ම තමයි, පසුව අතීතයට එකතු වන්නේ. එහි ඇති සාධනීය හෝ අසාධනීයතා අනුව ඉන් අනාගත පරපුර ආභාසයක් ලැබීම හෝ නොලැබීම සිදු විය හැකි යි.
මේ කථාංගයේ එක් තැනක සඳහන් වෙනවා, ධර්මය හදවත් වෙන් කරන බිත්ති ඉඳි නොකරන බව. අන්න ඒ වගේ හොඳ කලා නිර්මාණයක් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති හදන්නේ නැහැ. ලොව කොතැනක හෝ ලියැවෙන සාහිත්‍ය කෘතියකට - සිනමා සිත්තමකට හැකි යි, අප එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති කඩා දැමීමට. විශ්වීය නිර්මාණ වශයෙන් සදා සම්භාවනයට පත් වන්නේ එබඳු නිර්මාණ යි. මෙතන විශිෂ්ට සිනමා නිර්මාණ කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් හිඳගෙන සිටිනවා. ඒ අයට වර්තමාන පරපුරට මග පෙන්විය හැකි යි. මහාභාරතය ජ්‍යෙෂ්ඨයනට කියන්නේ ඔබ හස්තිනාපුරයේ අතීතය වන අතර වර්තමානයට සුබ පැතීම ඔබේ කාර්යය ද වන බව යි.
දැන් මා මගේ දේශනයේ අවසන් කොටස වශයෙන් මහාභාරතයේ අන්තිම කොටස වූ 94 කථාංගය ගැන කතා කරනවා. මෙතන දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ මහාභාරත ටෙලි වෘත්තාන්තය ලෝකය පුරා අතිමහත් ජනාදරයට පත් වීමෙන් පසු මේ සිනමා අධ්‍යක්ෂවරුන් ඊට තවත් කොටස් රාශියක් ද එක් කළ බව යි. එය සුන්දර අර්ථවාහී සමාප්තියක් සලකුණු කළ මහාභාරත ටෙලි වෘත්තාන්තයට කළ අසාධාරණයක් ලෙස යි මට නම් දැනෙන්නේ. කිසියම් සාහිත්‍ය කෘතියක් වේවා - සිනමා කෘතියක් වේවා ජනාදරය දිනාගත් පසු එයට යළි යළිත් කොටස් එකතු කිරීම දැන් විලාසිතාවක් වී තිබෙනවා. රාමායණය ද මේ ඓතිහාසික වරද කළා. අයෝධ්‍යා කාණ්ඩයේ සිය යුද්ධ කාණ්ඩය දක්වා වන කොටස් පහේ සම්පූර්ණ රාමායණ කතාව තියෙනවා. ඊට මුලින් බාල කාණ්ඩය පසුව එක් කිරීම යනු ආරම්භ කළ කතාවකට යළිත් ආරම්භයක් දීමක්. ප්‍රබල අවසානයක් පෙන් වූ යුද්ධ කාණ්ඩය අගට උත්තර කාණ්ඩය නමින් තවත් අවසානයක් ඇති කොටසක් එක් කිරීම අපට දැනෙන්නේ ද ඓතිහාසික වරදක් ලෙස යි.
ඒ කෙසේ වෙතත් 1 සිට 94 දක්වා වන මහාභාරත කථාංග බලන හෝ මහාභාරත සංස්කෘත මූලාශ්‍රය හෝ එහි පරිවර්තන කියවා ඇති පාඨක-ප්‍රේක්ෂක සහෘදයනට ටෙලි සිනමාකරුවන් මහාභාරතයෙන් ඔබ්බට ඒ නිර්මාණය කැඳවා ඇති බව පේනවා. ඒ කාර්යය කළ අය ම නැවත අලුත් කොටස් එකතු කිරීමෙන් කර තිබෙන්නේ බලවත් වරදක්. මෙහිදී සිදු ව ඇත්තේ කලින් විශිෂ්ට දෙයක් කළ අය තමන්ට ම පැරදීම යි. ඔබ කවදා හෝ දවසක මහාභාරතය මූලාශ්‍රය කොට ගනිමින් නිර්මාණයක් කරන්නේ නම් මේ ටෙලි සිනමාකරුවන් ඉන් ඔබ්බට ගියා සේ එය ද ඉක්මවා යන සුවිශිෂ්ට නිර්මාණයක් කිරීමට ඔබට හැකි වේවා යි කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. කිසි ම දවසක පෙර අපර දෙදිග නිර්මාණකරුවන්ගෙන් ඇතැමෙක් කළ ආකාරයට තමා කළ නිර්මාණය නැවත නැවත දිග්ගස්වමින් හදන නිෂ්පාදන බිහි කිරීමට ඔබට සිත් පහළ නොවේවා යි ද මම ප්‍රාර්ථනා කරනවා.
අපි දැන් මෙතැන් සිට 94 කථාංගයෙන් අපට ගත හැකි සදර්ථ වෙත සාවධාන වෙමු.
වරෙක ශ්‍රී ක්‍රිෂ්ණ පවසනවා වර්තමානයට අතීතය නොතකා හැර සමෘද්ධියට පත් විය නොහැකි බව. එහෙත් උදාවන යුගයට ඉඩ දී ඉවත් ව යාමත් අතීතයට අයත් මෙහෙවරක්. අවසානයේ දී ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඒ බව තේරුම් ගන්නවා. ඔහු යුධිෂ්ඨිරට පවසන්නේ ඔබත් සමග ඇරඹෙන යුක්තියේ යුගයට ඉඩ දී හිරු ගැන නොදන්නා තමාට අඳුරේ සිටීමට ඉඩ හැර කටයුතු කරන ලෙස යි. යුධිෂ්ඨිර රාජ්‍ය පාලකයා වශයෙන් පත් වීමෙන් පසු කරන්නේ වර්තමාන අනාගත පාලකයන් විසිනුදු භාවිතයට ගත යුතු, සිය ආදර්ශ පාඨ කරගත යුතු ඓතිහාසික ප්‍රකාශයක්. අතීතයට ගරු කිරීම - වර්තමානය අවබෝධ කර ගැනීම මෙන් ම පාලකයා වන තමාගේ කාර්ය භාරය ගැන සතිමත් වීම ඉන් දෘශ්‍යමාන යි. මම කැමතියි ඒ ප්‍රකාශය මෙහි සාරාංශ කොට දක්වන්නට.
“පළමු ව මම මගේ ප්‍රණාමය මා සිය පාලකයා වශයෙන් පිළිගත් හස්තිනාපුරය වෙත පළ කර සිටිනු කැමැත්තෙමි. දෙවනු ව මට පූර්වයෙන් සිටි මී මුත්තනට වඳිමි. එසේ ම ඔවුන්ගෙන් මට උරුම වූ කිරුළ රකින බවට ප්‍රතිඥා දෙමි. එසේ ම ශ්‍රී ක්‍රිෂ්ණයන් වෙත ද ප්‍රණාමය පළ කරමි. යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස හඳුනා සමාජ සුධාරකයකු ව පොදු යහපත උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි. මා ඉන් ඉවත් ව අයෝග්‍ය පාලකයකු වශයෙන් කටයුතු කළහොත් මගේ ජනතාවට ඒ බව ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බව ද පවසමි. එසේ ම රාජසභාවේ මා අසුන් තුනක් හිස් කොට තබා ඇත්තේ ඇයි ද යන කරුණ වෙතත් ඔබ සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඉන් පළමු අසුන පිතාමහ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ නමට යි. දෙවැන්න අපගේ ගුරුවර ද්‍රෝණාචාර්යයන්ගේ නමට යි. තෙවැන්න වෙන් වන්නේ අංගරාජ් කර්ණ නමට යි. මේ හිස් අසුන් මේ සංග්‍රාමය නිසා අපට අහිමි ව ගියේ කවර නම් විශිෂ්ට චරිත ද යන්න සිහිපත් කොට දෙනු ඇත.
මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ මගේ හදවතේ කිසිදු අමිහිරි දෙයකට ඉඩක් නොමැති බව යි. ඒ සියලු අමධුරතා නිමා කොට ඇත. පාලකයාගේ වගකීම වන්නේ සිය ප්‍රජාව අනාගතය වෙත කැඳවාගෙන යාම යි. රජු සිය කාලය අතීත අමධුරතා ගැන සිතීමට ගත කළ හොත් සිය ජනතාව පත් ව තිබෙන දුෂ්කරතාවලින් මුදවාලීමට අවශ්‍ය නායකත්වය දීමට ඔහු අසමත් වනු ඇත. මගේ ජනතාව මෙතෙක් විඳි හිරිහැර දුෂ්කරතා ප්‍රමාණවත් ය. දැන් ඔවුනට අවශ්‍ය සාමය සහ සමෘද්ධිය යි. අපි එක් ව නව යුගයක් බිහි කරමු. සෑම පුරවැසියෙක් ම රටෙන් මට නොව මගෙන් රටට යන දර්ශනය මත පිහිටා කටයුතු කරනු දැකීමට මම කැමැත්තෙමි.”
මෙයිනික්බිති අපට ගාන්ධාරි-කුන්තී-ද්‍රෞපදී කාන්තා ත්‍රිත්වයේ දර්ශනය දැක ගැන්මට ලැබෙනවා. සියල්ල අතහැර වනවාසී ජීවිතයක් වෙත යාමට සිය දෙටු මවුන් තීරණය කොට ඇති බව දැන ගන්නා ද්‍රෞපදී, ඇයට පවසන්නේ එසේ නොයන ලෙස යි. මන්ද ගාන්ධාරී බිසව යනු මේ මන්දිරයේ ආත්මය බැවින් එසේ නොකරන්නැයි ඇය උදක් ම ඉල්ලා සිටිනවා. ඊට පිළිතුරු දෙමින් ගාන්ධාරී කියන්නේ ආත්මයට ද සිය සිරුර අතහැර යාමට සිදු වන දිනයක් එන බව යි.
̎The
soul too has to leave the body some day.
එයිනික්බිති ගාන්ධාරී සිය සැමියාට පවසන්නේ යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකයත් සමග හස්තිනාපුරය යළි සුරක්ෂිත වූ බව කියන්නට ගංගාපුත්‍ර භීෂ්මයන් වෙත යා යුතු බව යි. එහෙත් තමාගේ පාලනය හේතුවෙන් දැන් ශර යහනක සැතපෙන භීෂ්මයනට මුහුණ දිය නොහැකි බව යි, ධ්‍රැතරාෂ්ට්‍ර පවසන්නේ. අනතුරුව අපට ශරයහනත සැතපී සිටින භීෂ්ම දැක ගැන්මට ලැබෙනවා. ඔහු පවසන්නේ නවපාලනය යටතේ හස්තිනාපුරය සුරක්ෂිත බැවින් තමාට ශරීරය අතහැර යාමට අවශ්‍ය බව යි. ඊට පෙර තමාට ශ්‍රී ක්‍රිෂ්ණ දැකගැන්මට අවශ්‍ය බවත් මේ මොහොතේ මිහිකත වෙතින් තමා අපේක්ෂා කරන එකම ත්‍යාගය එය බවත් ඔහු පවසනවා. ඒ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පංච පාණ්ඩවයන් සමග එතැනට එනවා. ඒ සියලු දෙනා ගංගාපුත්‍ර භීෂ්මයනට සිය ප්‍රණාමය පළ කරනවා. භීෂ්ම පවසන්නේ ක්‍රිෂ්ණගේ පැමිණීම තමාගේ සියලු වේදනාවන් දුරලන ආලේපයක් වූ බව යි. මේ මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ ඔබගේ මේ දෙටු මුණුබුරු යුධිෂ්ඨිරට ඔබගේ අවසන් පාඩම කියා දෙන ලෙස යි. ඔබ සිටියදී ඔහුට මා කුමන පාඩමක් උගන්වන්න දැයි කියූ විට ක්‍රිෂ්ණ පවසන්නේ තමාට දැනුම ඇති මුත් අද්දැකීම් නොමැති බව යි; ඔබගේ අද්දැකීම් ද සමග යුධිෂ්ඨිරට ආශිර්වාද කරන ලෙස යි. ඔබේත් අපේත් ජීවිතවලට ගැන්මට බොහෝ දේ ඒ කතාවේ ඇති නිසා මම කැමතියි එහි මට වඩාත් දැනුණු තැන් උපුටා දක්වන්නට.
“විජය ශ්‍රී අධිරාජයාණෙනි, දැන් මට මෙතැන හැර ස්වර්ගය වෙත යාමට කාලය යි. මා දුටුවා මේ ජීවිත කාලය තුළ දැකිය යුතු දෙය මෙන් ම නොදැකිය යුතු දෙය. මම පරාජිත රණකාමියකු මෙන් ම පරාජිත පුරවැසියෙක්. ඔබ ඉගෙන ගන්න මගෙන් හොඳ රණකාමියකු මෙන් ම පුරවැසියකු වශයෙන් නොකළ යුත්තේ කුමක් ද යන්න. සිය දරුවනට හෝ ප්‍රතිඥාවනට වඩා දේශය වැදගත් වන බව සිතන්න. මම ප්‍රතිඥාවේ වහලකු බවට පත් වූ රණකාමියෙක්. මේ අවමානයේ පරිච්ඡේදය මගේ මරණයත් සමග අවසන් වේවි. වැඩිහිටියෙක් වේවා, අයුක්තියේ පක්ෂය ගනියි නම් තරුණයන් ඊට එරෙහි ව අනිවාර්යයෙන් ම අභියෝග කළ යුතු යි. මේ වූකලී දේශපාලනයේ මූලික දර්ශනය යි. රාජ්‍ය දේපළ ඇත්තේ දේශය උදෙසා මිස රජු උදෙසා නොවේ. රාජ්‍යය අයත් වන්නේ රජුට නොවේ. එහෙත් රජු අයත් වන්නේ රාජ්‍යයට යි. අතීතය ඔබට පිරිනමා ඇත්තේ දුර්වල ආර්ථිකයක් සහ ගිලන් වූ සමාජයක් නම් ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඔබ කටයුතු කළ යුතු යි. අතීතයට වර්තමානය සමග තරග කරන්නට බැහැ. රට ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයට යි.
තවත් එක් වැදගත් කරුණක් තිබෙනවා. සාර්ථක සමාජයක් පිළිබඳ වන සත්‍ය පරීක්ෂණය ඇත්තේ ඒ සමාජය ගැහැනියට දක්වන ගෞරවය ළඟ යි. එසේ ම රජෙකුට ඇති වගකීම පුරවැසියාට වඩා බොහෝ සෙයින් වැඩි යි. රටක් දෙකඩ කළ යුතු ය යනුවෙන් කවර බලපෑම් පැමිණිය ද කිසි විටෙකත් එය දෙකඩ කරන්නට එපා.
ක්‍රිෂ්ණ මට වෙනත් දෙයක් කීමට නැහැ. දැන් මට වෙහෙස යි. අර්ජුන් මාතෘභූමියේ පස් මිටක් ගෙන මගේ නළලත තවරන්න.”
මේ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ ඒ කාර්යය කිරීමට ඉදිරිපත් වෙනවා. ගංගාපුත්‍ර භීෂ්ම ලොවින් නික්ම යන්නේ මිහිකත මත යෝග්‍ය ලෙස හිරු කිරණ ද වැසි දිය ද වැටේවා යන ප්‍රාර්ථනය කරමින්. එසේ ම සිය රට ඵලවැලින් සමෘද්ධ ව විල් දිය මත නෙළුම් පිපේවා යි ද ඔහු ප්‍රාර්ථනා කරනවා. පංච පාණ්ඩවයන් වේදනාභරිත ව බලා සිටින ඒ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ මිය යන මිනිසෙක් අමරණීයත්වය ලබන නිමේශය දැක ගැන්මට අවකාශ ලබන්නේ ආශිර්වාද ලද අය බව යි. මේ මොහොතේ පසුබිමින් අනුවේදනීය කටහඬකින් ඇසෙන්නේ මහාභාරත සංග්‍රාමය වන් සටනක් ලොව ඇති නොවේවා කියා යි. මහාභාරතය අප වෙත ගෙන එන්නේ සාමයේ පණිවිඩය බව ද එහි කියැවෙනවා. අවසන අපට කාලචක්‍ර ප්‍රකාශයක් ද සමස්ත කතාවේ අවසානය සලකුණු කරන ගීතයක් ද දැකිය හැකි - ඇසිය හැකි වෙනවා. අපි පළමු ව කාලචක්‍ර ප්‍රකාශය කියවා ගනිමු.
“ව්‍යාස මහ ඍෂිවරයා විසින් කියන වීරකාව්‍යය අදින් අවසන් වෙයි. මානවයනි, මේ අපේ අවසන් හමුවීම යි. භාවිතයට ගන්න, මේ කාව්‍යය ඔබේ ගැටලු විසඳා ගැන්ම උදෙසා. මේ කතාව ඔබේ සන්නාහය මෙන් ම අවිය ද වෙයි. ප්‍රයෝජනයට ගන්න, මෙය සමාජයක ජීවත් වන අසත් ජනයන් හඳුනා ගැන්ම උදෙසාත්. වර්තමානයේ පවත්නා අඳුරු අහුමුළු හඳුනා ගැන්මටත් මෙය ඔබට ආලෝකයක් වනු ඇති. ඔබට දැකගත හැකි වේවි මෙයින්, අසත්‍යය සත්‍යයේ ආකාරයෙන් එන වේශයත්.
මානවයනි, යුක්තිය සහ සත්‍යය වෙත යන ආලෝක මාර්ගයේ උරුමක්කරුවකු වන්න. ඒ වූකලී විමුක්ති දර්ශනය යි.”
මා මෙතෙක් වෙලා කතා කළේ මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් මා උගත් පාඩම් සමුදාය යි. මෙය අධ්‍යයනය කරන ඔබ ඕනෑම කෙනෙකු ඉදිරියේ මා කී දෙයට වඩා වෙනස් තවත් අලුත් දේවල් දර්ශනය වේවි. මම අවසාන වශයෙන් කැමතියි, මෙතෙක් වේලා මට සවන් දුන් ඔබ සියලු ම දෙනාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පළ කොට, මෙහි සමාප්ති ගීතෝක්තියෙන් මා ගත් සාරාර්ථය දක්වා, එහි අවසන් සුවාක්‍ය උපුටා දක්වන්නට.
“මේ ලෝකයේ යම් දෙයක් තිබෙනවා ද මේ ලෝකය යම් ආකාරයක් ගන්නවා ද ඒ සියල්ල වේද ව්‍යාස ඍෂිවරයාගේ මේ මහාභාරතය මාර්ගයෙන් ප්‍රකාශයට පත් කරන බව යි, ඉන් පළමු ව කියැවෙන්නේ. එසේ ම ඔබ අප සියලු ම දෙනා සිහියට ගත යුතු යි; ජීවිතය යනු අපේ ක්‍රියාවල ම ප්‍රතිඵලයක් බව. අපි දැන් ඔබට සමු දෙන්නේ අපේ සුබ පැතුම් පිළිගන්න යයි ප්‍රකාශ කරමින්.“
මේ මහා ටෙලි වෘත්තාන්තය එතැනින් අවසන් වෙනවා.
"All
of you remember, Life is the result of your actions, We now take your leave.
Accept our greetings.̎

No comments:
Post a Comment