ඔබගේ දයාබර හඬ මට දැනුදු ඇසේ
සිය පශ්චාද් උපාධිය ලබා ගැනීමෙන් පසු දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීම ලද ගඟුල් සමරනායක වර්ෂයේ සමාරම්භක දිනය වන අද සරසවි බිමට පැමිණියේ එහි පැවති ආගමික කටයුතු පූර්වක චාම් නිල උත්සවයට සහභාගී වීම සඳහා ය. ඔහුට වරින් වර සිහිපත් වූයේ නාගොල්ලාගම හා බැඳුණු සුන්දර ගුරු ජීවිතය යි. තමා සිය පාසලින් සමුගෙන එන දවසේ සිය ප්‍රිය සහෘදයන්ගේ සේම ආදරණීය ශිෂ්‍ය ප්‍රජාවේ මුහුණුවල සටහන් ව තිබූ ශෝකී රේඛා පිළිබඳ ස්මරණය සිය හදවතින් ඉවත් වී නොයන බව ගඟුල් දනියි. එදින සමුගැනීමේ උත්සවය අවසන් ව එන මොහොතේ පසුගමන් ආ මිහිදිනී සිය දෝතින් ම ඔහු අත පත් කෙළේ එච්. ඇම්. කුඩලිගම කවියාණන්ගේ පහත සඳහන් ඉසොඳුරු කව යි.
“මුළු ලොව කිසිවකුට කිසි දවසෙක දි මතු
රහසක් නොවේවා යටගිය යුගයෙ තතු
ඔබගේ හේළි දිවි මැදුරෙහි දවල බිතු
තිබුණා වගේමයි වෙනසක් නොවිය යුතු”
රහසක් නොවේවා යටගිය යුගයෙ තතු
ඔබගේ හේළි දිවි මැදුරෙහි දවල බිතු
තිබුණා වගේමයි වෙනසක් නොවිය යුතු”
පියතෝ ජායතී සෝකෝ යන පාඨය නොයෙක වර අසා තිබුණත් ප්‍රිය භාවය නිසා ශෝකය ජනිත වන්නේ ය යන්න වචන මට්ටම ඉක්මවා ගිය සංවේදනීය අද්දැකීමක් බව එදින ද ඔහුට පසක් කොට දුන්නේ ය. සරසවියේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගඟුල් ගියේ සහන් ආචාර්යවරයාගේ නිවහනට යි. සහන් සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන මේ යෞවනයා පිළිගනිමින් පළමු ව පැවසුවේ මේ වචන කිහිපය යි.
“ගඟුල් අද අවුරුද්දෙ පළවෙනි දවස. ඒ වගෙම ඔයා අපේ ආචාර්ය මණ්ඩලයෙ ස්ථිර සාමාජිකයෙක් විදිහට වැඩ ආරම්භ කරපු පළවෙනි දවසත් අද. අද උදේ අපි කවුරුත් එකතු වෙලා දුන්න රාජ්‍ය සේවා ප්‍රතිඥාව හැම අතින් ම යථාර්ථයක් කරන්න ඔයාට ශක්තියත් ධෛර්යයත් ලැබේවා කියලා තමයි මම මුලින් ම ප්‍රාර්ථනා කරන්නෙ.”
“ඔව් සර් ඒකෙ තියෙනවනෙ දේශයේ මුළු මහත් ජනතාවගෙ අධිෂ්ඨාන පෙරදැරි කරගත් අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරන සෞභාග්‍යවත් නව වසරක සමාරම්භය තමයි මේ සලකුණු කරන්නෙ කියලා. ඒ වගෙම එක ධජයක සෙවන ලද පිරිසක් හැටියට අපට අකම්පිත ව නැගී හිටින්න පුළුවන් වෙන්නෙ අපි කවුරුත් අවංක හැඟීමෙන් කාර්යක්ෂම ව වැඩ කළොත් විතරයි. ඒක දැනගෙන මම වැඩ කරන්නම් සර්. ඒත් කණගාටුදායක කාරණේ අපි එනකොට සර්ලගෙ සේවය අපට වගෙම අපට අලුතින් එකතු වන ශිෂ්‍ය ප්‍රජාවට අහිමි වෙන එක.”
“නැහැ ගඟුල් එහෙම හිතන්න එපා. අපේ ජීවිතවලට වගේ ම අපේ අනික් හැම දේකටමත් ආරම්භයක් වගෙම අවසානයක් තියෙනවා. එකම කාර්යයක වගකීම පැවරිච්ච පරණ අය අලුත් අයට ඉඩ දීලා යන්න ඕනෙ. අපේ ප්රතිඥාවෙම තියෙනවනෙ අභියෝග හමුවෙ නොසැලෙමු කියලා වාක්‍යයකුත්. අලුත් පරම්පරාව නියෝජනය කරන ඔයගොල්ල හමුවෙ තමයි දැන් ඒ අභියෝග තියෙන්නෙ. පරණ පරම්පරාවට මග හැරිච්ච තැනුත් හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ දැන් ගඟුල්ලගෙ පරම්පරාව තමයි.”
“සර් අර ප්‍රතිඥාවෙ තියෙනව වචනයක් සුසංවිධිත පාලනයක කොටස්කරුවෙක් වෙලා කාර්යක්ෂම ව සඵලදායී ව ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්ත ව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් රටේ ජනතාවට පක්ෂපාතී ව සේවය කරන්න ප්‍රතිඥා දෙනවා කියලා. ඔතන ගොඩක් දෙනාට අර්ථය හරියට ම තේරෙන්නෙ නැති වචනෙ තමයි සුසංවිධිත පාලනයක් කියන එක. මම ඒකෙ තේරුම දැනගෙන හිටියට නිරුක්තිය දන්නෙ නැහැ. සර්ට පුළුවන් ද සුසංවිධිත කියන වචනෙ ඒකෙ නිරුක්තියත් එක්ක පැහැදිලි කරන්න.”
“ගඟුල්, ඒක ලොකු තේරුමක් තියෙන වචනයක්. ඔයා කොහොමටත් දන්නවනෙ මේක අතීත කෘදන්තයක් බව. ශෝභනාර්ථයේ යෙදෙන අපි කාටත් තේරෙන විදිහට කියනවනං යමක් හොඳ පැත්තට විශේෂ කරලා දක්වන කොට භාවිතයට ගන්න සු කියන උපසර්ගයත් සැමතින් ම එකට යහපත් ව යන අර්ථවල යෙදෙන සම් උපසර්ගයත් විශේෂාර්ථයේ යෙදෙන වි උපසර්ගයත් පූර්වයෙන් යෙදිලා, තැන්පත් කිරීම කියන අර්ථයෙ යෙදෙන ධා ධාතුවෙන් තමයි සුසංවිධිත කියන වචනෙ හැදෙන්නෙ. අපේ පලිහවඩන සර් කියන හැටියට සුසංවිධිත කියන වචනෙටත් වඩා ඒකෙ නිවැරදි රූපෙ වෙන්නෙ සුසංවිහිත කියන එක. දැන් මම කැමතියි ගඟුල් ම මේක ඔයාගෙ වචනවලින් පැහැදිලි කරනවනං.”
“ඒ කියන්නෙ සර් සුසංවිධිත හරි සුසංවිහිත හරි කියන වචනෙ නිරුක්ති අර්ථය විදිහට අපට කියන්න පුළුවන් මැනවින් හැම පැත්තක් දිහාම බලලා, විශේෂයෙන් තැන්පත් වෙච්ච සකස් කරගත්ත තත්ත්වයක් තමයි සුසංවිධිත වෙන්නෙ කියලා. රටක තියෙන්න ඕනෙ කරන්නෙ එහෙම පාලනයක් කියන එකනෙ මේ කියන්නෙ. කවුරු රට පාලනය කළත් පුරවැසියන් හැටියට අපේ වගකීම වගෙම වගවීම වෙන්නෙ එහෙම පාලනයක් උදෙසා අපි අපේ කොටස කරන එක.”
“ඔයා හරියට ම අර්ථය විග්රහ කරගත්තා ගඟුල්. දැන් ගුරුවරයෙක් හැටියට මේ අර්ථෙ - රටට - ලෝකෙට කියලා දෙන එකත් ඔයාගෙ සේවයෙ කොටසක් වෙනවා. ලෝකයෙන් ඔයාට මොන රිදීම් ආවත් ඒවයින් හිත රිදවගන්නෙ නැතුව අඛණ්ඩ ව තමාගෙ කොටස කරන්න.”
“සර් මම රිදිලා ආපු සමහර දවසකට ඒ රිදීමෙන් නිදහස් උනේ සර් කරන මේ වගෙ කතා නිසයි. ඒක හරියට අර සුනිල් සර් ලියපු නන්දා මාලනී මහත්මිය ගයන ගීතෙක එන ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ කියන ප්‍රකාශෙ සිහිපත් කරලා දෙනවා.”
“දැන් ගඟුල් අද ඉඳලා ඒ සෙනෙහබර වගකීම අරන් යන්න ඕනෙ ඔයාලා තමයි. අපිට වෙන කිසිම දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතෙන් ම ඒ පාඩම කියලා දුන්න සුවිශේෂ චරිතයකට තමයි ආචාර්ය අදිකාරම්තුමා කියලා කියන්නෙ. ඒ වගෙම පලිහවඩන සර්, මහානාම සර්, සමන් සිත්තරා වගෙ චරිතත් තමන්ගෙ කායික අභාවය සිද්ධ වෙනකන් ම කළේ ඒ දේම තමා.”
“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ සර්, අය්යා ගැන මේ බොහොම මෑතකදි ලියපු කවියක්. ඒකෙ තියෙන්නෙත් ඔය අර්ථය ම තමයි.”
“ඒ කොයි කවිය ද ගඟුල්. දැන් සමහර දේවල් මට ඉස්සර වගෙ මගෙ මතකෙට එන්නෙ නැහැ. මම කැමතියි මගෙ ශිෂ්‍යයා ඒක මට මතක් කරලා දෙනවා නම්.”
“තිස් වසරකට පෙර දවසක දසම මසේ
සොයුරා ගියා දී මට ජීවිතය මෙසේ
ඔහු මිය ගියේ යයි පවසනු හැකි ද කෙසේ
ඔහුගේ දයාබර හඬ මට දැනුදු ඇසේ”
“සර් ඒ සමන් සිත්තරාට තිබ්බෙ අපේ ආත්මය සුවපත් කරන දයාබර හඬක් ම තමයි. ක්‍රිෂ්ණමූර්තිතුමා කියන හැටියට සමන් අය්යා කියන්නෙ බිංදු සේ නෙමෙයි සමුද්‍රයක් වගේ ආදරෙන් පිරිච්ච චරිතයක්. හැබෑ ආදරය කියන්නෙ මොකක් ද කියන එක අපට දකින්න පුළුවන් වෙන්නෙ අහිංසාවෙන් කියලනෙ ක්‍රිෂ්ණජී කියන්නෙ. ඒ වගෙම හිසාවෙන් පිරිච්ච මේ ලෝකෙ නිසි සේ ජීවත් වෙන්න සමත් වෙන්නෙ අහිංසක හදවතක් තියෙන මනුෂ්‍යයා විතරයි කියලත් එතුමා කියනවනෙ. සර්ට වාසනාව තිබුණා එහෙම උතුම් මනුස්සයෙක්ගෙ මල්ලි වෙලා මේ ලෝකෙට එන්න.”
“අය්යා කියන්නෙ වයසට වඩා වැඩවලින් වගෙම ප්‍රඥාවෙන් අපට වඩා ගොඩාක් පරිණත වෙච්ච කෙනෙක්. එයා අඩු කාලයක් මේ ලෝකෙ ඉඳලා වැඩි වැඩක් ලෝකෙට කරලා දීලා නික්මිලා ගිය කෙනෙක්. වැදගත් වෙන්නෙ කෙනෙක්ගෙ ආයු කාලෙ නෙමෙයි ගඟුල්. ඒ ලබපු ආයු කාලෙ තුළ එයා මේ ලෝකෙට කරපු කියපු දේවල් අනුවයි කෙනෙක්ගෙ වැදගත්කම තීරණය වෙන්නෙ. එයා තමන්ගෙ ජීවිත පැවැත්මෙන් අපට ගොඩක් පාඩම් කියලා දුන්නා. අය්යගෙන් මම ඉගෙන ගත්ත එක පාඩමක් තමයි මේ ජීවිත කාලෙ දි අපට හමු වෙන හැම කෙනාගෙන් ම අපට ඉගෙන ගන්න පාඩමක් තියෙන බව. මේක ඔයාටත් හොඳ පාඩමක්. මේ විශ්වවිද්‍යාලෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් විතරක් නෙමෙයි ශිෂ්‍යයන්ගෙන් වගෙම සේවක සේවිකාවන්ගෙ ජීවිත දිහා බලලා තමන්ගෙ ජීවිතය සකස් කරගන්න ඕනෙ පාඩම් ජීවිතයට එකතු කරගන්න. අයින් කරන්න ඕනෙ දේවල් අයින් කරන්න.”
“සර් කියන එක මට දැනෙනවා. මට තේරෙනවා. හොඳ ගුරුවරයෙක් වෙන්නෙ කොහොම ද කියන පාඩම මම ඉගෙන ගත්තෙ විද්යෝදෙන්නෙ. ඒ පාඩම අමතක කරන්නෙ නැතුව තමයි මම නාගොල්ලාගමට ගියෙ. දරුවන්ට ආදරයෙන් සහෝදර ගුරු මණ්ඩලයත් එක්ක සහජීවනයෙන් වැඩ කරපු නිසා තමයි මට මම සමුගන්න දවසෙ ඒ කිට්ටුවන්තයන්ගෙ ඇස්වල මම ආදරයේ කඳුළු දැක්කෙ. මම ඒ කඳුළට ගෞරව කරනවා වගෙම ආදරය කරනවා සර්.”
“මන් දන්නවා ගඟුල් ඔයා මෙහෙ වැඩ කරන්නෙත් ඒ හිතත් එක්කම තමා කියන එක. විෂය දැනුමට වහල් වෙන්නෙ නැතුව දැනුම තමන්ගෙ වහලෙක් කරගෙන වැඩ කරන්න. මතකනෙ සමන් අය්යා කියනවා මිනිස් සමාජය එක් පියවරක් හරි ඉදිරියට තබන්නෙ දහසක් වහල් බැමි අත්හරින එක් නිදහස් මිනිහෙක් නිසා කියලා. අන්න ඒ හිස්තැන පුරවන්න. එතකොට ඔයාට වරදින්නෙත් නැහැ. ඔයාගෙ ශිෂ්‍යයන්ට වරදින්නෙත් නෑ.”
“ඔව් සර්, සර්ට මතක ද සර් අපට දවසක කිව්වා ගුරුවරයා කියන්නෙ කිසියම් ආකෘතියක සිර වෙන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගෙම එදා සර් කිව්වා මේ තියෙන සම්මත ආකෘති උනත් නිර්මාණශීලී ගුරුවරයකුට අව්‍යාජ ජීවන අද්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා භාවිතයට ගන්න පුළුවන් කියලා.”
“ශිෂ්‍ය ප්‍රජාවට ආදරයෙන් වගෙම නිවැරදිව නිර්මාණශීලී විදිහට වැඩ කරපු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි ඉන්න තැනින් සමු ගන්න කොට හරි - විශ්‍රාම ලබන කොට හරි ඒ අයගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇතිවන හැඟීම බොහොම සුන්දර විදිහට කවියට නගනවා වසන්ත අය්යා.”
“වසන්ත අය්යා කිව්වෙ සර් කොයි වසන්ත අය්ය ද?”
“මම කියන්නෙ කොට්ටාව ආනන්දෙදි අපිට වඩා ඉහළ පන්තියක හිටපු අපේ කාලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වෙලා හිටපු පස්සෙ කාලෙක පෙරදිග දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට නමක් දිනා ගත්ත නිමල් වසන්ත කුමාර අය්යා.”
“සර්ට මතක ද ඒ කවි.”
“මට මතක හිටියට එතන කවි හතරක් පහක් තිබුණා. මට දැන් ඒ ඔක්කොම මතක නැහැ. දැනට මගෙ මතකයෙ සටහන් වෙලා තියෙන ඒ කවිවලින් තුනක් විතරක් තාලෙට නෙමී වචන මට්ටමෙන් කියන්නම්.
නෙතින් පොතට අප බඳවා අකුරු කෙරූ
නිතින් අමිල ගුණදම් කළ අපට හුරූ
සිතින් මැකී නොම යන දිවි තිබෙන තුරූ
බැතින් වඳිමි පද මාපියවරුනි ගුරූ
මෙහෙවර නිසා ගුරු මාපියවරුනි ඔබේ
වියතුන් සබා මැද අද අප යෙහෙන් හෙබේ
සිහිවටනයක් විලසින් සිත් ගගන ගැබේ
ඔබ කළ මෙහෙය අප මිය යන තුරුම තිබේ
සුවසේ ඉසිඹු ලන මෙහෙවර නිමා වී
ඔබ වෙත සියලු දෙවියෝ නෙත් යොමාවී
චිර ජීවනය ලැබ මරුබල පමා වී
නිදුකින් දිනේවා වරදට සමා වී”
“ඒ කවි තුන හරිම ලස්සනයි. ඒ වගෙම හරිම අර්ථවත්. ඒ උනාට මට නම් හිතෙන්නෙ තමන්ගෙ කායික මරණය සිද්ද වෙනකම්ම හොඳ ගුරුවරයකුට තමන්ගෙ මෙහෙවර නිමා කරන්න බැහැ කියලයි.”
“එතෙන්දි මමත් ගඟුල් එක්ක එකග වෙනවා. ඔය කවි ලියපු වසන්ත අය්යා ඉන්නෙත් ඒ අදහසේ ම තමයි.”
“සර් කොච්චර ලස්සන අදහසක් උනත් භාෂාවෙ සම්මත ව්‍යාකරණයම තදින් ගත්ත කෙනෙකුට පොඩි අඩුපාඩුවක් දැක්කොත් ලස්සන යට ගිහින් පේන්න ගන්නෙ ඒ අඩුපාඩුව ම නේද?”
“ඔයා ගඟුල් ඒ කතාව කිව්වෙ මේ පළවෙනි කවියෙ තියෙන හුරූ තුරූ වගෙ වචන නිසා කියලයි මට හිතෙන්නෙ. ඒත් මම දන්නවා ඒක ඔයා මේ කවිය විඳ ගන්න බාදාවක් කරගන්නෙ නැති බව. ඒ දෝසයම තමා මෙතනදි කවිය ලස්සන වෙන්නෙ. ඕක භාෂාවෙ නිවැරදි ව්‍යවහාර ගැන හිතලා හුරු තුරු කරන්න ගියා නං තමයි කවියෙ ලස්සන මැරෙන්නෙ. හැබැයි අපේ ක්ෂේත්‍රෙ ව්‍යාකරණ ඉහළට ම ඉගෙන ගත්ත යාළුවෙකුට ඒක වෙන්න පුළුවන්. භාෂාවෙ ව්‍යාකරණය ගැනම හිතන කෙනා එතකොට රසවින්දනය ජීවිතයට අහිමි කරගත්ත රසවිහීන අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා.”
“සර් මේ කියන්නෙ නිර්මාණකරුවකුට තමන්ට ඕන විදිහට භාෂාව යොදන්න පුළුවන් කියන එක ද?”
“නිර්මාණකරුවා ව්යාකරණඥයගෙන් වෙනස් වෙන එක තැනක් තමයි ඒ. බලන්න ශ්ලෝක ලක්ෂයක් තියෙන මහාභාරත සංස්කෘත වීරකාව්‍යය ලිව්වයි කියන ව්‍යාස මහඍෂිත් එහෙනං ඒ වරදට අහුවෙනවා.”
“සර්ට පුළුවන් ද එහෙම තැනක් මට මහභාරතෙන් පෙන්නලා දෙන්න.”
“ඇයි ගඟුල් මහාභාරතෙ භීෂ්ම පර්වෙ ඇතුළත් වෙන භගවද්ගීතාවෙන් ම පුළුවන්නෙ එහෙම තැනක් මතු කරන්න. ගීතාවෙ තුන්වෙනි අධ්‍යායෙ එන අථ කේන ප්රයුක්තෝයං පාපං චරති පූරුෂඃ කියන ශ්ලෝකාර්ධය ම ඒකට උදාහරණ කරන්න පුළුවන්නෙ. සංස්කෘතේ පුරුෂඃ කියලා මිස පූරුෂඃ කියලා රූපයක් නැහැනෙ. ඒ නිවැරදි රූපෙ මෙතෙන්ට දාන්න ගියානං ශ්ලෝකෙ තියෙන වෘත්තය කැඩිලා ඒකෙ රිද්මයත් නැති වෙනවනෙ.”
“මට හොඳටම පැහැදිලියි සර් කාරණේ. සර් මන් මේ තව දෙයක් අහන්න යන්නෙ. ඒ ව්‍යාකරණ ගැන නෙමෙයි ජීවිතේ ගැන. අපි සර් වැඩ කරන් යන කොට සමහර බාදක එනකොට ඒවා නිසා අපේ වැඩ නතර කරන්න හිතෙන වෙලාවල් එනවනෙ මේ ගුරු මෙහෙවර කරගෙන යද්දිත්. එහෙම අවස්ථා සර්ට වෙලා නැද්ද?”
“මොකෝ නැත්තෙ, ගමනක් යනකොට අපි යන පාරෙ බාධකයක් ඒ කියන්නෙ මාර්ග බාධකයක් ආවොත් ගඟුල් මොකද කරන්නෙ.”
“ඉස්සරහට යන්න ම බැරි තරම් මාර්ග බාධකයක් නං තියෙන්නෙ ආපහු හැරිලා වෙන පාරක් හොයාගෙන හරි හිතපු තැනට යනවා සර්.”
“අන්න එහෙම තමයි ගඟුල් අපේ ජීවිතෙත්. හරියට ගංගාවක් වගෙයි. ගල්පරයක් හමු උනාම ගඟ කරන්න එතනදි ලස්සන තරංග හදලා ඒ බාදකේ තිබිච්ච තැනට තව ලස්සනකුත් එකතු කරලා බාදකේ මග හැරලා ඉස්සරහට ගලන එක. අන්න ඒවගෙ ගලන්න.”
“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ සර්ගෙම කවියක්. මන් කියන්න ද ඒක.”
”කියන්න කියන්න කොහොමටත් මගෙ කවි මට වඩා කට පාඩමින් කියන්න දන්නෙ ඔයාගෙ වර්ගෙට අයිති මගෙ ගෝලයො ම තමයි.”
ඒ මොහෙතේ ගඟුල් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සහන් සරසවි සිසුවකු ව සිටියදී රචනා කරන ලද කවියකි.
“නදියක් නොනැවතී මුහුදට ගලන වග
දැන සිටි අය ද නවතිති ගල් පවුරු ළඟ
යායුතු හෙයින් තව දුර ගිරි දුදුළු නැග
ඔබ නොනවතී වා ගමනෙහි අතර මග”
“ගංගාවක තියෙනවා ගඟුල් සංගීතයක්. සමහර වෙලාවට මට හිතෙනවා සංගීතය ගොඩක් දුරට ඉගෙන ගත්තත් හදවතේ සංගීතය නැති. තව කෙනෙක් ඉන්න පුළුවන් විෂයක් හැටියට සංගීතය හදාරලා නැහැ. හැබැයි එයා සමත් වෙලා තියෙනවා මුළු ජීවිතයම සංගීතයක් කර ගන්න. අපේ අදිකාරම්තුමා එහෙම චරිතයක්. ඒ වගෙම සංගීතෙ හදාරලත් තියෙන ජීවිතයත් සංගීතයක් කර ගත්ත අයත් අපට ඉඳලා හිටලා හමු වෙනවා.”
“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ සංගීතෙ උගන්නපු චාරුශශී කියන සංගීත මිස්. දැන් එයා දැන් වෙන ඉස්කෝලෙක. අපේ මිහිදිනීත් හරිම ආදරෙයි එයාට. රේණු අක්කා, නදී මිස් වගෙම තමන්ට දැනිච්ච චරිත ගැන කියන මිහිදිනී, ශශී මිස් ගැන කතා කරන්නෙත් බොහොම ආදරයකින් ගෞරවයකින්. මට මතකයි දවසක් එයා ශශීගෙ අත් දෙකින් අල්ලගෙන කිව්ව දෙයක්.”
“හිටපු ගමන් අපේ මිහිදිනී මහ අමුතු කතා කියනවා තමා. ඔයා වගෙම එයත් දැන් මගෙ ශිෂ්‍යයෙක්නෙ. මම කැමතියි එයා කියපු ඒ අමුතු කතාව දැන ගන්න.”
“ශශී අක්කෙ ඔයා ළඟ සංගීතය තියෙන්නෙ ඔයාගෙ විෂයෙ විතරක් නෙමෙයි. ඔයාගෙ ජීවිතෙත් සංගීතෙ තියෙනවා. මෙහෙම කියලා ශශීගෙ අත්දෙක අත හැරියෙ දේ කවි පද දෙකත් කියලයි.
සොයුරිය සඳ විලස ගෙන දෙන මුදු සීතේ
උගතිමු ඔබෙන් අපි ජීවන සංගීතේ”
“මටත් දැන් කැමැත්තක් ආවා ඔය ශශීව දකින්න. සමහර ගෑනු මිනිස්සු ඉන්නව ගඟුල් ඒ අය අමුතුවෙන් කිසිම දෙයක් කරන්න ඕන නැහැ. දැක්කත් ඇති. හිතේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට එහෙම කෙනෙක් දකින එක ම විසඳුමක් වෙන අවස්ථාත් තියෙනවා. ලොකු දුකක් හිතේ තියාගෙන කෙනෙක් ආවහම ඒ දුක නැති කරන්න තමන්ට පුළුවන් දේ කරන කෙනා ප්‍රශ්න විසර්ජකයෙක්. හොඳ ගුරුවරයෙක් කියන්නෙ එහෙම කෙනෙකුට. එහෙම චරිත අපේ මිහිදිනී කියනවා වගේ සඳක් වගේ අපේ ජීවිතවලට අරගෙන එන්නේ මුදු සිසිලසක්, ජීවිතය සුවපත් කරවන සංගීතයක්.”
“සර් මට දවසක් ඇහැලියගොඩ වැඩසටහනක දි හමු වෙච්ච වටිනාපහ දේවානන්ද හාමුදුරුවො හරි වෙනස් කතාවක් කිව්වනෙ. ඒක අපේ මේ සාකච්ඡාවටත් අදාළ කරගන්න පුළුවන් දෙයක්. උන්වහන්සෙ කියන්නෙ දුක හිතෙන් නැති එක තමා ප්‍රශ්නෙ කියලයි. සමහර දෙනාට තව කෙනෙක් ගැන දුක හිතෙන්නම ඕන වෙලාවටත් දුක හිතෙන්නෙ නැහැ. දුක නැති කරන්න නං දුක දැකලා තියෙන්න ඕන කියලයි අපේ හාමුදුරුවො කියන්නෙ. විශේෂයෙන් අනුන්ගෙ දුකත් තමන්ගෙ දුකක් වගෙම දැනෙන්න ඕනෙ කියලයි එදා උන් වහන්සෙ කිව්වෙ. අන්න එහෙම අයට තමයි අනුන්ගෙ දුක නැති කරන්න පුළුවන් කියන එක තමයි උන් වහන්සෙ තමන්ගෙ අනුශාසනාවෙදි අවධාරණේ කළෙත්. මන් හිතන්නෙ සර් සමන් සිත්තරා කියන්නෙ අන්න එහෙම අනුන්ගෙ දුක දැකලා තමන්ගෙ මරණය සිද්ධ වෙනකන් ම ඒ දුක් නැති කිරීම සඳහා ජීවත් වෙච්ච උතුම් මනුස්සයෙක්. එහෙම මිනිස්සු ජීවතුන් අතර නොඉඳත් ජීවත් වෙලා ඉන්න අපිව ජීවත් කරනවා. ඒ වගෙ මිනිස්සු ම තමයි මේ සමාජෙ ජීවත් වෙලා ඉන්න වෙනස් ගැහැනු මිනිස්සු අඳුන ගන්න අපට ඇහැක් දෙන්නෙත්.”
“එතකොට ගඟුල් ඔයා මගෙ ළඟට එක්කර ගෙන ආපු මිහිදිනී නියෝජනය කරන්නෙත් ඒ වෙනස් මානව කුලකය ද?”
සහන් සිනාසෙමින් ඇසූ ඒ ප්‍රශ්නයට ගඟුල් පිළිතුරු දුන්නේ අනිවාර්යයෙන් ම ඔව් සර් යන වදන් කිහිපය හැඟුම්බර ව පවසමිනි. ඒ මොහොතේ ඔහු සිතට පිවිසියේ මිහිදිනිය හා බැඳි සුපහන් ස්මරණාවලියකි. පාසලින් සමුගත් දවසේ ඔහු නාගොල්ලාගම දුම්රිය පළට ඇරලවීම සඳහා පැමිණියේ රේණු සහ මිහිදිනී ය. මිහිදිනී එදින ගඟුල්ට පොත් කට්ටලයක්ද ඇඳුම් කට්ටලයක් ද තිලිණ කළා ය. ඒ අවස්ථාවේ රේණු මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.
“මිහිදිනී මේ කරන්නෙ ඔයාට භෞතික ව දෙයක් අරගෙන දෙන එක ම විතර නම් මන් ඒකෙ විශේෂයක් දකින්නෙ නැහැ. මොකද එයා කොහොමටත් හරිම ගැඹුරකින් ඔයාට ආදරය කරන නිසා. මෙතන විශේෂය වෙන්නෙ එයා ලෝකය සම්බන්ධයෙන් කටයුතු කරන්නෙත් ඒ විදිහට ම වීමයි. මේ කෙල්ල ගඟුල්, ලෝභකම - මසුරුකම කියන වචනවල තේරුමවත් දන්නෙ නැහැ. උඹට ඕන තරම් තරුණ කෙල්ලො හමුවේවි. ඒත් මේ වගෙ කෙල්ලෙක් දැක ගන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. එයා මල්ලි පදිංචි වෙලා ඉන්නෙ උඹේ හදවතේ විතරක් නෙමෙයි. එක දවසක් ඇසුරු කළොත් එයා ඒ ඇසුර ලබපු අයගෙ හිත්වල පදිංචියට උරුමය ලබනවා.”
“මන් දන්නවා රේණු අක්කෙ ඒක. එයා වෙනස් කෙනෙක්. එයා ඉන්න තැනටත් වඩා එයා නැති තැන මට එයා වැඩියෙන් දැනේවි.”
ඒ මොහොතේ මිහිදිනී හිස ඔසොවා තමා දෙස බැලූ ආකාරය ගඟුල්ට සිහිපත් විය. ඇගේ දෑස කඳුළින් පිරී ගොස් තිබිණ. ඒ කඳුළට හිමි සුවිශේෂ අරුතක් ද විය. ඒ අරුත වූකලී ඇය ගඟුල් හැර අන් කිසිවකු සිය සැමියා වශයෙන් නොපතන බව ය. දෙදෙනාගේ ම ආදරණීය සුමිතුරිය ජීවමාන සාක්ෂිය වශයෙන් ස්නේහපූර්වක ව ඔවුන් දෙස බලසිටින ඒ පවිත්‍ර නිමේශයේ දී මිහිදිනිය සමීපයට ගිය ගගුල් ඇය සිය ලයට තුරුළු කොට ගෙන ඉමහත් ආදරයකින් ඇගේ හිස සිප ගත්තේ ය. එතැන තිබුණේ සුපහන් දෙහදක විකසිත නොකැලැල් ආදරය මිස අන් කිසිවක් නොවීය.
“ගඟුල් ඔයා ඉන්නෙ මෙතන නම් නෙමෙයි වගේ. හැබැයි ඉන්නෙ හිටියෙ කොහෙද කියන එක ඔයා මට කියන්න ඕනෙත් නැහැ. මොකද ඒක මන් දන්න නිසා, මට දැනෙන නිසා. හරි කැමති නම් කියන්න ඒ සමු ගන්න මොහොතේ අපේ මිහිදිනී කෙල්ල ඔයාට කියපු වචන ටික.”
ගඟුල් හිස ඔසොවා සිය ආචාර්යවරයා දෙස බැලුවේ විස්මයෙනි. අනතුරුව ඔහු කතා කෙළේ ය.
“සර් ඉන්ද්‍රජාලිකයෙක් ද එහෙම නැත්නම් මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුළුවන් කෙනෙක් ද? මන් මිහිදිනී අන්තිමට කියපු දේ ගැන හිත හිත තමයි සර් හිටියෙ. හැබැයි සර් ඒ කියපු දේ මට සර් එක්ක විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉස්සරහදි උනත් කෑගහලා කියන්න පුළුවන් වචන ටිකක්. එයා මගෙ අත් දෙකින් තදින් අල්ලගෙන මගෙ මුහුණ දිහා බලාගෙන මෙන්න මෙහෙම කිව්වා.
මන් දැන් මේ තදින් අල්ලගෙන ඉන්න ඔයාගෙ අත් දෙක අත හරින්නෙ මගෙ ළඟ නතර වෙලා ඉන්නවට වඩා දුර ගමනක් ඔයාට යන්න තියෙන නිසයි. මට ඔයා දකින්නැතුව ඉන්න එක අමාරුයි තමයි. ඒත් මට ඔයාව තියා ගන්න බැහැ. මොකද ඔයා යන්න ඕනෙ. මේ ගමන වැඩි මෙහෙවරක් වෙනුවෙන්. ඒත් මම ඔයාව තියා ගන්නවා හැමදාමත් මගෙ මෙතන.
සර් දන්නව ද එහෙම කියලා මේ කෙල්ල අත තියා ගත්තෙ එයාගෙ පපුවට.”
“ඒ කෙල්ල වෙනස් කෙල්ලෙක් තමයි ගඟුල්. ඒක මන් තේරුම් ගත්තෙත් ඔයා එයාව මගෙ ළඟට එක්කරගෙන ආපු පළවෙනි දවසෙම. ඔයා විතරක් නෙමෙයි ඒ කෙල්ලත් ඔයත් එක්කම ඒ දුර ගමන යන්න ඕනෙ. දැන් එයත් එයාගෙ උපාධිය ඉවර කරලනෙ ඉන්නෙ. නාගානන්ද විශ්වවිද්‍යාලෙට කොන්ත්‍රාත් පදනමට ඉංග්‍රීසි අංශයට බඳව ගෙන වැඩ බාර දෙන්න බෞද්ධ පදනමක් තියෙන තරුණ කෙනෙක් හොයනවා. ඔය ගැන ඒ විශ්වවිද්‍යාලෙන් මගෙනුත් ඇහැව්වා සුදුසු කෙනෙක් ගැන. මගෙ ඔළුවට ආවෙම මේ කෙල්ල ම තමයි. අපි අපේ කෙල්ලගෙන් අහල ම වචනයක් දෙමු.”
“සර් එතකොට නාගොල්ලාගම ඉස්කෝලෙ දරුවො.”
“ගඟුල් අපි දෙයක් අත හරින්නෙ ඊට වඩා වැඩි දෙයක් කරන්න. මිහිදිනීට දේශීය භික්ෂූන් වහන්සේලා වගෙම විදේශීය භික්ෂූන් වහන්සේලා තමයි ගිහි අයට වඩා වැඩියෙන් ලැබෙන්නෙ ශිෂ්‍යයන් විදිහට. අනාගතයෙදි මේ රටේ වගෙම ලෝකය පුරා ධර්ම ප්රචාරක කටයුතුවලට යෙදෙන කණ්ඩායමක්නෙ එයාට ලැබෙන්නෙ උගන්වන්න. අපි නාගොල්ලාගමත් අතරමන් නොවෙන විදිහට කෙල්ල මෙහාට ගම්මු. අමතක කරන්න එපා දැන් ඔයා උගන්නපු ඉස්කෝලෙ මුල් පිටුවෙ ඉන්නෙ ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය විශේෂ උපාධියට කරපු විද්වතියක් වෙන රේණු බව. එයා කොහොමටත් ඒකට වැඩ පිළිවෙළක් යොදාවි. අනිවාරෙන්ම ඔයගොල්ල මට කියලා තියෙන විස්තර අනුවත් මන් දවසක් දෙකක් කතා කරලා ලැබිච්ච අද්දැකීම් අනුවත් මේ තීරණේ ක්‍රියාවක් කරන්න තදින් ම වැඩ කරන්නෙ එයා කියලයි මට හිතෙන්නෙ. මහව අධ්‍යාපන අධ්‍යක්ෂතුමත් අපේ ආදි ශිෂ්‍යයෙක්නෙ. අපි එයාට කියලා නාගොල්ලාගමටත් හොඳ ගුරුවරියක් යවමු. ඔයාගෙ විරුද්ධත්වයක් නැහැනෙ ගඟුල් ඒකට.”
“මන් මොකට ද සර් විරුද්ධ වෙන්නෙ. එයා අපේ කිට්ටුවෙන් ඉන්න එක හැම අතින් ම හොඳ දෙයක්නෙ. සර් කිව්වා වගෙම අපේ රේණු අක්කා උනත් මේකට ආශිර්වාද කරලා මිහිදිනීව නිදහස් කරනව මිසක් විරුද්ධ වෙන්නෙ නැහැ. සර් කතා කරන්න. එතකොට මිහිදිනිත් කැමති වේවි මෙහෙ එන්න, නාගොල්ලාගම ඉස්කෝලෙට පාඩුවක් නොවෙන විදිහට යි කාරණා සිද්ධ වෙන්නෙ කියලා කිව්වහම.”
“හරි ගඟුල්, එහෙම නම් මන් මිහිදිනීට රේණුට විතරක් නෙමෙයි මහව අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් කතා කරන්නම්. අපි කෙල්ලට ඉන්න සුදුසු නවාතැනක් ගැනත් බලමු, එයාගෙන් වචනෙ ලැබුණට පස්සෙ. ඊට පස්සෙ ඉතින් ගෙවල් දෙකටම දන්නලා චාමෙට ඔය දෙන්නගෙ මංගල්ලෙත් ගනිමු. කොහොමත් භෞතිකව මුහුණු දෙකක් තිබුණට ආධ්‍යාත්මික ව ඔය දෙන්නට තියෙන්නෙ එක මුහුණක්නෙ. මිහිදිනීට කියන්න පුළුවන් ඉක්මණින් දවසක කොළඹ ඇවිත් මාවත් හමු වෙන්න කියලා. ඒ හම්බ උනාම ඔය දෙන්නටම කියන්න දේකුත් තියෙනව මට.”
“එහෙනං සර් මම ගිහින් එන්නම්. මිහිදිනී ලබන සතියෙ කොහොමටත් කොළඹ එනවා. මන් ඒ ආවහම එයත් එක්ක ම සර්ව හම්බ වෙන්න ගෙදරට එන්නම්. අපි අද කතා කරපු දේවල් ගැන ප්‍රවේශය සර්ම කියන එක තමයි වැඩිය හොඳ.”
සිය ආචාර්යවරයාගෙන් සමුගෙන පෙරළා නිවහන වෙත යාමට පෙර ඔහු ගියේ පිළියන්දල නගරයෙන් තරමක් ඈතක නිස්කලංක පරිසරයක පිහිටි සිය සොහොයුරා වන විපුල්ගේ කලාගාරයට ය. සොහොයුරා සිය වැඩ කටයුතුවල සන්ධිස්ථානයකට එන තෙක් එළිමහනේ තුරු සෙවනක ඇති ඇති අසුනකට වී කලා සඟරාවක් බලන ඔහුට දක්නට ලැබුණේ සිය ආචාර්යවරයා මෙයින් කලකට පෙර කලාව, පුද්ගල ජීවිතය සහ ලෝකය යන මාතෘකාව වටතේ ලියා තිබූ ලෝකයකි. එම ලිපියේ එක් තැනක ලේඛකයා පුද්ගල වර්ගීකරණයක් කොට තිබිණ. ඉන් පළමු කණ්ඩායම තමා විනාශ වී ලෝකය ද විනාශ කරන අය යි. ඉන් බොහෝ දෙනා කායික ව මෙන් ම ආධ්‍යාත්මික ව ද පිරිහී තමාට ඉතිරි ව ඇති ශක්තිය යොදන්නේ ලෝකයේ ජීවත් වන අන්‍යයන් පිරිහෙළීමට යි. තව සමහරෙක් තමන් සුරැකී ලෝකය පිරිහෙළති. භෞතික අතින් කිසියම් සමෘද්ධියක් අත් කරගෙන සිටියත් ඒ පිරිස ද ආධ්‍යාත්මික වශයෙන් දිළින්දෝ වෙති. මේ දෙවන කණ්ඩායම යි. තෙවන කණ්ඩායම ලෝකය සුරැක තමා විනාශ වන අය යි. ඒ ගැන කියවද්දී ඔහුට සිහිපත් වූයේ පරිසරය හද බස ගැන මහත් හැඟීමකින් කටයුතු කළ අධික ලෙස ධූමපානයටත් මත්පැනටත් ලොල් ව අකාලයේ අහිමි ව ගිය ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. ඇතැම් දෙනා මෙන් සිය ඇබ්බැහිකම් ගැන උජාරුවෙන් කතා නොකළ ඔහු ගිලන් ව සිටිය දී තමා බැලීමට ආ සාහිත්‍යධරයන්ගෙන් - කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමා මෙන් විනාශ නොවන ලෙස ය. විශේෂයෙන් සිය ජීවිතයේ අවසන් කාලයේ දී නව පරපුරට ඔහු සිය දුබල අතින් ඒ පණිවිඩය ලියා තැබීමට ද අමතක නොකළේ ය. මේ අතර තමාටත් ලෝකයටත් කිසිවක් නොකර ජීවත් වන අයත් සිටිති. ඒ සිවුවන කණ්ඩායම යි. අවසාන අර්ථයේ දී ඒ අය ද කවර හෝ මට්ටමකින් සමාජ මෙහෙවරක් කරන කණ්ඩායමට සිය ආචාර්යවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබිණ. මන්ද ඒ අය සමාජය විෂයයෙහි කිසිවක් සිදු නොකළත් සමාජ අයහපත සිදු කරන කණ්ඩායමට අයත් නොවන අය බැවින් ඔවුන්ගෙන් සිදු වන්නේ ද එක්තරා ආකාරයක සමාජ මෙහෙවරක් බැවිනි. මේ අතර තමන් ගැන නොසිතා ලෝකය වෙනුවෙන් වැඩ කරන අය ද සිටිති. ඒ පස්වන කණ්ඩායම යි. සයවන එනම් අවසාන කණ්ඩායම වන්නේ තමන්ගේ ජීවිත ලස්සන කරගෙන ලෝකයේ ජීවිත ලස්සන කරන කණ්ඩායම යි. ගඟුල්ට අනුව සමන් සිත්තරා මෙන් ම සිය සොහොයුරා අයත් වන්නේ ඒ කුලකයට යි. එහෙත් ඒ දෙදෙනා තුළ ම තමන් ගැන නොසිතා ලෝකය වෙනුවෙන් වැඩ කිරීමේ ස්වභාවය ද නොමඳ ව විද්‍යමාන විය.
“අපේ කථිකාචාර්යතුමා ඔය සඟරාව බලනව ද එහෙම නැත්නං කල්පනා කරනව ද?”
“දෙක ම අය්යෙ දෙක ම.”
ගඟුල් එසේ පිළිතුරු දුන්නේ සිය වැඩ අවසන් කොට තමා වෙත පැමිණි සිය සොහොයුරාට ය.
“මල්ලි අපි යමු ද එහෙනං ගෙදර. ඔයා ගන්නව ද වාහනේ. මෙන්න යතුර.”
ඒ යන අතරතුර දෙසොහොයුරනට කතා කිරීමට බොහෝ දේ තිබිණ.
“මල්ලි කොහොම ද ඔයාට අලුත් කාල සටහන හම්බ උනා ද?”
ඕහම්බ උනා හම්බ උනා කාල සටහන් දෙකක්.“
“මොකක්, එක අංශෙක උගන්නන කෙනෙකුට මොකට ද කාලසටහන් දෙකක්.”
“එකක් අපේ අංශෙන්. අනික අපේ සර්ගෙන්. මේ සර්ගෙ අන්තිම අවුරුද්දනෙ. සර් මාව සම්බන්ධ කරගත්තා සර්ලගෙ භාෂා අංශෙ කාව්‍ය විචාර ප්‍රවේශය කියන විෂයට යි සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය කියන විෂයට යි.”
“ඉතින් මල්ලි ඔයාගෙ විෂය සිංහලනෙ.”
“ඒ උනාට අය්යෙ මගෙ උපවිෂය සංස්කෘතනෙ. ඒ වගෙම මගෙ පශ්චාද් උපාධියටත් එක මට්ටමකට සංස්කෘත මූලාශ්‍රය සම්බන්ධ කරගත්තනෙ. ඒක නිසා සර් හිතන්න ඇති මටත් කොටසක් දුන්නොත් මම ඒක මහන්සි වෙලා කරයි කියලා.”
“මන් ඔයාගෙ සිංහලවල තත්වෙ දන්නවනෙ. හරි එහෙනං දැන් මට කියනවකො මල්ලි අර සංස්කෘත සාහිත්‍ය ඉතිහාසෙ යටතෙ මොනව ද උගන්නන්නෙ කියලා.”
“අය්යෙ ඒකට උගන්නන්න තියෙන්නෙ රාමායණය - මහාභාරතය - බුද්ධචරිතය - රඝුවංශය වගෙ ඒ ඒ යුගවල බිහිවෙච්ච කෘති ගැන. ඒවයෙ අන්තර්ගතය මිසක් ටෙක්ස්ට් කරන්න නැති නිසා මට ඒ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්.”
“මල්ලි බුද්ධචරිතෙ කියන්නෙ කාව්‍ය ග්රන්ථයක් ද?”
“ඔව් අය්යෙ ඒක අශ්වඝෝෂ හාමුදුරුවො බුද්ධචරිතය පාදක කරගෙන ලියපු බොහොම සුන්දර වගෙම අර්ථවත් මහා කාව්‍යයක්.”
“ඉතින් ඔයා මේ යන ගමන් ඔයාගෙ මතකෙ තියෙන ඒ සුන්දර අර්ථවත් තැනක් දෙකක් කියන්න. සමහර විට අපේ සමන්ගෙ අර අභිනිෂ්ක්‍රමණ චිත්‍රෙට බෞද්ධ සාහිත්‍යය උල්පත උනා වගෙ මගෙ අනාගත චිත්‍රෙකට හරි මූර්තියකට හරි ඔයා අද කතා කරන දේවල් උල්පත වෙන්න බැරි නැහැ.”
“අපේ සමන් අය්යා ඇන්දෙ සිද්ධාර්ථ - යශෝදරා චරිත එක්ක බැඳිච්ච සංසිද්ධියක්නෙ. හරි ඔයා කවද හරි ශුද්ධෝදන මහමායා රූප දෙක අඳින කොට මතක් වේවා කියලා හිතලා මම ඒ චරිත ගැන තියෙන තැනක් දෙකක් කියන්නම්. බුද්ධචරිත මහාකාව්‍යය ආරම්භ වෙන්නෙ මේ චරිත ගැන කරන වර්ණනාවලින්. මේකෙ පළවෙනි පද්යයෙ දි කියනවා සරාසඳ මෙන් ජනතාවට ප්‍රිය වූ ශුද්ධෝදන නම් නරපතියෙක් හිටියයි කියලා. දෙවන කවියෙදි කියන්නෙ ඒ රජතුමාට දීප්තියෙන් සඳුට සම කළ හැකි ශෝභා ඇති, රජුට සම ප්‍රභාව ඇති, සිරිකත වැනි, මහපොළොව බඳු ප්‍රඥාවන්ත මායා නමින් ප්‍රසිද්ධ වූ පතිනියක් හිටිය ආකාරය යි.”
“ඉතින් මල්ලි සංස්කෘත භාෂාවෙන් ඕක හරි ලස්සනට කියලා ඇතිනෙ.”
“ඔව් අපේ විපුල් සමරනායක සිත්තරාගෙන් අවිදූර අනාගතයෙදි මහාමායා කියන උතුම් වනිතා රත්නය ලෝකයට දෘශ්‍යමාන කරන චිත්‍රය ඇඳේවා කියන ප්‍රාර්ථනාව කරලම අර කලින් කියපු අදහස තියෙන පද්‍යයත් මම කියන්නම්කො.
නරේන්ද්රකල්පස්ය බභූව පත්නී දීප්ත්යා නරේන්ද්රස්ය සමප්රභාවා
පද්මේව ලක්ෂ්මීඃ පෘථිවීව ධීරා මායේති නාම්නානුපමේව මායා”
“මල්ලි ඔය පොතේ සිංහල හරි ඉංග්‍රීසි හරි පරිවර්තන නැද්ද?”
“මම දන්න තරමින් සිංහලට සම්පූර්ණ පොත මේ වෙනකන් පරිවර්තනය වෙලා නැහැ. ඉංග්‍රීසි පරිවර්තන නං තියෙනවා.”
“ඉතින් මල්ලි ඔයාට පුළුවන්නෙ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් කරන්න.”
“ඔය අදහස අපේ සර්ගෙ හිතෙත් තිබුණා. ඒ දවස්වල සර් පොත් දෙකක් පරිවර්තනය කරන්න මට හිතිලා තියෙනවා කියලා කිව්වා. එකක් ඒ කාලෙ අදිකාරම්තුමා සර්ට තෑගි දීලා තිබුණ අරවින්ද ඝෝෂ් ආචාර්යවරයා ලියපු The Life Divine කියන පොත. අනිත්තෙක තමා අපි දැන් මේ කතා කරන බුද්ධචරිත මහාකාව්‍යය.”
“කෙනෙකුට කොච්චර දේවල් තියෙනව ද මල්ලි මේ ජීවිත කාලෙ දි මග හැරෙන. සමහර පොත් වගෙ ම සමහර චරිතත් අපට හමු වෙලා පස්සෙ මග ඇරෙනවනෙ.”
“අය්යා ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ සර් කියපු දෙයක්. මේ කියන්නෙ පොත් ගැන නෙමෙයි චරිත ගැන. මන් දවසක් සර්ලගෙ ගෙදර යනකොට සර් හිටියෙ පරණ දිනපොත් පෙරළ පෙරළා. මන් සර්ගෙන් ඇහැව්වා පරණ දිනපොත් පෙරළ පෙරළා සර් අලුත් දිනපොතක් ලියන්න ද යන්නෙ කියලා. ඒ වෙලාවෙ සර් කිව්වෙ අලුත් දිනපොතක් ලියන්න පුළුවන උනාට පරණ දිනපොත් අමතක කරන්න බැහැ කියල යි. එදා සර් තමන්ගෙ ශිෂ්‍ය කාලෙදි සමීප ව ඇසුරු කරන යාළුවන් ගැන කියද්දි කැලණිය ඉගෙන ගත්ත සුමති කියන යාළුවව මතක් කළා. ඉස්සර අදිකාරම්තුමාගෙ ගෙදරදි නිතර මුණ ගැහිච්ච ඒ යාළුවා දැන් හමු වෙන්නෙ නැති තරමයි කියලත් කිව්වා. ඒත් ඒ මතකය නම් මැරෙන්නෙ නැහැ කියලත් කිව්වා.”
“මල්ලි මිනිස්සු හමු වෙනවා වගෙම වෙන් වෙනවා විවිධ හේතු නිසා. මේ හමුවීම් ගැන කියද්දි එකට වැඩ කරන - වැඩ කරපු අය ගැන අදිකාරම්තුමා කියපු දෙයක් ඔයාගෙ සර් මට මතක් කරලා දුන්නා.”
“ඒ මොකක් ද අය්යෙ?”
“එදා එතුමා කරලා තිබුණෙ මෙන්න මේ ප්‍රකාශය යි.
අද මාත් එක්ක මේ එකට වැඩ කරන අය අනාගතයෙදි කවදා කොතැනක කවර වෘත්තියක නිරත වේවි ද කියලා කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පැහැදිලි ව එක දෙයක් නම් කියන්න පුළුවන්. ඒ තමයි ඒ අය කොතැන හිටියත් ලෝකයේ යහපත වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන බව.”
“අය්යෙ සමාන ආකල්ප තියෙන - දශක කිහිපයක් එකට ඇසුරු කරපු අය උනත් යම් දවසක දුරස් වෙන්න පුළුවන් කියලා දවසක් අපේ සර් කිව්වා. මන් දැන් කෙනෙක් ඇසුරු කරන්නෙ දැන් ඉතාම සමීපයෙන් ඉන්න කෙනා උනත් දවසක දුරස් වෙන්න පුළුවන් කියලා හිතලයි.”
“ඒක හරි මල්ලි, ඒක දැනගෙන වැඩ කළහම හරි. ඔයාට මතක ද අපේ සමන් ඇඳලා තිබිච්ච චිත්‍ර දෙකක්. එකක් නම් කරලා තිබුණේ දූරසමීප කියලා. අනිත් චිත්‍රෙ සමීපදූර.”
“ඔව් මට මතකයි අය්යෙ, ඒ චිත්‍ර දෙකෙන් සමන් අය්යා ලොකු අදහසක් මතු කරලා තිබුණා. අපි වචනාර්ථ ඉක්මවා ගිය කවිවලට ධ්වනි කාව්‍ය කියනවා වගේ සමන් අය්යගෙ ඒ චිත්‍ර දෙක නම් කරන්න පුළුවන් ධ්වනි චිත්‍ර කියලා අලුත් ප්රවර්ගයක් හදලා.”
“ඔය චිත්‍ර දෙක ම සමන් ඇන්දෙ අපි සෞන්දර්යෙ අන්තිම අවුරුද්දෙ ඉන්න කොට. මන් එයත් එක්ක ඒ චිත්‍ර දෙකෙන් මට දැනෙන හැඟීම කිව්වහම සමන් කිව්වෙ ඔව් විපුල් ඔය චිත්‍රෙ අඳිද්දිත් මගෙ හිතේ තිබුණෙ ඒ හැඟීම තමයි කියලයි.”
“ඒ හැඟීම කිව්වෙ අය්යෙ.”
“මන් එදා සමන්ට කිව්වෙ මට සමන් ඔයාගෙ දූරසමීප චිත්‍රෙ දැක්කහම දුර තියෙන දෙයක් සමීප ව දකිනවා කියන එක වගෙම කාලයක් තිස්සෙ අපට ගොඩක් දුරයි අපෙන් ඈතයි කියලා හිතාගෙන හිටපු දෙයක් - කෙනෙක් කිසියම් දවසක දි අනේ මේ දේ මේ කෙනා අපට කොච්චර සමීප ද කියලා දැනෙන්න පුළුවන් නේද කියන එක.”
“එහෙම බැලුවහම අය්යෙ සමීපදූර චිත්රයෙ ප්රකාශනය හැටියට අපට ගන්න පුළුවන්නෙ අපට ගොඩක් සමීපව හිටපු කෙනෙක් - දෙයක් පස්සෙ දවසක ගොඩක් දුරස් වීම.”
“මල්ලි බුදුන් වහන්සේ දේශනා කරපු අනිත්‍යතා දහම ම නේ ද එතැනත් තියෙන්නෙ. අපි ඒක දැනගෙන ජීවත් උනාම හරි.”
“අය්යෙ මට දැන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලෙ ඉන්න වෙයිනෙ. එතකොට අර චිත්‍ර දෙකේ අර්ථය මගෙ ජීවිතයට සමීප වෙන අවස්ථා උදා වේවි. ඒක දැනගෙන මම ජීවත් වෙන්නම්.”
“ඒ විතරක් නෙමෙයි මල්ලි, ඔයාට හෘදයංගම අය වගෙම එහෙම නොවන අයත් එක්කත් වැඩ කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ගුප්ත විදිහට කටයුතු කරන අයත් මුණ ගැහේවි.”
“අර මුලින් කියපු හෘදයංගම සහ හෘදයංගම නොවන කියන කණ්ඩායම් දෙකනං මට පැහැදිලියි. අය්යා ගුප්ත චරිත කියලා අදහස් කළේ මොන විදිහෙ අය ද?”
“මල්ලි මට එහෙම අයට ජීවමාන සාධක වෙච්ච චරිත එක්ක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. අපි කැමති උනත් අකමැති උනත් ඔය කාට උනත් ඒක කරන්න වෙනවනෙ එකම තැන වැඩ කරන කොට.”
“ඔය අය්යා කියන ගුප්ත චරිතවලට ආවේණික වෙලා තියෙන්නෙ මොන වගෙ චරිත ලක්ෂණ ද?”
“මල්ලි එහෙම අය මතුපිටින් බොහොම සුහද විදිහට කටයුතු කරනවා. අපි ළඟ ඉන්න කොට අපිව වර්ණනා කරනවා. හැබැයි නැති තැනදි ගහන්න පුළුවන් උපරිම විදිහට ගහනවා.”
“එයා එහෙමනං අර නාරායණශර්මන්ගෙ හිතෝපදේශෙ කියැවෙන ජාතියෙ කෙනෙක්නෙ.”
“ඒ කිව්වෙ මල්ලි?”
“ඇයි අය්යේ හිතෝපදේශෙ එක තැනක තියෙනවා නැති තැනදි කටයුතු නසන, ඉන්න තැන ප්‍රිය වචන කතා කරන, අයව මුව විට තෙක් පිරිලා තියෙන විෂ කළයක් වගේ වර්ජනය කරන්න කියලා. ඒකෙ සංස්කෘතෙන් තියෙන්නෙ මෙහෙම යි.
පරෝක්ෂේ කාර්යහන්තාරං ප්රත්යක්ෂේ ප්රියවාදිනම්
වර්ජයේත් තාදෘශං මිත්රං විෂකුම්භං පයෝමුඛම්”
“අර මම කිව්වෙත් ඒ ජාතියෙ අය ගැන. හොඳ මිනිස්සු ඉන්නවා වගේ ඒ ජාතියෙ අයත් ලෝකෙ ඉන්නවා. මල්ලි, ඔයා කොතැනට ගියත් එහෙම අයත් ඉන්න පුළුවන්. නම විතරයි වෙනස් වෙන්නෙ. පුද්ගල ස්වභාව අතින් එක්කෙනයි. ඒ අය තේරුම් අරගෙන ඒ අයත් එක්ක විශේෂ යාළුකමකින් වත් - විශේෂ තරහකින් වත් තොර ව වැඩ කරන එක තමයි අපිට කරන්න තියෙන්නෙ.”
“අර අය්යා කියපු ගුප්ත චරිතවල අය්යා දැකපු තව විශේෂ ලක්ෂණ තියෙනව ද?”
“ඔව් මල්ලි එහෙම අය හරිම බරපතල දේවල් සිද්ද වෙන තැනට පාර කපනවා. ඒත් කිසිම තැනක දි යටින් ඉඳගෙන අප්‍රකට ව වැඩ කරනවා මිසක් ඒ කිසිම තැනක දි ප්‍රසිද්ධියෙ පෙනී සිටින චරිතයක් බවට පත් වෙන්නෙ නැහැ. කිසිම කෙනෙකුට ඒ චරිතෙ තමයි මේකට මුල් උනේ කියන එක හිතාගන්නවත් සාක්කි තියන්නෙ නැහැ. ඔයා ඒව ලොකුවට හිතට ගන්න ඕනෙත් නැහැ, නොතකා ඉන්න ඕනෙත් නැහැ.”
“හැබැයි අය්යෙ ඒ අයට අමතක වෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකයට හොරෙන් කරන කිසිම දෙයක් ලෝකයට රහසක් නොවන බව. ඔය අදහස දෙන පාඨයක් තියෙනවා අය්යෙ ඍග්වේදෙ.”
“ඒ මොකක් ද මල්ලි.”
“මේක තියෙන්නෙ අය්යෙ ඍග්වේදෙ වරුණ සූක්තෙ. වරුණ දෙවියො තමයි ඍග්වේදෙ කිසිම බාහිර ස්වරූපයකින් අඳුන්නලා දීලා නැත්තෙ. හැබැයි එයාගෙ හැසිරීම - චරණය ප්‍රබලයි. කොටින් ම කියනව නං ඒ වරුණ සූක්තෙ කියැවෙන විදිහට අපට කිසිම දෙයක් වරුණ දෙවියන්ට හොරෙන් කරන්න බැහැ. මොකද එයා අපි දෙන්නෙක් එකතු වෙලා කිසියම් දෙයක් රහසින් කරනව නම් රහසින් කතා කරනව නං වරුණ තෙවැන්නා ලෙස ඒක නිරීක්ෂණය කරන නිසා. වරුණස්තෘතීයඃ කියන වචන දෙකෙන් අදහස් වෙන්නෙ ඒකයි.”
“ඒ කියන්නෙ අර කුඩලිගම කවියා කියපු මුළු ලොව කිසිවකුට කිසිම දෙයක් පිළිබඳ යටගිය තතු රහසක් නොවේවා කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා නොකළට ඒක රහසක් නොවන එකනෙ.”
“මල්ලි, ඔයා වරුණ දේව සංකල්පෙ ගැන ලියන්න. මට හිතෙනවා ඒක අපි කාටත් අපේ ම ජීවිත දැක ගන්න උදව් කරන කැඩපතක් වේවි. මිනිස්සු තමන් කරන දෛනික වැඩ ගැනත් මීට වඩා සැලකිලිමත් වේවි. ඒක නෙමෙයි මල්ලි, ඔයා මට කඨෝපනිෂද් පොතක් හොයලා ගෙනත් දෙනව ද?”
“හොයලා ගෙනත් දෙන්න ඕනෙ නැහැ. කැකුළාවල සර් ලොකු පෙරවදනක් එක්ක ඒකට කරපු සිංහල පරිවර්තනේ තියෙනවනෙ ගෙදර. ඒ වගෙම ස්වාමි සර්වානන්ද කරපු ඉංග්‍රීසි පරිවර්තනෙත් තියෙනවා. ඇයි අය්යා එක පාරට ම මාතෘකාව වෙනස් කළේ උපනිෂද්වලට.”
“නෑ මල්ලි ඔයාගෙ සර් පහුගිය දවසක හමු වෙච්ච වෙලාවක පලිහවඩන සර් එයාට තෑගි දුන්න පොතක තිබිච්ච උපනිෂද් ප්‍රකාශයක් පෙන්නුවා. ඒක මට දැනිච්ච නිසා මම ඒක ලියා ගත්තා මගෙ දිනපොතේ. ඔහොම ඉන්න දැන් ම කියන්න පුළුවන් ඒක ඔයාට.”
සිය දිනපොත අතට ගත් විපුල් එම ප්‍රකාශය මෙසේ කියවීය.
“ශ්රේය්ශ්ච ප්රේයශ්ච මනුෂ්යමෙතත් - තෞ සම්පරීත්ය විවිනක්ති ධීරඃ”
“ඒ උනාට අය්යෙ ඔයා ප්‍රකාශෙ කෙනෙක් සම්බන්ධයෙන් ඇත්තක් වෙන කොට තවත් කෙනෙක් ඕකෙ අර්ථ වෙනස් කරලා ජීවිතයට සමීප කරගන්නත් පුළුවන්.”
“ඒ කියන්නෙ මල්ලි මට ඔයා කියන දේ පැහැදිලි නැහැ.”
“මේකනෙ අය්යෙ ඔය පද්‍යයෙන් කියන්නෙ හොඳ දෙයයි ප්‍රිය දෙයයි දෙකම කෙනෙක් වෙතට ළඟා වෙනවා, ප්‍රඥාවන්තයා ප්‍රිය දෙය අතහැරලා හොඳ දෙය තෝර ගන්නවා. ඉතින් අය්යෙ කෙනෙකුට හොඳ දේම ප්‍රිය වෙන තැන ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නැහැනෙ.”
“මල්ලි කියන ඒ කතාවත් ඇත්තනෙ. මල්ලි ඔන්න ඔතන නුග ගහ යට පොඩ්ඩක් නවත්තන්න කාරෙක.”
“ඇයි අය්යෙ එකපාරට ම මේ ගහ යට වාහනේ නවත්තන්න කිව්වෙ.”
“ඕක මට ලොකු ස්මරණයක් තියෙන ගහක්. සමනු යි මම යි දීපා එනකන් ඔය නුග ගහ යට ඉඳගෙන කලාව ගැන කතා කරපු තැන ඔය. අපි මල්ලි මුඩ්ලියර් අමරසේකරතුමාගෙ මරණින් පස්සෙ එතුමාට ආදරය කරන අය එකතු වෙලා කරපු චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න කතා කරගෙන අපේ දීපා එනකන් ඔතන බලාගෙන හිටියා.”
“අය්යා දීපා කියන්නෙ චිත්‍රශිල්පිනියක් විදිහට නමක් දිනා ගත්ත දීපක්කා නේද?”
“ඔව් මල්ලි, සෞන්දර්යෙදි සමනුයි මමයි මේ ප්‍රදර්ශනේ බලන්න යන්න කතා කරගන්න වෙලාවෙ අපේ දීපත් ආවා එතෙන්ට. එයත් කැමති උනා ඒ ගමනට එක් වෙන්න. එයා කිව්වෙ ඔන්න සමන්, ඔන්න විපුල් මමත් එනවා ඔය ගමනට. මන් අපේ කාර්රෙක අරගෙන එන්නම් ඔයගොල්ල මට තැනක් කියන්න මන් එතෙන්ට එන්නම් අපි තුන්දෙනාටම පුළුවන් එකට ම යන්න කියලයි.”
“ඔය කාලෙ අපේ කාණ්ඩෙන් වාහනයක් කියලා එකක් තිබ්බෙ අපෙ දීපට විතරයි. එදා දීපා එනකම් සමනුයි මමයි කලාව ජීවිතය ගැන ගොඩක් දේවල් කතා කර හිටියෙ මල්ලි ඔය ගහ යටට වෙලා. ඒක අනුස්මරණිය අද්දැකීමක්. දීපලා ආවට පස්සෙත් අපි හතර දෙනා ටිකක් වෙලා එතන රැඳිලා කතා කර කර ඉඳලා තමයි ප්‍රදර්ශනේ බලන්න ගියේ.”
“හතර දෙනා කිව්වෙ අය්යේ. තුන්දෙනානෙ ඔය කියන විදිහට එතන ඉඳලා තියෙන්නෙ.”
“නෑ මල්ලි දීපා ආවෙ තනියම නෙමෙයි අපේ දිනසිරිත් එක්ක.”
“දිනසිරි දිසානායක, අපේ සර්ගෙ පොත්වල දහයකටත් වඩා ප්‍රමාණෙක චිත්‍ර ඇඳපු අය්යනෙ දිනසිරි කියන්නෙ.”
“ඔව් මල්ලි එයා තමයි ඒ. මේ සාකච්ඡාව මල්ලි ප්‍රදර්ශනේ බලන්න ගියාට පස්සෙ පස්දෙනෙක්ගෙ සාකච්ඡාවක් උනා. ඒ කියන්නේ එදා ඒ ප්‍රදර්ශනේ බලන්න ඇවිල්ල හිටපු චිත්රශිල්පි බන්ධුල කුමාරත් ඒ පුංචි සාකච්ඡා මණ්ඩපේ සාමාජිකයෙක් උනා.”
“ඒ කියන්නේ ශිඛරි - ගෝනබැද්ද වගේ චිත්‍රකතා ඇඳපු අය්යා නේද?”
“ඔව් මල්ලි, කලාව ගැන ලොකු හැඟීමක් වගෙම බොහොම අහිංසක හිතක් තියෙන කලාකාරයෙක්නෙ බන්ධුල අය්යා කියන්නෙ. අවාසනාව කියන්නෙ ඒ හමු වෙලා කෙටිකාලෙකට පස්සෙ ඒ කලාකරුවා සමන් වගෙම අපට සමාජෙට අහිමි උනා. සමහර හොඳ මිනිස්සු අපට හිතා ගන්නත් බැරි තරන් ඉක්මනට අපෙන් සදහට ම සමු අරගෙන යනවා. ඒ වගෙම අපට අකාලෙ තරුණ වයසෙ දිම අහිමි වෙච්ච කෙනෙක් තමයි මාධ්‍යවේදී කිත්සිරි සමරනායක. හැබැයි කිත්සිරිගෙ මරණය බන්ධුල අය්යගෙ වගෙ ස්වාභාවික මරණයක් නෙමෙයි, ඝාතනයක්. ඝාතකයා දැනන් හිටියනං මම මේ සමාජයට අහිමි කරන්නෙ මිනිස්සු ගැන නිතර සහකම්පනයෙන් ලියපු මනුස්සයෙක් කියලා සමහර විට මේ සිදුවීම නොවෙන්නත් ඉඩ තිබුණා.”
“අය්යෙ සමන් අය්යා කියපු වැරදීම් සිදු වන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසයි. පිළියම දැනුවත් මිනිස් සමාජයක් ඇති කිරීමයි කියන ප්‍රකාශය යථාර්ථයක් කරන්න වැඩ කරන මිනිස්සු අපට අවශ්‍ය වෙන්නෙ මේ නිසයි.”
“මල්ලි, ගුරුවරයෙක් විදිහට ඔයාගෙත් කලාකරුවෙක් විදිහට මගෙ ඉදිරියෙත් තියෙන්නෙ ඒ මෙහෙවර තමයි. අපි අර කියපු බන්ධුල අය්යට - කිත්සිරි සමරනායකට වගෙම අපේ සමන්ටත් ඇත්තට ම උපහාර දැක්වීම තියෙන්නෙ එහෙම වැඩ කරන තැනයි.”
“අය්යෙ හුඟක් හොඳ මිනිස්සු ඇයි තමන් ඝාතනය කරගන්නෙ. මම මේ අදහස් කළේ සිය දිවිනසා ගැනීම් ගැන. ප්‍රණීත් සර් දවසක් විශ්වවිද්‍යාලෙ එකට ඉගෙන ගත්ත ඒ වගෙ අහිංසක හොඳ චරිතයක් ගැන කිව්වා. මට මතක හැටියට නම සනත් ආනන්ද වීරවර්ධන. සර් කියපු හැටියට හොඳ ලේඛන හැකියාවක් තිබුණ කෙනෙක් ඒ.”
“ඔව් මල්ලි, ඒකත් හරිම අපරාධයක් තමයි. අපිට අයිතියක් නෑ මල්ලි අනුන්ගෙ ජීවිතවලට වගෙම අපේ ජීවිතවලටත් හානියක් කරගන්න. ජීවිතයේ අගය - අර්ථය වගෙම සුන්දරත්වය කියාදෙන කලාවක්, විද්‍යාවක්, මාධ්‍ය සංස්කෘතියක් එදාටත් වඩා අවශ්‍ය කරන්නෙ අදට.”
“අනුන් නසන එකත් වැරදියි - තමන් නසා ගන්න එකත් වැරදියි. ඇයි අය්යෙ මේ තරම් බෞද්ධ පදනමක් තියෙන රටක් වෙලත් අපට මෙහෙම උනේ.”
“මල්ලිට මතක ද මෙයට සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා දවසක ඉංග්‍රීසි පත්තරේකට ලිපියක් ලියලා තිබුණා පලියහඩන සර් කියලා. සර් අන්න ඒ ලිපියෙදි මල්ලි මේ දැන් කතා කරපු කාරණෙත් මතු කරලා තිබුණා. ගුරුවරයෙක් හැටියට ඔයත් ඔයාගෙ ශිෂ්‍ය ප්රජාවත් එක්ක මේ කාරණා ගැන මීට වඩා කතා කරන්න. මන් හිතන්නෙ ඒක විෂය දැනුම දෙනවටත් වඩා වැදගත්.”
“අය්යෙ, අපේ සර් කිව්වා සර්ලට උගන්නන්න සර් කෙනෙක් ආවලු ප්‍රේමතිලක හඳපාන්ගොඩ කියලා. සර්ගෙ ප්‍රධාන විෂය සිංහල. සර්ලට කාලයක් ඉතිහාසයත් උගන්නල තියෙනවා ඒ සර්. ඉතිහාස පාඩම සිංහල පාඩමක් වගේ රසවත් ව උගන්නන් පුළුවන් නේද කියන හැඟීම සර්ලගෙ හිත්වලට ඇවිත් තියෙන්නෙ ඒ සර් නිසා. හැබැයි සිංහල උගන්නන්න ආවත් - ඉතිහාසය උගන්නන්න ආවත් ඒ සර් පාඩමට අමතර ව ශිෂ්‍යයන්ගෙ අනාගත ජීවිතයට වැදගත් වෙන දේවල් කතා කරලා තියෙනවා. ඒ සර් නැති උනා කියන පණිවිඩය ආවෙත් ආවෙත් සර් අපට දේශනයක් කර කර හිටිය වෙලාවක. එදා අපේ සර් ඒ සර් සර්ලගෙ ජීවිතයට එකතු කරපු දේවල් ගැන අපිත් එක්කත් ටික වෙලාවක් කතා කළා. ජීවිතය වැටෙන කොට නැගිටවන වචන සර් කියනවලු. දවසක් අපේ සර් උසස් පෙළ පන්තියෙ ඉන්දැද්දි ලියලා දුන්න කවියක් සර් තවම මතකෙන් කියනවා. මට මතක හිටියා ඒකෙ අන්තිම පද දෙක.”
“කියන්න බලන්න මටත් ඇහෙන්න ඒක.”
“කරුණක් කියමි මගෙ ආදරණීය සහන්
වැටුණත් පෑගුණත් නැගිටලා පෙරට යමන්”
“ඒ වගෙම තමන් ඇසුරු කරන අයත් එක්ක කරන ජීවන ගනුදෙනුවෙ දි පවා ඒ සර්ට නිරායාසයෙන් කවි කියැවෙනවලු. දවසක් අපේ සර්ලගෙ ගෙදර ඇවිත් තියෙනවා සර්ලගෙ තාත්තා කොළඹ කවි පරපුරේ පැරණි කවියෙක් කියන එක දැනගෙන. එදා තමයි සර් දැනගෙන තියෙන්නෙ සර්ලගෙ තාත්තගෙ ජ්‍යොතිෂ දැනුම ගැන. එදා යන්න ඉස්සෙල්ලා මෙන්න මේ කවිය ලියලා ඒක කියලා ලියපු කවිය සර්ලගෙ තාත්තා අතට දීලා තමයි හඳපාන්ගොඩ සර් ගිහින් තියෙන්නෙ.
දුටු සඳ මුහුණ කාගෙත් සිත පහන් කෙරේ
පැහැනද සොඳුරු නැණ වදනින් නුවන් පිරේ
සුවිසද උපත ලද අසබඩ සමන් ගිරේ
මැතිසඳ සදා දුන මැන මේ කේන්දරේ
සර් එදා කිව්වා හොඳ මිනිස්සු නැති උනහම ඒක තදින් ම පපුවට දැනෙනවා කියලා. කැලණිය විශ්වවිද්‍යාලෙ උපකුලපතිවරයා විදිහට වැඩ කරපු කඨෝනිෂදය සිංහලට පරිවර්තනය කරපු කැකුළාවල සර් නැති උන දවසෙත් සර් කිව්වෙ ඒ වචන ටිකම තමයි. මිනිහෙක්ගෙ හිතේ ඇති වන ඒවගෙ හැඟීම් තමයි කවි බවට ගී බවට පත් වෙන්නෙ. එහෙම කවියක් කියවන කොට, එහෙම ගීතයක් අහන කොට ඒ කවියගෙ - ගීතරචකයගෙ අද්දැකීම අපට දැනෙන්නෙ අපේම අද්දැකීමක් විදිහට යි.”
“මන් හිතන හැටියට කලාවෙ වගෙම විද්‍යාවෙ මෙහෙවර වෙන්න ඕනත් මල්ලි කියපු ඔය කාරණේම තමයි. විද්‍යාව කලාව සේවය කරන්න ඕන අපේ තියෙන වෙනස්කම් නැතිකරලා අපේ තියෙන සමානකම් මතු කරන්න. විශ්ව සාහිත්‍යය බවට පත්වෙන්නෙ එහෙම ඒවනෙ මල්ලි.”
“ඒ වගෙම අය්යෙ, විද්‍යාවෙ මෙහෙවර ගැන කියද්දි මට අදිකාරම්තුමා මතක් වෙන්නෙ එතුමා තමන් කියවන පොතක පතක තියෙන දෙයක් ලෝකය දකින ඇහක් වෙයි කියලා හිතුවනං ලෝකයෙ අසමානකම් නැති කරනව කියලා දැනුණ නං ඒ වගෙ දේවල් සමාජගත කරන්න වහාම ක්‍රියාත්මක උනා. වෛද්‍ය ක්ෂේත්රයෙ ඉන්න කොයි තරම් නම් උගත්තු වෛද්‍ය විශ්වකෝශ කියවලා ඇද්ද? ඒත් අදිකාරම්තුමා ඒව කියවලා අපටත් කියවන්න සලස්සපු නිසා තමයි අපි වගෙ අයත් දැන ගත්තෙ ලෝකයෙ ඉන්න මිිනිසුන්ට තියෙන්නෙ ලේ වර්ග හතරෙන් එකක් බව. අදාළ ලේ වර්ග අද අපි ජාති වශයෙන් බෙදාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ගෙ ලේ එක්ක ගැළපෙනවා. අදිකාරම්තුමා උද්ධෘත කරලා දක්වපු වෛද්‍ය විශ්වකෝශ පාඨයට අනුව අපේ ඇඟවල්වල තියෙන්නෙ ධ හරි ් හරි ඊ හරි ්ඊ හරි කියන ලේ වර්ගවලින් එකක්. ඒ කියන්නෙ ඒ වර්ගයට අයත් ලේ තියෙන රුසියන් ජාතිකයකුට පුළුවන් ඒ ලේ වර්ගෙ ලේ ම තියෙන චීන ජාතිකයකුට ලේ දෙන්න.”
“ඒ කියන්නෙ මල්ලි සිංහල ලේ - දෙමළ ලේ - රුසියන් ලේ - චීන ලේ කියලා කරන කතා අපට ගන්න වෙන්නෙ විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශ විදිහට. දැන් මට ආව ප්‍රශ්නෙ තමයි විද්‍යාව දන්න අයත් විද්‍යාව ඉගෙන ගත්ත අයත් ඇයි එහෙනම් ජාතික ලෙයක් ගැන කතා කරන්නෙ.”
“ඒකට හේතු අහන්න වෙන්නෙ අය්යෙ ඒ අයගෙන් ම තමයි. ඒ විතරක් නෙමෙයි මල්ලි ඔයා කියපු අර විද්‍යාත්මක පදනමක් නැහැ කියන කාරණේට ආගමික පදනමක් නැහැ කියන කාරණෙත් එකතු කරන්න පුළුවන්. බෞද්ධ සම්ප්‍රදායෙන් දෙන උත්තරේ දැන ගන්න පුළුවන් අපට හොඳ සිහි කල්පනාවෙන් වාසෙට්ඨ සූත්‍රය කියෙව්වොත්.”
“මල්ලි, ඉස්කෝලෙදි ගෙදරින් ගෙදරට ගිහින් යහපත සමාජගත කරන වැඩ පිළිවෙළක් ඔයගොල්ලන්ගෙ තිබුණ නේද? දැන් ඒක විශ්වවිද්යාලෙදදි ගමින් ගමට - නගරයෙන් නගරයට යන වැඩ පිළිවෙළක් බවට පත් කරන්න.”
“කාලෙක ඉඳලා එහෙම වැඩ ජපුරෙත් කෙරෙනවා අය්යෙ. මන් දන්න තරමින් ශාස්ත්‍ර පීඨය - විද්‍යා පීඨය - වෛද්‍ය විද්‍යා පීඨය - කළමනාකරණ පීඨය කාලයක ඉඳලා එහෙම වැඩ කරගෙන යනවා. අනික් පීඨවලටත් දැන් ඒක බෝවේගනයි යන්නෙ.”
“නරක නෙමෙයි හොඳ බෝ වෙන එක කොච්චර වටිනව ද? මල්ලි, ඔයගොල්ලන්ගෙ විශ්වවිද්‍යාලෙ කියන්නෙ භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා කියන සිවුවණක් පිරිස ම ඉන්න තැනක්නෙ. ඒ වගෙම සිංහල - දෙමළ - මුස්ලිම් කියන සම්මත ජාති තුනට ම අයිති අය ඉන්න තැනක්නෙ. එච්චරක් ද විදේශ ශිෂ්‍යයොත් ඉන්නවා නේද විවිධ රටවලින් ආපු. ඒ කියන්නෙ ජාති - ආගම් භේදයකින් තොර ව හොඳ පතුරන්න පුළුවන් තැනක්. මට තේරෙන විදිහට අර බුදුහාමුදුරුවො කියන මහට්ඨ - මහාකිච්ච - මහාධිකරණ - මහාසමාරම්භ වැඩ පටන් ගන්න හොඳම තැනක් තමයි සරසවිය කියන්නෙ.”
“අය්යා මේ කතා කරන්නෙ මජ්ක්‍ධිම නිකායෙ බ්‍රාහ්මණ වර්ගයේ එන සුභ සූත්‍රයේ එන අදහසක් ගැනනෙ.”
“ඔව් මල්ලි, අපේ ධම්මජීව හාමුදුරුවන්ගෙන් තමයි මම ඒ ගැන ඉගෙන ගත්තෙ. පාලියෙන් මහට්ඨ කියන්නෙ මහා අර්ථ තියෙනව කියන එකත් මහාකිච්ච කියන එකේ සංස්කෘත රූපය මහාකෘත්‍ය කියන එකත් මහාසමාරම්භ කියන්නෙ මහත් - මනා ආරම්භයක් තියෙන වැඩ කියන එකත් මට පැහැදිලි යි. ඇයි මල්ලි මෙතන මහාධිකරණ කියන නමත් දාලා තියෙන්නෙ.”
“අය්යෙ, මෙතන මහා කියන වචනෙ අර්ථෙ කොහොමත් පැහැදිලියිනෙ. ඒකට පස්සෙ යෙදෙන අධිකරණ කියන වචනෙටත් හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා. අධි කියන උපසර්ගෙ තියෙනවනෙ උඩින් ඉහළින් කියන අර්ථෙ. එතකොට කිරීම යන අර්ථෙ දෙන කෘ ධාතුවෙන් හැදෙන කරණ ඒකට එකතු කළාම උසස් ලෙස කරන දේවල් කියන අර්ථෙ දෙන අධිකරණ කියන වචනෙ හැදෙනවා. ඔය ගැන කතා කරද්දි වෙන මොනවද අය්යෙ අපේ ධම්මජීව හාමුදුරුවො කිව්වෙ.”
“හාමුදුරුවො එදා කිව්වා මල්ලි, අපි මහ වැඩ කියලා හිතාගෙන කරන සමහර වැඩවලින් ලැබෙන්නෙ අල්ප පල නම් ඒවා අර කියන විශේෂණ දාලා කතා කරන්න පුළුවන් මහාකෘත්‍ය කියලා කියන්න පුළුවන් විදිහෙ වැඩ වෙන්නෙ නැහැ කියලා. ඒ වගෙම සමහර විට පුංචි වැඩක් කියලා හඳුන්වන වැඩක් මහාසමාරම්භයක් තියෙන මහාකෘත්යයක් වෙන්න පුළුවන් කියලත් උන් වහන්සෙ කිව්වා. ඊළඟට භෞතික වත් මහ වැඩක් වෙන සමහර වැඩක් නිසා මහ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කියලත් උන් වහන්සෙ කිව්වා. ඊට අමතර ව අපි කරන පොඩි වැඩක් නිසා ලැබෙන්නෙ පොඩි ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියන එකත් උන් වහන්සෙ කිව්වා.”
“ඔව් අය්යෙ, කෙනෙක් ලොකු දුකකින් ඉන්න වෙලාවක තව කෙනෙක් ඇත්ත හැඟීමකින් කියන එක ආදරණීය වචනයක් එයාට මහමෙරක් වෙන්න පුළුවන්නෙ. ඒ වගෙම එක වචනයක් නිසා - සමහර විට එකම එක කවියක් නිසා - ගීත ඛණ්ඩයක් නිසා කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණ වෙනසකට පත් වෙන්න පුළුවන්. ඒක බැලු බැල්මට පුංචි දෙයක්. ඒත් එතන තියෙන පණිවිඩය ප්‍රබල නම් ඒකෙ ප්‍රතිඵලය අපට මහාධිකරණ - මහාසමාරම්භයක් තියෙන මහාකෘත්යයක් විදිහට සලකන්න පුළුවන්.”
“එතකොට මල්ලි, ඕකෙ අනිත් පැත්ත ගැන අපට කියන්න පුළුවන් වෙනවා මෙහෙමත් දෙයක්. ඒ කියන්නේ පිටු සිය ගණනාවක් තියෙන නවකතාවක හරි, ශාස්ත්‍රීය යයි සම්මත ලොකු පොතක හරි තියෙන අර්ථය කුඩා වෙන්න පුළුවන් කියන එක.”
“ඒ විතරක් නෙමෙයි අය්යෙ, සමහර විට පොඩි අර්ථයක්වත් නැති විතරක් නෙමෙයි සමාජය අර්ථවිරහිත කරන දේවල් ඒවයෙ තියෙන්නත් පුළුවන්. ඒක නිසා ගුරුවරුන් හැටියට අපේ ඉදිරියේ තියෙන වගකීම තමයි හංස මෙහෙවර. අය්යගෙ සමකාලීන මිත්‍රයා කියන විදිහට අපි ඉදිරියෙ තියෙන දේවල් අධ්‍යයනය කරලා හංසයෙක් දියෙන් කිරි වෙන් කරගන්නවා වගේ හොඳ දේ සමාජගත කරන එක. බලන්න අය්යෙ, මන් දන්න තරමින් එකම කවි පොතක් ලියපු සරත්චන්ද්‍ර වල්පොල කියන කවියා මහට්ඨ කවි නැත්නං මහාර්ථ කවි කියලා කියන්න පුළුවන් දෙපද කවි පොතක් රචනා කරනවා. මන් උදාහරණ හැටියට ඒකෙන් එකම කවියක් විතරක් උදාහරණයක් විදිහට ගන්නම්. බලන්න අය්යෙ මේ කවිය.
උනද්දී ප්‍රේමයේ උල්පත්
කුමකට ද ඒවාට බිල්පත්”
“ඒකත් අමුතු මහාසමාරම්භයක් තියෙන කවියක් තමයි. දැන් ටිකෙන් ටික ගෙදරට ළංවේගෙන එන්නෙ. ඔයාට මතක් වෙන්නෙ නැද්ද මල්ලි අපේ මාතෘකාවත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් ගීතයක් එහෙම.”
“අය්යෙ එහෙම ගීත එහෙම ගීතෝක්ති කීපයක් ම මට මතක් වෙනවා. මන් ඒවයෙන් එක ගීතෝක්තියකුයි එක ගීතෙක වචනයි කියන්නම්, පොඩි අදහස් දැක්වීමකුත් කරලා.”
“එකක් ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියා ගායනා කරන ගීතයක්. මේක ලියලා තියෙන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් කියන ප්‍රවීණ ගේයපද රචකයා. ඔහු දකිනවා බුදුන් වහන්සේගේ පාමුල පිදෙන අප්‍රමාණ මල්. මල් පින් කරලා තියෙනවා ඔබ වහන්සේ ගේ පාකමල් ළඟ පූජා වෙලා පරවෙලා යන්න. ඒත් ඒ පින මනුෂ්‍ය කුලකය නියෝජනය කරන තමන්ට නැහැ. ඒක නිසා ප්‍රේමකීර්ති මල් සිහි කරලා බුදුහිමියන්ගෙන් අහන මේ ප්‍රශ්නෙ දිහා බලන්න.
මිනිසත් බවය ලද මට නැති ලබන්නට
මල කළ පින කිමෙක ඔබ ළඟ මියෙන්නට”
“මල්ලි, ඔන්න දැන් අපේ සාකච්ඡාව නවත්තන්න වෙන වෙලාව කිට්ටු වෙලා. දැන් අපි මේ අයිනක වාහනේ නතර කරලා හරි මේ කතාවෙ උපරිම තැනකින් කතාව අදට නවත්තමු. මන් හිතන්නෙ අර ඔයාට මතක් වෙනවා කිව්ව ගීතෙම හොඳ අවසානයක් වේවි ඒකට.”
“අය්යෙ, මට ඉන්දියාවෙදිත් නිතර මතක් වෙච්ච ගීතයක් තමයි ඒ. ඒ වගෙම අවුකන - මාලිගාවිල - බුදුරුවාගල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ළඟදි වගෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සෙ ළඟදිත් නිතර සිහි වෙන ගීතයක් තමයි ඒ. දවසක් මට හරි වැඩක් උනානෙ අය්යෙ.”
“අර ඔයගොල්ලන්ගෙ මහානාම සර් කියල තියෙන හැටියට හරි වැඩක් නං උනේ කලබල වෙන්න දෙයක් නැහැ. ඒත් වැරදි වැඩක් නං උනේ අප අතින්, එතකොට නං කලබල උනාට කමක් නැහැ.”
“මන් මේ කියන සිද්ධියට සම්බන්ධ සිදුවීම වෙන්නෙ අපේ සරසවි ජීවිතේ අධ්‍යයන චාරිකාවක දි. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සෙ ඉදිරියෙ. ඒ වෙලාවෙ අය්යත් දන්න අනිල් - ජගත් - සුනෙත් - බිම්බා - සුදර්ශි -ඉන්දු- වීණා - ප්‍රේමා වගේ සමකාලීන මිතුරු මිතුරියොත් මාත් එක්ක හිටියා. අනිලුයි මමයි සුදර්ශියි තරමක් ඈතට වෙලා පිළිම වහන්සේ දිහා බලන් ඉන්දැද්දි අනික් හතර දෙනා අපි වැඩි දෙනා කරන විදිහට බොහොම බැතිබර ව ගාථා කියමින් බුද්ධ වන්දනාවෙ යෙදුණා. වැඩේ කියන්නෙ ඒ මොහොතේ බුදුහාමුදුරුවන් ගැන ඇති වෙච්ච අසීමිත හැඟීම මගෙන් ප්‍රකාශයට පත් උනේ අර මම කියපු ගීතය වචනවලින් වගෙම සැරින් සැරේ ඒක හදවතින් කියමින්. ඔන්න ඔය වෙලාවෙ අපේ සමකාලීන මිත්‍ර ධම්මජීව හාමුදුරුවො එතනට ආවා. ඒ වෙලාවෙ අපේ වීණා කිව්වා බලන්න අපේ හාමුදුරුවනෙ අපි හතර දෙනා වඳින වෙලාවෙ මේ හතර දෙනා අපිට එකතු උනේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ මේ ගඟුල් අපි එනකොටත් පිළිම වහන්සෙ දිහා බලාගෙන කිව්වෙ ගාථා නෙමෙයි ගීතයක් කියලා ආදරණීය චෝදනාවක් කළා. ඒ වෙලාවෙ ධම්මජීව හාමුදුරුවො ඇහැව්වෙ වීණා මේ ගඟුල් කිය කිය හිටියෙ හද පහන් කරන ගීයක් ද එහෙම නැත්තං හද නොපහන් කරන ගීතයක් ද කියලයි.”
“ඉතින් මොකක් ද අපේ වීණා කෙල්ල දුන්න උත්තරේ?”
“එයා ටිකක් වෙලා කල්පනා කරලා මගෙ දිහාත් බලලා කිව්වා හාමුදුරුවනේ හැබැයි ඒක හද පහන් කරන ගීතයක් මිස හද නොපහන් කරන ගීතයක් නෙමෙයි කියලා.”
“එහෙනං වීණා, ගඟුල් වෙනස් විදිහට කරලා තියෙන්නෙ ඔය ගොල්ලො කරපු දේ ම තමයි කියන එකයි ධම්මජීව හාමුදුරුවන්ගෙ උත්තරේ උනේ. කෙනෙක් යම් දෙයක් කරන්නේ ශාස්තෲන් වහන්සේ ගැන සුපහන් හැඟීමකින් නම් එතනත් පූජනය සහ භාවනය තියෙනවා කියන එකයි අපේ හාමුදුරුවන්ගෙ උත්තරේ උනේ.”
“මොන විදිහෙ අර්ථයක් තියෙන ගීතයක් ද මල්ලි ඒ.”
“ඒ ගීතයේ මුලදි බුදුන් වහන්සේගේ අසීමිත බාහිර රූප සෞන්දර්යය වර්ණනා කරන ගමන් කවියා ඉස්මතු කරන්නේ උන් වහන්සේගේ පමණ කළ නොහෙන ආධ්‍යාත්මික ගුණ. ඒ නේත්‍ර යුග්මයේ විශේෂත්වය වෙන්නෙ මහා කරුණාවෙ ගඟුලැල්ල ගලා එන නිසයි, ඉන් සත්‍යයේ ප්‍රතිබිම්බය දෘශ්‍යමාන වන නිසයි. උන් වහන්සේ පාකමල් සුවිශේෂ වන්නේ ඒ පාද යුග්මය යළි කිසිදා සංසාර ගමනේ යෙදෙන පාද යුග්මයක් නොවීම නිසයි.”
“ඒක හරිම අපේ හදවතේ ගැඹුරුම තැනට දැනෙන වෙනස් ප්රකාශනයක්නෙ. මට වෙනස් චිත්‍රයකට උල්පත වෙන තැනක්නෙ මල්ලි මේ.”
“ඊට පස්සෙ අය්යෙ මේ ගීතෙ කියැවෙනවා උන් වහන්සේ අමා දම් වැසි වස්සවලා අපේ ජීවිතවල ඇති වන ශෝක සන්තාප නිවනවා කියලා. ඊටත් පස්සෙ තියෙන්නෙ උන් වහන්සේගේ බාහිර රූපකාය විචිත්‍ර විදිහට විස්තර කිරීමක්. මේ ප්‍රතිමා වහන්සෙලා දකින කොට අපට කවියෙක් වෙලා - ගීතරචකයෙක් වෙලා බැති ගී ලියන්න හිතෙනවනෙ. අන්න ඒක තමයි මේ ගීතරචකයට වෙන්නෙ. ඔහු ලොවුතුරා බුදු ගුණ ප්‍රකාශ කරගන්න මාධ්‍යය වෙන්නෙ ගීතය.”
“කවුද මල්ලි ඔයා කියන මේ ගීතරචකයා.”
“අය්යෙ, මේකෙ රචකයා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ. ඔයගොල්ල රත්න ශ්‍රී අය්යා කියලා ආමන්ත්‍රණය කරන වැඩිහිටි මිත්‍රයා. මේකෙ අන්තිම තමයි ගීතයට අයිති ප්‍රබලම ගීතෝක්තිය තියෙන්නෙ.”
“ඒ මොකක් ද මල්ලි.”
“මන් සම්පූර්ණ ගීතයම ඔයාට කියන හින්දා ඒ ගීතෝක්තිය මතු කරගන්න අය්යට ම ඉඩ තියලා ඒකෙ අදහස විතරක් කියන්නම්. අය්යෙ ඒකෙ කියැවෙන්නෙ අපේ ජීවිතේ වේදනා නැති කරලා - අපට සැනසීම ලබා දෙන ඔබ වහන්සේට මම මගේ ගෞරවය පුද කරන්නේ ඔබ පාමුල නටුවකින් බිඳී වැටෙන මලක් වෙලා කියලයි. රත්න ශ්‍රීගෙ මේ ගේයපද රචනය සංගීතවත් කරලා ගායනා කරන්නේ අපේ රටේ ජීවත් වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ මහා ගාන්ධර්වයා පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව.”
“මල්ලි, ඔයා නිතර සින්දු නොකිව්වට ගෙදර තනියෙන් ඉන්න කොට ඒවා කියනවනෙ. ඔයාගෙ හදවතේ හැඟීමත් එකතු කරලා දැන් කියන්න ඒ ගීතය. අපි ඒක අහලම ගෙදර යමු.”
අනතුරුව ගඟුල් සමරනායක තුරුණු ගුරු සහෘදයාගේ අව්‍යාජ හඬින් ඒ මොහොතේ අසන්නට ලැබුණේ සුන්දරාර්ථවාහී භක්කිපූර්ණ ඒ මධුර භක්ති ගීතය යි.
“රුවනාර සේ රුවිනි
අභිනීල නෙතු අගිනි
මහා කරුණා ගඟුල් ගලනා
සත්‍යයේ ප්‍රතිබිම්බ පෙනෙනා
චාමරෙනි ඡත්රයෙනි - විභූෂිත පා කමල
සංසාරයේ ගමන් නොයනා
ජීවිතේ සෝ තැවුල් නිවාලා මුව අගිනි
අමා දම් වර්ෂාව වසිනා
අඳුන් වන් සිරසගිනි - කේතුමාලා නැගිණි
භවාග්‍රය තෙක් එකලු කරනා
සුවාසක් දෙතොලගිනි ලොවුතුරා ගුණ ගැයිණි
සාදු නද එක පැහැර නැගුණා
වේදනා ගිනි නිවා ජීවිතය අස්වසා
නිර්වාණ ශාන්තිය සදනා
බුදු පියාණෙනි ඔබේ පා පියුම් සිප ගනිමි
මලක් සේ බිඳී නටු අගිනා”