Saturday, April 2, 2022

ගුරු දියවර නවකතාව - එකොළොස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                     ගුරු දියවර 11



                                                  ''තරු පායා දිලි දිලි මෝරා 

                                                   දෙනවාද මග තෝරා

                                                   සුවඳ හමා එන දසතින්නේ 

                                                   ඔහුගේ සුවඳ ද මේ ගෙන එන්නේ ”

 

මිහිදිනී දවසේ ප්‍රථම කාල පරිච්ඡේදයේ වැඩ ආරම්භ කිරීම සඳහා තමාට නියමිත10 ඒ පන්තිය බලා පිටත් ව යද්දී ගඟුල් තමාට සිය ජීවිතයේ වඩාත් දැනෙන ඕනෑම දවසක විශේෂයෙන් සිහිපත් වන මේ ගීතයේ වචන සෙමින් මුමුණමින් පියමං කෙළේ 12 බී පන්තිය දෙසට ය. මේ සකුණි සිසු දියණිය සිහිපත් කළ ලෙසින් තමාට පැවරුණු කාල සටහනට අනුව වැඩ පටන් ගන්නා ප්‍රථම දිනය යි. සුජාතා අත්තනායක ප්‍රවීණ සංගීතවේදිනිය විසින් ගයනු ලබන යථෝක්ත ගීතය සාමාන්‍යයෙන් අයත් කොට තිබෙන්නේ යෞවන ප්‍රේමය ප්‍රකාශයට පත් කරන ගීත අතරට වුවත් ගඟුල්ට සිතෙන්නේ ඒ ප්‍රේමය ළඟ පමණක් නතර නොකොට මෙසොඳුරු ගීතය ඊටත් වඩා උපරි තලයක රැඳවීමට ය. ඉසොඳුරු තාරකාවක් සෙයින් පායා, යන මඟ හෙළිකොට මේ භෞතික ලෝකයේ කිසි තැනෙක නොරැඳී, ජීවත් වන තුරා හද සන්තානයේ රැඳී සිටින ඒ අපූර්ව ආදරවන්තයාගේ ජීවන සුවඳ කෙසේ නම් අමතක කළ හැකි ද? නාගොල්ලාගම පාසලටත් උරුම කොට දිය යුත්තේ ඒ ගුරු සුවඳ ම නොවේ ද?  

ගඟුල් අද ඇතුළු වන්නේ හිතුවක් කරන හිතුවක්කාරයන්ගේ පන්තියට නොව විනයක් සහිත ශික්ෂාකාමීන්ගේ පන්තියට යි.

''සුබ උදෑසනක් වේවා සර්”

ගඟුල් පන්තියට ඇතුළු වත් ම සිය අසුන්වලින් නැඟී සිටි සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකාවන් ව ආචාර කරමින් අභිනව සිංහල ගුරුවරයා පිළිගත්හ.

''ආයුබෝවන් දරුවනේ සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මමත් ඔයගොල්ල ඔක්කොට ම. ඒ වගේ ම ඔය ඔක්කොට ම අද සුබම සුබ දවසක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් ඔක්කොම ඉඳගන්නකො. අපි මෙහෙම පටන් ගමු.

                            ''සිතිවිලි මුහුදු වෙරළෙහි නැගි කිරි පබලු

                            ඔබ දුටුදාට මට මුළු   දවසම          සුබලු

                            ආදරණීය දරුවනි විදුහල             බැබලු 

                            නව ජීවිතය පිළිබඳ හදවත          ඔබ ලු”

කොළඹ කවි යුගය සුවඳවත් කළ එච්. එම්. කුඩලිගම කිවිඳුන්ගේ තමාට වඩාත් දැනුණු කවක අවසන් දෙපදය මඳක් වෙනස් කොට කියූ ගඟුල්, සියලු සිසු දූ පුතුන් සිය දෑස් මානයට හසුවන ආකාරයේ බැල්මක් හෙළීය. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මවිතයෙන් මෙන් බලා සිටිති. ඔවුනට බොහෝ විට අසන්නට ලැබී ඇත්තේ තමන් දුටු විට අපට අද දවස ම සුබ යි යනුවෙන් පවසන ගුරු ප්‍රජාවක් නොව සිය බැල්මෙන් පවා ඔවුන් ප්‍රතික්ෂේප කරන ගුරු බහුතරයකි. ඒ බොහෝ දෙනා පවසන්නේ මේ පන්තියේ ඉන්නේ ම විදුහලේ නම කැත කිරීම සඳහා ම එන අසමජ්ජාතීන් බව ය. එහෙත් මේ ගුරුවරයා පවසන්නේ තමන් විදුහල බබලවන මතු නොව නව ජීවිතය පිළිබඳ හදවත ද වන බව ය. 

ඉගෙන ගැනීමේ ආශාවෙන් තමන් නොදන්නා දෙය තමාට කියා දෙනු ඇතැයි යන මහදපේක්ෂාවෙන් සිය ගුරුවරයා දෙස නෙත් යොමා බලා සිටින සිය දයාබර ශිෂ්‍ය ප්‍රජාව දෙස බලන මේ මොහොතේත් ගඟුල්ට ඇසෙන්නට දැනෙන්නට ගත්තේ ඒ ආදරණීය සහෘදයාගේ  මෘදු ඍජු වචන යි.

''මිනිස් ජීවිතයේ විකසිත වීම වෙත අධ්‍යාපනය යොමු කරන්න. තම ඉරණම කුමක් දැයි කිසිසේත් නොදන්නා වූත් සිය ඉරණම තීරණය කිරීම තම ගුරුවරුන් වෙත පවරන්නා වූත් මුළු මහත් ශිෂ්‍ය සංහතිය කෙරෙහි අප්‍රමාණික ව දයාබර වෙන්න.”

මෙහැඟුමින් හද පුරවා ගනිමින් ගඟුල් අනතුරුව ප්‍රකාශ කෙළේ පහත සඳහන් වචන යි.

''අද විතර යි මම  නිර්මාණයක්  තෝරාගෙන කතා කරන්නෙ. හෙට දවසෙ ඉඳලා නිර්මාණ තෝරන්නෙ ඔය ගොල්ලො. අපි ඉඩ ලැබෙන විදිහට ඕගොල්ලො ගේන ඒ නිර්මාණ එකින් එක අරගෙන සාකච්ඡා කරනවා. ඒ ඒ දවසට නිර්මාණයක් රස විඳින්නෙ කොහොම ද කියන එක පැහැදිලි කරන්නෙ ඒ නිර්මාණය අරගෙන ආපු කෙනාම යි. අද දවසෙ මම කරන්නෙ ඒ වැඩේට පෙර හුරුවක් විතරයි. ළමයි එකඟ ද?”

''අපි එකගයි සර්. ඒ උනාට ඒ වැඩේ ටිකක් අපිට බරපතල වැඩි නැද්ද සර්.”

''නෑ කිසිම බරපතලක් නෑ. හරි අපි මෙහෙම හිතමු. ඔයගොල්ලො මොකක් හරි සින්දුවකට හරි කවියකට හරි චිත්‍රයකට හරි කැමති ඇයි?”

''ඒක දැනෙන හින්දනෙ සර්.”

 ''හරි දැන් සසිත් ඔයාට ගොඩක් දැනිච්ච සින්දුවක කොටසක් ගායනා කරල පෙන්නන්න පුළුවන් ද?”

''සර් මේ දැන් මෙතනදි ද?”

''ඔව් මෙතනදි තමයි.”

''සර් අපේ සසිත් හරි ගායකයා. සිකුරාදා අපිට ඉකෝන් කරන සර් ආවෙ නැහැ. මුළු පීරියඩ්ඩෙකම සංගීත සන්දර්ශනයක් කළා මේ සසිත්.”

 ''අනේ බොරු සර්. මන් විතරක් නෙවෙයි තව අයත් සින්දු කිව්වා.”

''ඒක හරි සර්. මේ පන්තියෙ හොඳ ගායිකාවනුත් ඉන්නවා. සර් කැමතිනං මට පුළුවන් සසිත්ටයි අපේ සහය ගායිකාවකටයි ආරාධනා කරන්න.”

''සර් ඔය අනුපම හොඳ නිවේදකයා. ඒ වැඩේ මිනිහ නියමෙටම කරනව සර්.”

''කොච්චර හොඳ ද? මමත් කැමතියි මගෙ රස වින්දනේට ඉස්සෙල්ල ඔයගොල්ලන්ගෙ රස වින්දනේ බලන්න. හරි අනුපම ඔයා පටන් ගන්න.”

''ආදරණීය රසික රසිකාවියනි, ඔබට සුබ සන්ධ්‍යාවක්. මේ සුන්දර සන්ධ්‍යාව ඔබටයි. සන්ධ්‍යාව ගෙවී උදාවන රාත්‍රිය ද ඔබට යි. මේ ගයන්නේ ඔබේ ම ගීතය යි. වයන්නේ ඔබේ ම හදවතේ රිද්මය යි. එසේම සහෘදයනි, අපට බලවත් යුතුකමක් ද තිබෙනවා මේ මොහොතේ ඉටු කිරීමට. ඔව් බලවත් යුතුකමක්. මේ සුන්දර වේදිකාවේ නිර්මාතෘ නාගොල්ලාගම විදු අහසට පෑයූ අභිනව ගුරු තාරකාව  ඔව්, ඔබේ ආදරණීය ගඟුල් සමරනායකයනට දෙන්න ඔබේ වේග.....”

අනුපමට සිය නිවේදනය අවසන් කිරීමට ලැබුණේ නැත. පන්තිය සිසාරා පැතිර ගියේ එකම අත් පොළසන් නාදයකි.

''ඒයි කොල්ලනේ කෙල්ලනේ හෙමින්. මෙහෙම ගියොත් මගෙ ගුරුජීවිතේ පළවෙනි දවසම අන්තිම දවස වේවි. ඔයගොල්ලන්ගෙ මේ අභිනව ගුරු තාරකාවට මෙහෙන් යන්න වේවි. අන්න අර එහා පන්තියෙ මැඩම් මේ පැත්ත දිහා බලනවා අපේ සද්දෙට.”

''ඒ මැඩම්ට සර් අපේ පන්තිය දිහා බලන්න අමුතු සද්ද ඕනෙ නෑ. අපි කතා කළත් වැරදියි. කතා නොකෙරුවත් වැරදියි. හිටගත්තත් වැරදියි. ඉඳගත්තත් වැරදියි. ඕවා ගණන් ගන්න එපා සර්.”

එසේ අදහස් ප්‍රකාශ කෙළේ සකුණි ය.

''ආ ඒකට කමක් නෑ අපි ටිකක් සද්දෙ අඩු කරලා වැඩ කරමුකො. මේක දන්නවනං මං අද පන්තිය ගන්නෙ ග්‍රවුන්ඩ් එකේ කෙළවර නුග ගහ යටට.”

''අන්න ජාති වැඩේ. අපි ඊළඟ  දවසෙ එතෙන්ට ගමු සර් පන්තිය. ”

''හොඳයි දැන් අපි ටිකක් සද්දෙ අඩු කරලා මේ වැඩේ පටන් ගම්මු ද? අනුපම ආරධනේ කරන්නකො.” 

''ආරාධනා මධුර ආරාධනා නාගොල්ලාගම 12 බී ශ්‍රේණියෙන් දේශයට දායාද කෙරෙන ඒ අසිරිමත් කටහඬ, අහස් තලයෙන් මිහිමඬලට ආ ගාන්ධර්වයා අපේ පන්තියේ ආනන්දනීය හඬ පෞරුෂය පිළිගන්න, සසිත් ආනන්ද රත්නායක.”

ගුරු වචනයට අනුගත වෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සෙමින් අත්පොළසන් දුන්හ. ඊටපසු යළිත් ඇසුණේ අනුපමගේ ගැඹුරු කටහඬ යි.

''එහඬ හා මුසුවන ස්ත්‍රීත්වයේ නාද මාධුර්යය, ගණ නීල නෙතු සඟලින් ද මනහාර නද මිහිරෙන් ද අප තවන - අප නිවන සොඳුරු ගමකින් ලොවට පිදෙන සංගීතවේදිනිය චන්දූපමා චාරුතරංගී.”

ආරාධිත ගායක යුවළ ඉදිරිපත් වීමට අදිමදි කළ ද සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඔවුනට ගැලවී යන්නට ඉඩක් ලැබුණේ ම නැත. ගඟුල් දුටුවේ අත් රැසකින් තල්ලු වෙමින් ඉදිරියට එන තුරුණු සිසු යුග්මය යි. මොහොතක නිහැඬියාවකින් පසු මුළු පන්තිය පුරා පැතිරී ගියේ යොවුන් හඬ දෙකක ආනන්දනීය චමත්කාරය යි. 

                               ''ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ

                                පුබුදාවි මල් මාගෙ නොඉඳුල් සිතේ

සසිත් ආනන්දගේ ආනන්දජනක ගී රාවය එසේ ගුවනට එක් වද්දී ඒ හා මුසු වූයේ චන්දූපමාගේ හෘදයහාරී මධුර කටහඬ යි.

                                සඳරැල්ල කිරිවැල්ල ඉතිරී ගියා

                                සැනසෙන්න අප දෙන්න දිනුවා කියා

එමියුරු දෙහඬට ඉඩ දුන් ඒ සොඳුරු නිමේශයේ දී පන්තිය පිරී ගියේ සංගීතමය චමත්කාරයකිනි. අනතුරුව සියලු ම දෙනා එක් සිත් ව ගීතයට සවන් දුන්හ.


                                සෙවණැල්ල මෙනි යන්නෙ සංසාරයේ 

                                ඔබ මාගේ ආලෝකේ වේ අන්ධකාරයේ 

 

                                ගඟුලැල්ල දියවැල් සේ  බැඳෙමි ප්‍රියේ

                                ඔබ මාගෙ උල්පත වේ මෙ කාන්තාරයේ

 

                                නොකැලැල් ය නොඉඳුල් ය ප්‍රේමේ අපේ

                                එය දන්න වන විල්හි මානෙල් පිපේ

 

                                ගම්මානෙ පෙම් සිහිනෙ එළි වී ඉතින්

                                වනමල් ද දියවැල් ද ඉපිලී තුටින්

 

                                ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා

                                සුරඹුන් ද පවසන්නෙ තුති ගීතිකා

 

                                අඹරෝරෙ මනහාරෙ තරුමල් මවා   

                                සන්තෝසෙ පවසාවි දෙවියන් පවා ”

 

නෙත් වසාගෙන ගීතයට සවන් දෙන ගඟුල්ට සිතුණේ මේ ධර්මදාස වල්පොල - ලතා වල්පොල යුවල තමා අබිමුව ගී ගයන සෙයකි. ප්‍රවීණ ගේයපද රචක කරුණාරත්න අබේසේකරයන් විසින් ලියන ලදුව ආර්. මුත්තුසාමි සංගීතවේදියාගේ සංගීතයෙන් රසවත්, තමාගේ පරපුර මෙන් ම තමාට පූර්ව පරපුරු දෙකක් විසිනුදු මහත් ආදරයෙන් වැළඳගත් මෙසොඳුරු ගීතය නවතම පරපුරේ ද හද බැඳි ගීතයක් වී තිබේ. ශිෂ්ටාචාරයක පරිහානි යුගයකැයි ඇතැම්  වැඩිහිටියන් විසින් මහත් විස්සෝපයෙන් කතා කරන මෙසමයේ මේ සා වින්දනීය යොවුන් පරපුරක් ඇති වූයේ කෙසේ ද? ඔහුට සිහිපත් වූයේ වරෙක රබීන්ද්‍රනාත් තාගෝර් මහා සාහිත්‍යධරයා විසින් කරන ලද ප්‍රකාශයකි.

''අවට බලන මට දක්නට ලැබෙන්නේ ප්‍රෞඪ වූ ශිෂ්ටාචාරයක සිඳී බිඳී ගිය නටබුන් ය. එහෙත් මිනිසා කෙරෙහි විශ්වාසය නොතැබීම නමැති භයානක පාපය මම නොකරමි.” 

මේ කැලෑ මල්වල මිහිර විඳගත යුත්තේ තමා ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් පමණක් නොවේ. ගීතය අවසන් වන විට නැඟුණු අත්පොළසන් හඬ නම් නැවැත්විය හැක්කක් නොවේ. ඔහුට බැලුණේ නමස්කාරයක ස්වරූපයෙන් එකතු වී ඇති සිය අත් දෙක දෙස යි. හිඳ සිටි අසුනින් නැඟී සිටි ගඟුල් ගමන් කෙළේ සසිත් සහ චන්දූපමා වෙත යි. ඉමහත් ආදරයකින් සිය සිසු පුතුගේ සහ සිසු දියණියගේ හිස් පිරිමැද ඔහු පළමු ව ඔවුනට ආශිර්වාද කෙළේ ය.

''මේ ඔය ගොල්ලො මගේ හදවතේ ලොකු සතුටක් ඇති කරපු දෙවෙනි දවස. මට ඔය දෙන්නගෙ ගායන හැකියාව ගැන හරි සතුටු යි. ඒ වගෙම සතුටු යි අනුපමගෙ නිවේදන ගැනත්. ඒ වගෙම තවත් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා අඳුනගෙන තමන් පස්සෙ ඉඳගෙන  ඒ ගොල්ලන්ව ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් අත් හිත් ඔයගොල්ලන්ට තිබීම. ඒක අපේ වැඩිහිටි සමාජෙත් අඩුවෙන් දකින්න ලැබෙන දුර්ලභ ගුණයක්. ලොකු වෙන කොට ඒවා නැති කරගන්නැතිව ඉස්සරහට යන්න. එතකොට ඔයගොල්ලන්ට කවදාවත් වරදින්නෙ නෑ දුවේ පුතේ.”

මෙසේ කතා කරද්දී සිය ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි හදවතේ ජනිත වූ අසීමිත ආදර කරුණාව නිසා ම ගඟුල්ගේ හඬ බිඳී යමින් තිබිණි. ඒ මොහොතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හිස් නැමී තිබුණේත් නෙත් තෙමී තිබුණේත් ආදරය නිසා ම ය. ගඟුල් සිය රසවින්දන පාඩම ආරම්භ කෙළේ ඒ සංවේදී සුයාමයේ දී ය.

''දුවේ පුතේ අද මන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නෙ අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපිට දැනිච්ච නිර්මාණයක්. මේක අපි මුලින් ම ඇහැව්වෙ සහන් සර් කරපු පොදු රසවින්දන දේශනයක දි. සර් එදා කිව්වා දවසක් තරුණයෙක් ආවලු සර්ව හම්බ වෙන්න බොහොම සරල පෙනුමක් තියෙන. ඒ තරුණයා කිව්වලු මන් ආවෙ සර්වයි ප්‍රණීත් සර්වයි හම්බ වෙලා මම ලියපු මේ කවි පොත දීලා සර්ලට ඇත්තටම දැනෙන හැඟීම දැන ගන්න කියල. ඒවා සර් මට ඉදිරියෙදි ලියන කියන දේකදිත් වැදගත් වෙයි කියලත් කිව්වලු. අපේ සර් ඒ තරුණයට ඉඳගන්න එහෙම කියලා ඇහැව්වලු ඔයා මොනවද කරන්නෙ කියලා. එතකොට එයා කිව්වලු මම සර් නැවක වැඩ කරනවා කියලා. නැවේ මොකක් ද කරන්නෙ කියල ඇහැව්වහම අන්තිමට තමයි කියලා තියෙන්නෙ එයා නැවේ කපිතාන් කියන එක. අපේ සර් කිව්වා මිනිස්සු තමන්ට නැති තනතුරු ගැන කියන කාලෙක තමන්ට ඇත්තටම තියෙන තනතුරත් හංගලා කතා කරන මේ නිහතමානි තරුණයා ගැන සර්ට ලොකු ආදරයක් ගෞරවයක් ඇති උනා කියලා. පොත අතට අරන් පෙරළන කොට සර්ට මුලින් ම දකින්න ලැබිලා තියෙන්නෙ එයා අම්ම ගැන ලියපු කවියක්. අදටත් මේ කවියා ගැන මාතෘකාව ආවොත් සර් මුලින් ම මතක් කරන්නෙ ඒ කවිය. ඒක ඒ තරමට ම දැනෙන කවියක්.”

ගඟුල් අනතුරුව කෙළේ එකව සිය ශිෂ්‍ය ශිෂ්‍යාවනට ඇසෙන සේ කියැවීම ය.

                         ''විඳි දුක සැසඳේ ද හද සෙනෙහස     එක්ක

                           කඳුලැලි සිතේ සඟවා ගෙන අප      රැක්ක

                           අප යන මග සිතින් හද පතුලින්      දැක්ක

                           නල මුදු සුවඳ වී ඔබ තව අප           එක්ක 

මේ පොතේ නම සසර සැරි සරන තෙත. ඒ පොතෙන් පස්සෙ ඒ තරුණ කවියා දෙවෙනියට ලියපු පොත අවදි වී නිදන්න. අපේ සර් තමයි ඒ පොතට හැඳින්වීම ලියලා තියෙන්නෙ. මේ පොතේ නිර්මාණවලින් සර්ට වැඩියෙන්ම දැනිච්ච එක ගැන තමයි එදා සර් කතා කළේ. දේශනය ඉවර වෙලා සර් අපි හැම එක්කෙනාටම ඒකෙන් ඡායා පිටපත බැගින් දුන්නා. මම අද කරන්නෙත් එදා සර් කරපු වැඩේම තමයි. සර් දුන්න පිටපතෙන් ගහගත්ත ඒ නිර්මාණයේ පිටපත පිටපත මන් ඔයගොල්ලන්ටත් දෙනවා. හැබැයි පාඩම ඉවර උනාට පස්සෙ. එහෙනං දැන් අපි කතා කරමු ඒ නිර්මාණය ගැන. නිර්මාණයේ නම මගෙ දූත් බේරන්න. කවියා කපිතාන් නිරන්ජන් ගුරුගේ. ”

දැන් ගඟුල් දකින්නේ සාවධාන ව පාඩමට සවන් දෙන ශිෂ්‍ය ප්‍රජාවකි. ඇතැම් ගුරුවරයකු ගුරුවරියක අතින් නොහික්මුණු අශීලාචාර හිතුවක්කාරයන් ලෙස දැඩි ප්‍රතික්ෂේප කිරීමකට ලක්වූයේ මේ පිරිස ද? මෙයට වග කිව යුත්තේ ඒ ගුරුවරු ද නොඑසේ නම් දිගින් දිගට ම සිය ගුරුවරුන්ට තමන් ප්‍රතික්ෂේප කිරීමට සිතෙන තරමේ වැඩවල නිරත වූ මේ ශිෂ්‍ය කණ්ඩායම ද? නොඑසේ නම් පාසල් පරිපාලනය ද දෙමව්පියන් ද එසේත් නැත්නම් ගම ද ? ගඟුල් දිගින් දිගට ම කල්පනා කෙළේ ය. තත්ත්වය කුමක් වුවත් ගුරුවරයකු වන තමාගේ යුතුකම වන්නේ කවර හෝ හේතුවක් නිසා දුරස් ව සිටින මේ දෙපිරිස යා කරන පාලමක් බවට පත්වීම ය. 

ගඟුල් යළි සිය කටහඬ අවදි කෙළේ ය.

''මේකෙන් කියැවෙන්නෙ මල් නෙලලා ඒවා විකුණලා දරුපවුල ජීවත් කරවන තාත්තා කෙනෙක් ගැන. මේ කවි පන්තිය ආරම්භ වෙන්නෙ ඒ තාත්තගෙ ආත්ම ප්‍රකාශනයකින්. ඒ තාත්තා මෙහෙම කියනවා.

                         ඔරුවෙන් ගීහින් පුල් නෙළුමන්   නෙලාලා

                         විකුණන්නෙමි වෙහෙර ළඟ මග    තියාලා

                         අවසන් මල බුදුන් පාමුල               තියාලා

                         දෙනුවන් පිසිමි මම මල් ගැන        සිතාලා

හරි මේ කවිය කියවන කොට ඔයගොල්ලන් එක් එක්කෙනාට දැනෙන හැඟීම මට කියන්න.”

''මෙහෙමයි සර් මට නං මැවෙන්නෙ චිත්‍රයක්. ඉස්සෙල්ලම හිතේ මැවෙන්නෙ හොඳට පිපිච්ච නෙළුම් මල් ගොඩක් ලොකු බේසමක දාගෙන පාරක් අයිනෙ ඉඳගෙන ඉන්න තරුණ තාත්තා කෙනෙක්ගෙ රූපයක්.”

සකුණි පළමු ව සිය අදහස් ඉදිරිපත් කළා ය.

''ඒ වගෙම සර් අපිට දැනෙනවා නේද ජීවත් වෙන්න මල් විකිණුවට ඒ මනුස්සයා තුළ මල්වල ස්වභාවය තේරුම් ගත්ත ඒ ස්වභාවය ජීවිතය එක්ක ගළපන්න දන්න ආගමික මනුස්සයෙක් ජීවත් වෙන බව.”

''ඔයාට මේ විදිහෙ නිගමනයකට එන්න හිතුණෙ මොකක් නිසා ද ප්‍රියක. පුළුවන් ද ඔයාට ඒක අපිට විස්තර කරලා දෙන්න.”

''සර් මේ කවියෙ තුන්වෙනි හතරවෙනි පේළි අපිව කැඳවන්නෙ එහෙම තැනකට නෙමෙයි ද? එයා මල් විකුණන මනුස්සයෙක් විතරක් නෙමෙයි මොකක්දෝ ගැඹුරකුත් තියෙන ආගමික මනුස්සයෙක් කියල මට හිතුණෙ එයා එක මලක් විකුණන්නැතිව බුදුහාමුදුරුවන්ට පූජා කරන්න තියා ගත්ත නිසයි.”                                         

''ඔව් ප්‍රියක, ඔයා කියන එක අපි කාටත් වගේ දැනෙනවා.අසීමිත භක්තිය නිසත් කෙනෙක් බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්න පුළුවන්. ඒක ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් කරන දෙයක් නෙවෙයි කියල තවත් කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. එහෙම පැත්තකුත් අපට පැහැදිලිව ම පේන්න තියෙද්දි ඔයා කොහොම ද කියන්නෙ එතන ගැඹුරක් තියෙනව කියලා.”

''සර් මට එහෙම හිතුණෙ මේකෙ අන්තිම පේළිය කියවද්දියි. බලන්නකො සර් මේකෙ අන්තිම පේළිය. ‘දෙනුවන් පිසිමි මම මල් ගැන සිතාලා’ අපිට බැරි ද සර් මේක දෙවිදියකට අර්ථ දක්වන්න.”

දැන් පන්තියෙන් ඇසෙන්නේ කටහඬවල් දෙකක් පමණි. අන් සියලු දෙනා නිහඬ ව සවන් දෙති. ගුරුවරයා ප්‍රශ්න කරයි. ශිෂ්‍යයා පිළිතුරු දෙයි.

''අපි කැමතියි ප්‍රියක ඔයාගෙ ඒ අර්ථ දැක්වීමත් දැනගන්න.”

''මේ තරුණ තාත්තා මල් ගැන හිතලා ඇස් පිහිනව කිව්වහම අපිට එකපාරටම භක්තිය නිසා ඇහක උපදින කඳුළ ගැන නේද මේ කියන්නෙ කියන අදහස ගන්න පුළුවන්. ඒ වගෙම සර් අපිට ඒකෙන් මතු කරගන්න පුළුවන් නේද ඇස් පෑදීම, අවබෝධ වීම වගේ අර්ථයක්. එහෙම හිතලා අපිට ඒකෙන් අදහසක් ගන්න බැරි ද පිපෙන මල් පරවෙනවා, පිපෙනවා කියන තැන ම නේද පරවීම තියෙන්නෙ කියන එක. ඒ වගේම  ඒක අපිට ඉපදිච්ච නිසා නේද මැරෙන්න වෙන්නෙ කියන අදහසත් එක්කත් සම්බන්ධ කරන්න පුළුවන්.” 

''එතකොට ප්‍රියක කියන්නෙ අපි මල් පූජා කරනකොට නිතර කියන අර ප්‍රසිද්ධ ගාථාවත් එක්කත් මේ කවිය ගළපන්න පුළුවන් ය කියනව වගේ අදහසක් ද?” 

''ඔව් සර් මට නං මේ කවියෙ තුන හතර පේළි දකින කොට ම මතක් වෙන්නෙ පුප්ඵං මිලායාති යථා ඉදං මෙ කායෝ තථා යාති විනාසභාවං කියන ගාථාව ම තමයි.”

ගඟුල් මේ සිසුවාගේ පැනසර අර්ථ දැක්වීමට සවන් දුන්නේ මහදභිරුචියෙනි. අනතුරුව ඔහු කතා කෙළේ ය.

''ඔය ගොල්ලො මට මුලින් කිව්ව නේද, සර් මේ රසවින්දන අර්ථ විග්‍රහ අපිට බරපතල වැඩි නැද්ද කියලා.”

''ඔව් අපි කිව්ව නේන්නං සර්.”

''හොඳයි එහෙනං මේ පළවෙනි කවියෙන් ම අපිව බරපතල තැනකට ගෙනාවෙ ඔයගොල්ලන්ගෙ ගුරුවරයද - යාළුවද? හැබැයි සර්ගෙ හිත රිදෙයි ද - යාළුවා තරහ වෙයි ද වගේ කතන්දර නැතුව ඔයගොල්ලො මට ඇත්තම කියන්න ඕනෙ. මට ඕන කරන්නෙ මන් කියන හැම දේකටම එහෙමයි එහෙමයි කියන ගෝලයො නෙවෙයි, මට යම් වැරදීමක් උනොත් ඒක එහෙම නෙමෙයිනෙ සර් කියල කියන්න පුළුවන් ගෝලයො.”

''සර් එහෙම කළාට කමක් නැද්ද?”

''අපෝ කමක් නෑ. කමක් තියෙන්නෙ එහෙම නොකර ඉන්න එකෙයි.”

''එහෙනං සර් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා සර්ගෙ මූණෙන් ම අපට පැහැදිලිවම පේන නිසා මම ඇත්තම කියන්න ද?”

''කියන්න සකුණි, කියන්න බය නැතුව කියන්න.”

''එහෙමනං සර් මෙතනදි අපිව බරපතල තැනකට ගෙනාවෙ අපේ ප්‍රියක කියලයි මට නං අවංකවම හිතෙන්නෙ.” 

''මේ මොකෝ පුන්සරා ඔයා මේ මේසෙ යටින් මගෙ කකුළ පාගන්නෙ.”

සකුණි ඒ වචන ටික කීවේ ද ශබ්ද නඟා ය.

''සර් මේ පුන්සරා මගෙ කකූළ පාගනවා සර්ලත් එක්ක එහෙම කතා කරන්න හොඳ නෑ කියලා.”

''දුව පුන්සරා, මම එහෙම හිතන්නෑ පුතේ. දෙමව්පියොයි ගුරුවරුයි, ළමයි කතා කරන එක වැරදියි කියල තහංචි දැම්මොත් ඒ ගොල්ල කාත් එක්ක ද කතා කරන්නෙ. ඒක නිසා ඔයගොල්ලො බය නැතුව කතා කරන්න.”

''සර් මට නං ඔය ගැන හිතෙන්නෙ අපේ සකුණි කියපු විදිහටම නෙමෙයි. ඒ කතාවෙත් ගන්න දෙයක් තියෙනවා. ප්‍රියක අපිව අරගෙන ආවේ ගැඹුරුම තැනකට තමයි. ඒක පිළිගන්න ගමන්ම අපි අමතක නොකළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ ගැඹුරු සාකච්ඡාව කරන්න ඕන කරන වේදිකාව හදලා දුන්නෙ සර් බව.”

අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද හිස වනා එම අදහස ප්‍රකාශ කළ නලිඳු සමග එකගත්වය පළ කළහ. අනතුරුව ගඟුල් යළිත් සිය පාඩමට පිළිපන්නේ ය. 

''වෙනද වගේම තව දවසකදි මේ තාත්තා නෙළුම් කඩන්න යන්න හිතලා වැව් තෙරට එනවා. එදා එයාගෙ දුව මිතුරියකුත් එක්ක ඇවිල්ල තාත්තට මෙහෙම කියනවා.”

                             ''අප්පච්චියේ අප ගෙන යන්නකො    දුරට 

                               මා හද වෙඬරු විය මේ දෙදෙනගෙ බහට”

ඊට පස්සෙ කවියා අපි ඉස්සරහ මවන්නෙ මේ තාත්තත් එක්ක නෙළුම් මල් නෙල නෙල සින්දු කිය කිය යන දුවලා දෙන්නෙක් ඉන්න ලස්සන දර්ශනයක්. හැබැයි දුවේ පුතේ ජීවිතේ කියන්නෙ හැමදාම ලස්සන දර්ශන විතරක් පෙන්නන එකක් නෙමෙයි. මොකක්ද ඊළඟට වෙන්න ඇත්තෙ ඔය ගොල්ල හිතන විදිහට.

                             ''ගල්පරේක ඔරුව වදින්න ඇති.”

                             ''ඔරුව දිය සුළියකට අහුවෙන්න ඇති.”

                             ''මේ දුවලා දෙන්න සතුටින් සින්දු කිය කිය ඔරුව ඇතුළෙ දඟලද්දි   ඒක පෙරළෙන්න ඇති.”

''හරි ඔයගොල්ල කියන විදිහට කරදරයක් තමයි උනේ. ඒත් අන්තිමට කියපු කාරණේ තමයි ගොඩක් හරි.”

''අනේ ඒ කියන්නෙ සර් ඒ ගොල්ලන්ගෙ ඔරුව පෙරළුණා ද?” 

එක් දැරියක් ඇසුවේ මහත් කම්පාවකිනි. දැන් මේ සිදුවීම ඔවුනගේ සමීපතමයන් විසින් අත්විඳි දුක්මුසු සංසිද්ධියක් බවට මේ ශිෂ්‍ය ප්‍රජාව පත් කරගෙන ය. සිය ආචාර්යවරයා එදා සරසවියේ දී මේ නිර්මාණය සාකච්ඡාවට ගන්නා විට එතැන සිටියේ වැව් බැඳි ගම්මානවලින් ආ දරුවන් පමණක් නොවේ. එදා ගම්වලින් මෙන් ම නගරවලින් ද සරසවියට පැමිණ සිටි තරුණ ශිෂ්‍ය මාණවක මාණවිකාවෝ පාඩම අවසානයේ දේශනශාලාවෙන් පිට ව ගියේ එකිනෙකාගෙන් සිය මුහුණ සඟවා ගැන්මට ප්‍රයත්න දරමිනි. ඒ තමාගේ නෙත රැඳි කඳුළ අනිකෙකු විසින් දකිනු ලැබෙති යි යන බියෙන් මෙනි. අද තමා මුහුණ දෙන්නේ සිය ගුරුවරයා මුහුණ දුන් අවස්ථාවටත් වඩා සංවේදී අවස්ථාවකට යි. මන්ද දැන් තමා ඉදිරියේ සිටින්නේ වැවක නෙළුමක දසුන සිතින් මවාගෙන වින්දනය කරන පිරිසක් නොව සැබැවින් ම ඒවා ජීවිතයෙන් ම වින්දනය කරන පිරිසක් බැවිනි. වැව හෝ නෙළුම ඔවුනට ආගන්තුක නැත. ජීවත්වීම සඳහා වැව් නෙළුම් නෙළන්නේ සිය පියා ය. ඔහු සමග වැව මැදට යන දියණිය තමා හෝ තම නැගණිය යි. තෙත් දෑස් රැසක් තමන් ඉදිරියෙන් දිස් වද්දී ගඟුල් යළිත් කතා කෙළේ ය.

''දැන් මේ දුවලා පුතාලගෙන් කාටද පුළුවන් මේකෙ ඊළඟ කවි දෙක කියවන්න.”

''චන්දූපමා ඔයා යන්ඩකො.” 

ඇතැම් ශිෂ්‍යයෙක් ද ශිෂ්‍යාවක් ද චන්දූපමාට එසේ කියද්දී ඇය මෙසේ පවසනු ඇසිණ.

''අනේ සර් මන් පුළුවන් විදිහට සින්දුවක් දෙකක් කිව්වට අපේ පන්තියෙ ලස්සනට කවි කියන්නෙ නං මම නෙමෙයි. අපේ සඳමිණි.”

''ඇත්ත ඇත්ත සර් ඒක. එයා හරි ලස්සනට කවි කියනවා. සමස්ත ලංකාත් ගිහින් තෑගි ගත්ත සර් එයා. අපේ කව්මිණ ඉතින් සඳමිණි ම තමයි.”

ඒ අනුපම ය. පන්තිය දෙස බලද්දී ගඟුල් දුටුවේ ලැජ්ජාවෙන් සිය මේසය මත හිස සඟවා ගන්නට හදන දැරියකි. ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය. 

''ඇත්ත ද පුතේ මේ යාළුවො කියන්නෙ. ඉතින් ඇවිත් තාලෙකට කියන්නකො ඊළඟ කවි දෙක.”

''අනේ බොරු සර් මේ ගොල්ලන්ගෙ. මට කියන්න පුළුවන් කවියක් නෑ සර්.”

''ඔය සඳමිණි කියන්නෙ බොරු සර්. ගුරුවරයෙක් පන්තියට එන්න පරක්කු වෙන කොට හරි ගුරුවරයෙක් නැති දවසට හරි අපේ පන්තිය එකම කවි මඩුවක් කරන්නෙ ඔය සඳමිණි තමයි.”

''යාළුවො ඔච්චර කියන එකේ අපිත් කවි අහන්න ආසාවෙන් ඉන්න එකේ දූ සඳමිණි එන්න ඉස්සරහට.”

ශිෂ්‍යාව තවමත් ලැජ්ජාවෙන් ඇඹරෙයි.

''සර් අපේ මේ සඳමිණි ඇඹරළුවෙනෙ. ඒක යි ඔය ඇඹරෙන්නෙ.”

''හැබැයි දවසක සඳමිණි ඇඹරළුවට සඳමිණි කවිතරුව වෙන්න උනා. ඒකේ ගෞරවේ යන්න ඕනෙ අපේ රේණු මිස්ට.”

''ඒ මොකක් ද දරුවනේ ඒ කතාව.”

ගඟුල් දැන් සිය ශිෂ්‍යයන්ගේ කතාවලට සවන් දෙන ඔවුන්ගේ ම කෙනෙක් වී අවසාන ය.

''මේකයි සර් උනේ. එදා අපිට භූගෝල මිස් එන්න ටිකක් පරක්කු උනා. ඉතින් අපි සින්දු කියන්න ගත්තා. ඔය අතරෙ සඳමිණි කිව්ව මොකද අනේ ඔයගොල්ල සින්දු විතරක් කියන්නෙ. කියන්ඩකො වෙනසකටත් එක්ක කවියක්. හැබැයි කවුරුවත් කවි කියන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ වෙලාවෙ සඳමිණි ඉදිරිපත් වෙලා හරි ලස්සනට කවි කීපයක් ගායනා කළා. අපි එදා තමයි සර් දැන ගත්තෙ කවි කියන්නෙත් සින්දු වගේම කෙනෙක් ලස්සනට කිව්වොත් රස විඳින්න පුළුවන් දෙයක් බව. ඊට පස්සෙ තමයි හරිම ලස්සන වැඩක් උනේ. ඊළඟට පන්තියට ආවෙ රේණු මිස්. අපේ ඉංග්‍රීසි මිස්. පාඩම පටන් ගන්න ඉස්සෙල්ල කාට ද මේ පන්තියෙ ලස්සනට කවි කියන්න පුළුවන් කියලා ඇහැව්වා. අපි ඇහැව්වා මිස් ඉංග්‍රීසි කවි ද කියලා. එතකොට මිස් ඉංගිරිසි කවි නෙමෙයි බන් සිංහල කවි සිංහල කවි කියලා දෙපාරක් ම කිව්වා.”

''අපි ටිකක් නිහඬ ව ඉන්න කොට මිස් කිව්වා මන් තීරණය කරන්නංකො කවුද කවි කියන්ඩ ඕනෙ කියලා අත්දෙක බැඳගෙන ටික වෙලාවක් පන්තිය දිහා බලන් ඉඳලා එකපාරටම සඳමිණි කියලා කිව්වා. අපේ සඳමිණි ගැස්සිල ගිහින් ඇහැව්වා අනේ මිස් මට ද කතා කළේ කියලා.”

''ඔව් උඹට තමයි බන්. වරෙන්කො ඉතින් ඇඹරෙන් නැතුව ඉස්සරහට කියලා මිස් කිව්වා.”

''ආ කවිකාරි ඉංග්‍රීසි පාඩම කරන්න ඉස්සෙල්ල කියමු ද සඳමිණි හොඳ සිංහල කවියක් දෙකක්.” 

''අනේ මිස් මට කවි කියන්න බැහැනෙ කියලා සඳමිණි කිව්වහම මිස් ඇච්ච ද උඹට සිංහල කවි කියන්න බැරි ද කියලා මහ අමුතු විදිහට අහලා  කවුද සඳමිණි දැන් ටිකකට ඉස්සෙල්ල මේ පන්තියෙ කවි කිව්වෙ. එහෙනං ඔයා හොඳ ළමයා වගේ මට ඒ ළමයවවත් සම්බන්ද කරලා දෙන්නකො කිව්වා. දැන් අපේ සඳමිණි සද්ද නැතුව ඉන්න කොට මිස් කියනවා හොර පූසියෙ, බොරු නැතුව කියමු ද කවියක් කියලා කිව්වා. ඇත්තටම සර් ඒ වෙලාවෙ සඳමිණි හරිම ලස්සනට කවි පන්තියක් ම ගායනා කළා. හරිම ඕනකමින් ඒවා අහගෙන හිටපු මිස් සඳමිණිව ළඟට අරගෙන ඔළුව ඉම්බා. ඊට පස්සෙ කලාප තරග පළාත් තරග විතරක් නෙමෙයි සමස්ත ලංකා කවි තරගවලටත් සඳමිණිව අරගෙන ගියේ අපේ රේණු මිස් ම තමයි.”

ගඟුල් නිහඬ ව සවන් දුන්නේ ය. මේ දරුවන් විසින් කියවනු ලැබ ඇත්තේ ගුරු ජීවිතය යි. තමා සමග නිතර විහිලු කරන, සොයුරියක නැති තමාට සොයුරියක සේ දැනෙන ඒ ගුරුවරිය පිළිබඳ වන බැතිබර හැඟීමෙන් හද පිරී යද්දී ඔහු සිය අත රැඳි කවි පන්තිය සඳමිණි සිසුවිය අතට පත් කෙළේ ඇයගේ හඬින් ඒ අසනු පිණිස ය. මොහොතකින් මුළු පන්තිය ම පිරීගියේ සඳමිණිගේ ලයාන්විත ශෝකී ස්වරයෙනි.

                                     ''නෙලු නෙළුමන් දියේ මතුපිට    පාවෙද්දී

                                     දූවරු මර බියෙන් එක ලෙස          දඟලද්දී

                                     දෑතට ඔවුන් තද කොට හසුකර          ගද්දී

                                     ඔරුකඳ යට ගියා බොරදිය මතු        වෙද්දී

 

                                      දූ දෙදෙනාම දඟලති මා                බදාගෙන

                                      බෝසත් නොවෙමි යනු බෑ කර    තියාගෙන

                                      මොහොතක අප ටිකෙන් ටික වැව ගිලී  යන 

                                      තීරණයකට යායුතු හිත                  හදාගෙන”

 

පන්තිය පුරා පැතිර තිබුණේ අතිමහත් නිහඬතාවකි. අල්පෙනෙත්තියක් වුව බිමට වැටෙන හඬ ඇසෙන තරමේ නිසලතාවකි ඒ ඉපිද තිබුණේ. මොහොතක් ඒ නිහඬතාවට පවතින්නට ඉඩ හළ ගඟුල් මන්ද ස්වරයෙන් පන්තියට ආමන්ත්‍රණය කෙළේ ය.

''මන් කැමති යි මේ කවි දෙකත් ඔයගොල්ලන්ට දැනෙන විදිහ ගැන පොඩ්ඩක් දැනගන්න.”

ගඟුල්ගේ මේ ඉල්ලීමත් සමග කතා කිරීමට ඉදිරිපත් වූයේ පන්තියේ නිහඬ ම ශිෂ්‍යයා ලෙස ප්‍රචලිත සඳුන් ය.

''සර් ”

ඔහු කතා කෙළේ සෙමෙනි.

''සර් අපේ ගෙදර තියෙන්නෙත් වැවක් අයිනෙ. කාලෙකට වැව හිඳිලා ගිහින් වැව් පතුල පේන හැටි දිහා මන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වැවම සර් තව දවසකදි උතුරලා යන දිහාත් මන් බලාගෙන ඉඳලා තියෙනවා. අපේ තාත්තත් එක්ක මන් පුංචි කාලෙදි ඔරුවෙන් යනව නෙළුම් මල් කඩන්න. ඒ මල් අරගෙන බයිසිකලෙන් තාත්තා යනවා ඇල්ල හන්දියට. සමහර දවසකට මාවත් එක්ක යනවා. අනුරාධපුරේට වන්දනාවෙ යන වාහනවලට අපි මල් විකුණනවා. තාත්තගෙ මරණයෙන් පස්සෙ අම්මා කුලී වැඩ කරන එකට අමතර ව නෙළුම් මල් කඩන්න යනවා. අම්මගෙ තනියට එක්ක යන්නෙ මාව. ඒ පෝය දවසට කලින් දවසක්. එදා අම්ම අසනීප උනා. ඒක නිසා අම්මට පුළුවන්කමක් තිබුණෙ නැහැ එදා මල් කඩන්න යන්න. මන් දැනන් හිටිය පෝය දවසෙදි ඇල්ල පැත්තට ගියොත් මල් විකුණගන්න පුළුවන් බව. මන් එතකොට හතේ. මන් බොහොම අමාරුවෙන් අම්මව කැමති කරගෙන මල් කඩන්න යන්න හදනකොට අපේ චූටි නංගිත් අඬන්න ගත්ත එයාටත් යන්න ඕනෙයි කියලා. එයා එතකොට දෙකේ පන්තියෙ. අම්මගෙ අසනීපෙ නිසා අම්මට හරියකට කතා කරගන්නවත් හය්යක් තිබුණෙ නැහැ. ඒක නිසා මන් අම්මට කිව්ව අම්ම බයවෙන්න එපා මන් නංගිත් බලාගෙන මලුත් කඩාගෙන එන්නං වැවේ ඈතට යන්නැතුව ළඟින් ළඟින් මල් කඩන්නං කියලා. අම්ම කැමැත්ත දුන්නෙනං කැමත්තකින් නෙවෙයි. ඒ වෙලාවෙ නොකර බැරිකමට. යද්දිත් කිව්වෙ අනේ පුතේ නංගිත් පරිස්සං කරගෙන උඹත් පරිස්සං වෙලා රෑ වෙන්න ඉස්සෙල්ල ගෙදර වරෙන් කියලා.

වැව අයිනෙ නෙළුම් අඩුයි සර්. ඒක නිසා මම නංගිව ගහක හෙවණෙ ඉන්දල වැව මැදට පීනුවා. මන් එතකොට පොඩි උනාට මට හොඳට පීනන්න පුළුවන්. මන් ඔය විදිහට දෙපාරක් වැව මැද්දට ගිහිල්ල මල් කඩාගෙන ඇවිල්ල තුන්වෙනි පාරටත් ගියා. ගේන්න පුළුවන් තරමට මල් කඩාගෙන වැව් ඉවුරට පීනද්දි මම දැක්ක අය්යෙ අය්යෙ කිය කිය චූටි නංගි වැව පැත්තට එනවා . නංගි බහින්න එපා වැවට කියල කියද්දි එයා වැවට බැහැලා ඉවරයි. කලින් දවසෙ දෙකේ වැහැලා තිබිච්ච නිසා වැවේ වතුර මට්ටමත් ටිකක් වැඩිවෙලයි තිබුණෙ. මම බලනකොට අපේ චූටි නංගි වැවේ ගිලෙනවා. මම පුළුවන්තරං හය්යෙන් කෑගැහව්වා. ඒත් එදා මගෙ කටහඬ ඇහෙන තරමේ දුරක කවුරුවත් හිටියෙ නැහැ. මට දෝංකාර දෙන්න ගත්තෙ අම්මගෙ කටහඬ. අනේ පුතේ නංගිත් පරිස්සං කරගෙන උඹත් පරිස්සං වෙලා රෑ වෙන්න ඉස්සෙල්ල ගෙදර වරෙන් කියලා කියපු වචන ටික. අනේ සර් මන් දෙපාරක් හිතුවෙ නෑ. නංගිව මන් කොහොම හරි බේර ගන්නව කියලා ඒ පැත්තට හය්යෙන් පීනුවා සර් මන්.” 

පන්තියේ සෙසු දරුවන් නිහඬ ව සවන් දෙද්දී තෙත් ව ගියේ ගඟුල්ගේ දෑස යි. ඔහු අබියස ඇඳී ගියේ සිය කුඩා සොයුරියගේ ජීවිතය කෙසේ හෝ ගලවා ගන්නා අරමුණින් වැව මැදට පිහිනා යන ළමා වීරයකුගේ දර්ශනය යි. යළිත් නිහඬතාව මැදින් ඇසුණේ සඳුන්ගේ කටහඬ යි.

''සර් මේ කවියෙ කියවෙන විදිහට මම කඩාගත්ත නෙළුම් වැව් වතුරෙ පාවෙන හැටි මන් එදා දැක්ක සර්. නංගි මරණ බයෙන් කෑ ගහපු හැටි දැක්ක සර්. වැව් වතුරෙ තද බොරපාට දැක්ක සර්. සර් අද අපිට උගන්නන කවියෙ තියෙන විදිහට අර තාත්තා තදින් දුවලව අල්ල ගත්ත විදිහට මම නංගිගෙ කොණ්ඩෙන් තද කරල අල්ල ගත්ත සර්.”

ටික වෙලාවක් නිහඬ ව සිටි සඳුන් අනතුරුව තමාට හුරුපුරුදු මන්ද ස්වරයෙන් මෙසේ කීවේ ය.

''මන් එදා නංගිව බේර ගත්ත සර්.” 

හිඳ සිටි අසුනින් එක් වර ම නැඟී සිටි ගඟුල්, සඳුන් ශිෂ්‍යයා හිඳ සිටි තැනට ඉක්මන් ගමනින් ගියේ ය. සිය ගුරුවරයා තමා වෙත එනු දුටු සඳුන් හුනස්නෙන් නැඟී සිටියේ ය. ඔහු ඉමහත් ආදරයකින් එම ශිෂ්‍යයාගේ දෑත අල්ලා මෙසේ පැවසීය. 

''වීරයො කියලා ගරු කරන්න ඕනෙ ඕගොල්ලන්ට යි පුතා. මට මොනව ද තියෙන්නෙ ඕගොල්ලන්ට උගන්නන්න. ඕගොල්ලොනෙ දැන් මට ජීවිතය උගන්නන්නෙ.”

මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ මේ නිර්මාණය තමා අතට පත් කළ සිය සරසවි ගුරුවරයා කළ ප්‍රකාශයකි. ඒ තමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ගුරු පත්වීමක් ලද බව කියන්නට ගිය දවසේ  ඔහු කළ ප්‍රකාශය යි.

''මේ ගඟුල් උඹට ලැබිල තියෙන්නෙ මට අහිමි වෙච්ච අවස්ථාවක්. විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මගෙ හිතෙත් ලොකු ආසාවක් තිබුණා ඈත පළාතක ගුරුවරයෙක් වෙලා යන්න. ඒක ඉෂ්ට කරගන්න දෛවයෙන් මට ඉඩක් හම්බ උනේ නැහැ. අපේ අය්යට තමයි ඒ අද්දැකීම ලැබුණෙ. ගුරුවරයකුට කොච්චරක් නං දේවල් කරන්න පුළුවන් ද කියන එක මන් ඉගෙන ගත්තෙ අපේ අය්යගෙන්. අද නැතුවත් අය්යා අපිට කොච්චරක්නං දේවල් උගන්නනව ද, ඔයාට මන් අමුතුවෙන් ඒ අය්යා ගැන කියන්න අවශ්‍ය නැහැ. ඔයාගෙ අය්යා වසන්තයියත් එක්ක අපේ අය්යගෙ තිබිච්ච කල්‍යාණ මිත්‍රකම නිසා ඔයාටත් බොහොම ළඟින් එයාව ආශ්‍රය කරන්න ලැබුණා. එයත් එක්ක කතා කරපු දේවල් ටික විතරක් උනත් ඇති ඔයාගෙ ගුරු ජීවිතේට.”

''මන් එක දෙයක් විතරක් ඔයාට කියන්නං ගඟුල්. මේ ජීවිත කාලෙදි අපට විවිධාකාර ගෑණු මිනිස්සු හමු වෙනවා. ඒ ඕනෙම කෙනෙක්ගෙන් අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමහර චරිතයක් අපි ළඟට එන්නෙ අපට කමටහන් අරගෙන. වෙලාවකට අපිට එහෙම චරිත මග හැරෙනවා. ගඟුල් සමහර වෙලාවට මේ කමටහන් අරගෙන අපි ළඟට එන්නෙ හිඟන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං අපි ත්‍රීවිලර්කාරයා කියලා වැඩි බරක් නොදෙන සහෝදරයෙක් වෙන්න පුළුවන්. තවත් වෙලාවක මේ කමටහන දෙන්නෙ අපේ ම සහෝදර ගුරුවරයෙක් ගුරුවරියක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං මේ කමටහන අපට ලබන්න අවස්ථාව සැලසෙන්නෙ අපේ ම ශිෂ්‍යයෙක්ගෙන් ශිෂ්‍යාවකගෙන් වෙන්නත් පුළුවන්. ඒ අවස්ථා නැති කර ගන්න එපා ගඟුල්.”

සිය ශිෂ්‍ය සඳුන් අබියස සිටින මේ මොහොතේ ගඟුල්ගේ සිතේ සිතේ රාව පිළිරැව් නැඟෙන්නේ ඒ ආදරණීය ගුරුවරයාගේ කටහඬ යි.  එදා තමන් ප්‍රතික්ෂේප කරද්දීත් බලයෙන් සිය කමිස සාක්කුවට මුදලක් දැමූ ඔහු මෙසේ කී ආකාරය ද ගඟුල්ගේ සිහියට නැඟිණි.

''අනාදරයෙන් දෙන දෙයක් බාර ගන්නත් එපා. ආදරයෙන් දෙන දෙය ප්‍රතික්ෂේප කරන්නත් එපා. හැබැයි මම නෙමෙයි ඕක කියන්නෙ තාගෝර්තුමා.”

ගඟුල් නැවතත් පියෙවි ලෝකයට පැමිණියේ පාඩමේ ඉතිරි කොටස තවදුරටත් කරගෙන යායුතු බැවිනි.

''දැන් සඳුන් මේ නිර්මාණය අපි නොහිතපු ම තැනකට අරගෙන ආවා. එයා එයාගෙ ජීවන අද්දැකීම කියලා කළේ අපිට ජීවිතය දැකගන්න සලස්සපු එක. දැන් මට හරි ආසයි ඔයාගෙ මේ චූටි නංගිව දකින්න.”  

''ඒක අමාරු නැහැ සර්, එයත් ඉගෙන ගන්නෙ මේ ඉස්කෝලෙම තමයි. හතේ පන්තියෙ. ඒ වගෙම සර් මගෙ පන්තියෙ සමහර යාළුවෙක් යෙහෙළියක් මන් මේ දැන් කියන දේ නොකිව්වනං හොඳයි කියලා මට පස්සෙ කියාවි. ඒ උනාට මන් මේ ටික කියන්න ඕන සර්.

අදටත් අපිට උදව් කරන්නෙ මේ යාළුවො. මන් මේ දැන් ඇඳගෙන ඉන්න ඇඳුම දුන්නෙත් යාළුවෙක්. මට එයාගෙ නම කියන්න විදිහක් නෑ. මේ ඇඳුම අරගෙන ගෙදරටම ආපු දවසෙ කා එක්ක වත් මේවා කතා කරන්න එපා කියලා එයා මාව පොරොන්දු කර ගත්ත නිසා. ඒ විතරක් නෙමෙයි මගෙ චූටි නංගිට ඕන කරන පොතපත ඇඳුම් ටික ඒ ගොල්ලන්ගෙ අම්ම තාත්තගෙ අනුදැනීමත් එක්ක අදටත් අරන් දෙන්නෙ මේ පන්තියෙ ඉන්න කෙල්ලො දෙන්නෙක්. මට ඉන්නෙ හරි උතුම් යාළුවො ටිකක් සර්. මේ පන්තිය නරකයි කිව්වට මේකෙ නරක ළමයි නෑ සර්.” 

වෙනදා කතා නොකරන සඳුන් අද ආවේශ වූවාක් මෙන් කතා කරන ආකාරය දෙස ඔහුගේ මිතුරු මිතුරියන් බලා සිටියේ මවිතයෙනි.

''කවුද පුතා ඔයගොල්ලො නරකයි කියලා කියන්නෙ. මට මේ අද දවස ඇති ඔයගොල්ලන්ව තේරුම් ගන්න. මුළු ලෝකයක් එක පැත්තක් අරගෙන කිව්වත් ඔය ගොල්ලො තමයි මේ ලෝකෙ ඉන්න නරක ම කට්ටිය කියලා ඕගොල්ලන්ගෙ මේ ගඟුල් සර් ඒක පිළිගන්නෙ නැහැ කියන එක හොඳට මතක තියා ගන්න. ඒ වගෙම තව දෙයක් තියෙනව අපි තේරුම් ගන්න ඕන. ඒ තමයි මොන හේතුවක් නිසා හරි අපි ගැන වැරදි වැටහීමක් සමාජෙ තියෙනවනං ඒක වෙනස් කරන්නත් ඕනෙ අපි ම  බව.” 

''හොඳයි දැන් අපි ආයෙත් අපේ නිර්මාණය දිහාට හැරෙමුකො. දැන් මතක් කරගමුකො අපේ සඳමිණි ගායනා කරපු දෙවැනි කවියත්. ඒකෙ කියනවනෙ දුවලා දෙන්න ම මේ තාත්තව තදින් බදාගෙන ඉන්න බව. ඒ වගෙම ඒකෙ කියනවනෙ තමා බෝසත් නොවන නිසා කර තියාගෙන යන්න බැහැ කියලත්. ඒක නිසා තීරණයකට යන්න වෙනවා කියලත්. මොකද මේ කවිය ගැන ඔයගොල්ලන්ට හිතෙන්නෙ.”

''ඒ කවිය මට නං ටිකක් පටලැවිල්ලක් වගෙ. ඒකෙ අදහස පැහැදිලි නැහැනෙ සර්.” 

ඒ සකුණි ය.

''ඔව් සර් අපේ සකුණිට ඕවා තේරෙන්නෙ නැහැ. ඒ උනාට වෙන වෙන දේවල් නං හොඳට තේරෙනවා.” 

එයට එසේ පිළිතුරු දුන්නේ අනුපම ය.

''මොනවද ඔය මට තේරෙන වෙන වෙන දේවල් කියන්නෙ. එන්න එපා ඕවට දන්නව ද?”

''අපෝ අපේ කිරිල්ලිට කේන්ති ගියා ද?”

''නෑ කේන්ති ගියෙ නැහැ කේන්ති ආවා”

''ඇත්තට කේන්ති ආව ද එහෙනං එයාව ළඟින් ම තියාගන්න හොඳේ.”

''මේ අනුපම, ඔයාට පිස්සු ද කාව ද මේ මට ළඟින් තියාගන්න කියන්නෙ.”

''වෙනින් කාවත් නෙමේ වස්තුවෙ ඔයාගෙ ඔය කේන්තිව”

ටික වෙලාවක් ඔවුන්ගේ මේ සංවාදයට ගලා යාමට ඉඩ දුන් ගඟුල් අනතුරුව මෙසේ පැවසීය.

''හා දෙන්නම නවත්තන්ත ඕක. යමු අපි පාඩමට.”

පන්තියේ තරමක නිහැඬියාවක් පැවතිණි.

''සර් කවුරුවත් කතා කරන්නෙ නැත්තං විතරක් මම මට දැනෙන දේ කියන්න ද?”

''ඔව් ප්‍රියක කියන්න කියන්න.”

''සර් මේ කවියා කවුරු උනත් බෞද්ධ සම්ප්‍රදායෙන් හොඳ ශික්ෂණයක් ලබපු කෙනෙක්. මට සර් එහෙම හිතෙන්නෙ බෞද්ධ සංකල්ප එයා බොහොම සියුම් විදිහට මේකට ඇතුල් කරල තියෙන නිස යි. ඒ වගෙම මේ කවියා කවිකම නැතිකර ගන්නැතිව ඒක කරන්නත් සමත් වෙලා තියෙනවා. බෝධිසත්ත්වයො සමත් උනාට අම්මා කරේ තියාගෙන මුහුද හරහා පීනන්න හැම මනුස්සයෙකුට ම කරන්න බැහැනෙ එහෙම. බෝසත් නොවෙමි කියන පුංචි වාක්‍යයෙන් කියන්නෙ බෝසත් චරිතය අපට වඩා කොච්චර උස ද කියන එක.”

''ඔයා කොහොම ද බෝසත් අපිට වඩා උස යි කියන්නෙ. මොකෝ ඔයා දැකලා තියෙනව ද බෝධිසත්තව.”

එසේ ඇසුවේ සකුණි ය.

''භෞතික ව නං දැකලා නෑ තමයි. ඒ උනාට මන් මනසින් ඒ චරිතය දකිනවා. ඒ වගෙම සකුණියො මන් මෙතන දි බෝධිසත්ත්ව අපට වඩා උසයි කියලා කිව්වෙ ආධ්‍යාත්මික ව අපිට හිතන්නවත් බැරි උසක ඒ චරිතය ඉන්න නිසා. මට තේරෙන විදියට මේ කවියා වචන පාවිච්චි කරන්නෙ ඒ අවබෝධය ඇතිව. ඒ වගෙම මේ තාත්තා ඉන්නෙ තීරණයක් ගැනීම හරිම දුෂ්කර වෙච්ච මොහොතක. අපි කාගෙත් ජීවිතවල එනවනෙ සර් තීරණයක් ගැනීම හරිම දුෂ්කර වෙන ඒ උනාට තීරණයක් ගන්නම වෙන වෙලාවල්. මට හිතෙන්නෙ මේ තාත්තට හයි හත්තිය තියෙන්නෙ එක දුවක් ව අරගෙන පීනන්න විතරයි. එක පැත්තකින් තමන්ගෙ දුව. අනික් පැත්තෙන් දුවගෙ යාළුවා. දෙන්නම සමාන වයසක පුංචි ළමයි දෙන්නෙක්. ඒ දෙන්නම ජීවිතය ඉල්ල ගෙන එල්ලිලා ඉන්නෙ මේ තාත්තගෙ ඇඟේ. හැබැයි දිගින් දිගට ම එහෙම හිටියොත් තුන්දෙනාට ම මැරෙන්නයි වෙන්නෙ. එක්කො දුවව අතහරින්න ඕනෙ. එහෙම නැත්තං දුවගෙ යාළුව ව අත අරින්න ඕනෙ. මට හිතෙන්නෙ සර් මට දැනෙන විදියෙ ම ගැඹුරු අදහස් තියෙන කවියෙක් නං අපේ කවියා එයාට ඊළඟට ලියන්න වෙන්නෙ නං ඔය ටික තමයි. ”

''උඹ මාර කොල්ලෙක්නෙ ප්‍රියක. පොඩි තැනක ඉඳගෙන ලොකු තැනකට ගෙනියනවනෙ මේ කවිය. හොඳයි අපි කියවලා බලමුකො ඊළඟ කවියත්. කෝ මේ සඳමිණි. මේ කෙල්ල ඒ ටිකට ගිහිල්ල ආයෙත් ඉඳගෙනනෙ.”

''මං හිතුවෙ මන් කියන්න ඕනෙ එච්චරයි කියලා.”

''නෑ නෑ ඒක ඔයාට තීරණය කරන්න බැහැ. මොකෝ ඔයා වගෙ ලස්සනට මන් කියන්නයැ. අපි අපේ පන්තියට බාර දෙමු ඒක තීරණය කරන්න.”

''මන් හිතන්නෙ සර් සර් කිව්වත්  කමක් නැහැ අපේ සඳමිණි කිව්වත් කමක් නැහැ.”

එසේ පැවසුවේ චන්දූපමා ය.

''මේ චන්දූපමා, යාළුව යි ගුරුවරය යි දෙන්න ම ෂේප් කරගන්න කතා බැහැ හරි ද, හරියට ම කවුද කියලා පැහැදිලි ව ම කියන්න ඕනෙ හරි ද?”

සිනාසෙමින් එසේ පැවසුවේ ගඟුල් ය.

''එහෙනං මන් සර් තරහ වෙන්නැත්තං අර ඉස්සෙල්ල වගේ මට හිතෙන හොඳ විදිහ මන් කියන්න ද?”

''කියන්න කියන්න සකුණි බය නැතුව කියන්න.”

''එහෙනං සර් අපේ සඳමිණි ම ඉතිරි කවි ටිකත් කියන එක තමයි හොඳ කියල යි මට හිතෙන්නෙ. මොක ද සර් එයාට බොක්කට ම වදින්න කියන්න පුළුවන්. සර් තරහ වෙන්නෙ නැහැනෙ මන් එහෙම කිව්වට.”

ගඟුල්ට නැවතත් සිනහ ගියේ ය.

''මන් මොකට ද සකුණි තරහ වෙන්නෙ. මොකක් උනත් දුවේ ඔයා හරි ම අවංක කෙනෙක්. තමන්ට දැනෙන ඇත්ත කතා කරන එක හරි ම හොඳ ගුණයක්.”

''හැබැයි සර් මෙයාගෙ ඔය හොඳ ගුණේ නිසාම තමයි හැම තිස්සෙම වැඩ වරද්ද ගන්නෙ. සමහර සර්ලට මිස්ලට මෙයාව පේන්න බැරි වෙලා තියෙන්නෙත් ඒකනෙ. හැබැයි සර් අපි ඔක්කොට ම වඩා මෙයා අවංක යි කියන එක නං ඇත්ත ම ඇත්ත.”

ඒ ප්‍රකාශය කෙළේ ක්‍රීඩකයකු ලෙස අවස්ථා කිහිපයක දී සිය දක්ෂතා ප්‍රකට කොට ඇති සඳලත් ය.

''අවංකකම ඇත්ත කතා කරන එක වරදක් නෙමෙයි දුවේ පුතේ. ඒ උනත් ඒ ඇත්ත උනත් කියන්න ඕන වෙලාවක් තියෙනවා. දැන් මේ වෙලාවෙ ඇත්ත කියන්න ඕනෙ කියලා ගත්ත තීරණේ හරියට ම හරි. ඒක නිසානෙ මේ කවි ටික දැනෙන්න ම කියන්න පුළුවන් කෙනාට සවන් දෙන්න අපිටත් අවස්ථාව ලැබුණෙ. අපි වෙන වෙලාවක ඒ ගැන විස්තර වශයෙන් කතා කරමුකො. දැන් අපි ආයෙත් අපේ මාතෘකාවට යමුකො. ඔව් සඳමිණි දැන් කියන්න දුව ඔයා ඊළඟ කවිය.”

                            ''එක දරුවෙක් දරා පිහිනිය හැක         දුරට 

                             නැතිනං දෙදෙනා ම යනු ඇත දිය      යටට

                             කවුරු ද අත හරින්නේ මම දිය         මැදට 

                             මොනවා හිතේවි ද වැව තනිවෙන    හිතට”

යළිදු මුළුමහත් පන්තිය පුරා පැතිර ගියේ අතිමහත් නිහඬතාවකි. උඩට ගත් හුස්ම යළි පහත හෙළිය යුතු බව සියලු දෙනාට ම අමතක ව ගිය නිමේශයකි, මේ උදාවූයේ. ගඟුල් බලා සිටියේ තමා ඊළඟට කුමක් කියාවි ද යන හැඟීමෙන් සිය ගුරුවරයා දෙස ම බලා සිටින තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අහිංසක දෑස් දෙස ය. 

''අනේ සර් ”

මෙවචන දෙක දෙතුන් තැනකින් ම ඇසුණේ  සිය ගුරුවරයා වත් මැදිහත් ව මෙයට විසඳුමක් දේය යන හැඟීම  සියලු සිසු හදවත්වල ඇතිවූවාක් මෙනි. මුළු පන්තිය ම තව දුරටත් නිහඬ ව සිටිය දී ගඟුල් කතා කෙළේ ය.

''දරුවනේ සහන් සර් එදා මේ කවිය කියලා ඉවර වෙව්ව වෙලාවෙ තිබුණෙත් මේ විදියෙම නිහඬතාවක්. සර් එදා අපිට මෙහෙම කිව්වා.

''ඔයගොල්ලන්ට කියන්න මන් මේ නිර්මාණය ගැන මගෙ දුවත් එක්ක  කතා කරපු වෙලාවෙ දුව මගෙන් අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් තිබුණෙ නැහැ. එයා තාත්තෙ මෙයින් එක ළමයෙක් තාත්තගෙ මේ දුව වෙලා අනිත් ළමයා මගෙ යාළුවෙක් වෙලා ඔයා මේ මල් නෙළන තාත්තා උනානං මොකද කරන්නෙ කියලා ඇහැව්වලු. ඒ වගෙම ඒ වෙලාවෙ සර් අපෙන් ඇහැව්වා දුවගෙ ප්‍රශ්නෙට ඔයගොල්ලන්ටවත් තියෙනව ද උත්තරයක් කියලා. මාත් ඇතුළුව අපි ගොඩක් දෙනෙක් නිහඬව ඉඳිද්දි අපේ එක සහෝදරියකට තිබුණ උත්තරයක්.

මෙසේ කියා ගඟුල් මොහොතක් නිහඬ ව සිටියේ ය.

''අනේ මොකක් ද සර් ඒ උත්තරේ.

''මන් අමුතුවෙන් කියන්න ඕන නැහැ දරුවනේ මේ වෙන කොට එදා මට නොතිබිච්ච උත්තරේ මේ පන්තියෙන් අද මට ලැබුණා. අපි ඒක අන්තිමට කතා කරමු.

''හොඳයි දැන් අපි බලමුකො මේ කියන තාත්තා අන්තිමට මොකක් ද කළේ කියලා. දුව සඳමිණි කියන්න පුතේ ඔයා මේකෙ ඊළඟ කවියත්.” 

යළිදු පන්තිය පුරා පැතිර ගියේ සඳමිණිගේ හෘදයහාරී ශෝකදායී කටහඬ යි.

 

                              ''දෙවියන් බුදුන් මා තනිකර දැමු      කලෙක

                               කළ පව් එක පොකුරකට පල දෙන විටෙක

                               යෙහෙළිය මරා දුව බේරා ගත     නොහැක

                               අත හැරියෙමි මගේ දුව ගැඹුරැති     දියෙක ” 

ගඟුල් අනතුරුව අද්දුටුවේ වචනවලින් තවදුරටත් අදහස් ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන ශිෂ්‍ය ප්‍රජාවක් නොවේ. භෞතික ව මෙන් ම ආධ්‍යාත්මික ව ද සිසු හද ගැස්ම ගුරු හදක ගැඹුරු ම තැනට දැනෙන ඒ නිමේශයේ දී ගඟුල් කිසිදු වචනයක් නොපවසා සඳමිණි සිසු දියණියට සංඥා කෙළේ මේ නිර්මාණයේ ඉතිරි දෙකව ද කියවන ලෙස යි.

 

                                ''දුවගේ යෙහෙළියව මෙගොඩින්  තියාලා

                                 යළි පිහිනුවා මගෙ දුවණිය      හොයාලා

                                 නෙලු ළුෙමන් තවම දිය මත        රැඳීලා

                                 දූ කුමරිය වැවේ ගැඹුරට              ඇදීලා

 

                                 වහමින් ගැඹුර සියපත් පිපුණ ද                නිබඳ

                                 නොනෙළමි නොවිකුණමි පැහැදුල මල්   සුවඳ

                                 ආවොත් ඔබේ දුවගේ යෙහෙළිය          ලෙස ද

                                 මගෙ රත්තරන් දුව බේරා ගන්                 සබඳ ”

 

''අපේ පීරියඩ් එකත් ඉවර වෙන්න කිට්ටු වෙලා තියෙන මේ වෙලාවෙ මම කැමතියි, දැන් මේ අන්තිම කවි දෙක ගැනත් ඕගොල්ලන්ට හිතෙන දේ දැන ගන්න.

යළිත් පන්තිය පුරා පැතිර ගියේ දැඩි නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ චන්දූපමා ය.

''සර් මට ගොඩක් දේවල් දැනෙනවා. ඒත් ඒ ටික මේ වෙලාවෙ මට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ වගෙම මට හිතෙනවා මගෙ යාළුවන්ගෙන් සමහර දෙනෙකුටත් මේ ටික ම වෙලා ඇති කියලා.”

එක්වර තැනින් තැන හිස් කිහිපයක් සැලී යාමෙන් පෙනී ගියේ චන්දූපමාගේ අදහස හා එකග වන ලොකු පිරිසක් ඇති බව ය. යළිත් ඇසුණේ එම සිසුවියගේ ම කටහඬ යි.

''සර් මම කැමතියි අපි ඔක්කොම වෙනුවෙන් අපේ අදහස් ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කරන කෙනා කතා කළොත් දැන් හොඳයි කියලා.”

එසේ පැවසූ චන්දූපමා පන්තිය සිසාරා බැල්මක් හෙළා මොහොතක් නිහඬ ව සිටියා ය. ඒ මොහොතේ ගඟුල් කතා කෙළේ ය.

''හොඳයි මන් කැමතියි ඔයා ඒ නම කියන්න ඉස්සෙල්ල ඔයාට පොඩ්ඩක් බාධා කරන්න. මට මේ දැනගන්න යි අහන්නෙ ඔයා කොහොම ද දුවේ මේ ඔක්කොම වෙනුවෙන් මෙන්න මේ කෙනා අපි ඔක්කමගෙ අදහස කියාවි කියලා ඔය තරං විශ්වාසෙකින් කියන්නෙ.”

''අනේ සර් මන් එහෙම කියන්නෙ එයා ඒ විශ්වාසෙ රැක්කෙ එක දවසක් දෙකක් නොවන නිසා. අපේ ම සමහර සර්ලා මැඩම්ලා එයා ගැළපෙන්නෙ මේ පන්තියට නෙමෙයි 12 ඒ එකටයි කියලා පන්ති මාරු කරන්න හදපු වෙලාවෙත් එයා අපිව දාලා ගියෙ නැති නිසා. පන්තියෙ අපි ඔක්කො ම කරන්න ඕන සමහර වැඩක දි රෑ එළිවෙනකං හරි ඒක කරල බාර දෙන වෙලාවෙ ඒකෙ කීර්තිය ලේසියෙන් ම තමන්ට තනියම ගන්න අයිතියත් පුළුවන්කමත් තියෙද්දි ඒක අපි ඔක්කොගෙම පොදු වැඩක් කියලා ප්‍රසිද්ධියෙ කියපු නිසා. ඒ විතරක් නෙමෙයි සර් එයා ගැන කතා කරන්න කිව්වොත් මේ යාළුවො හැම කෙනාට ම කියන්න දේවල් තියෙන නිසා. අපිත් එක්ක එකට වැටිල හිටියට එයා අපි කාටත් හරි විශේෂ කෙනෙක් නිසා.”

මුළු පන්තියේ අදහස බව කියමින් මෙම ශිෂ්‍යාව මේ සා විශ්වාසයකින් කතා කරන ශිෂ්‍යයා කවරෙක් ද යන්න දැන ගැනීමට දැන් ගඟුල්ට ද ඇත්තේ කුතුහලයකි. 

''හොඳයි දැන් අපේ චන්දූපමා දුව කිව්වනෙ කාගෙත් අදහස ය කියන්නෙ කියලා. මම කැමතියි එයා ඇර වෙන දුවෙක් හරි පුතෙක් හරි එයා කවුද කියල අපට කිව්වනං.”

''ප්‍රියක අපේ ප්‍රියක.... ප්‍රියක.... ප්‍රියක.... ප්‍රියක....”

මේ පිළිතුර පිටවූයේ පන්තියේ සිටින එක් ශිෂ්‍යයකුගේ හෝ එක ශිෂ්‍යාවකගේ මුවින් පමණක් නොවේ. ඒ වූකලී සමස්ත පන්තියේ ම ප්‍රකාශනය යි.

''හරි ප්‍රියක ඔයා පොඩ්ඩක් නැගිටින්නකො පුතා. දැන් ඔයා තමයි පන්තියේ හඬ හැටියට ඔයාගෙම යහළුවො යෙහෙළියො තෝරලා තියෙන්නෙ. එහෙම නං අපි පාඩම අවසාන කරන්නෙ ඔයාගෙ වචනවලින්.”

ප්‍රියක හිඳ හුන් අසුනින් නැගී සිටියේ ය. අනතුරුව කතා කෙළේ ය.

''සර් ඉස්සෙල්ල ම මට පොඩි වෙලාවක් දෙන්න පාඩම ගැන කියන්න කලින් මට පොඩි අදහසක් දක්වන්න. සර් මගෙ පන්තියෙ යාළුවො යෙහෙළියො ඔක්කොට ම මන් ඉස්සෙල්ල ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මන් ගැන දක්වන හැඟීම ගැන. ඒ වගෙම සර් අපේ චන්දූපමා කිව්වා මන් හරි විශේෂ කෙනෙක් කියලා. මට කියන්න තියෙන්නෙ සර් මේ ඔක්කොම දෙනා හරි විශේෂ යි කියන එක. සකුණිගෙ දැක්ක විශේෂය තමයි අවංකකම. ඒත් අවාසනාවකට සර් අපේ ම සර්ල මැඩම්ලා කීපදෙනෙක් ම ඒක වෙනුවට දකින්නෙ මෙයාගෙ කටකාරකම. ඒක නිසා ඒ අයට මෙයා නැහැදිච්ච ළමයෙක්. සඳලත් ඇවිල්ල දක්ෂ ක්‍රීඩකයෙක්. සමස්ත ලංකා දහනමයෙන් පහළ පිහිනුම් තරගෙදි දිස්ත්‍රික්ක ඔක්කමගෙන් ඉදිරිපත් වෙච්ච සේරම දෙනා පරද්දලා එකට ආවෙ එයා. කොළඹ ගාල්ල ලොකු ම ඉස්කෝල පහ හයකින් ම එයාට ආරාධනා ලැබුණා නේවාසික පහසුකම් එක්ක ඒවයෙ ඉගෙන ගන්න. හෙට දවසෙත් මන් පීනුම් තරගෙකට ඉදිරිපත් වෙනව නං ඒ නාගොල්ලාගම සෙන්ට්‍රල් එකෙන්ම තමයි කියලා මෙයා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. ඒක විශේෂයක් නෙමෙයි ද සර්. ඒ වගෙම මේ සසිත්ට චන්දූපමාට ඒ වගෙම සඳමිණිට තියෙන්නෙ අපි කාටවත් ම නැති විශේෂ හඬවල්. අනුපම කතා කරන කොට දැනෙන්නෙ ප්‍රවීණ නිවේදකයෙක් කතා කරනව කියලයි. සර් කතා කරනව නං මට මේ හැම එක්කෙනාගෙම මම දැකපු විශේෂතා ගැන කියන්න පුළුවන්.”

ගඟුල් නිහඬ ව ම සිය ශිෂ්‍යයාට සවන් දුන්නේ ය. මේ වූකලී අනාදරයෙන් බැහැර කළයුතු පන්තියක් නොව ආදරයෙන් වැළඳ ගත යුතු පන්තියකි. සිය සිසු දූ පුතුන් වෙත දයාර්ද්‍ර බැල්මක් හෙලූ ඔහු ප්‍රියකට දන්වා සිටියේ පාඩම අවසන් කිරීම සඳහා වන අවසන් අදහස් දැක්වීම සිදු කරන ලෙස යි.

ප්‍රියක එදින පාඩම අවසන් කිරීම සඳහා වන ආරම්භය ගත්තේ ය.

''සර් මේ තාත්තා තමන්ගෙ දුව වැවේ ගිලෙන බව දැක දැක ම දුවගෙ මිතුරිය ව ගිලෙන්න නොදී ආරක්ෂා කරගන්නවා. ඒක සාමාන්‍යයෙන්  තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මෙතෙන්දි තමයි ඒ තාත්තා තමන් බෝසත් නොවෙමි කියලා වචනයෙන් කිව්වට ක්‍රියාවෙන් තමන් බෝසත් ය කියන එක අපට ඔප්පු කරල පෙන්නන්නෙ. ඒත් තවම පෘථග්ජනයෙක් නිසා එයාට මේ දුවගෙ වියෝගය දරාගන්න බැහැ. ඒක නිසයි ඒ තාත්ත කියන්නෙ මන් ආයෙත් මේ මල් නෙලන්න එන්නෙ නැහැ කියල. ඒත් ඔහු විශ්වාස කරනවා තමා නොකෙරුවත් ඒ ජීවනෝපායත් සමග මුහු වෙච්ච සමාජ මෙහෙවර වෙනත් කෙනෙකුට පවරන එක තමාගෙ යුතුකමක් බව. බලන්න සර් මේ කවියා එකම මනුෂ්‍යයා  තුළින් බෝධිසත්ත්ව චර්යාවත් පෘථග්ජන චර්යාවත් පෙන්නන හැටි. ඒ වගෙම මෙයා අන්තිමට මොකක් ද තමන්ගෙ මෙහෙවර පවරලා දුන්න යාළුවට කියන්නෙ.”

''අන්න එතෙන්දි නේද ප්‍රියක අනේ උඹවත් මෙහෙම අවස්ථාවක් ආවොත් මන් කරපු විදිහට වැඩ  කරන් නැතුව තමන්ගෙ දුව බේර ගන්න ඕන කියන ඉල්ලීම කරන්නෙ. ඇයි මේකෙ කෙළින් ම කියනවනෙ මගෙ රත්තරන් දුව බේරා ගන් සබඳ කියලා.” 

මේ අදහස පැවසුවේ සකුණි ය.

''අනේ සකුණි එහෙම අර්ථ ගත්තොත් නං මේ කවි ටිකෙන් වැඩක් ම නැති වෙනවා. මට තේරෙනවා සකුණි ඔයාගෙ අහිංසක හිත. ඔයා කැමති ඊළඟ අවස්ථාවකදි හරි මේ ගිලෙන දුවව බේර ගන්න ක්‍රමයක් තියෙනවනං කියන එකට. අපිත් කැමති ඇත්තට එහෙම වෙනවනං තමයි. ඒ උනාට සර් මට නං හිතෙන්නෙ මේ අන්තිම කවි පේළි දෙක තමයි මනුෂ්‍යාත්ම භාවයක තියෙන උතුම් ම ස්වභාවයක් අපට පෙන්නල දෙන්නෙ. කවියා අර දුව ව භෞතික ව වැවේ ගිලෙන්න අරිනවා. හැබැයි එයා මනුෂ්‍යත්වයට ගිලෙන්න දෙන්නෙ නැහැ.”

''ඔයාට ප්‍රියක එහෙම හිතුණෙ ඇයි? මන් කැමතියි ඒ හිතිවිල්ලත් අපි ඔක්කොම එක්ක බෙදා ගත්තොත් හොඳයි කියල.”

''බලන්න සර් මේ තාත්ත අන්තිමට කියන්නෙත් මොකක් ද කියලා. එයා එතෙන්දි කියන්නෙත් යම් දවසක උඹේ දුව තමන්ගෙ යෙහෙළියක් එක්ක ආවොත් උඹ කරන්නත් ඕන මම කරපු දේමයි. ඒ කියන්නෙ ඉස්සෙල්ලම බේර ගන්න ඕනෙ දුවගෙ යාළුවව කියන එක නේද මේ කියන්නෙ. 

                            ආවොත් ඔබේ දුවගේ යෙහෙළිය ලෙස ද

                            මගෙ රත්තරන් දුව බේරා ගන්      සබඳ

හැබැයි සර් අපිට පුළුවන්නං මේ අන්තිමට තියෙන මගෙ රත්තරන් දුව බේරා ගන්  සබඳ කියන එක, එක දුවකට සීමා කරන්නැතුව දුවලා දෙන්නගෙම ජීවිතේට සම්බන්ධ කරන්න ....

අනේ මන්ද සර් මේ මට තේරෙන - හිතෙන හැටි. මට වැරදුණානං සර් ඒක නිවැරදි කරල ඒක අපේ පන්තියෙ ඔක්කොට ම කියල දෙන්න සර්.”

''මේ නිර්මාණය ගැන ඔයා මට කියන්න දෙයක් ඉතිරි කළේ නැහැ ප්‍රියක. මට කියන්න තියෙන්නෙ මන් ප්‍රියක ගැන ඒ වගෙම ඔය ගොල්ල ඔක්කොම ගැන මේ පන්තිය ගැන කොච්චරක් නං සතුටු වෙනව ද කියන එක විතර යි.''

 ''සර් අපිට කිව්ව නේද සර්ලගෙ මිතුරියකට සහන් සර්ගෙ දුව අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ අන්තිමට කියන්නං කියලා.''

''ඔව් දුවේ එයාට පැහැදිලි උත්තරයක් තිබුණා. එයා කිව්වෙ සර් මම ඒ තාත්ත නං ඔක්කොටම බේරෙන්න පුළුවන් උපරිම උත්සාහය දරනව මිස තුන්දෙනාට ම ගිලිලා මැරෙන්න උනත් දුවල දෙන්නගෙන් එක්කෙනෙක් වත් අත අරින්නෙ නෑ කියලා.''

''ඉතින් සර් සහන් සර් මොකක් ද ඒකට කිව්වෙ.''

''සර් ඒක පිළිගත්ත දරුවනේ. ඒ විතරක් නෙමෙයි අපේ සංස්කෘත නාට්‍ය සාහිත්‍යය දෙන්නෙත් මට අමතක වෙච්ව ඒත් අපේ මහේෂිට අමතක නොවෙච්ච උත්තරේ තමයි කියලත් කිව්වා.''

''ඒ කිව්වෙ සර්.''

පන්තියේ කිහිප දෙනෙක් ම ඒ ගැන විමසා සිටියහ.

''ඇයි දරුවනේ හැම සංස්කෘත නාට්‍යයක ම අවසානය සුඛාන්තයක් මිස ශෝකාන්තයක් නොවිය යුතුයි කියන එක. ජීවිතේ දුක්මුසු දේවල් වෙනවා තමයි. සංස්කෘත නාට්‍ය රචකයා ඒව ගැන නාට්‍යය මුලදි හරි මැද්දෙදි හරි කතා කරනවා. ඒ උනාට නාට්‍යය දුක හිතෙන දේකින් ඉවර කරන්නෙ නැහැ.''

''ඇයි සර් ඒ ගොල්ලො එහෙම කරන්නෙ. දුකත් අපේ ජීවිතේ ම අංගයක්නෙ ?''

එසේ ප්‍රශ්න කෙළේ චන්දූපමා ය.

''දුක ජීවිතේ අංගයක් තමයි, ඒ උනාට ඒ ගොල්ලො විශ්වාස කළේ නාට්‍යයක් පෙන්වන්නෙ ජීවත් ව ඉන්න අයට නිසා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වනවා මිස ජීවිතය බිඳ වට්ටවන එක නිර්මාණකරුවෙක්ගෙ වගකීම නෙමෙයි කියලා.''

''එහෙමනං සර් අපිට මේ නිර්මාණය දාන්න වෙන්නෙත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු බිඳ වට්ටවන ගොඩටනෙ.''

''මේක දිහා මතුපිටින් බලන කෙනෙකුනං එහෙම කරාවි. ඒ උනාට දරුවනේ ඔයගොල්ල ඔක්කොම වෙනුවෙන් කතා කරපු ප්‍රියක අන්තිමට මේ නිර්මාණය රැඳෙව්වෙ එතන නෙමෙයි. එයා හැම තිස්සෙම වෑයම් කළේ මගෙ රත්තරන් දුව බේරා ගන් සබඳ කියන පණිවිඩය මතු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගෙ යාළුවා සඳුන් තමන්ගෙ ජීවිතයෙන් ම අපිට ඔප්පු කරලා තියෙන උත්තරයත් ඒකමනෙ.''

ගඟුල් ඒ වචන කිහිපය පැවසුවේ ශිෂ්‍ය සඳුන් පෙන්වමිනි. 

''අනේ දුවේ පුතේ මට ආයෙ ආයෙත් කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලො ගැන කොච්චරක්නං සතුටු වෙනව ද කියන එක. මේ සඳුන් ගැන ප්‍රියක ගැන සසිත් ගැන චන්දූපමා ගැන සඳමිණි ගැන අනුපම ගැන කොටින්ම ඔයගොල්ල ඔක්කොම ගැන මට තියෙන්නෙ කියාගන්න බැරි තරං සතුටක්.''

මෙසේ පැවසූ ගඟුල් මහත් ආදරයකින් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙස බලා යළිත් කතා කෙළේ ය. 

'' මට මේ වෙලේ මතක් වෙන්නෙ සහන් සර් අපට දවසක් දේශනයකදි කියපු දෙයක්. ඒත් දැන් වෙලාව නං ගොඩක්....”

ගඟුල් සිය අත් ඔරලෝසුව දෙස බැලුවේ තව මොහොතකින් කාල පරිච්ඡේදය අවසන් වන සීනුව වදිතියි යන හැඟීම ඇති වූ බැවිනි.

''අනේ සර් වෙලාව ගියාට කමක් නෑ අපේ සහන් සර් කියපු දේ අපටත් කියල යන්නකො.” 

මුළු පන්තියේ ඉල්ලීම මෙසේ ප්‍රකාශයට පත් වූයේ සකුණිගේ මුවිනි.

දැන් මේ තුරුණු දූ දැරියනට තමන්ගේ ගුරුවරයා ඔවුන්ගේ ද ගුරුවරයා වී අවසාන ය. කෙදින හෝ සිය ආචාර්යවරයා මේ පාසලට ගෙන්වීමට අදිටන් කරගත් ගඟුල්, ඔහු එදා පැවසූ දෙය සිය ශිෂ්‍ය ප්‍රජාවට පැවසීමට පටන් ගත්තේ ය.

''එදා සහන් සර් අපිට උපනිෂද් දර්ශනය උගන්නපු දවසක්. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතරෙ හරිම ප්‍රසන්න ආධ්‍යාත්මික බැඳීමක් ඇතුව දෙගොල්ල එක්කම ජීවිතය ගැන ඉගෙන ගන්න දහමකටයි උපනිෂද් කියලා කියන්නෙ. මේ දර්ශනයෙ හරය තමයි, තමා ලෝකයෙනුත් ලෝකය තමාගෙනුත් වෙන් කරන්න බැහැ කියන එක. මේකෙ තියෙනව මේ ගුරු ශිෂ්‍ය දෙගොල්ල ම මේ දර්ශනය ඉගෙන ගැනීම ආරම්භ කරන්න ඉස්සෙල්ල කරන ප්‍රාර්ථනාවක්. එදා සහන් සර්රුත් උපනිෂද් පාඩම පටන් ගත්තෙ ඒ ප්‍රාර්ථනාව කරලා.  ඔයගොල්ලන්ගෙ දැනගැනීමට මන් ඒ පාඨය කියලම අර්ථෙ කියන්නංකො. ඒකෙ මෙහෙම කියවෙනවා.

                               සහ නාවවතු සහ නෞ භුනක්තු 

                               සහ වීර්යං කරවාවහෛ තේජසවී නාවධීතමස්තු

                               මා විද්විෂාවහෛ 

                               ඕම් ශාන්ති:   ඕම් ශාන්ති:  ඕම් ශාන්ති:

 හේ අප දෙදෙන රකීවා! අප දෙදෙන විඳීවා!

අපි දෙදෙනා එකට වීර්ය කරම්වා! අප දෙදෙනා විසින් යමක් ඉගෙන ගන්නා ලද ද එය අප දෙදෙනා තුළ ම මනා සේ ශක්තිමත් වේවා! අප දෙදෙනා අතර කිසි විටෙකත් ඔවුනොවුන් කෙරෙහි ද්වේශයක් ඇති නොවේවා!

ඊට පස්සෙ තුන් පාරක් ම ශාන්ති  ශාන්ති ශාන්ති කියල තමයි මේ අධ්‍යාපනේ පටන් ගන්නෙ.'' 

''හරි ලස්සන ප්‍රාර්ථනයක්නෙ සර්. අපිත් කරමුකො හැමදාම ඒ ප්‍රාර්ථනාව.”

එසේ පැවසුවේ මුළු දවස තුළ ම කිසිවක් නොපවසා නිහඬ ව පාඩමට සවන් දී සිටි දුලන්ජලී ය.

''මෙහෙමයි දුවේ හැම වෙලාවෙම අපි අපිට දැනෙන දේවල් වචනවලින් කියන්න ඕන කරන්නෙ නැහැ. හදවතින් කිව්වහම ඇති.”

''ඉතින් සර් එදා සහන් සර් ඔය කියමනට අමතර ව තවත් දේවල් කියන්න ඇතිනෙ.”

''ඔව් සකුණි තවත් ගොඩක් දේවල් කිව්ව තමයි. ඒ අතරින් අපිට වැඩියෙන් ම දැනිච්ච දේ මන් කියන්නංකො.”

''සර් ෂෝපන්හවර් කියන ජර්මන් දාර්ශනිකය ගැන අපිට ගොඩක් කරුණු කිව්වා. එතුමාට තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙදි තමයි උපනිෂද් දර්ශනය ගැන දැන ගන්න ලැබිලා තියෙන්නෙ. උපනිෂද් කියෙව්වට පස්සෙ එතුමා බටහිර දර්ශනය විතරක් ඉගෙන ගත්ත ලෝකය සසල කරවන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තියෙනවා මෙහෙම.”

''උපනිෂද් කියවන තුරු මා ජීවත් කළ දෛවයට ස්තුතිවන්ත වේවා!”

''සහන් සර් ඔය ප්‍රකාශෙ සර්ගෙ ජීවිතයට ලොකුම ආලෝකයක් ගෙනාපු චරිතයකට සම්බන්ධ කරල එදා ඒක ටිකක් වෙනස් කරලා මෙහෙම කිව්වා.” 

''ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් මුණගැස්වූ දෛවයට ස්තුතිවන්ත වේවා!”

''මේ දුවලා පුතාලා දන්නෙ නැහැ ඔයගොල්ලො නිසා මන් කොච්චරක්නං අද දවසෙ සතුටු වෙනව ද කියන එක.” 

ගඟුල් පන්තියෙන් පිට ව යාම සඳහා හුන් අසුනින් නැගී සිටියේ සිය ගුරුවරයාට ආචාර කිරීම සඳහා නැගී සිටි තම ශිෂ්‍ය ප්‍රජාව දෙසට හැරී පහත සඳහන් ප්‍රකාශය කරමිනි.

               ''මේ පන්තියේ දූ දරුවන් මට මුණගැස්වූ දෛවයට ස්තුතිවන්ත වේවා ! ”  

3 comments:

  1. ගඟුල් සර්ල, සහන් සර්ල විතරක් නෙවෙයි අධිකාරම්තුමන්ලා, ක්‍රිෂ්ණමූර්තිතුමන්ලා අපට මුණගැස්වූ අපේ සමන් සර්ටත් පින්.
    පසුපසින් ඇදහැලෙන මල්-වැසිත් සමරමි.

    ReplyDelete
  2. නූතන සාහිත්‍යය හැකි තරම් සද් ගුණය අත්හරිමින් සිටින විට, සමාජය පිරිහීම උදෙසා වේගයෙන් සාහිත්‍ය අවභාවිත වනු පෙනෙයි. එවැනි නිරුදක සාහිත්‍යයකට ගුරු දියවර හරිත භූමියක් වී තිබෙයි. මනුෂ්‍ය ගුණය මිරිකා ලූ කතා සම්ප්‍රදායේ සමාජ ගරා වැටීම අපි අද භුක්ති විඳිමු. ගුරු දියවර ඒ සමාජ ප්‍රතිදේහ ගොඩනගන කතාවකි.

    ReplyDelete
  3. අහසින් වැටෙන වැස්ස පවා ලෝදිය වගේ දැනෙන කාලෙක, මේ වැහි වැටෙන තැන කොයිතරම් සිසිලයි ද sir! මේක හැම ගුරුවරයෙක්ට ම කියවන්න ලැබේවා!

    ReplyDelete