Saturday, June 18, 2022

77. පෝළිම!

විසිහත් පැයක් සිරවී
උන් ඒ දිගැති පෝළිම
ගලමින් මිනිස් රිය ගඟ
නොනැවත ගැලූ පෝළිම 


තේ කෝපි හුවමාරුව
මිතුදම් මැවුණු පෝළිම
බොදුනුද කිතුණු හැම දන
එක් වී රැඳුණු පෝළිම

ධනවත් දිළිඳු පුමිතිරි
සීමා බිඳුණු පෝළිම
එක සහෝදර බැම්මක
මනු සිත් බැඳුණු පෝළිම

අයුක්තිය හිස ඔසවත
යුක්තිය තැනූ පෝළිම
වරදට රැවූ ගෙරවූ
හරි මග සෙවූ පෝළිම

එකම අඳුරක් දරමින්
එකට එක් වූ පෝළිම
අඳුර මඩිමින් එළියක්
සොයාගත් ඒ පෝළිම!

Thursday, June 16, 2022

76. සීතලට වැහි වැටෙන!

අහම්බයකින් පවා කොල්ලෙකුට ඇස යොමන
සිරිත් නොතිබුණු හිතක් එක්රැයක බිම වැටිණ
අහිංසක ඇස්වලින් මහද ගේ ගිනි තියන
කුරුල්ලෙක් වි‍ය හදේ කෝණිකාවක මෙතැන

අතීතෙක ඔබේ හඬ අසා හුරු බව දැනුණ
අහම්බෙක නැවුම් සීතකින් හදවත පෙඟිණ
අනවරත රස නුසුන් මුදු වදන් පැන නගින
රළු කොපුල් තල මතින් හුරු සිනාවක් පෙණිණ  

වසර ගණනක මතක හෙමින් අත්තටු ගසන
තනිව පියඹනු නොහී තුරුණු පියපත් රිදෙන
දුරතීත සිපුමකින් නැවුම් මිහිරක් දැනෙන
තාම මගෙ හිත මතින් සීතලට වැහි වැටෙන

ඒ වැස්ස මැද තැනක ඔබේ ඇසිපිය අතර
තෙමෙමි, සීතල දැනෙත් රැඳෙමි පුළුලුර'පතර
නිවන්නට මෙන් සෙනේ ගඟ වියළි රුදු කතර
මහද සේදෙන තුරුම ගලායේ වැහි වතුර

Friday, June 10, 2022

75. වැහි වැටෙන මතක!

'ඉස්සර වැසි දැරිය කියලා බ්ලොගර් කෙනෙක් උන්නා. පැංචා පූසාගෙ ඉඳලා අලුතින් කියවපු පොතක් වෙනකම් ලස්සන මතක බ්ලොග් එකේ ලියාපු..'

නෝක්කාඩු හඬක් දුරබණුවෙ සාවනාව අතරින් ගලාගෙන එද්දි වැසිදැරියට අතීතෙ අනවරත බ්ලොග් ලිවිල්ල මතක් වුණා.

ඉස්සර ජපුරෙ පුස්තකාලෙ රාක්ක අස්සෙ කරක් ගහලා ගහලා හොයාගන්න සිංහල නවකතා පොතක්, ඉංග්‍රීසි හොල්මන් කතා පොතක්, බාසා දෙකෙන් කොයිකෙන් හරි ලියවුණු යොවුන් නවකතා පොතක් උස්සන් එන වැහිදැරිවි සාලෙ වාඩි වෙලා පොතට මූණ ඔබාන නැත්නම් යහනෙ දිගාවෙලා පොත මූණට අල්ලගෙන එක දිගට පොත් කියවනව. 

මේ කලබල ඉවර වෙලා ජපුර පුස්තකාලෙ විවෘත වුණ දවසක යව්වනෝදයෙදි වැසි දැරිවි කියවපු නිවෙන, සනහන, ජීවිතේ ගැන බලාපොරොත්තු දල්වන හැබෑ සාහිත්‍ය කෘති හොයාගෙන, ඔහු එක්කත් බෙදාගෙන කියවන්න ආසාවකින් වැසි දැරිවිගෙ හද පිරෙනව.

දැන් කියවන්න ඇති තරං කියවල නැති පොත් ගෙදර තිබුණත් කියවන්න හිතක් නෑ. කාර්‍යබහුලකමම නෙමේ හේතුව. වැසිදැරිවිට වඩා ලස්ස පාරක් කාර්‍යබහුල තාත්තා පොත් කියවන්න වෙලාව හදාගන්න හැටියට පොතක් කියවන්න වෙලාව හොයාගන්න එක මහ දෙයක් නෙමේ. ඒත් ඒ කාලෙ වගේ නිවීමක් සැනසීමක් හොයාගන්න පුළුවන් විදියෙ පොත් දැන් හොයාගන්න අමාරුයි. 

ජීවිතේ ගැන බලාපොරොත්තු බිඳ දමන, පීඩනයන්ට විසඳුම් නොසොයා ඒවා මැද ගිලිලා යන ජීවිත ගැන කතා කරන, පවතින සමාජය තියෙනවට වඩා අසුන්දර කරන්න දායක වෙන ඒ කෘති අබියස සාහිත්‍යයෙ කාර්‍යභාරය පවතින සහ නිර්මාණය විය යුතු සමාජයෙ සුන්දරතා මතු කිරීම කියලා කියන තාත්තගෙ කතාව වැහිදැරිවිට මතක් වෙනව.

ආර්ථික අර්බුද, දේශපාලන අසික්කිතකම් මැද ගෙවෙන පීඩාකාරී ජීවිතේ නිවනවා, අලුත් කරනවා සහ අර්ථවත් ලෙසකට විප්ලවකාරී කරනව වෙනුවට ඒ ජීවිතේ වඩා අවුල් කරන කලාවක් මොකටද කියලා කියවන්න අතට ගන්න සමහර පොත් පැත්තකින් තියන වකවානුවක් ගෙවෙමින් තියෙනව.

කාර්‍යබහුලත්වය සහ සමාජ දේශපාලන වියවුල් මැද අකුරු අමුණන්න වෙලාවක් සහ හිතක් නෑ කියන තර්කයත් ඉදිරිපත් කරන්න හැකි වුණාට ඒ තර්කය ඉදිරිපත් කරන්න කිසිදු අයිතියක් පෑන් අතැති මිනිසුන්ට නෑ කියලා වැහිදැරිවි දන්නව.

ලෝකය අසුන්දර නම් අපි ඊට එරෙහිව ලියන්න ඕන. ඔහු කියනව. වැඩ කරන්න ඕන. වැසිදැරිවි කියනව. දෙන්නා එක්ක වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් අපේ කලින් පරපුරේ සත්‍ය ගුරු තාරකා එළි දැල්වුණ මාවතේ නව එළිය හොයන් යන හැටි ගැන සිහින දකිනව.

කලබල මැද සැලසුම් ක්‍රියාත්මක කරන්න අසීරු වුණත් ඒ බලාපොරොත්තු මේ දුෂ්කර කාලය ගෙවාගන්න ඉන්ධන නැති මොහොතක පවා හර්ද ඉන්ධන සපයනව.

මතක මල් හැමදාම - දවස ගාණෙ ජීවිත පාරෙ පිපෙනවා. අපිට පුළුවන් නම් ඒ මතක කාටවත් කරදරයක් - රිදිල්ලක් නැති ලස්සන මල් විදියට පුබුදවගන්න කොච්චර සුන්දරද කියා හිතෙනව. ඒ වගෙම තවත් අඩියක් ඉස්සරහට තියලා ඒ මතක මල් වචන සටහනක් ඇතුළෙ තැන්පත් කරලා තියාගන්න.. තවත් කොච්චර සුන්දරද කියාත් හිතෙනව. ඒ නිසා මේ පිළිවෙලක් නැති සටහන වැහි වැටෙන තැන අමුණලා තියන්න වැහිදැරිවිට හිතෙනව.