මාස දෙක තුනකට වාරයක් නිසැකවම වැහිදැරිවිගෙ දුරකථනෙට සුවදුක් විමසා එන හඬ පණිවිඩයක් තියෙනවා. එය එවන්නෙ ඩිල්ෂාන්.
මේ කදිම පණිවිඩ අහන්න වැහිදරුවා ඉතා ප්‍රියයි. ඉතින් ඩිල්ෂාන්ගෙන් පණිවිඩයක් එන විට මා ඔහු රිය පදවමින් හිටියත් එය බ්ලූටුත් වලට සම්බන්ධ කර අහන්නට දෙනවා.
මලයාලම් ෆිල්ම් එකක චරිතයක් වගේ - ඩිල්ෂාන්ගෙ කදිම හඬ පණිවිඩයක් අහපු චරණ මාධ්‍ය ජාලයෙ දිනූෂ කුඩාගොඩගේ අය්යා වරෙක කිව්වා.
මේ කදිම ඩිල්ෂාන් මට හමු වන්නෙ ඔහුගෙ වයසෙ සිසුන් පළමු වසරෙ මැද භාගයත් ගෙවා දැමුවට පස්සෙ.
මං එක් දවසක කැම්පස් එකේදි 'අහසෙන් එන්න' බ්ලොගය ලියන සත්‍යා අක්කගෙත් - කසුන් අය්යගෙත් කුටියට වෙලා රස කතාවක පැටලිලා ඉන්න අතරෙ අක්කා කිව්වා, 'ඔන්න නංගිට පන්තිය කනපිට ගහන මරු ගෝලයෙක් හම්බ වෙන්නයි යන්නෙ.'
'අමු ගැමියෙක්, අපූරු කොල්ලෙක්. ඔන්න බලන්නකො.' කසුන් අය්යා ඒකට එකතු කළා.
කිව්වා වගේම ඩිල්ෂාන් අපේ පන්තිය ලස්සන තානයකින් කණපිට ගැහුවා. එතෙක් පන්තියෙ උන්න එකම දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා වුණ, රෑන්ක් එකක් එක්ක කැම්පස් ආව - නිවිච්ච-අහිංසක ඉමන්ත කොලුවාගෙ තැන්පත්-සන්සුන් තානයකින් ගලා ගෙන ගිය ජීවිතෙත් හත්අටපොළකින් කණපිට ගහමින්.
සාමාන්‍යයෙන් අපේ පන්තිය විනෝදබර පන්තියක්. විහිලුතහලු නොකර මං උගන්නන්නෙ නෑ. ළමයිනුත් එකිනෙකා එක්ක ඉතා සුහදයි. ඒත් ඩිල්ෂාන් පන්තියෙ යම් තාප්පයක් බැම්මක් ඉතිරි වෙලා තිබ්බාද ඒ සියල්ල බිඳලා දැම්මා. මිනිහා දේශනේ ඉවර වුණාම හැමදාම සිංදු කිව්වා. කදිම තානයකින් නිවේදන කළා. කෙල්ලො වට කරගෙන උන්ගේ අත් අල්ලාන සාස්තර කිව්වා. කේන්දරවල ග්‍රහ පිහිටීම ගැන අහලා අනාගත වාක්‍ය කිව්වා. බුදුදහම ගැන මුස්ලිම් සහ කිතුණු සහෝදර සහෝදරියන්ට කියා දීලා එයාලාගෙන් ඒ ආගම් ගැන ඉගෙනගත්තා.
හැබැයි අනිත් අයට බෝඩ් එක පාවිච්චි කරලා උගන්නලා ඉවර වෙලා, ඉමන්තත් ඩිල්ෂානුත් ළඟට ඇවිත් වැහිදැරිවි යළිත් උගන්නද්දි අර දාංගලේ පරදන උනන්දුවකින් හොඳින් පාඩම අහං හිටියා. බ්‍රේල් ක්‍රමය නොදැන සිටීම ගැන වැහිදැරිවි දුක් වුණේ ඔවුන් ලියන පිළිතුරු ලේඛන කියවන්න බැරි වූ නිසයි. ඒත් සත්‍යා අක්කා ඔවුන් ලියපුවා මට පස්සෙ කියවලා දුන්නා. ඒ අවුරුද්ද තුළ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයන්ට සරිලන අන්දමට අපේ අධ්‍යාපන ක්‍රමයේ සැකසෙන්නට අවැසි තැන් බොහොමයක් ඔවුන් නිසා වැසිදැරියට සම්මුඛ වුණා.
සමාසික සෙමෙස්තරේ අන්තිමේ මුළු බැච් එකක් එකතු වෙලා කරන නාට්‍ය තරඟයෙ හොඳම නාට්‍ය හතරෙන් එකක් බවට පන්තිය පත් කරන්න ඩිල්ෂාන් විසාල අත්වැලක් වුණා. නාට්‍ය කොටසට උදව් වෙන්න බාහිර කථිකාචාර්යවරියක් විදියට සම්බන්ධ වුණ උමා අසෙනිත් ඩිල්ෂාන් අගය කළ බව, අනිත් පන්තිවල ළමයින් තරඟය අමතක කරලා ඔහුගෙ රංගනය ආසාවෙන් බලා උන් බව රහ කර කර කිව්වෙ මං රිලීෆ් වෙන නාට්‍ය දවසෙ ඕපදූප ටික ඊටපස්සෙ මට දේශන තියෙන දවසක මගෙ කනේ තියන කෙල්ලො ටික.
මා තදින් අසනීප වී උන්නු දවසක දේශනයක් තිබුණා. ළමුන්ගෙ විභාගය ළං වී තිබු නිසා ගෙදර අයගේ බලවත් විරෝධය මැද මං එදා දේශනයට ගියා. ඩිල්ෂාන්ට එදා හරියට වැඩ. පන්තියේ කොල්ලො කෙල්ලො විෂය කාරණාවක් ඇහුවත් බැනුම් කෝටියයි.
‘තේරෙන්නැද්ද උඹලාට මැඩම් ලෙඩ වෙලා. මොකද වද දෙන්නෙ.‘
පණ්ඩිතකමට උගන්වන්න ගත්තාට මොකද මට අන්තිම විනාඩි දහයට වගෙ එද්දි කතා කරන්න අපහසුවක් දැනෙන්න ගත්තා.
ඩිල්ෂාන් මැදට පැන පන්තිය නැවැත්තුවා.
‘මැඩම් නවත්තන්න. කෝ මං ඔබතුමියව සනීප කරන්න..‘ කියා කෙල්ලන් දෙදෙනෙක්ගේ උදව්වෙන් මා අසළට ඇවිදගෙන ආවා. ඇවිත් මගේ අත අල්ලාගෙන පිරිත් කියන්නට පටන් ගත්තා. මා ඒ වෙද්දී බෙහෙත් බී හිටියත් ඒ දරුවාගේ පිරිසිදු ආශිර්වාදය එදා හවස් වෙද්දී මා සුවපත් වෙන්න හේතු වූ වග මට දැනෙනවා.
‘කරපු උදව් ජීවිතේට අමතක වෙන්නේ නෑ. මැඩම්ට හුඟක් ස්තූතියි.'
ඩිල්ෂාන්ගෙ හැම හඬ පණිවිඩයක්ම කෙළවර වෙන්නෙ එහෙම.
වැහිදැරිය දෘශ්‍යාබාධිත දරුවන්ගෙ අවශ්‍යතා ගැන ලියන හැම පර්යේෂණ පත්රිකාවකම ඩිල්ෂාන් ඉන්නවා. ඩිල්ෂාන්ට ඉගැන්වීමට ගොස් අසාර්ථක වුණ හා අලුතින් ඉගෙනගත් හැම තැනක්ම අනාගතේ එන ඩිල්ෂාන්ලාට වඩා සාර්ථක අධ්‍යාපනයක් දෙන්න යොදාගන්න පුළුවන් බවට බලාපොරොත්තුවේ කුඩා තරුඑළියක් ඒ හැමෙකකම තියෙනවා. ඉතින් ඒ මාර්ගය වෙත මාව ගෙනත් ඇරලුවාට ඩිල්ෂාන්, ඔයාටත් හුඟක් ස්තූතියි!
ලංකාවේ දෘශ්‍යාබාධිත දරුවන් වෙනුවෙන් පර්යේෂණායතනයක් ආරම්භ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.
ReplyDeleteවිසල් තරු එළියක් වගේ පැතුමක්!
Deleteකොයිතරම් මහඟු සත්කාර්යයක්ද! වැහි දැරියට මීට යෝධ බල සහ වීර්ය පතනවා.
ReplyDeleteමම ජපුරේ ඉගෙන ගන්න කාලේ දෘශ්‍යාබාධිත සිසු සිසුවියන් ටයිප් රයිටර් උස්සාගෙන දේශන වලට ආව ගිය හැටි මතකයි. ඒ කාලේ ලැප්පටොප් පරිගණක මේ තරම් ප්‍රචලිත නැහැ. අපේ මිතුරෙක් හිටියා දෘශ්‍යාබාධිත. ඔහු ඕනෑම කෙනෙක් ව (වෙන batches වල පවා) කටහඬින් ඇඳිරුව බොහොම ලස්සනට ගීත ගායනා කළ අපූරු චරිතයක්. මේ පෝස්ට් එකෙන් ඒ මතක අවදි වුණා.
ස්තූතියි හෙල්මලී අක්කා! දැන් ඔවුන් පරිගණක හෝ අතේ ගෙන යා හැකි බ්‍රේල් පුවරු පාවිච්චි කරනවා සටහන් ලියන්න. මේ අයත් එහෙම තමයි. කටහඬින් විතරක් නෙමෙයි අඩිසද්දෙන් පවා අඳුරගන්නවා වෙලාවකට.
Deleteඅඳුරු වාගේ පෙනුන
ReplyDeleteසොඳුරු බව කැටි කෙරුණ
හදක් කම්පිත කරන
පෝස්ටුව - මිහිර දෙන!
ස්තූතියි නිදී, මිහිරි කවියට!
Deleteඇත්තටම ඩිල්ෂාන් තරු එළියක්.
ReplyDeleteහද පායපු අහසක හරි දුරින් තියන.තරු එළියක්.
හැබෑව! තරු එළි වෙලාවකට හඳට වඩා එළිය වෙන්නත් පුළුවන්!
Deleteඅඩේහ් ඔයත් ලියනවානේ..මං දැක්කෙ නෑනේ කලින්.මගේ පොස්ට් එකක කමෙන්ට් එකක් දැකල මේ දුවගෙන ආවේ.බ්ලොග් රෝලේ ඔයාව අප්සේට් වෙන්නෙ නෑනේ
ReplyDeleteඑහෙමද අක්කා. පහුගිය දවසක මං පරණ බ්ලොග් ඔක්කොගෙම කරක් ගැහුවා. ඉස්සර ඔයාගෙ බ්ලොග් එකේ කතා කියවන කාලෙ මං සා/පෙළ කරන වයසෙ කුඩා බබෙක් නොවැ. ඒ කාලෙ මේ බ්ලොග් එක නෙවෙයිද කොහෙද ලිව්වෙ. මගෙ හිතේ ඔයා මේක ෆලෝ කරලා නැතුව ඇති බාගෙදා!
Deleteපේරාදෙණියෙදි අපට Western classics උගන්වපු වීරක්කොඩි සර් මතක් උනා. එතුමාට බ්රේල් ක්‍රමයට සකස් කෙරුනු පරිගණකයක් ලැබිලා තිබුණා. අපිට අවශ්‍ය නෝට්ස් එකෙන් තමයි අරන් දුන්නේ. හැකියාවන් හොඩක් තිබුන කෙනෙක්. අද අප අතර නෑ.
ReplyDeleteවැසිදැරියගෙ තාත්තා කියා තියෙනවා එතුමා ගැන! අප අතර නෑ කියා දැනං උන්නේ නෑ!
Delete