වැසිදැරියට නිතර සිහිපත් වන එක සරසවි සිසුවියක් සිටිනවා.ඇය අතිදක්ෂ සිසුවියක්.නමුත් සරසවිය තුළ අතිදක්ෂයෙක් වීම පමණක් මතක හිටින චරිතයක් වන්න ප්‍රමාණවත් වන්නෙ නෑ. මන්ද සරසවියෙ අතිදක්ෂයෙක් වීම සාමාන්‍ය දෙයක් වන නිසා. දක්ෂයන් නොවී නම් ඔවුන්ට සරසවි එන්න බැහැ. ඒ නිසා මට මේ දැරිය මතක හිටියෙ ඇගේ දස්කම් නිසා නොවෙයි.
ලෝකයේ හැම ගැහැණියක්ම සුන්දරයි. එහෙත් භෞතික ලෝකයේ මිනුම්දඬුවලිවන් මනින අන්දමක බාහිර රුවක් නොවෙයි මේ සිසුවියට ඇත්තේ. ඒ නිසා ඇය සුවිශේෂී වන්නේ ඇගේ පෙනුම නිසාත් නොවෙයි.
ඇය මට ප්‍රථම වරට මුණගැහෙන්නෙ දෘශ්‍යාබාධිත සිසුන් පිරිසක් සමඟ. එක් හවස් වරුවක පැවැත්වුණු මධ්‍ය වාර සම්ප්‍රවේශන (Presentations) වාරයකට ඒ සිසුන් පිරිස සම්බන්ධ විය යුතු ව තිබුණා. එදා තදින් වැසි වැටුණ හවසක්. සිසුන් පනහකගේ පමණ කදිම සම්ප්‍රවේශනවලට සවන් දී පිරුණු හදින්ද-සවනින්ද යුතුව, මගේ කෝකටත් තෛලේ අත්බෑගයත් උරේ පටලවාගෙන, එතෙක් වේලා පුටුව යටට තල්ලු කර තිබූ පාවහන් දෙකත් පයලාගෙන, දේශන ශාලාවේ විදුලි පහන්ද වායුසමීකරණ යන්ත්‍රද නිවා දමා මා යන්නට සැරසෙන විටයි මේ සිසු පිරිස ඇතුළු වුණේ.
සිය මිතුරන්ට ඇසක් වෙමින් පෙර කී සිසුවිය ඔවුන් තුන්වන තට්ටුවේ දේශන ශාලාව වෙත කැඳවාගෙන විත් තිබුණා. දොර විවර වත්ම මා යන්නට සැරසී සිටි බව දුටුවේ ඇය පමණයි. ඇගේ මිතුරන් මා හඳුනන්නේ කටහඬින් පමණයි. ඔවුන්ට මා දිස් වන්නේ නෑ. ඇගේ ඇසේ නැගුණ අවංක ආයාචනාත්මක බැල්ම අදටත් මට එදා සේ මතක එය තමා වෙනුවෙන් නොව සිය මිතුරන් වෙනුවෙන් නැගුණක් නිසා.
කොහොමටත් මා ඒ මොහොතේ පිටව යාම තෝරාගන්නේ නෑ. විදුලි සෝපානය අක්‍රියව තිබියදී පඩිපේළි ගණනාවක් නැග ඉහළට ආ සිසුන්, ඔවුන් දෘශ්‍යාබාධිත නොවුණත් මා ඒ මොහොතේ ඔවුන්ගේ සම්ප්‍රවේශනය කරන්නට ඉඩ දෙනවා. එහෙත් ඒ මොහොතේ ඉතා කදිමට-පිළිවෙළට සැරසී උන් දෘශ්‍යාබාධිත සිසුන් දෙදෙනාටත් වඩා මේ උපකාරශීලී තරුණිය මගේ මතකයේ රැඳුණා.
අවසාන සම්ප්‍රවේශනය කළ සිසුන් ස්මාට්පුවරු-පරිගණක ආදි සියල්ල රැහැන්වලින් ගලවා දමා ගොස් තිබුණා. මේ කෙල්ල කඩියෙකු සේ දුව පැන සියල්ල නැවත සවි කර සිය මිතුරන් අතින් අල්ලාගෙන ඇවිත් ඔවුන්ව සිටගත යුතු තැන නවත්වා ස්ලයිඩ මාරු කිරීමට පටන් ගත්තා.
මධ්‍යවාර පරීක්ෂණවලදී සිසුන්ගේ අත්සන් තැබීම අනිවාර්යයි. ඉතින් ඈ ඔවුන්ගේ අතින් අල්ලා අදාළ තැන්වල අත්සන් තැබුවා. ඔවුන්ට ඇහෙන්නට ලියාපදිංචි අංක සහ විභාග අංක කියැවූවා. ඒ සියල්ල අවසානය දක්වා ඈ කළේ ඉතා පරෙස්සමින්. පිළිවෙළට. සිනාමුසු මුහුණකින්.
සම්ප්‍රවේශනය අවසන් වූ පසු ඇය මට ස්මාට් පුවරු යළි නිවීම ඇතුළු කිසිවක් කරන්නට ඉඩ නොතබා දුව පැන ඒ සියල්ල නිවා දැමුවා. මා කළේ මගේ රාජකාරියේ කොටසක් වුණත් පමාව පැමිණි මිතුරන්ගේ සම්ප්‍රවේශන භාරගැනීම ගැන මට ස්තූති කළා. මිතුරන්ට ඇසක් වූ මේ කදිම කෙල්ල සිය මිතුරන් සමඟ පන්තියෙන් සමුගෙන යන්නට පෙර මා ඇයට කිව යුතු යමක් තිබුණා.
This world will be a more beautiful place if there were more people like you.
එය ඇසු ඈ ඇසෙහි කඳුළු ඇතිව මා දෙස බලන් උන් අන්දම මට ඉගැන්වූ පාඩම වූයේ අප සිසුවකුගේ යහපතක් දුටු කල එය අගය කරන්නට කිසිදා අමතක නොකළ යුතුයි යන්නයි.
ලෝකයට ඇසක් වන්නට - ලෝකය වඩා යහපත් - සියලු දෙනාට ජීවත් වන්නට පහසු තැනක් කරන්නට උත්සාහ කරන එවන් දරුවකු තවත් පොහොසත් කරන්නට අපට වැය වන්නේ එවන් කුඩා වචන කීපයක් විතරයි. ඒත් ඔවුන් කළ, කරන සහ කරන්නට නියමිත හොඳ 'වැඩ' ලෝකයේ වටිනාම මැණික්වලටත් වඩා වටිනවා!
දුටු හැම විටම ඉටු කළ හොඳ සේවාවක්
ReplyDeleteපිදිය යුතුය එය අගයා ස්තුතියක්
වටියි පැසසුමක එකමෙක අවුන්සයක්
විවේචනවලට වැඩියෙන් රාත්තලක්!
++++
Deleteහරි අපූරු දැරිවියක්.
ReplyDeleteලස්සන හදවතක්.. ❤❤
ඔව්, ඉතා ලස්සන!
Deleteසංවේදීබව විනාශ කරන තරගකාරී රටාවක මෙවන් මිනිස් දූ පුතුන් දැකීමත් අරුමයක්! කාර්ය බහුල ජීවන රටාව තුළ ඒ ගැන ලියන්නට කාලය සොයාගන්නා ඔබටත් තුති!
ReplyDeleteබොහෝ විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙවන් දරුවන් නිතර මුණගැහෙනවා, තමන්ගේ වැඩවලටත් කලින් අනුන්ට උපකාර කරන දරුවන්!
Deleteලිට්සීකර්, නොවක් තුති මේ පැත්තේ ඇවිත් ගියාටත් ඇගයුමටත්. ඉගැන්වීමෙන් ලබන විනෝදය නිසා මට ඇත්තටම ජීවිතය කාර්යබහුලයි කියා දැනෙනවා අඩුයි. ලිවීම නම් ඇත්තටම පහුගිය කාලෙ මග හැරිලා තමයි තිබුණේ.
හරිම ලස්සනයි වැස්ස. ඔබේ ගමන යහපතක් ම වේවා. ඔබ සමග පහසුවෙන් අත් අල්ලා යන්නට කුඩා සමනලුන් බෝ වේවා . . . .
ReplyDeleteස්වස්ති! සිහගිරි වැසි බඹර! මනරම්යැ මෙගමන් - මෙපැතුම්!
Deleteහරිම අපූරුයි....ආදරණීයයි..
ReplyDeleteතුති සඳවතී!
Deleteස්තූතියි වර්ෂා මේ සටහනට. කියවද්දී කඳුළු ආවා.
ReplyDeleteමේ වගේ මනුෂ්‍යයෝ මටත් ඉඳහිට මුණගැහෙනවා. ලෝකය ගැන තව ටිකක් බලාපොරොත්තු තියාගන්න එයාලා හේතු වෙනවා.
ස්තූතියි අක්කා. පැහැදිලිවම එවන් අය බලාපොරොත්තුවේ තරුඑළි වගෙයි! 💫
Delete