මිහිර පත්තරේ අන්තිම කලාපය පිට වුණා කියලා සමවයස් මිහිර පාඨක මිත්‍රයො ෂෙයා කරලා තියෙනවා දැක්කා. හරියට කුඩා කල ඉඳලා ආස්සරේ කරපු කිට්ටුවන්ත යාලුවෙක් මිය ගියා වගෙ හැඟීමක් දැනුණා. විජය පත්තරේටත් ඔය ටික වෙන්න පුලුවන් නේද කියලාත් දැනෙද්දි හිත තව ටිකක් බර වුණා..
වැහිදැරිය තාත්තා එක්ක ඉස්කෝලෙ ගිය හැටි ලියාපු බ්ලොග් සටහනේ හැම අඟහරුවාදාම මොරවක ස්ටෝර්ස් එකෙන් විජය පත්තරේයි චොකලට් අයිස්ක්‍රිම් කප් එකයි ගන්න හැටි ගැන ලිව්වා. ඒ කාගිල්ස් මැජික් කප් එක ආ කාලෙ. ඉතින් ඒක කකා කාරෙකේ පිටිපස්සෙ සීට් එකේ පත්තර කොළ ටික වපුරගෙන ගෙදර නැත්තං තාත්තට හවස දේශනයක් තියන දවසට කැම්පස් එකට යනකං වැහිදැරිවි පත්තරේ කියවනව. ඉන්පස්සෙ ඉස්කෝලෙ යද්දි ගෙනියනව පත්තර ගන්න අමාරු යාලුවන්ට කියවන්න. සිකුරාදා හවසට තමා විජය පත්තර ගොඩට ඒ සතියෙ පත්තරේ එකතු වෙන්නෙ. 2002 අවුරුද්දෙ ඉඳන් 2012 අවුරුද්ද වෙනකං විජය පත්තරේ හැම කලාපයක්ම කන්දක් ගහලා අරංතියාගත්ත වැහිදැරිය තාමත් නොස්ටැල්ජියාවක් මතුවෙද්දි පත්තර ඇදලා අරන් අවුරුදු දහයක පොඩිත්තෙක් වගෙ කියවනවා.
වැහිදැරිය විජය පත්තර කියවන්න අරං ටික කාලෙකට පස්සෙ තමා තාත්තගෙයි මහප්පගෙයි පරණ පත්තර නිධානෙ ගොඩදාන ව්‍යාපෘතිය පටන්ගත්තෙ. කියවිය හැකි ඕනෑම කඩදහියක් ඇද ඇද කියවන සුලු වැහිදැරිවි නම් කුඩා පොත් කාවා නිසා දූවිලි සහිත පරණ පත්තර අම්මලා පරිස්සමට අරන් තියලා තිබ්බත් ඒ පොත් කාවාගෙන් මිහිර,විජය,නවයුගය පත්තර හංගලා තියන්න බැරි වුණා. අරලිය,සිත්තර,සතුට පත්තරවලට අත ගැහුවෙ ඊටපස්සෙ. ඒ කතාව වෙනම වියුණු සටහනක ලියන්න ඕනැ එකක්. කොහොම වෙතත් හැටේ දශකයේ ඉඳලා එකතු වෙලා තිබුණ ඒ මිහිර පත්තර අතරින් එබුණ යෝධයා, පඬිතුමා, බටකොළ ආච්චි විතරද.. හුන්නස්ගිරි කඳු පාමුල උන්න යාලුවො වැහිදැරිය වයසට යනතුරුම වැහිදැරියගෙ හොඳම යාලුවො වේවි.
ඉතින් ඔය පත්තර ඇදගෙන කියවන ව්‍යාපෘතිවලට කුඩා කාලෙ දිනූ අය්යා,නවා,ඊශක්කා වාගෙ නෑ පොඩිත්තො සම්බන්ධ වුණ නිවාඩුකාලත් එමටයි. වැහිදැරියට පස්සෙ කාලෙක කැම්පස් එකේදි-සංවාදවලදි- හමු වුණ සමවයසෙ බොහෝ මිතුරුමිතුරියන්ට මනරම් සංවාදවලදි කතා කරන්න මිහිර-විජය ගැන රස මතකයක් තිබුණා. පෙම්වතා වෙලා පස්සෙ සැමියා වුණ වැහිදරුවාගෙන් පටන්ගෙන චතුමධුරි,පුබුදි,භාග්‍යා අක්කා,ඉනූ අක්කා.. නම් කියලා ඉවර කරන්න බැරි තරමෙ යාලුවො ගොන්නක් ඒ කාලෙ තැන් තැන්වල ඉඳන් විජය-මිහිර කියවලා තිබුණා. දේශනයක් මැද තමුන්ගෙ යොවුන් සරසවි ගෝලයො එක්ක අතරමැදි සංවාදවල යෙදෙද්දි විජය-මිහිර මතක තියන කුරුලු පැටවුන් හමුවීමත් වැහි දැරිවිගෙ ගුරු ජීවිතෙ ඉමිහිරි අහම්බයක්!
ඉතින් එහෙව් පරම්පරාවකට හොඳම යාලුවෙක් අවසන් ගමන් යන එක කොයිතරම් කම්පනයක් ගේනවද.. හෙට ඉඳලා ඒ පත්තරේ ඊ-පත්තරයක්ව අන්තර්ජාලයෙන් හමුවුණා වුණත්. පත්තරේ පිටු පෙරළන හඬ ඩිජීටලීයව අහන්න පුළුවන් වුණත් පත්තරයක් අත මත පෙරළෙන චමත්කාරය කොහොම නම් ඩිජිටල් උපකරණයකින් මවන්නද..
දරුවෙක්ට මිහිර පත්තරයක් අරන්දෙන්න බැරි තරමට නරක ආර්ථිකයක් රටේ දෙමාපියන්ට උදා කරමින් තමුන්ගෙ දරුවන්ගෙ දෙපයට ලක්ෂ ගණන්වල පාවහන් පළඳන දේශපාලකයොත් - ටික්ටොක් - යූටියුබ් කැලෑවල්වල අතරමං වෙලා මිහිරක මිහිර විඳින මිහිර අහිමි වෙලා ගිය දරුවොත් - තමන්ම සමාජමාධ්‍යවල ගොදුරක් වීම නිසා දරුවන්ට තමන් විඳි මිහිර දෙන්න අමතක වුණ ටික්ටොක්මය තරුණ මව්පියොත්, අන්තිම මිහිර පත්තරේ වැළලෙන බිම ගාව හිටගෙන ඉන්නව පේනවා.
ඒත් තාමත් මිහිර හැම දේශපාලන පොරොන්දුවකටම - ටික්ටොක් වීඩියෝවකටම වඩා මිහිරියි..!
වැස්ස....මිහිරෙන් ලද මිහිර හැමදාම ලියන්න
ReplyDeleteඑසේය බඹර!
Deleteහැමදේටම අවසානයක් තියේ නේ. මිහිර විජය එව්වටත් එච්චරයි ඉතිං නේද
ReplyDeleteනිසැකවම. ඒත් ඉල්ලුම නොමැති වීම හා ආර්ථික අර්බුද වැනි බාහිර කාරණා නිසා සාහිත්‍යමය වටිනාකම් අකලට අවසන් වීම අපරාදයක් නොවැ!
Deleteලංකාවෙ සාහත්‍ය බොහොම වේගෙන් වල පල්ලට යාගෙන යන එකේ ළමා පත්තරයක් වැහිල ගියා කියන එක මිනිස්සුන්ට දැනෙන කාරණයක් නෙවී වැසි දැරිය
Deleteලංකාවෙ සාහත්‍ය බොහොම වේගෙන් වල පල්ලට යාගෙන යන එකේ ළමා පත්තරයක් වැහිල ගියා කියන එක මිනිස්සුන්ට දැනෙන කාරණයක් නෙවී වැසි දැරිය
Deleteඒක හැබෑව. ඊයෙ රාත්‍රිය පුරා සමාජමාධ්‍ය හා වට්සැප් හරහා මිහිර පරණ පාඨකයන් සේම සමවයස් බොහෝ දෙනා මිහිර ගැන ලියූ කවි-සටහන් සහ කෙටිපණිවිඩ කියවන්න ලැබුණා. සාහිත්‍ය කියැවීමක ඉන්න එවන් පිරිසකට දැනෙන මට්ටමින් පොදු සමාජයට ඒ බව නොදැනෙන්න හේතුව ඔබ කියන්නා වාගෙ සාහිත්‍යය ඉතා වේගෙන් වලපල්ලට යාම.
Deleteඔබේ අවන්හල බ්ලොගයටත් අද කාලෙකින් ගොඩවැදුණා. තාම එදා වාගෙම ලියැවෙන බ්ලොග් අඩවි දැකීමම මොන තරම් සතුටක්ද? අපි වැඩිය නොහිතුවාට ඒ වාගෙ කුඩා පියවරයන් පවා සාහිත්‍යය මනරම් ලෙස ජීවත් කරවීමට හේතුසාධක වෙනවා..)
Deleteදියණියගේ සටහන මා රැගෙන ගියා තිහව , මහගෙදරට,
ReplyDelete1966 වසරේ පළ වු පළමු මිහිර පුවත්පත අැතුළු පොතපත පුංචිනැන්දා අප වෙනුවෙන්තැන්පත් කොට තිබී හැත්තෑව දශකයේ දවසක ලැබුණු හැටි. කියවපු හැටි. මිහිරේ මිහිර විඳගත් හැටි.
අම්මා, ඒ මිහිරි මතක දෙදාහ දශකය තෙක් මා වෙනුවෙන් රැක්කාට නොවක් තුති! 🩷
Deleteමිහිර පත්තරේ අවසන් ගමන් යෑමේ ශෝකජනක පුවත බ්ලොග් කිහිපයකම දැක්කා..කිව්වත් වගේ ළඟ හිතවතෙක් මියගියාවගේ හැඟීමක් දැණුනේ ඒක අහපුවම. කාලෙකින් ළඟ ඇසුරක් නොතිබුණත් ඒ කප්පනයේ අඩුවක් නෑ. පොඩි කාලේ ඇතිවුන බැඳීම එතරම්ම තදයි...ඩිජිටල් පත්තරේකට ඒ හැඟීම දෙන්න බෑ.. දැන් ඉන්න ළමයින්ට පත්තරයක් කියවන්න වෙලා නැතිව ඇති...ලෝක ස්වභාවය ගැන හිතලා හිත හදාගන්න තමා තියෙන්නෙ...
ReplyDeleteස්තූතියි මිහිර අපේ ළමා කාලය මිහිරි මතකයන්ගෙන් පිරවූවාට...ඔබට සුබ ගමන් !!
මට හිතෙන්නෙ ඒ වෙලාව නැති වීමට හේතු වෙලා තියෙන්නෙත් අසීමාන්තික ඩිජිටලීකරණයම තමයි. ජීවිතය පහසු කරගන්න අධ්‍යාපනය හා තාක්ෂණය යොදාගන්නවා වෙනුවට ජීවිතයේ රස තැන් අධික තාක්ෂණ භාවිතය සහ ජීවිතයේ අධිවේගී ධාවනය නිසා අවහිර කරගැනීම දකිද්දී දුක හිතෙනව!
Delete