වැහිදැරියගෙ පශ්චාත් උපාධි අධ්‍යයන වැඩ කරන මේසෙ පොඩි කවුළුවක රෝස පාට වලහෙක් ඉන්නව. වැහිදැරියත්, රෝසපාටත්, ටෙඩිබෙයාලා වාගෙ ෆැන්සි බඩු අතරත් තියෙන නයාට අඳුකොළ වාගේ සම්බන්ධය ගැන දන්න කෙනෙක් කාමරේට ආවම හරි පුදුම වෙනවා. වැහි දැරිවි කසාද බැන්දට පස්සෙ පොඩි එකෙක් වෙලාද බලනවා ඇති.
වැහිදරුවා, වැහිදැරිවිව ඕනවට වඩා හුරතල් කරලා නරක් කරනව කියලා අම්මා වෙලාවකට ආදරේට කියන හන්දා ඒකත් ඇත්ත තමා. ඒත් සෙල්ලම් වලහෙක්, විශේෂයෙන්ම රෝසපාට සෙල්ලම් වලහෙක් මේසෙ උඩට එන්න හේතුව වැහිදරුවාගෙ හුරතල් කිරිල්ල නෙමේ. වැහිදැරිවිට තෑගි දෙන්න ඕනැ කතන්දර පොත් මිස ෆැන්සි ජාති නෙමේ කියලා එයා දන්නවා නොවැ.
ඔය රෝස වලහා වෙන කොහේවත් නැතුව මේසෙ උඩම පදිංචි වෙන්න වෙනම අතීත කතාවක් තියෙනව. ඒකට විමලධර්ම හෝල් එකේ තුන්වැනි තට්ටුවට නගින්න ඕනැ. ඒ හෝල් එකේ පන්තිකාමරේක තමා මගෙ ජීවිතේ මුල්ම ෆිසිකල් සිස්‍ය බැච් එක හම්බ වුණේ.
ඊට කලින් අවුරුද්දක් මාර්ගගතව සූම් සියොතුන්ට උගන්නලා තිබ්බාට භෞතිකව ඉගැන්වීමේ සන්තුෂ්ටිය කොයි රහද-කොයි පාටද කියා දැනගැනීමේ ආසාවක් කලක ඉඳන් වැහිදැරිවිට තිබ්බා.
ඒ ආසාව ඉෂ්ට කරගන්න වැහිදැරිවිට හමුවුණේ කදිම පන්තියක්. ඒ පන්තිය ජාති,ආගම්,ස්ත්‍රීපුරුෂ,ආබාධිත-අනාබාධිත සියලු භේද කඩාබිඳ දාපු පන්තියක්. හැම ආගමකම,හැම ජාතියකම, හැම අනන්‍යතාවකම, විශේෂ අවශ්‍යතා සහිත සහ නැති ආදි නොඑක් විධ කුරුලු පැටවු ඒ කූඩුවට ආවා.
මගේ බැචෙක්ගේ නංගි කෙනෙකුත් මේ පන්තියෙ උන්නා. ඒ වාගෙ මට වඩා අවුරුද්දක් දෙක තුනක් බාලයන්ට පුතා කියලා කියන තරමට වැසිදැරිය නාකිච්චියෙක් කරන්න ඒ කුරුලු පැටවුන්ට ඉතා කෙටි කාලයක් ඇතුළෙ පුළුවන් වුණා. මේ සටහන තබද්දි, ඔවුන් ගැන මතක වැහි වැටෙන තැන මීට වඩා ලිවිය යුතු වග දැනෙනවා.
ඉතින් මේ කදිම කුරුලු පැටවුන් එක්ක ගෙවුණ අන්තිම දවසෙදි ඔවුන් වැහිදැරිවිට රෝසපාට වලහෙක් තෑගි දුන්නා. ලස්සන පොඩි කවියක් සහිත රාමුවක් එක්ක. ඉන්පස්සෙ වැහිදැරිය එක්ක පින්තූරු ගන්නවාට මදිව, වැහිදැරිිවිව වලහා එක්ක එක එක අතට හිටවලා පින්තූරු ගත්තා.
ඉතින් වැහිදැරිවිගෙ ගුරු ජීවිතේ දරුවන්ගෙන් ලබපු පළමු සිහිවටනය - ඒ රෝස වලහා තමයි මේසෙ උඩට ඇවිත් වැහිදැරිවි අධ්‍යයන පර්යේෂණ වැඩ කරන දිහා බලාගන ඉන්නෙ.
එයාව දකින වාරයක් පාසා අධ්‍යයන පර්යේෂණ කටයුතු කරන්නෙ මා වෙනුවෙන් නම ඉදිරියෙ තනතුරු අලවාගන්න නොවන බවත් - එයාව තෑගි දුන් දරුවන් ඇතුළු පරපුර සඳහා වඩා හොඳ අධ්‍යාපනයක් හිමි කරදීම සඳහා වන බවත් රෝස වලහා වැසිදැරියට මතක් කර දෙනවා.
ඒ වාගේම කොතෙක් බරසාර උපාධිවල අකුරු නම එක්ක ඈඳුණත් කුඩා ළමයෙක් ඇතුළේ තියෙන සැහැල්ලුව අත්නෑර ළඟ තබා ගත යුතු බවට වන මතක පොරොන්දුවකුත් රෝස වලහාගෙ ප්ලාස්ටික් ඇස්වලින් පේනවා..
ඉතින් ඒ හන්දා රෝසවලහා හුඟක් කාලයක් - බාගෙදා වැහි දැරිවි වැහි ආච්චියෙක් වෙනකල්ම මේසෙ උඩ ඉන්න ඉඩ තියෙනවා.
අනේ! ඒක කොයිතරම් අපූරු ආදරණීය තෑග්ගක් ද! ඔයාට තව බොහොම කාලයක් මේ කුරුළු පැටවුන්ගේ ආදරය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteවර්ෂා, ඔයා දන්නවද ඔයාගේ මේ ජපුර මතක වලින් මම ආයෙත් වතාවක් ඒ පැත්තේ ඇවිදලා එන බව? ඇත්තටම නම් මම ජපුරේ ඉගෙන ගෙන මේ වෙද්දී දශක දෙකක් ගෙවිලාත් ඉවරයි. ඒත් තාම හිතේ ඒ වෙනුවෙන් සුන්දර කලාපයක් වෙන් වෙලා තියෙනවා.
බොහෝම ස්තූතියි අක්කා සුන්දර පැතුමට. මං හිතන්නෙ ජපුරෙ ඉගෙනගත්ත හැමෝගෙම හදවතේ ඒ වෙනුවෙන් සදාතන කලාපයක් වෙන් වෙලයි තියෙන්නෙ. ආයෙ කවි පොතක් කරන දවසක ජපුර පරිච්ඡේදය කියා කොටසක් වෙන් කරන්න තරම් කවි ගොඩක් ජපුර ගැන ලියැවිලා තියෙනවා.
Deleteඔයාගේ ඔය ජපුරේ කුරුලු කූඩුවට මගේ පැටවුත් එනකල් ඔයාට ඉන්න පුළුවන් වේවි නේද.වැහිදැරවිගෙන් ඉගෙන ගන්න එයාලත් කැමති වේවි
ReplyDeleteවැහිදැරිවි හිටියත් නැතත් ජපුර එයාලාට ලස්සන කුරුලු කූඩුවක් වෙන විත්තිය නම් සහතිකේටම කියන්න පුළුවන්! 💕
Deleteමගේ අත්දැකීමකුත් සටහන් කරන්න හිතුනා. මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කළ කාලයේ අධ්‍යයන නිවාඩු ලබා පාඨමාලාවක් කරන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. වැටුප ගැනීම සඳහා පාසලට ගිය අවස්ථාවක කුඩා දැරියන් දෙදෙනෙකු ඇවිත් අත්දෙකින් අල්ලා ගෙන, "සර් යං පන්තියට." කිව්වා. "ඇයි, දැන් අළුත් මිස් කෙනෙක් ඉන්නවනේ." මා පිළිතුරු දුන්නා. ඔවුන්ගේ ප්‍රතිචාරය උනේ "ඒ මිසුත් හොඳයි. ඒත් සර් නැතිව පාළුයි වගේ කියලා." අහිංසක ලෝකය.
ReplyDeleteලස්සන මතකයක්. හැම ගුරුවරයෙක්ම ගුරු තරුවක් වෙන්නෙ නැහැනෙ.
Deleteමේ දවස් වල මම ගැටළු රාශියක!
ReplyDeleteසාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
ඒ නිසාඅම ඔබලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!
අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
එතෙක් බලා සිටිමු.
ඒ අතරේ මගේ හොඳම මිත්‍රයෙකුගේ අම්මා කෙනෙකුත් මිය ගියා.
මේ ගැන මම පොඩි පෝස්ට් එකකුත් ලිව්වා.
https://thattayagekolama.blogspot.com/2024/06/287.html
පුළුවන් උනොත් ඒකත් බලන්න!
ස්තූතියි.
ගැටළු විසඳුණ කල නැවත වියුණු ලියැවෙන්නට පතමි..!
Deleteඅපූරුයි, හරිම ලෙන්ගතු තෑග්ගක්නේ! මාත් ජපුර හිටියේ
ReplyDeleteස්තුතියි ඇවිත් ගියාට.. සතුටුයි අඳුනගන්න ලැබුණට!
Delete