Thursday, July 4, 2024

සීතල වතුර පොද..!

සෑම ගුරුවරයෙක්ම ගුරු තරුවක් වන්නේ නැහැ වගේම සෑම මිනිස් භවයක් ලද්දෙක්ම මනුෂ්‍යයෙක් වන්නේ නැහැ. උත්තර මනුෂ්‍යයන් වන්නේ ඒ අතරිනුත් අතළොස්සක්. සමන් සිත්තරා ඒ උත්තර මනුෂ්‍ය කාණ්ඩයෙත් අත්‍යුත්තර ගුරු තරුවක්!

සමන් සිත්තරා වැසිදැරියට දකින්න ලැබුණේ නැහැ. වැසිදැරිය උපදින්නට කලින් ඔහුගේ කායික අභාවය සිදු වුණා. එහෙත් වැසිදැරිය වටා දැල්වෙන තරුඑළිවලින්, සමන් සිත්තරාගේ සෞන්දර්යවාහී සිත්තම්වලින්, ප්‍රඥාප්‍රදායී සටහන්වලින් ඇය සිය නොදුටු ඇදුරුතුමන් සමඟ සංවාද කරනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන තදින් විශ්වාස කරන සහ එය ක්‍රියාත්මක කෙරෙන නිවසක හැදුණු වැඩුණු, පුරුෂෝත්තමවාදය හෙළා දකින තරුණයකු හා විවාහ වුණ වැසිදැරියට අවට ලෝකයේ බොහෝ විට  මුණ ගැසෙන්නේ එසේ නොවන චරිත. එවන් විටක වැසිදැරිය සුවපත් කරන්නේත් - නැවත නැගිටීමට බලය සපයන ගාමක බලවේගය වන්නේ සමන් සිත්තරා ලියූ ස්ත්‍රී ආත්මය ස්වකීය කටහඬ අවදි කිරීම පිළිබඳ වන ආලෝක ප්‍රකාශය.

වැසිදැරියගෙ සිසු කුරුලු පැටවු දුරකථන ඇමතුමකින්, නැත්නම් භෞතික මුණගැහුමකින් හමු වෙලා, තරගකාරී අධ්‍යාපනය දරන්න අමාරු වග කියා අවලාද නගන මොහොතක ඔවුන් සනසන්නෙත් සමන් සිත්තරා ලියූ වචන.

'නිවැරදි අධ්‍යාපනය යනු තරගකාරී විභාගවලින් සමත් වීම පමණක් ම නොවේ. පිවිතුරු අධ්‍යාපනය යනු ජීවිතය නිවැරදි ව හඳුනා ගැනීම යි.'

වැසිදැරිය ගුරු ජීවිතයට එළැඹුණු දා පටන් මේ කෙටි වසර තුන තුළ සිසුන් දාහකට වැඩි ප්‍රමාණයකට උගන්වන්නට ඉඩ ලැබුණා. ඒ දරුවන්ට උගන්වද්දි වැසිදැරියගේ හද තුළ සමන් සිත්තරාගේ වචන දෝංකාර දෙනවා. වැසිදැරියගේ තාත්තාගේත් අම්මාගේත් කාර්යාල මේසයෙහි වීදුරුව යට තැන්පත් කර ඇති ඒ සටහනෙහි ඇති චිත්‍රාක්ෂර වැසිදැරිය හදවත් පොතේ සටහන් කරගෙන ඉන්නවා.

'ගුරු ජීවිතය මුළුමනින් ම සිසුන්ගේ යහපත සඳහා ය යන්න තරයේ විශ්වාස කරන ගුරුවරයකු තම ආදරණීය සිසුන්ගෙන් ඈත් ව යන මොහොතේ දී දේශයේ අධ්‍යාපනය බාර ව කටයුතු කරන සියලු ම අධ්‍යාපනවේදීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මිනිස් ජීවිතයේ විකසිත වීම වෙත අධ්‍යාපනය යොමු කරන ලෙස ය; ඒ සඳහා දරනු ලබන ප්‍රයත්නයක දී ඊට ආශිර්වාද කරන ලෙස ය; තම ඉරණම කුමක් වේ දැයි කිසිසේත් ම නොදන්නා වූ ද තමන්ගේ ඉරණම තීරණය කිරීම තම ගුරුවරුන් වෙත පවරන්නා වූ ද මුළු මහත් ශිෂ්‍ය සංහතිය වෙත අප්‍රමාණික ව දයාබරිත වන ලෙස ය.'

ඒ වචන හරහා දැල්වෙන ප්‍රඥාලෝකය අහිමි වීමේ හිස්තැන ජීවිතේ හැම තැනකදීම දැනෙනවා. එය වඩාත්ම තදින් දැනෙන්නේ අනුරපුර පොළොන්නරු බිම්වල ඇවිද යන කල මුණගැහෙන කැටයමක්, මහනුවර විහාරයක සිත්තමක්, ආනන්දයෙන් ප්‍රඥාවට යන කෘතියක හෝ සිනමාපටයක ඇති සටහනක් ආදී තරු සලකුණු ගැන ගැඹුරින්ම සංවාද කළ හැකි මාර්ගෝපදේශකයා අප අසළ නැති වග දැනෙන විටයි.

මේ සටහන 'සීතල වතුරපොද' නමින් නම් වෙන්නෙ සමන් සිත්තරා වියළි ධරණීතලය තෙමා ගලා බැසි සීතල වතුරපොදක් නිසයි. ඒ සීත දියපොදක් වන් සමන් සිත්තරා  ලියූ වචන වේශයෙන්, ඔහුගේ සහෝදරයා ඇතුළු සමීපතමයන් වේශයෙන්, ඔහු ඇසුරු නිසුරු කළ මිතුරු තරු වේශයෙන්, ඔහුගේ සිසුතරු වේශයෙන්, ඔහුගේ චරිතය පාදකව ලියැවෙන ගුරුදියවර නවකතාවෙහි විදසුන්-නිදසුන්වල වේශයෙන් ආලෝක කමටහන් මුණගැහෙනවා. ඒ කමටහන් පිංතාලි ඔස්සේ සමන් සිත්තරා සොයා යන වැසිදැරිය අතින් සමන් සිත්තරාගෙ ජන්ම සංවත්සරය යෙදෙන හැම ඇසළ පස්වැනිදාවකම සිය නුදුටු ඇදුරු ගැන කවක් ලියැවෙනවා. 

මේ සටහන නිමවෙන්නෙ මේ ඇසළ මාසෙ පස්වැනිදා - අද - ලියූ කවි කුරුටුවෙන්.


පිංතාලියක් අසළ

විහඟ දැරියකි මෙතන

පින්සලක් අහිමි ඈ ලියනවා..

විහාරෙක සිත්තමක්-කැටයමක් දකින කල

ඈ ඇස⁣ට දියත්තක් උනනවා..

ඇදුරුසඳ නැති රිදුම දැනෙනවා.. 


නැණපවස සිඳුවන්ට සියොත්සේනා දසත

පිංතාලියට නිතර වඩිනවා

කොතෙක් පැන් පහසු වෙත

තවත් සිය දහසකට

පිංතාලියෙන් වතුර උනනවා..

උල්පතක් විලාසේ එභූගත දියකඳුර

පිංතාලියට වතුර එවනවා..


සදා සීතල වතුර ගලනවා..!





8 comments:

  1. මහප්පගෙ චූටි දෝනී

    ReplyDelete
  2. ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගැල් එළිය නොයා නවතියි
    නුබ කොපුල් තලා වැහිබිදු තවරා
    ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගුරු තරුව සෙමෙන් බැස යයි...

    පරපුරක සිහින යාත්‍රා
    තොටුපොළට යවා හරවා
    පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
    ගුරු පාද පියුම් සුවදයි...

    එක මලක නම් නොවේමයි
    මල් යායක සිරස නැමෙයි
    පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
    ගුරු පාද පියුම් සුවදයි...

    ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගැල් එළිය නොයා නවතියි
    නුබ කොපුල් තලා වැහිබිදු තවරා
    ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගුරු තරුව සෙමෙන් බැස යයි...

    ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
    පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. ඔබ පිළිගන්නවද මේ ගීය සිහි ගැන්වෙන හැම වාරයකම මට මතක් වන්නේ සමන් සිත්තරා බව කීවොත්..

      Delete
  3. අදත් වැසි වැටෙන දවසක්. වැසි දැරියට මහප්පා වුණු, මට ඥාති සහෝදරයා වුණු ඒ උතුම් සිත්තර ගුරුතුමා උපන් දිනය අදයි. ලෝකයට සිය ගුරු ජීවිතයෙන් ම ගුරු ජීවිතය කුමක්ද යන්න ඉගැන් වූ ඔහු වන් මිනිසකු මේ මිහිමත සිටියා යැයි සිතන විටත් මට දැනෙන්නේ මහත් පහන් සංවේගයක්. අප ගුරු ජීවිතය තව දුරටත් සිසුදරුවන් වෙනුවෙන් කෙතරම් කැප කළ යුතු ද යන අදහස ද නිරන්තරයෙන් හදවතෙහි කැකෑරෙනවා.
    ඉදින් අද දින ඔබ උත්තම සිහිකර අප දිවියට සවිය ගනිමු. සිත්තර ගුරුතුමනි.🙏

    ReplyDelete
  4. අපූරු සටහනක්.
    ජයවේවා

    ReplyDelete