මේ ඊයෙ පෙරේදා දොස්තර සංජීවනී නෝනා මුණගැහෙන්න තාත්තා එක්කලා ගිය වෙලාවෙ කලකට පස්සෙ හමු වෙලා ආගිය කතා කරමින් ඉද්දි එතුමිය කීවා, ප්‍රියංකා අමරතුංග දුරින් නෑදෑයෙක් වෙනවාය කියලා.. එතනින් ප්‍රියංකා අමරතුංගගෙ පොත් ගැන පටන්ගත්ත සංවාදෙ ඇදිලා ඇදිලා ගිහින්, ඩොක්ටර්ගෙ ෆී එක ගන්නෙ නැතුව රීෆන්ඩ් කළා කියලා ඩොක්ට එක්ක පොඩි සණ්ඩුවකුත් අල්ලලා පරාද වෙලා, කවුන්ටර් එකෙනුත් හැමදාම අඳුනන නාඳුනන ගොඩක් දෙනෙක්ට ඩොක්ටගෙ රීෆන්ඩ් වදින හින්දා ඊට එරෙහි වෙලා වැඩක් නෑ කියලාත් අහගෙන, රට සමාජවාදී වෙන්න පෙරත් ජනතාවාදී දොස්තරවරු සිටීම ගැන ආහ්ලාදයද සහිතව ආයෙ ගෙදර බලා ආවා. ඒ එන අතරෙ තමා වැහි දැරියට අලුත් වියුණුවක් ලියන්න හිතට ආවෙ. ඒකට හේතුව ඒ සංවාදෙදි මතු වෙච්ච, ප්‍රියංකා අමරතුංගගෙ රිවිසරසි අතිරේකයෙ ගිය නවකතාවක්. ඒකෙ නම 'තිත්ත මල්!'
මට මතක හැටියට ඒ රිවිර පත්තරේ ආව මුල් කාලෙ. රිවිසරසියෙ ආසාවෙන්ම කියවලා කපලා අරන් තියාගත්තෙ, රසික ජයකොඩි ලියාපු 'දවසක්දා හැන්දෑවක' තීරුලිපි එකතුව. පස්සෙ රසික ජයකොඩි දේශපාලනික වශයෙන් ප්‍රතිගාමීව රනිලමය ආස්ථානයකට ගියා වුණත් ඔහුගේ ලිවීම් කෙරේ පැවති ආසාව දුරස් වූයේ නෑ. ඉතින් රිවිසරසි කියවන කාලෙ ඔය කතාවත් මං පත්තරේ ආව ගමන් ටැබ්ලොයිඩ් කෑල්ලෙ පැලක් අටවගෙන කියෙව්ව විත්තිය මතකයි.
හැබැයි වැසිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතා ආලෙ පටන්ගත්තෙ, ශේක්ස්පියර්, ආයුර්වේදය, හෘදය සූත්‍රය සහ භාවනාව ආදී මනරම් හා ගැඹුරු තේමා රාසියක් එක්තැන් කළ 'තිත්ත මල්' කියවන්න හුඟ කාලෙකට කලින්. සමාජමාධ්‍ය ජනප්‍රිය වෙන්ඩ කලින් ගෙවුණ නවයොවුන් වියකට හිමිකම් කියාපු අවසාන පරම්පරාව වෙච්චි වැසි දැරියලාගෙ පරම්පරාවෙ බොහෝ ගෑණු දැරිවියො ටැබ්ලොයිඩ් කියෙව්වෙ සිනමා තරු, ගායක තරු සහ රූපලාවණ්‍ය ඔත්තු ආදිය ගැන දැනගන්න වුණත්, නිදහස් සිතිවිලි බ්ලොග් අඩවියෙ රවි මාමා කියන්නැහේ වැසිදැරිය හැත්තෑව අසූවෙ උපදින්න ඉඳලා වැරදීමකින් මේ කාලෙට ප්‍රාදූර්බූත වෙච්ච මානවිකාවක් හන්දා උන්දෑ ටැබ්ලොයිඩ් කෑලිවල හිටපු නලු කෑලි දිහා ඇහැක් ඇරල නොබලා, ගෙනාව ගමං පත්තරෙන් ඩැහැගත්තෙ සාහිත්‍ය කෑලි ටික!
ඒ කියද්දි මතක් වුණෙ, මේ ළඟදි වැහිදැරිවිගෙ නවයෙ පන්තියෙ එකට හිටපු යාලුවෙක්, වැහිදැරිවිගෙ අම්මටයි වැහිදරුවටයි ආපිකෝ එකේදි මුණගැහිලා කිව්වලු, වැහිදැරිවි කසාද බැඳපු එක පුදුමයි, ඒ කාලෙ වැහිදැරිවිට කොල්ලො පේන්න බැරිය කියලා.. දැන් ආපහු හැරිලා බලද්දි තමා හිතෙන්නෙ, ශිහාන් මිහිරංගට යුනිෆෝම් එක ඉරලා පපුවෙ අස්සන් ගහන්න කියපු, සිහාන්ගෙ ඩේ කාඩ්ස් එක්කහු කරපු, සිහාන් පැරදුණාම අස්සයා මැරිච්ච කව්බෝයි වාගෙ අඬපු කෙල්ලො උන්න කාලෙක, සිහාන්ගෙ නවපන්නෙ කොණ්ඩෙ මෙලෝ ලස්සනක් නොදැකපු - සිහාන් අනුකාරකයෙක්ය කියා විවේචනය කරාපු, ටීනේජ් වැහිදැරිවි අමුතු ඩෑල් එකක් වගෙ පේන්න ඇතිය කියලා..))
ඒකෙන් මේකෙන් වැඩක් නෑ.. මං කියමින් උන්නෙ ටැබ්ලොයිඩ් නවකතා ගැන. වැහි දැරිවි ටැබ්ලොයිඩ් කතා කියවන්න පටන්ගත්තෙ සිළුමිණ පත්තරේ රසඳුන සහ දිවයින පත්තරේ මීවිත අතිරේකෙන්. රසඳුනේ කතා අතරින් නම් වැහි දැරියට මතක හිටියෙ යමුනා මාලිනී ලියූ 'සඳමාධවී' විතරයි. ඒ කතාවෙ තරුණයා අතින් ලියැවුණු කවියක්, පසුව ගීයක් වී ගැයෙනවා ඇහෙද්දි දැනුණ අතීතකාමයෙ තිවුණෙ වෙනස් සෞන්දර්යයක්.
සුදු ඇඳගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට..
නිදි නැති සිත ගෙන යයි
සිතිවිලි ගං ඉවුරට..!
මේ ලියන මොහොතෙත් වැහිදැරියගෙ සවන් පත්ළෙන් ඒ ගීය වාදනය වෙනව.
වැහි දැරිවි දන්නා තරමින්, චන්දො හෙවත් චන්ද්‍රසිරි දොඩන්ගොඩ නමැති ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා ජීවිතක්ෂයට පත් වෙන තුරු මීවිත ටැබ්ලොයිඩයෙ නවකතා ලිව්වා.
ඉතින් වැහි දැරිවි මුලින්ම කියෙව්ව ටැබ්ලොයිඩ නවකතාව ඔහු ලියූවක්. මට මතක හැටියට 'ආත්මා'. ඉන්පස්සෙ 'සතී'. ඒ හැමෙකකම චිත්‍ර ඇන්දෙ ජනක රත්නායක. ඔබේ හිතේ මේ වදන කියවද්දි ඇඳෙනවා ඇති ඔහුගෙ අවර්ණ පැන්සල් පෑන් ඉරිවලින් සිත්තම් වුණ මනරම් නූතනමය සිත්තම්. මේ සටහනේ අයිකනය ලෙස ඇමිණුවෙත් ජනක රත්නායකගෙ සිත්තමක්ම තමා. ඒ චිත්‍රකර්මවලින් අලංකෘත වෙච්ච චන්දොගෙ නවකතා ඇසුරින් වැසිදැරිවි වඩාත්ම ආසා වුණ නවකතාව වුණේ, 'ඈත කඳුපෙළින් එහා!'
ඔය ටැබ්ලොයිඩ කියවලා විතරක් සෑහීමට පත් වෙන්න බැරි වුණ වැහි දැරිවි, තාත්තාගෙත් මහප්පාගෙත් පරණ පත්තර නිධානෙ අවුස්සලා අවුස්සලා සිත්තරාදී පරණ චිත්‍රකථා පත්තරවලත්, අරලියාදී යොවුන් සඟරාවලත් කොටස් වශයෙන් පළ වී තිබූ නවකතා, සිහියක් පතක් නැතුව දූවිලි නාගෙන කියවන්න පටන්ගත්තා. ඒ අතරෙ තිබුණ නවකතා ඇසුරින් තදින්ම මතකෙ රැඳුණ නවකතාකරුවන් වූයේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රදීප් බාලසූරිය ආදි නවකතාකරුවන්. ඒත් ඒ අතරෙ ටැබ්ලොයිඩ් නවකතාදරයෙ උඩින්ම රැඳෙන්නෙ චන්දොගෙ අමුතු නවකතා ආර..)
දැන් චන්දො නෑ. ඒත් හැමදාකම කඳු දකිද්දි චන්දොගෙ 'ඈත කඳුපෙළින් එහා' නවකතාවෙ තිබූ එක් කුඩා කවියකුත් - වැහිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතාදරයත් මතක් වෙන්නේ නොස්ටැල්ජියාවක් සමඟින්!
ඈත කඳුපෙළින් එහා
තාරකා සිනාසිසී
එන්න,යන්න, මාත් එක්ක
කතා කරනවා..!
දැන් කියවන්න තරමෙ ලස්සන ටැබ්ලොයිඩ කතා කොහේවත් නැති වුණත් අදත්, බෙලිහුල්ඔය චාරිකාමය නැවතුමක අහස දකිද්දි ඇස ගැටුණ - කතා කරන තාරකා අස්සේ යම් තැනක වැසි දැරියගේ ටැබ්ලොයිඩ් නවකතාදරේ හැංගිලා තියෙනව!
අපට ඔහොම බැඳීමක් තිබ්බේ නවයුගය එක්ක. හැටගණන්වල ගමේ කොල්ලා, හැත්තෑගණන්වල රෝස මල, ටොම් මාමගෙ කුටිය වගේ එව්වා. මින් වැඩි හරියක් ගෙදර අයගෙන් බැනුම් අහගෙන තවම තියාගෙන ඉන්නවා.
ReplyDeleteපරණ නවයුගය පත්තර තොගයක් ගෙදර තිබ්බා මතකයි. මට නවයුගය එක්ක ලොකු බන්ධනයක් නෑ නේද කියා හිතුණෙ මේ කමෙන්ටුව දැක්කම. ඒ බන්ධනෙත් හදාගන්න ඕන!
Deleteඔය ඔය පරණයි කියාපු ඒවා තමා අපි කියෙව්වේ . සතුට පත්තරේ , සිත්තරා , මනහර සඟරාව , තව ශ්‍රී සඟරාවේ අග නවකතාවක් හෝ කෙටි කතාවක් ගියා , නවයුගය පත්තරේ . ඔය ලියන කාලේ මම පිටරට නිසා මිස් වෙන්න ඇති
ReplyDeleteසතුට, සිත්තර චිත්‍රකතා පත්තර සෑහෙන එකතුවක් තියෙනව තවම අපි ගාව, මව්පිය දායාද වශයෙන් හම්බවුණ!
Deleteමං මේ කියා තියෙන්නෙ 2000 දශකයෙ මුල, මැද වගෙ කාලෙ ලියවුණ කතා ගැන!
සමහර පද පේලි තියනවා, හිතේ අමුතුම චමත්කාරටක්/පැන්ටසියක් මවන.
ReplyDelete"ඈත කඳු පෙළින් එහා" ඒ වගේ පද පෙලක්. "එහා පැත්තෙ" මොනවා හරි ලස්සන තැනක් ඇති වගේ හැඳීමක් එනවා.
ඒක ඇත්ත. මටත් ඒ පදපෙළින් දැනෙන්නෙ නොස්ටැල්ජියානු ටැබ්ලොයිඩාදරේ සිහිපත් කරන අමුතු ෆැන්ටසියක්, ඔය කිව්වා වගෙ නොපෙනෙනා ඉමක් ගැන හැඟුමක් එක්ක!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබපැතුමට තුති ඉයන් මාමා! ඒ යකා මේක දැක්කාම සමාව දෙන්න නෙමේ බල්ටි දෙකක් ගසා මෙයට එකඟ වේවි. මොකෝ එයා මට වඩා ස්ත්‍රීවාදියා! මා විවාහ වුණේ ලෝක සම්මතයට විවාහ විය යුතු නිසා නොවෙයි, මගේ ස්වාධීනත්වයත් රැකගනිමින් බොහෝ තැන්වල - කලාව, සාහිත්‍යය, දර්ශනයෙ සිට සංවාද කරමින් යා හැකි වැහිදරුවෙක් මුණගැහුණ නිසයි. නැත්නම් මා විවාහ නොවී ඉන්නත් ඉඩ තිවුණා. රැකියාව සහ උසස් අධ්‍යාපන කටයුතු නිසා හෝ ටික කලකටවත් නොලියා ඉන්දැද්දි ලියන්නැයි තර්ජනය කරන්නෙත් වැහි වැටෙන තැන පාඨකයෙක් වෙන ඔහුම තමා!
Delete