Wednesday, April 16, 2025

129. ගුරු දියවර නවකතාව - 42වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                 නෙත සිත නිවී යයි, අනුරාපුරයේ දී!





 “සුපතිට්ඨිතරට්ඨනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛිණසාඛභවං

සුභමේඝවනම්බර මේඝනිභං ජයබෝධිමහං පණමාමි වරං”

උවැසියකගේ බැතිබර හඬින් ගැයෙන මේ ගාථාව, සහන්ගේ හද පහන් කෙළේ ය. මුළු දවස පුරා වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමන්ගේ අධීක්ෂණය යටතේ විහාරාරාම අධ්‍යයනයෙහි යෙදුණු ජපුර විදුදය යාත්‍රිකයෝ, රාත්‍ර්‍යාහාරාවසානයේ රුවන්මැලි සෑ රදුන් සහ ජයසිරිමහ බෝරදුන් ප්‍රවන්දනය පිණිස පැමිණියහ. පළමු ව පූජ්‍ය ශාන්තසිරි හිමියන්ගේ සද්ධිවිහාරික පූජ්‍ය කටුගම්පළ නන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රුවන්මැලි සෑ රදුන් අබිමුව විදුදය ප්‍රජාවට සෙත් පතනු ලැබිණ. අනතුරුව යාත්‍රිකයෝ ජයසිරිමහ බෝරදුන් පාමුලට පැමිණියහ. සිය ශිෂ්‍ය ප්‍රජාවට ඒ මහා බෝ සෙවණ යට නිදහසේ වැඳපුදා ගැන්මට අවකාශ සලසා දුන් පසු සහන් ද සඳපහනින් නැහැවුණු ඒ ශාන්ත පරිසරයේ කොටසක් බවට පත්වනු රිසින් බිම හිඳගත් මොහොතේ ය, යටකී උවැසිය බෝ රදුන් වෙත කරන හද උවසර ඇසුණේ. මේ මොහොතේ සිතාරී සහ ගඟුල් ද පැමිණ සිය ආචාර්යවරයා දෙපස නිහඬ ව හිඳගත්හ. මඳ වෙලාවක් නිහඬ නිමේශ විඳගත් පසු සිතාරී කතා කළා ය.

“සර් දැන් ටිකකට කලින් ඇහිච්ච ගාථාව අපිව නිවනවනෙ. මට ඒකෙ අර්ථ තෙරෙන්නෙ තැනින් තැන. එහෙම නොතේරිලත් ඒ වචනවලට කොහොමද සර් පුළුවන් වෙන්නෙ අපිව නිවන්න.”

“අනික් ගොඩක් භාෂාවලට වඩා පාලි භාෂාවෙ මොකක්දෝ හිත නිවන ගතියක් තියෙනවා. මන් සංස්කෘත භාෂාවෙ නාද රිද්මයට, රමණීයත්වයට කැමතියි. ඒ උනාට ඒ භාෂාවෙ තියෙන්නෙ ජීවිතයට අලවන ගතියක්. පාලි භාෂාවෙ තියෙන්නෙ අපිව ගලවන ගතියක්. ඒක අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නෙ නික්ලේශී රමණීයත්වය කියන නමින්.”

“සංස්කෘත කරපු සර් පාලි දකින්නෙ වෙනස් ම විදිහකටනෙ. සර් ඇත්තට ම මොකක් ද මේ ගාථාවෙ හරි තේරුම.” 

“සිතාරි, ඒ වැඩේ මට වඩා හොඳට අපේ ගඟුල් කරාවි. කියන්න ගඟුල් ඒ තේරුම.”

“හැබැයි ඉතින් ඔය ගාථාවෙ තේරුම මට මුලින් ම කියලා දුන්නෙත් සර් ම තමයි. අන්න ඒ කාරණෙත් සිහි කරලම මන් කියන්නන්කො තේරුම.”

“සිතාරි අක්කෙ, අනුරාධපුරයේ දක්නට ලැබෙන මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් හටගත් සුභ මේඝ වනය නමැති ආකාශයේ වැහි වලාකුළක් මෙන් දෘශ්‍යමාන, උතුම් ජයබෝධීන් වහන්සේ මම නමඳිමි කියන එකයි මේ ගාථාවෙ තේරුම.”

“සර්, මේ වෙලාවෙ ඇහැව්වට කමක් නැත්තං මන් තව ප්‍රශ්නයක් අහන්න ද?”  

“අහන්න දරුවො මන් දන්න දෙයක් නං කියන්නං.” 

“ප්‍රශ්නයක් කිව්වට මේක ප්‍රශ්නයක්මත් නෙමෙයි. ගඟුලු`යි මායි මෙතෙන්ට ඇවිල්ලා ටික වෙලාවක් බලන් හිටියා. අපි කරදර නොකෙළෙ සර් ලොකු කල්පනාවක වගේ හිටපු හින්දා. අපි ශිෂ්‍යයන් ව ඉන්න කාලෙත් සර් මෙතෙන්ට ආපුවහම ලොකු කල්පනාවකට වැටෙනවා අපි දැක්කා. ඒ අද්දැකීම ම ගඟුල්ටත් තියෙනවා. ඒක සර් මෙතන තියෙන විශේෂතාව නිසා වෙන දෙයක් ද එහෙම නැත්තං වෙන විශේෂ කාරණයක් නිසා වෙන දෙයක් ද?”

“මෙතන තියෙන විශේෂතාව නිසා වගෙම විශේෂ කාරණයක් කියන ඔයාගෙ වචනවලම ඒකට උත්තරේ තියෙනවා. ඒකට මන් උත්තර දෙන්නංකො මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සර දවසක මෙහෙම වෙලාවක මෙතන ඉඳගෙන මගෙ අතින් ලියැවුණු කවියකින් ම.”

“බෝ රුක පිස හමන මඳ      සීතල සුළඟ

හා එක් කෙරෙයි        මුදු සංගීතය විහඟ

නෑ මගෙ සොහොයුරා කී මට මග නොමග

යා යුතු තැන කොතැන යමි කවරකු සමග?”

“අනේ මට සමා වෙන්න සර්, මට හිතෙන්නෙ මන් මේ වෙලාවෙ සර්ගෙන් ඇහැව්වෙ වැරදි ප්‍රශ්නයක් කියලයි.”

“කොහෙත් ම නෑ සිතාරි. ඒ ප්‍රශ්නෙ වැදගත්. ඒකත් එක්ක අපි වැඩ කරන්න ඕනෙ කරන විදිහෙ මීට වඩා වෙනසක් කරගන්න ඕනෙයි කියන පණිවිඩය යි තියෙන්නෙ. වෙලාවකට මේ ගඟුලුත් දානවා ප්‍රශ්නයක් මන් එතෙක් හිතාගෙන හිටපු සංකල්ප සුන්නද්දූලි වෙලා යන විදිහට. මන් හිතන්නෙ එහෙම ප්‍රකම්පන අපේ ජීවිතවල ඇති වුණා වගෙම ඒ ප්‍රකම්පන වෙනත් අර්ථවත් දිසාවකට යොමු කරන ප්‍රතිප්‍රකම්පන ඇති කරන ප්‍රශ්නත් අවශයයි කියලා.”

“එහෙම නං සර් මගෙ ප්‍රශ්නෙ කියන්නෙත් එහෙම ප්‍රතිප්‍රකම්පනවාචී එකක් ද?”

“ඇත්තටම ඔව් සිතාරි, මන් ඕකට තවත් උත්තරයක් දෙන්නං මෑතක සංසිද්ධියක් මතක් කරලම. අපි මේ ළඟදි අපේ ආදි ශිෂ්‍ය සුමින්ද වෙනුවෙන් සාහිත්‍ය සංකථනයක් කළා මතක ද ජපුරෙ සුමංගල සභාසදයෙදි?”

“මතකයි සර් එදා මට ඒකට එන්න විදිහක් තිබුණෙ නැහැ. මන් හිටියෙ කොළඹින් පිට. හැබැයි මට ඒ විස්තර අපේ ගඟුල් කිව්වා. මන් දැන් කැමතියි සර්ගෙන් ම ඒ ගැන දැන ගන්න.”  

“එදා ඒ සංකථනෙදි කුමාර ලියනගේ කවියා, ජනශ්‍රැති පර්යේෂක මහින්ද දළුපොත, මහාචාර්ය නලින් අබේසේකර, භාග්‍යා අබේසේකර, සුමින්දගෙ දුව සාධ්‍යා ගුණරත්න වගෙම මමත් කතා කළා. මන් කියන සංසිද්ධිය එහෙම නැත්නං එතෙක් අපි හිතාගෙන හිටපු විදිහ වෙනස් කරන කතාව කළේ සාධ්‍යා. එයා කතා කළේ බොහොම පොඩි වෙලාවයි. ඒ කතාවෙදි එයා මතුකළා එයාගෙ තාත්තා ගැන මම ලියපු ලිපියක තිබිච්ච ප්‍රකාශයක්. ඒකෙ තිබුණෙ තවත් හොඳ මිනිසකුගෙන් ලෝකය හිස් වුණා කියලයි. මේ කෙල්ල කිව්වා මේ මාමා මෙහෙම ලිව්වට අපේ තාත්තගෙ මරණයෙන් පස්සෙ අපි සම්බන්ධයෙන් උනේ තාත්තට ආදරේ කරපු ගොඩක් දෙනාගෙන් අපේ ජීවිත පිරෙන එක කියලා. ඒ මම නොහිතපු පැත්තක් තමයි මේ පුංචි කෙල්ල මතු කළේ.”

“ඔව් සර්, සර් කියන පුංචි කෙල්ල සාධ්‍යා මතු කරපු ප්‍රශ්නෙ අපිව වෙනස් තැනකට අරන් යනවා තමයි. ඒත් මන් අහපු ප්‍රශ්නෙ කොහොම ද ඒ වගෙ වැදගත් වෙන්නෙ.”

“ගඟුල්, ඒ පුංචි කෙල්ල වගෙම අපේ මේ ලොකු කෙල්ල අහපු ප්‍රශ්නෙ නිසා මම අලුතින් හිතන්න පටන් ගන්නවා මගෙ සොහොයුරා නෑ කිය කිය ඉඳලා හරි යන්නෙ නැහැ මගෙ ජීවිතේ අවසන් වෙනකන්   මටත් පිරිසක් එක්ක ගමනක් තියෙනවා කියලා.”

“ඉතින් සර්, සර් යායුතු තැන කොතැන යමි කවරකු සමග කියලා ලිව්වට සමන් අය්යා නැති උනාට පස්සෙත් සර් ගමන අත් හැරියෙ නැහැනෙ. සිතාරි අක්කලා එක්ක, ඒ ගොල්ලන්ට ඉස්සෙල්ලා හිටපු ශිෂ්‍ය කණ්ඩායම් එක්ක, අපිත් එක්ක, දැන් මේ අලුත් පරම්පරාවත් එක්ක අඛණ්ඩ ව ගමනෙ යෙදිලා ඉන්න එකනෙ සර් කරන්නෙ භෞතික ව වගෙම ආධ්‍යාත්මික ව.”

“ඒක ඇත්ත ගඟුල්, ඒ උනාට අපේ මේ සිතාරි අහපු ප්‍රශ්නෙ මගෙ කවි දිහා මට ම වෙනස් විදිහකට බලන්න ඇහැක් වේවි. දැන් මන් ඒ කාලෙදි පන්කුලියෙදි ලියපු කවිය දිහාත් ඒ වෙනස් ඇහෙන් දකින්න පුරුදු වෙනවා.” 

“මට මතකයි සර් ඒ කවිය. ඒක සර්ගෙ ‘උල්පත’ කවි පොතේ තියෙනවා. මන් සිතාරි අක්කටත් ඇහෙන්න කියන්න ද ඒක.

“බුදු රුව දුටිමි පන්කුළි වන මැද සොඳුරු 

මුදු පුන්සඳක් වාගෙයි දුරලන      අඳුරු

මේ පින්බිමේදිත් ඔබ සිහි වෙයි සොයුරු 

අහිමි ව ගියා ලොවකට මිනිසෙක් මහරු”

“දැන් මට මන් අහපු ප්‍රශ්නෙ මොකක් හරි අර්ථයක් තියෙනවා කියන එක දැනෙනව සර්. සර්ට මේ මුළු ජීවිත කාලෙදිම සර්ගෙ ඒ ආදරණීය අය්යව සිහිපත් වෙන එක වළක්වන්න බැහැ තමයි. ඒ උනාට ඒ සමන් සිත්තරා නැති උන දවසෙ ඉඳලා සර් කළේ ඒ චරිතය ලෝකයට හිමි කරලා දෙන එක. ඒක නිසා දවසින් දවස සිද්ද වෙන්නෙ මහරු මිනිහෙක් ලෝකයට අහිමි වෙන එක නෙමෙයි හිමි වෙන එක.”

“එහෙනං සර් සාධ්‍යා නංගිට දීපු ලකුණු අපේ සිතාරි අක්කටත් දෙන්නම වෙනවා.”

“අනිවාරෙන්ම.”   

සහන් එසේ පැවසුවේ දැන් සරසවි ඇදුරුවරියක ලෙස නොනිමි මෙහෙවරක යෙදී සිටින සිය සිසු දියණිය දෙස ආදරයෙන් බලමිනි.

මේ අතර ඔවුන් හිඳ සිටි තැන දෙසට එන තරුණයන් කිහිප කෙනෙකු දුටු ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය. 

“සර්, සර්ව දැකලා අර තරුණ කණ්ඩායම එන්නෙ මේ පැත්තට. හරිනෙ ඒ කැලණියෙ තරිඳු සර්නෙ.  එයාගෙ ගෝලයො කීප දෙනෙක් එක්ක මේ පැත්තට තමයි එන්නෙ.”

“සර්, මන් මුලින් ම දැක්කෙ ගඟුල් ව. ඊට පස්සෙයි සර්රුත් ඉන්නවා දැක්කෙ. මන් දැක්කා තැනින් තැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියලා හිතන්න පුළුවන් ළමයි ඉන්නවා. මන් හිතන්නෙ සර්ලා මේ අධ්‍යයන වැඩකට අනුරාධපුරේට ආපු ගමනක් කියලයි.” 

“අපි නම් අධ්‍යයන චාරිකාවක තමයි. තරිඳු මේ ගෝලයො හතර දෙනෙක් එක්ක රිසර්ච් එකකට ආව ද?”

“සර්, හෙට රජරට විශ්වවිද්‍යාලෙ තියෙන පර්යේෂණ පරිසංවාදෙට පත්‍රිකා ඉදිරිපත් කරන්න තමයි ආවෙ. හැබැයි මෙතන අපේ ශිෂ්‍යයො ඉන්නෙ තුන්දෙනයි. මේ කවිඳු මල්ලි ඇවිල්ලා අපේ මානව සම්පත් අධ්‍යයනාංශෙට බඳව ගත්ත අලුත් ම සාමාජිකයා. මේ තිසර, මේ මලිඳු, මෙයා හසරින්ද. මේ අපේ හොඳ උනන්දු තරුණ පර්යේෂකයො තුන් දෙනෙක්.”

“බොහොම හොඳයි, බොහොම හොඳයි. දැන් එතකොට ඔය ඔක්කොම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනව ද හෙට?”

“ඔව් සර්, අපේ කවිඳු තිසරයි මලිඳුයි එක්ක එක පේපර් එකක් ප්‍රසන්ට් කරනවා. හසරින්දයි මමයි තව එකක් ප්‍රසන්ට් කරනවා.”

“හරි වටිනවා තරිඳු, අපි මේ ගමන යන්න ඕනෙ අපේ ශිෂ්‍යයන් එක්ක තමයි. මන් හිතන්නෙ ඔයාට කලින් අපේ ගඟුල්ව හම්බ වෙලා තියෙනවනෙ. මේ සිතාරි මිස් තමයි නැත්තෙ. මේත් මගෙ ගුරු ජීවිතේ එක යුගයක ශිෂ්‍යාවක්. ඉස්සර මන් ඒ ගොල්ලන්ට ඉගැන්නුවා, දැන් මම ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා.”

“අනේ සර්, එහෙම කියන්න එපා. අපි තවම සර්ගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්නව ද?”

“දැන් ඔයගොල්ලො එන්න ඉස්සරත්  මට සිතාරි මට පාඩමක් කියලා දුන්නා විෂය නෙමෙයි ජීවිතය ගැන.”

“මන් සිතාරි මිස්ව නම් දැක්කෙ අද තමයි. ඒ උනාට මන් ඔයාගෙ කවි නම් කියවලා තියෙනවා.”

“තරිඳු සර්, මට මිස් කියන්න එපා. නම කියන්න. මන් හිතන්නෙ අපි එක වයසෙ. එහෙම නැත්නං ඔයා මට වඩා අවුරුදු දෙක තුනක් බාල ඇති. මන් හිතන්නෙ මමයි වැඩිමල්. මන් දැන් ජපුරෙන් අවුට් වෙලත් අවුරුදු දහයකට වැඩියිනෙ.” 

“ඒ කියන්නෙ සර්රුත් අපේ ආදි ශිෂ්‍යයෙක්. සර් කියපු කාලෙ අනුව නම් සර් අපේ ජ්‍යෙෂ්ඨයෙක් තමයි. ඒත් සර් මන් කල්පනා කළේ මගෙ කවි කියෙව්වා කිව්වට මන් මේ වෙන කන් කවි පොතක් ලියලා නැති නිසයි.”

“හරි සිතාරි ඔයා නෙමෙයි ද එහෙනම් ජයවර්ධනපුර සරසවියේ සිතාරී හංසනී සුදසිංහ කියලා ලියන්නෙ. සිතාරි කියන නම කියන කොට මට මතක් උනේ ඒ කවිකාරිව. ඇයි ඔයාගෙ මේ ළඟ ඉන්නෙ සාහිත්‍ය සර්. ඒ වගෙම මේ කවිකාර ගඟුල් මල්ලි. ඉතින් මන් ඒ සිතාරියි මේ සිතාරියි එක්කෙනෙක් විදිහට දකින එකේ වරදක් නැහැ කියලයි මට හිතෙන්නෙ.”

“තරිඳු අය්යා හරි මේ ඒ කවි සිතාරි තමයි. මන් පුදුම වෙන්නෙ නැහැ සිතාරි අක්කෙ, මේ අය්යා මේ වෙලාවෙ ඔයාගෙ කවියක් දෙකක් කටපාඩමින් කිව්වත්. ඒ තරන් සාහිත්‍ය මීටරයක් මේ.”

“ඒ වගෙම ගඟුල් මමත් පුදුම වෙන්නෙ නැහැ මේ වෙන කොට අපේ තරිඳු එයාගෙ රසවින්දන දේශනයකදි සිතාරිගෙ කවි අරන් තිබුණත්.”

සහන් ආචාර්යවරයා එසේ පැවසුවේ සිනාසෙමිනි.

මේ තරිඳු සර් කළමනාකරණ පීඨෙ නේද උගන්නනවා කිව්වෙ. සර්, මේ සර් රසවින්දන දේශනත් කරනව ද?”

“නැතුව නැතුව මට තරිඳු ගැන වැඩි අද්දැකීම් තියෙන්නෙ කළමනාකරණයත් එක්ක නෙමෙයි රස වින්දනයත් එක්ක.”

දැන් ඒ බෝ මැඩ පාමුල කුඩා සංකථන මණ්ඩපයක් සැදී තිබේ. තරිඳුගේ මිත්‍ර ආචාර්ය යෞවනයා ද ශිෂ්‍ය යෞවනයන් තිදෙනා ද ජපුර ආචාර්ය ත්‍රිත්වය ද සංකථක මෙන් ම ශ්‍රාවක භූමිකා නියෝජනය කරති.

“මේ සාකච්ඡාව මාව අරගෙන යන්නෙ තරිඳු මට මුණ ගැහිච්ච මුල් කාලෙට. මට මතක හැටියට ඒ තරිඳුලගෙ දෙවෙනි නැත්තං තුන්වෙනි අවුරුද්ද. අද නීතිවේදියෙක් විදිහට වැඩ කරන තරිඳුලත් එක්ක ඉගෙන ගත්ත සමීර ජයවර්ධනගෙ කවි පොතක් දොරට වඩින දවසෙ තමයි තරුණ ශිෂ්‍යයෙක් විදිහට මට මුලින් ම තරිඳුව දකින්න ලැබෙන්නෙ. එදා නිවේදන කටයුතු කරපු කළමනාකරණ පීඨෙ ශිෂ්‍යයා කවි සාහිත්‍ය ප්‍රකාශ අරගෙන බොහොම ලස්සනට ඒ වැඩේ කළා.”

“සර් ඒ නිවේදන කටයුතු හොඳට කරපු ශිෂ්‍යයා නිවේදකයෙක් විදිහට ඉස්සරහට ගියා ද එහෙම නැත්තං කළමනාකරණ ක්ෂේත්‍රයේ තැනකට ගියා ද?”

“නෑ සිතාරි එයා නිවේදකයෙක් නෙමෙයි දේශකයෙක් හැටියට යි ඉස්සරහට ගියේ.”

“මේ වෙන කොට ඒ පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනව?”  

“ඔව් අපි හදවතින් ම ප්‍රාර්ථනා කරපු විදිහට එයා ඉස්සරහට ගියා. එයා තමයි සිතාරි, දැන් ඔයාගෙ ඉස්සරහ තමන්ගෙ ශිෂ්‍යයොත් එක්ක ඉඳගෙන ඉන්නෙ. තනතුරු නාමය පාවිච්චි කරලා කියනවනං එයා තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් අධ්‍යයනාංශෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ. මේ සිතාරි ඔයගොල්ලො අඳුන ගන්න ම ඕන කරන චරිතයක්. මට සිතාරිලා ගඟුල්ලා ගැන තරිඳුට කියන්න තියෙන්නෙත් ඒ ටික ම තමයි.” 

මෙසේ කියා සහන් බැලුවේ තමා වටා හිඳ සිටින තරුණ ප්‍රජාව දෙස ය. අනතුරුව ඔහු යළිත් කතා කෙළේ ය.

“දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන්න මට තියෙන්නෙ බොහොම ටික කාලයක් විතරයි. ඒත් විද්‍යෝදය - විද්‍යාලංකාර අධ්‍යාපන සම්ප්‍රදායන් කියන්නෙ අපෙන් පස්සෙත් අඛණ්ඩ ව ඉස්සරහට ගලාගෙන යන්න ඕන කරන මහා ප්‍රවාහයක්. දැන් ඒ යෂ්ටිය අතට ගන්න ඕනෙ ඔයගොල්ලො. නෑ යෂ්ටිය අතට ගන්න ඕනෙ කියන චවනෙ වැරදියි. මොකද මේ වෙන කොටත් ඔයගොල්ලො ඒ යෂ්ටිය අතට අරන් තියෙන නිසා.”

“දැන් තරිඳු ඔයාට ඔයාට අමතර ව කැලණියෙ තරුණ ආචාර්යවරයකුත් මෙතන ඉන්නවා. ඒ වගෙම තරුණ ශිෂ්‍යයො තුන් දෙනෙකුත් ඉන්නවා. මේ ඔක්කොම ඉන්න තැන මන් කැමතියි කවිඳු ඔයාගෙ මේ යාළුවා, ඔය තුන්දෙනාගෙ මේ සර් මට වැඩියෙන් ම දැනුණු දවස ගැන කියන්න. තරිඳුට මතක ද ඒ ඔයා ජපුරෙ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරපු කාලෙ. අපිට ආරාධනයක් ආවා අපේ කළමනාකරණ පීඨෙ ශිෂ්‍යයෙක්ගෙන් එයා ඉගෙන ගත්ත ඇල්පිටියෙ ඇලකාක ඉස්කෝලෙ දේශන දෙකක් කරන්න. තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් ඒ ඉස්කෝලෙ ඒ වෙනකොට උගන්වන ආචාර්යවරුන් දෙන්නෙකුයි ශිෂ්‍යයො කීපදෙනෙකුයි එක්ක අපේ ශිෂ්‍යයා අපිව හම්බ වෙන්න ආවා. වැඩ සටහන සංවිධානය කරන්නෙ කලා ශිෂ්‍යයොයි වාණිජ ශිෂ්‍යයොයි දෙගොල්ල එකතු වෙලා. ඒ ගුරුවරු කැමති විදිහට වැඩ සටහන සකස් කරන එකේ වගකීම තමන්ගෙ ශිෂ්‍යයන්ට බාර දීලා තිබුණා. සිතාරි දන්නව ද මේ උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම් දෙක අරන් තිබිච්ච තේමාව.”

“මොකක් ද සර් ඒ තේමාව.”

“රසවින්දනයෙන් ජීවිත කළමනාකරණයට. මන් රස වින්දන දේශනේ බාර ගත්තා. ජීවිත කළමනාකරණ දේශනය මේ තරිඳු බාර ගත්තා. ඒ දවසෙ මගෙ වාහනය ගැරේජ් කරලා තිබුණෙ. තරිඳු ඩ්‍රයිවින් පුරුදු වෙච්ච අලුත. එයා එයාගෙ කාර්රෙක අරගෙන ආවා ඇල්පිටියෙ ඒ ඉස්කෝලෙට යන්න.”

“ඒ කියන්නෙ සර් දෙවියන් බුදුන් සිහි කරගෙන තමයි වාහනේට නගින්න ඇත්තෙ.”

එසේ සිනාසෙමින් පැවසුවේ තරිඳුගේ මිත්‍ර කවිඳු ය.

“නෑ කවිඳු, ඇත්තට ම මට එදා ඉඳලම තරිඳුගෙ වැඩ ගැන විශ්වාසයක් තිබුණා. එයා එදා ඉඳලා මේ දක්වා තමන්ගෙ පැවැත්මෙන් ඒ විශ්වාසෙ දවසින් දවස වැඩි කරගත්තා මිස අඩු කරගත්තෙ නැහැ.” 

“ඉතින් සර් එදා ඒ වැඩේ හොඳට කෙරුණ ද?”  

“ඇත්තටම ඔව්. මන් මට පුළුවන් උපරිමෙන් මගෙ රස වින්දන දේශනය කරලා කළමනාකරණ දේශනෙ කරන්න තරිඳුට පසුබිම හැදුවා. ඔව් එදා තමයි තරිඳු ළඟ ඉන්න දේශකයා මන් හොඳින් ම අඳුන ගත්ත දවස.  දවසක් ප්‍රණීත් සර් ස්වර්ණපාලි බාලිකාවෙ කළා වගෙ ලස්සන දේශනයක් තමයි එදා ඇලකාක ඉස්කෝලෙදි මාත් ඇතුළු සභාවට අහන්න ලැබුණෙ. දිය ඇල්ලක් කඩා වැටෙනවා වගේ තරිඳු එක දිගට කතා කළා. ඒ කතාවෙ තිබුණෙ කළමනාකරණය විතරක් නෙමෙයි. ජීවිතයත් තිබුණා දහමත් තිබුණා රස වින්දනයත් තිබුණා.”

“සර් ඉතින් එදා ඉඳල ම මාව අගය කරනවනෙ. එදා ඒ ප්‍රසිද්ධ සභාවෙදිමනෙ සර් මට ආශිර්වාද කළෙත්.”

එසේ හැඟම්බර ව පැවසුවේ තරිඳු වීරසිංහ යි.

මන් විතරක් නෙමෙයි තරිඳු මේ වෙන කොට ඔයාගෙ දේශන අගය කරන ඕඩියන්ස් රට පුරා ම ඇති වෙලයි තියෙන්නෙ. තරිඳු වගේ තවත් කණ්ඩායමක් ඉන්නවා අපිට අර්ථයක් තියෙන දේවල් රසවත් ව ඉදිරිපත් කරන්න පුළුවන්. මන් ඒක තහවුරු කරන්න තව සිද්ධියක් කියන්න ද?”

“ඒ මොකක් ද සර් කියන්න කියන්න.” 

ඒ වචන කිහිපය කියැවුණේ තරිඳුගෙන් නොව සිතාරීගෙනි.

“දවසක කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක කලා මංගල්‍යයට ඒකෙ විදුහල්පතිතුමිය ආරාධනා කළා. එතුමිය මහාචාර්ය ප්‍රණීත් හරි මන් හරි එන එක තමයි අපේක්ෂා කළේ. ඒ කියන දවසට අපි දෙන්නට ම යන්න විදිහක් නෑ. ප්‍රණීත් තමන් ඉගෙන ගත්ත කොළඹ ආනන්ද විද්‍යාලෙ වැඩසටහනකට එන්න කලින් පොරොන්දු වෙලා. මම කොළඹින් පිට ඉස්කෝලෙක සාහිත්‍ය උත්සවේ ආරාධිත අමුත්තා විදිහට එන්න පොරොන්දු වෙලා. අපි දෙන්න ම අර විදුහල්පතිතුමියට කිව්වා ඔබතුමිය බය වෙන්න එපා අපි ඔය වැඩේට පිරිමහින හොඳම කෙනෙක් එවනවා කියලා කිව්වා.” 

“ඒ කියන්නේ සර් සාහිත්‍ය කලා විෂයන්ට සම්බන්ධ වෙන මහාචාර්යවරයෙක් යැව්ව ද?”

ඒ ප්‍රශ්නය ඉදිරිපත් වූයේ කැලණිය සරසවියේ කවිඳු කථිකාචාර්යවරයාගෙනි.

“නෑ නෑ කවිඳු ඒ දවසෙ එහෙම කෙනෙක් හදිසියෙ හොයා ගන්න පුළුවන්කමක් තිබුණෙ. ඒ හැම කෙනෙකුට ම විශ්වවිද්‍යාලෙ දේශන, වැඩමුළු හරි වෙනත් වැඩක් හරි යෙදිලා තිබුණා. ඒක නිසා ඒ වෙලාවෙ ප්‍රණීතුයි මායි දෙන්නම සාකච්ඡා කරලා යැව්වෙ මහාචාර්යවරයෙක් නෙමෙයි ආධුනික කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ බාරගෙන අවුරුද්දක්වත් වෙච්ච නැති යාළුවෙක් ව.”

“ඉතින් ඊට පස්සෙ මොකද උනේ.”

ඒ කැලණිය ශිෂ්‍යයන් වෙතින් ඉදිරිපත් වූ ප්‍රශ්නයකි.  

“වයසින් වැඩිච්ච විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හරි මහාචාර්යවරයෙක් හරි අපේක්ෂා කරපු විදුහල්පතිතුමිය මේ තරුණ ආචාර්යවරයා දැක්කම මුලින් ම බලාපොරොත්තු සුන් වෙච්ච ගතියකට ගියාලු. මට පස්සෙ දවසක ඒ ගැන කිව්වෙ ඒ ඉස්කෝලෙ උසස් පෙළ සිංහල උගන්නන ගුරුතුමියක්. එතුමිය ඒ වෙලේ කියලා තියෙන්නෙ ඇයි ප්‍රණිතුයි සමනු යි දෙන්නා මට මෙහෙම කළේ කියලා. වැඩේ කියන්නෙ ඒ කලා උළෙල තිබිච්ච දවසෙ රෑ මට එතුමිය කෝල් කළා. මන් එදා හිටියෙ මොනරාගල. එයා කිව්වෙ සමන් මන් ඔයාට ස්තුති කරන්නයි කතා කළේ. ඒ ආපු තරුණ ආචාර්යවරයා ලස්සනටම වැඩේ කළා කියලා කිව්වා. ඇත්තම කියන්න සහන්, මන් එයා දැකපු ගමන් ම නම් ටිකක් නෙමෙයි ගොඩක් අවුල් උනා. මේ පොඩි කොල්ලෙක් කොහොම ද සාහිත්‍ය දේශන කරන්නෙ කියලා. මට ඒ වෙලාවෙ ඔයයි ප්‍රණීතුයි ගැන කේන්ති ගියත් එක්ක. හැබැයි ඉතින් පළවෙනි විනාඩි පහේදිම කොල්ලා ඕඩියන්ස් එක එයාගෙ බාරෙට ගත්තා. මන් මගෙ ඉස්කෝලෙ ඉස්සරහ වැඩවලදිත් ඒ දරුවව සම්බන්ධ කර ගන්නවා. මන් දැන් අපේ ප්‍රණීත්ටත් කතා තරලා ස්තුති කරන්න ඕනෙ.”

“කවුද මැඩම් ඒ මැජික්කාරයා.”

“ඒ ඉතින් ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ තරිඳු වීරසිංහ ම තමයි.” 

“එහෙනං තරිඳු සර්, මන් ඉගෙන ගත්ත මගෙ ඉස්කෝලෙ කලා උළෙල දවසටත් මන් ඔයාට ආරාධනා කරන්න කියලා ඔයාගෙ නම යෝජනා කරනවා අපේ ඊළඟ ආදි ශිෂ්‍ය සංගමේදි.”

“ඒ කොයි ඉස්කෝලෙදි නංගි.” 

“කුරුණෑගල මලියදේව බාලිකාව.”

“තරිඳු අය්යා දේශනේකදි ගත්ත කිව්ව අපේ සිතාරි අක්කගෙ කවි ගැන කිව්වෙ නැහැනෙ.”

“හරි මන් කියන්නංකො ගඟුල්. එදා මම දේශනය කළේ පරිසර කළමනාකරණය ගැන. හරියට ම මන් පැය එකහාමාරක් කතා කළා විෂයබද්ධ ව. අන්තිම පැය බාගෙදි පරිසරය, සොබාදහම වගෙම ජීවිතය ගැන ලියපු කවියන් ගැන කතා කරලා ඒ දේශනේ ඉවර කරන්න ගත්තෙ සිතාරි අක්කා පත්තරේකට ‘ඇය හද මඩල ඇය සඳ මඩල’ කියන මාතෘකාව යටතෙ යවලා තිබිච්ච කවි තුනක්. මන් මතකෙන් ම කියන්නම්කො ඒ කවි තුන.

වැව් බිම් වැළඳ මුදු          සීතල සුළඟ හමයි

නොකිලිටි සෙනෙහසක හද පණිවිඩය   කියයි

දුරකතරක ගිය ද ගම හදමඩල          තෙමයි

මට සඳමඩල වී ඇය මා ළඟම          රැඳෙයි   


රිද්මය ඇගේ අසනා විට        මිහිරිතම

මතු වෙයි පෙරදිගින් පී.බී.,      කුඩලිගම

කීට්ස්, ෂෙලී කවිතා දැක නොවන     නිම

පෙරදිග - අපරදිග සම ලය   සොයමි  මම


පෙර කවි හද අකුරු දැක කලකට පස්සේ

එමැදින් ඇය සොයා යමි මුදු මඳ වැස්සේ

අසමින් ඇගේ හඬ රැය දහවල    තිස්සේ  

පුද දෙනු පිණිස ම යි මේ කවි මල් ඉස්සේ”

“තරිඳු සර්, ඒ කවි ලියපු මටවත් බැහැනෙ මතකින් ඔය කවි කියන්න. විශේෂයෙන් ඔය අන්තිම කවිය ලියද්දි මට ආකෘතික වශයෙන් බලපෑවා කුඩලිගම කවියගෙ සමහර කවි වගෙම එතුමගෙ ලොකු පුතා ගීතනාත් කුඩලිගම කවියා ඒ ශ්‍රේෂ්ඨ තාත්තගෙ මරණයෙන් පස්සෙ ලියපු කවියක්. විශේෂයෙන් මේකෙ අන්තිම කවිය ලියද්දි තමයි මන් ඒකෙ ආකෘතික ආභාසය ලැබුවෙ.”

“ගඟුල්, ඔයාගෙ සිතාරි අක්කා මෙතෙන්දි එයාට හදමඩල වගෙම සඳමඩල වගෙ දැනෙනවා කියන ඇය කවුද? එකක් සොබාදහම. අනිත්තෙක එයාට සොබාදහම ජීවමාන කරලා පෙන්නන එයාගෙ ගම. මන් ඔය කවි තුන ගත්තෙ කුරුණෑගල ලක්දාස් විද්‍යාලෙ කරපු දේශනේකදි.” 

මේ මොහොතේ සහන් සිය ජංගම දූරකථනයේ මුහුණත බලා පැවසුවේ මහාචාර්ය ප්‍රණීත් කතා කරන බව ය. මොහොතකින් සිය ආචාර්යවරයාගේ මුහුණ බැරෑරුම් ස්වරූපයකට හැරෙනු ඒ සහෘදය කණ්ඩායමට දැක ගැන්මට ලැබිණ. ඒ සමග ම තවත් දුරකතන ඇමතුමකට ද සම්බන්ධ වූ සහන් පැවසුවේ දැන් වෙන් ව යාමට කාලය එළඹ ඇති බව යි. ඒ මොහොතේ තරිඳු සහන් ඇතුළු එතැන සිටි විදුදය ත්‍රිත්වයෙන් ඉල්ලීමක් කෙළේ ය.

“සර් මේ හිටියා වගේ අපේ තව පොඩි වැඩකට සම්බන්ධ වෙලා යන්න. අපි අර පැත්තට යන්න ගියේ පොඩි පින්කමකට. ඒ සර්රුත් දන්න අපිට ළඟ ළඟ දි අහිමි වෙච්ච නිලක්ෂි චන්ද්‍රසේන මහාචාර්යතුමියටයි ආචාර්ය ගයන්ත ගුණේන්ද්‍රටයි එයාගෙ නෝනට ඥාති සහෝදරයට වගෙම ගිය සතියෙ විදේශ රටකදි නැති වෙච්ච ඩෙල්ට් එකේ උගන්නන රුසිරු මල්ලි සිහි කරලා පින් දෙන්න.”  

“බොහොම කැමැත්තෙන් ම ඒ පින්කමට එකතු වෙන්නම් තරිඳු. මන් නිලක්ෂිව දන්නෙ 1992 ඉඳලා. එයා විශ්වවිද්‍යාල ගුරු ජීවිතය ආරම්භ කළේ ජපුරෙන්. අපේ අධ්‍යයනාංශෙ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියක් විදිහට යි අපට සම්බන්ධ උනේ. මන් ගුණේන්ද්‍ර ව දන්නෙ එයාගෙ ශිෂ්‍ය කාලෙ ඉඳලා. එයා අවුරුද්දක් දෙකක් අපේ පාලි බෞද්ධ අධ්‍යයනාංශෙ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට දර්ශනය ඉගැන්නුවා. මන් පෞද්ගලික ව රුසිරු දන්නෙ නැහැ. ඒත් හොඳ මනුස්සයෙක් කියන එක අහලා තිබුණා. අපි ඒ පින්කම කරමු, අපෙනුත් තවත් නමක් අලුතින් ම එකතු කරලා.” 

“අලුත් නමක් කිව්වෙ සර්.”  

තරිඳු ඇසුවේ ප්‍රශ්නකාරී ස්වරයකිනි.

“තරිඳු දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ප්‍රණීත් සර් කතා කළේ බොහොම සංවේගජනක පණිවිඩයක් දෙන්න. ඊට පස්සෙ කතා කළේ ෆොරස්ටි ඩිපාර්ට්මන්ට් එකේ උගන්නන තිලක් සර්. අපේ විශ්වවිද්‍යාලෙ ජගත් වංශපාල මහාචාර්යතුමා ඊයේ රෑ හදිසියෙ නැති උනා කියන පණිවිඩේ තමයි දෙන්න තමයි ඒ දෙන්නම කතා කළේ. අපි දැන් පින්දීලා සිහි කරන නම් අතරට අපේ ජගත් සර්ගෙ නමත් එකතු කරමු.”

තරිඳු, සිතාරී මෙන් ම ගඟුල් ද මහත් සංවේගයකට පත් වූයේ ඒ තිදෙනා ම අංශ භේදයකින් පීඨ භේදයකින් සරසවි භේදයකින් තොර ව මිනිසුන් ඇසුරු කරන මේ මානව හිතවාදී විද්‍යාධරයාගේ සදැසුර ලැබීමට භාග්‍යවන්ත ව සිටි බැවිනි.

“අනේ සර් ජගත් සර් මැරෙන්න තරම් වයසක නෙමෙයිනෙ හිටියෙ.”  

“මැරෙන්න වයසක් නැහැ සිතාරි. ඒක කොයි මොහොතෙ කොයි විදිහට මොන දවසෙ අපි ළඟට එනව ද කියන එක කියන්න අපි කාටවත් බැහැ. මට මේ වෙලේ මතක් වෙන්නෙ අපේ හික්කඩුවෙ සුමංගල නායක හාමුදුරුවො තමන්ගෙ උපාසිකාවක් නැති උනාම එතුමියගෙ දරුවන්ට කියපු කතාවක්.”

“අපි සර් අපේ සුමංගල නායක හාමුදුරුවො කියපු දේ අහලා අපේ හිත් සැහැල්ලු කරගෙනම තරිඳු සර්ලා කරන්න යන පින්කමට සම්බන්ධ වෙමු.”

සියලු දෙනා නිහඬ ප්‍රතිචාරයෙන් සිතාරි ආචාර්යවරියගේ ඒ ප්‍රකාශය අනුමත කළ බැවින් සහන් නාහිමි ප්‍රකාශය සිය වචනවලින් මෙසේ ප්‍රකාශයට පත් කෙළේ ය.

“අපි ආදරේ කරන අපට උදව්කරගෙන හිටපු කෙනෙක් මැරුණම අපිට ලොකු දුකක් ඇති වෙනවා තමයි. ඒත් යමක් කමක් හිතන්න පුළුවන් අය විදිහට අපි කරන්න ඕනෙ දුකෙන් හිත පුරව ගන්න එක නෙමෙයි, හිත සංසිඳව ගන්න එක. ඒ වගෙම විපත් බහුල මේ ලෝකයට ආවානම් ඒ ලෝකෙ තියෙන උපද්‍රව විඳ දරා ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕනෙ. ඒ වගෙම අපිට මරණය කියන්නෙ ඒකාන්ත නියමයක්. එහෙම උනාට මෙන්න මෙච්චර අවුරුදු ගාණක් ජීවත් වෙන්න නියමිතයි කියලා අපි කාටවත් කියන්න බැහැ. ඒක නේද ඇත්ත. මේ නිසා මනුෂ්‍යයන් වන අපි ටික කාලයක් හරි ජීවත් වෙන එක තමා පුදුමෙ. නැතුව මැරෙන එක නෙමෙයි. අපට පුළුවන්නං අපි කාටත් නියම වෙලා තියෙන මේ ගමන දැන් දැන් උනත් පිටත් වෙන්න පුළුවන් කියලා නිතර නිතර හිතන්න අපට මෙයාකාර දුකක් උපදින්නෙ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා අප කරා එන මේ දුකෙන් අපව මුදවන්න කාටද පුළුවන්. කාටවත් බැහැනෙ. ඒක නිසා අසවලා මැරුණා කියලා, මේ වෙන්වීම නිසා අපිට උනේ ලොකු විපතක් කියලා තැවි තැවි ඉන්න එක ප්‍රඥාගෝචර වැඩක් නෙමෙයි. ඒක නිසා අපි ලෝක ධර්මය ගැන හිතලා තැවෙන් නැතුව මේ මොහොතෙ කරන්න තියෙන වැඩේ කරමු. අදටත් වලංගු හෙටටත් වලංගු මෙන්න මේ පණිවිඩේ තමයි එදා හික්කඩුවෙ නායක හාමුදුරුවො දීලා තිබුණෙ.”  

“අපි අපේ නායක හාමුදුරුවන්ගෙ වචන මේ අසීරු වෙලාවෙ හිතේ තියාගෙන ම අර පින්කමට යමු.”

ජයසිරි මහ බෝසමිඳු මතට මුදු සඳ කිරණ වැටී ඇති ඒ සුපහන් රැයේ දෙසරසවියක සහෘදයෝ සමුගත් සිය ආචාර්ය මණ්ඩල සාමාජිකයන් සිහි කොට පුණ්‍යානුමෝදනා කළහ. ඒ අවසන් ව ජපුර බස්රිය වෙතට යන ගමනේ දීත් මේ වන විට සමුගෙන ඇති ජගත් වංශපාල විද්වතා ගැන ඔවුහු කතා කළහ.

“සර්, ජගත් සර්ගෙ මිහිදිය කවි පොත මන් කියවලා තියෙනවා. ප්‍රණීත් සර්ට, සර්ට එහෙමත් ඒ සර් ඒකෙ විශේෂයෙන් ස්තුති කරලා තියෙනවා. මන් දන්න තරමින් වෙන පීඨෙක හිටියට ජගත් සර් නිතර සර්ලව හම්බ වෙන්න ශාස්ත්‍ර පීඨෙට ආවා.”

“ඔව් ගඟුල්, ජගත් කියන්නෙත් අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති කල්‍යාණ මිත්‍රයෙක්. එයා විශ්වවිද්‍යාලෙන් විතරක් නෙමේ මග තොටේ අහන දකින දේවල්වලිනුත් ජීවිතයට දේවල් එකතු කරගත්තා. දවසක් මනුෂ්‍ය ජීවිතේ ආතතිය ගැන කතා කරද්දි ජගත් කිව්වෙ එයා ඒ ගැන හොඳම විග්‍රහය ඇහැව්වෙ දවසක් අනුරාධපුරේ යන අතරමගකදි හමු වෙච්ච මනුස්සයෙක්ගෙන් කියලා.”

“මොකක් ද සර් ඒ ආතති විග්‍රහය.”  

සිතාරි ඒ මනුස්සයා කියලා තියෙන්නෙ අටලෝ දහම පටලෝ ගත් විට ඇති වන තත්ත්වය තමයි ආතතිය කියන්නෙ කියලා.”

“ඉතින් සර් ඒක හොඳම විග්‍රහයක්නෙ.” 

“ඔව් සිතාරි මමත් ආතතිය ගැන අහපු හොඳම විග්‍රහය තමයි ඒ. ජගත් සමාජයෙන් විතරක් නෙමෙයි  තමන්ගෙම ජීවිතයෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවා. දවසක් ජගත්ලා පොඩි කාලෙ ජීවත් වෙච්ච පුංචි ගෙදෙට්ට ආපු ජගත්ගෙ තාත්තගෙ යාළුවෙක් අහලා තියෙනවා ඔච්චර හොඳ රස්සාවක් කරද්දි රස්සාවට ඔය තරමට සාධාරණ වෙන්නෙ නැතුව මේ ගේ ටිකක් ලොකුවට හදා ගන්නෙ හිතුවෙ නැත්තෙ ඇයි කියලා. එයා අදහස් කරලා තියෙන්නෙ රස්සාවට මුවා වෙලා අසාධාරණ විදිහට මුදල් හම්බ කරන්න ඉඩ තියෙන රස්සාවක් කරද්දි ඇයි ඒ ප්‍රයෝජනේ ගන්නෙ නැති එකයි. ජගත් කියන්නෙ තාත්තා කවදාවත් අසාධාරණයෙන් සල්ලි හෙව්වෙ නැහැ කියන එක. එදා අර යාළුවට තාත්තා කියලා තියෙනවා ඇයි ඔයා දන්නෙ නැද්ද මන් ගෙවල් තුනක් හදනවනෙ කියලා. කෝ කොහෙද ඒ ගෙවල් හදන්නෙ කියලා ඇහැව්වහම ජගත්ගෙ තාත්තා පෙන්නලා තියෙන්නෙ ජගතුයි එයාගෙ මල්ලිලා දෙන්නවයි. ” 

“ඒ වගෙ ප්‍රශ්න අහන අයට දෙන්න ඕනෙ කරන හොඳම උත්තරේ තමයි ජගත්ගෙ තාත්තා දීලා තියෙන්නෙ.”

“ඇත්තටම ගඟුල් අපිට අපේ ජගත් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපි දවසක විස්තර ඇතුව ඒ ගැන කතා කරමු. කට්ටිය අපි එනකන් බලන් ඉන්න හින්දා දැන් යමු. ඔයගොල්ලන්ගෙ මිස් තමන්ගෙ ආචාර්ය උපාධියෙ සම උපදේශක කෙනෙක් විදිහට වැඩ කරපු ජගත් සර් ගැන මේ දැන් වට්ස් ඇප් එකට, ඒ සර්ගෙ කවියකුත් එක්ක දාලා තියෙන සටහනකින් මන් කතාව නතර කරන්නම්.”  

අනතුරුව සහන් කෙළේ සිය දූරකථනෙ මුහුණතෙහි සටහන් ව ඇති කෙටි පණිවිඩය සිතාරී - ගඟුල් සිය ආදි ශිෂ්‍ය යුග්මයට සහ කැලණියේ ගුරු-සිසු කල්‍යාණ මිත්‍ර පර්ෂදයට බලා ගන්නට ඉඩ සැලැස්වීම ය.

“ආදරණීය මහාචාර්ය ජගත් වංශපාල සුප්‍රිය සහෘදයාණෙනි,    

දරුවන් හදා ලොවකින් ලද     ඉහළ පුද

මරුවන් සමග සටනක අද               යෙදෙනව ද

පෙර මෙන් නැතත් සවියක්               ජීවිතය මැද

පෙරුමන් පුරන මහනෙල් මල කොහෙද           අද? 

ඔබ සහ ඔබේ අධ්‍යාත්මය පිළිබඳ ව කියැවෙන ඉහත සඳහන් ඔබේ ම නිර්මාණයෙන් ඔබේ භව ගමන සුවදායක වේවා යි ප්‍රාර්ථනා කරමු.”

අනතුරුව ඔවුහු වෙන් ව ගියහ. සිය සහෘදය ආචාර්යවරයාගේ අභාවය ගැන ඇසූ අනෙකුත් ජපුර සහෘදයෝ ද ඉමහත් සංවේගයකට පත් වූහ. 

ජීවිතය යනු අපට අයිතිවාසිකම් කිව හැකි දෙයක් නොවේ. මෙලොවට අප පැමිණියේ කාගේ හෝ ඇරයුමකට අනුව නොවේ. එසේ පැමිණි අපට මෙලොවින් යන දිනය තීරණය කිරීමට ද හැකියාවක් නොමැත. එහෙයින් අප විසින් කළ යුතු ව ඇත්තේ මෙලොව ජීවත් වන කෙටි කාලය තමාටත් ලොවටත් වැඩදායක වන ආකාරයෙන් අර්ථ සම්පන්න ලෙස ගත කිරීම යි. මෙවන් සිතිවිලිවලින් හද පුරවා ගනිමින් සැලකිය යුතු වෙලාවක් ගත කළ ගඟුල් නින්දට ගියේ සියලු දෙනාට පසුව ය.  

විදුදය ජපුර යාත්‍රිකයෝ පසුදින අළුයම හතරට අනුරාධපුරයෙන් පිටත් වූයේ පොළොන්නරුව බලා යනු පිණිස ය. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ උදෑසන හයයි තිහ පමණ වන විට පොළොන්නරුවට ළඟා වීමට ය. එහි නවාතැන් ද ඇතුළු සියලු පහසුකම් සමන් සිත්තරාගේ යුගයේ පළුගස්දමන මහවිද්‍යාලයේ උගත් ආදි විද්‍යාර්ථීන් විසින් සම්පාදනය කරනු ලැබ තිබිණ. නවාතැන ළඟදී පළමු ව බස් රියෙන් බැසි සහන් ඔහුගේ සොහොයුරාට හදවතින් ම ආදරය කළ ඒ පුලතිසිපුර සහෘදයන් විසින් වට කොට ගන්නා ලදී. පළමු ව සහන් වර්තමාන ජපුර සහෘදයනට ඒ කලණ මිත් පිරිස හඳුන්වා දුන්නේ ය.

“මේ නිරෝෂා. එයා තමයි අපේ අය්යා උගන්නපු ඉස්කෝලෙ දැන් චිත්‍ර ටීචර්. මේ ශානිකා, මේ ගංගා මේ දිනේශා, මේ තුන් දෙනත් අය්යගෙ ඒ කාලෙ ශිෂ්‍යාවො. මේ කල්‍යාණවංශ සර්. මේ පළාතෙම ඉස්කෝලෙක විදුහල්පතිතුමා. එතුමාගෙ බිරිඳ තුෂාරි තමයි මේ. ඒත් විදුහල්පතිවරියක්. මේ සුදත් වීරසිංහ. දක්ෂ චිත්‍ර මූර්ති ශිල්පියෙක්. ඒත් නිරෝෂා වගෙම තමන්ගෙ ගුරුවරයාගෙන් ගිලිහිච්ච පින්සල දෝතට ගත්ත කෙනෙක්. මේ සුසිත් වගෙම ඩයනාත් අය්යගෙන් චිත්‍ර වගෙම ජීවිතය ඉගෙන ගත්ත ශිෂ්‍ය පරපුර ම තමයි නියෝජනය කරන්නෙ. මේ දෙන්නම වසන්තලා. මේ වසන්ත අමරසිංහ. අපේ අය්යා එනකොටත් ආදි ශිෂ්‍යයෙක්. අනිත් එක්කෙනා වසන්ත අබේකෝන්. මන් එයාට කියන්නෙ සුවඳ අකුරු. ඒ වගෙම අපිට ඉස්සරහට තවත් කට්ටිය අඳුනගන්න ලැබෙනවා. අපි ඒක ඒ වෙලාවට බලමු.” 

“ඇයි සර් මේ අය්යට සුවඳ අකුරු කියන්නෙ.” 

“ආ ඒකට හේතුවක් තියෙනවා. ඒ කාලෙ මම ලිපියක් ලිව්වා ‘දිවයින’ පත්තරේට සුවඳ අකුරු කියලා. ඒකෙ උපුටලා දක්වලා තිබුණා අපේ කාලෙ අපිත් එක්ක ඉගෙන ගත්ත නීල් ලකී ක්‍රිස්ටෝපර් මිත්‍රයගෙ කවියක්. ඒක කියවලා ඒ සුවඳ අකුරු කියන මාතෘකාව යටතෙම ලිපියක් හදලා වසන්ත ඒක මට බලන්න එවලා තිබුණා. ඒක ඉතින් සුවඳ අකුරුම තමයි.”

“ඉතින් සර් සුවඳ අකුරුවලට බලපාපු කවියයි මේ අය්යගෙ සුවඳ අකුරුයි ගැන අපිටත් කියන්නකො.”

“දැන් ඉතින් මේ නදිතිට උත්තර දීල ම තමයි කල්‍යාණ, අපිට ඔයගොල්ලන්ගෙ තැන හදලා තියෙන උදේ කෑමට එන්න වෙන්නෙ. හොඳයි මම ඉක්මණට ම ඒ ගැන කියන්නම්කො. ඔයගොල්ලන්ගෙ ජ්‍යෙෂ්ඨයා නීල්ගෙ කවිය තිබුණෙ මෙහෙමයි.

සුපිපි මල් හද තුළින් පණ ලබයි

එ සුවඳ ම අකුරු වී ගලා  යෙයි 

පත් ඉරුත් පන්හිඳත් පෙම් කරයි

ජීවිතේ සුවඳ වී ලොව      හමයි 

හැබැයි නදිති, මේ වසන්ත අය්යගෙ සුවඳ අකුරු ලිපිය ගැන විස්තර මේ වෙලාවෙ මගෙ මතකයට එන්නෙ නැහැ. හැබැයි එයා සුවඳ අකුරු පාවිච්චි කරලා පොතක් ලියලා තිබුණෘ ‘අපේ රටේ ගොවිකම හා ගොවිතැන’ කියලා. ඒකෙ අත්පිටපත එවලා තිබුණා මට බලන්න. මට හොඳට මතක හිටියා මේ පොත පෙරළන කොටම වසන්ත ලියලා තිබිච්ච වචන ටික. මන් ඒක කියන්නම්.  

ඇල් වී ද මා වී ද සුවඳැල් ද වගා කළ

පැල් කවි ගොයම් කවි කමත් කවියෙන් විඩා හළ 

අටු කොටු පුරවා රටක් කළ

තම ඇඳිවත ද අහිමි වුවත් 

තිරිඟු පිටි සංස්කෘතියෙන් රට බේරා ගන්නට 

හුදෙකලාව ම සටන් කරන ඒ අභිමානවත් ගොවි පරම්පරාවේ කථාව.”

“ඇත්තට ම සර් ඒ වචනවල අපේ අභිමානයේ සුවඳ තියෙනවා. සර් කිව්වා හරි මේවා සුවඳ අකුරු ම තමයි. මේ මගෙ පළවෙනි පොළොන්නරු ගමන. මට මෙහෙ නවතින්නයි දැන් හිතෙන්නෙ.”

“හරි පොළොන්නරුවත් ඉවරයි එහෙනං. බලන්න සර් තවම පොළොන්නරුවෙ අපි ඇවිදින්න පටන් ගත්තෙත් නැහැ. අපේ නදිතිගෙ කල්පනාව මෙහෙ නවතින්න. අපි සර් සුවඳ අකුරුයි ඒ අභිමානෙයි විඳගන්න කියලා ඔන්න ඔහෙ එයාව මෙහෙ දාලා යමු ද?”  

“ඇයි සඳරු මට බැහැ කියල ද හිතන්නෙ. මට හිතුණොත් මන් නවතිනවා තමයි. ඇයි මාව නවත්තන්න ද ඔයා.” 

“අපොයි නෑ නවතින්න නවතින්න, එතකොට ජපුරට සතුට, මෙහෙට දුක. නැද්ද සිතාරි මිස්.”

“මේ මේ සඳරු, මාව අල්ල ගන්න එපා ඕවට. දැන් මේ කෙල්ලට ඇත්තට ම කේන්ති යන පාටකුයි පේන්න තියෙන්නෙ.”

“සඳරු විහිලුවටනෙ දුවේ කිව්වෙ. දැන් ඔයාව තියලා යමු කිව්වොත් මුලින් ම විරුද්ධ වෙන කෙනා තමයි සඳරු. කොහොමටත් මේ සැරේ නවතින්න ඔයාට ඉඩ දෙන්න බැහැනෙ අපිට. මොකද අපි අරන් ආපු දරුවො අපි ආපහු අරන් යන්ඩ එපායැ නේද? මොකද අපි විශ්වවිද්‍යාලෙටයි දෙමව්පියන්ටයි වග කියන්නත් ඕනෙනෙ.”

සහන් ආචාර්යවරයා එසේ පැවසුවේ සිනාසෙමිනි.

උදා ආහාරයෙන් පසු ජපුර යාත්‍රිකයෝ පොළොන්නරු ඓතිහාසික ස්ථාන ගවේෂණය පිණිස ගියේ පළුගස්දමන විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් කිහිප දෙනෙකු සමග ය. මහාචාර්ය මාරසිංහ මහතා පැවසුවේ සමන් සිත්තරාගෙන් උගත්, අද වැඩිහිටියන් බවට පත් ව සිටින මේ ඓතිහාසික භූමියේ ම ජන්ම ලාභය ලද පිරිසක් සිටින බැවින් ජපුර ශිෂ්‍ය ප්‍රජාවට කරුණු විස්තර කොට දීම ඒ අයට බාරදීම සුදුසු බව යි. සහන් වෙත පැමිණ ඉතා සෙමින් එසේ කිරීමේ යෝග්‍ය භාවය විමසූ සිතාරී ආචාර්යවරියට සහන් පැවසුවේ මේ වචන යි. 

“මන් දන්නවා සිතාරි, ඔයා එහෙම අහන්නෙ ඇයි කියලා. මේකට ගැළපෙන හොඳම සම්පත් දායකයා ඉන්දැද්දි ඇයි අපි එහෙම කරන්නෙ කියන ප්‍රශ්නෙනේ ඔයාට එන්න ඇත්තෙ. එහෙම නැතුව මේ අයට ඒ වැඩේ කරන්න බැහැ කියන හැඟීමෙන් අහපු ප්‍රශ්නයක් නෙමෙයිනෙ ඔයා ඇහැව්වෙ. ඒ උනාට සිතාරි මෙහෙම දේකුත් තියෙනවා. අපේ මාරසිංහ සර්ගෙ ආත්මගත බැඳීම තියෙන්නෙ අනුරාධපුරයත් එක්ක. අනිත් එක සර් අපේ අය්යා ජීවත් ව ඉන්දැද්දි මෙහෙට ආවා, අපේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම් එක්ක. යක්කල වික්‍රමාරච්චියෙ මාදුරුඔයේ ධම්මිස්සර හාමුදුරුවො, හොරණ විද්‍යාරත්නෙ පරිවේණාධිපති ලබුගම නාරද හාමුදුරුවො, දාපනේ සුමනවංස හාමුදුරුවො, දැන් සංස්කෘත විෂය පරීක්ෂක කෙනෙක් විදිහට කටයුතු කරන ඔයගොල්ලන්ට කුරුණෑගල දි හම්බ වෙච්ච හපුආරච්චි මහත්තයා වගේ අය ඒ ශිෂ්‍ය කණ්ඩායමේ හිටියා. මට මතකයි එදා අපේ පොළොන්නරු මග පෙන්වන්නා උනේ සමන් අය්යා. මට මතකයි බොහොම උනන්දුවෙන් අපේ වෝල්ටර් සර්රුත් අය්යගෙන් යම් යම් දේවල් ඇහැව්වා. සර් දන්නවා මේ කණ්ඩායම කියන්නෙ ඒ සමන්ගෙ ශිෂ්‍යයන් බව. ඒක නිසා සර් දන්නවා මේ කණ්ඩායම ඒ වගකීම හරියට ම ඉෂ්ට කරන බව. අපිත් වැඩේට සම්බන්ධ වෙලාම බලමුකො දරුවො.”

“සර් ඔය තරම් ලොකු විශ්වාසෙකින් කියනවනම් මට ප්‍රශ්නයක් ම නැහැ. එහෙනං සර් මන් ගඟුල් එක්ක අපේ කොල්ලො කෙල්ලො ටික ලෑස්ති කර ගන්න ද?  

ඒ අනුව එදින උදෑසන සිට සවස් වන තෙක් පුලතිසිපුර ඓතිහාසික ස්ථාන ගවේෂණය කිරීම සිදු වූ අතර එසේ ගවේෂිත තැන් අතර දළදා මළුව, නිශ්ශංකලතා මණ්ඩපය, ආළාහන පිරිවෙණ, ගල්විහාරය, දෙමළ මහා සෑය, කිරි වෙහෙර, රන්කොත් වෙහෙර, තෝපවැව වෙහෙර, පබළු වෙහෙර වශයෙන් වන පස්මහ සෑ ද, ලංකාතිලකය සහ තිවංක පිළිම ගෙය ද විය. මෙහිදී ඒ සියල්ල විස්තර කිරීමට නොයා පුලතිසිපුර සහෘදයන්ගේ මග පෙන්වීම ඇතුව නිරීක්ෂණය කළ ස්ථාන කිහිපයකට පමණක් සාවධාන වීම සුදුසු ය. තිවංක පිළිම ගෙය ළඟදී ජපුර ප්‍රජාවට කරුණු කියා දෙන මාර්ගෝපදේශිකාව බවට පත් වූයේ පළුගස්දමන මහ විද්‍යාලයේ චිත්‍රකලාචාරිණී නිරෝෂා විජේසිංහ යි.

“මෙතෙන්ට එනකොට මගෙ හිත යන්නෙ මගෙ ශිෂ්‍ය ජීවිතේ ළඟට. මෙතන විතරක් නෙමෙයි පොළොන්නරුවෙ අනික් හැම ඓතිහාසික තැනක් ගැනම මෙහෙ උපන්න අපි හරි අවබෝධයක් ලැබුවෙ කොළඹ ඉඳලා ඇවිත් අපට උගන්නපු අපේ සර් නිසා. මෙතන මට විතරක් නෙමෙයි ඒ කාලෙ අපිත් එක්ක ඉගෙන ගත්ත ගොඩක් දෙනාට විශේෂ තැනක් උනේ අපේ චිත්‍රකලා පාඩම් පවත්තපු හොඳම තැනත් මෙතනම වෙච්ච නිසා. සර් අපිට පන්ති කාමරේදීටත් වඩා කලාශිල්ප ගැන හොඳම පාඩම් කියලා දුන්නෙ මෙතන ඉඳගෙන.

බුදුහාමුදුරුවො වැඩ වාසය කරපු විහාරෙ තොරතුරු අහපු පරාක්‍රමබාහු රජතුමා තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙදි අද තිවංක පිළිම ගේ කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන, අපි අද ජේතවනාරාමය කියලත් හඳුන්වන මේ විහාරෙ හැදුව කියලයි කියන්නෙ. 

මේ තිවංක පිළිම ගේ කලා ශිල්ප පිළිබඳ නිකේතනයක් විදිහටයි සැලකෙන්නෙ. අපේ කඹුරුපිටියෙ වනරතන මහාචාර්ය හාමුදුරුවො කියන විදිහට දණහිස, ඉඟටිය, හිස කියන තුන් තැනකින් වක්වෙන විදිහට කරුණාවෙන් බරව සාවධානව වැඩ ඉන්න ශ්‍රේෂ්ඨ අනුශාසකයකුගෙ මූර්තියක් විදිහටයි මේ පිළිම වහන්සෙ නිර්මාණය කරලා තියෙන්නෙ. තිවංක පටිමා ඝරේ තියෙන මේ සුවිසාල පිළිම වහන්සෙගෙ ශීර්ෂය කැඩිල තියෙන නිසා මේකෙ අගය මනින්න අද වෙන කොට අපි පාදක කරගන්නෙ විහාර ගෙයයි. ගඩොලින් කරලා තිබිච්ච පියස්ස කැඩුණට පස්සෙ සංස්කෘතික ත්‍රිකෝණෙන් තාවකාලික පියස්සක් දැම්මත් ඒක නිසා උනේ සංරක්ෂණයකට වඩා හානියක්. ඒක නිසා අපි දකින්නෙ අතීතයෙ තිබිච්ච ප්‍රකෘති තත්ත්වය නෙමෙයි විකෘතියක්. දවසක් සර් අපිට මෙතෙන් දිම තමයි අන්න එහෙම කියලා දුන්නෙ. විශ්වවිද්‍යාලෙක කලාශිල්ප හදාරන ශිෂ්‍යයන් හැටියට මේ කරුණ ඔයගොල්ලන්ගෙ හිත්වල ගැඹුරු ම තැන තැන්පත් කරගන්නයි කියලයි මන් ඔයගොල්ලන්ට ආයාචනා කරන්නෙ, මේ කරුණු කියලා දුන්න ඒ උතුම් ගුරුවරයගෙ නාමයෙන්.  

සර් කිව්වා විකෘතිය සාපේක්ෂ තත්ත්වයක් කියලා. ඒක නිසාම සංකේතයක විකෘතියක් අඳුන ගන්න නම් ඒකෙ ප්‍රකෘතිය ගැන අපට හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ කියලා කිව්වා. ඒත් මේවා ගැන අධිකාරි බලය තියෙන අය, මේවයෙ ප්‍රකෘති තත්ත්වය, තව විදිහකට කිව්වොත් පියවි ස්වභාවය අඳුනන අයගෙ විරෝධය හරි, ආයාචනා හරි නොතකා තම බලය යොදලා නොකළ යුතු දෙය කළොත් මතු පරම්පරාවට ඉතිරි වෙන්නෙ විකෘතියට ලක් කරපු සංකේතයක්. ඒ ගොල්ලන්ට ඒක සාපේක්ෂ නැහැනෙ. මොකද ඒ ගොල්ලො දකින්නෙම අලුත් තත්ත්වය මිසක් කලින් තත්ත්වය නෙමෙයි. ඒක නිසා විකෘතිය ඒ අලුත් පරම්පරාව වෙත එන්නෙ නිරපේක්ෂව. අපේ සර් කිව්වෙ ඒක ව්‍යාජ පවරාදීමක් මිස ඇත්ත තත්ත්වය නෙමෙයි කියලා. ඒ පරම්පරාව දන්නෙ නැහැ තමා දකින්නෙ අසත්‍ය හැඩ ගැන්වීමක් කියන එක.”  

“නිරෝෂක්කෙ, ඔයා කියන්නෙ හරි බරපතල දෙයක්නෙ. ඒ කියන්නෙ මෙහෙම දිගින් දිගටම තැනින් තැන නොදන්නාකම නිසා හරි, හිතාමතාම හරි ඒ විදියට වැඩ කළොත් වෙන්නෙ මේ ටේ ජනතාවට අයිති අඛණ්ඩ විශිෂ්ට ඉතිහාසයකට අයිත් මූලාශ්‍ර විනාශ වෙන එකනෙ.”

“ඔයා ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මල්ලි මතු කළේ. එදා අපේ සර් කිව්වෙ මේකෙ අනිවාර්ය ප්‍රතිඵලය අසත්‍ය හැඩගැන්වීම්වලට නව අර්ථකථන සැපයෙන, අසත්‍ය ඉතිහාසයක බිහිවීම කියලයි.”

නිරෝෂා එසේ පිළිතුරු දුන්නේ, තමාගෙන් ඒ කිසිසේත් නොතකා හළ නොහෙන ප්‍රශ්නය මතු කළ ශිෂ්‍යයාට ය. අනතුරුව කතා කෙළේ ගඟුල් ය.

“නිරෝෂක්කෙ, ඔයාගෙ සර් - අපේ වැඩිහිටි හිතවතා සමන් අය්යා කියන හැටියට නටබුන් නගරයක් කියන්නෙ නව නගරයක් නෙමෙයි. නෂ්ටාවශේෂ තියෙන නගරයකට අතීත ශිල්ප ඥානයක් වගෙම ඊට ආවේණික සුන්දරත්වෙකුත් තියෙනවා. එයා කියපු විදිහට සමස්ත පරිසරයේ ස්වාභාවික ශාක පද්ධතියට වගෙම භූමියේ පිහිටීමට අනුගත වෙචච් ඉපැරණි ඉඳිකිරීම්වලින් යුක්ත මේ අපූරු චිත්‍රය තියෙන්නෙ මෙතනම යි. ශිෂ්ටාචාරයේ මේ අද්දැකීම අපිට වෙන අවස්ථාවකින් ලබන්න පුළුවන් අද්දැකීමක් නෙමෙයි.”

“මන් ගඟුල් මල්ලි මතු කරපු  ප්‍රශ්නෙ නිසා ම අපේ සර් අපිට කියලා දුන්නු අපි අපේ පොත්වල වගෙම හිත්වල ලියා ගත්තු ප්‍රකාශයක් කියන්නම් මෙහෙම.

තම මීමුතුන්ගේ විශිෂ්ට අතීතය වෙත නව පරම්පරා ඇද බැඳ තබා ගන්නා ආකර්ෂණයේ බලවේගය එය යි. අප කුඩා අවදියේ දී භික්ෂූන් වහන්සේ, ගුරුවරුන් හා වැඩිහිටි දෙමාපියන් සමග ගිය වන්දනා ගමන්වලදී විඳි අතීත සුවඳ මතකය අවදි කළ මැනවි. අප ලද අතීත ශ්‍රී විභූතිය පිළිබඳ අභිමානය, වැව, දාගැබ ආශ්‍රිත ක්ෂිතිජ රේඛාවේ මිහිර අපගේ අනාගත පරපුරට අහිමි කරන්නේ මන්ද?” 

සිය සොහොයුරාගේ සිසු දියණිය ගුරු දියණියක බවට පත් ව තම ගුරුවරයාගෙන් උගත් මෙන් ම ජීවිතයට උකහා ගත් දෙය වර්තමානයේ තමාගෙන් උගන්නා ජපුර ප්‍රජාවට පවරා දෙන මේ අසිරිමත් නිමේශයේ සහන් තුළ අවදි වූයේ ද ඒ සුවඳ මතකය යි. සිය සොහොයුරා මෙයින් තිස් වසරකට පූර්වයෙන් පළුගස්දමන මහ විදුහලේ උගන්වද්දී ඔහු සහ ඔහුගේ ශිෂ්‍ය ප්‍රජාව සමග මේ තැන්වලට ආ ගමන් පිළිබඳ සංවේදනීය ස්මරණ යි. අනතුරුව ඔහුට යළිත් ඇසුණේ නිරෝෂා ගුරුවරියගේ කටහඬ යි.

“ඒ වගෙම මෙතන තියෙන්නෙ දුර්ලභ චිත්‍ර. අපේ සර් මේ චිත්‍ර අඳින්න ඉස්සෙල්ලා කිව්වෙ භාවනාවක් කරනවා කියලා හිතලා මුලින් ම ඒවා අධ්‍යයනය කරන්න කියලා. ඒ වගෙම තමන්ට අඳින්න උදව් වෙන පැන්සලට, කොළයට ආදරය කරන්න පුරුදු වෙන්න කියලත් අපේ සර් කිව්වා. අපි අඳින අජීවි රේඛා සජීවී වෙන්නෙ එතකොට කියලයි අපේ සර් අපිට කියලා දුන්නෙ.”   

තවත් ඓතිහාසික මෙන් ම වර්තමානික මෙන් ම නටබුන් ස්මාරක යන වචනවලට ලඝු කළ නොහෙන ඔහුගේ වචනවලින් ම කිවහොත් අජීවී නොව සජීවී ස්ථාන කිහිපයක් ම අධ්‍යයනය කිරීමෙන් පසු ජපුර අධ්‍යයන යාත්‍රික පර්ෂදය පැමිණියේ රන්කොත් වෙහෙර වෙත ය. මෙතැනදී මාර්ගෝපදේශකයා බවට  පත් වූයේ කල්‍යාණවංශ ජයමාන්න විදුහල්පතිවරයා ය. ඒ ආරාධනය ඔහුට ඉදිරිපත් කෙළේ නිරෝෂා ආචාර්යවරිය යි.

“කල්‍යාණ මල්ලි, ඔයා තමයි මේ නංගිලා මල්ලිලට රන්කොත් වෙහෙර ගැන කියලා දෙන්න ඕනෙ හොඳම කෙනා. අපේ සර් ඔයගොල්ලන්ගෙ ගෙදර නැවතිලා හිටපු කාලෙ විශේෂයෙන් හඳ එළිය වැටිලා රන්කොත් වෙහෙර අමුතු ම ලස්සනකින් බබළන දවස්වලට ඒ ලස්සන දැක ගන්න අපි ඔක්කොටම වඩා වාසනාවන්ත උනේ ඔයා. සර් ඒ දැකපු ලස්සන ගැන කියන කතා අහල ම තමයි මම දවසක් රන්කොත් වෙහෙර-සඳරැස් දහර කියන චිත්‍රෙ ඇන්දෙ. ඔයා කතා කරන්න මල්ලි.”

“නිරෝෂක්කා ඔහොම කියන කොට මතක් වෙන්නෙ සඳරැස් වැටිච්ච රන්කොත් වෙහෙර දිහා එකදිගට සන්සුන් ව බලාගෙන හිටිය අපේ සර්ගෙ මූණ. දැන් මට මැවිලා පේන්නෙ කරුණාව, තේජස කියන ගුණාංග දෙක ම මුහුණෙන් පවා ප්‍රකාශයට පත් වෙච්ච සර්. නංගි, මල්ලි මන් තමයි මේ රන්කොත් වෙහෙර පේන සීමා මායිමේ ගෙදරක ඉන්නෙ. මන් ඇතුළු මගෙ සහෝදරයො වගෙම මගෙ එකම සහෝදරිය උපන්නෙත් පොළොන්නරුවෙ. ඒත් පොළොන්නරුවෙ උපන්න අපිට පොළොන්නරුව ගැන අපි කවදාවත් නොදන්න කාරණා කියලා දුන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ ඉඳලා පළුගස්දමන ඉස්කෝලෙට ආපු අපේ සර්. කොටින් ම මගෙ මහණ වෙලා ඉන්න සහෝදරයා ඒ කියන්නෙ නුවරඑළියෙ බෝපත්තලාවෙ විහාරාධිපති හැටියට වැඩ කරන නිස්සංකමල්ලපුර සාරානන්ද ලොකු හාමුදුරුවො අදටත් කියන්නෙ ගෙවල් ළඟම තිබිච්ච රන්කොත් වෙහෙර කියන්නෙ මොකක් ද කියන එක හරියට ම අඳුන ගත්තෙ සමන් අය්යගෙන් කියලා. එදා ඉඳලම අපේ හාමුදුරුවො අපේ සර්ට සැලකුවෙ තමන්ගෙ වැඩිමහල් ම සහෝදරයා කියන තැනට දාලා. ඒ වගෙම මේ වෙලාවෙ මන් මතක් කරන්න ඕනෙ අද ජීවතුන් අතර නැති අපේ තාත්තා අම්මා දෙන්නව. ඒ දෙන්නා තමන්ගෙ ජීවිතවල ඉහළින් ම තියපු චරිතයක් තමයි අපේ සර්.”

“අපිට ඒ සර්ව දකින්න ලැබුණෙ නැහැ. අපි සමන් සර් ගැන දැන ගත්තෙ අපේ සර් කියන දේවල්වලින් වගෙම ලියන දේවල්වලින්. සර්ලට ඒ සමන් සර් රන්කොත් වෙහෙර ගැන කියල දීපු කරුණු දැන් කල්‍යාණ අය්යා අපට කියලා දෙන්න.”  

“ඔව් නංගි, මන් මට පුළුවන් ප්‍රමාණෙට ඒක ඉෂ්ට කරන්නම්. රන්කොත් විහාරය කියන්නෙ පොළොන්නරුවෙ තියෙන ප්‍රධාන චෛත්‍ය පහෙන් එකක්. ඒවයින් මන් දන්න තරමට පුරාවිද්‍යාඥයන්ගෙ වැඩි අවධානය යොමු උනේ කිරි වෙහෙරටයි තෝපාවැව වෙහෙරට යි. මේක විස්තර කරන කොට කියන්නෙ ආළාහන පිරිවෙනට දකුණින් තියෙන විශාල ස්තූපය තමයි රන්කොත් වෙහෙර කියලා. මේකෙ නිර්මාතෘත්වය පැවරෙන්නෙ නිස්සංකමල්ල රජතුමාට. ඒ රජතුමා සැලකිය යුතු වැඩ කොටසක් කරලා තියෙනවා. හැබැයි වැඩ කරනවා වගෙම තමන් වැඩ කරන බව සද්දෙට ලෝකයට කියන්නත් කැමති වෙච්ච රජෙක්. එයා අනුන්ගේ ඒවයෙ ප්‍රතිසංස්කරණයක් දෙකක් කරලා තමන්ගෙ නම දාගත්තා වෙන්න පුළුවන් වගේ අදහසක් සමහර උගතුන් පළ කරන්නෙ ඒක නිසයි. ඒක කොහොම වෙතත් මේ රජතුමා ගැන එතුමා හිටපු කාලය ගැන එතුමා කරපු වැඩ ගැන වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙකුට ඔයගොල්ලන්ගෙ විශ්වවිද්‍යාලෙ ඉතිහාස පුරාවිද්‍යා අධ්‍යයනාංංශෙ වැඩ කරපු මැන්දිස් රෝහණදීර මහාචාර්යතුමා ලියපු නිශ්ශංකමල්ල කියන පොත ගොඩක් උදව් වේවි.”  

“කල්‍යාණ අය්යෙ, පොළොන්නරුවෙ ස්වර්ණමාලී චෛත්‍යය කියලා කියන්නෙත් රන්කොත් වෙහෙරට නේද?”

“ඔව් මල්ලි, ඒ රන්කොත් වෙහෙරට කියන අනිත් නම. ඒ කියන්න මේ තමා පොළොන්රුවෙ ඉන්න අපිට තියෙන රත්නමාලී චෛත්‍යය නැත්තං රුවන්මැලි සෑ වෙහෙර. මේක අඩි 180ක් විතර උසයි කියලයි කියන්නෙ. ඒත් කලාශිල්ප ඉගෙන ගන්න විද්‍යාර්ථීන් හැටියට ඒ වගෙ දේවල් හරියට ම දැනගන්න එකයි වැදගත්. අපි ඉගෙන ගත්ත හැටියට අඩි 186ක් උසයි කියන එක තමයි හරි. මේක පරාක්‍රමබාහු රජතුමා තමන් ආදරය කරපු මෙහෙසියකගෙ නමින් ඉඳිකලා කියලත් මතයක් තියෙනවා. පස්සෙ නිහ්ශංකමල්ල රජතුමා රන්කොත් වෙහෙරෙ ප්‍රතිසංස්කරණ වැඩ කෙරෙව්වා කියලයි කියන්නෙ.”

“ඒක ඇත්තනං ඒ රජතුමා කරලා තියෙන්නේ තමන්ගෙ ආදරය සංකේතවත් කිරීමනෙ. අපි ඉන්දියාවෙ මුම්ටාස් දේවිය වෙනුවෙන් සාජහන් රජතුමා හදවපු අග්‍රාවල තියෙන ටජ්මහල් ගැන කතා කරනවා. ඒ උනාට තමන්ගෙ ආදරයත් එක්ක ආගමත් එකතු කරලා හදපු ස්වර්ණමාලී නැත්තං රන්කොත් විහාරෙ ගැන වෙන විස්තර කතා කළාට අපේ අයවත් මේ කාරණේ ගැන කතා කරන්නෙ නැහැනෙ.”

“අපෙත් ගුරුවරුන් විදිහට අපට දැනෙන ඔය ගොල්ලන්ගෙ ආචාර්ය මහාචාර්යතුමන්ලා වගේ ම තරුණ කථිකාචාර්යවරුත් ඉන්න තැන මට හිතෙන්නෙ මේ නංගි මතු කරලා පෙන්නන්නෙ ගොඩක් වටින දෙයක් කියලයි. මන් හිතන හැටියට විශ්වවිද්‍යාල තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද උපාධිධාරීන් රටට දෙන එකටත් වඩා ඔන්න ඔය වගෙ අදහස් සමාජගත කරන එකට. ඔයා නංගි ඔයාගෙ අවසාන උපාධි නිබන්ධෙට තෝරගන්න රන්කොත් වෙහෙර. නිරෝෂක්කා, සුදත් මල්ලි, සුසිත් මල්ලි වගෙම අද මෙතන නැති අපේ සර්ගෙන් මේවා ගැන අහගත්තු වෙනස් ඇහකින් දෙයක් දිහා බලන්න ඉගෙන ගත්තු විශාල පිරිසක් අපිට ඉන්නවා. ඒ අය අතර අපේ මේ නිරෝෂක්කා, තුෂාර  අය්යා, චාණක අය්යා, වසන්ත අය්යලා සිසිර, ශානිකා, දිනේශා, උපුල්, මංජුල, චන්දන වගෙ මේ වෙලාවෙ මට මතක් වෙන  මගෙ සමකාලීන යාළුවො වගෙම චින්තක, ගංගා, ඉන්දික, වීරසිංහ, කුමාරසිරි, අජිත්, රොෂාන් වගේ අපිට අවුරුද්දක් දෙකක් පහළ පන්තිවල හිටපු සමන් සර්ගෙ ගෝලයොත් මතක් කරන්න ඕනෙ. මේ ඔක්කොටම පොළොන්නරුව ගැන චිත්‍රයක් තියෙනවා. කොළවල විතරක් නෙමෙයි මේ අයගෙ හිත්වලත් ඒ චිත්‍රෙ ඇන්දෙ අපේ සමන් සර්ම තමයි.”

“ඒ වගෙම අපි හිටියත් නැතත් ඔයගොල්ල ආයෙත් ආවහම අනිවාරෙන් ම හම්බ වෙන්න ඕනෙ දෙන්නෙක් තමයි මේ.”

තත් සංකථනයට සම්බන්ධ වූ නිරෝෂා එසේ පැවසුවේ සුදත් සහ රොෂාන් පෙන්වමිනි.

“විශේෂයෙන් පොළොන්නරුවෙ මූර්ති කලාව ගැන අධ්‍යයනය කරන කෙනෙක් නම් අනිවාරෙන් ම හම්බ වෙන්න ඕන කෙනෙක් තමයි අපේ මේ සුදත්. මොකද සුදත් කියන්නෙ අදටත් මූර්ති නිර්මාණ කලාවෙ අඛණ්ඩ ව යෙදිලා ඉන්න කෙනෙක්. ඒ වගෙම අපේ සර්ගෙ අන්තිම ශිෂ්‍ය කණ්ඩායමට අයිති මේ වෙන කොට පොළොන්නරුවෙ රාජකීයෙ උගන්නන රොෂාන් මල්ලිත් ඔය ගොල්ලන්ට උදව් කරාවි. රොෂාන් කාලයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙත් තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට අවුරුද්දක් දෙකක් වැඩ කරලා තියෙනවා.”

“කල්‍යාණ අය්යෙ, මේ දැන් අපිත් එක්ක ඉන්න සුදත් වීරසිංහ අය්යයි බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙ හදන සුදත් වීරසිංහයි දෙන්නෙක් ද? එක්කෙනාම ද? ” 

“මේ ඉන්න සුදත් අය්ය ම තමයි ඒ සුදත් කියන්නෙත්. මේ අය්යා අපේ සමන් සර්ගෙ ගෝලයෙක් වගෙම ජීවන් නයිදේ කියන පාරම්පරික කලා ශිල්පියාගෙ මුණුබුරෙක් වන කෙනෙක්.”

“එහෙනං මේ සුදත් අය්යා හදපු බුද්ධ මූර්තියක් නං දැකලා තියෙනවා.”  18

“ඒ කොහේ දි ද මල්ලි.”  

“ඇයි අපට සෙල්ලිපි උගන්නපු අපේ ධම්මිස්සර ලොකු හාමුදුරුවන්ගෙ පන්සලේ තියෙනවනෙ හරි දැනෙන බුද්ධ ප්‍රතිමා වහන්සෙ නමක්. ඇයි අද මේ සුදත් අය්යා මේ කලාශිල්ප මූර්ති ගැන අපිට විස්තර කියන්නෙ නැත්තෙ.”  

නෑ මල්ලි අපේ සුදත් අවශ්‍ය ම වෙලාවට කතා කරාවි. විශේෂයෙන් ඔයගොල්ල දවසක් දාගෙන ආයෙ මෙහෙ එන්න. අපේ සුදත් මල්ලි එක්ක විතරක් ඇවිදින්න බලාගෙන. එදාටත් අපි ඔයගොල්ලන්ගෙ සංග්‍රහ කටයුතුයි නවාතැනුයි ගැන බලා ගන්නම්.” 

“ඔන්න ඔන්න කල්‍යාණ අය්යා වැඩේ වරද්ද ගන්නයි යන්නෙ. දැන් රංචු පිටින් එන්න ගනීවි කලා ශිල්ප අධ්‍යයනේට කිය කිය මෙහෙට.” 

“ඉතින් මල්ලි ඒක හොඳයිනෙ. එන අයට අවශ්‍ය පහසුකම් ලැබෙනව වගෙම විශ්වවිද්‍යාලෙට පෙන්නන්න ඉස්සෙල්ලා අපිට පෙන්නන්න ඕනෙ පැවරුමකුත් ඒ අයට කරන්න ම වෙනවා මෙහෙදි.”

“අය්යෙ, අර සංගීතඥ දර්ශන රුවන් දිසානායකත් ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් නේද? මට දවසක් අහන්න ලැබුණා දර්ශන මහත්තයා කියනවා ජේ. එන්. දයාපාල සර්ගෙන් සංගීතෙ ඉගෙන ගත්ත වගෙම සමන් සර්ගෙන් කලාශිල්ප ඉගෙන ගත්තා කියලා.”

“ඔව් ඒක ඇත්ත. දර්ශනත් අපේ කාලෙ ඉගෙන ගත්ත අපේ සමන් සර්ට බොහොම ගෞරව කරපු, ආදරය කරපු කෙනෙක්. එයා මේ දවස්වල කොළඹ. හිටියනං ඔයගොල්ල බලන්න එනවා.”

මේ අතර නිරෝෂා සහන් වෙත පැමිණියේ ඔහුගේ සමකාලීන සරසවි මිතුරකු වන චන්ද්‍රසේන මහතා තව මොහොතකින් එතැනට එන බව යි. එසේ කියා මොහොතක් ගත වන විට සිදු වූයේ ඒ පැමිණීම යි.

“චන්දරේ, කොච්චර දෙයක් ද ආයෙත් ඔයාව මෙහෙදි දකින්න ලැබිච්ච එක.”

අනතුරුව ඔහු සිය කලණ මිතුරා ජපුර පර්ෂදයට හඳුන්වා දුන්නේ ය.

“මේ මගෙ සමකාලීන යාළුවෙක්. ඒ කියන්නෙ ජපුරෙ ආදි ශිෂ්‍යයෙක්. ඔයගොල්ලන්ගෙ ජ්‍යෙෂ්ඨයෙක්. අපේ වෝල්ටර් සර්ට නම් චන්දරේ හම්බ වෙලා තියෙනවා කලින්. මේ ඉන්න පළුගස්දමන ආදි ශිෂ්‍යයො ඔක්කොටම වගේ චන්දරෙත් උගන්නලා තියෙනවා. අද චන්දරේ මහගෙදර ආවද?”

”ඔව් සහන් චන්ද්‍රපාල අය්යව බලලා යන්න ආවා.”

“ගඟුල් මේ චන්දරේ සර්ලගෙ ගෙදර තමයි අපේ අය්යා මුලින් ම නැවතිලා හිටියෙ. ඒක චන්ද්‍ර නිවහන කියලා කියන්න පුළුවන්. මේ සර්ගෙ අය්යා චන්ද්‍රා. අපි චන්ද්‍රක්කා කියලා කිව්වෙ. ඒත් මගෙ අය්යට බොහොම ආදරෙන් කෑම ටික හදලා දුන්න කාන්තාවක්. මේ ළඟදි ඒ අක්කා නැති උනා. ඒ පුතාලා දෙන්නත් ඉස්කෝලෙ යන කාලෙ තමයි අය්යා මෙහෙ හිටියෙ.”

 “කල්‍යාණ අය්යෙ, දැන් ඉන්දික මල්ලි කතා කළා. අපි තව ටිකක් රන්කොත් වෙහෙර අධ්‍යයනය කරලා යමු නේ ද ඉන්දික බේකරියට.”

“ඇයි  අය්යෙ අපට එතනින් පාන් දෙනව ද?”

එසේ ඇසුවේ නිබඳ ආහාර සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන ඉසුරු ජානක ශිෂ්‍ය මාණවකයා ය.

“පාන් ද මොනව ද දන්නෙ නෑ අපේ ඉස්කෝලෙ දි සමන් සර්ගෙන් ඉගෙන ගත්ත තවත් ශිෂ්‍යයෙක් තමයි ඉන්දික කියන්නෙ. ඒ ගොල්ලන්ට බේකරියක් තියෙනවා. මෙහෙට ආවොත් ඒ ගොල්ලො සමන් සර්වත් සිහි කරලා ජපුරෙ කට්ටියට සංග්‍රහයක් කරනවම තමයි. ඒ අද්දැකීම හැම අවුරුද්දකම වගෙ මෙහෙට ආපු අයට ලැබුණා කියන එක මෙතන ඉන්න අයගෙන් හොඳටම දන්නෙ සහන් සර් තමයි.”

අනතුරුව තවත් මඳ වේලාවක් රන්කොත් වෙහෙර ආශ්‍රිත අධ්‍යයන කටයුතු සි දුකිරීමෙන් පසු ජපුර යාත්‍රිකයෝ ඉන්දික බේකරිය වෙත ගමන් කළහ. එතැනදී මේ පිරිස ඉතා ආදරයෙන් පිළිගන්නා ලද්දේ ඉන්දික, ඔහුගේ දයාබර දෙමවුපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් විසිනි. එදින පස්වරු තුනට පමණ උණු උණුවෙන් ම බෑ එළවළු පාන් සමග ලද ඉඟුරු දැමූ ප්ලේන්ටිය සිය ජීවිතයේ ලද ප්‍රණීතාහාර අතරට එක්වන බව සියලු දෙනා සිනහ ගස්වමින් පැවසුවේ ද ජපුර කණ්ඩායම වෙනුවෙන් ස්තුති කතාව කළ       ඉසුරු ජානක ශිෂ්‍යයා ම ය. 

අනතුරුව ජපුර යාත්‍රිකයෝ ගල් විහාරය බලා ගමන් කළහ. එතැන දී මාර්ගෝපදේශකයා බවට පත් වූයේ සමන් සිත්තරාගෙන් ඉගෙන ගැන්මේ භාග්‍යය ලද ශිෂ්‍ය පරපුර නියෝජනය කරන සුදත් සහ සුසිත යි.  

“නිරෝෂක්කලාට ටිකක් පස්සෙ ශිෂ්‍ය පරම්පරාවක් තමයි අපි දෙන්නම නියෝජනය කරන්නෙ. අපි පුංචි කාලෙ ඉඳල ම මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඒත් මෙතනින් විහිදෙන දහම මෙතන තියන සුන්දරත්වය අර්ථය වගෙම අගය ගැන අපි ඉගෙන ගත්තෙ අපේ සර්ගෙන්. ඒ විතරක් නෙමෙයි මේ වගෙ තැනකට ඇවිල්ලා බොරු කරන අයටත් සර් තරහෙන් නෙමෙයි බොහොම ආදරෙන් කරුණු පහදලා දුන්නා. මට මතකයි එක සිදුවීමක් එතකොට අපි දහයෙ. සුසිත් මට පන්තියක් හරි දෙකක් පස්සෙ. එදත් අපි සර් එක්ක මෙතෙන්ට ආපු දවසක්. තරුණ සංචාරක මග පෙන්වන්නෙක් මෙතන ඉඳගෙන තමන් එක්ක ආපු සංචාරකයන්ට කෙළවරක් නැතුව දේවල් කියනවා. ඒ කියන දේවල් ඒ දවස්වල අපිට හරිහැටි තේරුණේ නැති උනාට එයා කියන තරමක් කියන්නෙ බොරු තමයි කියන එකනං අපිට තේරුණා. ඒ වෙලාවෙ අපේ සර් ඒ අය්යා ළඟට ගිහිල්ලා කිව්වා ඇයි මල්ලි ඔයා මේ දුර රටක ඉඳලා ආපු මිනිස්සුන්ට බොරු කියන්නෙ කියලා. ඒ වචන ටික කිව්වෙ බොහොම බොහොම ආදරේකින්. ඒ අනාට අර මනුස්සයට කේන්ති ගිහිල්ල කිව්වා එහෙනං හරි මේ වැඩේ ඔයා කරන්න. මන් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නං කියලා. ඒ පාර සර් කිව්වා ඔයා ඔය ඇත්තටම ද කියන්නෙ කියලා. ඒ පාර එයා කිව්වා මන් ඇත්තට තමයි කියන්නෙ කියලා, දෙයක් විවේචනය කරනවනං එහෙම කරන අයට හොඳට අදාළ වැඩේ කරන්නත් පුළුවන් වෙන්න එපායැ කියලත් කිව්වා. එහෙම කියලා මහ උපහාස බැල්මක් දාලා අර මිනිස්සු ළඟට ගිහිල්ලා මොන මොනව ද කිව්වා.”

අනතුරුව එහි ඉතිරි කොටස කීමට ඉදිරිපත් වූයේ සුසිත් ය. 

“සර් අපට පස්සෙ කිව්ව විදිහට, මේ මෙයා මේවා ගැන හොඳට දන්න කෙනෙක් කියනවා එයාට චාන්ස් එකක් දීලා බලමු ද දැන් මටත් මහන්සියි ඔය පොඩි ගාණක් දුන්නම ඇති කියන එකයි එයා කියලා තියෙන්නෙ. එදා අපිත් එක්ක අපේ සර් කලාශිල්ප ගැන කියන දේවල් මටත් අහන්න ආසයි කියලා අපේ ඉංග්‍රීසි මිසුත් ඇවිත් හිටියා. වැඩේට මිස්ට කේන්තියි මිස් හැදුවෙ අර මග පෙන්වන කෙනාට බණින්න. ඒක නතර කළෙත් අපේ සර්. දැන් මිසුයි අර බොරු කියපු මහත්තයයි අපියි බලන් ඉන්නවා. අපේ සර් සංචාරකයන්ට කරුණු කියලා දෙනවා. ඒ අය හරි උනන්දුවෙන් අහගෙන හිටියෙ. අපේ මිස් එදා අපිට කිව්ව හැටියට අපේ සර් මුලින් ම කරලා තියෙන්නෙ තමන්ට වැඩේ බාරදුන්න මනුස්සයට ස්තුති කරන එක. වැඩේ කියන්නෙ ටික වෙලාවයි ගියේ අර මග පෙන්වන්නත් ඒ දේවල්වලට අවධානය යොමු කළා. යන වෙලාවෙ විස්තර අහලා අපේ සර්ට කියලා ගියේ මන් සර්ව හම්බ වෙන්න දවසක ඉස්කෝලෙට එනවා කියලා. ඒ අයට ඉංග්‍රීසියෙන් කියලා දීපු දේවල් තමයි අපේ සර් අපේ හද භාෂාවෙන් දවසින් දවස අපට කියලා දුන්නෙ. අද අපි කතා කරන දේවල්වල ඉන්නෙ අපේ සර් ම තමයි කියන කාරණෙත් මතක් කරලා අපි කතා කරමු. මුලින් ම ඔයගොල්ලන්ට අහන්න හරි දැනගන්න හරි දෙයක් තියෙනවනං අපි මුලින් ම ඒ ගැන කතා කරලා ඉම්මු. සුදත් අය්යයි මායි සරින් සැරේ ඒ ඔන කරන විස්තර කියන්නම්.” 

“අය්යෙ, මන් මේ පොඩිකාලෙ ආවට පස්සෙයි මේ පොළොන්නරුවට ආවෙ. අපිට ගල් විහාරෙ කිව්ව ගමන් මතක් වෙන්නෙ මේ සැතපෙන බුදු පිළිම වහන්සෙයි හිටි පිළිම වහන්සෙයි. මෙතන වැඩ ඉන්නෙ බුදුහාමුදුරුවොයි ආනන්ද හාමුදුරුවොයි කියන එකට අමතරව තව වෙනස් මත තියෙනව නේද?”  

සුසිත් බැලුවේ සුදත් දෙස ය. මන්ද ඒ ප්‍රශ්නයට වෙනස් පිළිතුරක් සුදත් ළඟ ඇති බව ඔහු දැන සිටි බැවිනි.   

“මෙහෙමයි නංගි සැතපෙන පිළිමෙ බුද්ධ ප්‍රතිමා වහන්සෙ කියන එක ගැන කාගෙවත් විවාදයක් නැහැනෙ. හිටි පිළිම වහන්සෙ ගැන තමයි උගතුන් අතරෙ විවිධ මත තියෙන්නෙ. එස්. එම්. බරෝස් මහත්තයා එයාගෙ ඊමරරසැා ක්‍සඑසැි දf ක්‍ැහකදබ පොතේ දි කියන්නෙ හිටිපිළිමෙන් නිරූපණය වෙන්නෙ ආනන්ද හාමුදුරුවො කියලයි. පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස් වෙච්ච එච්. සී. පී. බෙල් මහත්තය දැරුවෙත් ඒ මතේ මයි. ඒ උනාට ඊට පස්සෙ කාලෙක ඒ තනතුරම දරපු හෝකාට් මහත්තය කියන්නෙ මේක හිටි බුදු පිළිමයක් මිස ආනන්ද හාමුදුරුවො නෙමෙයි කියලයි. ඒ වගෙම ඊටත් පස්සෙදි පුරාවිද්‍යා කොමසාරිස් වෙච්ච සෙනරත් පරණවිතාන මහත්තයා ඒ මතය පිළිගත්තා විතරක් නෙමෙයි ඒකට අර්ථ කථනෙකුත් දුන්නා මේකෙන් නිරූපණය වෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙ පරදුක්ඛ දුක්ඛිත ඉරියව්වයි කියලා.”

“මට නං සුදත් මල්ලි, මේ වෙලේ මතක් වෙන්නෙත් අපේ සර්ම තමයි. එකම දේ ගැන ලෝකෙ ඉන්න උගතුන් වගේම මිනිස්සු විවිධ මත පළ කරන කොට සර් කිව්වෙ එහෙම වෙලාවට මතක් වෙන්නෙ තාගෝර්තුමා කියලයි.”

“ඇයි නිරෝෂක්කෙ තාගෝර්තුමත් මේ ප්‍රතිමා ගැන අදහසක් කියලා තියෙනව ද?”

“නෑ මල්ලි අපි දන්න තරමින් තාගෝරතුමා නං මේ ගැන මුකුත් කියලා නැහැ. එතුමා කියලා තියෙන්නෙ ඉර පෑයීම ගැන ලෝකෙ ඉන්න උගත්තු මොන අදහස් පළ කළත් ඉර පෑයීමට ඒවයෙන් බාධාවක් වෙන්නෙ නැහැ කියලා.”

ඒ නිරෝෂා මුල කී ප්‍රශ්නය ඇසූ සරසවි සිසුවාට දුන් පිළිතුර යි.

“ඇත්ත නිරෝෂක්කෙ, අපි කරුණු ඉගෙන ගන්න ඕන තමයි. ඒ උනාට මෙහෙම තැනකදි අපේ හිත්වල ඇති වන බැතිබර හැඟීම් එන්නෙ උගත්කම් එක්ක නෙමෙයි. මොන එකක් ද මන්දා මට දැනෙන්නම සැතපෙන පිළිම වහන්සෙ බුදු හාමුදුරුවො වෙන කොට හිටි පිළිම වහන්සෙ ආනන්ද හාමුදුරුවො කියලමයි. එහෙම හිතාගෙන මෙතනට ආවහම තමයි අපිට බුදු හාමුදුරුවොයි ආනන්ද හාමුදුරුවොයි දෙන්නම  එකට මතක් වෙන්නෙ. ගහට පොත්ත වගෙ බුද්ධ චරිතෙන් වෙන් කරන්න බැරි හැඟීමත් එක්ක තමයි මෙතෙන් දි අපෙන්  ජීවචිත්‍ර ඇඳෙන්නෙ.”

එසේ පැවසුවේ සුසිත් ය.

“හැබැයි සුසිත් අය්යෙ, අපි අහලා තියෙන්නෙ ජීවමාන මිනිස්සු බලාගෙන අඳින එකටයි ජීවචිත්‍ර කියන්නෙ කියලා. මෙතන තියෙන්නෙ ප්‍රතිමානෙ.”

“ඔය නංගි අහන ප්‍රශ්නෙ පිළිගත් සම්මත විෂය කාරණාවක් තියෙනවා නං තමයි. ඒ උනාට නංගි අපේ සර් ජීවචිත්‍ර ගැන කරපු විග්‍රහය ඊට වෙනස්. අපිට වැඩිය කාලයක් සර් එක්ක වැඩ කරපු නිරෝෂක්කා තමයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අපට වඩා සුදුසු.”  

“මට මේ නංගිලා මල්ලිලට කියන්නෙ තියෙන්නෙ කවර හෝ කෙනෙක් ළඟ කවර හෝ දෙයක ලොකු ජීව ගුණයක් තියෙනවනං ඒවා බලාගෙන අඳින තැන, අඹන තැන බිහි වෙන්නෙ අජීවී චිත්‍ර අජීවී මූර්ති නෙමෙයි සජීවී චිත්‍ර සජීවී මූර්ති කියන එකයි. මේ අපි දකින්නෙ සජීවී සංස්කෘතියක් මිස අජීවී සංස්කෘතියක් නෙමෙයි. අපේ සර් ස්මාරක, පුරාවස්තු, නටබුන් කියන වචන දාලා කවදාවත් මේවා ගැන කතා කළේ නැහැ. සර් බුද්ධ මූර්තිය ළඟ ඉඳගෙන කරුණු කියාදෙන කොට අපේ හිත්වල මූර්තිමත් උනේ, ජීවමාන උනේ බුදු හාමුදුරුවො. අපේ සුසිත් මල්ලිට හිටි පිළිම වහන්සෙ ආනන්ද හාමුදුරුවො වගෙ දැනෙන්න ප්‍රබල හේතුවක් වෙන්න ඇත්තෙ සර්ගෙ වචන ම තමයි මන් හිතන විදිහට. හැබැයි කවදාවත් සර් මේ ආනන්ද හාමුදුරුවො එහෙම නැත්තං ඒත් බුදු හාමුදුරුවොම තමයි වගේ අදහසක්, මතයක් අපට දුන්නෙ නැහැ. හැබැයි මෙතෙන් දි බුදු හාමුදුරුවො ගැන කියන කොට ආනන්ද හාමුදුරුවො ගැනත් හරි ලස්සන දේවල් මතු කළා. ඇත්තටම මට අපේ ගණේගම සරණංකර නායක හාමුදුරුවො ලියපු බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවො වගේ පොත් කියවන්න හිතුණෙත් අපේ සර් මෙහෙම තැන්වලදි කියපු දේවල් අහගෙන ඉඳලා.”

“නිරෝෂක්කෙ, සමන් සර් කීප දවසක් ම අපට කියල තියෙනව නේද මේ ප්‍රතිමා වහන්සේලා දෙනම ම නිර්මාණය කරපු කලාකරුවා මිනිස් සිරුර ගැන හොඳ අවබෝධයක් තිබුණ කෙනෙක් කියලා. ඒ වචන නේද ඔයාට චිත්‍ර අඳින කොට දෝංකාර දෙන්නෙ. මන් හදන මූර්ති ගැන මට කියන්න තියෙන්නෙත් ඒ ටික ම තමයි.”  

“ඇත්ත මිනිස් සිරුරක චලන නිසා ඇති වන බාහිර ස්වරූප නිරුපණය කරන්නත් ශාන්ත බව නිවීම කරුණාව වගේ අධ්‍යාත්මය එක්ක බැඳිච්ච දේවල් නිරූපණය කරන්නත් ඒ කලාකරුවාට හරි කලාකරුවන්ට හරි විශිෂ්ට හැකියාවක් තිබිලා තියෙනවා. මන් හිතන්නෙ අපේ සුසිත් මල්ලි හිතන්නෙත් ඒ විදිහට ම තමයි කියලා. මේ සම්බන්ධයෙන් තරමක විස්තර තියෙනවා එච්. ටී. බස්නායක මහාචාර්යතුමා ලියපු ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය කියන පොතේ. වෙලාවක ඒකත්, ඔයගොල්ලන්ගෙම විශ්වවිද්‍යාලෙ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච නලින් මාපටුන ලියපු පොළොන්නරු යුගයේ සිතුවම්වලින් හෙළිවන සමාජය පොතත් එතකොට ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයේ පොතේ දෙවන භාගෙ තවත් ඒවගෙ පොතුත් හොයා ගෙන කියවන්න.”

“අන්න අපි මෙතන ඉඳන් මේ මූර්ති ගැන, ශාස්ත්‍රීය හැදෑරීම් ගැන කතා කරන කොට ඔයගොල්ලන්ගෙ සිතාරි මැඩම් ඈත ඉඳගෙන මේ ප්‍රතිමා වහන්සේලා දිහා බලාගෙන අපේ සුසිත් මල්ලි කියපු කරුණාව, නිවීම, ශාන්ත බව විඳගන්නවා කියලයි මට හිතෙන්නෙ. සුදත් සුසිත් ඔය දෙන්නා මේ නංගිලා මල්ලිලත් එක්ක තව ටිකක් කතා කරන්න. මන් සිතාරි නංගි ඉන්න තැනට යන්නම්.”

එසේ කියා නිරෝෂා සිතාරී ආචාර්යවරිය සිටින තැනට ගියා ය. දුර හිඳ ප්‍රතිමා වහන්සේලා දෙස බලා හිඳින සිතාරිගේ මුහුණේ රැඳී තිබුණේ නිවුණු බවකි. සන්හිඳුණු බවකි. ඇයට බාධා කරන්නට නොසිතූ මුත් සිතාරී තමන් වෙත ඇවිද එන නිරෝෂා දුටුවා ය. ඇය සමීප වූ පසු පළමු ව කතා කෙළේ ද සිතාරී ය.  

“ඔයගොල්ල හරි වාසනාවන්තයි නිරෝෂක්කෙ. මෙහෙ ජීවත් වීම ඔයගොල්ලන්ට තමන්ගෙ උරුමය ම වෙලා තියෙනවා. ඒ විතරක් ද ඔය ගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා දකින - විඳින දේ රේඛාවලින්, වර්ණවලින් සජීවී කරලා ලෝකයට දෙන්න.” 

“ඉතින් නංගි, අකුරු කියන්නෙත් ප්‍රබල මාධ්‍යයක්නෙ. ඔයාට පුළුවන්නෙ අපි වර්ණවලින් රේඛාවලින් කරන වැඩේ අකුරු - වචනවලින් කරන්න.”

“නිරෝෂක්කෙ, දැනුත් මන් කර කර ඉන්නෙ ඒක තමයි. හැබැයි ඒ මන් ලියපු අකුරු හරි වචනවලින්නං නෙමෙයි. බමරැන්දෙ ගාමිණී වීරසිංහ කවියගේ කවියක තියෙන වචනවලින්. ඒ කියන්නෙ එයා මීට අවුරුදු තිහ හතළිහකට ඉස්සෙල්ලා ලියපු කවියකින්.” 

අනතුරුව අනෙකුත් යාත්‍රිකයන් එතැනට ළඟා වූ ඒ මොහොතේ යළිත් වරක් ඒ ශාන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස බලා වැඳ නමස්කාර කළ සිතාරී මියුරු සරින් එකව ගායනා කළා ය.


වඳින්නට ඔබෙ සුමුදු සිරිපා වනේ      වන මල් පිබිදුනාවේ

දොවන්නට ඔබ සිනිඳු බුදු පා මලේ පිනි කැට තැවරුණාවේ

නිවන්නට ඔබ සිරුර සරතැස සුවඳ මඳනල     විසිරුණාවේ

නිවන් මට ලැබෙනා තුරා මම රැඳෙමි මෙහි මා  පර වුණාවේ 


3 comments:

  1. පාලිය (ඇත්තෙන්ම කිව්වොත් මාගධී) හරිම ලස්සන භාෂාවක්. මමත් ඕක තාම ඉගෙනගන්නවා..

    ReplyDelete
  2. ලස්සන ලියැවිල්ලක්... මේ සෙට් එකේ මුල ටික තවම කියවලා එන්න නම් බැරි උනා. වෙලාව තියෙන හැටියකට කියවන්න ඕන.

    ReplyDelete